2013-11-29

උසස් පෙළ සුපර් ස්ටාර්ලාට ටියුෂන් සුපර් ස්ටාර්ලාගෙන් කාර්

Photo courtesy: Gossip Lanka News
ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් වානිජ අංශයෙන් විශිෂ්ට ම ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍යාවට ඇ‍ගේ ගිනුම්කරණය ටියුෂන් පංතියේ ගුරුවරයා වන කුමුදු ලියනගේ ලක්ෂ 40ක් වටිනා අලුත් ම අලුත් මෝටර් රථයක් තෑගි කළා.

මේ තෑගි කිරීම තුළින් එක පැත්තකින් ඒ සිසුවිය ගිනුම්කරණය විභාගය සමත් වීමේ මුළු අයිතිය ගන්න මේ ගුරුවරයා උත්සාහ කරනවා. එතකොට දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ඇයට ඉගැන්වීම සඳහා ඒ පාසලේ ගුරුවරුන් කළ මෙහෙය යටපත් වී මේ ටියුෂන් ගුරුවරයා ඉස්මතු වෙනවා.

අනෙක් පැත්තෙන්, මේ ටියුෂන් ගුරුවරයා මේ කරන්නේ ඉතා නිර්මානාත්මක ප්‍රචාරණයක්. ඔහුට මෙයින් ලැ‍බෙන ප්‍රසිද්ධිය ලක්ෂ 40ක් වැය කර ලබා ගන්න අමාරුයි. ගුරුවරයෙක් මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව මෙය නිසා ඔහුට ලැබෙන ප්‍රචාරය හා සමාන ප්‍රචාරයක් අනාගතයේදී ‍කොයි තරම් වටිනා කාරයක් තෑගි දුන්නත් වෙන ගුරුවරයකුට ලබා ගන්න බැහැ. හරියට සිරස සුපර් ස්ටාර් සීසන් වන් එකේදී සිරසට ලැබුණු තැන වගේ එකක් ඉන් පසු වෙන කිසිම චැනලයකට තබා සිරසටවත් නො ලැබුණා වගෙයි.

මෙම සිද්ධිය සොය සොයා කරුණු විමසන පුවතක් වෙනවා විතරක් නොවෙයි, ඊළඟට ‍උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යා‍වෝ මේ ගුරුවරයාගේ පංතිවලට සොය සොයා යන්නත් පටන් ගන්නවා. උසස් පෙළ ශිෂ්‍යයන් 5000ක් ඉන්න ගුරුවරයකුගේ මාසික ආදායම ඉතා පහසුවෙන් ලක්ෂ 40 ඉක්මවනවා.

ඇත්තට ම ළමයි විභාග පාස් වෙන්නේ මේ පංති නිසා ද? මා නම් කියන්නේ එසේ වන්නේ නැති බවයි. මේ සිසුන් විභාග සමත් වන්නේ ඔවුන්ගේ දක්ෂතාව නිසායි. ඔවුන් වෙනත් ඕනෑම හොඳ ගුරුවරයකුගෙන් ඉගෙන ගත්තත් ඔවුහු මේ ප්‍රතිඵලය ම ලබා ගන්නවා. ඒත්, ඔවුන් රටේ නම ගිය ගුරුවරුන් ළඟ පංති යනවා. ඔවුන්ගෙන් දැනුමත් ලබා ගන්නවා. ඔවුන් වෙත නො ගියොත් තමන් විභාගය අසමත් වෙයි කියා බියක් ඔවුන් ළඟ තිබෙනවා. ඒ බිය ඇති කරන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන තරගකාරිත්වයත්, පාසල් අධ්‍යාපනයේ ගැටලුත්, ටියුෂන් ව්‍යාපාරිකයන්ගේ ප්‍රචාරත් හේතු වෙනවා. භීතිය රජ කරන වෙළඳපොළට තමයි, ටියුෂන් ගුරුවරුන් සේවා සපයන්නේ. මේක හරියට කළු කැතයි කියලා සමාජයේ කළු පාටට බියක් ඇති කරලා ඉන් පසු සුදු වෙන්න ෆෙයාර්නස් ක්‍රීම් හඳුන්වා දෙනවා වගේ වැඩක්.

බොහෝ ටියුෂන් පංතිවල වාඩි වෙන්න තිබෙන්නේ බංකු. සිසුන්ට තමන්ගේ කොන්ද කෙළින් තබා ගන්නටවත් බැහැ. ඒ බංකුවලත් වාඩි වෙන්නේ තදබද වෙලා. වාතාශ්‍රය දුර්වලයි. අධ්‍යාපනය තනිකර ම ගුරු කේන්ද්‍රීයයි. ගුරුවරයා කියනවා, ළමයි අහන් ඉන්නවා. වෙන වෙන ම සිසුන්ට අවධානය යොමු කිරීමක් ඇත්තේ ම නැහැ. එහෙම කරන්න ප්‍රායෝගිකව බැහැ. සිසුන් දහස් ගණනක් ශාලාවක් තුළ පීඩාකාරී පරිසරයක සිර කරගෙන සාර්ථක අධ්‍යාපනයක් ලබා දිය හැකි නම්, ඉතිහාසයක් මුළුල්ලේ අධ්‍යාපනඥයන් විසින් කරන ලද ඉදිරිපත් කිරීම් හා අධ්‍යාපන මනෝ විද්‍යාව පට්ට පල් බොරුවක් විය යුතුයි. ශිෂ්‍ය ගුරු අනුපාතිකය එකට දෙතුන් දාහ වෙන ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය සාර්ථකයි කියා කියන්න බැහැ. ඒ නිසා ‍මේ ගුරුවරු එක්තරා අන්දමක මැජික්කාරයන්, අද්භූත බල ඇත්තන් ලෙස පෙනී සිටිනවා. ඒ ප්‍රතිරූපය ගොඩනගා ගන්න ඔවුන් දැවැන්ත ධනස්කන්ධයක් වැය කරනවා. මේ පංතිත් හරියට අර ජේසු ජීවමානයි හරි එහෙම නැතිනම් සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ බණ වගේ. ඒත්, ළමයි මේවාට සතිපතා සහභාගි වෙන්නත් ඕනෑ.

මේ බොරුව යටපත් කරන්නේ යම් යම් ප්‍රයෝගවලින්. එක් ප්‍රයෝගයක් තමයි, සර්ට මාර මතකයක් තිබෙන්නේ. අපි හැමෝගෙම නම් මතකයි ආදී වශයෙන් කියන්න ළමයි පෙළඹෙන තත්වයක් ඇති කිරීම. ඇත්තට ම මේ ළමයි කියන්නේත් බොරුවක්. ඔවුන් මේ බොරුවට දායක වෙන්නේ අවිඥානකව වගේ. ඔවුන් කැමතියි සර් ඔවුන්ව දන්න බව පෙන්නන්න. අැත්ත කිව්වොත්, සර් අඳුනන්නේ පංතියේ ලස්සන, දක්ෂ ගෑනු, පිරිමි ළමයි ටික දෙනෙකුව විතරයි. 

අනෙක් පැත්තෙන් මේ පංතිවල ළමයින් ඉදිරියේ මවන්නේ පාට, පාට හීනයක්. සරුව පිත්තල ටියුට් අධ්‍යාපනයක්.

දැන් බලන්න මේ ලිපියට කමෙන්ට් දාන අය මෙහෙම කියන්න ඉඩ තිබෙනවා. අපි නම් විභාගේ පාස් වුණේ අහවල් සර් නිසායි කියලා. එතැනදී තමන් අහවලාගේ ගෝලයකු ය කීමෙන් තමන්ට අනන්‍යතාවක් ගොඩනගා ගන්න තිබෙන කැමැත්තත් තියවෙනවා. හැමෝම කැමතියි තමන් ප්‍රසිද්ධ ගුරුවරයකුගේ ගෝලයකු බව කියන්න.

කොහොමින් කොහොම හරි මේ ටියුෂන් ගුරුවරුන් විසින් යම් පිරිසක් විභාග සමත් කරන බව ඇත්ත. ඒත්, ඇත්තෙන් ම ඔවුන් ළඟ පංති යන පිරිසෙන් අති බහුතරය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අසමත් වෙනවා. සමත් වන අ‍යටත් ඔවුන් පුහුණු කරන්නේ නිර්මානාත්මක චින්තනයක් නොවෙයි. තමන් දෙන සටහන් හා ක්‍රම අනුගමනය කිරීම විතරයි. ලංකාවේ පවතින අධ්‍යාපන රටාව විසිනුත් නිර්මානශීලිත්වයකට අවස්ථාව ලබා දෙන්නේ නැහැ.

අවසානයේදී ලංකාවේ බිහි වන උගත්තු බහුතරයක් අසීමිත ධන තෘෂ්ණාවකින් යුතුව මුදල් පසුපස හඹා යන හිස් මිනිස්සු.

මම සරළ ප්‍රශ්න කීපයක් අහන්නම්. උපුල් ශාන්ත සන්නස්ගල වගේ සිංහල ඔස්තාද්ලාගෙන් බිහි වුණ සාහිත්‍යකරුවන්ගේ පරම්පරාව කෝ? ඔවුන්ගෙන් ලබා ගත් දැනුමින් සමාජයේ භාෂා ඥානය වර්ධනය නොවුණේ ඇයි? මෙච්චර ඉංග්‍රීසි ඔස්තාද්ලා සිටිද්දීත් ලංකාවේ මිනිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය නො වන්නේ ඇයි? අනෙක් ක්ෂේත්‍රවලත් තත්වය මෙයම තමයි. අනුකාරක උගතුන් පිරිසක් මිසක් නිර්මානාත්මක බුද්ධිමතුන් මේ රටින් එතරම් බිහි නො වන්න හේතුව මේ ටියුෂන් පාදක අධ්‍යාපනය ම තමයි. අඩු තරමේ දක්ෂ කුසලතා පූර්ණ ශ්‍රමිකයන් පිරිසක් හෝ මෙම අධ්‍යාපන ක්‍රමය හරහා බිහි වන්නේ නැහැ. උදාහරණයක් ලෙස මේ ටියුෂන් ගුරුවරුන්ගේ භෞතික විද්‍යා පංතිවලට යන සිසුවෝ පිළිස්සුණු බල්බයක් වෙනුවට අලුත් බල්බයක් මාරු කරන්නට තරම් හෝ ප්‍රායෝගික දැනුමක් ලබන්නේ නැහැ. 

මේ වානිජකරණය වූ බාල අධ්‍යාපනය දැන් අපේ රටම වසා ගනිමින් තිබෙනවා. මේ වර්ගයේ අධ්‍යාපනය බෙදා හරින, සල්ලිවලට කෑදර හිස් මිනිසුන් විසින් අනාගත පරපුරට තිලිණ කරන්නේත් ඒ කෑදරකම හා හිස්කම විතරයි. 

අධ්‍යාපනය නගා සිටුවන්න උත්සාහ නො කළොත් අප‍ේ අනාගත පරපුර වන්නේ මුග්ධයන් පිරිසක්. රටේ විප්ලව කරනවා ය කියන මිනිස්සුත් තමන්ගේ ළමයින් මේ පාරේ ම යවනවා මිසක් විකල්ප ගොඩ නගන්න දැරූ උත්සාහයන් නැහැ. විකල්ප අධ්‍යාපනයක් ගොඩනගන්න අපි මහන්සි විය යුතුයි. අඩු තරමේ සිසුන්ට ‍මේ අධ්‍යාපන තරගකාරිත්වය මැදින් සැබෑ අධ්‍යාපනය විය යුත්තේ කුමක් ද යන්න අ‍වබෝධ කර දෙන්නට හෝ අප උත්සාහ කළ යුතුයි. 

සැබෑ අධ්‍යාපනය යම් දුරකට හෝ තවමත් තිබෙන්නේ පාසලේ මිස ටියුෂන් පංතිවල නොවෙයි. එහෙත්, පාසල් ගුරුවරුන්ට අධ්‍යාපනය පිළිබඳ තිබෙන අවබෝධයේ අඩුකම නිසා ඔවුන් කරන්නේ ටියුෂන් ම ප්‍රවර්ධනය කරන එකයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-28

ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීම

ප්‍රභාකරන්ගේ උපන් දිනයත්, මොනරවිල කැප්පෙටිපොල ඝාතනය කළ දිනයත් නොවැම්බර් 26දා ය.

1818 නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 8.00 ට බෝගම්බර වධකාගාරයේදී මොනරවිල කැප්පෙටිපොල සෙනෙවියා හිස ගසා මරා දමන ලදී. ප්‍රභාකරන් උපන්නේ ඉන් වසර 136කට පසුවයි.

ඉංග්‍රීසීන් විසින් ලංකාව පාලනය කරන ලද සමය තුළ ලංකාවේ කැප්පෙටිපොල සමරන්නට ඉඩක් තිබුණේ නැත. එහෙත් කැප්පෙටිපොල සිංහල මිනිසුන්ගේ හදවත්වල වීරයකු ලෙස ජීවත් වූයේ ය. නිදහසින් පසු ඔහු ජාතික වීරයකු ලෙස නම් කරන ලදී.

කැප්පෙටිපොල නායකත්වය දුන් වෙල්ලස්සේ කැරැල්ලේදී කැරැලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සිය දහස් ගණනින් ඉක්මවා යන ප්‍රචණ්ඩත්වයක් පාලකයන් වෙතින් දියත් විය.

ප්‍රභාකරන්ගේ තත්වය වෙනස් ය. ඔහු විසින් දියත් කරන ලද සටන ප්‍රචණ්ඩත්වය අතින් පාලකයින්ට නො දෙවෙනි එකකි. දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය එය අවසානයේදී තිරශ්චීන පරාජයකින් කෙළවර විය. ඔහු යටත් වූ බවක් වාර්තා වන්නේ නැත. ඔහු මිය යන්නේ සටනේදී ය.

ප්‍රභාකරන් යනු දෙමළ ජාතික විමුක්ති අරගලයේ සංකේතයකි. ඔහු විසින් දෙමළ ජාතියටත්, පොදුවේ ලංකාවටත්, සමස්ත ලෝකයටත් කරන ලද දේශපාලනික මැදිහත්වීම සුළුපටු එකක් නො වේ. ඔහු වීරයෙකු හෝ ද්‍රෝහියකු වන්නේ ඔහු දෙස බලන්නාගේ දෘෂ්ටි කෝණය අනුව ය. එහෙත්, ඔහු දැවැන්ත මැදිහත්වීමක් කළ පුද්ගලයකු බව ප්‍රතික්ෂේප කරන්නට බැරි ය.

ඔහුගේ මැදිහත්වීමේ නිශේධනීය පැති දැකීම ජනප්‍රිය දෙයකි. එහෙත්, ඔනෑම මැදිහත් වීමක සාධනීය, නිශේධනීය යන දෙපැත්ත ම තිබේ. අප විසින් කළ යුතුව තිබෙන්නේ ඒ දෙස දේශපාලනිකව බැලීමයි. සමාජවාදී සමාජ වෙනසක් සඳහා වූ අරගලයේදී මේ අත්දැකීම උපයෝගී කර ගත හැකි ආකාරය විමසා බැලීම අපගේ නිරීක්ෂණයේ පදනම විය යුතු ය. 

ඉතිහාසය තුළ පුද්ගලයකු විසින් හෝ යම් සමාජ කණ්ඩායමක් විසින් හෝ කරන ලද මැදිහත්වීම දේශපාලනිකව විමසා බැලීම තරම් සැමරුමක් තවත් නැත.

අද සිදු වන්නේ එය නො වේ. සියලු දෙනා උත්සාහ කරන්නේ ප්‍රභාකරන්ගෙන් තමන්ගේ පෞරුෂය ගොඩ නඟා ගන්නට ය. ඒ අනුව ඇතැමෙක් උග්‍ර ප්‍රභාකරන් විරෝධීහු ද ඇතැමෙක් උග්‍ර ප්‍රභාකරන්වාදීහු ද ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන ආකාරය මේ දිනවල ප්‍රදර්ශනය වේ.

මේ සිදු වන්නේ ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-27

පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය

කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු හා ඔහුගේ බිරිඳ පොලුවලින් පහර දී අමානුෂික අයුරින් ඝාතනය කිරීම පිළිබඳ සැකයට භාජනය වී තිබුණු සැකකරුවන් පිරිසක් මේ වන විට මරා දමා හමාර ය. දෙදෙනෙක් සිය දිවි නසා ගත් බව කියැවේ. ඔවුන්ගේ ආයුධ පෙන්වන්නට ගිය ගමන තරමක් මහන්සි වී ලියන ලද පිටපතකි. අනෙකා ඊට පෙර සුපුරුදු සාමාන්‍ය අන්දමින් ආයුධ පෙන්නන්නට ගියේ ය.

ඔවුන් ඇත්තට ම මේ මිනී මැරුම කළා ද නැතිනම් ඔවුන් පිටින් යන්නට වෙනත් අය එය සිදු කළා ද යන්න පිළිබඳ පරීක්ෂණයක් නැත.

පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය. ඒ නිසා මින් ඉදිරියට පොලිසියට කවුරුවත් අත නො ඉස්සිය යුතු ය. මෙහි පාඩම එයයි. එතකොට, මෙවැනි පාඩම් ඉගැන්වීම් නිසා ලංකාවේ අපරාධ අඩු වේවි ද?

