2013-06-29

අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න


ආණ්ඩුව බුරුමයේ බෞද්ධ බින් ලාඩන් ලෙස හැඳින්වෙන 969 ව්‍යාපාරයේ අධිපති විරතු නම් අන්තවාදී 'බෞද්ධ' භික්ෂුවගේ ඡායාරූපයෙන් 'හැඩ' වූ ජුලි මාසයේ ටයිම් සඟරාව කටුනායක ගුවන් තොටුපළේ රඳවාගෙන කවරය ඉරා‍ නිදහස් කරනවා ද නැතිනම් නිදහස් නො කරම ඉන්නවාදැයි කල්පනා කරමින් සිටියි. 

කවරය ඉරුවා ය කියා දැන් වැඩක් නැත. දැන් ලෝක පරිමාණෙන් ම කොළේ ඉරාගෙන ඉවර ය. මේ කොළේ ඉරිල්ලට විරතු වගේ ම දායක වූ තවත් පිරිසක් ලංකාවේ සිටිති. නම් වශයෙන් කියනවා නම් මහ හුඟකි. ලංකාවෙන් හා බුරුමයෙන් මේ රැල්ල මතු වන තුරු බුදු දහම ගැන මෙවැනි නිශේධනීය අදහස‍් ලෝකයේ මුල් බැස ගත්තේ නැත.

අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය කෙළෙසූ මේ බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බුදු සසුන බේරා ගැනීම සඳහා සැබෑ බෞද්ධයෝ දැන්වත් පෙරට පැමිණිය යුතු ය. 

බෞද්ධයිනි, සැබෑ බුදු දහම සොයා යන්න. බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව සිදු වන මරණ

අලුතින් ලැබුණු විදුලි බිල්පත ගෙවීම සඳහා ඊයේ (28 වැනිදා) පෙරවරුවේ කොළඹ, කොටුව විදුලිබල මණ්‌ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණි හැට එක්‌ හැවිරිදි පුද්ගලයකු හෘදයාබාධයක්‌ වැළඳී එම පරිශ්‍රයේ ඇද වැටී මියගොස්‌ ඇති බවක් අද පුවත්පත්වල වාර්තා වී තිබෙනවා.

මේ අනුව අපි මේ මරණ ය මෙහෙම නම් කරමු ද?

‍අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව මිය ගිය පුද්ගලයෙක්.

මේ විදියට ඔය වස බොන, සිය දිවි නසා ගන්න අය ගැන වුණත් හොයලා ‍ඒ මරණ විදුලි බිල සමග සම්බන්ධ කරන්න පුළුවන්. කවුරුහරි වස බිව්වේ විදුලි බිල ආ දවසේ හරි, ඊට පසුදා හරි, ඒ සුමානේ හරි, විදුලි බිල ගෙවූ දා හරි, ඊට පසු දා හරි, ඒ සුමානේ හරි නම් අපට ලේසියෙන් ම පුළුවන් මේ මරණ විදුලි බිල එක්ක සම්බන්ධ කරන්න.

ඔය විදියට පුවත් නිර්මානය කරන්න පුළුවන් 'මේ වන විට අධික විදුලි බිල දරා ගන්න බැරිව මෙච්චර පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගිහින් තිබෙනවා' එහෙම කියලා.

මේ ක්‍රමය ගොවීන්ගේ සිය දිවි නසා ගැනීම්වලදී ලංකාවේ විතරක් නොවෙයි ඉන්දියාවේත් සාර්ථකව පාවිච්චි කෙරුණා. ගොවීන් සිය දිවි නසා ගන්නේ ණය බර නිසා ය කියා මතවාදයක් නිර්මානය කරන්න පුළුවන් වුණා. සිය දිවි නසා ගන්න එවුන් එසේ කරන්නේ සංකීර්ණ මානසික හේතු මත. ඒත්, මේ ක්‍රමය ඔස්සේ ඒ මරණවලට දේශපාලනික අර්ථයක් නිර්මානය වුණා.

ප්‍රවෘත්ති කියන්නේ සත්‍යය ම නොවෙයි. සත්‍යය හෝ බොරුව හෝ මත පදනම් වූ නිර්මානශීලී දේශපාලනික කාර්යයයක්. පාලකයෝ, පීඩකයෝ, ධනපතියෝ, ජාතිවාදියෝ කරන්නේ තමන්ගේ වාසියට ප්‍රවෘත්ති නිර්මානය කරන එක. ඔවුන් අධ්‍යාපනය හරහා කරන්නේ ඔවුන්ගේ බොරු ගිලින්න මිනිසුන්ගේ ඔලු හැඩගස්වන එක. ප්‍රවෘත්ති ඇත්ත ය කියා හිතන්නේ එවැනි අය පමණයි. 

තෝමස් ජෙෆර්සන් කියා තිබෙන විදියට පුවත්පත්වල විශ්වාස කළ හැකි  ඇත්ත තිබෙන්නේ දැන්වීම්වල පමණයි. 

යහපත් සමාජයක්‍ වෙනුවෙන් වැඩ කරන මිනිස්සු යථාර්ථය අවබෝධ කර ගත් බුද්ධිමත් මිනිසුන් නිර්මානය කරන්න වැඩ කරන්න ඕනෑ. අනෙක් පැත්තෙන්, පාලකයන්ගේ මතවාදී යාන්ත්‍රණයට අසු වුන මිනිසුන් මෙහෙයවා ගැනීම හෙවත් මැනිපියුලේට් කිරීම ගැනත් සිතන්න ඕනැ.

කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී නම් ලිපියට මාතලන් දමා තිබෙන මුලින් ම පළ වී තිබෙන කමෙන්ටුවේ අදහසයි මම කියන මේ කාරණෙයි අතර සම්බන්ධයක් තිබෙනවා. මාතලන් කියන දේට මම එකඟ නැත්තේ නැහැ. අර මම කියූ පාලකයන්ගේ මතවාදී යාන්ත්‍රණයට අසු වුන මිනිසුන්ට උන් කන පොල්කුඩුවලට ම දාලා බෙහෙත් පොවන්න ඕනැ බව ඇත්ත. නැතිනම් උන් කවදාවත් බෙහෙත් බොන්නේ නැහැ.

හැබැයි, අපි අර‍ නස්රුදීන්ගේ කතාවක කියවෙනවා වගේ තමන්ගේ බොරුවලට තමන් ම රැවටෙන්න ඕනැ නැහැ.

ඇලෙක්සැන්ඩර් ග්‍රහැම් බෙල් කියපු ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. "ඇමරිකාව නව නිර්මානකරුවන්ගෙන් පිරුණු ‍රටක්. ඒ අතරින් විශිෂ්ටම නව නිර්මානකරුවන් වන්නේ පත්තරකාරයෝයි."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-28

කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී

නවගත්තේගම පාසලේ ගුරුවරිය දන ගැස්සූ බව කියන වයඹ පළාත් සභාවේ 'හිටපු' මන්ත්‍රීවරයාට ඊයේ ඇප ලැබුණා. මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරියක් දන ගැහුවත්, වෙනත් අයෙකුට හිංසා කළත් මිනිහෙකුට දඬුවම් කළ යුත්තේ නීති මාර්ගයෙන්. 

මම ගුරුවරයෙක්. මම දැන් වසර 20ක් තිස්සේ මේ රස්සාව කරනවා. මම නම් හිතන්නේ නැහැ, ගුරුවරු කියන්නේ පූජනීය පිරිසක් කියලා. මට නම් වත්මන් ලෝකේ ඉන්න කවුරුවත් පූජනීය නැහැ. 

ගුරුවරු උත්සාහ කරන්න ඕනැ පූජනීය වෙන්න නොවෙයි. වෘත්තික වෙන්න. ඒ සඳහා ගුරුවරු තමන් උගන්වන විෂය හා ශික්ෂණ විද්‍යාව අඛන්ඩව හදාරන්න ඕනැ. නව ඉගැන්වීම් ක්‍රම අත්හදා බලන්න ඕනැ. නිර්මානශීලී වෙන්න ඕනැ. 

ගුරුවරු උත්සාහ කරන්න ඕනැ ළමයින්ගෙන් වැඳුම් ගන්න නො වෙයි. ළමයින්ගේ ආදරය ලබන්න. මට නම් ඒකත් අදාළ නැහැ. මොකද, මට නම් මං කරන වැඩේට පඩියක් ගෙවනවා. පඩිය මදි නිසා මම වෘත්තීය සමිතියක් එක්ක එකතු වෙලා ඒක වැඩි කර ගන්න සටන් කරනවා. පඩි වැඩි කරනකල් ජීවත් වෙන්න ඕනැ නිසා හවසට හවසට ඔය පරිවර්තන වැඩක් වගේ අතානාත්තුවක් කරගන්නවා. ඉර හඳ අල්ලන්න උත්සාහයක් නැති නිසා ලැබෙන ප්‍රමාණයට වියදම් කරලා, ලොකු අතෘප්තියක් නැතිව, පොඩිවුන් එක්ක සතුටින් ජීවත් වෙනවා.

ආදරේ බලාගෙන වැඩ කරන්න ගියාමත් ප්‍රශ්න.මොකද මේ සමාජයේ ඉන්න ළමයින් කියන්නේත් මල් වගේ නිර්මල පිරිසක් නොවෙයි. මව් කුසේ ඉන්න කාලේ සිට ම මේ ළමයි දූෂණය වෙලායි ඉන්නේ. ඒක සමාජයේ වරදක් මිස ළමයින්ගේ වරදක් නොවෙයි. ඒ නිසා තමන්ගේ වැඩේ කරලා, සියල්ල අමතක කරලා, ගේට්ටුව ගාවදී ඉස්කෝලේ ඔලුවෙන් බිම තියලා ගෙදර ගියාම ඉවරයි කියලා තමයි මම නම් හිතන්නේ. 

අපේ පැත්තේ දොඩංගොඩ ඉස්කෝලෙක විදුහල්පතිනිය දරුවකුට අමානුෂික ලෙස පහර දී තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් අද දිවයින පත්තරේ පළ වෙනවා. හේතුව ඒ ළමයා විසින් හදන ලද පොසොන් පහන් කූඩුවකට ලැබුණු ත්‍යාගය ගන්න වේදිකාවට ගොඩ වීම ය කියලායි කියන්නේ. ඒ තෑග්ග ඇමති කුමාර වෙල්ගම අතින් ගන්න විදුහල්පතිනියට ආසා තිබිලා. 

දොඩංගොඩ සිද්ධියේදී වුණත්, නවගත්තේගම සිද්ධියේදී වුණත්, ජනමාධ්‍යවල පළ වන්නේ 100%ක් ඇත්ත ය කියා මම නම් හිතන්නේ නැහැ. මේ සිද්ධි වාර්තා කරන්නේ ම භාවාතිශය අන්දමින් නිසා විත්තිකාර පාර්ශ්වයට අගතියක් වෙනවා. හැබැයි මගේ අත්දැකීම් අනුව නම් විදුහල්පතිවරයකු මේ අන්දමින් හැසිරීම ගැන මට කිසිම පුදුමයක් නැහැ.

ලංකාවේ පාසල් කියන්නේ ළමා වියේ සුන්දරත්වය කෙළෙසන, නිදහස අවුරන, නිර්මානශීලිත්වය මොට කරන වධකාගාර විශේෂයක්. ඉතින් විදුහල්පතිවරයා කරන්නේ කුමන කාර්යයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනැ නැ‍හැනේ. ඒක එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි, ගුරුවරයාගේ භූමිකාවේ තිබෙන ගැටලුව. ගුරුවරයා කියන්නේ ඉතා අඩු වැටුපක් ලබන පුද්ගලයෙක්. ඒ මදිවාට නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ පීඩනය නිසා පෙළෙන පුද්ගලයෙක්. මධ්‍යම පංතික උන්නතිකාමී ජීවිතය ගැට ගසා ගන්න ඔහු අමතර වැඩ කළ යුතුයි. ඒ නිසා ඔහුට විවේකය නැහැ. අවිවේකය නිසා ශාස්ත්‍රීය අධ්‍යයනවලට වෙලාව නැහැ. ණය බර අධිකයි. පවුල් ජීවිත අවුල්. අසහනය උතුරනවා.

බොහෝ ගුරුවරුන්ට හිතෙන්නේ ලැබිය යුතු ගෞරවය තමන්ට සිසුන්ගෙන් ලැබෙන්නේ නැහැ කියායි. ඒ නිසා ඔවුන් පාසල් ගේට්ටුවෙන් ඇතුළු වන්නේ ම යක්ෂයාට ඇඳගෙන. අර තමන්ට ලැබිය යුතු යයි හිතන ගෞරවය ගන්න මාරාවේෂයෙන් හැසිරෙන අය දකින්න පුළුවන්. 

බොහෝ විට විදුහල්පතිවරයෙක් කියන්නේ රෝග ලක්ෂණ එකතුවක් හෙවත් සින්ඩ්‍රෝමයක් ය කියා කිව්වාට වැරදි නැහැ. එහෙම විදුහල්පතිවරු ළමයින්ටත්, ගුරුවරුන්ටත්, දෙමව්පියන්ටත් වධයක්. දිවයින පුවත්පතේ වාර්තා වන සිද්ධිය කියවන විට මට නම් හිතුනේ මෙවැනි කුහකකම් පාසල්වල කොයි තරම් සුලබ ද, වාර්තා වන්නේ කීයෙන් කීය ද කියලායි.

ගුරුවරයාගේ රැකියාව කියන්නේ ඉතා දුෂ්කර එකක්. මන්ද, දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ අමනෝඥ ඇඟිලි ගැසීම් මැද, ප්‍රායෝගික භාවිතාවේ නැති පරමාදර්ශී සාරධර්ම මත පදනම් වෙලා සිසුන් ශික්ෂණය කරන්න යනකොට කරදර ගොඩයි. සිසුවා කියන්නේ විශේෂයෙන් ම ජනමාධ්‍ය විසින් හා පොදුවේ සමස්ත සමාජය විසින් ම ප්‍රවර්ධනය කරනු ලබන දුර්ගුණ සිය නො මේරූ මනසින් වැළඳගෙන පාසලට එන අසර‍ණයෙක්. උදාහරණයක් ලෙස, ආණ්ඩුවෙන් නොමිළේ දෙන රෙද්දෙන් ගවුම කොටට මහගෙන එන, කලිසම ස්ටොකිං එකක් වගේ මහගෙන, සාරි හැට්ට මගේ කමිස ඇඳගෙන එන ළමයින්ට මොනවද කරන්න ඕනැ කියන එක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ළමයි මේ ඇඳුම් මහගෙන ඇඳගෙන එනකල් දෙමව්පියෝ මොනවද කළේ? ඉඩ දුන්නොත්, ළමයි රෙදි නැතුව පාසල් එන්න පවා ඉඩ තිබෙනවා. වත්මන් සමාජ අර්බුදය මැද සාමාන්‍යයෙන් ළමයි අනුගමනය කරන්න පෙළඹෙන්නේත් යමක් හරියට කරන මිනිසුන්ව නොවෙයි. අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ, පේනවනේ අපේ නායකයන් වෙලා ඉන්නේ කවුරුද කියලා. දියුණු වෙන්න නම් කටයුතු කළ යුත්තේ ඒ අය වගේ ය කියා ළමයින් හිතන එක සාමාන්‍යයි. 

ගුරුවරයාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න හරිම සංකීර්ණයි. මේ ප්‍රශ්නවලදී මම නම් හිතන්නේ මේවා රටේ සමස්ත අර්බුදයේ ම කොටස් ය කියායි. ඒ නිසා ගුරුවරයකු ලෙස මට ඒ තත්වයන් වෙනස් කරන්න කරන්න පුළුවන් මැදිහත් වීමේ සීමාවන් තිබෙනවා. ඒ නිසා මම නම් ඉන්න තැන තමයි, ඕවා ඕනෑවට වඩා ඇඟට ගත යුතු නැති බව. මොකද, ළමයින්ට විෂය උගන්වන හා පංති භාරව ඉන්න ගුරුවරු විතරක් නොවෙයි මේ තත්වයන්ට වගකිව යුත්තේ. දෙමව්පියන්, වැඩිහිටියන්, නිලධාරීන්, දේශපාලකයන්, ආගමික හා සමාජ නායකයන් ආදී අටෝරාශියක් තවත් අයත් ඉන්නවානේ. ගුරුවරයාට උඩින් නිලධාරීන් තට්ටු පිට තට්ටු ඉන්නවා. අපි මොකටද මේ ප්‍රශ්නවලට තනියම කර ගහන්නේ?අපට කරන්න තියෙන්නේ මෙන්න ප්‍රශ්නය, මෙන්න මං කළ දේ කියලා පෙන්නලා, ඉන් ඉදිරියට කරන දේ සෙසු බලධාරීන්ට පවරන එකයි. මේ කියවන ඔබත් එක් බලධාරියෙක්.

මං ඉස්කෝලෙ පංතියක් භාරව ඉන්නවා. ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්‍යය හා සන්නිවේදනය හා මාධ්‍ය අධයයනය කියන විෂයන් උගන්වනවා. පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාරවත් කටයුතු කරනවා. මං දන්නේ නැහැ, මට නම් වේවැල්, කෝටු, නාරං, සියඹලා අතු නැතිව මේ ටික කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ප්‍රශ්න නැත්තේ නැහැ. ඒ වුණාට ඉතින් ඒවා මගේ විතරක් ප්‍රශ්න නෙමෙයිනේ.

අපේ ගුරු සහෝදර සහෝදරියන්ට ආදර්ශ පාඨයක් කර ගත හැකි කවියක් රැපියල් තෙන්නකෝන් කවියා ලියලා තිබෙනවා.

නිසි ‍දේ ඉගෙන ගන්නට මට කියා නො දී
බැට දේ එහෙත් කළ කළ දේ යයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-25

දිල්හානි ඒකනායකගේ සරළ වදන් තුළින් මතු වන ගැඹුරු දහම

දිල්හානි ඒකනායක සුන්දර නිළියකි. ප්‍රසන්න විතානගේගේ 'ආකාස කුසුම්' චිත්‍රපටයේ ඇගේ රංගනය මගේ මතකයේ රැඳී තිබේ.

ඇය සාමාන්‍යයෙන් ගැඹුරු කතිකාවන්ට සම්බන්ධ වන කාන්තාවක නො වේ. එහෙත්, ඇය ඇගේ සරළ අදහස් ඔස්සේ ගැඹුරු දැක්මක් ප්‍රකාශ කරන්නට දක්වන උත්සාහයක් මෙම වීඩියෝව තුළ දුටිමි. ඇයට මහපටැඟිලි දෙකක් ඔසවමින් එම වීඩියෝව මෙහි ගැබ් කරමි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-24

පාලක පවුල වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා යෝජනා

Colombo Telegraph graphic
එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අගනා යෝජනාවක් කර තිබේ.

ජනමාධ්‍යවේදීන්ට හෝ දේශපාලනඥයන්ට ආචාර ධර්ම පද්ධතියක්‌ හඳුන්වා දීමට පෙර මෙරට ජනාධිපතිවරයාට සහ ඔහුගේ සමීප ඥාතීන් වෙත ආචාරධර්ම පද්ධතියක්‌ වහාම හඳුන්වා දිය යුතු බව ඔහු පවසයි.

ජනාධිපති තනතුර දරන්නා ආචාර ධර්ම නැති අයකු බවට පත් කිරීම සඳහා සෑහෙන දායකත්වයක් චන්ද්‍රිකා බංඩාරනායක ජනාධිපතිනිය සමයේ මංගල සමරවීර කළේ ය. එහෙත්, ඔහුගේ මේ යෝජනාව අගය කළ යුතු ය.

පහත පළ වන්නේ එකී ආචාර ධර්ම පද්ධතිය සඳහා යෝජනා මාලාවකි. 

  • මැතිවරණ පවත්වන දින තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී යයි ප්‍රසිද්ධියේ නො කීව යුතු ය
  • මැතිවරණවලදී නිශ්චල හා චංචල රාජ්‍ය දේපල එකක් දෙකක්වත් තමන්ගේ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් නො යොදවා ඉතිරි කළ යුතු ය
  • මහජන මුදලින් දන්සල් දී තමන් පමණක් පිං නො පැතිය යුතු ය
  • රාජ්‍ය වියදමින් තමන්ගේ පවුලේ පංගුව සෙසු සමස්ත කැබිනට් මණ්ඩලයේ ම වැය ශීර්ෂවල එකතුවට වඩා ගොඩක් වැඩි නො වන පරිදි තබා ගත යුතු ය
  • 'සංවර්ධනය' සඳහා ගන්නා ණය වෙනුවෙන් උගස් තබන අනාගත පරම්පරා ගණන නිවේදනය කළ යුතු ය
  • ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීමේදී අඩු තරමේ කැබිනට් මණ්ඩලයවත් දැනුවත් කළ යුතු ය (විමල් වීරවංශ කියන පරිදි පී.බී. ජයසුන්දරට පමණක් එය කරන්නට ඉඩ නො දී)
  • ජාතීන්ගේ ප්‍රශ්නය වැනි බරපතල ප්‍රශ්නවලදී තමනුත් තීරණ ගැනීම්වලට සම්බන්ධ විය යුතු ය
  • වැඩිමහල් අය හා පූජකයන් ලවා වන්දවා නො ගත යුතු ය
  • රග්බි තරග පැරදුණු පසු විනිසුරුවන්ට පහර නො දිය යුතු ය
  • ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය අඩු තරමේ නිවැරදිව උච්චාරණය කිරීම හෝ කළ යුතු ය
  • හරකුන්ට හරක් අයිතිවාසිකම්, බල්ලන්ට බලු අයිතිවාසිකම් සේ ම මිනිසුන්ට මිනිස් අයිතිවාසිකම් ද ලබා දිය යුතු ය
  • මාධ්‍ය'වේදීන්ට' සුදු වෑන් ලබා නො දී උදෑසන ආහාර පමණක් ලබා දිය යුතු ය

ඔබටත් මෙම ආචාර ධර්ම පද්ධතියට අදහස් එකතු කළ හැකි ය


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-21

සිලෝන් ටකරං බස්

පාන් ගෙඩි බස් එකක්
බස් කියන්නේ ඇත්තෙන් ම මගේ ජීවිතේ ලොකු කො‍ටසක්. දැන් බස්වල යනවා අඩු මෝටර් සයිකලේ නිසායි. ප්‍රයිවෙට් බස්වල යන සිංදු නිසාත් බස් ගමන කම්මැලියි. බස් ගමන එපා ම වුණේ දුෂ්කර සේවා කාලයේ පදවිය හා මතුගම අතර පැය දොළහක් පහළොවක් තිස්සේ ගිය ගමන් නිසායි. නිකම් නොවෙයි, චෙක් පොයින්ට් හය හතක බහිමින්. ඒත්, පුංචි කාලෙ වැඩියෙන් ම ආසා කළ වස්තුවක් වන බස් ගැන මේ සටහන ලියන්න හිතුණේ බස් පිස්සෙකු විසින් කරනු ලබන බස් බ්ලොග් එකක් නිසායි.

මට අවුරුදු හතරක් විතර කාලෙ ෆොටෝ එකක් ගන්න ආච්චි එක්ක බස් එකක මතුගම ටවුමට ගිය හැටි තමයි, මට බස් ගැන තිබෙන මුල් ම මතකය. ඒකත් හීනයක් වගේ. ඒ කාලේ අතරමග හිරිකැටිය පාලම කැඩිලා. මෙහා ගොඩින් සෙනග බස්සලා, පාලම උඩින් හෙමින් ගිහින් එහා ගොඩින් ආපහු සෙනග නංවාගෙන තමයි, බස් එක ගියේ. 

ඊට පස්සෙ එකේ පංතියේ ඉඳන් බස් ‍එකේ ඉස්කෝලෙ ගියා. තුනේ පංතියේ ඉඳලා ගියේ තනියම. යන්න කැමති ම රියදුරු අසුන පිටිපස්සෙ. ඩුයිවර් උන්නැහේ බස් එළවනවා බලන් ඉඳලා ම නිකම් ම බස් එළවිල්ල පුරුදු වුණා. ඒ කාලෙ බස්වල තිබුණු කරකවන රෙදි බෝඩ් අපට මාර මැජික්. ඩ්‍රයිවර් උන්නැහේ බස් බෝඩ් කරකවනකොට අපි බිම ඉඳන් ඒවා කියවනවා. කළු රෙද්ද එති, එතී උඩට යනකොට, කොළඹ, කලුතර ආදී නගර, ගම් නම් වගේ ම 'පුද්ගලික ගමනක්', 'පරීක්ෂණ ගමනක්' වගේ ඒවාත් පහු‍ වෙනවා. කොන්දොස්තර උන්නැහේ බිම ඉඳන් කියන්න ඕනැ දැන් කරකැවිල්ල නවත්වන්න කියලා. අදාළ ගමනාන්ත නාමය පහු කරමින් එහාට මෙහාට කරකවන එක ටිකක් විහිළුයි. බස බෝඩ් එකක් කරකවන්න දෙන්නෙකු අවශ්‍ය නිසා වෙන්න ඇති මේ බෝඩ් අයින් කළේ. ඒ දවස්වල අපි හීනි කඩදාසි පටියකුයි, ඉරටු කෑලි දෙකකුයි, පාවිච්චි කරලා ගිනි ටේටියකින් මේ වගේ කරකවන බස් බොඩ් හදලා අපේ කාඩ්බෝඩ් බස්වල සවි කර ගන්නවා.

හතරෙ, පහේ වගේ පංතියක ඉන්න කාලෙ එක දවසක් නෑබඩ කපිලයි, මායි ඉස්කෝලෙ ඇරිලා එන ගමන් ඩිපෝ එක ඉස්සරහා අගලවත්ත පාරෙ (ඒ කාලෙ මතුගම ඩිපෝ එක තිබුණෙ දැන් පාතාලෙ තිබෙන තැන) පේළියට නවත්වලා තිබුණු බස් ඔක්කොගේ ම පස්ස දොරෙන් නැගලා, ඉස්සරහින් බැහැගෙන ආවා. කපිල ඇහුවා බෝඩ් එක කරකවමු ද කියලා. එයා මුලින් නැගලා කරකැව්වා. මම බිම ඉඳන් කියෙව්වා. ඊට පස්සෙ මම ඩ්‍රයිවර්ගේ සීට් එක උඩ නැගගෙන මාර සතුටකින් බෝඩ් එක කරකවද්දී ඩ්‍රයිවර් උන්නැහේ ඇවිත් මාව අල්ලගෙන ඩිපෝ එකට අරන් ගියා. 

ඒ කාලෙ බස්වල 'ඔබත් තෙල් පෙත්සම අත්සන් කළා ද?', 'ලංකා‍ව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි' වැනි පාඨ තිබුණු පෝස්ටර් අලවලා තිබුණා. සමහරු අර පස්සෙ කියපු පෝස්ටරේ හැයන්න ඉරුවා. හැබැයි, අපි නම් එහෙම වැඩ කළේ නැහැ. ඒ වුණාට ඩ්‍රයිවර් උන්නැහේ චෝදනා කළේ මම ඒ පෝස්ටර් ඉරුවා කියලායි.

කවුරුද ලොකු මහත්තයකු ගාවට මාව දැම්මා. ඔහු මාව බය කරලා මාව පොලිසියට අල්ලා දෙනවා කියලා ටෙලිෆෝන් එකෙන් කතා කරලා පොලිසියට කිව්වා මාව අරන් යන්න එන්න කියලා. සමහරවිට බොරු කෝල් එකක් වෙන්න ඇති ගන්න ඇත්තේ. ඒත්, මට දැන් චූ යන්න තරමට බයයි. "පොලිසිය එනකල් ඔහොම ඉන්නවා" යි කියලා ඒ අය තමන්ගේ වැඩවල යෙදුණා. මමත් ඔහේ මුල්ලක හිටගෙන හිටියා. ටික වෙලාවකින් මට පෙනුණා, කවුරුවත් මා ගැන අවධානයකින් නැති බව. මම පැන්නා. එතකොට පාසල් බසය ගිහින්. ඊළඟ බස් එකේ ගෙදර යනකොට අපේ අක්කා ගෙදර ගිහින් වැඩේ පත්තු කරලා. මල්ලිව ඩිපෝ එකෙන් අල්ලගෙන යනකොට ඒ දෙස නිකම් බලාගෙන සිටි අක්කාගේ තොරතුරු මත පදනම් වෙලා අපේ ගෙදර මාර සේනාව ලෑස්ති වුණේ මාව හැරෙන තැපෑලෙන් පොලිසියට භාර දෙන්න. 

කොයි හැටි වෙතත් බස් කියන්නේ මාර දෙයක්. ඒ දවස්වල මම අපේ තාත්තාගේ බයිසිකලය හිතින් බස් එකක් ක‍රගෙන ගේ වටේ රූට් එකක් හදාගෙන බස් ඩ්‍රයිවර් කෙනෙක් විධියට වැඩ කළා. මම වැඩ කරපු ඩිපෝ එකේ නම සමනලතැන්න. හෙන කඳුකර පළාතක්. ටොයිලට් එක වටේ, නන්නන් ගහ රවුමේ අතිශය භයානක වංගු පසු කරගෙන තමයි ගමන යන්න තිබුණේ. ලේලන්ඩ් එකක් එළවන දාට එක සද්දයක්. ඕ එම් ටිග්‍රටෝ ෆියට් බස් එළවන්නත් මම කැමතියි. ඒකෙ සද්දෙ වෙනස්. පස්සෙ පස්සෙ ටාටා, ඉසුසු එහෙමත් එළෙව්වා. හැබැයි කටින්. හිටි ගමන් අපේ තාත්තා දෝස් මුරේ දානවා "දැන් ඔය ඇති, ඕක නවත්තලා පොතක් බලා ගනින් කියලා." ඒ ගොල්ලෝ දන්නවයැ ගමනාන්තයට තව දුර බව. අන්තිමට තාත්තා දෙකක් දුන්නා ම මම හිත හදා ගන්නේ බස් එක පෙරලුණා කියලායි. 

අපේ ගෙය කිට්ටුව වෝගන් පල්ලමේදී එක්දාස් නමසිය හැත්තෑ ගණන් අග භාගයේදී බස් එකක් උඩුකුරුව පෙරළුණා. ඒක ගැනත් මාර කතා තිබුණා. ඒ කිට්ටුව කිතුල් ගහක හිටපු ජූලිස් අයියා කිව්වා මිනිහා ගහ උඩ ඉඳන් දැක්කා ය බස් එකේ ක්ලච් එක පනිනවා. බස් එකේ ආපු අය කිව්වා මුස්ලිම් මිනිහෙක් වන රියදුරා 'අල්ලා' කියා කෑ ගැහුවාම ඒගොල්ලන් පොලු අල්ල ගත්ත නිසා පණ බේරුණා ය කියලා. දොඹකර දෙකක් ගෙනත් බස් එක ගොඩ ගන්න දවස් දෙකක් ගියා. ඒ දවස්වල ගමේ කේන්ද්‍රය වුණේ බස් එක. බස් එක පෙරළිච්ච එක ගැන මිනිස්සු සෑහෙන කාලයක් කතා කළා.

