2013-03-31

සැබෑ ජාතිද්‍රෝහියෝ, බෙදුම්වාදියෝ කවුරුද?

ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධයන්ගේ නායකයන් බව කියන පිරිසක් මේ වන වි‍ට එක්සත් ජාතීන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, ඉන්දියාවට, තමිල්නාඩුවට ‍එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ. 

ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝක ප්‍රජාවන් ප්‍රශ්න කිරීම වැරදි බව ඔවුන්ගේ මූලික තර්කයයි. ඇමරිකන් ආණ්ඩුවට ‍ඇෆ්ගනිස්තානයට, පකිස්තානයට පවඇතුල් වී තම විදේශික සතුරන් මරන්නට අයිතියක් තිබේනම් අපේ ආණ්ඩුව අපේ රටේ මිනිසුන් තමන්නෑ විධියට මරා ගත්තාම කාටවත් අමාරුද යන්න මෙතන තිබෙන තර්කයයි. ‍ලෝකය කළ යුතුව තිබෙන්නේ ලංකා‍වේ ආණ්ඩු‍වට සිය වංචා, දූෂණ හා සංවර්ධනය ලෙස හඳුන්වනු ලබන කටයුතු රිසි සේ කරගෙන යාමට ණය, ආධාර, ආයෝජන සැපයීම, සංචාරකයන් මෙහි එවීම හා මේ රටේ දුප්පත් ගැහැනුන්ට හා පිරිමින්ට ඒ රටවල රැකියා අවස්ථා සපයාදීම පමණකැයි යන්න ආණ්ඩුවේ හා එයට සහාය දෙන ජාතිවාදී බලවේගවල චින්තනය බව පෙනේ. එසේම, ලෝකෙන් උතුම් රට යයි තමන් විසින්ම හඳුන්වා ගනු ලබන 'ශ්‍රී' ලංකාව විනාශ කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ ලෝකය කුමන්ත්‍රණය කරමින් සිටින බව ඔවුහු මේ රටේ ජනතාවට උගන්වති. චීනය, ඉරානය වැනි ර‍ටවල් කීපයක් හැර ලෝකයේම සියලු දෙනා සිංහලයන්ට විරුද්ධ බවද, දෙමළුන්ට පක්ෂ බවද ඔවුහු ප්‍රචාරය කරති. 

මෙසේ සිතීම දේශප්‍රේමය යයි කියනු ලැබේ. එසේ සිතීම මට නම් පෙනෙන්නේ මෝඩකම ලෙසයි. ඒක කිව්වාම ආණ්ඩුව හා ජාතිවාදීන් කියන්නේ මා දේශද්‍රෝහියකු, සිංහල විරෝධියකු, දෙමළ ජාතිවාදයට සේවය කරන්නකු, රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයකු, බටහිර ගැත්තකු කියාය. මොනවා කීවත්, මට නම් අච්චර මෝඩ විධියට හිතන්නට බැරිය. ලංකාවේ බහුතරය එසේ සිතන නිසා මාත් එසේ සිතිය යුතුය යන්න ම‍ට නම් අදාල නොවේ.

ලංකාව මගේ රටයි. එය ලෝකයේ මා හොඳින් දන්නා, මා අයත් වන සමීපස්ථ සමාජය ජීවත් වන ප්‍රදේශයයි. එහෙත්, එය ලෝකයේ කොටසක් මිස ලෝකයෙන් වෙන් වූ හුදකලා තැනක් නොවේ. මම ලක්වැසියකු මෙන්ම ලෝකවාසියකුද වෙමි. අපි ලෝකය සමග නිරතුරු ගනුදෙනුවක යෙදී සිටිමු. ආර්ථික වශයෙන්ද, සංස්කෘතිකවද අපි ලෝකය සමග බැඳී සිටිමු. ලෝකය නැතිව අපට පැවැත්මක් නැත. අපේ රටේ දේශපාලනය වුව ලෝක දේශපාලනයෙන් වෙන් කර ගතහැකි එකක් නොවේ.

ලෝකය අපේ සතුරකු යයි සිතීම කිසිදු අර්ථයක් ඇති අදහසක් නොවේ. අප ලෝකය සමග එක්ව ජීවත් විය යුතුය. කිසිවකුට ලෝකය සමග යුද වදින්නට උවමනානම් ඔහු හෝ ඇය නිසැකවම උන්මත්තකයෙකි. අපට ලෝකය සමග යුද වදින්නට බැරිය. ලෝකය අපට වඩා විශාලය. ලෝකය සමග තනිවම වුව මතවාදී අරගළයක යෙදුණාට කම් නැත. එහෙත්, ඒ ලෝකය යහපත් තැනක් කරන්නට හේතු වන්නේ යයි ඔබ විශ්වාස කරන දෙයක් වෙනුවෙන් පමණි.

ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධ යයි කියන ජාතිවාදීන් විසින් ලංකාව තල්ලු කරමින් සිටින්නේ ලෝකය සමග යුද්ධයකට පැටලෙන තැනකටයි. ඉන්දියාව හෝ තමිල්නාඩුව සමග තබා ජාත්‍යන්තර සහයෝගයෙන් බිහි වන ඊලාම් රාජ්‍යයක් සමග හෝ යුද්ධ කිරීමේ හැකියාවක් ලංකාවට නැත. එයට පළමු හේතුව මේ ආණ්ඩුව විසින් ආර්ථිකයේ කොන්ද කඩා තිබීමයි.

අපේ රට යුද්ධයකට පැටලු‍ණොත් ඔබට ඔබ ජීවත් වන කොළඹ කේන්ද්‍රීය දකුණ පසුගිය කාලයේ කිලිනොච්චිය තිබුණු තත්වයට පත් කරගන්නට පුළුවන් වනු ඇත. කොටි සංවිධානය වැනි ජාතිවාදී ව්‍යාපාරයක ආණ්ඩුවක් එහි පිහිටුවා ගන්නට හැකි වනු ඇත. ඔබේ ශ්‍රමයේ ඵලය ජාතිය වෙනුවෙන් යයි කියන විනාශකාරී යුද්ධයක් වෙනුවෙන් බදු ලෙස ගෙවන්නට සිදු වනවා ඇත. ඔබේ දරුවාගේ අධ්‍යාපනය පමණක් නොව ජීවිතයත් මුග්ධ යුද්ධයක් වෙනුවෙන් බිලි දෙන්නට සිදු වෙනවා ඇත. ඔබ ගොඩ නඟා ගත්, අප ගොඩනඟාගත් සියල්ල අපට අහිමි වනු ඇත. පටු අරමුණු ඉටු කර ගැනීමට මාන බලන සමාජ විරෝධී අවස්ථාවාදීහු අතළොස්සක් මේ අහිමිවීම් වීරත්වයට නඟමින් ඔබ  තව තවත් මුග්ධත්වයට තල්ලු කරනු ඇත. ඔවුහු එයින් තාවකාලික ප්‍රමෝදයක් භුක්ති විඳ ජාතියේම අනාගතයෙන් මිළ ගෙවනු ඇත. ලෝකයේ මෙවැනි සිදුවීම් සිදු වී ඇත්තේ එකක් දෙකක් නොවේ. ොටි සංවිධානය මෙවැනි සංවිධානයකට උදාහරණයකි. මෙවැනි උන්මත්තකයන් කිසිවකුට ඉතිහාසයේ සැලකිය යුතු ඉඩක් ලැබී නැත. මන්ද මානව වර්ගයා පොදුවේ ගත් කල යුක්තිය, සාධාරණත්වය ගැන සංවේදී ජීවීන් පිරිසක් වන බැවිනි.

දෙමළ ජාතිය පසුගිය තිස් වසරේ යුද්ධය අවසානයේදී භුක්ති විඳි කටුක පරාජයේ තිත්ත රස විඳ ගැනීම‍ට ඔබටත් අවශ්‍ය නම් සිංහල බෞද්ධයිනි, අද වන විට පතුරුවමින් ඇති ජාතිවාදය, ආගම්වාදය වැළඳගන්න. 

සිංහල ජාතියේත්, පොදුවේ සමස්ත මිනිස් සමාජයේත් යහපත ගැන සිතන මිනිසුනි, ජාතිවාදය හෙවත් තමන් අයත් වන සමාජ කණ්ඩායම සෙසු කණ්ඩායම්වලට වඩා උසස් නිසා සෙස්සන් තමන්ට ඉරිසියා කරන්නේය, විනාශ කිරීමට කුමන්ත්‍රණ කරන්නේය යයි සිතමින් වෛරී චේතනාවෙන් කටයුතු කිරීම අත්හැර බුද්ධිමත් හා සාධාරණ ලෙස සිතන්න. 

අපි ලෝකය සමග පැවතිය යුතුය. ලෝකයෙන් එන ඉල්ලීම වනාහි මහා කුමන්ත්‍රණයක් නො‍වේ. අපේ රටේ පුරවැසියන්ට අපේ ආණ්ඩුව සාධාරණව සැලකිය යුත්තේ ලෝකය කියන නිසා නොවේ. ඔවුන් අපේ සහෝදර ජනතාව නිසාය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අප තහවුරු කරගත යුත්තේ ලෝකය කියන නිසා නොවේ. එය අපට අවශ්‍ය නිසාය. ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා අප‍ටද මානව හිමිකම් උල්ලංඝනය කිරීමට හිමිකම තිබිය යුතුය කියා ඉල්ලීම අතිශය මුග්ධ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකි.  ඇමරිකාවට බලහත්කා‍රයෙන් කරන්නට පුළුවන් දේ අපට කරන්නට බැරි ඒ බලහත්කාරය අප සතු නැති නිසාය. බලය තිබුණත් අප කළ යුත්තේ හරි දෙය මිස ඇමරිකා ආණ්ඩුව කරන ආකාරයේ දාමරිකකම් නොවේ.

සිංහල ජාතියට, සිංහල ශ්‍රී ලංකාවට එරෙහිව ඔය කියන අන්දමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබුණානම් මේ රට මේ ලෙස පවතින්නට බැරිය. සරළව කියන්නේනම් ඇමරිකාවට ලංකාවේ ඊලමක් බිහි කරන්නට උවමනාව තිබුණානම් මෙතෙක් කල් නොකර සි‍ටියේ මන්ද? සෑම දෙයක් පසුපසම කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රචාරය කිරීමද උන්මත්තක ලක්ෂණයකි. කුමන්ත්‍රණය යන වචනය ශපාලන ශබ්දෝෂේදී දෙන්ේ භයානක අරුතකි. තමන් කියන දෙය තර්කානුකූලව පැහැදිලි කිරීඅවශ්‍යතාව කුමන්ත්‍රණ න්‍යාය විසින් බැහැර කරනු ලැේ.

සැබෑ ඊලාම්වාදීහු වන්නේ ජාතික සමගියට එරෙහිව කටයුතු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට එරෙහි වන සිංහල බෞද්ධ අන්තවාදියෝය. දෙමළ ජාතිවාදීන්ට උඩගෙඩි දෙමින් ඊලමට පාර කපන්නෝ ඔවුහුය. බෙදුණු රටක, යුද්ධයෙන් විනාශ වූ ජාතියක බලය සියතට ගන්නට උත්සාහ කරන මොවුහු ඇත්තෙන්ම නියම උන්මත්තකයෝය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

2013-03-28

ජාතිවාදී මකබාස්ලාගේ යෝජනා හා රාජපක්ෂ අටුව කඩා යූඇන්පී පුටුව හැදීම

ලංකාවේ ජාතිවාදී මකබාස්ලා දැන් කදිම යෝජනා කරමින් සිටිති. තමිල්නාඩුවේ සිට ලංකාවට එන සංචාරකයන්ට තහනමක් පැනවිය යුතු බවට හා දැනට පැමිණ සිටින තමිල්නාඩු වැසියන් පිටමං කළ යුතු බවට ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත භික්ෂුව යෝජනා කරයි.

මේ යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට නම් සමස්ත ඉන්දියාවෙන්ම එන සංචාරකයන්‍ට තහනමක් පැනවීමට සිදු වේ. මන්ද, තමිල්නාඩුව වෙනම පාස්පෝට් නිකුත් නොකරන බැවිනි. එහි තේරුම සියලු ඉන්දියානුවන් ලංකාවෙන් පිටමං කළ යුතු බවයි. ඔන්න විදේශ ප්‍රතිපත්ති වි‍ශේෂඥ හිමියනි, ක්‍රියාත්මක කර වදාරනු මැන.

තමිල්නාඩුවේ සිටින ලාංකිකයන් ආපසු ගෙන්වා ගන්නා ලෙස කරන යෝජනාව නම් ක්‍රියාත්මක කරන්නට පුළුවන. එවිට එහි සිටින බව කියන ලංකාවෙන් පළා ගොස් ඇති බව කියන කොටින් ටිකද මෙරටට ගෙන්වා ගන්නට පුළුවන. .  ‍‍‍‍‍

ගුනදාස අමරසේකර යෝජනා කරන්නේ උතුරේ පවත්වන්නට නියමිත පළාත් සභා මැතිවරණය පවත්වන්නට එපා කියාය. ගෙන එන්නේ පරම්පරාවක් වල පල්ලට යැවූ 1988 - 89 කාලයේ සිටම මතුරන පැරණි තර්කයකි. ඒ පළාත් සභා ඊලමකට පාර කපන බවයි.

වසන්ත බංඩාර යෝජනා කරන්නේ දෙමළ චිත්‍රපට බැලීමෙන් වළකින්නටයි. අපි දෙමළ චිත්‍රපට ොබලා හිටියාම තමිල්නාඩුව සෙත්තොච්චිය.

මේ අතර ජාතික සංඝ සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින්නේ ලාංකික ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් නොයවන ලෙසයි. මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අයි.පී.එල්. වෙනුවට ක්‍රීඩා කරන්නට විශාල මුදලක් ගෙවන ජාත්‍යන්තර මට්ට‍මේ ඇටබෝල, වලකජු වැනි තරගාවලියක් සංවිධානය කළා නම් ඔවුන් මෙහි රඳවා ගන්නට පුළුවන. 

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී මෙන් මේ ජාතිවාදීන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වන්නේද සැබෑ අභියෝග හමුවේය.

කොටි සංවිධානය සමූලඝාතනය කළ පමණින් ‍ලංකාව දෙකඩ වීමේ තර්ජනය අවසන් නොවන බව අපි 2009 මැයි මාසේදීම පැවසුවෙමු. අප‍ යෝජනා කළේ බලය බෙදාගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හරහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟාගත යුතු බවයි. නැතිනම් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග හරහා දෙකඩ වන්නට ඉඩ ඇති බව අපි පෙන්වා දුන්නෙමු.

