2013-12-31

යුද අපරාධ හා අබ්දූල් කදීර් මුල්ලා ඝාතනය

.
අබ්දූල් කදීර් මුල්ලා එල්ලා මැරීමෙන් පසු
ඉහත පළ වූ එල්ලා මරා දමන ලද මෙම මහළු මිනිසාගේ ඡායාරූපය මා තුළ කම්පනයක් අැති කළේ ය. කුමන අන්දමක ‍හෝ මරණ දඬුවම මම නම් හෙළා දකිමි. මිනිසකු මරා දැමීමේ අයිතිය තවත් මිනිසකුට මෙන් ම ආණ්ඩුවකට ද නැත.

ලංකාවේ පාලකයන්, ආරක්ෂක අංශ, අතුරු හමුදා හා කොටි සංවිධානය විසින් යුද අපරාධ කරන ලද බවට චෝදනා එල්ල වේ. එම සියලු අංශ විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත්, මේවා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු වන්නේ ද නැත.

මානව වර්ගයාට එරෙහි යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කිරීමට කිසිදු බලවත් පාර්ශ්වයකට ඉඩ නො දිය යුතු ය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විධිමත්, ස්වාධීන පරීක්ෂණ අවශ්‍ය ය. වැරදිකරුවන්ට දඬුවම් දීම ද අවශ්‍ය ය. මන්ද, අප ජීවත් වන සමාජයේ ශිෂ්ටත්වය පැවතිය හැක්කේ එසේ වන්නේ නම් පමණි. මෙහිදී බලවත් රාජ්‍යයන්, දුබල රාජ්‍යයන් කියා වෙනසක් ද නො තිබිය යුතු ය. ලංකාවේ මෙන් ම ඇමරිකාවේ ද යුද අපරාධ චෝදනා එක සමාන අන්දමින් විභාග කරන ස්වාධීන ජාත්‍යන්තර ව්‍යූහයක් ගොඩනගා ගැනීම සඳහා ලෝකය උත්සාහ කළ යුතු ය.

එසේ නොමැති නම් සිදු වන්නේ යුද අපරාධ චෝදනා ද දේශපාලන අතකොලුවක් බවට පත්වීමයි. මේ සඳහා ආසන්න ම උදාහරණය වන්නේ සදසැම්බරයේදී බංග්ලාදේශය විසින් ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ නායක අබ්දූල් කදීර් මුල්ලා නීත්‍යානුකූලව ඝාතනය කිරීමයි.

ඔහු එල්ලා මරා දමන්නේ මීට වසර 42කට පෙර සිදු කළා යයි කියන යුද අපරාධයක් සම්බන්ධයෙනි. දැන් වයස අවුරුදු 65ක් වන ඔහු ඒ කාලයේ අවුරුදු 23ක් වයස වෙන්න ඇති. ඒ වකවානුව වනාහි බංග්ලාදේශය පකිස්තානයෙන් නිදහස් වීම පිණිස අරගලයක් පැවති සමයයි. වත්මන් අගමැති හසීනා වජීඩ්ගේ පියා වන ෂේක් මුජිබර් රහමාන්ගේ නායකත්වයෙන් දියත් වූ මෙම අරගලයට ඉන්දියාවේ යුද සහයෝගය ලැබිණි.

එම කාලයේදී අබ්දූල් කදීර් මුල්ලා වෙන් වීමට විරුද්ධ වෙමින් පකිස්තානයට සහයෝගය දැක්වූයේ ය.බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් වීමෙන් පසු පකිස්තානයට පළා ගිය ඔහුට ආපසු එන්නට ලැබුණේ මුජිබර් රහුමාන් ඝාතනය කරමින් සියාවුර් රහමන් බලය අල්ලා ගත් හමුදා කුමන්ත්‍රණයෙන් පසු ය. පසු කාලීනව ඔහු ෂාරියා නීතිය මත පදනම් ව, පකිස්තානයට හා සවුදි අරාබියට සමීප ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් දේශපාලනයේ නිරත විය.  සියාවුර් රහමන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සමග සන්ධානගත වූ මුල්ලා බෙගම් කලීඩා ෂියාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ද විය.

ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය ඉස්ලාම් අන්තවාදය මත පදනම්ව හින්දු, බෞද්ධ පමණක් නොව සෙසු මුස්ලිම් කණ්ඩායම්වලට ද එරෙහිව ප්‍රහාර එල්ල කර තිබේ. මේ හේතු මත මෑතදී මෙම සංවිධානයේ ලියාපදිංචිය අවලංගු කරන ලදී.

හසීනා වාජිඩ්ගේ ආණ්ඩුව විසින්2010දී කමිටුවක් පත් කරනවා 1971දී සිදු වූ යුද අපරාධ ගැන සොයන්න. එමගින් තමයි, තරමක් අවුල් සහගත සාක්කි ඔස්සේ මුල්ලා වරදකරු කර මරණ දඬුවම නියම කරන්නේ. ඔහුට මරණ දඬුවම නියම කිරීම සඳහා 300කට වැඩි ඝාතන, ස්ත්‍රී දූෂණ ආදිය පිළිබඳ චෝදනා ඉවහල් වෙනවා.

හසීනා‍ගේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක හිතවත්. බංග්ලාදේශ ජාතිකයන්ට ඉන්දියාව සමග දේශ සීමා හා ගංගා ජලය බෙදා ගැනීම වැනි ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒත්, හසීනාගේ ආණ්ඩුව ඒවා මතු කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ජනතා ප්‍රශ්න යට ගැසීම සඳහා හසීනාගේ ආණ්ඩුව පකිස්තාන් විරෝධී දේශප්‍රේමය අවුළුවනවා. එමගින් ඉන්දියාව සතුටු කරන්නත් පුළුවන්නේ.

යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීම හෝ සමාව දීම සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය දිරි ගැන්වෙන සංදර්භයක මිසක්  දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගන්නා සංදර්භයක ‍නොවෙයි. මේ කතාව ලංකාවටත් අදාළයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-30

සුරේඛා සමරසේනගේ අපූරු කවියක්

සුරේඛා සමරසේන කිවිඳියගේ කවි නිතර ෆේස්බුක් හරහා කියවනවා. ඇය දේශපාලනික කවි ලියන කිවිඳියක්. මමත් එවැනි කවි ලියන්න කැමැත්තක් දක්වන කෙනෙක්. 

ඇගේ මේ කවිය ම‍ගේ සිත් ගත්තා.

මාධ්‍යවේදියෙකුට
සුනන්ද දේශප්‍රිය මෙන් ජීවත්විය හැක
රිචඩ් ද සොයිසා මෙන් මරණයට පත්විය හැක
ව්‍යතිරේකයක් ලෙස අතුරුදන් විය හැක

ගරිල්ලා නායකයෙකුට
කරුණා අම්මාන් මෙන් අමාත්‍යවරයෙක් විය හැක
ප්‍රභාකරන් මෙන් මිය යා හැක
ව්‍යතිරේකයක් ලෙස අතුරුදන් විය හැක


කවියෙකුට
රත්න ශ්‍රී මෙන් මිය යා හැක
චන්දරේ මෙන් අතුරුදන් විය හැක
ව්‍යතිරේකයක් ලෙස නොලියා සිටිය හැක


සිනමාකරුවෙකුට
හදගම මෙන් ප්‍රස්තුතය ලාවට ස්පර්ශ කරමින් නූලට බේරගෙන ඉනියවන් වැනි චිත්‍රපටයක් කළ හැක
ජයන්ත චන්ද්‍රසිරි මෙන් සමනළ සන්ධ්වනිය වැනි ගීත රූපරචනා කළ හැක
සංජීව පුෂ්පකුමාර මෙන් ඩොලර් හිගමනේ යා හැක
සෝමරත්න දිසානායක මෙන් සිරි පැරකුම් කළ හැක
ව්‍යතිරේකයක් ලෙස චිත්‍රපට කිරීම වර්ජනය කළ හැක


නළුවෙකුට නිළියකට
රවී-මාලිනී මෙන් රගනොපෑවත් සම්මානනීය විය හැක
ගීතාට මෙන් ඡන්දයට ඉදිරිපත් විය හැක
අනෝමාට මෙන් නිරුවත් විය හැක
අනර්කලීට මෙන් අඩනිරුවත් විය හැක
ජැක්සන් මෙන් අධිපති කලාවේ අධිපති මතවාදයට ඔලුබක්කො නැටිය හැක
ව්‍යතිරේකයක් ලෙස රගපෑම වර්ජනය කළ හැක


පුරවැසියෙකුට
ඡන්දය ප්‍රකාශ කළ හැක
ඡන්දය ප්‍රකාශ නොකළ හැක
ඡන්දය කටුගෑ හැක
ව්‍යතිරේකයක් ලෙස පුරවැසිකමින් ඉල්ලා අස්විය හැක...


ඇගේ තවත් කවි කියවන්න පුරවැසි පත්‍රිකා බ්ලොගය වෙත පිවිසෙන්න. 

http://puravesipathrika.blogspot.com/ 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-29

‍කේන්දරකාරයන් චැනල් කිරීම

දැන් ජ්‍යෝතිෂකාරයන්වත් දොස්තරලා වගේ චැනල් කරන්න පුළුවන්. රේඩියෝ එකේ දැන්වීම් යනවා ඒ චැනල් සේවාව ගැන.

ජ්‍යෝතිෂකාරයන් විතරක් නෙමෙයි හොර වෙද්දුන්වත් මිනිස්සු චැනල් කරනවා. මං දන්න එක වෙද මහත්තයෙක් ඉන්නවා. මින‍ිහා සොයාගෙන හැම දිහාවෙන් ම ලෙඩ්ඩු එනවා. මේ පොර මීට කලින් ලංගම රියැදුරෙක්. ඉක්මනින් සල්ලි හොයන විවිධ ජාවාරම් කරලා හිරේ ඉන්න අතරෙදියි මිනිහා වෙද මහත්තයෙක් වෙලා තිබෙන්නේ.

මම නම් එකහෙළා ම මේ ගර්හිත විද්‍යාවන් ප්‍රතික්ෂේප කරනවා. මේවා මගේ ජීවිතේ කිසිදු කටයුත්තකට සම්බන්ධ කර ගන්නේ නැහැ.

අපේ හාමිනේත් මං ජාතියෙම තමයි. හැබැයි, එයා කියනවා, මේවායේ කිසියම් අප නො දන්න දෙයක් තිබෙන්න පුළුවන්. ඔව් ඉතින්, ඔය ඕනැ දේක අපි නො දන්න පැති ඕනැ තරම් ත‍ිබෙන්න පුළුවන් නේ.

දැන් මෙහෙම ගනිමුකෝ. අපි කරන අනෙකුත් දේවල් කරන්නේ දන්නා දේ මත පදනම් වෙලා‍නේ. උදාහරණෙකට අපි දන්නවා බැංකුවේ සල්ලි දැම්මා ම සාමාන්‍යයෙන් එය ආරක්ෂිත බව හා සමහර විට සුළු පොළියක් හෝ ලැබෙන බව. කවුරුහරි කියනවා ලිබ්බොක්කේ වැළලුවා ම සල්ලි පැටව් ගහනවා ය කියලා. එහෙම කියලා ඔබ ඒක කරනවා ද? ඔබ වැඩ කරන්නේ දන්න දේ මත පදනම් වෙලා මිසක් නො දන්න දේ මත නො වෙයි නේ.

අනාගතය සම්බන්ධයෙනුත් මම නම් හිතන්නේ අපි හිතන්න ඕනැ ඒ විධියටයි. අපි දන්නවා ලෝකෙ දුක සැප කියා දෙකක් තිබෙන බව. අපි ලෙඩ වෙන බව. මිනිස්සු මැරෙන බව. පමණ දැන කාලා බීලා, කම් සැප විඳලා, ව්‍යායාම කරලා, සැහැල්ලුවෙන් සතුටින් හිටියොත් ලෙඩ රෝග අඩු විය හැකි බව. අහඹු ලෙසත්, උත්සාහය මතත්, සොරකම් කරලාත් මිනිසුන්ට 'දියුණු' වෙන්න පුළුවන්. ඒත්, දියුණුව සමග අනිවාර්යයෙන් ම සතුට ලැබෙනවා කියන්න බැහැ.

අවසානයේදී ගත්තා ම අපට ජීවිතයක් ලැබිලා තිබෙනවා. අපි උත්සාහ කරමු හොඳින් ජීවත් වෙන්න. කොහොම ජීවත් වුණත් මැරෙන එක නම් වළක්වන්න බැහැ. සමහර විට අපට සතුටු වෙන්න පුළුවන් සිදුවීම් සිදු වේවි. දුක වුණත් එහෙමයි. අහම්බයි. ප්‍රාතිහාර්ය වගේ සිදුවීම් වෙන්න පුළුවන්. ඒත්, ඒවාත් අහම්බ තමයි. ප්‍රාතිහාර්ය බලා‍පොරොත්තුවෙන් ජීවත් නො වී ජීවිතය සමග හැලහැප්පෙමින් එය සාර්ථක කර ගන්න උත්සාහ කරන ගමන්, ලැබෙන දේ ගැන පසුතැවෙන්නේ නැතිව ජීවත් වෙන්නත් අපි සූදානම් විය යුතුයි.

මම හිතන්නේ මේ ප්‍රාතිහාර්ය පිළිබඳ අදහස එන්නේ දේවවාදයන්ගෙන්. තමන්ට ඉහළින් සිටින උත්තරීතර බලයක් පිළිබඳ විශ්වා‍සයත් එක්ක. හැබැයි, බුදු දහම ඊට වඩා වෙනස්. මිනිසුන් තුළ විශ්වාසය ඇති කරන්නේ තමා ගැන මිස නො දන්නා බලවේග ගැන නොවෙයි.හැබැයි බුදු දහමටත් මේ දේවවාදී බලපෑම නිසා ආශ්චර්යයන් පිළිබඳ අදහස් ඇතුළත් වෙලා තිබෙනවා. 

ලෝකය බටහිර සංකල්ප මත වෙනස් වූ බව ඇත්තක්. හැබැයි, බටහිරත් බොහෝ දේ අරගත්තේ පෙරදිගින්. මම හිතන්නේ අපි දැන් ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ඇවිත්. ඒවා එහෙම තමයි. ඉතිහාසයේ අප තෝරා ගත් පාරවල් නිසා සිදු වූ දේ එමටයි. ඒ තෝරා ගැනීමට වඩා හොඳ තෝරාගැනීම් තිබුණා යි කියලා හිතලා එතෙන්ට ආපසු යන්න දැන් බැහැ. 

යම් යම් ප්‍රාතිහාර්යයන් පෑ හැකි දැනුම් තිබෙන මිනිසුන් සොයා යන අපට අද හමු වන්නේ සොරුන්, තක්කඩීන්, මානසික රෝගීන් හා මුග්ධයන් කියලායි මට නම් හිතෙන්නේ.

වර්තමාන ජීවිතයේ ප්‍රශ්නවලට අතීතයෙන් විසඳුම් සොයන්න බැරි හේතු රැසක් තිබෙනවා. අද අප ජීවත් වන්නේ අසීමිත ආශාවන් පසුපස හඹා යන පාරිභෝජනවාදී ලෝකයක. අපට ලෙඩ නො වී, උපරිම සැප විඳිමින්, උපරිම කාලයක් ජීවත් වෙන්න ඕනෑ. අතීතයේ මිනිස්සු ජීවත් වුණේ මරණය මිටින් අරගත් ලෝකයක. සැප, දුක සම සිතින් විඳ ගත් ලෝකයක.

සමාජවාදය වෙනුවෙන් අරගල කරන මිනිස්සු හෝ මේ මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. මම ඒවා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්නේ අලුත් ජීවිතයක් වෙනුවෙන් කරන අරගලයේ කොටසක් ලෙසයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-26

ලංකාවට සුනාමියක් ආවයි කියල කියන්නෙ

   
(මම මේ ඡායාරූපය ගත්තේ සුනාමියෙන් ටික දිනකට පසුව කොග්ගලදි. මේ ඉන්නෙ ඇමරිකන් හමුදාව. ඒගොල්ලෝ ලෝක සිතියමක් උඩ ඉත්තො අදින සෙල්ලමක් කරමින් සිටි මේ ඡායාරූපය අපි ලොකු ප්‍රමාණයෙන් හිරු පත්තරේ දැම්මා.)

දෙදාස් හතරේ දෙසැම්බර් 26දා සුනාමිය විසින් ලංකාවේ මිනිසුන් හතළිස් දහසකගේ පමණ ජීවිත බිලි ගන්නා ලදී. 

එදා ඒ මිනිසුන්ගේ විපත හමුවේ ලෝක ජනයා හෙලූ කඳුළු ලංකාවට පැමිණියේ සුනාමි ආධාර ලෙසයි. 

සුනාමියෙන් බැට නො කෑ දේශපාලකයන්ට, නිලධාරීන්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට මේ පශ්චාත් සුනාමි යුගය ආශිර්වාදයක් විය. 

සුනාමි අරමුදල් සොරා කෑ, නාස්ති කළ, ඥාති හා මිත්‍ර සංග්‍රහයට යොදා ගත් මිනිස්සු අදත් සුනාමියෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලති. 

සුනාමිය දවසේ මමත්, මගේ බිරිඳත්, මහත් අසීරුවෙන් මෝටර් සයිකලයෙන් පයාගලට ගියේ අපේ එක් ඥාතියකුගේ සුව දුක් බැලීමටයි. එම පවුල දිවි බේරාගෙන තිබුණමුත්, සුනාමිය විසින් ඔවුන්ගේ නිවස බිමට සමතලා කර තිබිණි. මගේ තරුණ නෑයා සුන් බුන් අතරින් මඩ තැවරුණ මදුරු දැලක් සොයාගෙන මා ඉදිරියට ආ ආකාරය මට අදත් මතක ය. 

