2013-08-31

වැඩිපුර ළමයි හැදුවොත් ජාතිය ගොඩ යයි ද?

ඉහත රූපයේ දැක්වෙන්නේ සිංහල බෞද්ධ වීරයන්ගේ අලුත් ම වැඩසටහනයි. ජාතිය (සිංහල) දියුණු කරන්න ළමයින් හතරක් හැදීම.

මගේ පවුලේ මාත් සමග සොයුරු සොයුරියන් හතරක් සිටිති. අප සිව්දෙනා හදා වඩා ගන්නට රජයේ රැකියා කළ අපේ මව්පියන් කෙතරම් වෙහෙස වුණා ද කියා තේරෙන්නේ දැන් ය. මට හා මගේ බිරිඳට ඉන්නේ දරුවන් දෙදෙනෙක් පමණි. අපට ඊට වඩා දරුවන් හදා වඩා ගැනීමේ ආර්ථික ශක්තිය නැත. මේ දරු දෙදෙනාටවත් සුරක්ෂිත පරිසරයක් හෝ අනාගතයක් ලබා දිය හැකි වනු ඇතැයි අපට වග කිව නො හැක.

අද කාලයේ දරුවන් සිව්දෙනෙක් සහිත පවුලකට සාමාන්‍ය ජීවිතයක් ‍ගෙවීමට මසකට රු. 60,000කවත් ආදායමක් අවශ්‍ය ය. එවැනි ආදායමක් තනිව ඉපැයීම දුෂ්කර නිසා පවුලේ මවටත්, පියාටත් දෙදෙනාට ම රැකියා කරන්නට සිදු වේ. 

ළමයින් වැදීම තරම් හැදීම පහසු නැත. කෑම බීම දීමටත් වඩා අමාරු රැකවරණය දීමයි.

රැකියා කරන මව්පියන්ට ගෘහ සේවිකාවකගේ සේවය හරි හැටි ලබා ගැනීම අතිශය දුෂ්කර ය. ගෘහ සේවිකා වෘත්තියේ ඇති පහත් සේවා මට්ටම නිසා  කොපමණ මුදල් ගෙව්වත් ගුණාත්මක සේවාවක් ලබා ගත නො හැකි ය. ‍ඇත්තෙන් ම වැඩි දෙනෙකුට ගෘහ සේවිකාවකගේ සේවය ලබා ගැනීමට කොහෙත්ම හැකිය‍ාවක් නැත.

මේ රටේ රැකියා කරන මව්පියන්ට දරුවන් තබා යන්නට සුරක්ෂිත, ගුණාත්මක හා මිළ පහසු  දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉතා හිඟ ය. හතු පිපෙන්නා සේ ළදරු පාසල් බිහි වේ. එහෙත්, සාධාරණ ගාස්තුවකට දරුවා ඇතුළත් කළ හැකි ගුණාත්මක අතින් ඉහළ ළදරු පාසලක් සොයා ගැනීම ද දුෂ්කර ය. ළදරු පාසල් වැඩි හරියක් කරන්නේ ළමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙමින් අකුරු ඉගැන්වීමයි. පුදපු ගමන් කාපි යකා වගේ ළමයින්ගේ ඔලුව කුරුවල් කිරීම ඇරඹෙන්නේ ‍ළදරු පාසලෙනි.

ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීමේ යුද්ධය ගැන වැඩිදුර විස්තර කළ යුතු නැත. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි.

පාසලෙන් දරුවන්ට දෙන අධ්‍යාපනය ගැන කතා කිරීම වැඩක් නැත. පළමු ශ්‍රේණියේ සිට ම දරුවා හුරු කරන්නේ මිනිස්කම්, නිර්මානශීලිත්වය හා කුසලතා වර්ධනය කර ගන්නට වඩා අනෙකා අභිබවා යන්නට තරග කරන්නටයි. අධ්‍යාපන තරගය මැදට පනින ටියුෂන් ව්‍යාපාරය විසින් ළමයින්ගේ ජීවිතය අඳුරු කර දමා තිබේ. 

මෙතරම් තරගයක් අවශ්‍ය වි තිබෙන්නේ හොඳ පාසලකට යන්නට, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට හා හොඳ ආදායමක් ලැබෙන රැකියාවක් කරන්නට තිබෙන සීමිත අවස්ථා ටික ඩැහැ ගැනීමට ය. ඒ අවස්ථා අහිමි වුණොත් ඔවුන්ගේ අනාගතය අඳුරේ ය.

මේ අතරතුර තුඩා දරුවකුටවත් නිදහසේ ජීවත් වන්නට හැකි වාතාවරණයක් රටේ නැත. ළමා අපචාර, හදිසි අනතුරු, ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් හා ලෙඩ රෝග ආදී කරුණු නිසා ළමයින්ගේ ජීවිත අතිශය අනාරක්ෂිත ය.

සිංහල ජාතිය දියුණු වූවා නම් මෙවැනි තත්වයක් ඇති වන්නේ නැත. සිංහල ජාතිය දියුණු නො වුණේ ජන ගහණය තුළ සිංහල අනුපාතය හෙවත් ප්‍රතිශතය වැඩි නො වූ නිසා නො වේ. ඇත්ත ම කියනවා නම්, ලංකාවේ ජීවත් වන කිසිදු ජාතියක ප්‍රතිශතයන් පසුගිය සියවස තුළ සැලකිය යුතු අන්දමින් අඩු හෝ වැඩි හෝ වී නැත. එසේ වී තිබේ යයි කියන අය පුළුවන් නම් ජන සංගණන ප්‍රතිඵලවලින් එය ඔප්පු කර පෙන්වන්න. 

සිංහල ජාතියට දියුණු වීමට බැරිව තිබෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව සෙසු ජාතීන් පාගාගෙන සිටීම නිසා ය. සෙසු ජාතීන් පාගන්නට යාමේ ප්‍රතිඵල ලෙස අපි අඩ සියවසකට වඩා පැරණි වූ ජාතින්ගේ ප්‍රශ්නයක් තවම කර ගසා ගෙන සිටිමු. තිස් අවුරුදු යුද්ධයකින් විනාශ වුණෙමු. ජාතිය බේරා ගන්නට යයි කියමින් දේශපාලනයට පැමිණි අන්තිම නරක, කපටි, මජර, දුෂ්ට මිනිසුන් ටික තෝරා අපේ පාලකයන් කරගෙන සිටිමු. 

උන් රට කාබාසිනියා කරන නිසා අපට යහපත් ජීවිතයක් නැත. අනාගතය ගැන බිය ය. 


‍අප වනසන එවුන් දැන් අපේ දුකට ‍හේතුව ලෙස දෙමළ හා මුස්ලිම් ජාතීන් පෙන්වමින් සිටිති. එසේ කරන්නේ අප ඇත්ත අවබෝධ කර ගැනීම වළක්වන්නට ය. අපේ දුකට හේතුව අපේ ම ගොන්කම් බව අපට තේරුණොත් ඔවුන්ට පැවැත්මක් නැත. 

තව තව ළමයි හැදුවොත් අපේ දුක නැති වනු ඇති බව දැන් ඔවුහු කියති. එහෙත්, ආර්ථික ශක්තිය තිබියදී පවා ඔවුහු එසේ නො කරති. ජාතියේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන මර සේනාවන්ට නායකත්වය දෙන සල්ලාල ගනින්නාන්සේලා නම් පඳුරු ගානේ ළමයි හදන්නට කැමැති වනවා ඇත. මන්ද, උන්ට ළමයි හදා වඩා ගැනීමේ බරක් නැති බැවිනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-30

මිනිසකු ලවා හරකකුගේ පුක ඉම්බවන උඩුගම පොලිසිය

වාරිස් ඩයිරි
මිනිස්සු පරිණාමයේ මුල සිට ම සතුන් දඩයම් කරගෙන මස් කෑහ. එය මිනිස් සමාජයේ සාමාන්‍ය ලක්ෂණයකි.

මස් කෑමට අකැමැති,  අහිංසාවාදී මිනිස්සු ද සමාජයේ සිටිති. 

මස් කෑම හා සම්බන්ධ විවිධ සංස්කෘතික ලක්ෂණ තිබේ. එක් සමාජයක ආහාරයට ගන්නා මසක් තවත් සමාජයක් විසින් පිළිකෙව් කරන අවස්ථා ඕනෑ තරම් තිබේ.

සෝමාලියානු මෝස්තර නිරූපිකාවක් හා ස්ත්‍රී ලිංගේන්ද්‍රිය විකෘති කිරීමේ ගෝත්‍රික චාරිත්‍රයට එරෙහි සමාජ ක්‍රියාකාරිකාවක් වූ වාරිස් ඩයිරි විසින් ලියන ලද කාන්තාරයේ කුසුම නම් වූ ඇගේ ජීවිත කතාවේ එක් තැනක ඇති සිද්ධියක් සිහිපත් වේ. වාරිස් සමග ඇගේ ඥාතීන් හමු වන්නට යන මාධ්‍ය කණ්ඩායමක් ඉදිරියේ සුරතල් කරනු ලබන එළු පැටවකු පසුව මරා උගේ මස් ‍භෝජනය පිණිස පිළිගන්වනු ලැබේ. මාධ්‍යකරුවන් පිරිස එය බුදීමට දක්වන අකැමැත්ත වාරිස්ගේ ඥාති ගෝත්‍රික ජනයාට තේරුම් ගත නො හැකි ය. 

බිලි පූජා පැවැත්වීම ද ඇතැම් ආගම්වල සංස්කෘතික අංගයකි. එහෙත්, නූතන සමාජය විසින් අගය කරනු ලබන ශිෂ්ටත්ව සංකල්ප තුළ එවැනි දේ පිටුදකින බැවින් ඒවා වැළැක්විය යුතු බව මගේ ද අදහසයි. අභියාචනාධිකරණය මේ පිළිබඳ වැදගත් වන නඩු තීන්දුවක් දී තිබේ. ඒ අනුව බිලි පුද පිණිස සතුන් මැරිය නො හැකි අතර, බලපත්‍රයක් ඇතිව මස් පිණිස සතුන් මැරීමට පුළුවන.

මස් මඩුවල වැඩ කරන ශ්‍රමිකයන් විසින් කරනු ලබන්නේ ද සමාජයට අත්‍යවශ්‍ය සේවාවකි. මස් කන මිනිසුන්ට අවශ්‍ය රස මස් සැපයීම වෙනුවෙන් පිළිකුල් සහගත කටයුතු කරන්නේ ඔවුන් විසින් බව අප අමතක නො කළ යුතු ය. ඔවුන් දෙස පිළිකුළෙන් බැලීම ‍අරුත් සුන් දෙයකි. ඔවුන් මස් සපයන්නේ ඒවා කන මිනිසුන් සිටින නිසා ය. අවසානයේදී එය ද රැකියාවකි.

පසුගිය දිනෙක උඩුගම පොලිසියට අල්ලාගෙන ආ මස් පිණිස හරකුන් දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි මිනිසකුට උණ බම්බුවලින් පහර දෙන ආකාරය හා ඔහු ලවා හරකකුගේ පුක ඉම්බවන ආකාරය මෙම වීඩියෝ‍වේ දක්නට ලැබේ. 

ඒ මිනිසා හරකුන් ප්‍රවාහනය කරන ආකාරය වැරදි බව ඇත්තකි. එහෙත්, රස්තියාදුකාරයන් රැළකට පොලිසිය සමග එකතු වී, පොලිසිය තුළදීම මිනිසකුට පහර දී හරකකුගේ පුක ඉම්‍බවන්නට තිබෙන අයිතිය කුමක්ද?

‍මේ මානව හිමිකම් උල්ලංඝනයන් වීඩියෝ කර ප්‍රසිද්ධ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

යමෙකු සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කළ පළියට මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පොලිසියට හෝ වෙනත් පුද්ගලයන්ට අයිතියක් නිර්මානය වන්නේ නැත. මෙතැන සිටින අපරාධකරු හා සුචරිතවාදීන් යන දෙකොටස ම වරදිකරුවෝ ය. 

ලංකාව නීතිය හා සාමය ගැන අමාත්‍යාංශයක් ද ඇති රටකි.

තවත් විස්තර මෙතැන




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-29

සම ලිංගික විවාහය හා ද්වි ලිංගිකයන්ගේ ආශා

BROKEBACK MOUNTAIN (2005)
ලංකාවේ සම ලිංගිකත්වය නීතියෙන් තහනම් ය. එසේ ම රජයේ ව්‍යාපාරවලින් කොමිස් ගැහීම ද තහනම් ය. එය දූෂණයකි.

ශ්‍රී ලංකා පොලිසියේ දූෂණ මර්දන ඒකකය කොමිස් කාක්කන් අල්ලා ගන්නට උත්සාහ කරනු අපි දැක නැත.

එහෙත් පසුගියදා සමලිංගික පිරිසක් විසින් රත්මලානේදී පවත්වන ලද බව කියන ව්‍යාජ විවාහ මංගල්‍යයක් නම් අල්ලාගෙන තිබේ.

උපත් පාලන කොපු, ඡායාරූප, වීඩියෝ ආදී මාරක නඩු භාණ්ඩ තොගයක් සමග සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාජ විවාහයේ ඡායාරූප හා වීඩියෝ ද අත් අඩංගුවට ගෙන තිබෙන අතර දූෂණ මර්දන පොලිසියේ තිබූ එකී නඩු භාණ්ඩ ඕපාදූප වෙබ් අඩවි වෙත ලැබී තිබේ. එක් අඩවියක් මේ ඡායාරූප පළ කර තිබුණේ මෙම ව්‍යාජ විවාහයේ මනාලයා යයි සැලකෙන පුද්ගලයාගේ පමණක් මුහුණ ආවරණය කරමිනි.මනාලිය යයි ඔවුන් විසින් හඳුන්වන ලද, එසේ ම බාල වයස්කාරයකු බව ද කියන පුද්ගලයාගේ ඡායාරූප පළ කර තිබෙන්නේ කිසිදු ආචාර ධර්මයක් ගැන නො තකමිනි. 'මනාලයාගේ' පමණක් මුහුණ ආවරණය කර බාල වයස්කරුවකු ද බව කියමින් එකී 'මනාලියගේ' මුහුණ ලෝකයට නිරාවරණය කිරීම පිටුපස ඇති පුරුෂෝත්තමවාදය අමුතු ම එකකි.‍

ඇත්තෙන් ම එය ලලනා ලාලිත්‍යය ද, අහිසංකකම ද මුසු වූ සුන්දර මුහුණකි. අප සිතන පරිදි නම් බනින බොහෝ දෙනෙක් ඒ මුහුණට කැමති ය.

මෙම අහිංසක ළමයා කර ඇති වරද කුමක් ද? වැරදි ශරීරයක ජීවත් වන මේ මිනිසුන් දෙස ශිෂ්ට හා මානුෂික අන්දමින් බලන්නට ලංකාවේ සමාජයට හැකි වන්නේ කවදා ද?

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවකු යයි කියන මනාලියගේ මුහුණ දැන් අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් තිබේ.

එපමණක් නොව දැන් එම පුද්ගලයා මහණ වූවා යයි ද මහා හාහූවක් ඇත. ඔහු මහණ වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන්නේ නෙත් එෆ් එම් බැලුම්ගලයි. ඒ ක්‍රමවේදය අනුව, බුදු හාමුදුරුවන් 999ක් මිනිසුන් මැරූ අංගුලිමාල මහණ කර ගත්තේ  කෙසේද කියාත් අසන්නට පුළුවන. අනෙක, දැන් ඔය මහණ දම් පුරන අය මේ ‍සියලු දුසිරිත්වලින් තොර අය නො වන බව කවුරුත් දන්නවානේ. නෙත් එෆ්.එම්. මේ පොඩි හාමුදුරුවන්ගෙන් පන්සිල් දන්නවාදැයි අසන ආකාරය අපට සිහිපත් කරන්නේ 1989 සමයේ අත් අඩංගුවට ගෙන මරා දමන ලද පොඩි හාමුදුරුවරුන්ගෙන් හමුදාව පස් මහ බැලුම් ඇසූ හැටි ය.(පසුව ලියමි)

පිරිමි වැඩි දෙනෙක් ද්විලිංගිකයන් බව මනෝ විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වා දී ඇති බව පසුගිය දිනෙක අපේ පාඨකයෙක් ලියා තිබිණි. ඒ අනුව ජනමාධ්‍යකරුවෝ බැන, බැන මේ ඡායාරූප හුවමාරු කර ගන්නේ හා මේ සිද්ධිය ගැන මහත් අභිරුචියෙන් කතා කරන්නේ ඔවුන් තුළ ද සැඟවී තිබෙන සමරිසි හැඟීම් නිසා වන්නට පුළුවන. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-28

දීප්ති නිර්මාල් සංවාදය හෙවත් A Valediction: Forbidding Mourning

එක්ස් කණ්ඩායම නම් පශ්චාත් නූතන හා කලින් කලට එක එක වාදී දේශපාලන කණ්ඩායම දෙකට කැඩුණේ 2004 දෙසැම්බර් 26දා හෙවත් සුනාමිය දවසේ ය.

ඉන් පසු ද මේ කණ්ඩායම තව තව කෑලි කෑලිවලට කැඩී ගියේ ය.