යුද ජයග්‍රහණයෙන් උඩඟු වූ, අදූරදර්ශී රාජපක්ෂ ආණ්ඩුව කළේ රාජාණ්ඩුවක් පිහිටුවා ගන්නට උත්සාහ කිරීමයි. යුද අවසානය විසින් ඔවුන්ට විවර කර දුන් අවස්ථා දැන් අවසන්ය. ලංකාවට ආයෝජකයින් ආ‍වේ නැත. සංචාරක වෙළඳපොල ඉන්දියාවෙන් එහාට සැලකිය යුතු අත්දමින් පුළුල් වුණේ නැත. හම්බන්තොටට නැව් ආවේත් නැත. මත්තලට ගුවන් යානා එන්නේත් නැත. රට ණය උගුලක සිර වී ඇත. බඩු මිළ අහස උසට ඉහළ යමින් තිබේ.

එපමණක් නොව ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා වී ඇත. ඉන්දියාව විරසක වී තිබේ. තමිල්නාඩුවේ සිංහල විරෝධී උද්ඝෝෂණ උග්‍ර වී තිබේ. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකා‍වට අත පොවන්නට ඔන්න මෙන්න තත්වයකය. 

ලංකා‍ භූමියේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ සටන ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ඉදිරියෙනි. මන්ද, දැන් එය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ තලයකයි. කෙටියෙන් කීවොත් ලංකාව දෙකඩ වන්නට දැන් ඔන්න මෙන්නය. 

රාජපක්ෂ ආණ්ඩුව විසින් ලිහා දමන ලද ජාතිවාදී පිස්සු බල්ලෝ තව වැඩි දිනක් ගත වන්නට පෙර ලංකාව දෙකඩ කිරීමට අවශ්‍ය ඉතිරි කාර්යභාරයද සම්පූර්ණ කර දෙනු ඇති බව ඔවුන් විසින් ප්‍රදර්ශනය කරමින් තිබෙන නග්න මුග්ධකම විසින් පෙන්නුම් කෙරෙමින් තිබේ. 

රාජපක්ෂ පාලනය ඇත්තේ සන්ධිස්ථානයකයි. යම්දෝ, හිඳිම්දෝයි තීරණය කරන්නට ඔවුන්ට කාලය එළඹ තිබේ. ඉන්නට නම් ජාතික සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ තීරණාත්මක පියවර ගන්නට සිදු වනු ඇත. තමන් විසින් කවා, පොවා ඇතිදැඩි කරන ලද ජාතිවාදී පිස්සු බල්ලන් ගැන වගබලාගැනීමද ඔවුන්ටම භාර දිය යුතුය.

ේ උම්මත්තකයන් සමග රට භාර ගන්නට කිසිවකු ඉදිරිපත් වීමද මුග්ධකමකි. අවුල නිර්මානය කළ දුන් අය‍්‍ට අවුේ උපරිම ආතලය විඳගැනීේ අවස්ථාවද ලබා දිය යුතුය.    

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-26

සම්පත් අත්තටගේ බොදු බල සේනාවට එක්වීම හෙවත් කුණට කුණ පෑහීම

අනුග්‍රහය සම්පත් අත්තටගේ
ජාතිවාදය කියන්නේඉතාම පහසුවෙන් හදන්න පුළුවන් කෑමක් වගේ දෙයක්. ඕනෑම කෙනෙකුට මහගන්න පුළුවන් ඇඳුමක් වගේ දෙයක්. ඕනෑම පහත‍් මිනිහෙකුට වීරයෙක් වන්න පුළුවන් දැක්මක්. 

මේක හරි සරළයි. අපි අතර ඕනැ තරම් ඉන්නේ තමන් අනෙක් අයට වඩා මාර ශ්‍රේෂ්ඨ පොරක්ය කියා සිතාගෙන ඉන්න අය. පවුල්වල මේ වගේ අය ඉන්නවා. උන් අනෙක් අයගේ අවස්ථා පැහැර ගන්නවා. සැමියා බිරිඳට වඩා උසස් යයි කියා තත්වයක් ඇති කරගෙන බිරිඳව සූරා කනවා. සහෝදරයෝ තමන් උසස් යයි කියලා තත්වයක් නිර්මානය කරගෙන එක බඩවැල කඩාගෙන උපන් සහෝදරියන්ගෙන් පවුලේ දේපල ටික පැහැර ගන්නවා.

ොදු සමාජ ඉන්න මේ වගේ අය අනෙක් මිනිසුන්ව පාගනවා. ‍දේශපාලනයට යනවා. අනෙක් මිනිසුන්ව පමණක් වෙයි රටත් සූරා කනවා.

රජයේ ආයතනවල, පෞද්ගලික ආයතනවල සේවය කරන මෙවැනි අය තමන්ගෙන් සේවය ලබාගන්න එන අයට හරි සේවාවක් සපයන්නේ නැහැ. සගයන්ව කපාගෙන යන්න උත්සාහ කරනවා.

නිතරම තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරමින්, අනුන්ගේ නුගුණ ගැන කියමින් තමන්ට නිසි තැන නොලැබෙන බව කියමින් කෙඳිරිගාමින්, හරි හැටි වැඩක් පලක් නොකර ඉන්න මිනිසුන් සමාජයේදී ඔබ ඕනෑ තරම් දැක ඇති.

ඉතින් අපි සමාජ කණ්ඩායම් විධියටත් පෙළඹෙනවා, අනෙක් කණ්ඩායම්වලට වඩා උසස්ය කියා කියන්න. බංඩාරනායකලා කියනවා තමන් සේනානායකලාට වඩා උසස්ය කියලා. උඩරට අය කියනවා පහතරට අයට වඩා උසස්ය කියලා. රුහුණේ අය කියනවා තමන් රටේ වෙනත් ප්‍රදේශවල අයට වඩා දක්ෂයි කියලා. ගොවිගම අය හිතනවා කරාවේ අයට වඩා උසස්ය කියලා. බෞද්ධ අය කියනවා තමන් ක්‍රිස්තියානින්ට වඩා උසස්ය කියලා. සිංහලයෝ කියනවා තමන් දෙමළුන්ට වඩා උසස්ය කියලා. යාපනයේ දෙමළු කියනවා තමන් මඩකලපුවේ දෙමළුන්ට වඩා උසස්ය කියා. ආනන්දේ අය හිතනවා නාලන්දේ අයට වඩා තමන් උසස්ය කියා. මස් නොකන අය හිතනවා තමන් මස් කන අයට වඩා උසස්ය කියා. දුම් නොබොන, මත්පැන් නොබොන අයත් ඔය වගේ හිතනවා. ඔසරි අඳින අය හිතනවා තමන් ජීන්ස් අඳින අයට වඩා උසස්ය කියා. සුදු අය හිතනවා තමන් කළු අයට වඩා උසස්ය කියා. ගමේ අය හිතනවා තමන් නගරේ අයට වඩා උසස්ය කියා. ඉංග්‍රීසදන්න අය හිතනවා තමන් සිංහල දන්න අයට වඩා උසස්ය කියා. රූපවාහිනීවල මාධ්‍යකාරෝ හිතනවා තමන් ේඩිකාරයන්ට වඩා උසස්ය කියා. ේඩිකාරෝ හිතනවා තමන් පත්තරකාරයන්ට වඩා උසස්ය කියා. පත්තරකාරෝ හිතනවා තමන් බ්ොග්කාරයන්ට වඩා උසස්ය කියා.

අපි මේ කියූ ආකාරයට ප්‍රතිවිරුද්ධ ආකාරයට හිතන එකත් ජාතිවාදයම තමා. ඒ කියන්නේ පිරිමි තමන් උසස්ය කියන එකට එරෙහිව ගැහැනු තමන් පිරිමින්ට වඩා උසස්ය කියා හිතන එකත් ජාතිවාදයම තමයි. සිංහලු තමන් උසස්ය කියා සිතීමට ප්‍රතිචාරාත්මක ලෙස දෙමළු තමන් උසස්ය කියා හිතන එකත් අමුම අමු ජාතිවාදය තමයි. මේ අපේ වාමාංශිකයන් වරද්දා ගත්තු එක් තැනක්. සිංහල මහ ජාතිවාදයට එරෙහිව දෙමළ ජාතිවාදයට ලව් කරන්න ගිහින් තමයි, ලංකාවේ වම පස්ස බිම ඇනගත්තේ. 

මේ අතර විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබෙනවා, වාමාංශිකයෝ හිතනවා තමන් සමාජයේ සෙසු මිනිසුන්ට වඩා ප්‍රබුද්ධයි කියලා. වාමාංශික පක්ෂවල, කල්ලි කණ්ඩායම්වල සාමාජිකයෝහිතනවා තමන් සමාජයේ උදාරම මිනිස කොට්ඨාසයයි කියලා. ඒ අය යන්නේ, එන්නේ, කන්නේ, බොන්නේත් ඒ වගේ බැරෑරුම් විධියට. හැබැයි, පොඩ්ඩ එහා මෙහා වුණ හැටියේ අර ඇතුළේ ඉන්න හැබෑ සතා එළියට එනවා. ස්ත්‍රී ශරීරය, මුදල්, තනතුරු, බලය ආදී කාරණා ඔය හැබෑ සතා එළියට ගන්න පුළුවන් ඇම විධියට වැඩ කරනවා. 

මේ කාරණා ටික කිව්වේ ජාතිවාදය නැතිනම් ස්වෝත්තමවාදය සමාජයේ කොයිතරම් විසිරී, පැතිරී ගිය එකක්ද කියා පෙන්වන්නයි. ජාතිවාදයෙන් ගැලවීම කියන්නේ එක් සටන් පාඨයක් තොරොම්බල් කිරීම නොවෙයි. සමස්ත ජීවිකයම වෙනස් කරගැනීම. ඒක ගැඹුරු අරගලයක්.

මේ අදහස් ටික ලියන්න හිතුණේ බියගම ඉන්න අපේ සිසිර සහෝදරයා අපට එවූ මේ ඡායාරූපය දැකලා‍. බලන්න සමාජයේ ඉන්න අධම මිනිස්සු ජාතිවාදය සමග නියමෙට පෑහෙන හැටි. සම්පත් අත්තටගේ කියන්නේ අර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය හොරකම් කර අසු වී නඩු පැවරී සිටින කෙනා. ඔහුට කෙතරම් පහසුවෙන් සිංහල ෞද්ධ වීරයෙක් වෙන්න පුළුවන්ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-23

'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ

මහින්ද රාජපක්ෂ යනු එක් වකවානුවක ලංකාවේ සිටි ප්‍රබලම ජනාධිපතිවරයාය. 2009 ජුලි මාසයේදී කොටි සංවිධානය සමූලඝාතනය කර යුද්ධයේ ජයග්‍රහණය තහවුරු කරගත් මොහොතේ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සැබෑ වෙනසක් කළ හැකි පුද්ගලයකු විය. 

ලංකාවේ දීර්ඝ කාලීනව පැවති ගැටලු පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහුට තිබුණු අවස්ථාව ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකුට නොතිබිණි. කිසිවකුට ඔහුගේ ක්‍රියාමාර්ගවලට එරෙහි වන්නට තරම් ශක්තියක් තිබුණේ නැත.  ඔහු සිංහල ජනතාව අතර එතරම්ම ජනප්‍රිය විය. ඔහුගේ අදහස් රට වෙනුවෙන් වූ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අදහස් ලෙස ජනතාව සිතූහ.

විශේෂයෙන්ම සිංහල ජාතිවාදී බලවේගවලට ඔහුට අභියෝග කිරීමේ හැකියාවක් නොතිබුණු සංදර්භයක් තුළ රාජපක්ෂට ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ ප්‍රබල ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේ ශක්තිය තිබිණි. ජාතීන් අතර සංහිඳියාව, සාමය ගොඩනැගීම සඳහා පියවර ගැනීම ඒ අතරින් ප්‍රමුඛ විය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යාමේ හැකියාව ඔහුට තිබිණි. ඔහු එය කළේ නැත.

ඔහු ඒ වෙනුවට කළේ මහාරාජ මානසිකත්වයක් නිර්මානය කරගෙන ඒකාධිපතිවාදයක් හා පවුල්වාදී පාලනයක් ගොඩනැඟීමයි. 

යුද්ධයේ අවසන් භාගයේදී සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් කිසිවකුට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් ඒවා නොවේ. කොටි සංවිධානයේද බරපතල දේශපාලන වැරදි හේතුවෙන් සිදු වූ ඒ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ මතකය අකා මකා දැමිය හැකිව තිබුණේ සංහිඳියාව ගොඩනැඟීම සඳහා වූ පියවර ඔස්සේය.යුද්ධයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවිය හැකිව තිබිණි. අවතැන් වූවන්ට යළි ජීවිත ගොඩනඟාගැනීම සඳහා උදව් කළ හැකිව තිබිණි. බලය බෙදාගැනීම ඔස්සේ පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය සඳහා ඒ ප්‍රදේශවල ජනතාවගේ සහයෝගය දිනා ගත හැකිව තිබිණි. 

ඒ වෙනුවට සිදු වුණේ දේශපාලන හා ආර්ථික පාලන බලතල වැඩි වැඩියෙන් රාජපක්ෂ පවුල අත‍ට ගනිමින් මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී මහා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවලට වැඩි අවධානයක් යොමු කිරීමයි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ කොන්දේසි මත පිරිනමා තිබුණු මෘදු ණය හා ආධාර වෙනුවට විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළී ණය ලබාගනිමින් ලංකාව දරුණු මුල්‍ය අර්බුදයක් වෙතද තල්ලු කර දමන ලදී.

ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නිර්මානාත්මක ක්‍රියාමාර්ග ගැනීමෙහිලා ඕනෑතරම් අවස්ථාව තිබුණුමුත් රාජපක්ෂ පවුල් පාලනය සිය පවුල තුළ රට සිර කරමින් ආර්ථිකය පරිහාණිය දෙසට යොමු කළේය. යුද්ධය අවසන් වූ පසු රජය විසින් තොරොම්බල් කරන ලද ප්‍රධාන ආර්ථික උපායමාර්ගයක් වූ ඍජු විදේශ ආයෝජන පිමි පනිමින් ඉහළ යන තත්වයක් නිර්මානය කිරීම පිළිබඳ දැන් ඔවුන් කතා කරන්නේම නැත. ඍජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නිර්මානය කර දීමට රාජපක්ෂ පාලනය අසමත් විය. එපමණක් නොව, සංචාරක වෙළඳපොළ පවා වැඩි ආදායම් ලබාදෙන වෙළඳපොළවල් වෙත යොමු කිරීමට ආණ්ඩුව අසමත් විය. ඒ වෙනුවට ආර්ථික ප්‍රතිලාභ අවම සංචාරක වෙළඳපොළවල් වෙතින් එන සංචාරකයන්‍‍‍්‍ ගැන ඉලක්කම් විජ්ජා පෙන්වීමේ වැඩපිළිවෙලකට ආණ්ඩුව යොමු වී ඇත.

යුද්ධය නිමා වී සිව් වසරක් ගෙවී යද්දීත් ලංකාව තවමත් මැද පෙරදිග වහල් සේවයට යන කාන්තාවන් විසින් රටට එවන මුදල් මත රඳා පවතින ලජ්ජා සහගත ආර්ථිකයකි. 

යුද්ධයේ අවසානය විසින් ලංකාව ඉදිරිපිට විවර කරන ලද අවස්ථාව නාස්ති වී හමාරය. 

සිඟන්නාගේ තුවාලය පැසවන විට එයින් ඇති වන දුකම සිය ජීවනෝපාය කරගැනීමට ඔහු පෙළඹෙන්නා සේ ජනතා අසහනයම සිය පැවැත්මේ ක්‍රමෝපාය බවට පත් කරගැනීම රාජපක්ෂ පාලනයේ දේශපාලන උපායමාර්ගය වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් තහවුරු කිරීම පිණිස එල්ල වන ජාත්‍යන්තර පීඩනය සිය අභ්‍යන්තර ස්ථාවරත්වය ගොඩනඟාගැනීමට යොදා ගැනීම ලෝවැඩසඟරාවේ 'ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපතක් යයි කකුළුව දිය කෙළියේ' යන පද්‍යය සිහිගන්වයි. 

සිය බලය රැක ගැනීම සඳහා රාජපක්ෂ පාලනය විසින් වර්තමානයේදී දිරි ගන්වනු ලබන සිංහල බෞද්ධ නාසිවාදය වැඩිම හානිය කරන්නේ දෙමළ හෝ මුස්ලිම් ජාතීන්ට නොව සිංහල ජාතියටමයි.

දැන් ඉතින් මේ රටේ බුද්ධිමත් ජනතාව 'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-22

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් පසු ලංකාව

ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් 32ක් විසින් ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කින් 46ක් ඡන්ද විමසීමට සහභාගි වූ අතර එයින් 25ක් පක්ෂවද 13ක් විපක්ෂවද ඡන්දය දෙද්දී 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දුන්නද, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ සැර බාල කිරීමට ඉන්දියාව කටයුතු කළේය. මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් උග්‍ර මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලන රැල්ලකට උපකාර කරමින් සිටියදී පවා ලංකාවට පක්ෂව ඡන්දය දුන් හා ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර මුස්ලිම් රටවල් රැසක් තිබීම කැපී පෙනෙන තත්වයකි.

රාජපක්ෂ ආණඩුව විසින් උත්තේජනය කර තිබෙන මුස්ලිම් විරෝධී රැල්ල ආපසු නොහැරවුවහොත් මීළඟ සැසිවාරය වන විට මේ සහයෝගය නැති වී යන්නට පුළුවන. මුස්ලිම් විරෝධී දේශපාලන රැල්ල මෙහෙයවන බොදු බල සේනාව හසුරුවන යතුරක් දැන් ආරක්ෂක ලේකම්වරයා අත ඇති නිසා අවශ්‍ය නම් එය පාලනය කරන්නට බැරිකමක්ද නැත. එහෙත්, පිස්සු බල්ලන් ලිහා දමන තරම් ලහෙසියෙන් බැඳ දැමිය නොහැකිය.

කවුරු මොනවා කීවත්, මෙවර සම්මත වූ යෝජනවෙන්ද ලංකාවට සිදු වන කිසිවක් නැත. එය ගිය අවුරුද්දේ යෝජනාව තව අඟලකින් පමණ ඉදිරියට ගෙන ගිය එකකි. එහි මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ස්වාධීන පරීක්ණයක් සඳහා පියවර නැත. එහි තවමත් වගකීම පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවටයි. යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝනය වීම් ආදිය පිළිබඳ යම් ඇල්මැරුණු ක්‍රියාමාර්ග ගෙන ඇඟ බේරා ගැනීමට තවමත් ආණ්ඩුවට අවස්ථාව තිබේ.

එහෙත්, මෙහි තිබෙන මූලික ගැටලුව වන්නේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර වීරෝධී, පවුල්වාදී, ප්‍රතිගාමී දෘෂ්ටියයි. ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ අයිතිය රැකදීමට ආණ්ඩුව අසමත් වන්නේ ඒ නිසාය. මානව හිමිකම් උල්ලංඝනයන්, ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ජාතිවාදය, ආගම්වාදය හා ප්‍රචණ්ඩත්වය ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලනයේ අතිශය වැදගත් අංගෝපාංග බවට පත් වී තිබෙන තත්වයක් තුළ සරළ ක්‍රියාමාර්ගයක් හෝ ගැනීමේ සමත්කමක් ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නොහැකිය.

රාජපක්ෂ පවුල් පාලනයෙන් අපේක්ෂා කළ හැක්කේ රට තවත් ජාත්‍යන්තර වශයෙන් හුදකලා කර දමමින් මෙම තත්වයද අභ්‍යන්තරව බලය රැක ගැනීම සඳහා පාවිච්චි කරන තත්වයකි. අවුරුද්දෙන් අවුරුද්ද බෙල්ලේ ගැටය මඳකින් තද වූවාට රාජපක්ෂ පවුල එය ගණන් නොගෙන සිය ප්‍රමෝදය උපරිමයෙන් භුක්ති විඳින්නට උත්සාහ කරමින් සිටියි.

එහෙත්, ඉන්දියාවෙන් එන පීඩනය පහසු වන්නේ නැත. තමිල්නාඩුවේ පීඩනය උත්සන්න වන විට 2014 මහ මැතිවරණයකට යන්නට සිටින ඉන්දියවේ මධ්‍යම ආණ්ඩුවට ලංකාව සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදු වනු නියතය. අනෙක් පැත්තෙන් ලංකාවේ වෙනසක් අපේක්ෂා කරන ජාත්‍යන්තර බලවේග මැදිහත් වන තැන වනු ඇත්තේද තමිල්නාඩුවයි.

අඩු තරමේ උතුරු පළාත් සභාව වෙනුවෙන් හෝ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව ආණ්ඩුවට තිබේද? සාධාරණ මැතිවරණයකින් නියත වශයෙන්ම බලයට එන දෙමළ ජාතික සන්ධානය සමග එවිට ආණ්ඩුවට ලෙහෙසි වන්නේ නැත.තමන්ගේ පවුලෙන් පිටට කැබිනට් මණ්ඩලය සමග හෝ බලය බෙදා ගන්නට අකැමැති පාලනයක් දෙමළ ජාතික සන්ධානය සමග බලය බෙදා ගනීවි යයි කිසි සේත්ම අපේක්ෂා කළ නොහැකිය.

මෙවැනි දුෂ්කර අවස්ථාවන්හිදී බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග වැනි පාලකයන්ට තිබුණු නාගරික දෘෂ්ටිය හෝ නැති රාජපක්ෂ පවුල මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද?

ආණ්ඩුව අභිමුව දැන් තිබෙන ආසන්න අභියෝග වන්නේ ලංකාව ගැන විමර්ශනය කිරීමට මෙහි පැමිණීමට අවසර ඉල්ලා ඇති ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න හා ලබන අවුරුද්දේ කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර උද්ඝෝෂණයට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

ලංකාවේ ජනතාවට නම් රාජපක්ෂ ආණ්ඩුවේ උගුලෙන් ගැලවෙන තෙක් සාමය, සංහිඳියාව හා සංවර්ධනයේ ප්‍රතිලාභ අපේක්ෂා කරළ නොහැකිය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-17

හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

බොදු බල සේනාව හලාල් සහතික ඉවත් කිරීම ආරක්ෂක ලේකම්වරයා හරහා පොලිසියට භාර දී  දැන් අලුත් දිශාවකට යොමු වෙමින් සිටියි.
මාර්තු 17දා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා රැළියේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසූ පරිදි ඔවුන් මීළඟට අත ගසන්නට යන්නේ කූරගලින් මුස්ලිම් පල්ලියක් ඉවත් කිරීමේ ව්‍යාපෘතියකටයි. බලහත්කාරයෙන්, හිංසාවෙන් එය ඉවත් කර අවිහිංසාවාදී බුදු හිමියන්ගේ තෙමඟුල යෙදෙන දින කූරගල වන්දනාවේ යන්නට මෙම භික්ෂුව බෞද්ධයන්ට ආරාධනා කළේය. 

කූරගල වනාහි බලංගොඩ පැත්තේ වන මැද පිහිටි ගල්ලෙනක පිහිටුවන ලද පැරණි මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලිය බොහෝ ඈත කලක සිට පවතින එකක් බවට සාක්ෂි තිබේ. ඒ හා ආශ්‍රිත අභිචාර හා පුරාවෘත්ත රැසක් තිබේ. ශ්‍රීපාදය දක්වා ගමන් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇතැයි සිතිය හැකි මෙම ස්ථානයට වසර දහසකට පමණ පෙර ඉස්ලාම් ශාන්තුවරයකු වන ජයිලානි පැමිණි බවට ඇති විශ්වාසය මත මෙම පල්ලිය ඔහුගේ නමින් නම් කර තිබේ. එසේම මුස්ලිම් වෙළෙන්දෝ ක්‍රිස්තු පූර්ව සමයේ සිටම මැණික් සොයා සබරගමුවට එන්නට ඇතැයි සිතිය හැකිය. ‍දහවන සියවසට අයත් මුස්ලිම් ජාතිකයකුගේ සෙහොන් ගලක් 1922දී මෙතැනින් සොයාගෙන ඇති බව වාර්තා වේ. මුස්ලිම් දේශ ගවේශකයකු වන ඉබ්න් බතූතාගේ ලේඛනවලද මෙම ස්ථානය යයි අනුමාන කළ හැකි තැනක් ගැන සඳහනක් ඇති බවද කියැවේ.

මෙම ස්ථානයේ කටාරම් කොටන ලද ලෙන් විහාරයක් අතීතයේ තිබූ බවට සාධක, චෙත්‍යයක නටබුන් හා සෙල්ලිපි වැනි පුරාවස්තු රැසක්ද තිබේ. 

අපි මෙම ස්ථානය දැක හෝ ඒ පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක් කර නැත. එය අපට අදාළද නැත. මුලින් උපන්නේ කිකිළිද, බිත්තරයද වැනි ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට අපට අවශ්‍ය නැත. අප සිටින ස්ථාවරය වන්නේ මෙතැන වර්තමානය දක්වා අඛන්ඩව පැවති මුස්ලිම් සංස්කෘතික උරුමයක් ඇති බවයි. මෙහි ඇති පැරණි බෞද්ධ ඉතිහාසයද අපි ප්‍රතික්ෂේප නොකරමු.

එහෙත්, ‍පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් සාධක මිස මෙම ස්ථානයේ සැලකිය යුතු තරම් වැදගත්, අඛන්ඩ බෞද්ධ සංස්කෘතික උරුමයක් පැවති බවක් නොපෙනේ. එසේ තිබුණත්, අපගේ ස්ථාවරය වන්නේ මුස්ලිමුන් අපේ රටේම, අපේ සහෝදර ජාතියක් නිසා, ජාතික සහජීවනය වෙනුවෙන් සිංහල බෞද්ධයෝ මුස්ලිමුන්ගේ උරුමයට ගරු කර ඔවුන්ට සිය කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.මන්ද, මෙතැන අනුරාධපුර පූජා නගරය තරම් බෞද්ධයන්ට අතිශය වැදගත් ස්ථානයක් නොවන නිසාය.

අතීතය යනු හැමවිටම උරුමය පිළිබඳ යුක්ති සහගත සාධකයක් වන්නේ නැත. අප අතීතය විග්‍රහ කරන්නේද වර්තමාන අවශ්‍යතා අනුවයි. අතීතයට වඩා වැදගත් වන්නේ වර්තමානය බවට එම කරුණම දෙස් දෙයි.

වර්තමානයේ සිංහලයෝ කටයුතු කළ යුත්තේ සිංහල ජාතියේ උන්නතිය වෙනුවෙන් මිස විනාශය වෙනුවෙන් නොවේ. බලය හා ධනය වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය අවුස්සන පටු මතධාරීන් පිරිසක් විසින් මේ කරමින් ඉන්නේ ජාතියේ විනාශය මතින් සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගැනීමේ ව්‍යාපෘතියකි. ඔවුන් ‍ඒ විනාශය සැලසුම් කර තිබෙන්නේ ඉතිහාසයක් පුරා ලෝකය සමග ඉතා යහපත් සම්බන්ධයක් තිබූ, ඒ ඔස්සේ පෝෂණය වූ සංස්කෘතියක් හිමි සිංහල ජාතිය ජාත්‍යන්තර වශයෙන් හුදකලා කර දැමීමෙනි.

සිංහලයිනි, ජාතික සමගියේ නාමයෙන් කූරගල අවුලට ඉඩ නොදෙන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ජාතිවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව? පුහු විරුවන්ට රණ විරුවන්ව අභිමුඛ වෙයිද?

DefenseNet විසින් හෙළිදරව් කර තිබුණු ලියුමක්
DefenceNet බ්ලොගය 2009 ජුලි මාසයට පෙර කාලයේදී යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභූ වෘත්තික ඇසකින් ඉදිරිපත් කරන ලද තොරතුරු හා විශ්ලේෂණ කියවන්න  මහත් සේ උපකාරී වුණා. 

2009න් පසු එහි අප්ඩේට් වීම නවතා දමා තිබුණත්, එහි ෆීඩ්ස් සඳහා දායක වී සිටි අයට අද උදේ වනවිට එහි අලුත් අප්ඩේට් එකක් ලැබී තිබුණා.