ඔහු වැඩ කළ පාම් ගාඩ්න් හෝටලය ද සුනාමියෙන් කැඩී ගිය නිසා ඔහුට රැකියාව නොමැතිව සෑහෙන කාලයක් සිටින්නට සිදු විය. පසුව රජ පවුලේ අය මේ හෝටලය මිළට ගෙන ඔහුගේ රැකියාව සම්පූර්ණයෙන් ම නැති කර දැමුවේ ය. 

ඊයේ මම ඔහුගේ නිවසට ගියේ නත්තල සමරන්නටයි. සුනාමියෙන් නව වසරකට පසු ඔහු තිබූ තැන ම සිය නිවස යම් තරමක‍ට ගොඩනගාගෙන තිබේ. උත්සව භාණ්ඩ සපයන සුළු ව්‍යාපාරයක් කරන ඔහු නත්තල් දිනයේත් උදයේ වැඩක් සඳහා ගොස් පැමිණියේ ය. 

සිය ජීවිතය යළි ගොඩනගා ගන්නට ඔහු මේ නව වසර තුළ දැරූ වෙහෙස ඔහුගේ වතෙහි ද පැසෙමින් අැති හිසෙහි ද සටහන් වී තිබේ. 

ඔහුටත්, ඔහුගේ ඥාතීන් හා අසල්වාසීන්ටත් රජය විසින් සැලකිය යුතු උපකාරයක් කර නැත. ඔවුන් නැවත ජීවිතය ගොඩනගා ගත්තේ ආණ්ඩුව නිසා නො වේ. 

ඔහු මහන්සි වී වැඩ කරමින්, බදු ගෙවා ආණ්ඩුව රකියි.  

සුනාමියෙන් ගොඩ ගිය කාට කාටත් සුබ සුනාමියක් වේවා!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-25

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ

මම මුලින් ම ෆේස්බුක් භාවිතා කළේ W3Lanka ප්‍රවර්ධනය කරන්නට ය. ඒ වෙනුවෙන් වෙන ම ෆේස්බුක් ගිනුමක් සැකසූ අතර වසර ගණනකට පසු මම එය අතහැර දැමුවෙමි. ඒ වන විට එහි මිතුරෝ දහස් ගණනක් සිටිය හ.

සිංහල හෝම් යන අන්වර්ථ නමින් එය පවත්වාගෙන යද්දී බොහෝ පිරිමි එය පවත්වාගෙන යන තැනැත්තා ගැහැනියක යයි සිතා චැට් කරන්නට පැමිණිය හ. අප ලියූ ලිපිවල ස්ත්‍රීන් කෙරෙහි දක්වා තිබුණු ආකල්පය මෙම ගිනුම පවත්වාගෙන යන්නේ ගැහැනියක යයි සිතන්නට හේතු වන්නට ඇත.

අප එම ගිනුම අතහැර දැමීමට එක් හේතුවක් වන්නේ අන්තර්ජාලයේ නිර්නාමිකව පෙනී සිටීම වෙනුවට නමින් හා වගකීමකින් යුක්ත පුරවැසියන් ලෙස කටයුුතු කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ලෙස දකින බැවිනි. අප මේ කතා කරන්නේ ජීවිතයේ දේශපාලනය ගැන මිස දේශපාලන ව්‍යාපාර ගැන නො වේ.

එක් කාලයක ලංකාවේ ෆේස්බුක්හි කාන්තාවේ දුලබ වූ හ. ඒ කාලයේ ඇත්තෙන් ම ෆේස්බුක් විනීත කාන්තාවන්ට අනතුරුදායක අවකාශයක් විය. මා මීට පෙර ද මේ පිළිබඳව ලිපියක් ලියා ඇත. 

ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?

අන්තර්ජාලයෙන් චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ පිරිමි කොණ තෙමා ගන්නේ ඇයි ද යන්න විමසා බැලීම රසවත් කරුණකි.

සෙක්ස් කියන වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් තුන්වන එක ළඟ එක වසරටත්, 2013දීත්, ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි. (ඩේලි මිරර් පුවත්පතේ එම වාර්තාව මෙතැනින් කියවන්න)

සෙක්ස්, සෙක්ස් වීඩියෝ, ‍ෆ්‍රී සෙක්ස් වැනි ඉතා වියුක්ත වදන් යොදා සෙවුම් කරන්නෝ ආධුනිකයෝ ය. නැතිනම් හරි හමන් ඉංග්‍රීසි දැනුමක් නැති අය ය. 

උදේ හවා බණ අහන, පිරිත් සජ්ජායනා කරන, ජාති වාත්සල්‍යයෙන් ඔද වැඩුණු, සාන්ත දාන්ත තීන්ත කූඩු වන ලංකාවේ  පිරිමින්ගේ (ගැහැනුනුත් ඇතුළත්ව) යථා ලෝකය ඔවුහු අන්තර්ජාලය තුළ සොයනු දක්නට ලැබේ.

නීතිමය, ආර්ථික හා සමාජමය හේතූන් මත තමන් සිර වී සිටින ඕලාරික ලිංගික ලෝකවලින් පිටතට පැමිණ තමන්ගේ ලිංගික ෆැන්ටසිය සොයන්නට ඔවුහු අන්තර්ජාලය භාවිතා කරති. 

එබැවින් ලංකාවේ මිනිසුන්ගේ අන්තර්ජාල නියෝජනය බොහෝ විට ව්‍යාජ ය. ඇතැමෙක් පූර්ණ ලෙස ම ව්‍යාජ ලෙස පෙනී සිටිති. බොහෝ දෙනෙකුගේ අන්තර්ජාල නියෝජනය විශාලනය කරන ලද එකකි. කාන්තාවක නම් ෆොටෝෂොප් භාවිතාවෙන් වැඩිපුර සුදු වෙති. පිරිමි නම් පෙනී සිටින්නේ ගැඹුරු කටහඬක් ඇති, උස මහත, ඉතා කඩවසම් පුද්ගලයන් ලෙසයි.

ෆේස්බුක්හි ගැහැනුන් ලෙස පෙනී සිටින ඇතැමෙක් පිරිමි ය. ඇත්තෙන් ම මේ ඔවුන්ගේ යටි සිතෙහි ජීවත් වන ගැහැනිය විය හැකි ය. නැතිනම්, සම ලිංගික ආශාව විය හැකි ය. 

සමරිසියන් ගැන කතා කරන විට ෆේස්බුක් ඔවුන්ට ද සිය ආශාව සොයා යන්නට යොදා ගැනෙන අවකාශයක් වී තිබේ. සමරිසි පිරිමි ගණනාවක් ම මගේ ෆේස්බුක් මිතුරන් අතර සිටිති. මේ අතරින් ඇතැමෙක් අන්තර්ජාලයට පිවිසෙන්නේ දඩයක්කාරයන් ලෙසිනි. සිය ගොදුරු ෆේස්බුකියට පිවිසෙන තෙක් ‍ඔවුහු කුරුමානම් අල්ලාගෙන සිටිති. ඇතැමෙකුගෙන් බේරී ෆේස්බුකියට පිවිසෙන්නට බැරිකම නිසා ඇතැමෙක් අන්ෆ්‍රෙන්ඩ් කර දමන්නට සිදු වූ අවස්ථා ද තිබේ. 

යම් අසහනකාරී මානසිකත්වයන්ගෙන් පෙළෙන ගැහැනු ද අන්තර්ජාලයෙන් සිය ලිංගික ‍ෆැන්ටසි සොයා යති. බොහෝ කාන්තාවන් ෆේස්බුකියේ කරන්නේ තමන්ගේ පිංතූර දැමීම පමණි. ඒ දැමූ සැණින් ඒවා වයිරල් වේ. මාර ලස්සනයි, සෙක්සි ආදිය පමණක් නොව ඍජුව ලිංගික ආරාධනා පවා කරනු දක්නට ලැබේ. එහෙත්, දැන් දැන් මෙම ප්‍රවණතාවේ අඩුවක් තිබේ. මඳක් හෝ සක්‍රිය ෆේස්බුක් කාන්තාවන් සොයා මිතුරු ඉල්ලීම් ගලා එන්නේ තොග ගණනිනි.

රජය විසින් අන්තර්ජාලය පිළිබඳ නීති තද කිරීම ද මෙම වර්ධනයට ඉවහල් විය. ටයි දාගෙන මහත්වරුන් ලෙස රැකියා කරමින් ෆේස්බුකියේදී වනචාරීන් ලෙස හැසිරුණු ඇතැමෙකුට රැකියා අහිමි වූ අවස්ථා ද පසුගිය කාලයේ තිබිණි. දැන් බොහෝ අන්තර්ජාල කැෆේ ද අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම අධෛර්යය  කරන ආකාරයට සකසා තිබේ.

අන්තර්ජාලයේ සිය සැබෑ අනන්‍යතාවෙන් පෙනී සිටීම ද වර්ධනය වෙමින් තිබෙන ආකාරයක් නිරීක්ෂණය කළෙමි. කලින් වෙනත් නම්වලින් පෙනී සිටි අය දැන් සිය සැබෑ අනන්‍යතාව වෙත මාරු වෙමින් සිටිති. එපමණක් නොව, "අහවල් නමින් පෙනී හිටියේ මම. හී! හී!" කියමින් චූන් වන්නෝ ද හමු වෙති. 

තවමත් බ්ලොග් අවකාශය නම් ව්‍යාජ අනන්‍යතාවන්ගෙන් පිරී තිබේ. තමන් ‍කරන අදහස් ප්‍රකාශ කිරීම් නිසා රජයෙන් හා වෙනත් අයගෙන් කරදර වේ යයි බියක් මේ පිටුපස තිබේ. රජය හොඳ යයි සහතිකයක් දෙන්නට බැරි වුණත්, මේ ව්‍යාජ අනන්‍යතා පිටුපස තිබෙන්නේ බියට වඩා වෙනත් කාරණයකි. ඒ තමන් කරන ප්‍රකාශයේ වගකීම් භාර ගන්නට තිබෙන බියයි. නැතිනම් නිදහසේ කුණුහරුප කියන්නට තිබෙන ආසාවයි. 

අප මෙම බ්ලොගයෙහි නිර්නාමික අදහස් පළ කිරීම් කරන්නට දී තිබෙන ඉඩකඩ ඇතැමෙක් වෙනත් බ්ලොග්කරුවන්ට බැන වදින්නට ද භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. 

පාසල් සිසුන් හා තරුණයින් බොහෝ දෙනෙක් ෆේස්බුක්හි කරන්නේ චැටි කිරීමයි. ඔවුහු ඉඳහිට තමන්ගේ පිංතූරයක් හෝ බැනරයක් වැනි දෙයක් ෂෙයා කරති. එහෙත්, බොහෝ කාලයක් ෆේස්බුක්හි ලොග් ඉන් වී සිටිනු දක්නට ලැබේ. 

අන්තර්ජාලය හා ෆේස්බුක් වැනි සමාජ ජාලයන් වගකීමක් සහිත පුරවැසි අවකාශයන් බවට පත් කිරීම සඳහා අපට ද කළ හැකි දේ තිබේ. එකක් අන්තර්ජාලයේ සිටින වංචනිකයන් හඳුනාගෙන ඔවුන්ගෙන් හැකි තරම් ඈත් වීමයි. එවැන්නෙක් තමන්ගේ මිතුරු ලැයිස්තුවේ සිටින්නේ නම් පහසුවෙන් අන්ෆ්‍රෙන්ඩ් කළ හැකි ය. 

අප වැනි දේශපාලනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමට උත්සාහ කරන අයට තරාතිරම නො බලා ෆේස්බුක් මිතුරු ඉල්ලීම් පිළි ගන්නට සිදු වන මුත්, පෞද්ගලික ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යන අයට සැබෑ මිතුරන් පමණක් තම ගිනුමට ඇතුළත් කර ගැනීමට පුළුවන. තමන්ට මෙතරම් ෆේස්බුක් මිතුරන් සංඛ්‍යාවක් සිටින්නේ යයි උදම් අැනීම ‍තේරුමක් නැති දෙයකි. ෆේස්බුක් මිතුරෝ වනාහි බෙහෙවින් ම ව්‍යාජ පිරිසකි. සැබෑ මිතුරුකම් ඇත්තේ ස්පර්ශ ලෝකයේ ය.‍

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-24

නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුලට ගිය මහින්ද ගැන ජිජැක් කළ ප්‍රකාශය

Thamsanqa Jantjie
නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍යෝත්සවයේදී ලෝක නායකයන් කතා කරමින් සිටින අතර අපූරු සිද්ධියක් වුණා. බරක් ඔබාමා ඇතුළු අමුත්තන් සිටි ස්ථානයට නුදුරෙන් සිටගෙන පුද්ගලයෙක් සංඥා භාෂාවෙන් මේ කතා පරිවර්තනය කරන බවක් පෙන්නුවා. ඒත්, ඇත්තෙන් ම ඔහු විසින් කරන ලද අංග චලන කිසිදු සංඥා භාෂාවකට අයත් නො වන බව හෙළි වීමත් සමග මෙම සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

මේ පිළිබඳව පවත්වන ලද පරීක්ෂණයෙන් හෙළිදරව් වූ පරිදි මේ පරිවර්තකයා වූ 34 හැවිරිදි තම්සන්ක්වා ජැන්ට්ජි අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් කුලියට ගෙන යෙදවූ කෙනෙක්. ඔහු ජොහින්නස්බර්ග්හි 'ද ස්ටාර්' පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කීවේ එ‍සේ වුණේ ඔහු ක්ෂණිකව භින්නෝන්මාද තත්වයකින් පෙළුණ නිසා බවයි. 

මේ පිළිබඳව 'ද ගාඩියන්' පුවත්පතට ලිපියක් ලියමින් ස්ලැවොක් ජිජැක් කියන කාරණය රසවත්. ඔහු කියන්නේ මෙවැනි නිරූපණවලින් ඇත්තට ම කරන්නේ බිහිරි අයට ඒ කතාව පරිවර්තනය කිරීමට වඩා එතැන සිටින බිහිරි නො වන වෙනත් අය සතුටු කිරීම බවයි.

මැන්ඩෙලා සමරු උත්සවයේ සත්‍යය මෙම සිද්ධියෙන් ප්‍රකාශ වන්නේ නැද්දැයි ජිජැක් අපගෙන් අසනවා. ඔහු කියන්නේ ජැන්ට්ජී මේ ලෝක නායකයන්ගේ කිඹුල් කඳුළු එහි සැබෑ අරුතින් පරිවර්තනය කළ බවයි. ඔහු පරිවර්තනය කළේ ඔවුන්ගේ අරුත් සුන්කමයි.

"ලෝක නායකයන් විසින් සමරමින් තිබුණේ අර්බුදය කල් දැමීමේ සාර්ථකත්වයයි. දුප්පත්, කළු දකුණු අප්‍රිකානුවන් සාර්ථක ලෙස සාමූහික දේශපාලන ඒජන්තයන් බවට පත් වූ විට ඒ අර්බුදය පුපුරනවා. ජැන්ට්‍ජී විසින් සංඥා කරමින් සිටියේ එතැන නොසිටි ඔවුන්ටයි. ඔහු දුන් පණිවුඩය වන්නේ මේ සම්භාවනීය අමුත්තන් ඇත්තෙන් ම ඔබ ගැන නො තකන බවයි. ඔහුගේ ව්‍යාජ පරිවර්තනය හරහා ඔහු සමස්ත උත්සවයේ ම පැහැදිලිව පෙනෙන්නට තිබුණු ව්‍යාජකම නිරූපණය කළා." -ස්ලැවොජ් ජිජැක්

මාතෘකාවෙන් කියූ ආකාරයට ජිජැක් මහින්ද ගැන වෙන ම මොකවත් කියලා නැහැ. වෙනම කියන්න ඕනැ නැහැනේ. මේක ඇතුළෙ තිබෙනවනේ කියන්න ඕනැ දේ. ලංකාවේ කළු ජාතිකයන් ලෙස සලකන්න පුළුවන් වාර්ගික, ආගමික සුළුතරයන් හා ආර්ථික වශයෙන් දිළිඳු බහුතරය මත වර්ණභේදවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යන මහින්දත් නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුලට ගියානේ හැබෑට!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

2013-12-22

ගීතා කුමාරසිංහ, මේජර් අජිත්, වේසි, පොන්නයා හා ස්ත්‍රීවාදිනිය

නදීෂාගේ තිබෙන්නේ ආසියානු ලස්සන. ආසියාවේ මිනිස්සු බටහිර slim කෙට්ටුවට කැමති නැහැ.
දැන් ගීතා කියනවා ඇය දකුණු පළාත් සභා මහ ඇමති වන්නට තරග කරනවා ය කියලා. ඒ එක්කම පසුගිය දිනෙක රැස්වීමකදී වලියක් යනවා.

ඒකෙදි අර මේජර් අජිත් ප්‍රසන්න කියන දේශපාලකයා ගීතාට වේසි කියනවා. ඇය නිදා නොගත් මිනිහෙක් නැති බවත් කියනවා. එත‍කොට ගීතා ඔහුට බනිනවා පොන්නයා කියලා. ඊට පස්සෙ අජිත් ප්‍රසන්න උපවාසයක් ද මොකක් ද කරනවාලු.

දැන් මෙතන තිබෙන දේ මෙන්න මෙහෙම දකින්නත් පුළුවන්. ලංකාවේ දේශපාලනයේ 99%ක් ම ඉන්නේ පිරිමි. උන් බහුතරය පල් හොරු. එතකොට උන්ට එ‍රෙහිව දේශපාලනයට එන අනෙක් අය වේසියෝ. ඊයේ මම ලංකාවේ ෆෝබ්ස් සඟරාවේ ලංකාවේ බලවත් ගැහැනු 50 ගැන පළ වූ ලිපියක් මෙහි දැක්වූවා. මම හිතන්නේ මේ කාන්තාවන් තුළ දේශපාලනයට එන්න කිසිදු අදහසක් නැහැ.

