2013-09-30

උතුර අවුල්! අපි නම් ෂෝක්!

දෙමළ ජාතික සන්ධානය දිනුවත්, උතුරු පළාත් සභාව අවුල් යයි දකුණේ සිංහලයෝ සතුටු වෙති. 

තවම බෝනස් ආසනවලට පත් කරන අය ගැන හා ඇමති මණ්ඩලය ගැන දෙමළ ජාතික සන්ධානය තුළ සංවාද තිබේ. 

දකුණේ නම් එහෙම නැත. පළාත් සභාවලට තරග කරන්නේත්, දිනන්නේත් මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ ය. බෝනස් ආසන දෙන්නේත්, මහ හා පොඩි ඇමතිවරු පත් කරන්නේත් ජනාධිපතිට ඕනෑ හැටියට ය. ඕනෑවට වඩා නටන්නට ඇවිත් පස්ස බිම ඇන ගත් එක්කෙනෙක් අද අවසන් ගමන් ගියේ ය. දකුණේ සංවාද නැත. ඇත්තේ රාජපක්ෂ පවුලට ඕනෑ හැටියට වැඩ කිරීමයි. ඉතින් සතුටුද?

උතුරේ සංවාද ය. බෝනස් ආසනයක් මුස්ලිම් ජාතිකයකුට  දීමට යෝජනාවක් තිබිණි. ‍එයට එතරම් විරෝධයක් නැත. එසේම කාන්තාවනට, වෙනත් සුළු ජාතීන්ට, සුළුතර ආගමික නියෝජිතයන්ට බෝනස් ආසනයක් මාරුවෙන් මාරුවට දීමේ යෝජනාවක් ද තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය කාන්තාවක් විසින් දිනා ගත්ත ද කාන්තා නියෝජනය මදි බවට අදහස් තිබේ. වයඹ හා මධ්‍යම පළාත් සභාවල‍ට කාන්තාවන් කීදෙනෙකු පත් වී තිබේ ද යන්න පිළිබඳ කිසිදු විමසුමක් දකුණේ තිබේ ද? 

ආණ්ඩුකාරයා ඉදිරිපිට දිවුරුම් නො දීමට ද ජනාධිපතිවරයා යාපනයට ගෙන්වා ඔහු ඉදිරිපිට දිවුරුම් දීමට ද නැතිනම් සාමාන්‍ය සාමදාන විනිශ්චයකාරයකු ඉදිරියේ දිවුරුම් දීමට ද යෝජනා තිබේ. 

පළාත් සභාවට බලතල ලබා ගන්නා ආකාරය පිළිබඳව ද, මධ්‍යම ආණ්ඩුව සමග ගනුදෙනු කරන ආකාරය ගැන ද සංවාදයක් ඇත. 

ඉතින් මේ සංවාද නරක ද? 

ඔවුන් සංවාද කරන්නේ ඉදිරිය බලාගෙන ය. සුබවාදී කාරණා ගැන ය. 

සිංහලයන් අතර සංවාද තිබෙන්නේ උතුර යටත් කර ගන්නේ කෙසේ ද කියා ය. තමන් දූෂිත ඒකාධිපති පාලනයක නින්දිත යටත් වැසියන් වී සිටින බව ඔවුහු දනිත් ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ආණ්ඩුව කෘෂිකර්මය සංවර්ධනය කරන හැටි ගැන නිදසුනක්

අපේ නිවස අසල කුඹුර හාපු දවසක්
දැන් ටිකකට කලින් මම ඉංග්‍රීසි පත්තරේකට ප්‍රාදේශීය වාර්තා වගයක් පරිවර්තනය කළා. එකක තිබුණේ දකුණු පළාතේ පුරන් වී ගිය කුඹුරක් ගැන. කුඹුර පුරන් වෙන්න හේතුව ගංවතුර. ගොවියන් ඉල්ලා සිටින්නේ වාරි පද්ධතිය වැඩි දියුණු කර දෙන්න කියලායි. ඉස්සර මේ කුඹුර සරුසාර එකක් බව කියා තිබුණත්, දැන් අවුරුදු පතා එය ගංවතුරට ගොදුරු වන්නේ කෙසේද කියා ප්‍රාදේශීය වාර්තාකරුවා පැහැදිලි කර තිබුණේ නැහැ. සමහර විට අලුත් සංවර්ධන ව්‍යාපෘති නිසා වෙන්න පුළුවන්. 

ගොවීන් පවසන්නේ තමන්ට උපකාර මඳ බවයි. ආණ්ඩුවෙන් දෙන පොහොර සහනාධාරය ගන්න දින ගණන් රස්තියාදු වෙන්න සිදු වන බව ගොවීහු පවසනවා. ආණ්ඩුවෙන් කළ ඇල වේලි නඩත්තු කිරීම් ආදී කටයුතු දැන් සිදු නො වෙන තරම්.

අපේ ගේ ඉදිරිපිට ඉතා පැරණි කුඹුරු යායක් තිබෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද මේ කුඹුරු යාය නිසරු වෙමින් යනවා. ඒ විතරක් නොවෙයි, අපි පුංචි කාලේ එහි දුටු අනගි පරිසර පද්ධතියත් පසු කාලෙක කෘෂි රසායනික නිසා විනාශ වෙලා ගියා. අපි පුංචි කාලේ පොල්කටුවලට අල්ලපු තිත්ත පැටව් දැන් වක්කඩවල ඇත්තේ ම නැහැ. දණ්ඩි, කොරළි වැනි මාළු විවිධත්වයට මොනවා වුණා ද? දැන් ඒ ඇලක, දොලක නාන්න බැහැ. පුංචි එවුන්ට සරුංගලයක් යවන්නවත් කුඹුරුවලට බහින්න බැහැ. හැම තැනින්ම වැට කඩුළු. ඒ විතරක් නෙමෙයි, දීර්ඝ කාලයක සිට නො බැඳපු නියර උඩින් ඇවිදින්න බැහැ. හැම තැනම එරෙනවා. අයින්වලින් කුඹුරු ගොඩ කරමින් ගෙවල් හදනවා. 

ආණ්ඩුව හා විශේෂයෙන් ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දැවැන්ත ප්‍රචාරයක් කරනවා රටේ කෘෂ්කාර්මික සංවර්ධනයක් ගැන. අපි කිසි සේත් ම ගොවියෝ නොවෙයි. මගේ බිරිඳ පසුගිය දිනවල ගෙවතු වගාවක් පටන් ගත්තා. අපි ඒක කරන්නේ ආර්ථික ලාභයක් වෙනුවෙන් ම නොවෙයි. සතුට හා වස විසවලින් තොර ආහාරයක් සපයා ගන්නයි. ඔන්න එක දවසක් අපේ ගෙදරට ආවා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලුත් ව්‍යාප්ති නිලධාරියෙක්. ඇවිත් අපේ ගෙවත්තත් ඔහුගේ වැඩසටහනකට බඳවා ගත්තා. දැන් ආණ්ඩුවත් අපේ ගෙවත්තට සම්බන්ධයි. මිනිහා දෙවෙනි වතාවේ ආවේ එයා සංවිධානය කරන රැස්වීමකට එන්න කියලා අපේ බිරිඳට කියන්නයි. අපට ඕවායේ යන්න වෙලාවක් කොයින්ද? දැන් තුන් මාසෙකින් විතර මිනිහා ආවේ නැහැ. 

ඇට පැකට් එකක්, මල් බාල්දියක්, උදැල්ලක් තියා උපදෙසක්වත් නො ලැබුණත්, දැන් අපේ ගෙවත්තත් ආණ්ඩුවේ වැඩසටහනක තියෙනවා. ලබන මාසේ අයවැය සංඛ්‍යා ලේඛනවල බලන්නකෝ. කාටද ආඩම්බර! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-28

සමාජවාදී ජීවිතයකට y සහෝදරයාගෙන් අදහස් කීපයක්

සමාජවාදය වෙනුවෙන් අරගල කරන ජීවිතයක් ගෙවන්න අපි කාටත් පුළුවන්. ඒ සඳහා ඕනැ තරම් විධි තිබෙනවා. මම කීපයක් විතරක් සඳහන් කරන්නම්. මේවාත් අර y සහෝදරයාගේ සමාජවාදී ජීවිතය තුළ තිබෙන ඒවා. 

හැමෝ ම කරන්නන් වාලේ කරන හුඟක් දේ අපට නො කර ඉන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය හා බිය නැතිකමයි. 

අපි මොකට ද මේ රාජපක්ෂලා හා උන්ගේ ඇම්බැට්ටයන් ගණන් ගන්නේ? උන් අපේ ජීවිතවලට සම්බන්ධ බව ඇත්ත. ඒත්, ඒ සම්බන්ධය ඇති වන්නේ අප සූරාකෑමෙන් හා අපේ අනාගතය අඳුරු කිරීමෙන්. උන් හරියට කොකු පණුවෝ, පටි පණුවෝ වගෙයි. කවුරුද පණුවන්ට ආදර ගෞරව කරන්න යන්නේ? ඒත් දැන් සමාජය කරන්නේ ඒකනේ. ඉතින් ඒක නො කරන ඉන්න එක කොයි තරම් සුළු දෙයක් ද? 

මේ වගේ හාල් පාරුවන් වීරයන් ලෙස සලකන්න එපා. උන් මරණෙට, මඟුලට ගෙන්න ගන්න එපා. බලෙන් ආවත්, ලොකුවට පිළි ගන්න එපා. උන් එන උත්සව ආදිය බලන්න යනවා නම් වාර්තාකාර කුතුහලයෙන් විතරක් යන්න. කීයටවත් උන්ට ඡන්දෙ දෙන්න එපා කියන එක කියන්න ඕනැ නැහැනේ. 

උන්ව විතරක් නොවෙයි, උන්ගේ ඉඳුල් කන, උන්ගේ පස්සා ලෙවන එවුන්වත් අවඥාවෙන් සලකන්න. අත්හළ නො හැකි මිනිස්සු ඒ දේ කරනවා නම් උන්ට උන්ගේ ආතල් එක ගන්න ඉඩ දෙන්න. හැබැයි, උන්ට ගරු කරන්න එපා.

සමාජවාදී ජීවිතයක තවත් ලක්ෂණයක් කර ගත හැකි දෙයක් තමයි, මේ පාරිභෝජනවාදී රැල්ලට ගොදුරු නො වීම. රැල්ල විසින් ප්‍රවර්ධනය කරනු ලබන ජීවිතවලට අනුගත නො වීම. අනුන්ට පෙන්නන්න ගෙවල් හදන්න එපා. අනුන්ට පේන්න, පරිහරණය නො කරන බඩුවලින් ගේ පුරවා ගන්න එපා. අනුන්ට පේන්න කාර් ගන්න එපා. භාණ්ඩ මිළ දී ගන්න ණය වෙලා දුක් විඳින්න එපා. භාණ්ඩ හා සේවා පරිහරණය ජීවිතය නො වෙයි. ජීවිතය පහසු කර ගන්න භාණ්ඩ හා සේවා මිළ දී ගන්න. ඒත්, ජීවිතය අලස කර ගන්න භාණ්ඩ මිළ දී ගන්න එපා. භාණ්ඩ පරිහරණය කරන්න. ඒත්, වන්දනා කරන්න එපා. 

අපි හොඳ හෝටල්වලින් කන්න ම අවශ්‍ය නැහැ. හොඳ බීම වර්ග බීලා තිබෙන්න ම ඕනැ නැහැ. හොඳම ඇඳුම් ඇඳලා තිබෙන්න ඕනැම නැහැ. ලංකාවේ හෝ පිටරට ‍හෝ හැමෝ ම යන හැම තැන ම බලන්න ඕනෑත් නැහැ. එහෙම ගිහින් ෆේස්බුක්වල ඡායාරූප දාගන්න බැරි එක ගැන කණගාටු වෙන්න ඕනැත් නැහැ. උදාහරණෙකට y සහෝදරයා කවදාවත් කතරගම ගිහින් නැහැ. අද කාලෙ කතරගම නො ගිහින් ඉන්න සෑහෙන ධෛර්යයක් තිබෙන්න ඕනැ. මොකද, වාමාංශික සහෝදරවරු වුණත් වාහනයක් ගත්තාම කතරගම යනවානේ. 

අනෙක බටහිර මිනුම් දඬුවලින් ජීවිතය මනිමින්, කෙසේ හෝ පිටරකට සංක්‍රමණය වීම හෝ නාගරික ජීවිතය සොයා යාම හෝ ජීවිතයේ අරමුණ කර ගන්න එපා. තමන් ජීවත් වන තැන සමාජ වටපිටාව ගොඩනඟා ගන්න උත්සාහ කරන්න.

පාරිභෝජනවාදය හා උන්නතිකාමය ප්‍රතික්ෂේප කරලා සරළ ජීවිතයකට හුරු වෙන්න. ඒක සමාජවාදී ජීවිතයක මූලික ලක්ෂණයක්. 

පාරිභෝජනවාදය උපරිමයෙන් ක්‍රියාත්මක වන තැනක් තමයි, පවුල කියන විෂය. සමහරු නිවැරදි සියලු දේ දන්නවා. ඒත්, බිරිඳ කියන නිසා කරනවා. එතැන ම බිරිඳ පාවා දීලායි පටන් ගන්නේ. හුඟක් අයගේ විකල්ප ජීවිත කිසිවක් දරුවන්ට උරුම කර දී නැහැ. ඒ වෙනුවට දරුවන්ට පුංචි කාලේ සිට ම හුරු කරන්නේ තමන්ට සැබෑ කර ගන්නට බැරි වූ කුමක් හෝ ආත්මාර්ථකාමී සිහිනයක් පසුපස යන්නටයි. දරුවන්ට ඔවුන්ගේ ජීවිතයක් හිමි කර ගන්නට මග පෙන්වන්න. ඒත්, ඔවුන්ගේ ජීවිතය මත ආධිපත්‍යය පතුරුවන්න එපා. මේ දේ කරන්න පුළුවන් නම්, ඔබේ ජීවිතය සෑහෙන්න සමාජවාදී වෙනවා. 

සමාජවාදී වෙන්න පුළුවන් තවත් ආකාරයක් තමයි, අනුකාරකවාදී නො වී නිදහස් චින්තකයකු වන එක. මනසේ සියලු දොරටු විවෘත කරගෙන ඉන්න එක. ජීවිතය හා ලෝකය යහපත් අන්දමින් වෙනස් කර ගන්න පුළුවන් දර්ශනයන්ට හා අත්දැකීම්වලට විවෘත වෙන එක. 

ඔලුවේ තිබෙන වාදයන්, ධූරාවලි හා රාමු බොහොමයක් බිමින් තිබ්බා ම අපි කවුරුත් සමාන වෙනවා. ඉස්සරහින් යන, පස්සෙන් යන අය නැති වුණා ම සමානාත්මතාව තමන්ගේ දෙපතුල් ළඟින් ම පටන් ගන්නවා. 