දීප්ති කුමාර ගුණරත්න නම් එක්ස් ශාස්තෘවරයාට එරෙහි වෙමින් කැඩී ගිය කණ්ඩායමට විවිධ ආකාරයෙන් බැන වැදීම දීප්ති කුමාර ගුනරත්නගේ පසුගිය නව වසරකට ආසන්න දේශපාලනයේ ප්‍රධාන කාර්යය විය. අපට සිතෙන පරිදි නම්, දීප්තිගේ භාෂාවෙන් ම කියනවා නම්, දීප්ති අනුගාමිකයන් හෙවත් ‍ගෝල පිරිසක් සහිත මහදැනමුතු ශාස්තෲවරයකු ලෙස විඳි ප්‍රමෝදය නිර්මාල් ඇතුළු පිරිස විසින් බිඳ දමන ලද නිසා වන්නට පුළුවන. 

අප සමීපව ඇසුරු කළ නිර්මාල් රංජිත් දේවසිරිගේ පාර්ශ්වයේ මිතුරන්ගේ දේශපාලනය ද බොහෝ දුරට දීප්ති කුමාර ගුනරත්නගේ 'දේශපාලනය' දෙස බලාගෙන කරන්නක් විය. මෙය හරියට ජෝන් ඩන්ගේ "A Valediction: Forbidding Mourning"නම් කවියේ රූපකයක් ලෙස යෙදෙන කවකටුව වැනි ය. කවකටුවේ පැන්සල සවි වන වටේ යන අත කොහි ගියත් යන්නේ මැද ඇති නිසල කටුව වෙත බැ‍ඳෙමිනි. මැද ඇති කටුව ද එක තැන සිටියත් සිටින්නේ ම අනෙක් අත යන ගමන දෙස බලාගෙන ඒ දෙසට නැවීගෙන ය. කවියේ සඳහන් වන පරිදි එය කෙළින් වන්නේ අනෙක් අත යළි ගෙදර ආ පසු ය. මේ කවිය පෙම් කවියකි. මෙතැන ඇති දෙය ද එක්තරා අන්දමක බිඳුණු පෙමක් වැනි ආදරය හා වෛරය මුසු වුණු සංකීර්ණ තත්වයකි.


If they be two, they are two so                                          25
    As stiff twin compasses are two ; 
Thy soul, the fix'd foot, makes no show 
    To move, but doth, if th' other do. 

And though it in the centre sit, 
    Yet, when the other far doth roam,                                30
It leans, and hearkens after it, 
    And grows erect, as that comes home.






දීප්ති කුමාර ගුනරත්න කණ්ඩායමත්, නිර්මාල් රංජිත් දේවසිරි කණ්ඩායමත් මාරුවෙන් මාරුවට පැන්සල සවි කළ අත වෙති. වැඩේ තියෙන්නේ තමන් කරමින් සිටින්නේ එකම රවුම එක උඩ එක ඇඳීම බව ඔවුන්ට නො වැටහීමයි. කවකටුවේ අත් දෙක යළි එක් නො වන බැවින් මේ දෙගොල්ලන්ට ම කෙළින් වන්නට බැරි ය. නැතිනම් තෘප්තිමත් වන්නට බැරි ය. මෙය ඔවුන්ගේ පමණක් ගැටලුවක් නො ව සමස්ත වාමාංශික දේශපාලනයේ ම පොදු රෝග ලක්ෂණයකි. වම ලෙඩක් නොව නිරෝගී දේශපාලනයක් බවට පත් කිරීමේ උවමනාව මත මේ පිළිබඳ සංවාදයක් ඇති කිරීමට අදහස් කරමි. අප සිතන පරිදි නම් දීප්ති සමග නිර්මාල් කරන සංවාදයට වඩා වැදගත් වන්නේ එයයි.

වාම දේශපාලන කණ්ඩායම් ‍බිඳී යාමට ප්‍රධාන හේතුව මතවාදී වෙනස්කම් දරා ගැනීමට බැරිකම හා බලය බෙදා ගැනීමට ඇති අකැමැත්තයි. මතවාදී වෙනස්කම් දරා ගන්නට බැරි වන්නට ප්‍රධාන හේතුව අන් යමක් නොව තමන් දරන මතය පමණක් එක ම සත්‍යය යයි විශ්වාස කරන මුග්ධකමයි. බලය බෙදා ගැනීමට ඇති අකැමැත්ත වනාහි මා ශාස්තෲ නවකතාවෙන් ද සාකච්ඡා කළ තමන් ඉතිහාසය විසින් බිහි කරන ලද අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකැයි යයි විශ්වාස කරන භින්නෝන්මාද (ස්කිසෆ්‍රීනියා) මානසිකත්වයයි. 

මේ පිළිබඳ වාම දේශපාල‍නයේ නිදසුන් එමට ය. ඒ අතරින් මට නම් සමීප ම අත්දැකීම වන්නේ හිරු කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුණ තත්වයයි. රෝහිත භාෂණ හා අප අතර ඇති වූ ගැටුම දේශපාලනිකව විග්‍රහ කළහොත් එහි තිබූ දේශපාලන ප්‍රවාදය වන්නේ අපගේ දේශපාලනය දකුණේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වූ එකක් මිස උතුරට ආවතේවකම් කරන්නක් නො විය යුතු බවට අප විසින් දිගින් දිගට  ම ඉදිරිපත් කළ කරුණයි. බලය සම්බන්ධයෙන් ගැ‍ටුම ඇති වුණේ ද සංවිධානමය කාරණාවලට උක්ත කරුණ පොළා පැනීම නිසා ය. පුද්ගලයකු වටා කේන්ද්‍ර වූ ඇදහිලි කල්ලි ස්වරූපී කණ්ඩායමක් දේශපාලන සංවිධානයක් වීමට දරන උත්සාහය දරා ගැනීමට රෝහිත භාෂණට හැකියාව නො තිබිණි.

බිඳී ගිය පසු පළමු ප්‍රහාරය එල්ල වුණේ මා ජාතිවාදියකු ය කියා ය. ජාතිවාදියකු කියන එකෙන් අදහස් කළේ මා සිංහල ජාතිවාදයකු බව ය. ඔවුන්ට ඕනෑ වුණේ සියලු දෙනා දෙමළ ජාතිවාදීන් වන්නට ය. දෙවන වටයේදී කියැවුණේ හිරු කණ්ඩායම නම් දකුණු ආසියාවේ 'මාර' දේශපාලනය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක මා කොටස්කරුවකු බව ය. ඒ වෙලාවේ ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මා ආණ්ඩුව සමග ගැට ගසා ආණ්ඩුවට ම තල්ලු කරන්නට ය. තුන්වන වටයේදී මර්දනය නිසා මම ඔවුන්ට රැවටුණෙමි. ඒ ගැන කතා කිරීමට මට ම ලජ්ජා ය. සිව්වන වටයේදී ඔවුන් බලාපොරොත්තු වුණේ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රයට මා හසු කරන්නට ය. 

හැබැයි ඒ සියලු අභියෝග මැද මම තවමත් දෙපයින් නැගී සිටිමි. මා මේ වන විට ඔවුන්ට දේපාලනික වශයෙන් පිළිතුරු දී හමාර ය. එහෙත්, තවමත් මම අතෘප්තිමත් ය. ඒ ඇයි ද යන්න තේරුම් ගත හැක්කේ මිනිස් දුර්වලකම් ඔස්සේ ය. වාමාංශික සහෝදරත්වය පසෙක තිබියදී සාමාන්‍ය මිනිස්කම්වලටත් නි‍ගා දෙන අන්දමින් හැසිරී, මර්දනය නිසා රටින් පළා යන්නට සිදු වූ වීරයන් පිරසක් සේ  සංදර්ශන පවත්වන විට ඉවසා දරා ගැනීම අපහසු මිනිස් දුර්වලකමකින් මම පෙළෙමි. 

මෙම කරුණ සඳහන් කළේ දීප්ති කුමාර ගුනරත්නගේ කෙසේ වෙතත් නිර්මාල් රංජිත් දේවසිරිගේ හා ඔහු සමග සිටින සෙසු සහෝදරයන්ගේ මානසිකත්වය තේරුම් ගන්නට ආ‍‍ලෝක ධාරාවක් වශයෙනි. මා සිතන පරිදි නම්, නිර්මාල් ඇතුළු පිරිස මේ වන විට දේපාලනික වශයෙන් දීප්තිට පිළිතුරු දී හමාර ය. ඒ ඔවුන් විසින් ගොඩනඟන ලද දේශපාලන භාවිතාව තුළිනි. එදා ඔවුන් විසින් විරෝධය පළ කරන ලද ඇදහිලි කල්ලි ස්වරූපී දේශපාලනය වෙනුවට ඔවුහු විකල්පයක් ගොඩනැඟූ හ. පළි ගැනීම සඳහා කරන ලද මඩ ගැසීම්වලට මඩ ගැසීම්වලින් පවා පිළිතුරු දී තිබෙන මුත්, ඔවුහු තවමත් තෘප්තිමත් නැත. මේ මිනිස් දුර්වලකම දේශපාලනයට බලපාන ආකාරයට නිදසුනක් වන්නේ මේ සංවාදය නම් නිරර්ථක දෙය ගැන නිර්මාල් ඇතුළු පිරිස තුළ ඇති වී තිබෙන අධික උනන්දුවයි.

දීප්ති කුමාර ගුණරත්නට මේ සංවාදයට සහභාගි වන්නට තරම් ආත්ම ශක්තියක් ඇතැයි මම නො සිතමි. රෝහිත භාෂණට සිදු වී ඇත්තේ ද එය ම ය. ජවිපෙට පෙරටුගාමී පක්ෂය සමග සංවාදයකට එන්නට ආත්ම ශක්තියක් නැත්තේ ද ඒ නිසා ම ය. හැබැයි ජවිපෙට විමල් වීරවංශ සමග නම් සංවාද කළ හැකි වන්නට පුළුවන. මන්ද, විමල් වඩාත් පසුගාමිත්වය දෙසට චලනය වූ කෙනෙකු වන හෙයිනි. 

අවසානයේදී මෙයත් සඳහන් කරන්නට සිදු වේ. මෙය කියවන බොහෝ දෙනෙකුට දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය දීප්ති කියන්නේ කවුරු ද යන්නයි. ඉහළ ඡායාරූපයේ ඉන්නේ ඔහු ය. ඔහුගේ දේශපාලනය පිළිබඳ දැන ගැනීමට ත්‍රිමාන වෙබ් අඩවිය කියවන්න. (නොමිළේ පළ කරන ලද දැන්වීමකි)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-27

ෆොන්ටෙරා, ලංකා ඊ නිව්ස් හා වාමාංශිකයෝ

සමහර වාමාංශික කොටස්ද රාජපක්ෂ මාෆියාවේ හැඩ තල හඳුනා ගැනීමට නොහැකිව වල්පල් දොඩනු දැකිය හැකිය. අයෙක් ෆොන්ටේරා සමාගම බහුජාතික සමාගමක් බැවින් උන්ට මොනවා උනත් අපිට පාන් දැයි අසති. තවත් සමහරු කිරිපිටි අවුල මතින් දේශීය කිරි ගොවියා සමෘද්ධිමත් වන බවට හීන දකිති. මේ කණ්ඩායම් වලට රාජපක්ෂ මාෆියාව රාජ්‍ය මෙන්ම පුද්ගලික ව්‍යාපාර ගිල ගන්නා බූවල්ලකු ලෙස වැඩී ඇති ආකාරය නොපෙනේ. රාජපක්ෂලාට කප්පම් නොදී තවදුරටත් මේ රටේ කිසිවකුට ව්‍යාපාර කළ නොහැකි බව නොපෙනේ. වල් පල් හරහා රාජපක්ෂ මාෆියාවේ සැර බාල කරන්න හදන මේ වාමාංශිකයන්ට කිව යුතුව ඇත්තේ රාජපක්ෂලා හෙට දින ගෙන්වීමට නියමිත තුට්ටු දෙකේ චීන කිරිපිටි ගිලින්න දැන් සිටම සුදානමින් සිටින ලෙසයි.

රාජපක්ෂලා යටතේ වේගයෙන් රට මුගාබේකරණය වෙමින් තිබේ. මෙහි අවසානය දැවැන්ත ව්‍යසනයක් වීම වැළැක්විය නොහැකිය.

-විසල් කරුණාරත්න විසිනි- (ලංකා ඊ නිව්ස්)


ෆොන්ටෙරාට මොනවා වුණත් අපට පාන්දැයි ඇසුවේ අප ය. අප එහෙම අසන්නේ හේතු ඇතිව ය. "ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි යි අරුණි ශපීරෝ පෙන්වා දෙයි. එහිදී මගේ නම් හිතට එන්නේ ඉතින් අපට පාන් ද කියා ය. මන්ද, ගොවියන් වූ පළියට නවසීලන්තයේ ගොවීන් ලංකාවේ ගොවීන්ගේ හෝ පාරිභෝගික වැඩකරන ජනයාගේ හෝ සහෝදරයින් නො වන නිසා ය. ෆොන්ටෙරා විසින් නියෝජනය කරන්නේ සෙසු රටවල පාරිභෝගිකයන් සූරා කා තම පැවැත්ම තහවුරු කර ගැනීමේ ලා එරට ධනවත් ගොවීන්ට තිබෙන උවමනාවයි." (කියවන්න ෆොන්ටෙරරිස්ම්: ජාතිකවාදී බහු ජාතික සමාගම් හා පාරිභෝගික හිමිකම්)

රාජපක්ෂවරු ෆොන්ටෙරා ඇන්නූ ඇන්නිල්ල ඓතිහාසික එකකි. මීට කලින් ඔවුහු එමිරේට්ස්, ෂෙල් වැනි සමාගම් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය මීට වෙනස් ය. එහිදී ඔවුන් කළේ ඒ සමාගම් මිළ දී ගැනීමයි. ප්‍රීමා සමාගම සම්බන්ධයෙන් අනුගමනය කළේ  ඊටත් වෙනස් ප්‍රතිපත්තියකි. එහිදී නම් වූයේ යුද්ධයෙන් පසු සහල් නිෂ්පාදනය ඉහළ යාමත් සමග මිළ පාලනය වී සහල් කිලෝවේ මිළ පාන් ගෙඩියට වඩා අඩු වීමයි. රු. 12 - 15 අතර මුදලක් වැය කර හාල් ග්‍රෑම් 250කින් සරි කර ගන්නට හැකි වේල වෙනුවෙන් රු. 50ක් වැය කරන්නේ කුමට ද? දැන් උදේ හවස පාරවල් පාරවල් ගානේ ඇසෙන චූන් පාන්කාරයන්ගේ දුක් ගීතයේ පසුබිම එයයි.

රාජපක්ෂ පවුලේ අනුග්‍රහය නැතිව ලොකු ව්‍යාපාරිකයන්ට ලොකු බිස්නස් කරන්නට බැරුවා සේ ම, රාජපක්ෂ පාලනයේ ඇම්බැට්ටයන්ගේ අනුග්‍රහය නැතිව ගම් මට්ටමෙන් ‍චූන් පාන් ත්‍රීවීලයක්වත් දුවවන්නට බැරි ය. ලංකාවේ ප්‍රාග්ධන හිමි දේශීය ව්‍යාපාරිකයෝ පවා නිෂ්පාදන කර්මාන්තවලට මුදල් යෙදවීමට වඩා පොළියට දීම වැනි අඩු අවදානම් කලාප‍ වෙත යොමු වීම‍ට මෙම තත්වය බල පා තිබේ. 

ෆොන්ටෙරා ඇන්නූ ඇන්නිල්ල පිටුපස කොන්ත්‍රාත් කළ අය අතර චම්පික රණවක ඇමති ප්‍රධාන පුද්ගලයෙකි.  එහෙත්, ෆොන්ටෙරා නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ පැහැදිලි අභියෝගයක් කරන්නට ලංකාව අසමත් විය. ‍එසේ වුවත්, ෆොන්ටෙරා ලංකාවේ කරමින් සිටියේ දේශීය පාරිභෝගිකයා ගොනාට ඇන්දීමේ දැවැන්ත ජාවාරමකි. ඔවුන්ගේ කිරිවල අඩංගු අරවා, මේවා හා ඒවාට කළ හැකිව තිබුණු විස්කම් පිළිබඳ ප්‍රචාරක දැන්වීම් සිහිපත් කර බලන්න. 

"වල් පල් හරහා රාජපක්ෂ මාෆියාවේ සැර බාල කරන්න හදන මේ වාමාංශිකයන්ට කිව යුතුව ඇත්තේ රාජපක්ෂලා හෙට දින ගෙන්වීමට නියමිත තුට්ටු දෙකේ චීන කිරිපිටි ගිලින්න දැන් සිටම සුදානමින් සිටින ලෙසයි," කියා ලංකා ඊ නිව්ස් අනතුරු අඟවයි. නැත. අප චීන කිරිපිටි ද බොන්නට ඕනෑ නැත. අපි අපේ රටේ කිරි බොමු. අනෙක හැමෝ ම කිරි බොන්නට ඕනෑ ය කියා එකකුත් නැත. ළමයින්ට කිරිපිටි දිය යුතු ම ය කියා එකකුත් නැත. ධනේශ්වර ක්‍රමය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පරිභෝජනවාදය අප ඒ අයුරින් ම වැළඳ ගත යුතු නැත. 