පොලිසිය පසුගිය කාලයේ පාතාලයේ සෑහෙන පිරිසක් ආයුධ පෙන්නන්නට එක් කරගෙන ගියේ ය. දැන් එතකොට පාතාලයක් නැද්ද? ඒ කියන්නේ ආයුධ පෙන්නන්නට එක්ක යාම ඒ තරම් ඵලදායී වී නැති බව නේ ද? 

කඹුරුපිටියේ මිය ගිය පොලිස් නිලධාරියාගේ හා ඔහුගේ බිරිඳ‍‍ගේ ඥාති මිත්‍රාදීන් ඉල්ලා සිටියේ මේ සැකකරුවන් මේ අන්දමින් ම‍රා දමන ලෙස නො වේ ද? දැන් ඔවුන්ට සතුටු ද?

දැන් එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය මෙය ද?

එකක් කිව හැකි ය. ලංකාව සංචාරකයන් ආකර්ශනය කර ගන්නට යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සිටියි. නීතියේ පාලනයක් නැති මෙවැනි වනචාරී රටකට සංචාරකයන් ඒවි යයි ඔබ සිතනවා ද? ආයෝජකයන් ගැන කියන්නට තිබේන්නේ ද එයයි.

අපරාධකරුවන්ට දඩුවම් කිරීම සිදු විය යුත්තේ නීති ප්‍රකාරව ය. 

ලංකාවට පසුපසින් සිට වේගයෙන් දියුණු වී ලංකාව පසු කර බොහෝ දුර ගිය සිංගප්පූරුව සලකා බලන්න. එහි සංවර්ධනය පසුපස තිබුණු ප්‍රධාන කාරණයක් වූයේ නීතියේ පාලනයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-25

චාල්ස් බිට් මයි ෆින්ගර්

මේ දවස්වල පශ්චාත් චොගම් ආතල්වලින් පත්තර පිටු පිරෙනවා. මේ අතර තිබෙන හිරිකිතම හරිය තමයි, චාල්ස් කුමාරයා නතර වෙච්ච හෝටලේ, එයා කාපු කෑම, ආයුබෝවන් කියපු හැටි, ඔලුව හොල්ලපු හැටි, එකට ෆොටෝ ගත් හැටි ආදිය ගැන තිබෙන විස්තර.

ඒව කියනකොට කෝ යකෝ මේ රටේ හිටපු අධිරාජ්‍ය විරෝධියෝ කොහේ ගිහිල්ලද හිතෙනවා. 

චාල්ස් කුමාරයා අපට විතරක් නෙමෙයි, මහා බ්‍රිතාන්‍යයටත් අද වන විට එච්චර අදාළ නැහැ. මට නම් කොහෙත් ම අදාළ නැහැ. චාල්ස් මාව දන්නෙත් නැහැ. මට නම් උෟව දැන ගන්න ඕනැත් නැහැ. චාලි මොන පඩයෙක් ද? චාලි බිට් මයි ෆිංගර් තරම් වත් චාල්ස් කුමාරයා මට නම් වැදගත් නැහැ.

ඔන්න නාමල් කුමාරයා කන බොන, අනෙක් වැඩ කරන හැටි නම් අපට අදාළයි. මොකද, ඒ අපේ සල්ලිනේ.

අපි මේ චාලිගේ වරුණාව ගහන්නේ මොකද? වෙන මොකක්වත් නිසා නෙමෙයි, අපේ තියෙන යටත් විජිත මානසිකත්වය නිසා. 

අපේ හිත ඇතුළෙ තවමත් ඉන්නේ සුද්දාගේ පා මුල දන ගහගෙන බැලමහෙ කරමින් සුද්දාව අනුකරණය කරන දීනයෙක්. 

මේ දීනයා ඊළඟට පාලක පවුල ළඟත් මේ වගේ ම දනින් වැටෙනවා. දනින් වැටීම ප්‍රාදේශීය සභා මන්තිරියා දක්වා ම යනවා. මම නම් කියන්නේ අපි මුංව පඩේකට ගණන් ගන්න හොඳ නැහැ. අපි උන්ගෙන් කන්නෙ නැහැනේ. උන් තමයි, අපේ දාඩිය මහන්සියෙන් කන්නෙ.

මුන්ව නියපොත්තෙන් උඩට ගණන් ගන්න එපා. උන් අපිව ගණන් ගන්නෙත් නැති නිසා වැඩේ එච්චර අමාරු නැහැ. උන්ගෙන් ඈත් වීම මේ මොහොතේ අතිශය දේශපාලනිකයි. යන්න එපා ඕකුන්ගේ ඉඳුල් කන්න. හෝදන්න එපා උන්ගෙ පුක. 

එහෙම කරන එවුන්ගෙනුත් ඈත් වෙන්න. 

කෝ මොකවත් වෙන්නේ නැහැනේ කියලා කියන අයට මම කියනවා, මෙන්න දේශපාලනය. ඔන්න කරන්න. මොකද කියන්නෙ? තියෙනවද කොන්ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-24

දෙමළ කිවි ජයපාලන් අල්ලා පිටුවහල් කිරීම

විදේශයක වාසය කරන ලංකාවේ ප්‍රකට දෙමළ කවියකු වන ව.අයි.ස. ජෙයපාලන් යාපනයේදී වීසා කොන්දේසි උල්ලංඝනය කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ජෙයපාලන් නම් කවියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නය පමණක් නොව. ජෙයපාලන් නම් විදේශිකයා වීසා රෙගුලාසි උල්ලංඝනය පිළිබඳ අත්අඩංගුවට ගැනීම නම් දේශපාලන ප්‍රශ්නය ද තිබේ.

ඇත්තට ම ජෙයපාලන් විදේශිකයෙක් ද? ඔහු කිසියම් තත්වයක් මත ශ්‍රී ලාංකික නම් ජාතිය අත්හළ අයෙකි. එහෙත්, ඔහු තවමත් යම් දුරකට හෝ තමන් ලාංකික දෙමළ ජාතිකයකු ලෙස සලකයි.

නීතිය ඉදිරියේ නම්, ඔහු ලාංකික පුරවැසිභාවය අතහැර දැන් නෝර්වේහි පුරවැසිභාවය ලබාගෙන සිටින නෝර්වේ ජාතිකයෙකි. සිය ජාතිය වෙනස් කිරීම මානව හිමිකමකි. එහෙත්, ජාතිය වෙනස් කළ පමණින් මිනිසුන්ගේ සියලු මුල් ඉදිරෙන්නේ නැත. අතීතකාමය, සංස්කෘතික බැඳීම්, දේශපාලනික කාරණා ආදිය නිසා මිනිස්සු දිගින් දිගට ම මුල් රට හා බැඳී සිටිති. පරම්පරා ගණනාවකට පසුව පවා මිනිස්සු මේ බැඳීම පවත්වාගෙන යති.

අනෙක් පැත්තෙන් දේශපාලනික හා සමාජ හේතු මත සංක්‍රමණය වූ මිනිස්සු තමන්ගේ මුල් රටේ තමන්ට සංක්‍රමණය වන්නට හේතු වූ කාරණාවල වෙනස්කම් පිළිබඳ සංවේදී වෙති. එසේම, ඔවුන් තමන් අලුතින් වැළඳ ගත් ජාතිය හා සැබැවින් ම අනුකලනය වීමේ ගැටලුවකට මුහුණ දෙති. ලාංකීය පුරවැසිකම අතහැර තමන් ගිය රටේ පුරවැසියන් වීම මුලින් ම අරඹන්නේ ඔවුන්ගේ දෙවන පරම්පරාවයි.

මේ පිරිස දෙස මෙසේ ද බලන්නට පුළුවන. මොවුහු තමන්ට තිබූ සත්‍ය තර්ජන නිසා හ‍ෝ නිර්මානය කර ගත් තත්වයන් මත හෝ සංක්‍රමණය වුණේ ලංකාව හෙළා දකිමිනි. (මේ රට හෙළා දකින්නට අවශ්‍ය කාරණා තවමත් එහෙමම තිබේ.) ඔවුන්ගේ සංක්‍රමණය වීම පසුපස ආත්මාර්ථකාමී, උන්නතිකාමී, තෘෂ්ණාධික උවමනාවන් තිබිණි. එහෙත්, ඔවුන් මුහුණ දෙන ගැටලුව වන්නේ තමන්ට මව් රටේ තිබුණු පිළිගැනීම තමන් ගිය ‍රටේ නැති වීමයි. ඒ නිසා තමන්ගේ රටේ දුක් විඳින, දුප්පත් මිනිසුන්ගෙන් කීර්ති ප්‍රශංසා භුක්ති විඳීම සඳහා මේ පිරිස් නැවත, නැවත මුල් රටට පැමිණ යති.ඒ අර්ථයෙන් ගත් කල ඔවුහු කිසියම් සංචාරක ප්‍රවර්ගයකි. එහෙත්, මේ සංචාරකයන් හෝටල්වල නතර නො වන, බලන්න යන තැන්වලදී විදේශිකයන් සඳහා වූ ප්‍රවේශ පත්‍ර මිළ දී නො ගන්නා පිරිසක් නිසා මේ පිරිසගෙන් ලංකාවේ ආර්ථිකයට වැඩක් නැත. ආණ්ඩුව ඔවුන්ට නො සලකන්නේ ඒ නිසා විය හැකි ය.

මෙම තත්වය ද ඒ ඒ පුද්ගලයන්ගේ වරදකැයි කියන්නට බැරි ය. ‍හේතුව, මිනිසුන් වඩා හොඳ ජීවිතයක් සොයා මේ රටින් පළා යාමට පොළඹවන්නේ ද  සමාජ, ආර්ථික හා දේශපාලන හේතු විසින් බැවිනි. සමාජයක් ලෙස තම විමුක්තිය සලස්වා ගන්නවාට වඩා පෞද්ගලිකව හෝ පවුලක් ලෙස තම අභිලාෂයන් සපුරා ගැනීමේ ආත්මාර්ථකාමී ක්‍රියාවලියක් මෙහි තිබේ.එහෙත්, ඔවුන් ගිය තැන්වලදී ඔව්හු දිළිඳු, පීඩිත ජන කොට්ඨාසයක් නිසා ඔවුන්ගේ සියලු සිහින සැබෑ වී නැත. ඔවුන්ට සතුටක් දැනෙන්නේ මේ රටේ මිනිසුන්ට සංදර්ශන පැවැත්වීමෙන් පමණක් විය හැකි ය.

මොවුන්ගේ ජීවිතය පිළිබඳ නිදසුනක් ලෙස පසුගිය යුද සමය සැලකිය හැකි ය. ඔවුහු කොටි සංවිධානයට යුද්ධය කරගෙන යාම සඳහා ආධාර කළ හ. කොටි සංවිධානය ඒ මුදල් දෙමළ සමාජය විනාශය දෙසට යොමු කිරීම සඳහා යොදා ගනිද්දීත් ඔවුහු නිහඬව උන් හ. අන්ධ ලෙස කොටි සංවිධානය වන්දනා කරමින් යුද්ධයට පක්ෂ වූ හ. යුද්ධයේදී වන්නියේ ජනයා ලක්ෂ ගණනින් අවතැන් වෙමින්, ප්‍රහාරවලට ලක් වෙමින්, මිය යමින් සිටි සමයේ මොවුන් තමන් සිටි රටවල සැපෙන් සිටිමින් පුවත්පත් නිවේදන නිකුත් කළා මිස කළ කෙංගෙඩියක් නැත. මෙතරම් දෙමළ වීරයන් ඩයස්පෝරාවේ සිටිද්දී ලංකාවේ යුද්ධය නවත්වන්නැයි තීරණාත්මක බලපෑමක් කිරීම සඳහා මොවුන් එකතු වුණේ නැත. ‍හේතුව හැඟීමක් නොමැතිකමම නොවේ. තමන් රස්සා කරන තැන්වලින් නිවාඩු ගන්නට බැරිකමයි.

නාමෙල් - මාලිනී වීරමුනි යුවල මුදල් ටිකක් උපයාගෙන ආපසු ලංකාවට පැමිණ පුංචි තියටරය ආරම්භ කළ හ. රූකාන්ත ගුණතිලක යුවල ද තමන්‍ට පීඩා කළ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග බලයෙන් ගිලිහුණු පසු ආපසු පැමිණිය හ.

ආපසු පැමිණෙන බොහෝ අය තවමත් ඉන්නේ කකුලක් හෝ ඇඟිල්ලක් ඒ රටේ තබාගෙන ය. උදාහරණයක් ලෙස සෝමවංශ අමරසිංහ තමන්ගේ උතුම් මාතෘභූමියේ මෙන් ම බටහිර අධිරාජ්‍යවාදී ප්‍රංශයේ ද පුරවැසිභාවය රැකගෙන සිටියි. මේ රටේ තිබෙන අනාරක්ෂිතභාවය එයට හේතුවකි. ආරක්ෂාව තිරසාර වීමට නම් රටක ජාතීන් අතර සංහිඳියාව නිර්මානය විය යුතු ය.සංහිඳියාව තහවුරු වුණොත් රට පනින්නට ලැබෙන්නේ නැත. ලංකාවේ පාලකයන්ගේ දූෂණ මට්ටම දෙස බැලූ කල මේ රටේ මිනිසුන්ට සම්ම ජාතියේ ගොඩ යාමක් තිබේදැයි සිතන්නට බැරි ය. 

රට පනින මිනිසුන් වැඩි දෙනෙක් මෙහේ හිටියත් වැඩක් නැත. උන් ද කරනු ඇත්තේ 'දෑත ශක්තිමත් කරමින්' තමන්ගේ මිනී වල තමන්ගේ පය යටින් ම කපා ගැනීමයි.

දැන් ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය දීම අත්හිටුවා තිබේ. මෙහි දෙපැත්තක් තිබේ. රටට කිසිදු ප්‍රයෝජනයක් නැති මිනිසුන්ට ද්විත්ව පුරවැසිභාවය දීමෙන් පලක් නැත. එයින් සිදු වන්නේ ඔවුන් මේ රටට එන විට ලැබෙන බදු ආදායම හෝ නො ලැබී යාමයි.එසේම, රටට සේවයක් කිරීමට ඇත්තට ම කැමති මිනිසුන්ට මෙහිදී අසාධාරණයක් සිදු වේ. එසේ වන්නේ රටට වැඩක් නැති කාලකන්නින් විශාල පිරිසක් කලින් ලබා ගත් ද්විත්ව පුරවැසිකම ෂපාන් එකේ භුක්ති විඳිමින් සිටින අතරතුර ය. එය විසින් බරපතල විෂමතාවක් නිර්මානය කරයි.

මේ ප්‍රශ්නයේදී අප ගත යුතුව තිබෙන ස්ථාවරය කුමක් ද? විදේශික වී සිටින ලාංකිකයන් සම්පතක් ලෙස සලකන්නට අපට බැරි ද? ඔවුන් ඒ ඒ රටවල සිටියදී ම ඔවුන්ගෙන් අපේ රටට යම් මෙහෙයක් ලබා ගැන්නට අපට බැරි ද? ආණ්ඩුවට තිබෙන ප්‍රශ්නය වන්නේ විදෙස්ගත දෙමළ ප්‍රජාව කොටි සංවිධානය විසින් මැනැවින් සිය අරගලය සඳහා යොදා ගැනීමයි. ඒ අරමුදල් රැස් කිරීම වෙනුවෙනි. එහෙත්, කොටි සංවිධානයට පවා මේ පිරිස දේශපාලනිකව බලමුළු ගන්වා ගැනීමට බැරි විය. එයට හේතුව කොටින්ගේ ඒකාධිපති ස්වරූපයයි. අරමුදල් රැස් කිරීම කෙසේ වෙතත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් බලමුළු ගන්වා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් අවශ්‍ය ය. දෙමළ ඩයස්පෝරාව කොටි සංවිධානය පමණක් නොව තම ඥාතීන් පවා වන්නියේ හුදකලා කර රස්සාවල් කරමින් යුද්ධයේ පරාජය නරඹන්නේ මේ සංදර්භය තුළයි. 

දැන් කොටි සංවිධානය අතීතයකි. එය අනාගතයක් නො වන්නට නම්, දේශීය හා විදෙස්ගත දෙමළ ජනයා දෙස අලුත් ඇසකින් බැලීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතු ය. ආණ්ඩුවට එසේ නැතිනම්, සිංහල ජනතාව හෝ ඒ හැකියාව ගොඩනගා ගත යුතු ය. 

විදෙස්ගත ලාංකික ප්‍රජාව යනු දේශීය ප්‍රජාවට නො වෙනස්  ආත්මාර්ථකාමී, ධනකාමී, උන්නතිකාමී, පාරිභෝජනවාදී පිරිසකි. ඔවුන් රජය වැනි දැවැන්ත සමාගමක වෛරයට පාත්‍ර වන්නට තරම් ශක්තිමත් පිරිසක් නො වේ. ඔවුන්ට අනුකම්පා කළ යුතු ය. 

තමන්ගේ මව් රටට එන ඔවුන් විදේශිකයන් ලෙස සැලකීමෙහි ගැටලුවක් තිබේ. ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා ඔවුන්ගේ දායකත්වය ද අවශ්‍ය ය. ඔවුන් ලංකාවට එන්නේ ලංකාවේ මිනිසුන් හා සම්පත් සූරා කන්නට පමණක් නම් එතැන සදාචාරාත්මක ගැටලුවක් තිබේ. දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සම්බන්ධයෙන් නම් ඇසිය යුතු කාරණයක් තිබේ. වන්නියේ මඩු කූඩාරම් තුළට වී ජීවිත යළි ගොඩනඟා ගන්නට උත්සාහ කරන යුද්ධයෙන් පීඩාවට පත් අසරණ දෙමළ මිනිසුන් වෙනුවෙන් ඔවුන් කරන යමක් තිබේ ද යන්න ඉතා වැදගත් ය. 