කියන විධියට ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ පෙළේ වෘත්තිකයන් පිරිසක් විසින් කරනු ලබන මේ බ්ලොගය 2009න් පසු යාවත්කාලීන නොවුණේ කොටි සංවිධානයේ ජාතිවාදයට එරෙහිව කළ යුද්ධය අවසන් වූ නිසා. දැන් ඔවුන් යළි පැමිණ තිබෙන්නේ ජාතිවාදයට එරෙහි අලුත් යුද්ධයක් අවශ්‍යයි කියමින්. 

කොටි සංවිධානයට එරෙහි යුද්ධය මානුෂික මෙහෙයුමක් යයි මේ බ්ලොගයෙන් කළ හඳුන්වාදීම අපි පිළි ගත්තේ නැති වුණාට එමගින් සපයන ලද තොරතුරු ඉතා වැදගත් වුණා. 

කෙසේ වෙතත්, ඔවුන් පටන් ගන්න යන බව කියන අලුත් මෙහෙයුම ජාතිවාදයට එරෙහි බවයි කියවෙන්නේ. විශේෂයෙන්ම හමුදා ජයග්‍රහණ තමන්ගේ ජයග්‍රහණ සේ හුවා දක්වමින් සුළු ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව මතු වී තිබෙන අලුත් වීරයන්ට එරෙහිවයි, මේ මෙහෙයුම. 

අප මෙන්ම ඔවුන්ද මේ අලුත් රැල්ල ත්‍රස්තවාදයක් ලෙසින් හඳුනාගන්නවා. ඔවුන් ඒ ත්‍රස්තවාදයට එරෙහිව මිලිටරි මැදිහත්වීමක් කරන බවයි ඇඟවෙන්නේ. 

බොදු බල සේනා ත්‍රස්තවාදයට රජයේ ඉහළම පෙළේ අනුග්‍රහය ලැබෙන මේ වෙලාවේ මේ සංවර්ධනය කුතුහලය දනවන එකක්. කොහොම වුණත්, කොටි සංවිධානයට එරෙහි යුද්ධය මෙහෙයවපු බලවේග අතර සිටි ප්‍රබුද්ධ කොටස් පවත්නා තත්වය ගැන අවදි වන එක සාධනීය කාරණයක්.

ඉතින් ඔන්න අන්තර්ජාලයේත්, ගම් නගරවලත් සැරිසරන අපේ සිංහල බෞද්ධ වීරයන්ට පුළුවන් මේ අභියෝගය භාරගන්න. 

කියවන්න: DefenceNet ReArmed – War Against Racism
 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-16

බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී මා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට මා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට මට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි.

සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද? 

රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්ද? නැතිනම් මෙම සන්නිවේදන කාර්යයේ යම් ගැටලුවක් තිබේද?

අපි මෙම බ්ලොගය ආරම්භයේ සිට පමණක් නොව ඊට බොහෝ කලකට පෙර සිටම පාහේ  සාකච්ඡාමය දේශපාලන විසඳුමක් හරහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කර ඇත. බලය බෙදාගැනීමේ ඉල්ලීම බටහිර හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ ව්‍යාපෘතියක් නොව දේශපාලන අරගලයක් විය යුතු බව අපි පුන පුනා කියන්නේ මේ රටේ එවැනි පැහැදිලි දේශපාලනයක් නැති නිසාවෙනි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂ මෙහිදී අනුගමනය කරන්නේ කුහකවතකි.

ජනතා විමුක්ති පෙරමුණ හා එයින් වෙන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෑත යුගයේදී ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි වාමාංශය දෙසට තල්ලු වීමක් සිදු වී තිබේ. වසර කීපයකට ඉහතදී දැඩි ලෙස සිංහල ජාතිවාදය සමග බැඳී සිටි මෙම දේශපාලන ධාරාව එසේ චලනය වීම සමාජ ජයග්‍රහණයකි. එහෙත්, තවමත්, ඔවුහු බලය බෙදාගැනීම නම් සංයුක්ත කාරණය පිළිබඳ පැහැදිලි ස්ථාවර ප්‍රකාශ නොකරති.

'ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම සමාජවාදයයි' යන මාක්ස්වාදී යයි ඔවුන් සිතන න්‍යායක් තුළ සිටිමින් ඔවුහු ප්‍රශ්නය මගහරිති. අප මේ සමාජවාදය ගැන මූලිකවම එල්ල කරන විවේචනය වන්නේ ඔවුන් සමාජවාදය යයි කියන නොපැහැදිලි දෙය මනෝරාජික අදහසක් හෝ පරිකල්පනයක් හෝ ෆැන්ටසියක්ය යන්නයි.

වාමාංශික අනෙක් අන්තය වන්නේ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම යනු වෙනම ජාතික රාජ්‍යයක් බිහි කර ගැනීමට දෙමළ ජනයාට තිබෙන අයිතියයි යන න්‍යායික තර්කනය මත පිහිටා සිටින බලවේගයයි. මේ මතය යම් ප්‍රබුද්ධ වාම අදහසක් ලෙස පිළිගැනීමට ලක් වී තිබේ. එළිපිට ප්‍රකාශ නොකළත්, මේ අදහස න්‍යායිකව පිළිගන්නා හෝ එම මතයේ බලපෑමට ලක් වූ වාමාංශිකයෝ කොටසක් ඒ අනුව මාධ්‍ය හැසිරවීම කරති. අප මෙහිදී නිදසුන් කර ගන්නා මාධ්‍ය බොහොමයක මෙම ලක්ෂණය තිබේ.

ජනමාධ්‍ය සිංහල හැඟීම් ගැන සැලකිලිමත් විය යුතු බව අප කියන්නේ මෙම ආස්ථානයේ පිහිටා සිටින ජනමාධ්‍යකරුවන් බොහෝදෙනෙක් අතින් එය සිදු නොවන නිසාය. පුවත් තෝරාගැනීම, රචනා කිරීම හා විශ්ලේෂණය කිරීම ඔස්සේ ඔවුන්ගෙන් සිදුවන සමස්ත ප්‍රකාශනය ඊලාම් රාජ්‍යයකට පක්ෂපාතී එකක් ලෙස සිංහල සමාජයට පෙනී යාම ඔවුන් හමුවේ තිබෙන ප්‍රධාන සන්නිවේදන බාධකයකි.

එක් පැත්තකින් ඔවුන් වෙතින් ප්‍රකාශ වන්නේ ඔවුන් සිටින ස්ථාවරය මිස අන් යමක් නොවේ. ඒ අනුව මෙය දෘෂ්ටිවාදීමය ප්‍රශ්නයක් බවට පත් වේ. අප සමග එකී අධිපති මාධ්‍යකරුවා කළ කෙටි කතාබහේදී ඔහු ඇසුවේ මා කියන දෙය දෘෂ්ටිවාදීමය තලයකින් නොව එදිනෙදා කටයුතුවලට අදාළව විග්‍රහ කරන්නේ කෙසේද යන්නයි. දෘෂ්ටිවාදීමය ගැටලුවක් මත පදනම් වන දෙයක් එහි මතුපිට ප්‍රකාශනය වන එදිනෙදා පුවත් විකාශනය ඔස්සේ පමණක් විග්‍රහ කළ නොහැකිය.

මෙම දෘෂ්ටිවාදී ගැටලුවෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාධ්‍ය ධාරා‍වේ සිටින සහෝදරවරු සිය මතය පිළිගන්නා සීමිත පාඨක ප්‍රජාවක් සමග පමණක් කටයුතු කරන තත්වයට පත් වී සිටිති. පොදු පාඨක සමාජයෙන් බැහැර වෙති. තමන්ගේ මතය පිළිගන්නා පිරිස සමග පමණක් කටයුතු කිරීම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ට බණ කියා දීම වැනි දෙයකි. මෙම රාමුව තුළ අනන්‍යතා ගොඩනඟාගනිමින්, හිතමිතුරු කව තුළ ජනප්‍රිය වෙමින්, වීරත්වයට පත්වීම එතරම් අමාරු නැත. එහෙත්, සියලු සුබවාදිත්වයන් අකාමකා දමමින් පොදු සමා‍ජයේ ගොඩනැඟෙමින් තිබෙන අගතියේ මහා ප්‍රවාහයට එරෙහිව මැදිහත්වීම් කරන්නට නම් මේ රාමුවෙන් පිටතට ආ යුතුය. ජාතිවාදයෙන් අන්ධ වූ සමාජයකට ඇස් තැබීම සඳහා නව ක්‍රම සොයා යා යුතුය. තනි පුද්ගල චූල මාධ්‍යකරුවකු ලෙස මෙම රචකයා කරන්නට උත්සාහ කරන්නේ එයයි. අපි මෙම බ්ලොගය හරහා එදිනෙදා සිදුවීම් විග්‍රහ කරන්නේ ඉතා පැහැදිලිවම මෙම ස්ථාවරයේ සිටයි.

සිංහල හැඟීම් තුළ ‍ඊලාම් සංකල්පය පිළිබඳ සුබවාදී හැඟීමක් ඇතිකිරීම කිසි කලෙක කළ නොහැක්කකි. මන්ද, නූතන දෙමළ ඊලාම්වාදය ගොඩනැඟෙන්නේම සිංහල විරෝධී ආස්ථානයකින් වීමයි. මෙහි කිසියම් සාධාරණ ප්‍රතිචාරාත්මක ලක්ෂණයක් තිබේ. මන්ද සිංහල ජාතිකවාදයද දෙමළ විරෝධී ලක්ෂණ කැටි කරගත් එකක් බැවිනි. එහෙත්, ඊලාම්වාදයේ පදනම දෙමළ ජාතිවාදයයි. ස්වෝත්තමවාදයයි. සම්මුති විරහිත කොටි සංවිධානය ‍ස්වයං විනාශකාරී ලෙස මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් කළ නිදසුනකි. 

එක් ජාතිවාදයකට එරෙහිව තවත් ජාතිවාදයකට පක්ෂ වීම ඉතිහාසය පුරාම වාමාංශිකයන් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි කළ වැරැද්දකි. සිංහල මහ ජාතිවාදයට එරෙහි නිසා දෙමළ ජාතිවාදයට අප පක්ෂ විය යුතු නැත. ඇමරිකානු හෝ බටහිර ජාතිවාදයට එරෙහි වන පළියට අප මුස්ලිම් අන්තවාදයට පක්ෂ විය යුතු නැත. බටහිර විද්‍යාව විවේචනය කළ පළියට ජ්‍යෝතිෂඥයන්ට, හොර වෙදුන්ට හා වෙනත් හණමිටිකාරයන්ට පක්ෂ විය යුතු නැත.

න්‍යායික තලයේදීද ස්වයං නිර්ණය හිමිකම යනු වෙන්වීමේ අයිතියය යන තර්කය අපි අභියෝගයට ලක් කරමු. ස්වයං නිර්ණය හිමිකම යනු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරගලයක් මිස අලුත් ජාතික රාජ්‍ය බිහිකිරීම සඳහා වූ අරගලයක් නොවේ. ලෙනින් ජීවත් වූ සමයේ රාජ්‍ය ව්‍යූහයන් හා අද පවත්නා ලෝක දේශපාලන ව්‍යූහය අතර වෙනස්කම් තිබේ. ජාතික රාජ්‍ය කියා අද කියන්නේ ගෝලීය ආර්ථිකය තුළ ස්ථානගත වූ ආර්ථිකයන් පාලනය කරන දෘෂ්ටිමය වශයෙන් ජාතිවාදී වූ ආණ්ඩු හා දේශපාලන සමාජයි. ලංකාවේ සිංහල ජාතිවාදී රාජපක්ෂ ආණ්ඩුව මේ සඳහා හොඳම නිදසුනකි. ලංකාවේ උතුරේ එවැනි ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා අප උපකාර කළ යුත්තේ කුමටද? අප කළ යුත්තේ දකුණේ පිහිටුවා ඇති එවැනි වූ රාජ්‍යය බිඳ දැමීමයි. ලංකාව හෝ හැකිනම් දකුණු ආසියාවම හෝ විෂයෙහි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අරගල කිරීමයි.

අප සාකච්ඡාවට භාජනය කළ මාධ්‍ය භාවිතාව තුළ තිබෙන ගැටලුව යළි සංයුක්ත කර ගතහොත් මෙසේය. සිද්ධි පුවත් බවට පත් කිරීමේදී, ඒ පුවත් රචනයේදී, ඉදිරිපත් කිරීමේදී හා විශ්ලේෂණයේදී මාධ්‍යකරුවන්ගේ දෘෂ්ටිමය ආස්ථානයන් ප්‍රකාශයට පත් වීම නොවැළැක්විය හැකිය. දෙපැත්තම ආවරණය කරනවාය යන වෘත්තික ගුණය හේතුවෙන් එය වැළැක්වෙන්නේ නැත.

ජාතීන්ගේ ප්‍රශ්නය වැනි සංකීර්ණ ප්‍රශ්නයකදී තීරණාත්මක වූ ජනමාධ්‍ය මැදිහත්වීම්වලට අදාළව දෘෂ්ටිවාදීමය සාධක ඉතා වැදගත් බව මෙහිදී අපට පැමිණිය හැකි නිගමනයයි. එමගින් නැවතත් අවධාරණය වන්නේ දෘෂ්ටිවාදීමය සංවාදය ඉදිරියට ගෙන යාමේ වැදගත්කමයි. සිංහල දේශපාලන සමාජය ජාතිවාදයේ මහා ප්‍රවාහයකට යට වනු සීමිත ප්‍රජාවක් ඇසුරේ සිටිමින් නරඹමින් තීරණාත්මක මැදිහත්වීමක් නොකර සිටින එක නොවේ. මැදිහත්වීමේ ඵලදායිතාව ඉහළ නංවාගැනීම සඳහා නව මං සෙවීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී රචකයා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට රචකයා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට රචකයාට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි.

සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද? 

රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්ද? නැතිනම් මෙම සන්නිවේදන කාර්යයේ යම් ගැටලුවක් තිබේද?

අපි මෙම බ්ලොගය ආරම්භයේ සිට පමණක් නොව ඊට බොහෝ කලකට පෙර සිටම පාහේ  සාකච්ඡාමය දේශපාලන විසඳුමක් හරහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කර ඇත. බලය බෙදාගැනීමේ ඉල්ලීම බටහිර හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ ව්‍යාපෘතියක් නොව දේශපාලන අරගලයක් විය යුතු බව අපි පුන පුනා කියන්නේ මේ රටේ එවැනි පැහැදිලි දේශපාලනයක් නැති නිසාවෙනි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂ මෙහිදී අනුගමනය කරන්නේ කුහකවතකි.