අප දන්නා ආයතන බොහොමයක ප්‍රධානියෝ කාන්තාවෝ. මේ කාන්තාවෝ බොස්ලා විදියට හරි තදයි. අනම්‍යයි. මම දැනට කරන පූර්ණ කාලීන රැකියාවේත් මගේ බොස් කාන්තාවක්. අැය මට වඩා තරුණ කෙනෙක්.

කාන්තාවන්ට විතරක් නෙමෙයි, මහත්මා ගති තිබෙන පිරිමින්ටත් ලංකාවේ දේශපාලනයේ සාර්ථක වන්න බැහැ. දේශපාලනයට පැමිණ තිබෙන සමරිසි ලක්ෂණ තිබෙන අයට වුණත් මේ සාධකය අදාළයි. ඔවුන් ද මහත්වරු නම් නොවෙයි.

ගීතා මෙතෙන්දි ලංකාවේ දේශපාලනය කරන අනෙක් පුයර බබ්බුන්ට වඩා බලවත්. ඇය කියන්නේ ඇය බඳු නිර්භීත ගැහැනුවත් දේශපාලනයට නො ආවොත් ගැහැනු කවුරුවත් එන්නේ නැහැ කියලායි.

ඒක නරක නැහැ. ඒත්, මම නම් හිතන්නේ අපි දේශපාලනිකව හඳුනා ගත යුතුව තිබෙන්නේ ලිංගික ස්ත්‍රීභාවය නොවෙයි. දේශපාලනික ස්ත්‍රී ගුණයක් තිබෙනවා. මේ ස්ත්‍රී ගුණය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, මනුස්සකම ම තමයි.

මනුස්සකම පිරිමින්ගෙන් ඈත් වී ගැහැනුන්ට ළං වෙලා තිබෙනවා. ඒකට එක් හේතුවක් පිරිමි ආධිපත්‍යයෙන් යුත් ලෝකය තුළ ගැහැනිය පීඩාවට ලක් වී තිබෙන සංදර්භය ඇතුළේ පිරිමින් ගාව සාමාන්‍යකරණය වී තිබෙන අගතීන්ට සාපේක්ෂව වඩා මානුෂීය ලක්ෂණ ගැහැනුන් තුළ සාමාන්‍යකරණය වීම.

මෙය උදාහරණයකින් විමසා බැලුවොත්, පවුල තුළ පියා අර්ථකථනය වන්නේ සමස්ත වගකීම් සමුදායෙන් කොටසකින් හෝ ලිස්සා යාමට නැඹුරුවක් ඇති කෙනෙක් ලෙසයි. අපි අර ජානකී සූරියආරච්චිගෙ දොයියම්මා ගීතය අගය කළේ එ් පදනමින්. එහෙත් මව අර්ථකථනය වන්නේ වගකීමේ සෑම පුංචි විස්තරයක් දක්වා ම ‍සොයා බලන කෙනෙක් ලෙසයි. ඒත් ඉතින් මෙය සාමාන්‍යකරණයක් මිස හැම විටෙක ම සාධාරණ තත්වයක් නොවෙයි. මෙම සාමාන්‍යකරණය අදාළ නො වන සුවිශේෂයන් ඕනෑ තරම් තිබෙනවා.

මිනිස්කම් සම්බන්ධයෙන් ගත්තාමත් යහපත් මිනිස් ගුණ ධර්ම ස්ත්‍රීත්වය තුළ සාමාන්‍යකරණය වෙනවා. එයට මූලික හේතුව අගතීන් බොහොමයක් ආධිපත්‍යවාදී පිරිමි සමාජය තුළ සාමාන්‍යකරණය වීමයි. මේකත් එක්තරා විිධියක ෆැන්ටසියක් මිස යථාර්ථය ම නොවෙයි.

දැන් අප‍ේ ගෙදර වලියකදී මගේ භාර්යාව මගෙන් මෑත දිනෙක ඇහුවා, "කෝ තමන් ලියන ඒවා භාවිතයෙදී කොහෙද තිබෙන්නේ?" කියලා. ඒක ඇත්ත තමයි. මොකද මම ලියන්නේ ෆැන්ටසික පිරිමිකමක් ගැන නේ. එහෙම එකක් ඇත්තට නැහැ. මා තුළත් නැහැ. එහෙම පිරිමිකමක් පරිකල්පනය කිරීමේ වරදක් නැහැ. මොකද අපි ඒ අනුව හැසිරෙන්න උත්සාහ කරනවා. බැරි වෙන අවස්ථාත් තිබෙනවා. එහෙමය කියලා පිරිමි කවදාවත් ගැහැනුන් සමග රණ්ඩු නො විය යුතු ය කියලා එකක් නැහැ. රණ්ඩු වෙන එක ‍‍හොඳ නැහැ. ඒත්, ඉතින් එහෙම පොඩි පරිමාණෙන්වත් නො ගැටනෙ සීලවන්ත මිනිස්සු ඉන්න ලෝකයක මෙලෝ රහක් තිබෙයි ද කියලා මම නම් දන්නේ නැහැ. උදාහරණෙකට හිතන්නකෝ අර 'සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි' කවියේ වගේ ළමයි ටිකක් ලෝකයේ ඇති වුණා නම් ළමා ලෝකයට මොකද වෙන්නේ කියලා. ඒ නිසා, මම නම් හිතන්නේ මම පිරිමිත් එක්ක රණ්ඩු වෙන එකයි, ගැහැනුත් එක්ක රණ්ඩු වෙන එකයි දෙක ම එක සේ සලකන තත්වයක් තමයි නිර්මානය විය යුතු කියලා.

අපි පුරුෂ නිමිත්ත ගැන එන ප‍යන්නෙන් එන වචනය පිරිමින්ට යොදලා බනිනවා වගේ හුයන්නෙන් එන වචනය ගැහැනුන්ට යෙදීමත් තිබුණාම මොකෝ කියලායි මම නම් හිතන්නේ. හැබැයි, පොන්නයා, වේසි වගේ වචන නම් ලිංගික වශයෙන් අපහාසාත්මක වචන.

දැන් ‍අපි මේ මිනිස්කම් ස්ත්‍රිය තුළට සාමාන්‍යකරණය කිරීමෙන් අදහස් වන්නේ නැහැ සියලු ස්ත්‍රීන් මිනිස්කමේ ප්‍රතිමූර්ති වෙනවා ය කියලා. ඒ නිසා ගැහැනුන් වීම නිසා වෙන ම වරප්‍රසාදිත තත්වයක් ඉල්ලීමත්, ගැහැනුන්ගේ ආරක්ෂාවට වෙන ම ආකාරයක නීති පැනවීමත් මම නම් දකින්නේ ලිබරල් සමාජයක නො තිබිය යුතු ප්‍රතිගාමී ලක්ෂණ ලෙසයි. දැන් උදාහරණයක් ලෙස කාන්තාවකට පුළුවන් තමන් දෙස නො මනා ලෙස බැලුවා ය කියා පැමිණිලි කරන්න වුණත්. ‍ශිෂ්ට සමාජයක නම් මේ අයිතිය පිරිමින්ට වුණත් තිබිය යුතුයි.

කිසියම් සමාජයක් 'අපි ගැහැනුන්ට හොඳින් සලකනවා' ය කියා වෙනම කියන්නට සිදු වෙනවා නම් ඒ සමාජයේ ගැටලුවක් තිබෙනවා. ගැහැනු පිරිමි කියා විෂමතාවක් නැතිනම් ඉතින් වෙන ම සලකන්න ඕනැ නැහැනේ.

සමාජයේ අපට හමු වෙනවා පිරිමි වගේ ජීවත් වෙන්න උත්සාහ කරන කට්ටිය. අඩෝ, පඩෝ කියනවා. කුණුහරුප කියනවා. පිරිමි වගේ ඩීසන්ට් නැති විදියට හැසිරෙනවා. පිරිමින්ට උඩට නො ඇඳ ඉන්න තිබෙන අයිතිය තමන්ටත් ඉල්ලනවා. ‍ගැහැනු පිරිමි අතර විෂමතාව නැති කරනවා ය කියන්නේ මේක ද?

නැහැ. අපි සමාජයක් ලෙස පිරිමි ගැහැනු විෂමතාවකින් තොරව අත්පත් කර ගත යුතුව තිබෙන්නේ හොඳ මිනිස් ගුණධර්මයි. අපි දැන් ඒවා ස්ත්‍රීත්වය සමග සාමාන්‍යකරණය කර තිබෙනවා.

ස්ත්‍රිය සම තැන ඉල්ලා කරන අරගලය කියන්නේ පිරිමි කරන විකාර කරන්න තමන්ටත් නිදහස ඉල්ලා සිටීම නොවෙයි. අපට හමු වෙන සම හිමිකම වෙනුවෙන්  සටන් කරන බව කියන සමහර ගැහැනු කරන්නේ පිරිමි කරන ඇතැම් දේ තමන්ටත් අ‍ාරෝපණය කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒ අය පිරිමි වගේ හැසිරෙන්න උත්සාහ කරනවා. ඒ වගේ ඇවිදීමෙන්, කතා කිරීමෙන්, තට්ටය බෑමෙන්, සිගරට්, අරක්කු බීමෙන් ඔවුන් ඇත්තට ම බලාපොරොත්තු වන්නේ පිරිමින් වගේ ම ආධිපත්‍යවාදිත්වයක් ඇති කර ගැනීමයි. පුරුෂෝත්තමවාදය පැරදවිය හැක්කේ කාන්‍තා උත්තමවාදයකින් නෙමෙයි. මනුස්සකමෙනුයි.

දැන් පසුගිය කාල‍ේ ඔය දීප්තිලා එහෙම හිටි හැටියේ තමන්ගේ ලිපිවල පාඨකයා ඇය කියලා හඳුන්වනවා. භාෂාව ඇතුළේ මේ ප්‍රශ්නය බරපතල විධියට තිබෙනවානේ. දැන් ඉංගිරිසියෙන් පිරිමින්ට මිස්ටර් කියනවා. පිරිමියා බැඳලා ද කියලා විමසන්නේ නැහැ. ඒත්, ගැහැනිය බැඳලා ද නැද්ද යන්න විමසලා, මිස් හරි මිසිස් හරි කියන ක්‍රමයක් තිබෙනවානේ. පස්සෙ කාලෙක මේ දෙක වෙනුවට පොදුවේ 'මස්' කියලා යොදන්න පටන් ගත්තා. මෙතැන මස් කියන වචනය ශබ්ද කරනකොට එය කරන්නේ හරක් මස් කියන කොට මයන්න ශබ්ද කරන විධියට නෙමෙයි. ගම කියන කොට මයන්න ශබ්ද කරන විධියට. සිංහලේ මේකට පරිවර්තනයක් නැහැ. භාෂාව පුරුෂෝත්තමවාදිත්වයේ ප්‍රකාශනයක් කියලා විග්‍රහ කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඩොක්ටර් යන වදනින් හැම විට ම වගේ අදහස් වෙන්නේ පිරි‍මියෙක්. ලේඩි ඩොක්ටර් කියලා වෙනම වචනයක් අවශ්‍ය වන්නේ ඒ නිසානේ. මේ වගේ ගැටලු මතු කරන එක ස්ත්‍රීවාදී කතිකාවට අදාළ වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය වැඩි කිරීම යම් ස්ත්‍රීවාදී දේශපාලන භාවිතාවක් වෙන්න පුළුවන්. ඒත්, සමාජවාදයත්, ස්ත්‍රීවාදයත් අතර සමානත්වයක් මෙන් ම වෙනස්කමකුත් තිබෙනවා.

පාඨකයා කියන යෙදුම වෙනුවට පාඨිකාව කියා යෙදූ පලියට අපි මිනිස්කමින් පිරිපුන් වෙන්නේ නැති බවට හොඳම උදාහරණය තමයි දීප්ති. අපි ස්ත්‍රීවාදීන් වෙන්නත් ඕනැ නැහැ. ස්ත්‍රීවාදය කතිකාවක් ලෙස තිබිය යුතු නැහැය කියලා මෙයින් අදහස් වන්නේ නැහැ. ස්ත්‍රී උත්තමවාදය පුරුෂෝත්තමවාදයට ආදේශකයක් නොවිය යුතුයි.

ආයෙත් කියනවා නම්, පුරුෂෝත්තමවාදය ඇතුළු සියලු සමාජ අගතීන්වලට එරෙහිව අප අරගල කළ යුත්තේ මනුස්සකම ඔසවා තැබීමෙනුයි. සමාජවාදය සඳහා අඛන්ඩ අරගලය කියා මා හඳුන්වන්නේ එයයි.

මෙම ලිපියට පදනම් වූ සිද්ධියට අදාළව ගත්තොත්, මේජර් අජිත් ප්‍රසන්න වෙනුවට ගීතා දේශපාලනය කළා ය කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ගීතාගේ අරගලය නරකත් නැහැ. ඒත්, මෙයට විසඳුම තමයි මනුස්සකම ඔසවා තබන සමාජවාදය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-20

නදීෂා හේමමාලිටත් බිය පිරිමි හමුවේ ස්ත්‍රී බලය

නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන එක ගැන සෑහෙන කට්ටියකට‍ ඩෝං ගිහින් තිබේ. ඔවුන් උත්සාහ කරන්නේ නදීකා හේමමාලි ගනිකාවක් ලෙස හඳුන්වන්නට ය.

මට නම් නදීෂ‍ා හේමමාලි රඟපෑ කිසියම් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් ගැන මතකයක් නැත. මම සාමාන්‍යයෙන් ‍ටෙලිනාට්‍ය නො බලමි. ඇය කුමන අන්දමේ කාන්තාවක් ද යන්න මම නො දනිමි.

පළාත් සභාවලට තරග කරන අනෙක් එවුන්ගෙන් බහුතරය වන්නේ මැති අැමතිවරුන්ගේ ලේ ඥාතීහු, මැරවරයෝ, පාදඩයෝ, හොරු ආදීහු ය. ඔවුන් සමග සාපේක්ෂව ගත් කල නදීෂා, අනර්කලී, ගීතා ආදී ගැහැනුන් සමාජයට කිසියම් සේවාවක් කළ අයයි. ඔවුහු සිය රූ සපුවෙන් හෝ අප සනසා තිබේ.

ඔවුන් දේශපාලනයට පැමිණීමත්, දැන් ඉන්න එවුන් දේශපාලනයේ සිටීමත් අතර වෙනසක් නැත. මෙතැන තිබෙන්නේ පිරිමින් තුළ ස්ත්‍රීන් කෙරෙහි සාමාන්‍යයෙන් පවතින භීතියයි.

පහත පළ වන්නේ අප 2010දී මෙම ප්‍රශ්නය හා අදාළව ලියූ ලිපියකි.

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

රියර්ගේට් බ්ලොගයේ ද ‍මේ පිළිබඳව 'නදීෂාගේ කකුල් වලට ඇති බය' මැයෙන් අගනා ලිපියක් පළ වී තිබේ.

මේ අතර එචිලන් සඟරාව විසින් නම් කර තිබුණු ලංකා‍වේ බලවත් ම ගැහැනු 50දෙනා ගැන කියැවූයෙමි. ඒ බොහෝ කාන්තාවන් ගැන මා ඇසුවේ පළමු වතාවටයි. නදීෂාට බය මහත්වරුනි මෙම පිටු කියවා තව බියපත් වන්න.
The 50 Most Powerful Women
The 50 Most Powerful Women

The 50 Most Powerful Women

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

පහේ ශිෂ්‍යත්වයේ සැබෑ ප්‍රශ්නය කුමක් ද?

2016 සිට පහේ ශිෂ්‍යත්වය අහෝසි කර දමන බව ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. 

පහේ ශිෂ්‍යත්වය යනු ඇත්තට ම ‍මේ රටේ දරුවන්ගේ අනාගත හැඩගැස්මට බලපාන බරපතල ගැටලුවකි. එය දරුවන්ට මහා පීඩනයකි. එහෙත්, මව්පියන් දරුවන් ඒ වෙත ඇද දමන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. 

හොඳම දේ දරුවන්ට ය යන්න ඇත්තෙන් ම මහින්ද රාජපක්ෂ මහතා පවා පිළි ගනියි. රටේ හොඳම දේ තමන්ගේ දරුවන්ට ලබා දීමට ඔහු කටයුතු කර තිබෙන්නේ එහෙයිනි. ආණ්ඩුව හොඳම දේ තම ගජ මිතුරන්‍ට දෙන්නේ ද ‍ඒවා ඉන් පසු ඔවුන්ගේ දරුවන්ට දෙන්නට ය. ඉතින් අපි ද අපට පුළු පුළුවන් හැටියට හොඳම දේ දරුවන්ට දෙන්නට උත්සාහ කරන්නෙමු.

ඉහළ පෙළේ ජනප්‍රිය පාසලකින් ඇත්තට ම අපට දරුවන් වෙත ලබා දිය හැකිව තිබෙන දේ මොනවා ද? ඒවායේ අධ්‍යාපනය හොඳ මට්ටමක තිබේ ද? නැත. ඒවායේ උගන්වන ගුරුවරු රටේ හොඳම ගුරුවරු ද? නැත. මේ පාසල්වල විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරනවා ද? නැත. 

එසේ නම්, ඇත්තේ මොනවා ද? මෙම ජනප්‍රිය පාසල්වලට අංක එකට ම ‍හොඳ නමක් තිබේ. ඒ නම ඇති වී තිබෙන්නේ ඉතිහාසය හා සම්ප්‍රදායන් නිසා ය. එසේ ම, එම පාසල්වලට යම් සංස්කෘතියක් ද තිබේ. ඒවාට එන්නේ මධ්‍යම පංතික දරුවෝ ය. ඒවායේ ක්‍රීඩා රැසක් ද, වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද තිබේ. ඒ සඳහා පහසුකම් ක්ෂණිකව ඇති වූයේ නැත. ඒවා දශක ගණනාවක් තිස්සේ සම්පූර්ණ වූ ඒවා ය. 

