2013-07-31

ලංකාවේ පිරිමි දක්ෂතා ඇති ගැහැනුන්ට බිය ඇයි? (ජානකීගේ සිට ශිරානි දක්වා)

මා මෙහි පහත යළි පළ කරන්නේ 2008 ජනවාරි මස පළ කරන ලද ලිපියකි. මට එය නැවත පළ කරන්නට සිතුණේ ජානකී සූරියආරච්චි පිළිබඳ ලියන ලද පසුගිය සටහනට ලැබුණු ප්‍රතිචාර කියවීමේදී ය.

ජානකී සූරියආරච්චි පමණක් නොව සුනේත්‍රා රාජකරුණානායක වැනි ලේඛිකාවන් ද ලංකාවේ විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා පිරිමින්ගේ නිර්දය ප්‍රහාරයට ලක් වූහ. ඇය අවුරුදු පතා පොත් ලියනවා ය, භාෂාව හොඳ නැති ය වැනි විගඩම් මිස හරයක් ඇති විචාරයක් ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කිරීමට සුචරිත ගම්ලත් දක්වා කිසිදු විචාරකයෙක් සමත් වූයේ නැත. තමන්ගේ බැනිල්ලට පදනමක් අවශ්‍ය නිසා අන්තිමේදී බොහෝ දෙනෙක් එල්ලුණේ ‍ගුණදාස අමරසේකරගේ කරේ ය. ඔහු කී දෙයක් වන්නේ ඇගේ පොදු පුරුෂයා ව්‍යාජයක් ය කියා ය. ඒ කියන්නේ යථාර්ථවාදී නො වනවා ය කියා ය.

අමරසේකර දන්නා යථාර්ථවාදයේ අග්‍ර ඵලය ඔහුගේ ගමනක මුල, මැද, අග නම් තුන් ඈදුතු නවකතාවයි. මට නම් එය නවකතාවක ව්‍යාජයෙන් ලියන ලද වංශ කතාවකි.

සුචරිත ගම්ලත් නම් කීවේ මෙවැනි දේ ය: "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ."

පිරිමින්ගේ දුර්වල පොත්වලට සම්මාන දෙන විට ‍මේ විචාරකයෝ මේ තරම් කිපුණේ නැති බව විමසා බැලුවොත් පෙනේ. මෙම ලිපියේ අරමුණ සාහිත්‍ය විචාරය නො වේ.

ලංකාවේ පිරිමි ස්ත්‍රී බලයට බිය ඇයිදැයි විමසීම සඳහා 2008 වසරේ පළ කරන ලද මෙම ලිපිය යළි පළ කරමි. 

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman


ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි.

පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී.

මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.'

කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද?

නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි.

මේ යුගයේදී ලොව පුරා පැතිර ගිය වසංගත හේතුවෙන් විශාල ජනගහණයක් මිය ගිය අතර, යම් ජෛව විද්‍යාත්මක ඔරොත්තු දීමේ හැකියාවක් හේතුවෙන් ස්ත්‍රී ගහණය පුරුෂ ගහණයට වඩා වැඩි වන තත්වයක් දක්නට ලැබුණු බව චිත්‍රපටය පවසයි. යුද ගැටුම් හේතුවෙන් පිරිමින් වැඩිපුර මිය යාම ද මෙයට එකතු වූ තවත් තත්වයකි. අවිවාහක, ස්වාධීන ගැහැණුන් සුලබ වීම මෙම යුගයෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ තත්වයකි.

නවීන වෛද්‍ය විද්‍යාව දියුණුවට පත් ව නොතිබුණු, සොබා දහමේ අභියෝග හමුවේ මිනිස් අසරණකම වඩා ඉස්මතු ව පෙනුණු මෙම යුගයෙහිදී සම්ප්‍රදායික ඖෂධ පිළිබඳ දැනුම, සුව කිරීමේ හැකියාව, වින්නඹු ශිල්ප ඥානය ආදී බලයන් සහිත වූ කාන්තාවන්ට සමාජයේ බිය මුසු ගෞරවයක් තිබිණි.

පීතෘමූලිකත්වයේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ලා ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රයත්නයන් හමුවේ මායාකාරිය පිළිබඳූ අර්ථකථනය තුළට මෙම ‛බලවත්‛ ගැහැණුන් ඇතුළත් කරන ලදී. ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ, බුද්ධිමත්, අභියෝගාත්මක ගැහැණු ද මේ වර්ගයට අයත් වූහ. ඇතැම් විටෙක සාක්ෂරතාව පවා යක්ෂයාගෙන් ලද ලක්ෂණයක් ලෙස සැලකිනි.

මායාකාරියන් හඳුනාගැනීම සඳහා inquisition හෙවත් පරීක්ෂක සභාව නම් වූ ක්‍රමවේදයක් භාවිතා කරන ලදී. පිරිමින් විසින් කෲර වධ බන්ධනයට ලක් කරමින් ගැහැණුන් ප්‍රශ්න කරන ලද අතර එම කෘරත්වය හමුවේ බොහෝ ගැහැණු පාපොච්චාරණ කළහ. ලිඛිත සාධක අනුව මෙම පාපොච්චාරණ බොහොමයක් එක හා සමාන ය. යුරෝපා ක්‍රිස්තියානිත්වය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ සංහාරයට ලක් වූ මිලියන ගණනාවක් ජනයා අතරින් 85%ක් පමණ ස්ත්‍රීන් බව කියැවේ.

‛මායාකාරිය‛ යනු අඳුර සමග සම්බන්ධ වූ ස්ත්‍රී බලයකි. ස්ත්‍රී බලයට එරෙහි වසර 5000ක මත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ මායා ශිල්ප (witchcraft) අපරාධ ලෙස නම් කර ඒවා හා සම්බන්ධ ගැහැණුන් අපරිමිත වධ බන්ධනයට ලක් කර ඝාතනය කිරීමේ හැකියාව තිබිණි. එම වධයට පැමිණවීම් සහ ඝාතන එදා සාමූහික වින්දන මාර්ගයක් වී තිබුණු බවක් ද පෙනේ.

මායාකාරියන් සංහාරය ස්ත්‍රී බලයට පුරුෂ මූලික සමාජයේ ඇති බිය සංකේතවත් කරයි.

මෙම ලිපියෙහි අරමුණ බටහිර ඉතිහාසයේ ඓතිහාසික කළු පැල්ලමක් වන මෙම මායාකාරියන් විනාශ කිරීම හෙවත් ස්ත්‍රී බලය පිටුදැකීම සිංහල සමාජයේ තත්වයන් සමග සන්සන්දනය කිරීමයි.

පැරණි සිංහල සමාජයේදී සම්ප්‍රදායික ඖෂධ දැනුම, වින්නඹු ශිල්පය හා යකැදුරුකම් වැනි විශේෂ හැකියාවන් සහිත වූ ගැහැණුන් පිටු දකිනු ලැබූ බවට ඓතිහාසික සාධක දක්නට නොමැත. ඒ වෙනුවට ඔවුනට සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත, සුවිශේෂ ස්ථානයක් ලබා දී තිබුණ බව දැකිය හැකි ය.

මායාකාරියන් පිළිබඳව පැරණි සිංහල සාහිත්‍යයෙහි මඳ වශයෙන් සඳහන් වේ. මහාවංශයෙහි එන කුවේණි චරිතය එවැන්නකි. යක්ෂ ගැහැණියක වන ඇය තම්බපණ්ණි වැල්ලට ගොඩබට විජය කුමරු හමුවට බැල්ලක එවීම සහ බැල්ල පසුපස ගිය කුමාරවරුන් සත්සියයක් පොකුණක සඟවා තැබීම වැනි මායාවන් කළ බව දැක්වේ.

‛මායාකාරිය' නම් වූ බටහිර භාෂාත්මක ගොඩනැගීම පැරණි සිංහල සාහිත්‍යයෙහි වර නැගෙන්නේ ‛යක්ෂණිය' නම් වූ වෙනස් ස්වරූපයකිනි. ඇයට බටහිර සමාජයේ මායාකාරියට තරම් ‛මිනිස්භාවයක්' නොමැති අතර ඇය වඩා ප්‍රබන්ධාත්මක, පරිකල්පනීය චරිතයක ලක්ෂණ පෙන්නුම් කරයි. පැරණි සාහිත්‍යයෙහි යක්ෂණියන් ගැන සඳහන් වන්නේ යක්ෂයන්ට වඩා අඩුවෙන් ය.

සිංහල සමාජයේ යක්ෂ සංකල්පය බටහිර යක්ෂ සංකල්පයෙන් හාත්පසින් ම වෙනස් එකක් වන බැවින් සිංහල යක්ෂණිය බටහිර යක්ෂයා සහ මායාකාරිය පිළිබඳ ප්‍රවාදයන් සමග සන්සන්දනය කිරීම පදනම් විරහිත ක්‍රියාවකි.

එහෙත්, බාහිර සංස්කෘතීන්ගේ බලපෑමට වැඩිපුර ලක් වූ ජන සාහිත්‍යයෙහි එන මායාකාරිය සහ මන්තරකාරිය ආදී චරිත නම් සෑහෙන දුරට බටහිර සංකල්පවල බලපෑමට ලක් වී ඇති බව පෙනේ. නූතන සිංහල සාහිත්‍යය තුළ මායාකාරිය පිළිබඳ සංකල්පය ප්‍රචලිත වීමට බටහිර සාහිත්‍ය පරිවර්තන සහ විශේෂයෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක විසින් නිර්මානය කරන ලද බටකොළ ආච්ච් චරිතය පදනම් වූ බව පෙනේ.

බටකොළ ආච්චි නම් චිත්‍ර කතා චරිතය 1960 දශකයේ මුල් වකවානුවේ සිට අද දක්වාම ‛මිහිර‛ ළමා පුවත්පත හරහා ළමයින් අතර ජනප්‍රිය වී තිබේ. මිට අග ගිනි දළුවක් ඇති ඉදලක නැගී අහසින් ගමන් බිමන් යන, බූසි කෙස්සක් සහිත, දළ සළු ඇඳි, මහළු ගැහැණියක වන බටකොළ ආච්චි චරිතය ඉතා පැහැදිලිව ම බටහිර සුරංගනා කතා ආභාසයෙන් නිර්මානය කරන ලද්දකි.

බටහිර ආභාසයෙන් සිංහල සමාජයෙහි ප්‍රචලිත වූ මායාකාරිය පිළිබඳ ප්‍රබන්ධාර්ථය ඉක්මවා යමින් භෞතික සමාජයේ මායාකාරී ස්ත්‍රීන් පිළිබඳ සාකච්ඡා කරන සාහිත්‍යමය ප්‍රවේශයක් අපට මුලින්ම හමු වන්නේ දේශීය සාහිත්‍යය තුළ නොව යටත් විජිත ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ලා සැලකිය හැකි ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle තුළයි. පසු කලෙක මෙය ඒ. පී. ගුනරත්න විසින් ‛බැද්දේගම' නමින් පරිවර්තනය කරන ලදුව සිංහල සාහිත්‍යයට එක් වේ.

වුල්ෆ්ගේ නවකතාවෙහි බැද්දේගම ගම්වැසියන් හින්නිහාමි නම් ස්ත්‍රිය මායාකාරියක ලෙස සලකා ගල් ගසා මැරීමේ සිද්ධිය සිංහල සමාජ ඉතිහාසයෙහි ස්ථානගත කරන්නේ කෙසේ ද යන්න මතභේදයට තුඩු දුන් කාරණාවකි.

එවන් තත්වයක් ඇත්තටම සිංහල සමාජයෙහි තිබුණා ද, නැතිනම් බටහිර චින්තන රාමුවෙහි හිඳ ලාංකීය සමාජය දෙස කුරුළු ඇසකින් උඩින් බැලූ යටත් විජිත සිවිල් නිලධාරියකු වන ලෙනාඩ් වුල්ෆ් මෙම සාහිත්‍යමය ගොඩනැගීම හරහා වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට යත්න දැරුවේ ද යන්න තව දුරටත් සංවාදයට ලක් විය යුතු ය. වුල්ෆ් යුරෝපා සමාජයේ පුරාතන සහ මධ්‍යතන යුගවල යථාර්ථයන් බැද්දේගම නම් වූ ආසියාතික ප්‍රාථමික ගම්මානයක පසුබිමෙහි තබා ප්‍රතිනිර්මානය කිරීමට උත්සාහ කළේ ද යන්න මෙහිදී අවධානයට යොමු විය යුතු ය.

මායාකාරියන් පිළිබඳ ඉතිහාසය කෙසේ වෙතත්, ලංකාව බටහිරකරණයට වැඩිපුර ගොදුරු වූ මෑත සමයෙහිදී ස්ත්‍රී බලයට බිය වීම යන කාරණය පිළිබඳව නම් අපගේ අවධානය මීට වඩ යොමු විය යුතුව ඇති බව පෙනේ.

මේ සඳහා සලකා බැලිය හැකි නිදසුන් දෙකක් ගෙනහැර පාමින් මෙම සටහන සමාප්ත කරමි. නිදහසින් පසු යුගයේ ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවූ පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවෝ් ය. ඒ සිරිමා බංඩාරනායක සහ ඇගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය. ඔවුනට බලයට පැමිණීමට පසුබිම සැකසෙන්නේ දේශපාලන නායකයන් වූ තම ස්වාමිපුරුෂයන් ඝාතනයට ලක් වීම ඔස්සේ ය. කෙසේ වෙතත්, ඔවුහු රාජ්‍ය බලය හෙබවූ සමයෙහිදී අතිශය බලවත් තත්වයක පසු වූ හ.

බලය අයථා ලෙස පාවිච්චි කිරීම සහ අඩු වැඩි මට්ටමින් දූෂණ ක්‍රියාවන්හි යෙදීම මෙම රාජ්‍ය නායකයන් එකොළොස්දෙනා තුළ ම දැකිය හැකි ය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා සහ බලයේ සිටියදී ම ඝාතනයට ලක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බංඩාරනායක, ආර්. ප්‍රේමදාස යන රාජ්‍ය නායකයන් දෙදෙනා අත් හළ විට, සෙසු පිරිමි රාජ්‍ය නායකයන් හය දෙනා බලයෙන් පහ වූ පසු අත් නොවිඳි සුවිශේෂ තත්වයන්ට ස්ත්‍රී රාජ්‍ය නායිකාවන් මුහුණ දීම මෙහිදී අප විග්‍රහ කරන්නේ කෙසේ ද?

1977 න් පසු හිටපු අගමැති සිරිමා බංඩාරනායකගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කරන ලදී. 2006දී චන්ද්‍රිකා බංඩාරනායක බලයෙන් ඉවත් කෙරුන පසු මුහුණ දෙන තත්වයන් පිළිබඳ නැවත ලිවීම අවශ්‍ය යයි නොසිතමු. මෙහිදී ඇය වටා නිර්මානය වූ ප්‍රබන්ධ හා යම් යම් යථාර්ථයන් ඒකරාශී කර වික්ටර් අයිවන් විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ‛චෞර රැජින' කෘතිය මෙරට ඉතිහාසයේ හොඳම අලෙවියක් තිබූ පොත් ගොන්නට එක් වීම ද අපගේ අවධානයට ලක් විය යුතු කරුණකි.

අප මතු කරන ප්‍රශ්නය වන්නේ ලංකාව දැඩි විපර්යාසකරණයකට ලක් කළ ජේ. ආර් ජයවර්ධන ඇතුළු සෙසු කිසිදු පුරුෂ රාජ්‍ය නායකයෙකු මෙවැනි තත්වයකට මුහුණ නොදුන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රී බලයට ලාංකීය සමාජය බිය ද?

පසුව එකතු කරමි: රාජපක්ෂ පවුල් පාලනය ශිරානි බංඩාරනායක හිටපු අග විනිසුරුවරියට එළව එළවා පහර දෙන්නට හේතුව ද මෙවැනි ම නො වේ ද? 

තත්වය එසේ වුවත්, ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-30

ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය

ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ලේඛිකාවකි. ව්‍යවසායිකාවකි.

ඇගේ මුල් කාලීන ළමා පොත්බොළඳ කතාවලින් පිරී තිබිණි. එහෙත් පසුකාලීනව ඇය විසින් කරන ලද ඇතැම් නිර්මාන ළමයින්ගේ හද බැඳගත්, ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද රස විඳිය හැකි අපූරු ඒවා ය.

විශේෂයෙන් ම ඇගේ 'දොයි අම්මා' නම් පැදි පෙළ හා ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ සහිත පොත හා වීඩි‍යෝව සුවිශේෂ ප්‍රතිභාවක් පළ කරන අනගි කෘතියකැයි මට සිතේ.

එහි දරුවකු අම්මා දෙස හෙළන ආදරණීය බැල්ම ගෘහස්ථ ශ්‍රමිකාවක් ලෙස ඇගේ භූමිකාව දෙස අලුත් ඇසකින් බලන්නට සමාජය පොළඹවයි. ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ ප්‍රකාශනශීලිත්වයෙන් අනූන ය.

ජානකී සූරියආරච්චි කිසි දිනෙක තමන් ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා ඇති බවක් මම නො දනිමි. එහෙත්, තමන් ස්ත්‍රීවාදීන් යයි කියන බොහෝ අය වෙතින් පළ නො වන නිර්මානශීලිත්වයක් ඇගේ මෙම කෘතිය තුළින් මතු වේ. එසේ වීමට මූලික හේතුව වන්නේ මෙම නිර්මානය තුළ ඇති අව්‍යාජත්වයයි.