ජනතා විමුක්ති පෙරමුණ හා එයින් වෙන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෑත යුගයේදී ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි වාමාංශය දෙසට තල්ලු වීමක් සිදු වී තිබේ. වසර කීපයකට ඉහතදී දැඩි ලෙස සිංහල ජාතිවාදය සමග බැඳී සිටි මෙම දේශපාලන ධාරාව එසේ චලනය වීම සමාජ ජයග්‍රහණයකි. එහෙත්, තවමත්, ඔවුහු බලය බෙදාගැනීම නම් සංයුක්ත කාරණය පිළිබඳ පැහැදිලි ස්ථාවර ප්‍රකාශ නොකරති.

'ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම සමාජවාදයයි' යන මාක්ස්වාදී යයි ඔවුන් සිතන න්‍යායක් තුළ සිටිමින් ඔවුහු ප්‍රශ්නය මගහරිති. අප මේ සමාජවාදය ගැන මූලිකවම එල්ල කරන විවේචනය වන්නේ ඔවුන් සමාජවාදය යයි කියන නොපැහැදිලි දෙය මනෝරාජික අදහසක් හෝ පරිකල්පනයක් හෝ ෆැන්ටසියක්ය යන්නයි.

වාමාංශික අනෙක් අන්තය වන්නේ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම යනු වෙනම ජාතික රාජ්‍යයක් බිහි කර ගැනීමට දෙමළ ජනයාට තිබෙන අයිතියයි යන න්‍යායික තර්කනය මත පිහිටා සිටින බලවේගයයි. මේ මතය යම් ප්‍රබුද්ධ වාම අදහසක් ලෙස පිළිගැනීමට ලක් වී තිබේ. එළිපිට ප්‍රකාශ නොකළත්, මේ අදහස න්‍යායිකව පිළිගන්නා හෝ එම මතයේ බලපෑමට ලක් වූ වාමාංශිකයෝ කොටසක් ඒ අනුව මාධ්‍ය හැසිරවීම කරති. අප මෙහිදී නිදසුන් කර ගන්නා මාධ්‍ය බොහොමයක මෙම ලක්ෂණය තිබේ.

ජනමාධ්‍ය සිංහල හැඟීම් ගැන සැලකිලිමත් විය යුතු බව අප කියන්නේ මෙම ආස්ථානයේ පිහිටා සිටින ජනමාධ්‍යකරුවන් බොහෝදෙනෙක් අතින් එය සිදු නොවන නිසාය. පුවත් තෝරාගැනීම, රචනා කිරීම හා විශ්ලේෂණය කිරීම ඔස්සේ ඔවුන්ගෙන් සිදුවන සමස්ත ප්‍රකාශනය ඊලාම් රාජ්‍යයකට පක්ෂපාතී එකක් ලෙස සිංහල සමාජයට පෙනී යාම ඔවුන් හමුවේ තිබෙන ප්‍රධාන සන්නිවේදන බාධකයකි.

එක් පැත්තකින් ඔවුන් වෙතින් ප්‍රකාශ වන්නේ ඔවුන් සිටින ස්ථාවරය මිස අන් යමක් නොවේ. ඒ අනුව මෙය දෘෂ්ටිවාදීමය ප්‍රශ්නයක් බවට පත් වේ. අප සමග එකී අධිපති මාධ්‍යකරුවා කළ කෙටි කතාබහේදී ඔහු ඇසුවේ මා කියන දෙය දෘෂ්ටිවාදීමය තලයකින් නොව එදිනෙදා කටයුතුවලට අදාළව විග්‍රහ කරන්නේ කෙසේද යන්නයි. දෘෂ්ටිවාදීමය ගැටලුවක් මත පදනම් වන දෙයක් එහි මතුපිට ප්‍රකාශනය වන එදිනෙදා පුවත් විකාශනය ඔස්සේ පමණක් විග්‍රහ කළ නොහැකිය.

මෙම දෘෂ්ටිවාදී ගැටලුවෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාධ්‍ය ධාරා‍වේ සිටින සහෝදරවරු සිය මතය පිළිගන්නා සීමිත පාඨක ප්‍රජාවක් සමග පමණක් කටයුතු කරන තත්වයට පත් වී සිටිති. පොදු පාඨක සමාජයෙන් බැහැර වෙති. තමන්ගේ මතය පිළිගන්නා පිරිස සමග පමණක් කටයුතු කිරීම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ට බණ කියා දීම වැනි දෙයකි. මෙම රාමුව තුළ අනන්‍යතා ගොඩනඟාගනිමින්, හිතමිතුරු කව තුළ ජනප්‍රිය වෙමින්, වීරත්වයට පත්වීම එතරම් අමාරු නැත. එහෙත්, සියලු සුබවාදිත්වයන් අකාමකා දමමින් පොදු සමා‍ජයේ ගොඩනැඟෙමින් තිබෙන අගතියේ මහා ප්‍රවාහයට එරෙහිව මැදිහත්වීම් කරන්නට නම් මේ රාමුවෙන් පිටතට ආ යුතුය. ජාතිවාදයෙන් අන්ධ වූ සමාජයකට ඇස් තැබීම සඳහා නව ක්‍රම සොයා යා යුතුය. තනි පුද්ගල චූල මාධ්‍යකරුවකු ලෙස මෙම රචකයා කරන්නට උත්සාහ කරන්නේ එයයි. අපි මෙම බ්ලොගය හරහා එදිනෙදා සිදුවීම් විග්‍රහ කරන්නේ ඉතා පැහැදිලිවම මෙම ස්ථාවරයේ සිටයි.

සිංහල හැඟීම් තුළ ‍ඊලාම් සංකල්පය පිළිබඳ සුබවාදී හැඟීමක් ඇතිකිරීම කිසි කලෙක කළ නොහැක්කකි. මන්ද, නූතන දෙමළ ඊලාම්වාදය ගොඩනැඟෙන්නේම සිංහල විරෝධී ආස්ථානයකින් වීමයි. මෙහි කිසියම් සාධාරණ ප්‍රතිචාරාත්මක ලක්ෂණයක් තිබේ. මන්ද සිංහල ජාතිකවාදයද දෙමළ විරෝධී ලක්ෂණ කැටි කරගත් එකක් බැවිනි. එහෙත්, ඊලාම්වාදයේ පදනම දෙමළ ජාතිවාදයයි. ස්වෝත්තමවාදයයි. සම්මුති විරහිත කොටි සංවිධානය ‍ස්වයං විනාශකාරී ලෙස මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් කළ නිදසුනකි. 

එක් ජාතිවාදයකට එරෙහිව තවත් ජාතිවාදයකට පක්ෂ වීම ඉතිහාසය පුරාම වාමාංශිකයන් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි කළ වැරැද්දකි. සිංහල මහ ජාතිවාදයට එරෙහි නිසා දෙමළ ජාතිවාදයට අප පක්ෂ විය යුතු නැත. ඇමරිකානු හෝ බටහිර ජාතිවාදයට එරෙහි වන පළියට අප මුස්ලිම් අන්තවාදයට පක්ෂ විය යුතු නැත. බටහිර විද්‍යාව විවේචනය කළ පළියට ජ්‍යෝතිෂඥයන්ට, හොර වෙදුන්ට හා වෙනත් හණමිටිකාරයන්ට පක්ෂ විය යුතු නැත.

න්‍යායික තලයේදීද ස්වයං නිර්ණය හිමිකම යනු වෙන්වීමේ අයිතියය යන තර්කය අපි අභියෝගයට ලක් කරමු. ස්වයං නිර්ණය හිමිකම යනු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරගලයක් මිස අලුත් ජාතික රාජ්‍ය බිහිකිරීම සඳහා වූ අරගලයක් නොවේ. ලෙනින් ජීවත් වූ සමයේ රාජ්‍ය ව්‍යූහයන් හා අද පවත්නා ලෝක දේශපාලන ව්‍යූහය අතර වෙනස්කම් තිබේ. ජාතික රාජ්‍ය කියා අද කියන්නේ ගෝලීය ආර්ථිකය තුළ ස්ථානගත වූ ආර්ථිකයන් පාලනය කරන දෘෂ්ටිමය වශයෙන් ජාතිවාදී වූ ආණ්ඩු හා දේශපාලන සමාජයි. ලංකාවේ සිංහල ජාතිවාදී රාජපක්ෂ ආණ්ඩුව මේ සඳහා හොඳම නිදසුනකි. ලංකාවේ උතුරේ එවැනි ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා අප උපකාර කළ යුත්තේ කුමටද? අප කළ යුත්තේ දකුණේ පිහිටුවා ඇති එවැනි වූ රාජ්‍යය බිඳ දැමීමයි. ලංකාව හෝ හැකිනම් දකුණු ආසියාවම හෝ විෂයෙහි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අරගල කිරීමයි.

අප සාකච්ඡාවට භාජනය කළ මාධ්‍ය භාවිතාව තුළ තිබෙන ගැටලුව යළි සංයුක්ත කර ගතහොත් මෙසේය. සිද්ධි පුවත් බවට පත් කිරීමේදී, ඒ පුවත් රචනයේදී, ඉදිරිපත් කිරීමේදී හා විශ්ලේෂණයේදී මාධ්‍යකරුවන්ගේ දෘෂ්ටිමය ආස්ථානයන් ප්‍රකාශයට පත් වීම නොවැළැක්විය හැකිය. දෙපැත්තම ආවරණය කරනවාය යන වෘත්තික ගුණය හේතුවෙන් එය වැළැක්වෙන්නේ නැත.

ජාතීන්ගේ ප්‍රශ්නය වැනි සංකීර්ණ ප්‍රශ්නයකදී තීරණාත්මක වූ ජනමාධ්‍ය මැදිහත්වීම්වලට අදාළව දෘෂ්ටිවාදීමය සාධක ඉතා වැදගත් බව මෙහිදී අපට පැමිණිය හැකි නිගමනයයි. එමගින් නැවතත් අවධාරණය වන්නේ දෘෂ්ටිවාදීමය සංවාදය ඉදිරියට ගෙන යාමේ වැදගත්කමයි. සිංහල දේශපාලන සමාජය ජාතිවාදයේ මහා ප්‍රවාහයකට යට වනු සීමිත ප්‍රජාවක් ඇසුරේ සිටිමින් නරඹමින් තීරණාත්මක මැදිහත්වීමක් නොකර සිටින එක නොවේ. මැදිහත්වීමේ ඵලදායිතාව ඉහළ නංවාගැනීම සඳහා නව මං සෙවීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-12

මුසල්මානයන් දනගැස්වීම හා ප්‍රජාතන්ත්‍රවාදය

හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීම හෝ මුස්ලිම් ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියකි. වෙළඳපොළේ ඇති භාණ්ඩ හලාල්ද නැද්ද යන්න විමසීමේ අයිතියක් මුස්ලිම් ජනයාට තිබේ. හලාල් අධීක්ෂණය සඳහා ලංකාවේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තිබිණි. එහි යම් ගැටලු තිබිණි. හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා මුදල් අයකිරීම හේතුවෙන් හලාල් සහතිකය අවශ්‍ය නොවන අයටත් ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම මෙහිදී ප්‍රශ්න කෙරිණි.

මෙම ප්‍රශ්න කිරීම තුළ ඇති මූලධර්මය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත්, මුස්ලිම් ජනතාවට තමන් පරිභෝජනය කරන භාණ්ඩ හලාල්ද නැද්ද යන්න දැනගැනීමට ඇති අයිතිය ද ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසකි. බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් කියනවානම් නිර්මාංශාහාර පමණක් පරිභෝජනය කරන අයට තමන් පරිභෝජනය කරන කෑමවල සත්ව කොටස් අඩංගුද නැද්ද යන්න දැනගැනීමට තිබෙන අයිතියද මෙවැනි එකකි.

දැන් ජමියතුල් උලමා සංවිධානය ලංකාවේ භාවිතා කරන නිෂ්පාදනවලින් හලාල් ලකුණ ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම තීරණය ගැනීමේදී හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිම් ජනතාවට තිබෙන අයිතියට ඔවුන් කෙතරම් ගරු කර තිබේද යන්න අපට සැක සහිතය. ජමියතුල් උලමා සංවිධානයේ අභිප්‍රායන් පිළිබඳ අප මුල සිටම මතු කළ සැක සංකා මේ ඔස්සේ තහවුරු වේ. ඔවුන් කියන තරම් මුස්ලිම් ජනතාව ගැන සිතනවානම්, ජාතික හා ආගමික ස්වෝත්තමාදී, ත්‍රස්ත ව්‍යාපාරයක් වන බොදු බල සේනා හමුවේ තම ජනතාව මෙසේ අතරමං කර දමන්නේ නැත. ජමියතුල් උලමා සංවිධානය හලාල් ප්‍රශ්නයට විවිධ විසඳුම් ඉදිරිපත් කළමුත් කිසි දිනෙක ස්වේච්ඡා සේවාවක් ලෙස මුදල් අය නොකර හලාල් අධීක්ෂණය සඳහා ඉදිරිපත් වුණේ නැත. තමන්ට මුදල් නොලැබේනම් මුස්ලිම් ජනතාව හලාල් භාණ්ඩ පරිභෝජනය නොකළාට ඔවුන්ට ප්‍රශ්නයක් නැති බවක් පෙනේ.

කෙසේ වෙතත්, අවසානයේදී සිංහල ජාතිවාදීහු මුස්ලිම් ජනතාව බිම දනගස්වා තිබේ. ප්‍රශ්නය මෙතෙකින් අවසන් යයි යමෙක් සිතන්නේනම් එය මුළාවකි. ජාතිවාදයෙන්ම සිය පැවැත්ම හා උන්නතිය බලාපොරොත්තු වන සිංහල ජාතිවාදීන්ට අද සිටම වෙනත් ආකාරයක ලේ අවශ්‍ය වනු නිසැකය.

මෙම තීරණය මුස්ලිම් ජනතාවගේ පොදු තීරණයකැයි අපි මොහොතකට සිතමු. ඒ හා සමානව කටයුතු කිරීමට සිංහල බෞද්ධ ජනතාවගේ නායකයෝ සූදානම්ද? නිදසුනක් ලෙස හන්දියක්, හන්දියක් ගානේ බුදුන්ට නිගරු වන අන්දමින් අපිළිවෙලට තබා ඇති බුදු රූ ඉවත් කරන්නැයි යෝජනා කළොත් එසේ කරන්නට බෞද්ධ නායකයෝ සූදානම්ද?