ඉස්කෝලෙදි අපේ පංතිවල ඩෙස් සැරසුවෙත් බස් රූප. ඩෙස් එක බ්ලේඩ් තලෙන් හූරලා ඔප කරගෙන බෝල්පොයින්ට් පෑනෙන් ඒවා ඇන්දෙත් අපිමයි. වැඩිපුරම ඇන්ද බස් එක 23 ශ්‍රී 3212. ඒකෙ මතුගම කොමළි කියලා ඉස්සරහ ලියලා තිබුණා. විනෝද චාරිකා යාම සඳහා වෙන් කරලා තිබුණු මේ ලේලන්ඩ් පවර්ප්ලස් බස් එක තනිකර කලාගාරයක්. ඒ කාලෙ බස් ඩිපෝවල චිත්‍ර ශිල්පියෝත් හිටියා. සමහරු ලැකර් හෙවත් ‍එනැමල් තීන්තවලින් ලස්සන නිර්මාණ කළා. මම මුලින් ම දැකපු භූමි දර්ශන චිත්‍ර ඇන්දේ මේ බස් කලාකාරයෝ. ඒවායේ ‍පොකුණු, ගස් වැල්, පාරවල්, අහස ඇරුණා ම බොහෝ විට තිබුණේ ඒ බස් එක ම තමයි. මට මතකයි එක කාලෙක තීන්ත ආලේප කරලා වේලෙන්න කලින් කුප්පි ලාම්පු දැල්ල අල්ලලා මාර ලස්සන බතික් වගේ මෝස්තරයක් මේ කලාකරුවෝ නිර්මානය කළා. බස්වල ලැකර් තින්ත සුවඳ තවමත් නහයට දැනෙනවා වගේ. 

අපේපංතියේ හිටිය දුල්මිණි බංඩාරගේ (දැන් නීතිඥ) තාත්තා මතුගම ඩිපෝවෙ පරීක්ෂක කෙනෙක්. ඒ නිසා එයා සැරින් සැරේ කවකටු පෙට්ටියට එක එක පේන්ට් පාරවල් අල්ලාගෙන ආවා. එක වතාවක් මගෙත් කවකටු පෙට්ටිය පාට කරවලා දුන්නා.

ඒ කාලෙ අපි ඩිපෝ තාප්පෙ අයිනෙ පාර දිගේ යන්නෙ ඇතුළෙ තිබෙන බස් ගැන හීන මව මව. මතුගං කන්ද උඩට නැගලා ඩිපෝ එකේ දර්ශනයක් අල්ල ගන්න අපි උත්සාහ කළා. හැබැයි වටේ තාප්පෙ නිසා එහෙමට දෙයක් දකින්න ලැබුණෙ නැහැ. ඩිපෝ එක පිටිපස්සෙ උප දිසාපති කාර්යාල වත්ත කෙළවරේ කළු තෙල් වල බලන්නත් අපි යනවා. සමහරු කිව්වේ ඒ තෙල් වල පතුලක් නැති තරම් ගැඹුරුයි කියලා.

3212 බීට් එකට ගහන්න බීට් එකක් තවම මම බස් එකකින් අහලා නැහැ. ඒක හරියට මිහිරි ගීතයක් වගේ. ඒක ඇතුළෙ චිත්‍ර, ලයිට් මදිවාට නිවෙන පත්තු වන බල්බ් සහිත බුද්ධ හා දේව රූප පෙට්ටියකුත් රියදුරු අසුන ඉදිරිපිට තිබුණා. ඒ පෙට්ටිය ඇතුළේ රූප ළඟ වළාකුළු වගේ තිබුණේ පුළුන්.එහි ලයිට් නිවුණේ පත්තු වුණේ සිග්නල්, බ්‍රේක් එහෙම වැඩ කරන විදියටයි. බ්‍රේක් ගහන කොට බුදු හාමුදුරුවන් ගාව රතු බල්බ් එකක් පත්තු වුණා.

එක වතාවක් අපි 3212 බස් එකේ ට්‍රිප් එකක් ගියා. ඒකෙ බැට්‍රි පෙට්ටිය උඩ යන්න ලැබිච්ච එක තමයි ට්‍රිප් එකේ ලොකු ම සොමිය. හැත්තැ හතේ එජාපය බලයට අවාට පසුව 3212ත් වෙන්දේසි කරලා දැම්මා. ඒක ඒ දිනවල අපේ හද කම්පා කරපු සිද්ධියක්. අපේ පංතියේ කොල්ලෙක් කිව්වා දොඹකරේකින් 3212 ඇදගෙන යනවා දැක්කා ය කියලා. ඒක ගත්තු අය මම හිතන්නේ බස් එක මස් කළා. නැතිනම් කොහේදි හරි පසුව දකින්න ලැබෙනවා. ඒ කාලෙ මතුගම පැත්තේ වතු පාරවල්වල දුවපු ෆියට් බස් අතරින් 23 ශ්‍රී 1764 මම මේ ළඟදිත් පාරක දැක්කා. දැන් ඒවා තියෙන්නේ හද්දා පිටිසර පැතිවල. 

පුංචි දරුවන්ගේ ෆීඩිං කප් දැක්කා ම මට තවමත් පරණ බස් මතක් වෙනවා. ඒවායේ රියදුරාගේ දකුණු අත පැත්තෙන් ෆීඩිං කප් එකක් වගේ රතු පාට කෝප්පයක් තිබුණා. ඒකෙන් තමයි, සිග්නල් දැම්මේ. ඒක ඇතුළේ කණාමාදිරි එළියක් නිවි නිවී පත්තු වුණා.  

හුඟක් බස්වලට යතුරු නැහැ. වයර් කෑලි දෙකක් මූට්ටු කරලා තමයි ස්ටාට් කළේ. සමහර බස්වල ස්ටාටර් මෝටරේ හිර වෙනවා. ඒවායේ තිබුණා දිග රීප්ප පටියක්. කොන්දොස්තර ඉස්සරහින් ගිහින් මෝටරේට දෙකක් ඇන්නා ම එන්ජිම පණ ගැන්වෙනවා. බස් තල්ලු කරන එකත් හරි ජොලි වැඩේ. කට්ටිය බැහැලා එක සැරේ කතා කරලා පොඩ්ඩක් හෙල්ලුවා ම පණ ගැන්වෙනවා. පුංචි අපට තල්ලුවක් දාන්න ඉඩක් හොයා ගන්න එක වුණත් අමාරුයි. 

හැත්තෑ ගණන්වල අග හරියෙදි ඉන්දියාවෙන් අශෝක් ලේලන්ඩ් ආවා. ඒවායේ තමයි මුලින් ම ඉදිරිපස දොරටුව රියදුරා ළඟ තිබුණේ. ඩ්‍රයිවර් මහත්තයාට අරින්න පුළුවන් සරළ ලීවර යාන්ත්‍රණයක් තිබුණු දොරකුත් ඒ බස්වල තිබ්බා. ඒ බස්වල තමයි, මට මතක විධියට මුලින් ම තහඩු බෝඩ් ආවෙ.

හොරණ ඩිපෝ එකේ 22 ශ්‍රී බ්‍රිටිෂ් ලේලන්ඩ් පාන් ගෙඩි බස් එකක් අපේ පාරේ සෑහෙන කාලයක් දිව්වා. මේ බස් එකේ එන්ජිම නිකම් දුවනකොට හෙවත් අයිඩ්ලිං තියෙනකොට ආවෙ 'හොරං - හොරං' කියලා සද්දයක්. හොරණ ඩිපෝ එකේ බස් එකක් නිසා වෙන්න ඇති කියලායි මම හිතුවේ. ඒ කාලෙ මතුගම පැත්තට බස් ආවෙ ඩිපෝ කීපයකින් විතරයි. ඉඳහිට අමුතු ඩිපෝ එකකින් බස් එකක් ආවාම අපි හැමෝ ම ඒකට නැගලා බලනවා. ගෙදරයි, පාසලයි ඇරුණා ම ඉතින් අපට වැදගත් ම තැන වුණේ බස් ස්ටෑන්ඩ් එක. පස්සෙ කාලෙක ගෑනු ළමයි පස්සෙන් ගියෙත්, රස්තියාදු ගැහුවෙත් එතන.

අපේ පැත්තේ තට්ටු දෙකේ බස් තිබුණේ නැහැ.ඒ නිසා තවමත් තට්ටු දෙකේ බස්වල හිතේ හැටියට ගිහින් නැහැ. ඒ කාලෙ අපි කවුරුත් වැඩියෙන් ම ආසා කරපු රස්සාව තමයි බස් ඩ්‍රයිවර්කම. සමහරු කිව්වේ මුලින් පයිලට්ලා, දොස්තරලා වෙලා ඉඳලා පස්සෙ සීටීබී ඩ්‍රයිවර්ලා වෙනවා කියලායි. ඒත්, අපේ පංතියේ හිටපු එකෙකුටවත් ඒ මට්ටමට එන්න බැරි වුණා. සමහරු උඩ ගියා. සමහරු පහළ වැටුණා. 

බස් ඩ්‍රයිවර් අපේ වීරයෙක්. ඒත්, හැම ඩ්‍රයිවර් කෙනෙක් ම හොඳ මිනිස්සු නො වෙයි. බස් ඩ්‍රයිවර්ලා අතරෙ විවිධ චරිත හිටියා. පොල්ලෙ මහත්තයා බයගුල්ලෙක්. පුටු කකුලා අධි වේගයට ප්‍රිය නිසා ඇක්සලේටරයට පුටු කකුලක් බැඳ ගත්තා ය කියනවා. වැඩිපුර පාගන්න. හැබැයි, එ නම කිව්වා  ම මිනිහාට තද වෙනවා. ‍අපේ පංතියේ ගැහැනු ළමයෙකුගේ තාත්තා වුණ ඇල්බට් අයියා අහිංසක මනුස්සයෙක්. ඔහු 29ශ්‍රී5114 එළෙව්වේ හරි පරිස්සමින්. මොකක් හෝ ස්නායු ආබාධයක් නිසා ඔහුගේ කටින් "පැහ්' කියලා සද්දයක් එනවා. මේක සමහරු කැත විහිළුවක් කර ගත්තා. 

හොරණ ඩිපෝ එකේ වැඩ කළ මදුරුගොඩ සෝමපාල ගංජා ගහලා හොරණ ඩිපෝ එකේ අලුත් ම අලුත් 29 ශ්‍රී 8072 අශෝක් ලේලන්ඩ් බස් එක අපේ පාරෙ එළෙව්වේ හැටට හැටේ. මිනිහාට පාසල් ළමයින් පෙන්නන්න බැහැ. නෑබඩින් මෙහා බහින ළමයින්ගෙන් බස් එකට ගන්නේ මිනිහාගේ ළමයින්ව විතරයි. ඒ බස් එකේ තමයි, මම දන්න පළමු මිනී මැරුම වුණේ. ඒක දිග කතාවක්. 

ඩ්‍රයිවර් උන්නැහේලාට හෝන් ගහන්නත් එක එක රිද්ම තියෙනවා. මුල් කාලේ හෝන් වැඩ කළේ විදුලියෙන්. එහි ස්විච් එක තිබුණේ කාර්වල වගේ සුක්කානම මැද. පස්සේ හුළං බලෙන් වැඩ කරන ඒවා ආවා. මුලින් ම ආ ඒවායේ ස්විච් එක තිබුණේ පයින් පාගන්න. ඒ කාලෙ සමහර බස්වල ලයිට් ඩිම් කරන ස්විච් එක තිබුණෙත් පයින් පාගන්න.

ඩ්‍රයිවර් උන්නැහේට තරම් අපි කොන්දොස්තර මහත්තයාට කැමති වුණේ නැහැ. හැබැයි එයා 'ටිකිස් - ටිකිස්' කියලා ඇවිත් කරස් ගාලා ටිකට් කඩලා දුන්න ටිකට් මැෂිමට නම් මාර ආසාවක් තිබුණා. ඒකට දාන ටිකට් රෝල‍් කෑල්ලක් එහෙම සතුව තිබුණු සමහර ළමයි කාගෙත් ඉරිසියාවට ලක් වුණා. අපේ තාත්තලා, මාමලා ලංගම වැඩ නො කරපු එක ඒ දිනවල අපට මාර අසහනකාරී ප්‍රශ්නයක්.

ඒ කාලෙ බස්වල බොඩියේ පාට ගාලා තිබුණෙ නැහැ. තිබුණේ නිල් ඉරකුයි, ඒ මැද ඉලිප්සයක සිංහ රූපය සමග ලංගම කියලා භාෂා තුනෙන් ලියපු ලාංඡනයයි විතරයි. ඒ නිසා අපි සීටීබී කියන අකුරු තුනෙන් කියවුණේ සිලෝන් ටකරං බස් ය කියා කිව්වා. 

ඒ කාලෙ අපට සෙල්ලම් බඩු ගන්න සල්ලි තිබුණෙ නැහැ. බස් ස්ටෑන්ඩ් එකේ සෙල්ලම් බඩු තට්ටුවක තිබුණා තහඩුවලින් හදපු බස්. ඒවායේ රෝද හදලා තිබුණෙ සෙරෙප්පු කෑලිවලින්. ගාන මතක නැහැ. අපි ගෙදර ඇවිත් සපත්තු, විස්කෝතු පෙට්ටිවලින් බස් හැදුවා. බසුයි, අපියි ගැන පොතක් වුණත් ලියන්න තරම් දේ තියෙනවා නේ ද කියලා මේක ලියනකොට හිතුණා. 

ආ, තව එකක් මතක් වුණා. මං මුලින් ම ස්ට්‍රයික් එකක් දැක්කේ සීටීබී එකේ. මතුගම ඩිපෝ එකේ අය බස් ඔක්කොම ස්ටෑන්ඩ් එකේ පාක් කරලා ස්ට්‍රයික් එකක් කළා. ඒවායේ අලවලා තිබුණු පෝස්ටර්වල "අනිල් අපිට - අපි අනිල්ට" කියා ලියලා තිබුණා. ඒ කාලෙ ලංගම සභාපති අනිල් මුණසිංහ. පසුව ඔහු මතුගම මන්ත්‍රීත් වෙලා හිටියා. එතකොට ස්ට්‍රයික් කළේ ඔහුට පක්ෂව වෙන්න ඇති.


උත්පල
ඉතින් අර මුලින් කිව්ව බස් බ්ලොග් එක තමයි මේ. ඒක කරන්නේ උත්පල දිල්හාන් ආතාවුද කියලා බස් පිස්සෙක්. එයා ලියන්නේ ලංගම බස් ගැන පමණයි. බ්ලොග් අවකාශය සුන්දර කරන මේ අමුතු බ්ලොගය දැන් 100,000කට වඩා පිරිසක් බලලා. නියමයි සහෝ!



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

අන්තර්ජාලය ගෝඨාභයගේ ලංකාව කරකවා අත හරියි

රටට ඇති ලොකු ම අනාගත තර්ජනය සමාජ මාධ්‍ය බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

රට යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා තේරුම් ගන්නා දෙයට සමාජ මාධ්‍ය තර්ජනයක් වුව ද, අපට රට යනු එතුමා සිතන දෙය නො වන නිසා අපට නම් එහෙම එකක් නැත. අපට නම් රට යනු ලෝකයේ කොටසක් වූ, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ප්‍රකාශනයේ හා සංචලනයේ නිදහස සහ ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන අරගල බිමකි. වානිජ මාධ්‍ය ධනවාදී ඒකාධිපති පාලකයන්ගේ ග්‍රහණයට ලක් වෙද්දී සමාජ මාධ්‍ය අපට අලුත් අහසක් විවර කර දී තිබේ.

