2013-12-20

පහේ ශිෂ්‍යත්වයේ සැබෑ ප්‍රශ්නය කුමක් ද?

2016 සිට පහේ ශිෂ්‍යත්වය අහෝසි කර දමන බව ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. 

පහේ ශිෂ්‍යත්වය යනු ඇත්තට ම ‍මේ රටේ දරුවන්ගේ අනාගත හැඩගැස්මට බලපාන බරපතල ගැටලුවකි. එය දරුවන්ට මහා පීඩනයකි. එහෙත්, මව්පියන් දරුවන් ඒ වෙත ඇද දමන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. 

හොඳම දේ දරුවන්ට ය යන්න ඇත්තෙන් ම මහින්ද රාජපක්ෂ මහතා පවා පිළි ගනියි. රටේ හොඳම දේ තමන්ගේ දරුවන්ට ලබා දීමට ඔහු කටයුතු කර තිබෙන්නේ එහෙයිනි. ආණ්ඩුව හොඳම දේ තම ගජ මිතුරන්‍ට දෙන්නේ ද ‍ඒවා ඉන් පසු ඔවුන්ගේ දරුවන්ට දෙන්නට ය. ඉතින් අපි ද අපට පුළු පුළුවන් හැටියට හොඳම දේ දරුවන්ට දෙන්නට උත්සාහ කරන්නෙමු.

ඉහළ පෙළේ ජනප්‍රිය පාසලකින් ඇත්තට ම අපට දරුවන් වෙත ලබා දිය හැකිව තිබෙන දේ මොනවා ද? ඒවායේ අධ්‍යාපනය හොඳ මට්ටමක තිබේ ද? නැත. ඒවායේ උගන්වන ගුරුවරු රටේ හොඳම ගුරුවරු ද? නැත. මේ පාසල්වල විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරනවා ද? නැත. 

එසේ නම්, ඇත්තේ මොනවා ද? මෙම ජනප්‍රිය පාසල්වලට අංක එකට ම ‍හොඳ නමක් තිබේ. ඒ නම ඇති වී තිබෙන්නේ ඉතිහාසය හා සම්ප්‍රදායන් නිසා ය. එසේ ම, එම පාසල්වලට යම් සංස්කෘතියක් ද තිබේ. ඒවාට එන්නේ මධ්‍යම පංතික දරුවෝ ය. ඒවායේ ක්‍රීඩා රැසක් ද, වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද තිබේ. ඒ සඳහා පහසුකම් ක්ෂණිකව ඇති වූයේ නැත. ඒවා දශක ගණනාවක් තිස්සේ සම්පූර්ණ වූ ඒවා ය. 

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ම පාසල් තුන බැගින් පාසල් දහසේ ව්‍යාපෘතිය ය‍‍ටතේ සංවර්ධනය කරමින් තිබෙන බව ඇමති බන්දුල කියයි. රටේ පාසල් දස දහසක් තිබේ. ඒ අතරින් දහසක් පමණක් සංවර්ධනය කිරීම ම බරපතල විෂමතාවක් නිර්මානය කරයි. මා ජීවත් වන මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්නන්ගර ම.ම.වි, ආනන්ද ශාස්ත්‍රාලය හා ශාන්ත මේරි විද්‍යාලය මේ සඳහා නිර්දේශ විය. මෙම පාසල් තුන වනාහි මතුගම, දොඩන්ගොඩ, අගලවත්ත, පාලින්ද නුවර, වලල්ලාවිට පමණක් නොව බුලත්සිංහල, මදුරාවල යන ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාසවලින් ද ළමුන් ඇතුළත් කිරීම සඳහා තරගයක් පවතින ජනප්‍රිය පාසල් තුනකි. වලගෙදර මහා විද්‍යාලය ද මෙවැනි ප්‍රතිව්‍යූහගත කිරීමකට ලක් වෙමින් තිබෙන මුත්, එය ජනප්‍රිය පාසලක් නො වේ.