අනෙක් පැත්තෙන් හලාල් සම්බන්ධ තීරණය ලංකාවේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට දායක නොවේ යයි කියන්නට පුළුවන් කාටද? එවැනි මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ දැනට ඇති බව බොදු බල සේනාවම පවසයි. 

මේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවේ. ගත යුතුව තිබුණු තීරණය වන්නේ හලාල් සහතිකය වෙනුවෙන් ලාභ ලැබීමේ අරමුණින් මුදල් අයකිරීම නැවැත්වීමයි. 

තවත් ප්‍රශ්නයක් තිබේ. දැන් හලාල් සහතිකය ඉවත් කළාම ඒ සහතිකය සහිතව වෙළඳපොළට නිකුත් කළ භාණ්ඩවල මිළ සුළු මුදලකින් හෝ අඩු විය යුතු නේද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-10

බොදුබල සේනා නායකත්ව විද්‍යායතනය විවෘත වූ දවසේ බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියේ සිසුවකුව

බොහෝ කලකට පෙර අහිමි වූ හා අතහැර දමන ලද ශාස්ත්‍රෘලයීය අධ්‍යාපනයේ හිස්තැන පුරවා ගන්නට බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියට බැඳුනෙමි.

දැනට රෝගාතුරව සිටින මහැදුරු සුචරිත ගම්ලත් වියතාණන්ගේ උදාර සංකල්පයක් අනුව ආරම්භ වූ බෘහස්පතියේ අරමුණ සාහිත්‍ය, කලා ක්ෂේත්‍රයන්හි නියුතුව සිටින ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සැබැවින්ම අවශ්‍යව සිටින ක්‍රියාධරයනට සම්ප්‍රදායික විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ඉක්මවා ගිය පුළුල් ශාස්ත්‍ර ගවේශනයක් සඳහා දොරටු විවර කරදීම ලෙස මම තේරුම් ගනිමි.

මෙම සත්කාර්යය අප විසින් සුහද සිතින් පිළිගත යුතු, දිරිදිය යුතු, රැකගත යුතු දෙයකි. බොදු බල සේනාව වැනි ජාතිවාදී, ආගම්වාදී සංවිධානයක් විදේශාධාර හා රාජ්‍ය අනුග්‍රහය සහිතව ආරක්ෂක ලේකම්ගේ අතින් නායකත්ව පුහුණු ආයතනයක නමින් අධ්‍යාපන ආයතනයක් විවෘත කළ දිනම බෘහස්පති සරසවියේද කටයුතු ආරම්භ වීම සුවිශේෂ සමපාත වීමකි.

බොදු බල සේනා බෞද්ධ නායකත්ව විද්‍යායතනය හෙවත් Bodu Bala Sena Buddhist Leadership Academy පිළිබඳ ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේය: "මෙම විද්‍යායතනයෙන් රටට ජාතියට, තම දහමට ආදරය සහ ගෞරවය දක්වන සිරිත් මල්දම, බුද්ධ ගජ්ජය, සකස්කඩෙන් පටන්ගෙන ජාතක පොතෙන් සවිබල ගන්වන ඕනෑම අභියෝගයකට මුහුණු දිය හැකි සවිමත්, නැණවත්, ගුණවත්, ආදරණීය, තාර්කික දූ පුතුන් ගොඩනැගීමටත්, විදේශයන්හි ජීවත් වන සිංහල බෞද්ධයන්ගේ දුවා දරුවන්ට ඉතිහාස දැනුමත්, දහම් දැනුමත් ලබා දීමටත් ප‍්‍රාදේශීයව බෞද්ධ සමාජ සංවර්ධන වැඩසටහන් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සඳහා බෞද්ධ සමාජ සේවකයින් පුහුණු කිරීම සඳහා වූ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා ද හදුන්වාදෙනු ලැබේ. මෙම විද්‍යායතනය යටතේ ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය වඩාත් ප‍්‍රායෝගික වූත්, සමාජගතවූත්, ධර්ම අධ්‍යාපනික වැඩපිළිවෙලක් බවට පත් කිරීම සඳහා විවිධ වැඩසටහන් හා ව්‍යපෘති ක‍්‍රියාත්මක කිරීමට ද අපේක්‍ෂිතය."

එකී ප්‍රකාශිත අරමුණ නරක එකකැයි අපි නොකියමු. බොදු බල සේනාව ත්‍රස්තවාදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ත්‍රස්තවාදී ප්‍රවණතා වෙනුවටව මෙවැනි ශාස්ත්‍රකාමී දිශානතියකට යොමු වන්නේනම් අපටද සතුටු විය හැකිය.එහෙත්, බෞද්ධ නායකයන් වනාහි පල්ලි කඩන, මස්මඩු වටලන හෝ එවැනි කටයුතු කරන පිරිසකට නායකත්වය දෙන හෝ බලවේගයක් නොවිය යුතුය.

අපි සිංහල ජාතිකවාදයට එරෙහි නැත. පවත්නා සමාජ සංදර්භය තුළ ජාතික අනන්‍යතා හා ජාතිකවාදය යථාර්ථයකි. එහෙත්, අපි ජාතිවාදයට හෙවත් ජාතික ස්වෝත්තමවාදයට සහමුලින්ම විරුද්ධය. සිංහල ජාතිකවාදය ජාතිවදයෙන් මුදාගෙන නැවත පිහිටුවිය යුතුය යන්න අපේ ස්ථාවරයයි. සරළව කීවොත් අප කතා කරන්නේ දෙමළ, මුස්ලිම් වැනි සෙසු ලාංකික ජාතීන්ට ගරු කරන, සිය සමාජ දේශපාලන අනන්‍යතාව පුළුල් කරගැනීමට සූදානම් සිංහල ජාතියක් ගැනයි. අපි පෙනී හිටින්නේ ලාංකික ජාතියක් වෙනුවෙන්. ලාංකික ජාතියක් කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී අනන්‍යතා පිළිගත්, එහෙත්, ඊට වඩා පුළුල් එකක්.

බෘහස්පති සාහිත්‍ය කලා සරසවිය විවෘත වීම දේශපාලන වශයෙන් වැදගත් කාර්යයක්ය කියා අපි හිතන්නේ ඒ නිසායි. සිංහලකම කියන අනන්‍යතාව පදනම් වන්නේ භාෂාව හා සංස්කෘතිය මත. මම හිතන්නේ දේශපාලනය මෙතැනදී ද්විතීයකයි. සිංහලය රැකගන්න, වෙනස් වන ලෝකයත් සමග ඉදිරියට ගෙන යන්න පුළුවන් සැබෑ ජාතිප්‍රේමීන් පිරිසක් හෙවත් මනුස්සකමින් පිරිපුන් මිනිසුන් පිරිසක් බිහිකරගන්න එවැනි වැඩමුළු ප්‍රයෝජනවත් වේවි. 

සුචරිත ගම්ලතුන්ගේ උත්සාහයෙන් මුලපිරුණු මේ ව්‍යායාමයට සිරි තිලකසිරි, ආනන්ද තිස්ස කුමාර, කමලා පීරිස්, කරුණාරත්න අමරසිංහ, ඩබ්.ඒ. අබේසිංහ, නන්දන වීරසිංහ, ආනන්ද අබේසිරිවර්ධන, සමිත විජේවර්ධන, ජිනදාස දනන්සූරිය, ආරිය රාජකරුණා, විමල් බලගල්ලේ, බන්දුසේන ගුණසේකර, වෝල්ටර් ප්‍රනාන්දු ආදී විද්වතුන් රැසක් දායක වී සිටිනවා. 

සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, සිංහල සාහිත්‍යයේ ඉතිහාසය, නූතන සිංහල සාහිත්‍යය, සිංහල භාෂාව, නිර්මානශීලී සිංහල ලේඛනය හා කථනය, ලෝක සාහිත්‍යය, භාෂාවේ ඉතිහාසය, කලාවේ ඉතිහාසය, කලා විචාරය ආදිය විෂය නිර්දේශයට අඩංගුයි. 

මෙහි පැවැත්වෙන්නේ දේශන. සතියකට ප්‍රධාන දේශන දෙකක්. ශිෂ්‍යයන්ට තිබෙන්නේ අහන් ඉන්න. සමහර ගුරුවරු ප්‍රශ්න අහන්නත් අවස්ථාව දෙනවා. සාකච්ඡා, සංවාද නැහැ. බොහෝදුරට ගුරු කේන්ද්‍රීය, පැරණි තාලේ අධ්‍යාපනයක්. දේශන අහන් ඉන්න බැරි නිසා ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය සම්පූර්ණයෙන් නතර කරපු මමත් මේකට යනවා.  අතරමග නින්දත් යනවා. ඒත්, දේශන සාරගර්භයි. විකල්ප සරසවියක් වුණාට ඉතාම ගතානුගතික පාඨමාලාවක්.

ඔබේ පහසුව අනුව සෙනසුරාදා හෝ ඉරිදා දින දෙකෙන් එකක් තෝරාගෙන සහභාගි වන්න පුළුවන්. පංති පැවැත්වෙන්නේ කොළඹ මහජන බැංකු මූලස්ථානය පිටුපස, බාලදක්ෂ මූලස්ථානය අසල ඇති ලංකා ජාතික ගුරු සංගමයේ ගුරු මැදුරේයි. 

තවම මෙය ඇරඹුණා පමණයි. තවමත් ඔබට මෙයට එක්වන්න පුළුවන්. විස්තර 071-5181421 දුරකථනයෙන් හෝ bruhaspathi.lk@gmail.com ඔස්සේ ලබාගන්න පුළුවන්. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-09

සිංහලයන් යථාර්ථය තේරුම් ගන්න විනාශයක් ඉල්ලා සිටීම

කොළඹදී පැවැත්වුණු ජනමාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැදගත් ප්‍රකාශයක් කළා. ඒ තමයි, ලංකාවට නවදිල්ලියට වඩා වැදගත් තමිල්නාඩුවය කියන එක. 

තමිල්නාඩුව හොඳින් තියාගන්න ඕනැනම් 'ශ්‍රී' ලංකාව හෙවත් සිංහල මූලික රාජ්‍යය දෙමළ ජනයාට සාධාරණව සලකන්න ඕනැ. ඒක වෙන්න නම් රාජ්‍යයේ සිංහල මූලිකත්වය වෙනස් වෙන්න ඕනැ. සියලු ජාතීන්ගේ සමානත්වය තහවුරු වෙන්න ඕනැ. දෙමළ කතා කරන ජනයා ඇතුළු සුළුජාතීන් ලංකා රාජ්‍යයේ සැබෑ පාර්ශ්වකරුවන් පිරිසක් බවට පත් කරගන්න ඕනැ.

හොඳයි, 'ශ්‍රී' ලංකාව එසේ කරගන්න අසමත් වුණොත් කුමක් වේවිද? සිංහල නායකයෝ බලාපොරොත්තු වන්නේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හැමදාමත් තමිල්නාඩුව එක්ක කරන සෙල්ලම මෙහෙමම පවතියි කියලා. තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් තමන්ගේ ජනතාවත් සමග කරන සෙල්ලමත් හැමදාම මෙහෙමම පවතියි කියලා. ඒත්, දැන් මේක එක්තරා උච්ච ස්ථානයකට ඇවිත් තිබෙන්නේ. තමිල්නාඩුවේ බලපෑම තවදුරටත් නොතකා හරින්න බැරි තැනකට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව එන්න කිට්ටුයි දැන්. ඒ තත්වය තුළ ලංකාවටත් එක්සත් ජාතීන් සමග කරන සෙල්ලම හැමදාම මෙහෙම කරගෙන යන්න පුළුවන්ද යන ප්‍රශ්නය එනවා. පිටින් හිරවෙනකොට ආණ්ඩුවට තේරේවි තමන්ගේ ජනතාව එක්ක කරන සෙල්ලමත් හැමදාම කරගෙන යන්න අමාරු බව.

ලංකාව තේරුම් ගත යුතුයි අපට චීනයට වඩා ඉන්දියාව වැදගත් බව.

ආණ්ඩුව හා දේශපාලන බලය හිමි, එහෙත් දැඩි හීනමානයකින් පෙළෙන සිංහල ජනතාව තේරුම් ගත යුතුයි අපට වැදගත් වන්නේ අපේ රටේම මිනිසුන් සමග සමගිය ගොඩනඟාගන්න එකය කියන කාරණය.

සිංහල ජනතාව මේ යථාර්ථය තේරුම් ගන්න විනාශයක් ඉල්ලා සිටින එක ඉතාම අවාසනාවන්ත තත්වයක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-08

Reading a picture

යන්නේ අරලියගහමන්දිරේට ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය ගැන සාකච්ඡා කරන්න. ජේ.ආර්ගේ මධ්‍යස්ථානය හදන්න යන්නේ මහින්ද. පියල්ගේ සල්ලිවලින් ජිනදාස‍ගේ අවසන් කටයුතු කළ එකේ අනෙක.
The man in front
Clad in white
Seamed simplistic 
Strides unwavering
Ringed in superstitious
nine gems in finger
An oriental
Non-westerner
Militant

Side by side
Or lagging a feet behind
The counterpart
Locally localized westerner
Or the man in oriental's underachieved dream

Walks
The future behind the camera
Seems to be of one of them
Or perhaps
Of none of them

-Ajith Perakum Jayasinghe


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-07

අතුරුදහන් වූවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි කියා ආණ්ඩුව කොළඹ උද්ඝෝෂණ කරවීම

ඡායාරූප දිවයිනෙනි
ලංකාවේ ආණ්ඩුව ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසිවාරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අතහැර දමා ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි. 

ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සභාවේ ක්‍රියාවලිය පිළිබඳවද අධ්‍යයනය කරනැති බව ඔප්පු වුණේ සැසිවාරයට ආණ්ඩුවේ නියෝජිතයකු සහභාගි නොකිරීමට ගෙන තිබූ තීරණයෙනි. නිලධාරීන් පිරිසක් පමණක් යවන්නට මුලින් අදහස් කරගෙන සිටිමුත්, එසේ කළහොත් සැසිය අමතන්නට ලැබෙන කාලය අඩු බව දැනගැනීමෙන් පසු ඇමති මහින්ද සමරසිංහව ලහිලහියේ එහි පිටත් කර හැරියේය. ඔහු විසින් පවත්වන ලද කතාවද දේශීය සිංහල ජාතිකයන් සතුටු කරන්නට කළ එකක් මිස ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සාර්ථක එකක් නොවේ. 

