2013-11-24

දෙමළ කිවි ජයපාලන් අල්ලා පිටුවහල් කිරීම

විදේශයක වාසය කරන ලංකාවේ ප්‍රකට දෙමළ කවියකු වන ව.අයි.ස. ජෙයපාලන් යාපනයේදී වීසා කොන්දේසි උල්ලංඝනය කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ජෙයපාලන් නම් කවියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නය පමණක් නොව. ජෙයපාලන් නම් විදේශිකයා වීසා රෙගුලාසි උල්ලංඝනය පිළිබඳ අත්අඩංගුවට ගැනීම නම් දේශපාලන ප්‍රශ්නය ද තිබේ.

ඇත්තට ම ජෙයපාලන් විදේශිකයෙක් ද? ඔහු කිසියම් තත්වයක් මත ශ්‍රී ලාංකික නම් ජාතිය අත්හළ අයෙකි. එහෙත්, ඔහු තවමත් යම් දුරකට හෝ තමන් ලාංකික දෙමළ ජාතිකයකු ලෙස සලකයි.

නීතිය ඉදිරියේ නම්, ඔහු ලාංකික පුරවැසිභාවය අතහැර දැන් නෝර්වේහි පුරවැසිභාවය ලබාගෙන සිටින නෝර්වේ ජාතිකයෙකි. සිය ජාතිය වෙනස් කිරීම මානව හිමිකමකි. එහෙත්, ජාතිය වෙනස් කළ පමණින් මිනිසුන්ගේ සියලු මුල් ඉදිරෙන්නේ නැත. අතීතකාමය, සංස්කෘතික බැඳීම්, දේශපාලනික කාරණා ආදිය නිසා මිනිස්සු දිගින් දිගට ම මුල් රට හා බැඳී සිටිති. පරම්පරා ගණනාවකට පසුව පවා මිනිස්සු මේ බැඳීම පවත්වාගෙන යති.

අනෙක් පැත්තෙන් දේශපාලනික හා සමාජ හේතු මත සංක්‍රමණය වූ මිනිස්සු තමන්ගේ මුල් රටේ තමන්ට සංක්‍රමණය වන්නට හේතු වූ කාරණාවල වෙනස්කම් පිළිබඳ සංවේදී වෙති. එසේම, ඔවුන් තමන් අලුතින් වැළඳ ගත් ජාතිය හා සැබැවින් ම අනුකලනය වීමේ ගැටලුවකට මුහුණ දෙති. ලාංකීය පුරවැසිකම අතහැර තමන් ගිය රටේ පුරවැසියන් වීම මුලින් ම අරඹන්නේ ඔවුන්ගේ දෙවන පරම්පරාවයි.

මේ පිරිස දෙස මෙසේ ද බලන්නට පුළුවන. මොවුහු තමන්ට තිබූ සත්‍ය තර්ජන නිසා හ‍ෝ නිර්මානය කර ගත් තත්වයන් මත හෝ සංක්‍රමණය වුණේ ලංකාව හෙළා දකිමිනි. (මේ රට හෙළා දකින්නට අවශ්‍ය කාරණා තවමත් එහෙමම තිබේ.) ඔවුන්ගේ සංක්‍රමණය වීම පසුපස ආත්මාර්ථකාමී, උන්නතිකාමී, තෘෂ්ණාධික උවමනාවන් තිබිණි. එහෙත්, ඔවුන් මුහුණ දෙන ගැටලුව වන්නේ තමන්ට මව් රටේ තිබුණු පිළිගැනීම තමන් ගිය ‍රටේ නැති වීමයි. ඒ නිසා තමන්ගේ රටේ දුක් විඳින, දුප්පත් මිනිසුන්ගෙන් කීර්ති ප්‍රශංසා භුක්ති විඳීම සඳහා මේ පිරිස් නැවත, නැවත මුල් රටට පැමිණ යති.ඒ අර්ථයෙන් ගත් කල ඔවුහු කිසියම් සංචාරක ප්‍රවර්ගයකි. එහෙත්, මේ සංචාරකයන් හෝටල්වල නතර නො වන, බලන්න යන තැන්වලදී විදේශිකයන් සඳහා වූ ප්‍රවේශ පත්‍ර මිළ දී නො ගන්නා පිරිසක් නිසා මේ පිරිසගෙන් ලංකාවේ ආර්ථිකයට වැඩක් නැත. ආණ්ඩුව ඔවුන්ට නො සලකන්නේ ඒ නිසා විය හැකි ය.