සමාජවාදීන් ලෙස අප පෙනී සිටිය යුත්තේ නිදහස් සංචලනය සඳහා මිනිසුන්ට තිබෙන අයිතිය වෙනුවෙනි. එහෙත්, ඒ සමග ම ජාතිකවාදය නිදහස් සංචලනය සඳහා ඇති ප්‍රධාන බාධාවක් ලෙස ද සැලකිය යුතු ය. නිදහස් සංචලන හිමිකම වෙනුවෙන් කරන අරගලය ජාතිකවාදයට ද එරෙහි සටනකි. ජාතිකවාදී වෙමින් නිදහස් සංචලනය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රෝඩාවකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-23

පොලිසිය හා පාතාල ලෝකය අතර වෙනස කුමක්ද?

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධ සිද්ධි දෙකක් වාර්තා වුණා. එයින් එකක් කැකිරාවේ පදිංචිකරුවකු වූ හිටපු පොලිස් පරීක්ෂකවරයකුගේ ඝාතනයකට සම්බන්ධයි. මේ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත් දෙන්නේ ඔහු සමග එකට ජීවත් වූ කොළඹ හතේ ධනවත් පරම්පරාවකින් පැවත එන කාන්තාවක්. ඔහු ඇයගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලමින් කරදර කරමින් සිටි නිසා ඇය ඔහු මරා දමන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඇගේ රියදුරා ඇතුළු පිරිසක් විසින් ඔහු මරා කිතුල්ගලදී කැලනි ග‍ඟේ ඔබන්නේ පසුගිය ජුනි 21දායි.

හැබැයි, මේ සිද්ධිය ඒ දිනවල ම අසු වෙනවා. ඝාතනයට සම්බන්ධ රියදුරා තලංගම පොලිසියට සිද්ධිය හෙළිදරව් කරනවා. ඒත්, තලංගම පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් එක්ව රුපියල් කෝටියක පමණ පගාවක් මිනීමරු ධනවත් කාන්තාවගෙන් ලබාගෙන සිද්ධිය යට ගහනවා. පසුව කොළඹ අපරාධ අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මේ පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා.

දෙවන සිද්ධියේදී ඝාතනය වන්නේ කඹුරුපිටි‍යේ පදිංචි, මාතර සේවයේ නියුතු පොලිස් කොස්තාපල්ව‍රයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් දියත් කළ නිලධාරියෙක්. ඔහුගේ නිවස ආසන්නයේ ම පදිංචි මැරවරයෙක් විසින් මෙහෙයවන ලද පිරිසක් ඔහුවත්, ඔහුගේ බිරිඳවත් පොලුවලින් පහර දී, කපා කොටා, වෙඩි තබා මරා දමන්නේ දරුවන් දෙදෙනා ඉදිරිපිටදීමයි.

ඔහු මරා දැමූවන් අත්අඩංගුවට ගන්න දැන් දැවැන්ත මෙහෙයුමක් දියත් වෙනවා. මුලින් ම අත්අඩංගුවට පත් වූ සැකකරු ආයුධ පෙන්නන්න ගිහින් පොලිසියට පහර දී පළා යන්නට තැත් කරද්දී වෙඩි තබා මරා දමන ලද බව දැන් පොලිසිය කියනවා. මේ කතාව ඉතින් කාටත් පුරුදු කතාවක්නේ. 

මේ සිද්ධි දෙක වගේ ම තවත් සිද්ධි රාශියක් පසුගිය කාලයේ වාර්තා වුණා. ඒ අතරින් වැදගත් ම සිද්ධිය වන්නේ කොන්ත්‍රාත් මිනීමැරුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට නඩු පැවරීම. 

ලංකාවේ පොලිසිය කියන්නේ ඇත්තට ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතනයක් ද, නැතිනම් ජනතාව ආරක්ෂා විය යුතු ආයතනයක් ද යන්න මම මෙහිදී මතු කරන ප්‍රශ්නයයි. 

ලංකාවේ පොලිසිය භයානක ලෙස පාතාලකරණය වෙලා. පොලිසියට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව පොලිසිය දේශපාලනීකරණය වීමයි. ලංකාවේ දේශපාලනය කියන්නේ පාතාල වැඩක් නේ. 

රටක පොලිස් සේවය මේ අන්දමින් පිරිහීම කියන්නේ රටේ නීතිය හා සාමය පිළිබඳ බරපතල ගැටලුවක්. මේ පිරිහීම අලුත් දෙයක් නො වුණත්, දැන් එය අන්තයකට ගමන් කරමින් තිබෙනවා. පසුගිය සමයේ පොලිසියේ මිලිටරි ලක්ෂණ අවම කර එය සිවිල් ආයතනයක් බවට පත් කිරීමේ යම් ප්‍රයත්නයක් දකින්න ලැබුණා. හමුදා කඳවුරු වගේ තිබුණු පොලීසි සාමාන්‍ය කාර්යාල ස්වභාවයට වෙනස් කරනවා දකින්න ලැබුණා. ඒත්, පොලිසියේ දූෂිත මානසිකත්වය නම් මේ එකකින්වත් වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි. මෙය රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ම ගැටලුවක් ලෙස සලකන්න පුළුවන්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-21

සාම දේශපාලනය හා සමාජවාදය: සාදු ජන රාවයේ ජයතිලක බංඩාර නම් දේශපාලන සත්වයා

ජයතිලක බංඩාර කියන්නේ සුහද මිතුරෙක්. වචනයේ පරිසමාප්ත අයුරින් ම ‍සහෝදරයෙක්. සටන් සගයෙක්. සංගීතය අනුපාණෙට අරගෙන දේශපාලන පණිවුඩයක් දෙන්න හදන දේශපාලන ක්‍රියාධරයෙක්. ඔහු ගැන කතා කරන්න හිතුණේ පසුගිය දිනවල ඔහු ආරම්භ කළ 'බියෙන් අත්මිදෙමු' නම් සංගීත, දේශපාලන වැඩසටහන නිසායි.

ලංකාවේ සංස්කෘතික, දේශපාලන පෙරමුණේ මේ වන විට රජයමින් පවතින දීනත්වයට හේතුව මේ බිය ම නො වෙන්න පුළුවන්. බියට වඩා මෙතැන තිබෙන්නේ කෑදරකම. ධනේශ්වර පාරිභෝජනවාදයේ ගිලීම හා පෞද්ගලික හා පවුල් උන්නතිකාමය.

ජයතිලක බංඩාර එක්ක එකට හිර ගෙයි හිටිය, ගුණදාස කපුගේ රජරට සේවයේ සිටි කාලයේ ප්‍රගතිශීලී දේශපාලන පසුබිමක් සහිතව කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට ආ කරුණාරත්න දිවුල්ගනේ අද ඉන්න තැන මම කියන කරුණ සනාථ කරනවා. හැමෝ ම දෑත් ශක්තිමත් කරන්න යන්නේ බිය නිසා ද? ලංකාවේ නමක් තබාගෙන සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ සුන්දර නිහතමානි ද මැල් පසුගිය දිනවල සිළුමිණේ කර්තෘකම භාර ගත්තා. කර්තෘවරයාට ප්‍රවෘත්ති ගැන තීරණයක් ගත නො හැකි පුවත්පතක කර්තෘ වෙන්න ඔහු තීරණය කරන්නේ බිය නිසා ම ද?

ජයතිලක බංඩාර සාදු ජන රාව හා ගී රස වින්දන වැඩසටහන් දිවයිනේ ගම් නියම්ගම් කරා ගෙන යමින් සංගීතය ඇසුරු කර ගනිමින් ජාතික ප්‍රශ්නය හා සමාජවාදය ගැන දේශපාලන කතිකාවක යෙදුණා. වැඩසටහනක් ඉදිරිපත් කරලා, එදා රෑ ගමක නතර වෙලා, මධුවිතක් සප්පායම් වෙන ගමන් ඔහු ඇතුළු පිරිස සමග ගත කළ රසවත් සන්ධ්‍යාවන් ගැන මතක තිබෙන බොහෝ අය මේ ලිපිය කියවනවා ඇති. ඔහුගේ ජීවිතය ම දේශපාලනික ජීවිතයක්. ඔහු ජනප්‍රියත්වය හා මුදල් පසුපස හඹා ගියේ නැහැ. හැබැයි, ඔහු කළමනාකරුවකු ලෙසත් තිරසාර අන්දමින් තම වැඩසටහන පවත්වාගෙන ගිය ප්‍රායෝගික මිනිහෙක්.

සාදු ජනරාව කියන්නේ සරළ, සුන්දර, සංගීත දේශපාලන කතිකාවක්. සරළ ගී කීපයක් ගායනා කරමින් දේශපාලනය සාකච්ඡා කළ වැඩසටහනක්.

එය ගමින් ගමට රැගෙන යන්න ඉවහල් වුණ වාමාංශික, සිවිල් සමාජ බලවේගය අද කෝ? ජයේ 'බියෙන් අත්මිදෙමු' කියා කියන්නේ මේ කට්ටිය බිය නිසා දැන් මුළුගැන්විලා ය කියලා හිතලා වෙන්න ඇති. කවුරුහරි බියෙන් ඉන්නවා නම් එයින් අත්මිදීම අරගලය සඳහා අවශ්‍යයි. යම් දුරකට මෙතැන තිබෙන්නේ හොරට නිදා ගැනීම. ඒකයි මේ බලවේගය අවදි කරන්න අමාරු.

ජයතිලක බංඩාර මට මුල් වරට හමු වුණේ 1994දී, මම ගුරු වෘත්තියේ මුල් පත්වීම අරගෙන පදවියේ වැඩ කරමින් ඉන්න අතරෙදි. ආණ්ඩු පෙරළියක් වෙමින් තිබුණු ඒ කාලේ රටේ ලොකු සාම රැල්ලක් තිබුණා. සාම රාජ්‍ය නො වන සංවිධාන රැසක් ක්‍රියාකාරී වෙමින් තිබුණා. පදවිය මායිම් ගම්මානයක්. යුද්ධයේ සජීවී අත්දැකීම් තිබුණු එච්. ‍ඩී. පෙරේරා වගේ සහෝදරයින් පිරිසක් රාජ්‍ය නොවන සංවිධානත් එක්ක එක්ව පදවියේ ලොකු සාම රැළියක් කළා. ඒ කාලේ මතු වෙමින් ආ ‍‍පොදු පෙරමුණු රැල්ල එක්ක මේ වැඩසටහනට දැවැන්ත සහභාගිත්වයක් ලැබුණා. මං තමයි, ඒ රැළියේ ‍නිවේදකයා වුණේ.

චන්ද්‍රිකා බලයට පත් වී වැඩි කාලයක් යන්නට පෙර මේ බලවේගය ඒ පසුපස වැටී නන්නත්තාර වුණා. උදාහරණයක් ලෙස, බාර් නො තිබුණු පදවියේ බාර් දමාගන්න මේ බලවේගයේ හිටි නායකයෝ බර්ටි ප්‍රේමලාල් හා තිස්ස කරල්ලියද්ද පස්සෙන් වැටුණා. අපි ඒ දිනවල ඔවුන්ට විහිළුවට නම් පටබැඳලා තිබුණෙ රබී - 1, රබී - 2 ‍අාදී වශයෙන්. ඒ ඔවුන්ගේ ලිපි ගොනු අංක.

මේ වැඩසටහන්වලට සහභාගි වෙන්න කොළඹින් ආපු චරිතයක් තමයි, එස්. මනෝරංජන්. ඔහු මේ දිනවල හදිසි අනතුරක් නිසා ඇවිද්දේ කිහිලි කරුවකින්. ඔහු රඟපෑවේ රණ බිමෙන් ආ සාම කුරුල්ලෙක් වගේ. ඒ දවස්වල අපි පාසල්වල සාම සම්මන්ත්‍රණ සංවිධානය කළා. ඒවායේ මනෝරංජන් කතා කළා. ‍මනෝරංජන්ගේ කතාවෙන් පසුව හැමදාමත් කවුරුහරි චිට් එකක් දුන්නා, "මනෝරංජන් අයියේ, අපි ආසයි ඔයා දෙමළෙන් කතා කරනවා අහන්න. ඒ නිසා දෙමළෙනුත් කතා කරන්න," කියලා. බුද්ධංගල පාසලේ අපි සංවිධානය කරපු සම්මන්ත්‍රණයේදී මට මේ වැඩේ අතට අහු වුණා. මේ තුණ්ඩු කෑල්ල දෙන්නේ මනෝරංජන් එක්ක ආපු ගෝලයෙක්.

මේ වැඩ අතරේදී හමු වුණ සුනන්ද දේශප්‍රිය නිසා මම යුක්තිය පත්තරේට සම්බන්ධ වුණා. පදවිය, වැලිඔය ගැන ලිව්වා.

1995 නැවත යුද්ධය පටන් ගන්නකොට මම පදවියේ ලංකාදීප වාර්තාකරු. 1995 ජුලි මාසයේදී විතර කොටි සංවිධානය විසින් වැලිඔය කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයක් අසාර්ථක වෙලා කොටි සෙබළියෝ තුන්සීයක් විතර මැරුණා. මේ ගැන වාර්තා කරන්න ගිය වෙලාවේ සුණු විසුණු වුණ කාන්තා මළ සිරුරු ගොඩ දැකලා මට ඇති වුණේ කම්පනයක්. එක් අවස්ථාවකදී සෙබළු කෑලි කැඩිච්ච මිනියක් උස්සලා ට්‍රක් රියකට දමද්දී එය බිමට වැ‍ටුණා. මේ අවස්ථාවෙ එක් සෙබළෙකුට 'පව් මචං' කියා කියවුණා.

මේ සිද්ධියේ වාර්තාවත් අ‍රගෙන එදා රෑ මං පදවියේ සිට අනුරාධපුරයට බසයෙන් ඇවිත් රාත්‍රී තැපැල් දුම්රියේ බිම වාඩි වෙලා කොළඹ එන අතරෙදි 'වැලිඔයට ආ නංගිලා' කියා කවියක් ලිව්වා. පසුව ජ‍යතිලක බංඩාරත්, මහින්ද චන්ද්‍ර‍සේකරත් මේ කවිය සාදු ජනරාව වැඩසටහනේදී කිය කියා ගියා. මා ගැනත් කිව්වා.

මගේ මුල්ම කෙටිකතා පොත වූ 'කතා කරන බළලා' එළිදැක්වූවේ පදවියේදී. එදාත් ජයතිලක බංඩාර සහෝදරයා ගී ගැයුවා. මහින්ද චන්ද්‍රසේකරත්, කරුණාරත්න අමරසිංහත් පොත ගැන කතා කළා. මෙහෙම හැදිච්ච මිතුදම අලුත් වුණේ වසර 2000දී මම අනුරාධපුරයේ දෙවන පියවරේ ජයතිලක බංඩාරගේ නිවස අද්දර පදිංචි වුණාමයි.

හිරු පත්තරේ ජවිපෙ අතේ තිබුණු කාලෙ මම ඒකට කවි ලිව්වාට, මාව මුලින් ම ජවිපෙන් බිඳිච්ච හිරු කණ්ඩායමට ‍හෙවත් රෝහිත භාෂණට හඳුන්වා දුන්නේ ජයතිලක. හිරු කණ්ඩායම  කළේ යුද දේශපාලනයක්. ඒ කියන්නේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් කරන යුද්ධයට පක්ෂ ව්‍යාපෘතියක්.හිරු කණ්ඩායම යුද්ධයට විරුද්ධ වුණේ කොටි සංවිධානය මර්දනයට ලක් වන තාක් කල් පමණයි.

ජයතිලක කළේ සාම දේශපාලනයක්.සාම දේශපාලනය හා දෙමළ අරගලය කියන්නේ එකක් ද, දෙකක් ද කියා ප්‍රමාණවත් සංවාදයක් මේ රටේ තිබුණේ නැහැ. එක පැත්තකින් කුමාර් රූපසිංහ වැනි රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයෝ සාමය වවාගෙන කෑවා. අනෙක් පැත්තෙන් වාමාංශිකයෝ තරගෙට කොටින්ට කඩේ ගියා. දෙමළ අරගලය සම්බන්ධයෙන් වමේ මැදිහත්වීම ඒ අරගලයට විශාල ශක්තියක් වූ බව ඇත්ත. ඒත්, ජාතිවාදී කොටි සංවිධානය කළේ වාමාංශිකයන් කඩේ යවා ගැනීම විතරයි. උතුරේත්, දකුණේත් ප්‍රගතිශීලී ජනයා අතර පාලමක් හැදුණේ නැත්තේ කොටින්ගේ ජාතිවාදී ප්‍රතිපත්ති නිසායි. එහෙම උවමනාවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට උවමනා වුණේ වාර්ගික වශයෙන් වෙන් වෙන්න මිසක් අලුත් දේශපාලන ප්‍රජාවක් තුළ එක් වන්න නොවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, අවසානයේදී කොටි සංවිධානය ගත් සියලු ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන සාම දේශපාලන ව්‍යාපාරයක් වමෙන් බිහි වුණේ. එහි ඉදිරියෙන් හි‍ටියේ හිරු කණ්ඩායම. මේ දේශපාලන ධාරාව ඇත්තෙන් ම සාම දේශපාලනයක් නොවෙයි. ‍යුද ව්‍යාපෘතියක්.

