2013-10-31

උන්ට චොගම් - අපට හුළං

චොගම් ආණ්ඩුවේ ඇම්බැට්ටයන්ට හොඳ හොද්දක් වී ඇති බව පෙනේ. 

‍මේ දිනවල කතා කෙරෙන ආකාරයට චොගම්හි අති සාමාන්‍ය වූ වෙබ් අඩවිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සමාගමකට රු. මිලියන 15ක් ගෙවා තිබේ.

චොගම් ආරම්භක උළෙලේ සංගීතමය වැඩසටහන වෙනුවෙන් භාතිය සන්තුෂ්ලාට රු. මිලියන 10ක් ගෙවා තිබේ. 

මේ කොන්ත්‍රාත්තු ලබා දුන් අය ඒ වෙනුවෙන් සෑහෙන කොමිස් මුදලක් ලබා ගන්නා බව අනුමාන කළ හැකි ය.

හෝටල් කාමර, ප්‍රවාහන සේවා වැනි මෙකී නොකී හැම දෙයකින් ම පාහේ ආණ්ඩුවේ ඇම්බැට්ටයන් හොඳට ගරන බව පෙ‍නේ. 

එසේ සිදු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව කොළඹ පැවැත්වීම  ම හේතු කරගෙන අර්බුදයක් මතු වී, එහි ප්‍රධාන අනුග්‍රාහකයන් දෙදෙනෙකු වන කැනඩාව හා එක්සත් රාජධානිය සිය මුල්‍ය දායකත්වයන් ඉවත් කර ගන්නා බව නිවේදනය කර තිබියදී ය.

මේ යන ආකාරයෙන් පෙනෙන්නේ පශ්චාත් චොගම් යුගය තව තව පටි තද කර ගන්නට සිදු වන අලුත් අලුත් බදු එන සමයක් වනු ඇති බවයි. සූදානමින් ඉන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

සුදු වෑන් කතාවලට වගකිව යුත්තේ එක්කෙනා දෙන්නා ද?

ලීනා මනිමේකලෙයි (දකුණේ)
ලංකාවේ වෑන්වලින් වැඩි හරියක් සුදු පාට ය.

ආරක්ෂක අංශවලට සම්බන්ධ නිල නො වන ඝාතක කල්ලි විසින් සුදු වෑන් ම තෝරා ගන්නට ඇත්තේ සාක්කිකරුවන්ට ඒවා මතක තබා ගැනීම පහසු නො වන නිසා විය හැකි ය.අනෙක් පැත්තෙන් ඒවා ජීප් මෙන් ආරක්ෂක අංශ හා දේශපාලනඥයන් විසින් වැඩිපුර භාවිතා කරන වාහන විශේෂයක් නො වේ. ඒවායේ කාර්වලට වඩා ඉඩකඩ තිබේ. විශේෂයෙන් ම පුද්ගලයෙකු හා අවි ආයුධ සඟවා ගෙන යන්නට ඒවායේ ඉඩකඩ ප්‍රමාණවත් ය. ඕනෑවට වැඩිත් නැත.

‍සුදු වෑන් ලංකාවේ පැහැරගෙන යාමේ, නීති විරෝධී අන්දමින් මරා දැමීමේ හා අතුරුදහන් කිරීමේ ක්‍රියාවලියේ සංකේතය බවට පත් වුණේ මාධ්‍ය ප්‍රබන්ධ නිසා ය.

කෙසේ වෙතත්, මේ දවස්වල සුදු වෑන් සංස්කෘතියේ පසුබෑමක් තිබේ. සුදු වෑන් හා තවත් දේ ඔස්සේ නිර්මානය කරන ලද භීෂණය හා ප්‍රෝඩාව මගින් මේ වන විට සමාජය නිර්වින්දනය කර හමාර ය.

ඒත්, පාක් කර තිබෙන මේ සුදු වෑන් ඕනෑ ම මොහොතක එළියට එන්නට පුළුවන් ආකාරයේ පසුගාමිත්වයක් ලාංකීය සමාජයේ තිබේ.

ඒ නිසා කවුරු කවුරුත් පරිස්සම් විය යුතු ය.

හැබැයි, සුදු වෑන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, යුද අපරාධ, සංහාර, මානව වර්ගයාට එරෙහි අපරාධ ආදිය පිළිබඳ කතා වළක්වන්නට නම් ආණ්ඩුවට බැරි වනු ඇත. මේ නෙළා ගනිමින් සිටින්නේ වැපිරූ දේවල අස්වනු ය. එහෙත් මෙහි එක් ගැටලුවක් තිබේ. සුදු වෑන් සංස්කෘතියේ වගකීම භාර ගත යුත්තේ එක් අයෙකු දෙදෙනෙකු පමණ ද? එයට අනුග්‍රහය දැක්වූ, අනුමත කළ සමාජය දැන් කොහි ද?

අලුත් ම එක ලීනා මනිමේකලෙයිගේ සුදු වෑන් කතා ය. එය නුදුරේදී ම ජාත්‍යන්තර වශයෙන් එළි දැකීමට නියමිත ය. 

ලීනා මනිමේකලෙයි චෙන්නෙයිහි සිනමාකාරියකි. කිවිඳියකි. ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියකි.





 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-30

වෘත්තීය සමිති ව්‍යාපාරය හෙවත් බිස්නස් එක

වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරය දෙස බැලුවා ම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් තිබෙනවා.
  1. වෘත්තීය සමිති හා ‍දේශපාලනය අතර ලොකු සම්බන්ධයක් නැහැ. වෘත්තීය සමිති දේශපාලන මැදිහත්වීම්වලට වඩා අවධානය යොමු කර තිබන්නේ වෘත්තීය ඉල්ලීම්වලට විතරයි.
  2. වෘත්තීය සමිති හා සාමාජිකයන් අතරත් ලොකු බැඳීමක් නැහැ. සාමාජිකයෝ වෘත්තීය සමිති කටයුතුවලට එතරම් සම්බන්ධ වන්නේ නැහැ. යම් යම් අවස්ථානුකූලව ඔවුන් වෘත්තීය සමිතියේ නායකත්වය යටතේ කටයුතු කළත්, ප්‍රශ්නය යටපත් වූ පසු ඔවුහු වෘත්තීය සමිතිය අතහැර දමනවා. 
  3. සාමාජිකයෝ වෘත්තීය සමිතිවලට පිටින් සිය ප්‍රශ්න සඳහා විසඳුම් සොයනවා.රාජ්‍ය අංශයේ නම්, මේ සඳහා දේශපාලනය බහුලව භාවිතා වෙනවා.
  4. වෘත්තීය සමිති නායකත්වය අත් පත් කරගෙන ඉන්න අය සිය තනතුරු බලය සඳහා උපයෝගී කර ගන්නවා.සමහරු දේශපාලකයන්ගෙන් වාසි ප්‍රයෝජන ගන්නවා. තවත් සමහරු රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලින් මුදල් උපයනවා.
  5. මේ හේතු නිසා මොවුන් නායකත්වය අතහරින්න අකැමැතියි. ඒ නිසා තනතුරුවල එල්ලී සිටින්නට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ගවල යෙදෙනවා. 
  6. වෘත්තීය සමිතිවල කටයුතු මේ වන විට ප්‍රධාන වශයෙන් ම සිදු වන්නේ ජනමාධ්‍ය නිවේදන හරහායි. සමිති නායකත්වය හා සාමාජිකත්වය අතර සන්නිවේදනය අවමයි.
මේ වන විට වෘත්තීය සමිති කියන්නේ ව්‍යාපාරයක්. සාමාජික මුදල් සූරා කන තවත් ධනපති සමාගමක්. එය ව්‍යූහය අතින් සමාන වන්නේ රජයට. සාමාජිකයන්ගෙන් සූරා කන මුදල් මේ අය විවිධ කූට ක්‍රමවලින් තමන් අතර බෙදාගෙන සමාගමේ ගිනුම සමතුලනය කරනවා. බැලූ බැල්මට ලාභ හෝ පාඩු හෝ නැහැ. 

සමිති නිලධාරීහු අන්ත දූෂිතයි. ඒ නිසා ඔවුන් රැකවරණය බලාපොරොත්තුවෙන් ආණ්ඩුව සමග සම්බන්ධ වෙනවා. ඉන් පසුව ඔවුන්ට සිදු වෙනවා, ආණ්ඩුවේ උවමනාවන් ඉටු කරන්න. අද වන විට වෘත්තීය අයිතිවාසිකම් සීමා කර තැබීමේ කාර්යය ආණ්ඩුව වෙනුවෙන් කරන්නේ මේ වෘත්තීය සමිති විසින්මයි. සාමාජිකයන් රවටන්නේ ආණ්ඩුව නොවෙයි. ආණ්ඩුව වෙනුවෙන් වෘත්තීය සමිති නායකයෝ මේ කාර්යය භාර ගෙන තිබෙනවා.

ආණ්ඩුව මේ සමිතිවලට පූර්ණ අනුග්‍රහය දක්වනවා. අද හුඟක් වෘත්තීය සමිතිවල විලාසිතාව තමයි, තමන්ගේ සම්මේලනයේ ප්‍රධාන අමුත්තා ලෙස අදාළ ඇමතිවරයා සහභාගි කර ගැනීම. ආණ්ඩුව වෙනුවෙන් මේ සමිති කරන සේවාව වෙනුවෙන් ආණ්ඩුව ඔවුන්ගේ සාමාජිකත්වය වැඩි කර ගැනීම සඳහා අනුග්‍රහය පිරිනමනවා. මෙහි යම් බලහත්කාරයකුත් තිබෙනවා. සමිතිවලට රැවටෙන සාමාජිකයන්ගේ සල්ලි ටික සමිති නායකයෝ පිල්ලි ගහනවා.

මේ අලුත් වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිර්මාතෘවරයෙක් තමයි බාලා තම්පෝ. මේ බව සඳහන් කළ යුතුව තිබෙන්නේ සමහර තැන්වල ඔහු මහා වාමාංශික නායකයෙකු ලෙස හැඳින්වෙන නිසායි. ඇත්තෙන් ම ඔහු වෘත්තීය සමිති වානිජකරණය කළ නියමුවෙක්. ඔහු සම්බන්ධ වුණේ පෞද්ගලික අංශය සමග නිසා එහි ලොකු දූෂණයකින් තොරව හාම්පුතුන් සමග සාමූහික ගිවිසුම් හරහා මේ ව්‍යාපාරය ගජරාමෙට කෙරීගෙන යනවා. තම්පෝගේ විශ්‍රාම ගැනීමක් නැහැ. ඔහු තමයි ලංකා වෙළඳ සේවක සංගමයේ යාවජීව නායකයා.

තොන්ඩමන් පවුලේ ව්‍යාපාරයක් වන ලංකා වතු කම්කරු කොංග්‍රසය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දූෂිත නායකත්වය  ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලනය භාවිතා කිරීම ආරම්භ කළ පෞද්ගලික අංශයේ නියමුවා. 

රාජ්‍ය බලය වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහා උපයෝගී කර ගත් ප්‍රමුඛයන් අතර පැරණි වාමාංශික පක්ෂත් වෙනවා. ඒ අතරින් කොමියුනිස්ට් පක්ෂයට විශේෂ අපකීර්තියක් හිමි වෙනවා. පිටරට සල්ලි ලබා ගන්නා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය යොදා ගැනීම පිළිබඳව. රුසියානු සල්ලි වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂය විසින් කරන ලද වෘත්තීය සමිති ව්‍යාපෘති තමයි, ලංකාවේ වෘත්තීය සමිති රාජ්‍ය නොවන ව්‍යාපෘති බවට පත් වීමේ ආරම්භය. 

අද වන විට ඇතැම් වෘත්තීය සමිති නාමිකව සිය ලියාපදිංචිය කම්කරු කොමසාරිස්වරයා යටතේ තබා ගනිමින් විදෙස් රටවලින් ලැබෙන අරමුදල්වලින් ව්‍යාපෘති කරනවා. 

රාජ්‍ය අංශයේ ශක්තිමත් වෘත්තීය සමිති බිස්නස් අතර ඉදිරියෙන් ම තිබෙන ඒවා තමයි, ලංකා බැංකු සේවක සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ඒවා. 

රාජ්‍ය සේවයේ වෘත්තීය ශ්‍රේණියක් වැඩවසම් භික්ෂු නායකත්වයක් යටතට අරගෙන පවත්වාගෙන යන අධික ලාභ ලබන සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් තමයි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය. 

ජනතා විමුක්ති පෙරමුණත් තමන්ගේ අරමුදල ශක්තිමත් කර ගැනීම පිණිස වෘත්තීය සමිති ව්‍යාපාරයක යෙදී සිටිනවා. ඔවුන්ට පුංචි, පුංචි සමිති රැසක හිමිකාරිත්වය තිබෙනවා. සංවිධානමය වශයෙන් තිබෙන බලය ඔවුහු සිය ව්‍යාපාරය පවත්වාගෙන යන්නට උපයෝගී කර ගන්නවා. විදුලි බිලට එරෙහි උද්ඝෝෂණ දිය කර හැරීම සඳහා අසංවිධිත, අසාර්ථක වර්ජනයක් දියත් කරමින් ඔවුන් කටයුතු කළ ආකාරය අනුව පෙනී යන්නේ ඔවුන් එවැනි කොන්ත්‍රාත් ගන්නවා වෙන්නත් පුළුවන් කියලායි.

රජයේත්, එක්සත් ජාතික පක්ෂයේත් වෘත්තීය සමිති කියන්නේ දේශපාලනය වෙනුවෙන් ම අටවා ගත් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නමට පමණක් පෙනී සිටින සංවිධාන විශේෂයක්. ඒවා අවශ්‍ය වන්නේ නායකයන්ට දේශපාලන වශයෙන් බලවත් වෙන්නට විතරයි.

සමහර වෘත්තීය සමිති නායකයන්ට සාමාජිකයෝ නැහැ. මා දන්නා එක් නායකයෙක් සමිති සම්මේලනයක අයිතිකාරයෙක්. ඔහු මේ සම්මේලනය අයිති කර ගත් ආකාරය රසවත්. කිසියම් පොදු ප්‍රශ්නයකදී වෘත්තීය සමිති ටිකක් එකතු කරගෙන සම්මේලනයක් පිහිටුවා ගත් ඔහු එය ලියාපදිංචි කර ගත්තා. දැන් ඔහු සම්මේලන නායකයෙක්. සමිතියේ සාමාජිකයන් නැති නිසා සාමාජික මුදල් නැහැ. හැබැයි මිනිහා පූර්ණ කාලීනව නිදහස් වෙලා තමන්ගේ වැඩක් කරගෙන වැඩ නො කර පඩියත් ගන්නවා. වෘත්තීය සමිති සාමාජික සංඛ්‍යාව අනුව නායකයන් කීප දෙනෙකුට සමිති වැඩ කටයුතු වෙනුවෙන් නිදහස් වෙන්න තිබෙන අයිතියත් සමහරු දූෂණය සඳහා යොදා ගන්නවා. 

අද වන විට වෘත්තීය සමිති කියන්නේ නෝබොඩීස්වරුන්ට සම්බොඩීස් වෙන්නත්, සල්ලි ටිකක් හම්බ කර ගන්නත් භාවිතා කරන බිස්නස් එකක් වෙලා. 

හැබැයි මේ තත්වය සමස්තයක් ලෙස ම සමාජයට බලපාන කාරණයක් වෙලා. එක පැත්තකින්, වෘත්තීය සමිති බිස්නස් එකේ තිබෙන දූෂිතකම නිසා වෘත්තික ශ්‍රේණි ඒවායින් ඈත් වෙනවා. එතකොට ඔවුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ක්‍රමයක් නැහැ. අයිතිවාසිකම් අහිමි වීම නිසා අතෘප්තියට පත් වන වැඩ කරන ජනතාව සිය අසහනය පිට කරන්නේ වැඩ නො කර සිටීමෙන් හා වැඩ ඵලදායිතාව පහත හෙළීමෙන්. අද වන විට රාජ්‍ය ‍‍සේවයේ තිබෙන තත්වය මෙයයි. 

ඵලදායිතාව අඩු වන විට ආණ්ඩුව කරන්නේ තව තවත් සේවකයන්ගෙන් කන්තෝරු පුරවන එක. ඔවුන් වැඩ කරන්නේත් අඩුවෙන්. අවසානයේදී මේ බර බර දරා ගන්නට සිදු වන්නේ බදු ගෙවන ජනතාවටයි. 

පෞද්ගලික අංශයේ ආයතනවල අමුතු සංවර්ධනයක් දකින්න ලැබෙනවා. සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති හැදීමත් සිදු වන්නේ හාම්පුතුන්ගේ මැදිහත් වීමෙන්. සමහර සමිතිවල සභාපතිවරුත් හාම්පුත්තුමයි. 

සමාජය තුළ ‍සිදු වූ මේ වෙනස්කම් ග්‍රහණය කර නො ගෙන තවමත් පැරණි ආකාරයට ම වැඩ කරන ජනතාව සංවිධානය කරන්න පුළුවන් ය කියන ෆැන්ටසියක වාමාංශිකයෝ ජීවත් වෙනවා. පව්!

හැබැයි, වැඩ කරන මිනිස්සු ඔවුන්ගේ විමුක්ති දායකයන්ට වඩා ප්‍රායෝගිකයි. සීමාන්තික සූරාකෑම මැද පවා ඔවුන් කෙසේ හෝ නො නැසී පවතින්න ක්‍රමවේද නිර්මානය කර ගන්නවා. 