රාජපක්ෂලා අතින් ඇන්නුනු පළියට ෆොන්ටෙරා මේ රටේ මහජනතාවගේ මිත්‍රයෙකු වන්නේ නැත. දැනට සිය මෙහෙයුම් නවත්වා තිබෙන ෆොන්ටෙරා හෙට රාජපක්ෂ පවුලේ අනුග්‍රහය ඇතිව අලුත් මුහුණුවරකින් යළි වෙළඳපොළට නො පිවිසේය කියා සහතිකයක් දෙන්නට කාටවත් බැරි ය. රතුපස්වල මැරුණු අහිංසකයන්ගේ පවුල්වල අය මරපු එවුන් සමග මඟුල් කා සමූහ ඡායාරූපවලටත් පෙනී සිටි රටකි, මේක. දිළින්දන් එසේ කටයුතු කරද්දී ලංකාවේ ධනපති පංතිය එසේ නො කරාවි ය කියා සිතන්නේ කෙලෙස ද? ලංකාවේ ධනපති පංතිය යනු ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හෝ හැඟීමක් ඇති සමාජ බලවේගයක් නො වේ. තමන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දිය කර දමමින් රාජපක්ෂ බලහවුල නිර්මානය කිරීමට ඔවුහු තීරණාත්මක දායකත්වයක් සැපයූ බව අප අමතක නො කළ යුතු ය. අප‍ දේශීය ධනේශ්වරය සමග ගනුදෙනු කළ යුත්තේ ඔවුන් ගැන දැනගෙන ය.

අනෙක් පැත්තෙන් බටහිර ජාතිකවාදී ධනේශ්වර රටවල් ලංකාව වැනි චෞර රාජ්‍ය ‍ලෝකයේ බිහි වීම වළක්වන්නට තීරණාත්මක පියවර නැත. තමන්ගේ උවමනාවන්ට හරස් නො වන තාක් කල් ඒ චෞර රාජ්‍ය ඔවුන්ට ගැටලුවක් නො‍ වේ. බටහිර ජාතිකවාදී රාජ්‍ය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින් ම ආරක්ෂා කරන්න්ට කැප වන බලවේගයක් නො වේ. ඔවුන් කරන්නේ තුන්වන ලෝකය විසින් ගෙවනු ලබන මිළෙන් තමන්ගේ රටවල ජනතාව පමණක් සුඛිත මුදිත කිරීමේ ජාතිකවාදී දේශපාලනයකි. ෆොන්ටෙරා එන්නේ ඒ ආකාරයේ ජාතිකවාදී දියුණු ධනේශ්වර ර‍‍ටක් වන නවසීලන්තයෙනි. 

රාජපක්ෂ පාලනයට විරෝධය පළ කරන්නට ෆොන්ටෙරා ලංකාවේ වෙළඳපොළ අතහැර දමනු ඇතැයි  සිතීම මුළාවකි. එහෙත්, රාජපක්ෂ පාලනය විසින් ඇති කරන ලද අවුල තුළ ෆොන්ටෙරාට සිය මෙහෙයුම් නැවත ලංකාවේ ආරම්භ කරන විට සිය ප්‍රචාරණයන් ගැන හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය ගැන නැවත සිතා බලන්නට සිදු වන තත්වයක් ද ලංකාවේ නිර්මානය වූ බව අප අමතක නො කළ යුතු ය. ෆොන්ටෙරා පමණක් නො ව කොයි නිෂ්පාදකයාත් අප තුන්වන ලෝකයේ රටක් නිසා තමන් දෙන ඕනෑ දහ ජරාවක් ගිලිය යුතු ය යන අදහස වෙනස් කර ගත යුතු ය. 

අනෙක් පැත්තෙන් රාජපක්ෂවරු ෆොන්ටෙරා ඇන්නූ ඇන්නිල්ල රාජපක්ෂ පාලනයට ම බරපතල ගැටලුවකි. මන්ද, මේ වන විට රට තල්ලු වී තිබෙන බරපතල ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ඍජු විදේශ ආයෝජන සපයා ගැනීමට මේ ඔස්සේ ශ්‍රී ලංකාව ලද අපකීර්තිය බරපතල බාධාවක් වන හෙයිනි.  

රාජපක්ෂ පාලනය මේ රටේ යුක්ති යුක්ත පාලනයකැයි වාමාංශිකයන් වන අප පිළිගන්නේ නැත. එහෙයින් අපි නම් ඔවුන් වෙතින් මනා ආර්ථික නියාමනයක් ද බලාපොරොත්තු වන්නේ නැත. ඔවුන් රට විනාශ කරමින් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නො වේ. ඒ ඔස්සේ ඔවුහු තමන්ගේ විනාශය ද තමන් විසින් ම සැලසුම් කර  ගනිමින් සිටිති.  මන්ද, මේ වන විට ඔවුන්ට පළා යන්නට ලෝකයේ වෙනත් රටක් ද නැත. 

රාජපක්ෂ පාලනයට වඩා සොඳුරු පාලනයක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බිහි වනු ඇතැයි ලංකා ඊ නිව්ස් සිතනවා යයි පෙනේ. අප ඒ ගැන කියන්නට දන්නේ නැත. රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතු මුත් රනිල් වික්‍රමසිංහට එය කර ගන්නට බැරි නම් අපට කරන්නට දෙයක් නැත. අරලියගහමන්දිරයට රනිල් ගියත්, ලංකාවට චීනුන් වෙනුවට ජපනුන් ආවත්, ලංකාවේ ජන ජීවිතයේ මූලික වෙනසක් ඇති වන්නේ නැත. මන්ද, චීන ජාතිකවාදී ධනවාදයේත්, බටහිර ධනවාදී ජාතිකවාදයේත් අරමුණු කම්කරු පංතික ඇසකින් බැලූ කල එක සමාන ය.

රනිල් වික්‍රමසිංහට මීය කඩා දෙන්නට අපට විශේෂ උවමනාවක් නැත. මන්ද, අපට ‍අත ලෙව කෑමේ බලාපොරොත්තුවක් නැත. ඒ නිසා මහින්දට විරුද්ධ වේ යයි සිතන කොයි කා එක්කත් සන්ධානගත වීමේ උවමනාවක් අපට නැත. වාමාංශිකයන්ගේ අරගළය ඇත්තේ මහින්ද රාජපක්ෂ පවුල සමග පමණක් නො ව මෙවැනි පසුගාමී ඒකාධිපතිත්වයන් බිහි කරන මේ සමාජ ක්‍රමයත් සමග ය. එ‍හෙම ය කියා සමාජවාදය බිහි වන තුරු මෙහෙම හොඳා ය කියා ද අප කියන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තහවුරු වන, දිළිඳුකම  හා සමාජ පසුගාමිත්වය පිටුදකින ක්‍රියාමාර්ගවලට වාමාංශිකයන්ගේ සහාය ලැබේ.

ලංකා ඊ නිව්ස් වරක් හඩ්සන් සමරසිංහ පිළිබඳ ලියූ සටහනක් එකල එහි ඉංග්‍රීසි පරිවර්තකයා වූ මෙම ලේඛකයාට හොඳින් මතක ය. එහි තිබුණේ හඩ්සන් සමරසිංහ ගැන ගුණ වර්ණනාවක් හා බලාපොරොත්තු සහගත ලිවීමකි. වැලේ වැල් නැතිව සිටියදී ලැබුණු ප්‍රචාරයෙන් ෆෝම් වූ හඩ්සන් සති කීපයකට පසු ආණ්ඩුවට එකතු විය. ලංකා ඊ නිව්ස් දැක්මේ දිග පළල එසේ ය. 

තමන්ට මේ ආණ්ඩුව සමග සෙට් වෙන්නට බැරි වූ නිසා ආණ්ඩු විරෝධී වී සිටින යූඇන්පීකාරයන් චූන් කරන මාධ්‍ය මහන්සිය ශ්‍රමය අපතේ යැවීමක් බව අපි සඳරුවන් සහෝදරයාට සහෝදරත්වයෙන් මතක් කරන්නෙමු. 

වාමාංශික සම්භවයක් ඇති සඳරුවන්ට ලංකා ඊ නිව්ස් හරහා මීට වඩා දෙයක් කළ හැකි ය. ජනතාව සටන් පාඨවලින් ඔබ්බට ගෙන යමින් මේ ක්‍රමයට එරෙහිව බුද්ධියෙන් සන්නද්ධ කිරීම එයයි. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-26

සනත් ගුණතිලකගේ මහණ වීමේ රංගනය

ලංකාවේ සංඝ සාසනයට ගිය කල අවබෝධ කර ගත හැකි මහණ වීමක් ගැන වාර්තා විය. 

ඒ සනත් ගුණතිලකගේ මහණ වීමයි. ඔහු මහණ වන්නේ සතියකට ය. ඒ තමන් රඟ පෑමට ඉන්නා භික්ෂු චරිතයකට පුහුණු වීමක් ලෙස බව ඔහු කියයි.

ඔහුගේ තට්ටය බාන හැටි, සිවුරු පොරවන හැටි ආදියට පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබිණි.  

මේ වනාහි ප්‍රචාරක වැඩසටහනකි. මහණ දම් පුරන්නට ඕනෑ නම් ඔච්චර මාධ්‍ය ප්‍රචාරයක් ඕනෑ නැත. 

මේ චිත්‍රපටය කුමක්දැයි දැන් කවුරුත් අසති. කෙතරම් සාර්ථක මාධ්‍ය ප්‍රචාරයක් ද?

මේ මහණ වීමේ රංගනය වෙනුවෙන් සනත් ගුණතිලක කීයක් ගත්තා ද හාමුදුරුවන්ට කීයක් ගෙව්වා ද යන කරුණුත් කියනවා නම් හොඳ ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-23

සරා සඳක් ගැන කදෝපැණියෙක්

මේ සරච්චන්ද්‍ර ගැන ශාස්ත්‍රීය ලිපියක් නොවෙයි. සරච්චන්ද්‍ර ශාස්ත්‍රීය ජීවිතයක්. ඒත්, එවැන්නන් නො වන අපේ ජීවිතවලට ඔහු බලපෑවේ කොහොමද කියන කාරණේයි මම සාකච්ඡා කරන්නේ.

සරච්චන්ද්‍ර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විද්‍යාර්ථියෙක්. ඔහු මුළු ජීවිතය ම කැප කළේ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන්. ‍එහෙම බැලුවා ම ඔහු අනුන්ගේ ආලෝකය පරාවර්තනය කළ සඳක් නෙමෙයි. තමන්ගේ ම ආලෝකයක් තිබුණු තාරකාවක්. ඔහුගේ ඇසුරේ සිටි බව කියමින් තාරකා බවට පත් වන්නට උත්සාහ කරන බොහෝ දෙනෙක් නිකම් ම නිකම් ග්‍රහක කෑලි විතරයි.

මම සරච්චන්ද්‍රව හොඳින් දැක්කේ ඔහු බොහෝ වයස්ගතව හිටිද්දී ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ තිබුණු දේශනයකදීයි. කොච්චර වයස්ගත වෙලා හිටියා ද කියනවා නම්, හෙළයේ මහා නාට්‍යකරුවා වූ ඔහුට සතර අභිනයත් මතක් කර දෙන්න වුණා. දේශනය අතරමගදී ඔහු සොබා දහමේ කැඳවිමකටත් ගිහින් ආවා, ''මං ඉතින් වයසක මිනිහනේ" කියා‍ගෙන. ඒ දේශනය ඒ තරම් හරවත් එකක් නොවෙයි. ඒත්, මම ඈත දුෂ්කර ප්‍රදේශක වැඩ කරමින් ඉඳිද්දි ‍ඒ දේශනය අහන්න තකහනියක් කොළඹ ආවේ, දේශනය අහනවාට වඩා සරච්චන්ද්‍රව දැකගන්නයි.සරච්චන්ද්‍රව හැබැහැනි දැක ගැනීම ගැන මගෙ හිතේ සතුටක් තිබෙනවා.

සරච්චන්ද්‍ර විද්‍යාර්ථියෙක් විතරක් නොවෙයි. ඔහු කලාකරුවෙක්. විද්‍යාර්ථී කලාකරුවෙක්. කලාකරුවාට විද්‍යාර්ථී අනන්‍යතාව වැදගත් නැහැ. ඒත්, හැම උසස් කලාකරුවෙක් ම විද්‍යාර්ථියෙක් තමයි. ඔහු හෝ ඇය හෝ ඉදිරිපත් කරන කලාත්මක නිර්මානය කියන්නේ විද්‍යාර්ථියෙකුට විශ්ලේෂණය කර විවිධ හැඩතල පෙන්වා දෙන්න පුළුවන් මැණිකක් වැනි දෙයක්.  සරච්චන්ද්‍ර මේ ලක්ෂණ දෙක ම එක මිටින් කැටි කර ගත් කෙනෙක්. මං හිතන්නේ ලංකාවේ එවැනි අය විරළයි. මගේ නම් අදහස එවැනි අය හිටියේ සරච්චන්ද්‍ර විතරයි කියලායි. මෙතැනදී මාටින් වික්‍රමසිංහ අමතක කරන්න බැහැ. ඒත්, ඔහු විශ්ව විද්‍යාල ඇසුරෙන් බිහි වූ හෝ ඒ පසුබිමේ සිටි අයෙකු නො වන නිසා ඔහු සුවිශේෂයි.

සරච්චන්ද්‍ර සිය බලපෑම සලකුණු කළ කෘති තමයි, මළගිය ඇත්තෝ, මනමේ, කල්පනා ලෝකය. හා පිං ඇති සරසවි වරමක් වන්නේ. මේ කෘති හතර අයත් වන්නේ ක්ෂේත්‍ර හතරකට.

“ඔබ දැන් ඔබේ අත්දැකීම් ලියා තැබිය යුතුය” නොයෙක් දෙන නොයෙක් වර මට කියන විට, මා තුළ අනේකවිධ හැඟීම් ජනිත වේ. මේ හැඟීම් ඇතැම් විට එකක් අනිකට පටහැනි ය. මා විසින් විවිධ අත්දැකීම් රැස්කොට ඇත යන අදහස මොවුන්ගේ කියමනින් ධ්වනිත වේ. මේ සැබෑවක්දැයි මම අතීතය ආවර්ජනය කොට බලමි. ඉනික්බිති ව ඒ අත්දැකීම් වැදගත් දැයි විග්‍රහ කොට බැලිය යුතු ය. ‘වැදගත්’ යනු සාපේක්ෂාර්ථ ඇති වචනයකි. කාටද වැදගත්? කුමටද වැදගත්? ආදී ප්‍රශ්න පැනනඟී. මගේ අත්දැකීම්වල ඓතිහාසික වැදගත්කමක් තිබේද? එනම්, ඒවා පොදු සමාජයට වැදගත්ද? නැතහොත් ඇතැම් පුද්ගලයන්ට ද? ගත්කරුවන්ට ද? කලාකරුවන්ට ද? ශාස්ත්‍රඥයන්ට ද?" යි ඔහු සඳහන් කරන 'පිං ඇති සරසවි වරමක් වන්නේ' කියන්නේ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වැනි එකක්. මම හිතන්නේ ලංකාවේ අව්‍යාජ ම ජීවිත කතාව ඒක. ඒත්, ඔහු එහි මුල සඳහන් කරනවා එය එහෙම නැති බව. මා හිතන්නේ මේ ලේඛනයේදී ඔහු හැකි තරම් අවංක වෙන්න උත්සාහ කළා. තමන්ගේ පොතෙන් තමන් ම පුම්බා ගන්න ඔහු උත්සාහ දරන්නේ නැහැ. ඒත්, ඔහුගේ ඒ අව්‍යාජත්වය තුළින් ඔහුගේ වටිනාකම් තවත් ඔප් නැංවෙනවා. සරච්චන්ද්‍ර තමන් මහා පිරිසිදු චරිතයක් කියා පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ.

ඔහුගේ චරිතය හා සම්බන්ධ දේශපාලනිකව වැදගත් සිද්ධියක් වන ඔහුට ශාරීරිකවම පහර දීම පිටුපස ඔහු ලියූ දේශපාලන කෘතියක් වන 'ධර්මිෂ්ට සමාජය' තිබුණා. එය සමාජ දේශපාලන විග්‍රහයක්. ඒත්, ජේ.ආර්. ජයවර්ධනගේ මැරවරයන් විසින් තබන ලද සලකුණ හැර වෙනත් ලොකු සාධනීය බලපෑමක් එයින් ලාංකීය දේශපාලනයට වුණා ය කියා මම හිතන්නේ නැහැ. එහෙත්, "සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ට සමාජය’ කෘතිය මගින් යෝජිත ලෝක දැක්ම තාර්කික අන්තයක් කරා ගෙන යාමක් ලෙස ජාතික චින්තන ව්‍යාපාරය හැඳින්වීමට පුළුවන. ගුණදාස අමරසේකර හා නලින් ද සිල්වා විසින් මූලික වශයෙන් ගොඩ නංවනු ලැබූ මෙම ලෝක දැක්ම එවකට ජව සම්පන්න හා තියුණු බුද්ධියකින් යුතු තරුණ රැඩිකල් දේශපාලන ක‍්‍රියාධරයකුව සිටි පාඨලී චම්පික රණවක විසින් දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරන ලදි" යි නිර්මාල් රං‍ජිත් දේවසිරි ලියා තිබෙනවා.