ජයතිලක බංඩාරගේ දේශපාලනික වැදගත්කම තිබෙන්නේ මෙතැන කියලායි මම හිතන්නේ. ඔහු නිතර ම උත්සාහ කළේ සාම දේශපාලනයේ සැබෑ අනන්‍යතාව සොයා ගන්න. සාම දේශපාලනය කුමන පාර්ශ්වයක හෝ යුද ව්‍යාපෘතියක කොටසක් වෙන්න බැහැ. ජයතිලක මෙතැන පය තබාගෙන ඉන්න උත්සාහ කළ කෙනෙක්. හිරු කණ්ඩායමත්, ඔහුත් අතර තිබුණු ගැටුම මතු වූ එක් අවස්ථාවක් මට මතකයි. සටන් විරාමය කඩාකප්පල් කරමින්, අවසානයේදී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආ ජවිපෙ නායකත්වය දුන් යුදවාදී රැල්ල නැගී එමින් තිබුණු කාලයේ 2004 නිදහස් දිනය වෙනුවෙන් ජයතිලක බංඩාර කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළ ‍කැම්පේන් එකට සහාය දීම රෝහිත භාෂණ දැඩිව ප්‍රතික්ෂේප කළා. මට මතක හැටියට එහි තේමා පාඨය ලෙස අපි ප්‍රවර්ධනය කළේ 'දෙමළාගේ නිදහස ඇහිරීම සිංහලයාගේ නිදහස අහිමි කර ගැනීමයි' යන අදහස දෙන සටන් පාඨයක්.

සාම දේශපාලනය හා දෙමළ අරගලය කියන්නේ එකක් ද, දෙකක් ද කියන සංවාදය ඉදිරියට නො යන්න තවත් එක් හේතුවක් වුණේ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘතිවල තිබුණු පාරාන්ධ ස්වභාවය. ඒ කෙසේ වෙතත්, මෙතැන ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒක අදාළ වන්නේ දෙමළ අරගලයට විතරක් නො වෙයි. ලෝකයේ කිසියම් ප්‍රජාවක් පවත්නා තත්වයන්ට එරෙහිව යුද වදිද්දී වාමාංශිකයන් ලෙස අප ගත යුතු ස්ථාවරය කුමක් ද? යුද්ධය කිසි සේත් ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් නොවෙයි. සාධාරණ අරගලයක නියැලී සිටින ප්‍රජාව ආත්මාරක්ෂාව වෙනුවෙන් හා අරගලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් යම් යුදමය ක්‍රියාමාර්ගවල යෙදී ඉන්න පුළුවන්. එහෙත් මෙහිදී මතු වන ගැටලුව වන්නේ ඒ යුදමය ක්‍රියාමාර්ග අපි කෙතරම් දුරට පිළි ගන්නවා ද යන්නයි.

මෙහිදී මම නම් හිතන්නේ වැදගත් ම ප්‍රකාශය කළේ ගාන්ධි. ලෝකයේ ඔබට වෙන්නට අවශ්‍ය වෙනස ඔබ ම විය යුතු බව ගාන්ධි කීවා. කිසියම් අරගලයකදී නිරූපණය වන ලක්ෂණ කියන්නේ ඒ අරගලයේ නායකයන් විසින් අනාගතයේදී ඇති කරන්නට යන තත්වයන් ය කියා සිතීමේ අසාධාරණයක් නැහැ. දෙමළ අරගලයේදී මුස්ලිම් ජනයා විෂයෙහි කොටි සංවිධානය ක්‍රියා කළ ආකාරය මෙහිදී නිදසුනක් ලෙස ගන්න පුළුවන්. සටන් විරාමය අවසන් කරමින් යුද්ධය ආරම්භ කිරීමට මූතූර් තෝරා ගැනීම තුළින් කොටි සංවිධානය නැවතත් පෙන්නුම් කළේ ඔවුන් මුස්ලිම් ජනයා යාපනයෙන් පළවා හැරි යුගයේ සිට ඉදිරියට පැමිණ නැති බවයි. යුදමය වශයෙන් තමන් ගිලී සිටි මුළාව තුළ කොටි සංවිධානයත් හැසිරුණේ ජාතිවාදී, ස්වෝත්තමවාදී, ඒකාධිපති, ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් ලෙසයි. දකුණේ සිංහල දේශපාලන ව්‍යාපාර වෙතින් දිගු වූ සහෝදරත්වයේ දෑත් දෙස පවා කොටි සංවිධානය බැලුවේ මේ ඇසින්මයි. අරගලයේ ප්‍රකාශිත මූලධර්මය දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය වුණත්, අප‍ට මේ තත්වය භාර ගන්න පුළුවන් ද?

මම ඉදිරිපත් කරන ප්‍රවාදය තමයි, ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ අරගලවලට අප මැදිහත් විය යුත්තේ එම අරගල ඔස්සේ ජාතිකවාදය අතික්‍රමණය කර පුළුල් දේශපාලන ප්‍රජාවන් ‍වෙත සමාජය ගෙන යාම තහවුරු කරන්නට මිසක් ජාතික රාජ්‍ය ගොඩනගන්න නොවෙයි.

දෙමළ ඊලම ප්‍රතික්ෂේප කළ යුත්තේත්, ලංකාවේ ජාතීන් හා ජනතාවන් අතර ප්‍රජාතන්ත්‍රවාදී, පුළුල් බලය බෙදා ගැනීමක් ඔස්සේ ලාංකික දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වෙනුවෙන් අප සටන් කළ යුත්තේත් ඒ නිසායි කියලායි මම නම් හිතන්නේ.

ජයතිලක බංඩාරගේ අරගලය තුළ මා දුටු වැදගත් ම දේශපාලනික ලක්ෂණය මෙයයි. මේ කවිය ඔහුට උපහාරයක් වේවායි හිතනවා.


බියෙන් අත්මිදෙමු මිතුරනි,
සැකෙන් අත්මිදෙමු
දුකින් අත්මිදෙන මග අපි
එක්ව සොයා ගමු

නෙතින් නෙත බලමු - ආදර
ඇසින් සිනා ‍සෙමු
අතින් අත නගමු - අපි අත්
වැලක් ගොඩනගමු


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-19

ඔන්න ඒ පාර චීනෙත් ..........

ඔන්න ඒ පාර චීනය ද ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කළ යුතු බව කියා තිබේ. කීවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්විං ගැං ය.

මේ අදහස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය නො කළහොත් ලබන මාර්තු මස වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශයට අදාළවයි.

ජාත්‍යන්තර බලපෑම හමුවේ චීනය ද දිගින් දිගට ම, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. මන්ද, චීනයට ලංකාවට වඩා හෝ ලංකාව තරමට ම ඉන්දියාව, බටහිර රටවල්, ඇමරිකාව හා එක්සත් ජාතීන් වැදගත් නිසා ය.

චීනය පසුගිය කාලයේ ලංකාවට ණය සැපයූ ප්‍රධාන පාර්ශ්වයයි. එහෙයින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට පහසුවෙන් චීනය නො තකා හැරිය නො හැකි ය. පසුගිය වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාවට එරෙහි යෝජනා සම්මත වෙද්දී චීනය ඒවාට විරුද්ධව ඡන්දය දුන්නා ය. චීනය මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් වුණා ය.

මුළු ලෝකය ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සම්මතයන්ට අවනත වෙමින් සිටිති.  චීනය වැනි විප්ලවකාරී රාජ්‍යයන් පවා එ‍සේ කරද්දී ලංකාව වැනි පුංචි රටකට ලෝකයට එරෙහිව කැරැලි ගැසීමේ ශක්තියක් නැත.

දිනෙන් දින ශ්‍රී ලංකා ආණ්ඩුව වටා දැල එළෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන එක දෙයක් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව කොටි සංවිධානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද පරීක්ෂා කළ යුතු බවයි. ඇත්තෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලා සිටින්නේ ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයන්නට මිස ආණ්ඩුව විසින් පමණක් කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සොයන්නට නො ‍වේ.

මෙම තර්කය හේතුවෙන් මතු වන ගැටලුව වන්නේ යුදමය වශයෙන් විනාශ කර තිබෙන කොටි සංවිධානයේ යුද අපරාධ සම්බන්ධයෙන් වග කියන්නට කෙනෙකු නැති වීමයි. එහෙත්, ආණ්ඩුවේ නායකයන්ට තම පාර්ශ්වයෙන් සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වගකීම භාර ගන්නට සිදු වේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා වැඩේ දිග්ගැහෙන්නට පෙර ලංකාවට කළ හැකිව තිබුණු දේ බොහෝ ය. ආණ්ඩුවට යම් වගවීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ හැකියාව තිබිණි. දකුණු අප්‍රිකාවේ සත්‍ය කොමිසම වැනි ක්‍රමවේදයක් මේ සඳහා අනුගමනය කිරීමට ඉඩ තිබිණි.

ආණ්ඩුවට දැන් කතා කරන්නට ඉතිරි වී තිබෙන්නේ එපා වාහෙට ‍හොදි බෙදන්නා සේ කළ උගත් පාඩම් හා සංහිඳියා කොමි‍සම හෙවත් ආණ්ඩුවේ වචනවලින් කියනවා නම් 'අර තිස්සගේ කමිටුව' ගැන පමණි. මේ වනාහි ආණ්ඩුව විසින් දේශීයව කිසිදු ප්‍රවර්ධනය කිරීමක් කළ ‍ක්‍රියාවලියක් නො වේ. එහි අබල දුබල නිර්දේශ හෝ ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් ආණ්ඩුවට තිබුණේ නැත.

තමන් වටා ඇති දැල හිර වෙන විට ආණ්ඩුවේ ගැලවිජ්ජාව වුණේ ජාතිවාදයේ පිළිසරණ සෙවීමයි. ආණ්ඩුව විසින් මුදා හරින ලද සීමාන්තික ජාතිවාදය දැන් ආණ්ඩුවට ම කොඩිවිනයක් වී හමාර ය. ලක්සෙට කොඩි දමා පැවැත්වූ චොගම් සමුළුව ද මොවුහු චොර කළ හ.

අප ජීවත් වන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණක් දඬුක‍ඳේ ගැසීම සාධාරණීකරණය කළ හැකි ලෝකයක නො වන බව ඇත්තකි. සරළව කියනවා නම්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැරදිකරු කරන්නට ගන්නා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවලින් ලංකාවේ අර්බුදය තවත් උත්සන්න වනවා මිස රටට යහපතක් වන්නේ නැත.

එහෙත්, රාජපක්ෂවරුන්ගේ පාලනයේ අගතිගාමිත්වය නියාමනය කරන්නට වෙනත් ක්‍රමයක් ද නැත.

මේ අර්බුදයෙන් තමනුත් ගැලවී රටත් ගලවා ගන්නට නම් රාජපක්ෂ පාලනය දිගුකාලීනව බරපතල දේශපාලන තීරණ කීපයකට එළඹිය යුතු ය. 

ඒ අන් කිසිවක් සඳහා නො ව ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරින් ම තහවුරු කිරීම සඳහා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-17

අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී අට වසරක් සම්පූර්ණ ය.

මේ අට වසර ලංකාවේ දැවැන්ත ‍පරිවර්තනයක් සිදු වූ යුගයකි. එම පරිවර්තනය තුළ සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද ගැබ් වේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීම යනු ලංකා ඉතිහාසයේ උන්නතිකාමී ම පවුල් පාලනයක ආරම්භයයි. එහෙත්, එය පවා මුළුමනින් ම නිශේධාත්මක නැත. මහින්ද, ගෝඨාභය, බැසිල් හා චමල් යන සිව් සහෝදරයන්ගේත් නාමල් පුතාගේත් දේශපාලන මැදිහත්වීම් ලංකාවට නරක මෙන් ම හොඳ බලපෑම් ද කර තිබේ.

ඉතිහාසයක් මුළුල්ලේ ම විශ්වාස කළ නො හැකි දුෂ්ට මිනිසුන්ගෙන් පිරි ලංකාවේ දේශපාලනය තුළ ජනාධිපතිවරයකුට පළමු වරට විශ්වසනීය බල හවුලක් නිර්මානය කර ගන්නට ලැබුණේ මේ දැවැන්ත විස්තෘත පවුලේ තිබෙන ලක්ෂණ නිසා ය. මෙය බංඩාරනායක පවුල සමග සසඳා බැලුවහොත්, ‍පහත ලක්ෂණ හඳුනා ගත හැකි ය.

බංඩාරනායක පවුල පාරම්පරිකව දැවැන්ත ධනයක් හිමි ව සිටි කොළඹ ඉහළ ප්‍රභූ පවුලකි. රාජපක්ෂ පවුල ධනය හා ප්‍රභූත්වය හිමි කර ගත්තේ තනිකර ම බලය හරහා ය. ඒ නිසා බලය වෙනුවෙන් එකට සිටීමේ දැඩි බැඳීමක් මෙම විස්තෘත පවුල තුළ දැකිය හැකි ය. බංඩාරනායක පවුල තුළ එය තිබුණේ නැත. මැත වකවානුවේදී, බංඩාරනායක අම්මා, පුතා, පොඩි දුව අතර තිබුණේ එකිනෙකා විශ්වාස නො කරන දැවැන්ත අසමගියකි.

මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භ‍යේදී ඔවුන් ඉදිරියේ තිබුණු දැවැන්ත ම අභියෝගය වුණේ කොටි සංවිධානයයි. කොටි සංවිධානය තරම් ම අධිෂ්ටානයකින් යුද්ධය තෝරා ගත් ලංකාවේ පළමු ආණ්ඩුව වුණේ රාජපක්ෂ පාලනයයි. ජාත්‍යන්තර බලපෑම් හමුවේ එසේ කරන්නට හැකි වුණේ මේ සහෝදර සමාගම නිසා ය. පළමු වරට ප්‍රභාකරන්ට තමන් වැනි ම වූ අණක් ගුණක් නැති ප්‍රතිවාදියකු හමු විය. කතාවේ අවසානය අපි දැන් දනිමු.

මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවන අවධිය ආරම්භ වන්නේ යුද්ධයේ අවසානයත් සමගයි. එතැන් සිට ඔවුන්ගේ මූලෝපායන් ‍අතර ප්‍රධාන කොටසක් වන්නේ තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනාවලින් ගැලවීමයි.

මෙහිදී ඔවුන්ට වැරදුණේ පූර්ව යුද සමයේ තමන් ගිලී සිටි ජාතිවාදයෙන් මිදී ශක්තිමත් ධනේශ්වර පාලක පිරිසක් බවට පත් වන්නට ඔවුන් අසමත් වීම නිසායි. ධනවාදය හා ශ්‍රී ලාංකික ජාතිකවාදය ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඔවුන් කළේ  අනතුරකදී තමන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අන්ධ ජාතිවාදී බලවේගයක් නිර්මානය කර ගැනීම පිණිස දිගින් දිගට ම සිංහල ජාතිවාදය ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන් එසේ කළේ දෙමළ ඩයස්පෝරාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට තිබෙන බිය නිසා ය.

මේ ජාතිවාදය නිසා ඔවුන්ට මගහැරුණු භයානක ම දෙය වන්නේ සංහිඳියාවයි.

සිය උපන් දිනයට සමාන්තරව පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව පවත්වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද තමන් අත් පත් කරගෙන තිබෙන තත්වය පිළිබඳ ස්තුතිවන්ත විය යුත්තේ ඔහු පසුපස එන ජාතිවාදී බලවේගයට හා දෑත් ශක්තිමත් කිරීමේ නාමයෙන් ඇඟේ එල්ලී සිටින කූඩැල්ලන්ට නො වේ. නො වේ. ඔහුගෙන් පහර කමින් දිගින් දිගට ම මානව හිමිකම්, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ ඔහුගේ විරුද්ධ බලවේගයට ය. එනම්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ප්‍රගතිශීලී මාධ්‍යකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති, මහජන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ආදියටයි. මන්ද, රාජපක්ෂ පාලනය ලෝකය තුළ යම් ප්‍රමාණයකට හෝ සමබර කිරීමට හේතු වුණේ ඔවුන් කළ අරගලයයි.

අද රාජපක්ෂවරුන්ට ලෝකයට කියන්නට ඉතිරි වී තිබෙන්නේ තමන් යුද්ධය දිනූ ආකාරය නො වේ. යුද්ධයෙන් පසු ජනතාව බ්ම් බෝම්බ ඉවත් කළ ආකාරය, අවතැන් වූ ජනයා යළි පදිංචි කළ ආකාරය, යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ සංවර්ධනය කළ ආකාරය, මැතිවරණ පැවැත්වූ ආකාරය, හමුදාව කඳවුරුවලට කැඳවූ ආකාරය ආදියයි. මේ එකක්වත් ඔහු පසුපස එන ජාතිවාදී බලවේගයට කරන්නට අවශ්‍ය වූ දේ නො වේ. විරුද්ධ පක්ෂය අරගල නො කළා නම්, සිංහල ජාතිවාදීන්ට උවමනා පරිදි කටයුතු කෙරුණා නම්, උතුරේ සිදු වන්නට තිබුණේ සිංහල ජනපදකරණයකි. මිලිටරිකරණය උත්සන්න වීමකි. එහෙම වුණා නම් උතුරේ මැතිවරණ පැවැත්වෙන්නේ නැත. උතුරු පළාත් සභාවක් හෝ මහ ඇමතිවරයකු බිහි වන්නේ ද නැත.