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ම පාසල් තුන බැගින් පාසල් දහසේ ව්‍යාපෘතිය ය‍‍ටතේ සංවර්ධනය කරමින් තිබෙන බව ඇමති බන්දුල කියයි. රටේ පාසල් දස දහසක් තිබේ. ඒ අතරින් දහසක් පමණක් සංවර්ධනය කිරීම ම බරපතල විෂමතාවක් නිර්මානය කරයි. මා ජීවත් වන මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්නන්ගර ම.ම.වි, ආනන්ද ශාස්ත්‍රාලය හා ශාන්ත මේරි විද්‍යාලය මේ සඳහා නිර්දේශ විය. මෙම පාසල් තුන වනාහි මතුගම, දොඩන්ගොඩ, අගලවත්ත, පාලින්ද නුවර, වලල්ලාවිට පමණක් නොව බුලත්සිංහල, මදුරාවල යන ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාසවලින් ද ළමුන් ඇතුළත් කිරීම සඳහා තරගයක් පවතින ජනප්‍රිය පාසල් තුනකි. වලගෙදර මහා විද්‍යාලය ද මෙවැනි ප්‍රතිව්‍යූහගත කිරීමකට ලක් වෙමින් තිබෙන මුත්, එය ජනප්‍රිය පාසලක් නො වේ.

මෙම පාසල් ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ විට එය සාර්ථකව ක්‍රියාත්මක වූයේ ආනන්ද ශාස්ත්‍රාලයේ පමණි. එයට ද හේතුව වූයේ එවකට අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිව සිටි එම පාසලේ ආදි ශිෂ්‍ය නිර්මල කොතලාවලගේ බලපෑමයි. ශාන්ත මේරි ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ඉතා පටු අන්දමින් සිතන සුළු පිරිසකගේ උවමනාව මත බැහැර විය. කන්නන්ගර ම.ම.වි. ජාතික පාසල ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව තවමත් ඇදි ඇදී පවතී. කන්නන්ගරයේ ප්‍රාථමිකය එම පාසලට මීටර් 200ක් පමණ දුරින් පිහිටි අදිකාරම් විද්‍යාලයේ පිහිටුවීමට ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය කැමති නැත. ශාන්ත මේරියේ ප්‍රාථමික අංශය පිහිටුවන්නට යෝජනා වූයේ එයට මීටර් 200ක් පමණ දුරින් පිහිටි ඇතුලත්මුදලි විද්‍යාලයේ ය. ඇතුලත්මුදලි හා අදිකාරම් පාසල් නගරයේ කුඩා බිම්කඩවල පිහිටි තව දුරටත් සංවර්ධනය කළ නො හැකි පාසල් ය. දැන් ඒවා හුදකලා පාසල් ලෙස පවත්වාගෙන යන්නට තීරණය කර තිබේ. 

පාසල් ප්‍රතිව්‍යූහගත කිරීම හොඳ දෙයක් වුව ද, ඒ පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කර එය හරි හැටි ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ නැත. ර‍ජයේ යෝජනාවට සෙසු ඇමතිවරු පවා අකුල් හෙලූ හ. 

මෙම උදාහරණයේ දක්වන ලද පාසල් කිසිවක හරි හමන් පහසුකමක් නැත. අධික වර්ෂාපතනයක් සහිත මෙම ප්‍රදේශයේ එකදු පාසලක හෝ වතුර බැස යන ක්‍රීඩා පිට්ටනියක් නැත. ළිඳේ ඉන්න ගෙම්බන්ට ළිඳ ම ලෝකය වන්නා සේ මෙම පාසල්වල ඉගෙනුම ලබා හෝ නො ලැබ ආදි ශිෂ්‍යයන් වී සිටින පිරිස්වල පටු උවමනාවන්ට එම පාසල් යට වී තිබේ.

දැන් අවුරුදු පතා මෙම ප්‍රදේශයේ පාසල්වල දරුවෝ රැසක් පහේ ශිෂ්‍යත්වය සමත් වී කොළඹ, හොරණ, පානදුර, කලුතර වැනි ප්‍රදේශවල වෙනත් වඩා දියුණු පාසල්වලට ඇතුළත් වෙති. එසේම, අර මා ඉහත සඳහන් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දරුවෝ මතුගම නගරයේ පාසල්වලට ඇතුළත් වෙති. දැන් මේ දරුවන්ට 2016 සිට සිදු වන්නේ කුමක් ද?

වැඩි පහසුකම් තිබෙන ජනප්‍රිය පාසලකට ඇතුළත් වීම සඳහා පහේ ශිෂ්‍යත්වය සමත් වීමේ දක්ෂතාව ඇති දරුවන්ට හෝ තිබුණු අවස්ථාවට දැන් සිදු වන්නේ කුමක් ද? මෙතැන දක්ෂතාව මනින එක ම මිම්ම පහේ ශිෂ්‍යත්වය නම් සැබැවින් ම සමත් වීම සඳහා සීයට අසූවකටත් වඩා ලකුණු ලබා ගත යුතු විභාගය සමත් වීමේ සුදුසුකම පමණි. අපි නිදසුනක් ලෙස ක්‍රීඩාවට දක්ෂ දරුවකු ගනිමු. එවැනි දරුවකුගේ දක්ෂකම් හඳුනා ගැනීමට හෝ කිසිදු ක්‍රමවේදයක් නැත. සෞන්දර්ය දක්ෂතා ඇති දරුවන්ට තිබෙන අවස්ථා මොනවා ද? අප ඉහත නිදසුනේ දැක්වූ මතුගම ප්‍රදේශයේ කිසිදු පාසලක බටහිර සංගීතය විෂය ඉගැන්වෙන්නේ නැත. එපමණක් නොව, කිසිදු පාසලක පාපන්දු ක්‍රීඩාව හෝ නැත. තිබෙන පිළිගත් ක්‍රීඩා වන්නේ මලල ක්‍රීඩා, වොලිබෝල්, ක්‍රිකට්, නෙට්බෝල් පමණි.

ඇමති බන්දුල මේ දිනවල තම මැතිවරණ කොට්ඨාසයේ සුපිරි පාසලක් හැදීමේ ව්‍යායාමයක යෙදී සිටියි. ඇත්තෙන් ම, පවත්නා පිළිගත් ජනප්‍රිය පාසල්වලට තරගකාරී සුපිරි පාසලක් හැදීමේ ව්‍යායාමයෙන් මෑත කාලයේදී සාර්ථක වූයේ ඒ.ආර්.ටී. අලස් මහතා පමණි. එම පාසල කොළඹ හතේ නො තිබුණා නම් ඔහු ගැන ද කතා කරන්නට එතරම් දෙයක් ඉතිරි නො වනු ඇත. රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමති කාලේ ඔය වගේ ම පාසලක් හැදුවේ ය. ඒ ලබුදූව සිරිධම්ම විද්‍යාලයයි. මෙම පාසල් ප්‍රාදේශීයව ජනප්‍රිය වූ මුත් ඒවාට ජාතික තලයේ ජනප්‍රිය පාසල් සමග තරග කරන්නට බැරි බව අප තේරුම් ගත යුතු ය. අපට තිබෙන බරපතල ම ගැටලුව වන්නේ මෙවැනි සාපේක්ෂව සුළු කාර්යයන් මහා කාර්යයන් ලෙස සිතන, ඉන් එහා ගැඹුරක් නොමැති අධ්‍යාපන ඇමතිවරුන් අතට අධ්‍යාපනය පත් වීමයි.

රටේ අධ්‍යාපනික විෂමතාවන් දුරලීම සඳහා පියවර නො ගෙන මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. අධ්‍යාපනික විෂමතාවන් දුරලීමට නම් අඩු දියුණු ප්‍රදේශවලට වැඩිපුර ආධාර කළ යුතුව තිබේ. එහෙත්, වර්තමානයේදී පවතින ක්‍රමය වන්නේ දේශපාලනික වාසි වෙනුවෙන් විෂමතා වර්ධනය කිරීමයි. 

නිදසුනක් ලෙස මතුගම කේන්ද්‍ර කර ගත් ප්‍රදේශය වැවිලි කර්මාන්තයෙන් රටට විදේශ විනිමය නිෂ්පාදනය කිරීම සඳහා සුවිසල් දායකත්වයක් සපයන ප්‍ර‍දේශයකි. හම්බන්තොට දිස්ත්‍රික්කය ගතහොත්, එය වනාහි පොහොර හා වෙනත් සහනාධාර මත නඩත්තු වන, රටට අත්‍යවශ්‍ය වූ විදේශ විනිමය නිපදවීමේදී එතරම් දායකත්වයක් නො සපයන කලාපයකි. එහෙත්, සංවර්ධන ආයෝජනයේදී සිදු වී තිබෙන්නේ බරපතල විෂමතාවකි. මතුගම නගරය වනාහි පොදු වැසිකිළියක් නැති තැනකි. එහි කිසිදු පොදු අවකාශයක් නැත. 

විෂමතා අවම කිරීම වෙනුවට ලංකාවේ ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ විෂමතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයකි. පහේ ශිෂ්‍යත්ව ගැටලුව එහි එක් පැතිකඩක් පමණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-19

කැසිනෝ බදු සහන ගැසට් පත්‍ර

සිංගප්පූරුවේ සෙන්ටෝසාහි කැසිනෝහලක්
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ හා ග්ලෙනි වීදියේ යෝජිත කැසිනෝ ව්‍යාපාර සඳහා බදු සහන යෝජනා කරන ගැසට් පත්‍රයට ලින්කුව මෙන්න.

අධ්‍යයනය කර අදහස් දැක්වීම සඳහා පක්ෂ, විපක්ෂ, පතෝල සියලු පාර්ශ්ව වෙනුවෙනි.

අප වෙත ලබා දුන් නීතිඥ ජගත් ලියනඅාරච්චි සොයුරාට ස්තුතියි. 

පසුගිය දවසක මම එක්තරා ආයතනයක් වෙනුවෙන් කැසිනෝ සම්බන්ධ පරිවර්තනයක් කළා. එය වනාහි සිංගප්පූරු අගමැති ලී හ්සියන් ලූං විසින් 2005 අපේ‍්‍රල් 18 දින එරට පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාවකි.

සිංගප්පූරුවට කැසිනෝ හඳුන්වා දුන්නේ විස්තීර්ණ නිකේතන කියන නමින්. එයින් කියැවුණේ ඒවා හුදු කැසිනෝහල් නො වන, කැසිනෝහල එක් කොටසක් පමණක් වන හෝටල්, නිකේතන, සම්මන්ත්‍රණ ශාලා ආදියෙන් සමන්විත පුළුල් මධ්‍යස්ථානයක් බවයි. 

දැන් ජේම්ස් පැකර්ගේ ලංකා නියෝජිත රවි විජේරත්නත් කියන්නේ ඔය කතාව ම තමයි. ඔහු කියන්නේ ඔහු ලොකු හෝටලයක් හදනවා. එතැනට තමන්ගේ ලියාපදිංචි කැසිනෝව ගෙන යනවා කියලායි.

සිංගප්පූරුවේදී දක්නට ලැබුණු වෙනස වුණේ ඒ රටේ ආණ්ඩුව කොළේ වහලා ගහන්නේ නැතිව ප්‍රශ්නය ජනතාව එක විවෘතව සාකච්ඡා කිරීමයි. ඔවුන් කියනවා, ඇයි ඔවුන්ට මේ වැඩේ කරන්න සිදු වෙන්නේ කියලා. ඒ පසුපස තිබෙන අදහස වන්නේ නවීන ධනේශ්වර ලෝකයත් සමග තරගකාරීව පැවැත්ම සඳහා ඔවුන්ට කැසිනෝ ගෙන එන්නට සිදු වන බවයි. එහි අහිතකර පැති නැති කරන්නත් ඔවුන් යෝජනා ඉදිරිපත් කරනවා. ඒ විතරක් නොවෙයි, කැසිනෝවලට විරුද්ධව කතා කරන අයවත් අගය කරනවා.

මේ සිංගප්පූරු අගමැතිවරයාගේ කතාවේ කොටස් කීපයක්:

"සිංගප්පූරුවේ ද සංචාරක සංඛ්‍යා ඉහළ යමින් තිබේ. එහෙත්, අනාගතය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් තිබේ. 1998දී 8%ක් වූ ආසියාවේ අපේ සංචාරක වෙළඳපොළ පංගුව 2002 වන විට 6%ක් දක්වා පහත වැටිණි. සංචාරකයන් සිංගප්පූරුවේ ගත කරන කාලය අඩු වී තිබේ. 1991දී සාමාන්‍යයෙන් දින හතරක් මෙහි රැුඳුණු සංචාරකයෝ දැන් රැුඳෙන්නේ දින තුනක් පමණි. සන්සන්දනාත්මකව බැලූ කල සංචාරකයෝ සාමාන්‍යයෙන් දින හතරක් හොං කොංහි ද, දින පහක් ලන්ඩන්හි ද, පුරා සතියක් නිව් යෝක් නගරයේ ද රැඳෙති. අපේ සංචාරක ආකර්ශනය ගිලිහෙමින් තිබේ.
"පළමුව අපි ස්වදේශිකයන්ගේ පිවිසීම සීමා කරන්නෙමු. එ් සඳහා විකල්ප ක‍්‍රම ගණනාවක් ම අපි අධ්‍යයනය කර තිබේ. ඉහළ ඇතුළුවීමේ ගාස්තුවක් අය කිරීමට අපි තීරණය කළෙමු. එය දිනකට ඩොලර් 100ක් හෝ වසරකට ඩොලර් 2000කි. ඩොලර් 100ක් යනු බටම් වෙත යාත‍්‍රාවකින් යාමට අය කරන ගාස්තුවටත් වැඩි වටිනාකමකි. එයින් බොහෝ සාමාන්‍ය සූදුකරුවන් අධෛර්යය කෙරෙනු ඇත. මෙය අදාළ වන්නේ සිංගප්පූරු ජාතිකයන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට පමණි.
"දෙවනුව අපි බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නෙමු. ආර්ථික දුෂ්කරතා ඇති හෝ සමාජ ආධාර ලබන අයට ඇතුළුවීම තහනම් කරනු ලැබේ. සිංගප්පූරු ජාතිකයන්ට තමන් හෝ තමන්ගේ සමීප පවුල් සාමාජිකයන් ඇතුළු වීම වැළැක්විය හැකි ය.
"එසේම, ස්වදේශිකයන්ට ණය දීම කැසිනෝවලට තහනම් කරනු ලැබේ. එමගින් ඔවුන්ට පරාජය වීමට හැකි වන්නේ තමන්ට හැකි ප‍්‍රමාණය පමණි.
"සිව්වනුව, විස්තීර්ණ නිකේතනවල සූදු ආදායමෙන් යම් සමාජ සත්කාර්යයක් වනු ඇතැයි අපි වග බලා ගනිමු. අශ්ව රේස් වැනි වෙනත් සූදුවලදී ද එසේ කරනු ලැබේ. කැසිනෝහල්වල ඇතූළුවීමේ ගාස්තුව අපි එ් සඳහා යොදා ගන්නෙමු.
"පස්වනුව, සූදු ප‍්‍රශ්නය විසඳීම පිණ ිස අපි ජාතික රාමුවක් සකස් කරන්නෙමු. එයට සූදු ක‍්‍රීඩා පිළිබඳ ජාතික සභාව හා දුක්ඛිත තත්වයට පත් සූදු අන්තුවන් වෙනුවෙන් උපදේශන හා වෙනත් වැඩසටහන් ඇතුළත් වේ.
"විස්තීර්ණ නිකේතන ආරම්භ කිරීමෙන් ඇති විය හැකි අනෙක් ප‍්‍රශ්නය වන්නේ අප අමාරුවෙන් ගොඩ නඟා ගත්, අපේ මහාර්ඝ සම්පතක් වන, සිංගප්පූරුවේ ජාත්‍යන්තර කීර්තිය නැති වීමයි. සිංගප්පූරුව පිරිසිදු, අවංක, ආරක්ෂිත, නීති ගරුක, සමස්තයක් ලෙස ජීවත් වීමට හා පවුලක් හදා වඩා ගැනීමට හොඳ තැනක් ලෙස ලෝකයේ ලබා තිබෙන කීර්තිය අහිමි කර ගත යුතු නැත."
මෙන්න මේ කෑල්ල නම් ලංකාවට අදාළ නැත. මන්ද, ලංකාවට සිංගප්පූරුව මෙන් කීර්ති නාමයක් නැත.
"විස්තීර්ණ නිකේතන ආරම්භ කිරීමෙන් ඇති විය හැකි අනෙක් ප‍්‍රශ්නය වන්නේ අප අමාරුවෙන් ගොඩ නඟා ගත්, අපේ මහාර්ඝ සම්පතක් වන, සිංගප්පූරුවේ ජාත්‍යන්තර කීර්තිය නැති වීමයි. සිංගප්පූරුව පිරිසිදු, අවංක, ආරක්ෂිත, නීති ගරුක, සමස්තයක් ලෙස ජීවත් වීමට හා පවුලක් හදා වඩා ගැනීමට හොඳ තැනක් ලෙස ලෝකයේ ලබා තිබෙන කීර්තිය අහිමි කර ගත යුතු නැත."
දැන් මේක ලිව්වාම අපි කැසිනෝවලට පක්ෂ ද කියා අසන අයට අපට කියන්නට සිදු වන්නේ මෙයයි. ලංකාවේ ආණ්ඩුව කැසිනෝ හා එහි හොඳ නරක සියලු පැති ගැන විවෘතව සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තීරණයකට එළඹිය යුතුයි. 