නිදසුනක් ලෙස, ලෝක කම්කරු දිනය බිහි වන්න හේතු වුණ පැය අටේ වැඩ දිනය කියන දෙයට අද වෙලා තිබෙන දේ බලන්න. දැන් වැඩ කරන මිනිස්සු සිය විවේකය, විනෝදය අතහැරලා ඒ කාලයත් වැඩ කරන ක්‍රම තමයි, සොයන්නේ. වැටුප් දිනා ගන්නවාට වඩා මිනිස්සු අරගල කරන්නේ අතිකාල දීමනා ආදිය වෙනුවෙන්. නැතිනම්, පෞද්ගලිකව වෙනත් කටයුතුවල යෙදීමේ නිදහස වෙනුවෙන්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-28

ගෝඨාභය හා බැසිල් ආපසු ආ හ. සෝමවංශ අමරසිංහගේ පුතා එහි පැළ වුණේ ය

අප විසින් කලින් ලියන ලද ලිපිය ( කියවන්න:ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද?) අපේ ඇතැම් විදෙස් මිතුරන්ගේ හිත් අමනාපයට හේතු වී ඇති බව පෙනේ. එබැවින් එම මාතෘකාව පිළිබඳව වැඩිදුර කතා කිරීමට සිතුවෙමි. ඇතැමෙක් එය ගත්තේ තමන් කාලා ඇඳලා ඉන්නවාට ඇති ඉරිසියාව නිසා ලියූ කුහක ලිපියක් ය කියා ය. මගේ ලිපිය රැකියා සඳහා විදේශගත වූවන්ට අදාළ වන්නේ නැත. ඔවුහු ඇත්තෙන්ම මේ රටේ ජීවනාලියයි. අපේ රටේ ආර්ථිකය දරා සිටින ප්‍රධාන කුළුණ ඔවුහු ය. මා මේ කතා කරන්නේ ජාතිය වෙනස් කිරීම ගැනයි.

මගේ මූලික තර්කය වන්නේ අලුත් දෙයක් නොව, බුද්ධි ගලනය අපේ සමාජයේ උන්නතියට බරපතල බාධාවක් බවයි. බුද්ධි ගලනය ගෝලීයකරණයේ වර්ධනයත් සමග තීව්‍ර වී තිබේ. 

කොටින් ම, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින පසුගාමී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල ජීවත් වන මිනිසුන්ගේ මූලික පරමාදර්ශයක් වන්නේ කිසියම් දිනෙක තමන්ගේ පරම්පරාව ස්ථිරව රට හැර ගොස් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගැනීමයි. ඔවුන්ගේ දේශප්‍රේමයේ සීමාව ද්විත්ව පුරවැසිකමයි.

මේ ද්විත්ව පුරවැසියන්ගේ පළමු පරම්පරාව ඇත්තෙන් ම රටේ පැවැත්මට ගැටලුවකි. මේ මොහොතේ එය දෙමළ සමාජයට තදින් දැනෙමින් තිබේ. විමුක්ති කොටින්ගෙන් පසු ලංකාවේ ජාතින් අතර සංහිඳියාව හා නව දේශපාලන ප්‍රජා අනන්‍යතාවන් වෙත සංවර්ධනය වීම කෙරෙහි ඩයස්පෝරාවේ ජාතිවාදී දේශපාලනය විසින් ඇති කරනු ලබන්නේ දැවැන්ත බලපෑමකි. 

ඩයස්පෝරා දේශපාලනයේ ජාතිවාදය පෝෂණය කිරීම කෙරෙහි වැඩිපුර බලපාන්නේ සංක්‍රමණිකයන්ගේ ක්ෂතිමය අත්දැකීම් මිස ලංකාවේ භෞතික යථාර්ථයන් නො වේ. 

මිනිසුන් ලංකාවෙන් පිටට සංක්‍රමණය වන්නේ ලංකාවේ සමාජ ක්‍රමයේ ඇති ගැටලු නිසා බව ඇත්ත ය. එහෙත්, ඒ සඳහා බලපාන්නේ ඍජු දේශපාලනික ගැටලුවලට වඩා ආර්ථික හේතු ය. ආර්ථික හේතු ය කියන්නේ ලංකාවේ ජීවත් වීමට මාර්ග නැතිකම නො වේ. මෙහි තිබෙන්නේ ඇමරිකානු මාදිලියේ සීමාන්තික පරිභෝජනයට හා සුඛ විහරණයට ඇති ආසාවන් හඹා යාමකි. 

ඔවුන් කොළ පාට තණ බිම් සොයා යන බටහිර සමාජයේ ඇති වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවල ආභාසය ඔවුන් ලංකාවට ගෙන එනවා නම් එහි නරකක් නැත. එහෙත් සිදු වන්නේ තමන්ට අහිමි වූ සමාජ පිළිගැනීම, හුදකලාව, අධික වැඩ හා අතෘප්තිය හේතුවෙන් ඔවුන් නැවතත් ලංකාව දෙස බලාගෙන විරවන්නට පටන් ගැනීමයි. ඔවුහු ඒ සමාජයන් හා බද්ධ වීමට දරණ උත්සාහයට වඩා වැඩි උත්සාහයක් අන්තර්ජාලයෙන් ලංකාව දෙස බලාගෙන හූල්ලන්නට දරති.මේ කාංසාව විසින් ඔවුන්ටත්, නව ජීවිතයට හැඩ ගැසෙමින් සිටින ඔවුන්ගේ ඊළඟ පරම්පරාවටත් පමණක් නොව මව් රටට ද ඇති කරන්නේ අහිතකර බලපෑමකි. 

ඔවුන් මව්රටට ආදරය කරන්නේ සිය පිටරට ජීවිතයේ වරදකාරිත්වය වසා ගන්නට හා එහිදී තමන්ට අහිමි වූ සමාජ පිළිගැනීම මෙරටින් ලබා ගන්නට ය. 

මෙය ලංකාවේ ජීවත් වීම තෝරා ගැනීමට සිදු වී තිබෙන මිනිසුන්ගේ ජීවිතවලට කරන්නේ අහිතකර බලපෑමකි. විදෙස් රටක පදිංචියට අවශ්‍ය තත්වය ගොඩනඟා ගැනීම ජීවන පරමාදර්ශයක් වූ මිනිසුන් සිටින සමාජයකින් තමන් ජීවත් වන සමාජයට ආදරය කරන මිනිසුන් බිහි වේ ද? ඔවුන් මේ රටේ තත්වයන් වෙනස් කිරීමට දායක වෙනවා ද? 

මම මෙය මගේ සමාජ ක්‍රියාකාරී මිතුරන් වෙතින් නිරීක්ෂණය කර ඇත්තෙමි. ඉතා හොඳ සමාජ ක්‍රියාකාරිකයෝ පවා විදෙස්ගත වීමේ සිහිනය හිසට ගැසූ කල බොහෝ දුරට නිෂ්ක්‍රීය වූ හ. මෙහි එපා කරවනසුළු ජීවිතය හමුවේ රටින් පළා යාම පිළිබඳව මෙම ලේඛකයා ද කල්පනා කර ඇති වාර ගණන අධික ය. 

ලංකාවේ වාමාංශික ව්‍යාපාර විනාශ වීමට මේ බුද්ධි ගලනය දැඩි ලෙස බලපෑවේ ය. අප කලින් ලිිපියේ දක්වන ලද උදාහරණයකින් ම පෙන්වා දෙනවා නම් කුමාර් ගුනරත්නම්ගේ සංක්‍රමණය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරි ගමනට දැඩි ලෙස බල පා තිබේ. මේ සංක්‍රමණය සාධාරණීකරණය කරන්නට මර්දනය පිළිබඳ කාරණා ගෙන හැර පෑව ද ඒවා ව්‍යාජ ය. එතැන තිබුණේ ඔහුගේ පවුලේ ධනවාදී උන්නතිකාමී උවමනාවන් මිස අනෙකක් නො ‍වේ. 

මේ වනාහි සමාජවාදීන්ගේ ඉදිරියේ ඇති තීරණාත්මක අභියෝගයකි. මම මේ අභියෝගය ගන්නේ මා මේ රටේ රැඳිය යුතු ද නැතිනම් යා යුතු ද යන තැනිනි. මට ඉන්නට නො දෙන තත්වයක් පාලකයන් හදනවා නම් මට යන්නට සිදු වන බව ඇත්තකි. එහෙත්, යන්නට තිබෙන උවමනාව නිසා තත්වයන් නිර්මානය කරගෙන ඉන්පසු ඒ වරදකාරිත්වය වසා ගන්නට විකාර කිරීමේ කුහකකම අප විසින් අත්හළ යුතුව තිබේ. මේ කුහකත්වය ගැන උදාහරණ ඕනෑ තරම් දැක්විය හැකි ය. නො දක්වන්නේ ඒවා ඒ තරම් ම පිළිකුල් බැවිනි.

මෙය දේශපාලනික වශයෙන් පිටුදැකිය යුතු ප්‍රවණතාවක් බව මා කියන්නේ එහෙයිනි. අපේ රටේ මිනිසුන් මේ දූපතින් එහා පැත්තේ ලෝකය බලන්නට යා යුතු බව නම් ඇත්ත ය. එහෙත්, අප මෙතැනින් පළා යාම ජීවන පරමාදර්ශයක් කර ගතහොත් සිදු වන්නේ අප අයත් සමාජය තව තවත් අගතියට තල්ලු වීමයි. 

ගිය අය හූල්ලා පළක් නැත. එක්කෝ ආපසු එනු! නැතිනම්, ගිය තැන පැළ වෙනු!

ධනවාදී ගෝඨාභය හා බැසිල් ආපසු ආ හ. සෝමවංශ අමරසිංහගේ පුතා එහි පැළ වුණේ ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-27

ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද?

අද මං ටිකක් මගේ ජීවිතය ගැන කතා කරනවා. එහෙම කතා කරන්නේ පම්පෝරියකට නොවෙයි. හේතුවක් ඇතිවයි.

සෙනසුරාදා මට හරි ම කාර්ය බහුල දවසක්. ඉරිදා නිකුත් වන ඉංග්‍රීසි පත්තරයකට අවශ්‍ය පරිවර්තන වැඩ යෙදෙන්නේ එදාට. කලින් දවසේ කිසියම් වයිරස් ප්‍රහාරයක් නිසා සිංහල අඩපණ වී තිබුණ නිසා බ්ලොගය යාවත්කාලීන කරන්නත් බැරි වුණා. වැඩ කරමින් ඉන්න අතරමගදී තමයි පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෙඩ දෙන්න ගත්තේ. අන්තිමේදී වැඩ ටික ඉවර කළේ කැෆේ එකකදීයි. අපේ මරුති කාර් කට්ටේ බැටරිය බිංදුවට ම බැහැලා. ඒ නිසා කොම්පියුටරෙත් පස්සෙන් දාගෙන පල්ලමේ තල්ලුවක් දාලා පණ ගන්වාගෙන මුලින් ම ගියේ කාරයට අලුත් බැටරියක් දාගන්න. ඉන් පසුව ගිහින් පරිගණකය ෆෝමැට් කර ගත්තා. ගෙදර කරනවාට වඩා ඉක්මණින්, හොඳට වැඩේ කෙරුණා. රුපියල් හාරසිය පණහයි ගත්තේ.

කාර් එකේ ටයර්වල කම්බි කැඩිලා. කැන්වස් මතු වෙලා. කලින් ඉස්සරහා ටයර් එකක් දාලා අනෙක් පැත්තට අමතර රෝදය දැම්මා. පස්සටත් ටයර් දෙකක් දාගත්තා. ගෙඩි රුපියල් ම විසිදාහක් විතර වියදම් එක දවසින්. ටයර් කඩේ මුදලාලි කිව්වා, නැන්කැන් කියලා රට ටයර් එකක් දාගන්න කියලා. රුපියල් අටසීයක් විතර මිළ වැඩියි. මම ඇහුවා, ඒකෙ හොඳ මොකක් ද කියලා. ඒක දැම්මා ම ටිකක් සැපයිලු. මරුති අටසීයේ මොන සැප ද මෙයා? කාර් එකේ ලීසිං එක ඉවර වුණාට පස්සෙ යාලුවෝ නෑයෝ එහෙම කිව්වා අලුත් එකක ගත්තා නම් හොඳ නැද්ද කියලා. මට ණය වෙන්න කම්මැලියි. අනෙක සමාජ තත්වය පෙන්නන්න භාණ්ඩ යොදා ගැනීම වෙනුවට ම කරන්නේ ජීවිතය පහසු කර ගන්න අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ පරිහරණය කිරීමයි.

අපි කාරෙක පාවිච්චි කරන්නේ වැහි දවසට හා ඉඳහිට දුර ගමනක් යන්න විතරයිනේ. ඔය දියුණු රටවල්වල සමහර පැතිවලත් පොදු ප්‍රවාහන සේවා නැහැනේ. අපේ ගෙවල් පාරෙත් එහෙමයි. ගොඩක් දියුණු නිසා පොදු ප්‍රවාහන සේවය දුර්වලයි. කාර් එක හා බජාජ් ප්ලැටිනා මෝටර් සයිකලේට පිං සිදු වෙන්න ජීවිත කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ඉතිරියි. නැතිනම් පයින් යන ගානට මතුගම ඉඳන් හොරණ යන බස්වලට වෛර කරන්න ඕනැ. මතුගම පැත්තට යන බස් එන්නේ දෙක දෙක, අධිවේගයෙන්. ඒ කියන්නේ ඉස්සර වෙලා හොරණින් එන ප්‍රයිවෙට් බස්කාරයා නෑබඩට විතර එනකල් කොටනවා. ඔය අතරෙ පස්සෙ එන ලංගම බසයත් එනවා. ඉන් පස්සෙ මතුගමට යනකල් රේස්. සමහර වෙලාවට මුන් දෙන්නට ම අමතක වෙනවා උන් කරන දේ. ඒ වෙලාවට දෙන්නත් එක්ක ම සෙනග මග දමලා ධාවන තරගයේ යෙදෙනවා. මේවා ඇවිල්ලා ඕෆ් රෝඩ් රේස්. මොකද, අපේ පාරේ කිලෝ මීටර් විස්සක් විතර එක දිගට අලුතින් හදනවා. චීන කොන්ත්‍රාත්කාරයෝ හරි ලස්සනට ඒ හැදිල්ල කළමනාකරණය කරනවා. මට මතක් වෙන්නේ ඉස්සර මතුගම - කලුතර පාර හදපු හැටි. පාර පරිහරණය කරන ජනයාට කරදර අවම වන පරිදි ටිකින් ටික තමයි හැදුවේ. ඒ මං හිතන්නේ බටහිර අධිරාජ්‍යවාදී සමාගමක් තමයි ඒ ‍කොන්ත්‍රාත්තුව කළේ. නැගෙනහිර සමාජවාදී චීන කොම්පැනිය තැන් තැන්වල බෝඩ් ගහලා තියෙනවා කණගාටුව පළ කරලා.

දවල් බිරිඳව එක්කගෙන එන ගමන් අපේ ගෙවතු වගාවට කොම්පෝස්ට් පෝර ටිකක් ගන්න මතුගම ප්‍රාදේශීය සභාවට ගියා. ඒ ගියේ හතරවෙනි වතාවට. උන් අපේ කුණු ගෙනියන්නෙත් නැහැ. උන්ගේ කුණු සල්ලිවලට ගන්න ගියා ම ඒක දෙන්නෙත් නැහැ. සමහර දවස්වලට පෝර කාමරේ යතුර තියෙන එකා හොයා ගන්න නැහැ. බල්ල ඉන්නකොට පොල්ල නැහැ. පොල්ල තියෙනකොට බල්ල නැහැ.

මේ දිනවල කුණු ට්‍රැක්ටරය විසින් ගෙනියනු ලබන්නේ දිරන, නො දිරන වශයෙන් වෙන් කළ කසල විතරයි. පගාවක් දුන්නොත් නම් ඉතින් වෙන් නො කළයි කියලා ප්‍රශ්නයක් නැහැ. පාරේ යන පැත්ත නො දන්න අපේ ගමේ කට්ටිය දන්න කසල වෙන් කිරිල්ල! මේකෙන් දැඩිව ම පීඩා විඳින්නේ පාසල්. කසල වෙන් කරලා දෙන්නේ නැහැ කියලා දැන් සභාවෙන් පාසල්වල කුණු ගෙනියන්නේ නැහැ. දැන් මතුගම නගරයේ සමහර ඉස්කෝලවල හරි ෂෝක් කසල කළමනාකරණයක් ති‍යෙනවා. ඉස්කෝලේ කුණු ළමයි බෙදාගෙන බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න ඕනැ. අර බත් මුල්, පොත් පත් ගෙනියන බෑග් එකේ ම තමයි. කොහොමද ප්‍රින්සිපල්ගෙ ටිකිරි මොළේ! ළමා අයිතිවාසිකම් ගැන කතා කරන කවුරුවත් මේවා ගැන සද්ද නැහැ. මේ වැඩේ කොළඹ නගර සභාවේ ක්‍රියාත්මක කළා නම්, කොළඹ කුණු ප්‍රශ්නයත් විසඳ ගන්න තිබුණා.

ඉතින් ඔය අත‍රේ අපේ බ්ලොග් එක බලපු පිටු සංඛ්‍යාව සඳහන් මීටරේ දහ අට ලක්ෂය පැන්නා. ස්තුතියි ඔබට. බ්ලොගර් කොම්පැනිය මේ මීටරේ දුන්නේ අපි බ්ලොගය කරගෙන යද්දි නිසා ඇත්තෙන් ම නම් දහ අට ලක්ෂය පැනලා ඉවරයි.

