2013-12-17

එළ කිරි බීම, ගව මස් කෑම හා මිහිතලය උණුසුම් කිරීම

පසුගිය දවස්වල ලංකාවේ ගව මස් කෑම ගැන ලොකු කතා බහක් ඇති වුණා. ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් හාමුදුරු නමක් තමන් ම ඝාතනය කර ගත්තා. 

ලංකාවේ මිනිස්සු ඈත අතීතයේ සිට ම මස් කෑ බවත්, බුද්ධාගමත්, මස් කෑමත් අතර ලොකු ගැටුමක් නො තිබුණු බවත් මෑත ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පවා දැක ගන්න පුළුවන්. ආගමික මූලධර්මවාදයන් ඉස්මතු වීමත් සමග කලින් වඩා ලිබරල් ලක්ෂණ කැටි කරගෙන සිටි බෞද්ධ සමාජයත් දැඩි ආගම්වාදී ස්වරූපයක් ගන්නට පටන් ගත් බව ඔබ දන්නවානේ. ඒ නිසා ගවමස් කෑම ගැන ලොකු විරෝධයක් රටේ ඇති වෙන්න පටන් ගත්තා. 

හැබැයි, කුකුළු මස් කෑම සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් ඇති වුණේ නැහැ. බෞද්ධයන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය කියා හිතෙන තරමට කුකුළු මස් කඩ හැම තැන ම පැතිරුණා. 

කොහොමත්, නව ලෝකයේ පාරිභෝගිකයා සතුන් මරාගෙන මස් කන කෙනෙක් නෙ‍ාවෙයි. සතකු නො දැක, සකසන ලද මස් සුපිරි වෙළඳ සලෙන් මිළ දී ගෙන කෑම තමයි ඔහුගේ ක්‍රමය.

කොහොම වුණත්, විශේෂයෙන් ම මිනිසාගේ ගව මස් කෑමේ රුචිය නිසා මිහිතලය උණුසුම් වීමේ ගැටලුව තීව්‍ර වෙලා. 

මිහිතලය උණුසුම් වෙනවා කියන්නේ මොකක් ද? ෆොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා තාපය උරා ගැනීමේ හැකියාව වැඩි කාබන් අඩංගු කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායු වායුගෝලයට නිකු‍ත් වෙනවා. එතකොට හිරුගෙන් ලැබෙන උණුසුම වැඩිපුර වායුගෝලය විසින් රඳවා ගන්නවා. මිහිතලය උණුසුම් වෙනවා කියන්නේ ඒකට. 20වන සියවසේ මුල පටන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.8කින් වැඩි වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵල සංකීර්ණයි. ධ්‍රැව ප්‍රදේශවල ග්ලැසියර දිය වෙන්න පටන් ගැනීම ගත්තොත්, එයින් මුහුදු මට්ටම ඉහළ යනවා. පහත් බිම් යට වෙනවා. ගංගා දිගේ ලවණ ඉහළට ගලනවා. තවත් ප්‍රශ්න බොහොමයි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අපි නම් දැනටමත් මෙහි ආදීනව භුක්ති විඳිනවා. තෙත් උණුසුම් වායුගෝලය නිසා මැසි, මදුරු ආදී කෘමි උවදුරු අපට දැනටමත් වැඩි වෙලා. 

මිහිතලය උණුසුම් වීමට වැඩිපුරම හේතු වන්නේ මීතේන් වායුව බව ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එය 44%ක්. දෙවන තැන හිමි වන්නේ නයිට්‍රස් ඔක්සයිඩ්වලටයි. එය 29%යි. තුන්වන තැන හිමි වන්නේ කාබන්ඩයොක්සයිඩ්වලටයි. එය 27%යි. මීතේන් නිෂ්පාදනය වැඩිපුර ම සිදු වන්නේ සත්ව පාලනය නිසායි.