සූදු ක්‍රීඩා ඈත අතීතයේ සිට ම සමාජයේ තිබුණා. එය ඇතැම් ජන කණ්ඩායම්වලට විනෝදය සපයන අවදානම් ක්‍රියාවක්. මිනිසුන් සතුට ලබන සෑම ක්‍රියාවක් ම ආරක්ෂාකාරී නැති බව විමසා බැලුවොත් පෙනෙනවා. ජනතාව සූරා කන ධනවතුන්ගේ මුදල් සංසරණය වන්නත්, ගනිකා වෘත්තියත් ඇතුළත් සියලු රැකියා මාර්ග හරහා ඒවා පහළ සමාජ පංතීන් වෙත කාන්දු වන්නත් කැසිනෝ යම් අන්දමකින් ඉවහල් වෙන්න පුළුවන්. 

මේවා යහපත් ජීවිතයකට බාධාකාරී අවකල්ක්‍රියා බව අපි පිළිගන්නවා. ඒත්, තහනම් කිරීම් මගින් සමාජය ශික්ෂණය කිරීම නිවැරදි ක්‍රියාමාර්ගයක් නොවෙයි. ඒවායින් මිදෙන්න නම්, කම්කරු පංතිය බුද්ධිමත් කිරීමේ අධ්‍යාපනික හා සමාජ ක්‍රියාවලියක අප දිගට ම නියැලිය යුතුයි. බුද්ධිමත් සමාජයක මිනිසුන්ට තෝරා ගැනීමේ අයිතිය ලබා දීමයි සිදු විය යුත්තේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-18

2013 පුවත්පත් නිදහස පිළිබඳ දර්ශකයේත් ලංකාව කළු පැල්ලමක්

ලොකු කර බලන්න පිංතූරය මත ක්ලික් කරන්න
ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාව ‍'දේශ සීමා නැති වාර්තාකරුවෝ' හෙවත් Reporters Sans Borders සංවිධානයේ 2013 වසරේ පුවත්පත් නිදහස පිළිබඳ දර්ශකය අනුව ලෝකයේ රටවල් 179ක් අතරින් ජයග්‍රාහී 162වන ස්ථානය හිමි කරගෙන තිබේ. 

ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රගතියක් නැත්තේ ද නැත. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව සිටියේ 163වන ස්ථානයේ ය. 

161වන ස්ථානයේ සිටින්නේ රුවන්ඩාවයි. 163 ස්ථානයේ සිටින්නේ සවුදි අරාබියයි. අප සිටින තැන සිතා ගැනීමට එය ම ප්‍රමාණවත් ය. අපගේ පරමාදර්ශී රාජ්‍යයක් වන චීනය සිටින්නේ 173වන ස්ථානයේ ය. 1,2,3 ස්ථානවල සිටින්නේ ෆින්ලන්තය, නෙදර්ලන්තය හා නෝර්වේ ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-17

එළ කිරි බීම, ගව මස් කෑම හා මිහිතලය උණුසුම් කිරීම

පසුගිය දවස්වල ලංකාවේ ගව මස් කෑම ගැන ලොකු කතා බහක් ඇති වුණා. ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් හාමුදුරු නමක් තමන් ම ඝාතනය කර ගත්තා. 

ලංකාවේ මිනිස්සු ඈත අතීතයේ සිට ම මස් කෑ බවත්, බුද්ධාගමත්, මස් කෑමත් අතර ලොකු ගැටුමක් නො තිබුණු බවත් මෑත ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පවා දැක ගන්න පුළුවන්. ආගමික මූලධර්මවාදයන් ඉස්මතු වීමත් සමග කලින් වඩා ලිබරල් ලක්ෂණ කැටි කරගෙන සිටි බෞද්ධ සමාජයත් දැඩි ආගම්වාදී ස්වරූපයක් ගන්නට පටන් ගත් බව ඔබ දන්නවානේ. ඒ නිසා ගවමස් කෑම ගැන ලොකු විරෝධයක් රටේ ඇති වෙන්න පටන් ගත්තා. 

හැබැයි, කුකුළු මස් කෑම සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් ඇති වුණේ නැහැ. බෞද්ධයන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය කියා හිතෙන තරමට කුකුළු මස් කඩ හැම තැන ම පැතිරුණා. 

කොහොමත්, නව ලෝකයේ පාරිභෝගිකයා සතුන් මරාගෙන මස් කන කෙනෙක් නෙ‍ාවෙයි. සතකු නො දැක, සකසන ලද මස් සුපිරි වෙළඳ සලෙන් මිළ දී ගෙන කෑම තමයි ඔහුගේ ක්‍රමය.

කොහොම වුණත්, විශේෂයෙන් ම මිනිසාගේ ගව මස් කෑමේ රුචිය නිසා මිහිතලය උණුසුම් වීමේ ගැටලුව තීව්‍ර වෙලා. 

මිහිතලය උණුසුම් වෙනවා කියන්නේ මොකක් ද? ෆොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා තාපය උරා ගැනීමේ හැකියාව වැඩි කාබන් අඩංගු කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායු වායුගෝලයට නිකු‍ත් වෙනවා. එතකොට හිරුගෙන් ලැබෙන උණුසුම වැඩිපුර වායුගෝලය විසින් රඳවා ගන්නවා. මිහිතලය උණුසුම් වෙනවා කියන්නේ ඒකට. 20වන සියවසේ මුල පටන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.8කින් වැඩි වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵල සංකීර්ණයි. ධ්‍රැව ප්‍රදේශවල ග්ලැසියර දිය වෙන්න පටන් ගැනීම ගත්තොත්, එයින් මුහුදු මට්ටම ඉහළ යනවා. පහත් බිම් යට වෙනවා. ගංගා දිගේ ලවණ ඉහළට ගලනවා. තවත් ප්‍රශ්න බොහොමයි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අපි නම් දැනටමත් මෙහි ආදීනව භුක්ති විඳිනවා. තෙත් උණුසුම් වායුගෝලය නිසා මැසි, මදුරු ආදී කෘමි උවදුරු අපට දැනටමත් වැඩි වෙලා. 

මිහිතලය උණුසුම් වීමට වැඩිපුරම හේතු වන්නේ මීතේන් වායුව බව ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එය 44%ක්. දෙවන තැන හිමි වන්නේ නයිට්‍රස් ඔක්සයිඩ්වලටයි. එය 29%යි. තුන්වන තැන හිමි වන්නේ කාබන්ඩයොක්සයිඩ්වලටයි. එය 27%යි. මීතේන් නිෂ්පාදනය වැඩිපුර ම සිදු වන්නේ සත්ව පාලනය නිසායි.

ලෝකයේ අධ්‍යයනවලින් හෙළිදරව් වෙලා තිබෙන පරිදි කිරි හා ගව මස් නිෂ්පාදනය හේතුවෙන් පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් හා මීතේන් වැනි වායු ප්‍රතිශතය ඉහළ ගිහින්. හරකා, එළුවා වැනි සත්තු වමාරා කන වර්ගයට අයත් වෙනවා. ඔවුන්ගේ ආමාශයේ කුටීර හතරක් තිබෙනවා. ඉන් පළමු හා දෙවන කුටීරවලදී තෘණ ජීර්ණය පහසු කිරීම සඳහා බැක්ටීරියා, ප්‍රොටොසෝවා, යීස්ට්, දිලීර ආදිය යොදා ගැනෙනවා. මීතේන් වායුව නිෂ්පාදනය වීම වැඩි වන්නේ ඒ නිසායි. 

හරකුන් කන ආහාර රළු වෙන තරමට මීතේන් නිෂ්පාදනයත් වැඩි වෙනවා. එතකොට සත්ව පාලනය එතරම් විධිමත් අන්දමින් සිදු නො වන සංවර්ධනය වෙමින් පවතින රටවල හරකුන්ගෙන් වායුගෝලයට නිකුත් වන කාබන් ප්‍රමාණය වැඩි බව දකුණු අප්‍රිකාවේ ජාතික විද්‍යා ඇකඩමිය විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී තිබෙනවා.  එයට හේතුව තමයි, මේ හරකුන් වැඩිපුර පෝෂණය වන්නේ මිනිසුන්ට වෙනත් ප්‍රයෝජනයක් ගත නො හැකි නිසරු තණ බිම්වලින් වීමයි. 

ඉතියෝපියාව, සෝමාලියාව හා සුඩානයෙන් සමන්විත උප සහරා කලාපයේ හරකකුගෙන් ලබා ගන්නා ප්‍රෝටීන් කිලෝවක් නිෂ්පාදනය කරන්නට කාබන්ඩයොක්සයිඩ් කිලෝ දහසක් පමණ වායුගෝලයට මුදා හැරෙනවා. එක්සත් ජනපදය හා යුරෝපය වැනි දියුණු සත්ව පාලනයක් ඇති රටවල තත්වය ප්‍රෝටීන් කිලෝවක් නිපදවීම පිණිස වායුගෝලයට මුදා ‍හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය කිලෝ 10ක් පමණයි වෙන්නේ. 

වමාරා කන සතුන්ගෙන් ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමේදී වායුගෝලයට මුදා හැරෙන කාබන්ප්‍රමාණය ඉතා අධිකයි. හැබැයි මිනිසාගේ වගේ තනි කුටීරයක් සහිත ආමාශයක් තිබෙන සතුන්ගෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ප්‍රෝටීන් කිලෝවක් සඳහා ඌරෙක් මුදා හරින කාබන් ප්‍රමාණය කිලෝ 24ක්. කුකුළෙක් නම් මෙය කිලෝ 3.7ක් පමණ වෙනවා. හරකෙක් මුදා හරින කාබන් ප්‍රමාණය ඇතැම් විට කිලෝ 1000 දක්වාත් ඉහළ යනවා. 

මෙතනදී අපි සලකා බැලිය යුතුව තිබෙන්නේ ධනවාදී පරිභෝජන රටාවන්ගේ ගැටලුයි. ධනවාදී පරිභෝජනවාදය විසින් අපව පොළඹවන්නේ කෑදර අන්දමින් පරිභෝජනය කරන්නටයි. එමගින් අපට යම් යම් ඇබ්බැහි කිරීම් කරනවා. නිදසුනක් තමයි මේ කිරිපිටි බීම. ඇත්තෙන්ම අපි කිරිපිටි බොන්නේ ප්‍රෝටීන් ලබා ගන්නට ම ද? මස් කන්නේ ප්‍රෝටීන් ලබා ගන්නට ම ද? ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන භෝජන උත්සව ආදිය වෙනුවෙන් අධික ලෙස මස් පරිභෝජනය වෙනවා. නිදසුනක් ලෙස අපේ ‍රටේ මංගල උත්සව අරගන්න. වැඩකට නැති මේ දැවැන්ත උත්සව පසුපස තිබෙන්නේ ධනවාදී කෑදර උවමනාවනුයි. මස් කෑමත් එහි එක් කොටසක්. 

මේ ප්‍රශ්නයට විසඳුම සියලු මිනිස්සු වේගන්වරු හෙවත් ශාඛමය ආහාර පමණක් කන්නන් වීම නොවෙයි. එහෙම වුණොත් දිළිඳු සමාජ කණ්ඩායම්වල මන්දපෝෂණය පැතිරෙන්නත් පුළුවන්.මහජන මුදලින් මහ හෝටල්වලින් කන, මහජන මුදලින් ගහපු ඉන්ධනවලින් සුඛෝපභෝගී වාහනවල ලොව පුරා සැරිසරන චම්පික රණවකලා වගේ දේශපාලකයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් හා බලධාරීන්ගෙන් සමන්විත ඉහළ මධ්‍යම පංතික කොටස් අතර මේ වේගන් ජීවන විලාසය පැතිරෙන එක හොඳයි. මන්ද, ඔවුන් තමයි වැඩියෙන් ම කෑදර අන්දමින් පරිභෝජනය කරන්නේ.

කම්කරු පංතිය අතර අපි වේගන්වාදය ප්‍රවර්ධනය කරන්නට අවශ්‍ය නැහැ. මන්ද, සල්ලි නැති නිසා අපි සාමාන්‍යයෙන්මත් පරිභෝජනය කරන්නේ අඩුවෙන්. ආහාර ගැනීම කියන්නේ ජීවිතයේ මූලික සතුටක්. ජීවිතයේ සතුට ලබා ගන්නට තිබෙන මාර්ග අඩු අපි කෑමෙන් බීමෙන් පවා අපට දැඩි සීමා පණවා ගන්න අවශ්‍ය නැහැ. ඒත්, අධික පරිභෝජනය වළක්වා ගැනීම නම් හැම පැත්තෙන් ම අත්‍යවශ්‍ය දෙයක්.

දැන් ලංකාවේ තිබෙන ගව මස් විරෝධය දිහා බලනකොට මෙහෙම ප්‍රශ්න ටිකක් මතු වෙනවා. අපි මස් කනවාට විරුද්ධයි. ඒත් කිරි බීම අගය කරනවා. අපගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරන්න කිරිවලින් දායකත්වයක් ලැබෙනවා. කිරි නිෂ්පාදනය කරන්නට අපි හරකුන් ඇති කරනවා. කිරි නිෂ්පාදනය අඩු හරක්  මරා මස් නො කෑවොත් වෙන්නේ මොකක් ද? හරක් ගහණය වැඩි වෙනවා. අයාලේ යන හරකුන් වනාන්තර උලා කනවා. කාලා කාබන් නිෂ්පාදනය කරනවා. මිහිතලය උණුසුම් වෙනවා. හරකුන් මැරීමට විරුද්ධ වෙන අය කිරි බීමත් නවත්වනවා නම් ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන්.

ගවයා කියන්නේ වන්දනා කරන්න අවශ්‍ය සතෙක් නෙමෙයි. සොබා දහම තුළ සත්ව ගහණයන් තුලනය කරන්නට තිබුණු ක්‍රමවේද අද නැහැ. ඒ නිසා කෘත්‍රිමව හෝ මේ ගහණයන් පාලනය කළ යුතුයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-16

කලා මාෆියාවෙන් මිදෙන්න කලාව ගැන කතා කිරීම හා ඉංගිරි‍සියෙන් ලිවීම

ටික දිනකට පෙර කියවූ අලුත් නවකතාවකින් විඳි රසය ගැන කතා කළ යුතු යයි සිතා ලියන්නට මුල පිරුවෙමි. එය දේශපාලනික කාර්යයක් ලෙස ද සලකමි. එහෙත්, එය ගැන පසුව ලියන්නට තබා ඊට පෙර මෙම සඳහන් කරමි. මෙය අගක් මුලක් නැති වැල්වටාරමක් විය හැකි ය.

සාහිත්‍යය හා කලාව තුළින් නිරූපිත ජීවිතය ගැන කතා කිරීම අද දවසේ අතිශය දේශපාලනික කාර්යයකි. මන්ද, කලාව යනු මිනිසුන් සමාජ දේශපාලන සංවාදය සමග සම්බන්ධ වන ප්‍රධාන හා ගැඹුරු අවස්ථාවක් වන හෙයිනි. ඒ අරුතින් ගත් කල නවකතාව පවත්නා දේශපාලනයට වඩා දේශපාලනික වේ. 

පසුගිය කාල‍යේ මම නවකතා හා වෙනත් කලා කෘති ගණනාවකින් මා විඳි රසය ගැන ලියුවෙමි. එහෙත් මට ලියන්නට අවශ්‍ය වූ කෘති දෙකක් ගැන මට ලියන්නට බැරි විය. එකක් අනුරසිරි හෙට්ටිගේ ලියූ කළුවරයි පුරහඳ නවකතාවයි. මා සිතන පරිදි මෑත කාලීන නවකතා අතරින් විශිෂ්ට ම කෘතිය එයයි. 

අප ලාංකීය සාහිත්‍ය ‍මාෆියාවේ සීමා මායිම් ඉක්මවා ලෝකය වෙත යා යුතු යයි මම සිතමි. විශ්ව සාහිත්‍යය වෙත තිලිණ කරන්නට තරම් වැදගත්කමක් ඇති සිංහල සාහිත්‍ය කෘති ගැන සිතන විට මට මේ මොහොතේදී මුලින් ම සිහිපත් වන්නේ අනුරසිරි හෙට්ටිගේගේ කළුවරයි පුරහඳ කෘතියයි. ජනක ඉනිමංකඩ සහෝදරයා පසුගිය දිනෙක නිස්සංක විජේමාන්න‍ගේ කෙටිකතා ටිකක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ යුතු ය යන අදහ‍සක් සාකච්ඡා කළේ ය. සයිමන් නවගත්තේගමගේ නවකතා ද විශ්වීය ලක්ෂණවලින් යුක්ත ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා ඉංග්‍රීසියට පරිවර්තනය වී පළ වන්නට ඇතැයි සිතමි. එහෙත් ඒවා එතරම් ජාත්‍යන්තර අවධානයට ලක් නො වූයේ ඇයි?

1965දී හේමරත්න ලියනආරච්චි ලියූ පාදඩයකුගෙන් කෘතිය ද විශ්ව සාහිත්‍ය ලක්ෂණ අඩංගු විශිෂ්ට නවකතාවකි. මේ නවකතා දෙක ම ලංකාවේ මහ ලොකු සම්මානයන්ගෙන් පිදුම් ලැබූ ඒවා නො වේ. කළුවරයි පුරහඳ සම්මාන සඳහා නිර්දේශ විය. මෙවැනි කෘතිවලට සම්මාන නො ලැබී බාල ගණයේ නිර්මානවලට සම්මාන ලැබෙන්නට හේතුව කුමක් ද? 