ඊට ටික දිනකට පසු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට්විටර් සමාජ ජාල අඩවිය හරහා ප්‍රශ්න - පිළිතුර සැසියක් පැවැත්වී ය. 

අන්තර්ජාලය ලංකාව හිටි ගමන් කරකවා අතාරියි. ඊයේ සුරා බදු දෙපාර්තමේන්තුව හොර අරක්කු තිප්පොලක් වැටලුවේ ය. 

ඒත්, හොරෙන් මත්පැන් විකිණූ මේ ස්ථානය කප්රුක නම් අන්තර්ජාල ව්‍යාපාරයයි. එය  ලංකාවේ හොඳ ම ඊ-ස්වාභිමානී ව්‍යාපාරයයි. එහි අධිපති දුලිත් හේරත් 2013 වසරේ ආසියා පැසිෆික් හොඳ ම ව්‍යවසායක සම්මානය දිනා ගත්තේ ය. 

දැන් සුරා බදු දෙපාර්තමේන්තුව කියන ආකාරයට කප්රුක විසින් කර තිබෙන්නේ හොර මත්පැන් විකිණීමයි.

අපි නම් බොන්න ඕනෑ එකා ආණ්ඩුවට බදු ගෙවිය යුතු ය කියන සිද්ධාන්තය පිළි ගන්නේ නැත. 

සම්මාන දෙන්නේත් ආණ්ඩුව ය. හොරා කියන්නේත් ආණ්ඩුව ය. අනේ තොපේ සම්මාන තොපිට ම හොඳ ය.

සම්පූර්ණ විස්තරය මෙතැන තිබේ.

මෙන්න මේ ලිපියත් කියවන්න මෙයා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-20

අපි ඉතා පොඩි ය; ඒත්, අපට කවුරුවත් ලොකු නැත

මම ක්‍රිස්තියානි පූජකවරුන් හැඳින්වීමේදී පියතුමා යන පදය යොදා ගනිමි. හින්දු පූජකවරුන් ගැන මා කිසිවක් මෙහි ලියා ඇති බවක් මට මතක නැත. ලියනවා නම් ලියනු ඇත්තේ කුරුක්කල්තුමා යන පදය විය හැකි ය. ඉස්ලාම් පූජකවරුන් හැඳින්වීමේදී යෙදිය යුතු පදය කුමක්ද යන්න අසා දැන ගැනීමට මට ඉතා සමීප මුස්ලිම් මිතුරෙක් ඇත. තවම එවැන්නෙක් ගැන කිසිවක් නො ලියූ නිසා අහන්නට උවමනාවක් වී නැත. බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් නම් හිමි යන පදය නම අගට යොදමි.

මම ඉතා පැහැදිලිව ම, විවෘතව ම කිසිදු ආගමක් නො අදහමි. කිසිදු ආගමක පූජකවරයකුට, පූජකවරයකු වීම නිසා මගේ කිසිදු ගෞරවයක් නැත. අනෙක් මිනිසුන්ට මහත්තයා, නෝනා කියනවා සේ හාමුදුරුවනේ, පියතුමනි වැනි පද භාවිතා කරමි. මා ගරු කරන්නේ මිනිස්කම්වලට, දක්ෂකම්වලට, අවංකකමට, අව්‍යාජකමට ආදියට පමණි.

මේ බ්ලොගයේ සටහන්වලදී සාමාන්‍යයෙන් අපි කිසිවකුගේ නම අගට මහතා යන පදය නො යොදමු. එසේ වුවත්, මේ බ්ලොගයේ නම් සඳහන් කරන ලද ඇතැම් අය හොඳ මහත්මා ගතිගුණ ඇති අය බව මම දනිමි. 

ජනාධිපතිතුමා/වරයා, ඇමතිතුමා/වරයා, මන්ත්‍රීතුමා/වරයා‍, විනිසුරුතුමා/වරයා ආදිය මට නම් රස්සාවල් පමණි. ඒ රස්සාවල් කරන අය තමන් විශ්‍රාම යන බව දැනගෙන සිටීම තමන්ට හොඳ ය.  නැතත් අපට නම් කමක් නැත. 

හාමුදුරුවන්ට ඔහු කියා කියන්නේ ඇයිදැයි මගෙන් අසන අයට තව දුරටත් සවිස්තර පිළිතුරක් අවශ්‍ය නැතැයි සිතමි.

මේ මගේ සමාජවාදී අරග‍ලයේ ද කොටසක් බව කියනු කැමැත්තෙමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-19

දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා 
නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ.

උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය. 

ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය.

ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. 

අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන. 

ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ. 

ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය.

ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපය සුණු විසුණු කර දැමූ දිල්කා සමන්මලී එහිමියන් දියෙන් ගොඩ දැමූ අසරණ මාළුවකුගේ තත්වයට පත් කළේ ය.

ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපයට තරගකාරී වූ භික්ෂූන් දැන් හතර අතින් බිහි වෙමින් තිබේ. රාජ්‍ය ආරක්ෂාවට හා සිවුරට මුවා වෙමින්, මුස්ලිම් විරෝධය, ගව මස් විරෝධය වැනි ඉතා පහසු සටන් පාඨ ඔසවාගෙන හතු පිපෙන මේ බොල් මොබ් තාරකාවන්ට අඹරේ බැබළිය හැක්කේ ඉතා කෙටි කලකි. ඉන් පසු ඒවා දැවී ගිය බකට් පහන් බවට පත් වේ. 

කෙසේ වෙතත්, සිය අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බලමින්, වඩා පරිණත, නව ප්‍රතිරූපයක්  ගැන සිතා බලන්නට ඥානසාර හිමියන්ට මේ අවස්ථාව උපයෝගී කර ගත හැකි ය. හාමුදුරුවනේ, අපි හැමදාම කොල්ලෝ නෙමෙයිනේ. බලන්න අර රතන හාමුදුරුවෝ දැන් කොයි තරම් පරිණත වෙලා ද? දැන් එහිමියෝ හුදු විරෝධතාවාදියෙක් නොවෙයි. අනාගතේ භාර ගන්න පුහුණු වෙන ආධුනික පාලකයෙක්. ඒ වගේ දැන් ටිකක් සන්සුන් වෙන්න. දැන් මූලික පදනම හැදිලා නේ තියෙන්නේ.

නැතිනම් අපරාදේ ඔය සරීරෙ?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-18

පාසල්වල ගවුම් වාටි ලිහීමේ, කලිසම් කකුල් පැලීමේ හා කොණ්ඩා කප්පාදු කිරීමේ ශික්ෂණය

පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම පාසලේ සුසිලා හේරත් ගුරු මහත්මියව බිම දන ගැස්සුවේ ආනන්ද‍ගේ දුවගේ ගවුමේ වාටිය ලිහුවා කියලානේ. 

සාමාන්‍යයෙන් පාසල් යන ළමයින්ගේ ඇඳුම් අපේ ඇඳුම් ව‍ගේ නොවෙයි නිතර කොට වෙනවා. එහෙම වෙන්නේ ඒ ළමයි උස යන නිසා. සමහර ළමයි ටිකක් කොටට අඳින්න කැමතියි. ඒ වුණත් මම දන්න තරමින් කිසිදු පාසල් බාලිකාවක් කලවා පෙනෙන කොට ගවුම් නම් පාසලට අඳින්නේ නැහැ.හැබැයි සමහර ගුරුවරියෝ නම් බුරිය පේන්න සෙක්සි විධියට සාරි ඇඳගෙන පාසල් එනවා.

නිල ඇඳුමක් වුණා ම ඒකේ දිග, පළල, කොලර්, සාක්කු, රැළි ආදිය ‍යොදන විධි තියෙනවා. ඒ විලාසිතාව වෙනස් කරමින් අලුත් විලාසිතා නිර්මානය කරන එක සුදුසු නැහැ. නිකම් හිතන්නෙකෝ පොලිස් රාළහාමිලා කොලර් උස්සගෙන, නර්ස් නෝනලා කොණ්ඩ වනා දාගෙන එහෙම හිටියොත් තත්වය කොහොමද කියලා.

හැබැයි ඉතින් ළමයි කියන්නේ ළමයි‍ නේ. උන්ට මේක කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. දෙමව්පියන්ටත් වැඩිය තේරුමක් නැති වුණා ම තත්වය තවත් නරක අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අධ්‍යාපනය කියන්නේ මිලිටරි විනයකුත් නොවෙයිනේ. අධ්‍යාපනය කියන්නේ නිදහස්, නිර්මානශීලී පරිසරයක් තුළ සිදු විය යුතු ශික්ෂණයක්.

අද කාලෙ පාසල්වල නිල ඇඳුම්, ‍කොණ්ඩා ආදිය ගැන හරියට ප්‍රශ්න. පිරිමි ළමයින්ගේ කලිසම් පතුලේ පළල අඩුයි. කලිසම් ඇඟට හිරයි. ඉ‍ණෙන් එල්ලා හැලෙනවා. ගැහැනු ළමයින්ගේත් ඔය වගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් විනය භාර සුචරිතවාදී ගුරුවරු හා ශිෂ්‍ය නායක නායිකාවෝ කලිසම් කකුල් පලනවා. ගවුම් වාටි ලිහනවා. කොණ්ඩ කපනවා. ළමයින්ට ශාරීරිකව හා මානසිකව විවිධ අඩන්තේට්ටම් කරනවා.

මේවා කරන ගුරුවරු වැඩිදෙනෙක් දන්නේ නැහැ ඇයි ළමයි මෙහෙම කරන්නේ කියලා. ඔවුන් හිතන්නේ ඒක ළමයින්ගේ නැහැදිච්චකම කියලා. 

ඔවුන්ට මතක නැහැ තමන්ගේ නව යොවුන් විය, ඒ වයසේදී තමන්ට තිබුණු අති ධාවනකාරී හැඟීම්, විලාසිතාවලට තිබුණු ආකර්ශනය ආදිය. නව යොවුන් වියේ ළමයි කැමතියි, ඔවුන්ට නිවසෙන්, පාසලෙන් විවෘත කර දෙන සීමාවට එහා ඇති ලෝකයේ අත්දැකීම් ලබන්න. ඔවුන් තුළ තමන්ගේ නිදහස සීමා කරන විනය පද්ධතිය ගැන විරෝධයකුත් තිබෙනවා. 

අනෙක් පැත්තෙන් ළමයින්ට විවේකය, විනෝදය, වින්දනය සඳහා අවස්ථා ප්‍රමාණවත් නො වී‍මේ ප්‍රශ්නයකුත් මෙතැන තිබෙනවා. මේ අසරණයෝ මුළු ළමා කාලය පුරා ම අර පන්තියෙන් මේ පන්තියට ටියුෂන් දැලක පැ‍ටලිලා යි ඉන්නේ. 

ඇතැම් ගුරුවරු නව යොවුන් වියේ දරුවන් දෙස බලන්නේ තමන්ගේ පරම සතුරන් දෙස බලන්නා වගේ. එයට හේතුව මානසික ප්‍රශ්නයක්. මේ අය තමන්ගේ නව යොවුන් වියේදී දැඩි පීඩනයක ජීවත් වූ අය වෙන්න පුළුවන්. ආර්ථික ආදී හේතු නිසා කොහොමත් ගුරුවරු වැඩි පිරිසක් ඉන්නේ දැඩි අසහනයක. 

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික තත්වය තේරුම් ගන්න අවශ්‍ය පරිණතකම හා සංවේදීභාවය බොහෝ ගුරුවරුන් තුළ නැහැ. ඇතැම් ගුරුවරුන්ට සිසුන් කියන්නේ ගව පට්ටියකට වැඩි දෙයක් නො වෙයි. ඉතින් අද පාසල් කියන්නේ වධකාගාර වැනි තැන්. ළමයින් හා ගුරුවරුන් පරම හතුරන් වගේ. එහෙම නැතිනම් ළමයින් හා ගුරුවරුන් අතර සම්බන්ධය හරියට මුදලාලිලා හා පාරිභෝගිකයන් අතර සම්බන්ධය වගේ. 

කොහොමින් කොහොම හරි අද වන වි‍ට පාසල තමයි ළමයින්ට වැඩියෙන් ම ශාරීරික හා මානසික වධ දෙන ළමා අපචාර මධ්‍යස්ථානය. වැඩේ කියන්නේ දැන් දෙමව්පියෝ විතරක් නො වෙයි ළමයි පවා හිතන්නේ මේක තමයි හරි වැඩේ කියලා.

පාසල් ඇතුළේ ආදරය නැවත පිහිටුවිය යුතුයි. ළමයින්ට පාසල කියන්නේ සොඳුරු අවකාශයක් විය යුතුයි. දැන් කාලෙ නම් පාසල කියන්නේ කොතනින් හරි ගුරුවරයෙක් තමන්ගේ ඇඟට කඩා පනියි කියලා බියෙන් සිටින ළමයින් පිරිසක් ගාල් කරපු තැනක්. 

අනෙක ලංකාවේ පාසල් පද්ධතිය කියන්නේ ම මළ විකාරයක්. ‍මධ්‍යම පංතික පවුල්වල අය තවමත් වික්ටෝරියා රැජිනගේ කාලේ හෙවත් කෝපි කාලේ අදහස් අනුව පිහිටුවන ලද, ගැහැනු, පිරිමි වශයෙන් ළමයින් වෙන් කර උගන්වන පාසල්වලට තමයි ළමයින් යවන්නේ.

ඒ විතරක් නෙවෙයි, ලංකාවේ පාසල්වල එක වසරේ ඉඳන් 13 වසර දක්වා ම ළමයි එකට ඉගෙන ගන්නවා. උසස් පෙළ පංතිවල ඉන්න ළමයින්ට ලැබිය යුතු නිදහස ඔවුන්ට දෙන්න මේ පාසල්වලට හැකියාවක් නැහැ. ඉතින් ගැටුම්. 

මම නම් කියන්නේ ලංකාවේ රජයේ පාසල් නිල ඇඳුම කියන එක ඇත්තෙන් ම අධ්‍යාපනයට බාධාවක්. ඒ ගැන පසුව ලියන්නම්.

මේ ලිපියත් කියවන්න: ගුරුවරිය දන ගැස්සූ පළාත් සභාකාරයා, දිවයිනේ වෛරී කතුවැකිකාරයා හා සාමාන්‍ය මිනිහා

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-17

ගුරුවරිය දන ගැස්සූ පළාත් සභාකාරයා, දිවයිනේ වෛරී කතුවැකිකාරයා හා සාමාන්‍ය මිනිහා

දයාසේන ගුණසිංහ
අපේ සහෝදර බ්ලොග්කරුවෙක් අද දිවයිනේ කතුවැකියේ පහත සඳහන් ‍කරුණු උපුටා දක්වා එවා තිබේ.

1. නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙස්‌ කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක්‌ වෙමු.

2. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යැවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති.

3. මෙය විශ්වවිද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක්‌ ගෙදර යැවෙනවා ඇත. සිරුර පොලිස්‌ මෝචරියෙන් භාරගත හැකිය.

4. මන්ද, මේ උන්මත්තකයන් කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ගියොත් විය හැකි අනර්ථය ඉමහත්ය. එදාට ඒ තත්ත්වයට මුහුණ දීමට ගෝඨාභය රාජපක්‍ෂලා දුසිමක්‌වත් අවශ්‍ය වනවා ඇත. අවාසනාවකට මෙන් අපට සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂලා එක්‌කෙනකු පමණි. ජාතියක්‌ විසින් වරකට බිහි කරනු ලබන්නේ ද එබඳු පුද්ගලයන් එක්‌ අයකු පමණි.