අද වන විට ලංකාවේ ළමයින් සඳහා වූ කලාව කෲර වෙළඳපොළක් වී තිබේ. ළමා නො වන චිත්‍රපට ළමා චිත්‍රපට යයි ළමයින් රවටා පෙන්වා මුදල් ගසා කෑම අද වන විට ජාතික සිනමාව වී තිබේ. රූපවාහිනී චැනල් ළමයින්ට පෙන්වන්නේ බොරු වීරයන් ගැන කාටුන්, ඇනිමේෂන් හා සුජාත දියණි, අභීත දියණි වැනි බොළඳ කතා ය. ළමා සාහිත්‍යය යයි දක්නට ලැබෙන්නේ තොරන් වැනි චිත්‍ර සහිත වචන ගොඩවල් ය. 'සකල බුජං - කොට කලිසම් තමයි අඳින්නේ වැනි' ළමා අපචාර සිද්ධි ළමා ගී ලෙස හඳුන්වා දෙන ළමා ගීත කලාව තුළ වැඩිපුර තිබෙන්නේ ළමයින් වැඩිහිටියන් ලෙස ගී ගැයීමේ සුපිරි තරු මේනියාවකි.

ජානකී සූරියආරච්චි ළමයින් සඳහා යෝග්‍ය චිත්‍ර කලාවක් ද කතා හා කවි කලාවක් ද ‍ගොඩනඟා ගන්නට සමත් වීම අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරන තත්වයකි. ඇය දක්ෂ ව්‍යවසායිකාවක් වීම තුළ ද වටිනාකමක් තිබේ.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ටිපර් රියකට යට වී මිය ගියෙමි

මේ ඔහු මෙන් ම ඔබ හෝ මා හෝ ද වන්නට පුළුවන
අටවන ශ්‍රේණියේ පාසල් දරුවකු යයි කියන්නේ තවමත් කොට කලිසම් අඳින, තනිව සිය කටයුතු කර ගැනීම පුහුණු වන එකෙකි. මට මතක හැටියට තනිවම බයිසිකලය පැදගෙන මතුගම නගරයට එන්නට මට ද පුළුවන් වුණේ ඒ වයසේදී ය.

අපේ ජීවිත සමග බස්වල තිබුණු සම්බන්ධය ගැන මම මින් පෙර 'සිලෝන් ටකරං බස්' ලිපියේ ලිව්වෙමි. අටේ ංතියේ හෝ නමයේ පංතියේ ඉන්න කා‍ලේ එක් සති අන්තයක මම මට පිටුපසින් එන බසයකට කලින් යාම සඳහා වේගයෙන් බයිසිකලය පැද්දෙමි. ඒ කාලයේ තිබුණු ලොරි එහෙම එතරම් වෙගයෙන් ධාවනය නොවූ ඒවා බැවින් සුළඟට ආවරණය වෙමින් ඒ පසුපස බයිසිකල් පැදීමට පුළුවන්කම තිබිණි. ඇතැම් පුරුදුකාරයෝ එක් අතකින් ලොරියේ එල්ලී වේගයෙන් බයිසිකලය පදවන්නට සමත් වූ හ. එය අතිශය අනතුරුදායක වූමුත් ත්‍රාසජනක ය. ආපසු කතාවට.....

මම කෙතරම් වේගයෙන් පැද්දත් බසය මා ඉස්සර කර යාම වළක්වන්නට බැරි විය. බසය මා ඉස්සර කරද්දීත් මම වේගයෙන් එය පදිමින් සිටියෙමි. බසයේ පාපුවරුවේ මිනිසුන් එල්ලී ආ බව මම නො දුටුවෙමි. එසේ එල්ලී ආ අය මගේ ඇඟේ වැදීමෙන් මම පාරෙන් ඉවතට විසි වී වැටුණෙමි. වාසනාවට මා වැටුණේ පස් ගොඩකට ය. අට ශ්‍රේණියේ ළමයකු එසේ කාණුවට වැටෙද්දී බසය නො නවත්වා ධාවනය විය. පාපුවරුවේ එල්ලී ගිය තරුණයෝ බක බක ගා හිනැහෙමින් පස්ස හැරී බලා සිටි අයුරු මට තවමත් මතක ය. මට කළ අසාධාරණය ගැන හැඟීමක් මට නො තිබිණි. ලජ්ජාව නිසා වේදනාව ද නො තකා මම බයිසිකලය හරවාගෙන ආපසු ගෙදර පැමිණියෙමි.

මේ බසය පැදෙව්වේ නෑබඩ සිට කැන්දකඩුව හරහා කලුතර දක්වා බසය දිගු කලක් පැදවූ චන්දරයා නම් රියැදුරා ය. ඔහුට සාමාන්‍යයෙන් ළමයින් පෙන්නන්නට බැරි ය. මම හත ශ්‍රේණියේ සිටියදී සිදු වූ එක් සිද්ධියක් මෙසේ ය. පාසල ඇරීමෙන් පසු ගෙදර යන්නට මතුගම බස් නැවතුම්පළට පැමිණි අපට බසයක් නො තිබිණි. හොරණ ඩිපෝවේ රියදුරුට අතින් දොර ඇරිය හැකි 29ශ්‍රී8072 බසයේ ඉඩ තිබුණත් එය පැදවූ දැන් ඇල්හෙවණ තේ කම්හල පිහිටි තැන ආසන්නයේ ගෙදරක පදිංචිව සිටි සෝමපාල නෑබඩින් මෙහා ළමයින්ගෙන් බසයට ගත්තේ තමන්ගේ ළමයින් පමණි.

චන්දරයා පදවන කැන්දකඩුව පාරේ තනි දොරේ ‍ලේලන්ඩ් බසය ද මොන හේතුවක් නිසා හෝ ඒ‍ වෙලාවේ බස් නැවතුමේ තිබුණු අතර ළමයින් බසයේ ගෙන යන්නට සිදු වීම ගැන උරණ වී චන්දරයා බසය පැදවීම වර්ජනය කර පුපුර පුපුරා හිටියේ ය. ඌ ඉන්න බව මම දුටුවේ නැත. 

බසය නො සෝදා පිටුපස දූවිල්ල තට්ටු පිටින් බැඳී තිබුණු බැවින් එහි 'අනේ මාව හෝදන්න' කියා ලියමු යයි කවුරුදෝ කීවේ ය. මම ද ගොනා නිසා කියපු සැණින් වැඩේට බැස්සෙමි. තුන්මංහන්දිය චිත්‍රපටයේ මඟුල් ගෙදර මතකද? එහි අතින් කරකවන ග්‍රැමෆෝනයේ තැටිය සීරී 'අනේ පිඬු සිටාණෝ' සිංදුව 'අනේ අනේ අනේ' කියමින් එක තැන දුවනවා වගේ මටත් ලියන්නට පුළුවන් වුණේ අනේ කියා පමණි. අබැටක් දැම්මොත් පුපුරන දෑසින් යුතුව මා අසලට පැමිණි චන්දරයා දත්මිටි කමින් "ඕක ලියා ගනින් අම්මගෙ ..........." කියා මට එය ලියන්නට තැනක් යෝජනා කළේ ය. මම දැන් වැඩ කරන ඉස්කෝලේ ගුරුවරියකව සිටි අපේ අම්මා ද ඒ වෙලාවේ ගෙදර යාමට බසයක් නැතිව බස් නැවතුමේ සිටියා ය. වාසනාවට චන්දරයා කියූ දෙය ඇසුණේ අප කීපදෙනෙකුට පමණි. 

ඒ කාලේ හොඳයි, දැන් නරකයි කියා අපේ කාලේ ගැන කටමැත දොඩන අයට මම අදත් මේ සිද්ධිය ගෙනහැර පාමින් ඒ කාලේ අදට වඩා නරක බව තර්ක කරමි. ඒ කා‍ලයේත් අවුරුදු තිස් පහක පමණ මිනිහෙකුට වයස අවුරුදු දොළහක පොඩි එකෙකුට එවැනි කුණුහරුපයක් කියන්නට පුළුවන්කම තිබිණි. 

මේ කතාව ලිව්වේ ඊයේ මතුගම නගරයේ සිදු වූ සිද්ධියක් නිසා ය. සිද්ධිය පිළිබඳ දිවයිනේ පළ වූ වාර්තාව මෙතැනින් කියවන්නට පුළුවන. 

ටිපර් රියකට යට වී මතුගම බස් නැවතුම්පළ අසලදී එසේ මිය යන්නට ඇත්තේ ඒ කාලයේ මතුගම බස් නැවතුමේ සිටි මා යයි මට සිතේ. මා ගියේත් මේ දරුවා ගිය පාසලට ම ය.

ටිපර් යනු අපේ පැත්තේ පාරේ මාරයා ය. සංවර්ධන කටයුතු සඳහා ගල්, පස් ආදිය ගෙන යන මේ වාහන හතරක් පහක් හෝ ගෙදර සිට නගරයට යන්නට පාරට බසින ඕනෑම වේලාවක හමු වේ. ඒවායේ රියදුරෝ ඒවා පදවන්නේ රේසිං කාර් එළවන්නා සේ සැහැල්ලුවෙනි. මන්ද, නවීන තාක්ෂණය නිසා වාහනයේ පටවා තිබෙන බර ඉස්සර මෙන් ඔවුන්ට නො දැනෙන නිසා ය. ඉස්සර අපි බස්වල යනවිට දවල්ට, හවසට මදුරුගොඩ සෝමපාලගේ ගෙදර අසලින් බසයට බත් පාර්සලයක් දෙනු දැක ඇත්තෙමි. ඒ බත් ගෙඩි ඒ කා‍ලයේ අප හතර දෙනෙකුට පමණ කෑ හැකි තඩි පාර්සල් ය. දැන් ටිපර්කාරයන්ට නම් එච්චර කන්නට තරම් මහන්සියක් ඇති බවක් නො පෙනේ. 

ටිපර්කාරයෝ හා බස් රියදුරෝ ඇතැමෙක් මාර්ග නීති තඹයකට මායිම් නො කරති. සුදු ඉරි කපාගෙන, කහ ඉරි උඩින් වාහන ඉස්සර කරගෙන ඒවා ඉගිලෙන අයුර සාමාන්‍ය දර්ශනයකි. අඩි හතරක් උඩින් ඉන්න ටිපර් රියදුරාව සාමාන්‍යයෙන් පදිකයන්ට පෙනෙන්නේ පවා නැත. දින කීපයකට පෙර ලග්ගල පැත්තේ කලබලයක් ඇති වුණේ ද ටිපර් රියකට යට වී මවක හා දරුවකු මිය ගිය නිසා ය.

පාර සංවර්ධනය කරන්නට පටන් ගන්නට පෙර පසුගිය කාලයේ මම හැන්දෑවට ව්‍යායාම පිණිස නෑබඩට බයිසිකලය පැද්දෙමි. ආපසු එන ගමනේ දීගල්ල කන්ද නැඟ රන්නගල හරියට එන විට හැමදාමත් වාගේ නුවර සිට ‍පස්යාල, කිරිඳිවැල, මීපෙ, හොරණ හරහා මතුගම දක්වා දිවෙන බසයක් මා ඉස්සර කර ගියේ ය. පටු පාරේ එය යන වේගයට බයිසිකලය ඒ දෙසට ඇදී යන තරම් ය. 

මගේ දරුවන්ට මට මෙන් පාරේ බයිසිකලයක් නිදහසේ පදින්නට හැකි යුගයක් උදා වේදැයි මම නො දනිමි. රිය පදවන බොහෝ මහත්වරු මාර්ග නීති අනුගමනය කිරීම ලජ්ජාවට කරුණක් ලෙස සලකන සමාජයක අපි ජීවත් වෙමු.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-29

W3Lankaට හතරයි; මල්වඩම් අනවශ්‍යයි

මුල් කාලේ බැනර් එකක්
දන්නේ ම නැතිව W3Lankaට වසර හතරක් සම්පූර්ණ වී තිබේ. මා සිතා සිටියේ මෙය ආරම්භ කළේ 2009 ජුලි මාසයේ කියාමුත්, ඇත්තෙන් ම මෙහි පළමු ලේඛනය ඇතුළත් කර තිබෙන්නේ 2009 ජුනි 28දා ය.

W3Lanka මුලින් පටන් ගත්තේ 2009 පෙබරවාරියේදී පුවත් හා විශ්ලේෂණ වෙබ් අඩවියක් ලෙස ය. ලාංකිකයන්ට අවශ්‍ය සාමාන්‍ය තොරතුරු කැටි කර ගත් හෝම් පේජ් එකක් ලෙස එය ඉදිරිපත් කිරීමෙන් ජනප්‍රිය වීමට අපි උත්සාහ කළෙමු. 

W3Lanka වෙනුවෙන් බ්ලොග් එකක් ආරම්භ කළේ වෙබ් අඩවිය ජනප්‍රිය කරවීම පිණිස උපාය මාර්ගයක් ලෙසයි. එහෙත්, මේ බ්ලොගය විසින් පසුව W3Lankaහි හැඩරුව තීරණය කරන ලදී. බ්ලොගය ආරම්භ කර කෙටි කලකින් අපි වෙබ් අඩවිය අතහැර දැමුවෙමු. 

බ්ලොගර් සංඛ්‍යා දත්ත අනුව, මේ වන විට 1,672,474ක් දෙනා මෙම බ්ලොගයේ පිටු කියවා තිබේ. එහි බ්ලොග් සටහන් ගණන 2552කි. කියවන්නෝ අදහස් 12,192ක් පළ කර තිබේ. ෆේස්බුක් ඔස්සේ ද තවත් පිරිසක් අප සමග එක් වෙති.

අප විසින් ලියන ලද්දේ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය වීම ඉලක්ක කර ගත් ලිපි නො වේ. ජනප්‍රිය වුවත්, නැතත්, කාලීන දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ යම් දැක්මක් ඉදිරිපත් කරමින් සංවාද ආරම්භ කරන්නට අපි උත්සාහ කළෙමු.

අපි එය දේශපාලනික කාර්යයක් ලෙස සලකමු. එබැවින් ඉදිරියටත් එසේ කරන්නට අදහස් කරන්නෙමු. 

පවත්නා අර්බුදය තේරුම් ගැනීමත්, එයින් ගොඩ ඒමේ මාර්ග සෙවීමත් පිණිස සංවාදයක් අවශ්‍ය බව අපේ ස්ථාවරයයි. එහිදී අප හුදු න්‍යාය ප්‍රකාශකයින් බවට පත් වන්නට උත්සාහ කරන්නේ නැත. න්‍යාය උපදින්නේ ප්‍රායෝගිකත්වයෙනි. එහෙයින් අප කතා කරන්නේ ප්‍රායෝගික ප්‍රශ්න ගැන ය. 

අනෙක් පැත්තෙන් අප ලියන්නේ අප වෙත එන සාමාන්‍ය පාඨකයාට මිස ප්‍රාඥයින්ට නො වේ. 

ඔබේ අදහස් අපට අගනේ ය. අද මෙන් හෙටත්, බුද්ධිමත් අදහස් පළ කිරීම්වලට මෙම අවකාශය විවෘත ය. 

පාඨක සහෝදරයිනි, මා මේ සටහන තබන්නේ ඔබට ස්තුති කිරීම‍ට ය. දේශපාලන ස්ථාවරයන් හේතු කරගෙන පුරුදු සමාජ අවකාශයන්ගෙන් පිටමං කරනු ලැබුවාට පසුවත්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ජීවත් වීමට අවස්ථාවක් ඔබ මට ලබා දුන්නේ ය. 

මා තවමත් යථාර්ථයට යටත් නො වුණේ ඔබ නිසා ය. ඔව්, මම තවමත් සිහිනයක ජීවත් වෙමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-28

ජීවිතයේ හා දේශපාල‍නයේ දයාසිරි ලක්ෂණ

Body language
දයාසිරි යනු පොදු මිනිස් ලක්ෂණයකි. ඒ මෙසේ ය:
  • විශේෂ දක්ෂතා නැතත්, තිබෙන දක්ෂතා අදාළ වන්නේ වෙනත් අංශවලට වුණත්, අපි මාර දක්ෂ යයි අපි සිතාගෙන සිටිමු.
  • අපට ඕනෑ දෙය අපට කර ගන්නට බැරි විට අපට එය කිරීමට බැරි කවුරුහරි අපට කැපිල්ල දමන නිසා යයි අපි සිතමු.
  • හැමෝ ම තමන් සමග ඉරිසියා නිසා හැමෝ ම බලන් ඉන්නේ තමන්ගේ ඉදිරි ගමනට අකුල් හෙළන්නට යයි අපි සිතමු. 
  • තමන් මෙතෙක් සිටි සමාජ කණ්ඩායම සමග ගැටලුවක් ඇති වූ විට අපි එම සමාජ කණ්ඩායමේ සතුරා හෝ අනෙකා හෝ සමග මිතුරු වෙමු. 
  • ඉන්පසු අපේ පරම අධිෂ්ඨානය අර සමාජ කණ්ඩායම විනාශ වනු දැකීමයි. 
  • අප නොමැති වීමෙන් අප විසින් කරන ලද කාර්යභාරය අවුල් වී යනු දැක අපි සතුටු වෙමු.
  • අප‍ වෙනුවට පැමිණි අනුප්‍රාප්තිකයා අසාර්ථක වනු බලා සතුටු වෙමු.
  • අනුප්‍රාප්තිකයා අසාර්ථක වේ නම් ඔහු සමග මිතුරු වී ඔහුට උදව් කරන මුවාවෙන් ඔහු ද අපේ සතුරන් සමග බිඳවමු.
  • අනුප්‍රාප්තිකයා සාර්ථක වේ නම් ඔහු අපේ පරම සතුරකු ලෙස සලකා ඔහු අසාර්ථක බව පුන පුනා කියමින් ඔහු අසාර්ථක කිරීම සඳහා හැම දෙයක් ම කරමු. 
  • තමන් කලින් සිටි පිලේ නායකයාට වඩා වත්මන් පිලේ නායකයා තමන්ට සමීප බව පෙන්වීමට ඔහු අසල ඉතා දීන ලෙස හැසිරෙමු.  
  • තමන්ට මෙසේ කරන්නට සිදු වුණේ තමන්ගේ වරදක් නිසා නො ව සමාජයේ හෝ සමාජ ක්‍රමයේ හෝ රටේ හෝ වෙනත් මොකක් හරි එකක හෝ වරද නිසා යයි කියමින් එයින් පළා යාමේ අවශ්‍යතාව ප්‍රකාශ කරමු.
  • තමන් කළ කාර්යය ගැන තමන් තුළ ම තිබෙන කළකිරීම වසා ගන්නට තව තවත් අය එසේ කරන්නන් බවට පත් කර ගැනීමට උත්සාහ කරමු.
දයාසිරි ජයසේකරට කලින් මෙසේ කළ විමල් වීරවංශ, රාජිත සේනාරත්න වැනි ඕනෑම කෙනෙකු තුළින් මේ ලක්ෂණ ප්‍රකාශ වේ. ‍ඔබගේ හෝ ඔබ දන්නා වෙනත් අයගේ පෞද්ගලික ජීවිතවලට ද මෙය ‍‍‍මේ අන්දමින් ම අදාළ වේ. 