කවදාවත් නැතිව අපේ පෞද්ගලික ජීවිත ගැන කතා කළේ ඇයි ද දන්නවා ද? ලංකාවේ උප නාගරික පහළ මධ්‍යම පංතික ජීවිත ගත වෙන්නේ ඔය වගේ.

ඉතින් මධ්‍යම පංතිකයෝ හුග දෙනෙක් මේකට විසඳුම විදියට දකින්නේ දියුණු ධනේශ්වර රටකට සංක්‍රමණය වීමයි. සමහරු පිටරට යන්නේ මෙහේ හොඳ ජීවිතයක් නැති නිසා ම නොවෙයි. මෙහේදි ජාතිවාදයෙන් මුසපත් වෙලා අමන පාලකයන් බලයට පත් කරලා, රටේ ම ඉන්න පාදඩයන් පළාත් පාලනයට යවලා, ඔවුන් රට යන්නේ ඩීසන්ට් ජීවිතයක් හොයාගෙන. ඒ වුණාට මේ පරම්පරාව ඇත්තට ම ඒ සමාජයේදී පිටස්තරයෝයි. ඒ නිසා ලස්සන තැන්වලට ගිහින්, සීත ඇඳුම් ඇඳගෙන ෆේස්බුක් එකට පිංතූර දාගෙන බෙදා හදා ගන්නේත් රස්නෙන් තැම්බි, තැම්බී ඔවුන්ට ඉරිසියා කරමින් ඉන්න ලංකාවේ ගොඩයන් එක්කමයි. මෙහේ ගරු ගාම්භීර සුදු කරපටි රස්සාවල් කළ සමහර අය එහේ ගිහින් පොඩි පොඩි ඔඩ් ජොබ් කරනවා. තමන් වැඩ කරන තැන ඡායාරූපයක් බෙදා හදා ගන්නේ කලාතුරකින් කෙනෙක් විතරයි. පිටරට පුරවැසියන් වෙන්න සමහරු මෙහේ තමන්ට නො තිබුණ මර්දනයක් ගැන අලි බොරු කියනවා. ඊට පස්සෙ මෙන්න මාර දේශප්‍රේමීන් වෙලා සිංහ කොඩි, කොටි කොඩි උස්සගෙන දඟලනවා.

අ‍පේ ගෝඨා මහත්තයා ඉතින් මේව ගැන හොඳින් දන්නා නිසා දුන්නා නේ ද පාර ද්විත්ව පුරවැසිකමට. ඩබල් ගේම් ඕනැ නැහැනේ. ගියා නම් එහේ ම ඉඳපියව්. වීසා අරගෙන වරෙව්. පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුනරත්නම්ව අල්ලලා ඔහුගේ රට වන ඔස්ට්‍රේලියාවට ම යැව්වෙත් එහෙමයි. මං හිතන්නේ දැන් එයා බ්ලැක්ලිස්ට්. ලංකාවෙන් වීසා නැහැ.

රස්සාවක් කරලා කීයක් හෝ හොයාගෙන එන එක හෝ ලෝකයේ ඇවිදින්න තිබෙන ආසාව ‍වෙනයි. උන්නතිකාමී අභිලාෂයන් නිසා පුරවැසිකම අත හැර රට යන එක වෙනයි. අපට ලෝකෙ ඕනැ තැනක ජීවත් වෙන්න අයිතිය තිබෙනවා. ජාතිය අතහැරලා වෙනත් ජාතියකට යන එකත් මිනිස් අයිතියක්. හැබැයි ඉතින් තමන් වැළඳ ගත් ජාතියට අවංක වෙලා එහේ ඉන්නවා මිසක් ඊනියා ඩයස්පෝරා හදාගෙන මෙහේ විනාශය වෙනුවෙන් වැඩ කිරිල්ල අනුමත කරන්න බැහැ.

ලංකාවේ දෙමළ ජාතියට බල පෑ කාරණයක් වුණේ මේ රට යන මේනියාව නිසා ඇති වුණ බුද්ධි ගලනයයි. සිංහල මධ්‍යම පංතික දේශප්‍රේමීන් බොහෝ දෙනෙකුගේත් සිහිනය පිටරටක පදිංචියට යාම. තමන්ට සැබෑ කර ගන්න බැරි වුණ මේ හීනය තමන්ගේ දරුවන් මගින් හරි සැබෑ කර ගන්න ඔවුහු උත්සාහ කරනවා. 

මම නම් කියන්නේ අපි සමාජවාදීන් විධියට කළ යුත්තේ අපට උරුම වුණ ජීවිතෙන් පළා යාම නොවෙයි. අපි අපේ ජීවිත තිබෙන තැනින් ඔසවා තබන්න සමාජයක් ලෙස සටන් කළ යුතුයි. ඒ සඳහා සමාජවාදී විප්ලවය වෙනකල් ඉන්න ඕනැ නැහැ. සමාජවාදය සඳහා අරගලය කියන්නේ පුංචි පුංචි අරගල රැසක්. ඒවායේ එකතුව කියන්නේ 1+1=2 වගේ නොවෙයි. ඊට වඩා දෙයක්.

මතුගම පැත්තේ මේ පසුගාමී ජීවිතය නඟා සිටුවන්න මේ දිනවල අලුත් ව්‍යාපෘතියකට අත ගහලායි ඉන්නේ. තරුණ පිරිසක් එකතු කරමින් ඉන්නවා, පස්දුන් කෝරළේ රට තොට, මිනිසුන් හා ජීවිතය ගැන තොරතුරු එක්රැස් කර ඉදිරිපත් කරන මාධ්‍ය ව්‍යාපෘතියකට. සම්බන්ධ වන අයට සිංහල - ඉංග්‍රීසි මාධ්‍යවලින් මාධ්‍යකරණය පිළිබඳ නොමිළේ පුහුණුවක් ලැබෙනවා. ඒ අය තමයි, මේ ව්‍යාපෘතියට අදාළ අන්තර්ගතයන් නිර්මානය කරන්නේ. ඒ ඔස්සේ සාධනීය වෙනස්කම් සඳහා ජනතාවට, දේශපාලන අධිකාරියට හා පළාත් පාලනයට බලපෑම් කරන්නයි උත්සාහය. සම්බන්ධ වෙන්න, උදව් කරන්න කැමති නම්, 077 5583470ට කතා කරන්න. නැතිනම් ajithperakumඇට්gmail.comට ඊමේල් එකක් එවන්න.

ඉතාලියේ මිලානෝ නුවර සිට ලක්මිණි වෙදමුල්ල ලක්බිම පුවත්පතට ලියූ මේ ලිපිය ඉතා වැදගත් එකක්. ඒකට හේතුව තමයි, ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ රට යාමේ සිහිනයේ හරස්කඩක් මෙමගින් නිරූපණය වීම. මේ කතාවේ ඉන්න පුද්ගලයාගේ දෙවන පරම්පරාව නම් ඒ රටේ පුරවැසියන් වෙලා වගේ.

ඉතාලියෙ වෙසෙන ලාංකික යාචකයෙකුගේ ආත්ම කථනය

beggarලොව සියලුම රටවල සේම ඉතාලියට ද යාචකයන්ගෙන් අඩුවක් නැත. බොහෝ විට මෙසේ යාචකයන් ලෙස ජීවත් වන්නේ වෙනත් රටවලින් මෙරටට පැමිණ රැකියාවන් සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ය. නැතහොත් මත්පැන් හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ය. ජීවිතය නාස්තිකරගත් ඉතාලි ජාතිකයන් ද ඒ අතර නැතිවාම නොවේ.
මෙසේ ජීවත්වන යාචකයන් අතර නගරයේ එක්තරා තැනක ශ්‍රී ලාංකිකයකු ද සිටින බවට ලැබුණු තොරතුරක් නිසාවෙන් අපි දිනක ඔහු සොයා ගියෙමු. ඒ සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් මෙසේ යාචකයන් ලෙස නොසිටින නිසාය. යාචකයන් සාමාන්‍ය වශයෙන් අපිරිසිදු ලෙස ඇඳුම් පැළඳුම් භාවිතා කළද මේ පුද්ගලයා පිරිසිදු ලෙස හැඳ පැළඳ සිටි අතර බිම බලාගත්වතම සිටිනවා විනා අනෙක් අය මෙන් සිඟමන් යැදීමක් කළේද නැත.
මුලදී කතා බහට බොහෝ අදිමදි කළ ඔහු පසුව ඔහුගේ තොරතුරු අප සමග කියන්නට කැමති වූයේය. වැඩි දුර කියවන්න.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-25

අධිවේගී මාර්ගයේ හෙවත් සිංහලෙන් හයිවේ එකේ පයින් යාම

මේ දිනවල අපි අධිවේගී මාර්ගයක පයින් යමින් සිටිමු. පයට පෑගෙන තාර පොළව පයට සැප වුවත්, නැතත්, අප උර මත ඇත්තේ දැවැන්ත ණය කන්දරාවකි. මේවා ආපසු ගෙවිය යුත්තේ අප ය. මේ සංවර්ධනයේ ප්‍රතිලාභ අපේ ජීවිත වෙත ළඟා නො වේ නම්, අප මේ ණය කන්දරාවට කර ගැසීමේ තේරුමක් නැත. කොටින් ම කියනවා නම්, සංවර්ධනයත් සමග අපේ ජීවිත පහසු හා සුරක්ෂිත විය යුතු ය. අනාගත පරපුර‍ට රැකියා හා ආදායම් තිබිය යුතු ය. සාගින්න, පිපාසය දුරු විය යුතු ය. දරුවන්ට හොඳ පාසල් තිබිය යුතු ය. වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි විය යුතු ය. විවේකය, විනෝදය තිබිය යුතු ය. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක බියෙන්, සැකෙන් තොරව ජීවත් වීමේ ඇත්ත හැකියාව ලැබිය යුතු ය. මන්ද, අපි ඒ වෙනුවෙන් උවමනාවටත් වඩා ගෙවා තිබෙන බැවිනි.  

ලංකාවේ මිනිසුන් අධිවේගී මාර්ගවලට හයිවේ කියා කීම සුවිශේෂ තත්වයකි. මේවා ඉංග්‍රීසියෙන් එක්ස්ප්‍රස්වේ ය. කවුරුත් දන්නා සිංහලෙන් නම් හයිවේ ය. හයිවේ කියා ඉංග්‍රීසියෙන් කියන්නේ මහාමාර්ගවලට ය. 



ලස්සන ටී ෂර්ට් ටික - අනුග්‍රහය අෙපන්




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-24

ඊයෙ රෑ ‍බේබි කපාලා - හවඩිය උගස් තියාලා (මහා කැසිනෝ ජාතකය)

එක කාලයක ලංකාවේ මෙවැනි පිංතූර බිත්තියේ ගසා ගැනීමේ විලාසිතාවක් තිබිණි
අපේ රටේ මිනිස්සු ඈත කාලයේ පටන් ම සූදු කෙළිය හ. පැරණි සාහිත්‍යයේ එය සඳහන් වන්නේ දාදු කෙළිය කියා ය.

දැනුත් ගමේ ගොඩේ බූරු කෙළිය සිදු වේ. මළ ගෙවල්වල බූරු ගසන්නට ලයිසන් නැති මුත්, සාමාන්‍යයෙන් පොලිසිය මළ ගෙවල්වල සූදු පිටි වටලන්නේ නැත. මම ද අවුරුදු කාලයට සල්ලිවලට කැට ගසා තිබේ. කාලෙන් කාලෙට පාසල් සිසුන් අතර ද දෙක පහ ගැසීම ජනප්‍රිය වේ. දැනුත් පාසල් සිසුවෝ හොරෙන් හොරෙන් දෙක පහ ගැසීම වැනි සූදු ක්‍රීඩාවල යෙදෙති.

අපේ තාත්තා සූදු කෙළියට ඇබ්බැහි වූවකු වුණේ නැත. එහෙත්, ඔහු කාඩ් කුට්ටමෙන් සල්ලි ඔට්ටුවට අජූත ගැසීමට මහත් සේ කැමැත්තක් දැක්වූයේ ය. සමහරු සල්ලි ඔට්ටුවට ඕමි එහෙම ගහති.

ඒ මොනවා නැතත්, අපේ රටේ කාලයක සිට රේස් දැමීම හෙවත් එංගලන්තයේ දුවන අශ්වයන්ට මෙහි සිට ඔට්ටු ඇල්ලීම සිදු වේ. අපේ තාත්තා ද කලක් ‍රේස් පත්තරය ගෙදර ගෙනාවේ ය. නෑබඩ පාසලේ ගුරුවරයකු වූ ඔහු ගෙදර එන ගමන් රේස් පත්තරය ගෙනැවිත්, බැනියම පමණක් ගලවා වැලේ දමා, ගෙයි එක දොරක් පමණක් ඇ‍ර, පඩිය උඩ වාඩි වී, සුදු සරම පිටින් රේස් පත්තරය බලමින් සිටින ආකාරය අප මතුගම සිට පාසල ඇරී ගෙදර එන විට දකින්නට ලැබුණු සාමාන්‍ය දර්ශනයකි.

අවුරුදු ගණනාවක් ම මම මේ ස්පෝටිං ස්ටාර් පත්තරයේ මුල පිටුවේ පළ වූ කාටුනය කියවූයෙමි. එය මගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට ඉවහල් වූ බව කියන්නේ කෘතඥතා පූර්වකව ය. ඒ දිනවල එහි නිතර යෙදුණු gonna" gotcha වැනි යෙදුම්වල තේරුම කිසිදු ශබ්‍දකෝෂයක තිබුණේ නැත. 

මම සූදුවට ලොල් නැත. එහෙත්, කවුරු හෝ ලොතරැයි ටිකට් පතක් දිගු කළ විට එය මිළ දී ගෙන එය ඇදුණොත් කරන දේ ගැන විනාඩියක් දෙකක් කල්පනා ද කරමි. එහෙත්, මාස ගණන් තිස්සේ ඒවා නො බලා මුදල් පසුම්බියේ තිබෙන්නේ මා වාසනාව ගැන එතරම් විශ්වාසයක් නො තබන බැවින් විය හැකි ය. 

සූදුව හා සුරාව අනතුරුදායක දේ බව ඇත්ත ය. එහෙත්, ශක්තිමත් පෞරුෂයක් හා ආර්ථකයක් ඇති මිනිසුන්ට මේවා සිය විනෝදය පිණිස යොදා ගැනීමේ හැකියාව තිබේ. ඒවායින් ජීවිතයට අනිවාර්යයෙන් ම හානි සිදු වන්නේ ය කියා දෙයක් නැත. එහෙත්, ලංකාවේ බහුතරයක් වන අප වැනි නැති බැරි හිඟන්නන් ජීවිතයෙන් ගොඩ යන්නට කැසිනෝ ගහන්නට ගියොත් දරු පවුල් පිටින් අනාථ වනු ඇත.

ඒ අතර සක්විති රණසිංහලා වැනි මානසික රෝගීහු ද අනුන්ගේ සල්ලිවලින් කැසි‍නෝ ගහන්නට යන්නට ඉඩ තිබේ. 

දැනුත් ධම්මික පෙරේරා වැනි සත් ගුණවත් ආණ්ඩුවේ හෙංචයියන් විසින් පවත්වාගෙන යනු ලබන කැසිනෝහලකට ගොස් බැලුවොත් වැඩිපුර දකින්නට ලැබෙන්නේ ලංකාවේ රස්සාව කර හම්බ කළ තුට්ටු දෙකට කෙළවාගෙන වැටී සිටින චීන්නු ය. 

මගේ ප්‍රියතම චිත්‍රපටය වන තුන්මංහන්දියේ අබිලිං සූදු පිටියේදී පැරදී තමන් කලින් උදව් කළ මිනිසකු ඉදිරියේ බාල්දු වන  ආකාරය මගේ සිත් කම්පා කළ දර්ශනයකි.

ලංකාවේ දැන් තිබෙන කැසිනෝ ප්‍රශ්නය මෙවැනි දෙයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ ධනවාදී ආර්ථිකය ඉදිරියට ගෙන යන්නට තිබෙන ඕනෑම අවස්ථාවක් භාවිතා කිරීමට සූදානම් ය. රාජපක්ෂ පවුලේ ජාතිවාදී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ නිසා ඔවුන්ට හොඳ ආයෝජකයන් රටට ගෙන්වා ගැනීමේ හැකියාව නැත. එන්නේ කැසිනෝකාරයන් නම් ඔවුන් මක් කරන්න ද? මේ රටේ ජනතාව ඔවුන් ගැන තබා තිබෙන බලාපොරොත්තු ඉටු කිරීම කෙසේ වෙතත්, අඩු තරමේ ගත් ණය පියවන්නට හෝ ක්‍රම හොයා ගත යුතුව තිබේ. 

මේකේ එකාලා ද කැසිනෝ ගහන්නට, ගනිකා වෘත්තියට අකැමැත්තක් නැති වුණත්, උන්ගේ ඔලුවල තිබෙන පට්ට ජාතිවාදී, ආගම්වාදී හැඟීම් එක්ක ඒවා ගලප්පා ගන්නට බැරි ය. කොහොමත් ඕවා එහෙම ගැලපෙන ඒවා නො වේ. සදාචාරයත්, දුරාචාරයත් යන දෙක ම ජීවිතවල එකට පවතී. ඒ අතර ගැටුමක් මෙන් ම සංහිඳියාවක් ද පවතී.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සත්ගුණවත් සභාපතිකම දැන් කලක සිට දරන්නේ රේස්කාර පවුලක් වන සුමතිපාලලා විසිනි. 