සමාජවාදය ගොඩනැ‍ඟෙන්නේ මහේක්ෂ ව්‍යාපෘතිවලින් ම නොවෙයි. ලෝකයේ මීට කලින් කරන ලද සමාජවාදී අත්හදා බැලීම් අසාර්ථක වෙන්න එක් හේතුවක් තමයි, ඒවා තුළ ජීවිතය හා සම්බන්ධ ක්ෂුද්‍ර ව්‍යාපෘති නො තිබීම. විප්ලවය වෙනකල් බලා නො ඉඳ තමන්ට කරන්න පුළුවන් මට්ටමේ දෙයක් තෝරා ගන්න. ඒ හා සමාන දේ කරන වෙනත් මිනිසුන් එක්ක එකතු වෙන්න.මිනිසුන්ගේ හොඳත් එක්ක වැඩ කරන්න. නරක අමතක කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. ඔව්, මනස වගේම සිරුරත්. එතන තමයි, නිරෝගීකම තිබෙන්නේ.

කලින් කිව්වා වගේ මේ සියලු දේ   y සහෝදරයා තම ජීවිතයෙන් අත්හදා බලන දේවල්. මේ දේවල් කරන්න පොත් ගොඩක් කියවලා තිබෙන්න ඕනැ නැහැ. 

(කොම්පියුටරේ ළඟ ඉඳලා දැන් බඩ වැඩියි
අද ඉරිදා මං යනවා වත්තෙ වැඩට)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-27

y සහෝදරයාගේ සමාජවාදී ජීවිතය

සමාජවාදී ජීවිතයක් ගැන අපි මේ බ්ලොගෙන් කතා කරලා තියෙනවානේ. අපි මතු කරපු කාරණාව තමයි, සමාජවාදය කියන්නේ රාජ්‍ය බලය අරගෙන ගොඩනගන කල් බලා සිටිය යුතු එකක් නො වන, තමන්ගේ ජීවිතවලින් අද ම පටන් ගත යුතු දෙයක් බව. සමාජවාදය කියන්නේ ආර්ථික ඌනිතවාදයක් නොවෙයි කියන එක දැන් කවුරුත් පිළිගන්නවා. සමාජවාදය සංස්කෘතියක් ලෙස ගන්නත් පුළුවන්. 

සමාජවාදය කියන්නේ සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්න කරන නො නවතින අරගලයක්. සංවාදය එහි ප්‍රධාන අංගයක්. සමාජවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දෙයක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු හොඳ ලක්ෂණ කැටි කරගත් ඉදිරිගාමී වැඩපිළිවෙලක්.

ඉතින් කවුරුද ඔහොම සමාජවාදී ජීවිතයක් ගත කරන්නේ? 

මං දන්න කෙනෙක් ඉන්නවා. අපි මිනිහට y සහෝදරයා කියමුකෝ. මේ වගේ තැනකට හොඳ x කියන අකුර වුණාට ලංකාවේ ඒකට විකෘති තේරුමක් තියෙන නිසා අපි ඔහුට y සහෝදරයා කියමුකෝ.  

y සහෝදරයාගේ මව්පියෝ ගුරුවරු. ඔහු කුඩා කාලේ ම රුසියානු සාහිත්‍යය කියෙව්වා. රුසියානු, කියුබානු, නිකරගුවානු විප්ලව, වියට්නාම් යුද්ධය වැනි දේ ඔහුට බලපෑවා. සමාජවාදී ලංකාවක් ගැන හීනයක් දකිමින් ඔහු දේශපාලනයට පිවිසුණේ වයස අවුරුදු විස්සක් ලබන්නත් කලින්. ඔහු දේශපාලනය වෙනුවෙන් මුලින් ම හිරේ වැටෙනකොට වයස අවුරුදු 20යි. ඒ වන විට තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ පත්‍රිකාවක් බෙදුවා ය කියලා ඔහුව මාස තුනක් ඇප නොදී රිමාන්ඩ් කර තිබ්බා. ඒ වන විට ඔහු විශේෂ ඉංජිනේරු ආධුනිකයෙකු ලෙස මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගෙන ගනිමින් හිටියා. ඒ සමග ම ඔහු ඒ අධ්‍යාපනය අතහැර දමලා ජවිපෙ පූර්ණකාලීන ‍දේශපාලනයට පිවිසුණා. සැරින් සැරේ හිරේ විලංගුවේ වැටෙමින්, ජවිපෙ මැද පෙළ නායකයකු ලෙස වැඩ කළ ඔහු 1989 කැරැල්ලේදී මර්දනයට ලක් වෙලා, වධකාගාරවලත් ඉඳලා, වසර තුනහමාරකට විතර පසුව නිදහස්ව එනවා. 

ජවිපෙ දේශපාලනය ගැන තිබුණු විවේචනය නිසා ඔහු ජවිපෙත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ගුරු පත්වීමක් අරගෙන ඈත දුෂ්කර මායිම් ගම්මානයක සේවයට යන ඔහු දේශපාලනය කරන්නේ ඒ පො‍ළවේයි. එය පක්ෂ දේශපාලනයක් නොවෙයි. ළමයින් එක්ක වැඩ කරන එක ඔහු එදා ඉඳන් අද දක්වා ම දේශපාලනය ලෙස සලකනවා. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත වුණේ දුෂ්කර ප්‍රදේශවල පාසල්වල ළමයින්ට උගන්වන්න. ඔවුන් සමග නාට්‍ය, මාධ්‍ය, ක්‍රීඩා ආදිය කරන්න. ඔවුන් සමග ජීවත් වෙන්න. 

y සහෝදරයා ජාතිවාදයට විරුද්ධ දේශපාලනයට යොමු වන්නේ මායිම් ගම්මානවල ගුරු වෘත්තියේ යෙදෙමින් සිටියදීයි. දෙමළ ගරිල්ලන් සිංහල ගම්මානවලට කඩා වැදිලා පුංචි ළමයින් ද ඇතුළුව සිවිල් වැසියන් කපා කොටා මරා දමා තිබෙනු ඇසින් දැක දැකත්, ජාතීන්ගේ ප්‍රශ්නය බලය බෙදා ගැනීමේ සම්මුතියක් මගින් විසඳා ගත යුතුයි යන ස්ථාවරයේ හිටපු අව්‍යාජ, බුද්ධිමත් මිනිස්සු මේ මායිම් ගම්මානවලදී ඔහුට හමු වුණා. ඔහුගේ දේශපාලන ජීවිතයේ දෙවන අවධියට පදනම වැටුණේ එහිදීයි. ජවිපෙන් අරගෙන ආ සිංහල ආධිපත්‍යවාදී අදහස් වෙනස් කර ගනිමින් ඔහු ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් සටන් කරන පුද්ගලයෙක් වෙනවා. 

ජාතීන්ගේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නවලින් ගැඹුරු ම ප්‍රශ්නය ලෙස තේරුම් ගන්නා ඔහු මේ රටේ දේශපාලන ප්‍රජාවට ඉදිරියට යන්නට නම් ජාතීන් අතර සම්මුතියක් ගොඩනඟා ගත යුතු ය කියන ස්ථාවරයට පැමිණෙනවා. හැබැයි ඉතින් ඒ දෙය වන්නේ එක් රැයකින් නම් නොවෙයි. විවිධ පුද්ගලයන් සමග හා තමන් තුළ ම කළ දීර්ඝ සංවාදයක් ඔස්සේයි. මේ අතරතුරදී ඔහු දේශපාලන ක්‍රියාමාර්ග රැසක ක්‍රියාකාරිකයෙක් ‍ලෙස කටයුතු කරනවා. අනතුරුදායක මැදිහත්වීම් රැසක් ම කරනවා. ඇතැම් දේශපාලන වැරදිත් සිදු වෙනවා.  

තමන් ක්‍රියාත්මක වන සමාජවාදී ය කියන අවකාශයේ අභ්‍යන්තර ගැටලු පිළිබඳ ඔහුගේ ඥානය පුළුල් වෙන්නේ මේ කාලයේදීයි. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් සටන් කරන බව කියන මිනිසුන්ගේ ජාතිවාදී, කුලවාදී, පුරුෂෝත්තමවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් හා ක්‍රියාකලාපයන් නිසා ඇති වන පරස්පරතාව ගැන අවධානය යොමු කරන ඔහු ඒවාට යටත් නො විය යුතු ය කියන ස්ථාවරයට එනවා. වාමාංශිකයන්ගේ දක්ෂිණාංශික භාවිතාවන්ට එරෙහිව නැගී සිටින ඔහුව ඔහු සිටි දේශපාලන කණ්ඩායම්වලින් ඉවත් කෙරෙනවා. වාමාංශික සමාජයෙන් ද බැහැර කෙරෙනවා.

වාමාංශික සහෝදරවරු ඔහුව දේශපාලන වශයෙන් විනාශ කරන්න බොහෝ දේ කරනවා. ඔහුව බිය වද්දා, රටින් පළා යන්නට සලස්වා, අතරමං කර, විනාශ කරන්න උත්සාහ කරනවා. ඒත්, ඔහු ආපසු සිය රට පැමිණ නැවතත් දේශපාලනය කරනවා. රාජ්‍ය මර්දනය එල්ල වන විට ඔහුට ඔලොක්කු කරමින් දැන් ඉතින් ආණ්ඩුවත් එක්ක බලා ගනින් කියලා ඔහු හුදකලා කරනවා. දුෂ්කර ම කාලයන් තුළ පවා y සහෝදරයා දිගට ම දේශපාලනය කරනවා. ඔහු සිය දේශපාලනය සඳහා මේ වන විට තෝ‍රගෙන තිබෙන්නේ පෑන. ඔහු ලියනවා, දිගටම. 

මුලින්, මුලින් කවුරුවත් ඒවා කියවන්නේ නැහැ. කියවූ අයත් කියවූ බව කාටවත් කියන්නේ නැහැ. ඔහු ලියන බව දැනගෙන හිටියත්, හැමෝ ම උත්සාහ කරන්නේ එහෙම දෙයක් වෙන බව නො දන්නවා වගේ ඉන්නයි. ඒත්, මේ වෙනකොට ඔහු ලියන බව ප්‍රතික්ෂේප කරන්න බැරි තත්වයක් ඇති වෙලා. 

වාමාංශික දේශපාලනය ගැන අලුතින් හිතන්න ඕනැ කියලායි y සහෝදරයා කියන්නේ. ඒ නිසා ඔහු සියලු දැඩි ස්ථාවර අතහැරලා, සංවාදවලට විවෘත වූ මනසකින් යුතුව තමයි ඉන්නේ. හැබැයි ඉතින් ලෝකය යහපත් අන්දමින් වෙනස් කරන්නට සිදු කළ යුතු මැදිහත් වීම කිරීම සම්බන්ධයෙන් නම් ඔහුට කිසිදු දෙගිඩියාවක් නැහැ. 

y සහෝදරයා ලියනවා. ජීවිතය ගැන ලියන්න තව බොහෝ දේ තිබෙන බව ඔහු කියනවා. y සහෝදරයා ජීවත් වෙනවා. ඔහු කියන පරිදි ඔහුගේ ජීවිතය ම තමයි දේශපාලනය. ඔහු අඩුවෙන් නිවාඩු අරගෙන හැමදාම පාසල් යනවා. දේශපාලනය නිසා රස්සාව නැති වී ටික කලක් ඉඳලා ආපසු ලැබුණු නිසා ඔහුගේ පඩිය තවමත් සොච්චමයි. ඒත්, ඔහු ඒ ගැන නො සිතා ඔහුට පුළුවන් උපරිමය කරන්න උත්සාහ කරනවා. 

පඩි අඩු නිසාත්, දරුවන්ට හොඳ ජීවිතයක් අවශ්‍ය නිසාත්, වෘත්තීය අරගළවලින් ක්ෂණික විසඳුම් නැති නිසාත්, ඔහු අමතර රැකියාවන් කරමින් මුදලක් උපයනවා. හැබැයි, මුළු ජීවිතය ම සල්ලි හම්බ කිරීමට නො යොදා, බිරිඳ ‍හා ළමයින් එක්ක ඉන්නත්, සමාජ සේවාවන්හි යෙදෙන්නත්, කලාව රස විඳින්නත්, ශාරීරික ව්‍යායාමයටත් එහු කාලය ඉතිරි කරගෙන තිබෙනවා. ඒ කාලය ඔහුට ලැබුණේ ඉස්සර කොළඹ නගරයේ පැවැත්වුණ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදියට සහභාගි වීම සඳහා ගත කළ කාලය සම්පූර්ණයෙන් ම ඉතිරි කර ගැනීමෙනුයි. හැබැයි, දේශපාලනය තිබෙන්නේ කොළඹ සාකච්ඡාවල විතරයි කියලා හිතාගෙන හිටපු y සහෝදරයාගේ පැරණි සහෝදරවරු දැන් හිතන්නේ y සහෝදරයා මැරිලා කියලායි. 

හැන්දෑවට y සහෝදරයා වත්තේ එළවළු, පළතුරු වවනවා. ගහ කොළ එක්ක ගෙවන ගමේ ජීවිතයෙන් ඔහු ලොකු සතුටක් ලබනවා.

y සහෝදරයා පුංචි මිනිහෙක්. ඒත්, ඔහු කිසිම බොරු ලොක්කෙකුව පඩේකට මායිම් කරන්නේ නැහැ.

අද y සහෝදරයාගේ 48වන උපන් දිනය. ඔහුට සුබපැතුම්!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-26

ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පහත සඳහන් ප්‍රකාශය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දරුණු විවේචනයට හේතු වී තිබේ. 

"A process free of violence and intimidation in the Northern Province is required for greater civilian administration and to help further the reconciliation process four years after the war. These elections provided a starting point for that process. Democracy is not simply about elections, however, and more must be done to ensure that Sri Lankans of all communities can live with peace and dignity that they deserve."

එයින් කියවෙන්නේ මෙයයි: "උතුරු පළාතේ වඩා හොඳ පුරවැසි පරිපාලනයක් පිහිටුවීම සඳහාත්, යුද්ධය නිමාවෙන් වසර හතරකට පසුව සංහිඳියා ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහාත්, ප්‍රචණ්ඩත්වයෙන් හා බලපෑම්වලින් තොර ක්‍රියාවලියක් අවශ්‍ය ය. මෙම මැතිවරණ එම ක්‍රියාවලිය සඳහා ආරම්භක පියවරකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ. සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන් සාමයෙන් හා ගරුත්වයෙන් ජීවත් වීම තහවුරු කරනු පිණිස තව බොහෝ දේ කළ යුතුව තිබේ."

ඇත්තෙන්ම, මේ ආණ්ඩුවට මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මළ පැනීම තේරුම් ගත හැකි ය. මන්ද, ලංකාවේ දැනට පැවැත්වෙන මැතිවරණ යනු මෙවැනි ක්‍රියාවලියකි.