අනාගතය ගොඩනඟන මිනිසුන් වන්නට නම් අපි අප තුළ ඇති දයාසිරි ලක්ෂණ පහ කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-27

වැසිකිළියේ හැංගුණ ළමයා හා අපි

පහත පළ වන්නේ මේ දිනවල ජනප්‍රිය පුවතක්.


කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් නිල ඇඳුමින් පොල්ගහවෙල පාසලක කාන්තා වැසිකිළියක
කුරුණෑගල - අජන්ත බණ්ඩාර රත්නායක

පොල්ගහවෙල ප්‍රසිද්ධ පාසලක කාන්තා වැසිකිළියක් තුළ සිටියදී අල්ලා ගනු ලැබූ බව කියන කොළඹ ජනප්‍රිය විද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකු පෙරේදා (24දා) පොල්ගහවෙල පොලිසියට භාර දී තිබේ.

මීට පෙර අවස්ථාවකදී පොල්ගහවෙල පාසලේ කාන්තා වැසිකිළියක් තුළ සිටි නිරුවත් පුද්ගලයකු සිසුවියන් බියගන්වා පලාගිය බවටත්, තවත් අවස්ථාවකදී එම පාසලේ කාන්තා නේවාසිකාගාරය අසල නිරුවත් පුද්ගලයකු සැරිසරමින් සිටි බවටත් වාර්තා වීම නිසා වඩාත් විමසිලිමත්වී ඇති එම විද්‍යාලයේ ගුරුවරුන්ට පෙරේදා උදෑසන පාසල් නිල ඇඳුමෙන් සැරසී කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි මෙම සිසුවා අල්ලාගැනීමට හැකි වී තිබේ.

අල්ලාගත් සිසුවාගෙන් පාසල් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර සිදුවීම්වලදීත් පැන දිව්වේ තමා බවට පාපෝච්චාරණය කර ඇතැයිද 'මව්බිම'ට වාර්තා වෙයි.

සිසුවාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කොළඹ ජනප්‍රිය විද්‍යාලයක වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුවකු බවත්, 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටින බවත් ප්‍රකාශ කර තිබේ. සිය මවුපියන් පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවල නියුතු වූවන් බවත්, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වී සිටින බවත්, පාසල් එන බව අඟවා නිවෙසින් පිටත් වී දුම්රියෙන් පොල්ගහවෙලට පැමිණ මෙම පාසලේ කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි බවත් ප්‍රකාශ කර තිබේ. මෙම සිසුවා ළඟ තිබී කොළඹ ඔහුගේ පාසලින් නිකුත් කරන ලද සිසු හැඳුනුම්පතක් ද සොයාගෙන තිබේ.

මෙම සිසුවා යම් මානසික ආබාධයකින් පසුවන බව පෙනී ගිය බැවිනුත්, සුදුසු පියවරක් ගැනීම සඳහාත් අල්ලාගත් සිසුවා පොල්ගහවෙල පොලිසියට භාරදීමට අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර තිබේ.

මෙම පුවතේ කියැවෙන කරුණුවලින් සමාජයේ ගැටලු කීපයක් ප්‍රකාශ වෙනවා.

මේ වැරදිකාරයා බාල වයස්කරුවෙක්. ඔහු මානසික ගැටලුවකට මුහුණ දී සිටින කෙනෙක්. ඔහුගේ චර්යාව සමාජයට ගැටලුවක්. වගකිව යුතු සමාජයක් ලෙස ඔහුට අප කළ යුතුව තිබෙන්නේ එම චර්යාව පාලනය කර ගැනීම සඳහා උදව් කිරීමයි.

ඒත් සිදු වී තිබෙන්නේ කුමක් ද?

මේ සිසුවාගේ සිද්ධිය එළි වූ පසු අපි ඔහුව හෙළිදරව් කළා. ඔහු පිළිබඳ විස්තර මාධ්‍යවලට දුන්නා. ඔහු අගනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්න බව කිව්වා. මව්පියන් සමාජයේ වැදගත් රැකියා කරන අය බවත් කිව්වා. නම නො කිව්වාට ඉඟි ගොඩක් දුන්නා. කටකතාවලට තටු දුන්නා. ඇයි?

අගනුවර ප්‍රසිද්ධ පාසල් එක්ක අපි තරහයි. සමහර විට ඒ අ‍පි ගමේ නිසා. අපේ ළමයින්ට ඒ පාසල්වලට යන්න අවස්ථාව නැති නිසා. කොහොමත් ගමට කැකිරි කියලානේ අපි හිතාගෙන ඉන්නේ.

මේ ළමයා වැදගත් රැකියා කරන මව්පියන්ගේ දරුවකු ය කියා මතු කර දක්වන්නේ ඇයි? අප කරන රැකියාවට වඩා 'වැදගත්' ය කියලා 'පිළිගැනීමක්' ඇති රැකියා කරන අය එක්ක අපි ඉරිසියායි. සමහර විට, ඒ අය අප පෙළන නිසා වෙන්න ඇති.

එතකොට මේ පුවතෙන් ප්‍රකාශයට පත් වන අපි කියන්නේ මානසික රෝගීන් හෙළා දකින, නගරයට, එහි පාසල්වලට, වැදගත් රැකියා කරන අයට ඉරිසියා කරන පිරිසක්.

මම නම් හිතන්නේ අපි වැසිකිලියේ හැංගිලා නො හිටියාට අපේ මානසිකත්වය නම් තියෙන්නේ වැසිකිලි වළේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-26

දළු කඩන "තේමිස්ලා" හා ඵල නෙළන සර්ලා

පසුගිය දිනෙක මගේ මිතුරන් පිරිසක් වි‍දේශ රැකියාවල යෙදෙන ගැහැනුන් ගැන කරමින් සිටි කතාබහකට සහභාගි වුණෙමි. ඔවුන් කතා කරමින් සිටියේ ලංකාවේ ගෘහ සේවිකා ගැහැනුන් මැද පෙරදිගදී හිංසනයට ලක් වන්නේ ඇයි ද යන්නයි. ඔවුන් එයට එක් හේතුවක් ලෙස දුටුවේ ගැහැනුන්ගේ වනච‍රකමයි. ගෘහ සේවිකාවන් ලෙස ලාංකීය ගැහැනුන් රට යැවීම තහනම් කළ යුතු බව එකෙක් කීවේ ය. එහෙම කළොත් රජයේ සේවකයන් වන ඔවුන්ට වැටුප් ගෙවීමට රජයට මුදල් නැති වන බව මම කීවෙමි. මේ වන විට රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ ලාංකීය ගැහැනුන් වහල් සේවය සඳහා රට පැටවීම බව මම‍ පෙන්වා දුන්නෙමි.

එපමණක් නො ව, තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තයේ ද යෙදී සිටින බහුතරය කාන්තාවෝ ය. සම්ප්‍රදායිකව ම තේ, රබර් වැනි කර්මාන්තවල යෙදී සිටින්නන්ගෙන් බහුතරය ද කාන්තාවෝ ය.

එහෙත්, ලංකාවේ මධ්‍යම පංතික‍යන් මෙවැනි වෘත්තීන් දෙස බලන්නේ මහත් පිළිකුළෙනි. අම්මලා මැද පෙරදිග රටවල රැකියාවල යෙදී සිටින දරුවෝත්, අම්මලා ඇඟලුම් කම්හල්වල රැකියාවල යෙදී සිටින දරුවෝත් ගුරුවරුන්ගේ අවඥාවට ලක් වන ආකාරය මම දැක ඇත්තෙමි.. එවැනි අවඥාවට ලක් කිරීම්වලට කාන්තාවෝ ද සහභාගි වෙති.

අපේ පැත්තේ‍ ලොකු, කුඩා තේ වතුවල දළු නෙළීම සඳහා උග්‍ර ශ්‍රම හිඟයක් ඇත. එහෙයින් දළු නෙළන ගැහැනුන්ට හොඳ ඉල්ලුමක් තිබේ. දළු කඩන්නට කාන්තාවන් එක්කගෙන යාමට ගෙදර ළඟට ම වාහනය එයි. ආපසු ගෙනත් ඇරලීම ද කරනු ලැබේ. නැතිනම්, ඊළඟ දවසේ එම කාන්තාවන් දළු කඩන්නට එහි යන්නේ නැත. ඇතැම් දළු නෙළන කාන්තාවෝ හොඳින් ඇඳ, පැළඳ අත් බෑග් එල්ලාගෙන බසයේ යති.  වරක් එක් රජයේ රැකියාවක නියුතු පුද්ගලයෙක් මෙම කාන්තාවන් මට පෙන්වා ඔවුන් කවුරුදැයි දන්නවාදැයි ඇසී ය. මම නො දන්නා බව කීවෙමි. ඒ "තේමිස්ලා" යි ඔහු උපහාසයෙන් කීවේ ය. ඒ කවුරුදැයි ඇසූ විට ඔහු තේ දළු කඩන මිස්ලා යි පැහැදිලි කර දුන්නේ ය. මිස් යන අව්‍යක්ත ඉංග්‍රීසි වදනට ඇති ලාංකික අරුත්වලට මේ ළඳුන් නො ගැලපුණත්, ඔවුන් එසේ පෙනී සිටින්නට උත්සාහ කරන බව මේ සර්ගේ අදහස විය. 

එක් කුඩා තේ වතු හිමියෙක් මා සමග පැවසූ කරුණක් වන්නේ වැඩි කලක් යන්නට පෙර ලංකාවට තේ වතුවල වැඩ කිරීම සඳහා කම්කරුවන් පිටරටින් ගෙන්වන්නට වන තරම් ශ්‍රම හිඟයක් නිර්මානය වෙමින් තිබෙන බවයි. ඇඟලුම් කර්මාන්තයේ ද තත්වය එයයි. 

ගෘහ කටයුතුවලදී කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පිළිබඳ කිසිදු ආර්ථික තක්සේරුවක් නැත. එහෙත්, එහිදී කාන්තාවන් විසින් දක්වන දායකත්වය අත්‍යවශ්‍ය හා සුවිශාල එකකි. 

ලංකාවේ ගැහැනුන් මැද පෙරදිග ගෘහ සේවිකා වහල් සේවයෙන් උපයන්නේ ලංකාවේදී ඔවුන්ට අපහසු නැතිව ඉපැයිය හැකි මුදලකි. ඇමති ඩිලාන් පෙරේරා මෙම කම්කරුවන්ගේ සේවා නාමය වෙනස් කිරීමට යෝජනා කරන මුත්, ඔවුන්ගේ ‍සේවා තත්වයේ නම් කිසිදු වෙනසක් පසුගිය දශක ගණනාව තුළ ම අපි දැක නැත.

ලංකාවේ ආර්ථිකයට මෙම කාන්තාවන්ගෙන් මීට වඩා දායකත්වයක් ලබා ගත හැකිමුත් ආණ්ඩුව ඵලදායිතාවට වඩා අවධානය යොමු කර තිබෙන්නේ එදා වේල පිරිමසා ගැනීම සඳහා විදේශ විනිමය ඉපැයීම පිණිස ය. 

කාන්තාවන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය නිරූපණය වන ප්‍රකාශයක් පසුගිය දිනෙක කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමකදී ම කතානායක චමල් රාජපක්ෂ විසින් කරන ලද බව මාධ්‍ය වාර්තා ක‍ළහ. ඔහු කියන්නේ කාන්තාවන් නායකත්වයට පත් වුණා ම අනෙක් අය කියන දේ නො අසා ඒකාධිපති ස්වරූපයකින් වැඩ කරන ප්‍රවණතාවක් ඇති බව ඔහු පැවසී ය.

මේ වනාහි කිසිදු අධ්‍යයනයක් මත පදනම් වූ නිගමනයක් හෝ බුද්ධිමත් නිරීක්ෂණයක් නො වේ. සාමාන්‍ය ගමේ ගොඩේ කියමනකි. මෙහි සත්‍යසත්‍යතාව පිරික්සීම සඳහා අධ්‍යයනයක් කර බැලිය යුතු ය. අපට නම් සාමාන්‍යයෙන් පෙනෙන පරිදි බලය හමුවේ දූෂණය වන ප්‍රවණතාවට ගැහැනු, පිරිමි භේදයක් නැත. එහෙත්, වැඩිපුර ඒකාධිපතීන් වී තිබෙන්නේ පිරිමි මිස ගැහැනු නො වේ. 

ලංකාවේ පිරිමි දේශපාලනය, ව්‍යාපාර කළමනාකරණය හා පවුල් පාලනය කරති. එහෙත්, ආර්ථිකයේ යටිතලය පදනම් වන්නේ කාන්තා ශ්‍රමය මතයි. 

ලාංකීය සමාජය තුළ කාන්තාව සතු විභවය වනාහි  හඳුනා නො ගත් බලයකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-24

දයාසිරි ගියේ කැපිල්ල නිසා ද? බැරි නිසා ද? නැතිනම් හැටි ද?

දයාසිරි ජයසේකර ද මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේය. 

දයාසිරි ගියේ ඔහුට තිබුණු කැපිලි නිසා ය, ඔහුට එජාපයෙන් අවස්ථාවක් නො ලැබුණු නිසා ය ආදී කතා තිබේ. 

දයාසිරි ජයසේකර ජනප්‍රිය දේශපාලනඥයෙකි. ඔහු වැනි අය එක්සත් ජාතික පක්ෂයේ රඳවා ගන්නට බැරි වීම ඇත්තට ම නායකත්වයේ බරපතල දුබලකමකි. එහෙත්, ඔහු වනාහි දක්ෂ දේශපාලනඥයකු ය යන්න නම් පිළි ගත නො හැක. එහු සිංදු කියන්නට නම් දක්ෂයෙකි.

බලය, ධනය හා වරප්‍රසාද ඔස්සේ ඔහු ආකර්ශනය කර ගන්නට හැකි වීම රාජපක්ෂ පවුල් පාලනයේ විශේෂ දක්ෂකමක් නො වේ. ඒ වනාහි දයාසිරි ජයසේකර චරිතයේ තිබෙන දීන ලක්ෂණයකි. අවසානයේදී ඔහු ද සන්ධානයේ සිටින සෙසු දීන බත්බැලයන් ද අතර වෙනසක් නැති බව ඔප්පු වී තිබේ.

කොන්ද පණ ඇති මිනිස්සු කරන්නේ තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් තනිව හෝ සටනේ යෙදී සිටීමයි. ප්‍රතිපත්ති පාවා දී, තමන්ගේ විවේචනයට ලක් වූ දුෂ්ටත්වයන් සමග ලජ්ජා විරහිත ලෙස සන්ධානගත වන්නට පුළුවන් මිනිස්සු වනාහි බලාපොරොත්තු තැබිය හැකි අය නො වෙති.

ලංකා‍වේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පක්ෂ නායකයන්ගෙන් සිය ගමනට සහයෝගයක් නො ලැබුණු තැන පක්ෂයේ සතුරු බලවේගය සමග එක් වීම ලංකාවේ දේශපාලනයේ අති සුලබ තත්වයකි. විශේෂයෙන් ම විපක්ෂයේ පක්ෂවල කැරැලිකරුවන් පාලක හවුල සමග එක් වීම අති සාමාන්‍ය ලක්ෂණයකි. මහා විප්ලවවාදියෝ පවා එක රැයින් බලු කුක්කන් වී බලවතුන්ගේ පය පා මුල දිගා වනු අපි දැක ඇත්තෙමු.

දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන්නේ තනිකර ම පටු, පෞද්ගලික, උන්නතිකාමී අභිලාෂයන් මත ය. රනිල් වික්‍රමසිංහ යනු මේ වන විට කුජීත වූ නායකයෙකි. එහෙත්, ඔහුගේ ඒකාධිපති පාලනය අභිභවන්නට තරම් නායකයෙක් එජාපයේ පැත්ත පළාතකවත් නැත. එහෙව් එකේ රාජපක්ෂ රෙජිම වැනි ඒකාධිපති දුෂ්ට පාලනයකට අභියෝගයක් එජාපයෙන් බලාපොරොත්තු වීම මෝඩකමකි. දයාසිරිලා වනාහි ඒ පරාධීනත්වයේ ප්‍රකාශ මිස කිසිදු වැදගැම්මක් ඇති අය නො වෙති. 