මා සිතන පරිදි ලංකාවේ සාහිත්‍ය මාෆියාව ද පාතාල ලෝකයට නො දෙවෙනි එකකි. සාහිත්‍යයෙන් ගොඩ යන්නට නම් සම්මාන හිමි විය යුතු ය. ඒ අතරින් ස්වර්ණ පුස්තකය වීම අතිශය වැදගත් ය. මන්ද, ඒ සමග ලොකු තෑග්ගක් ලැබේ. සම්මාන ලැබුණා ම ඒ පොත් හොඳින් විකිණේ. ඒ ලේඛකයෝ නැවත පොත් ලියති. මෙහි ඇති නරක පැත්ත වන්නේ කියන්නට වැදගත් කතාවක් නැති, නො ලියා ඉන්නවා නම් ඇත්තට ම එය ම සාහිත්‍යයට කළ හැකි විශිෂ්ට ම සේවාව වන ඇතැම් ලේඛකයෝ ද මේ සම්මානවලින් ඔද වැඩී දිගින් දිගට ම පොත් ලියති.

කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් අපට කළ හැකි වැදගත් කාර්යයන් දෙකක් තිබේ. එකක් සාහිත්‍යය ගැන කතා කිරීමයි. අනෙක පරිවර්තනයයි. සාහිත්‍ය කෘති ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කර පළ කිරීම මේ වන විට ලංකාවේ ජුගුප්සාජනක ව්‍යාපාරයක් වී තිබේ. පොත් පරිවර්තනය නො කරන කෙනෙක් නැති තරම් ය. සමහරුන්ට පරිවර්තනය කරනවා ය කියන්නේ කියවීමයි. තමන්ට තේරෙන අන්දමට පරිවර්තනය කළ දේ ඔවුහු පළ කරති. පරිවර්තනය සඳහා මුල් කෘතිය ලියූ ලේඛකයන්ගෙන් අවසර ගැනීමක් හෝ සිදු වන්නේ නැති තරම් ය. පරිවර්තකයෝත්, ප්‍රකාශකයෝත් අමු අමුවේ ම විදෙස් ලේඛකයන්ගේ ප්‍රකාශන හිමිකම් කොල්ල කති.

මා පරිවර්තනය ලෙස හඳුන්වන්නේ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමයි. නැතිනම් ඉංග්‍රීසියෙන් ලිවීමයි. අප ලංකාවේ සාහිත්‍ය සීම‍ාව ඉක්මවා ලෝක සාහිත්‍ය කෙත ස්පර්ශ කිරීමට උත්සාහ කළ යුතු යයි මම සිතමි. එය එක් පැත්තකින් සිංහල සාහිත්‍ය මාෆියාව පරාජය කිරීමේ ද මාර්ගයකි.

මා ශාස්තෘ නවකතාව ලියුවේ දේශපාලන කැරැලි, සිරගෙවල්, වධකාගාර, යුද්ධය, මායිම් ගම්මාන, කොළඹ වාම කණ්ඩායම්, ජාතීන්ගේ ප්‍රශ්නය, පිටුවහල ආදී සිදුවීම් රැසක් ඔස්සේ මා එක් රැස් කර ගත් කතන්දර රැසක් කියන්නට මුල පුරන්නට ය. එහෙත්, එය විකුණා ගැනීම මා මුහුණ දුන් බරපතලම ප්‍රශ්නයයි. පොත පිට වූ දිනට පසු දා ම ටැබූ සබ්ජෙක්ට්ස් තැබූ සටහනත්, කතන්දර ලියූ සටහනත්, නිශාන්ත කුලරත්න හා ජයසිරි අලවත්ත ලියූ විචාරත් හැර කිසිවක් ලියවුණේ නැති තරම් ‍ය. පොත කියවූ බොහෝ අය මට දුරකථනයෙන් තමන් විඳි රසය ගැන කියුවත්, කිසිදු සාහිත්‍ය ප්‍රභූවරයකුගේ අවධානය ඒ කෙරෙහි යොමු කර ගැනීමට දුෂ්කර විය. රාජ්‍ය සාහිත්‍ය උළෙලේ අවසන් වටයේ තිබුණු පොත් අතර එය තිබුණු බව විනිශ්චය මණ්ඩලයේ සිටි සුන්දර නිහතමාන ද මැල් මා සමග කීවේ ය. එහෙත්, ඒ බව පළ වුණේ ද නැත. වෙනත් කිසිදු සම්මාන උළෙලකට එය නිර්දේශ වූයේ ද නැත. මා ලියුවේ සම්මාන බලාගෙන නො වූව ද සම්මාන කෙතරම් වැදගත් ද යන්න මට තේරුණේ මුද්‍රණය කර ගත් පොත් මිටි රැසක් මගේ කාම‍රයේ ඉඩකඩ අවුරමින් ගොඩගැසී තිබෙන ආකාරය දකින විට ය. ඇත්තම කියනවා නම් එය නො මිළේවත් දෙන්නට කෙනෙක් නැති තරම් ය. පුස්තකාල සේවා මණ්ඩලයේ පොත් මිළ දී ගැනීමේ ව්‍යාපෘතියට ඉදිරිපත් කළ කල එය මිළ දී ගැනීමට හෝ සුදුසු පොතක් නො වන බව දැනුම් දෙන ලදී. ඇතැම් වාමාංශිකයෝ නම් එය කියවන්නට බැරි පොතක් ය කියා ද මා සමග කී හ.

එක් සාහිත්‍ය ප්‍රභූවරයකුට පමණක් මගේ බිරිඳ ශාස්තෘ ගැන ලියන්නැයි ඉල්ලීමක් කළා ය. ඔහු එය හොඳ පොතක් බව වෙනත් කෙනෙකුට නිර්දේශ කර තිබුණ මුත්, වචනයකුදු සඳහන් කළේ නැත.

ශාස්තෘ මා සිංහලෙන් ලියූ පළමු මෙන් ම අවසන් ද නවකතාවයි. වලක වැටීම මොළයට ලාභයකැයි මාඕ සේතුං කියූ කියමන අනුව යමින් මම දිගින් දිගට ම මගේ ඉංගිරිසිය දියුණු කර ගනිමින් සිටියෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය පරිවර්තකයකු ලෙස මගේ ආදායම ද වර්ධනය විය. එහෙත් කාර්ය බහුලත්වය විසින් මගේ ලිවීම ගිල දමා තිබේ. 

ඉංග්‍රීසියෙන් ලිවීම ගැන උනන්දුවක් සිරිමල් විජේසිංහට ද තිබේ. සිංහල ලේඛකයන් ඉංග්‍රීසියෙන් ලිවීම ගැන සිතීම හොඳ ප්‍රවණතාවකැයි මට සිතේ. වීදියෙන් ආ අප වැනි මිනිසුන් ඉංග්‍රීසියෙන් ලිවීම ලංකාවේ නිර්මානශීලිත්වයෙන් තොර ඊනියා ඉංග්‍රීසි සාහිත්‍ය අවකාශයට ගැටලුවක් වන්නට ඉඩ තිබේ. 

කෙසේ වෙතත්, මේ වැල්වටාරම යම් අදහසකට නාභිගත කරන්නේ නම් මා ඉදිරිපත් කරන අදහස් වන්නේ මේවායි. 

  1. කලා, සාහිත්‍ය කෘතිවලින් විඳ ගත් රසය ගැන කතා කිරීම හා ඒවායින් මතු කරන සංවාද ඉදිරියට ගෙන යාම දේශපාලනික කාර්යයකි. සල්ලිවලට, යාලුකමට, මාරුවෙන් මාරුවට පිට කසා ගැනීමට, සල්ලි නො දී කලා කෘති රස විඳීමට, විනිශ්චය මණ්ඩලවලට පත් වීමට යොදා ගැනෙන සිංහල විචාර කලාව වෙනුවට  විඳ ගත් රසය බෙදා හදා ගන්නා ලිවීමක් අවශ්‍යයි. එය දේශපාලනිකයි. ඒ නිසයි අපි මේ බ්ලොගයේ අප රස විඳි නිර්මාන ගැන ලියන්නේ. ඒවායේ කර්තෘලා අපේ විශේෂ යාලුවෝ නෙමෙයි. ඒ ඇතැමෙක් ලොක්කෝ ය. අපි ඔවුන්ගේ නිර්මාන ගැන ලියූ බව දැන ගත්තත්, ඔවුන් අඩු ගණනේ තමන්ට නොමිළේ දෙන ප්‍රචාරයට ස්තුති කරන්නේවත් නැහැ. ඒත්, ඒක ප්‍රශ්නයක් නැහැ. සල්ලි දීලා පොත්, චිත්‍රපට, නාට්‍ය බලලා, හොඳ නම්, තමන් විඳි රසය ප්‍රසිද්ධියේ බෙදා ගන්න දේශපාලන සංස්කෘතියක් අප ගොඩ නගා ගත යුතුයි. මේ සාහිත්‍ය විනිශ්චය මාෆියාව පරාජය කරන්න එහෙම මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ මැදිහත්වීම නො කළොත් ලංකාවේ කලාව ඔය ස්වර්ණ පුස්තක, ගොඩගේ, සරසවි, අරව මේව රාජ්‍ය සම්මාන ආදී මට්ටමෙන් ඉහළට අඟලක්වත් එසවෙන්නේ නැහැ.
  2. ලංකාවේ කලා මාෆියාවෙන් මිදී ලෝකයට යන එකත් අපට කළ හැකි තවත් කාර්යයක්. ශ්‍යාම් සෙල්වදොරේ වගේ ලේඛකයෙක් ලංකාවේ ඉඳන් සිංහල හෝ දෙමළ බසින් ලිව්වා නම් කවදාවත්, කාගේවත් අවධානයට ලක් වෙන්නේ නැහැ. කළුවරයි පුරහඳ හා පාදඩයකුගෙන් වැනි කෘති ඉංග්‍රීසියෙන් ලියවුණා නම්, ඒවායේ තිබෙන විශ්වීය අගය මතු වෙනවා.

අප ලියූ රස වින්දන කීපයක්:

ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දරම පෙම් පුරාවත

බාග නාට්‍ය, බාග චරිත නිරූපණ හා කාල සර්ප ගැන බාගෙට ලියවුණු රසවිඳුම

සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය' 

සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක් 

මේධානි දේශප්‍රියගේ Ex-alien හා දකුණු කොළඹ වරාය 

ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය 

මටත් ඕනෙ රැප් කරන්න; පොරක් වෙන්න; ෆේමස් වෙන්න - කලාවේ රෙද්ද කඩාගෙන උපන් කලාව

 මන්තිරි වන්නම ගැන නො ලියා නො සිටිය හැකි සටහන 

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි

ඉනි අවන් - හඳගමගේ කුරිරු අපගමනයකි


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-14

සමාජවාදය දිනේවා! උතුරු කොරියාව භංග වේවා!

"Despicable human scum Jang, who was worse than a dog, perpetrated thrice-cursed acts of treachery in betrayal of such profound trust and warmest paternal love shown by the party and the leader for him," උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ මාමා හා විශ්වාසවන්ත සගයකු වී සිටි Chang Song-thaekට මරණ දඬුවම දීමෙන් පසු උතුරු කොරියානු KCNA පුවත් ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ කොටසක්.


පෙරටුගාමිත්වය (vanguardism) කියන්නේ කම්කරු පංතියේ වඩාත් ම පංති හැඟීම තිබෙන හා දේශපාලනික වශයෙන් දියුණු ම පිරිස විප්ලවය සංවිධානය කිරීම සඳහා පක්ෂයක් පිහිටුවාගෙන විප්ලවීය අරගලයේ නායකත්වය සියතට ගැනීමයි.

ඒ කියන්නේ කම්කරු පංතියේ එක ම නියෝජිතයා තමන් බව ප්‍රකාශ කර ගැනීම වැනි දෙයක්. කොටි සංවිධානයත් තමන් දෙමළ ජනයාගේ එක ම නියෝජිතයා ලෙස ප්‍රකාශ කර ගත්තේ මේ හා සමාන මතවාදයකින්. 

පෙරටුගාමිත්වය ගැන තිබෙන ලොකුම ගැටලුව තමයි, මේ පෙරටුගාමී නායකයන් පිරිස තෝරා ගන්නා ආකාරය. කවුරුද ඔවුන්ව තෝරා ගන්නේ. පෙරටුගාමිත්වයක් අවශ්‍ය වන්නේ සමාජයේ පංති විඥානයේ තිබෙන දුබලකම නිසා නේ. ඒ කියන්නේ තමන්ගේ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගන්න කම්කරුවන් නො දන්න නිසා නේ. පෙරටුගාමීන් තෝරා පත් කර ගැනීම සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නො වන නිසා මෙය තමන් විසින් ස්වයංව තමන් ම පත් කර ගැනීමක් ලෙසයි සලකන්න වෙන්නේ. ලංකාවේ නම්, ඔය වාමාංශික පක්ෂ හැම එකක ම නායකයෝ හිතාගෙන ඉන්නේ තමන් ඉතිහාසය විසින් මේ වගකීම භාර ගන්න නිර්මානය කර තිබෙන සුවිශේෂ මිනිසුන් පිරිසක් ය කියලායි. ඒ නිසා ඔවුන්ට මුලින් ම වැදගත් වන්නේ තමන්ගේ ම පැවැත්මයි. අවසානයේදී ගත්තා ම ඔවුන් දේශපාලනය කරන්නේ එකී ස්ව පැවැත්ම ආරක්ෂා කර ගන්නයි.

මේ පෙරටුගාමී මානසිකත්වය මම නම් හඳුන්වන්නේ සමාජ භින්නෝන්මාදයක් ලෙසයි. මම ශාස්තෘ නවකතාවෙන් සාකච්ඡා කළේ මේ කාරණයයි. 

මේ මානසිකත්වයෙන් ගොඩනගන විප්ලවවාදී සංවිධානයකට කළ හැකි විප්ලවයේ උපරිම නිදර්ශනයක් දැන් උතුරු කොරියාවේ සජීවීව රඟ දැක්වෙනවා. සමාජවාදයේ නමින් ක්‍රියාත්මක වන මෙවැනි නිර්ධන පංති ආඥාදායකත්වයකත්, වෙනත් ඕනෑම ආඥාදායකත්වයකත් අතර කිසිදු වෙනසක් දකින්න නැහැ.

සමාජවාදයේ නාමයෙන් අප විසින් කළ යුතුව තිබෙන මුල් ම කාර්යයක් තමයි, මේ පෙරටුගාමී සංකල්පය පරාජය කිරීම. 

අපි කලිනුත් කියලා තිබෙන පරිදි සමාජවාදය කියන්නේ පෙරටුගාමී පක්ෂයක් විසින් බලය ඩැහැ ගැනීම නොවෙයි. එය අඛන්ඩ අරගලයක්. එය මිනිස් ජීවිතය ඇතුළතින් හා පිටතින් වෙනස් කරන අරගලයක්. ඒ අරගලය ආරම්භ කරන්න දේශපාලන බලය අත්‍යවශ්‍ය නැහැ. 

මේ සංවාදයත් සමාජවාදය සඳහා අරගලය ම තමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-13

මගේ ලංකාවේ ජාතික කොඩිය

උතුරු පළාත් සභාව පිහිටුවීම ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. එය දෙමළ ජාතිකවාදී දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව තුළ ස්ථාපනය කර ගැනීම සඳහා ඉවහල් වේ. එහෙත් එම ස්ථාපනය චිරස්ථායී කර ගැනීමේ අභියෝගය අවසන් වී නැත. 

පළාත් සභා යනු බලය බෙදීමේ යාන්ත්‍රණයක් ලෙස දෙමළ ජනතාව විසින් කැමැත්තෙන් භාර ගන්නා ලද එකක් නො වේ.  දෙමළ ජාතිකවාදයේ පරමාදර්ශය වන්නේ දෙමළ ජාතිවාදී ඊලාම් රාජ්‍යයකි. සෑම ජාතියකට ම රාජ්‍යයක් හිමි විය යුතු ය යන්න පැරණි සංකල්පයකි. එය පැන නැගුණේ ධනවාදය මෙතරම් ගෝලීයකරණය වූ යුගයක නො වේ. ජාතික රාජ්‍යය වර්තමානයේදී ජාතික වශයෙන් පීඩාවට පත් වූවන්ගේ ‍ප්‍රශ්නයටවත් විසඳුමක් වන්නේ නැත. එහෙයින් අප එය ප්‍රවර්ධනය කළ යුතු නො වේ.

ප්‍රාග්ධනය විෂයෙහි තව දුරටත් ජාතික රාජ්‍ය යනු අරුත්බර ව්‍යූහයක් වන්නේ නැත. හේතුව මේ වන විට ප්‍රාග්ධනය ජාතික දේශ සීමාවන් සිඳ බිඳ ලමින් තිබෙන හෙයිනි. ධනපතියාට සිය ප්‍රාග්ධනය ලෝකයේ ඕනෑම තැනක ආයෝජනය කළ හැකි වන ආකාරයට ලෝකයේ රාජ්‍ය ව්‍යූහය සැකසෙමින් තිබේ. එහි ජාතිකවාදී ලක්ෂණ අහෝසි වෙමින් තිබේ. ප්‍රාග්ධනය විෂයෙහි ජාතිකවාදයේ බලපෑම අවම වෙමින් තිබේ.

ජාතිකවාදය තව දුරටත් පවතින්නේ ශ්‍රමය සංවිධානය කිරීම යන කාරණයෙහිදී ය. නිදහස් සංචලනය සඳහා ප්‍රාග්ධනයට තිබෙන අයිතිය ශ්‍රමයට ද දිනා ගත යුතු ය. නිදසුනකින් කිවහොත්, ලංකාවේ වැඩ කරන්නට පුළුවන් මිනිසුන්ට ලෝකයේ වඩා හොඳ වැටුප් ගෙවන තැන් වෙත වැඩ සොයා යන්නට නිදහස හිමි විය යුතු ය. 