  • මැතිවරණ පැවැත්වෙන්නේ පාලකයන්ට වාසිදායක වන තෝරා ගත් වේලාවන්හිදී ය. ඒ සඳහා බලය පාවිච්චි කරමින් නීතිමය සිදුරු අතරින් රිංගා යයි.
  • මැතිවරණවලදී පොදු දේපල ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා භාවිතා කරනු ලබන්නේ කිසිදු හිරිකිතයකින් තොරව ය. ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය සඳහා පොදු හා මහජන මුදලින් නඩත්තු වන මාධ්‍ය, මැති ඇමති ආදීන්ට මහජන මුදලින් ලබා දී තිබෙන යාන, වාහන හා කාර්යාල ආදී පොදු සම්පත් හා මහජන මුදල් වන මහජන නියෝජිතයන්ගේ කාලය මහා පරිමාණයෙන් යොදා ගැනීම ලංකාවේ සාමාන්‍ය තත්වය බවට පත් වී තිබේ. එය අතිශය සාමාන්‍යකරණය කර තිබේ. 
  • මැතිවරණවලදී අතිශය වැදගත් භූමිකාවක් කරන ජනමාධ්‍ය ද ආණ්ඩුව විසින් සිය ගජමිතුරන්ගේ ප්‍රාග්ධනය, රජයේ දැන්වීම් ආදිය මාර්ගයෙන් පාලනය කරනු ලැබේ. 
  • රාජ්‍ය ණයවලින් හෝ මහජන බදු ආදායම්වලින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති මැතිවරණ කාලයේදී පාලක පක්ෂය සිය වාසිය පිණිස උපයෝගී කර ගනු ලැබේ. 
  • මහජන මුදලින් දෙනු ලබන අල්ලස් හා වරප්‍රසාද ද රාජ්‍ය බලය ද පාවිච්චි කරමින් විරුද්ධ පාක්ෂිකයන් බිලී බා ගනිමින් අඛන්ඩව විපක්ෂය දුර්වල කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව යෙදී සිටියි. 
  • දේශපාලනය තුළ ගොඩනගනු ලබන මෙම තත්වය භාර ගැනීම පිණිස ජන මනස ද සිතා මතා ම මුග්ධත්වයට ගොදුරු කරනු ලැබේ. ඒ සඳහා ජනමාධ්‍ය, අධ්‍යාපනය හා සංස්කෘතිය (ආගම, කලාව ආදී) භාවිතා කරනු ලැ‍බේ. 
  • මෙම තත්වය භාර නො ගන්නා පිරිස සමාජයෙන් පිටමං කරනු ලැබේ. ඔවුන්ගේ අරගල දේශද්‍රෝහී ලේබලය ගසා කුරිරු අන්දමින් මර්දනය කරනු ලැබේ. 


ලංකාවේ මිනිසුන් සාමයෙන් හා ගරුත්වයෙන් ජීවත් නො වන බව ඕනෑම කෙනෙක් දනිති. 

සාමය ගැන ද කිව හැක්කේ සාමය යනු යුද්ධය නො තිබීම පමණක් නො වන බවයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-25

රනිල් වික්‍රමසිංහගේ ගමනක අවසානය

ශක්තිමත් විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. ලංකාවේ විපක්ෂය මේ වන විට අතිශය දුර්වල ය. එසේ වී තිබෙන්නේ විපක්ෂයේ දුර්වලකම නිසා ම නො වේ. විපක්ෂය දුර්වල කිරීම ගොඩනැගෙන ඒකාධිපතිත්වයක ප්‍රධාන ලක්ෂණයකි. 

ඒකාධිපතීන් විසින් දේශපාලනයේදී ප්‍රවර්ධනය කරනු ලබන්නේ විනය හෝ ප්‍රතිපත්ති ගරුකත්වය හෝ නො වේ. ඔවුන් විසින් දිරි ගන්වනු ලබන්නේ දූෂණය, පාවා දීම, දීනකම වැනි දේ ය.

දේශපාලනයට පිවිසෙන පසුගාමී ධනේශ්වර කොටස් අල්ලස් හා වරදාන ඔස්සේ තමන් වෙත ආකර්ශනය කර ගැනීමෙන් ඒකාධිපති පවුල විසින් විපක්ෂය සම්පූර්ණයෙන් ම දුර්වල කර දමන ලදී. ඒ සමග ම සමස්ත දේශපාලන ප්‍රජාව ම මහා දූෂිත මානසිකත්වයකින් හා අපේක්ෂා භංගත්වයකින් වෙළා දමන ලදී. ප්‍රතිපත්ති නො තකන, උපයෝගිතාව ම එක ම ප්‍රතිපත්තිය වූ නායකත්වය විසින් ඔවුන්ට ම ගැලපෙන දේශපාලන ප්‍රජාවක් ද නිර්මානය කරගෙන තිබේ. 

මේ වන විට ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව වාමාංශික මුහුණුවරක් ඇති ජනතා විමුක්ති පෙරමුණ තුළ පවා සිටින්නේ අපේක්ෂා භංගත්වය මූලික ලක්ෂණය වූ අසහනකාරීන් පිරිසකි.  
ලංකාවේ ක්ෂුද්‍ර බුර්ෂුවා පංතියේ අවශ්‍යතා යම් දුරකට නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සියතේ රඳවා ගන්නට දරණ උත්සාහය මේ වන විට අසාර්ථකත්වයෙන් කෙළවර වීමට ආසන්න ය. 

එක්සත් ජාතික පක්ෂයේ විකල්ප නායකත්වය වන රාජපක්ෂ මොඩල් සජිත් ප්‍රේමදාස යටපත් කරගෙන සිටීමේ හැකියාව දැන් රනිල් වික්‍රමසිංහට අහිමි වෙමින් තිබෙන බව පෙනේ. පසුගිය පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය මෙහිදී අතිශය වැදගත් ය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම් පිරිහී තිබෙන මට්ටම කෙතරම් ද යත්, මධ්‍යම පළාතේ එය 28%ට අඩු ය. වයඹ නම් 25%ක්වත් නැත. උතුරේ 0.68%කි. 

මේ වනාහි රනිල් වික්‍රමසිංහගේ ගමනක අවසානයයි. ඔහු නෙරපීම නො වැළැක්විය හැකි ය. එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යාමට අවශ්‍ය නම් රනිල් හා සජිත් අතර පැහැදිලි සම්මුතියක් අවශ්‍ය වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-24

උතුරු පළාත් සභාවෙන් පසු ලංකාවේ දේශපාලනය

උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය විසින් සිංහල ජාතියේ නායකත්වය අන්දමන්ද කර ඇති බවක් පෙනේ. සිංහල නායකයන් විසින් බිය ප්‍රකාශ කර ඇති ආකාර දෙකක් මෙසේ ය.


  • ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ජාත්‍යන්තර අරගළයක් ඔස්සේ ලංකාව බෙදීමේ වැඩපිළිවෙලක් සඳහා මෙම මැතිවරණ ප්‍රතිඵලය පදනම් කර ගනු ඇත.
  • ත්‍රස්තවාදය නැවත ලංකාවේ හිස ඔසවනු ඇත. 


මෙහිදී දෙවන කාරණය සම්බන්ධයෙන් නම් ලංකාවේ ‍සිංහල දෙමළ බහුතරයක් ජනතාව අතර සම්මුතියක් ඇති බව මම සිතමි. ඒ වනාහි තවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලංකාවේ අනවශ්‍ය බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ රටේ සෙසු ප්‍රදේශ සමග සම්බන්ධ වීමත් සමග හා ධනවාදයේ ව්‍යාප්තියත් සමග ත්‍රස්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය බිලි බෝයිලා නිර්මානය කර ගත හැකි සමාජ පසුගාමිත්වය නඩත්තු කර ගැනීමට නො හැකි ය. අනෙක් පැත්තෙන්, දෙමළ සමාජය මුස්ලිම් සමාජය මෙන් පර්දාවෙන් වැසූ සමාජයක් ද නො වේ. සිංහල ජාතිය ත්‍රස්තවාදය ඔස්සේ පැරදවිය නො හැකි බව ද, ත්‍රස්තවාදයෙන් තමන්ට උරුම වන්නේ කාලකණ්ණිකම පමණක් ම බව ද දෙමළ සමාජයට අලුතෙන් ඉගෙන ගන්නට දෙයක් නැත. 

කාලාන්තරයක් තිස්සේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතිවාදීන් උපකාර කළේ සිංහල සමාජය පසුගාමිත්වයට තල්ලු කිරීමේ ලා ඉවහල් වන ‍දේශපාලන ක්‍රියාමාර්ගවලට ය. 2005දී මහින්ද රාජපක්ෂ පාලනය බලයට ගෙන ඒම සඳහා ජනාධිපතිවරණ වර්ජනයක් හරහා දුන් තල්ලුව මේ සඳහා හොඳ ම නිදසුනයි. දැන් වුණත්, ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ උපාය මාර්ගය එය ම ය. 

එහෙත්, ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ජාත්‍යන්තර අරගළයක් ඔස්සේ ලංකාව බෙදීමේ වැඩසටහන ද දෙමළ ඩයස්පෝරාවේ සිහිනයක් පමණි. මැතිවරණප්‍රචාරක ව්‍යාපාරය තුළ දෙමළ ජාතිකවාදය  දැඩි ලෙස ප්‍රවර්ධනය කරන ලදී. එම වටපිටාව තුළ ඩයස්පෝරාවේ කොටි හිතවාදී දෙමළ ජාතිවාදීන්ට ද මඟුල් කන්නට අවස්ථාව තිබුණ ද, එය දිගු කල් පවතින එකක් නො වේ. මන්ද, දැන් දෙමළ ඊලාම් අන්තවාදීන්ට සිංහල ආණ්ඩුවට අමතරව දෙමළ ආණ්ඩුවක් සමග ද කටයුතු කරන්නට සිදු වන බැවිනි. 

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වන ආණ්ඩුවක් හා ත්‍රස්තවාදය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් අතර පැහැදිලි වෙනස්කම් තිබේ. ‍කොටි සංවිධානය හා සම්බන්ධ පිරිස්වල නායකත්වයෙන් රටින් පිට අටවා ගන්නා ලද, ජාත්‍යන්තර වශයෙන් කිසිදු බලපෑමක් හෝ පිළිගැනීමක් නැති ඊනියා ආණ්ඩුවත් උතුරේ දෙමළ ආණ්ඩුවත් අතර වෙනස නිර්මානය වන්නේ එසේ ය. 

දැන් තිබෙන්නේ දෙමළ ආණ්ඩුවකි. විග්නේශ්වරන් යනු පාලකයෙකි. ඔහු වනාහි ලංකාවේ මධ්‍යම ආණ්ඩුව, ඉන්දියාව හා ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනු කරන දේශපාලකයෙක් මිස තව දුරටත් දෙමළ ක්‍රියාධරයෙක් නො වේ. ඔහුගේ පසුබිම ද වර්ධරාජා පෙරුමාල්ගේ පසුබිමට වඩා වෙනස් ය. එසේ ම, උතුර සම්බන්ධයෙන් දේශපාලන සංදර්භය ද එදාට වඩා වෙනස් ය. විග්නේශ්වරන්ට හා දෙමළ ජාතික සන්ධානයට බලය තහවුරු කර ගැනීමේ මාර්ගය වැටී තිබෙන්නේ ත්‍රස්තවාදී නැඹුරුවක් සහිත ජාතිවාදීන් සමග එක් වීමෙන් නොව දෙමළ ජාතිකවාදය හා රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය අතර සම්මුතියකින් කටයුතු කිරීමෙනි. නිදසුනක් ලෙස, උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලැ‍බුණොත් එය ත්‍රස්තවාදීන්ට උපකාරයක් වනු ඇතැයි සිතිය නො හැකි ය. උතුරු පළාත් පොලිසියක බලතලවලින් මුලින් ම තර්ජනයට ලක් වන්නේ දෙමළ ත්‍රස්තවාදයයි.

ලංකාවේ දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට ඉවහල් වන මෑත කාලීන ක්‍රියාමාර්ග අතරින් උතුරු පළාත් සභා මැතිවරණයට ප්‍රධාන තැනක් හිමි වේ. රදළ ස්වරූපී, ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මහින්ද රාජපක්ෂ පාලනය කෙතරම් කැමති වුණත්, ඒ සඳහා සිංහල සමාජයේ පීඩි‍ත සමාජ කණ්ඩායම්වල පවා සහයෝගය දිනා ගන්නට ඔවුන් සමත් වුණත්, මෑත ඉතිහාසය විමසා බලන විට පෙනී යන දෙයක් වන්නේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු වන පරීක්ෂාවන් හා සමබර කිරීම් හමුවේ (checks and balances) හමුවේ වඩා ශිෂ්ට වීමට ඔවුන්ට සිදු වී තිබෙන බවයි. නිදසුනක් ලෙස මාධ්‍යකරුවන් මරා දැමීම, විරුද්ධවාදීන් අතුරුදහන් කිරීම වැනි ඉහළ මට්ටමෙන් හසුරුවනු ලබන අපරාධ දැන් අඩු වී තිබේ.  රාජපක්ෂ ආණ්ඩුවේ පහළ තලය වන ප්‍රාදේශීය අපරාධකරුවන්ගේ ජාලයට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක කරන්නට සිදු වී තිබේ. ඉදිරි කාලයේදී ඉහළ තලයේ මුක්තිය රැක ගැනීම පවා පහසු වන්නේ නැත. 

උතුරු පළාත් සභාව යනු තවත් පළාත් සභාවක් නො වේ. ඒ වනාහි ලංකාවේ සැබෑ බලය බෙදා ගැනීමක ආරම්භයයි. එය සිදු වන්නේ අරගළකාරී සංදර්භයක වීම සුවිශේෂ ය. සරළව කීවොත්, ඒ වනාහි මධ්‍යම ආණ්ඩුවෙන් දෙන දෙය ගැනීම නොව, මධ්‍යම ආණ්ඩුවෙන් බලතල උදුරා ගැනීමේ අරගළයකි. උතුරු පළාත් සභා දේශපාලනය සෙසු පළාත් සභා තුළ ද දැඩි බලපෑමක් ඇති කරන බව නිසැක ය. මෙම අලුත් සංදර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සෑම පාර්ශවයකින් ම පාහේ නව දේශපාලන උපායමාර්ගික තේරීම් අවශ්‍ය ය. ආණ්ඩුව උතුරු නැගෙනහිර දේශපානයට මැදිහත් වීමෙන් සිදු වන්නේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනය තවත්ආන්තික වීම පමණි. තනි දෙමළ සන්ධානයක් උතුරු නැගෙනහිර පැවතීම රටට හානිකර ය. දෙමළ ජාතික සන්ධානය අනිවාර්යයෙන් ම බෙදී යනු ඇත. ඒ ලිබරල් ජාතිකවාදී හා ජාතිකවාදී සංරක්ෂණවාදී ධාරාවන් ඔස්සේ ය. එහෙත්, එම පක්ෂ දෙක ම තව කලක් දෙමළ රාජ්‍යය ප්‍රවර්ධනය කරනු ඇත. එහෙත්, ඔවුන්ගේ දේශපාලනය කේන්ද්‍ර වනු ඇත්තේ බලය බෙදා ගැනීම මත ය. 

මෙහිදී දකුණේ දේශපාලනය යොමු වන දිශානතිය ඉතා වැදගත් ය. සිංහල ආන්තික ජාතිවාදය ශක්තිමත් වුණොත්, එයින් වාසි අත්පත් වන්නේ ඩයස්පෝරා අනුග්‍රහය ලබන දෙමළ ඊලාම්වාදීන්ට ය. වයඹ හා මධ්‍යම පළාත් සභා ප්‍රතිළුලය තුළ ඇති ඇතැම් සාධනීය ලක්ෂණ අපේ ඇගයුමට ලක් විය යුතු ය. ආන්තික ජාතිවාදය ප්‍රවර්ධනය කළ ජාතික නිදහස් පෙරමුණටත්, ජාතික හෙළ .උරුමයටත් එකදු අසුනක්වත් දිනා ගැනීමට හැකි වී නැත. පසුගිය දිනවල මතු වී බැස ගිය මුස්ලිම් විරෝධී රැල්ල හරහා මතු වූ හාමුදුරු බලවේගය ද නැවත අලුත් උච්චස්ථානයකට නො එළඹෙන්නට බොහෝ විට ඉඩ තිබේ. මන්ද, මෙම ජාතිවාදී හාමුදුරු රැල්ල රාජපක්ෂ පාලනයට එරෙහිව මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මතු වීමේ සිට ජයසේකර අපොන්සුට එරෙහිව ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරවන්ගේ නැගී සිටීම දක්වා සමාජ දේහය පුරා ම පිළලයක් ලෙස මතු වූ බැවිනි. 