අපට නම් කොහොමත් එක්සත් ජාතික පක්ෂයේ ඇති වැදගැම්මක් නැත. රාජපක්ෂ රෙජිමට මෙන් ම එයට ද කළ හැකි කැකිරි ගෙඩියක් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-23

අසපු බුද්ධාගම හා ආගමික ප්‍රාග්ධනයේ ගැටුම්

මම 1973 ඉඳන් මෙම ස්‌ථානයේ කුඹුරු කළා. මගේ එක ඇහැක්‌ පේන්නේ නැහැ. කොටි කපලා මගේ එක අතක ඇඟිලි නැහැ. මට දරුවෝ 05 ක්‌ ඉන්නවා. ගිය අවුරුද්දේ ග්‍රාමසේවා මහත්තයායි සී. ඕ. මහත්තයයි ඇවිල්ලා මේවා රජයේ ඉඩම් කියලා ඉඩම් කොටසක්‌ අල්ලාගෙන අපව පන්නා දැම්මා. පස්‌සේ ඉතිරිවෙලා තියෙන කොටසකුත් මෙයාලා භාවනා අසපු හදන්න කියලා අල්ලා ගත්තා. ඒක නිසා අපි කියන්නේ අපිට භාවනා අසපු නොවෙයි බඩගින්න නිවා ගන්න කුඹුරක්‌ කරන්න ඉඩ දෙන්න.
- කරංගාවේ ජී. ජයසිංහ (ගොවියෙක්)

නූතන ලෝකයේ ආගම යනු දැවැන්ත ව්‍යාපාරයකි. එහි විශේෂ ලක්ෂණ වන්නේ ලාභයෙන් බදු නො ගෙවීම, රාජ්‍යයෙන් ආධාර ලබා ගැනීම හා මහජන මුදල් සම්මාදම් කර ගැනීමයි. ඔවුන් ලබන ලාභය බොහෝ විට ආගමික ප්‍රචාරයටම යෙදවේ. එසේම, ආගමික සංස්ථාවල රැකියාවල නියුතු අය පුණ්‍ය ‍සේවාවන් කරන්නන් ලෙස පෙනී සිටිමින් සුවිසල් ආදායමක් ලබා ගනියි. ආගමික ලාභය වෙනත් ව්‍යාපාරවල ද ආයෝජනය වන අවස්ථා දැකිය හැකි ය. පොත් ප්‍රකාශනය හා අලෙවිය එයින් ප්‍රධාන ය. ලෝගෝස් හෝප් පොත් නැව උදාහරණයකි. එය රාජ්‍ය අනුග්‍රහය ද ලබමින් ලංකාවේ පවා ආගමික ප්‍රචාරයේ යෙදුනේ ය. 

මෙබඳු ආගමික ආයතනවලට උපකාර කිරීම සඳහා වූ බටහිර රටවලින් ආධාර එකතු කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ද තිබේ. විශේෂයෙන් ම ක්‍රිස්තියානි ඉවැන්ජලික නිකායන් ආශ්‍රිතව මේ තත්වය නිරීක්ෂණය කළ හැකි ය.

එක් කලෙක ක්‍රිස්තියානිය යටත් විජිත පාලකයන්ගේ අනුග්‍රහය ලබා ගනිමින් රටේ වටිනාම ඉඩම් අත්පත් කර ගනිමින් සිය ව්‍යාපාර ස්ථාපිත කර ගත් අතර පසුව බුද්ධාගම ද රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් සිය පැරණි තත්වය යළි තහවුරු කර ගත්තේය. විහාර දේවාලගම් පනත වැනි පනත් ඔස්සේ පැරණි රජ මහා විහාර අද දක්වා ම ගොවීන්ගෙන් බිම් පංගුව සූරා කෑමෙහි යෙ‍දෙමින් සිටියි.

ධනවාදයේ නැගී ඒමත් සමගම, ආගම් තුළ ව්‍යාපාරික ප්‍රවණතා තීව්‍ර වනු දක්නට ලැබේ. විදේශ ආධාර ලබන අන්තවාදී ආගමික ප්‍රවණතාවන්ගේ මතු වීම මුලින් ම දක්නට ලැබෙන්නේ ක්‍රිස්තියානිය තුළ ය. ඒ සමගම සම්ප්‍රදායික ක්‍රිස්තියානි ආයතනත්, අලුතෙන් බිහි වූ ඉවැන්ජලික ආයතන අතරත් තියුණු තරගයක් ඉස්මතු විය. 

මෙවැනි තත්වයක් පසු කාලීනව ඉස්ලාම් ආගම තුළ ද දක්නට ලැබිණි. 

අප විශේෂයෙන් මේ පිළිබඳ කතා කරන්නට පෙළඹුණේ ඊයේ අම්පාරේ සිදු වූ උද්ඝෝෂණයක් හේතුවෙනි. සිද්ධිය පිළිබඳ දිවයින පුවත්පත් වාර්තාවේ මෙසේ දැක්වේ.


අම්පාර නගරය ආසන්නයේ පිහිටි අම්පාර වැව අසල භාවනා අසපුවක්‌ ඉදිකිරීමට මුල්ගල තැබීමට එරෙහිව දිගාමඩුල්ලේ විහාරස්‌ථානවල නායක හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා ඊයේ (21 වැනිදා) උදෑසන එම ස්‌ථානයට ගොස්‌ විවිධ වැකි ලියූ පුවරු රැගෙන විරෝධතාවක නිරත වූහ.

පෙරේදා සවස 4.00 ට භාවනා අසපුවක්‌ සෑදීමට මුල්ගල තැබීම කථානායක චමල් රාජපක්‍ෂ මහතා අතින් සිදු කරන බව පවසා තිබුණ ද, දහවල් 1.00 ට පමණ ඒ මහතාගේ පුත් ශමින්ද රාජපක්‍ෂ මහතා අතින් මෙම ස්‌ථානයේ ඉදිකිරීමට අපේක්‌ෂිත මහමෙව්නා සදහම් මධ්‍යස්‌ථානය, මහ මෙව්නා සුවසේවා මධ්‍යස්‌ථානය, හරිතසුව සේවා කටයුතු සඳහා මෙම ස්‌ථානයේ ගොඩනැඟිලි ඉදිකිරීමට කථානායක චමල් රාජපක්‍ෂ මහතා නමින් සමරු ඵලකයක්‌ද ස්‌ථාපිත කරමින් මුල්ගල තබන ලදී.

මෙම විරෝධය එල්ල වන මහමෙව්නා අසපුව වනාහි කිරිබත්ගොඩ ඥානානන්ද නම් ක්‍රිස්තියානි සම්භවයක් හා තියුණු ව්‍යාපාරික ඥානයක් ඇති භික්ෂුවක විසින් පවත්වාගෙන යනු ලබන ජාලයකි. එය සතුව අසපු 42ක් ඇති බව වාර්තා වේ. මෙම අසපු මගින් කරනු ලබන්නේ මධ්‍යම පංතිකයන්ට ගැලපෙන ආකාරයට ගුණාත්මක අන්දමින් බෞද්ධ ආගමික සේවාවන් සැපයීමයි. එහි ඇති වරදක් අපි නම් නො දකිමු.

මෙම ස්ථාන ගොඩනඟා තිබෙන්නේ දැවැන්ත ප්‍රාග්ධනයක් යොදවා, විධිමත් ගෘහ නිර්මාන ශිල්ප ක්‍රම හා කලා ශිල්ප භාවිතා කරමින් විද්‍යානුකූලව ය. එසේම, ඒවායේ ආගමික සේවා සම්පාදනය ද ගුණාත්මක තත්වයක පවතී. මහමෙව්නා අසපු ජාලය හා සම්බන්ධ ශ්‍රද්ධා ටී.වී. නම් වූ රූපවාහිනී සේවාවක් ද ඩයලොග් ටි.වී. ඔස්සේ විකාශය වනු දැක ඇත්තෙමි. මෙම ජාලය සතුව ශක්තිමත් ආධාර එකතු කිරීමේ ජාලයක් ද තිබේ. සියල්ල මැනැවින් කළමනාකරණය වන ආකාරයක් ද පෙනේ. 

සම්ප්‍රදායික පන්සල මේ අන්දමින් ව්‍යාපාරමය ලෙස කළමනාකරණය වන්නේ නැත. එතැනින් සැපයෙන ආගමික සේවාවන්ගේ ද ගුණාත්මකභාවය අඩු ය. සරළව කිවහොත්, මුළු ජීවිතය ම ධනය හා බලය ඉපැයීමේ මී රේස් එකක යොදවා තිබෙන ධනකාමීන්ට ඊනියා තාවකාලික සන්තුෂ්ටියක් ලබා ගැනීම පිණිස වූ ගුණාත්මක සේවාවක් සැපයීමට සම්ප්‍රදායික පන්සල කණගාටුදායක ලෙස අසමත් වී තිබේ. එහෙයින් ධනවත් දායකයන් සම්ප්‍රදායික පන්සලෙන් ගිලිහෙමින් අසපු කරා ඇදෙමින් සිටිති.

අසපු හිමියෝ ශූර ව්‍යාපාරික ඥානයෙන් හෙබියෝ ය. පසුගිය දිනෙක රැඩිකල් භික්ෂුවක වන ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද මහමෙව්නා අසපුවට වැඩියේ ය. එමගින් ඔහුට අධ්‍යාත්මික වටිනාකමක් ද ලබා දෙමින් තමන්ට අභියෝගාත්මක විය හැකි ව්‍යාපාරික ප්‍රවණතාවක් සමග මහමෙව්නා අසපුව සන්ධානගත වන ආකාරය දැකිය හැකි ය. බොදු බල සේනාව හා සම්බන්ධ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ද දැවැන්ත වානිජ ව්‍යාපාරයකි.මෙකී ව්‍යාපාර අතර ඇති වන සන්ධානයන් ව්‍යාපාර ඇසකින් නිරීක්ෂණය කළ යුතු ය.

කෙටියෙන් කීවොත්, සම්ප්‍රදායික පන්සල ගමේ සිල්ලර කඩයක් වැනි ය. මහමෙව්නාව සුපර් මාකට් එකක් වැනි ය.අම්පාරේ උද්ඝෝෂණය පිටුපස තිබෙන සමාජ ආර්ථික පසුබිම මෙයයි.

බුදු දහම ආශ්‍රිතව නැගී එන මෙම වානිජ ප්‍රවණතාව අධ්‍යයනය කිරීම රසවත් ය. මෙහිදී ක්‍රිස්තියානියේ සිදු වූ දෙයට වඩා වෙනස් දෙයක් සිදු වෙමින් තිබේ. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලි එදා පටන් ම දැවැන්ත සමාගමක ශාඛා ය. එම සමාගම සතුව ප්‍රාග්ධන අභියෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය තිබේ. එහෙයින් ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන් වැඩිපුර ව්‍යාප්ත වනු දැකිය හැක්කේ සම්ප්‍රදායික ආගමික සංස්ථා හා බැඳුණු ධනවත් ජනයා අතරට වඩා ඒවායින් ගිලිහුණු පීඩිත හා අන්‍යාගමික ජන කොටස් අතර ය. 

සම්ප්‍රදායික පන්සල්, පල්ලි මෙන් ව්‍යාපාරමය ලෙස ජාලගත වූ ඒවා නො වේ. ඒවා  වනාහි හුදකලා ආයතනයි. මධ්‍යම පංතිය විසින් ඉල්ලා සිටිනු ලබන ආකාරයේ ආගමික සේවාවක් සම්පාදනය කිරීමට හැඩ ගැසෙන්නට ඒවාට බැරි වන්නට හේතු රැසක් තිබේ. එම තත්වය තුළ, ධනවත් හා ප්‍රභූ දායක ප්‍රජාව ඩැහැ ගන්නා අසපු සම්ප්‍රදායික පන්සල් විසින් තියුණු අභියෝගයක් ලෙස සැලකීම ගැන පුදුම විය යුතු නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-22

ශිරානි බංඩාරනායක හිරේ යැවිය යුතු ද?

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක වරදකාරියක් කර පෙන්වීමට රජයේ උත්සාහයක් පවතින බව නීතිවේදීන්ගේ එකමුතුව කියයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීම එහි අරමුණ බවයි, නීතිවේදීන්ගේ එකමුතුව පවසන්නේ.

මේ අනුව හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිවේදීහු පවසනවා.

එම උත්සාහය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට කෙරෙන බලපෑම තවත් උත්සන්න කිරීමක් ලෙසින් විග්‍රහ කරන නීතිවේදීහු, එය වහාම අත්හිටුවන මෙන් ආණ්ඩුවට බල කරනවා.

හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු තළා. එම තීන්දුවලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් වී තිබෙනවා. මමත් හිතන්නේ දොෂාභියෝග ක්‍රියාවලිය වැරදියි.

ඒත්, හිටපු අග විනිසුරුවරිය බැලූ බැල්මටම බලය අනිසි ලෙස භාවිතා කරමින් දූෂිත ගනුදෙනු කීපයක යෙදී තිබෙනවා. ඒවා පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ.

මේ අය මේ දූෂණවල යෙදුනේ තමන් ආණ්ඩුවට කඩේ යන නිසා හා තමන්ට තිබුණු බලය නිසා තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ කවුරුද කියා හිතාගෙන.

ලංකාවේ නඩුකාරයෝ කොහොමත් හිතාගෙන ඉන්නේ තමන් මහා සුපිරි චරිත විශේෂයක් ය කියායි. ඔවුන් නිසා මහජනතාව වන අපි අනන්ත පීඩාවන්ට පත් වෙනවා. මම දන්න එක් ආසන්න සිද්ධියක් තමයි, එක් නඩුකාරියක් පාසලක සීනුව ඇයට කරදරයක් ය කියා එය නවත්වන්නැයි පාසලකට පණි‍‍වුඩ පිට පණිවුඩ එවීම. වැස්ස වෙලාවක උසාවියට ආවාම කාරයෙන් බසිද්දී කුඩය ඇල්ලූ මිනිසාටත් දඬුවම් කළ නඩුකාරයෝ මේ රටේ ඉඳලා තිබෙනවා. ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ තිබෙන ගැටලු හා නීතිඥ රස්සාවේ වෘත්තිකභාවයේ අඩුලුහුඬු නිසා ලංකාවේ අධිකරණවලදී ජනතාව අසීමිතව පීඩාවට පත් වෙනවා. 

මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ සිට සොක්කන් දක්වා කට්ටිය ගැන කිසියම් දිනෙක දූෂණ පරීක්ෂණ කළොත් මම හිතන්නේ ඒ වෙනුවෙන් වෙන ම රහස් පොලිසියක් දාන්න වෙයි. දඬුවම් කළොත් මම හිතන්නේ ආත්ම ගණනක් හිරේ තමයි. නීතිය අතට අරගෙන සිටින ඔවුහු දණ්ඩනය පාවිච්චි කරන්නේ අනෙක් මිනිසුන් යටත් කරගන්න.

හැබැයි‍, එහෙම කියලා අපි මේ පොඩි පහේ හොරුන්ගේ දූෂණවලට එරෙහි නො වී සිටිය යුතු ද? නැහැ.

ලොකු හොරුන්ට කඩේ යන පොඩි හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට එක් දෙයක් වෙනවා. ලොකු හොරුන්ගේ අපරාධවලට හවුල් වන්න පොඩි හොරු බිය වෙනවා. පොඩි හොරුන්ගේ අපරාධ සහාය නැතිව ලොකු හොරුන්ට කරන්න පුළුවන් ඔය කොමිස් ගැහීම වැනි දේ විතරයි. සතුරන් මැරීම වගේ දේ නම් කරන්න ම බැහැ.

ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනා ඝාතනය, රූකාන්ත ගුණතිලකගේ පවුලට වධ දීම වැනි අපරාධවලට එරෙහි නඩු දැන් විභාග ‍වෙනවා. වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක් කුලී මිනීමැරුමකට පමණක් මාට්ටු වෙලා.කවදා හරි සුනාමි සල්ලි හොරුන්ටත් අවස්ථාවක් උදා වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

මෙහෙම යන එක නරක නැහැ. මොකද, අපරාධකාරයෝ කාට කාටත් තමන්ගේ දවස එන බව මතක් වෙන්න මේවා හොඳයි. ශිරානි, ඔබට සුබ ගමන්!

කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උවදේසේ
නො දුන මැනවි තුන් දොර අවකාසේ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-21

විග්නේශ්වරන්ට ඉරිසියා කරමු

ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කර තිබෙන සුවිශේෂ තේරීම වන්නේ ‍කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ය.

දයා මාස්ටර් තම මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීම කොටි සංවිධානයේ ද මුග්ධකමකි. දයා මාස්ටර් වැනි චරිතයක් මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීමෙන් කොටි සංවිධානය ප්‍රකාශ කළේ ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට නිගරුවකි. එය කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමක් විය හැකි ය.

කිලිනොච්චියේ කොටින්ගේ මාධ්‍ය සම්බන්ධීකරණය සිදු කෙරුනු නිවසක් භාරව සිටි, ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකුව සිටි එහෙත් ඉංග්‍රීසි කතා කළ නො හැකි ‍අසරණ පෙනුමක් ඇති මේ මිනිසාට වඩා විප්ලවීය තේරීමක් ආණ්ඩුවට උතුර සම්බන්ධයෙන් නැති වීම ඇත්තෙන් ම ආණ්ඩුවේ අසරණකම ප්‍රදර්ශනය කිරීමකි.