සරච්චන්ද්‍ර සමගි පෙරමුණු ආණ්ඩුව කාලේ ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති වී සිටි එක ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතය දූෂණය කළ සිද්ධියක් ය කියා කියන්න පුළුවන්. හැබැයි, මම මේක කියන්නේ රටක් නියෝජනය කරන තානාපතිකම කියන්නේ විදේශ සේවයේ සිටින ඊනියා වෘත්තිකයන්ට පමණක් සීමා විය යුතු එකක් ය කියන අරුතින් නොවෙයි. සරච්චන්ද්‍ර වගේ කෙනෙක් ලංකාවේ වගේ ගොබ්බ ආණ්ඩුවක් නියෝජනය කරන්න යාම තමන් තමන්ට ම කර ගත් හානියක් නිසා. හැබැයි, මේ දේ කියන්නේ අදනේ. සමහර විට සරච්චන්ද්‍ර එදා ඒ ආණ්ඩුවේ ප්‍රයත්නයන් තුළ යම් බැරෑරුම්කමක් දකින්න ඇති.

සරච්චන්ද්‍ර සිය විචාර සංකල්ප ඉදිරිපත් කළ කල්පනා ලෝකය ලිව්වේ ඔහු නවකතාකරණයට පිවිසෙන්නටත් පෙරයි. ඔහුගේ විචාර සංකල්ප ද වෙනත් ඕනෑම විචාරක නිර්මානකරුවකුගේ සේ ම සියයට සියයක් සිය නිර්මාන තුළින් විශධ වන්නේ නැත. මෙය හරියට දුරස්ථකරණය පිළිබඳ බ්‍රෙෂ්ට්ගේ සංකල්ප ඔහුගේ නාට්‍යවලදී ඒ අන්දමින් ම ක්‍රියාත්මක නො වෙනවා වගේ.

"මනුෂ්‍යයා උපදින්නේ පසිඳුරන්ට ගොදුරුවන මේ විෂය ලෝකයෙහි ම වුවද ඔහු වෙසෙන්නේ එහි පමණක් නොවේ. ඔහු මනසට පමණක් ගොදුරුවන කල්පනා ලෝකයක් මවාගෙන එහි ද වාසය කෙ‍ෙර්. සැබෑ ‍ලෝකය ඔහුගේ මනදොළ පිනවීමට අසමත් ය. එය ඔහුට රිසිසේ වෙනස් කරගත නොහැකි ය. එහි බලපාන නියාම ධර්මය අවබෝධ කරගෙන, ඔහුට එය මඳක් දුරට හසුරුවා ගත හැකි ය. එහෙත් මුළුමනින් ම ඔහුගේ අත් අඩංගුවට නොපැමිණේ. ඥානය නමැති දැලට ලෝකයෙන් අඩක් හසුවන නමුත්, අනිත් අඩ නිතරම එයින් පිටතට දුවයි. උතු නියාමය, බීජ නියාමය ආදිය ඔහුට තරමක් අවබෝධ වන නමුදු චිත්ත නියාමය ඔහුට බෙහෙවින් ම රහසකි." - කල්පනා ලෝකය

"සාහිත්‍ය වූ කලී කවියා මවන කල්පනා ලෝකය ය. එය සැබෑ ලෝකයට සමාන වුව ද අනෙකකි. එහි බලපාන ධර්මතාව සැබෑ ලෝකයෙහි බල පාන ධර්මතාව නොවේ. සැබෑ ලෝකයේ මිම්මෙන් එය මැනිය හැකි නොවේ. සැබෑ ලෝකයේ නීති රීති එහි වලංගු නැත." - කල්පනා ලෝකය

කල්පනා ලෝකය විචාරක සංකල්ප කෙළින් ම ගැටෙන්නේ යථාර්ථවාදය සමගයි. ප්‍රචාරකවාදී පටු විචාර සංකල්පයක් වූ සමාජ සත්තා යථාර්ථවාදයේ සීමා සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකයෙන් පුපුරුවා හරින ලදමුත් පසු කාලයක මාක්ස්වාදී ආස්ථානයෙන් එය පිළිබඳ ලියැවුණු කෘති ඔස්සේ මේ ‍සංවාදය පෙරට ගියා.

"මිනිසාගේ නිර්මාන නිපුනතා හා සංවේදීතා ද ඔහුගේ කලාව හා විද්‍යාව ද යනාදී මේ සියල්ල ම නිපදවන ලද්දේ ඊශ්වරයෙකු වැනි සංකල්පයක් විසින් වත් කෙලින් ම සොබාදහම විසින් වත් නො ව මිනිසා විසින් ම ය. ධනේශ්වර සමාජ සම්බන්ධතා නමැති පාට කන්නාඩියෙන් බැලූ කල්හි දිස් වන පරිදි, මේ එකකුදු තනි තනි එකලා පුද්ගලයන්ගේ නිෂ්පාදිත වත් ඒ ඒ පුද්ගලයන්ට ගෙඩි පිටින් ම සැපයෙන දේ වත් නො වේ. ඒ සියල්ල සමාජගත වූ එනම් නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට ඇතුලු වීමට සිදු වූ පුද්ගලයන් විසින් සිය සමාජ නිෂ්පාදන ක‍්‍රියාකාරීත්වයේ දී අත්පත් කර ගන්නා ලද්දේ වෙයි." (කල්පනාලෝකවාදය, සාහිත්‍ය-කලා හා මාක්ස්වාදය, කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලත්)

සිංහල ගැමි නාට්‍යය ගැන සරච්චන්ද්‍රයන් කළ අධ්‍යයනය ලංකාවේ නාට්‍ය කලාව ගැන කරන ලද ගැඹුරු ම අධ්‍යයනය ලෙස සැලකිය හැකියි. මනමේ තමයි මේ ව්‍යායාමයේ අග්‍ර ඵලය. මනමේ දේශීය නාට්‍ය කලාවක ආකෘතික හැඩයක් නිර්මානය කළ බව ඇත්ත. ඒත්, එය දේශීය නාට්‍ය කලාවට කලින් සිදු වූ විදේශීය ආභාසයේත්, ජපන් කබුකි හා චීන නෝ ආදී නාට්‍ය කලාවන්ගේ ආභාසයෙනුත් බටහිර විචාර සංකල්පවල බලපෑමෙනුත් බිහිවන ස්වාධීන නිර්මානයක්. එය විසින් සුවි‍ශේෂ සිංහල නාට්‍ය සම්ප්‍රදායක් නිර්මානය කළා ය කියන්න බැහැ. එමගින් සරච්චන්ද්‍ර නාට්‍ය සම්ප්‍රදායක් නම් බිහි වුණා. එහි අග්‍ර ළුලය ලෙස සැලකෙන්නේ සිංහබාහුයි. සිංහබාහු මායාමය මනෝ නිර්මිත ගුහාව බිඳගෙන යාමේදී කෙනකු තුළ මැවෙන ස්වයං වරදකාරී දෘෂ්ටාන්තයක් බව මහාචාර්ය ඩයස් ගුණරත්නගේ 'සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා' කෘතියේ සඳහන් වෙනවා.

සරච්චන්ද්‍ර ස්පර්ශ කළේ  මිනිස් සබඳතා හා මනෝභාවයන්ගේ ගැඹුරයි. ඔහුගේ කෘති විශ්ව සාධාරණ හා සදාතනික වන්නේ ඒ නිසායි. ඔහුගේ මේ සාහිත්‍ය ගුණය ඔහු විසින් ලියන ලද නවකතාවල හොඳින් නිරූපණය වෙනවා.

සරච්චන්ද්‍රයන් සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂාවන් හැදෑරූ වියතෙක්. එහෙත්, ඔහු ලියූ හැම කෘතියක් ම වගේ සාමාන්‍ය මිනිසුන්ට කියවා රස විඳිය හැකි සරළ, සුගම බසකින් තමයි ලියා තිබෙන්නේ. ඒ අතින් බැලුවාම ඔහු සාහිත්‍යයෙන් දේශපාලන විප්ලවයක් කළ කෙනෙක් කිව්වාට වරදක් නැහැ. පොදු ජනයාගේ රසඥතාව නංවන්න ඔහු කළ මෙහෙය අති විශිෂ්ටයි.

සරච්චන්ද්‍ර කිසි දිනෙක කවි පොතක් පළ කර නැහැ. ඔහු ලියූ විලාසිනියකගේ ප්‍රේමය ගද්‍යය හා පද්‍යය කැටි වූ චම්පු කාව්‍යයක්. එහෙත්, මේ සියලු සාහිත්‍ය‍ කාර්යයන්ගේ යට තලයේ හිටියේ මහා කවියෙක්. ඒ කවිත්වය ඔහුගේ ගද්‍ය වගේ ම පද්‍ය කෘතිවලත් නො අඩුව නිරූපණය වෙනවා.

'කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ, මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය.'(පිං ඇති සරසවි වරමක් දෙන්නේ)

වසන්ත දෙව්දුව සමුගන්නට යයි
රුප්පා මුල ඇද හැලේය පරමල්
ලොවේ සොඳුර මැලවී නැති වී යන
සමයයි එළඹෙන්නේ
වසන්ත දෙව්දුව සමුගෙන ගිය කල
ලොවේ සොඳුර මැලවී නැති වුණු දා
රුප්පාවල විසිරී ඇති පරමල්
කවුද නෙළා ගන්නේ?
(විලාසිනියකගේ ප්‍රේමය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-22

එකේ සිට දහතුනට පංති තියෙන ලංකාවේ කොලීජි

අපේ අධ්‍යාපන ඇමතිතුමා බාලක හා බාලිකා පාසල් මිශ්‍ර පාසල් කරන්න යනවානේ. ඒ ගැන අපි මෙන්න මේ ලිපියේ ලිව්වා.

අපේ පාසල් පද්ධතිය ගැන කතා කරන විට තවත් හාස්‍යජනක කරුණක් කෙරෙහි අවධානය යොමු ‍වේ.

ලංකාවේ ලොකු ලොකු කොලීජි හෙවත් විද්‍යාල ඇත. මේ විද්‍යාලවල එකේ පංතියත් තිබේ. ඒ කියන්නේ මේවා ප්‍රයිමරියේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා ම උගන්වන ප්‍රාථමික හා ද්විතීයක කොලීජි වේ. එහෙම කොලීජි තිබෙන්නේ ලංකාවේ විතරක් වෙන්නත් පුළුවන.

ඒවායේ ආදි ශිෂ්‍ය සංගම් කියන්නේ ළමයින් දාන සංගම් ය. තරාතිරම කුමක් වුණත්, සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයක් පාසල්වල  ආදි ශිෂ්‍ය සංගම් අල්ලාගෙන සිටින්නේ ලුම්පන් ධනවතුන් විසිනි. එතරම් අධ්‍යාපනයක් නො ලැබූ සල්ලිකාරයන් පිරිසක් වන මේ පිරිසට වෙන අනන්‍යතා නැති නිසා ඔවුන් අනන්‍යතාව ගොඩනඟා ගන්නට උත්සාහ කරන්නේ පාසල් ගෝත්‍රවාදය හරහා ය.

ලංකාවේ පාසල් අඩු තරමේ ප්‍රාථමික, ද්විතීයක ලෙස හෝ ප්‍රතිව්‍යුහගත විය යුතුය. කලුතර ගුරුළුගෝමී විද්‍යාලය වැනි උසස් පෙළ සඳහා පමණක් වූ විද්‍යාල විවෘත වෙනවා නම් හොඳ ය. එකේ සිට 13 දක්වා සිසුන් එකම පාසලක ඉගෙනීම මළ විකාරයකි.

එහෙත්, ඉහත කී ඊනියා ආදි ශිෂ්‍ය සංගම් මේ ක්‍රියාවලියට ඇති ප්‍රබල බාධාවකි. කලින් නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ලොකු ම අභියෝගය ආවේ තියෙන එක ඒ හැටියෙන් ම රැක ගන්නට අවශ්‍ය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙනි. දැන් ආදි ශිෂ්‍ය සංගම්වලිනි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-21

ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලංකාවේ බාලක, බාලිකා පාසල් ක්‍රමය වෙනස් කරන්නට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යෝජනා කර තිබේ. 

බන්දුල ඇමති වුණත් මේ නම් කර තිබෙන්නේ ඉතා ප්‍රගතිශීලී යෝජනාවකි. මෙය ක්‍රියාත්මක කිරීම දුෂ්කර නැත. 2015 වසරේ සිට 1 ශ්‍රේණියටත්, 6 ශ්‍රේණියටත් විරුද්ධ ලිංගික සිසුන් බඳවා ගැනීම ප්‍රමාණවත් ය. ඒ සමගම බාලිකා පාසල් ලෙස නම් කර ඇති පාසල්වල නම් වෙනස් කරන්නට සිදු වනු ඇත. විශාඛා විද්‍යාලය,  දේවි විද්‍යාලය ආදී වශයෙනි. එය එතරම් දුෂ්කර නැත. 

මෙතැනදී තවත් රසවත් කරුණක් කෙරෙහි අවධානය යොමු වේ. බාලිකා පාසල් තිබුණත්, පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද?

මේ බාලක, බාලිකා පාසල් ක්‍රමය ගැලපෙන්නේ ඉස්ලාම් අන්තවාදී ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය වැනි පසුගාමී රටවලට ය. ලංකාව දැන්වත් මේ යටත් විජිතවාදී වික්ටෝරියානු උරුමයෙන් මිදිය යුතුය. ළමයින් ස්ත්‍රී පුරුෂ  වශයෙන් වෙන් කර එකිනෙකාගෙන් ඈත් කර තබන මෙම පසුගාමී ක්‍රමය වෙනුවට ස්වාභාවික පරිසරයක නිදහසේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම සමාජමය වශයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරකි.

මේ සමග ම මේ කරුණත් කිව යුතු ය. අපේ රටේ ප්‍රභූ තන්ත්‍රය බිහි වුණේ මෙකී ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කරන ලද පාසල්වලින් වීම ද අපේ අවධානයට යොමු විය යුතු ය. අඩ සියවසකට වැඩි කලක් රට කෑ මොවුන්ගේ තිබෙන වලත්ත, මජර ගති පැවතුම්වල පසුබිමේ කුඩා කාලයේ ලද මෙම ක්ෂතිමය අත්දැකීම තිබෙන්නට පුළුවන. උන් දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් බවට පත් වී මේ රටට කෙළවන්නේ ඒ නිසා වන්නට පුළුවන.

දැන් ඉතින් පාසල් ගෝත්‍රවාදය අල්ලාගෙන උඩ පැන පැන ගමේ මහා විද්‍යාලවලින් ආ අපට නො බැන මා කියන කාරණය දෙස අවධානය යොමු කරන්න. 1948 සිට මේ රට පාලනය කළේ මේ පාසල්වල ආදි සිසුන් වන අතර ඔවුන් විසින් රට ගෙන ගොස් තිබෙන අගාධය විමසා බලන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

පුංචි දේවල් (කවි)


පුංචි දේවල් ජීවි‍තේ
ඇඟිලි අතරින් රූටා
ගලා යයි දිය දහර සේ
ඉතිරි කොට අත මිණි කැට

මිණ සාක්කුවේ ලූ කල
එතැන බර බව සැබැවකි
අත්ල තවමත් හිස් ම ය
හිතත් බර වී අඩුවකි

අතින් රූටා ගිය
අඩුව සොයමින් ඇවිදිමි
ගඟක එක දිය
දෙවරක් ගලන්නේ නැත

ගඟ නම් ගලා යයි
මම ඉවුරේ බලා ඉමි
ඈතින් ඔබ දකිමි
ඈතින් ඈත ඈතම

ලෝකයෙ ඇති සොඳුරුම දේ
ඇත්තේ නෙත ළඟ නො වේ ය
හැම විටකම බොහෝ විටෙක
තණ පත් යට
ගල් කැට යට
සැඟවී ඇති පොඩි දේවල
ජීවිත‍යේ සතුට තිබේ
 
අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-20

ෆොන්ටෙරරිස්ම්: ජාතිකවාදී බහු ජාතික සමාගම් හා පාරිභෝගිකයන්ගේ හිමිකම්

ෆොන්ටෙරා සමාගමේ කිරිවල DCD (ඩයිසයින්ඩයිමයිඩ්) අඩංගු බවට ඇති වූ ප්‍රශ්නය දේශපාලනිකව විමසා බැලීම රසවත් ය.  එහි පැතිකඩ කීපයක් තිබේ.

ගෝලීය ධනවාදයේ ස්වයං ප්‍රකාශිත ආරක්ෂිකාවක් වන ලාංකික සම්භවයක් ඇති ඇමරිකානු සිංහල කාන්තාවක් වන අරුණි ශපීරෝ සිය බ්ලොග් අඩවියේ ෆොන්ටෙරා කිරිපිටි අර්බුදය ගැන සාකච්ඡා කරන ලිපියේ සඳහන් කරන කරුණක් වන්නේ කිරිපිටිවල DCD අඩංගු යයි කියන අය එම අඩංගුවේ ප්‍රතිශතය හා එය කෙතරම් දුරට සිරුරට අහිතකර ද යන්න සඳහන් නො කරන බවයි.