මෙම තත්වය ද ඒ ඒ පුද්ගලයන්ගේ වරදකැයි කියන්නට බැරි ය. ‍හේතුව, මිනිසුන් වඩා හොඳ ජීවිතයක් සොයා මේ රටින් පළා යාමට පොළඹවන්නේ ද  සමාජ, ආර්ථික හා දේශපාලන හේතු විසින් බැවිනි. සමාජයක් ලෙස තම විමුක්තිය සලස්වා ගන්නවාට වඩා පෞද්ගලිකව හෝ පවුලක් ලෙස තම අභිලාෂයන් සපුරා ගැනීමේ ආත්මාර්ථකාමී ක්‍රියාවලියක් මෙහි තිබේ.එහෙත්, ඔවුන් ගිය තැන්වලදී ඔව්හු දිළිඳු, පීඩිත ජන කොට්ඨාසයක් නිසා ඔවුන්ගේ සියලු සිහින සැබෑ වී නැත. ඔවුන්ට සතුටක් දැනෙන්නේ මේ රටේ මිනිසුන්ට සංදර්ශන පැවැත්වීමෙන් පමණක් විය හැකි ය.

මොවුන්ගේ ජීවිතය පිළිබඳ නිදසුනක් ලෙස පසුගිය යුද සමය සැලකිය හැකි ය. ඔවුහු කොටි සංවිධානයට යුද්ධය කරගෙන යාම සඳහා ආධාර කළ හ. කොටි සංවිධානය ඒ මුදල් දෙමළ සමාජය විනාශය දෙසට යොමු කිරීම සඳහා යොදා ගනිද්දීත් ඔවුහු නිහඬව උන් හ. අන්ධ ලෙස කොටි සංවිධානය වන්දනා කරමින් යුද්ධයට පක්ෂ වූ හ. යුද්ධයේදී වන්නියේ ජනයා ලක්ෂ ගණනින් අවතැන් වෙමින්, ප්‍රහාරවලට ලක් වෙමින්, මිය යමින් සිටි සමයේ මොවුන් තමන් සිටි රටවල සැපෙන් සිටිමින් පුවත්පත් නිවේදන නිකුත් කළා මිස කළ කෙංගෙඩියක් නැත. මෙතරම් දෙමළ වීරයන් ඩයස්පෝරාවේ සිටිද්දී ලංකාවේ යුද්ධය නවත්වන්නැයි තීරණාත්මක බලපෑමක් කිරීම සඳහා මොවුන් එකතු වුණේ නැත. ‍හේතුව හැඟීමක් නොමැතිකමම නොවේ. තමන් රස්සා කරන තැන්වලින් නිවාඩු ගන්නට බැරිකමයි.

නාමෙල් - මාලිනී වීරමුනි යුවල මුදල් ටිකක් උපයාගෙන ආපසු ලංකාවට පැමිණ පුංචි තියටරය ආරම්භ කළ හ. රූකාන්ත ගුණතිලක යුවල ද තමන්‍ට පීඩා කළ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග බලයෙන් ගිලිහුණු පසු ආපසු පැමිණිය හ.

ආපසු පැමිණෙන බොහෝ අය තවමත් ඉන්නේ කකුලක් හෝ ඇඟිල්ලක් ඒ රටේ තබාගෙන ය. උදාහරණයක් ලෙස සෝමවංශ අමරසිංහ තමන්ගේ උතුම් මාතෘභූමියේ මෙන් ම බටහිර අධිරාජ්‍යවාදී ප්‍රංශයේ ද පුරවැසිභාවය රැකගෙන සිටියි. මේ රටේ තිබෙන අනාරක්ෂිතභාවය එයට හේතුවකි. ආරක්ෂාව තිරසාර වීමට නම් රටක ජාතීන් අතර සංහිඳියාව නිර්මානය විය යුතු ය.සංහිඳියාව තහවුරු වුණොත් රට පනින්නට ලැබෙන්නේ නැත. ලංකාවේ පාලකයන්ගේ දූෂණ මට්ටම දෙස බැලූ කල මේ රටේ මිනිසුන්ට සම්ම ජාතියේ ගොඩ යාමක් තිබේදැයි සිතන්නට බැරි ය. 

රට පනින මිනිසුන් වැඩි දෙනෙක් මෙහේ හිටියත් වැඩක් නැත. උන් ද කරනු ඇත්තේ 'දෑත ශක්තිමත් කරමින්' තමන්ගේ මිනී වල තමන්ගේ පය යටින් ම කපා ගැනීමයි.