කැසිනෝ කියන්නේ මේ රටේ තිබෙන කෙළිවල හැටියට මහ ලොකු බක්කක් නො වන බව රාජපක්ෂලා දනිති. ඒත්, ඔවුහු වනාහි ජනතාවට ඉදිරියෙන් යන පිරිසක් නො ව, ජනතාව යන දේවාලය බලා, එහි කපුකම අල්ලා ගන්නා අමන පාලකයෝ පිරිසකි. ඒ නිසා කැසිනෝකාරයන් ගෙන්වා ගන්නට කටයුතු කරනමුත් ඔවුන් ඒවායේ වගකීම භාර ගන්නේ නැත. තව ටික දිනකින් මේ වගකීම ඔය පී.බී. ජයසුන්දර වැනි කෙනෙකු පිට පටවා අත හෝදා නො ගත්තොත් මෙන්න කැට! 

එස්.බී දිසානායක මොවුන්ට සාපේක්ෂව අවංක ය. අභියෝග භාර ගන්නට කැමති නායකයෙකි.


කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින"ට ඊයේ (23 දා) පැවැසීය. ඇමැතිවරයා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසීය.
"අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ."
"හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ."
"කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.
කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් අපි තැනක්‌ දෙන්න ඕනෑ.
"ශ්‍රී ලංකාවේ උදවියට පමණක්‌ කැසිනෝ තහනම් කිරීමේ වරදක්‌ නැහැ."

එහෙත්, හෙට රාජපක්ෂලා හාමුදුරු බලවේගය සමග එක් වී එස්.බී. දිසානායක කැසිනෝවලට පක්ෂ ය කියා මරාගෙන කන්නට සැරසෙන්නට පවා ඉඩ තිබේ. 

අපට රාජපක්ෂ පාලනය වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන්නට උවමනාවක් නැති නිසා නිහඬව සිටි මුත්, ඇත්තම කියනවා නම් ලංකාවේ කැසිනෝ හා ගනිකා වෘත්තිය වැනි දුරාචාරයන් නීතිගත කරනවාට මම නම් කැමති ය. හේතුව, තමන්ගේ ශාරීරික හා මානසික අවශ්‍යතාවන් ඉටු කර ගන්නට මාර්ග නැති නිසා, ඒ පීඩනය මුදා හැරීමට ගෘහස්ථව ප්‍රචණ්ඩත්වයේ යෙදෙන, වැඩපොළේදී බලය අනිසි ලෙස භාවිතා කරන, පුංචි දැරිවියන් දූෂණය කරන, මිනී මරන, පන්සල් පල්ලි ‍‍ගොස් බක තපස් රකින, ජාතිවාදයෙන් අන්ධව දේශපාලනික අමනයන් බලයට පත් කරන ලංකාවේ කුහකයන්ට දුරාචාරයට අවස්ථාව විවෘත කර දෙනවා නම් ඔවුන්ගේ ජීවිත මීට වඩා සෞම්‍ය කර ගත හැකි යයි මා විශ්වාස කරන හෙයිනි. 

මේකද උඹේ සමාජවාදය කියා අසන අයට මම නම් කියන්නේ සමාජවාදී ජීවිතයක් කියන්නේ බුද්ධිමත් ලෙස නිවැරදි දේ තෝරා ගන්නා නිදහස උපරිමව භුක්ති විඳින එකක් මිස සිරගෙයක් නො වන බවයි. 

රාජපක්ෂ පාලනයට විරුද්ධ බලවේගය විසින් ද, රාජපක්ෂලාට එරෙහිව භාවිතා කළ හැකි ඕනෑ දෙයක් භාවිතා කරන නිසා ධනවාදී එක්සත් ජාතික පක්ෂය පවා කැසිනෝවලට විරුද්ධ ය. රටේ සංස්කෘතිය, සදාචාරය කැසිනෝ නිසා විනාශ වෙන බව එක්සත් ජාතික පක්ෂය පවා කියයි. ඌරාගේ මාළු උගේ ම ඇ‍ඟේතබා කපන එ‍‍කෙත් වැරැද්දක් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-22

ඔබත් පාලක බලධාරීන්ගේ පාමුල ඉඳ ඔවුන් උසිගැන්වූ විට සෙසු මිනිසුන් වෙත කඩා පනින බලු කුක්කෙක් ද?

පාලකයින්ගේ උවමනාව මත අවනීතික මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ආදිය සිදු කිරීම බඩ රස්සාව හා ආර්ථික හා සමාජමය ලෙස ඉහළ යාමේ මාර්ගය බවට පත් කරගෙන සිටින අයට හොඳ පාඩමක් වාස් ගුණවර්ධන සිද්ධියෙන් උගත හැකි ය.

නියෝජ්‍ය පොලිස්පති වූ ද, යම් දිනෙක ලංකාවේ පොලිස්පති වීමට ඉඩ තිබුණා වූ ද වාස් ගුණවර්ධන කුලියට මිනී මරන්නකු බවටත් පත් වී තිබුණු බව දැන් විභාග වන නඩුවලින් පෙනේ. 

මෙහි විශේෂත්වය වන්නේ වාස්‍ නීතියේ රැහැනට හසු වූ පසු ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකු නැති වීමයි. එක අතකට ඔහු විසින් කරන ලද ‍'සේවාවන්' වෙනුවෙන් එකී සේවාදායකයන් ගෙවීම් කර හමාර නිසා මෙතන ප්‍රශ්නයකුත් නැත. 

වැඩේ කියන්නේ තමන්ගේ 'මිතුරකු' මැරීම පිණිස වාස්ට කොන්ත්‍රාත්තුව දී, ඔහුව උගුලට රැගෙන ගොස්, ඔහුගේ වාහනය පාරේ දමා එද්දී, අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වීම නිසා, සිද්ධිය වැමෑරීමට සිදු වූ පුද්ගලයා දැන් රජයේ සාක්කිකරුවකු කර, කොන්දේසි සහිත සමාවක් ලැබ, නිදහස්ව සිටීමයි. මිනීමැරුමේ චේතනාව මුලින් ම පහළ වූ, ඒ සඳහා වාස්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා මිනීමැරුමට ඇත්තේ අවම සම්බන්ධයක් බව නීතිපතිවරයා පවසයි. 

මෙවැනි 'අභාග්‍ය සම්පන්න' ඉරණම්වලට ගොදුරු වූ පාලකයන්ගේ බලු කුක්කන් අතර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, ජාතිවාදය නිසා ම ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනෙකු නිරපරාදේ මරා දැමූ පොලිස්කාරයෝ හා චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශයේ සිටිමින් රූකාන්ත‍ ගුණතිලකගේ පවුලට වධබන්ධන පැනවූ පිරිස් ආදිය ද වෙති. 

ඔවුන් සිතුවේ දේශපාලන රැකවරණ නිසා තමන්ට නීතියෙන් ගැලවීමක් ලැබෙනු ඇති ය කියා ය. පාලකයන් එහෙම කරන්නේ නැති බවට හොඳ ම සාක්කිය සරත් ‍ෆොන්සේකා ය. කට අරින අරින තරමට අමාරුවේ වැටෙන්නේ තමන් ම පමණක් බවට ද ඔහු සාක්කියකි. 

වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලද මුල් කාලයේ ඔහුගේ පාර්ශ්වයෙන් තර්ජන එල්ල වුණේ තමන් බේරා නො ගත‍හොත් වෙනත් අය වෙනුවෙන් කළ දේ ද හෙළිදරව් කරන බවයි. සරත් ෆොන්සේකා ද මෙවැනි තර්ජන කළේ ය. 

එහෙත්, බලයෙන් ගිලිහුණු පසුව පවා පාලකයින්ට නම් අපරාධ සම්බන්ධයෙන් මුක්තිය ඇති බවට චන්ද්‍රිකා බංඩාරනායක සාක්කියකි. 

අපරාධ කර නීතියේ රැහැනින් ගැලවී යාමේදී පවා පංති භේදයක් ඇති බව සමාජයේ පංති නැතැයි තර්ක කරන පුද්ගලයන් වටහා ගත යුතු ය. 

මේ කියවන ඔබත් පාලක බලධාරීන්ගේ පාමුල ඉඳ ඔවුන් උසිගැන්වූ විට සෙසු මිනිසුන් වෙත කඩා පනින බලු කුක්කෙක් ද? එසේ නම්, ඊළඟ වතාවේ හෝ කෙනෙකුගේ ඇඟට කඩා පනින විට දෙවරක් සිතන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-20

අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද අනුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න

ඔබත් සමූහයක් විසින් හිංසනයට ලක් කර තිබේ ද?
රජයේ අත් අඩංගුවේ සිටියදී 2012 ජුලි මස බලධාරීන් විසින් පහර දී මරා දමන ලද නිමලරූබන්ගේ මානව හිමිකම් සම්බන්ධ නඩු විභාගයකදී 'අග විනිසුරු'වරයා අපූරු ප්‍රකාශයක් කර තිබේ. ඒ වනාහි ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නැති බවයි. ගනේෂන් නිමලරූබන් යනු ත්‍රස්තවාදී සැකකරුවෙක් මිස දණ්ඩනයට ලක් වූ සිරකරුවෙක් නො වේ. නීතියේ මූලික තර්කනයට අනුව ඔහුට ත්‍රස්තවාදියකු යයි අමතන්නට බැරි ය.

නිමලරූබන් මිය යාමට පෙර වව්නියාව බන්ධනාගාරයේදී ද, අනුරාධපුර බන්ධනාගාරයේදී ද, අසාධ්‍ය තත්වය නිසා රෝහල්ගත කිරීමට රැගෙන ආ මහර බන්ධනාගාරයේදී ද පහර කෑමට ලක් වී ඒ හේතුවෙන් මරණයට පත් වූ බව වාර්තා‍ ‍වේ.

සිරකරුවකුට පහර දී මරා දැමීම කිසි ‍සේත් ම වීරකමක් නො වේ. එසේ ම ශිෂ්ට සමාජයකදී සිදු වන්නක් ද නො වේ. සිරගත වූ මිනිසෙක් යනු අසරණයෙකි. ඔහු ඍජුව ම මහා බලයක දැඩි ආධිපත්‍යයට යටත් කර තිබේ.

එවැනි මිනිසකු පහර දී මරා දැමීම නින්දිත ඝාතනයකි. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් කිරීම එවැනි ක්‍රියා නැවත සිදු නො වීම පිණිස අත්‍යවශ්‍ය ය.

අද ඒ ක්‍රියා අගයන මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වුව ඒවා සිදු වීම අවශ්‍ය ය. හේතුව අයුක්තියෙන් බලය අත්පත් කරගෙන සිටින මිනිස්සු ද බල පෙරළියකින් පසු සිරගත වීමේ අවදානමක ජීවත් වන බැවිනි.

ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නොමැතිය යන තර්කය මත කටයුතු කළ රාජ්‍ය ත්‍රස්තවාදීන් වූ සදාම් හුසේන්, මුවම්මර් ගඩාෆි වැන්නන්ගේ මානව හිමිකම් නො තකා කටයුතු කිරීමට ද උපයෝගී කර ගත්තේ එම තර්කය ම ය.

රාජ්‍ය ත්‍රස්තවාදීන්, අධිකරණ ත්‍රස්තවාදීන් ආදී කොයි කවුරුත් අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද සෙසු මිනිසුන්ගේ මානව හිමිකම් ගරු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-18

ට්‍රිප් යාම,පරිභෝජනවාදය හා භාණ්ඩ (හා සේවා) වන්දනාව



පරිභෝජනවාදය ධනවාදයේ ගැටලු අතරින් උග්‍රම ගැටලුවකි. ධනවාදයේ ආත්මය ලාභයයි. ලාභ ලැබීමේ අරමුණෙන් යුතු නිෂ්පාදකයෝ හා වෙළෙන්දෝ සිය නිර්මාන ශක්තිය‍ යොදවන්නේ නව ඉසව් ඔස්සේ මිනිසුන්ගේ පරිභෝජනය ඉහළ නැංවීම වෙනුවෙනි.

පරිභෝජනය ඉහළ යාමත් සමග මතු වන තවත් ප්‍රශ්න තිබේ. බලශක්ති හිඟය එකකි. පරිසර දූෂණය තවෙකෙකි. එසේ ම, මිනිසුන් අලසයින් බවට පත් වීමේ ප්‍රවණතාව හේතුවෙන් රෝගාබාධ ද ‍වැඩි වේ. 

භාණ්ඩ වන්දනාව පරිභෝජනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන තත්වයකි. මෙය භාණ්ඩ පරිභෝජනය එක්තරා ආගමික ස්වරූපයක් බවට පත් කිරීමකි. මෙහිදී මිනිස්සු භාණ්ඩ පරිභෝජනය කරනවා පමණක් නො ව ඒ පිළිබඳ කතා කිරීම, ඒ භාණ්ඩ වෙනත් අයට ප්‍රවර්ධනය කිරීම හා භාණ්ඩ ඔස්සේ සමාජ තත්වයන්ගේ ප්‍රමිති නිර්මානය කරගැනීම ද වේ. 

ධනවාදයට එරෙහි අරගලයේදී අපි නවීන සමාජයෙන් දුරස්ථ වන්නේත් නැතිව, භාණ්ඩ වන්දනාව හෙළා දකිමින්, පාරිභෝජනවාදයෙන් අත්මිදෙන ආකාරය සෙවිය යුතු ය. 

නොනවතින සමාජවාදය ලෙස අප විසින් හඳුන්වා දී තිබෙන සමාජවාදය සඳහා වූ අඛන්ඩ අරගලය තුළ අප අපේ ජීවිත හැඩගස්වා ගත යුතු ආකාරය ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. එහිදී පවත්නා පාරිභෝජනවාදී සමාජ රටිව තුළ අප අරගල කරන්නේ කෙසේ ද? 

මෙහිදී පරිභෝජනය හා පරිභෝජනවාදය අතර වෙනස අවබෝධ කර ගත යුතු ය. අප පවතින සමාජය සමග පැවතිය යුතු ය. එයින් වෙන් වී තපස් දිවියක් වෙත යාම පෞද්ගලිකව මිස සමාජයක් ලෙස ප්‍රායෝගිකව කළ නො හැක්කකි. සමාජයක් ලෙස අප පාරිභෝජනවාදය සමග පොරබදන්නේ කෙසේ ද?

මෙම සටහන තබන දීර්ඝ සති අන්තය තුළ මිනිස්සු සෑහෙන්න විනෝද ගමන් යන ආකාරය දක්නට ලැබේ. විනෝද ගමන් යාම ප්‍රධාන වශයෙන් ම සේවා ආර්ථිකය හා සම්බන්ධ දෙයකි. 

මිනිස්සු විනෝද ගමන් යාම පිණිස විවිධ අලුත් අවකාශ විවෘත කර ගනිති. පසුගිය කාලයේ යාපනය එසේ අලුතින් විවෘත විය. 'ගියෙ නැද්ද යාපනේ?', 'දැක්කෙ නැද්ද ප්‍රභාකරන්ගෙ සොහොන?' වැනි ප්‍රශ්න නිරතුරුව අසනු ලැබේ.

කලින් කලට රටේ මෙවැනි රැළි ඇති වේ. මිනිස්සු අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොට, පොත් ප්‍රදර්ශන, දැයට කිරුළ ආදියෙහි තෙරපෙති. මට නම් සිතෙන ආකාරයට මිනිස්සු මේ තැන්වලට යන්නේ තැන් බලන්නටත් වඩා මිනිසුන් බලන්නට ය. එය ද නරක දෙයක් නො වේ. 

මා ජීවත් වන මතුගම ප්‍රදේශය සුන්දර ස්ථාන බහුල පළාතකි. මම සාමාන්‍යයෙන් තැන් බලන්නට යන්නට එතරම් කැමැත්තක් නො දක්වමි. රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන්නට නම් කැමැත්තෙමි. එහෙත් දරුවන් නිසා දැන් ඒ සඳහා ලැබෙන අවස්ථාව ඉතා අඩු ය. 

මම මගේ සිසුන්ගෙන් අප ජීවත් වන ප්‍රදේශයේ තිබෙන සුන්දර තැන් දැක තිබේදැයි අසා ඇත. එහෙත්, රටේ විවිධ තැන් දැක ඇති, ඇතැම් විට පිටරට ද තැන් බලා ඇති මේ ළමයි අතර ඒ තැන් දැක බලාගෙන තිබෙන අය සිටින්නේ ඉතා අඩුවෙනි. වාර්ෂික අධ්‍යාපන චාරිකා යාමේදී ද මෙවැනි ළඟ ඇති ස්ථාන පිළිබඳ යෝජනා වන්නේ හෝ ස්ථිර වන්නේ හෝ නැත. 

බොහෝ දෙනා විනෝද චාරිකා යන්නේ යන්නන් වාලේ ය. ඇතැම් පිරිමි බසයට නැගුණු වේලේ සිට මත්පැන් බොති. තැන නො තැන නො බලා ගයති; නටති. බොහෝ සංචාරකයෝ බලන්නට යන සුන්දර තැන් අසුන්දර කරති. තමන් ගෙන ගිය අපද්‍රව්‍ය එහි දමා එති. ගල්වල නම් කොටති. ගල් කැට ආදී දේ ගලවා අරගෙන එති. වැඩි දෙනෙක් ඇත්තට ම මේ ස්ථාන බලන්නේත් නැත. ඔහේ ගොඩ වී රවුමක් කැරකී ආපසු එති. 