ශ්‍රමයේ නිදහස් සංචලනයට ජාතික රාජ්‍ය සීමා බාධාවකි. ධනපතීන්ට තමන්ගේ ප්‍රාග්ධනය රැ‍ගෙන නිදහසේ සංචලනය කරන්නට තිබෙන අයිතිය ශ්‍රමිකයන්ට ද දිනා ගැනීම සඳහා අප සටන් කළ යුතු ය. එහිදී කම්කරුවන්ගේ පැත්තෙන් ගත් කල ජාතික රාජ්‍යය යනු අහෝසි කළ යුතු දෙයක් මිස රැක ගත යුතු දෙයක් නො වේ. 

එහෙත්, සමස්ත දේශපාලනය ශ්‍රමයට ඌනනය කළ නො හැකි බව මම පිළි ගනිමි. ජාතිය, සංස්කෘතිය, භාෂාව වැනි මනෝ මූලික කාරණාවල වැදගත්කම නිසා මිනිසුන්ට ජාතික රාජ්‍ය අවශ්‍ය ව තිබේ.

අප දේශපාලනිකව මැදිහත් විය යුත්තේ ජාතික රාජ්‍ය සීමා අහෝසි කර දැමීමේ හා ඒවා රැක ගැනීමේ ද්විත්ව උවමනාව මැදට ය. ප්‍රගතිශීලීන්ගේ දේශපාලනය අතිශය සංකීර්ණ වන්නේ මෙම තත්වය තුළයි. 

දැන් මේ මොහොතේ උතුරු පළාත් සභාවේ සිදු වන දේ සලකා බලමින් අප විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද යන්න ගැන සාකච්ඡා කළ හැකි ය. 

දෙමළ දේශපාලනයේ ජාතිවාදී ප්‍රවණතා පරාජය කළ යුතු ය. එය කළ යුත්තේ මර්දනයෙන් නො වේ. මර්දනයෙන් ජාතිවාදය පරාජය කළ නො හැකි ය. එසේ ම දෙමළ ජාතිවාදයට එරෙහිව සිංහල ජාතිවාදය ශක්තිමත් කිරීමෙන් ද එය පරාජය කළ නො හැකි ය. එය කළ හැක්කේ දෙමළ දේශපාලනය තුළ ප්‍රගතිශීලී ප්‍රවණතා ශක්තිමත් කිරීමෙනි.

උතුරු පළාත් සභාව තුළ මතු වූ ලිබරල් ලක්ෂණ අපි අගය කළෙමු. නිදසුනක් ලෙස ලිබරල්වාදී ජීවිතයක් ගත කරන බව බැලූ බැල්මට පෙනෙන විග්නේශ්වරන් වැනි පුද්ගලයකු උතුරු පළාත් සභාවේ නායකත්වයට පත් වීම අගය කළ යුතු දෙයකි. වයෝවෘද්ධ සම්බන්ධන්ගේ නායකත්වයට විකල්ප නායකත්වයක් ද දෙමළ ජාතික සන්ධානයෙන් මතු විය යුතු ය. උතුරු පළාත් සභාව යනු ජාතිවාදයේ හා ලිබරල්වාදයේ තුලනයකි. මැදිහත් වන්නන්ගේ වගකීම වන්නේ ලිබරල් ප්‍රවණතා ශක්තිමත් වන සේ එය කිරීමයි. එය මහත් පරිස්සමෙන් කළ යුතු දෙයකි.

දැන් උතුරු පළාත් සභා‍වේ උත්සවවලදී ජාතික කොඩිය එසවීමේ මැලිකමක් දක්නට ලැබේ. එය සිදු වන්නේ දෙමළ ජාතිවාදීන්ගේ බලපෑම මත ය. සිංහ කොඩිය වෙනුවට කොටි කොඩිය ඔසවන්නට තිබේ නම් ඔවුහු කැමති ය. දකුණ උත්සාහ කරන්නේ බලය පාවිච්චි කර කොඩිය උස්සන්නට ය. ‍එහෙත් එය සාර්ථක වන්නේ නැත. බලය පාවිච්චි කරන්නට, කරන්නට සිදු වන්නේ වෛරය තව තවත් උත්සන්න වීම පමණි. එතකොට විසඳුම කුමක් ද?

මෙයට ඇති විසඳුම දෙමළ ජනයා කැමැත්තෙන් කොඩිය උස්සන තත්වයක් ඇති කර ගැනීම ය.  එය කර ගැනීමට නම් අනිවාර්යයෙන් ම කොඩිය වෙනස් කළ යුතුව තිබේ. 

කොටියා දෙමළ ජාතිවාදයේ සංකේතයක් බව ඔබ පිළි ගන්නවා නේ ද? එය කිසි සේත් ම ලංකාවේ ජාතික කොඩියේ තිබිය නො හැකි ය. 

දෙමළ ජනතාව සිංහ සංකේතය ගැන සිතන්නේ ද ඒ අන්දමින් ම ය. ඔවුන්ට සිංහයා යනු සිංහල ආක්‍රමණයේ සංකේතයකි. 

මේ මොහොතේ අප හමුවේ තිබෙන දේශපාලන අභියෝගය වන්නේ සිංහල බෞද්ධ මූලික ශ්‍රී ලංකාව වෙනුවට ජාතීන්ට සම තැන හිමි අනාගමික ලාංකීය ජාතික රාජ්‍යයක් දක්වා ගමන් කිරීම බව අපි මීට පෙර ද සඳහන් කළෙමු. 

ජාතික කොඩිය ගැන කාරණයට අදාළව ගත්තොත්, අලුත් ලාංකීය ජාතියට අලුත් කොඩියක් යෝජනා කළ යුතුව තිබේ. අප ඉලක්ක කළ යුතුව තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජනවාර්ගික අනන්‍යතාවලට වඩා ලාංකිකත්වය වැදගත් වන ජාතික රාජයක් වන බැවින් මගේ යෝජනාව වන්නේ ජාතික කොඩිය ජනවාර්ගික හා ආගමික සංකේතවලින් තොර එකක් විය යුතු බවයි.

හරියට නිල් පාට පසුබිමක්(සාගරය) මැද ලංකාවේ සිතියම වගේ කාටත් පොදු ලාංකික කොඩියක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-12

කීර්ති ශ්‍රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය

කතා කරන ඡායාරූපයක්. පොලිස් නිලධාරියා = දරදඬු නීතිය, කැටයම් චින්තකගේ මව = අසරණ වින්දිතයා. පිටිපස්සෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ හා අදහසක් නැති ජනතාව.
පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත.

ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං!

දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය.

මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්‍යය අවස්ථාවේ මාතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි:

මගේ බලප්‍රදේශයේ ඕනෑම ‍පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්න එපා කියලා. උදව්වක් අවශ්‍ය ඕනම විටක කතා කරන්න. කඹුරුපිටිය ‍පොලිසියටත් උපදෙස් දීල තිබෙන්නෙ තවත් කරදර කරන්න එපා කියල. ඒ කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු යොදාගන්න 

මේ කැටයම් චින්තකගේ නැගනිය කළ ප‍්‍රකාශයකි: අපේ ගෙට ගිනි තියල. අපට ඉතිරි වුණේ මේ ඇඳිවත විතරයි. ඒ ගේ හැදුවෙ මම බැංකුවලින් ණය අරගෙන. අයියගෙ සල්ලි කීයක්වත් ඊට යොදවල නෑ. අයිය වරදක් කළානම් දැන් ඊට වන්දි ගෙවල ඉවරයි. අපේ ගෙවල් ගිනි තිබ්බේ ඇයි ? මේ ගැන කියන්න අහන්න කවුරුවත් අපට නෑ. මාධ්‍යවලින් සමහර ඒව මේ කරුණු විකෘති කළා. ඒ නිසා තමයි ජනතාවගේ කෝපය ඇවිස්සුනේ. එහි ප්‍රතිඵල වෙන්න ඇති මේ විනාශය වුණේ. ඊයෙ උදෙත් රතිඤ්ඤා පත්තු කරන ගමන් කිව්ව තොපේ ගේත් ගිනි තියනව කියලා. මම ඒත් හිතුවෙ නෑ එහෙම කරාවි කියලා.

රිවිර පුවත්පතේ පළ වූ මෙම වාර්තාව අවසන් කර තිබුණේ මෙසේ ය: කැටයම් චින්තකගේ මවගේ නිවස ඉදිරිපිට කුරුඳු ගහක කිරිබත් පාර්සලයක් එල්ලා තිබෙන අයුරු දක්නට ලැබුණි.

කුඩුකාරයන් සමග ඇසුරු කර අතට ම අසු වූ අගමැතිවරයාට තමන්ගේ ජාමෙ බේරා ගැනීම සඳහා ගෝලයකු බිල්ලට දෙන්නට සිදු වී තිබේ. එහෙත්, සිද්ධිය මෙතැනින් අවසන් විය යුතු නැත. අගමැති පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාර පසුබිමේ හෙල්ලුණ සල්ලි ගස්වල කුඩු සල්ලි තිබුණා ද යන්න ගැන පරීක්ෂණ පැවැත්විය යුතු ය.  මේ එක් තලයකදී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන අාකාරයයි. එහිදී නීතිය කොර ය.

කැටයම් චින්තකගේ මවගේ හා සොයුරියගේ නිවෙස් ගිනි තබන්නේ කාගේ අනුදැනුම මත ද යන්න ඉතා පැහැදිලි ය. එම අපරාධ සිදු වන්නේ පොලිසියේ රැකවරණය තුළ බව ද පෙනේ. සැකකරුවන් පිරිසක් මරා, කිරිබත් කා, කිරිබත් පාර්සලයක් මිය ගිය මිනිහාගේ මවගේ නිවස ඉදිරිපිට එල්ලා යන සමාජයේ ම්ලේච්ඡ වී තිබෙන්නේ ද නීතිය නො වේ ද?

අප මෙම සිද්ධි පිළිබඳ දිගින් දිගට ම කතා කරන්නේ අන් හේතුවක් නිසා නො වේ. මේ වනාහි ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිංදුවට ම වැටී ඇති ආකාරය හා නීතියෙන් තොර පසුබිමක් තුළ සමාජය ම්ලේච්ඡත්වය වෙත තල්ලු වන ආකාරය පෙන්නුම් කරන සංකේතාත්මක සිද්ධි වන නිසා ය. අනෙක් පැත්තෙන්, මානව හිමිකම් රාජ්‍ය නො වන සංවිධාන ආදිය මේ පිළිබඳ දක්වන නිහඬත්වය ද මේ ම්ලේච්ඡත්වයේ ම කොටසකි. ඔවුන් නිහඬ වන්නට හේතුව මේවා ‍සිය ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන දේ නො වන හෙයිනි. මිනිසුන්ට මානව හිමිකම් තිබිය යුත්තේ රාජ්‍ය නො වන සංවිධානවලට විදේශාධාර ලැබෙන ප්‍රමාණයට අනුව නො වේ. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-11

අගමැති කුඩු ජාවරම් සමග සම්බන්ධ වූ රටක නීතියේ ආධිපත්‍යයට කුමක් වේද?

අගමැතිවරයා ඉවත් කළ යුතු යයි උද්ඝෝෂණයක් දියත් වෙමින් තිබේ. ඉදිරියෙන් සිටින්නේ ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, මව්බිම පත්තරය වැනි බලවේග නිසා මෙය කොන්ත්‍රාත්තුවක් යයි සිතන්නට පුළුවන. 

එවිට ඇති වන ගැටලුව වන්නේ මේ උත්සාහ කරන්නේ කාව අගමැති කරන්නට ද යන්නයි. අගමැති වීම යනු අනාගත ජනාධිපති වීම සඳහා සුදුසුකම් සපිරීමේ මුල් පියවරකි. ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඩී.බී. විජේතුංග  අගමැති පදවියට පත් කළේ ද වර්තමානයේදී කරන පරිද්දෙන් ම වෙනත් අය කපා රූකඩයක් ඉදිරියෙන් තැබීමට වුව ද ඩී.බී‍. විජේතුංග පවා මේ රටේ ජනාධිපති ධුරයට පත් වූයේ ය. ඒ අගමැති ධුරයේ තිබෙන බලය නිසා ය. 

තමන්ට කලින් මැරේ යයි සිතන, අභියෝගයක් නො වන මහල්ලන් අගමැතිකමට පත් කිරීම ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ජනාධිපති මහින්ද රාජපක්ෂට තරම් අගමැති ධුරය සඳහා තරග කරන්නන් සංඛ්‍යාවක් වෙනත් කාටවත් හිටියේ නැත. කුමාර වෙල්ගම වැනි වියපත් බඹරුන්ගේ සිට මෛත්‍රී, ඩලස්, නිමල් සිරිපාල වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨයන්ගේ සිට රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ දක්වා ම අගමැතිවරු වැහි වැහැලා ය. 

ජාතික හෙළ උරුමය ඇතුළු බලවේග කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද යන්න අපැහැදිලි වන්නේ මෙම තත්වය තුළ ය. 

කෙසේ වෙතත්, අගමැතිවරයාට ‍එරෙහිව නිසි පරීක්ෂණයක් හා නීතිමය පියවර ගත යුතු බව අපි ද අවධාරණය කරන්නෙමු. ඔහු දැනුවත්ව හෝ නො දැනුවත්ව සම්බන්ධ වී සිටින්නේ ලංකාවේ ලොකු ම කුඩු ජාවාරමත් සමගයි. මේ ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන එක් පකිස්තාන ජාතිකයකුගේ ජංගම දුරකථනයේ තිබී අගමැතිවරයා සහ ඔහු එකට සිටින වීඩියෝවක් ද හමු වී තිබේ. 

අගමැතිවරයාගේ උපදෙස් මත බව කියමින්, හෙරොයින් අඩංගු මෙම ව්‍යාජ ග්‍රීස් තොගය නිදහස් කර ගැනීම සඳහා ලියුම් නිකුත් කළ අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ තවමත් නිරුපද්‍රිතව අගමැතිවරයාගේ රැකවරණයේ සේවය කරමින් සිටියි. 

එම ලියුම නිකුත් කරන්නට සිදු වන්නේ පකිස්තානයේ සිට එවන ලද කුඩු තොගය අඩංගු කන්ටේනරයේ මෙරට හිමිකරු වන පුද්ගලයා විසින් එහි ලිපිනය ලෙස සඳහන් කරන ලද සමාගම මෙරට ලියාපදිංචි නො කර තිබීම නිසා ඇති වන ප්‍රමාදයන් නිසා ය. 

මෙම සිදුවීම හෙළිදරව් වන සමය වන විට අගමැති දි.මු. ජයරත්නගේ පුත්‍රයා වන අනුරාධ ජයරත්න මධ්‍යම පළාත් සභාවට තරග කරමින් සල්ලි වීසි කරමින් සිටි බව ද අප අමතක නො කළ යුතු ය. 

මා සිතන පරිදි නම් මේ වනාහි කුඩු ජාවාරම් සමග රටක ප්‍රධාන දේශපාලන නායකයකු ඍජුව ම පැටලීම සිදු වූ ලෝක දේශපාලනයේ විරල අවස්ථාවන්ගෙන් එකක් බවයි.

සාමාන්‍ය කුඩුකාරයකු අත කුඩු පැකට්ටුවක් තිබී අසු වුණත් උපරිම දඬුවම් දෙන බලධාරීනි, වහා පරීක්ෂණ පවත්වනු! ‍‍‍‍‍‍‍

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-09

ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දර ම පෙම් පුරාවත

දස්කොන් - ප්‍රමිලා කතාව සිංහල ජනප්‍රවාදයේ එන සුන්දර ම ප්‍රේම කතාවයි. මීට පෙර ජෝන් ද සිල්වා ශූරීහු ද මෙම කතාව ඇසුරින් නාට්‍යයක් නිර්මානය කළේ ය.

ජයලත් මනෝරත්නයන්ගේ අභිනව නාට්‍යය වන 'සෙල්ලම් නිරිඳු' සඳහා පාදක වන්නේ ද මෙම කතා පුවතයි. මීට පෙර මතුගම ශ්‍රවණාගාරයේදී ම ජයලත් මනෝරත්නගේ 'බූරුවා මහත්තයා' බැලීමට ගිය මම පළමු වතාව‍ට නාට්‍යයක් අතරමගදී නැගිට ආවෙමි. සෙනග හා අධික උණුසුම පමණක් නොව නාට්‍යයේ දුර්වලකම ද එසේ කරන්නට හේතු විය.

වාර්තා රංගයක් ලෙස ඇතැමුන් විසින් හඳුන්වනු ලබන සෙල්ලම් නිරිඳු නැරඹීමෙන් පසු මට සිතෙන්නේ එය ඉන් ඔබ්බට විහිදෙන විශිෂ්ට නාට්‍යයක් බවයි. මනෝරත්නයන් බලවත් පරිශ්‍රමයක් දරමින් සුවිසල් හැදෑරීමක් කර තිබේ.සෙල්ලම් නිරිඳු හුදු නා‍ට්‍යයක් පමණක් නො වේ. ඉතිහාස කථනයකි.

නාට්‍යය තුළ ඉතිහාසය පිළිබඳ අපූරු කතිකාවක් දිග හැරේ. ඒ වනාහි ඉතිහාසඥයාගේ කථනය හා ජන කලාකරුවාගේ කථනය යන දෙක අතර ඇති පරස්පරතා හා සාම්‍යයන් පිළිබඳ කතිකාවකි. වෙනත් වචනවලින් කියන්නේ නම් විද්‍යාත්මක ඉතිහාසය හා ජන කතා අතර ගැටුම හා ඒකීයත්වය පිළිබඳ කතිකාවකි. දස්කොන් - ප්‍රමිලා කතාව පිළිබඳ ජනප්‍රවාදයේ ඇති සුඛනම්‍ය ලක්ෂණ හා ඓතිහාසික සාධකවල දෘඪබව පිළිබඳව සෙල්ලම් නිරිඳු අවධානය යොමු කරයි. නාටකයේ කථක භූමිකාව කරන ඉතිහාසයා හා නාඩගමක් නිෂ්පාදනය කරන නාට්‍යකරුවා අතර සංවාදය තුළින් එය කදිමට නිරූපණය කෙරේ. මා හිතන්නේ මේ වනාහි පසුගිය වසර ගණනාව පුරා ජයලත් මනෝරත්න නිමග්නව සිටි ඉතිහාස ගවේෂණය හා නාට්‍ය රචනය අතර ගැටුම සහ සම්බන්ධය නිරූපණය කරන අවස්ථාවකි. 