රාජපක්ෂ පාලනය දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරමින් සිටියි. ඒ සඳහා ඔහු බය නැතිව ණය ගනිමින් සිටියි. ඔහු ඉදිරියේ විවෘතව තිබෙන අවස්ථාව පිළිබඳ ඔහු බලාපොරොත්තු තබා තිබේ. එහෙත්, තවමත් ඔහුගේ ආර්ථික උපාය මාර්ගය පිම්මක් පනින තත්වයක් දැක ගන්නට නැත. මූලික ගැටලුව වී ඇත්තේ ඔහුගේ රජයට ලෝක පිළි ගැනීමක් ඇති කර ගැනීමට නො හැකි වී තිබීමයි. දියුණු ධනේශ්වර රටවල සහයෝගය දිනා ගන්නට නො හැකි වීමයි. ඒ යුද අපරාධ චෝදනා නිසා ය. එහෙත්, යුද අපරාධ චෝදනාවල හඬ පහසුවෙන් යටපත් කර ගැනීමට ඔහුට හැකියාව තිබිණි. ඒ ජාතික සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ඔස්සේ ය.

රාජපක්ෂවරු කෙතරම් ජාතිවාදී වුණත්, ඔවුන්ට දෙමළ ජනයා බලය දිනා ගැනීම නවත්වන්නට බැරි වී තිබේ. අනෙක් පැත්තෙන් ගත් කල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගත්තත් ඔහු පරාජය වන්නේ නැත.

ජාතිවාදයෙන් ගැලවෙන්නට පුළුවන්කමක් තිබුණා නම් රාජපක්ෂවරුන්ට මීට වඩා බොහෝ දුරක් මේ රට ගෙන යාමේ හැකියාව තිබිණි.

අනෙක් කාරණය සීමාන්තික පෞද්ගලික ධනකාමය හා උන්නතිකාමයයි. වෙනත් අයට නො දී තමන් ම හොඳ ම සියල්ල අත්පත් කර ගැනීමේ මේ කෑදරකම විසින් රාජපක්ෂ පාලනය දූෂණ නම් කළු සායම් බාල්දියේ ගිල්වා තිබේ.

අනාගතයේදී දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වීමට ඇති බිය විසින් ඔවුන්ගේ වර්තමාන ක්‍රියාමාර්ග තීරණය වී තිබේ.

රාජපක්ෂ පවුල වනාහි ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන සීමාන්තික තෘෂ්ණාවේ, පාරිභෝජනවාදයේ හා උන්නතිකාමයේ තරම නිරූපණය  කරන ධනවාදයේ ගොදුරකි. ගස්, ගල්, ඉර, හඳ, තරු වන්දනා කරනවා වෙනුවට තමන් අදහනවා යයි කියන බුදු දහමේ හරය  අවබෝධ කර ගත්තා නම් ඔවුන්ට අඩු තරමේ තමන් වැටී තිබෙන අගාධය වටහා ගන්නට හැකි ය. ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන වැනි ධනවාදය ප්‍රවර්ධනය කළ ධනේශ්වර පාලකයන්ට ධනවාදයේ අගතියෙන් ගැලවී සිටීමට තිබුණු සංස්කෘතික ශක්තිය රාජපක්ෂ පවුලට නැති වීම නිසා, තමන් නො දත් මුත්, ඔවුහු අවාසනාවන්ත පිරිසකි. 

අවාසනාව වන්නේ ඔවුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි. 

රාජපක්ෂ පාලනය තුළ දෙමළ හා මුස්ලිම් විරෝධී සිංහල ස්වෝත්තමවාදය දිරි ගැන්වෙමින් තිබේ. එහෙත් ඇත්තෙන් ම, රාජපක්ෂ පාලනය තුළ වැඩියෙන් ම අගතියට පත් වන ජන කොටස වන්නේ සිංහල ජාතියයි. අද වන විට සිංහල ජාතිය ඉතිහාසයේ කවර කලකටත් වැඩියෙන් පසුගාමී චින්තනයක් වෙත තල්ලු වී තිබේ. එක පැත්තකින්, ධන තෘෂ්ණාව හා පාරිභෝජනවාදය විසින් සිංහල සමාජයේ සාරධර්ම මුලිනුපු‍ටා දමා ඇත. එසේම, සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදය විසින් සිංහලයා තල්ලු කරමින් සිටින්නේ අන්ත පසුගාමී රාජාණ්ඩු පාලනයක් වෙතයි. සිංහලයා විසින් වනසා ගනිමින් සිටින්නේ සියවසක් මුළුල්ලේ ගොඩනැගෙමින් තිබුණු ප්‍රජාතාන්ත්‍රික හර පද්ධතියක උරුමයයි. අප රාජපක්ෂ පාලනයට විරුද්ධ වන්නේ මේ අගතිය නිර්මානය වන්නේ ඔවුන්ගේ අනුග්‍රහ‍යෙන් නිසා ය. 

රාජපක්ෂ පාලනය පවතින්නේ ද අප විරුද්ධ වන නිසා ය. සියල්ලන් ම දෑත ශක්තිමත් කරන්නට ගියා නම් මේ වන විට වැඩේ අහවර ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-15

ඥානසාර හාමුදුරුවන්ට ගහපු එක හරි ද?

තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි. 

මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ. 

මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. 

මොබ් මානසිකත්වයෙන් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති. 

ඥානසාර භික්ෂුව යනු ජනප්‍රිය ජාතිවාදයට හා සිවුරට මුවා වෙමින්, ජාතිවාදය හා ආගම්වාදය කුළුගන්වන්නට පුළුවන් පරිසරයන්හිදී නිරතුරුව ම මොබ් මානසිකත්වයෙන් කටයුතු කරන පුද්ගලයෙකි. 

ඔහු සාමාන්‍යයෙන් මැදිහත් වන්නේ ප්‍රතිවිරුද්ධ මොබ් නිර්මානය නො වන තැන්වලටයි. නිදසුනක් ලෙස ඔහු කිසිදු කලෙක මාළිගාවත්තට හෝ වැල්ලවත්තට ගොස් සිය වික්‍රමාන්විත ක්‍රියා සිදු කර තිබේදැයි සිතා බලන්න. 

ඊයේ ඔහුගේ මොබට ගැලපෙන මොබක් සිරිකොතේදී හමු විය. යූඇන්පීකාරයන් ය කියන්නේ ලොං හැලුණු වෘකයන් පිරිසක් බව ඥානසාර හිමියන්ට අමතක විය. ලොං හැලුණත් වෘකයා වෘකයා ම ය. මීට පෙර අවස්ථාවකදී විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී ද ඥානසාර හිමියන්ට මෙවන් මොබක් හමු විය. 

ආගමික පූජකවරුන්ට සමාජය යම් වරප්‍රසාදිත තත්වයක් දිය යුතු ය. එහෙත්, තමන්ගේ ගෞරවය කෙළෙසෙන ආකාරයේ මැදිහත්වීම් නො කර සිටීමේ වගකීමක් ද භික්ෂූන්ට තිබේ. භික්ෂූන් යනු සමාජයේ සිටින දූෂිත ම පිරිසක් බව මගේ පෞද්ගලික හැඟීමයි. මම නම් කිසිවෙකු පූජකයකු වූ පමණින් ගරු කරන්නේ නැත. මට ආගමක් නැති නිසා මට පූජකයින් අදාළ නො වේ. එහෙත්, ඔවුන් මෙසේ පාරවල් පාරවල් ගානේ ගුටි කෑම මම ගැන මගේ කිසිදු කැමැත්තක් නැත. මන්ද, ලෝකයේ බහුතරයක් වූ ආගමික ජනයා අඩු තරමේ තම ආගමේ පූජකවරයාට හෝ ගරු බුහුමන් කරන නිසා ය. 

ඥානසාර හිමි මොබ්වාදියකු වූවා ය කියා ඔහුට මොබ් එකකින් ම මුහුණ දීම සාධාරණ වන්නේ නැත. සරළව කීවොත්, ඔහුට පහර දී සිවුරු ගැලවීම නින්දිත වැඩකි. 

ඔබ ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධ නම්, එයට මුහුණ දිය යුත්තේ ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයකින් නො වේ. ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සාමයෙනි. 

ඔබට ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය බිඳ දැමීමට අයිතියක් ඇත්තේ ආත්මාරක්ෂාව වෙනුවෙන් පමණි. 

අපි ඉතිහාසයේ බොහෝ වාරයක් මේ වරද කර ඇත්තෙමු. දැන්වත් ඒ ගැන නැවත සිතා බලන්න.
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-14

චැනල් - 4 වෙනුවෙන් අධ්‍යක්ෂණය වීම හෙවත් හත් පොළේ ගා ගැනීම

මේ දිනවල ලංකාවේ සිංහල ජාතිවාදී බලවේගය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රචාරයක් ලැබෙන අන්දමේ රංගනයක යෙදී සිටිති. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දැවැන්ත මහජන මුදල් සම්භාරයක් වැය කරමින් පවත්වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ උත්කර්ෂය යටපත් වන අන්දමේ සංදර්ශන මාලාවක් ඔවුන් විසින් පෙන්වමින් තිබේ. 

මේ සංදර්ශන මාලාවේ එක් කොටසක් ඊයේ අනුරාධපුරයේදී රඟ දැක්විණි. ඒ චැනල් - 4 මාධ්‍ය කණ්ඩායම කිලිනොච්චිය බලා යාම වැළැක්වීමේ සංදර්ශනයයි. ඒ ගමන කොහොම හරි වැළැක්වීමේ උවමනාවක් බලධාරීන්ට තිබුණු බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද තමන්ට සැඟවීමට දෙයක් නැතැයි කීවේත් මේ සිද්ධිය ඔලුවේ වැඩ කළ නිසා වෙන්නට පුළුවන. කෙසේ වෙතත්, චැනල් - 4 කිලිනොච්චි ගමන වළක්වා ගැනීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය සාර්ථක විය. ගියා නම් ආණ්ඩුව නන්නත්තාර ය. 

හැබැයි, සිංහල ජාතිවාදීන් චැනල් - 4 කණ්ඩායමේ චිත්‍රපටවල අනුරාධපුරයේදී හා කොළඹදී කරන රංගනයන් නම් ඇත්තෙන් ම චැනල් - 4 පැත්තෙන් බැලුවා ම නම් කියලාවත් කර ගන්නට බැරි තරම් ප්‍රශස්ථ මට්ටමක තිබේ. චැනල් - 4ට අධ්‍යක්ෂණය කරන්නට දෙයක් නැත. මෙහේ කට්ටිය අධ්‍යක්ෂණය වෙනවා ය. 

සිරිකොතේ පැවැත්වුණ මානව හිමිකම් සමුළුව පුංචි පහේ වැඩකි. එය සාර්ථක වූයේ එය කඩාකප්පල් කරන්නට දැරූ ප්‍රමාණාත්මක වශයෙන් විශාල වූ උත්සාහය නිසා ය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ මිනිසුන්ගේ මානව හිමිකම් අර්බුදයේ හා මර්දනයේ තරම මුළු ලෝකයට ම‍ ප්‍රදර්ශනය විය.

තව සමුළු හතක් තබාවත් හෝදා ගන්නට බැරි තරමට අපේ කට්ටිය මේ දින දෙක තුනට හත් පොළේ ගා ගෙන තිබේ.

මම නම් කියන්නේ මේ කට්ටිය හිතා මතා ම ආණ්ඩුවේ ඇඟේ අසූචි තවරනවා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-13

විජේවීරගේ පරමාදර්ශය හා අද දවසේ ජීවනාදර්ශ

රෝහණ විජේවීර මරා දමා අදට 24 වසරකි. ක්‍රමයෙන් අඩු වී යන උනන්දුවකින් යුතුව ජවිපෙ විසින් 'ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා' සමරමින් සිටියි. අප කිසියම් පුද්ගලයකු සැමරිය යුත්තේ වර්තමානයට ඔහු අදාළ කර ගනිමිනි. මාක්ස්, එංගල්ස්, ලෙනින්, චේ, ගාන්ධි වැනි අය අදටත් අදාළ දාර්ශනික හා ජීවන භාවිතාවන් හඳුන්වා දුන් අයයි. රෝහණ විජේවීර වර්තමානයට අදාළ වන්නේ කෙසේ ද?

ඔහු ලංකාවේ කළ මැදිහත්වීම දෙස මැදහත් සිතින් බලන්නට අපි ඔබට ආරාධනා කරමු. ඔහු විසින් නායකත්වය දෙන ලද කැරැලි දෙක ම අතිශය ප්‍රචණ්ඩ ඒවා වූ බව ඇත්ත ය. එහෙත්, ලොව සියලු යුගවල විප්ලවීය අරගල හැමෙකක් ම පාහේ ප්‍රචණ්ඩ ‍ඒවා විය.

සමාජ වෙනස්කම් සඳහා මහජනයා අවදි කිරීමේ සංවාදයක්ඇති කිරීමේ අයිතියක් නායකයන්ට තිබේ. එම සංවාදයට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමේ අයිතියක් පවත්නා තත්වය වෙනුවෙන් පෙනී සිටින්නන්ට නැත. ප්‍රචණ්ඩත්වයට මෙම දෙපාර්ශ්වය ම වගකිව යුතු ය. කැරැලිවල මූලය ඇත්තේ මර්දනය තුළයි. ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් සිදු වූ සමාජ විපර්යාස අවම ය. ඒවා හැම විට ම ප්‍රචණ්ඩත්වය සමග බැඳී තිබිණි. ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ආර්ථිකය විවෘත කළේ ද ප්‍රචණ්ඩත්වය භාවිතා කරමිනි.

එහෙයින් විජේවීර නායකත්වය දුන් කැරැලිවල ප්‍රචණ්ඩත්වය යනු එහි ඇති මූලික ම දෙය නො වේ. එය එහි එක් ලක්ෂණයක් පමණි.

විජේවීර විසින් ප්‍රචණ්ඩත්වය භාවිතා කරමින් ලංකාවේ ඇති කරන්නට ගිය වෙනස කුමක් ද? ඔහු භාවිතා කළේ සමාජවාදය ද? නැතිනම් කුමන සමාජ දේශපාලන දර්ශනයක් ද?

විජේවීරවාදයේ මූලික ම ලක්ෂණය ජාතිවාදයයි. එය අඩු තරමේ ප්‍රජාතාන්ත්‍රික ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් හෝ පෙනී නො සිටියේ ය. සිංහල මූලික ඊනියා ශ්‍රී ලාංකික ජාතිකවාදය කර පින්නා ගත් විජේවීර එය යුක්ති යුක්ත කිරීම පිණිස මාක්ස්වාදය විකෘති කරමින් පොත් පත් පවා පළ කළේ ය.

විජේවීර දෙමළ ජනයාගේ ජාතික ගැටලුව ආර්ථික ගැටලුවට ඌනනය කළේ ය. ඒ ඔස්සේ ඔහු දෙමළ ජනයාගේ ජාතික හිමිකම් සඳහා අරගළය ප්‍රතික්ෂේප කරමින් එය ශ්‍රී ලංකාව බෙදීමේ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලක කොටසක් බව ප්‍රකාශ කළේ ය. එය මර්දනය කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඔහු සිංහල ජාතියේ ආධිපත්‍යයෙන් යුත් ඊනියා ශ්‍රී ලාංකික ජාතිය එහෙමම පිළි ගත්තේ සුළු ජාතීන්‍ ශ්‍රී ලංකා රාජ්‍යයේ යුක්ති යුක්තභාවය ගැන කළ ප්‍රශ්න කිරීම නො තකා හරමිනි.

ඔහුගේ සමාජවාදී වැඩසටහන ශ්‍රී ලංකාව පදනම් කර ගත් ජාතික සමාජවාදයක් විය.එහි ජාත්‍යන්තරවාදී දෑත රුසියාව, කියුබාව වැනි දුර බැහැර ෆැන්ටසික සමාජවාදී ලෝකවලට දිගු වුණ මුත් ලංකාවේ සහෝදර දෙමළ, මුස්ලිම් ජනයා වෙත දිගු වුණේ නැත.

එසේ ම, විජේවීරගේ සමාජවාදය පුරුෂෝත්තමවාදී දැක්මක් ද විය. ඔහු විසින් ගොඩනඟන ලද පක්ෂයේ කාන්තාවන්ට සම තැන තිබුණේ නැත. ඔහු ජීවත් වූ සමයේ එහි දේශපාලන මණ්ඩලයේ කාන්තාවක් නියෝජනය වී නැත. පවත්නා පසුගාමී ධනේශ්වර සමාජයේ පවුල තුළ කාන්තාවට අත් පත් කර දී තිබෙන  තැනට වෙනස් තැනක් ජවිපෙ තුළ කාන්තාවට තිබුණේ නැත. ඇයට තිබුණේ සහෝදරයන්ගේ විප්ලවයට අත්වැඩ සැපයීමටයි. ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී ද ඔහු බිරිඳ ලෙස තෝරා ගත්තේ ළාමක, ළාබාල කාන්තාවකි. පක්ෂ සහෝදරියෝ ඔහුගේ නිවසේ පූර්ණකාලීනව ගෘහ සේවිකාවන් ලෙස වැඩ කළ හ.