ඔහු විසින් පෙන්වා දී තිබෙන්නේ දිවයින කර්තෘවරයා මෙම සිද්ධිය උපයෝගී කර ගනිමින් කරමින් සිටින්නේ වෛරය හා ප්‍රචණ්ඩත්වය ඇවිලීම බවයි. අවසන්  වශයෙන් ඔහු මතු කර දක්වන කරුණ තුළින් සමූලඝාතනයක් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි. ඔව්, එහි එවැනි සංඥාර්ථයක් තිබේ. 

මේ අද දවසේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෘත්තිකභාවයේ තත්වයයි. දයාසේන ගුණසිංහ වැනි විශිෂ්ට මානව හිතවාදී බුද්ධිමතුන් අතින් කතුවැකි ලියැවුණ පුවත්පතක් වූ දිවයින අද පත්ව ඇති තත්වයට මෙම කතුවැකිය දෙස් දෙයි. 


ඇත්තෙන් ම මේ කතුවරයා ලියන්නේ අනෙකක් නො වේ. මෙවැනි සිද්ධියක් ගැන ඇසූ විට ක්ෂණිකව කිසියම් පුද්ගලයකු තුළ පහළ වන ප්‍රතිචාරී හැඟීමයි. එවැනි ආවේගශීලී හැඟීමක් ක්ෂණිකව ඇති වීම අස්වාභාවික යයි ද කිව නො හැක.

මෙවැනි අවස්ථාවන්හිදී එවැනි ආවේගශීලී අයුතු ජනරාශි හෙවත් මොබ් ඇති වී දිවයින කතුවැකියේ බලාපොරොත්තු වූ ආකාරයේ සිදුවීම් ඇති වූ අවස්ථා ද ඕනෑ තරම් තිබේ.

‍එහෙත්, එවැනි අයුතු ජන රාශිගත වීම් විසින් අවසානයේදී ලබා දෙන ප්‍රතිඵලය හැම විට ම සාධනීය එකක් නො වේ. මෙවැනි අවස්ථාවන්හිදී ක්ෂණික වීරයෝ මෙන් ම අපරාධකරුවෝ ද බිහි වෙති. මොබ් හැසිරීමක් යනු තර්ක බුද්ධියට වඩා හැඟීම් හා ආවේග මූලික වන අවස්ථාවකි. 

සාමාන්‍ය මිනිසාට මොබ් මානසිකත්වයේ සිටිය හැක්කේ ඉතා කෙටි කාලයකි. මොබ් හැසිරීම හා එයින් ලද වීර ප්‍රමෝදය අවසන් වූ පසු ඔහු තුළ බොහෝ විට ඉතිරි වන්නේ පශ්චාත්තාපයකි. එය සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. 

කලකට ඉහතදී අතුරලියේ රතන හිමි, දැන් ගලගොඩඅත්තේ ඥානසාර හා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි වැනි ඇතැම් පුද්ගලයෝ දිගින් දිගට ම මෙවැනි මොබ් මානසිකත්වයන් තුළ ජීවත් වනු දක්නට ලැබේ. ඔවුන් තමන් වීරයන් ලෙස සලකන අය වන්නට පුළුවන. 

මෙම සටහන ලියමින් සිටින අතර මට තවත් මිතුරකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. මම මා ලියමින් සිටි දෙය ඔහු සමග කතා කරද්දී  ඔහු කීවේ එවැනි මොබ් බිහි වීම එතරම් සාමාන්‍ය නො වන විරල සංසිද්ධියක් බවයි. 

ඔහුගේ තර්කය වන්නේ අර කී පළාත් සභා මන්ත්‍රීවරයාගේ ක්‍රියාව දැක දැකත් බොහෝ අය නිශ්ශබ්දව සිටීම ඉතා ම සාමාන්‍ය තත්වය බවයි. මන්ද, සමාජය බලය ඉදිරියේ එතරම් ම දීන තත්වයට පත් වී තිබේ.

ප්‍රයිවට් බස් රියේ කෙතරම් මගීන් සිටියත්, ඔවුන් පීඩාවට පත් කරන කොන්දොස්තරට එරෙහිව කට උස්සන්නේ කවුරුදැයි ඔහු ඇසී ය. 

දිවයින කතුවැකියෙන් අප උපුටා දක්වන දෙවන කාරණයේ තිබෙන "කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යැවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති." යන්න නම්, එහි 
තිබෙන කෲර විස්තරය කෙසේ වෙතත්, ඇත්තෙන් ම ඉතා හාස්‍යජනක ය. ඒ වනාහි දිවයින කතුවරයාගේ මනස තුළ ෆැන්ටසිකරණය වී තිබෙන කොළඹකි. මෙම කතුවැකිය ලියූ පුද්ගලයා කොහේ හෝ හද්දා පිටිසර ගමකින් පැමිණ කොළඹ ගැන මාර සතුටකින් සිටින අයෙකු වන්නටත් පුළුවන. කවුරු වුණත්, ඔහු ඉතා බොළඳ මානසිකත්වයක් ඇති අයකු බව නම් පැහැදිලි ය.

නැවත දිවයින කතුවැකිය වෙත යොමු වෙමු. දිවයින කතුවැකිය ලියූ පුද්ගලයා ඉන්නේ අර කී මොබ් මානසිකත්වයේ ද? එසේ නැතිනම් දිවයින මෙවැනි කතුවැකියක් පළ කිරීමෙන් ආමන්ත්‍රණය කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ මොබ් මානසිකත්වයටයි. එහෙත්, එහි ඇති රසවත් පැතිකඩ වන්නේ එය අලෙවි වන්නේ මෙ ඊනියා මොබ් මානසිකත්වය යටපත් කරගෙන මෙවැනි අවස්ථාවලදී දීන ලෙස පළා යන මිනිසුන් අතර වීමයි. 

මෙය හරි අපූරු තත්වයකි. තමන්ට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුවහොත්, ඉතා දීන ලෙස හැසිරෙන අය, වෙනත් සිද්ධිවලදී අපි හිටියා නම් කරන්නේ මෙන්න මෙහෙමයි කියා දිවයින කතුවැකිය කියවමින් සිතා සතුටු වෙති.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

රාවණා බලය පොල්කටු උසාවි පැරණි කොමඩියක අලුත් පිටපතකි

ඉවැන්ජලික ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ලංකාවට ආ ලෝගෝස් හෝප් පොත් නැව
රාවණා බලය නම් අන්තවාදී භික්ෂු සංවිධානය ක්‍රියා කරන ආකාරය දුටු විට සිහිපත් වන්නේ 1987 - 89 සමයේ ජවිපෙ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයයි. එම ව්‍යාපාරය වෙත යම් යම් පැමිණිලි කරන්නට ගම්වල මිනිස්සු පුරුදු වූ අතර ජවිපෙ සිය දේශපාලන හා අවි බලය භාවිතා කරමින් ඒ ප්‍රශ්න විසඳන්නට පටන් ගත්තේ ය.

ඒ නඩු විසඳීම් සිදු වුණේ ඒ ඒ ප්‍රාදේශීය නායකයන්ගේ බුද්ධියේ දිග පළල අනුවයි. අධිකරණයෙන් සාධාරණත්වය ලබා ගැනීම දුෂ්කර වූ සංදර්භය තුළ ජවිපෙ පොල්කටු උසාවි ජනප්‍රිය වූ මුත් ඒවා අතිශය ප්‍රචණ්ඩ ඒවා විය. 

කොටි සංවිධානය ද දෙමළ ජනයා අතර ජනප්‍රිය වන්නට මෙවැනි පොල්කටු උසාවි හරහා ක්‍රියාත්මක කරන ලද ශික්ෂණය උපයෝගී කර ගත්තේ ය. 

රාවණා බලය ද දැන් ක්‍රියාකාරී පොල්කටු උසාවියකි. නැගහොත් කැංගරු උසාවියකි. පසුගිය දිනවල ඔවුහු රංචු ගැසී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි ආයතනවලට කඩා පැන නඩු විසඳීම් ස්වරූපයේ මැදිහත්වීම් කළ හ.

බෞද්ධ සංකේත සහිත ඉවත දමන කඩදාසිවලින් බකට් පහන් හැදූ බවට චෝදනා කර සුළු කර්මාන්තකරුවකු පිළියන්දල පොලිසියට ගෙන ගොස් භික්ෂුවකට වන්දවා සමාව ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ලංකාදීප පුවත්පතේ පළ වී තිබෙනු දුටු බව මගේ මිතුරකු පැවසී ය.

අලුත් ම සිද්ධිය මුල්ලේරියාව පැත්තේ ගෙන් ගෙට ගොස් 'පිබිදෙව්!' නම් සඟරාවක් බෙදමින් සිටි යෙහෝවාගේ සාක්කිකරුවෝ නම් ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායකට අයත් පිරිසක් නීති විරෝධී අන්දමින් මුල්ලේරියාව පොලිසි ගෙන ගොස් පොලිසිය තුළදීම නැවත එම කටයුතු නො කරන ලෙසට තර්ජනය කර නිදහස් කිරීමයි. (එහි වීඩියෝ මෙම පිටුවේ තිබේ)

රාවණා බලය මේ ක්‍රියා කරන්නේ සිවුරට ඇති ගෞරවය හෝ සිවුරට පෙට්‍රල් දමා ගිනි ගන්නවාට ඇතැයි සිතන බියත්, ආණ්ඩුව සමග ඇති බවට තොරොම්බල් කරන සම්බන්ධකම්වල ශක්තියත් පාවිච්චි කරමිනි. 

මම නම් කිසිදු ආගමක් නො අදහමි. ඒ අතර ම මා නම් පිළි ගන්නේ ආගම් යනු මිනිසකුගේ අතිශය පෞද්ගලික ජීවන කාර්යයක් ය කියා ය.කිසිවකු ආගම් පැතිරවීම වැරදි යයි හෝ නිවැරදි යයි හෝ මම නො කියමි. 

රාජ්‍ය අනුග්‍රහය සහිතව ලංකාවට ගෙන්වාගෙන ගාලු හා හම්බන්තොට වරායවල නවත්වාගෙන තිබූ පොත් නැවක් බලන්නට වරක් මම ගියෙමි. එහි අරමුණ වූයේ ද ඉවැන්ජලික ආගමික නිකායක් ප්‍රවර්ධනය කිරීමයි. (කියවන්න:ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි)
  

රෝග සුව කිරීම, පැතුම් ඉටු කර දීම වැනි අසරණකම හා තෘෂ්ණාව සමග සම්බන්ධ කටයුතු ඔස්සේ මිනිසුන් ආගම්වලට ආකර්ශනය කර ගැනීමේ ප්‍රවණතාවක් සියලු ස්ථාපිත ආගම්වල තිබේ. ක්‍රිස්තියානි ආගමේ යෙහෝවාගේ සාක්කිකරුවන් වැනි ම වූ ප්‍රවණතාවකි, වඳුරඹ සිරිවර්ධන. ඉස්ලාම් ආගමේ ද මෙවැනි ප්‍රවණතා තිබේ. 

සම්ප්‍රදායික ආගමික සංස්ථා දිළිඳු, අසරණ මිනිසුන් වෙතින් ඈත් වීම මෙවැනි ඉවැන්ජලික ප්‍රවණතා ඇති වීමට හේතුවයි. පිළිසරණක් නැති මිනිස්සු සිය අසරණකම නිසා ම මේ ආගම් වෙත ඇදී යති. අනෙක් පැත්තෙන්, ‍මේ ආගම් විසින් දුප්පතුන්ට මුදල් ආදී විවිධ වරප්‍රසාද දෙනවා යයි කීම පූර්ණ සත්‍යය නො වේ. ඔවුන් මිනිසුන් ආකර්ශනය කර ගන්නේ මුදල්වලින් ම නො වේ. හුදකලාවේ සිටින මිනිසුන්ට නව සමාජ සම්බන්ධතා ඇති කර දීම, ආගමික භක්තිය ජීවිත සාර්ථකත්වයට හේතු වන බව ඒත්තු ගැන්වීම ආදී ක්‍රියාමාර්ග ඔස්සේ ය. සම්ප්‍රදායික ආගමික සංස්ථාවල දූෂිත ස්වභාවය පෙන්වා දීම සඳහා ඔවුන්ට කිසිදු මහන්සියක් වන්නට උවමනා නැත. එය මිනිස්සු ඕනෑවටත් වඩා දන්නා දෙයකි. මිනිසුන් මේ නව ආගම්වල පූජකයන් වෙත ආකර්ශනය වන්නේ කුමක් නිසා ද යන්න ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ය. 

1989 සමයේ ජවිපෙ ක්‍රියාකාරිකයකු ව සිටි, එවකට බෞද්ධයකු වූ මගේ තරමක් දුර මිතුරෙක් මෙවැනි ඉවැන්ජලික නිකායක පාස්ටර්වරයකු බවට පත් වී සිටියි. දිනක් ඔහු මා හමු වන්නට පැමිණියේ ය. ඔහු මා ඔහුගේ ආගමික නිකායට සම්බන්ධ කර ගන්නට කිසිදු උත්සාහයක් දැරුවේ නැත. වතුකරයේ දුප්පත් මිනිසුන්ට ආගමික සේවා සපයන යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඔහුත්, ඔහුගේ බිරිඳත් ගෙවන්නේ ඉතා අල්පේච්ඡ ජීවිතයක් බව මට පෙනිණි. ඔහු මේ දිවියට පිවිසෙන්නට පෙර සාර්ථක සුළු කර්මාන්තකරුවෙකි. සිය දියණියන් විවාහ කර දීමෙන් පසු, කර්මාන්තය වසා දමා ආගමික සංවිධානයෙන්ලැබෙන සුළු දීමනාවකින් හා දායකයන්ගේ උපකාරයෙන් දුක සේ නමුත් භක්තිමත්, තෘප්තිමත් ජීවිතයක් ගෙවන අන්දමක් මම මේ අහිංසක මිනිසා තුළින් දුටිමි.

මිනිසුන් මේ නව ආගමික නිකායන් සමග සම්බන්ධ වන්නේ තනිකර ම වරප්‍රසාද නිසා ය යි විග්‍රහ කිරීමෙන් සම්ප්‍රදායික ආගමික සංස්ථා ප්‍රශ්නය තේරුම් ගැනීමට තමන් උත්සාහ නො කරන බව පෙන්වයි. 

මිනිසුන් වෙනත් ආගම්වලට යාම වැළැක්වීම සඳහා මැර බලය පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ තත්වය සමනය වීම නො ව තව තවත් තීව්‍ර වීම බව මම සිතමි. 


රාවණා බලය යනු පැරණි කොමඩියක අලුත් පි‍ටපතක් පමණි. එය ජවිපෙන් හෝ කොටි සංවිධානයෙන් වෙනස් වන්නේ ඔවුන් භාවිතා කරන්නේ ආණ්ඩු බලය වීම නිසායි. මෙවැනි විකාර බිහි වන්නට ප්‍රධාන හේතුව ලංකාවේ සමාජයේ සිදු වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ හා නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීමයි.  