කිසිදු පීඩනයකින් තොරව කැසිනෝ සූදු ව්‍යාපාර දියත් කර ගැනීමට ආණ්ඩුව සමත් වූ ආකාරය හා දයාසිරි, අනුරාධ වැනි ලිබරල් හා ව්‍යාපාරික රැල්ලේ දේශපාලකයන්ගේ ඉදිරි ගමන ඔස්සේ ආණ්ඩු‍වේ දේශපාලන දිශානතිය පැහැදිලි කර ගත හැකි ය. ඒ වනාහි ජාතිවාදය අනුපානෙට ගනිමින් වැඩිපුර ධනවාදය දෙසට සිදු වන චලනයකි. ආණ්ඩුවේ පය අද්දර තිබෙන දරුණු ආර්ථික අගාධය ද ආණ්ඩුවේ දිශානතිය තීරණය කරන තවත් සාධකයකි. ජාතිවාදයෙන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නො හැකි ය. ‍

ලංකාවට විදේශ විනිමය පොම්ප කර ගැනීමේ මාර්ග විසින් ඉදිරි දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කරනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-23

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය හා ඉදිරි ජනාධිපතිවරණය

පසුගිය පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ, විශේෂයෙන් ම කලින් පැවැත්වෙන ඉදිරි ජනාධිපතිවරණයකදී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂට සැලකිය යුතු අභියෝගයක් එල්ල වනු ඇති බවයි.

පළාතෙන් පළාත‍ට ඡන්දය ප්‍රකාශ කර තිබෙන ප්‍රතිශතයන් හා එයින් රාජපක්ෂ රෙජිම ලබාගෙන තිබෙන ප්‍රතිශතයන් මෙසේ ය:

මධ්‍යම පළාත - ප්‍රකාශිත 67.35 %කින් 60.16 %ක්
වයඹ පළාත - ප්‍රකාශිත 63.54 %කින් 66.43 %ක්
උතුරු පළාත - ප්‍රකාශිත 67.52 %කින් 18.38 %ක්

ජනාධිපතිවරණයකදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් වෙනස් විය හැකි ය. එසේ ම, එවන් පසුබිමකදී 50% ඉක්මවා ගිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම ජනාධිපති මහින්ද රා‍ජපක්ෂට පහසු නැත.

මෙම මැතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අලුතින් ගොඩනඟා ගත් ඡන්ද පදනම ද විකල්පයක් කෙරෙහි ජනතාව තුළ ඇති නැඹුරුව පිළිබඳ ඉඟියක් ලෙස සැලකිය හැකි ය‍.

එහෙත්, මෙහිදී අතිශය වැදගත් සාධකය වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ඡන්දයි. 2005 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට තහවුරු වුණේ ද කොටි සංවිධානය විසින් දියත් කරන ලද වර්ජනය නිසා ය. 2010 ජනාධිපතිවරණයේදී ද පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා යාපනය දිස්ත්‍රික්කයෙන් 63%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී මහින්ද රාජපක්ෂට ලබා ගත හැකි වූයේ 25%කට අඩු ප්‍රතිශතයකි. එහෙත්, ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පැවතියේ 25%ක පමණ මට්ටමේ ය. උතුරු-නැගෙනහිර පළාත්වල සියලු දිස්ත්‍රික්කවල ඉදිරියෙන් සිටියේ සරත් ෆොන්සේකා ය. 

ජනාධිපති මැතිවරණ සම්බන්ධයෙන් රටේ සෙසු ප්‍රදේශවල ජනතාව දක්වන උනන්දුව උතුරේ ජනතාව දක්වන්නේ නැති බව පෙනේ. ඔවුන් ඡන්දය දීම සඳහා කැඳවා ගැනීමට නම්, පාලනයේ වෙනසකින් විධාය‍කයේ ජාතිවාදී, ඒකාධිපති ප්‍රවණතාව වෙනස් වේ යයි විශ්වාසයක් ඇති කිරීමට පොදු අපේක්ෂකයා සමත් විය යුතු ය.

එවැනි පොදු අපේක්ෂකයකු සොයා ගන්නට අපට හැකි වේ ද? දැනට පොදු අපේක්ෂකයකු ලෙස නම කියවෙන මාදුළුවාවේ සෝභිත හිමිට සුළු ජාතික විශ්වාසය දිනා ගැනීම පහසු නැත. සිවුර විසින් ඇති කර තිබෙන භීෂණය ම එයට බාධාවකි. අවශ්‍ය පදනම් ගොඩනඟා ගැනීමේ ශක්තිය සපයන බලවේග ඔහු වටා නැත. ඔහුට වඩා පදනමක් තවමත් සරත් ෆොන්සේකාට තිබෙන බව සිතිය හැකි වුවත්, ඔහුට නීතිමය බාධක හමුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට හැකියාවක් නැත. ශිරානි බංඩාරනායකට ඇති බිය නිසා මහින්ද රාජපක්ෂ ඇයට ද නීතිමය බාධකයක් පනවා තබන්නට කටයුතු කරනු ඇත. මෙම තත්වය හමුවේ තව දුරටත් විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරියෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ විය හැකි ය. එහෙත්, ඔහුට පොදු අපේක්ෂකයකු වීමේ ජනප්‍රියත්වය හා විශ්වාසය නැත.

අලුත් පොදු අපේක්ෂකයකු නිර්මානය කර ගත යුතු ය.

(උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය ගැන නිරීක්ෂණ මීළඟ ලිපියෙන්)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-22

මැතිවරණ ප්‍රතිඵල ගැන ඔබේ අදහස් දක්වන්න

පළාත් සභා තු‍නේ ආසන මට්ටමේ ප්‍රතිඵල බොහොමයක් නිකුත් වී තිබේ. 

ප්‍රතිඵලය අප ඊයේ කී ආකාරයෙනි. 

මධ්‍යම හා වයඹ පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජය‍ ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම්වල වර්ධනයක් සිදු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත. එහෙත්, එම පක්ෂයේ ප්‍රතිඵලය පවත්නා තත්වය තුළ නරක නැති බව පෙනේ. 

ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්වත් හිමි වේ ද යන්න සැක සහිත ය. ජනතා විමුක්ති පෙරමුණේ බිඳී යාමේ ප්‍රතිඵලය එයයි. 

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එක් ආසනයක් දිනා ගන්නට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීමෙන් පැහැදිලි ප්‍රතිඵලයක් අත් කර ගෙන ඇති බවක් නො පෙනේ. ඔවුන්ට උතුරු පළාතෙන් හිමි වී තිබෙන්නේ එක් ආසනයක් පමණි. ඒ මන්නාරමෙනි. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසනයක් හිමි වන්නට පුළුවන. 

මාතලේ දිස්ත්‍රික්කයට වෙන ම තරග ලංකා කම්කරු කොංග්‍රසය එක් ආසනයක් දිනාගෙන තිබේ. 

උතුරු පළාතේ මැතිවරණ ප්‍රතිඵලය දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ය. අපි ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරමු.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-21

මමත් ඡන්ද දායකයෙක් වුණා නම් ..............

අද පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මෙසේ ය:

වයඹ හා මධ්‍යම පළාත් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසුවෙන් ජය ගනු ඇත. 

දෙමළ ජාතික සන්ධානය ඊටත් වඩා පහසුවෙන්, ඇතැම් විට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රතිශතයකින්  උතුරු පළාත් සභාව ජය ගන්නට ඉඩ තිබේ.

වයඹ පළමු තැනට එන්නේ දයාසිරි ද ‍ජොහාන් ද වැනි ප්‍රශ්න ඇත්තට ම වැදගත් නැත. මන්ද ගූ බෙට්ටේ ඉස්සරහ පස්ස කියා වෙනසක් නැති නිසා ය. 

මේ මැතිවරණයේදීත් වර්ණවත් මැතිවරණ ඝෝෂාව තුළ ජනතාව දේශපාලනිකව අන්ධ හා බිහිරි තත්වයට පත් කර ගොළු ප්‍රකාශකයකු බවට පත් කර ගන්නට ආණ්ඩුව සමත් වී තිබේ.

විපක්ෂයේ දුර්වලකම හා මැතිවරණයේදී රාජ්‍ය බලය භාවිතා කරන්නට ඇති බලපුළුවන්කාරකම වාසියට තිබුණත්, මේ මැතිවරණයේදීත් ආණ්ඩුව යැපුණේ ජාතිවාදය මතයි. උතුරු පළාත් සභා මැතිවරණයේදී ශක්තිමත් අන්දමින් මතු වූ දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන දෙමළාට එරෙහිව ආණ්ඩුව ශක්තිමත් කළ යුතු ය යන මතයක් ආණ්ඩුව විසින් ඉස්මතු කරන ලදී. 

අලුත් ජාතිකවාදී දේශපාලන රැල්ල ගැන අපි මැතිවරණයෙන් පසුව කතා කරමු. 

මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි විරුද්ධ පක්ෂ දක්වන ප්‍රතිඵලය වැදගත් ය. එය වැදගත් වන්නේ මේ මැතිවරණයේදී නොවේ. එළඹෙන ජනාධිපතිවරණයකදී ය. 

කෙතරම් විවේචන තිබුණත්, මම වයඹ හෝ මධ්‍යම පළාත් සභා බල සීමාවේ ජීවත් වන පුද්ගලයකු වූවා නම් මගේ ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට ය. 

උතුරු පළාත් සභාවේ සිටියා නම් මම ද ඡන්දය දෙන්නේ දෙමළ ජාතික සන්ධානයට ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-20

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු නැතිව නඩුවකට පෙනී සිටි මිනිසකුට වූ සිද්ධියක්

ලංකාවේ උසාවියකදී භික්ෂුවක් නීතිඥයකුට පහර දුන් අවස්ථාවක්. මෙම නිතිඥවරයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් ද හලන ලදී
ශිෂ්ට සමාජයක නම් විනිසුරකු වූ පළියට කිසිවෙක් සාමාන්‍ය පුරවැසියකුට වඩා වෙනස් අමුතු මිනිසකු වන්නේ නැත. ශිෂ්ට සමාජයක විනිසුරුවරයකු යනු ජනතාවට යුක්තිය පසිඳලීම සිය වගකීම කර ගත් අයෙකි. ශිෂ්ට සමාජයක අධිකරණය යනු යුක්තිය සොයන පුරවැසියන්ට උදව් කරන ආයතනයක් මිස පුරවැසියන් බිය වද්දන, ඔවුන්ගේ හඬ අවදි කරන්නට නො දෙන තැනක් නො වේ. ශිෂ්ට සමාජයක මිනිසුන් විනිසුරන්ට බිය නැත. ඇත්තේ ගෞරවයකි.

අනෙක් පැත්තෙන් ශිෂ්ට සමාජයක පුරවැසියෝ ද අධිකරණය හෑල්ලුවෙන් නො සලකති. එහි කා‍ලය වටිනා බව දනිති. තමන්ට වරදක් සිදු වී තිබේ නම් එය පෙන්වා දුන් විට තේරුම් ගනිති.

පහත පළ වන්නේ ලක්බිම‍ පුවත්පතේ වාර්තාවකි.


අනවශ්‍ය පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයේ කාලය හා මහජන මුදල් අපතේ නොයවන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බදාදා (18) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පෙත්සම්කරුවෙකුට දැඩි ලෙස අවවාද කරමින් පැවසුවේය. අගවිනිසුරුවරයා විසින් මෙසේ අවවාද කරන ලද්දේ රනිල් කුමාර් නැමැති පෙත්සම්කරුවෙකුටය.
සමහර අවස්ථාවලදී ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් විනිසුරුවරුන් විසින් ලබා දෙන තීන්දු නිවැරැදි නොවන බවත් එම පෙත්සමේ සඳහන් කර තිබුණි. මෙම නඩුවේ දී නීතිඥවරයකු වෙනුවට අධිකරණයට කරුණු දැක්වූයේ ද පෙත්සම්කරු විසිනි. නඩුව අධිකරණයේ කැඳ වූ අවස්ථාවේ අගවිනිසුරුවරයා විසින් පෙත්සමේ අන්තර්ගතය ගැන පෙත්සම්කරුට අවවාද කළේය. එ‍හෙත් එම අවවාද ගණන් නොගනිමින් තවදුරටත් පෙත්සම්කරු කරුණු ඉදිරිපත් කරන්නට විය. එවිට අගවිනිසුරුවරයා පැවසුවේ තවත් වචනයක් හෝ කතා කළහොත් අධිකරණයට අපහාස කළ චෝදනාව යටතේ රුපියල් ලක්ෂයක් දඩ ගසා තෙමසකට රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි. 
මේ ලිපිත් කියවන්න

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-19

නිනා දවුලුරි - කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි

අදාළ ලිපිය කියවන්න පහළට රූටන්න. ඊට කලින් බලන්න, මේ ලිපි කියෙව්වද?

නිනා දවුලුරි (උච්චාරනය හරිදැයි නො දනිමි) ඇමරිකානු රූ රැජින‍ ලෙස තේරීම මුලින් ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල හරහා ජාතිවාදී හා වර්ණවාදී අදහස් රැල්ලක ප්‍රචාරයට හේතු වූ මුත්, ඇමරිකානු ජනතාව හා මාධ්‍ය ඉතා කෙටි කලකින් තත්වය පාලනය කිරීමට සමත් විය.

මෙම සිද්ධිය පිළිබඳ හෆින්ටන් පෝස්ට් වෙත ලිපියක් ලියන යේල් නීති පාසලේ සහායක පීඨාධිපති ආශා රංගප්පා කියන පරිදි ඇමරිකාව විසින් තත්වය මැනැවින් පාලනය කර ගන්නා ලද මුත් ඇත්තට ම ලජ්ජාවට පත් විය යුතු ඉන්දියාව මෙහිදී ඉලක්ක නො වූ බව පෙන්වා දෙයි.  

ඇමරිකානු රූ රැජින කළු කෙල්ලකි. ඇය සත්‍ය ඉන්දීය ලක්ෂණ කැටි කර ගත් තැනැත්තියකි. ආශා රංගප්පාගේ ලිපියේ අරුත් ගැන්වෙන පරිදි ඇය වැනි කළු වර්ගයට අයත් තරුණියෝ ඉන්දියාවේදී නම් රූමතියන් ලෙසට වර්ග කෙරෙන්නේ නැත. පිරිමින් යන්නේ සුදු ගැහැනුන් පසුපස ය.කාන්තාවෝ ද සුදු වීම සඳහා විශාල වෙහෙසක් දරති. (ආශා රංගප්පාගේ ලිපිය කියවන්න

මේ තත්වය ලංකාවේ ද මෙසේ ය. කළු ගැහැනුන්ගේ සුන්දරත්වය කළු සම යට සැඟවී යන්නේ යටත් විජිත උරුමයෙන් හා පශ්චාත් යටත් විජිත සංස්කෘතික ආධිපත්‍යයෙන් අපට ලැබුණු සුදු හම වන්දනා කරන මානසිකත්වය නිසා ය. ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියට සුවිසල් බලපෑමක් කරන හින්දි ‍හා දෙමළ සිනමාව තුළ පවා සුදු හම උත්කර්ෂයට ලක් වන සංදර්භයක් තුළ ලංකාව අතරමං විය. 