ට්‍රිප් යාමේ හොඳ ම හරිය වන්නේ ගිය තැන් ගැන සෙසු අයට කීමයි. තැන් බලන අතරෙත් තමන් එහි පැමිණි වාර ගණන ගැන කියවති. අද කාලේ නම් ට්‍රිප් ගිහින් ඇවිත් ෆේස්බුක්හි පිංතූර දැමිය යුතු ය. 

ස්ථාන වෙත යන්නේ වන්දනා කිරීමේ අරමුණින් ය කියා වෙනසක් නැත. 

ආදි ම කාලයේ සිට ම මිනිස්සු මෙසේ තමන් ජීවත් වී පුරුදු ප්‍රදේශයෙන් පිටත තතු සොයා සංචාරය කළ හ. ඒ ස්වාභාවික ආශාව වර්තමානය වන විට දැවැන්ත කර්මාන්තයක් බවට පත් වී තිබේ. ලංකාව සිය ආර්ථික අභිලාෂයන් පදනම් කරගෙන ඇත්තේ ද සංචාරක කර්මාන්තය මත ය. 

ධනේශ්වර සංචාරක වෙළඳපොළට විකල්ප වූ වින්දනාත්මක පුරවැසි සංචරණ ක්‍රියාවලියක් ගොඩනඟා ගන්නට අපට බැරි ද? ඒ සඳහා අවශ්‍ය වන්නේ අප මේ කරන්නේ කුමක් ද කියා සිතීමයි. 

මම ටික කලක් ඉන්දි සමරජීවගේ යමු වෙබ් අඩවියේ පරිවර්තක ලෙස වැඩ කළෙමි. එය අපූරු වෙබ් අඩවියකි. කොළඹ නගරයේ හා අවට බලන්නට, කන්නට, බොන්නට හා කරන්නට ඇති දේ ගැන නිර්මානය වූ මෙම වෙබ් අඩවියේ කෑම බීම අංශය පාරිභෝජනවාදයේ ආන්තික කෙළවරක් නියෝජනය කරන මුත්, එහි සංචරණය හා සම්බන්ධ පිටු තුළ යේ බුද්ධිමත් සංචරණ ක්‍රියාවලියක ලක්ෂණ ගැබ් වී තිබේ. 

අප විසින් ආරම්භ කරන ලද මාධ්‍ය ව්‍යපෘතියක් ඉදිරියට ගෙන යාම සඳහා මේ දිනවල සැලසුමක් සකසමින් සිටිමි. ඒ තවත් පිරිසක් සමග එක්ව අප ජීවත් වන මතුගම ප්‍රදේශයේ සුන්දර තැන් ගැන තො‍රතුරු අඩංගු වෙබ් අඩවියක් නිර්මානය කිරීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-16

බාග නාට්‍ය, බාග චරිත නිරූපණ හා කාල සර්ප ගැන බාගෙට ලියවුණු රසවිඳුම

කීර්ති වැලිසරගේ විසින් ලියන ලද කාල සර්ප නම් ස්වර්ණ පුස්තකය කියවීමි. නැතිනම් නො කියවීමි. මා එය කියවූයේ ද එය ස්වර්ණ පුස්තකයක් ලෙස නම් කරන ලද නිසා හා මවිසින් මීට පෙර කතා කරන්නට යෙදුණු මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං නවකතාව පරයා එය ස්වර්ණ පුස්තකයක් ලෙස මතු කරන ලද නිසා ය. මින් පෙර ‍මේ රටේ ස්වර්ණ පුස්තක බවට පත් වූ කෘතිවල යථාර්ථය අමතක කර දමා කියවීම ආරම්භ කළෙමි.

කාල සර්ප කියවීම තරමක් ආයාසකර ව්‍යායාමයක් විය. මට ඇති පළමු ප්‍රශ්නය වන්නේ එතරම් රසයක් හෝ ඥානනයක් මතු නො කරන කෘතියක් කියවීමට කාලය මිඩංගු කරන්නේ කුමට ද යන්නයි. මන්ද, මම සාහිත්‍ය විනිසුරුවරයෙක් ද නො වෙමි. ඔවුන්ට නම් සිය කියවීම ආර්ථික ලාභයක් හෝ සමාජ ප්‍රාග්ධනයක් වේ. අද කාලයේ විචාරකයන් යයි කියන අය පොතක් ගැන යමක් ලියන්නේ කතුවරයා තමන්ගේ මිතුරකු හෝ අනුගාමිකයකු හෝ වේ නම් පමණි. මා මේ සටහන තබන්නේ අඩු තරමේ කතුවරයාගෙන් නො මිළේ පොතක් හෝ ලැබුණු නිසා නො වේ. කාල සර්ප ස්වර්ණ පුස්තකයක් වූ නිසා ය. මන්ද, අද කාලයේ ලංකාවේ නවකතාවේ වටිනාකම් මනින මිම්ම මෙම සල්ලි මල්ල බවට පත් වී ඇති නිසා ය.

සමන් වික්‍රමආරච්චි කාල සර්ප ගැන ලියා ඇති විචාරය කියැවීමි. සාහිත්‍ය විනිසුරුවරු කිසිවෙක් ඒ ගැන විචාරයක් ලියා තිබෙනු නො දිටිමි. මම සම්මත අරුත්වලින් විචාරකයෙක් නො වෙමි. මා මේ ලියන්නේ මා කාල සර්ප තුළින් විඳි හෝ නො විඳි රසය ගැනයි.

කාල සර්ප කෘතිය දේශපාලනික, සමාජමය තේමාවක් ස්පර්ශ කරන්නකි. මිනිස් දක්ෂතාවන්ගේ සීමා ඉක්මවා විහිදෙන අධික උන්නතිකාමය හා අවස්ථා හිඟකම හා අතර සිරගත වූ තරුණ පරපුරක අසම්පූර්ණ කතාවක කටු සටහනක් එහි තිබේ.

කාලය හරහා පරම්පරා දෙකකදී අපට හමු මවන ගිරිං හා වසන්ත කුමාර ඔස්සේ රචකයා අපට කියන්නට උත්සාහ කරන්නේ මෙය සනාතනික දහමක් බව ද? සිය පෙම්වතියගේ සිත් දිනා ගැනීම පිණිස මහා පන්දමක් දල්වා, එයින් අනපේක්ෂිත විනාශයක් නිර්මානය කර, තම ජීවිතය ද අඳුරු කර ගන්නා ගිරිංගේ පරම්පරාවේ ම තවෙකෙක් තරුණ නැගිටීමක් සිදු වන සමයකදී සිය උන්නතිකාමී අපේක්ෂා හා ෆැන්ටසි මැද ව්‍යසනයකට නිරපරාදේ මර්දනයට ගොදුරු වෙයි.

චේ සැමරීම පිණිස චේ රයිඩර්ස් නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මෝටර් බයිසිකල් සවාරියේ දෙවන දිනයේ තිස්සමහාරාමයේ පැවති රැළියේදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික එරංග ගුණසේකර විසින් කරන ලද පහත සඳහන් ප්‍රකාශය මගේ සිත් ගත්තේ ය. "අපේ රටේ බොහොමයක් තරුණ තරුණියො ඉන්නවා, ඒ අයට ගොඩක් හීන තියෙනවා. හැබැයි ඒ හීන වලට මොකද වෙලා තියෙන්නෙ? විභාග සමත් වෙලා තියෙනවා ඒත් උසස් අධ්‍යාපනය ලබන්න සරසවි නැහැ. ඉගෙන ගෙන තියෙනවා. ඒත් කරන්න රැකියා නැහැ. පාරෙ අලුත්ම මාදිලියෙ බයිසිකල් තියෙනවා, ගන්න ආසයි. හැබැයි ගන්න සල්ලි නැහැ. පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නවා. හැබැයි විවාහ වෙන්න විදියක් නැහැ. හැබැයි ඔය අතරෙම තවත් රජ කුමාරවරු පිරිසක් ඉන්නවා. ඒ අය විභාග සමත් නොවුණට විශ්ව විද්‍යාලෙ යනවා. ඉගෙන නොගත්තට හොඳ තරතුරු සහිත රැකියා කරනවා. දක්ෂයින් නොවුණට ජාතික ක්‍රීඩා කණ්ඩායම් වල නායකයො වෙනවා. මේක හරිද? මේක අපි වෙනස් කරන්න ඕන නැද්ද? අන්න ඒ වෙනස සිදුකරන්න තාරුණ්‍යයට අවශ්‍ය නායකත්වය දෙන්න සමාජවාදී තරුණ සංගමය සූදානම්."

1960 දශකයෙන් පසු ලාංකීය රැඩිකල් දේශපාලනයේ හරය කැටි කර ගත් මෙවැනි රුවන් වැකියක් පැවසීමේ අවංකකම මීට පෙර ජවිපෙ නායකයන්ට තිබුණේ නැත.

වසන්ත කුමාරගේ චරිතය ගොඩනැ‍ඟෙන්නේ මෙකී දේශපාලන හා සමාජමය අපේක්ෂා මධ්‍යයේයි. එහෙත්, ඔහු වනාහි සමාජවාදී තරුණ සංගම් ක්‍රියාකාරිකයන් වැනි විපර්යාසකාරක මැදිහත්කාරී භූමිකාවක් රඟන්නකු නො වේ. ඔහුට ඇත්තේ අධිකතර උන්නතිකාමයකි. කැප කිරීම් ඔස්සේ සිය අපේක්ෂා ඉටු කර ගන්නවා වෙනුවට කිසියම් කෙටි මගකින් කූටප්‍රාප්තිය වෙත පැමිණ එහි ඵලය භුක්ති විඳීමේ උවමනාවක් ඔහුට ඇත.

ගිරිං පැය කීපයක වීරයකු වෙයි. වසන්ත කුමාර ද සිය ෆැන්ටසික ලෝක තුළ වීරත්වයක් මවා ගනියි. එහෙත්, ඔවුන්ගේ ජීවිත වෙළා ගන්නේ අපේක්ෂා භංගත්වය විසිනි. වසන්ත කුමාර ගිරිං වැනි ක්‍රියාකාරී චරිතයක් නො වේ. ඔහුගේ ක්‍රියාකාරිත්වයේ උපරිමය දක්නට ලැබෙන්නේ පංති කාමරයේදී විච්ඡේනය කිරීම පිණිස කුකුළ‍‍කු ගෙන ඒමේ අසම්පූර්ණ නාට්‍යය තුළයි. කැරැල්ලේ අවසන් සමයේදී ඔහු සැලසුම් කරන සාම ප්‍රයත්නය 1988දී ජවිපෙත්, ආණ්ඩුවත් අතර බොරු සම්මුතියක් නිර්මානය කළ කේ.සී. සේනානායක සිහිපත් කරයි. 

එහෙත්, වසන්ත කුමාරගේ සැලසුම් කඩදාසි මත කරන ලිවීමකින් අවසන් වෙයි. ඔහුගේ ජීවිතයේ නාට්‍යමය සිදුවීම් සියල්ල කතුවරයා විසින් අතරමගදී බිඳ දමන ආකාරයක් දක්නට ලැබේ. මේ නිෂ්ක්‍රීයත්වයෙන් ප්‍රකාශ වන්නේ වසන්ත කුමාර ද? නැතිනම් කතුවරයා ම ද? 

නවකතාව අවසන් හරියේදී වසන්ත කුමාරගේ චරිතයේ සිදු වන හදිසි විපර්යාසය අතාර්කික ය. අතිශය බොළඳ ය. ඔහු තුළ විපර්යාසය ඇති කිරීමට හේතු වන බෝඩිං මිතුරා ඡායාමාත්‍රයක් පමණි. නිදන්ගත උන්නතිකාමී, පටු අදහස් ඇත්තකු වූ වසන්ත කුමාර තුළ එතරම් ගැඹුරු වෙනසක් ඇති කරන්නට සමත් වන මේ සුවිශේෂ පුද්ගලයා කවරෙක් ද? කතුවරයා ඒ චරිතය අපෙන් සඟවන්නේ ඇයි?

වසන්ත කුමාර විසින් නියෝජනය කරනු ලබන්නේ අපේ කාලයේ කුමන සමාජ බලවේගයක් ද? ඔහු අවසාන‍යේ ගත් කල පාලනයේ කුරිරු මර්දනයට ගොදුරු වන අහිංසකයෙක් පමණි. ඔහු වැනි චරිතයක් සිය කතාවේ ප්‍රධාන චරිතය කර ගන්නට කතුවරයා පෙළඹෙන්නේ කුමක් නිසා ද? සමන් වික්‍රමආරච්චි විසින් නෝංජලයකු ලෙස හඳුන්වනු ලබන ‍වසන්ත කුමාර වැනි චරිත ලංකාවේ ඉතිහාසයේ කුමන ස්ථරයක් නියෝජනය කරන්නේ ද? සමාජ පරිණාමයේදී ඔවුන්ට හිමි තැන කුමක් ද?

කාල සර්ප නවකතාවෙන් මතු කර ගත හැකි මෙම සංවාද විෂය ඉදිරියට ගෙන යාමට නවකතාව විසින් සපයන අමුද්‍රව්‍ය මොනවා ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-15

දෙමළ සන්ධානයේ වලිය

දෙමළ ජාතික සන්ධානයේ වලියකි. මම නම් දකින පරිදි යා දෙක රත නො රත - එකට පෑහීමක් නැත යන කියමන මෙහිදී අදාළ ය. ඒ අනුව, දෙමළ ජාතිවාදී ප්‍රවණතාව නියෝජනය කරන එම්.කේ.සිවාජිලිංගම් වැනි ඩයස්පෝරා ඉත්තන්ට හා විග්නේශ්වරන් වැනි දෙමළ ලිබරල්වාදීන්ට එක ගෙයි කෑම අසීරු ය. වෙන් වීම සිකුරු ය.

එසේම, දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂ ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ්, සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් හා සිවාජිලිංගම් අයත් වන ‍ටෙලෝ කියන්නේත් එකට සිටිය හැකි පක්ෂ නො වේ.

එහෙත්, මහින්ද රාජපක්ෂ පාලනය යනු මේ කියමන බොරු කළ එකකි. එහි නම් පට්ට ජාතිවාදී විමල් වීරවංශ හා ෆෙඩරල්වාදී ඩිලාන් පෙරේරා එක ලෙස රාජපක්ෂ පවුලට කඩේ යති. එම සාර්ථකත්වයේ රහස අන් කිසිවක් නොව, උපයෝගිතාවාදයයි.

උතුරේ ඒක පාක්ෂික උපයෝගිතාවාදී සන්ධානයක් හා ඒකාධිපති පාලනයක් බිහි වනවාට වඩා මේ දේශපාලන පක්ෂ වෙන් වී බහු පක්ෂ ක්‍රමයක් බිහි වීම හොඳ ය.

මුල් අදියරේදී ලිබරල් හා ජාතිකවාදී ආකාරයෙන් බෙදීම සිදු විය හැකි ය. ජාතිකවාදී එක ද පසුව එක ම රාමුවක් තුළ කටයුතු කරන්නට හැ‍ඩගැසෙනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ ඊපීඩීපීය දැනට නම් උතුරු පළාත් සභාවේ විෂබීජයක් වැනි දෙයකි. එයට වුණත් ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස වැඩෙන්නට බැරිකමක් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-14

මැරෙන එකත් පණ යන වැඩක්: නූතන සිංහල අවමංගල චාරිත්‍ර

හිනා වෙන්න එපා යකෝ!
නූතන සිංහල විවාහ චාරිත්‍ර ගැන මේ ලිපිය කියෙව්වේ නැතිනම් කියවන්න. සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ)

අද අපි කතා කරන්න යන්නේ නූතන සිංහල අවමංගල චාරිත්‍ර ගැනයි.

මැරෙන එකත් පණ යන වැඩකැයි කියනු ලැබේ. අද කාලේ වැඩි දෙනෙක් ජීවත් වන්නේ තමන් මැරෙන බව දැනගෙන නො වේ.එහෙත්, මැරෙන්නට කලින් ඔබ ඔබේ අවමංගල්‍යයට ලක ලැහැස්ති විය යුතු ය. ඒ සඳහා ඔබ අනුන්ගේ මරණ ගෙවල්වලට ගොස් තිබිය යුතු ය. මන්ද, මැරිච්ච අය ඔබේ මරණ ගෙදරට නො ආවත්, ඔවුන්ගේ ඥාතීන් හෝ ඔබේ මරණ ගෙදරට එන්නේ ඔබ ඔවුන්ගේ මරණ ගෙදර ගොස් තිබේ නම් පමණි. 

ඔබේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සෙනග එන්නේ ඔබ ඔබේ ඥාති, මිත්‍රාදීන්ගේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සහභාගි වී තිබේ නම් පමණි. 

මෙහිදී ඇත්තෙන් ම ඔබේ අවමංගල්‍යය වන්නේ ඔබේ ම මරණය නො වේ. කොහොමත්, ඔබ මැරෙන්නට ඉන්න කෙනෙක් නො වේ. ඔබ පණ පිටින් සිටියදී, ඔබේ වයස්ගත මව, පියා මිය යාම ඔබගේ නියම රජ මඟුල ය. සොරි, අවමඟුල ය. 