එහෙත්, දෙමළ ජාතික සන්ධානය සිය මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.වී. විග්නේශ්වරන් තෝරාගෙන තිබේ. ඔහු දේශපාලනයට අලුත් මිනිසෙකි. මම එහුට කැමැත්තක් දක්වන්නේ ඔහු තුළ ඇති ඇතැම් පුළුල් ලක්ෂණ හේතුවෙනි. සිය භාෂාවට, ජාතියට, ආගමට ගරු කරන ගමන් ම ඔහු පුළුල් ලාංකික අනන්‍යතාවක් සිය පවුලේ ජීවිතය තුළින් ප්‍රකාශයට පත් කරයි. ඔහුගේ දියණියක් විවාහ වන්නට නියමිත වාසුදේව නානායක්කාරගේ පුතා සමගයි. පුතෙකු විවාහ වන්නට නියමිත කේසරලාල් ගුණසේකරගේ දියණියක් සමගයි.විග්නේශ්වරන්ගේ දරුවෝ සිංහල, දෙමළ අනන්‍යතාවන් ඉක්මවා ගිය ලාංකික අනන්‍යතාවක නිහඬ ප්‍රකාශකයෝ වෙති.

අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාමිනි විජේදාස විග්නේශ්වරන් හමු වී සාකච්ඡා කර ලියා තිබෙන විශේෂාංග ලිපිය කියවූ විට ඔහුගේ තවත් ලක්ෂණ කීපයක් දැක ගත හැකි ය. විදෙස් මාධ්‍යයක් දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ ඔහුගේ අදහස විමසයි. ඔහු කියන්නේ එම කරුණ අදාළ වන්නේ දේශපාලකයකු‍ට මිස තමාට නො වන බවයි. ඔහු තමන් හඳුන්වන්නේ දෙමළ ජනයාගේ බිඳ වැටුණු ජීවිත යළි ගොඩනැඟීම සඳහා කටයුතු කරන නිලධාරියකු ලෙසයි. ඔහු කියන්නේ මේ අවස්ථාවේ උතුරු පළාත් සභාවේ නායකත්වය සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුව, ඉන්දියාව හා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කළ හැකි අයෙකු බවයි.

එසේම, එම පුද්ගලයා සිංහල ප්‍රගතිශීලීන් සමග කටයුතු කළ හැකි පුද්ගලයකු විය යුතු ය යන්න ද විග්නේශ්වරන් තේරුම් ගත යුතු ය. ලංකාවේ දෙමළ දේශපාලන ව්‍යාපාර කිසිදා හරි හැටි ‍තේරුම් නො ගත් කරුණක් විග්නේශ්වරන්ට ද තවම ස්පර්ශ වී නැති බව පෙනේ. ඒ වනාහි ආණ්ඩුවත්, සිංහල ජාතිවාදීනුත් නො වන සිංහල ප්‍රජාවක් ඇති බවයි.දෙමළ නායකයින් විසින් සහජීවනය වෙනුවෙන් ඉලක්ක කළ යුතුව තිබෙන්නේ එම ප්‍රජාවයි.

කොටි සංවිධානය ඇතුළු දෙමළ ජාතිවාදීහු මෙම ප්‍රජාව හිතාමතා ම අමතක කර දැමූහ. නැතිනම් එයින් කොටසක් තමන්ගේ ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් කඩේ යැවූ හ. දෙමළ ජාතිවාදීන් හැම විට ම පෙම් කළේ සිංහල ජාතිවාදීන්ටයි. ඔවුන්ට අවශ්‍ය දෙය කළේ සිංහල ජාතිවාදීහු ය.

විග්නේශ්වරන්ගේ සාර්ථකත්වය රඳා පවතින එක් මර්මස්ථානයක් වන්නේ එයයි. ඔහු උත්සාහ කළ යුතුව තිබෙන්නේ ප්‍රාදේශීය දෙමළ නායකයකු වීමට නො වේ. ජාතික නායකයකු වීමටයි. ඒ සඳහා විභවයන් ඔහු සතු ය. 

ඇත්තම කීවොත්, ඔහු සිංහල ජනයාට ඉරිසියා කළ හැකි තෝරාගැනීමකි. මන්ද, සිංහලයන්ට එවැනි කීර්තියක් සහිත දේශපාලකයකු ගැන බලා‍පොරොත්තුවක් තබා ගැනීමටවත් නො හැකි තරමට සිංහල සමාජය දූෂණයට ගොදුරු වී තිබෙන බැවිනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-20

සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත්

(මෙම ලිපියේ මුල් කොටස සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1 මැයෙන් කලින් පළ විය.)

වේබ් 2 හෙවත් අන්තර්ජාලයේ දෙවන පරම්පරාවේදී සිදු වූ දෙයක් තමයි, හුදෙක් එක් පැත්තක සිට තොරතුරුලබා දෙන වෙබ් අඩවි වෙනුවට සන්නිවේදකයාගේ අන්තයෙන් මෙන් ම ග්‍රාහකයාගේ අන්තයෙන් ද පණිවුඩ සන්නිවේදනය සිදු වන අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය අවකාශයක් විවෘත වීම. මේක පණිවුඩ හා ප්‍රතිචාර සම්බන්ධ වන සාමාන්‍ය සන්නිවේදන ආකෘතිය වෙනස් කළ තත්වයක්. මෙහිදී සිදු වුණ තවත් දෙයක් තමයි, ඇතැම් වෙබ් අඩවිවල ප්‍රකාශකයා හුදෙක් ම තාක්ෂණික වේදිකාවක් සපයන්නකු බවට පත් වී පාඨකයා ම අන්තර්ගතයන් නිර්මානය කරන්නා බවට පත් වීම. 

පුරවැසි මාධ්‍යකරුවාගේ භූමිකාව සජීවී වුණේ මෙම තත්වය තුළයි. ඕනෑම පුරවැසියකුට තමන්ගේ තොරතුරු හා අදහස් සෙසු අයත් සමග පහසුවෙන් බෙදා හදා ගන්න පුළුවන් අවකාශයක් අන්තර්ජාලයේ නිර්මානය වුණා.  එහි පළමු විප්ලවීය වෙනස තමයි, මාධ්‍ය වෘත්තිකයාගේ ආධිපත්‍යය බිඳ වැටීම. තොරතුරු හා අදහස් නිර්මානයේදීත්, ඒවා බෙදා හදා ගැනීමේදීත්, එය පාලනය කරන්න මාධ්‍ය වෘත්තිකයාට තිබුණු බලය දිය වී යන්න පටන් ගත්තා. පුරවැසි මාධ්‍යකරුවාගේ ප්‍රධාන මාධ්‍ය අවකාශය වුණේ සමාජ මාධ්‍ය.

ලෝක ව්‍යාප්ත ජාලයේ මේ වන විට සමාජ මාධ්‍ය රාශියක් ක්‍රියාත්මකයි. ඒ අතර ෆේස්බුක්, ට්විටර් මූලිකව මිනිසුන් අතර සම්බන්ධතා ඇති කිරීමට වෙන් වූ සමාජ ජාල. බ්ලොග් නිදහස් අදහස් ප්‍රකාශනය සඳහා විවෘත අවකාශයක්. දැන් ෆේස්බුක් හා ට්විටර්ත් අදහස් ප්‍රකාශනය සඳහා පුළුල් අන්දමින් භාවිතා කෙරෙනවා. බ්ලොග් දැන් අදහස් හුවමාරු කර ගන්න සංසද ලෙසත් ක්‍රියාත්මකයි. ලින්ක්ඩින් වැනි සමාජ ජාල විසින් කරන්නේ පුද්ගලයන් පිළිබඳ වෘත්තිකමය තොරතුරු ජාලගත කිරීම. විකිපීඩියා වැනි සමාජ මාධ්‍යවලින් කෙරෙන්නේ විශ්වකෝෂ ගොඩනැඟීමයි. ෆ්ලිකර්, පිකාසා වෙබ් ඇල්බම් ආදිය කරන්නේ ඡායාරූප බෙදා හදා ගැනීම. යූටියුබ් වීඩියෝ බෙදා හදා ගන්නවා. 

සමාජ මාධ්‍යවල ප්‍රධාන කාර්යයක් තමයි, බෙදා හදා ගැනීම. තොරතුරු බෙදා හදා ගන්න තමයි, පුවත්පත් බිහි වුණේත්. පුවත්පතුත් අන්තර්ක්‍රියාකාරීයි. ඒ කියන්නේ ලේඛකයන්, පාඨකයන් අතර අදහස්, තොරතුරු හුවමාරු කරගැනීමක් ඉස්සර ඉඳලා ම තිබෙනවා. ඒත්, ඒවා කෙරුණේ ලිපි, දුරකථන ඇමතුම් ආදිය හරහායි. සමාජ මාධ්‍යවලින් ඇති කරන ලද පෙරළිය තමයි, මේ කාර්යය ඉතා සජීවී දෙයක් බවට පත් කිරීම. 

සමාජ මාධ්‍යවල තවත් විශේෂත්වය තමයි, පාඨකයා ම කර්තෘ බවට පත් කිරීම. එතකොට පාඨකයා සංස්කාරකවරුන්ගේ, උප කර්තෘන්ගේ ආධිපත්‍යයෙන් මිදෙනවා. හැබැයි, එය ගැටලුවක් වන අවස්ථාත් එමටයි. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන පුවත් හා අදහස්වල විශ්වසනීයත්වය හා ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා.

අපේ ප්‍රස්තුතය විකල්ප පුවත්පත් නේ. ඇත්තෙන් ම විකල්ප පුවත්පත් අවශ්‍ය වන්නේ ඇයි? සම්ප්‍රදායික ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් පුවත් බවට පත් නො කරනු ලබන පුවත් විකාශයට. ඒ වගේම, ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් ප්‍රවර්ධනය නො කරනු ලබන අදහස් පතුරුවා හරින්න. 

සමාජවාදය සඳහා වන විකල්ප පුවත්පත් උත්සාහ කරන්නේ ධනවාදයට එරෙහිව අරගළ කරන සටන්කරුවන් පිරිසක් බිහි කරන්නනේ. මම නම් කියන්නේ අද දවසේ දෘෂ්ටිවාදීමය අරගළයක යෙදී සිටින සටන්කරුවන් අනිවාර්යයෙන් ම සමාජ මාධ්‍ය පිළිබඳ අවබෝධයක් ඇති අය විය යුතුයි. 

ඒත්, යථාර්ථයේදී විකල්ප පුවත්පත්වල පාඨකයන් වන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සමාජ මාධ්‍ය ඇසුරු නො කරන අය. එතකොට විකල්ප පුවත්පත්වලට මුහුණ දෙන්න සිදු වන අභියෝගයක් තමයි, සමාජ මාධ්‍ය ඇසුරු කරන හා නො කරන දෙ පිරිසකට ම එක වර සේවා සපයන්න සිදු වීම.

එතකොට විකල්ප පුවත්පත් සිය ගුණ, රුව නිර්මානය කර ගනිද්දී අන්තර්ජාලයත්, පුරවැසි මාධ්‍යකරුවන් හා සමාජ ජාලත් අතර මනා තුලනයක් පවත්වා ගත යුතුයි. පුවත්පත් මේවායින් පෝෂණය වෙනවා වගේ ම සමාජ මාධ්‍ය පෝෂණය කරන්නත් පුවත්පත සමත් විය යුතුයි. මෙතැනදී පරිවර්තකයාගේ භූමිකාවත් ඉතා වැදගත්. ප්‍රධාන ධාරාවේ සිංහල පුවත්පත් විසින් පරිවර්තනය කර පළ කරන්නේ ලෝකයේ තිබෙන තොරතුරු, දැනුම් හා වින්දනාත්මක මූලාශ්‍රවලින් කෙතරම් ස්වල්පයක් ද? විකල්ප පුවත්පත්වලට ආවරණය කරන්න ලෝකයක් ම ඉතිරි වෙලා. අනෙක් පැත්තෙන්, සිංහලයාට දෙමළ සංස්කෘතිය කියන්නේ වෙන ම ලෝකයක්. මේ ලෝක දෙක අතරේ නො පියවන ලද සුවිසල් තොරතුරු පරතරයක් තිබෙනවා. ජාතීන් අතර සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය අව‍බෝධය ඇති කරන්න මේ පරතරය පියවිය යුතුයි. 

විකල්ප පුවත්පත්වලට පුළුවන් ශක්තිමත් අන්දමින් සමාජ මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න. පුවත්පත නිකුත් කරන ලද දිනයේ ම, මුළුමනින් ම වෙබ් පිටුවක් බවට පත් කිරීම ප්‍රධාන ධාරාවේ පුවත්පතකට ගැටලුවක් නො වෙන්න පුළුවන්. ඒත් එමගින් සීමිත අලෙවියක් ඇති විකල්ප පුවත්පතක‍ට වෙළඳපොළ ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි අන්තර්ජාලය හරහා ඊ පුවත්පතක් ලෙස මිළ දී ගන්නට අවස්ථාව ලබා දීම පිටරටවල ඉන්න අයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේ ම අන්තර්ජාලය ඔස්සේ පුවත්පත ලේඛනාගාරගත කරන්න පුළුවන්. මෙහිදී පුවත්පතේ ලිපි යුනිකෝඩ් අක්ෂරවලින් වෙන ම පිටු ලෙස ඇතුළත් කිරීමයි කළ යුත්තේ. නැතිනම් ඒවා සෙවුම් යන්ත්‍ර විසින් තොරතුරු මූලාශ්‍ර ලෙස හඳුනා ගන්නේ නැහැ. 

පුවත්පතක් සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වීම කියන්නේ පුවත්පතකට වෙබ් අඩවියක් තිබීම නොවෙයි. පුවත්පතට පුළුවන් සිය සමාජ මාධ්‍ය අවකාශයන් තොරතුරු මුලාශ්‍ර වෙත පාඨකයන් යොමු කිරීමට හා ප්‍රතිචාර සඳහා මෙහෙයවන්න.

කෙසේ වෙතත්, පුවත්පතේ අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා කළ හැකි සමාජ ජාල නඩත්තු කිරීම, පුවත්පතේ ලේඛකයන් සිය ලිපි පෞද්ගලික බ්ලොග්වල නැවත පළ කිරීම වැනි ‍ක්‍රියාමාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය අන්තර් ක්‍රියාකාරිත්වයත් එක්ක පුවත්පත සම්බන්ධ කරන්න පුළුවන්. දැන් සමාජ මාධ්‍ය ජංගම දුරකථනයෙන් පරිහරණය කිරීම පහසු කර තිබෙන එකත් අමතර වාසියක්. ජනරළ පුවත්ප‍තේ ලේඛකයන්ගේ ඊමේල් ලිපිනය නමත් සමග පළ කරනවා. මමත් කලක් තිස්සේ මෙය කර තිබෙනවා. ඒත්, මම පුවත්පතකට ලියූ කිසිදු ලිපියක් සම්බන්ධයෙන් මට ප්‍රතිචාර ඊමේල් ලැබිලා නැහැ. ඒත්, ඒවා මගේ බ්ලොගයේ පළ වුණා ම මට සෑහෙන්න ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ප්‍රතිචාර සඳහා ජංගම දුරකථන අංකය යෙදීම අත්හදා බලන්න පුළුවන් අලුත් ක්‍රමයක්.

රාවය පුවත්පත පාඨක එස්.එම්.එස්. තීරුවක් පළ කරනවා. මම හිතන්නේ එය අගය කළ යුතු අලුත් අදහසක්. 

ලක්බිම පුවත්පත විශේෂාංග ලේඛකයන්ගේ කුඩා ඡායාරූපයක් නමත් සමග පළ කරනවා. මම හිතන්නේ මේක හොඳ දෙයක්. ඒක අනවශ්‍ය අන්දමින් තමන් පුම්බා ගැනීමක් ය කියා මම නම් හිතන්නේ නැහැ. ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ඇනොනිමස් ආතල් හෙවත් නිර්නාමික ප්‍රමෝදය පිළලයක් වූ තැනක්. විකල්ප පුවත්පත්වලත් සමහර මාධ්‍යකරුවෝ විවිධ නම් රැසක් භාවිතා කරනවා. මම නම් හිතන්නේ විකල්ප පුවත්පත් විශ්වසනීයත්වය ගැන මීට වඩා සිතිය යුතුයි. මගේ ස්ථාවරය වන්නේ, ‍"මම තමයි මේ දේ ලිව්වේ? ඉතින් මොකද?" කියා අසන්න එඩිතරකම නැතිනම් නො ලියා ඉන්න එක වඩා හොඳයි. හැබැයි, මේ කාරණය එහෙම ම නො ගැලපෙන විශේෂ අවස්ථා තිබෙන බව මම පිළි ගන්නවා. 
(ජනරළ පුවත්පත වෙනුවෙන් ලියන ලදී)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-18

සිංදු කියන බුද්ධාගම

Art of Living Ashram in Bangalore
මම දින කීපයක් ඉන්දියාවේ බැංගලෝර්හි ශ්‍රී ශ්‍රී රවි ශංකර් නම් ශාස්තෘවරයා විසින් පවත්වාගෙන යන 'ආට් ඔෆ් ලිවිං' මධ්‍යස්ථානයේ පුහුණුවකට සහභාගි වුණා. සහභාගි වුණා කියනවාට වඩා එය නිරීක්ෂණය කළා ය කියන එක නිවැරදියි. මන්ද, මම ශරීරයට වධ දී සැප අපේක්ෂා කරන සුදර්ශන් ක්‍රියා වැනි මිථ්‍යා විශ්වාස කරන්නේ නැහැ. මම එක් වතාවක් එය කර බලා අතහැර දැම්මා.

පස්සෙ කාලෙක 'ශාස්තෲ' නවකතාව ලියද්දී මෙතැනදී ලැබූ ඇතැම් අත්දැකීම් මට මහත් සේ ප්‍රයෝජනවත් වුණා.

එහි සිටි සන්ධ්‍යා කාලවලදී මා මහත් ප්‍රමෝදයට පත් වූ අවස්ථාවක් තමයි හැන්දෑවට එහි ශ්‍රවණාගාරයේදී භජන් ගායනයන්ට සවන් දීම. ආගමික භක්තියෙන් කරන ගීත ගායනා විසින් ගයන්නාත්, අසන්නාත් මහත් සතුටටට පත් කරනවා.