ලංකාවේ ගැහැනු සාමාන්‍යයෙන් උතුරු ඉන්දීය ගැහැනුන් තරම් හෝ සම සුදු නැත. 

එක්තරා ජනමාධ්‍යයක් මේ දිනවල ලස්සන ම සුදු මුහුණ හා ලස්සන ම කළු මුහුණ තෝරන තරගයක් පවත්වයි. මේ සුදු, කළු වෙනස බෙදෙන බෙදුම් රේඛාව සොයා ගැනීම කෙ‍සේ කරනවාදැයි නො දනිමි. 

ඇත්තෙන් ම කළු කෙල්ලෝ ලස්සන ය. මට නම් මාර සෙක්සි ය. මා දහයේ පංතියේ සි‍ටියදී අටේ පංතියේ සිටි සුන්දර කළු කෙල්ලක් හා මගේ නෙත් නිතර පැටලිණි. ඇය මගේ මිතුරකු මගින් මට ආරාධනාවක් ද එව්වා ය. එහෙත්, එය ගෙන ආ මගේ මිතුරා කීවේ "හැබැයි ම්‍චං උඹලට ලැබෙන ළමයි නම් නියම තාර පීප්ප තමයි." කියා ය.

හමේ කළුකම නිසා ඒ වන විටත් පවුල තුළ හා සමාජයෙන් ලැබුණ ප්‍රතිචාර හේතුවෙන් පීඩනයට පත් වී සිටි මට වහා සිහිපත් වුණේ අපේ පාසල අසල නිවසක ජීවත් වූ පවුලකි. එහි මව (ඇය ද ලස්සන ය) හා පියා කළු අය වූ අතර දරුවෝ ද ඉතා කළු වූ හ. මිනිස්සු මේ පවුලට කපුටු පවුල යයි කී හ. මේ ලියන මට ද කළු යන විශේෂණ පදය සහිත අන්වර්ථ නම් එමට තිබිණි. 

එහෙයින් ඒ සම්බන්ධය ගො‍ඩ ‍නැගුණේ නැත. පසු කලෙක ඇයි විවාපත් වූවා ය. දැනුදු ඇය සුන්දර කාන්තාවකි. ඇගේ සැමියා එතරම් කඩවසම් පුද්ගලයකු නො වන්නට ඇත්තේ විවාහ වෙළඳපොළේ කළු සමට ඇති අඩු ඉල්ලුම නිසා වන්නට පුළුවන. (ඔවුන් අතර ‍සම්බන්ධය ඊට වඩා ගැඹුරු එකක් වන්නට පුළුවන) එහෙත් බොහෝ ලස්සන කළු ගැහැනුන්ට මෙය ම සිදු වී තිබේ.

සුදු හමට ලංකාවේ මිනිසුන් කෙතරම් වන්දනා මාන කරනවා ද යත් ශාරීරික අංග ලක්ෂණවල ලස්සනක් නැතත් හමේ වර්ණය සුදු නම් ගැහැනුන් රූප සුන්දරියන් ලෙස සැලකේ. අපේ එක්තරා නැන්දා කෙනෙකු අපේ පවුලේ ලස්සන ම ගැහැනිය ලෙස සැලකිණි. නමුත්, පසුව කල්පනා කර බලන විට, ඇය සුදු, මිටි, දත් බොල්ලෑ කාන්තාවකි. 

දැන් ලංකාවේ පිරිමින්ට ද සුදු වන්නට ක්‍රීම් වර්ග තිබේ. 

කළු ලස්සන ය කීව‍ාට මගේ බිරිඳ ද සුදු ප්‍රවර්ගයට අයත් වන්නී ය. ඒ ගැන නම් මට කරන්නට දෙයක් නැත. මම සෑහෙන්න ට්‍රයි කළ කළු කෙල්ලක් ඒ කාල‍යේ මට කැමති වුණේ ම නැත. හැබැයි ඉතින් පවුල් ජීවිතයේදී නම් ඔය කළු සුදුකම් එච්චර වැදගත් නැත. ගැහැනිය කළු වුණත්, සුදු වුණත් පවුල නම් මිනිස් නිදහස අවුරන අවුලකි. 

අලුත් ලිපියක් කියවන්න දවල් 12න් පසු නැවත එන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-18

කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලියුම් දුන් පළියට අගමැතිතුමා අස් වෙන්නේ මොකට ද?

ඉස්සර නම් කුඩු සමග කියවුන නම් වුණේ මර්වින්, දුමින්ද ආදියයි. 

දැන් පකිස්තානෙන් ගෙන්වූ කුඩු තොගය සම්බන්ධව අගමැති දි.මු. ජයරත්නගේ හා ඔහුගේ පුතාගේ නම ද සඳහන් වී තිබේ. 

එහෙත්, මේ කුඩු ජාවාරම්කරුවන් කර තිබෙන්නේ මේ බබාලාව නො මග යවා තමන්ගේ වැඩේ කර ගන්නට මාන බැලීමයි. 

නො දන්නාකමට අනේ අපේ අගමැති කාර්යාලයෙන් කුඩු කන්ටේනරය නිදහස් කරන්නැයි කියා ලියුම් පවා දී තිබේ. 

මෙවැනි සුළු දේකට අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු නැත. 

මෙම ලිපිය පළ කිරීමෙන් පසු අනුරාධ ජයරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කුමාරදාස ගිරිබාව මහතා අප අමතා පහත සඳහන් ප්‍රකාශය කළේ ය:

අනුරාධ ජයරත්න මහතා අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහු මෙතෙක් කිසිදු අවස්ථාවකදී වැරදි ක්‍රියා කිසිවකට නම සම්බන්ධ නො වූ දේශපාලක පුත්‍රයෙක්. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ගිය විට මල්වතු මහ නාහිමියන් පැවසුවේ ඔහුගේ ගුණාංග හේතුවෙන් ඔහු දේශපාලනයට එනවාට පවා තමන් අකැමැති බවයි. මහනුවර දිස්ත්‍රික්කය පුරා ම ඔහු සම්බන්ධයෙන් ප්‍රසාදයක් තිබෙනවා. මෙම පුවත පළ වීමෙන් ඇතැම් බලවේග මැතිවරණයේදී වාසි ගන්නට ඉඩ තිබෙන නිසා මෙම ප්‍රකාශයට ද කලින් පුවතට දුන් ප්‍රමුඛතාව ම ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේම, අගමැතිතුමා වැනි පුද්ගලයකුගේ අතින් මෙම පුවතේ සඳහන් ආකාරයේ විශාල වරදක් සිදු වේ යයි විශ්වාස කරන්නට බැහැ.

(පළ කළේ ප.ව. 12.38)

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ඔන්න බොලේ ශිරානි එනවා


2010, 2011, 2012 අවුරුදුවලදී ජාතික සංවර්ධන බැංකුවේ ගිනුම් තුනක වත්කම් ප්‍රකාශ නො කිරීමේ චෝදනාව මත දෝෂාභියෝගයකින් ඉවත් කරන ලද ශිරානි බංඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමේ සිද්ධිය නාට්‍යමය ජවනිකාවක් බඳු විය. 

නීතිඥවරු 100කට වැඩි පිරිසක් හා නීතිඥ සංගමයේ විධායක කමිටුව ඇය වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර තිබිණි. විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පැවසුවේ ඇය වරදකරු වුවත් ඇයට විඳින්නට සිදු වන දඬුවම වන්නේ රු. 1000ක දඩයක් පමණක් බවයි. හැබැයි ඉතින්, වරද නම් ඉතින් වරද ම ය. නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වන බව අධිකරණය අප වැනි අසරණයන්ට නම් කියයි. ඇය අධිකරණයේ විත්ති කූඩුවට ද නැග්ගා ය. ඒකත් නරක නැත. එතැන සිටින මිනිසා ගැන අධිකරණ බංකුවේ සිටින විනිසුරුවරයාට අවබෝධයක් නැත. 

කෙසේ වෙතත්, මේ සිද්ධියත් සමග ශිරානි බංඩාරනායක නැවතත් කරළියට පැමිණ ඇති බව ආණ්ඩුවට පෙනෙන්නට ඇත. ඇය පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් ඇය වීරවරියක ලෙස මතු කර දක්වන ලද බව ද පෙනේ. 

ගැහැනියකගෙන් අපල බව කියන රාජපක්ෂ පවුල් පාලනය නම් මේ ගැන එතරම් සතුටු නො වන්නට ඇත.

ලංකාවේ ජනතාව රාජපක්ෂ පාලනයට එරෙහි විකල්පයක් සොයමින් සිටින වකවානුවක මතු වන මාදුළුවාවේ සෝභිත හිමි, ශිරානි බංඩාරනායක වැනි කොයි කවුරුත් රාජපක්ෂවරුන් තුළ බිය ඇති කරන බවක් පෙනේ.  

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-17

සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක්

සුනිල් පෙරේරා ක්‍රිකට් සම්මාන උළෙලේදී ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය ගැන විවිධ අදහස් තිබේ. සුනිල් පෙරේ‍රා ගී ගයන්නේ සල්ලිවලට ය. ඔහු එක්කෝ තමන්ට මුදල් ගෙවීමට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ උවමනාව ඉෂ්ට කරන්නට ඇති බව හෝ නැතිනම් බ්‍රේක් නැති ගමනක් යන්නට ඇති බව හෝ එහෙමත් නැතිනම් හිතා මතා දෙබරෙකට ගල් ගසා දැවැන්ත ප්‍රචාරයක් බලාපොරොත්තු වන්නට ඇති බව හෝ ඇතැමෙක් පවසති. ඇතැමෙක් සුනිල් පෙරේරා ඇත්ත කතා කරන වීරයකු බව කියති. 

මා නම් සිතන්නේ සුනිල් පෙරේරා කර තිබෙන්නේ සංගීතමය කාර්යයක් පමණක් බවයි. එය අමුතු දෙයක් ද නො වේ. එය ලංකාවේත්, මේ ආසියාතික කලාපයේත්, මුළු ලෝකයේත් ප්‍රචලිත නිර්ප්‍රභූ සංගීත සම්ප්‍රදායක දිගුවකි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහළ සිට පහළ දක්වා ම දූෂිත බව ඇත්ත ය. එහි කෑල්ලක් වූ පාසල් ක්‍රිකට් සම්මේලනය සමග මම යම් ගනුදෙනුවක් කරමි. මගේ නිරීක්ෂණවලින් පෙනෙන්නේ එහි මුල් පුටු අරක්ගෙන සිටින ගුරුවරුන් හා වෙනත් අධ්‍යාපන නිලධාරීන් අතරින් ඇතැමෙක් දූෂණයට ලොල්, අශිෂ්ට, අදක්ෂයන් පිරිසක් බවයි. පාසල් ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුඩා කරන ලද ඡායා පිටපතක් විය හැකි ය.  

සුනිල් පෙරේරා ක්‍රිකට් සම්මාන උළෙලේදී ප්‍රකාශ ‍කළේ මේ තිත්ත ඇත්තයි. ඔහු ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය අලුත් එකක් නො වේ. මීට පෙර පාසල් සිසුන් කණ්ඩායමක් මෙය විරිදුවක් ආශ්‍රයෙන් කළේ ය. සුනිල් පෙරේරා කරන්නේ සිය 'ඇයි?' ගීය ආශ්‍රයෙන් අදහස් ප්‍රකාශනයක යෙදීමයි.

මෙහිදී මගේ අවධානය යොමු වන්නේ මේ ගීත කලාවටයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ස්වයං පිටුවහලේ සිටියදී මට එක්තරා දලිත් ගායකයකු හමු විය. ඔහුගේ නම මට මතක හිටියේ එහි තිබූ සිංහලට හුරුකම නිසා ය. ඔහු ඩිංග්‍රි මාමා විය. ඔහුගේ විශේෂත්වය වූයේ ඔහු වීදි ගායකයකු වීමයි. සරමක්, කමිසයක් ඇඳ ඔහු තැනින් තැන යන්නේ තරමක් ලොකු රබානක් වැනි තනි ඇසේ බෙරයක් අතින් රැගෙන ය. ඒ බෙරයට කියන්නේ තප්පු කියා ය. එය ලංකාවේ ද වතුකරයේ දෙමළ ජනයා අතර භාවිතයේ තිබිණි. තප්පුව වාදනය කරන්නේ අතින් හා ඉරටු කැබලි කීපයකිනි.

තප්පුව වාදනය කරමින් ඔහු ගී ගයයි. ඒවා බොහෝ විට නිශ්චිත තනුවකට අනුව ඒ වෙලාවේ නිර්මානය කර ගන්නා ලද ඒවා ය. ගායනයෙහි දක්ෂ දලිත් ගැහැනු පිරිසක් අත්වැල් ගායනය පිණිස ඒ වෙලාවේ ඔහුට එක් වෙයි. ඔවුන් කරන්නේ ඩිංග්‍රි විසින් ගායනා කරන ලද ගී ඛන්ඩය ම නැවත ගායනා කිරීමයි. හරියට මනමේ නාට්‍යයේ අත්වැල් ගායනය වැනි ය.   

මේ ගී විනාඩි තුනේ රාමුවක කොටු වී නැත. එසේ ම, සංගීතය ඔවුන්ට අදහස් ප්‍රකාශනයට බාධාවක් වී ද නැත. ඒ තනු සරළ ය. ඕනෑ කෙනෙකුට ඒවා ගායනා කළ හැකි ය. වාදනය ද සරළ ය. මේ ගී තනුවලට අයිතිකාරයෝ ද නැත.

මේ ලක්ෂණ ලංකාවේ ප්‍රචලිත විරිදු හා කපිරිඤ්ඤා සංගීතයේ ද නො අඩුව තිබේ. කැලිප්සෝ, බ්ලූස්, රැප් වැනි සංගීත සම්ප්‍රදායන්ගේ මුල් ද මෙවැනි ය. මේවා ‍යොදා ගැනුනේ සරළ සංගීත රසාස්වාදයක් ඔස්සේ මිනිසුන්ගේ හැඟීම්, විරෝධාකල්ප ප්‍රකාශනයටයි. 

සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගීය මේ ගී ආරට එක් කරන ලද නැවුම් නිර්මානයකි. එහි සංගීතය ද ගායනය ද සරළ ය. ගීතයේ ආකෘතිය ම නිර්මානය කර තිබෙන්නේ උත්ප්‍රාසය ඔස්සේ ය. එහෙයින් එය විරෝධාකල්ප ප්‍රකාශනයට අතිශය උච්ත ය. ලෝකෙන් උතුම් රට යයි ජාතිවාදීන් විසින් තොරොම්බල් කරනු ලබන ලංකාවේ සුලබ දූෂණ හා ගැටුම් ලංකාවේ සිදු නො වන බව හා ඒවා සිදු වන්නේ ඇමරිකාව, එංගලන්තය වැනි රටවල බව පවසමින් මතු කරන්නේ තියුණු හාස්‍යයකි. කිසිවකුට එකී අදහස් ගැන උරණ වන්නට ද බැරි ය. මන්ද, ඒවා සිදු වන්නේ ලංකාවේ නො වන නිසා ය. ‍එහෙත්, තොප්පිය හරි අය එය දා ගනිති. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොප්පිය දමාගෙන හමාර ය.