දැන් ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය දීම අත්හිටුවා තිබේ. මෙහි දෙපැත්තක් තිබේ. රටට කිසිදු ප්‍රයෝජනයක් නැති මිනිසුන්ට ද්විත්ව පුරවැසිභාවය දීමෙන් පලක් නැත. එයින් සිදු වන්නේ ඔවුන් මේ රටට එන විට ලැබෙන බදු ආදායම හෝ නො ලැබී යාමයි.එසේම, රටට සේවයක් කිරීමට ඇත්තට ම කැමති මිනිසුන්ට මෙහිදී අසාධාරණයක් සිදු වේ. එසේ වන්නේ රටට වැඩක් නැති කාලකන්නින් විශාල පිරිසක් කලින් ලබා ගත් ද්විත්ව පුරවැසිකම ෂපාන් එකේ භුක්ති විඳිමින් සිටින අතරතුර ය. එය විසින් බරපතල විෂමතාවක් නිර්මානය කරයි.

මේ ප්‍රශ්නයේදී අප ගත යුතුව තිබෙන ස්ථාවරය කුමක් ද? විදේශික වී සිටින ලාංකිකයන් සම්පතක් ලෙස සලකන්නට අපට බැරි ද? ඔවුන් ඒ ඒ රටවල සිටියදී ම ඔවුන්ගෙන් අපේ රටට යම් මෙහෙයක් ලබා ගැන්නට අපට බැරි ද? ආණ්ඩුවට තිබෙන ප්‍රශ්නය වන්නේ විදෙස්ගත දෙමළ ප්‍රජාව කොටි සංවිධානය විසින් මැනැවින් සිය අරගලය සඳහා යොදා ගැනීමයි. ඒ අරමුදල් රැස් කිරීම වෙනුවෙනි. එහෙත්, කොටි සංවිධානයට පවා මේ පිරිස දේශපාලනිකව බලමුළු ගන්වා ගැනීමට බැරි විය. එයට හේතුව කොටින්ගේ ඒකාධිපති ස්වරූපයයි. අරමුදල් රැස් කිරීම කෙසේ වෙතත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් බලමුළු ගන්වා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් අවශ්‍ය ය. දෙමළ ඩයස්පෝරාව කොටි සංවිධානය පමණක් නොව තම ඥාතීන් පවා වන්නියේ හුදකලා කර රස්සාවල් කරමින් යුද්ධයේ පරාජය නරඹන්නේ මේ සංදර්භය තුළයි. 

දැන් කොටි සංවිධානය අතීතයකි. එය අනාගතයක් නො වන්නට නම්, දේශීය හා විදෙස්ගත දෙමළ ජනයා දෙස අලුත් ඇසකින් බැලීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතු ය. ආණ්ඩුවට එසේ නැතිනම්, සිංහල ජනතාව හෝ ඒ හැකියාව ගොඩනගා ගත යුතු ය. 

විදෙස්ගත ලාංකික ප්‍රජාව යනු දේශීය ප්‍රජාවට නො වෙනස්  ආත්මාර්ථකාමී, ධනකාමී, උන්නතිකාමී, පාරිභෝජනවාදී පිරිසකි. ඔවුන් රජය වැනි දැවැන්ත සමාගමක වෛරයට පාත්‍ර වන්නට තරම් ශක්තිමත් පිරිසක් නො වේ. ඔවුන්ට අනුකම්පා කළ යුතු ය. 

තමන්ගේ මව් රටට එන ඔවුන් විදේශිකයන් ලෙස සැලකීමෙහි ගැටලුවක් තිබේ. ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා ඔවුන්ගේ දායකත්වය ද අවශ්‍ය ය. ඔවුන් ලංකාවට එන්නේ ලංකාවේ මිනිසුන් හා සම්පත් සූරා කන්නට පමණක් නම් එතැන සදාචාරාත්මක ගැටලුවක් තිබේ. දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සම්බන්ධයෙන් නම් ඇසිය යුතු කාරණයක් තිබේ. වන්නියේ මඩු කූඩාරම් තුළට වී ජීවිත යළි ගොඩනඟා ගන්නට උත්සාහ කරන යුද්ධයෙන් පීඩාවට පත් අසරණ දෙමළ මිනිසුන් වෙනුවෙන් ඔවුන් කරන යමක් තිබේ ද යන්න ඉතා වැදගත් ය. 