ලෝකයේ අධ්‍යයනවලින් හෙළිදරව් වෙලා තිබෙන පරිදි කිරි හා ගව මස් නිෂ්පාදනය හේතුවෙන් පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් හා මීතේන් වැනි වායු ප්‍රතිශතය ඉහළ ගිහින්. හරකා, එළුවා වැනි සත්තු වමාරා කන වර්ගයට අයත් වෙනවා. ඔවුන්ගේ ආමාශයේ කුටීර හතරක් තිබෙනවා. ඉන් පළමු හා දෙවන කුටීරවලදී තෘණ ජීර්ණය පහසු කිරීම සඳහා බැක්ටීරියා, ප්‍රොටොසෝවා, යීස්ට්, දිලීර ආදිය යොදා ගැනෙනවා. මීතේන් වායුව නිෂ්පාදනය වීම වැඩි වන්නේ ඒ නිසායි. 

හරකුන් කන ආහාර රළු වෙන තරමට මීතේන් නිෂ්පාදනයත් වැඩි වෙනවා. එතකොට සත්ව පාලනය එතරම් විධිමත් අන්දමින් සිදු නො වන සංවර්ධනය වෙමින් පවතින රටවල හරකුන්ගෙන් වායුගෝලයට නිකුත් වන කාබන් ප්‍රමාණය වැඩි බව දකුණු අප්‍රිකාවේ ජාතික විද්‍යා ඇකඩමිය විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී තිබෙනවා.  එයට හේතුව තමයි, මේ හරකුන් වැඩිපුර පෝෂණය වන්නේ මිනිසුන්ට වෙනත් ප්‍රයෝජනයක් ගත නො හැකි නිසරු තණ බිම්වලින් වීමයි. 

ඉතියෝපියාව, සෝමාලියාව හා සුඩානයෙන් සමන්විත උප සහරා කලාපයේ හරකකුගෙන් ලබා ගන්නා ප්‍රෝටීන් කිලෝවක් නිෂ්පාදනය කරන්නට කාබන්ඩයොක්සයිඩ් කිලෝ දහසක් පමණ වායුගෝලයට මුදා හැරෙනවා. එක්සත් ජනපදය හා යුරෝපය වැනි දියුණු සත්ව පාලනයක් ඇති රටවල තත්වය ප්‍රෝටීන් කිලෝවක් නිපදවීම පිණිස වායුගෝලයට මුදා ‍හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය කිලෝ 10ක් පමණයි වෙන්නේ. 

වමාරා කන සතුන්ගෙන් ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමේදී වායුගෝලයට මුදා හැරෙන කාබන්ප්‍රමාණය ඉතා අධිකයි. හැබැයි මිනිසාගේ වගේ තනි කුටීරයක් සහිත ආමාශයක් තිබෙන සතුන්ගෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ප්‍රෝටීන් කිලෝවක් සඳහා ඌරෙක් මුදා හරින කාබන් ප්‍රමාණය කිලෝ 24ක්. කුකුළෙක් නම් මෙය කිලෝ 3.7ක් පමණ වෙනවා. හරකෙක් මුදා හරින කාබන් ප්‍රමාණය ඇතැම් විට කිලෝ 1000 දක්වාත් ඉහළ යනවා. 

මෙතනදී අපි සලකා බැලිය යුතුව තිබෙන්නේ ධනවාදී පරිභෝජන රටාවන්ගේ ගැටලුයි. ධනවාදී පරිභෝජනවාදය විසින් අපව පොළඹවන්නේ කෑදර අන්දමින් පරිභෝජනය කරන්නටයි. එමගින් අපට යම් යම් ඇබ්බැහි කිරීම් කරනවා. නිදසුනක් තමයි මේ කිරිපිටි බීම. ඇත්තෙන්ම අපි කිරිපිටි බොන්නේ ප්‍රෝටීන් ලබා ගන්නට ම ද? මස් කන්නේ ප්‍රෝටීන් ලබා ගන්නට ම ද? ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන භෝජන උත්සව ආදිය වෙනුවෙන් අධික ලෙස මස් පරිභෝජනය වෙනවා. නිදසුනක් ලෙස අපේ ‍රටේ මංගල උත්සව අරගන්න. වැඩකට නැති මේ දැවැන්ත උත්සව පසුපස තිබෙන්නේ ධනවාදී කෑදර උවමනාවනුයි. මස් කෑමත් එහි එක් කොටසක්. 