මේ විරෝධාකල්ප ගීත කලාවේ අරමුණ ම සමාජය මේ අන්දමින් අවදි කිරීම නො වේ ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-15

කොළඹ මහා පොත් පෙරළීම හා Book Seeker මෘදුකාංගය

පොත් කියවීමෙන් මිනිසුන් හොඳ අය වෙනවා ය කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඉතා හොඳ අදහස් ඇති පොත් ගැන කතා කරමින් ඉතා නරක අදහස් ඔලුවේ දරාගෙන සිටින මිනිසුන් මට සෑහෙන්න හමු වෙලා තිබෙනවා.

මම දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස විශ්වාස කරන්නේ දැනුම කියන්නේ අනුන්ට ප්‍රදර්ශනය කිරීමට තිබෙන දෙයක් නොවෙයි කියලායි. දැනුමින් අප කළ යුතුව තිබෙන්නේ අපේ චරිතය හැඩගස්වා ගැනීමයි. එහෙත් අවාසනාවට වගේ ලංකාවේ පසුගාමී සමාජයේ පෙරටුගාමීන් පවා කරන්නේ තමන් කියවූ පොත්වලින් ගසා අනුන්ගේ ඔලු පලන්න උත්සාහ කිරීමයි.

ගොඩා.........................ක් පොත් කියවන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ බුද්ධිමතුන් කියන්නේ මම මේ බ්ලොග් එකේ ලියන්නේ මගේ මූණ කැත නිසා ය කියා ය. මම කියන්නේ පොත් කියවනවා  ය, දැනුමින් හා මනෝ විද්‍යාවෙන් ද තමන් මාරෙට සන්නද්ධ ය කියන දීප්ති තුමාර ගුනරත්න වගේ කෙනෙකුට තවත් කෙනෙකුගේ මුහුණ කැත ය කියා නො කියා සිටින්න තරම් ශික්ෂණයක් ගොඩනැගී තිබිය යුතුයි. දීප්තිත් මං වගේ අනුන්ගේ මුහුණු කැතයි කියන්නට පෙර කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලනවා නම් ඔහොම කරන එකක් නැහැ. 

ඊයේ මා සමග කතා කළ සිරිමල් විජේසිංහ පළ කළ අදහසක් මගේ සිත් ගත්තා. සාහිත්‍යය ගැන කතා කරමින් ඔහු කීවේ ලංකාවේ ලේඛකයන් පොත් ලියන්නේ ස්වර්ණ පුස්තකය දිහා බලාගෙන ය කියලා.

ඇත්තෙන් ම, මේ වන විට ලංකාවේ නවකතා කලාව මෙහෙයවන්නේ ස්වර්ණ පුස්ත‍කයේ රුපියල් පන්ලක්ෂය විසින් ය කීවොත් නිවැරදියි. මාත් ශාස්තෲ කියන නමින් මගේ පළමු සහ අවසන් සිංහල නවකතාව ලිව්වා. ඒක නම් මේ ස්වර්ණ පුස්තක සඳහා සලකා බැලුවේවත් නැහැ. හේතුව මොකක් ද හිතාගන්න පුළුවන් ද?

ලොකු දෙයක් නෙමෙයි, ඒක කර්තෘ ප්‍රකාශනයක් නිසා. කර්තෘ ප්‍රකාශනයක් වුණොත්, පොතකට ස්වර්ණ පුස්තකයක් ‍වෙන්න තියා ඒ අහලකටවත් එන්න බැහැ. ස්වර්ණ පුස්තකය ගැන මහ ලොකු සංවාද පවත්වන සාහිත්‍ය විනිශ්චයකාරවරු මේ කාරණය දන්නවද දන්නේ නැහැ.

මේකත් ‍එක්තරා අන්දමක සාහිත්‍ය සුපර් ස්ටාර් තේරීමේ තරගයක්. අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ සුපර් ස්ටාර් නේ.

මම නම්, සෙනග අතරේ ‍තෙරපි, තෙරපී, දාඩිය පෙරාගෙන පොත් බලන්න ඔය කොළඹ පොත් ප්‍රදර්ශනය හතර මායිමේ පස් පාගන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ, ඒක පොඩි එවුන්ටවත් පෙන්නන්න තරම් දෙයක් කියලා.

1999දී මම තෝකියෝ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බැලුවා. එතකොට කොළඹ ජාත්‍යන්ත‍ර පොත් ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණේ නැහැ. තෝකියෝ පොත් දැක්ම තිබුණේ පොත් ප්‍රකාශකයන්ගේ වීදියක. ඒක පොත් ප්‍රකාශකයන් පිස්සුවෙන් වගේ පොත් විකුණන තැනක් නොවෙයි. අවුරුද්ද පුරා පොත් විකුණන ඔවුන් එම පොත් දැක්මේදී අවධානය යොමු කර තිබුණේ කියවීම් ප්‍රවර්ධනයටයි. එතැන තිබුණා කියවීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක්. ළමයින් සඳහා තිබුණ කියවීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ගණනාවක් ම මම දැක්කා. ඒවා හරි ම රසවත්.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය කියවීම් ප්‍රවර්ධනය කියලා දෙයක් දන්නවා ද දන්නේ නැහැ. කියවීම ප්‍රවර්ධනය කරන්න ‍හොඳ විධියක් තමයි, ලංකාවේ ප්‍රකාශයට පත් වන ඇතැම් පොත් පළ නො කර සිටීම. 

කොළඹ පොත් පොළයි අපේ මතුගම ටවුමේ ඉරිදා, බදාදා පොළයි එකයි. දෙකේ ම බාල බඩු ‍හොරට කිරන එක තමයි කරන්නේ. ඒකෙ තියෙන කියවීම් ප්‍රවර්ධනය!

මෙම මස 14 දින සිට 22වන දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සමිමන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් 'ඉතා වටිනා සුවිශේෂි මෘදුකාංගයක්' කියලා එකක් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමෙින්තූවේ සිසුන් පිරිසක් විසින් නිර්මානය කර තිබෙන බව කියමින් ඒ පිළිබඳව ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අපට ලිපියක් ලැබී තිබුණා.

'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී - සිඟාකෑම බැරි වූ තැන ලගී ගයා මර ගී' කියා කුමාරතුංග මුනිදාසයන් කීවානේ. ඒ නිසා මේ ප්‍රයත්නයන් අපි හැමෝ ම අගය කළ යුතුයි.

Book Seeker නමින් හදුන්වන මෙම මෘදුකාංගය නිර්මාණය කළ සිසුන් කණ්ඩායමේ සාමාජිකයෙකූ වන සුබෝධ චාල්ස් පවසන පරිදි "යම්කිසි කෙනෙකූට කොළඔ අන්තර්ජාතික පොත්  ප‍්‍රදර්ශනයේදී සොයා ගැනීමට අවශ්‍ය පොතක නමක් SMS එකක් ලෙස තමන්ගේ ඩයලොග් දුරකතනයෙන් අප වෙත යොමු කළ විට එම පොත පොත් ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇති පොත් ප‍්‍රකාශකයන්ගේ නම්, ඔවුන් සිටින ප‍්‍රදර්ශන කූටි අංක සහ එම කූටි පිහිටා ඇති ස්ථාන නිවැරදිවම එම පුද්ගලයාට SMS පණිවුඩයකින් ලබා දීමයි සිදුවන්නේ."

In order to use the app, first you have to register yourself. Type reg<space>isk  and send to 77115 from your Dialog mobile and get registered. Registration needs to be done only once. After getting registered, you can search for books by typing  isk<space>book name and send to 77115.

ලියාපදිංචි වූ විට මසකට රුපියල් 30ක් හා බදු කපා ගන්නවා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තිබෙන තාක් කල් ද සදහටම දන්නේ නැහැ. ලියාපදිංචිය අවලංගු කර ගන්න විධියක් දැක්වෙන්නේ නැහැ. පොත් ප්‍රදර්ශනය තිබෙන්නේ සතියයි. මාසයකට මුදල් අය කිරීම වුණත් සාධාරණ නැහැනේ. ඩයලොග් ගැටයකට අසු වුණා ද කියලාත් හිතෙනවා.

මම පොතක දෙකක විස්තර සොයා බැලුවා. ඒවා විකුණන තැන්වල තොරතුරු මගින් ලැබුණා.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-14

කබල්ලෑවා මං ආවා - මං ඉත්තෑවා

රාවණා හිටියේ රාමායනයේ ය. රාමායනයේ සඳහන් වූ ලංකාද්වීපය මේ ලංකාව ද කියා දන්නේ කවුරු ද?

මිථ්‍යා කතා ප්‍රවර්ගයට අයත් වන රාමායනයේ චරිතයක් වූ රාවණා ඇත්තට ම ජීවතුන් අතර සිටියා යයි සිතීම ඇට්ලස් නම් යෝධයා මහ පොළව උසුලාගෙන සිටින්නේ යයි සිතීම වැනි ම වූ දෙයකි.

එහෙව් රාවණා රජෙක් නිසා ලංකාවේ ඇතැම් සිංහල බෞද්ධයෝ මිථ්‍යා අතීතකාමයකින් මත් වී වර්තමානයේ ප්‍රශ්නවලට නො දන්නා අතීතයකින් විසඳුම් සොයති.

ලංකාවේ බෞද්ධ අන්තවාදය දැන් ත්‍රස්තවාදයක් වී හමාර ය. සිවුර අවිය කර ගනිමින් භීෂණය වපුරන මෙම බලවේගයේ අලුත් ම ගොදුර, ජ‍යසේකර අපොන්සුගේ 'සීතා මං ආවා' චිත්‍රපටයයි.

ජයාස්කර අ‍පොන්සු යනු කලාකරුවෙක් නො ව කලා ශිල්පියෙකි. ඔහු ‍‍කිසියම් නිෂ්පාදකයකු සොයාගෙන මේ රාවණා කතාව හදන්නට ඇත්තේ ජාතිකවාදී සිනමා රැල්ලේ එල්ලී ගානක් හොයා ගන්නට ය. රාවණා රජ්ජුරුවන්ව කිසියම් ආකාරයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සමාන කර පෙන්වා රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන, පාසල් ළමුන් ද රවටා පුරවා ගන්නට හැදූ මඩියට රාවණා බලය නම් සංවිධානය තට්ටු කර තිබේ.

දැන් ලංකාවේ සිදු වෙමින් තිබෙන්නේ අයතුල්ලා කොමේනිගේ නායකත්වයෙන් ඉරානයේ සිදු වූ ඉස්ලාමීය මූලධර්මවාදී විප්ලවය වර්ගයේ බෞද්ධ අන්තවාදී විප්ලවයකි.

මිනිසුන් බැලිය යුත්තේ කුමන චිත්‍රපට ද, මුස්ලිම් කාන්තාවන් මුහුණ හා හිස ආවරණය කළ යුතු ද නැද්ද, සිංහල ගැහැනුන් ගවුම ඇන්ද යුත්තේ කොපමණ දිගට ද, පිරිමින් රෑට සංසර්ගයේ යෙදෙන්නේ කොන්ඩම් දමලා ද, අප කෑ යුත්තේ මොන සතාගේ මස් ද ආදි බොහෝ දේ නිරීක්ෂණය කිරීමේ බලයක් දැන් මේ ත්‍රස්ත භික්ෂු බලකාය විසින් භාර ගෙන තිබේ.

මොවුන්ට නීතිය භාර දී දෑත් හකුළා ගන්නට සූදානම් පොලිසියක් ද ඇති බව බොරැල්ල පොලිසිය ක්‍රියා කර ඇති ආකාරයෙන් පෙනේ.

දැන් මෙහිදී අනතුරට පත්ව තිබෙන්නේ දෙමළෙකු, මුස්ලිම් ජාතිකයකු, වාමාංශිකයකු හෝ එන්ජීඕකාරයකු නො වේ. සාමාන්‍ය සිංහල වානිජ කලා ශිල්පීන් හා කලා ව්‍යාපාරිකයන් පිරිසකි. දැන් ඔවුහු එක්කෝ ලොකු කප්පමක් ගෙවිය යුතු ය. නැතිනම් චිත්‍රපටය හකුළා ගත යුතු ය. 

දැන් සිංහලයන්ට මාටින් නිමොලර් පියතුමාගේ කවිය ඇහැට ඇඟිල්ලෙන් අනිමින් සිටියි. සිංහලයිනි, මුන්ට තව ඉඩ දුන්නොත් ඔබේ ජීවිතය මුන් විසින් සහමුලින් ම කාලකණ්ණි කරනු ඇත.

අරගෙන යන විට උන් ඇවිදින්
සමාජවාදීන්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින්
කම්කරු නායකයින්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින්
යුදෙව් ජාතිකයන්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අන්තිමේදි උන් එනකොට
අරගෙන යන්නට මා
කවුරුත් නෑ හිටියේ මට
හිටියේ මම තනියම

මාටින් නිමොලර්ගේ කවිය මම මීට වසර කීපයකට පෙර මේ අන්දමින් ගීයක් කළා අග්නීමා සංගීත කණ්ඩායම වෙනුවෙන්. අන්තිමේදී සිංදුවක්වත් කියන්න නො ඉඳ අපි හැමෝ ම විසිරුණා නේ ද කියා හිතෙනවා.

ඉතින් තවත් මෙහෙම ඉන්නවා ද, සහෝදරයිනේ?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

දෙමළාගේ ප්‍රශ්නය බ්ලොක් කිරීම

Blog has been removed

Sorry, the blog at demalageprashnaya.blogspot.com has been removed. This address is not available for new blogs.

දෙමළාගේ ප්‍රශ්නය බ්ලොගයේ සංරක්ෂිත රූපමය පිටපතක් මෙම ලිපිනයෙන් බැලිය හැකි ය.

2013 ජුලි මස ආරම්භ කරන ලද එහි පළ වී තිබුණේ ලිපි 5ක් පමණි.

මෙම බ්ලොගයේ අරමුණ ඉහත රූපයේ පැහැදිලිව දැක්වේ. එහි පළ වූ නලින් ද සිල්වාගේ හා නිව්ටන් ගුණසිංහගේ ලිපි දුර්ලභ ඒවා ය.

මෙම බ්ලොගය බ්ලොක් කිරීම පිළිබඳව එහි සංස්කාරකවරයා අප සමග පැවසුවේ හේතුව ලෙස දක්වා තිබෙන්නේ ස්පෑම් කිරීම බවයි. ඔහු කියන පරිදි ඔහු එවැන්නක් නො කළේ ය.

එතරම් තාක්ෂණික දැනුමක් නැති වුවත්, අපට හැ‍ඟෙන ආකාරයට නම් සිදු වන්නට ඇත්තේ වෙනත් බලවේගයක් විසින් මෙම බ්ලොගය බ්ලොක් කිරීම සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන් සිදු කර, ඒ පිළිබඳව බ්ලොගර් සමාගම වෙත පැමිණිලි කිරීමයි.