සමාජවාදීන් ලෙස අප පෙනී සිටිය යුත්තේ නිදහස් සංචලනය සඳහා මිනිසුන්ට තිබෙන අයිතිය වෙනුවෙනි. එහෙත්, ඒ සමග ම ජාතිකවාදය නිදහස් සංචලනය සඳහා ඇති ප්‍රධාන බාධාවක් ලෙස ද සැලකිය යුතු ය. නිදහස් සංචලන හිමිකම වෙනුවෙන් කරන අරගලය ජාතිකවාදයට ද එරෙහි සටනකි. ජාතිකවාදී වෙමින් නිදහස් සංචලනය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රෝඩාවකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

19 comments:

  1. ජයපාලන් කියන්නේ අර දෙමල පත්තරේ කාටුන් අදින කෙනා නේද?
    මුල් පිටුවේ ඔය ඉදලා හිටලා උපුටා ගන්නේ ජයපාලන්ගේ කාටුනය කියලා එකක්. එක අදින්නේ මේ අන්කල් ද?

    ReplyDelete
  2. ඒ දෙදෙනා දෙදෙනෙක්. ජයපාලන් කියන්නේ සුලබ දෙමළ නමක්. මොහු කලක සිට ලංකාවෙන් පිට ජීවත් වන දෙමළ කවියෙක්.

    ReplyDelete
  3. පැරා ඔබේ වයසට උචිත විදිහට වත් අඩුම තරමේ හැසිරෙන්න.. යම් කිසි අයෙක් පුරවැසිභාවය අත් හල මොහොතේ සිට ඔහු විදේශිකයෙක් බවට පත් වේ. මේ රටට පැමිණීමට නම් ඔහුට වීසා අවශ්‍ය වේ. අම්මා තාත්තා බාප්පා සීයා බලන්න ආව කතා වැඩක් නැහැ.. අවශ්‍ය නම් ද්විත්ව පුරවැසි භාවය ඉල්ලන්න පුළුවන්.. මීට වසර කීපයකට ( 5 ක් වගේ ) පෙර ආගමන විගමණ නීති වෙනස් උනා..

    වයස 55 වැඩි කෙනෙක් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලීමට පෙර වසර කීපයක ( 2 වගේ මතක ) පරිවාස කාලයකට යටත් වෙන්න ඕනේ.. ද්විත්ව පුරවැසිභාවය ඉල්ලීමට හේතු තියෙන්න ඕනේ.. ලක්ෂ දෙකකට වැඩි දේපලක් , බැංකු තැන්පතුවක් , පිළිගත් වෘත්තීය නිපුණත්වය , සෞඛ්‍යමය සුදුසු කම් සපුරන්න ඕනේ.. ආවට ගියාට එන්න යන්න බැහැ ...හිතෙද්දි යන්නයි හිතෙද්දි එන්නයි මේක මොකක් කියලද හිතුවේ ..?

    ReplyDelete
    Replies
    1. සහන්, ඔබෙ හිතුනම යන්න එන්න කියන ඔය තර්කය රටේ ආරක්ෂක ලේකම් තුමාටයි, අර්ථික සංවර්ධන ඇමති තුමාටයි ඒ අයගෙ දරුමල්ලොන්ටයි වළංගු නැද්ද?

      රටක ඔච්චර ඉහල නිළ තල දරන ඒ උත්තමයො මොකද තාම අපිට යුධ අපරාධ ලෙඩ දන අධිරාජ්‍යවාදින්ගෙ පුරවැසිකම් තියාන ඉන්නෙ හලන්නෙ නැතුව?

      Delete
    2. ඉන්දික ,

      ඔබේ පළමු ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි "ඔහු තමයි ද්විත්ව පුරවැසිභාවය ගැන නව නීති" සකසන්නේ... ( හැන්ද ඇත්තේ ඔහු ළඟ )

      දෙවෙනි ප්‍රශ්නේ ගැන මන් දරණ අදහස් දන්නවා ඇතැයි සිතමි..

      Delete
    3. @ SilentSahan,
      20 වන ශත වර්ෂයට පෙර ජීවත් වූ* මිනිසුන්ට යි, සතා සිව්පාවුන්ට යි, සුළඟට යි, හිතෙද්දි යන්නයි හිතෙද්දි එන්නයි පුළුවන් නම් ඇයි දැන් ඒක හොඳ නැත්තේ? අපි සියළු දෙනා ම ජීවත් වන්නේ එක ම ග්‍රහලොවක යි.