මෙම පාසල් ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ විට එය සාර්ථකව ක්‍රියාත්මක වූයේ ආනන්ද ශාස්ත්‍රාලයේ පමණි. එයට ද හේතුව වූයේ එවකට අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිව සිටි එම පාසලේ ආදි ශිෂ්‍ය නිර්මල කොතලාවලගේ බලපෑමයි. ශාන්ත මේරි ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ඉතා පටු අන්දමින් සිතන සුළු පිරිසකගේ උවමනාව මත බැහැර විය. කන්නන්ගර ම.ම.වි. ජාතික පාසල ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව තවමත් ඇදි ඇදී පවතී. කන්නන්ගරයේ ප්‍රාථමිකය එම පාසලට මීටර් 200ක් පමණ දුරින් පිහිටි අදිකාරම් විද්‍යාලයේ පිහිටුවීමට ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය කැමති නැත. ශාන්ත මේරියේ ප්‍රාථමික අංශය පිහිටුවන්නට යෝජනා වූයේ එයට මීටර් 200ක් පමණ දුරින් පිහිටි ඇතුලත්මුදලි විද්‍යාලයේ ය. ඇතුලත්මුදලි හා අදිකාරම් පාසල් නගරයේ කුඩා බිම්කඩවල පිහිටි තව දුරටත් සංවර්ධනය කළ නො හැකි පාසල් ය. දැන් ඒවා හුදකලා පාසල් ලෙස පවත්වාගෙන යන්නට තීරණය කර තිබේ. 

පාසල් ප්‍රතිව්‍යූහගත කිරීම හොඳ දෙයක් වුව ද, ඒ පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කර එය හරි හැටි ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ නැත. ර‍ජයේ යෝජනාවට සෙසු ඇමතිවරු පවා අකුල් හෙලූ හ. 

මෙම උදාහරණයේ දක්වන ලද පාසල් කිසිවක හරි හමන් පහසුකමක් නැත. අධික වර්ෂාපතනයක් සහිත මෙම ප්‍රදේශයේ එකදු පාසලක හෝ වතුර බැස යන ක්‍රීඩා පිට්ටනියක් නැත. ළිඳේ ඉන්න ගෙම්බන්ට ළිඳ ම ලෝකය වන්නා සේ මෙම පාසල්වල ඉගෙනුම ලබා හෝ නො ලැබ ආදි ශිෂ්‍යයන් වී සිටින පිරිස්වල පටු උවමනාවන්ට එම පාසල් යට වී තිබේ.

දැන් අවුරුදු පතා මෙම ප්‍රදේශයේ පාසල්වල දරුවෝ රැසක් පහේ ශිෂ්‍යත්වය සමත් වී කොළඹ, හොරණ, පානදුර, කලුතර වැනි ප්‍රදේශවල වෙනත් වඩා දියුණු පාසල්වලට ඇතුළත් වෙති. එසේම, අර මා ඉහත සඳහන් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දරුවෝ මතුගම නගරයේ පාසල්වලට ඇතුළත් වෙති. දැන් මේ දරුවන්ට 2016 සිට සිදු වන්නේ කුමක් ද?

වැඩි පහසුකම් තිබෙන ජනප්‍රිය පාසලකට ඇතුළත් වීම සඳහා පහේ ශිෂ්‍යත්වය සමත් වීමේ දක්ෂතාව ඇති දරුවන්ට හෝ තිබුණු අවස්ථාවට දැන් සිදු වන්නේ කුමක් ද? මෙතැන දක්ෂතාව මනින එක ම මිම්ම පහේ ශිෂ්‍යත්වය නම් සැබැවින් ම සමත් වීම සඳහා සීයට අසූවකටත් වඩා ලකුණු ලබා ගත යුතු විභාගය සමත් වීමේ සුදුසුකම පමණි. අපි නිදසුනක් ලෙස ක්‍රීඩාවට දක්ෂ දරුවකු ගනිමු. එවැනි දරුවකුගේ දක්ෂකම් හඳුනා ගැනීමට හෝ කිසිදු ක්‍රමවේදයක් නැත. සෞන්දර්ය දක්ෂතා ඇති දරුවන්ට තිබෙන අවස්ථා මොනවා ද? අප ඉහත නිදසුනේ දැක්වූ මතුගම ප්‍රදේශයේ කිසිදු පාසලක බටහිර සංගීතය විෂය ඉගැන්වෙන්නේ නැත. එපමණක් නොව, කිසිදු පාසලක පාපන්දු ක්‍රීඩාව හෝ නැත. තිබෙන පිළිගත් ක්‍රීඩා වන්නේ මලල ක්‍රීඩා, වොලිබෝල්, ක්‍රිකට්, නෙට්බෝල් පමණි.