එසේ කළේ ඇයි? දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳ සිංහලයන් කතා කිරීමෙ මෙවැනි ප්‍රතිචාරවලට හේතු වන්නේ ඇයි? මේ අන්දමින් අදහස් වාරණය කිරීමෙන් දෙමළාට ප්‍රශ්නයක් නැති බව තහවුරු කරන්නට පුළුවන් ද? එසේ නැතිනම් දෙමළාගේ ප්‍රශ්නයේ ගැඹුරුකම මෙයින් තවත් තහවුරු වනවා නොවේ ද?

මේ සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ප්‍රවණතාවක ආරම්භය ද?

මා ලියූ දේ එතරම් ඓතිහාසික නො වුණත්, අඩු තරමේ මට හෝ වැදගත් විය හැකි බැවින් ඒවා බැකප් කර තැබිය යුතු යයි මට සිතේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-13

සුනිලා අබේසේකර ගැන ආදර කවියක් හෙවත් දේශපාලනික ගුණ කථනයක්

ජවිපෙ විමුක්ති ගී පටිගත කිරීමක්. සුනිලා අබේසේකර, ගුණදාස කපුගේ, නිමල් පෙරෙරා, බුද්ධදාස විතානාරච්චි, තිලක් ඉද්දමල්ගොඩ, මුනිදාස ගුණසිංහ සහ ඔගී රණවීර (ඡායාරූපය අප දුටුවේ පතුල වෙබ් අඩවියේ ය)
සුනිලා අබේසේකර පිළිබඳ සටහනක් තබන්නැයි ආරාධනා කළ විට මට මතක් වූයේ සුනිලා අබේසේකර නම් ගායිකාවකි.

බඹරු ඇවිත් චිත්‍රපටයට ඇය ගැයූ 'උදුම්බරා', හංස විලක් චිත්‍රපටයට ඇය ගැයූ 'සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්' ගීතය හා සුනිල් විජේසිරිවර්ධන සමග එක්ව නිර්මානය කළ 'දෝතට ගනිමු' වැනි ගායනා කීපයකින් ඇගේ අනන්‍යතාව ඇය සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ නො මැකෙන අන්දමින් සලකුණු කළා ය.

දෙවනුව මා මතකයට පැමිණියේ ඇය ලංකාවේ සිටි වඩාත් ම ෆොටෝජෙනික් හෙවත් ඡායාරූපවල සුන්දර අන්දමින් නිරූපණය වන, නිරූපිකාවක නො වන ගැහැනියක ලෙසයි.

එහෙත්, සුනිලා සිය අනන්‍යතාව ලෙස ප්‍රවර්ධනය කළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ය යන වෘත්තිකමය අනන්‍යතාවයි. ඇය ලෝක ප්‍රකට වූයේ මේ අනන්‍යතාවෙන් බවට සැකයක් නැත. එහෙත්, අග නාගරික සමාජයට අයත් නො වන අපට ඇගේ මෙම භූමිකාව නම් බොහෝ දුරස්තර වූ එකක් වූ බව කිව යුතු ය. කොටින් ම කියනවා නම් ඇගේ ප්‍රභූ මානව හිමිකම් ක්‍රියාකාරිත්වයන් වසර තිහක පමණ නිර්ප්‍රභූ වාම දේශපාලන හා සමාජ ක්‍රියාධරයකු වූ මට ස්පර්ශ වන තැනක තිබුණේ නැත.

අපි කිසි තැනක හමු වී නැත. වතාවක්, දෙකක් පොදු උද්ඝෝෂණයකදී දකින්නට නම් ඇත. ලංකාවේ නිර්ප්‍රභූ සමාජ දේශපාලන ක්‍රියාධරයන්ගේ ලෝකය හා සුනිලා වැනි සමාජ සේවා වෘත්තිකයන්ගේ ලෝකය අතර සුවිසල් පරතරයක් ඇති බව මගේ අදහසයි. එනයින් ගත් කල ඇය වැනි වෘත්තිකයෝ ලංකාවට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමීප ය. ඇගේ වඩාත් ම වැදගත් දේශපාලන භූමිකාව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධාන‍ය හමු‍වේ මානව හිමිකම් සම්බන්ධයෙන් බලපෑම් කරන්නියක වශයෙන් ය.

ඇතැම් දෙමළ ඊලාම්වාදී වෙබ් අඩවිවල සුනිලා ගැන පළ වී තිබුණු ලිපි කියවූ මගේ මුවග සිනාවක් ඇඳිණි. සුනිලා දැඩි එල්.ටී.ටී.ඊ. විරෝධිනියක් වූ බව ඇය තමන්ගේ පැත්තේ බව පෙන්වා ගන්නට උත්සාහ කරන අය නො දනිති. ඇය කොටි සංවිධානයේ ළමා ‍සොල්දාදුවන් බඳවා ගැනීම වැනි මානව හිමිකම් උල්ලංඝනයන්ට විරුද්ධව ප්‍රබල හඬක් නැඟුවා ය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළි ගත් මුත් ඇය කොටින්ගේ මිලිටරි ඒකාධිපතිවාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී ආස්ථානයක සිටිමින් අරගළ කළ අයෙකි.  ඇය වනාහි ආණ්ඩුවටත්, කොටි සංවිධානයටත් එක ම ස්ථාවරයකින් විරෝධය දැක්වූ, එහෙත්, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරියකි. එක්සත් ජාතීන් හමුවේ කොටි සංවිධානය වෙනුවෙන් බලපෑම් කළ අය හා ඇය අතර සුවිසල් පරතරයක් තිබිණි. ඇයට කොටි ලේබල් ඇලවීම ආණ්ඩුවේ බාල ප්‍රචාරක වැඩක් පමණි. ආණ්ඩුව විසින් අලවන ලද ලේබල් නිසා ඇයව තමන්ගේ කඩවල තබා විකුණා ගන්නට හදන අය ඇය ගැන ටිකක් ගැඹුරින් විමසා බැලිය යුතු ය.

සුනිලා අයත් වන සමාජ කුලකය කොටි සංවිධානය ප්‍රශ්න කළ තවත් ආස්ථානයක් වූයේ එහි පුරුෂෝත්තමවාදී දේශපාලනයයි. ප්‍රක‍ට ස්ත්‍රීවාදිනියක වූ රාජිනී තිරාණගම ඝාතනය කොටි සංවිධානයේ කෲර දේශපාලන හැඩතල සලකුණු කළ වැදගත් සිද්ධියකි. සුනිලා උතුරේ සිටියා නම් හෝ ඇය ‍කේතීශ්වරන් ලෝගනාදන් වැනි කොළඹ කේන්ද්‍ර කර ගත් දෙමළ ජාතික බුද්ධිමතකු වුණා නම් ඇය ගැන අද ලියවෙන ඇතැම් කවි නො ලියවෙන්නට ඉඩ තිබිණි.   

මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස සුනිලා ඇතුළු ප්‍රභූ රාජ්‍ය නොවන සංවිධාන බලවේගය විසින් ලංකාවට සුවිසල් බලපෑමක් කරන ලද බව කිව යුතු ය. මානව හිමිකම්, ස්ත්‍රීවාදය, ලිංගික අයිතිවාසිකම් වැනි බටහිර මූලයන් සහිත සංකල්ප ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමෙහි ලා මේ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති විසින් සුවිසල් වැඩ කොටසක් කරන ලදී. විශේෂයෙන් ම මර්ජ් නම් වූ පුරෝගාමී සංවිධානය මෙහිදී සිහිපත් කළ යුතු ය. සුනිලා කලක් එහි සභාපතිනිය වූවා ය.

ඇය හා තවත් එවැනි බොහෝ ගණනක් වන ප්‍රභූ සමාජ සේවා වෘත්තිකයින් විසින් නව මධ්‍යම පංතික පරිභෝජනවාදී සංස්කෘතියක් ද ලංකාවේ නිර්මානය කරන ලද බව කිව යුතු ය. ඒ වනාහි අධ්‍යතන රාජ්‍ය නො වන සංවිධාන උප සංස්කෘතියයි. එය බුර්ෂුවා පංතියේ යම් යම් අංග ලක්ෂණ මෙන් ම පරිවාරයේ රටවල ධනපති පංතීන් තුළ දක්නට ලැබෙන කෑදරකම ද, පහළ මධ්‍යම පංතික පසුගාමිත්වය ද මුසු වූ සංස්කෘතියකි. මේ එන්ජීඕ සංස්කෘතිය ගැන වෙන ම ලිවිය යුතු ය. 

සුනිලා දක්ෂ ගැහැනියක වූ නමුත් ලාංකීය දේශපාලනය තුළ ඇයගේ කාර්යභාරය එතරම් බලපෑමක් සහිත එකකැයි මම නො සිතමි. එසේ වන්නට එක් හේතුවක් වන්නේ ලාංකීය එන්ජීඕ සංස්කෘතියේ සීමා ය. එම සංස්කෘතියට ගොදුරු වූ අය ප්‍රභූ වෘත්තිකයන් බවට පත් වූවා මිස දේශපාලන ක්‍රියාධරයන් වූයේ නැත. පසු කාලීනව ඔවුන් අතර එතරම් වැදගත් දේශපාලන සංවාදයක් තිබුණේ ද නැත. 

නිදසුනක් ලෙස රැඩිකල් ක්‍රියාකාරිනියක ලෙස සුනිලාගේ ක්‍රියාකාරිත්වය ඇය කෙටි කලක් සම්බන්ධව සිටි ජනතා විමුක්ති පෙරමුණට හෝ ඇය ප්‍රතිමුඛ වූ කොටි සංවිධානයට බල පා තිබේ ද යන්න විමසා බැලීමේදී මගේ නම් අදහස වන්නේ එය තිබෙන්නේ අවම තත්වයක බවයි. (ප.ලි:නන්දන මාරසිංහ ඝාතනය ජවිපෙ හා ඇ‍ගේ සමාජ කණ්ඩායම සමග සම්බන්ධය ජවිපෙ විසින් ඡේදනය කර දැමූ ආකාරය සංකේතවත් කරන සිද්ධියකි.)

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කළ කොළඹ කේන්ද්‍රීය, සිංහල දේශපාලන කණ්ඩායමක් වූ හිරු කණ්ඩාය‍මේ ක්‍රියාකාරිකයකු ව සිටි මගේ අත්දැකීම අනුව, අපට ද ඇගේ ක්‍රියාකාරිත්වයේ බලපෑමක් නො දැනිණි. අපේ සංවාද හා ක්‍රියාකාරිත්ව අවකාශ තිබුණේ සුනිලා අබේසේකරලාගේ ප්‍රභූ ක්‍රියාකාරිත්වයෙන් ඔබ්බේ ය. නිදසුනක් ලෙස, ජාතික ප්‍රශ්නය හා සම්බන්ධව හිරු කණ්ඩායම විසින් 2003දී කරන ලද වැදගත් දේශපාලන මැදිහත් වීමක් වූ සිහල දමිළ කලා උළෙල තුළ සුනිලා අබේසේකර වැනි අය අයත් වූ‍ සමාජ කුලකය කොහේවත් සිටියේ නැත.

මෙම වැඩසටහන කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීම සඳහා පැට්‍රික් ප්‍රනාන්දුත් සමග කුමාර් රූපසිංහ හමු වන්නට දෙතුන් වතාවක් ගිය අයුරු මට සිහි වේ.‍ ඒ දෙතුන් වතාවෙන් පසුව පවා මේ සල්ලි ගහෙන් ‍රුපියල් දෙතුන් දාහකට වඩා නො සෙල්වුණු බව මට මතක ය. ප්‍රභූ එන්ජීඕ දේශපාලනය හා ප්‍රායෝගික සමාජ දේශපාලන මැදිහත්වීම් අතර තිබුණු සම්බන්ධය එවැනි ය. 

සුනිලා පිළිබඳ තබන ලද මෙම සටහන ඇය ජීවතුන් අතර සිටියදී ලියුවා නම් කුමක් වේදැයි සිතුවොත්, මට නම් සිතෙන්නේ ජනරළ පත්තරයේ මෙය පළ වුණත් ඇය කිසි සේත් ම මේ පිළිබඳව දැන නො ගන්නා බවයි. ලාංකීය දේශපාලන අවකාශයත්, ප්‍රභූ එන්ජීඕ ක්‍රියාකාරිත්වයත් අතර එතරම් පරතරයක් තිබේ. එහෙත්, මෙම දේශපාලන සටහන තබන්නේ සුනිලා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්තව ය. දේශපාලන ක්‍රියාකාරිනියකගේ මරණින් මතු ගෞරව කළ හැකි එක් ආකාරයක් වන්නේ ඇගේ භූමිකාව පිළිබඳ සංවාදයක් ඇරඹීමයි.

එහෙත්, සුනිලාගේ ජීවිතයේ ගැඹුරු ම දේශපාලනය ඇය දරුවන් බොහෝ ගණනකගේ තනිකඩ මවක ලෙස රැඟූ භූමිකාව තුළ තිබෙන්නට ඇතැයි මම සිතමි. 

සුනිලා අබේසේකර සමග අප සැවොම ඉටු කර ගැනීමට අසමත් වූ ප්‍රාර්ථනාව ඇය සුනිල් විජේසිරිවර්ධන සමග එක්ව නිර්මානය කරන මේ ගීය තුළ තිබේ.

දෝතට ගනිමු 
දෝතට ගනිමු
ඉර ද හඳ ද, මහ පොළව ද
දෝතට ගනිමු

ළා හිරු එළියේ දිලිසෙන විලිකුන් ඵලයක්
නිසල රැයේ කඩා හැලෙන නිල්වන් තරුවක්
දයා දියෙන් පෙඟී ‍තිබෙන හදවත් කැටියක්
ඒ හදවත ගැන ලි‍යවෙන ආදර කවියක්

පිරුණු ලොවම ඉවත හෙළන මිනිසා වෙනුවෙන්
වෙනස් වෙන්න බලා සිටින ලොව ගැන පැතුමක්
ඒ පැතුමන් රැගෙන ගලන නිදි නැති නදියක්
දෙගොඩ තලන ඒ නදියෙන් බිහි වන දරුවෙක්

මේ ගීය ගැන ගී මිණි ආර වැඩ සටහනට මෙතැනින් සවන් දිය හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-11

ශාස්ත්‍රාලීය බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා

(මෙය ශාස්ත්‍රීය අධ්‍යයනයක් නො වන බව කරුණාවෙන් සලකන්න. මෙය සංවාදය අරමුණු කර ගත් දේශපාලන ලියවිල්ලකි) 

දීප්ති කුමාර ගුණරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර නො කෙරෙන විවාදය ආශ්‍රිතව සමාජය වෙනස් කිරීමේ දේශපාලනයේදී දේශපාලන ක්‍රියාධරයා හා ශාස්ත්‍රාලීය බුද්ධිමතා යන දෙදෙනාගේ භූමිකාවන් පිළිබඳ යම් සංවාදයක් ඇති වී තිබේ.

සමාජය වෙනස් කිරීම යනු දේශපාලන කාර්යයක් නිසා එහි මූලික වගකීම තිබෙන්නේ දේශපාලන ක්‍රියාධරයාට ය. එහෙයින් විපර්යාසයේ වැදගත් ම දායකයා වන්නේ ඔහු ය.

ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ කාර්යභාරය ඊට වඩා වෙනස් එකකි. ශාස්ත්‍රාලීය බුද්ධිමතා ශාස්ත්‍ර විද්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරමින් ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ කරයි. ඒ ඔස්සේ නිගමනවලට එළඹෙමින් මතවාද ඉදිරිපත් කරයි. ඒවා පිළිබඳ සංවාද පවත්වාගෙන යයි.

ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ බුද්ධිමය නිෂ්පාදන දේශපාලන ක්‍රියාධරයාට අතිශය  වැදගත් ය. දේශපාලන ක්‍රියාධරයා ඒවා උපයෝගී කර ගනියි. ඒවා ඔහුට/ඇයට මග පෙන්වයි. එහෙත් දේශපාලන ක්‍රියාධරයාගේ කටයුතු තීරණය වන්නේ අර‍ගල භූමියේ ඓතිහාසික, භූගෝලීය හා සමාජ ආදී සාධක මතයි. දෘෂ්ටිවාදයන් ඔහුගේ භාවිතාව තුළ පරීක්ෂාවට ලක් වේ.

දේශපාලන ක්‍රියාධරයා මත ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ ආධිපත්‍යය ධනේශ්වර දේශපාලන අවකාශයේදී ක්‍රියාත්මක වන්නේ සුමට ලෙසයි. නිදසුනක් ලෙස, ආර්ථිකය සම්බන්ධයෙන් කෙතරම් විද්වතුන් සිටියත්, ලංකාවේ ආර්ථිකය හසුරුවන්නේ මහින්ද, බැසිල්‍, ගෝඨාභය ‍බෑයන් හා පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි ඔවුන්ගේ ගජ මිතුරන් කී‍ප දෙනෙකු විසිනි. එහිදී ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ විද්‍යාත්මක ක්‍රමවේද අදාළ කර ගන්නා සීමාව දේශපාලන බලය විසින් සලකුණු කරනු ලැබේ.

එහෙත් වාමාංශික දේශපාලන අවකාශය තුළ මෑතක සිට ශාස්ත්‍රාලීය උණක් වැළ‍ඳෙමින් තිබේ. වාමාංශික නැඹුරුවක් සහිත ශාස්ත්‍රාලීය බුද්ධිමත්තු දේශපාලන අරගලය මත සිය ආධිපත්‍යය පතුරුවන්නට දරණ උත්සාහයක් නිරීක්ෂණය කළ හැකි ය.

ඔවුහු සිය ශාස්ත්‍රාලීය ශික්ෂණය නම් ගිනි අවි අමෝරාගෙන පැමිණ දේශපාලන ක්‍රියාධරයා අරගළ භූමියෙන් පළවා හරින්නට උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබේ. මෙය වහා පිටු දැකිය යුතු තත්වයකි.

මෙහිදී මූලික වරද කර ගත්තේ දේශපාලන ක්‍රියාධරයා විසිනි. ඒ සිය අනන්‍යතාව වෙනුවට ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ අනන්‍යතාව වැළඳ ගන්නට උත්සාහ කිරීමෙනි. දේශපාලන ක්‍රියාධරයා තම ක්‍රියාකාරිත්වය ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ ශාස්ත්‍ර විද්‍යාත්මක උපකරණ මත පදනම් කර ගත යුතු නැත. ඒ වෙනුවට තමන්ගේ විද්‍යාව හඳුනා ගැනීමට පර්යේෂණ පැවැත්වීමට අවස්ථාවක් ශාස්ත්‍රාලීය බුද්ධිමතාට ලබා දිය යුතු ය.

මේ සිද්ධිය දීප්ති වැනි දේශපාලන ක්‍රියාධරයන් හා නිර්මාල් රංජිත් දේවසිරි වැනි ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් අතර සිදු වූ හැටි විමසා බලමු. X කණ්ඩායම සමාජ දේශපාලන සංවාදයට මැදිහත් වන්නේ ශාස්ත්‍රාලීය ශික්ෂණය බල්ලාට දමා දේශපාලන ස්වරූපයකින් ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් ප්‍රශ්න කරමිනි. නිර්මාල් රංජිත් දේවසිරි ද සිය දේශපාලනයේ දෙවන අවධියේ දේශපාලනිකව තහවුරු වන්නේ මෙම අරගළය හරහා ය.

සුනාමි දවසේ කැඩී බිඳී යාමෙන් පසු, X කණ්ඩායම තුළ ශාස්ත්‍රාලීය ශික්ෂණයට මුල් තැන ලැබෙන්නට පටන් ගන්නේ කල්‍යා‍, මධූවන්ත වැනි දේශපාලන ක්‍රියාධරයන් වෙනුවට නිර්මාල්, ප්‍රභා වැනි ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් ද, ශාස්ත්‍රාලීය ශික්ෂණයට මුල් තැන දෙන විශාල පිරිසක් ද නව කණ්ඩායමේ ආධිපත්‍යය තහවුරු කර ගනිමිනි. හෙරිටේජ් ඉනීෂියේටිව් වැනි ව්‍යාපෘති ඔස්සේ දේශපාලන ක්‍රියාධරයා ශාස්ත්‍රාලීය ශික්ෂණයෙන් මෙල්ල කිරීමේ හා දේශපාලන ක්‍රියාධරයා ශාස්ත්‍රාලීය ශික්ෂණ විද්‍යා‍වේ නිර්ණායකවලින් ඇගයීමේ උත්සාහයක් තිබිණි. ශාස්ත්‍රාලීය බුද්ධිමතා ඉදිරියේ ක්‍රියාධරයාගේ දන නැමීම සංකේතාත්මක කළ චරිතයක් වන්නේ බාහිර උපාධි, ශාස්ත්‍රපති උපාධි ආදිය හරහා ශාස්ත්‍රාලීය බුද්ධිමතකු වන ගමන් මගක සිටි ප්‍රදීප් ය. අප දන්නා ප්‍රදීප් යනු මකලා හැදිය නො හැකි දේශපාලන ක්‍රියාධරයෙකි. වෘත්තීය වශයෙන් ඉංජිනේරුවකු වූ නිශාන්ත කුලරත්න තුළ පවා මම නම් දුටුවේ සුන්දර දේශපාලන ක්‍රියාධරයකු මිස ශාස්ත්‍රාලීය බුද්ධිමතකු නො වේ.

X කණ්ඩායම විසින් ප්‍රවර්ධනය කරන ලද ශාස්ත්‍රාලීය ශික්ෂණයේ පරමාදර්ශය නිර්මාල් වන්නට පුළුවන. ඔහු එතරම් ම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් ඇත්තෙකි. තමන් නිර්දය අන්දමින් විවේචනය කරන මිනිසුන් සමග පවා කිසිදු අහිතක් නැතිව සම්මුඛ වීමේ දුලබ මිනිස් ගුණයක් නිර්මාල් තුළ ඇත. එහෙත්, ශාස්ත්‍රාලීය ශික්ෂණය හා දේශපාලන ක්‍රියාකාරිත්වය යනු නො පෑහෙන සත්‍යයන් දෙකකැයි මම සිතමි. නිර්මාල් ප්‍රජාතාන්ත්‍රික සංවාදයකින් දීප්ති පැරදවීමට යද්දී දීප්ති කියන්නේ නිර්මාල් හෙළිදරව් කරන බවයි. හෙළිදරව් කරනවා ය යන්නෙන් ඔහු අදහස් කරන්නේ නිර්මාල්ගේ පවුල තුළ අර්බුදයක් නිර්මානය කිරීම මිස අන් කුමක් ද? එහෙත්, දේශපාලන ක්‍රියාධරයන්ගේ හැටි එහෙම ය. මා පවා සිටින තැන වන්නේ හිරු කණ්ඩායමේ ශාස්තෲන් නිරුවත් කළ යුතු ය කියන තැන ය. එය සමාව දීමේ උතුම් මානව ගුණ‍ය සමග නො පෑහෙන බව ඇත්තකි. එහෙත්, දේශපාලනයේ හැටි එහෙම ය. මම එය හරි යයි නො කියමි. 

දීප්ති ද ශාස්ත්‍රාලීය ශික්ෂණ කාමයෙන් ආසාදනය වී සිය අනන්‍යතාව නැති කර ගත්තේ ය. සැබෑ ශාස්ත්‍රාලීය ශික්ෂණයක් නැති බුවාලා ඇකඩමික් වෙන්නට යාම ඇත්තෙන් ම ජෝක් එකකි. මන්ද, එයින් වන්නේ ඇකඩමික් වීම නො ව, සිය ඇකඩමික් හීනමානය ප්‍රදර්ශනය වීමයි. මේ උණ හිරු කණ්ඩායමට ද ‍බෝ වි තිබුණු අතර, සටන්කරුවාට වඩා පොත් කියවන්නා උඩ යන්නට පටන් ගත්තේ ය. "අහවල් පොත් කියෙව්වද, කියෙව්වෙ නැතිනම් ඔයා දේශපාලනය දන්නෙ නැහැ," වැනි කියමන් මේ දේශපාලන ව්‍යාපාර තුළ නිතර ඇසෙන්නට විය. 

අනෙක් පැත්තෙන් ශාස්ත්‍රාලීය ශික්ෂණය යනු ධනේශ්වර අධ්‍යාපන දෘෂ්ටිවාදයන් මත පදනම් වූ  එකක් ය යන්න ද එය හිස් මුදුනින් වැළඳ ගත් අයට අමතක විය.

දේශපාලන ක්‍රියාධරයාට පොත් යනු තමන් කියවන බව ප්‍රදර්ශනය කරමින් අනුන් මත බලය පැතිරවීම සඳහා ඇති ආයුධයක් නො වේ. දැනුම යනු ඔහුට සිය විප්ලවීය ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා ඉවහල් වන ‍පෝෂණ මාධ්‍යයකි. 

දේශපාලන ක්‍රියාධරයා මත ආධිපත්‍යය පිහිටුවන්නට ශාස්ත්‍රාලීය බුද්ධිමතාට කිසි සේත් ම නො හැකි ය. එවැනි උත්සාහයකින් සිදු වන්නේ දේශපාලන ක්‍රියාධරයාත් ශාස්ත්‍රාලීය බුද්ධිමතාත් අතර සුවිසල් පරතරයක් නිර්මානය වීම පමණි. 

අසවල් පොත කියවා තිබේදැයි සෙසු අයගෙන් උජාරුවෙන් අසන අනුකාරක බුද්ධිමතුන්ට අනුකම්පා කළ යුතුව තිබේ. දැනුමින් මිනිසකු ලැබිය යුතු පළමු ශික්ෂණය වන්නේ දැනුම අවියක් ලෙස නො ව මෙවළමක් ලෙස භාවිතා කිරීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-09-10

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ හැමදාමත් යන ඇත්ත

අද කතන්දර පොඩි ජෝක්ස් කෑලි දෙකක් ලියලා ජෝකර් මල්ලිගේ බ්ලොග් එකත් අඳුන්වලා දීලා තිබුණා.

අද උදේ ඇ‍හැරෙන්නත් ප්‍රාකු වෙලායි ඉන්නේ. ඒත් ඉතින් පසුගිය දවස්වලත් පානචොරා වාදය හෙවත් දීප්ති - නිර්මාල් නො කෙරෙන සංවාදය ගැනයි, ලංකාවේ ආර්ථික අර්බුදය ගැනයි කට් ඇන්ඩ් පේස්ට් දෙකක් ගහපු හින්දා මොකවත් නො ලියාත් බැහැනේ. ඒ නිසා මටත් හිතුණා පොඩි ජෝක් එකක් කොරන්න. (මම මුල් පත්වීම අරන් පදවියේ ඉස්කෝලෙ වැඩ කරන කාලේ අපිත් එක්ක චමරි ගුරු නිවාසෙ හිටිය නෙලා අපෙන් අහනවා "ඒයි, උඹලා ළමයින්ට ‍ජෝක් කොරන්නෙ නැද්ද?" කියලා. "පිස්සු ද, අපි ඔය ජරා වැඩ කරන්නෙ නැහැ," යි අපි කියනවා. "අඩේ ජෝක් කොරපල්ල බං. මං නම් ජෝක් කොරනවා," කියලා එතකොට නෙලා කියනවා.)

සුනිලා අබේසේකර ගැන ලිපියක් ලියා දෙන්න කියලා, ජනරළෙන් ඉල්ලුවා. ඒක තවම බාගෙට. ලිව්වත්, දැන්ම පළ කරන එකත් හරි නැහැනේ පත්තෙරේ පිට වෙන්න කලින්. තව එකකුත් ලියන්න පටන් ගත්තා දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය ගැන සිංහල ජාතික සංවිධාන එකතුවේ අදහස ගැන. ඒක මුලින් වෙන තැනකට ඉංගිරිසියෙන් ලිය ලියා ඉන්නකොට මෙන්න බොලේ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයේත් ඒ ගැන ගියා. 

අපේ ගෙදර උන්දෑ ස්වදේශීය සේවය අහන නිසා පසුගිය දිනවල මට රු. 5000ක් අහිමි වුණා. මම නම් ගුවන් විදුලියට සවන් දෙන්නේ නැහැ. ඇහෙනවා විතරයි. පංතියේ ඉංගිරිසි පාඩම්වලදීත් මම listen සහ hear කියන ක්‍රියා පද දෙකේ වෙනස කියලා දෙන්නේ රේඩියෝව ගැන කියලායි.  ලංකාවේ ඉන්න නිවේදක පොරක් වන වසන්ත රෝහණ උන්නැහේ ඉන්න දවස්වලට ස්වදේශීය සේවයේ හොඳ සිංදු යනවා. හැබැයි, මෑන්ස් පුළුවන් ඕනැ තැනකදි ආණ්ඩුවට කහිනවා. අපේ මොකෝ අපි අහන්නේ ඒවායැ. හැබැයි, මිනිහායි හඩ්සනුයි අතර අහසට පොළව වගේ වෙනසක් තිබෙන බවත් කිව යුතුයි. ඒකෙන් හිතා ගන්න පුළුවන්නේ හඩ්සන් ගැන.

ස්වදේශීය සේවයේ ප්‍රවෘත්ති විතරක් අහන කවුරුහරි ඉන්නවා නම් ඇත්තෙන් ම මේ වන විට ඒ පුද්ගලයා සිටිය යුත්තේ මානසික රෝහලක. මොකද, ඔහුගේ හිතේ ඇඳිලා තිබිය යුත්තේ සිංගප්පූරුව වගේ දියුණු වෙච්ච, ජපානෙ වගේ සංස්කෘතික, චීනෙ වගේ සමාජවාදී, කියුබාව වගේ ඇමරිකන් විරෝධී, පලස්තීනෙ වගේ අසාධාරණයට ලක් වුණ, ඊශ්‍රායලය වගේ චණ්ඩි, ස්විට්සර්ලන්තෙ වගේ ප්‍රජාචන්ත්‍රවාදී, ඩෙන්මාර්කය වගේ සමෘද්ධිමත් රටක් නේ.

හැබැයි කොච්චර බොරු කිව්වත්, ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තිවල හැමදාමත් එක ඇත්තක් නම් කියනවා කියනවාමයි. අනුමාන කරන්න පුළුවන් ද? කල්පනා කර කර යන්නකො පහළට.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com