19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා‍. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා.

පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත් අය එහෙමත් දකින්න ලැබුණා. වෙසක් එකටත් සමහරු කැවිලි, පෙවිලි හදනවා. ඒවායින් දන්සැලුත් දෙනවා. වෙසක් පෙරහැරත් පැවැත්වෙනවා. ඔලුබක්‍කන් නටවන එක නම් පසුගිය දිනවල බොදු බල සේනාව තහනම් කළා ය කියනවා.

මේ විදියට ම, මීට සියවස් ගණනකට පෙර, හින්දු බලපෑමත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා. පන්සල්වල ම දෙවියන් අදහන, පුද පූජා කරන දේවාල බිහි වුණා. “නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?” යි විමසූ බුදුන්ගේ දහම අදහන සිංහල බෞද්ධ මෝඩයෝ ජ්‍යෝතිෂය බදාගෙන වධ විඳිති. ‍කේන්දර බලන්නන්ට නම් රජ මඟුල් ය.

ඒ බව දැක්වෙන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

මෑතක සිට බෞද්ධ අන්තවාදී කල්ලි විසින් ඉස්ලාම් අන්තවාදය අනුගමනය කරමින් බුදු දහම ප්‍රතිසංස්කරණය කරන්නට යත්න දරමින් සිටින බව පෙනේ. 

පහත පළ වන වීඩියෝව බලන්න. මේ වනාහි සායි බාබාගේ, ශ්‍රී ශ්‍රී රවි ශංකර්ගේ ආට් ඔෆ් ලිවිං වැනි ආගමික ප්‍රවණතාවල මෙන් ම කිතු දහමේත් ඇති ආගමික ශ්‍රද්ධාව වැඩීම හා පළ කිරීම පිණිස ගායනා යොදා ගැනීම බෞද්ධ සංස්කෘතියට උපු‍ටා ගැනීම සඳහා වූ සාධනීය උත්සාහයකි. 

මෙවැනි භක්ති සංගීත ශෛලීන් විසින් මිනිසුන් තුළ ශාන්ත රසයක් ජනනය කරන බැවින් මිනිස් සිත් සතන් සන්සුන් කිරීම පිණිස එය ඉවහල් වන්නට පුළුවන.



පහත පළ වන්නේ ආට් ඔෆ් ලිවිං භජන් ගායනයක්.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

අනුන් නිරුවත් කරමු ද? අලුත් ඇඳුමක් අඳිමු ද?

පොලීසිය විසින් ඝාතනය කරන ලද පාතාල නායකයකු වන මාමස්මි බුර්කා ඇඳගෙන සිටි බවක් කියමින්, බුර්කා හා නිකාබ් තහනම් කළ යුතු බවට ගෝරනාඩු කරන සිංහල, බෞද්ධ ආගමික අන්තවාදීන් විසින් මෙම ඡායාරූප අධ්‍යයනය කළ යුතුව තිබේ. 

බුද්ධගයාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු චීවරයට සමාන ඇඳුමක් ඇඳගෙන සිට ඇති බව එරට බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබූ දළ රූප සටහන් වලින් පෙනේ. 

සිවුරෙන් මුහුණ වැසෙන්නේ නැතිමුත්, එතුළ ද සෑහෙන දේවල් සඟවාගන්නට පුළුවන. මේ බෝම්බ සඟවාගෙන ආවේ සිවුරු අස්සේ වන්නට පුළුවන.

දැන් ඉතින් අපි සිවුර තහනම් කළ යුතු යයි තර්ක කරනවා ද? මේ විදියට ආවුද සඟවාගෙන පැමිණිය හැකි සියලු ඇඳුම් තහනම් ක‍රන්නට ගියොත් අපට යළි රෙදි නො ඇඳි යුගයට යන්නට සිදු වනු ඇත. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ මිනිසුන්ගේ තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇවිරීම නො‍වේ. මිනිසුන් තවත් මිනිසුන්ට හිංසා කිරීම සඳහා අවි පරිහරණය කරන අන්තවාදයන්ට හා ත්‍රස්තවාදයට ඉඩ නො තබන අන්දමින් සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කිරීමයි.

සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස වැනි කාරණා වැදගත් වන්නේ මෙහිදී ය. එසේ ම, සමාජයක ආර්ථික හා වෙනත් සමාජ විෂමතා අවම කිරීම ද අවශ්‍ය ය. සීමාන්තික ධන තෘෂ්ණාව හා අධික උන්නතිකාමය ද සමාජ පිළල වේ.

සකලවිධ ආගමික අන්තවාදයන් මේ දුර්ගුණයන්ගේ සම්පිණ්ඩන ලෙස සැලකිය හැකි ය. 

මිනිස්සු සහජයෙන් ම යහපත් මිනිසුන් වන්නට කැමති ය. එහෙත්, ම්ලේච්ඡත්වය දෙසට යොමු කළහොත් ඒ මිනිසුන්ට ම මෘගයන් වන්නට ද පුළුවන. 

අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ මිනිසුන් මිනිස්කම වෙත යොමු කරන සමාජවාදයකි. ධන තෘෂ්ණාව හා බලකාමය පිටුදකින සමාජවාදයකි. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස්‍හා සමානාත්මතාව ඇගයෙන සමාජවාදයකි. මෙම තත්වයන් ඇති කිරීම යනු අරගළයකි. සමාජවාදීන්ට බලය තිබීම මේ සඳහා අත්‍යවශ්‍ය නැත. සමාජවාදය සඳහා අරගළය අද, මේ ‍මොහොතේ පවා ඔබේ ජීවිතයේ කොටසකි. 

සමාජවාදය ජීවන විලාසයකැයි අප කියන්නේ ඒ නිසා ය. සමාජවාදියකු වීම සමාජ අගතීන්ට දිය හැකි හොඳම පිළිතුරයි. 

සහෝදරයිනි, අනුන් නිරුවත් කිරීම වෙනුවට අපි අලුත් ඇඳුමක් අඳිමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-17

අයිසෙ ළමයාගෙ ඉල්ලීම පිට කක්කා ‍පෝස්ට් එකක්

මගේ ප්‍රියතම චිත්‍රපටය තුන්මංහන්දිය. මම කැමතියි ඒකෙ අයිසෙ කියන චරිතෙට‍. එක තැනකදි අයිසෙ අබිලිං (ජෝ අබේවික්‍රම) එක්ක සැරසිල්ලක් කර කර ඉන්නකොට අබිලිංගෙ අම්මා (දෙනවක හාමිනේ) ඇවිත් අහනවා "අයිසෙ ළමයෝ උඹටත් තේ එකක් දෙන්න ද?" කියලා. "දෙනව අයිසෙ ඕනැ එකක්," කියලා අයිසෙ කියනවා. 

ඉස්කෝලෙ යන කාලෙ අපට ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ වි‍ජේරත්න සර් කතා කරන්නෙත් අයිසෙලා කියලා. "අයිසෙලා ගණන් හැදුව ද?"

ඒ වගේ අයිසෙ කෙනෙක් ඊයෙ අපේ බ්ලොග් එකට ගොඩ වෙලා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා. 

"අයිසෙ පැරකුම්,
මොනාද මේ දාන පොස්ට්, දානවකො හොඳ නැගල යන චූ, පඩ, කක්ක, ජී, ශුක්‍ර සම්බන්ධ පෝස්ට් එකක්."


මං එවෙලෙම ඔහුට පිළිතුරක් දැම්මා, "නැගල යන්නෙ නම් අර අන්තිමට කිව්ව ජාතිය විතරයි." කියලා. 

තවුරුදෝ කියලා තිබුණා, "එහෙම නැතුවත් යන වෙලාවල් තියනවා.... නමුත් අපේ වෙද මහත්තය ඉන්නකල් බය වෙන්න එපා..." කියලා. 

චූ, කක්කා ආදිය ගැන ලිවීම බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බව ඇත්ත. ඒවත් ඉතින් ජීවිතේ කොටස් නිසා ලිව්වම මොකද? 

හැබැයි, මේ සටහන ලියන්න නම් හිතුනේ ඊයේ දිවයිනේ ගිය ප්‍රවෘත්තියක් කියවලා. 

ප්‍රවෘත්තිය මේකයි: කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ වැසිකිළිවල වතුර නැත්තේ වියළි ප්‍රතිපත්තිය නිසාලු   
 
ප්‍රශ්නෙ මේකයි: "ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ එක්‌ කුලුනක්‌ මහල් 37 කින් සමන්විතයි. ඒ සෑම මහලකටම වැසිකිළි සාදා තිබුණද තම ශරීර කෘත්‍ය නිසි අයුරින් ඉටුකරගැනීමට හැකි ජලය සහිත එකදු වැසිකිළියක්‌ හෝ මෙහිදී සොයාගත නොහැක. ශරීර කෘත්‍ය සිදුකිරීමෙන් පසු පිරිසිදු කිරීමට සෑම වැසිකිළියකම ඇත්තේ පවිත්‍රතා කඩදාසිය."

පවිත්‍රතා කඩදාසිවලින් පවිත්‍ර කර ගන්න බැරි ප්‍රශ්නය ඉතින් පවිත්‍රාට කියන්න තිබුණා එයා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ මොකක්ද ඇමතිකමක් කරපු කාලෙ. 

එක් වතාවක් මම යුනෙස්කෝ ආයතනයේ ප්‍රබන්ධ නො වන සාහිත්‍යය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වුණා. නතර වුණේ ෆෙයාමන්ට් හෝටලේ. කාමර පුංචියි. බාත්රූම් එකත් පුංචියි. ඒකෙත් සෝදා ගැනීම පිණිස වතුර නැහැ. ලෝකෙ අනෙක් එවුන් කරන විධියට මට බැරි මොක ද කියලා ඉතින් මාත් ඒ පවිත්‍රා කඩදාසි පාවිච්චි කළා. 

ඒ වුණාට බුදු අම්මෝ සම්මන්ත්‍රණේට ගියාට පස්සේ මට ඇට්ටිම්බෙන් ඉන්නවා කියලමයි හිතුණේ. ඇට්ටිම්බෙන් ඉන්නවා කියලා ගමේ ගොඩේ ඉස්සර කිව්වේ කොල්ලෝ කක්ක දාලා, නො සෝදා හෙළුවැල්ලෙන් සෙල්ලං කරනවාට. යුනෙස්කෝ කාර්යාලයේ වැසිකිලිත් ඒ වගේ ම තමයි. එදා ඉඳන් මමත් ඔය බටහිර පන්නය අතෑරලා බාත්රූම් එකේ තිබුණු පුංචි කෝප්පයක‍ට සිය වතාවක් විතර සින්ක් එකෙන් වතුර පුරෝ පුරෝ වැඩේ කර ගත්තා. 

දිවයිනේ මෙහෙම කෑල්ලකුත් තිබ්බා. "සංස්‌කෘතිය හා නිරන්තරයෙන් බැඳී සිටින ලාංකේය ජනතාව ශරීර කෘත්‍ය ඉටුකර ගැනීමෙන් අනතුරුව ජලය යොදා තම ශරීරය පිරිසිදු කිරීම අනිවාර්යයෙන් සිදුකරන කාර්යයකි."

සංස්කෘතිය කිව්වාම ඉතින් ඉස්සර ඉඳන් කරපු පිළිවෙල කියන එකත් කියවෙනවානේ. නිල් චිත්‍රපට තිබෙන දැන් කාලේ කෙසේ වෙතත්, ඉස්සර නම් මිනිස්සු ශරීරයේ මේ පැත්ත ගැන එච්චර අවධානයක් යොමු කළා ද කියන එක ගැන මට ප්‍රශ්න තිබෙනවා. කේ. ජයතිලකගේ 'අපටත් වැසිකිළියක්' කෙටි කතාවේ කොකු පණු රෝග වසංගතය වළක්වන්න ගැමි ගෙදරකට වැසිකිළියක් හදාගන්න ආණ්ඩුව උපදෙස් දෙනවා. හදපු වැසිකිලිය ලස්සනට තිබෙනවා. ඒත්කවුරුවත් යන්නේ නැහැ. හැමෝම පුරුදු විදියට සොබා සෞන්දර්යය නරඹමින් වැඩේ කරනවා. මේකට මුලින් ම යන්නේ ගෙදර ඉන්න කැරැළිකාර කොල්ලෙක්.

මම දැකලා තිබෙනවා සමහරු වැසිකිළි යනවා සැමන් ටින් වගේ පුංචි වතුර භාජන අරගෙන. 

දිවයින පුවතේ මෙහෙමත් තියෙනවා: "1997 ඔක්‌තෝබර් මස 12 වැනිදා ඉදිකරන ලද ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට අද වනවිට වසර 16 ක පමණ ඉතිහාසයක්‌ ඇත. වසර ගණනාවක්‌ පුරාවටම මේ වැසිකිළි හබය සියලුදෙනා අතර පැවැති කසුකුසුවක්‌ පමණි. නමුත් අද එය වෙනස්‌ වී ඇත. මෙම ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ගැටලුව පිළිබඳව දිනපතා රාජකාරි සිදුකරන දහස්‌ සංඛ්‍යාත සේවක පිරිසගේ මතය දැන් වෙනස්‌ වී ඇත. ඔවුන් සියලු දෙනාගේ අදහස මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලැබිය යුතුය යන්නයි."


හැබැයි ගුවන් යානා මගීනුත් මේ අයිතිවාසිකම ඉල්ලුවොත් තමයි වැඩේ. ගුවන් යානයත් එක්ක වතුර බවුසරයකුත් ගෙනියන්න වේවි. කොච්චර වතුර තිබුණත් මුහු‍දෙදිත් මට මේක ප්‍රශ්නයක් වුණා. එක වතාවක් මම අපේ ධීවර සහෝදරවරුන් දෙතුන් දෙනෙක් එක්ක ටැංකි බෝට්ටුවක සතියක විතර මුහුදු ගමනක් ගියා. මේ කබල් බෝට්ටුවේ කැබින් එකේ ජනේලෙ ලී පටියක එල්ලිලා පැද්දෙන බෝට්ටුවේ ඇන්ද උඩින් ඒ වැඩේ කොහොමහරි කර ගත්තයි කියමුකෝ. හෝදගන්න එක තමයි වැඩේ. මොකද බොන්න ගෙනිච්ච වතුර ටිකෙන් ඒක කරන්නයැ. ආ‍යෙ වතාවක් බෝට්ටුවක මාළු අල්ලන්න ගියොත් නම් පවිත්‍රා කඩදාසි රෝලක් අරන් යනවා.

පණ යන කක්කා කතාවක් තිබෙනවා කියන්න, එළියකන්ද වධකාරය ගැන. මං ඕකෙ ගෙඩි පිටින් අවුරුද්දයි, මාසයයි, දවසක් හිටියනේ. මේ කාලෙ කිසියම් දිනෙක එතැනින් ගැලවී යන්න ලැබුණොත් කරන්න වැඩියෙන් ම ආසාවෙන් හිටපු දෙය මොකක්ද දන්නවද? 

හොඳ නිදහසේ ආතල් බොගක් දාන එකක. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක නිසා ද කොහෙද, එතැනින් වීරවිල කඳවුරට ගෙනිච්චාම එතැන කක්කුස්සි තිහක් විතර තිබුණා, අපි හයසීයකට විතර.

පට්ට ආතල් රටක ඕයි අපි ඉපදුණේ!කොහොමද මෙහෙම ප්‍රස්ථා පිරුළක්. "කක්කුස්සිය ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ වුණාට රෙන්නෙ ලංකාවෙ පොරවල්නේ."

හැබැයි, වතුර ඕනැ වුණාට වැසිකිළිය වියළිව තිබෙනවා නම් මාත් කැමතියි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-16

උතුරු පළාත් සභාව ගැන සුබවාදීව

පළාත් සභා මකබෑ කරන්නෙමුයි පසුගිය දිනවල රෙදි උස්සාගෙන ආ අය දැන් ‍කෝ? දැන් ඒ සියල්ලන්ගේ මුඛ පූට්ටු වෙලා ය. ඇයි ඒ?

ඉන්දියාව ඇමති බැසිල් එහි ගෙන්වාගෙන සත්තමක් දැමුවේ ය. මෙනන් ලංකාවට ඇවිල්ලා ද පෙන්නුවේ තමන් කරන බලපෑමේ තරම ය. 

ජුනි 26දා නෙත් රේඩියෝවෙන් විකාශය වූ මේ ප්‍රවෘත්තිය බලන්න: 
 

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරයේ රැඳීසිටින බව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ අද කියා සිටියා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සාකච්ඡාවක් සඳහා අද ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ තිබුණා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවී ඇති බවයි. ඊට අදාළව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. එම යෝජනා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ස්ථිර කර තිබෙනවා. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල කි‍්‍රයාත්මක කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවයි අවධාරණය කෙරුණේ. පළාත් සභා ඒකාබද්ධ කිරීමට ඇති ප‍්‍රතිපාදනය සංශෝධනය කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත් වුණා. එමෙන්ම පාර්ලිමේන්තු කෙටුම්පතක් සියලූ පළාත් සභාවලින් අනුමත විය යුතු බවට ඇති ප‍්‍රතිපාදනය වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතාවකින් සම්මත කරගැනීමට හැකිවන පරිදි සංශෝධන ගෙන ආ යුතු බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කළේ. 13වන ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය කිරීමට එරෙහි පිළිවෙතක සිටි රාජිත සේනාරත්න සහ රෙජිනෝල්ඞ් කුරේ යන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය සමග එකඟ වන බව ප‍්‍රකාශ කළේ යැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.මේ අතර 13වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයට විරුද්ධ ජනතා නියෝජිතයන්ට එරෙහි විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවද ප‍්‍රකාශ කෙරුණා. 
 