මේලිපියත් කියවන්න: අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-15

මන්තිරි වන්නම ගැන නො ලියා නො සිටිය හැකි සටහන

මම නර්තනය ගැන එතරම් දෙයක් නො දනිමි. එහෙත්, මම නර්තන රසිකයෙක්මි. නර්තනයක් ගැන විවරණයක් ලියන්නට මම නො දනිමි. එහෙත්, මේ නර්තනය මම උපරිම අන්දමින් වින්දෙමි. ඒ වින්ද රසය හා එයින් අත් වූ චිත්ත ප්‍රමෝදය ඔබ සමග බෙදා නො ගෙන සිටිය නො හැකි බැවින්මේ සටහන තබමි.

ලංකාවේ සරසවි ඇදුරන් පිරිසක් ගැන සතුටක් ඇති වීම ද ඉතා දුලබ සංසිද්ධියකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් නිර්මානය කරන ලද මන්තිරි වන්නම සත්තකින් ම අති විශිෂ්ට නිර්මානයකි.

එය වන්නම්, කෝලම්, ඉඟි නළු, නාට්‍ය ආදී ෂානර රැසක් ඔස්සේ විවරණය කළ හැකි මාහැඟි නිර්මානයකි. 

වන්නම් සම්ප්‍රදාය ඔස්සේ යමින් නවතම නාද රටා හා තිත් රූප ඔස්සේ නිර්මානය කර තිබෙන මෙම 'මන්තිරි වන්නම' මා දන්නා හැටියට 2009දී නිර්මානය කරන ලද ඔහුගේ තුන් බිය මුද්‍රා නාට්‍යයේ අංගයකි. මෙවැනි ම වූ 'ඇඟලුම් වන්නම' හා 'ගුරුදේව වන්නම නම් වූ වන්නම් දෙකක් ද එහි අඩංගු බව අසා ඇත්තෙමි. එහෙත්, මෙහිදී සැබැසින් වේදිකාවේ නො දුටු, වේදිකාවකදී කළ රංගනයක සාමාන්‍ය වීඩියෝවකින් පමණක් දුටු මේ රංගනය වෙන ම ගෙන සලකා බලමි.

එය ඉහළ ගනයේ නිර්මානාත්මක නර්තන වින්‍යාසයකි. එසේ ම, ඒ සමග යන රැඟුම අතිශය නාට්‍යමය එකකි. මන බඳින උච්ච ස්වර දීර්ඝ ගායනය භාව පූර්ණ අව්‍යාජ ගැමි ගැයුමකි. පද පෙළ විශිෂ්ට සාහිත්‍යමය ගේය පද රචනයකි. එසේ සලකා බැලූ කල එය පරිපූර්ණ රංග කාව්‍යයකි.

එසේම, මහාචාර්ය කළුආරච්චි මේ පෙළහර පාන්නේ සම්ප්‍රදායික සීමා නො බිඳ එහි නිම්වළලු පුළුල් ක‍රමින් වීම ඔහුගේ නිර්මාණශීලීත්වය හා ශික්ෂණය කෙබඳු ද යන්නට දෙස් දෙයි. සිය මුද්‍රා නාට්‍ය මං පෙතෙහි "යකදුරාගේ දියණිය", "නිශාචර", "බැරිසිල්", "පත්තිනිවත", "ව්‍යවර්ති", "මහසොහොන්වත" යනාදී සලකුණු තබා ඇත. බැරිසිල් ඒ මුද්‍රානාට්‍ය පෙළහරේ මුදුන් මල්කඩකැයි කිව හැකි ය.

මන්තිරි වන්නමෙහි මුඛ්‍ය රසය උපහාසයයි. එහෙත්, චාලි චැප්ලින් වැනි ලෝක පූජිත විශිෂ්ටයන්ට නො දෙවෙනි අන්දමින් මහාචාර්ය කළුආරච්චි සිය නිර්මානය හරහා ගැඹුරු සමාජ දේශපාලන විවරණයක් ඉදිරිපත් කරයි. රංග වින්‍යාසයේ සෑම පුංචි චලනයක් ම නැවත නැවත බලමින් නව රසයන් මතු කර ගත හැකි ය.

දහ අට වන්නම නටන්නේ මිනිසුන්ට වැළ‍ෙඳෙන රෝගාබාධ දහ අටක් සුව කිරීම සඳහා වූ අභිචාරයක් ලෙසයි. එකී රාමුව තුළ සිටිමින් නිර්මානය කර ඇති මන්තිරි වන්නම රටේ දේශපාලන අර්බුදය හකුළුවා දක්වන ඉසියුම්කම විස්තර කිරීමට වචන නැත.

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් //
තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

ඡන්දය ළඟ එන විට මං
සිනා මූණෙන්
‍ගෙයින් ගෙයට පිය නගනෙම්
සැමටම ලෙන්ගතු පානෙම්
සැප දුක සැමගේ විමසම්
වැඳ වැටෙමින්
සේසතම වුවත් පුද කරමින්
මව්‍පියොවත් නැත මෙලෙසින්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

ඉලව් ගෙයක් දු‍ටුවෝතින්
ඒ සැණකින්
යන්නෙමි මනාප ගණිමින්
ඔවුනට සොව පළ කරනෙම්
ජය ලැබු කල තිබු ඡන්දෙන්
බල බිඳිමින්
අමතක වේ පොඩි මිනිසුන්
වරද කිමද මම නො දනිම්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

හමුවට එන අය හට මම්
බෑ නො කියම්
පිලිතුර සලකා බලනෙම්
නැතහොත් හෙට හෙට හෙට යයි කියමින්
ආරක්ෂක පිරිවර සෙන්
පිටුපස්සෙන්
එනමුත් හිතේ ඇත බය නම්
නො කරමි ඒ බව පෙන්නුම්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

කව්රුත් මොනවත් කීවත්
වැඩ ගැන නම් (‍හෙහ්)
කොමිස් ගැහිලි නෑ මම නමි
ජන මිතකාමිව වැඩ මම්
ඉඟ සුඟ ගත හැකි මනරම්
මගේ ලේකම්
සැම දේ කර බැතියෙන්
සැම දේ කරති තුටින්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

ප්‍රජාතන්තරය රකිනෙම් (‍හෙහ්)
අපි නැතිනම්
රටට කලක් යයි නො දනිම්
රටට කලක් යයි නො දනිම්
වැජඹෙන මේ අපි උතුමන්
මන්තිරි නම්
වන්නම මේ ලෙස නටනෙම්
වන්නම සුදනනි දැන ගම්

(බෙර පදය)
ඒ පැත්තෙන් මේ පැත්තට
මේ පැත්තෙන් ඒ පැත්තට
කරනම් කරනම් කරනම්
කොයි කොයි පක්ෂෙන් ආවත් අපි නම්
වෙන්නෑ කවදත් පැරදුම්
පැරදුම් පැරදුම් පැරදුම්
(බෙර පදය)



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

පාර අයිනේ මුත්‍රා කරන අය වාහනවලත් මිනිසුන් ඉන්න බව හිතන්න

අද උදේ ම‍ගේ බිරිඳ වැඩට ඇරලලා එද්දි දුටු දර්ශනයක් නිසායි, මේ සටහන ලියන්න වුණේ. අපේ පාරේ තරමක් පාළු හරියකදී තරුණයෝ දෙදෙනෙක් මෝටර් සයිකලය පාර අයිනේ නවතා මුත්‍රා කරනවා. පාරේ කවුරුවත් නැති නිසා එක් ඉලංදාරියෙක් රත්තරං ටික හොඳට එළියට ඇදලා මං ආපු පැත්තටත් හැරිලා තමයි වැඩේ කරමින් හිටියේ. පාරේ මිනිසුන් නැති නිසා හරි නිදහසේ, සැපට බර හෑල්ලු කරනවා. 

මෙතනදී වෙන පොඩි පරහක් තමයි, වාහන ඇතුළේත් මිනිසුන් ඉන්න බව අමතක වීම. ඉතින් වාහන ඇතුළේ ඉන්න මිනිස්සු, ගෑනු, ළමයි කාටත් නිල් චිත්‍රපට දර්ශනයක් වගේ එකක් තමයි දකින්න ලැබෙන්නේ.

අපේ අය හරි කැමතියි, ඉන්දියාවේ මිනිස්සු පාර අයිනේ හා පොදු තැන්වල මළ මුත්‍ර බැහැර කරනවා ය කියන්න. මම ජීවත් වන මතුගම නගරයේ දැවැන්ත ප්‍රාදේශීය සභාවක් තිබෙනවා. දිනපතා විශාල පිරිසක් මේ නගරයට එනවා. කුමාර වෙල්ගම වීදිය, කුමාර වෙල්ගම පිහිනුම් තටාකය වගේ තැන් මේ නගරයේ තිබෙනවා. ඒත්, දන්නවාද මෙහි එක පොදු වැසිකිලියක්වත් නැහැ. නගර අලංකරණය සඳහා ඒ පොදු වැසිකිලි කඩා දමලා. 

දවසක් නගරයේදී මා සමග කතා කරමින් සිටි මිතුරෙක් නහය හකුළුවාගෙන කියනවා "This smell recalls me a visit to Chennai" කියලා. එයත් කියන්නේ එහේ මිනිස්සු පොදු තැන්වල මළ මුත්‍රා දමනවා ය කියන එක ම තමයි. 

ඉතින් මෙහේ වෙනස් ද? ඔය වාහනවල දුර ගමන් යන විට ඒවා නවත්වලා පාර අයිනේ මුත්‍රා කරලා නැති පිරිමි අය ඉන්නවා නම් කියන්න, ඒගොල්ලන් ඒ සොබා දහමේ කැඳවීම අනුව කටයුතු කළේ කොහොමද කියලා. ඉංග්‍රීසියෙන් මේකට nature's call කියන්නේ නිකම් යැ. හැබැයි ඉතින් ගඳ තමයි වැඩේ. හැබැයි ඉතින් සොබා දහමේ තිබෙන හැම දේ ම සුවඳ නැහැනේ. 

ඉතින් මෙහෙම බිත්තිවලට මුත්‍රා පාර ඇල්ලීම වධයක් වුණා ම එයින් බැට කන මිනිස්සු බිත්තිවල මෙහෙම ලියනවා. "මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි." ඒත් ඉතින් බල්ලො අකුරු දන්නේ නැහැනේ. ඒ නිසා උන් එතන මුත්‍රා කරන්නේ නැහැ. 

කෝකටත් පාර අයිනේ මුත්‍රා කරන අය වාහනවලත් මිනිසුන් ඉන්න බව හිතන්න.  වීදුරු ගෙවල්වල ඉන්න අය ලයිට් නිවලා ඇඳුම් මාරු කරන්න ඕනැනේ. 

මේ ලිපිත් කියවන්න:


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-14

බල සේනාවලට කැසිනෝවලට විරුද්ධ වෙන්න බැරි ඇයි?

ඔස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරිකයාට රජය සුවිසල් සහන ප්‍රමාණයක් සලසා ඇති බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමි සිංහල බෞද්ධයන් ගැන මහත් කැක්කුමකින් කටයුතු කරන බල සේනා බලකායවල් ඒ ගැන නිශ්ශබ්ද ඇයිදැයි ගිය සතියේ ප්‍රශ්න කළේ ය. 

අස්ගිරි මහ නාහිමිත් කැසිනෝවලට එරෙහිව හඬ නැඟුවේ ය. 

ජාතික පොලිස් කොමිෂමේ සාමාජික ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් පවසන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම ඊට වඩා වැදගත් බවයි. 

හාමුද්රුවනේ පැහැදිලි ය. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ දිගින් දිගට ම 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි මාතෘකාවල එල්ලෙමින් කල් ගන්නට ය. එහෙත්, ඒ අතර ආර්ථිකය ගරා වැටෙමින් තිබෙන්නේ දිළින්දන්ගේ ජීවිත මතට කෑලි හැලෙමිනි. කුමක් වෙනුවෙන් කෙතරම් කලක් ගන්න ද?

ආණ්ඩුවට වැලේ වැල් නැත. ජාත්‍යන්තර වශයෙන් ඇති කරගෙන තිබෙන ආරාවුල් හා සමාජ සංහිඳියාව ඔස්සේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීමට අසමත් වීම නිසා නිසා ආණ්ඩුවට පිළිගැනීමක් සහිත විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට බැරි වී තිබේ. සමාජයේ ප්‍රවර්ධනය කරනු ලබන අධික ධනකාමය නිසා ඉහළ යන වෙළඳ ශේෂය හමුවේ හා එල්ලෙන්නට තිබෙන්නේ මෙවැනි දූෂකයන්ගේ කරේ ය. ජේම්ස් පැකර්ට ‍සහන දී මෙතැන කැසිනෝ තිප්පොල දියත් කර ගැනීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කැසිනෝ, ගනිකා මඩම් ආදිය පදනම් කර ගත් සංචාරක ව්‍යාපාරයක් ගොඩනඟන්නට ය. කැසිනෝ ව්‍යාපාරය ආශ්‍රිතව බිහි වන ගනිකා ව්‍යාපාර ආදිය හරහා යම් මුදලක් දිළින්දන් අතට ද අතට ද කාන්දු වනු ඇත. එසේ ම ඒඩ්ස් රෝගය පැතිරීම වැනි දෑවැදි ද ලැබෙනු ඇත. 

එහෙත්, ඉතා පැහැදිලිව ම, මෙවැනි තත්වයක් නිර්මානය කිරීම සඳහා මුල පිරීමේ ජන වරමක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නැත.

සිංහල බෞද්ධ අන්තවාදීන් මේ ව්‍යසනයට එරෙහිව හඬක් නො නගන්නේ ඇයි ද යන්න පැහැදිලි ය. ඔවුන් පවතින්නේ මේ ආණ්ඩුවේ පිහිටෙනි. ආණ්ඩුව පවතින්නේ ද අන්තවාදීන්ගේ පිහිටෙනි. ආරක්ෂාවෙනි. ඒ නිසා ආණ්ඩුවේ පැවැත්මට ගනු ලබන ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීමට හැකියාවක් සිංහල බෞද්ධ අන්තවාදීන්ට නැත.

මෙම කැසිනෝ මධ්‍යස්ථානය ඉදිකිරීමට යන ඉඩම පිහිටා තිබෙන්නේ කොළඹ සම්බෝධි විහාරය ආසන්නයේ බැවින් සිංහල බෞද්ධයන්ගේ විරෝධය අවුළුවා ගන්නට විපක්ෂය උපක්‍රශීලීව උත්සාහ කළොත් බැරි නැත.ජවිපෙ දඹර අමිල හිමි පෙරට දමා වැඩේට අත ගහන්නට උත්සාහ දරනු ඇති බව පෙනේ. එහෙත්, දැන් ජවිපෙ මුහුණ දී තිබෙන ප්‍රශ්නය වැඩක් ඇදීමට පුළුවන් ශක්තිමත් කඳක් නැතිකමයි. 

කෙසේ වෙතත්, මේ වනාහි ලංකාවේ බල දේශපාලනයේදී සංවේදී ප්‍රශ්නයකි. සිංහල ජාතිකවාදී ජවිපෙට අධිරාජ්‍ය විරෝධී  පදනමින් ජාතිකවාදී ව්‍යාපාරයක් මතු කර ගැනීමට මෙය නිමිති කර ගන්නට පුළුවන. ජවිපෙට වුවත් ගොඩ යන්නට එය මගක් විය හැකි ය. 

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-13

සල්ලි එපා - බල්ලො මරමු



රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා තිබූ බවත්, බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් 38කගේ මළ සිරුරු මැයි 22දා නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කරන ලද බවත් වාර්තා විය.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ය.ඒ පැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් අප්‍රේල් මාසයේදී ජලභීතිකාව වැළඳී මිය ගිය බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි. 