විජේවීරවාදය තුළ සමස්තයක් ලෙස ම ජීවිතය පිළිබඳ විකල්ප දැක්මක් ගැබ් වුණේ නැත. ජවිපෙ විසින් හඳුන්වා දෙන ලද විප්ලවීය ජීවිතය යනු පක්ෂය වෙනුවෙන් කැප වූ වහල් ජීවිතයක් පමණි. පක්ෂ සාමාජිකයාට තිබුණේ පක්ෂ නායකත්වය විසින් කියනු ලබන දෙය ඒ අන්දමින් පිළි ගෙන, සිය ශ්‍රමයෙන් පක්ෂය නඩත්තු කිරීම පමණි. මෙකී වහල් ස්වරූපී පක්ෂ සම්බන්ධතාව ඔස්සේ කිසිදු සුවිශේෂ නිර්මානශීලිත්වයකට ඉඩක් නො තිබුණු බව දශක පහක  ජවිපෙ ඉතිහාසයෙන් පෙනේ.

කලා, ශාස්ත්‍රීය හා වෙනත් සමාජ කතිකාවන්ට ජවිපෙන් ලැබුණේ අවම දායකත්වයකි. ජවිපෙ ලාංකීය සමාජයේ නිර්මානය කළ පක්ෂ උප සංස්කෘතිය හැර ජවිපෙ විසින් කරන ලද කැපී පෙනෙන සංස්කෘතික මැදිහත් වීමක් ද නැත.

අවසානයේදී ජවිපෙට තොරොම්බල් කරන්නට ඉතිරි වී තිබෙන්නේ ද පක්ෂ නිර්මාතෘ විජේවීරගේ සුරුවම පමණි. විජේවීර දේශපාලන නායකයකු ලෙස අසාර්ථක ය. ඔහුගේ අසාර්ථකත්වය තීරණය වන්නේ ඔහු විසින් නායකත්වය දෙන ලද කැරැලි දෙක පරාජය වූ නිසා ම නො වේ. එකී කැරැලි විසින් ලංකාවේ තබන ලද සාධනීය සලකුණු අවම නිසා ය.

ජවිපෙ විසින් අවශෝෂණය කර ගන්නා ලද තරුණ ජවය ඇත්තෙන් ම නාස්ති වී ගිය එකකි. 

අද වන විට ජවිපෙ විසින් ශ්‍රී ලාංකීකරණය කරන ලද පෙරටුගාමී පක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන් ම යල් පැන ගොස් හමාර ය. එහෙයින් එම ‍දේශපාලනය නැවත පණ ගැන්වීමට ගන්නා කිසිදු ප්‍රයත්නයක් සාර්ථක වන්නේ නැත.

මේ මොහොතේ විජේවීර දෙස බලාගෙන අපට කළ හැකි එක දෙයක් තිබේ. එනම්, ඔහු විසින් හඳුන්වා දෙන ලද විප්ලවවාදී ය කියන පරමාදර්ශ වෙනුවට වෙනස් ජීවනාදර්ශ ඔසවා තැබීමයි. සරළව කිවහොත්, අප දන්නා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයා ය කියන රළු, කර්කශ, අප්‍රායෝගික, දැඩි සිතැති, පටු කල්පනාකාරී, මාන්නාධික, තමන් ඉතිහාසය විසින් නිර්මාණය කර තිබෙන සුවිශේෂ සත්වයකු ය යන භින්නෝන්මාදවාදී අදහස් දරණ මිනිසා වෙනුවට සොඳුරු විප්ලවවාදී ජීවිත නිර්මානය කළ යුතු ව තිබේ.

මා මෙහිදී භාවිතා කළ වචනය වන්නේ ජීවනාදර්ශ යන්නයි. පරමාදර්ශ යන වචනය මම හිතා මතා ම මග හැරියෙමි. අපට පරමාදර්ශ අවශ්‍ය ම නැත. පරමාදර්ශී ජීවිත නැත. එහෙත් යම් ජීවනාදර්ශ තිබේ. අප කළ යුතුව තිබෙන්නේ ඒ ජීවනාදර්ශ මතු කර ගැනීමයි.

අද දවසේ අප විසින් කළ යුතුව තිබෙන කාර්යය වන්නේඅප ම ජීවනාදර්ශ බවට පත් වීමට අරගල කිරීමයි.සෙසු ජීවනාදර්ශ දෙස කුහක වතින් තොරව බලන්නට පුළුවන් වීම ම ලොකු ම ජීවනාදර්ශයකි.

අප මෙම රාමුවෙන් පිටතට පැමිණිය යුතු ය. ජීවිතය හා විප්ලවය දෙස අලුත් ඇසකින් බැලීමේ හැකියාව වර්ධනය කර ගත යුතු ය.

2013-11-12

සංගීත් කවි බණ හා ජනප්‍රිය බෞද්ධ කලාව

අද දවල් කොළඹ කොටුවේ සිට පිටකොටුවට පයින් ගියා. මේ කොළඹ ගියේ සෑහෙන දවසකින්. යනකොට සීඩී තට්ටුවක්, තට්ටුවක් ගානේ දාලා තිබුණේ අමුතු කවි පංතියක්. හැම තැනින් ම ඒ කවි පංතිය ඇහෙනකොට කිසියම් කරුණ රසයක් දැනුණා. ඒ නිසා අම්මා ගැන කවි බණක් වන එයින් තැටියක් රු. 130ක් ම ගෙවලා මිළ දී ගත්තා. අ.පො.ස. නෙමෙයි, අ.තැ.ස. (අපොයි තැටි ගත්ත සල්ලි) ඒ තැටියේ අඩංගුව නම් කර තිබුණේ සංගීත් කවි බණ කියායි. අම්මා නමින් වූ මේ තැටියේ රචනය හා ගායනය මානකඳුරේ පඤ්ඤාසාර නම් හාමුදුරු කෙනෙක්. ඔහු මෙවැනි සංගීත් කවි බණ තැටි තවත් නිකුත් කර තිබෙනවා.

සර පුවරුවකින් කරන ලද ඉතා සරළ සංගීත ඛන්ඩයක් අතරමැදට වාදනය කරමින්, අතරින් පතර යම් උපදේශාත්මක විස්තරයක් ද කරමින්, එකම ආකාරයකට දිගින් දිගට කරන ගායනය ටික වෙලාවක් යන විට බෝරිං වේ. බෝරිංකම නැති කරන්නට මෙන් ටිකක් දුර යන විට අම්මා අම්මී වෙයි. අවසානය දක්වා අසන්නට රුචියක් ඇති වූයේ නැත.

මෙහි ගැයෙන සරළ කවි කාව්‍යාත්මක වශයෙන් දුර්වල මුත්, ගායනයේ යම් මධුරකමක් තිබේ. ගැයුම යම් තරමකට නරසීහ ගාථාවලට සමාන ය. ස්වර පරාසය පටු ය.බෝධි පූජා කවිවල මෙයට වඩා සුන්දරත්වයක් ගැබ් වී තිබිණි.

බුදු දහම ආශ්‍රිතව මෑත කාලයේ බිහි වූ ජනප්‍රිය සංගීත නිර්මානවල පොදු ලක්ෂණයක් වන්නේ ඒව‍ායේ තිබෙන අති සරළකම හා රසහීනතාවයි. බෝධි පූජා කවි, කවි බණ, විරිදු බණ, තැටිගත කරන ලද තුන් සරණය ආදිය නිදසුන් වේ. මේවා සන්සන්දනය කළ යුතුව තිබෙන්නේ විසිවන සියවසේ මැද භාගයේ මොහිදීන් බෙග්, ඒ.ජේ. කරීම්, ඒ. එම්. යූ රාජ්, ‍විවියන් ද සිල්වා බොරලැස්ස, රුක්මනී දේවි ආදීන්ගේ සිට හැත්තෑවේ දශකයේ සුජාතා අත්තනායක, නන්දා මාලිනී, අම‍රදේව වැනි අය දක්වා බිහි වූ ගීත නිර්මාන ආදිය‍ සමගයි. 

මේ සුන්දර නිර්මාන බිහි කිරීමට දායක වූ ඇතැමෙක් බෞද්ධයෝ නො වූ හ. එහෙත් ඔවුන්ට කලාවේ මනා ශික්ෂණයක් තිබිණි.

බෞද්ධයන්ගේ ඉල්ලුම වෙනුවෙන් ඔවුන් විසින් සපයන ලද නිර්මාණවලින් සමස්ත සමාජයේ ම රස වින්දනය ඉහළ ගියේ ය. සීමිත ස්වර පරාසයක හැසිරෙමින් තිබුණු විරිදු සංගීතය වැනි සරළ දේශීය සංගීතය ඔවුන් රාගධාරී සංගීතය ඇසුරු කරගෙන කරන ලද නිර්මාන හේතුවෙන් පුළුල් විය.

එදා බිහි වූ  මනරම් නිර්මාන අසලින්වත් තබන්නට හැකි කලා නිර්මාන දැන් ආගම ආශ්‍රිතව බිහි වන්නේ නැත.දැන් කාලයේ ආගමික හා සුචරිත වෙළඳපොළට නිර්මාන සපයන අසංක ප්‍ර්‍රියමන්ත පීරිස් වැනි ගායකයන්ගේ නිර්මාන මේ සඳහා නිදසුන් වේ.

කලාවේ ශික්ෂණයක් නැති භික්ෂූන් වැනි පිරිස් විසින් බුදු දහම ආශ්‍රිත ජනප්‍රිය කලාව තව තවත් පරිහාණියට ලක් කරමින් සිටින බ‍ව පෙනේ. බුදු දහම ඇසුරේ සිටින පුද්ගලයන් එන්න එන්න ම උසස් වින්දනයෙන් ඈත් වෙමින් සිටිති.

සංගීත කලාවෙන් ඔබ්බට බෞද්ධ ආගමික කලාව විහිදෙන්නේ ඉතා ම සුළුවෙනි. සාර්ලිස් මාස්ටර්ගේ සරළ බෞද්ධ චිත්‍ර කලාව තුළ තිබුණ සුන්දරත්වය හෝ අද පන්සල් හා තොරණ චිත්‍ර තුළ නැත. හන්දි, හන්දි ගානේ තබන බුදු පිළිම නිසා බෞද්ධ මූර්ති කලාව අන්ත පරිහාණියට ගොසිනි. 

පන්සලේ බණ මඩුවේ පෙන්නාපු සඳකිඳුරු කතාව වැනි බෞද්ධ නාට්‍ය කලාවක් මේ රටේ තිබුණි. අද එයට වූ දෙයක් නැත. 

මේ ගැන ඔබ හිතන්නේ කුමක් ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-11

ලංකාවේ ලොකුම අනවසර පදිංචිකාරයා හා ලොකු ම අවතැනුවා අතර ගැටුමක්

අද ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය විවෘත කරන ප්‍රවෘත්තිය කියෙව්වාමයි මතක් වුණේ ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල නිවස පිහිටා තිබෙන්නේ ඒ ආසන්නයේ නේ ද කියලා. ඔය පැත්ත අධි ආරක්ෂක කලාපයක් කළාට පසුව මම නම් සෑහෙන කාලෙකින් ඒ පැත්තේ ගිහින් නැහැ. පුංචි කාලේ අධ්‍යාපන චාරිකාවක් ගිය වෙලාවක ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිළිමයක් වගේ නො සැලී ඉන්න සෙබළා මතක සිටින දර්ශනයක් වුණා.

කොළඹ නුවර පාර හැදූ 1830 පටන් ම කොළඹ සිට විවිධ ප්‍රදේශවලට දුර මනින කොඩි ගහ පිහිටා තිබෙන්නේත් මේ ජනාධිපති මන්දිරය ආසන්නයේමයි. මේ නිවසට දිගු ඉතිහාසයක් තිබෙනවා. ඉංග්‍රීසීන් කොළඹ කොටුව අල්ලා ගැනීමෙන් පසු ලංකාවේ අවසන් ලන‍්දේසි ආණ්ඩුකාරයා වූ ජොහාන් ජෙරාඩ් වෑන් ඇන්ගල්බීක්ගෙන් ඉංග්‍රීසීන් විසින් පවරා ගන්නා ල ද මේ නිවස ඉන් පසුව පාවිච්චි වුණේ ආණ්ඩුකාර නිවස හැටියටයි. 1972 සිට එය ජනාධිපති නිල නිවස. 1979 සිට ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වීමත් සමග රටේ සැබෑ රාජ්‍ය නායකයාගේ නිල නිවස බවට එය පත් වුණා. 

එහෙත්, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වැඩිපුර පාවිච්චි කළේ ඔහුට දෑවැද්දට ලැබුණු පෞද්ගලික නිවසක් වූ වෝඩ් පෙදෙසේ බ්‍රේමර් මන්දිරයයි. ජනාධිපති ආර්. ප්‍රේමදාස වැඩිපුර පාවිච්චි කළේ සිය පෞද්ගලික නිවසක් වූ සුචරිත මන්දිරයයි. එහෙත්, ඔවුහු රාජ්‍ය නායකයන් හමු වීම වැනි නිල කටයුතු සඳහා ජනාධිපති මන්දිරය භාවිතා කළ හ. අගමැති වී සිටි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග අගමැති නිල නිවස මූලස්ථානය ලෙස භාවිතා කළ පළමු ජනාධිපතිවරියයි. එහෙත්, එකල අගමැති වූයේ ඇගේ මව වූ සිරිමා බංඩාරනායකයි. 

රනිල් වික්‍රමසිංහ දෙවරක් ලංකාවේ අගමැති ව සිටියේ ය. ඔහු 1993දී සිදු වූ ජනාධිපති ප්‍රේමදාස ඝාතනයේ සිට 1994දී චන්ද්‍රිකා බංඩාරනායක අගමැති වන තුරු ද, පසුව 2001 සිට 2004දී මහින්ද රාජපක්ෂ අගමැති වනතුරු ද අරලියගහ මන්දිරයේ විසුවේ ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසුව ඔහු විසින් පත් කරන ලද රූකඩ අගමැතිවරුන්ට භාර නො දෙන ලද බොහෝ දේ අතර අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය ද වේ. මේ අනුව බලන කල ලංකාවේ පළමු පුරවැසියා අනවසර පදිංචිකරුවෙකි. 

ලංකාවේ ජනතාවට ජනාධිපති නිල නිවස කුමක් ද යන්න අමතක වී තිබේ. එහි පිංතූර අන්තර්ජාලයේ පවා විරල ය.

ලංකාවේ අගමැතිවරයා ද සිය නිල නිවස වෙනත් අයකු විසින් අත්පත් කරගෙන සිටින නිසා අවතැන් වී සිටින අයෙකි. මධ්‍යම පළාත් සභා මැතිවරණයෙන් පසු එතුමාගේ දසාව සවුත්තු ය. පුතා වැඩි ම මනාප ගත්තත්, මහ ඇමතිකම අරගෙන දීමට ඔහු අසමත් විය.

එපමණක් නොව, අගමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු පසුගිය දිනෙක අගමැතිවරයාගේ නම කුඩු කන්ටේනරයක ද ලියා තැබුවේ ය. අගමැතිවරයා කුඩු ගෙන්වීමට ඍජුව සම්බන්ධ යයි කිව නො හැකි නමුත්, මේ සිද්ධිය නැවතත් දිවයින පුවත්පත විසින් අවුස්සා තිබෙන ආකාරය කුතුහලය දනවයි.

කුඩු කන්ටේනරය පිළිබඳව
අගමැති කාර්යාලයෙන් රේගුවට ලිපියක්‌!


මෙ පුවත පිටුපස ඇත්තේ කුමන බලවේගයක් ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-10

විමල්ගේ පාපැදි ගමන


විමල්ගේ පාපැදි ගමන දුටු විට අතීත කතාවක් මතක් විය.

ජනතා විමුක්ති පෙරමුණේ පංති පහෙන් එක් පංතියක් වූ පක්ෂ ඉතිහාසය පංතියේ පක්ෂය ගොඩනැඟීම වෙනුවෙන් රෝහණ විජේවීරගේ කැප කිරීම් උත්කර්ෂයට නංවන ලදී. එහි කියැවුණු එක් කරුණක් වන්නේ පක්ෂය ගොඩනැඟීම සඳහා රෝහණ සහෝදරයා මුට්ට කර ගැසීම පවා කර තිබෙන බවයි. එසේම, ගමන් බිමන් යාම සඳහා මුදල් නැති නිසා ඔහු බස් රියවල හොරෙන් ද ගොස් තිබේ.

1983 තහනමෙන් පසු රහසිගතව පක්ෂය ගොඩනැඟීමේ කාර්යයට උර දී සිටි මෙම ලිපිය ලියන මම ද, විමල් වීරවංශ වැනි අය ද, ජවිපෙ නායකයන්ගේ මේ කැප කිරීම් මහත් භක්තියෙන් යුතුව අනුගමනය කළෙමු. පක්ෂයේ වැඩවලට එහෙ මෙහෙ යාමට මුදල් නැති නිසා මම සෑහෙන්න බස්වල හොරෙන් ගොස් ඇත්තෙමි. ඉදිරි දොරටුවෙන් බසයට නැග 'පාස්' ය කියා යද්දී කොන්දොස්තරවරු එතරම් ඒ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයිදැයි මට ප්‍රහේලිකාවකි. වතාවක්, දෙකක් ටික්කන්ගෙන් බේරුණේ අනූ නමයෙනි. වරක් පෝස්ටර් මිටියක් සමග කෝච්චියේ හොරෙන් යද්දී හදිසි පරීක්ෂාවකට ලක් වීම නිසා මම පානදුරේදී දුවන කෝච්චියෙන් ද පැන්නෙමි. ඒ කාලයේ මේවා මහා වීරකම් ලෙස පක්ෂය විසින් අගය කරන ලදී. ඒත්, ඇත්තෙන් ම පක්ෂය තරුණ අපේ ජීවිත අනතුරට හෙලුවේ රුපියල් කීපයක් වෙනුවෙනි. පක්ෂ ක්‍රියාධරයන් නීති විරෝධී ජීවිතවලට තල්ලු කිරීමේ උවමනාවක් පක්ෂයට තිබිණි. 