      *(පාස්පෝට්, වීසා ආදිය නීතිගත වීමට පෙර.)

      Delete
  4. Meta demala kenek. Lankave jeewathvena aithiya eyata denna baha.

    ReplyDelete
  5. ඇමරිකන් කාරයෙක් වන බයගොතාට කිසි නීතියක් නෑ. පෙට්‍රල් ගගහා හිටපු එකාගේ අමාත්‍යාංශයට රටේ වැඩිම මුදලක් වෙන්කරලා.

    ReplyDelete
  6. හරියටම අගමුලක් දන්නේ නැත. ආණ්ඩුව වීසා නීතියක් පිට දමා තමන්ගේ දේශපාලන ඉලක්කයක් සපුරා ගත්තේ නම් එය වැරදි ක්‍රියාවකි. එහෙත් කිසියම් පුද්ගලයෙකු රටේ නීතියක් කඩපු විටෙක නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔහු දමිලයෙකු නිසා හෝ කවියෙකු නිසා වෙනසක් කළ යුතුයයි කෙනෙක් කියන්නේ නම් ඊට ද එකඟ විය නොහැක. කොටින්ම මෙතන කොමෙන්ටුවක කියා තියෙන සේ, ගෝටා ට නීති නැති නි‍ා රටට එන හැමෝටම නීති නැති විය යුතුය කියන පථය පවා අවුල් එකකි. ජයපාලන් කලේ මොකද්ද, ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව මොකද්ද හා ඔහුට වුනේ මොකද්ද කියන කාරනා මත මේ සියල්ල රඳා පවතියි. බොහෝ විට අවසාන ප්‍රතිපලය කුමාර් ගුණරත්නම් ගේ තැනින් කෙළවර විය හැකිය.

    මෙහි අප දකින කනගාටු දායක තත්වය නම්, මාධ්‍යවේදීන් කියන විප්ලවකාරයින් කියන මිනිසුන් මේ වගේ සිද්ධි පමණක අහුලාගෙන නගන අදෝනාවයි. උදාහරණයකට මේ ගැන මංජුල වෙඩිවර්ධන ලියූ සටහනේ කොහෙවත් මේ සිද්ධිය වීසා රෙගුලාසි ඉක්මවා යාමක් කියන බවක් සඳහන් නොවුනි. මේ පුද්ගලයා ගැන නොදන්නා සේ කතා කිරීම මංජුලට කේන්ති ගෙන දෙන්නක් වී තිබුණි. එහෙත් කවියෙකු වීම නිසා හෝ දෙමලෙකු වීම නිසා අමුතු නීතියක් ක්‍රියාත්මක කිරීම විහිළු කතාවකි.

    හැමදාමත් දෙමල කඳුළු ගැන පමණක් ලියූ අය හැසිරුනේ ඔහොමය. කොටින්ම පැරා ලියා ජයතිලක බණ්ඩාර ගයනවා කියන අර ජනකපුර සටනේ මියගිය කොටි සෙබළියන්ගේ අවිහිංසක කම, මහා ඔය වගේ ගමක ගැබ්බර මවක් දෙකට පලා කුසේ හුන් දරුවාට නොමිලේ සිසේරියන් කරපු දාට අනිත් පැත්තට කතා කරන්න පැරා ට එදා ගට තිබුණාද?

    ජයපාලන් ගැන හරියට නොසොයා කේන්තියෙන් කතා කරන වෙඩිවර්ධන වැනි පිරිස සමාන වන්නේ මැරිච්ච කොටි කෙල්ලන්ගේ අවිහිංසක කම විනා කතාවේ අනිත් පැත්ත ගැන [ඒ යුගයේ] කවදාවත් කතා නොකළ පැරා වගේ උදවියටය.

    මානව අයිතිවාසිකම්, යුක්තිය සාධාරණය යන ඔක්කොටම මිත්‍ර පාර්ශවයක් තිබේ. සියල්ල හිමි ඔවුන්ට පමණි.