එදා සිදු වෙමින් පැවතුණේ පළාත් සභා බලතලවලට පක්ෂව උද්ඝෝෂණය කරමින් සිටි ශ්‍රීලනිපයේ ඇමතිවරුන් පවා දණගැස්වීමයි.  ඉන්දීය බලපෑමෙන් අනතුරුව සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. චම්පික රණවක වැනි ඇමතිවරුන්ගේ ස්වරය වෙනස් වී ඇති තරම පසුගියදා පැවති ජාතික හෙළ උරුමයේ සම්මේලනයේදී ඔහු කළ කතාවෙන් පෙනිණි. ඔහුගේ කතා විලාසය තුළ තිබුණේ "දැන් මේක කරලා බලන්නකෝ තව ටික දවසක් යනකො‍ට වෙන දේ," යන නෝක්කඩු ස්වරයයි. පසුගිය කාලෙයේ ඔසවාගෙන සිටි තර්ජනාංගුලි නිකම් ම ඇකිලී ගොසිනි. 

අනෙක් පැත්තෙන්, විමල් වීරවංශ පක්ෂය, බොදු බල සේනා, සිංහල රාවය වැනි ආණ්ඩුවේ රූකඩවල පළාත් සභාවලට එරෙහි උද්ඝෝෂණයන්ගේ නූල් වැඩකිරීම මේ වන විට සම්පූර්ණයෙන් ම නතර වී තිබේ. 

දැන් පළාත් සභා ක්‍රියාත්මක වන්නේ තිබුණු හැටියෙන් ම ය. ආණ්ඩුව උතුරු පළාත් සභාවේ පරාජය භාර ගන්නට සැරසෙමින් සිටියි. 

දෙමළ ජාතික සන්ධානය තුළ මහ ඇමති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැවති දිග්ගැසුණු සංවාදය වැදගත් දේශපාලන සංසිද්ධියකි. දෙමළ ජාතික සන්ධානය තුළ පැවති මහ ඇමති අපේක්ෂක තරගයෙන් අවසානයේදී ජයගෙන ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන සී.වී. විග්නේස්වරන් ය. සාකච්ඡා වට ගණනාවකට පසු අවසානයේදී ඇති වී තිබෙන මෙම ‍‍‍පොදු එකඟතාව ලංකාවේ මෑත කාලීන දේශපාලන ජයග්‍රහණ අතර කැපී පෙනෙන එකක් බව කිව යුතු ය. දෙමළ ජාතික සන්ධානය මාවයි සේනාධිරාජා වැනි සම්ප්‍රදායික ජාතිකවාදී දේශපාලනඥයකු වෙනුවට බුද්ධිමත් වෘත්තිකයකු හා විශ්වසාධාරණ පුද්ගලයකු හෙවත් කොස්මොපොලිටන්වරයකු මහ ඇමති අපේක්ෂකයා ලෙස තෝරාගැනීම දේශපාලන ජයග්‍රහණයකි.
 
දෙමළ ජාතික සන්ධානය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේශ්වරන් දේශපාලනයට කැඳවන්නේ ආණ්ඩුවට යල් පැන ගිය ඩග්ලස් දේවානන්දාට එහා ගිය විකල්පයක් නැති කාලයක ය. දෙමළ ජාතික සන්ධානයේ තේරීම දෙමළ ඩයස්පෝරාවේ ඊලාම්වාදී දේශපාලනයට ද අභියෝගයකි. මන්ද, ඊලාම්වාදී පසුගාමිත්වයට අභියෝග කිරීමේ හැකියාවක් මෙම ප්‍රවණතාව තුළ තිබේ. එය ධනවාදී දේශපාලන පියවරක් වන්නට පුළුවන. එහෙත්, එය ජාතිවාදයට වඩා ප්‍රගතිශීලී ය.

මෙය දකුණේ සිංහල දේශපාලනය සුළු ජාතික විරෝධය හා ජාතිකවාදී පසුගාමිත්වය තුළ හිර වද්දී දෙමළ දේශපාලනය ඉදිරිගාමී ලක්ෂණ කැටි කර ගැනීමක් ලෙස දැකිය හැකි ය. මන්ද, දෙමළ ජාතික සන්ධානය තුළ පවා මේ ඉදිරියට ගැනෙන්නේ දෙමළ ජාතිකවාදය ඉක්මවා ගිය ප්‍රජාතන්ත්‍රවාදී, නූතනවාදී නැඹුරුවක් බැවිනි. 
 
උතුරේ පළාත් සභාවකට ඇත්තෙන් ම ලංකාව නවීනත්වය වෙත ගෙන යාමේ හැකියාවක් තිබේ. පුහු ජාතිකවාදයක් තුළ සිර නො වෙමින් ඉන්දියාව හා බටහිර, නැගෙනහිර ජාත්‍යන්තර බලවේග සමග  සුහදව රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරන ලංකාවට ගැලපෙන දේශීය හා ජාත්‍යන්තර දේශපාලනයක් පිළිබඳ ආදර්ශයක් දෙන්නට උතුරු පළාත් සභාවට පුළුවන. 

ඒ සඳහා අනිවාර්යයෙන් ම සිය බලතල ලබා ගැනීමට උතුරු පළාත් සභාවට සිදු වේ. ඒ වෙනුවෙන් ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය වනු ඇත. උතුරු පළාත් සභාව විසින් ඉන්දියාවේ සහයෝගය ඇතිව ඉඩම් බලතල පමණක් නො ව පොලිස් බලතල ද අත්පත් කර ගනු ඇති බව නිසැක ය. එහෙත්, ඒවා අපහරණයට නො ව තම ප්‍රදේශය සංවර්ධනය පිණිස යොදා ගැනීමට උතුරු පළාත් සභාව සමත් විය යුතු ය. කකුලෙන් අදින ඒකාධිපති මධ්‍යම ආණ්ඩුවක් සමග කටයුතු කිරීම ලෙ‍හෙසි නැත. එහෙත්, මේ ඒකාධිපතිවාදයට ප්‍රජාතන්ත්‍රවාදී ජන බලයෙන් පිළිතුරු දෙන්නට උතුරු පළාත් සභාවකට පුළුවන.

උතුරේ ජනතාවට දකුණට ආදර්ශයක් දෙන්නට පුළුවන. ඒ එක්සත් ලංකාවක් තුළ බෙදුම්වාදය පැරදවීමෙනි. මෙහිදී බෙදුම්වාදය වන්නේ දෙමළ බෙදුම්වාදය පමණක් නො වේ. රාජ්‍යය තුළ සිංහල ආධිපත්‍යය තහවුරු කර ගැනීමට උත්සාහ කරන සිංහල බෙදුම්වාදය ද ඒ ඔස්සේ පැරදවීමට පුළුවන. එහෙයින් සිංහල ප්‍රගතිශීලීන්ගේ සහයෝගය දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් යුත් උතුරු පළාත් සභාවට හිමි විය යුත් ය. 
සිංහලයන් තුළ බලය බෙදීම ගැන තිබෙන හුඹස් බිය තුරන් කළ හැක්කේ බෙදන ලද බලය නිසි ලෙස භාවිතා කිරීමෙනි. ලාංකීය දේශපාලන ප්‍රජාවගේ ඉදිරි ගමන සඳහා එය අත්‍යවශ‍‍්‍ය ය.

මේ සුබවාදී බලාපොරාත්තු සුණුවිසුණු කර දැමීම දෙමළ ජාතික සන්ධානයට ඉතා පහසු ය. එහෙත්, අප බලාපොරොත්තු වියු යුත්තේ එය නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-15

"අයියෙ..මම තමයි ප්‍රවාහන ඇමති".මම මටම කියාගත්තා

පහත පළ වන්නේ සෑම අතින් ම විශිෂ්ට නිර්මානයක් ලෙස සැලකිය හැකි කෙටි ම‍ කෙටි කතාවකි. රචකයා එය එවැනි කෙටි කතාවක් වීම අරමුණු කරගෙන ම ලියුවා ද යන්න නො දනිමි. එහෙත්, එහි තිබෙන අව්‍යාජ සුන්දරත්වයට මම කැමතියි.

කථකයා දේශපාලනයට කැමති, එහෙත්, දුප්පත් තරුණයෙකි. මෙවැනි අය බොහෝ විට එක් වන්නේ රැඩිකල් වාමාංශික පක්ෂ සමගයි. එහෙත්, සමාජවාදය පිළිබඳ ඔවුන්ගේ සිහින ධනවාදයේ ම රතු පාට අනු පිටපත් වැනි ය. 

මා කියන කාරණය පැහැදිලි කිරීම සඳහා නිර්මාල් රංජිත් දේවසිරි වරක් පැවසූ උදාහරණයක් ගෙනහැර දක්වමි. නිර්මාල් පෙන්වා දුන්නේ සමාජවාදී රටවල නගර නිර්මානයේදී අනුගමනය කරනු ලැබුවේ ධනවාදී රටවල නගර නිර්මාන සැලසුම් ම බවයි. ඔවුන්ගේ සමාජවාදය තුළ සමාජවාදී නගර නිර්මාන සැලසුම් තිබුණේ නැත. 

අප විසින් දිගින් දිගට ම පෙන්වා දෙන ලද කාරණයක් වන්නේ සමාජවාදය යනු හුදෙක් නිර්ධනයන් විසින් බලය අල්ලා ගැනීම නො ව විකල්ප ජීවන විලාසයක් බවයි. සමාජවාදය අද ම, ඔබෙන් ම පටන් ගන්නට පුළුවන. ඒ සඳහා බලය ගැනීමට අවශ්‍ය නැත.

අප මේ කතාව තුළින් ධනවාදී සිහින ම දකින ඊනියා සමාජවාදී රැඩිකල්වාදියකුගේ ජීවිත අත්දැකීමක් විඳින්නෙමු. ඔහුගේ සිහින ඇමති තනතුරු තුන වන  ජාතික ඒකාබද්ධතා ඇමති, ප්‍රවාහන ඇමති සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇමති යන තනතුරු තුන විසින් නියෝජනය කරන්නේ ඔහු බස්වල බෑග් විකුණන මුස්ලිම් තරුණයකු වීම යයි මට සිතේ. 

ජවිපෙ සමග දේශපාලනය කරද්දී මට මෙවැනි පුද්ගලයෝ බො‍හෝ හමු වී තිබේ. සරූක්ගේ කතාව තුළින් ඔවුන්ගේ ෆැන්ටසිය හා යථාර්ථය සමග එහි ඇති ගැටුම අපූරු වදන් සිත්තමක් බවට පත් කර තිබේ. එය ගැඹුරු අරුත් මතු කරන, බොහෝ දේ කතා කළ හැකි කෙටි කතාවකි. කෙටි කතාව නම් මේ යයි මට සිතේ.

මාතෘකාව මගේ ය.  

ප්‍රවාහන ඇමති 
(Mohamed Farshan Zarook ගේ ෆේස්බුක් පිටුවෙන් අවසර සහිතව උපුටා‍ ගන්නා ලදී)

ඊයෙ රෑ හීනය නම් මරු.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමෙන්තුවට මේ මම ගිහිල්ලා.ඔව් ඔව්...විමලුත් මට අඩුයි...රනිලුත් මට වඩා අඩුයි.
ඇමතිකම් තුනයි..
ජාතික ඒකාබද්ධතා ඇමති, ප්‍රවාහන ඇමති සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇමති...ලොක්කත් මම ගැන දන්න දේවල්....
ඉස්සෙල්ලාම මොන අමාත්‍යාංශයටද වැඩට යන්නෙ කියලා හිතාගෙනම නැගිට්ටා..
"හුටා අද 14 වෙනිදා....හෙට ගෙවල් කුළී දෙන්න ඕනෙ".
බෑග් ටිකක් මල්ලක දාගෙන ආවා එළියට..
කොන්දොස්තර දැකලා හිනාවක් ගියා..
"අයියෙ..මම තමයි ප්‍රවාහන ඇමති".මම මටම කියාගත්තා.


 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-14

බ්ලොග් අවකාශයේ අලුත් ම රැල්ල

සිංහලයන්ගේ සමාජ මාධ්‍යවල සුවිශේෂ ලක්ෂණ රැසක් තිබේ. 

ෆේස්බුක්හි කුමන අන්දමක හෝ ගැහැනියක පිංතූරයක් දැමූ විට පිරිමි එය ලස්සනයි කියති. සමහරු විවෘතව ම ලිංගික ආරාධනා කරති. 

තවත් ඇතැමෙක් ගැහැනුන්ගේ ඉතා සාමාන්‍ය පිංතූර සිංහල වල් කෙල්ලෝ, සිංහල වැල වැනි යෙදුම් සහිත ෆේස්බුක් කණ්ඩායම්වල හා බ්ලොග්වල දමති.

කොටින් ම කියනවා නම් දැන් ලංකාවේ ගැහැනියකට තමන්ගේ පිංතූරයක් ෆේස්බුක්වල පළ කරන විට දෙවරක් හිතන්නට සිදු වන තත්වයක් නිර්මානය වී තිබේ. 

මා මෙම ලිපියේ සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ තවත් අමුතු තත්වයකි. එය සිදු වන්නේ බ්ලොග් අවකාශයේ ය. ලංකාවේ බ්ලොගර්වරුන් ලෙස පෙනී සිටින ඇතැමුන් කරන්නේ බ්ලොග් ලිවීමට වඩා වෙනත් පාඨකයන් පැමිණෙන වෙබ් අඩවිවල කමෙන්ට් දැමීමයි.එය නරක දෙයක් යයි මම නො කියමි.

මේ කමෙන්ට් දැමීම ද බොහෝ විට සිදු වන්නේ බ්ලොග් ලියන පුද්ගලයාට නිස්කාරණේ බැන වැදීමට, කුණුහරුප කීමට ආදියටයි. ඇතැම් කමෙන්ට් බලන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ එම අදහස් පළ කරන අය අදාළ ලිපිය කියවා නැති බවයි. කතන්දරකාර‍යාගේ බ්ලොගයේ නම් ඇතැම් අදහස් පළ කරන්නෝ විවෘතව ම තමන් එහි එන්නේ ඔහු ලියන ඒවා බැලීමට නොව කමෙන්ට් කිරීමට බව පවසති.

මෙසේ සිදු වන්නට එක් හේතුවක් වන්නේ චැට් රූම්, ෆෝරම් වැනි හමු වීම හා සංවාදය සඳහා ඇති අඩවි ජනප්‍රිය නො වීම වන්නට පුළුවන. බ්ලොගය එක් අතකට ෆෝරමයකට වඩා සරළ ෆෝරමයකි. ලියාපදිංචි වීම් ආදී කරදර නැතිව ඕනෑ ම කෙනෙකුට එහි අදහස් පළ කිරීමට පුළුවන. (බ්ලොග්කරුවා කැමති නම්) අනෙක් පැත්තෙන්, සිය සංවාද ස්ථිරව සටහන් කර තබන්නට ද ඇතැමෙක් කැමති නිසා බ්ලොග් මේ අන්දමින් අදහස් පළ කිරීමෙහි ලා ජනප්‍රිය වන්නට පුළුවන.

සිංහල බ්ලොග් අවකාශයේ කලින් කලට ජනප්‍රිය වන දේ තිබේ. කලින් කල තාක්ෂණික කාරණා, කෑම වට්ටෝරු ආදිය රැල්ල වී තිබිණි. දැන් රැල්ල කුණුහරුප, අර්ධ කුණුහරුප, දෙපැත්ත කැපෙන කතා වැනි දේ ය. බොහෝ දෙනෙක් එවැනි දේ ලියන්නට උත්සාහ කරනු දක්නට ලැබේ.

බ්ලොගර්වරුන්ගේ ප්‍රධාන ගැටලුව ලෙස මා දකින්නේ කියවීමට, අනුන්ගේ අදහස් දැනගැනීමට වඩා තමන්ගේ ම අදහස් ප්‍රකාශ කිරීමට ඇති ලොල්කමයි. අනුන්ගේ අදහස් දැන ගැනීමට උත්සාහ නො කරන්නාගේ ප්‍රධාන ගැටලුව වන්නේ තමන්ගේ දැනුම පරීක්ෂා නො වීම හා ඒ නිසා අලුත් දැනුමට දොරටු විවර නො වීමයි. 

බොහෝ විට බ්ලොග්කරුවෝ තමන්ගේ බ්ලොග් සටහන්වල විශාල කමෙන්ට් සංඛ්‍යාවක් තිබෙනු දැකීමට කැමති වෙති. එහෙත්, මගේ නිරීක්ෂණය අනුව නම් බ්ලොග් සටහන්වල කමෙන්ට් සංඛ්‍යාව වැඩි වූ පමණින් එය කියවන සංඛ්‍යාව වැඩි වන්නේ නැත. ඇතැම් ලිපිවල පාඨක අදහස් පළ කිරීම අඩු මට්ටමක තිබුණත්, එම ලිපි වෙත ප්‍රවේශ වූ සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබේ. 

මෙම තත්වය පිළිබඳ අධ්‍යයනයක් ඇලෙක්සා ‍වේබ් රෑන්කිං ඔස්සේ ද කළ හැකි ය.

මේ වන විට සිංහල බ්ලොග් අවකාශයේ පසුබෑමක් ඇති බව ඇතැමෙක් පවසති. ඇතැමෙක් බ්ලොග්කරණය අතහැර ෆේස්බුක් හා ට්විටර් වැනි තමන්ට සීමා පනවා ගත හැකි, වඩා සුරක්ෂිත අවකාශ වෙත චලනය වී තිබේ. අන්තර්ගතය පැත්තෙන් ගත්තත්, මේ වන විට සිංහල බ්ලොග් සටහන්වල විවිධත්වය හා ගුණාත්මකභාවය පිරිහී තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකි ය.