කලින් මානව හිමිකම් සැසිවාරයේදී ඉටු කරන බව කී දේද කරන්නට ලංකාවේ ආණ්ඩුව අසමත් වී ඇති බව ආණ්ඩුවම දනී. දෙමළුන්ට කිසි දෙයක් දෙන්නේ නැත යන අප්‍රසිද්ධියේ ප්‍රකාශිත ස්ථාවරයේ සිටින ආණ්ඩුව යුද්ධයෙන් පසු මුළු ලංකාවේම ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් සීමා කිරීමට කටයුතු කළේය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් වන වගවීමේ ක්‍රියා පටිපටිපාටියකට යාම පැත්තක තිබියදී අඩු තරමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය හෝ දෙමළ සමාජය තුළ තහවුරු කරන්නට ආණ්ඩුව අසමත් විය. 

එපමණකින් නොනැවතී, දෙමළ ජාතික ව්‍යාපාර දඩයම් කිරීමෙන් තෘප්ත නොවූ  සිංහල ජාතිවාදීන් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව උසිගැන්වීමටද ආණ්ඩුවේ අනුග්‍රහය ලැබෙමින් තිබේ. මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ නායකත්වයේ චම්පික රණවක වැනි ආණ්ඩුවේ ඇමතිවරු පවා සිටිති. 

ඊයේ වවුනියාවේ සිට කොළඹට පැමිණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට පෙත්සමක් භාර දීමට උත්සාහ කළ අතුරුදහන් වූවන්ගේ ඥාති පිරිසකගේ ගමන පොලිසිය විසින් වවුනියාවේදීම වළක්වන ලදී. එම සිද්ධියට ලැබුණු ජාත්‍යන්තර ප්‍රචාරය හා එක්සත් ජනපදයේ කොළඹ තානාපති කාර්යාලය ඒ පිළිබඳ විරෝධය දක්වමින් නිකුත් කරන ලද නිවේදනය අනුව පෙනෙන්නේ ආණ්ඩුව ක්‍රීඩා කර ඇත්තේ උගුල ඇතුළටම බවයි. 

මේ අතර, කොළඹ පැවති තවත් උද්ඝෝෂණයකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව පෙනේ. එය කොටි සංවිධානය විසින් අතුරුදහන් කළ බව කියන පිරිස් සොයා දීමට මැදිහත් වන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් භාර දීමේ විරෝධතාවකි. දිවයින පුවත්පත "කොටින්ටත් මානව හිමිකම් චෝදනා එල්ල කරන්න - අතුරුදන් වූ හමුදා සහ සිවිල් වැසියන්ගේ ඥතීන්ගෙන් එ.ජා. සංවිධානයට සංදේශයක්‌"යන මැයෙන් මේ පුවත වාර්තා කර තිබෙන්නේ එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව අප්සෙට් යවන වැඩක් සේ සිතාගෙනයි. 

එහෙත්, ඇත්තෙන්ම එය එක්සත් ජාතීන්ගේ වැඩසටහනට හා ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ යයි කියන බලවේගවලට කියලාවත් කරගන්නට බැරි අන්දමේ වාසිදායක පියවරකි. 

ජාතිවාදයෙන් අන්ධ වූවන් කෙතරම් අඳබාලයන් බවට පත්වෙනවාද යන්නට කදිම නිදසුනකි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ රජයට පමණක් නොව කොටි සංවිධානයටත් එරෙහිව බව ලංකාවේ ආණ්ඩුව හා දිවයින වැනි ජාතිවාදී මාධ්‍ය එක්කෝ දන්නේ නැත. නැතිනම් ආණ්ඩුවට හිතවත් වගේ සිටිමින් ඇතැමුන් අඟේ ඉඳන් කණ කන නියම ගේමක් දෙති.

ආණ්ඩු විරෝධී මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබුණේ වවුනියාවේ සිද්ධියට එරෙහිව වුවත්, වැදගත් සිද්ධිය වූයේ කොළඹයි. අතුරුදහන් කිරීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා කොළඹදී දහස් ගණනක පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් භාර දී තිබේ. 

කොටි සංවිධානයට එරෙහිව කුමන පරීක්ෂණ සිදු වුණත් නහයට ඉහළින් වතුර ගලාගොස් තිබෙන එයට තව වන්නට දෙයක් නැත. යමක් වනවානම් වන්නේ දැන් ආණ්ඩුවේ සිටින කොටි නායකයන් වන කේපී හා කරුණා අම්මාන් වැනි අයටයි.

යුද අපරාධ චෝදනා විභාග කරමින් ආණ්ඩුව අමාරුවේ දමන්නට බටහිර බලවේග යයි කියන ඒවාට ඇත්ත උවමනාවක් නැත. ඔවුන් කියන්නේ සිදු වූ දේ සම්බන්ධයෙන් වගවියයුතුබව හා වගකීමෙන් යුතුව සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පියවර ගතයුතු බව පමණි. එහෙත්, එසේ නොකළා කියාද ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් නැත. ලංකාවේ ආණ්ඩුවට එරෙහිව පීඩනයක් මිස ක්‍රියාමාර්ග වෙත යොමුවීමක් නැත්තේ එහෙයිනි. ඔවුන් කරන්නේ මේ පීඩනය භාවිතා කරමින් තමන්ට අවශ්‍ය දේ කරගැනීමට ආණ්ඩුව තල්ලු කරගැනීමයි. රනිල් වික්‍රමසිංහට වඩා හොඳින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නව ලිබරල් ආර්ථික වැඩසටහන ඉදිරියට ගෙන යන බව බටහිර බලවත්තු දනිති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-06

ලසිත් මාලිංගගේ ගොන්පාට් හා ජනමාධ්‍ය ටිරිකිස්

"පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මොකවත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි, මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකම් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්." - ලසිත් මාලිංග (2012 අප්‍රේල්)
ලසිත් මාලිංග ජනමාධ්‍යවලට පාට් දමන වීඩියෝ දර්ශන ඔබ දකින්නට ඇතැයි සිතමි. මේවා අන්තර්ජාලයේ ප්‍රකට නිසා හා අප මෙවැනි අඥානයන් අගය නොකරන නිසා එය මෙහි නැවත පළ නොකරමි.

ඇත්තෙන්ම මෙම සිද්ධිය මාධ්‍ය හැසිරීම හා මාධ්‍ය ඉදිරියේ ක්ෂණිකව ප්‍රසිද්ධ වූ පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳ සාකච්ඡා නිමිත්තක් සපයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන් ලබන ලක්ෂ හතළිහකට අධික මාසික වැටුපට අමතරව ඔවුන්ට පිරිනැමෙන දීමනා හා වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ඉදිරි වර්ෂය සඳහා ගිවිසුමට අත්සන් නොකර තෙපරබාමින් සිටියහ. එහෙත්, ඇමති මහින්දානන්ද අලුත්ග‍මගේ දැම්මේ එක සැල් එකකි. මේ ක්‍රිකට් වීරයෝ පිත්ත කඩුල්ලේ දැවටී දැවීගිය පිතිකරුවන් පිරිසක් සේ පෝලිමේ පැමිණ ගිවිසුම අත්සන් කළහ.

ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කී දේ සරළව මෙසේය. 'උන්ට බැරිනම් යන්න කියපල්ලා. වෙන එවුන් ටිකක් ගනිල්ලා.'

ඇත්තම කීවොත්, පළපුරුදු ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ හැර අන් අයගේ හිස්තැන් පුරවන්නට හැකි ක්‍රීඩකයෝ ඕනෑතරම් එළියේ සිටිති. ස්පර්ශ නොවූ කුසලතා පූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයෝ ද දිවයිනේ තව බොහෝ සිටිති.

Nobody is indispensable කිසිවෙකු නැතිවම බැරි නැත යන්න ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය විසින් ඕනෑතරම් ඔප්පු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තේරෙන ක්‍රමවේදය පාරදෘෂ්‍ය නැත. නිදසුනක් ලෙස පානදුර මහානාම විද්‍යාලයේ ක්‍රීඩකයකු වන අකිල ධනංජයට ජාතික කණ්ඩායමේ දොරටු විවර වන්නේ මහේලට ඔහු නෙත ගැටුණු නිසාය. මහේලගේ හෝ වෙනත් එවැනි ක්‍රිකට් දිව්‍ය රාජයකුගේ නෙත නො‍ගැටෙන දස්කම් ඈත යාපනයේ හෝ දෙබරවැව හෝ මතුගම හෝ තිබේ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යාම තනිකරම නයි හා ඉනිමං ක්‍රීඩාව වැනි දෙයකි. ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, අකිල ධනංජය වැනි අය ඉනිමං හමු වූ අයයි. තමන්ට වී තිබෙන දෙය මේ අයටම දරාගැනීමට බැරිය. ගම්වල බෝල ගසමින්, රස්තියාදු වෙමින්, රස්සා හොයමින්, ත්‍රිරෝද එළවමින්, බැරි වුණොත් හමුදාවට යන්න සිතා සිටි කොල්ලෙකුට හිටි ගමන් හතර වටින් කැමරා ඇල්ලෙනකොට, සල්ලි වැසි වසිනකොට, සුදු ලස්සන කෙල්ලන් තමන් හා යහන්ගත වන්නට පොරකන විට තමන්ට සිදු වූ දේ සිතාගන්නට බැරිය.

ඔලුවල වෙන දෙයක් නැති නිසා අහංකාරය, උඩඟුකම, මාන්නය පිළිකාවක් සේ මොළයම වෙළාගනියි. ලසිත් මාලිංගගේ ගොන්පාට්වලින් ප්‍රදර්ශනය වන්නේ එයයි. ඔහුගේ අවමානයට ලක් වන්නේ මේ දිනවල පුවත් හිඟකම නිසා කවුරුත් දන්නා අවසානයක් තිබූ ක්‍රිකට් ගිවිසුම් කතාව ඉස්සූ ජනමාධ්‍යකාරයෝය. මොවුන් මේ ගිවිසුම අත්සන් කරන බව නොදැන සිටියානම් ඒ අය මාධ්‍යකරුවෝ විය නොහැකිය. සාමාන්‍ය පාඨකයෝ පවා එහි නාට්‍යමයබවක් දුටුවේ නැත. ඒ නිසා කාර්වලින් බහිනකොට කැමරා අල්ලාගෙන ඉන්නට තරම් දෙයක් මෙහි තිබුණේ නැත. ලසිත් මාලිංගටද මම මෙච්චර පොරක්ය කියා හිතෙන්නට ඇත්තේ ඒ නිසාය.

හැබැයි මේ සිද්ධිය මෙසේද විග්‍රහ කළ හැකිය. පුවත් නැතිව සිටියදී ලසිත් මාලිංග උණුසුම් පුවතක් නිර්මානය කර දෙන ලදී. වේලෙමින් සිටි ජනමාධ්‍ය ඒ ගැන මාලිංගට ස්තුතිවන්ත විය යුතුය. ඔවුන් ගිවිසුම අත්සන් කළ බව කීවානම් හා කුමාර සංගක්කා‍ර සේ රාජ්‍ය තාන්ත්‍රික ලෙස අදහස් ප්‍රකාශ කළානම් ජනමාධ්‍යවලට සිදුවන්නේ නිකම්ම වේලෙන්නටය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-04

මස්මඩු ජාතිවාදය මැදින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම

රාජපක්ෂ පවුල් පාලනය විසින් ලංකාව ලෝකයෙන් හුදකලා කරමින් තිබේ. එසේම රට අභ්‍යන්තරය ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, පුරුෂෝත්තමවාදය ආදී සකලවිධ පසුගාමිත්වයන් තුළ කුණු වන තත්වයට පත් කරමින් තිබේ.

ජාතිවාදය හැමදාමත් බලයට කෑදර අවස්ථාවාදීන් අත සුරුවමකි. විශේෂයෙන්ම පහළ පංතික උන්නතිකාමීන් බලය සඳහා කෙටි මගක් ලෙස මහත් අභිරුචියෙන් යුතුව ජාතිවාදය වපුරති. ජාතික හෙළ උරුමය හා ජවිපෙ මේ සඳහා කදිම නිදසුන් වේ. එහෙත්, ඔවුන් කපන ජාතිවාදී ළිංවලින් නාන්නේ ප්‍රභූ අවස්ථාවාදීහුය. රාජපක්ෂ පවුල මේ සඳහා නිදසුනකි. ජාතිවාදයේදී ප්‍රභූ පංතික කොටස් පහළ පංතිකයන් තරම් එඩිතර නැති වුණත්, ආන්තික ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන ගැනීමට පසුබට වන්නේ නැත. නිදසුනක් ලෙස ප්‍රභූ පංතිකයෝ මසමඩු පරීක්ෂාකිරීම වැනි ගොන් වැඩ නොකරති. එහෙත් වැඩේ නැගලා ගියොත් එයින් වාසි ගනිති.

සුළුතර ජාතිවාදීහුද මහ ජාතියේ පීඩනයට සුළුතර ජාතිවාදයෙන් පිළිතුරු සොයන්නට යති. එහිදීද වඩාත් ජාතිවාදී වන්නේ පහළ පංතික කොටස්ය. කොටි සංවිධානය නිදසුනකි.

මහ ජාතිවාදයත්, සුළුතර ජාතිවාදයත් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. මේ දෙක නිරතුරු එකිනෙකාගෙන් පෝෂණය වෙති. මතුපිටින් උග්‍ර ලෙසඑකිනෙකාට විරුද්ධ බව පෙන්නුවද මොවුහු කිසි දිනෙක තම සතුරා විනාශ කිරීම සඳහා කටයුතු නොකරති. උදාහරණ ලෙස කොටි සංවිධානය කිසි දිනෙක සිංහල ජාතිවාදීන්ගේ මයිල් ගසකටවත් හානියක් කර නැත. එසේම සිංහල ජාතිවාදීහුද දෙමළ හෝ මුස්ලිම් අහිංසකයන්ට මිස සැබෑ ජාතිවාදීන්ට කිසිවිටෙක පහර දී නැත.