    ReplyDelete
    Replies
    1. //කොටින්ම පැරා ලියා ජයතිලක බණ්ඩාර ගයනවා කියන අර ජනකපුර සටනේ මියගිය කොටි සෙබළියන්ගේ අවිහිංසක කම, මහා ඔය වගේ ගමක ගැබ්බර මවක් දෙකට පලා කුසේ හුන් දරුවාට නොමිලේ සිසේරියන් කරපු දාට අනිත් පැත්තට කතා කරන්න පැරා ට එදා ගට තිබුණාද? //

      මේ ප්‍රශ්නය කිසිම තේරුමක් නැති, එහෙත් හැම තැනම කට්ටිය අහන ප්‍රශ්නයක්. බාලචන්ද්‍රන් මැරුව වෙලාවේ ඒ ගැන කතා කරපු අය මීට කලින් කොටි ළමයි කපලා කොටලා දානකොට කතා කලාද කියන එකත් ඒ වෙලාවෙ නිතර අහපු ප්‍රශ්නයක්. එහෙම සිදුවීම් තෝරගෙන ලියනකොට, අර ඩොලර් වලට ලියනවා, කොටින්ට සුදු හුණු ගානවා වගේ චෝදනා එල්ල උණත්, ඇත්ත ඒක නෙමෙයි (හැම පාර්ශවයකටම වාසි තකා ලියන පිරිසකුත් ඉන්නවා).

      හේතුව, තමන් ජීවත්වෙන සමාජයට බලපෑමක් කරන ආකාරයට ලිවීම. තමාත් අයිති වෙන සමාජයේ වැරදි දැකීම, තමා අයිති නොවන සමාජයක වැරදි දැකීමට වඩා ප්‍රායෝගික වීම. එයින් අදහස වෙන්නේ නෑ, අනෙක් පාර්ශවයේ ක්‍රියාවන් අනුමත කරනවා කියන එක. සිංහල ජාතිය, බුද්ධාගම වැනි දේ සම්බන්ධ සිද්ධි විවේචනය කරන්න වැඩි අයිතියක් සහ වගකීමක් තියෙන්නේ සිංහල බෞද්ධයන්ට. අනික තමයි හැම තැනම නොලියවෙන යමක් ලිවීම. කොටි සංවිධානයේ ම්ලේච්ඡ ක්‍රියා ගැන සිංහල පුවත්පත් වල, ප්‍රවෘත්ති විකාශ වල අනිවාර්යයෙන් සඳහන් වෙනවා. එහෙම සමාජය පොදුවේ දන්නා දෙයක් ගැන, තමනුත් මේකට විරුද්ධයි කියන එක විතරක් පෙන්නන්න ලිවිය යුතුද?

      වික්ටර් අයිවන් වරක් යාපනේ ගිය අවස්ථාවක (කොටි සංවිධානය එහි බලවත්ව සිටින කාලක), ඔහු දකුණේ සිට කරන ආණ්ඩු විවේචනය උතුරේදිත් කරාවි යැයි බලාපොරොත්තු වූ කොටි සංවිධානයට ඔහු කිව්වේ, මම මෙහේ ඉඳගෙන විවේචනය කරනවා නම් කරන්නේ කොටි සංවිධානය මිසක්, දකුණේ ආණ්ඩුව නොවේ කියාය. (දැන් වික්ටර් අයිවන් කරන්නේ මොකද්ද කියන එක මෙතෙන්ට අදාල කරගන්න එපා).

      පැරා ලියපු කවිය ගැන කියනවා නම්, පැරා කියන විදිහට ඔහු එතැනට යන්නේ වාර්තාකරුවෙක් විදිහට සිද්ධියෙන් පස්සේ... ඔහු දකින්නේ මියගිය කොටි සෙබළියන් තුන්සීයකගේ පමණ සිරුරු. ඒ සිරුරු ට්‍රැක්ටරයක පටවන සොල්දාදුවෙක් "පව් මචං" කියනවා ඔහුට ඇහෙනවා. ඒ නිර්මාණය අපි බලන්න ඕනේ එතන ඉඳන්. මේ එන්නේ කොටි සංවිධානයේ බිම් මට්ටමේ සාමාජිකාවන්. ඔවුනුත් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් එක්ක සතුටින් ගත කරපු කාලයක් තියෙන්න ඇති. බොහෝ ගැහැණු වගේ කණ කර රත්තරන් පළඳින්න ආසාවක් ඔවුන්ටත් තියෙන්න ඇති.