එක් කලෙක මම ශිෂ්‍ය අංශය සංවිධානය කිරීම පිණිස කකුල් ගෙවෙන කල් මාතලේ නගරයේ වීදිවලත්, උකුවෙල සිට රේල් පාරේත්, මාතලේ සිට පළාපත්වලට මහ පාරේත් ඇවි‍ද්දෙමි. නුවර, නුවරඑළිය, බදුලු දිස්ත්‍රික්වලට හොරෙන් බසයෙනුත් ගොස් ඇත්තෙමි. බඩගින්නට අරුණාලෝකයෙන් හොරෙන් බනිස් කා ප්ලේන් ටී බිව්වෙමි. දවල් කාලයේ ඉන්නට තැනක් නැතිව මහජන පුස්තකාලවල පත්තර මුල සිට අග දක්වා කියැවූයෙමි. රෑ ගෙවන්නට තැනක් නැතිව ළඳු කැළෑවල ලැග්ගෙමි. 

විප්ලවය වෙනුවෙන් මහජනතාවගේ දේ සොරකම් කිරීම වරදක් නො වේ ය යන කරුණ පක්ෂය තුළ ප්‍රවර්ධනය කරන ලදී.විමල්ගේ මිතුරෙක් පක්ෂයේ වැඩ කිරීම පිණිස බයිසිකලයක් සොරකම් කිරීමට ගොස් බයිසිකල් සොරකු බවට පත් වී සිර දඬුවම් ද වින්දේ ය. තහනම් කළ අලුත පක්ෂය සෑහෙන්න බයිසිකල් සොරකම් කළේ ය. පක්ෂයේ පූර්ණකාලිකයන්ට සංවිධාන කටයුතු සඳහා ගමන් බිමන් යාම පිණිස බයිසිකලයක් සොරකම් කර ගන්නට උපදෙස් දෙන ලදී.

කලුතර වැඩ කළ කාලයේ මම දිස්ත්‍රික්කය පුරා ම පාහේ බයිසිකල් පැද ඇත්තෙමි. ඒ දවස්වල අපේ තට්ටම් බයිසිකල් සීට්වල තෙරපීම නිසා තක්කාලි ගෙඩි මෙන් වී තිබිණි.

බයිසිකල් පැදීම හොඳ ශාරීරික ව්‍යායාමයකි. අපේ පාරේ අලුත්වැඩියාව ආරම්භ කරන තෙක් ම මම සතියට දින කීපයක් හැන්දෑවට ව්‍යායාම පිණිස බයිසිකල් පැදීම කළෙමි. දැන් එය ජීවිතයත් මරණයත් අතර ‍ක්‍රීඩාවකි.

විමල් වීරවංශගේ බයිසිකල් ගමන එක්තරා අන්දමක විහිළුවකි. එය සුපිරි වාහනවලට මැදි වී කරන ලද මාධ්‍ය සංදර්ශනයකි. ඇතැම් විට මෙය ෆොටෝෂොප් ජිමික් එකක් වන්නට ද පුළුවන. මෙහි තිබෙන හොඳම විහිළුව විමල්ගේ මුහුණේ තිබෙන බැරෑරුම් පෙනුමයි. තමන් මේ කරන විහිළු ඔහුට තමන් තුළ සාධාරණය කර ගැනීමේ බරපතල අපහසුවක් ඇතැයි ඔහුගේ පෙනුමින් කියැවේ.

විමල්ලා හෙවත් ජවිපෙ කුණු ටැට්ටර් ඩ්‍රයිවර්ලා පාපැදි, යතුරු පැදි හෝ මරුති කාර්වලින් පාර්ලිමේන්තු යන අලුත් සම්ප්‍රදායක් බිහි කරනු ඇතැයි ජවිපෙ පහළ සාමාජිකයෝ බලාපොරොත්තු වූ හ.

අවසානයේදී සිදු වූයේ මෙසේ ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-08

එකම පවුලේ පස්දෙනෙකු කපා කොටා මැරීම හා ජාතිවාදය පිළිබඳ කතාවක්

අනුරාධපුරයේ විහාරහල්මිල්ලෑවේ එකම පවුලක පස්දෙනෙකු කපා කොටා මරා දමා ඇති බවට පුවත මට කෙටි පණිවුඩයකින් ලැබෙනකොට මා සිටියේ සේවා ස්ථානයේ විවේක කාමරයේ සගයින් කීප දෙනෙකු සමග කතා කරමිනි.

ඒ පුවතේ අමුතු ගතිය නිසාත් විහාරහල්මිල්ලෑව කියන ගමේ නම එක්ක මට සිහිපත් වුණේ මායිම් ගම්මානයක් නිසාත් මම කිව්වා ‍මේක කොටින්ගේ වැඩක් ද දන්නේ නැහැ කියලා. මේ ගමේ ඇත්ත නම මොකක්ද දන්නේ නැහැ. එක එක මාධ්‍ය කියන්නේ එක එක නම්. විහාරපාළුගම, විහාරහල්මිල්ලෑකුලම වගේ.

මෙතන හිටිය ජාතිවාදී පක්ෂයකට සම්බන්ධ එක් අයෙක් පසුව මේ සිද්ධිය පිළිබඳ කත‍ා කරමින් කිව්වේ මට හා වික්‍රමබාහු කරුණාරත්න වැනි අයට උවමනා වී තිබෙන්නේ එසේ කොටි සංවිධානය නැවත අවදි වීම දකින්න බවයි. ඔහු කියාගෙන ගියේ සිංහල ජාතිය පීඩාවට පත් වන විට මා සතුටු වන බවයි. බ්ලොග් කමෙන්ට්කරුවන් ඕනෑ තරම් මෙසේ කීවත්, භෞතිකව නිතර හමු වන මිනිසෙක් එසේ මා පිළිබඳව සෙසු අයට කියන විට මම මඳක් සසල වුණා.

1989 කැරැල්ලේ පරාජයෙන් පසුවත් බොහෝ දෙනා සිතා සිටියා ජවිපෙ සම්පූර්ණයෙන් ම අවසන් ය කියා. දැන් සමහරු හිතනවා කොටි සංවිධානය තිබෙන්නේ ඩයස්පෝරාවේ විතරයි කියලා. මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ, කොටි සංවිධානය සම්පූර්ණයෙන් ම රට තුළ අකර්මන්‍යයි කියලා. එහෙම වෙන්න බැරි එය ජවිපෙටත් වඩා සුවිසල් හා පැතිරුණු එකක් වී තිබුණු නිසායි. 

ඒත්, මම නම් හිතන්නේ නැහැ, නැවතත් ත්‍රස්ත ව්‍යාපාරයක් ලෙස කොටි සංවිධානයට පැවැත්මක් තිබෙයි කියලා. ඒත්, ජාතිවාදය කියන්නේ ඕනෑම අගතියකට විවෘත දෙයක්. මායිම් ගම්මානවල මිනිසුන් කපා කොටා ඝාතනය කිරීම වැනි දේ නැවත සිදු නො වේ ය කියා විශ්වාස කරන්න බැරි ජාතිවාදයක් දෙමළ සමාජයේ මෙන් ම සිංහල සමාජයේ ද තිබෙනවා. 

අර මගේ වැඩ සගයාත් එවැනි ජාතිවාදියෙක්. මම ඔහු ඇසුරු කරද්දී ඔහු සම්බන්ධයෙන් අගතියක් නැතිව විවෘතව ඇසුරු කළත්, ඔහු මා සම්බන්ධයෙන් කළ අර වෛරය අවුළුවනසුළු ප්‍රකාශය හේතුවෙන් මට හිතුණේ අපි ජීවත් වෙන්නේ කෙතරම් අනාරක්ෂිත සමාජයක ද කියලායි.මේ සමාජය කියන්නේ අහිංසකයන් ලෙස පෙනී සිටින මිනිසුන් වනචාරිත්වයට විවෘත වන ඕනෑම වෙලාවක ම්ලේච්ඡයන් ලෙස හැසිරෙන බව සිතිය හැකි සමාජයක්. 

ඇත්තෙන් ම උක්ත සිද්ධියත් එවැන්නක්. මේ පස් මිනීමැරුම කරන්නේ රුපියල් ලක්ෂ කීපයක මුදලක් පැහැර ගන්නයි.

මේ සිද්ධිය ඇත්තෙන් ම ජාතිවාදය හා සම්බන්ධයි. මන්ද, මරා දැමීම කළ පුද්ගලයා යුද සමයේ හමුදාවේ සිට, යුද්ධනේ පසු හමුදාවෙන් පළා ගිය සෙබළෙක්. විවිධ අවස්ථාවලදී කොටි සංවිධානයෙන් ඉවත් ව ආ ඇතැම් හිටපු කොටි සෙබළුත් මෙවැනි අපරාධවල යෙදුණු බවට වාර්තා වුණා. ත්‍රිකුණාමලයේ පාසල් දැරියක වූ ජූඩ් රෙජී වර්ෂා ඝාතනය එවන් එක් සිද්ධියක්.

ජාතිවාදය මත පදනම් ව මුදා හරින ලද සීමාන්තික ප්‍රචණ්ඩත්වය පශ්චාත් යුද සමයේ සීමාන්තික ධන තෘෂ්ණාව, පාරිභෝජනවාදය හා දරිද්‍රතාව, නූගත්කම වැනි කාරණා සමග සම්මිශ්‍රණය වුණා ම මේ සමාජය ගැන කිව හැක්කේ විය 'නො හැක්කක් නොමැත' කියායි.

මේ සෙබළාගේයි අර මගේ වැඩ සගයාගේයි අතර වෙනස තිබෙන්නේ සමාජ පසුබිම විසින් ඇති කරන බලපෑම තුළ පමණයි. ඒ බලපෑම් ඉවත් කරනු ලබන ම්ලේච්ඡත්වයක් තුළ ඔහුත්, මේ සෙබළාත් අතර වෙනසක් තිබෙයි ද?

මේ සෙබළා ඔහු විසින් මරා දමන ලද පවුලේ හිතවතෙකි. ඔවුහු කලින් දිනයේ එකට මත්පැන් සාදයක් ද පැවැත්වූ හ. මා කී සගයා ද මා සමග මත්පැන් සාද පවත්වන්නෙකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-06

චැනල් ෆෝ එකට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධ පුවත් හෙළිදරව් කළ චැනල් - 4 රූපවාහිනියේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ප්‍රමුඛ කණ්ඩායමකට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කරන්නට එන්නට වීසා දෙන්නට ලංකාවට සිදු වී තිබේ. එසේ වූයේ එංගලන්තයේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලස්ථානය විසින් සමුළුව ආවරණය කිරීම සඳහා සුදුසු බවට අනුමත කර ඇති සියලුම මාධ්‍යවේදීන්ට ඒ සඳහා වීසා ලබාදීමටලංකාවට සිදු වූ හෙයිනි.

සිය යටත් විජිත මානසිකත්වයේ මුදුන් මල්කඩ වූ චාල්ස් කුමාරයාගේ ලංකාගමනය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව මේ කර ඇත්තේ ලජ්ජා විරහිත දන නැමීමකි. 


ඇත්තෙන් ම චැනල් - 4 කණ්ඩායම ලංකාවට එන්නට වීසා ඉල්ලන්නට ම ඇත්තේ එය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුවහොත් එය දැවැන්ත සිද්ධියක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙනි. ආණ්ඩුවට සිදු වූයේ 'බල්ලාට ගැසුවා නම් ගූත් ඇදපිය' කියා කිව්වා වගේ දෙයකි. ඒ කියන්නේ ඔය යටත් විජිත හත්වලාම මෙහි තියන්නට තීරණය කළා නම් එහි අතුරු ඵලයක් වූ මාධ්‍ය නිදහස අඩු තරමේ ජාත්‍යන්තර මාධ්‍යවලට හෝ දෙන්නට සිදු වීමයි. 

Sri Lanka's Killing Fields සහ No Fire Zone යන වාර්තා චිත්‍රපට දෙකේ අධ්‍යක්ෂ වන කැලම් මැක්රේ‍ගේ ලංකා ගමන මෙම පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ වැදගත් ම දේශපාලන අවස්ථාවක් බව අපේ හැඟීමයි. එය දෙවෙනි වන්නේ ඇතැම් විට මන්මෝහන් සිංගේ නො පැමිණීමට පමණක් වන්නට පුළුවන. 

එහෙත් කැලම් මැක්රේට ඉන්දියාව වීසා දුන්නේ නැත. 

මේ ගමනත් සමග ලංකාවට එන කැලම් මැක්රේට දැල එලන්නට ද අවස්ථාවක් ලංකාවේ ආණ්ඩුවට ලැබේ. ලංකාවේ සුන්දර තරුණියන් හෝ මහජන මුදල්වලින් ඔහු අමතන්නට උත්සාහ කරන්නට මේ පළපුරුදු දේශපාලකයන්ට පුළුවන. එහෙත්, කොළේ ඉරා ගන්නට ද අවස්ථාව ඇති බව අපි මතක් කර දෙමු. බීබීසී සිංහල සේවයේ වාමාංශික මාධ්‍යකරුවන් මෙන් ඔහු ද කාර් (පර්මිට්) වැනි දේවලට යට වන්නට පුළුවන. (බීබීසී සිංහල සේවයේ මාධ්‍ය වීරයන් වන චන්දන කීර්ති බංඩාර හා එල්මෝ ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කාර් පර්මිට් ඉල්ලූ අතර, එ්වා ඉදිරිපත් කළේ ප්‍රියත් ප්‍රනාන්දු ය)

එහෙම නො වෙන්නත් පුළුවන. අපි දන්නේ නැත. 

කැලම් මැක්රේ කියූ එක් දෙයක් තිබේ. තමන්ට මෙම වීඩියෝ දී තිබෙන්නේ හමුදාවේ ම අයයි. ඒ වෙනුවෙන් සෑහෙන්න ගෙවන්නට ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-05

ගනිකා වෘත්තිය නීතිගත කරමු ද? ආදරය දිරි ගන්වමු ද?

ලොව පැරණි ම ගනිකා නිවාසයක් වූ ස්පාටකස් සමයේ පොම්පෙයි ගනිකා නිවාසයේ සිතුවමක්
මේ දිනවල ගනිකා වෘත්තිය ගැන මහා සංවාදයක් ඇති වී තිබේ.එය නීතිගත කළ යුතු ද? නැද්ද?  

ගනිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ලිංගික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සැලසෙන බවට නිමල්කා ප්‍රනාන්දු නඟන තර්කය, කැසිනෝ ආර්ථිකය නිසා ගනිකා  වෘත්තිය පැතිරේ යයි කියන්නා වැනි ම මුග්ධ තර්කයකි.

ලෝකයේ ඇති කිසිදු රැකියාවක් අමුතුවෙන් නීතිගත කිරීමක් කර නැත. අවශ්‍ය වන්නේ ලිංගික ශ්‍රමිකයන් අසාධාරණයට ලක් කිරීමට යොදා ගන්නා පාදඩ පනත වැනි 19වන සියවසේ යල් පැන ගිය නීති වෙනස් කිරීමයි. 

සෙසු රැකියාවන්හි මෙන් ම මෙම රැකියාවෙහිදී ද සේවා තත්වය දියුණු කර ගැනීම සිදු කළ යුත්තේ එම රැකියාවේ නියුතු අයගේ ම සංවිධානය වීමෙන් මිස අන් ආකාරයකින් නො වේ. 

ලිංගික ශ්‍රමිකයන් යනු ලෝකයේ ඈත අතීතයේ සිට ම සිටි අත්‍යවශ්‍ය සේවාවක් සපයන පිරිසකි. ලිංගික සේවා සපයන්නන් කටයුතු කරන්නේ මිනිසුන්ගේ හැඟීම් සම්බන්ධයෙන් නිසා මෙම වෘත්තියේ තත්වයන් ඉතා සංකීර්ණ වේ. 

අනෙක් පැත්තෙන්, එම වෘත්තියේ පවතින දැඩි අනාරක්ෂිත ස්වභාවය නිසා කිසිවකු එම ක්ෂේත්‍රයට යොමු වීම දිරිගැන්වීම සුදුසු නැත. ඔවුන් අනාරක්ෂිත වන්නේ සෞඛ්‍යමය වශයෙන් පමණක් නො වේ. සමාජමය වශයෙන් ද ඔවුහු දැඩි ලෙස ම අනාරක්ෂිත ය. සමාජ සදාචාර ආකල්ප නිසා ඔවුහු බැහැර කිරීමට ලක් වෙති. ලිංගික ශ්‍රමිකයෝ බොහෝ විට මත්ද්‍රව්‍ය වැනි වෙනත් දුරාචාරයන්ට ද විවෘත වෙති.

ධනවාදයට එරෙහි අරගලයේදී අපගේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ පාරිභෝජනවාදයයි. ලිංගික රැකියා ද දැඩි ලෙස ම පාරිභෝජනවාදය සමග බැඳී පවතී. ස්ත්‍රී (මෙන්ම පිරිමි) සිරුර ආසාවෙන් පරිභෝජනය කරන භාණ්ඩයක් බවට පත් වීම නො වැළැක්විය හැකි දෙයක් වුවත්, එය දිරිගැන්විය යුතු තත්වයක් නො වේ.  සමාජවාදීන් විසින් දිරිගැන්විය යුතුව තිබෙන්නේ ආදරය මත පදනම් වූ ලිංගිකත්වය හා ලිංගික නිදහස මිස ලිංගික ගනුදෙනු හා සූරාකෑම නො වේ.