මේ ජාතිවාදීන් දෙකොටසේම ප්‍රහාරයට ලක් වී තිබෙන කොටසක් වන්නේ ෆෙඩරල්වාදීන් ලෙස ප්‍රකට, ජාතික සමානාත්මතාව ගොඩනැඟීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදීහුය.

සමාජවාදීන් ලෙස පෙනී සිටින, සියල්ලට විසඳුම ලෙස තමන්වත් නොදන්නා සමාජවාදය නම් සූත්‍රයක් ජප කරන දෙමළ හා සිංහල වාම අන්තවාදීන්ද බොහෝවිට කර තිබෙන්නේ ජාතිවාදයට සේවය කිරීමයි. මේ සඳහා ඔවුහු පීඩිතයන්ට ජාතික ප්‍රශ්නයට වඩා පංති අරගලය ප්‍රමුඛය යන සූත්‍රයක් ගෙන එති. එහෙත් ධනවාදය විසින් සංකීර්ණ කර ඇති පංති ව්‍යූහය විග්‍රහ කරගන්නටවත් න්‍යායික මෙවලම් ඔවුන් සතුව නැත.

මේ වනාහි ඇස් පනා පිට පෙනි, පෙනී අරගල කරන පීඩිතයන් නොපෙනෙන ලෙස සිටිමින් පීඩිතයන් පරිකල්පනය කිරීමට උත්සාහ කිරීමකි.

සමාජවාදය යනු සදා නිම කළ දෙයක් නොව අරගලයක් බව අපි පුන පුනා කියමු. සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් කරන අරගලය අද දවසේ අප දන්නා සමාජවාදයයි. ඔබට අවශ්‍ය නම් එයට වෙන නමක් යෝජනා කළ හැකිය.

වඩා සංයුක්තව කිවහොත්, අද අප සටන් කළ යුතුව තිබෙන්නේ සමානාත්මතාව තහවුරු කරන සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙනි. තවත් සරළව කිවහොත් ඒකාධිපති පවුල පරදවා ජනතාව අතර බලය බෙදාගැනීමක් වෙනුවෙනි. අපට උචිත දේශපාලන ව්‍යුහය අප ගොඩනඟාගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඔස්සේය. 

ඒ සංවාදයේදී ජාතීන්ගේ ඉල්ලීම් ඉතා වැදගත්ය. මන්ද, ජාතිය සෙසු අනන්‍යතාවන් අභිභවමින් ඉස්මතු වී ඇති බැවිනි. ජාතික අනන්‍යතාවන් රැකගත යුතුය යන අදහසක් එයින් ඇති වන්නේ නැත. එහෙත් වඩා පුළුල් අනන්‍යතා නිර්මානය කරගන්නට නම් තිබෙන අනන්‍යතාවලට නියමිත ගරුත්වය පිරිනැමිය යුතුය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-03

ක්‍රීඩාශීලී ආණ්ඩුවට ක්‍රීඩාශීලී සැලියුට් එකක්

අද අපි ආණ්ඩුවේ හොඳක් කියන්නෙමු. අපි නරකම දකින්නේ ඇයිද යන්න සමහරු අසති. ගුණ වයන්නට මෙතරම් ජනමාධ්‍ය තිබියදී අපද එය කරන්නට අවශ්‍ය නැත. අනෙක් පැත්තෙන් කියන්නට හොඳක් ඇත්තේත් නැත.

සියලුම පාසල් සිසුන්ට මේ වසරේ සිට කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කෙ‍රෙන කැබිනට් සංදේශයකට ඇමැති මණ්ඩල අනුමැතිය දී ඇත.

එමෙන්ම සියලු වෘත්තීය පුහුණු ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ද මෙය අනිවාර්ය වන අතර ඔවුන්ට කිසියම් වු ක්‍රීඩාවක නිරතවීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, සහතික හා ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීමටත් යෝජනා කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයක් ලෙස ක්‍රීඩාව හැදැරීමටද මේ සමග අවස්ථාව සැලසේ. මේ වසරේ සිට සෑම පාසල් දරුවෙකුටම ක්‍රීඩා විෂයයට අදාල ශාරීරික යෝග්‍යතා ප්‍රගති වාර්තා පොතක්ද නිකුත් කරන බව කියැවේ. එමගින් සෑම පාසල් සිසුවෙකුගේම ශාරීරික යෝග්‍යතාව වසරකට වරක් ඇගැයීමට ලක් කිරීමට කටයුතුකරන බවද කියනු ලැබේ.

විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන කාලයකදී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලියකට සුදානම්වීම පිණිස ජාතික ක්‍රීඩා සංචිතයක පුහුණුව ලබන්නේ නම් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට, ඉගෙනුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍යනම් තවත් වසරකින් විශ්ව විද්‍යාල කාලය දීර්ඝ කිරීමද යෝජනා කර තිබේ.

මෙම පියවර ඉතා කාලෝචිත සමාජ දේශපාලන ක්‍රියාමාර්ග බව අපි ප්‍රකාශ කරමු. ධනේශ්වර පාලනය විසින් ප්‍රවර්ධනය කරනු ලබන ආත්මාර්ථකාමිත්වය, උන්නතිකාමය හා තරගකාරිත්වය වැනි දුර්ලක්ෂණ මැදටම හෝ ක්‍රීඩාව මෙසේ පැමිණීම අගය කළ යුතුය. ක්‍රීඩාවෙන් මනස ප්‍රබෝධවත් වේ. සතුටක් ඇති වේ.  මිනිසුන්ගේ නරක අඩු වේ. 

මිනිස්සු ක්‍රීඩාශීලී වනවිට මනසේ ඇතිවන රසායනික ක්‍රියාවලි මිනිසුන් තුළ යහපත් ආකල්ප ඇති කරන්නට ඉවහල් වේ. අඩු තරමේ නරක සිතුවිලිවල ගැලී සිටින්නට තිබෙන කාලය හෝ අවම වේ.

ක්‍රීඩාව, ක්‍රීඩා ඇඳුම ෆැෂන් එකක්වීම පවා හොඳය. කොළඹ හතේ, බත්තරමුල්ලේ තාප්ප කැඩී සක්මන් මළු හැදුණේය. උදයට, හවසට මිනිස්සු විවේකයෙන්, විනෝදයෙන්, කෙළිදෙලෙන් කාලය ගතකරන හැටි දැකීම සුන්දරය.

පුරුෂෝත්තමවාදය, ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ප්‍රචණ්ඩත්වය, සොරකම වැනි නරක අදහස් සමාජය තුළ ප්‍රවර්ධනය කරන මිනිස්සු බොහෝවිට ක්‍රීඩා හෝ ශාරීරික ව්‍යායාම් හෝ නොකරන, නැතිනම් ඒ සඳහා අවස්ථාව නැති අයයි. මේ අය සහජයෙන්ම අන් ක්‍රීඩාවලට අකැමැති අතර රති ක්‍රීඩාවට අධික ලෙස ලොල්ය. නැතිනම් ආශාවේ තරමට ඒ ක්‍රීඩාව කරගන්නට බැරි හෝ තෘප්ත කරගැනීම ගැන වරදකාරී හැඟීම් තමන් තුළ ඇතිවන ආශාවන් ඇති අය බව ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතවලට එබී බැලූවිට පෙනේ.

ක්‍රීඩාව මේ සියල්ලටම බෙහෙතකි. 

මම ඉන්නේ ගමකය. පසුගිය කාලයේ මම බයිසිකලයක් ‍මිළදීගෙන ව්‍යායාම සඳහා එය පදින්නට පටන් ගත්තෙමි. මුල් දිනවල පාරට බැස්ස හැටියේ සිට දන්නා අඳුනන අය අසන්නේ කෝ කාර්එක, බයික් එක ආදී ප්‍රශ්නයි. "අන්න අරූ බයිසිකලේට වැටිලා"යි ඇතැමෙක් සතුටු වූහ. දැන් අපේ ගෙවල් පාර කිලෝ මීටර් තිහකට වඩා එක සැරේ කඩලා හදනවාය. බයිසිකල් පැදීම ජීවිතයත්, මරණයත් අතර සටනකි. ගෙදර ව්‍යායාම කිරීම කම්මැලිය. ව්‍යායාම කරන්නට ගෙදරින් ඈත යාමට වෙලාව අඩුය. සංස්කෘතික හේතුද රැසකි. පාරේ දුවන එක කාටත් වඩා බල්ලන්ට අල්ලන්නේ නැත. උන් බුරාගෙන පස්සෙන් වැටෙති.

ගම්වල අවුල් ඔහොමය. ගම්වල ප්‍රාදේශීය සභාවල ඉන්නේ ක්‍රීඩාවක් ගැන අන්දෝ සංසාරයක් නොදන්නා දේශපාලන බත්බැලයෝය. උන් හිතන්නේ ක්‍රීඩා පිට්ටනි තිබෙන්නේ අනවසර කඩ හදන්නට, කානිවල් හා සංගීත සංදර්ශන තියන්නට කියාය. ගෝඨාභයතුමාගේ මැදිහත්වීමෙන් හෝ කොළඹ මේ වෙනස ගමට යනවානම් නරක නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-03-02

මං ආගම් නොඅදහන්නේ ඇයි?

බෞද්ධ මූලධර්මවාදී බොදු බල සේනාව කොළඹට ගවමස් බෙදාහරින දෙමටගොඩ ගව ඝාතනාගාරය නීති විරෝධී අන්දමින් වැටලුවේය. 

එහෙත්, ඔවුන් බලාපොරොත්තු වූ කිසියම් දෙයක් සොයාගන්නට බැරි වූයෙන් මස් කුණු වන බව කියමින් ආපසු ගියහ. මස් කියන්නේ ලාංකීය සමාජය මෙන්ම කුණු වෙමින්පවතින දෙයක් තමාය.

කොළඹ නගර සීමාව තුළ දැන් හරකුන් මරන්නේ නැති බව හා දෙම‍ටගොඩදී සිදුවන්නේ මරා ගෙන එනු ලබන මස් කොළඹට බෙදීම බවද කොළඹ නගර සභාව පවසයි. එතකොට මේ ඝාතනගාර තිබෙන්නේ කොහිද? 

ඝාතනාගාර කොහි තිබුණත්, ඒවාට හරකුන් ලැබෙන්නේ කොහෙන්ද? අප දන්නා තරමින් ලංකාවේ වැඩියෙන්ම හරකුන් ඇති කරන්නේ සිංහල බෞද්ධයෝය. හරකුන්ය කියා මෙහි කියන්නේ ඇත්තම කකුල් හතරේ සතුන්ටය. මේ හරක් වයසට ගොස් මරණයට පත් වී භූමදානය කරන අවස්ථානම් අති විරලය. එහෙම අවස්ථා තිබෙනවානම් පත්තරවලට පුවත් වන තරම් සුවිශේෂය. 

මේ ළඟදී දිනෙක මට හමු වූ සමෘද්ධි ආධාරවලින් කුඩා ගොවිපළක් පවත්වාගෙන යන එක් සිංහල බෞද්ධ දිරිය ගොවි මහතෙකු සමග කතා කරද්දී ඔහු සිය ගොවිපළේ කළුකුමන් සිටින බවටද අවශ්‍යනම් කිලෝව රු 500 ගණනේ දෙන බවද කීවේය. "හැබැයි මහත්තයෝ මරලානම් දෙන්න බැහැ. අපේ දුව කැමති නැහැ. ගෙදර ඇති කරන සත්තුනේ."

සිංහල බෞද්ධයන් හා මස් මාංශ අතර සම්බන්ධය ඉතිහාසය පුරාමත් ඔය වගේය. සාමාන්‍යයෙන් මේ ලියන්නාටද සතුන් සම්බන්ධයෙන් සංවේදී හැඟීම් තිබේ. එහෙත්, ඔහුද මස් කෑමට පෙරේතය. හරකුන් ඇති කරන අපේ දුප්පත් ගොවි මහත්තුරුද සතුන් ගැන සංවේදීය. එහෙත් මේ සමාජයේ මුදල් ගැන ඔවුන් ඊට වඩා සංවේදී විය යුතුය. ඒ නිසා හොරෙන්ම හරකා විකුණා දමා ඒ ගැන කල්පනා නොකර සිටිති.

අපේ සිංහල බෞද්ධයෝ පෝයට පන්සල් යන, ආගමික වතාවත් කරන, සතුන්ට උගුල්ද අටවන, මාළු ටිකක් බාගෙන කන, අලි ඇතුම් යදමින් බැඳ ජීවිත කාලය පුරාම වද දෙමින් තබාගෙන පෙරහැර පවත්වන, ඒවායේ පරස්පරතාවන් ගැන ගැඹුරින් නොසිතන සරළ සංස්කෘතියක උරුමකරුවෝය.

සෙසු ආගමික සංස්කෘතිද එවැනිය. මෙම ලියන්නා ඒවා ගැන කතා නොකරන්නේ ඒවා ගැන ඔහු එතරම් සවිස්තරව නොදන්නා නිසාය.එහෙත් පොදු තත්වය මෙයයි. 

ජාතිවාදියෝ, ආගම්වාදියෝ වනාහි මෙවැනි මූලධර්ම වෙනුවෙන් මරාගෙන මැරෙන පිරිසකි. නිදසුනක් ලෙස බෞද්ධ මූලධර්මවාදියෝ සතුන් මැරීම වැළැක්වීම වෙනුවෙන් ඔවුහු මිනිසුන් මරන්නට සූදානම්ය. ජාතික හා ආගමික ස්වෝත්තමවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුහු ජන සංහාර වෙනුවෙන් පෙනී සිටිති.මෙය බෞද්ධ, ඉස්ලාම්, කතෝලික වැනි සෑම ආගමකම ප්‍රජාවන් අතර දක්නට ලැබෙන දෙයකි.

ආගමික අනන්‍යතා වනාහි මෙවැනි විකාරවලියකි. මෙම ලියන්නාට ආගමික අනන්‍යතාවක් නැති බව ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ ඒ නිසාය. ඔහු ලාංකිකයෙකි. සිංහලයෙකි. බුද්ධ ධර්මයට විශේෂ ගෞරවයක් ඇත්තෙකි. 

ආගම් ඇදහීම මිනිසුන්ගේ පෞද්ගලික කටයුත්තක් බව ඔහු තරයේ විශ්වාස කරයි. ලියන්නා මාක්ස්වාදයද ඇතුළුව කිසිදු ආගමක් නොඅදහයි. එහෙත් ඔහුට ආගම් සමග සංවාදයක් තිේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න