මසකට වැඩි කාලයක සිට මගේ සමීප මිතුරකු ඥාතියකු වන අමිල ලියනාරච්චි ඉන්නේ රෝහලේ ය. රාත්‍රියේ මෝටර් සයික‍ලයෙන් ගෙදර එමින් සිටියදී,  වෙනත් පාපැදිකරුවකුව බල්ලන් එළවාගෙන පැමිණීම නිසා ඔහු බල්ලන්ගෙන් බේරෙන්නට උත්සාහ කරද්දී පාපැදිය අමිලගේ යතුරු පැදියේ වැදී වැටීමෙන් ඔහුගේ පාදයක් දරුණු ලෙස බිඳී ගොසිනි. 

මෙම ලිපිය ලියන මම ද වරක් බල්ලකු පැනීම නිසා යතුරු පැදි අනතුරකට ලක් වී ඇත්තෙමි. බල්ලා යතුරු පැදි පදවන්නන්ගේ මාරයකු බව බලධාරීන් දන්නේ නැත. 

ඉංග්‍රීසියෙන් raining cats and dogs කියා ඉඩියම් එකක් තිබේ. ඒ වැහි බිංදුවල ප්‍රමාණය නිසා ද නැතිනම් වැස්සේ තරම නිසා ද යන්න නො දනිමි. බල්ලන් බළලුන් කියන්නේ අධික ගහණයක් බෝ වන, වෙනත් සතුන්ගේ ආහාර බවට පත් විය යුතු සතෙකි. මිනිස් ඇසුරට වැටීමෙන් පසු මෙම සතුන්ට වෙනත් සතුන්ගෙන් ආරක්ෂාව ලැබීම නිසා බලු ගහණය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබේ. වැඩි වන බලු ගහණය පාලනය කිරීම පිණිස ලෝකයේ සෑම රටක ම පාහේ විවිධ ක්‍රමෝපායන් අනුගමනය කෙරේ. 

ලංකාවේ නම් බල්ලන් මරා වලිගය ගෙන ගොස් පෙන්නා සල්ලි ගැනීමේ ක්‍රමයක් ඉස්සර තිබුණු බව වාර්තා වේ. මෙසේ බල්ලන් මැරීම සඳහා යොදවන ලද පුද්ගලයා බලු හබරා නම් විය. මෙම රැකියාව සමාජයේ පිළිකුලට භාජනය වූ එකකි. නින්දිත ක්‍රමවලින් මුදල් ඉපැයීම අදත් හැඳින්වෙන්නේ 'බල්ලන් මරා හෝ සල්ලි හෙවීම' ලෙසයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට කිසිදු අනුකම්පාවක් නො දක්වන ලදමුත්, බල්ලන්ට නම් සෑහෙන අනුකම්පාවක් දක්වයි. බල්ලන් අල්ලා මරා දැමීම මේ වන විට ලංකාවේ සම්පූර්ණයෙන් ම නතර කර තිබේ. 

රාජ්‍ය නො වන සංවිධාන කීපයක් කොළඹ කේන්ද්‍රීය සෝබනකාර බලු වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලක් පවත්වාගෙන යති. සාමාන්‍යයෙන් ලංකාවේ රාජ්‍ය නො වන සංවිධාන කියන්නේ නිර්මානාත්මක ප්‍රගති වාර්තා ලියා අනුග්‍රාහකයන්ගෙන් මුදල් ලබා ගැනීම නම් ව්‍යාපාරයේ යෙදෙන ආයතන පද්ධතියක් බැවින් ගම් මට්ටමෙන් බලු ගහණය අඩු කිරීම සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් දක්නට නැති වීම බලාපොරොත්තු විය යුතු තත්වයකි.

වසර කීපයකට ඉහතදී බැංගලෝරයේ බල්ලන් විසින් ළමයින් කීපදෙනෙකු සපා කා මරා දමන ලදී. ලංකාවේ ද පාසල්, පන්සල් ආදී පොදු ස්ථානවල බල්ලන් ඉන්න තරමට මෙවැනි දේ වෙන්න බැරිකමක් නැත. බලු පැටවුන්, බළල් පැටවුන් ගෙනැවිත් අත හරින තැන් අතරින් පාසල්, පන්සල් ආදිය ප්‍රධාන ය. දුප්පත්කම නිසා දරුවන් විසි කරන සමාජයක බලු, බළල් පැටවුන්ට ‍එසේ කිරීම පුදුම විය යුතු කාරණයක් නො වේ. 

ලංකාව අමුතු රටකි. දෙමළ මිනිසුන් කෙතරම් මරා දැම්මත් ඒවා අපරාධ ලෙස සිංහල මිනිස්සු නො සලකති. බුදු දහමේ නාමයෙන් මේ වන විට මුසල්මානයන්ට ‍එරෙහිව නිල නො වන යුද්ධයක් දියත් කර තිබේ. හරකුන් මැරීම මහා පාපයක් ලෙස සලකන රටේ ජාතික මාංශාහාරය චිකන් ය. 

බල්ලන් මැරීම තිරිසන් ක්‍රියාවක් ලෙස සැලකුවත්, කිසි බොහෝ අය ඒ දඩාවතේ යන බල්ලන්ට කන්න ටිකක් දෙන්නට මැලි වෙති. තම ගෙවත්තට එන බල්ලන්ට නිර්ලෝභී අන්දමින් ගල් ගසන මිනිස්සු නම් එමට ය.

ලංකාවේ බල්ලන් ගෙවන්නේ බලු ම බලු ජීවිත වේ. උන්ට සොමියක් ඇත්තේ රැළේ යන කාලයට පමණි. යතුරු පැදිකරුවන්ට වැඩියෙන් ම අපල ඒ කාලයට ය. මහජන මුදලින් යාන වාහන ලැබෙන පාලකයෝ යතුරුපැදිකරුවන්ගේ මේ දුක නො දනිති.මා සිතන අන්දමින් නම් ලංකාවේ යතුරුපැදි පදවන්නන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බල්ලන් නිසා අනතුරුවලට මුහුණ දී තිබේ.

කෙටි කලකට ඉහතදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගේ අක්කාගේ අට හැවිරිදි පුතු වූ තමිඳු වීරසේකර මිය ගියේ ජලභීතිකාව වැළඳීමෙනි. ජල භීතිකාවෙන් වසරකදී මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව ඩෙංගුවලින් වසරකදී මිය යන මිනිසුන් ගණනට වැඩි බව මම අසා ඇත්තෙමි.

බලු ගහණය ඉහළ යාම නිසා බල්ලන්ගේ පමණක් නො ව මිනිසුන්ගේ ද ජීවිත බලු වී තිබේ. මම නම් කියන්නේ පාරවල් ගානේ තුවාල කුණු වෙමින්, කන්න බොන්න නැතිව, මිනිසුන්ගේ ගල් පහරට ලක් වෙමින් කාලකන්නි ජීවිත ගත කරමින් මිනිසුන්ගේ ද ජීවිත කාලකන්නි කරන දඩාවතේ යන බල්ලන්ට දිය හැකි විමුක්තිය වේදනා රහිත මරණය බවයි. 

පුනරුත්පත්තිය හෝ පුනර්භවය සත්‍යයක් නම්, කාටවත් වරදක් කර නැති බල්ලෝ නැවත ලංකාවේ නම් නො ඉපිද හොඳ තැනක ඉපදෙනු ඇත. 

මේ ලිපිත් කියවන්න:


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

චම්පිකගේ හෘදය සාක්ෂිය

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ජාතික හෙළ උරුමය ගෙන එන යෝජනාවට සිය හෘදය සාක්‍ෂියට අනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව සලසන්නැයි ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. ඔහු මෙසේ ඉල්ලා ඇත්තේ ඊයේ එක්සත් ජාතික පක්ෂය සමග පැවති සාකච්ඡාවේදී ය.

මෙ සාකච්ඡාව දේශපාලනික වශයෙන් වැදගත් එකකි. මන්ද, මෙය බැලූ බැල්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡා කරන 'අහිංසක' එකක් ලෙස පෙන්නුවත්, මේ වනාහි අනාගත දේශපාලන විපර්යාසයකදී හෙළ උරුමයේ උපා මාරුවට මග පාදා ගන්නා අවස්ථාවකි. සරළව කිව්වොත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටෙව්වොත්,ජාතික හෙළ උරුමය එහි ද ස්ථානගත වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නා හමුවකි. මේ හමුව සිදු වන්නේ ආණ්ඩුව ආර්ථික වශයෙන් තාප්පයට ම හේත්තු වෙමින් තිබෙන සමයක ය.

පාඨලීගේ ඉල්ලීමෙහි හෙවත් මේ හෘදය සාක්ෂි කතාවේ තවත් යටි අරුත් රැසක් තිබේ. ඔහු ඇත්තෙන් ම හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමේ අවස්ථාව ඉල්ලා සිටින්නේ රනිල්ගෙන් ද නැතිනම් මහින්දගෙන් ද?

හෘදය සාක්ෂියට අනුව නම් දැන් හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට බැස සිය බල ව්‍යාපෘතියේ අනාගතය ගැන සිතිය යුතු ය. එහෙම වුණොත් ආණ්ඩුව දූෂණ චෝදනා එහෙම දමා ෆොන්සේකාට, ශිරානිට එහෙම කළ දේ ‍චම්පිකටත් නො කරාවි ය කියා චම්පිකගේ හෘදයට ආණ්ඩුව සාක්කි දිය යුතුව තිබේ. චම්පික රනිල්ගෙන් වගේ මේ ඉල්ලන්නේ ඒක ය. ඇත්තෙන් ම ඉල්ලන්නේ මහින්දගෙන් ය. අනේ පව් ය.

ආණ්ඩුවට කර කියා ගන්නට දෙයක් නැති පාර දැන් කැසිනෝ සූදුවෙන් හරි පණ ගැට ගසා ගන්නට සැලසුම් ගසා තිබේ. අන්න ඒ වැඩපිළිවෙල දියත් කරන වෙලාව කියන්නේ ලංකාවේ ආණ්ඩු මාරුවට හොඳ නැකතකි. ඉතින් චම්පිකට අන්න ඒ වෙලාවට හෘදය සාක්ෂියට අනුව වැඩ කරන්නට දෙනවා නම් පිං ය.

හෙළ උරුමයට පමණක් නො ව, ඔවුන් සමග තරගයට හතු පිපී තිබෙන අනෙකුක් අන්තවාදී කල්ලි වුණත්, ආණ්ඩුවේ රැහැනෙන් මිදී අලුත් පාරවල් හොයන්නට කැමති වෙනු ඇත.

හෘදය සාක්ෂිය ඒ සඳහා මාර පාරකි.

මේ ලිපිත් කියවන්න:


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-12

බලය නැති දේශපාලකයන්ට මළ ගෙදරකවත් යන්න බැරි රටක්

බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස 
එජාපයෙන් බිඳී දෑත් ශක්තිමත් කරන්නට ආ අයුරු
මිනීමැරුමක් සම්බන්ධයෙන් පසුගියදා මරණීය දණ්ඩනයට නියම වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාපතිවරයාගේ විත්ති වාචකයේ ඒ තැනක තමන් දේශපාලනයට එන්නට පෙර කසිප්පු විකිණූ බව සඳහන් කරයි. 

අද වන විට බොහෝ පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා මන්ත්‍රීවරු මෙවැනි අයයි. ලජ්ජා විරහිත ඉතිහාසයට දේශපාලන බලය හා උන්නතිකාමය එක් වූ විට මේ පාදඩයෝ වැඩි දෙනෙක් තමන් කරන දේ නො දනිති. පළාත් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ඔවුන්ට ග්‍රීක් වැනි වේ.

මෙවැනි පාදඩයන් දේශපාලන නායකත්වයට ගෙන ඒමේ 'ගෞරවය' හිමි විය යුතු එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහට බලපිටියේදී මුහුණ දෙන්නට සිදු වූ ප්‍රහාරය ඇත්තෙන් ම දෛවයේ සරදමකි. බලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඒ. දයාරත්න ද සිල්වා කලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම පදවිය දැරූවෙකි. මෙවැනි පාදඩයන්ගේ දේශපාලන බලය කූටප්‍රාප්තියට පත් කළ වත්මන් පාලක රෙජිමට මුහුණ දෙන්නට සිදු වන අත්දැකීම් මීටත් වඩා කෲර වනු ඇත. 

දේශපාලකයන් විසින් නිර්මානය කර තිබෙන රට වනාහි පාලන බලය නැතිනම් උන්ට මළ ගෙදරකටවත් යන්නට නිදහස අහිමි රටකි.  

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ප්‍රභූවරුන් කුලියට මිනී මරන තත්වයක් ඇති වුණේ කෙසේ ද?

බම්බලපිටියේදී පොලිසිය පහර දී දියේ ගිල්වා මානසික රෝගියකු ප්‍රසිද්ධියේ මැරූ
නියෝජ්‍ය පොලිස්පතිවරයකු පමණක් නොව උප පොලිස් පරීක්ෂකවරයකු වුවත්, අයත් වන්නේ මධ්‍යම පංතික සමාජ මට්ටමටයි.

සාමාන්‍යයෙන් මේ පංතියේ මිනිස්සු ආත්මාර්ථකාමී ය; උන්නතිකාමී ය. එහෙත්, මේ පංතියට යම් සදාචාරයක් නැත්තේ ම නැත. 

මේ පංතියේ අය ඕනෑ තරම් මිනී මැරීම සඳහා කොන්ත්‍රාත් දීම කර තිබේ. භෞතිකව මිනී මැරීම ද කර තිබේ. 

විශේෂයෙන් ම යුද්ධවලදී, කැරැලි මර්දන කටයුතුවලදී, දේශපාලනයේදී ආදියේදී සතුරන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් මරා දැමීම තමන් තුළ සාධාරණීකරණය කර ගැනීම යම් තරමකට හෝ තේරුම් ගන්නට අමාරු නැත.

මේ අනුව මොට්ට ආයුධයකින් පහර දී ලසන්ත වික්‍රමතුංග නම් මාධ්‍යවේදියා මහ දවල් මහ මග මරා දැමීම වුවත් තේරුම් ගන්නට පුළුවන.

සමාජයේ මහා ප්‍රභූන් හා සාන්තුවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් අතර ඕනෑ තරම් මිනී මරුවෝ සිටිති. ඔවුහු සාමාන්‍යයෙන් බලය හා ධනය සම්බන්ධ හේතු මත සතුරන් මැරවූ අයයි.

එහෙත්, සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති නියෝජ්‍ය පොලිස්පති වැනි ප්‍රභූ තනතුරක් දරන කෙනෙක් කුලියට මිනී මැරීම නම් සමාජ පරිහාණියේ ගැඹුර නිරූපණය කරන අලුත් කැඩපතකි.

අප ජීවත් වන්නේ කුමන අන්දමේ තිරිසන් සමාජයක ද යන්නත්, අපේ දරුවන් සිටින්නේ කෙතරම් අනාරක්ෂිත තත්වයක ද යන්න හා අප ඔවුන්ට උරුම කර දී තිබෙන්නේ කුමන තරමේ කාලකන්නිකමක් ද යන්න ගැනත් අපි දැන්වත් ගැඹුරින් වටහා ගත යුතු ය. 

සිද්ධි හුදකලාව ගෙන මෙම පරිහාණි‍‍යේ ස්වභාවය හඳුනා ගත නො හැකි ය. මෙම තත්වය පසුබිමේ පසුගිය සමයේ ගොඩනැඟුණු සීමාන්තික ධනකාමය හා බලකාමය පමණක් නො ව ජාතිවාදය, ආගම්වාදය හා නීතියේ ආධිපත්‍යයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්ගේ බිඳ වැටීම ද තිබේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-11

අයි.සී.සී චැම්පියන් කුසලානයේ සමාරම්භක උළෙලේදී ප්‍රචාරය කළ යුතුව තිබුණු ගීය කුමක්ද?