මේ ප්‍රශ්නයට විසඳුම සියලු මිනිස්සු වේගන්වරු හෙවත් ශාඛමය ආහාර පමණක් කන්නන් වීම නොවෙයි. එහෙම වුණොත් දිළිඳු සමාජ කණ්ඩායම්වල මන්දපෝෂණය පැතිරෙන්නත් පුළුවන්.මහජන මුදලින් මහ හෝටල්වලින් කන, මහජන මුදලින් ගහපු ඉන්ධනවලින් සුඛෝපභෝගී වාහනවල ලොව පුරා සැරිසරන චම්පික රණවකලා වගේ දේශපාලකයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් හා බලධාරීන්ගෙන් සමන්විත ඉහළ මධ්‍යම පංතික කොටස් අතර මේ වේගන් ජීවන විලාසය පැතිරෙන එක හොඳයි. මන්ද, ඔවුන් තමයි වැඩියෙන් ම කෑදර අන්දමින් පරිභෝජනය කරන්නේ.

කම්කරු පංතිය අතර අපි වේගන්වාදය ප්‍රවර්ධනය කරන්නට අවශ්‍ය නැහැ. මන්ද, සල්ලි නැති නිසා අපි සාමාන්‍යයෙන්මත් පරිභෝජනය කරන්නේ අඩුවෙන්. ආහාර ගැනීම කියන්නේ ජීවිතයේ මූලික සතුටක්. ජීවිතයේ සතුට ලබා ගන්නට තිබෙන මාර්ග අඩු අපි කෑමෙන් බීමෙන් පවා අපට දැඩි සීමා පණවා ගන්න අවශ්‍ය නැහැ. ඒත්, අධික පරිභෝජනය වළක්වා ගැනීම නම් හැම පැත්තෙන් ම අත්‍යවශ්‍ය දෙයක්.

දැන් ලංකාවේ තිබෙන ගව මස් විරෝධය දිහා බලනකොට මෙහෙම ප්‍රශ්න ටිකක් මතු වෙනවා. අපි මස් කනවාට විරුද්ධයි. ඒත් කිරි බීම අගය කරනවා. අපගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරන්න කිරිවලින් දායකත්වයක් ලැබෙනවා. කිරි නිෂ්පාදනය කරන්නට අපි හරකුන් ඇති කරනවා. කිරි නිෂ්පාදනය අඩු හරක්  මරා මස් නො කෑවොත් වෙන්නේ මොකක් ද? හරක් ගහණය වැඩි වෙනවා. අයාලේ යන හරකුන් වනාන්තර උලා කනවා. කාලා කාබන් නිෂ්පාදනය කරනවා. මිහිතලය උණුසුම් වෙනවා. හරකුන් මැරීමට විරුද්ධ වෙන අය කිරි බීමත් නවත්වනවා නම් ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන්.

ගවයා කියන්නේ වන්දනා කරන්න අවශ්‍ය සතෙක් නෙමෙයි. සොබා දහම තුළ සත්ව ගහණයන් තුලනය කරන්නට තිබුණු ක්‍රමවේද අද නැහැ. ඒ නිසා කෘත්‍රිමව හෝ මේ ගහණයන් පාලනය කළ යුතුයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

13 comments:

  1. රටේ නිශ්පාදනයට දායකත්වයක් නොදක්වන මහල්ලන් ස්වභාවිකව විනාශ වීමේ ක්‍රියාවලියක් නැති නිසා කෘතිමව ඔවුන් ගහනය පාලනය කරමුද?