මරණ ගෙදර‍ට හොඳින් සෙනග පැමිණිය යුතු ය. නැතිනම් වැඩක් නැත. අවමංගල්‍යය දිනයේ සෑහෙන කාර් ප්‍රමාණයක් පැමිණිය යුතු ය. අඩු තරමේ අවමංගල්‍යයට කලින් දිනයේ රාත්‍රියේ හෝ අති විශාල සෙනගක් පැමිණිය යුතු ය. සමාජයේ තිබෙන කාර්ය බහුලත්වය නිසා දැන් වැඩි දෙනෙකුට නිවාඩු දමාගෙන දිවා කාලයේ අවමංගල්‍යයන්ට පැමිණිය නො හැකි ය. ඒ නිසා එන්නේ රෑ කාලයේ ය. විශේෂයෙන් ම පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය මරණ ගෙවල්වල යන්නේ මැදියම් රාත්‍රියේ ය. 

අවමංගල්‍යයක් වූ පසු දුකින් පීඩිත වූ බොහෝ අය අඬ අඬා ම දුරකථන ඇමතුම් දෙති. අංක හොය හොයා දන්න, දන්න හැමෝට ම කියති. ඇත්තෙන් ම දුක වැඩි නම් වෙන අය ලවා කියවති. 

ජනාධිපතිතුමා හෝ රාජපක්ෂ පවුලේ අය එන මරණ ගෙවල් කියන්නේ ලංකාවේ ලොකුම ඒවා ය. නැතිනම් අඩු තරමේ ඇමතිවරයෙකු, මන්ත්‍රීව‍රයෙකු හෝ මරණ ගෙදරට එන ආකාරයට ඔබ ජීවත් වී තිබිය යුතු ය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නම් ගෙන්වා ගැනීම අපහසු නැත. මන්ද, ඔවුන්ට වෙන වැඩක් නැත. ආණ්ඩුවෙන් මල් වඩමක් එවන්නේ ඔබ ජාතික වස්තුවක් නම් ය. ඡන්දයක් තිබෙන කාලයක මැරෙන්නට අවස්ථාව ලැබුණොත්, අපේක්ෂකයෝ සියල්ල ම ඔබේ අවමංගල්‍යයට සහභාගි වනු ඇත. 

එන අයට හොඳින් සත්කාර කළ යුතු ය. පුංචි කාලේ අපි මරණ ගෙවල්වල යන්නට කැමති ය. මන්ද, බීම බොන්නට පුළුවන. අලියා බීම කියන්නේ ඒ කාලේ මරණ ගෙවල්වල මිනිය වගේ ම අත්‍යවශ්‍ය දෙයකි. දැන්, ඔය වීදුරු හෝදන්නට එහෙම කරදර නිසා දැන් කරන්නේ නෙස්කැෆේ මැෂිමක් කුලියට ගේන එක ය. 

අවමංගල්‍යයක් යනු මංගල්‍යයක් තරමට ම තරාතිරම පෙන්නන දෙයකි. ඒ නිසා දැන්‍, දැන් අවමංගල්‍යයන්ගේ කෑම බීම මඟුල් ගෙවල්වල කෑම බීම තරමට ම සරු ය. බුෆේ ක්‍රමයට, කේටරිං සේවා විසින් කෑම සැපයීම කරනු ලැබේ. අතුරුපසට අයිස්ක්‍රීම්, කිරි පැණි ද තිබේ. ඉස්සර නම් කෑම බීම දුන්නේ මරණ ගෙදරට උදව් කරන අය හා දුර සිට පැමිණෙන ඥාති මිත්‍රාදීන් වෙනුවෙනි. දැන් නම්, සමහරු මරණ ගෙවල්වල එන්නේ ම කන්නට ය. 

අවමංගල්‍ය කටයුතු සංවිධානය කරන ආයතනවලට අවමංගල්‍ය අධ්‍යක්ෂවරු යයි කියනු ලැබේ. ඇත්තෙන් ම ඔවුහු නියම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරති. කේ.බී. ‍හේරත්ගේ මායාදේවි නාට්‍යයේ පසුබිම මෙවැනි අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ එකකි. අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් ළඟ විවිධ පැකේජ තිබේ. ඒ පැකේජය අනුව පෙට්ටියේ වටිනාකම එහෙම වැඩි වේ. බාල ලීවලින් හදන පෙට්ටි තේක්ක, බුරුත, නැදුන් ආදී ඕනෑ දැවයක් බවට පත් කරන හැටි ඔවුහු දනිති. ඔවුන්ට අමත‍රව මළ ගෙවල්වලට සේවා සපයන ටෙන්ට්, පුටු ආදිය සපයන්නෝ ද, කේටරිං සේවා ද සිටිති. 

ඉස්සර වගේ දැන් මළ ගෙවල්වල උදව් කරන්නට දෙයක් නැත. සොහොන් ගැහිලි, ගොක් රෑන් ඇදිලි, තොරණ් ගැහිලි දැන් නැත. තිබෙන්නේ නයිට් ගැහිලි විතර ය. නයිට් ගහන විට කාඩ් ගහන්නට‍, කැරම් ගහන්නට එහෙමත් ඕනෑ ය. මොන චාරිත්‍ර වෙනස් වුණත්, මළ ගෙවල්වල බූරුවා ගැසීමේ චාරිත්‍රය තවමත් පවතී. ඒ මරණ ගෙවල්වල බූරුවා ගැහිල්ල අල්ලන්නට පොලිසිය නො පනින නිසා ය. මරණ ගෙවල්වල නයිට් ගහන අයට කරන්නට දෙයක් තිබිය යුතු නිසා වෙන්නට ඇත. මරණ ගෙවල්වල බූරු ගැහිල්ලෙන් තෝන් ගන්නේ මැරුණ පුද්ගලයාගේ ළඟ ම ඥාතියෙකි. 

රට පුරා ආදාහනාගාර බිහි වීමත් සමග ම අවමංගල්‍ය සංස්කෘතිය උඩු යටිකුරු විය. දැන් සොහොන් ගහන්නේ හෙවත් චිතක සකසන්නේ හාමුදුරුවරු, මන්ත්‍රීලා වැනි මහජන පිට්ටනියේ අවසන් ගමන් යන ප්‍රභූන් වෙනුවෙන් පමණි. නැතිනම් නියමිත වෙලාවට ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු වේ. දැන් ඉස්සර වගේ මළ බත කන්නට මිනිසුන් එන්නේත් නැත. ආදාහනාගාරයෙන් ම කට්ටිය විසිරී යති. ඒ නිසා සොහොනේදී ම අමුත්තන්ට බීම, විස්කෝතු ආදියෙන් සංග්‍රහ කරනු ලැබේ.

බොනපාට් කෙනෙකුගේ ඥාතියකුගේ අවමංගල්‍යයකට එන  ඔහුගේ බොනපාට් මිතු‍රෝ බීම ද බලාපොරොත්තු වෙති. ඒ මිතුරෝ බොහෝ විට මළ ගෙදරට ගොඩ වන්නේ ද සළු වෙලා ය. බස්වලින් දුර බැහැර සිට එනවා නම්, ආපසු යද්දී බසයට ද බෝතල් තුන හතරක් දැමිය යුතු ය. 

අද කාලයේ මරණ ගෙවල්වල මිනියටත් වඩා වැදගත් වන්නේ බැනර් ය. ඒ නිසා මරණ ගෙදරට සහභාගි වනවා සේ ම බැනර් ගැසීමත් සිදු විය යුතු ය. "බැනර් එක ගෙනාවාද?" කියා මිනිය වුණත් නැගිටලා අසන්නට ඉඩ තිබෙන නිසා ඒක නම් අමතක නො කළ යුතු ය. බැනර් එකක් ගසා ගන්නට ඉඩක් නැති වේ නම්, එයින් කියවෙන්නේ මැරුණු පුද්ගලයා හා ඔහුගේ දරුවන් සතුව සැලකිය යුතු මහජන සම්බන්ධකම් ප්‍රමාණයක් ඇති බවයි. බැනර් කියන්නේ ඩිජිටල් මුද්‍රණ ය. ඒවායේ තිබෙන පාඨ ද කියවීම රසවත් ය. 

මරණ ගෙවල්වල ඇඳුම් මෝස්තර ද තිබේ. බෞද්ධයන්ගේ නම් තේමාව සුදු පාට ය. ඒ අනුව, සුදු සාරි, සාය - හැට්ට, කමිස කලිසම් ඇඳ, ඒවාට ගැලපෙන සුදු සපත්තු - සෙරෙප්පු, හෑන්ඩ් බෑග් හා මාල - වළලු - කරාබු ආදිය ද දමනු ලැබේ. 

මිය ගිය පුද්ගලයාගේ දරුවන් පිටරට සිටිත් නම්, මළ ගෙදර පිළිබඳ සියලු දේ වීඩියෝ කර එසැණින් එහි යවනු ලැබේ. එන, යන අයගේ පවා ඡායාරූප ගෙන එහේට යවනු ලැබේ. 

නිවසින් පිටතට ගැනීමට පෙර සියලු දෙනා නිවසින් පිටට පැමිණ, දොර ජනෙල් වසා විනාඩියක් දෙකක්, මිනිය ගෙය තුළ තනි කිරීමේ චාරිත්‍රයක් අපේ පැත්තේ තවම තිබේ. දැන් ඉතිරි වී තිබෙන්නේ එවැනි ලෙහෙසි, පහසු චාරිත්‍ර පමණි. කරාව කුලයේ අය තවමත් ආලවට්ටං ගැන සැලකිලිමත් ය. දැන්, දැන් හේවිසි කණ්ඩායමක් සොයා ගැනීම ද අමාරු ය. ඇරත්, දැන් ‍මිනී හේවිසි ගස ගසා ගෙන යන්නේ නැත. මන්ද, ආදාහනාගාරය හැම විට ම ඇත්තේ පයින් යා හැකි තරම් දුරින් නො වන බැවිනි. ආදාහන පෙරහර රථ පෙළපාලියකි. ඒවායේ වාහන යන්නේ අර අනතුරක් බව කියන්නට පත්තු කරන ලයිට් දෙක ම පත්තු කරගෙන ය. 

මිනිය ආදාහනාගාරයේ දමා පිළිස්සීමෙන් පසු දැන් බොහෝ අය අළු ටිකවත් ගන්නේ නැත. හේතුව ඉඩම් හිඟය නිසා සොහොන් කොතක් හෝ බැඳීම දරුවන් අතර ආරාවුල් ඇති වීමට හේතුවක් වන බැවිනි.

මේක ලියන්නට සිත් වුණේ මගේත් අවසන් කාලය එළඹී තිබෙන නිසා ද කියා මට සිතේ. කෙසේ වෙතත්, දැන්මම අන්තිම කැමැත්ත ලියා තැබිය යුතු යයි මට සිතේ. ඒ උරුම කරන්නට දේවල් තිබෙන නිසා නො ව, මේ විකාරවලින් බේරෙන්නට ක්‍රමයක් සොයා ගන්නට ය. 

විශේෂයෙන් ම මම අකැමැති ම දෙයක් තිබේ. ඒ වනාහි ඉස්‍කෝලවල ගුරුවරයෙක්, සිසුවෙක් එහෙම මැරුණා ම පාසල් ප්‍රජාව යුතුකම් ඉටු කරන ආකාරයයි. ඔවුහු හතරැස් රාමුවල ඉටි රෙදි ගසා එහි මරු කෑලි ලියා මළ ගෙදර අවට ලයිට් කණුවල එල්ලති. ඒවාට පාඨ ලියා දෙන්නේ සිංහල ගුරුවරු හා උසස් පෙළ ළමයි ය. "ඔබ නැති ලෝකය පාළුයි" වගේ ඒවා ය. 

අපේ ෆේස්බුක් මිතුරන් නම් අවමංගල්‍යයකට සහභාගි වන්නේ මළ ගෙදරට ඇවිත්‍ නොවේ. මළ ගෙදරට සම්බන්ධ පිංතූරයක් ෆේස්බුක් දැම්මා ම ඔවුහු ලයික් කරති. නැතිනම් මල් වඩමක් එවති. 

මල් කිව්වා ම මල් වඩම් අනවශ්‍යයි කියන යෙදුම මතක් වේ. ඉස්සර කරුණාරත්න අබේසේකර ලියූ අනගි ‍දැන්වීමක් ගුවන් විදුලියේ ප්‍රචාරය විය. 


සොම්නස දොම්නස පවසන ගොළු බස
මල් නම් ජයරත්න - ජයරත්න නම් මල්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-12

Wigනේශ්වරන්ගේ ඔටුන්න හා Someබන්ධන්ගේ ඔටුන්න


මේ ඔටුනු අප දුටුවේ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත්සභිකයන් දිවුරුම් දීමේ උත්සවයේදී ය. එය අයත් වන සංස්කෘතික උත්සවය ගැන අපට අදහසක් නැත. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ඇගයෙන නූතන යුගයේදී ඔටුනු දාගෙන කරන දේශපාලනය අපට නම් සංස්කෘතික දෙයකට වඩා විකට නාට්‍යයකි.

අපේ කුඩා දියණියන්දෙන්නාට ද මේ වගේ ම ප්ලාස්ටික් ඔටුනු දෙකක් නැන්දා ගෙනැවිත් දී තිබුණා මතක ය. උන් ඒ කාලයේ වැසිකිලි යද්දී පවා ඒක දාගෙන ගියා මතක ය. ටික දිනකින් ඒවා කැඩී බිඳී ගියේ ය. දැන් නම් කෑල්ලක්වත් සොයා ගන්නට නැත. උන් නම් පුංචි එවුන් ය. මේ ඔටුනු දාගෙන ඉන්නේ ලංකාවේ දෙමළ ජනතාවගේ අනාගතයයි. 

සමහර වාමාංශිකයෝ ජාතිකවාදයන් ප්‍රතිගාමී ය, ප්‍රගතිශීලී ය කියා වර්ග කරති. මේ සටහන ඒ ගැන තර්ක කරන්නට නො වේ. විහිළු සැපයීමේදී ජාතිකවාදය ප්‍රගතිශීලී ය, ප්‍රතිගාමී ය කියා වෙනසක් නැති බවට මේ ඡායාරූප දෙස් දෙයි. 

අපි ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ජාතිකවාදය යථාර්ථයකි. එහෙත්, ජාතිකවාදයට කරන්නට පුළුවන් ලොකුම හා ඇතැම් විට එකම මෙහෙය වන්නේ ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් නව දේශපාලන ප්‍රජා අනන්‍යාතාවන් වෙත ජනතාව යොමු කිරීම පමණි. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ළමයින් මහණ කිරීම ගැන නැවතත්

වවුනියාවේ ප්‍රසිද්ධ භික්ෂුවක් පන්සලට රැකවරණය පිණිස භාර දුන් දිළිඳු පවුලක දරුවකුට බරපතල ලිංගික අපචාරයක් කර තිබෙන ආකාරය ඇමති විමල් වීරවංශට සම්බන්ධ ලංකා සී නිවුස් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි.

දරුවන් මහණ කිරීම යනු වහා තහනම් කළ යුතු ක්‍රියාවක් බව අපි පුන, පුනා පෙන්වා දී ඇත්තෙමු. එහෙත්, දරුවන් මහත සාදුලාට ලිංවින්දිත දරුවන්ගේ පවුල්වල දෙමව්පියෝ ද වගකිව යුතු ය. පන්සලෙන් 'රැකවරණය' ලබා ගන්නට තමන් දරුවන් නො තැනිය යුතු ය.

‍අනෙක් පැත්තෙන්, කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වූ මෙවැනි මහණුන්ගේ විකෘති චර්යාවන් අනාගතයේ මුළු රටට ම විපත්තිකාරක වේ. පසුගිය දිනෙක මෙයින් එක් අයෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබා ගනිමින් ස්ව පීඩක ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කළේ ය. තවත් ඇතැමෙක් සිය උන්නතිකාමී උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, ජනයා භේද භින්න කරමින්, සාමය කඩ වන අන්දමින් හැසිරීම පුරුද්දක් කරගෙන තිබේ.

පහත පළවන්නේ අප මේ පිළිබඳව කලින් තැබූ සටහන් කීපයකින් උපුටා ගත් කොටස් ය.

විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති.

යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නො කිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි.

මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණි.

සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද මෙම තත්වය හේතු වී තිබේ. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද ඇත.

කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත. (කියවන්න: ළමා අයිතිවාසිකම් කෙරුමන්ට නො පෙනෙන සාමනේර ප්‍රශ්නය)

බුදු හිමියන් විසින් ගොඩනඟන ලද සංඝයට අයත් අය මෙවැනි පාපී ක්‍රියාවල නියැලිය යුතු නො වන හෙයින් බෞද්ධ ජනමාධ්‍යකරුවන් මෙවැනි වැරදි කරන අය  ඉහත ආකාරයෙන් හඳුන්වනවා විය හැකි ය. එහෙත්, එපමණින් සංඝ සමාජයේ ශෝධනයක් ඇති වන්නේ නැත. 

ළමා කාමුකයන් (pedophiles) ඇතුළු ඇතැම් සමාජ අපරාධකරුවන් සිවුරෙන් ආවරණය වී සිටින බව බොරුවක් නො වේ. බෞද්ධ සමාජයේ ඇතැම් ව්‍යවහාරයන් මේ පනින රිලවුන්ට ඉනිමං තබනවා වැනි ය. 

ළමයින් මහණ කිරීම ඈත අතීතයේ සිට ම සිදු වූව ද, නූතන ළමා හිමිකම් සංල්ප අනුව එය බරපතල ලෙස ළමා හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත්, ලංකාවේ ළමා හිමිකම් ඔස්තාද්ලා කිසිවෙක් මෙම වැරදි භාවිතාවට එරෙහිව හඬ නො නඟති. 

2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ද 2600ක් ළමයින් මහණ කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වේ. 