එසේම, ඇය මෙසේ ද තර්ක කරයි. "අවිනිශ්චිත ලෝකයක කිසිත් අවදානමක් නැතිව යමක් නිෂ්පාදනයට හැකි යැයි අයෙක් සිතන්නේ නම් ඔහු මුලා වූවෙකි. අපි කන බොන කිරි, මස් හා එළවළු යනාදී සියල්ල ලෝක ස්වභාවයෙන් ද මිනිස් ස්වභාවයෙන් ද අනතුරු උපදින හැකියාව සහමුලින් තුරන් කරන්නට සමත් වු ජගතෙක් ඉතිහාසේ ද වර්තමානයේ ද නොසිටියි."

අපි එය පිළිගනිමු. එහෙත්, තමන් මිළ දී ගන්නා නිෂ්පාදනය හා සම්බන්ධව උපරිම තත්වාරක්ෂාවක්  ඉල්ලා සිටීම පාරිභෝගිකයන් පැත්තෙන් සර්ව සාධාරණ අයිතියකි. ඒ ඔස්සේ සිය නිෂ්පාදනවල තත්වය පිළිබඳ දැඩි සේ සැලකිලිමත් වීමට නිෂ්පාදකයන්ට සිදු වේ.

වෙළඳපොළ තරගකාරිත්වය ධනවාදය තුළදී අධික ලාභ ලැබීමේ අරමුණු තරමක් දුරට හෝ නියාමනය කරන ක්‍රමවේදයකි. ෆොන්ටෙරා වැනි බහුජාතික සමාගම් උත්සාහ කරන්නේ තරගකාරී, සාපේක්ෂව සුළු පරිමාණ නිෂ්පාදකයන් විනාශ කර දමා හෝ අවශෝෂණය කරගෙන කතිපයාධිකාරයන් නිර්මානය කර ගන්නට ය. කතිපයාධිකාරයන් අධික ලාභයට මඟ සකසයි.

ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි යි අරුණි ශපීරෝ පෙන්වා දෙයි. එහිදී මගේ නම් හිතට එන්නේ ඉතින් අපට පාන් ද කියා ය. මන්ද, ගොවියන් වූ පළියට නවසීලන්තයේ ගොවීන් ලංකාවේ ගොවීන්ගේ හෝ පාරිභෝගික වැඩකරන ජනයාගේ හෝ සහෝදරයින් නො වන නිසා ය. ෆොන්ටෙරා විසින් නියෝජනය කරන්නේ සෙසු රටවල පාරිභෝගිකයන් සූරා කා තම පැවැත්ම තහවුරු කර ගැනීමේ ලා එරට ධනවත් ගොවීන්ට තිබෙන උවමනාවයි.

ඔවුන් අරුණි ශපීරෝ ජීවත් වන ඇමෙරිකාවේ වෙළඳ‍පොළට සපයන නිෂ්පාදනවල ගුණාත්මකභාවය ගැන දක්වන සැලකිල්ල ලංකා‍ව වැනි තුන්වන ලෝකයේ රටවලට සපයන නිෂ්පාදන කෙරෙහි දක්වන්නේ නැත. තුන්වන‍ ලෝකයේ මිනිස්සු දිළිඳු හා නූගත් නිසා ඔවුන් දෙන ඕනෑම දහ ජරාවක් ඔවුන්ගේ පච ප්‍රචාරවලට රැවටෙමින් ගිල දමනු ඇතැයි ෆොන්ටෙරා, නෙස්ලේ වැනි බහුජාතික සමාගම් බලාපොරොත්තු වෙති.

ලංකාව ෆොන්ටෙරා කිරිවල ගුණාත්මකභාවය පිළිබඳ මතු කළ ප්‍රශ්න පසුපස කුමන්ත්‍රණකාරී කටයුතු තිබෙන්නට පුළුවන. ජාතිවාදීන්ට මුදල් දෙන දේශීය ව්‍යාපාරිකයන් ඔවුන් ලවා සිය වෙළඳ තරගකරුවන්ට ප්‍රහාර එල්ල කරවා ගැනීම මෑත කාලීනව ලංකාවේ සුලබව දක්නට ලැබිණි. කුමන්ත්‍රණකාරී අරමුණු ඇතිව වැරදි ප්‍රචාර ගෙන යාම පැත්තක තිබියදී ජාතිවාදීන් ලවා තරගකාරී මුස්ලිම් කඩවලට පහර දීම ගැනවත් පසුගිය කාලයේ පරීක්ෂණ කෙරුණේ නැත.

ධනවාදය ජාතිකවාදී ය. ඉහළම මට්ටමේ දියුණු ධනේශ්වර රටවල් පවා උත්සාහ කරන්නේ වෙනත් රටවල ජනතාව සූරා කා ආධිපත්‍යය තහවුරු කර ගන්නට හා තමන්ගේ ජනතාව පමණක් සුඛිත මුදිත කරන්නට ය. නිෂ්පාදන ක්‍රියාවලිය හා වෙළඳපොළ පමණක් ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් ගෝලීයකරණය කරන්නට උත්සාහ කළත්, ලාභ ලැබීමේ අරමුණ නිසා ජාතිකවාදචය අභිභවා ඉදිරියට යන්නට ධනේශ්වර ක්‍රමය අසමත් ය. 

ලෝක වෙළඳ සංවිධානය අසාර්ථක වූයේ දිළිඳු ජාතික රාජ්‍යවලින් එල්ල වූ අභියෝග නිසා ම නො ව දියුණු  ධනේශ්වර රා‍ජ්‍යවල පටු ජාතිකවාදී අරමුණු නිසා ය. දියුණු ධනේශ්වර රාජ්‍ය ලෝක වෙළඳ සංවිධානය හරහා උත්සාහ ක‍ළේ සෙසු ජාතීන් යටත් කරගෙන සිය ජාතීන් ශක්තිමත් කර ගන්නට මිස ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් ධනේශ්වර ක්‍රමය ඉදිරියට ගෙන යන්නට නො වේ. ධනවාදයේ මූලික ලක්ෂණයක් වූ ලාභ ඉපයීමේ හා උපයන ලාභය සීමිත පිරිසක් විසින් භුක්ති විඳීමේ අසීමිත ආශාව ධනවාදයේ ඉදිරි ගමන වළක්වන එකක් බව පැහැදිලි ය. ධනවාදය ජාතිකවාදයේ ගොදුරක් බවට පත් වීම ධනේශ්වර ක්‍රමයේ අසාර්ථකත්වයේ සංකේතීය ලක්ෂණයකි.

ෆොන්ටෙරා ප්‍රශ්නය ධනවාදී ජාතිකවාදයේ අභ්‍යන්තර ගැටුමකි. එහි පාර්ශ්වකරුවෝ තරගකාරී බහු ජාතික සමාගම් හා ඔවුන්ගේ තර්ජනයට ලක් වන දේශීය කිරි සමාගම් ය. මේ ගැටුම මැද පාරිභෝගික වැඩ කරන ජනයින් වන අප කළ යුතුව තිබෙන්නේ ඉහළ ගුණාත්මකභාවය හා පහළ මිළ පිළිබඳ අපේ අවධාරණය තවත් ශක්තිමත් කිරීමයි. 

ෆොන්ටෙරා අවුල සමග කිරිපිටි වෙළඳ දැන්වීම් තාවකාලිකව නතර කර තිබේ. කිරිපිටි‍ වනාහි බොහෝ දුරට ප්‍රෝඩාකාරී වෙළඳ දැන්වීම් මත රඳා පවතින තරගකාරී වෙළඳපළකි. කුමාර් සංගක්කාර වැනි ජනප්‍රිය පුද්‍ගලයන් ලවා බොරු කියමින් කරන වෙළඳාම වෙනුවට ඇත්ත කෙරෙහි ජනතා අවධානය යොමු කර ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවකි. උදා වූ අවස්ථාව නැවත දේශීය දියර කිරි‍ වෙත පාරිභෝගිකයා යොමු කර ගැනීම සඳහාත්, ග්‍රාමීය සුළු නිෂ්පාදනවලට නව වෙළඳපොළ නිර්මානය කර ගැනීම සඳහාත් උපයෝගී කර ගත හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-19

ඌරෝ (කවි)




අපට මේ ඌරන්ව
පරදවන්නට බැරිමුත්
ඌරන් නො වී ඉන්නට
අපට පුළුවන් නේ බොබ්

ලේසි නැහැ ඌරා
වයිරසයකි බෙහෙත් නැති
ඌරුකම හැම තැන ම ඇත
ගැලවීම නම් ලෙහෙසි නැත

කන්නාඩියක් හැදුවා
ඌරන් අඳුන ගන්නට
මෙන්න බැලු විට එබිලා
හොම්බක් පෙනිණි පීරිසි

ඌරො මුදල් උපයනවා
මුදල් මතම පවතිනවා 
ඌරො පොතුත් කියවනවා
පොතෙන් හිසට බැට දෙනවා

ඌරා හා ඌරා අතර
ඇත්තෙ ඌරුකම විතර ය
මේ ඊරී බිම සීරී
මිනිස් කසල බිම ඉහිරී

ඌරුහාමි පා සිනාව
එබී බලයි මා දිහාව
ඌරු ඡන්ද එකතු කරන්
ඌරෙක් යයි ඌරුහලට

ඌරා නම් අරුම සතා
උරුමය උගෙ හරි මහතා
ඌරා තමයි එකම සතා
අනෙක් එවුන් කුදුයි ඉතා

ඌරො සිංදු කියනවා
ඌරො නැටුම් නටනවා
ඌරො කවිත් ලියනවා
ඌරො ඒව බලනවා

අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-17

ලෝගු අස්සේ ඉන්න සත්තු එළියට එන කාලෙ

මේ වීඩියෝව දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වෙන එකක්. ‍මේ කතා කරන්නේ ඇත්තට ම හාමුදුරු කෙනෙක් ද කියන එක මම දන්නෙ නැහැ. හාමුදුරු කෙනක් නම් පුදුම වෙන්න උවමනාවකුත් නැහැ.

1989 කැරැල්ල ආසන්න කාලෙ අපි රෑට හෝල්ට් ගහන්න ගියපු ලොකු පන්සලක් තිබුණා. එතන සාමනේර හිමිවරු රැසක් හිටියා. ඒගොල්ලෝ අපේ යාළු‍වෝ. ඒ කාලෙ ජවිපෙත් ජාතිවාදයට ආමන්ත්‍රණය කරමින් නේ හිටියේ.

ඒ අතර හිටපු පිරිවෙන් යන පුංචි හාමුදුරු කෙනෙකුට උවමනා වෙලා තිබුණා පිරිවෙනේ ශිෂ්‍ය වර්ජන අවස්ථාවලදී වේගවත් කතා පවත්වන්න. ඉතින් එයා කාමරේ ඇතුළේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කතා පවත්වන හැටි තව පොඩි හාමුදුරු කෙනෙක් අපට උපහාසයෙන් විස්තර කළේ අර කලින් කියූ පුංචි හාමුදුරුවෝ ගහන්න එළවද්දියි.

සිංහල සමාජයේ භික්ෂුව කියන්නේ පහසුවෙන් පිළි ගැනීමට ලක් වන කෙනෙක්. අද කාලෙ භික්ෂූන් වැඩි දෙනෙක් දුෂ්කර ගම්මානවල දිළිඳු පවුල්වලින් එන අය. ඒ අයට උසස් අධ්‍යාපනය ලබන්න, ආදායම් සහිත පන්සල් දේපලක් බුක්ති විඳින, කාගෙත් වැඳුම් පිදුම්වලට ලක් වන ධනවත්, බලවත් පුද්ගලයෙක් වෙන්න හරි පහසුයි. ඔවුහු ගිහියන්ට වඩා ස්ත්‍රී ආකර්ශනයටත් ලක් වෙනවා කියලායි මට හිතෙන්නේ.

සංඝ සමාජයේ මේ තිබෙන ලක්ෂණය නිසා ඇත්තෙන් ම තරුණ භික්ෂූන්ගේ ජීවිත අවුල් වෙනවා. ඒකට හේතුව තමයි, අධික උන්නතිකාමයක් ඔවුන්ගේ ඉහට ගහන එක. 

අධික උන්නතිකාමීන් සාමාන්‍යයෙන් ඉතා පහසුවෙන් සමාජයට අලෙවි කළ හැකි දෙයක් තෝරා ගන්නවා. මේ සඳහා නිදසුනක් ලෙස සැලකිය හැකි කලක් ජවිපෙ සමග සිටි දීප්තිමත් චරිතයක් වන චම්පික රණවක.

ජාතිවාදය, ආගම්වාදය කියන්නේ මෙහෙම පහසුවෙන් අලෙවි කරන්න පුළුවන් දෙකක්. සුළුතර ජාතින් හා ආගම් කරන්නේත් මේක ම තමයි. හැබැයි උන් බහුතර ජාතිවාදීන්ගේ හා ආගම්වාදීන්ගේ පීඩනයට ලක් වෙන නිසා උන් ගැන සමාජ අනුකම්පාවක් ඇති වෙනවා. හැබැයි උන් බහුතරය වුණත් වෙනසක් නැහැ. අන්තවාදියෝ ඔක්කොම එකයි.

දැන් ලංකාවේ දේශපාලනයේ අඩු ම පිරිවැයකින් ඉහළ යන්න තියෙන මාර්ගය තමයි සිවුරක් පොරවාගෙන අන්තවාදය දේශනා කරන එක. දේශපාලන බලය, රුපියල්, ඩොලර් විතරක් නොවෙයි අසපු, ගැහැනු ආදියත් ඒ සමග පහළ වෙනවා. ඒ නිසා සංඝ සමාජයේ ඒ පැත්තට ලොකු රැල්ලක් තිබෙනවා. රැල්ල නිසා ම තරගෙත් වැඩියි. දැන් තිබෙන තත්වය තුළ ආගම්වාදී සංවිධානයක ප්‍රාදේශීය තනතුරක් ගැනීම පවා අමාරුයි. ඒවායේ ලොක්කන්ගේ අවධානය දිනා ගැනීම හරි ම අමාරුයි.

විචිත්‍ර ධර්ම කථිකයකු වෙන එක මේ තරම් ලේසි නැහැ. ඔක්කොට ම ඉස්සෙල්ලා තමන්ගේ සිරුර ලස්සන කර ගන්න ඕනැ. පොඩි ගැහැනු පෙනුමකුත් තියෙන්න ඕනැනේ. හැබැයි ඒ පුයර බබ්බුන්ගේ ධර්ම කථික රැල්ල දැන් බැහැලා ගිහින්. දැන් රැල්ලේ සංකේත තමයි ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ ගණින්නාන්සෙලා.

මේ වීඩියෝවේ ඉන්න හාමුදුරුවෝ වගේ අය ඕනැ තරම් ඉන්නවා ජාතික මට්ටමට එන්න අවස්ථාවක් නැතිව. පේනවානේ, එයාගේ කාමරේ පසුබිම. පේන්න තියෙන්නේ කැලැන්ඩරේකුයි අයනිං බෝඩ් එකයි විතරයි. ලැප්ටොප් එක තියාගෙන ඉන්න මේසෙත් උස වැඩියි වගේ. එයාට මීට වඩා හොඳ ජීවිතයක් අවශ්‍යයි.

එයා මේ ඉදිරිපත් කරන්නේ ඔන්ලයින් ප්‍රොෆයිල් එකක්. එක්තරා විධියක ඇප්ලිකේෂන් එකක්. ඔන්න මං ඉන්නවා, ඔයාලා ඕනැ නම් මට කතා කරන්න. මං දෙන්නම් පොරි හැලෙන්න.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-16

පිලියන් එකේ යන මිනිස්සු (කවි)

මායි සෝමයයි
හැන්දෑවට
ටියුෂමක් දී එන සඳ
කෙටි මගෙන්  නෑවිත්
ටවුම හරහා ම එමි

බස් නැතිව ඉන්නා
කවුරු හෝ සයිකලේ පිටුපස
තබාගෙන එන්නට ඕනැ මට

නැත සමාජ සේවයක්
පිං කිරීමේ චේතනාවක්
සම්බන්ධකම් එකතු නො කරමි
මළ ගෙදර එන්න බැනර් ගෙන
හේතුවක් නැත
මිනිස්සු රසවත් ය

‍හංදියේ කුකුළු මස් කඩය ළඟ
කුකුළන් සේම එබෙමින්
බලාපොරොත්තු දෑස් දැල්වෙයි
හෙඩ් ලයිට් එකටත් වැඩියෙන්

සමුපෙ ෂෙඩ් එකේ වැඩ කරන සෝමයා
ඉන්නෙ බිලාය උගුර ළඟට
ආයෙ නම් ගන්නේ නැත මං
මළ වදේ කරේ යනවා ය

යුනිෆෝම් එකෙන් යන
පොලිසියේ නාකි සාජන්ට
මීටර් සීය වුණත් ඇත
එතන සිට තව බල්ලෙක්
එනකල් සිටින මැක්කෙක්

පුතා රට ඉන්න ආතර්
වීදි දිග රස්තියාදුව
සිංගර් කඩෙන් මැච් එක බලා
කඩෙන් කෑමත් අරගෙන
ඔක්කෝම බස් යනකල් ම ඉඳ 
ඒය පාරට
යන්නට පාළු ගෙදරට
ටීවී එක බලන්නට

බාර් එක ළඟ හවසට
වඩේ විකුණන රාමන්
යන්න නැග්ගා දවසක්
පොල්තෙල් සුවඳ හමමින්

ජාතික ව්‍යාපාරයේ මල්ලී
නළ ළිං කණින ඇල්බට්
ඔඩ් ජොබ් දෙමළ කොල්ලෝ
මොඩ් හාදයෝ අත් දිග
වෙහිකල් එක ගෙන්න ගන්නත් හැකි
ත්‍රී වීලෙ යන්නෙත් නැති

මහත්තයො මා මෙතනින්
දාලා යන්නකො තැන්කියු
පිං සිද්ද වෙනවා සර්ට
ඕනැ උදව්වක් කියන්න - හික්

මල්ලි මං මෙතනින් හැරෙනවා
ඔයා බැහැලා ඉන්න
කවුරු හරි ඒවිනෙ

අජිත් පැරකුම් ජයසිංහ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

මේධානි දේශප්‍රියගේ Ex-alien හා දකුණු කොළඹ වරාය

ආණ්ඩුවට බනින එක මෝස්තරයකි. එහෙත්, ඒ බනින එවුන් ම ආණ්ඩුව විසින් හාරන දූෂණය නම් පල් වලෙන් නාති. මැතිවරණවලදී රනිල්ගේ පිරිමිකම මදි ය කියා ගොස් මයිල් තියෙන යක්කුන්ට ඡන්දය දෙති. ඉන් පසු උන් අරිනවා ය කියමින් බනිති.