ඇමති බන්දුල මේ දිනවල තම මැතිවරණ කොට්ඨාසයේ සුපිරි පාසලක් හැදීමේ ව්‍යායාමයක යෙදී සිටියි. ඇත්තෙන් ම, පවත්නා පිළිගත් ජනප්‍රිය පාසල්වලට තරගකාරී සුපිරි පාසලක් හැදීමේ ව්‍යායාමයෙන් මෑත කාලයේදී සාර්ථක වූයේ ඒ.ආර්.ටී. අලස් මහතා පමණි. එම පාසල කොළඹ හතේ නො තිබුණා නම් ඔහු ගැන ද කතා කරන්නට එතරම් දෙයක් ඉතිරි නො වනු ඇත. රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමති කාලේ ඔය වගේ ම පාසලක් හැදුවේ ය. ඒ ලබුදූව සිරිධම්ම විද්‍යාලයයි. මෙම පාසල් ප්‍රාදේශීයව ජනප්‍රිය වූ මුත් ඒවාට ජාතික තලයේ ජනප්‍රිය පාසල් සමග තරග කරන්නට බැරි බව අප තේරුම් ගත යුතු ය. අපට තිබෙන බරපතල ම ගැටලුව වන්නේ මෙවැනි සාපේක්ෂව සුළු කාර්යයන් මහා කාර්යයන් ලෙස සිතන, ඉන් එහා ගැඹුරක් නොමැති අධ්‍යාපන ඇමතිවරුන් අතට අධ්‍යාපනය පත් වීමයි.

රටේ අධ්‍යාපනික විෂමතාවන් දුරලීම සඳහා පියවර නො ගෙන මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. අධ්‍යාපනික විෂමතාවන් දුරලීමට නම් අඩු දියුණු ප්‍රදේශවලට වැඩිපුර ආධාර කළ යුතුව තිබේ. එහෙත්, වර්තමානයේදී පවතින ක්‍රමය වන්නේ දේශපාලනික වාසි වෙනුවෙන් විෂමතා වර්ධනය කිරීමයි. 

නිදසුනක් ලෙස මතුගම කේන්ද්‍ර කර ගත් ප්‍රදේශය වැවිලි කර්මාන්තයෙන් රටට විදේශ විනිමය නිෂ්පාදනය කිරීම සඳහා සුවිසල් දායකත්වයක් සපයන ප්‍ර‍දේශයකි. හම්බන්තොට දිස්ත්‍රික්කය ගතහොත්, එය වනාහි පොහොර හා වෙනත් සහනාධාර මත නඩත්තු වන, රටට අත්‍යවශ්‍ය වූ විදේශ විනිමය නිපදවීමේදී එතරම් දායකත්වයක් නො සපයන කලාපයකි. එහෙත්, සංවර්ධන ආයෝජනයේදී සිදු වී තිබෙන්නේ බරපතල විෂමතාවකි. මතුගම නගරය වනාහි පොදු වැසිකිළියක් නැති තැනකි. එහි කිසිදු පොදු අවකාශයක් නැත. 

විෂමතා අවම කිරීම වෙනුවට ලංකාවේ ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ විෂමතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයකි. පහේ ශිෂ්‍යත්ව ගැටලුව එහි එක් පැතිකඩක් පමණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

6 comments:

  1. //නිදසුනක් ලෙස මතුගම කේන්ද්‍ර කර ගත් ප්‍රදේශය වැවිලි කර්මාන්තයෙන් රටට විදේශ විනිමය නිෂ්පාදනය කිරීම සඳහා සුවිසල් දායකත්වයක් සපයන ප්‍ර‍දේශයකි. හම්බන්තොට දිස්ත්‍රික්කය ගතහොත්, එය වනාහි පොහොර හා වෙනත් සහනාධාර මත නඩත්තු වන, රටට අත්‍යවශ්‍ය වූ විදේශ විනිමය නිපදවීමේදී එතරම් දායකත්වයක් නො සපයන කලාපයකි. එහෙත්, සංවර්ධන ආයෝජනයේදී සිදු වී තිබෙන්නේ බරපතල විෂමතාවකි. මතුගම නගරය වනාහි පොදු වැසිකිළියක් නැති තැනකි. එහි කිසිදු පොදු අවකාශයක් නැත. //

    මතුගමින් විෙද්ශ විනිමය ඉපයීම සඳහා ෙදන දායකත්වය හම්බන්ෙතාටට වඩා වැඩි වුනාට මහින්දෙග ගම මතුගමයැ..?

    ReplyDelete
  2. මේ මතුගම හම්බන්තොට තර්කය නිකං අරුණී ගේ බ්ලොග් එකෙන් තග්තු එකක් වගේ දැනෙනවා.

    මතුගම අපනයන භෝග වතු අයිති කොළඹ කොම්පැනිවලටද? මතුගම ප්‍රදේශයේ ජනතාව ඒ කර්මාන්තවලට සපයන්නේ ශ්‍රමය පමණද?

    රත්නපුරේ මැණික්වලිනුත් ඒ දවස්වල වැඩි ලාබ ගත්තේ බේරුවල පැත්තේ මුදළාලි ලා යි.

    පහේ ශිෂ්‍යත්වය ගැන කියනවා නම්, ඒඛ නැති කළොත් ඒ ඒ පාසල්වලින් වෙනම විභාග තියන්න වෙනවා.