ලිංගික ශ්‍රමිකයන් සදාචාරවත් කිරීමට උත්සාහ කිරීම තේරුමක් ඇති දෙයක්දැයි නො දනිමි. එහෙත්, සිය වෘත්තියේ තිබෙන අනාරක්ෂිත ස්වභාවය පිළිබඳ ඔවුන් දැනුවත් විය යුතු ය. එසේ ම, තමන් වෙනුවෙන් සුබසාධන ක්‍රම සකසා ගැනීමට ඔවුන් දිරිගැන්විය යුතු ය. විශේෂයෙන් ම මහළු වියට එළැඹෙන විට ඔවුන්ට ජීවිතය පවත්වාගෙන යාමට මාර්ග සකස් විය යුතු ය. ඔවුන්ගේ දරුවන්ට වෙනත් ‍ජීවන මාර්ග තෝරා ගැනීම සඳහා වැඩි අවස්ථා විවර කර දිය යුතු ය.

ලිංගික ශ්‍රමිකයන් හෙවත් ගනිකාවන් පිටුදැකීම සඳහා හොඳ ම මාර්ගය ලිංගික කුහකත්වය පිටු දැකීමයි. සමාජවාදීන් ආදරය ගැන වැඩිපුර කතා කළ යුතු ය. 

මුළු ජීවිත කාලය පුරා ම එක් මිනිසකු එක් ගැහැනියක පමණක් යහන් ගත විය යුතු ය යන සදාචාරවාදී ආකල්පය පුපුරුවා හැරිය යුතු බව ඇත්තකි. එහෙත්, අනාරක්ෂාව රජයන ධනේශ්වර සමාජ ක්‍රමය තුළ පවුල යනු අනාගත පරම්පරාවේ ආරක්ෂාව හා යහපැවැත්ම පිණිස අත්‍යවශ්‍ය සාධකයකි. ලිංගික නිදහස යනු අනාගත පරම්පරා වෙනුවෙන් මිනිසකු සතු වගකීම් හා පෞද්ගලික නිදහස අතර ගැටුමක සමතුලනයයි. ඒ මැද කිසිදු ‍සමාජ, දේශපාලන හෝ මනෝ විද්‍යාත්මක දර්ශනයකින් පූර්ණ ලෙස විග්‍රහ කළ නො හැකි දෙයක් වූ ආදරය ද තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-04

ඉසයිප්‍රියා යනු කුමක් ද?

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි මාධ්‍යකාරියක හා කලාකාරියක ලෙස ප්‍රකටව සිටි ඉසයිප්‍රියාගේ මරණය හා සම්බන්ධ යයි කියන වීඩියෝවක් චැනල් ෆෝ ආයතනය විසින් නිකුත් කර තිබේ. එය ව්‍යාජ එකක් බව ආරක්ෂක අංශ පවසයි.

ඉසයිප්‍රියා සාමාන්‍ය මාධ්‍යකරුවකු නො වේ යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඇය කොටි සංවිධානයේ ලුතිනන් කර්නල්වරියක බව‍ ද කියැවේ.

බොහෝ මාධ්‍යකරුවන්ගේ අනන්‍යතාව සිවිල්ද මිලිටරි ද කියා තීරණය කිරීම එතරම් පහසු දෙයක් නො වේ. මන්ද, ඔවුහු හැමවිට ම යුද දේශපාලනික ක්‍රියාවලියක කිසියම් පාර්ශ්වයක අවශ්‍යතාවක් නියෝජනය කරන නිසා ය. සිවරාම් මෙන් ම කීර්ති වර්ණකුලසූරිය ද මිලිටරි මාධ්‍යකරුවෝ ය. කීර්ති වර්ණකුලසූරිය තම පුවත්පතේ ම සහෝදර වාර්තාකරුවකු කොටියකු බව එම පුවත්පතේ ම ලිවීමෙන් වාර්තා තැබූවෙකි. එහෙත් මේ දෙදෙනා ම මිලිටරිය හා ඍජුව සම්බන්ධ නැත.

ඉසයිප්‍රියා කෙළින් ම කොටි සංවිධානයට සම්බන්ධව සිටි මාධ්‍යකාරියකි. රාජ්‍ය මිලිටරි මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවෝ ද කෙළින් ම හමුදාවට සම්බන්ධව සිටියේ යයි තර්ක කළ හැකි ය.

ලෝකයේ සෑම සමාජ විපර්යාසයක් ම සිදු වී තිබෙන්නේ එකී විපර්යාසයට පෙර සමයේ තිබුණු නීතිය අභියෝගයට ලක් කළ ක්‍රියාමාර්ග ඔස්සේ ය. දිනුවත්, පැරදුණත් මිනිස්සු තම සාමූහික අභිප්‍රායන් අනුව සමාජ විපර්යාස සඳහා අරගල කරති.ඉතිහාසය ලියැවී ඇත්තේ මේ කැරැලිවලිනි.

අරගල පරාජයන් හමුවේ කුමන අන්දමේ සටන්කරුවකු වුවත් අසරණ වේ. බොහෝ අය අවි අතහැර යටත් වෙති. යටත් වූ මිනිසුන්ට වධ දීම හා මර‍ා දැමීම සඳහා ඇති පෙළඹුම ඉතා නරක තත්වයකි. මෙය රජයේ පාර්ශ්වය තුළ මෙන් ම කොටි සංවිධානය තුළ ද දක්නට ලැබුණු ලක්ෂණයකි. 

යුද සමයේ වධ දීමෙන් සතුටු වෙද්දී ගත් ඡායාරූප දැන් ඇතැම් ‍දේශප්‍රේමීන් මුදලට පිටරටට විකුණන බව පෙනේ.

මෙය ජාත්‍යන්තර යුද නීතිවලට  පමණක් නො ව සාමාන්‍ය මිනිස්කමටත් නිගරුවකි.

කුමන වරදකරුවකුට වුණත්, යටත් වී අභය ඉල්ලා සිටින්නේ නම් අභය දිය යුතු ය. නිතිය හමුවේ දණ්ඩනයට ලක් වීමට හා නිවැරදි වීමට අවස්ථාව දිය යුතු ය. 

ඒ මිනිස්කමට ගරු කිරීමේදී අසවලා එසේ නො කළේ ය කියා තමන්ට ද එසේ නො කර සිටීමේ අයිතිය ඉල්ලා සිටින්නට බැරි ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-03

ගහෙන් වැටුණු දරුවාට විදුහල්පති ඇනීම

දරුවකු අතින් ලිංගිකත්වය හා සම්බන්ධ වරදක් සිදු වූ කල පවා ලංකාවේ නීතිය අනුව එය සැලකෙන්නේ දරුවාගේ වරදක් ලෙස නො වේ. වරද සිදු කළ අනෙක් පාර්ශ්වය වැඩිහිටියකු වේ නම්, එම පාර්ශ්වයේ වරදක් ලෙසයි. එය ලංකාවේ නීතිය අනුව ලිංගික දූෂණ ගන‍යේ ලා සැලකේ.

නීතිය ඉදිරියේ අනුකම්පාවට ලක් වන ළමයි පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඉදිරියේ යළි අසරණ වන්නේ කෙසේ ද? ගුරුවරු හා විදුහල්පතිවරු ඉන්නේ නීතියට ඉහළින් ද?

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අතින් දූෂණය වූ දැරියක එම ප්‍රදේශයේදී අවමානයට ලක් වීම නිසා ඇය බංඩාරවෙල කුඩා කුසුම් බාලිකා පාසලට ඇතුළත් කරන ලදී. එහෙත්, එම පාසලේ විදුහල්පතිනිය මේ සිද්ධිය පිළිබඳ සොය දැනගෙන ඇය පාසලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නේවාසික පහසුකම් සහිත එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර විදුහල්පතිනිය දිනක්‌ මව කැඳවා දියණිය තරුණයන් දෙදෙනකුගෙන් හා ප්‍රාදේශීය සභාපතිවරයකුගෙන් අතවරයකට භාජනය වී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කියමින් විදුහලෙන් අස්‌කර ගන්නා ලෙස දන්වා ඇත. විදුහල්පතිනිය ගෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාම ඇඳුම් හා පාසල් පොත් රැගෙන දියණිය සමග ආපසු ගෙදර එන්නට මවට සිදු වී තිබේ.

දැන් මේ පිළිබඳව දැරියගේ මව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබේ. විදුහල්පතිනියගෙන් රු. කෝටියක වන්දියක් ඉල්ලා ඇත.

මේ දැරිය නැවත පාසල් ගොස් සිය අධ්‍යාපනය කරගෙන යන්නට උත්සාහ කිරීම ඇත්තෙන් ම ලංකාවේ සාමාන්‍ය තත්වය නො වේ. මෙවැනි අතවරවලට ලක් වන දැරියන්ගේ අධ්‍යාපනය එතැනින් අවසන් වීම ලංකාවේ සාමාන්‍ය තත්වයයි. පළමු හේතුව වන්නේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු ඒ දැරිය නැවත පාසලට වැද්ද නො ගැනීමයි. එහි ඇත්තේ ඉතා පටු, සරළ තර්කයකි. එවැනි දැරියක නැවත පාසලට පැමිණියහොත් සෙසු දරුවන් ද නරක් විය හැකි බවයි. එතකොට ඒ දැරිය 'නරක්' වුණේ කෙසේ ද? ඒ පිළිබඳ අදාළ විදුහල්පති හෝ ඇයට ඉගැන්වූ ගුරුවරුන් වගකිව යුතු නො වේ ද? ඒ ගැන පැවැත්විය යුත්තේ විගණන පරීක්ෂණයකි.  

මෙවැනි සිද්ධිවලට මුහුණ දෙන දැරියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර දැමීම ලංකාවේ පාසල්වල නිල නො වන සාමාන්‍ය තත්වයකි. විදුහල්පතිවරු හා ගුරුවරු එවැනි දැරියන් යළි පාසල් ඒම වළක්වන අතර අස් කර ගෙන යන්නැයි මව්පියන්ට බල කරති. සෙසු දෙමව්පියෝ ද එම දැරිය අස් කරන්නැයි විදුහල්පතිට බලපෑම් කරති. ඉන් පසු එම දැරියට වෙනත් පාසලකට යාමට ද ඔවුහු ඉඩ නො දෙති. ඒ පාසල්වලට ද බලපෑම් කරති.

එහෙත් අපචාර සිද්ධියක කොටස්කරුවකු වූ පිරිමි දරුවකුට මෙවැනි ගැටලු ඇති වන්නේ නැති තරම් ය. 

හොඳයි, වරදක් සිදු වුණා ම ය කියමු. එවැනි දැරියකට සිය වරද නිවැරදි කරගෙන යළි සාමාන්‍ය පරිදි අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාවක් ලංකාවේ නැද්ද? 

සියලු විදුහල්පතීන්ට පාඩමක් ලෙස මේ විදුහල්පතිවරියගෙන් දැරියට රුපියල් කෝටියේ වන්දිය අය කර දිය යුතු බව මගේ අදහසයි. මනුස්සකම අංශභාග වුණත් සල්ලි ක්‍රියාත්මක වේ.

ලංකාවේ පාසල් යනු ළමා අපචාර කේන්ද්‍රයකි. දැන් පවතින කලිසම් හිරට අඳින මෝස්තරය නිසා විදුහල්පතිවරු දැන් කලිසම් පලන්නන්ගේ භූමිකාව ද කරති. වැලිගම පාසලක සිසුවකුගේ එකම කලිසම පැලීම නිසා ඇති වූ උද්ඝෝෂණයක් පිළිබඳව මෙම වාර්තාවේ පළ වේ. 

නිල ඇඳුම යනු කුමක්දැයි ළමයින්ට අවබෝධ කර දීමට අසමත් වීමේ මහා අධ්‍යාපනික හා සංස්කෘතික ගැටලුවක් කලිසම් පැලීමෙන්, ගවුම් වාටි ලිහීමෙන් විසඳිය නො හැකි බව තේරුම් ගන්නට තරම් බුද්ධියක් විදුහල්පතිවරුන් ‍විසින් ගොඩනඟා ගත යුතුව තිබේ. 

එහෙත් දැන් විදුහල්පතිවරුන් අතර රැල්ල ඇත්තේ අධ්‍යාපනඥයන් වීමට නොවේ‍. තරු, පටි ආදිය පැළඳගෙන හමුදා නිලධාරීන් වන්නට ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-11-01

රං ගෝලයා හෙවත් ගොන් රාළයා

දුම්රිය දෙපාර්තමේන්තුවේ 'ගෝලයා' නම් තනතුරක් ඇති බව දැන ගන්නට ලැබුණේ දිනමිණ පුවත්පතේ මේ වාර්තාව හරහා ය. මේ රස කතා ලියන්නේ මහින්ද අබේසුන්දරගේ ගෝලයෝ ය. අබේසුන්දර මහින්ද රාජපක්ෂගේ චක්ගෝලයෙකි.

ඇත්තෙන් ම මේ ගෝලයා නම් වචනය රසවත් පසුබිමකින් යුක්ත ය. උම්මග්ග ජාතකයේ කාලගෝලට ඒ නම වැටුණේ කළු බෝලයක් වැනි පුද්ගලයකු නිසා විය හැකි ය. 

රිවිරැස පත්තරේ තිබුණු ජයසිරි සේමගේ විසින් අඳින ලස ගුරු ‍ගෝල වෙනස නම් තරගයේදී පාඨකයන්ට කරන්නට තිබුණේ ගුරුවරයාගේ චිත්‍රයත්, ගෝලයාගේ චිත්‍රයත් අතර ඇති වෙනස්කම් දහයක් සොයා සලකුණු කිරීමයි. ඉන් පසු ඒවාට අංක යොදන ආකාරය පුවත්පතේ ඇති චිත්‍රයේ අංක යොදා ඇති ආකාරය සමග ගැලපුණොත් තෑග්ග හිමි වූ බව මට මතක ය. ඇතැම් දිනෙක මට ‍ගෝලයාගේ චිත්‍රයේ වැරදි දහයකට වැඩි ගණනක් හමු වූ අවස්ථා ද තිබිණි. 

ශිෂ්‍යයා ‍ගෝලයා ලෙස ආමන්ත්‍රණය කිරීම මහදැනමුත්තා කතාවලදී අපට හමු වේ. දැන් සිටින ගුරුවරු තමන් මහදැනමුත්තන් ලෙස හඳුන්වා නො ගත්තත්, තමන්ගේ සිසුන් ගෝලයන් ලෙස හැඳින්වීමට නම් කැමති ය. මා සිතන්නේ ගෝලයා යයි කීවා ම තමන්ගේ මනස තුළ හෝ ඒ පුද්ගලයාව පහත් මට්ටමක තබා ගන්නට පුළුවන් නිසා වෙන්නට පුළුවන. "අහවලා මගෙ ගෝලයෙක්," යයි ගුරුවරු නිතර කියති. 

යකැදුරෝ හා සිත්තරු වැනි කලාකරුවෝ සිය ආවතේවකරුවන්ටගෝලයා යි කියති. මූසිල ගුත්තිලගේ ගෝලයෙකි. වැඩ වසම් ගුරු ගෝල සම්බන්ධය තුළ ගුරු මුෂ්ටි ද තිබිණි. 

ගරාජ් බාස්ලා සිය ගෝලයන්ට නො දී ගුරු මුෂ්ටි තබා ගත් ආකාරය ගැන අසා ඇති කරුණක් මෙසේ ය. ඉස්සර කාලේ බාස් උන්නැහේලා වාහනයක එන්ජිමේ ටයිමිං තැබුවේ බුලත් විටක් ගෙන එන්නට ගෝලයා කඩේට යවා යයි කියනු ලැබේ.

මේසන් බාස් උන්නැ‍හේලා අත්වැඩකාරයන්ට ද, ලොරි රියැදුරෝ ක්ලීනර්ලාට ද, බස් රියැදුරෝ කොන්දොස්තරලාට ද ගෝලයන් කියා අමතති. ඇත්තෙන් ම ගත් කල, රියැදුරා යනු රිය ඇදුරා හෙවත් රියට යන හැටි උගන්වන්නා නිසා රියැදුරා ද ගුරුවරයෙකි.

ගුරු හාමුදුරුවරුන්ට ගෝල හාමුදුරුවරු සිටිති. චක්ගෝලයා කියන්නේ සාමාන්‍ය ගෝලයකුට වඩා අන්තේවාසිකයෙකි. 

කෙසේ වෙතත්, ගෝලයා යන වචනය තුළ අනෙකෙකු යටපත් කර ගැනීමේ ආධිපත්‍යවාදී උවමනාවක් හා පහත් කොට සැලකීමේ අරමුණක් ඇති බව මගේ අදහසයි. ඒ නිසා මම ගෝලයින් නො හදමි. මා කාගේවත් ගෝලයකු බව ද නො කියමි. මට ඉගැන්වූ ගුරුවරුන්ට මම ගරු කරන මුත්, මම කාගේවත් ගෝලයකු ‍නො වෙමි.

ගෝලයා යන වදනට සමාන ඉංග්‍රීසි පරිවර්තනය ලෙස සැලකෙන්නේ disciple ය. එම වචනය පිළිබඳ විස්තර මෙතැනින් බලන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com