      //නංගිලා මේ තරම්
      මේ කොහෙන් ආවා ද?
      පහන් සිලකට ඇදෙන
      කෘමි සතුන් සේ

      තෙන්න මරවාඩියෙන්
      පන්නලා දැමු අයද?
      උපන් බිම උරුමකම්
      දිනන්නට ආවාද?
      පැරණි මිතුරන්
      අසල්වැසියන්
      බලන්නට ආවාද?//

      මේ නංගිලා යන ඇමතීම සහ මේ මුල් කොටස තුලම යම් කිසි සියුම් උපහාසයක් තියනවා. ඔවුන් ආවේ මොකටද කියන එක නොදැන නෙමෙයි පැරා ලියන්නේ... දැන් මේ පහල කොටසත් එක්ක ඒක සම්බන්ධ කලාම, මේකෙන් කියන්නේ උඹලගෙ ලොක්කගෙ හීන හැබෑ කරන්න හිතාගෙන උඹලා අපු මෝඩ ගමනක් නේද මේක වගේ අදහසක්...

      //අනේ නුඹේ කෙස් වැටිය
      රන් කිරුළු හඹා යන
      නයුවන්ට
      පා පිස්ස කෙරුවාද?//

      ශ්‍රී ලංකා හමුදාවෙත්, කොටි සංවිධානෙත් පහලම සාමාජිකයන් බොහොමයකගේ ජීවිත කියන්නේ ඛේදවාචකයක්. රස්සාවක් නැති කමට, නැත්නම් ගෙයක් දොරක් හදාගන්න සිහිනය හැබෑ කරගන්න තමයි බොහෝ දෙනෙක් හමුදාවට බැඳුනේ. කොටි සංවිධානෙට බොහෝ විට බඳවාගත්තේ බලෙන්. ඔවුන් අවියක් අරගෙන එනකොට නිකං ඉන්න ඕනේ එක කියන එක නෙමෙයි මේ කියන්නේ... මෙතැනදී මේ කවියට යුද හමුදාව සම්බන්ධ කරගෙන නෑ... මේ සෙබලියන්ගේම ජීවිත තුල තියන ඛේදවාචකය ගැන තමයි පැරා කියන්නේ.... මේ දෙය සිද්ධ නොවිය යුතුව තිබුණා හෝ මේ දේ වැරදිය යන්න ඉඟියක් මෙතන නැහැ.

      Delete
    2. කොටින්ගෙ අපරාධ දෙමළ සමාජයේ ඔය කියන විදියට විවේචනය වෙන්නේ නෑ.ඒවා වීරත්වයට නංවනවා මිසක්.බාලචන්ද්‍රන් ගැන කදුළු සලන එන් ජී ඕ කුලියට ලියන්නන් ඉන්නවා.නමුත් කොටින් විසින් මරා දැමූ පොඩි ළමයි ගැන ශෝක වන කවි ලියන ගී ගයන එකම දෙමළ කාලකරුවෙක් නෑ.කලාකරුවන් නොවෙයි සාමාන්‍ය ද්‍රවිඩයන් පවා මේවා හෙළා දකිනවා වෙනුවට මේවායින් ආහ්ලාදයක් ලබනවා.ඒකයි වෙනස

      Delete
    3. අප කතා කරන්නේ පොදුවේ මේ නිර්ලජ්ජිත බඩගෝස්තරවාදීන්ගේ කුලකය ගැනයි.මුන් ගැන මේ තරම් පැහැදිලි සැක මතුවෙන්නේ ඔය කාරණය නිසාමයි.දෙමළ සමාජයේ කවියන් වත් කලාකරුවන්වත් මොකෙක්වත් ගම් වලට පැන බඩදරු ගෑනුන්ගේ දරු ගැබ් පලපුව ගැන කිරි දරුවො දෙකට ඉරපුව ගැන ශෝක වෙන්නෙ නෑ සතුටු වෙනවා මිසක්.බස් පුපුරවපු දවසට කැම්පස් ආපු දෙමළ ලමයින්ට මාර ආතල් එකක් තිබුනෙ.දරුණු අපරාධ සිදුවෙනකොට උන් පාටි දැම්මා.
      සිංහල සමාජයේ කෙනෙක් දෙමළ කඳුළු ගැන කවි කියන කොට අනේ මේ මනුස්සය කොච්චර අහිංසක සංවේදී කලාකරුවෙක්ද වෙන ජාතියක මිනිස්සු මැරෙන කොටත් දුක් වෙනවා කියා කියනවා.
      නමුත් මේ පුද්ගලයා මිහිපිට නොතැබිය යුතු පාපිෂ්ටයෙක්.කුලියට මිනීමරන්නකුගේ මානසිකත්වයයිඋ මේ කලා කරුවන්ට තිබෙන්නෙ.
      සල්ලි දෙනවනම් ඕන දෙයක් කරනවා.