භික්ෂුත්වය යනු වර්තමාන පාරිභෝගික සමාජයේ දුෂ්කර ක්‍රියාවකි. එහෙයින් පුද්ගලයන් භික්ෂුභාවය සඳහා ඉදිරිපත් වන්නේ අඩුවෙනි. සිවුරු දරා සිටින ඇතැමෙක් ද විනයධර භික්ෂූන් වෙනවා වෙනුවට අසපු ලෙස නම් කර තිබෙන මන්දිරවල කාමසුඛල්ලිකානු ජීවිත ගත කරමින් දේශපාලනය වැනි සංඝයා විසින් නො කළ යුතු ක්‍රියාවල යෙදෙති. බෞද්ධයන්ට සේවය කිරීම පිණිස සිල්වත් භික්ෂූන් ඉතා හිඟ ය. 

එහෙත්, ළමයින් මහණ කිරීම මෙයට කිසි සේත් ම විසඳුමක් නො වේ. අද වන විට උගත්, මධ්‍යම පංතික පවුල්වල දරුවන් මහණ කිරීමක් සිදු වන්නේ ම නැති තරම් ය. මහණ කිරීම සඳහා ළමයින් සොයා ගත හැකි වන්නේ අති දුෂ්කර, දිළිඳු ප්‍රදේශවලිනි. 

ළමයින් මහණ කිරීම වෙනුවට බෞද්ධ සමාජය වෙනත් විසඳුම් සොයා ගත යුතුව ඇති බව අපේ අදහසයි. (කියවන්න: ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද?)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-10

ෆේස්බුක් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි

පානදුර පාසලක පැවැත්වුණ උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ෆේස්බුක් තහනම් කරන්නට රජය අදහස් කරන්නේදැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ඇසී ය. 

ඇත්තෙන් ම ජනාධිපතිතුමා පැවසුවේ ෆේස්බුක් වසංගතයක් බවයි. ජකාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කර තිබූ එහුගේ කතාවේ පිටපතෙහි ෆේස්බුක් තහනම් කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. සජීවී කතාවේදී ඔහු එසේ කීවාදැයි නො දනිමි. 

ඇත්තෙන්ම ෆේස්බුක් වසංගතයකට වඩා නූතන පාරිභෝජනවාදී සමාජය විසින් වන්දනා කරනු ලබන තවත් සේවා රැල්ලකි. එය ජංගම දුරකථන වැනි භාණ්ඩ වන්දනාවේ ම තවත් කො‍ටසකි. 

මම වසර ගණනාවක සිට ෆේස්බුක් ප්‍රොෆයිල් දෙකක් භාවිතා කර ඇත්තෙමි. මේ දෙකේ ම මිතුරු මිතුරියෝ දහසකට වඩා සිටිති. ඒ අතර සෑම තරාතිරමක ම පුද්ගලයෝ සිටිති. එහෙත්, ෆේස්බුක් වසංගතයක් යැයි සිතෙන අන්දමේ අත්දැකීමක් මට නම් ලැබී නැත. හුදකලාවෙන් පීඩා විඳින මිනිසුන්ගේ චැටිං ඇතැම් විට කරදරයක් වී තිබෙනමුත්, එය මග හැරිය නො හැකි දෙයක් නො වේ. 

වැඩි දෙනෙක් ෆේස්බුක් වැනි සමාජ ජාල කෙරෙහි දක්වන්නේ උවමනාවට වැඩි උනන්දුවකි. මේ අධික උනන්දුව නිසා ම එහි කිසියම් ගුප්ත දෙයක් තිබෙන බවක් ඔවුහු සෙස්සන්ට පෙන්වති. සෙසු අයත් මේ අධික උනන්දුව බෝ කර ගනිති. ඉතින් හැමෝ ම ‍ෆේස්බුක් ගැන කතා කරති. ෆේස්බුක් නො දන්නා අය එහි ඇති තමන් නො දන්නා දෙයකට ඉරිසියා කරති. නැතිනම් බිය වෙති. 

වැඩි දෙනෙකුට ෆේස්බුක්හි කරන්නට දෙයක් නැත. ඒ නිසා කරන්නේ තමන්ගේ මිතුරන් විසින් එ‍හි ෂෙයාර් කරන ලද දේ තමන් ද ෂෙයාර් කිරීමයි. නැතිනම් චැට් කිරීමයි. ෆේස්බුක්හි අන්තර්ගතයන් අලුතින් නිර්මානය කරන පිරිස් ඉන්නේ ඉතා ම අ‍තළොස්සකි. ඒ අන්තර්ගතයන් ද බොහෝ විට තමන්ගේ මුහුණේ ඡායාරූපයක් හෝ තමන් සිටින වෙනත් ඡායාරූපයක් වැනි දෙයකට සීමා වේ. තොරතුරු වෙබ් අඩවිවල තමන් දුටු වැදගත් දේ හුවමාරු කර ගැනීම සඳහා සමාජ ජාල භාවිතා කිරීම ඇත්තෙන් ම නව බෙදා හදා ගැනීමේ සංස්කෘතියකට හේතු වී තිබේ. 

ලංකාවේ නම් කුමන අන්දමේ ගැහැනියක් වුව ඡායාරූපයක් ෆේස්බුක් වෙත මුදා හළ විට 'මාර ලස්සනයි' කියන පිරිමි සුලබ ය. එසේම, සාමාන්‍යයෙන් ගැහැනුන් ෆලෝ කිරීම හා ඔවුන් විසින් එකතු කරන අන්තර්ගතයන්ට ලයික් හා කමෙන්ට් දැමීම ද වැඩි ය. 

මගේ ෆේස්බුක් මිතුරන් වන බාල වියේ සිටින්නන් වැඩි දෙනෙක් කරන්නේ සාමාන්‍ය ඡායාරූපයකට සිංග්ලිෂ් කමෙන්ට් දැමීම වැනි පුංචි දේවල් ටිකක් පමණි. එහෙත්, ඔවුහු තමන් ෆේස්බුක් සිටින බව ආඩම්බරයෙන් කියති. 

මිනිස්සු සිය ලිංගික අ‍සහනය මුදා හැරීමට ද නිරතුරුව ම ෆේස්බුක් භාවිතා කරති. පිරිමි සමලිංගිකයෝ සහකරුවන් සොයන්නට ද, විෂම ලිංගික පිරිමි ළාමක තරුණියන් සොයන්නට ද ෆේස්බුක් භාවිතා කරති. ඒ සඳහා බොරු ප්‍රොෆයිල් නිර්මානය කර ගැනීම ලංකාවේ සුලබ දෙයකි. මේවායින් ආරක්ෂා වීමට අවශ්‍ය වන්නේ මොළය පොඩ්ඩක් පාවිච්චි කිරීමයි. එහෙත්, තමන්ගේ ද ලිංගික අසහනයන් ෆේස්බුක් හරහා සුවපත් කරගෙන හෝ තව තීව්‍ර කරගෙන ෆේස්බුක්ට බැනීම තේරුමක් නැත. ‍ෆේස්බුක් වසා දැම්මත්, මේ අසහනයන් පිට දැමීම පිණිස වෙනත් තැන් ලෝකයේ තිබේ. 

මේ අතර, තවත් ඇතැමෙක් ලෝකය වෙනස් කිරීම ෆේස්බුක් හරහා කරන්නට උත්සාහ කරති. ලෝකය වෙනස් කිරීම සඳහා අරගලයේදී ෆේස්බුක් හරහා යම් දායකත්වයන් කළ හැකි මුත් එය තීරණාත්මක සාධකයක් වන්නේ නැත.සමාජ ජාල හරහා පැන නැඟුණ ඇතැම් දේශපාලන රැළි විසින් ඇති කරන ලද ප්‍රතිඵලවල ‍ගැඹුර විමසා බැලූ කල ඒවායින් සමාජයේ ලොකු විප්ලවයක් සිදු වී නැති බව පෙනේ. 

එහෙත්, ඒකාධිපතියෝ තවත් බොහෝ දේවලට සේ ම ෆේස්බුක් වැනි සමාජ ජාලවලට ද බිය වෙති. 

ෆේස්බුක්වලින් ගරිල්ලා යුද්ධ කරන්නට යන අය ද අපට හමු වෙති. ඒ අය තොරතුරු ආරක්ෂාව වැනි මාතෘකා ගැන කතා කරන්නේ හරියට ලෝකය පාලනය වන්නේ ඔවුන් අත ඇති තොරතුරු නිසා යයි අඟවමිනි. 

ඇත්තම කියනවා නම් ෆේස්බුක් යනු මිනිසුන්ගේ අනුකම්පා කළ යුතු බො‍හෝ දුබලකම් සඟවාගෙන වීරයන් ලෙස තමන් කැමති භූමිකාවන් රඟපාන්නට අවස්ථාව ලබා දෙන යම් අවකාශයක් පමණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

සිංහල පුවත්පත් කලාව හා මා කියැවූ නරක ම ලිපිය

අහම්බෙන් නෙත ගැටුණ, මව්බිම පුවත්පතේ පළ වූ මෙම ලිපිය ඔබගේ අවධානය පිණිස යොමු කරන්නේ එය මා මගේ ජීවිතය තුළ කියවා ඇති, රසවත් කරුණක් අඩංගු, ඉතා ම නරක විධියට ලියා ඇති ලිපිය නිසා ය. 

එය වැදගත් යයි මා සිතන්නේ සිංහල පුවත්පත් කලාව හා සම්බන්ධ කරුණු කීපයක් කෙරෙහි එමගින් අවධානය යොමු කෙරෙන බැවිනි. 

සිංහල පුවත්පත්වල භාෂා භාවිතය දැඩි ලෙස පිරිහෙමින් තිබේ.

එයට ප්‍රධාන හේතුවක් වන්නේ උප කර්තෘ භූමිකාවේ තිබෙන පිරිහීමයි. 

ලංකාවේ පුවත්පත් උප කර්තෘවරුන්ට සංස්කරණය පිළිබඳ මනා පුහුණුවක් අවශ්‍ය ය. 

සමස්තයක් ලෙස ම ලංකාවේ පුවත්පත් කලාව පුහුණු කිරීම නිසි අන්දමින් සිදු වන්නේ නැත. පුවත්පත් කලාව උගන්වන බව කියන පාඨමාලාවල ද වැඩපිළිවෙල විමසා බලන්නේ නම් පෙනෙන්නේ ඒවායේ ඉගැන්වීම් ක්‍රමවේද ද යල් පැන ගිය ඒවා බවයි. 

මෙවැනි පාඨමාලාවල බොහෝ විට සිදු වන්නේ කිසියම් පුද්ගලයෙකු සම්පත් දායකයකු ලෙස පැමිණි පම්පෝරියක් ගසා යාමයි.  ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවම ය. 

පුවත්පත් කලාව පිළිබඳ ලියැවී ඇති පොත පත ද ප්‍රායෝගික අංශයට වඩා අවධානය යොමු කර තිබෙන්නේ න්‍යාය කෙරෙහි ය.

ලිපිය මෙතැනින් කියවන්න (වෙබ් සබැඳියාව සොයා දුන්නේ කතන්දර)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-09

මාලි ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

මෝටර් සයිකල් දිනපොතෙහි ගේල් ගාෂියා බර්නාල්චේ ලෙස ලාදු රු කෙලනියේදී
හිරු කණ්ඩායමෙන් ඉවත් වී තවදුරටත් හිරු පුවත්පතට ලියමින් සිටි කෙටි කාලය තුළ මම චේගේ මෝටර් සයිකල් දිනපොත පරිවර්තනය කිරීම ආරම්භ කර තිබිණි. පසුව හිරු පුවත්පත ද නතර වූ අතර, වෙන කවු‍රු‍දෝ එය පරිවර්තනය කර පළ කළ බැවින් මම එම ව්‍යායාමය අත්හළෙමි. විලාසිතාවක් ලෙස චේට ආදරය කිරීමේ පුරුද්දක් මට නැත. 

චේ විලාසිතාවක් වී තිබේ. ඔහු වැනි විප්ලවවාදියකුගේ රූපයක් විලාසිතාවක් බවට පත් වීම පවා පුදුම හිතෙන දෙයකි. එහෙත්, චේගේ රූපය වැළඳ ගන්නා බොහෝ දෙනෙක් චේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේදී පළ කළ අවංකත්වය ගැන දන්නවා නම් අද කියනු ඇත්තේ චේ පල් මෝඩයකු ය කියා ය. කියුබා රජයේ ඇමතිකම අතහැර බොලීවියාවේ කැළෑවකදී ලෝක විප්ලවය වෙනුවෙන් සටන් වැද මිය යාම සඳහා ඔහු කළ තෝරා ගැනීම කරන්නට අද චේ සමරන මිනිස්සු සූදානම් ද?

අපි සාමාන්‍යයෙන් අවසානය දන්නා කතාවල වීරයන්ට කැමැත්තක් දක්වන්නෙමු. ඒ වීරයන් නිර්මානය වී තිබෙන්නේ ම අප හොඳින් දන්නා අවසානයෙනි. තමන්ගේ කතාවේ අවසානය නො දැන සිටි මේ පුද්ගලයෝ තමන් වීරයන් වන බව නො දැන ම මිය ගිය හ. ඔවුන් වීරයන් වන්නට ඇත්තේ වීරයන් නො වන්නට තමන්ට තිබූ උවමනාව නිසා ම වන්නට පුළුවන. 

මම චේගේ මෝටර් සයිකල් දිනපොතට මහත් සේ ඇලුම් කරමි. එය ඇසුරින් කරන ලද චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ චේ සිය උපන් දින රාත්‍රිය ලාදුරු කොලනියේ මිනිසුන් සමග ගත කළ යුතු බව සිතා මහ රෑ සීතලේ ඇදුමින් ද පෙළෙමින් ජීවිතයත්, මරණයත් අතර සටනක් කරමින් ගඟ හරහා පීනන දර්ශනය චේගේ උතුම් ම චරිත ස්වභාවය නිරූපණය කරන බව මගේ අදහසයි. ඒ කුමක්ද?

ඒ වනාහි හෘදය සාක්ෂියයි. 

අද කාලයේ චේ සමරන බොහෝ දෙනෙකු තුළ මේ හෘදය සාක්ෂිය ගෑවී හෝ තිබේ ද? අසාර්ථක කැරැලි වෙනුවෙන් දිවි පිදූ මිනිසුන් නිදන මේ පොළව මත ම සිදු වූ දෙමළ තරුණයන්ගේ කැරැල්ල නින්දිත අන්දමින් පාවා දුන්, තමන්ගෙන් බිඳී ගිය සහෝදරයින්ට තිරිසනුන්ටත් අන්ත ලෙස සලකන, මේ කිසිවක් ගැන පශ්චාත්තාපයක් හෝ නැති දේශපාලන ව්‍යාපාර චේ සැමරීම චේට කළ හැකි ලොකුම නිගාව යයි මට සිතේ. 

චේට ආදරය කරන මිනිසුනි, ඔබේ හෘදය සාක්ෂියට කතා කරන්න. සහෝදර ජනයා වෙනුවෙන් ඔබට ඇති වගකීම ටී කමිසයක් මිළ දී ගැනීමට වඩා බැරෑරුම් දෙයකි. 

(මාතෘකාවේ සඳහන් ගී පදය වෙනුවෙන් ප්‍රණාමය චින්තක ගිතදේවට)



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-08

(විග්නේශ්වරන් දිවුරුම් දුන් ඡායාරූපය) ඥානාසාර හිමියනි, ජීවත් වීම සඳහා අලුත් ව්‍යාපෘතියක් සොයා ගන්නට සිදු වනු ඇත

මේ ඡායාරූපය ඇතැමෙකු මවිත කිරීමට ද, තවෙකෙකු තරහ ගැන්වීමට ද, තවත් අයෙකු දිව හක්කේ ගසාගෙන හිනා වීමට ද හේතු වී තිබේ. 

එ‍හෙත්, මෙම ඡායාරූපයේ ඓතිහාසික වැදගත්කමක් තිබේ. මේ වනාහි 1983න් පසු අන්ත ජාතිකවාදයේ ගිලී ගිය දෙමළ දේශපාලනය සාමාන්‍යකරණය වීම සංකේතවත් කරන්නකි. එය දේශපාලන සන්ධිස්ථානයකි.

මීට කලින් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ දිවුරුම් දීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ යාපනයට එන බවයි. එම අදහස දෙමළ සමාජයට විකිණුවේ "හුහ්, අපි එහෙ යන්නේ නැහැ. එයා මෙහෙ එනවා," කියා ය. ‍එහෙත්, මහින්ද කිසිවක් කියූ බවක් දැනගන්නට නැත. අප සිතන අන්දමින් මහින්දට ඒ කොන්දේසිය දැමීමේ ආත්ම ශක්තිය සම්බන්ධන්ට හෝ විග්නේශ්වරන්ට නැත. 

ලංකාවේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනය ද තමිල්නාඩුවේ දේශපාලනය හා සමාන අන්දමින් සංවර්ධනය වෙමින් තිබේ. දේශපාලනයේ නිරීක්ෂකයන් වී සිටි දෙමළ ජාතික සන්ධානය සැබැවින් ම පාලකයන් වී තිබේ. දැන් ඉතින් විරෝධය පළ කරමින් ඉන්නට බැරි ය. දැන් ඉතින් වැඩ කරන්නට ද සිදු වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව හා උතුරු පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගොඩනඟා ගතහොත් තත්වය වේගයෙන් වෙනස් වනු ඇත. 