ලෝකයේ කුඩා සංස්කෘතියකට හිමිකම් කියන, සෙසු සංස්කෘතීන් හා මුසු වීම පිළිබඳ යම් බියකින් පසු වන, හුදකලා වීමේ ප්‍රවණතාවක් පෙන්වන ප්‍රජාවක් වන සිංහල ජාතිය අයි.සී.සී චැම්පියන් කුසලානයේ සමාරම්භක උළෙලේදී ලාංකික කොඩිය ගෙන එන වෙලාවේ හින්දි සිංදුවක් වාදනය කිරීම ගැන තදබල විරෝධයක් නැඟීම තේරුම් ගත හැකි කාරණයකි.

සුළුතර මානසිකත්වයෙන් පෙළෙන ජාතීන් සාමාන්‍යයෙන් සිය ජාතික සංකේත පිළිබඳ අධි සංවේදී වීම සුලබ ය. වැද්දන්ගේ කෙටේරිය නිදසුනකි. වසර 2000 ආසන්න වකවානුවේදී කොළඹ වාමාංශික පිරිසක් විසින් සංවිධානය කරන ලද එක් වැඩසටහනකදී පෙත්සමක් අත්සන් කිරීම සඳහා යා යුතුව තිබුණේ ඇමරිකන් කොඩිය පාගාගෙන ය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ ඒ කාලයේ පිටරට සිටි අපේ ජාතික වීරයන් වැනි කිසිදු ඇමරිකානුවකු ඒ ගැන කුපිත වූයේ නැත. ඔවුන් මේ සංකේත වන්දනා නො කරන්නේ ඔවුන්ට ඉතිහාසයක් නැති නිසා ය කියා අනාගතය ගැන බියෙන් පෙළෙන අපට සතුටු වෙන්නට පුළුවන. ඔවුහු බලවත් වර්තමානයක සිටිමින් ජාතික කොඩිය ජොකාගේ පවා අලවති.

සිංහල ජාතිය සිය ජාතික අනන්‍යතාව පිළිබඳ නංවන මේ හඬ විසින් ඔවුන් පිළිබඳ ලෝකයා සතු අවබෝධය පුළුල් වන නිසා අපි ඒ උද්ඝෝෂණ ගැන නිෂේධනීය අදහසක් ඉදිරිපත් නො කරමු. එහෙත්, සිංහල ජාතියේ පිරිහීම සිදු වන්නේ බාහිර බලපෑම්වලට වඩා අභ්‍යන්තරික සාධක මත ය යන්න අපේ මතයයි.

හොඳයි, දැන් මේ හින්දි සිංදුව වෙනුවට මෙහි ප්‍රචාරය කළ යුතුව තිබුණු පිරිසිදු සිංහල සිංදුව කුමක් යයි ඔබ සිතන්නේ ද?

සිංහල සංස්කෘතිය ගැන ඇති මේ උනන්දුවේ තරම අනුව එකී ගීය සිංහල සංස්කෘතිය මැනැවින් නිරූපණය කරන ගීයක් විය යුතු යයි සිතමි. ඒ අනුව, භාතිය සන්තුෂ්ලාගේ චොකා බයිලා නම් මේ ප්‍රෞඪත්වයට ගැලපේ යයි සිතිය නො හැක. 

(ශ්‍රී ලංකාව යනු සිංහලයන්ගේ පමණක් රට නො වුණත්, මෙහි ලාංකික දෙමළ ගීයක් වාදනය ‍වුණා නම් තත්වය කොහොම ද?)

මේ ලිපියත් කියවන්න:හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-10

හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය

කාලගුණය මිනිස් ගති සේ වෙනස් වන දෙයකි.

ගිලීමගෙත් ඇත දත සුද්දෝ කිව්වා වාගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුණත්ඇත්ත කියන්නේ නැත්තේ ම නැත.

කොහොම වුණත්, අඩු ගණනේ ධීවරයින් හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන දේ විශ්වාස කර ඇති බව පෙනේ. එහෙම හරි පිරිසක් මේ රටේ හිටපු එක ඇත්තෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තු කිරීම සඳහා වැය වන මහජන මුදල් සම්භාරය යුක්තියුක්ත කරයි.

අනෙක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තිබෙන එක ම රාජකාරිය කාලගුණ අනාවැකි කීම නො වේ. සුළිසුළංවලට නම් තැබීම හා ඉන් පසු ඒ නම් ගැන සමාව අයැදීම, දෙයියන්ට පුද පූජා පැවැත්වීම වැනි වැදගත් වැඩ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ. දැන් අරිසෙන් අහුබුදු ශූරීන් නැති නිසා ජාතියේ නම් තබන්නා වන්නට ද කාලගුණේට පුළුවන. 

කාලගුණ විද්‍යාව ය කියා කියන්නේ මේ නො දන්න අපට නම් තේරෙන ආකාරයට වැස්සාම වතුර එකතු කර, මැන මෙච්චර වැස්සා ය කියන එක ය. ඔය විදියට ම උණුසුම ගැන ද සුළඟ ගැන ද කියනවා ය. 

අනාවැකි කියන්නේ වැහැගෙන, වැහැගෙන යනවා නම් ඉදිරියටත් වහිනවා ය කියන එක ය. වෙනදාත් කෙරෙන විධියට මේ කුණාටු දවසේ ද රෑ හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය. 

ධීවරයෝ ඒ වෙලාවේ මුහුදේ හිටියාට, ඔවුන් ලැප්ටොප් ඕෆ් කර ඕෆ්ලයින් වෙලා මාළු අයින්වලට ඇම ලයින් දමමින් සිටියාට කාලගුණේ මොනවා කරන්න ද? 

ඒ නිසා සහෝදර සහෝදරියනි, අච්චර, මෙච්චර ධීවරයන් මැරුණා ය කියා කාලගුණේ සමාව ඉල්ලිය යුතු නැත. ධීවරයන්ගෙන් වැඩි දෙනෙක් සිංහල බෞද්ධයෝ නො වෙති. අනෙක ගෙරි මස්වලින් පසු අත තැබිය යුතු ඊළඟ දෙයකි මාළුවා. හරක් මරන හම්බයාගෙන්පසු මාළු මරන ක්‍රිස්තියානුවාට ද වැඩේ දුන් විට චිකන් කන බෞද්ධයා සුරැකෙනු ඇත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-06-09

CCTV යුගය, ලොකු අයියා, බාප්පලා හා අපි

ඩිජිටල් අවකාශය තුළ අප සතු තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ  සංජන හත්තොට්ටුව විසින් කරන ලද ඉතා අපූරු ඉදිරිපත් කිරීමක් සමග සම්බන්ධ වීමට ගිය සතියේ මට අවස්ථාව ලැබිණි. 

තොරතුරු අස්ථානගතවීම මගේ ජීවිතයේ සාමාන්‍ය දෙයකි. අවුරුද්දේ මුල් මාස කීපයේ හැර දිනපොතක් දිගට ම ලියන්නට අසමත් මගේ තොරතුරු ඇත්තේ මගේ හිතේ හා මේ බ්ලොගේ පමණි. ඕනෑ දෙයක් ඕනෑ වෙලාවට සොයා ගන්නට බැරිකම මගේ ගෘහස්ථ කාර්යාලයේ ආදර්ශ පාඨයයි.  ඔය එස් පහ ආදී සංකල්පවලින් මොඩ් කරන්නට බැරි අප වැනි අලුගුත්තේරුවන් සිටීමෙන් මට නම් හිතෙන්නේ ලෝකයේ ජෛව විවිධත්වය වැඩි වනවා ය කියා ය. කොහොමත්, දැන් ඉතින් හැදෙන්නට එච්චර කාලයක් ද ඉතිරි වී නැති එකේ ඉතිරි ටිකත් ඔන්න ඔහොම ම ඉඳලා මැරෙන්න අධිෂ්ඨාන කරගෙන තිබේ.

ඒත්, පරණ මුද්‍රිත ෆොටෝ දුර්වර්ණ වී යන විට මෙන් ම, පුංචි උන්ගේ පොඩි කාලේ ඩිජිටල් ෆොටෝ හා ලියපු කවි ආදිය අස්ථානගත වී ඇති බව දැන ගත් විට අසීමිත දුකක් හා අපේ අපිළිවෙල ගැන කලකිරීමක් ද ඇති වේ. ඒත් ඉතින් ඒවා ඉතිරි වී තිබුණත් ඉතින් කවුරුවත් අපි ගැන කටුගෙවල් හදන එකක්යැ කියා ගිය ‍දේ ගියාවේ කියා අමතක කර දමන්න ද බැරිකමක් නැත. සමහරු තමන් ලියූ ලිපි එකතු කරගෙන ඉන්නේ කවදා හෝ කවුරුහරි අනිවාර්යයෙන් ම තමන් ගැන කටුගෙයක් හදනවා ය කියා දන්නවා වගේ ය. ඉතිහාසගත වන්නට කවුරුද අකැමැති?

කෙසේ වුවත්, තොරතුරු ආරක්ෂා කර ගැනීම ගැන බොහෝ දෙනෙක් උනන්දු ය. කාගෙන් ද? බාප්පලාගෙන් ය. බාප්පලා අප පස්සෙන් එනවා කියා බය වීමෙන් පොඩි ආතල් එකක් ගැනීමට වම, දකුණ කියා භේදයක් නැතිව අප බොහෝ දෙනෙක් කැමති ය.

බාප්පලා කිව්වා ම මිල්ලෙ සොයා චිත්‍රපටයේ මරු කෑල්ලක් සිහි වේ. එහි ඉතාලියේ සිටින ජවිපෙ සාමාජිකයෙක් තවෙකෙකුට පහර දෙයි. මේ දකින මහේන්ද්‍ර හෝ වෙනත් කෙනෙක් ඒ ඇයි ද අසයි . උත්තරය "මූ බාප්පා" යන්නයි. ඉතින් ප්‍රශ්නය අහන කෙනා අහන්නේ "ඉතින් බාප්පා නම් මොකද ගහන්නේ?" කියා ය.

ලංකාවේ සමාජ ක්‍රියාකාරිකයෝ වැඩි දෙනෙක් කරන විශේෂ දෙයක් නැති වුණත්, බාප්පලා පස්සෙන් එනවා ය කියා හැංගි හැංගී සිටින්නට කැමති ය. 

මට නම් ඇත්තෙන් ම බිරිඳගෙන්වත් හංගන්නට එතරම් දෙයක් නැත.

බාප්පලා මගේ කොම්පියුටරය ගෙන ගොස් ඕනෑ නම් කියනු ඇත්තේ "මූ මේකෙන් වැල බලා තිබේ" කියා ය. ලංකාවේ වැල නො බලපු කොම්පියුටරයක් සොයා ගැනීම කිසාගෝතමී කිසිවකු නො මළ ගෙයකින් අබැටක් සෙව්වා වාගේ දෙයකි. මම වැල බලා තිබේ කියා මම කල් ඇතිවම කියා තියන්නේ ඕක නිව්ස් එකක් ලෙස බ්‍රේක් කරන්නට ඕනෑ නැති නිසා ය.

ඔය කැරළි ගැන මගේ අත්දැකීම් නම් ලණු කැරළිවලට එහා ගිය ඒවා ය. මහපටැඟිලි දෙක පැන්සලක් විතර ඝනකම ලණුවකින් බැඳ පිටිපසින් අඹරා වහලේ එල්ලන කල හෝ පෙට්‍රල් හෝ මිරිස් කුඩු හෝ දැමූ ෂොපිං බෑගයක් ඔලුවට දමා එහි කට සීල් වන සේ අල්ලාගෙන ටික වෙලාවක් යන විට හෝ වතුර ටැංකියක හිස ඔබා තද කරගෙන ඉන්නා විට හෝ අපේ ගම් පැත්තේ වැලිපැන්න පොලිසිය ‍'කොච්චි කොටන්නං රළහමි දෙනවද එළුවා' කරන විට "කියඤ්ඤං" යි නො කියා ඉන්න පුළුවන් ය කියා ගැරන්ටියක් දෙන්නට 1989න් පසු මට නම් බුදු අම්මෝ බැරි ය. ඒ නිසා ඩෝං ගාලා ඔලුවට එකක් එක පාර තියන්න බාප්පේ ආතල් එක නො කැඩෙන්න, මම නම් කරන්නේ කියන්න පුළුවන් දේවල් විතර ය. මගේ ඔය ඇනොනිමස් ආතල් නැත්තේ මං වීරයෙක් නිසා ‍‍නො ව බය ගුල්ලෙක් නිසා ය. 


ඉතින් මේ වැල්වටාරම් ‍ටික ලිව්වේ අප පිවිසී තිබෙන අලුත් CCTV යුගය ගැන කියන්නට ය. ගිය සතියේ ලංකාවේ  CCTV යුග පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් පසු වූ බව මම මෙම ලිපියේ පෙන්වා දී ඇත්තෙමි.

එහි ඇති සිද්ධි දෙකෙන් වැදගත් සිද්ධිය වන්නේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ  ආරක්ෂක පිරිවර විසින් කරන ලද බව කියන කොන්ත්‍රාත් ඝාතනයක් මාට්ටු වූ ආකාරයයි. ‍තමන් පැටලී සිටි ණය උගුලෙන් ගැලවීම පිණිස ණය හිමියා මරන්නට පොලිසියට කොන්ත්‍රාත්තුව දී එකට කා, උගුල තුළට ණය හිමියා කැඳවාගෙන ගිය ණයකාර පුද්ගලයා, ඉන් පසු පණ දාගෙන බොරුවට ඔහු සොයන්නට පටන් ගෙන තිබේ. මේ අතර මරා දමන ලද පුද්ගලයාගේ මිනිය හමු වී හඳුනා නො ගෙන මෝචරියක තිබී ඇත. කාරයද අතහැර දමා තිබියදී පොලිසියට ගෙනැවිත් තිබී ඇත. කාරය අතුරුදහන් වූ පුද්ගලයාගේ බව දැන ගත් පසු එය අතහැර දමා තිබූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කරන විට අසල ස්ථානයක CCTV කැමරාවක් දක්නට ලැබී එහි වාර්තා අධ්‍යයනය කර බලන විට දක්නට ලැබී තිබුණේ අර කොන්ත්‍රාත්තුව දුන් තැනැත්තා කාරය එතැන දමා මාරු වන ආකාරයයි. 

CCTV කැමරාවෙන් විවිධ සොරකම් මාට්ටු වී තිබුණත්, එයින් බාප්පලාට ද කෙළ වූ පළමුවන අවස්ථාව මෙය නිසා මෙය ලංකාවේ CCTV පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස දේශපාලනිකව අර්ථකථනය ක‍ළෙමි. 

ලොකු අයියා දැන් CCTV කැමරාවෙන් අප දෙස බලා සිටින බැවින් බාප්පා ය, පුතා ය කියා වෙනසක් නැතිව කවුරුත් මාට්ටු ය. 

මේ සමාජ ක්‍රමයට එරෙහිව සටන් කිරීම හැංගී සන්නද්ධ වීමෙන් කළ නො හැකි ය කියා මට සිතී බොහෝ කල් ය. එයට මුහුණ දීම සඳහා තිබෙන හොඳ ම අවි වන්නේ සත්‍යය, විවෘතභාවය හා එඩිතරකමයි. ලොකු අයියා හයියෙන් ම බය ඒවාට ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com