බ්ලොග් සින්ඩිකේටර මේ වන විට පිරී තිබෙන්නේ කට් ඇන්ඩ් පේස්ට් ඕපාදූපකාරයන්ගේ අඩවිවල තොරතුරුවලිනි. බ්ලොග් සින්ඩි‍කේටර පරිපාලකයෝ ද පරිපාලනයක් නො කිරීම නිසා මේ වන විට තමන්ගේ ගුණාත්මකභාවය පහත හෙළාගෙන අවසන් ය. 

අලුතෙන් බ්ලොග් ලියන අය වෙහෙසට පත් කරන කරුණක් වන්නේ තමන්ගේ සටහන් කියවීමට පාඨකයන් නො පැමිණීමයි. අපි එවැනි අයට පොඩි තල්ලුවක් ලෙස පොඩි උපදෙසක් දෙන්නෙමු. ඔබට ඔබගේ බ්ලොගය අපගේ W3Lanka සමග සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් පහත සඳහන් ආකාරයෙන් කමෙන්ට් කරන්න. හැබැයි, ස්පෑම් කිරීමෙන් වළකින්න. එසේ වුවහොත් ඒවා ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න. එසේ ම, ජාතිවාදය, ආගම්වාදය, පුරුෂෝත්තමවාදය හා ඍජුව ම ලිංගිකත්වය අලෙවි කිරීම අරමුණු කර ගත් බ්ලොග්වලට අප විරුද්ධ නැති මුත් ප්‍රචාරය නො කරන බව කරුණාවෙන් සලකන්න. 

කමෙන්ට් කරන තැන මේ අන්දමින් ටයිප් කරන්න. (නො දන්නා අයගේ දැන ගැනීම පිණිස පමණයි)




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-07-12

සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1

දැන් මම බ්ලොගර් කෙනෙක්. පුරවැසි මාධ්‍යකාරයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. හැබැයි, මම මුලින් පත්තරකාරයෙක්. අපි පත්තර කෙරුවාව කළේ බඩ රස්සාවට නොවෙයි. සමාජවාදය වෙනුවෙන් කරන අරගළයේ කොටසක් හැටියට. 

පත්තර කියන්නේ සුවඳ හමන කඩදාසි. ඒවා අතට අහු වෙනවා. පිටු පෙරළනකොට කොළ සර සර ගානවා. එක පත්තරේ කීපදෙනෙක් බලනවා. අපි පත්තරෙන් බතුත් ඔතනවා.ඉස්සර මම පත්තර එකතු කළා. ලිපි කපලා ගොනු කළා. මා ළඟ පරණ නවයුගය පත්තර මිටියක් කහ ගැහි ගැහී බොහෝ කාලයක් තිබුණා.පත්තරවලට ලියපු මුල් කාලේ ඒ ලියපු ලිපි කපලා අලවලා තියා ගත්තා. පස්සෙ කාලේ සමහර පත්තර ළඟ තියා නො ගෙන විනාශ කරන්නත් වුණා. අන්තර්ජාලයට ආවාට පස්සේ කඩදාසි එක්ක සම්බන්ධය නැතිව ගියාට, ඒ ස්පර්ශයේ, සුව‍ඳේ රොමැන්තික ගතිය තවමත් තියෙනවා. 

බ්ලොගර්වරයෙක් වුණාට තවමත් මගේ හිතේ පත්තරවලට ලියන්න ආසාවක් තිබෙනවා. පත්තරවලදී අපට අන්තර්ජාලයේදී හමු වන පාඨකයන්ට වඩා වෙනස් පිරිසක් හමු වෙනවා. සමාජ මාධ්‍ය හරි ම අන්තර් ක්‍රියාකාරීයි. පාඨකයෝ ක්ෂණිකව ම ප්‍රතිචාර දක්වනවා. ඒත්, පුවත්පත් ලිපි එහෙම නෙවෙයි. ඒවායේ ප්‍රතිචාර කල්ගත වනමුත්, ඒවා ගැඹුරුයි කියා මට හිතෙනවා. තවමත් ලංකාවේ පුවත්පත් විසින් කරන බලපෑම අන්තර්ජාලයේ බලපෑමට වඩා ගැඹුරුයි.

ජනරළ උත්සාහ කරනවා හොඳ විකල්ප පත්තරයක් කරන්න. පත්තරවල මූලික ම අභියෝගය තිබෙන්නේ ප්‍රාග්ධනයත් එක්ක. වෙළඳ දැන්වීම් ආදායම මත පදනම් වූ ප්‍රධාන ධාරාවේ වානිජ පුවත්පත් එක්ක තරග කිරීම ලෙහෙසි කාර්යයක් නොවෙයි. විකල්ප පුවත්පත්වලට වෙළඳ දැන්වීම් යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න අමාරුයි. ඒ සඳහා මුලින් ම විකල්පබව නැති කර ගන්න ඕනැ. ලංකාවේ වෙළඳපොළ රාජ්‍ය මූලික එකක්. දැන්වීම් ගන්න නම් ආණ්ඩුවත් එක්ක ගානට ඉන්න ඕනැ. රාවය පත්තරේ ආණ්ඩුවේ දැන්වීම් ලබාගන්න මේ වෙනස ඇති කර ගත්තා. ඒත්, තවමත් රාවය ස්ථාවර නැහැ. 

දැන්වීම් නැති පත්තර කෙට්ටුයි. මි‍ළ වැඩියි.ඒත්, විකල්ප පත්තරවලට සන්සන්දනය කරලා පෙන්වා දෙන්න පුළුවන්, දැන්වීම් නැති තමන්ගේ පත්තරේ කෙට්ටු වුණත්, කරුණු අතින්, ඉදිරිපත් කිරීමෙන් පිරිපුන්බව. හැබැයි, ඒක ඇත්තට ම එහෙම වෙන්න ඕනැ. පත්තරයක් මිළ දී ගැනීමේදී බත් එතීම මූලික ම සාධකය කර නො ගත් පාඨක පිරිසක් සොයා ගැනීම තවමත් අමාරු නැහැ. හැබැයි, පත්තරය සැබැවින් ම විකල්ප වෙන්න ඕනැ.

මේ වන විට වානිජ පුවත්පත් විසින් ආවරණය නො කරන කලාපයක් නැහැ. ‍ප්‍රවෘත්ති, දේශපාලනය, කලාව, ටියුෂන්, ලෙඩ විතරක් නොවෙයි, කැරළිකාරිත්වය පවා ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් විකුණනු ලබනවා.එතකොට විකල්ප පුවත්පත්වලට ඉතිරි වන්නේ මොනවාද? විකල්ප පුවත්පත් විසින් අලුත් දෙයක් සොයා ගත්තත්, ඒවා වැඩි දවසක් යන්න කලින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කොපි කරනවා. 

ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලත් බොහෝ සාරගර්භ ලිපි පළ වෙනවා. ඒත්, බොහෝ විට මේවායේ සෝදුපත් කියවීම් වැරදියි. සංස්කරණය දුර්වලයි. සැලසුම් සහගත මෙහෙයවීම් තුළින් ලියැවුණ ලිපිවලට වඩා මේවායේ තිබෙන්නේ ලේඛකයන් විසින් තෝරා ගන්නා ලද මාතෘකා අනුව ලියැවුණ ලිපි එකතු. 

ලංකාවේ ලේඛකයන්ට, පුවත්පත් කලාවේදීන්ට පමණක් නොවෙයි, උප කර්තෘන් හා ප්‍රධාන කර්තෘන්ට පවා සංස්කාරක භූමිකාව ගැන අවබෝධයක් නැහැ. ලංකාවේ බොහෝ පුවත්පත්වල සංස්කාරකවරුන් වෙන්නේ ලොකු ලොකු සම්බන්ධකම් තිබෙන අය මිස සංස්කරණය කරන්න දන්න අය නොවෙයි. විකල්ප පුවත්පත් මේ තත්වය තේරුම් ගන්නවා නම් තමන්ට ක්‍රීඩා කරන්න තිබෙන අවකාශය සොයා ගන්න පුළුවන්. සංස්කාරක කෙනෙකු මූලිකව ම කරන්නේ තාක්ෂණික කාර්යයක්. තමන්ගේ පිටුව හෝ අංශ‍ය හෝ පාඨකයන්ට ඉතා හොඳින් ඉදිරිපත් කරන්න වෙහෙසෙන සංස්කාරකවරුන් අද පුවත්පත්වල නැති තරම්. හොඳ සංස්කාරක කෙනෙක් උත්සාහ කරන්නේ පාඨකයන්ට වඩාත් හොඳ ලිපි ඉදිරිපත් කරන්න මිසක ලැබෙන ලිපි ඒ අන්දමින් පළ කරන්න නොවෙයි. අපේ  පුවත්පත් ලේඛකයන්ටත් මේ සංස්කාරක භූමිකාව ගැන අවබෝධයක් නැහැ. ඒකත් ගැටලුවක්. 

විකල්ප පුවත්පත්වලට හොඳ භාෂා දැනුමක් ඇති, පාඨක රුචිය තේරෙන, නිර්මාණාත්මක සංස්කාරකවරුන් පිරිසක් බිහි කරගන්න පුළුවන් නම් පාඨකයන් හා ලේඛකයන් අතර සම්බන්ධීකාරක භූමිකාවක් කරමින් ලිපිවල ගුණාත්මකභාවය නංවන්න විශාල මෙහෙයක් කරන්න පුළුවන්.

පත්තරවල පළ වෙන මෙලෝ රහක් නැති පල් හෑලි වෙනුවට අදට ගැලපෙන කෙටි, රසවත් ලිපි පළ කරන්න බැරි ඇයි? සංස්කාරකවරුන් භාෂාව සංස්කරණයට මැදිහත් විය යුතුයි. ලිපි නැවත ලිවිය යුතුයි. තමන් ලියන ලිපියක අකුරක්වත් වෙනස් කරනවාට අකැමැති ලොකු, ලොකු නම් තිබෙන විශාරදවරු දැන් දුවන්නේ ප්‍රධාන ධාරාවේ පත්තර පස්සේ නේ. විකල්ප පත්තරවලට පුළුවන් ඔවුන් පසුපස නො ගොස් අලුත් මිනිසුන්ට ඉඩ විවර කර දෙන්න. ඔවුන් සමග මූලික එකඟතාවකට එන්න ඕනැ සංස්කාරකවරයාට ඒ ලිපි නැවත ලියන්න පවා තිබෙන අයිතිය ගැන. සංස්කාරකවරුන් සමග ගොඩනැ‍ඟෙන අලුත් මිනිසුන් තමයි විකල්ප පත්තරයකට වඩාත් ගැ‍ලපෙන්නේ.

අනෙක් පැත්තෙන් ලිපි දෘෂ්‍යකරණය හෙවත් විෂුවලයිස් කිරීමත් ඉතා වැදගත්. විකල්ප පත්තරේක හොඳ රූ රටා නිර්මාණකරුවෙක් ඉන්න ඕනැ. ඒක බොහෝ විකල්ප පත්තර තේරුම් අරගෙන නැහැ. ජනරළ පත්තරය පසුගිය කාලයේ අනුගමනය කළ පිටු සැලසුමේ වුණත් තිබුණේ අතෙන්ට පිංතූරයක්, මෙතෙන්ට මේ විධියේ අකුරු පාවිච්චි කරන ජිමික් ‍එක ඉක්මවා නො ගිය දෙයක්. පත්තරේක රූ රටා කියන්නේ ඉන් එහා ගිය කලාත්මක වැඩක් විය යුතුයි. මම නම් හිතන්නේ සිංහල පුවත්පත්වල මේ කාර්යය නිර්මාණාත්මක ලෙස කරන්න උත්සාහයක් දැරුවේ විකල්ප පත්තරකාරයන්ට වඩා දිවයිනේ ශාන්ත කේ. හේරත් ය කියලායි. 

ඡායරූපකරණය ගැන විකල්ප පත්තර මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. හොඳ පිංතූර කියන්නේ පත්තරවලට නැතුව ම බැරි දෙයක්. කැමරාව මෙතරම් සුලභ කාලෙක, තමන්ගේ හිතවතුන් ජාලය හොඳ ඡායාරූප ගන්න මිනිසුන් ලෙස පුහුණු කරන්න විකල්ප පත්තරවලට පුළුවන්. හොඳ විකල්ප පත්තරේකට හොඳ කාටුන් ශිල්පියකුත් අවශ්‍යයි. කාටුන් නිර්මාණකරුවා තනි මතයට වැඩ නො කරන අනුන්ගේ අදහස් සාකච්ඡාවට ගන්න, ඒ ඔස්සේ නිර්මාන කරන විවෘත කෙනෙකු වෙන්න ඕනැ.  

විකල්ප පත්තරවල මූලික ගැටලුවක් තමයි, පුවත්වල නැවුම්භාවයක් හා වෘත්තිකභාවයක් නැතිකම. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලට මග හැරෙන වැදගත් ප්‍රවෘත්ති ඕනැ තරම් තිබෙනවා. විකාශය වන පුවත්වල පවා ඇතැම් කොටස්වල වැදගත්කම ඒ පුවත්පත්වල සංස්කාරකවරුන්ට මග හැරෙනවා. ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් ආවරණය කරනු ලබන දේ ම ආවරණය කරන්න විකල්ප පුවත්පත් අවශ්‍ය නැහැ. මම හිතන්නේ අද වන විට කවුරුවත් එක ම ජන මාධ්‍යයක් විතරක් ඇසුරු කරන්නේ නැහැ. ඒ නිසා විකල්ප පුවත්පත් උත්සාහ කරන්න ඕනැ අනෙක් අය පළ නො කරන දේ පළ කරන්න මිස ඒ රැල්ල අනුව ම යන්න නොවෙයි. ප්‍රවෘත්ති කියන්නේ සිදු වන සිද්ධි වාර්තා කිරීමක් නොවෙයිනේ. ප්‍රවෘත්ති කියන්නේ සිදු වන සිද්ධි භාවිතා කරමින් කරන නිර්මානයක්. විකල්ප පුවත්පත් විකල්ප පුවත් නිර්මානය කරන අවකාශයක් විය යුතුයි.

සංවිධානයකට සම්බන්ධ ජනරළ වගේ පත්තරයකට තිබෙන ලොකුම හයිය තමයි තමන්ට පක්ෂපාතී මිනිසුන් පිරිසක් සිටීම. ඒත්, මට පෙනෙන විදියට නම් ඒ ජන බලවේගය පුවත්පතට ආයෝජනය වෙන්නේ නැහැ. අන්තර්ජාලයට විතරක් නොවෙයි, පුවත්පත්වලටත් පුළුවන් පුරවැසි මාධ්‍යකරුවන් බිහි කරන්න. ස්වර්ණවාහිනී වැනි ජනමාධ්‍ය මෙවැනි පුරවැසි මාධ්‍යකරුවන්ගෙන් ලබා ගන්නා වීඩියෝ බාල අන්දමින් විකුණන ආකාරය බලන්න. තමන්ගේ බලවේගයේ හැම කෙනෙක් ම සමාජ වගකීමක් සහිත පුරවැසි මාධ්‍යකරුවෙකු කරන්න ජනරළ උත්සාහ කළ යුතුයි. ඒ සඳහා පුහුණු කිරීම් අවශ්‍යයි. විකල්ප පත්තරයක් වුණා ම විකල්ප පාඨක පිරිසකුත් නිර්මානය කර ගන්න උත්සාහ කළ යුතුයි.

ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලට හසු නො වෙන කොයි තරම් කරුණු ප්‍රමාණයක් රටේ ඈත ගම් නියම්ගම්වල වගේ ම කොළඹ වුණත් තියෙනවා ද? ජනරළ වගේ පුවත්පතක‍ට තමන්ගේ හිතවතුන් මේවා අධ්‍යයනය කරන පුරවැසි මාධ්‍යකරුවන් බවට පත් කරන්න පුළුවන්. හැබැයි, ඒවා රටට ම වැදගත් පුවත් හා විශේෂාංග බවට පත් කරන්න ඕනැ. නිර්මානශීලී සංස්කාරකවරයකුගේ මග පෙන්වීම වැදගත් වන්නේ එතැනදීයි.

මෙතැනදී මවිසින් මතු කරන ලද කාරණාවල මූලික හරය තුළ තිබෙනවා, විකල්ප පුවත්පත්වල සංස්කාරකවරුන්ගේ භූමිකාවේ වැදගත්කම ගැන. සරළව කිව්වොත්, විකල්ප පුවත්පත්වල සංස්කාරකවරුන් පළමුවෙන් ම සිය වෘත්තිකභාවය ඉහළ නංවාගන්න ඕනැ. ඔව්, එතැන තමයි, විකල්ප පුවත්පත්වල විකල්පභාවය නිර්මානය වෙන්නේ.

අද විකල්ප පුවත්පත්වල වැඩිපුර පළ වන්නේ අදහස්. විවිධ පුද්ගලයන්ගේ විවිධ අදහස් වැදගත් බව ඇත්ත. අදහස්වලින් තමයි, සංවාද ගොඩනැ‍ඟෙන්නේ. ඒත්, සංවාද පෝෂණයවන්නේ කරුණුවලින්. විකල්ප පුවත්පත් කරුණු අතින් හා කරුණු ඉදිරිපත් කරන ආකාරයෙන් සරුසාර හා හරබර විය යුතුයි.

අන්තර්ජාලය ප්‍රධාන මාධ්‍ය අවකාශය වූ මේ සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත් හා සමාජ මාධ්‍ය අතර අන්තර් සම්බන්ධය ගැන මීළඟ ලිපියේ වෙන ම ලිවිය යුතුයි කියලා මට හිතෙනවා.

(ජනරළ පුවත්පතේ ආරාධනයෙන් ලියන ලදී)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com