    ReplyDelete
    Replies
    1. මාතෘකාව හරක් උනාට හරක් කමෙන්ට් දමන්න එපා බං

      Delete
    2. ela kiri comment eka macho...........

      Delete
  2. කිරි ගව පාලනය අගය කරන නිර්මාංශ උදවිය අමතක කරන දෙය තමයි පිරිමි පැටවුන් ඉපදීම. අනිවාර්යයෙන්ම මේ සතුන් මස් කඩයට තමයි. නමුත් කිරි ප්‍රවර්ධනය කරන අය මෙය වුවමනාවෙන් ම මඟ හරිනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි පට්ටි ගොන්නු? උන් පිරිමි සතුන් නොවෙයි ද?

      කිරී නිෂ්පාදනයේ දී නිපදවෙන හරක් පැටවුන් ගේ මස් වලට කියන්නේ වීල් (Veal) කියායි.

      http://en.wikipedia.org/wiki/Veal

      Delete
    2. කකා ඉතින් හොදට ගෙරි මස් ගිලලා ගහණය පාලනය කරන්න සක්‍රීය දායකත්වයක් කරන බුවානෙ.....

      කකාව ගන්න පුළුවන් පට්ටි ගොනෙකුට..... එතකොට විජාතික බලවේග වලින් එන හරක් පැටව් නිසා කිරි එහෙම හොදට ඇති.....

      Delete
    3. KAKKA KAIYANNE PATTI GONEKMA THAMI
      LIYANNETH GON KATHA MA NE.

      Delete
    4. පිරිමි වසු පැටියන් බිහිවීමේ ගැටලුව තිබුනේ 1990 දශකයේදීයි. දැන් කෘෂි තාක්ෂනය බෙහෙවින් දියුණු වෙලා.බිත්තර දමන කිකිළි පැටවුන් සහ මස් පිණිස ඇති කරන බ්‍රොයිලර් පැටවුන් ගන්න තාක්ෂනය වගේ කිරි නිපදවන ගැහැණු සතුන් සහ මස් පිණිස හදන පිරිමි සතුන් වැඩිපුර ලබා ගන්නා අන්දමට අද කෘතීම සිංචන ක්‍රමය දියුණු වෙලා. 2010දි නවසීලන්තයේ සාමාන්‍ය ගොවිපලකදී මේ අද්දැකීම මා ලැබුවා.ඒ ගොවිපලේ ප්‍රධාන විධායකයා ලාංකිකයෙක්.

      Delete
    5. samare nayi arithi....

      Delete
  3. කන කෙනා කාපුදෙන් පැරා !!

    ඔබ තවමත් මාක්ස්වාදය ඔස්සේ යනවාද නැද්ද ??

    නැත්තන් එය ප්‍රජාතන්ත්‍රවාදය හා ධනවාදය සමග මිශ්‍ර කොට ඔබේම ක්‍රමවේදයක් අනුගමනය කරනවාද ??

    නොදන්න නිසා අහන්නෙ .

    ReplyDelete
  4. මම නිදහස් චින්තකයෙක්. මම මාක්ස් වාදියෙක් හෝ විරෝධියෙක් නොවෙයි.

    මම හිතන්නේ සමාජවාදයෙක් නම් අනිවාර්යයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදියෙක් විය යුතුමයි.

    මම පෙරටුගාමී පක්ෂ සංකල්පය පිළි ගන්නේ නැහැ.

    ReplyDelete
  5. ස්‍තූතියි පැහැදිලි කිරීමට පැරා..

    ReplyDelete
  6. පිස්සු හැදෙන මාතෘකා වලින් බැහැර වෙලා ලියාපු ලිපියටත් දාන්නේ පිස්සු කමෙන්ට් නේ ?.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.