    ReplyDelete
  3. පහේ සිස්සත්වේ ඔය කිසිම ගැටලුවක් නැත.ප්‍රශ්නය ඇත්තේ සිස්සත්ත මුදල් නොදී ඉන්නේ කොහොමද කියන එකයි.ඒක නොදී ඉන්න පුලුවන් නම් ඕන විදිහකට ඒ විභාගේ තියයි.ප්‍රාදේශීය සංවර්ධනය ගැන ප්‍රශ්නය.එතනදි බලන්න වෙන්නේ ආයෝජනය කරපු මිනිසාගේ ‍තෝම්බුව නොව එම ප්‍රදේශය දක්වන හා එයින් දක්වන දායකත්වයයි.බේරුවල මැණික් මුදලාලිලා සමහරු මුස්ලිම්ය.එබැවින් අරාබියටද එම අනුග්‍රහය දැක්විය යුතු විය යුතුයි නේද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete

  4. දිනක් ඩෙරීඩා නම් දාර්ශණිකයා සිය නිවසේ හුදකලාව සිටින අවස්ථාවක ඔහු නානකාමරයේ සිට නිරුවතින් සාලයට පැමිණි අවස්ථාවක ඔහු දෙස පූසෙකු බලන් සිටිනවා දකිනවා. තමාගේ නිරුවත දෙස පූසා බලා සිටිනවා දිකන ඩෙරිඩා විලිබියට පත් වෙනවා. වෙනත් කිසිවකුත් නොමැති අවස්ථාවක පවා ඩෙරීඩා සිය නිරුවත මේ පුසා දකිනවා දැකීමෙන් කලබලයට පත් වන්නේ ඇයි? ඔහු අවිඥාණකව බියට පත් කරවන පූසාගේ බැල්ම යනු කුමක්ද? සත්‍ය වශයෙන්ම ඔහු බියට පත් වන්නේ ඔහුගේම ෆැන්ටසියටයි!

    මෙතනදී අජිත්ටත් වී ඇත්තේ එයමය.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වොත් කොහොමද? 'දිනක් ඩෙරිඩා වැසිකිළියට යමින් සිටියදී සාලය මැද්දේ ඔහුට පඩයක් ගියේ ය. සාලයේ කිසිවකු නොසිටිමුත් ඩෙරිඩා ලජ්ජාවට පත් වුණේ ය. ඔහු ලජ්ජාවට පත් වුණේ ඔහුගේ ෆැන්ටසියටයි.'

      මේ විදියට ඩෙරිඩාට හීනෙන් ගිය එකයි, අරකයි, මේකයි කිය කියා ‍මෙතැනදී අජිත්ට වී ඇත්තේ ද ඒකයි කිව්වයි කියා කිසිදු අදහසක් පළ වන්නේ නැත. ප්‍රකාශ වන්නේ ඔබට තිබෙන මොකක් හෝ රෝගයක් පමණි.

      ඩෙරිඩා ඔහේ හිටපුවාවේ. ඔබට මොකද හිතෙන්නේ? ඒක කියන්න.

      Delete
  5. පැරා ජීවත්වෙන ප්‍රදේශය පාදක‍ කොට මේ වියමන් කර ඇති සෙයකි . අධ්‍යාපනය ගැන සාකච්ඡා කිරීමට සුදුසු ගුරුවරයෙකු දෙමව්යෙකුව කෙනෙකුට වඩා සුදුස්සෙක් නැති බව මගේ හැගීමයි
    .එහෙත් දේශපාලනික කෝන්තර හිතේ තබා ගෙන අතිශයින්ම ජීවිතයට වැදගත්වු අධ්‍යාපනය ගැන සාච්ඡා කිරිම නොවටී.( මෙය ඔබට නොවේ.)
    මෙය ජාතික ප්‍රශ්නයකි. ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු ප්‍රශ්ණයකි. ඇමතිවරු ලේකම්වරු චින්තන මාරුවෙන පලියට අධ්‍යාපනය වෙනස් නොවිය යුතු වු ප්‍රතිපත්තියක තිබිය යුතුවේ.
    පාසල් දහසේ ව්‍යාපෘතිය. මම දන්නා බොහෝ තැන්වල පලාත් ඇමතියාට, කොට්ඨාශයේ වෙසෙන පාර්ලිමේන්තු මන්ත්‍රියාට උන්ගේ අනුගාමිකයන්ගේ ඕනෑ කමට විකෘතිවු ව්‍යාපාතියකි.
    මේ සදහා අධ්‍යාපනය කරවන නිලධාරීන්ගේ නිර්දේශ බොහෝ තැන්වල වෙනස් වු ‍නි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.