මේධානි දේශප්‍රියත් ආණ්ඩුව වගේ ය. ඇගේ එක්ස් ඒලියන් වීඩි‍යෝව කවුරුත් බනින එකකි. එහෙත්, හැමෝ ම එය සොය සොයා බලන නිසා දැන් එය සමාජ මාධ්‍යවල වයිරල් වී තිබේ. බලන එක මෙන් ම බනින එකත් මෝස්තරයක් වී තිබෙන නිසා ඉන් පසු ඇයට බනිති.

තමන් අකැමැති දේ ප්‍රවර්ධනය කිරීම හා ඒවාට ආදරය කිරීම ලංකාවේ ජනතා‍වගේ සුවිශේෂ ලක්ෂණයක් ද නො දනිමි. මට නම් හිතෙන හැටියට ලංකාවේ ජනතාවගෙන් බහුතරය තමන් කැමති, අකැමැති දේවත් නො දනිති. ඔවුන් කරන්නේ වැඩි දෙනෙක් කරන දේ ය. උදාහරණයක් ලෙස පසුගිය දිනවල ජනතාව වැල නො කැඩී දකුණු කොළඹ වරාය බලන්නට ගිය හ. ඉන් පසු ගියේ නැද්ද, අපි නම් ගියා යි කියමින් අනෙක් අයට උජාරුව ද පෙන්වති. මේ අන්දමින් ම පසුගිය කාලයේ හම්බන්තොට වරා‍ය, මත්තල ගුවන් තොට ආදිය ද බලන ලදී. දැන් කවුරුත් කරන්නේ ඒවාට නැව් හා ගුවන් යානා නො එන බව කියමින් හිනා වීමයි.

මේධානි දේශප්‍රිය විසින් නිර්මානය කරන ලද එක්ස් ඒලියන් වීඩියෝව අමුතු නිර්මානයකි. ඇය සමග ලයිෆ් ඔන්ලයින් විසින් කර තිබෙන තිබෙන සම්මුඛ සාකච්ඡාව ඇසූ විට ඇය සාමාන්‍ය පසළොස් හැවිරිදි දැරියකට වඩා වෙනස් සුබග ළමයකු බව පෙනේ.

කලා නිර්මානයක් විචාරය කිරීමේදී ඇතැම් විට විචාරය සඳහා අවශ්‍ය උපාංග අලුතෙන් ම සකසා ගන්නට සිදු වේ. මේ පිළිබඳ සංවාද දෙකකට මම සහභාගි වී ඇත. විශේෂත්වය වන්නේ ඒ සංවාද දෙක ම සිදු වූයේ කාන්තාවන් දෙදෙනෙකුගේ නිර්මාන හා සම්බන්ධව බවයි. ඉන් එකක් සිය විවාහ ජීවිතයේ සත්‍ය අත්දැකීම් මත පදනම්ව තිලිණා වීරසිංහ විසින් ලියන ලද මතක හැටියට 'අලුත ගෙනා මනමාලි' නම් පොතයි. එය විචාරය කිරීම සඳහා නව උපාංග තිලිණාට අවශ්‍ය විය. එහෙත්, ඇගේ 'නිර්මානයේ' තිබුණු ලක්ෂණයක් වූයේ රස විහීනබවයි.

දෙවන සංවාදය වුණේ කුමාරි කුමාරගම සමගයි. ‍පොතේ නම මතක නැත. නම මතක් කරන්නට මහන්සි නො වන්නේ කුමාරිගේ අදහස් අනුව යමිනි. කුමාරිගේ අදහස මට තේරුණ විධිය වුණේ එය ඈ විඳි අත්දැකීම්වලට ඇගේ අව්‍යාජ ප්‍රතිචාරය බවයි.

නිර්මානයක අව්‍යාජත්වය තුළින් මතු වන රසය මට නම් එහි වැදගත් ම සාධකයකි. එහෙත්, ඉහත දක්වන ලද තෘති දෙක ම තමන්ගේ අත්දැකීම තමන් විඳි ආකාරයෙන් සහෘදයා තුළ ඇති කරන්නට ලේඛිකාවෝ අසමත් වූහ. එය ඇයට අත්දැකීමකි. සහෘදයාට එය අත්දැකීමක් නො ව විඳීමකි. අත්දැකීම සාහිත්‍යමය වියමනක් ලෙස බෙදා ගන්නා විට සහෘදයා එය විඳගන්නේ එය විසින් නිපදවනු ලබන රස ඔස්සේ ය.

මේ ලේඛිකාවන් දෙදෙනා ම මෙම යථාර්ථය තේරුම් ගන්නට අසමත් වූ බව මගේ අදහසයි. තමන්ගේ අත්දැකීම් විඳින්නැයි ඔවුහු සහෘදයන්ට කළේ බලපෑමකි. එය කලාත්මක මැදිහත් වීමක් ‍වූයේ නැත. කුමාරිගේ කෘතිය තුළ තිබුණු කලාත්මක ලක්ෂණවලින් අංශු මාත්‍රයක්වත් තිලිණාගේ අලුත ගෙනා මනමාලි තුළ තිබුණේ නැත. කතන්දරකාරයාට අනුව නම් අ.පො.ස. ය. නිර්මානය කෙසේ වෙතත් කුමාරි නම් ඇසුරට රසවත් මිතුරියකි. 

මා මේ නිදසුන් දෙක ගෙන හැර පෑවේ ඔවුන් නව සාහිත්‍ය කලා ෂානරයක් බිහි කිරීමට අසමත් වූ බව පෙන්වීමටයි. අප නිර්මාන කළ යුතුව තිබෙන්නේ අපට දී තිබෙන කලා ෂාරන ඔස්සේ පමණක් නො වන බව මගේ අදහසයි. නිර්මානාත්මක මිනිසුන්ට නව ශානර ද නිර්මානය කරමින් ඒවායේ නිර්මාතෘන් වන්නට පුළුවන. එය පහසු කාර්යයක් නො වේ. මා සිතන පරිදි මෑත කාලීනව මේ අන්දමින් නව ගැඹුරු කලා ශානරයක්  ලෙස මුල් බැස ගත්තේ ප්‍රතිස්ථාපන කලා හෙවත් ඉන්ස්ටොලේෂන් ආට් විය හැකි ය.

රූපවාහිනිය ආශ්‍රිතව බිහි වූ සංගීත වීඩියෝ නිර්මානයන් හා මිනිසුන් අන්දා සජීවී ප්‍රතිචාර ප්‍රදර්ශනය කිරීමේ 'කලාව' ද අලුත් ශානර යයි මම සිතමි.

මිස්ටර් බීන් ද නව ශානරයක් ලෙස හඳුනා ගැනීමට මම කැමැති ය. ලංකාවේ නම් අපි නො දන්න ලයිව් නව ශානරයක මුලපිරුමක් විය.

මේධානි දේශප්‍රියගේ එක්ස් ඒලියන් එවැන්නක් ද? මගේ අදහස නම් එහි යම් පරිකල්පනයක් හා නිර්මානශීලිත්වයක් තිබුණත් එය නව ශානරයක් නිර්මානය කරන සුවිශේෂ කෘතියක් නො වන බවයි. එය අයත් වන්නේ සංගීත හෝ ගායනා නිර්මානශීලිත්වයට වඩා වීඩියෝව ද මිනිස් කුසලතාවන්ට හා තාක්ෂණය ද වැදගත් වන අලෙවි වීම සඳහා කුමන්ත්‍රණකාරී උපක්‍රම භාවිතා කරන නව ඩිජිටල්‍ සංගීත කලාවටයි. එය භාතිය සන්තුෂ්, ඉරාජ්, චින්ති වැනි අය විසින් ලංකාවේ ප්‍රචලිත කරන ලද ඩිජිටල් සංගීත කලාවේ ම දිගුවක් හෝ කෙටි කිරීමක් මිස අන් යමක් නො වේ.

එය වයිරල් වුණේ කිසිදු තර්කානුකූල හේතුවක් නිසා නො වේ. අහම්බයකිනි. ගැන්ගම් ස්ටාර් ගීතය වයිරල් වීම ද මෙවැනි අතාර්කික අහම්බයකි. ලංකාවේ අයියලා ගැන්ගම් ස්ටරේට බැන්නේ නැත්තේ ඔවුන් ඉන්නේ තවම රට දෙල් මානසිකත්වයේ බැවිනි. ඒ කියන්නේ පිටරට දේවල් නම් අනිවාර්යයෙන් ලංකාවේ ඒවාට වඩා හොඳ ය යන මානසිකත්වයෙනි. අන්තර්ජාලයේ වයිරල් වී තිබෙන මෙම වීඩියෝව ලක්ෂ තිස් හතකට වඩා පිරිසක් බලන්නට හේතුව කුමක්දැයි කල්පනා කර බලන්න.

මේධානිගේ වීඩියෝව බැලීමත්, දකුණු කොළඹ වරාය බලන්නට යාමත්, මට හිතෙන හැටියට නම් එක ම මාස් මේනියාවක ලක්ෂණ දෙකකි. වත්මන් සමාජ ක්‍රමය නිරතුරු මෙවැනි මාස් මේනියා බිහි කරයි. එසේ වන්නේ ඇයිද යන්න අප විසින් අධ්‍යයනය කළ යුතුව තිබේ.

මාස් ඉරිසියාව කියා දෙයක් ද ඇති බව භාතිය සන්තුෂ්ගේ සිට විවිධ අය මේ වීඩියෝව ගැන පළ කළ අදහස්වලින් පෙනේ.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-15

ලිංගිකත්වය සම්බන්ධ පුවත් තුනක්

පසුගිය දිනවල විකාශය වූ ප්‍රවෘත්ති හා සිද්ධි කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

යම් කිසි පුද්ගලයෙක් පාසල් සිසුවියක් යයි සිතිය හැකි යුවතියකගේ මුහුණු පොතෙන් අර ගත් ඡායාරූපයක් සිය ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස යොදා තිබිණි. අර දැරිය ඔහු පිළිබඳ වාර්තා කරන ලෙස ඉල්ලා ඇගේ මිතුරු මිතුරියන්ට පණිවුඩ එවා තිබිණි. අදාළ පුද්ගලයාගේ මුහුණු පොතට ගොස් බැලූ විට අර දැරිය එහි තබා තිබුණු පණිවුඩයක් ද දුටිමි. "තමුසෙ කවුද? ඇයි තමුසෙ මගෙ පිංතූරෙ ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්නෙ?"

කැමරාව සුලබ ආම්පන්නයක් වී තිබෙන නූතන යුගයේ කිසිවෙකු තවත් අයකුගේ ඡායාරූපයක් ගැනීම හා සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් හෝ වෙනත් කෙනෙකු විසින් ෂෙයා‍ කරන ලද ඡායාරූපයක් නො මනා නො වන දෙයකට භාවිතා කිරීමේදී විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ගැන ප්‍රශ්නයක් ඇත. මුහුණු පොත ප්‍රචලිත වීමත් සමග එයට සම්බන්ධ වී තමන්ගේ ඡායාරූප බෙදා ගත් කිසිවෙකුට තව දුරටත් එම ඡායාරූපය පෞද්ගලික යයි කීමට හිමිකමක් තිබේද?

ඡායාරූපයක් යනු ආලෝකයෙන් ලිවීමේ කලාවක් වන මුත් එය චිත්‍රයක් වැනි පූර්ණ පරිකල්පනයක් නො වේ. ඒ නිසා කෙනෙක් ඡායාරූපයක නිර්මාන හිමිකම ගැන තර්ක කිරීම ද මට නම් විකාරයකි. මන්ද, ඡායාරූපයේ නිර්මාන හිමිකම හා එහි තිබෙන ආලෝකය, අවකාශය හා අහස, පොළව වැනි දේවල පොදු අයිතිය අතර ගැටුමක් ඇත.

අනෙක් සිද්ධි දෙක ලිංගිකත්වය හා සම්බන්ධ ය. පහත පළ වන මාධ්‍ය වාර්තාව කියවන්න. උපුටා ගත්තේ ලංකාදීප වෙබ් අඩවියෙනි. එහි රතු පැහැයෙන් දක්වා තිබෙන කොටස් වෙත අවධානය යොමු කරන්න.

තරුණියන් දෙදෙනකුගේ නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු කැර සංයුක්ත තැටියක් හැදු බව කියන බෙන්තොට රන්දාගොඩ පන්සලක විහාරාධිපති බව කියන පානදුරේ චන්දිම (34) යළි අගොස්තු 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

හිමි නම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සසංක ජයසේකර මහතා පැවසුයේ චන්දිම හිමියන් ආගමික හා සදාචාරත්මක වරදක් කැර ඇති නමුත් නෛතික වරදක් කැර නැති බවයි.

චන්දිම හිමියන්ගේ පරිගණකයේ අඩංගු දෑ ගැන විශේෂඥ, වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.

මේ වාර්තාව ලියා තිබෙන ආකාරය රසවත් ය. සාමාන්‍යයෙන් හාමුදුරුවරුන්ගේ නමට මුලින් අගින් ගෞරව නාම පාවිච්චි කරන පුවත්පත මෙහිදී මේ හාමුදුරුවන්ගේ නම පමණක් ලියයි. එහෙත්, භික්ෂුත්වය යම් තනතුරක් නිසා එයට අදාළව නමට පසුපසින් හිමි කියා යෙදීම නරක නැත. හරියට ජනාධිපති මහින්ද රාජපක්ෂ, දොස්තර රාජිත සේනාරත්න, නීතිඥ නාමල් රාජපක්ෂ වගේ ය. මේ ලියන මම බ්ලොගර් අජිත් පැරකුම් ජයසිංහ නම් වෙනවා වගේ ය.ලිපියේ අග හරියේ හාමුදුරුවන් න් ආගමික හා සදාචාරත්මක වරදක් කැර ඇති නමුත් නෛතික වරදක් කැර නැති බව කියන ඡේදයේ හිමුදුරවන් නැවත හිමි වී තිබේ.

අනෙක් කරුණ, විහාරාධිපති බව කියන යන යෙදුම ද රසවත් ය. නිතිඥවරයාගේ තර්කය වන්නේහාමුදුරුවන්  ආගමික හා සදාචාරත්මක වරදක් කර ඇති නමුත් නෛතික වරදක් කර නැති බවයි.

අනෙක් වාර්තාව උපුටා ගත්තේ ලක්බිමෙනි. එය සමලිංගිකත්වය ගැන ය. සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම නම් දෙයක් ගැන මෙහි සඳහන් වේ. ඇත්තෙන් ම කීවොත් සමලිංගිකත්වය ලංකාවේ දැනටමත් සෑහෙන්න ප්‍රචලිත ය. සමලිංගික හමුවීම් සඳහා අද වන විට වැඩිපුර ම උපයෝගී කර ගන්නේ අනුරාධපුරය නො ව මුහුණු පොතයි.

සම ලිංගිකත්වය ලංකාවේ නීති විරෝධී ක්‍රියාවකි. ලිංගික මනෝ විද්‍යාව අනුව නම් එය සාමාන්‍ය තත්වයකි. මෙම වාර්තාවේ ඇති සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනය ගැන කියවන විට මට සිහිපත් වන්නේ ඉන්දියාවේදී මට හමු වූ එක්තරා පුද්ගලයෙකි. ඔහු කී පරිදි ඔහුගේ ක්‍රිස්තියානි මූලධර්මවාදී පියා සිය ජීවිතය ම කැප කර තිබුණේ හස්ත සංසර්ගයට එරෙහිව පත්‍රිකා බෙදීමට ය. මෙම
සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයේ කතා කරන පුද්ගලයා නම නො කීව ද වෛද්‍යවරයකු බව සඳහන් වේ. ලංකාවේ වෛද්‍යවරු පමණක් නො ව මනෝ වෛද්‍ය විශේෂඥවරු ද සම ලිංගිකත්වය දෙස බලන්නේ පටු ආකල්ප මත පිහිටා ය.

සම ලිංගිකයෝ වනාහි ලිංගික වශයෙන් පීඩාවට පත් සුළුතර පිරිසකි. ඔවුන් ළමාකාමීන් හෙවත් paedophiles වැනි සමාජයේ යහ පැවැත්මට ගැටලුකාරී වූ පිරිසක් නො වේ. ඔවුන්ට සිය ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් අරගළ කරන්නට හිමිකමක් තිබේ.

අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය. ඊයේ (12) දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක මේ සම්බන්ධයෙන් නේවාසික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය. ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානයක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

විජාතීය බලවේගයන් අපේ රටේ තරුණ තරුණියන් සමලිංගිකත්වයට ඇද දැමීම සඳහා රුපියල් කෝටි ගණනින් වියදම් කරන බවත්, සමලිංගික නොවන තරුණ තරුණියන්ද ඔවුන්ගේ මුදල් පෙන්වා මෙම ක්‍රියාවලියට එක්කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවත්, තරුණ තරුණියන්ට මුදල් හා පහසුකම් ලබාදෙමින් ඔවුන් මෙම පිළිකුල් සහගත ක්‍රියාවලියට ‍පොළඹවා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම ක්‍රියාවලියේ ඇති භයානක තත්ත්වය නම් විරුද්ධ ලිංගිකයන්ට (ස්ත්‍රී - පුරුෂ) වඩා සමලිංගිකයන් තුළින් භයානක සුවකළ නොහැකි ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වීම බව ඔහු පෙන්වා දුන්නේය. සමලිංගික සේවනය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇමෙරිකාවෙන් හමුවූ ලෝකයේ ප්‍රථම ඩ් ආසාදිතයා සමලිංගිකයෙකු බවත්ය. 1983 හෝ 1984 කාලයේදී ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් ආසාදිතයෙක් හමුවූ බවත් ඔහු ද විදේශීය රටක සමලිංගික ඇසුර පැවැත්වූ පුද්ගලයෙක් බවද වෛද්‍යවරයා කියා සිටියේය. ඊට අමතරව 1983 අගභාගයේ හෝ 1984 මුල් භාගයේදී දේශීය ඩ් ආසාදිතයෙකු හමුවූ අතර ඔහුද සමලිංගික ඇසුරක් පැවැත්වූ අයකු බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. ඊට අමතරව සමලිංගික ඇසුර තුළින් නිට්ටාවට සුව කළ නොහැකි ගොනෝරියා, ලිංගික ඉන්නන්, ලිංගික හර්පිස්, හෙපටයිටිස් ඕ, උපදංශය වැනි භයානක රෝග වැළඳිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඊයේ (12) අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන සඳහා විවිධ වයස් කාණ්ඩවල 20 දෙනෙකු පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදී තිබූ බවද අනාවරණය විය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-14

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්)

මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී වටරැක විජිත හිමි හිටි හැටියේ වීරයකු ලෙස ඉස්මතු කර පෙන්වන්නට ජාතිවාදයට විරුද්ධ බලවේග උත්සාහ කළේ ය. ඒ සඳහා ඔවුන් විසින් යොදා ගනු ලැබුවේ එහිමියන් මුස්ලිම් මිනිසුන් සහභාගි වන සභාවකදී කළ කිසියම් දීර්ඝ කතාවකි. 

එම කතාව ලිපිය අවසානයේ තිබේ. මට නම් එම කතාවේ කිසිදු වැදගත්කමක් නො පෙනිණි. එහි තිබෙන මූලික දෙය වන්නේ තමන්ගේ ජාතිය වන සිංහලකම හා ආගම වන බුද්ධාගම හෙළා දකිමින් මුස්ලිම් ජාතිය හා ඉස්ලාම් ආගම උඩ දැමීමයි. 

එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදීන් කළේ විජිත හිමි මේ කතාව පවත්වන්නට පෙර තමන් සමග සිටියදී කරන ලද කතාවක් ප්‍රචාරය කිරීමයි. එම කතාවේ විජිත හිමියන් කරන්නේ  අප මෙහි ඉහත සඳහන් කළ කතාවේදී කරන දෙයෙහි අනෙක් පැත්තයි. මට නම් මේ කතා දෙක ම අසන්නට විශේෂ උනන්දුවක් ඇති වූයේ නැත. 

සිංහල බෞද්ධයෝ ආක්‍රමණශීලී, ආධිපත්‍යවාදී ලෙස කටයුතු කරමින් සුළුතර ජාතීන් පාගති. ප්‍රගතිශීලී සිංහලයෝ මෙම ක්‍රියා හෙළා දකිමින්, ඒවාට එරෙහිව අරගළ කළ යුතු ය.

වටරැක විජිත හිමියෝ කුමන හේතුවක් මත හෝ ජාතිවාදී ව්‍යාපාරය සමග බිඳුණු පසු කරන්නට පටන් ගෙන තිබෙන්නේ සිංහලයන්ට බනිමින් මුස්ලිමුන්ගේ ගුණ වැයීමයි. කොටින් ම මුස්ලිම් මිනිසුන් මුත්‍රා කළ පසු ශිශ්නය අග සේදීම පවා ඔහුගේ අගය කිරීමට ලක් වේ. ඔහු කියන පරිදි සිංහලයෝ එසේ නො කරති. අතිශය පෞද්ගලික කාර්යයක් වූ එය තමන් කරන ආකාරයෙන් මුළු සිංහල ජාතිය ම නො කරන බව එහිමියන් දැන ගත යුතු ය. 

ලෝකයේ කිසිදු සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා හොඳ යයි කිව නො හැකි ය. සෑම සංස්කෘතියක් ම පසුබිම් වන්නේ කිසියම් ඉතිහාසයක්, උරුමයක්, භූගෝලීය පසුබිමක්, භාෂාවක් වැනි දේ මත ය. එසේ ම සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. අනෙක් පැත්තෙන් සංස්කෘතිය යනු යම් සමාජයක සාමාන්‍ය තත්වයක් මිස සමාජයේ සියලු දෙනාට අනිවාර්ය වූ තත්වයක් ද විය යුතු නැත. 

සිංහලයන් අතරින් කොටසක් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රවාදීන් වූ පළියට මම නම් මගේ ජාතිය හෙළා නො දකිමි. සිංහලයන් ලෙස විශේෂයෙන් ආඩම්බර වන්නට හෝ කණගාටු වන්නට හෝ දෙයක් නැත. සිංහලකම අප ලද උරුමයකි. අප හැදුනේ ම සිංහල භාෂාවේ හා සංස්කෘතියේ බලපෑම සහිත ලෝකයකයි. සිංහල ජාතිය ගැන ආඩම්බර වන්නට ඕනෑ නම් ඒ සඳහා ද ඕනෑ තරම් දේ තිබේ. සුළුතර ජාතීන් පෑගීම නම් කණගාටු වන්නට ‍කාරණයකි. එහෙත්, එසේ ය කියා අප සිංහල ජාතිය පිටු දැකිය යුතු නැත. තමන්ගේ ජාතිය ගැන ඇගයීමක් නැති කෙනෙකුට වෙනත් ජාතියක් ගැන ඇගයීමක් තිබේ යයි සිතිය නො හැකි ය.

සාම රාජ්‍ය නො වන සංවිධාන අත යහමින් මුදල් තිබුණු සමයේ බහුල වූ සාම වෘත්තිකයන් හෙවත් පීස්නික්වරුන් යයි ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් හඳුන්වන ලද ඔහු ද අයත් වූ වෘත්තික ප්‍රභේදය තුළ මා දුටු ඇතැම් සිංහල කාන්තාවෝ අඳුමෙන් පැළඳුමෙන් දෙමළ වෙස්  ගන්නට උත්සාහ කරන අයුර දැක ඇත්තෙමි. ඒ ඔස්සේ ඔවුන් උත්සාහ කළේ තමන් අලෙවි කර ගන්නට විය හැකි ය. 

ලිංගික අයිතිවාසිකම් හා ස්ත්‍රීන් සම්බන්ධ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘතිවල නියැලෙන ඇතැමෙක් තමන් ලෙස්බියන්ලා ලෙස පෙනී සිටින්නට උත්සාහ කරනු ද මම දැක ඇත්තෙමි. ඒඩ්ස් සම්බන්ධ ව්‍යාපෘතිවල වෘත්තිකයෝ ඒඩ්ස් රෝගීන් ලෙස පෙනී සිටිනවාද යන්න නම් නො දනිමි.

සමාජමය වශයෙන් ශක්තිමත් නැති සුළුතර ප්‍රජාවන්ට අයත් අය  බහුතර හා ශක්තිමත් ප්‍රජාවන්ගේ අනන්‍යතාව තුළ සැඟවෙන්නට දරන අසරණ උත්සාහයන් නම් මම ඕනෑ තරම් දැක ඇත්තෙමි.

ජාතිවාදයට විරුද්ධ වීම යනු පීඩක ජාතිය හෙළා දකිමින් පීඩිත ජාතිය තොරොම්බල් කිරීම නො වේ. එය අතිශය මුග්ධකමකි. මහියංගන මහවැලි විහාරාධිපති වටරැක විජිත හිමි වැනි ගැමිප්‍රභූවරයකු මෙසේ කටයුතු කිරීම තේරුම් ගත හැකි තත්වයකි. එහෙත්, ජාතිවාදයට විරුද්ධ බලවේග හා වෙබ් අඩවි වැනි ඔවුන්ගේ මාධ්‍ය අවකාශයන් ඔහුගේ මේ තම අනන්‍යතාව හෙළා දකින කතාව අභිරුචියෙන් යුතුව වැළඳ ගැනීම මුග්ධකමකි. 

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ.  ස්ත්‍රීවාදී වීම යනු පුරුෂ විරෝධී වීම නො වේ යයි ද කිව හැකි ය. 

අශෝක හඳගම විසින් පත්තර වාර්තා ඇසුරින්, සම ලිංගිකත්වය අඳුරේ අතපත ගාමින් කරන ලද නිර්මානයක් වූ 'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටය අරභයා හිරු පුවත්පත වෙනුවෙන් නෙවිල් උදිත වීරසිංහ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට සහභාගි නො වෙමින්, කොළ කෑල්ලක් බෙදමින් රෝහිත භාෂණ විසින් කරන ලද විචාරයකදී ඔහු විසින් මතු කර දක්වන ලද කරුණක් වූයේ ස්ත්‍රියට සිය හිමිකම් වෙනුවෙන් අරගළ කළ හැක්කේ ස්ත්‍රිය ලෙසින් ම පෙනී සිටිමින් මිස පිරිමි ලක්ෂණ ආරෝපණය කර ගනිමින් නො වන බවයි.

සිංහලයන්ට තමන්ගේ ජාතිවාදී ලක්ෂණ බැහැර කර ගත හැක්කේ වෙනත් ජාතියක් වර්ණනා කිරීමෙන් නො වන බව මෙම වීඩියෝවට ප්‍රචාරය දුන් ජාතිවාදී විරෝධීන් වටහා ගත යුතු ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-13

බෝ පැළ වගේ දුමින්දලා හා බෝ ගස් කපන චම්පිකලා

අපි බෝ පැළ වගේ කට්ටිය යි සමහරු තමන්ගේ ‍‍ම හොර උපාසකකම ගැන උපහාසයෙන් කතා කරති.

බෝ ගස ලස්සන ය. බෝ කොළය සොබා දහමේ අති සුන්දර ම නිර්මානයකි. ඒ සුන්දරත්වය හා ආගමික භක්තිය කැටි කර චන්ද්‍රරත්න මානවසිංහයන් හා අමරදේවයන් නිර්මානය කළ 'මහ බෝ වන්නම' හෙළයේ සුන්දර ම සංගීත හා සාහිත්‍ය නිර්මානයකි. 

එහෙත්, බෝ ගස පොල් ගස හෝ කොස් ගස තරම් මිනිසුන්ට හෝ සතුන්ට ප්‍ර‍යෝජනවත් ශාඛයක් නො වේ.

ඉතා කුඩා ඇටයකින් බෝ වන, ඉතා නිසරු බිත්තියක් උඩ පවා වැඩෙන්නට හැකි හැබැයි, වැවෙන්න ගත්තොත්, වඳ කරන්නට බැරි, ආක්‍රමණශීලී බෝ ගස ආගමික අන්තවාදය සඳහා කදිම උපමාවකි. 

භාරත ලක්ෂ්මන් ඝාතන‍යේ විත්තිකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වාගේ පළමු නම වන දුමින්ද යන්නෙහි තේරුම ද බෝ ගස යන්නයි.

දෙතිස් මහා පල රැක් බෝධි කියන සියල්ලම බෝ ගස් නො ‍වේ. සපු ගස ද ඒ අනුව බුදු කෙනෙකුට සෙවණ දුන් බෝධියකි. චම්පක කියන්නේ සපු ගසට ය. චම්පක රාමනායක යනු හොඳ සිංහල නමකි. චම්පික යනු බස නසන නමකි. එසේ ම චම්පික කියන්නේ ලංකාවේ දේශපාලන පොළවේ වැවෙන වල් පැළෑටියකි.

මට මේ බෝ ගස ගැන ලියන්නට උවමනාවක් තිබිණි. එහෙත්, එය මට වඩා හොඳට කිසිවකු විසින් ෆේස්බුක්හි ලියා තිබෙනු දැක අවසර ගෙන එය මෙහි පළ කරමි. ස්තුතිය චාමි සෑම්ට

බෝ ගස ඉතා ප්‍රිය ජනක වෘක්ෂයකි. ඉතා හොඳ සෙවණක් සාදන අලංකර පත්‍ර සහිතය. සුළඟින් සෙලවෙන පත්‍ර ඉතා මිහිරි ගුමුවක් උපදවයි.

එහෙත් 'බෝ සමිඳාණන් වහන්සේලා' නම් මට දිරවන්නේම නැත. සෙවණ සදන සාමාන්‍ය ගසක් කෙරෙහි ඇතිවන මිතුරු/ලෙන්ගතු ආකල්පය ඔය සමිඳානන් වහන්සේලා කෙරෙහි මට ඇතිවන්නේ නැත. ඒවාට හේත්තුවක් දමන්නට නොහැකිය. කොලයක් කඩාගෙන හැඩ බලන්නට නොහැකිය. ඒවා යට ඉඳගෙන පත්තරයක් බලන්නට හෝ කෙනෙකු සමග කයියක් ගහන්නට නොහැකිය. බෝ සමිඳා සෙවණේ සින්දුවක් කියන්නටද නොහැකිය.

කොටින්ම කාක බෝධිය මිනිසුන්ට සෙවණ සදන්නකි. බෝ සමිඳානෝ මිනිසුන් කෙරෙහි බලය පතුරුවන්නකි.
ග්‍රෑන්ඩ්පාස් හිදී කපා දැමෙන්නේ කාක බෝධියක්ද, බෝ සමි‍ඳානෙක්ද යන්න ගැන මට අදහසක් නැත. ඇතැම්විට උස් මහත් වූ පසු බෝ සමිඳානෙක් බවට පත්වූ මිතුරු කාක බෝධියක් වන්නට පුළුවන.

පිට සක්වල ජීවියෙකුට අනුව නම්, අපුල දනවන ඩීසල් දුමාරය, දූවිල්ල, ගිනි ගහන රස්නය සපිරි ග්‍රෑන්ඩ්පාස් ලංකාව මේ මොහොතේ ඉල්ලන්නේ සිසිල දනවන ගසක් කපා දමා එතැන ගිනි අව්වේ වේලෙන කොන්ක්‍රීට් පල්ලියක් ඉදිකිරීමටය.

අනිත් අතට කපා දැමූයේ සිසිල වෙනුවට බලය පතුරුවන 'බෝ සමිඳානෙක්' නම් එහි ඇති අමුතු ගොන්කමකුත් නැත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ඉවසුවා ඇති නෙමෙයි ‍හොඳටෝම ඇති






































මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-08-11

ඉරිදා පත්තර කියවීම හෙවත් පිළුණු බත් කෑම

පිංතූරය අදාළ වන්නේ ලිපියට නොව මේ දිනවල සිදු වන ආගමික ගැටුම්වලට ය. 


ඉරිදා සිංහල පත්තර කියවමින් සිටිමි. දැන් පත්තර කියවීම වෘත්තීය මට්ටමෙන් කරන 'මාධ්‍යවේදීන්' ද බිහි වී තිබේ. ඒ අය පත්තරවලට ලියන්නේ නැත. කරන්නේ අනුන් ලියූ දේ රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් කියවීමයි. පත්තරවලට ලියන අයට වඩා මේගොල්ලෝ වැඩකාරයෝ ය. ඒ නිසා දැන් පත්තරකාරයන්ගේ අනාගත බලාපොරොත්තුව වී තිබෙන්නේ කිසියම් දිනෙක පත්තර කියවන්නකු වීමයි.

පත්තරකාරයන් පත්තර කියවීම ඇත්තෙන් ම හොඳ දෙයකි. මන්ද, ඇතැම් පත්තර කර්තෘවරු තමන් කර්තෘකම කරන පත්තරයවත් කියවන්නේ නැත. මේ දිනවල ලංකාවේ වාමාංශික ලිබරල් බුද්ධිමතුන් විසින් සල්ලි සම්මාදම් කරමින් බේරා ගන්නට හදන එක පත්තරයක කර්තෘ ඒ වර්ගයේ කෙනෙකු බව කියන්නේ ඒ පත්තරයේ ම කර්තෘ මණ්ඩලයේ අය මිස මම නො වේ. එයා කරන්නේ තමන්ගේ සිතට එන වටිනා අදහස් ටික පිටු ගණනාවක ලියා එය බෙහෙත් ඩෝස් එකක් සේ අපට දීමයි.