      කුමාර් රූපසිංහ ගෙ එන් ජී ඕ එක යුද්දෙ ඉවර වුනහම නෝර්වේ රටට එරෙහිව නඩු දැම්ම.පොරොන්දු වුන ගාන දුන්නෙ නෑ කියල.මෙතන සංසරණය වන මුදල් ප්‍රමානය අපට හිතා ගන්න බැරි තරම්.අපට හිතා ගන්න බැරි තරම් සියුම් දේවල් වලටත් ගෙවනවා

      Delete
  7. රුපියල් 15000 ක් දීලා "EX-Sri Lankan " වීසා එක ගන්න. ඔය ප්‍රශ්ණ මොනවත් නෑ.

    ReplyDelete
  8. වැඩි දෙනෙක් මේ පෝස්ට් එකේ අගට යනකම් කියවා නැති බව නම් පැහැදිලිය....

    ReplyDelete
  9. LIFE'S POEM - BY JAYAPALAN

    The snake eyes in the river bank
    the frog entranced by the flying insect;
    a sniffing mongoose, scurrying;
    on the deer's green path
    a human trap spread out;
    that which is fearless
    lives;
    the PALI river moves on
    nourishing some trees,
    uprooting others.

    Man of Titanic dreams
    where in your schemes
    lies a floating iceberg?
    Yet even in drowning,
    you play the violin,
    living in death;
    condemned to die
    a wise Greek man
    choosing to live.

    Unmarked vehicles roam,
    enemy guns open fire,
    shackled by murderous friends
    waiting endlessly,
    the desire to live
    flooding over me,
    I remain a river of life;
    no other poetry in me
    but this.

    My hands stained only
    by the tears of some women;
    I hate my bleached poetry
    disdaining the human
    praising the man;
    transcending gender
    to reach the human,
    that is freedom;
    to be rescued by generous
    men and women,
    that is glorious.

    Terrible poetry
    I have written at times;
    but always I have lived,
    a good poem;
    ask my Sinhalese friends,
    my Muslim brothers and sisters,
    when war descended on me,
    I tried to be human;
    that,then, is my best poem.

    To stand straight;
    embrace the love of life,
    that is my poetry.

    Translated by Chelva Kanaganayakam
    (Wilting Laughter)

    ReplyDelete
  10. අප කතා කරන්නේ පොදුවේ මේ නිර්ලජ්ජිත බඩගෝස්තරවාදීන්ගේ කුලකය ගැනයි.මුන් ගැන මේ තරම් පැහැදිලි සැක මතුවෙන්නේ ඔය කාරණය නිසාමයි.දෙමළ සමාජයේ කවියන් වත් කලාකරුවන්වත් මොකෙක්වත් ගම් වලට පැන බඩදරු ගෑනුන්ගේ දරු ගැබ් පලපුව ගැන කිරි දරුවො දෙකට ඉරපුව ගැන ශෝක වෙන්නෙ නෑ සතුටු වෙනවා මිසක්.බස් පුපුරවපු දවසට කැම්පස් ආපු දෙමළ ලමයින්ට මාර ආතල් එකක් තිබුනෙ.දරුණු අපරාධ සිදුවෙනකොට උන් පාටි දැම්මා.
    සිංහල සමාජයේ කෙනෙක් දෙමළ කඳුළු ගැන කවි කියන කොට අනේ මේ මනුස්සය කොච්චර අහිංසක සංවේදී කලාකරුවෙක්ද වෙන ජාතියක මිනිස්සු මැරෙන කොටත් දුක් වෙනවා කියා කියනවා.
    නමුත් මේ පුද්ගලයා මිහිපිට නොතැබිය යුතු පාපිෂ්ටයෙක්.කුලියට මිනීමරන්නකුගේ මානසිකත්වයයිඋ මේ කලා කරුවන්ට තිබෙන්නෙ.
    සල්ලි දෙනවනම් ඕන දෙයක් කරනවා.

    කුමාර් රූපසිංහ ගෙ එන් ජී ඕ එක යුද්දෙ ඉවර වුනහම නෝර්වේ රටට එරෙහිව නඩු දැම්ම.පොරොන්දු වුන ගාන දුන්නෙ නෑ කියල.මෙතන සංසරණය වන මුදල් ප්‍රමානය අපට හිතා ගන්න බැරි තරම්.අපට හිතා ගන්න බැරි තරම් සියුම් දේවල් වලටත් ගෙවනවා

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.