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට ඉන්දීය අගමැතිවරයා සහභාගි වෙනවා ද, නැද්ද යන කාරණය මෙහිදී වැදගත් ය. සහභාගි වුවහොත්, ඒ වනාහි ලංකාව, ඉන්දියාව හා උතුරු පළාත් සභාව අතර ධනවාදී අවබෝධතා ගිවිසුමක් වැනි එකකි. අප මෙහිදී ධනවාදී යන විශේෂණ පදය යෙදුවේ ජාතිකවාදය මැඩගෙන උතුරේ ධනවාදය හිස ඔසවන බව අවධාරණය කිරීමටයි.

උතුරු පළාත් සභවේ මහ ඇමති ලෙස විග්නේශ්වරන් වෙනුවට මාවයි සේනාධිරාජා පත් වුණත් මීට වඩා වෙනසක් සිදු වේ යයි සිතිය නො හැකි මුත් විග්නේශ්වරන් වෙනස්කම් නියෝජිතයකු ලෙස ප්‍රබල චරිතයකි. ඔහු සිංහල ජාතිවාදී බලපෑමට නැමෙනසුළු කොළඹ ආණ්ඩුවත්, දෙමළ ජාතිකවාදී උතුරත් අතර තුලනයක් ඇති කිරීමේ සමත් දක්ෂයෙකු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය. ආරංචි විධියට ඔහු පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගි වන ලෙස ඉන්දීය නායකයාගෙන් ඉල්ලා සිටින්නට ද සූදානම් ය. මේ වනාහි දකුණේ හා උතුරේ පාලකයන් අතර ඇති වී තිබෙන අවබෝධයේ ගැඹුරයි. 

අප දන්නා සාමාන්‍ය දෙමළ මධ්‍යම පංතිකයා විග්නේශ්වරන් වැනි පුද්ගලයෙකි. ඔහු මෙවැනි ඡායාරූපයකට ආදරය කරන්නෙකි. ඔහුගේ දරුවෝ ජනාධිපතිතුමා සමග ඡායාරූපයකට පෙනී සිටින්නට ලැබුණු අවස්ථාව ආදරයෙන් වැළඳ ගන්නෝ ය.මේ වනාහි එක ම පංතියක මිනිස්සු ය. 

ඡන්දයෙන් පත් වූ අනෙකුත් පළාත් සභා මන්ත්‍රීහු ද දකුණ හා ජාත්‍යන්තරය සමග කරන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන භාවිතාව තුළ ඉක්මණින් ම සිය සැබෑ දෙමළා සොයා ගනු ඇත. ඇතැමෙක් දැනටමත් සොයාගෙන තිබේ. එලිලන්ගේ බිරිඳ වන ආනන්දි සසිදරන් සෑම ‍දේශපාලන රැස්වීමකදී ම හඬා වැටීමෙන් ඡන්ද රැස් කළා ය. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තම මල්ලී ඡන්දයෙන් දිනවා දැන් ඇමතිකමක් සොයමින් සිටියි. එකට ඡන්දය ඉල්ලන ගමන් දෙමළ ජාතික සන්ධානයේ ම අය ආනන්ද සංගරී පැරදවූවා පමණක් නොව, එහුගේ පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද වෙනත් කාන්තාවකට බෝනස් මන්ත්‍රීකමක් ද අරගෙන දෙන්නට කටයුතු කළ හ. 

මේ සියල්ල මැද සුබවාදී වෙනස්කම් ද සිදු වෙමින් තිබේ. දෙමළ කතා කරන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් පළාත් සභාවේ බෝනස් ආසනයක් වෙන් කිරීම ගැන දෙමළ ජාතික සන්ධානය ගැන මතභේද තිබුණු බවක් සැළ වන්නේ නැත. 

ඕමන්තෙයි, පලෙයි දේශසීමා ස්ථාන නැති ලංකාව වෙනස් ය. දැන් A -9 පාර යන සු‍විශේෂ නාමකරණය ද අසන්නට ලැබෙන්නේ අඩුවෙනි. එය ද සාමාන්‍ය පාරක් වී තිබේ. හැමදාමත් උදේ මා පාසල් යන විටත්, ඇතැම් දිනෙක ප්‍රමාද වී ආපසු එන විටත් මට මතුගම සිට යාපනය බලා යන බස් රථය හමු වේ. කවුරුවත් ඒ දෙස විශේෂ අවධානයක් යොමු කරන්නේ නැත.

රේල් පාර කිලිනොච්චියට ගොස් ඇත. ප්‍රභාකරන්ගේ බංකරය පුපුරුවා දමා ඇත. ඒකීය හෝ එක්සත් ලංකාව මහ පොළවේ නිර්මානය වෙමින් තිබේ. උතුරේ නිර්මානය වෙමින් තිබෙන අලුත් පංතියක හදවත් එකට බැ‍ඳෙමින් තිබේ. 

ඥානාසාර හිමියනි, ජීවත් වීම සඳහා අලුත් ව්‍යාපෘතියක් සොයා ගන්නට සිදු වනු ඇත.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-10-07

සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය'

'සමනල සංධ්වනිය' ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම මතුගම ජානකී සිනමාහලේදී එය නැරඹීමි. එය රසවත් අත්දැකීමක් විය. විශිෂ්ට චිත්‍රපටයක් නො වුණත්, යමක් කතා කිරීමට සිතෙන චිත්‍රපටයකි.

'සමනල සංධ්වනිය' චිත්‍රපටයයේ අදීශගේ අත්දැකීම ජී.බී. සේනානායක විසින් ලියන ලද 'උදුරා ගත් සපත්තුව' කෙටිකතාව සිහිගන්වයි. මෙම කෘති දෙකෙහි ම ඉන්නේ සුළු සිද්ධියක් විසින් සිතෙහි ඇති කරන ලද ශෲංගාරාත්මක බලපෑම හේතුවෙන් විඳවන පුද්ග‍ලයෝ දෙදෙනෙකි.

'සමනල සංධ්වනිය' චිත්‍රපටයේ අදීශ නම් පාසල් සිසුවා අත අහම්බයකින් පත් වන අනුන්ගේ පෙම් හසුනක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සපුරා වෙනස් වේ. ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් විසින් ඇගෙන් වෙන් වුණ පෙම්වතාට ලියන ලද මෙම පෙම් හසුන ඔහු තුළ කම්පනයක් ඇති කරයි.

තමන් දෙදෙනාට වැදගත් දිනයක් වන මාර්තු 07දා සෑම අවුරුද්දකදී ම තමන් කුමාරි උද්‍යානයට එන බව ඇය සිය පෙම්වතාට පවසයි. අදීශ එහි යන්නේ ඒ ලිපිය ඇයට දීමටයි. එහෙත්, ඔහුට එය දෙන්නට ලැබෙන්නේ නැත. ඔහු එම ලිපිය විනාශ කරන්නට උත්සාහ කළ ද ඔහුට එය කරන්නට බැරි ය. ඒ ලියුම නිසා ඔහු කරදර රැසකට මුහුණ දෙයි. ඔහුගේ සොහොයුරා එය ඔහුගෙන් උදුරා ගත්ත ද ඒ ලියුම ඔහුගේ ජීවිතයෙන් ඉවත් වන්නේ නැත. වසර බොහෝ ගණනකට පසුව පවා ඔහු එය හා සම්බන්ධ වේදනාවකින් පෙළෙයි.

සංගීතඥයකු වන ඔහුගේ නිර්මාණ පසුපස මේ සිද්ධිය හොල්මන් කරයි. ඔහුගේ පවුල් ජීවිතයේ ගැටලු ඇති වන්නේ ද ඒ නිසා බව චිත්‍රපටයෙන් පෙන්වා දෙයි. අවසානයේදී ඔහුගේ සොයුරා උපන් දින තෑග්ගක් ලෙස එම ලියුම ඔහුට ආපසු දෙයි. ඔහු වසර ගණනාවකට පසු මීළඟ මාර්තු 07දා නැවතත් කුමාරි උද්‍යානයට යයි. ඔහුට ඇය හමු වේ. ඒ වන විට ඇය වියපත් කාන්තාවකි. ඒ සම්බන්ධය ඔස්සේ ඉදිරියට සිදු වන සිදුවීම්වලිය අවසානයේදී ඔහු වසර බොහෝ ගණනකට පසුව තමන්ගේ සිතට මහා බරක් වූ ඒ ලියුම ඇයට ආපසු දෙයි. එයින් ඔහුගේ සිත නිදහස් වූ බවක් චිත්‍රපටය අවසානයේදී ඇඟ‍වේ.

මිනිස් සිත ගුප්ත ය. එය විග්‍රහ කිරීම අතිශය දුෂ්කර ය. විද්‍යාඥයෝ එක් ආකාරයකට මිනිස් සිත විවරණය කරති. ඒ මනෝ විද්‍යාවෙනි. කලාකරුවෝ සිය නිර්මාන හරහා මනෝ විශ්ලේෂණයක යෙදෙති. ඔවුහු මිනිස් සිත හැසිරෙන ආකාරය විවරණය කරති.

ජයන්ත චන්ද්‍රසිරි සිය කෘතියෙන්අදීශගේ සිත විවරණය කරන්නේ කෙසේ ද? අදීශ ඒ ලියුම ලියූ කාන්තාවට ආදරය කරනවා ද? චිත්‍රපටය පුරා දිවෙන ඔහුගේ අග්‍ර නිර්මානය වන ගීතයෙන් කියවෙන පරිදි නම් එය ආදරයකි. අදීශ ඇයට ආදරය කරන බවක් එහි නිරූපණයන් ඔස්සේ මට නම් නො පෙනිණි. ඔහු ඇය දකින්නට උද්‍යානයට යයි. ඇය පසුපස යයි. ඇය නිසා රණ්ඩු සරුවල්වල පැටලෙයි. ඇය නිසා බුම්මාගෙන සිටියි. අසනීප වෙයි. මත්පැන් බොයි. ගීත ගයයි. එහෙත් ඒ නිරූපණයන් තුළ එවැනි ආදරයක ඉසියුම් ශෲංගාරාත්මක සුන්දරත්වය ගැබ් වී තිබේ ද? මට නම් සිතෙන්නේ 'නැත' කියා ය.

මෙහිදී මට මජීඩ් මජිඩිගේ බරන් චිත්‍රපටය සිහි වේ. එහි පිරිමි වෙස් ගෙන ඉදිකිරීම් වැඩපළක වැඩ කරන දිළිඳු ඇෆ්ගන් සරණාගත තරුණියකට පෙම් කරන විකාර ගති පැවතුම් ඇති කම්කරු තරුණයාගේ ප්‍රේමය සිනමාකරුවා විසින් නිරූපණය කරන ආකාරය අතිශය සුන්දර ය. විකාර ගති පැවතුම් ඇති මෙම තරුණයා තරුණියගේ පියා වැඩපළට පැමිණෙන අවස්ථාවකදී සැඟවෙන ආකාරය මගේ සිත් තදින් පැහැර ගත්තේ ය. තුරුණු ප්‍රේමයේ ශෲංගාරය ඇතැම් විටෙක විකාර ලක්ෂණවලින් ද යුක්ත ය. පෙම්වතුන්ට/වතියන්ට අනෙකාගේ පවුලේ අය දැකීමෙන් පවා පෙම්වතිය හා සම්බන්ධ ශෲංගාරාත්මක හැඟීම් තීව්‍ර වේ.

අදීශගේ ජීවිතයට ලියුමේ සිද්ධිය මෙතරම් බලපාන්නේ කෙසේද යන්න පිළිගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දීමට නිර්මානකරුවා අසමත් වී තිබේ. මනස නම් ගුප්ත ලෝකයේ සොඳුරු හා අඳුරු අහු මුළු වෙත දීප්තිමත් ආලෝක ධාරාවක් එල්ල කිරීමට ඔහු සමත් වන්නේ නැත. ඔහු කරන්නේ මතුපිට අතපතගෑමක් පමණි. 

ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රේමයේ ඒ සියුම් සුන්දරත්වය හසු වන්නේ නැත. ‍එහෙත්, ඔහු දක්ෂ සිනමාකරුවෙකි. ඔහු විසින් කරන ලද එක් ශ්‍රව්‍යමය පෙළහරක් මගේ සිතේ තදින් කා වැදී තිබේ. එහෙත්, ඒ 'සමනල සංධ්වනියෙහි' නො වේ. දඬුබස්නාමානයෙහි ය. එහි මරණ ගෙදරක රාත්‍රියේ දුක, බිය, ගුප්තකම හා නිදිමත මැද මරණ ගෙදර රැස් වූ මිනිසුන්ගේ මුණුමුණුව නිරූපණය කර තිබෙන ඉසියුම්කම අති විශිෂ්ට ය. 'සමනල සංධ්වනියෙහි' ගීත නිර්මානයෙහි දක්නට ලැබෙන මෙම සියුම්කම සමස්තයක් ලෙස චිත්‍රපටයෙන් ගිලිහී තිබේ. එසේ වන්නේ ඇයි?

කතන්දර කීම කලාවේ මූලික ලක්ෂණයකි. විශේෂයෙන් ම, සිනමාවට, නවකතාවට කතන්දරය ඉතා වැදගත් ය. සිනමාකරුවකු හොඳ කතන්දරකාරයකු විය යුතු බව මගේ අදහසයි. ජයන්ත චන්ද්‍රසිරි කතන්දරකරුවකු ලෙස කලින් පෙන්වූ දක්ෂතා පිරිහෙමින් ඇති බවට 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. අතිශය සුන්දර නාට්‍යමය නිර්මාණයක වස්තු බීජයක් ඔහු අත අතු ඉති ලා වැඩෙන්නේ නැත.

කතා පුවත ඉතා සියුම් අන්දමින් ගොතන ආකාරය පිළිබඳ මට සිහිපත් වන හොඳ උදාහරණයක් වන්නේ මිස්ටර් බීන්ගේ චරිතය නිරූපණය කිරීමෙන් ප්‍රසිද්ධ වූ රොවන් ඇට්කින්සන් රඟපාන 'ජොනී ඉංග්ලිෂ්' චිත්‍රපටයයි. එහි පහර දීමක් පිළිබඳ ජොනී සපයන බොරු සාක්ෂි මත පොලිස් සිත්තරෙක් පුද්ගලයකුගේ චිත්‍රයක් අඳියි. එම සිද්ධිය එතනින් හමාර ය. එහෙත් චිත්‍රපටය අවසාන ජවනිකාවේ ජොනීට තෑගි ලැබුණු නවීන මෝටර් රියේ සිය පෙම්වතියත් සමග රවුමක් යමින් සිටියදී ඔහු එහි බොත්තමක් ඔබයි. අසුනත් සමග ගැලවී උඩින් විසි වන ජොනී පිහිනුම් ත‍ටාකයකට ඇද වැටෙයි. ඒ තටාකය අද්දර අසුනක දිගා වී සිටින පුද්ගලයෙකි. ඒ අර පොලිස් සිත්තරා විසින් අඳින ලද පුද්ගලයා ය.

විකාරරූපිත්වය ඔහුගේ කලින් නිර්මානවල ද දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. විකාරරූපිත්වය කලාත්මක ලක්ෂණයකි. එහෙත්, 'සමනල සංධ්වනියෙහි' තිබෙන්නේ විකාරරූපිත්වයක් නොව විකාර ගොඩකි. එහි සීරියස් පෙම්වතා හැර අනෙක් සියලුම චරිත විකාරකාරයෝ ය. පෙම්වතා ද පසුකාලයේ විකාරකාරයෙකි. කුමාරි උද්‍යානයේදී අදීශ රණ්ඩුවකට පැ‍ටලෙන සිද්ධිය පරම විගඩමකි. ඒවා විහිළු ද නො වේ.

මෙම ජවනිකා විසින් අමතනු ලබන්නේ පරපීඩනයෙන් සතුටු වන, ගැඹුරු විහිළුවක් රසවිඳිය නො හැකි අඳබාල ප්‍රේක්ෂක ප්‍රජාවටයි. 

ජාතිකවාදී සිනමා රැල්ල විසින් රසඥතාවට දැවැන්ත බලපෑමක් කර තිබෙන බවට ද 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. සෝමරත්න දිසානායක වැනි අය රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් චිත්‍රපට ශාලාවලට ආකර්ශනය කරගෙන තිබෙන ප්‍රේක්ෂක ප්‍රජාවට ජයන්ත චන්ද්‍රසිරි වැනි සිනමාකරුවෝ බියක් දක්වන බව පෙනේ. එහි ලියුම ලියූ කාන්තාවගේ පෙම්වතා හමුදා නිලධාරියකු බව හෙළි කරමින් ඔහු මේ ප්‍රේම වෘත්තාන්තය ජාතිකවාදය සමග සම්බන්ධ කරයි. එහෙත්, එය චිත්‍රපටයට අවශ්‍ය ද? එයින් සිදු වන්නේ මෙම විශ්ව සාධාරණ අත්දැකීම පටු කෝවකට ඇතුළු කිරීම පමණි. 

සමාජය හා සිනමාව පුරා වැතිරුණු හිස් ස්වෝත්තමවාදී ජාතිකවාදය තුළ සිරගත කරන ලද ප්‍රේක්ෂක පිරිස නම් සපත්තුවේ තරමට ජයන්ත සිය 'සමනල සංධ්වනිය' නම් කකුල කපාගෙන තිබේ. 

'සමනල සංධ්වනිය' ප්‍රේක්ෂකයන්ගේ රසඥතා සිර ගෙවල් පුපුරුවා හැර, වින්දනයේ නිම් වළලු පුළුල් කරන නිර්මානයක් නො වේ. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com