පත්තර කියවනවා කිව්වාට මම නම් කරන්නේ පත්තර බැලීමයි. බලන අතරේ හමු වන ඇතැම් රසවත් ලිපියක් කියවමි. 'පැය හතරකදී පිදුරු ඉන්ධන හා පොහොර හදන අලුත්ම තාක්ෂණය' නම් ලිපියක් රවිර පුවත්පතේ කියැවීමි. එහි දෘෂ්‍යමය ඉදිරිපත් කිරීම ආකර්ශනීය ය. ලිපියේ මුඛ්‍ය අදහස කරා පිවිසීමට පෙර වැල්වටාරම් ගොඩකි. ඉන් පසු අදාළ නව නිපැයුම කළ මහාචාර්ය අනුල් පෙරේරා සමග කතා කරන මෙම ලිපියේ ලේඛිකාව ලිපියේ අවසාන හරිය වන විට විදුලි බලාගාරවල ගල් අඟුරු වෙනුවට පිදුරු භාවිතා කළ හැකි ය යන තමන්ගේ ම නිගමනයකට එළඹ මෙසේ කියයි:

"මහාචාර්යවරයාගෙන් සමුගෙන එන අතරතුර මං හිතින් දැක්කේ පිදුරුවලින් විදුලි බලය නිෂ්පාදනය කරන බොහොම සශ්‍රීක ලංකාවකි." ඇගේ ලිපියේ අවසානයේ කියැවෙන පරිදි පිදුරු 'ලෝකයටම හිසරදයකි.' ඇත්තෙන්ම එසේ විය යුතු නැත. මන්ද, ඒවා මේ පත්තර සංස්කරණය කරන කර්තෘවරුන්ට හා උප කර්තෘවරුන්ට ආහාරයට ගන්නට පුළුවන. මෙම ලිපියේ නො තිබුණු එක ම දෙය 'පැය හතරකදී පිදුරු ඉන්ධන හා පොහොර හදන අලුත්ම තාක්ෂණය' පමණි. එහෙත්, මම ලිපිය කියවූයේ එය දැනගන්නට ය.

රිවිර පුවත්පතේ තවත් තැනක නොබෝදා විශ්‍රාම ලැබූ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ වසන්ත පෙරේරා සමග සම්මුඛ සාකච්ඡාවක් කියැවූයෙමි. අනාගතයේ කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේදැයි ඔහුගෙන් ඇසූ විට ඔහු කියන්නේ තමන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ඉගැන්වීමටත්, පෞද්ගලික රෝහලකටත් සම්බන්ධ වන බවයි. ලංකාවේ ආණ්ඩුව විශ්‍රාමිකයන් අතරින් නැවත සේවය සඳහා කැඳවන්නේ කඩේ යන මිලිටරිකාරයන් හා බත්ගොටු නිලධාරීන් පමණි. ලෙහෙසියෙන් පිරවිය නො හැකි පුරප්පාඩු ඇති කර විශ්‍රාම යන මෙවැනි වටිනා මිනිසුන්ගෙන් ආණ්ඩුවට වැඩක් නැත. 

වාසල විත්ති නම් දේශපාලන ඔපාදූප කොලම ලියන නයනක රන්වැල්ල තමන් ගිය රජ පවුලේ මඟුල් ගෙදරක් ගැන වෙන ම ‍කොටුවක් තුළ විස්තරයක් ලියා තිබිණි. "මා ගිය මඟුල් ගෙදරක්" වැනි මාතෘකාවක් එයට වඩා ගැලපේ. එහෙත්, ඔහු එයට ‍යොදා තිබුණේ "ආනන්දයේ මිතුරන් එක් කළ මංගල උළෙලක්" යන පාසල් ගෝත්‍රවාදය අලෙවි කරන මාතෘකාවකි. ‍‍ගෝත්‍රවාදීහු තමන් පොදු සමාජයෙන් වෙන් කර ගන්නට විවිධ ගෝත්‍රික අනන්‍යතා සකසා ගනිති. 

බලාගෙන යන විට මත්තල ගුවන් තොටට ගොඩ බෑ ගුවන් යානයේ සිටි සහායක නියමුවරිය වන මාධිනී චන්ද්‍රදාස ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේලියකි. රාජපක්ෂලා නො කරන දේ මොනවා ද? මේ මඟුලේ මනාලිය ද ඇයයි. රාජපක්ෂ පවුලේ මාධ්‍ය'වේදීන්' නැත්තේ ඇයි ද යන්න මාධ්‍යකරුවෝ සිතා බැලිය යුතු ය. එය වැදගත් රස්සාවක් නො වන නිසා විය හැකි ය. නැතිනම් එම ක්ෂේත්‍රයේ රාජ පක්ෂ ගොයියන් වැඩි නිසා වෙන්නටත් පුළුවන.

මව්බිම පත්තරේ රූකාන්ත ගුණතිලක සමග අනුර බංඩාර රාජගුරු කළ සම්මුඛ සාකච්ඡාව රසවත් එකකි. කොටි සංවිධානය විසින් පොලිස් පරීක්ෂක ජයරත්නම් පැහැර ගෙන ගිය ආකාරය පිළිබඳ විස්තරය ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කර තිබිණි. එහි තවත් කොටසක් ලබන සතියට සම්බන්ධ කර තිබේ. මෑත කාලීන පොලිස් පරීක්ෂණයක තොරතුරක් මෙසේ ලබන සතියට සම්බන්ධ කරමින් පළ කිරීමේ තේරුම කුමක්දැයි නො දනිමි. මුළු කතාව ම වෙනත් පුවත්පත්වල වාර්තා කර තිබිණි.

අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන ක්‍රමයක් ගැන අනගි ලිපියක් ද මව්බිම පුවත්පතට සුගත් පෙරේරා විසින් ලියා තිබේ. "මංගල ඡායාරූප අස්සේ පට්ට කතා තව තව ගැස්සේ" යන ගොරකා මාතාකාවක් යොදා තිබුණ හිමංගි සුලක්ඛනා විසින් ලියන ලද ලිපිය කියවන්නට හැකියාවක් තිබිණි. එහි ඇය සමග කතා කරන ඡායාරූප ශිල්පීන් දෙදෙනාට නම් නැත. අද කාලේ පුවත්පත්වලට නිදහස් මාධ්‍යකරුවන් ලියන ලිපිවලට ගෙවන ගණන් අනුව දුරකථන ඇමතුමකට වියදම් කිරීම, යමෙකු හමු වීමට බසයෙන් යාම පවා පාඩු ය. ඒ නිසා ඔය අනන් මනන් කතා ටිකක් එකතු කර මෙවැනි ලිපි ලියන අවස්ථා ද ඇත.

ප්‍රභාත් අත්තනායක‍ගේ 'දන්න රත්තරං ගැන නොදන්න කතා' ලිපි පෙළ ද වැදගත්, රසවත් තොරතුරු එකතුවකි. එහෙත්, පුවත්පත් කලාකරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් තිබීමේ අවශ්‍යතාව මෙවැනි වාක්‍යවලින් පෙනේ. "දැන් මෙතැනදී තමයි වේස්ටේජ් එක කියන නම රත්තරන් එක්ක බැ‍ඳෙන්නේ. වේස්ටේජ් කියන්නේ රත්තරන් භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී අපතේ යන රත්තරන් ප්‍රමාණයට කියන නම."

දැන් පත්තරවල අභිචාර හා බැඳුණු මිථ්‍යා විශ්වාස විකුණන්නේ විද්‍යාවත් කලවම් කරලා ය. හොඳින් අලෙවි වන මිථ්‍යා ලිපියක් ප්‍රමුඛ ලෙස පළ කරමින් එහි පැත්තක පොඩියට ඒ පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණය ද පළ කරන අයුරු ලංකාදීපයේ දුටිමි. මව්බිම ද මෙවැනි මිථ්‍යා මහා පරිමාණයෙන් අලෙවි කරන පුවත්පතකි. එසේම, බටහිර වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් නැති රෝගවලට බෙහෙත් දෙන විස්කම් වෙදැදුරෝ ද පත්තරවල වැහි වැහැලා ය.

රැඩිකල්, ක්‍රම විරෝධී හා කැරැලිකාරී අදහස් කෙරෙහි ජනතාව තුළ ඇති කැමැත්ත ද පුවත්පත්වලට වෙළඳපොළක් නිර්මානය කර දී තිබේ. දැන් ඉරිදා සිංහල පුවත්පත්වල මෙවැනි දේශපාලකයන්ගේ අතීත කතා අඩංගු අතිරේක ද ඇත. ඒවායේ ප්‍රභාකරන්, විජේවීර, ප්‍රේමදාස, බර්ටි ප්‍රේමලාල්, චේ ගුවේරා ආදී හැම ජාතියක ම දේශපාලකයෝ සිල්ලරට විකිණෙති. මේවා කියවා හිතින් මේ කැරැලි සමග සම්බන්ධ වී ගතින් සාමාන්‍ය ජීවිත ගත කිරීමේ අවස්ථාව ඔබට ලැබේ.

සිංහලකම ගැන වැඩියෙන් ම කතා කරන පුවත්පත වන දිවයින හඩු සිංහල බස අතින් කෙළ පැමිණ ඇත.  හඩු වැඩ කරන විට බස හඩු වන එකට හොඳ ම උදාහරණය හඩ්සන් සමරසිංහ ය. දිවයිනේ මනෝජ් අබේධීර කලින් තමන් විසින් උඩ දමමින් සිටි ජවිපෙ රතුපස්වල සිද්ධිය පසුපස සිටිමින් ප්‍රකෝප‍ කිරීම් සිදු කළ බව කියන්නට ලියා ඇති හඩු ලිපිය හඩු බස අතින් ද උපරිම ය. ලංකාවේ සිංහල ජාතිකවාදී මාධ්‍ය'වේදීන්ට' වාක්‍යයක උක්තය ආඛ්‍යාතය ගලපා ගන්නටවත් බැරි ය. මේ ඔහුගේ වාක්‍ය කීපයකි. "උපවාසයේ නියුතුව සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රදේශවාසීන් මයික්‍රොපෝනයකින් අමතනු ලබයි." "කර්මාන්ත ශාලාව වසන තෙක්‌ තමන් සටන අතනොහරින බව ඔවුන් ප්‍රකාශ කරයි." "පිරිස විසින් කර්මාන්ත ශාලාවට ගල් ප්‍රහාර එල්ල කරයි."

කවි පදවලින් මාතෘකා ලිවීමේ ශෛලියක් ද ලංකාවේ සිංහල පුවත්පත් කලාවේදීන් අතර ජනප්‍රිය ය.  "පැපිලියානේ ගේකට රිංගලා රවිඳු පුතා හැංගිලා!" යි දිවයින කියයි. "කිරිපිටි කියා අපි ඔක්කොම වහ බොනවා - තරිකිට කිය කියා උන් හුරතල් වෙනවා." තරිකිට කිය කියා හුරතල් වීම යනු කුමක්දැයි නො දනිමි.

දිවයින ගොවීන් හා පරිසරය ගැන කතා කරන පුවත්පතකි. මෙවර ද සෝයා වවා අමාරුවේ වැටුණු ගොවීන් ගැන ලිපියක් එහි පළ වේ. පර්සි කුරුනේරු විසින් ලියන ලද එය කෘෂිකර්ම අමාත්‍යංශයේ මහා පරිමාණ බීජ වංචාවක් පිළිබඳ තොරතුරු සපයන විශිෂ්ට වාර්තාකරණයකි.

දැක්ම යන නමින් නලින් ද සිල්වා දිවයිනේ ලියන විහිළු කොලම ද මම උඩින් පල්ලෙන් කියවා දමන එකකි. රාජපක්ෂ පාලනය මෙසේ සිතිය යුතු යයි නලින් ද සිල්වා සිතන ආකාරයට ඔහු දැක්ම යයි කියයි. ඔහුට ජනාධිපති උපදේශකකමක් දිය යුතු ය. මෙවර දැක්මෙන් එපා කියමින් ඔහු ඉල්ලා සිටින්නේ එයයි.

දිවයින පුවත්පතේ පිටු සැලසුම් නිර්මානය වෘත්තික මට්ටමින් ඉහළ ය. සිංහල ජාතිකවාදී වෙළඳපොළ වුණත් බටහිර පන්නයේ ඇඳුම් අඳින ගැහැනුන්ගේ සුදු වටොර දකින්නට ආසා බව මීවිත කෑල්ලේ කවරය බැලූ විට සිතේ.

ලංකාදීප ඉරිදා පත්තර අතරින් අන්තර්ගතයේ ගුණාත්මකභාවය ගැන අඩු ම සැලකිල්ලක් හා දැන්වීම් අලෙවිකරණය ගැන වැඩි ම සැලකිල්ලක් දක්වන පුවත්පතයි. එහි පළ වූ ලිපි අතරින් දයාසීලි ලියනගේ විසින් ලියන ලද "ආරක්ෂකයන් පිරිවරා ඉගිලෙන දේශපාලකයන්ගේ මහ මග ත්‍රස්තවාදය" හා සංජීවිකා සමරතුංග විසින් ලියන ලද "ලොක්කන්ගේ කුණු කොන්ත්‍රාත් කර ගහන සොක්කන්ගේ ඉරණම" යන ලිපි දෙක ඵලදායී දේශපාලන ලිපි දෙකකි.

"වකුගඩු දන් දුන් පින්වතුන් කියන කතා" මැයෙන් වූ වකුගඩු දන් දීම සඳහා මිනිසුන් පොළඹවන ප්‍රචාරාත්මක ලිපියක් ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලියා ඇත. එහි කතා කරන සියලු දෙනා වකුගඩු දන් දී ඉතා නිරෝගීව ජීවත් වෙති.

ඉරිදා ලංකාදීපයේ මා කැමති ම කොටස වන්නේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවයි. පසුගිය කාලයේ මෙම චිත්‍රකතාවේ ගුණාත්මක්භාවය පිරිහුණමුත් දැන් 'දෙකෙළවර' නම් අලුත්, රසවත් කතාවක් අලුත් තේමාවක් ඔස්සේ ලියැවෙමින් තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චරිතයට සුදුහුණු ගෑමේ අසාර්ථක ව්‍යාපෘතියක් ලක්බිමේ මිහිරි ෆොන්සේකා ආරම්භ කර තිබේ. එහෙත්, මිහිරි ෆොන්සේකා විසින් උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේස්වරන් සමග කරන සාකච්ඡාවෙන් ඔහු කෙතරම් පුළුල් පුද්ගලයකු ද යන්න මනාව පැහැදිලි වේ.

ලක්බිමෙහි මංජුසාව වටිනාකමක් ඇති කලා හා සංස්කෘතික සංග්‍රහයකි. එහෙත්, සිංහල ඉරිදා පුවත්පත් අතරින් ශාස්ත්‍රීය මට්ටමක ශාස්ත්‍රීය සංග්‍රහයක් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතයි.

ලංකාවේ මහජන සහභාගිත්වයෙන් නිෂ්පාදනය වන එක ම පුවත්පත රාවයයි. මන්ද, එය අපට කඩෙන් ලැබෙන්නේ කෑලි ගොඩක් ලෙසයි. ඒ ටික පිළිවෙලට තබා හෙවත් ඇසෙම්බල් කරගෙන කියවිය යුතු ය. ඒ නිසා රාවය පත්තරය අත‍ට ගත් හැටියේ ඇති වන්නේ තරහකි. තම පාරිභෝගිකයාට මෙතරම් බාල නිෂ්පාදනයක් ලබා දෙන වෙනත් පත්තරයක් ලංකාවේ නැත.

රාවය සාමාන්‍යයෙන් ගත් කල තොරතුරු අඩු, අදහස් වැඩි සාර සංග්‍රහයකි. තමන්ගේ අදහස් කරුණු මත පදනම් කරන රාවයේ කොලම් අතරින් සිව්මංසල කොලු ගැටයා, ඉකොනො කොලම හා පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් අගය කළ යුතු ය.

සිංහල පුවත්පත්වල සාහිත්‍ය විචාර ද පළ වේ. ඒවා වනාහි ඒ ඒ කර්තෘවරුන් විසින් තම හිතවත් විචාරකයන්ට කියා යම් ගෙවීමක් (මුදලින් හෝ වෙනත් ආකාරයකින්) කර ලියවා ගන්නා ප්‍රචාරක ලේඛන යයි සිතිය හැකි ය. මන්ද, මේ විචාරකයෝ හිටි ගමන් විචාරයක් ලියා දීර්ඝ සිසිර නිද්‍රාවකට යන ආකාරයක් දකින්නට ලැබෙන බැවිනි. ඔවුන් විචාර ලියන්නට ඉදිරිපත් වන්නේ සැලකිය යුතු විශේෂත්වයක් ඇති කෘතිවලට ද නො වේ.

පත්තර කාටුන් අතරින් මා වැඩියෙන් ම කැමති ලක්බිමේ වසන්ත කරුණාතිලකගේ කාටුන්වලට ය.  

අන්තර්ජාලයේ නිති සැරිසරන මට ඉරිදා සිංහල පුවත්පත්වල ප්‍රවෘත්ති වටිනාකමක් නම් ඇත්තේ ම නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Read in English blog.parakum.com