නාට්‍යයේ ඇතැම් පෙළ විසින් මතු කරනු ලබන තවත් කාරණයක් තිබේ. ඒ වනාහි, ඉතිහාස රචනය හා වර්තමාන සමාජය අතර ඇති සම්බන්ධයයි. ඉතිහාස රචකයා ඉතිහාසය ලිවීමේදී ඉතා පැහැදිලිව ම ඔහු ජීවත් වන යුගයේ ‍තෝරා ගත් අධ්‍යතන අවශ්‍යතාවන් ප්‍රමාණයක් නියෝජනය කරයි. මහාවංශය ලියූ මහානාම හිමියන්ට දුටුගැමුණු රජු වීරයා කරන්නටත් ලංකාවේ මහායාන ඉතිහාසය අකා මකා දමන්නටත් උවමනා විය. ඉංග්‍රීසීන් මහාවංශය මතු කරගෙන සිංහලයන්ට යළි තිලිණ කර දුන්නේ එහි තිබෙන දෙමළ විරෝධී ස්වභාවය නිසා එය ජාතීන් බෙදා වෙන් කර පාලනය කිරීම සඳහා යොදා ගන්නට විය හැකි ය. සිංහල ජාතිවාදී නායකයන් මහාවංශය හිස් මුදුනින් වැළඳ ගත්තේ එය සිය ස්වෝත්තමවාදී අරමුණු සමග ගැලපුණු බැවිනි. ඉතිහාසය පාදක කර ගන්නා කලාකරුවා ද කරන්නේ එක්තරා ආඛ්‍යානයක් ඉදිරිපත් කිරීමකි.

මනෝගේ නාට්‍යයේ ගැස්කොයින් මහ අදිකාරම හා සුමිත්‍රා බිසව ජාතිවාදය ගැන යෙදෙන සංවාදය ඇත්තෙන් ම වර්තමාන අදහස් පද්ධතියක් ඔස්සේ ගොඩනැගුණකි. නො එසේව, ඒ සංවාදයට අදාළ වන ආකාරයේ ජාතීන් එදා තිබුණේ නැත. ලංකාව අද ජාතිය යයි හඳුන්වන දේශපාලන ප්‍රජාව හඳුනා ගන්නේ විසිවන සියවසේදී පමණ ය. 

සෙල්ලම් නිරිඳු ඔස්සේ එළඹිය හැකි තවත් සංවාදයක් වන්නේ ඉතිහාස ගවේශනය විසින් කලාකරුවාට විලංගු නිර්මානය වන්නේ ද යන්නයි. ඇත්තෙන් ම ගැඹුරු ඉතිහාස ගවේශනය ඉතිහාසකරුවාගේ කාර්යයක් මිස නාට්‍යකරුවාගේ කටයුත්තක් වන්නේ නැත. කලාකරුවාගේ නිර්මාණාත්මක පරිකල්පනීය ලෝකය තුළ ඉතිහාසය බාධාවක් විය යුතු ද? ෂේක්ස්පියර් පවා ඉතිහාසය සිය කෘති සඳහා මූලාශ්‍ර කර ගත්තේ ය. එහෙත්, ඔහුට ඉතිහාසය බාධාවක් නො වීය. ඔහු ඉතිහාසය සිය අත මැටි පිඬක් කර ගත්තේ ය. 

ජයලත් මනෝරත්න එසේ කලාකාර බලපත්‍රය යොදාගෙන ඉතිහාසයෙන්නිදහස් වන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඉතිහාසඥයාගේ හා කලාකරුවාගේ භූමිකාවන් අර ගැටුම ඔස්සේ නාට්‍යය තුළ තවත් නාට්‍යයක් නිර්මානය කරයි. ඒ ඔස්සේ විද්වත් කතිකාවක් ද ගොඩනගයි. ඒ වනාහි විශිෂ්ට නව නිර්මානයකි. තවෙකෙකුට ප්‍රති නිර්මානය කළ නො හැකි නිර්මානශීලිත්වයකි.

එහෙත්, ප්‍රධාන නාට්‍යය දිවෙන්නේ ගැස්කොයින් හා සුමිත්‍රා බිසව අතර ප්‍රේම පුරාවෘත්තය ඔස්සේ ය. එය අතිශය සුන්දර ප්‍රේම කතාවකි. එහෙත්, නාට්‍යකරුවා අපට ඒ ප්‍රේම කතාව දෙස අගතියෙන් තොරව, මධ්‍යස්ථව හිඳ බැලීමට කරන පහසුකම් සැලසීම හරහා ඔහු බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණ සංකල්පය අලුත් යමක් නොව සිංහල ජන නාට්‍ය කලාවේ පැරණි ලක්ෂණයක් බව පෙන්වා දෙයි. ඉතිහාසය විසින් යක්ෂාරෝපණය කර, අනුකම්පා විරහිතව දස්කොන් මරා දමන මිත්‍රදෝහියකු බවට පත් කර තිබෙන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කෙරෙහි පවා මෙත් සිත් ‍‍ගොඩනංවන ආකාරයට මනෝ සිය නාට්‍යය ගොඩනංවා තිබේ.  රජු අතින් සිය හිතමිත්‍ර දස්කොන්ට මරණ දඬුවම පැනවෙන්නේ අතිශය තර්කානුකූල තත්වයක් මත ය. දස්කොන් ද ප්‍රමිලා බිසව වෙනුවෙන් අඹන බලි රූපයේ කලවයේ උපන් ලපයක් සලකුණු කළ සිය මරණය කැඳවා ගන්නා බොළඳ පෙම්වතකුගේ ඉතිහාසයෙන් මිදී මානුෂීය ගුණාංග සපිරි, ප්‍රේමවන්තයකු හා විවෘත, පුළුල් අදහස් ඇති කවියකු ලෙස ගොඩනංවා තිබේ. ප්‍රේමය, රාගය, මිත්‍රත්වය, ද්‍රෝහිත්වය, කුමන්ත්‍රණ ආදියෙන් සපිරි සෙල්ලම් නිරිඳු ඇත්තෙන් ම අති විශිෂ්ට නාට්‍යමය කතා ගොඩනැංවීමකි.

සෙල්ලම් නිරිඳු වේදිකාවට පිවිසෙන්නේ ජාතිවාදී රැල්ලක් විසින් සිංහල සිනමාව ආක්‍රමණය කර, ඒ ඔස්සේ ජාතිවාදී වෙළඳපොළක අලෙවි වන ව්‍යාජ ඉතිහාස කතිකාවක් නිර්මානය කරමින් තිබෙන වකවානුවක වීම සුවිශේෂ ය.මනෝරත්න අතීතය තුළින් වර්තමාන වෙළඳපොළක් නො සොයා සදාතනික මිනිස් ධර්මත‍ා සොයා යයි.

එය සිංහල අප ප්‍රිය කරන නැටුම්, ගැයුම්, වැයුම් සපිරි, වර්ණයෙන් අලංකෘත නාඩගම්, නූර්ති සම්ප්‍රදාය ඔස්සේ සම්ප්‍රදායික සීමා අතික්‍රමණය කළ මනහර නාට්‍ය නිර්මානයකි. සුමිත්‍රා බිසවගේ හෙවත් ප්‍රමිලාගේ චරිතය රඟපාන මාධනී මල්වත්ත විශිෂ්ට රංගනයක යෙදෙයි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ලෙස රඟන නලින් ප්‍රදීප් උඩවෙලගේ හඬ උත්පාදනයේ කෑගැසීම් ස්වරූපයක් ඇතැයි මට සිතේ. ජයලත් මනෝරත්න අපට සිටින අති වි‍ශිෂ්ට නළුවෙකි. ගැස්කොයින් හෙවත් දස්කොන් චරිතය රඟපෑමට ගැයුමෙහි රැඟුමෙහි සුපසන් ජයලත් මනෝරත්නයන් වෙනුවට වෙනත් ආදේශකයක් සොයා ගැනීම පහසු වන්නේ නැත. එහෙත්, මනෝ‍ට වඩා තුරුණු නළුවකු මෙම චරිතය වෙනුවෙන් නිර්මානය කර ගත යුතුව ඇති බව මම සිතමි. ජානක ෆොන්සේකාගේ සංගීතය, සුවිනීතා පෙරේරාගේ රංග වස්ත්‍ර නිර්මාණය, උපාලි හේරත්ගේ රංග භූමි අලංකරණය හා රවිබන්දු විද්‍යාපතිගේ නර්තන වින්‍යාසය නාට්‍යයේ සාර්ථකත්වයට ඉවහල් වී තිබේ.

සුන්දර සන්ධ්‍යාවක් අපට තිලිණ කළ ඔබ සැමට අපේ ආදරය!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-06

වැද්දන් එක්ක ක්‍රිකට් මැච් ගැහිල්ල

මේ දිනවල ආදිවාසී ක්‍රිකට් ගැහිල්ලක් බෝ වී තිබේ. මේ ක්‍රිකට් රැල්ල හැදුවේ මාධ්‍යවලිනි. මාධ්‍යවලින් දෙන ඕනෑ රැල්ලක් වැළඳ ගන්නට සූදානම් අපේ පාරිභෝගිකවාදී සමාජය ආදිවාසී ක්‍රිකට්වලට මාකට් එකක් හදා දුන්නේ ය. 

අපේ ටවුමේද දිනක් මේ ක්‍රිකට් තරගයක් තිබිණි. එක්තරා ඇඟලුම් කම්හලක් ආදිවාසීන් සමග ක්‍රිකට් මැච් එකක් ගැහුවේ ය. මා එ් පිටිය අසලින් යන ‍මොහොතක වර්තමාන වාසීන් දෙපිරිසක් අතර ක්‍රිකට් තරගයක් තිබිණි. ආදි වාසීන් සමග තරගය තිබෙන්නට ඇත්තේ උච්චතම අවස්ථාවේ ය. ඒවා බලන්නට තරම් වැඩකට ගත නො හැකි කාලයක් අපට නැත. 

ආදි වාසීන් ක්‍රිකට් ගහන එක ගැන ඔවුන්ගේ සංස්කෘතිය භාර සංස්කෘතික ඇමතිවරයා උරණ වී ඇති බව ද පසුගිය දිනවල වාර්තා විය. අද දිවයිනේ පුවතක වාර්තා වන්නේ ආදි වාසීන් හා නළු නිළියන් අතර ක්‍රිකට් තරගයක් පවත්වන්නට යන බවකි. ඒ සඳහා රුපියල් ලක්ෂයක් අය කරන බව ආදි වාසී ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා තිබේ. ඇත්තට ම සතුටු ය. 

වැදි ජනතාව භාණ්ඩ හුවමාරුව වෙනුවට මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කර දැන් බොහෝ කාලයකි. වර්තමාන ලෝකයේ යම් පිරිසක් ආදි වාසීන් ලෙස ම සිටිය යුතු යයි නියම කරන්නට කාටවත් බැරි ය. තමන්ගේ සංස්කෘතිය ගැන තීරණය කිරීම ඔවුන්ට භාර ය. එහෙත්, නවීන ලෝකයේ කිසිවකුට සෙසු සමාජයන්ගෙන් පූර්ණව හුදකලා වූ ජීවිත ගත කරන්නට බැරි ය. බලහත්කාරයක් වුවත්, ලෝක සම්මතයන්ට, සදාචාරයන්ට අනුගත වන්නට ආදි වාසීන්ට වුව සිදු වේ. උදාහරණයක් ලෙස දැන් ලංකාවේ වැදි ජනයා අතර වුව බාල වයස්කාර විවාහ ළමා අපචාර ලෙස සැලකේ. බාල වයස්කාරියක සමග එකට ජීවත් වීම නිසා වැදි තරුණයකුට නඩු පවරන ලද පුවතක් පසුගිය දිනවල වාර්තා විය. 

ආදි වාසීන් ලෙස අප හඳුන්වන්නේ මෑතක් වන තෙක් ම ලෝකයේ නූතන යයි සම්මත සමාජ ජ‍ීවිතවලට හැඩ නො ගැසුණු ජනතාවන් ය. භූගෝලීය හා වෙනත් හේතු නිසා මුළු ගැන්වී ජීවත් වූ මේ ජනතාව ද දැන් විශ්ව ගම්මානය වෙත පිවිස හමාර ය. විශේෂයෙන් ම ඔවුන්ගේ ජීවිත සංචාරක ආකර්ශනයක් වීම නිසා ඔවුන් නවීන ලෝකයට විවෘත වන්නේ අපූරු ආකාරයකට ය. 

නවීනත්වය ඔවුන් වෙත වේගයෙන් කඩා වදින මුත්, එය වැළඳ ගැනීම සඳහා සිය ප්‍රාථමික ලක්ෂණ තව දුරටත් රැක ගන්නට ඔවුන්ට සිදු වේ. උදාහරණයක් ලෙස ලංකාවේ වැදි ජනයා උඩට ඇඳුම් නො ඇඳ, සරොං ඇඳගෙන, මුදලට ක්‍රිකට් ගසති. 

ධනවාදය විසින් ආදි වාසීන් පූර්ණ කාලීන නළුවන් පිරිසක් බවට පත් කර තිබේ. ඔවුන්ට තිබෙන්නේ ආදි වාසීන් ලෙස රඟන්නට ය. හරියට අර වසන්ත බංඩාර සැපගන්නාරාළ ගොවිරාළට අඳිනවා වගේ ය. 

මෙහි තිබෙන ගැටලුව වන්නේ මේ ආදි වාසීන් හුදෙක් මුදල් සෙවීමට මිස නවීන ජීවිතයේ ‍අධ්‍යාපනය, උසස් වින්දනය වැනි වෙනත් අංශ වෙත යොමු නො වීමයි. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව හෝ ප්‍රෝඩාකාරී නළුවන් නො වී නවීන මිනිසුන් වන තැනට වැඩ කළ යුතුව තිබේ. ආදි වාසී සංස්කෘතිය නවීන සංස්කෘතිය සමග මුසු වී අලුත් සංස්කෘති නිර්මානය වනු ඇත. දුනු ඊතල හා කෙටේරි කටුගෙයි තැබිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-12-05

මිනීමරුවන්ටත් මානව හිමිකම් තිබේ

කැටයම් චින්තකගේ අම්මා ද අම්මා කෙනෙකි
කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි.

කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ. 

කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇහැලේපොළගේ පවුල ම‍රා දැමීම පවා සිදු වන්නේ යම් නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ය.

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මැරූ පුද්ගලයෝ සිව්දෙනාම මිය ගිය ආකාරය ගැන කටවල් අඹර අඹරා ලස්සන කතා හදා කියන්නට පුළුවන. එහෙත් සිදු වන්නේ කුමක් ද යන්න සියල්ලෝ ම දනිති. 

කඹුරුපිටිය ගම්වාසීන් ජනමාධ්‍ය කැමරා ඉදිරිපිට කිරිබත් උයා කෑවේ මේ වනචාරිත්වය අනුමත කිරීමට ය. අංගුලිමාලගේ අම්මා ගැන බණ අසන සමාජයේ මිනිස්සු කැටයම් චින්තක ජීවත් වූ දිළිඳු නිවස ගිනි තබා ඇය මහ මගට ඇද දමා ලොකු ආතල් එකක් ගත් හ.

කැටයම් චින්තකත් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔවුන්ට ද අසන්නට ලැබෙන්නේ සිය පියාගේ බිහිසුණු මරණයයි. සමාජය ඒ මරණය සමරන ප්‍රීතියයි. 

කැටයම් චින්තක බෞද්ධයකු බව දැන ගන්නට තිබේ. ඔහුගේ පාංසකූලයට කිසිදු හාමුදුරු නමක් පැමිණ නැත. පැමිණියේ නම්, අනතුරට ලක් වන්නට ඉඩ තිබුණු නිසා ද විය හැකි ය. 

කැටයම් චින්තක ද ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරියා ජීවත් වූ ගමේ ම ජීවත් වූ අයෙකි. ඔහු මැරවරයකු වන්නට පුළුවන. මෙම මිනීමැරුම කළා වන්නට ද පුළුවන. එහෙත්, ඔහුට ද කියන්නට කතාවක් තිබෙනවා විය හැකි ය. 

කැටයම් චින්තක යනු ජනමාධ්‍යවලට නම් අති භයානක, කෲර මිනීමරුවෙකි. එහෙත්, ඇත්තම කියනවා නම්, ඒ පැත්තේ වැඩි දෙනෙක් ඒ මිනිහා ගැන දන්නේ කොළඹ ජනමාධ්‍යවලින් ඔහු ගැන කී දේ පමණි. 

මේ අන්දමින් ඔබ දන්නා ඕනෑම කලහකාරී පුද්ගලයෙක් යක්ෂයකු බවට පත් කර සමාජ වෛරයට ලක් කරන්නට ජනමාධ්‍යවලට පුළුවන. අවශ්‍ය වන්නේ යම් සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ චෝදනාවක් පමණි. 

මෙහි භයානක ම තත්වය වන්නේ මානව හිමිකම් සංවිධාන පවා මෙම තත්වය පිළිබඳ මුනිවත රැකීමයි. 

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මරා දැමූ මිනීමරුවනුත්, කැටයම් චින්ත‍කගේ බිහිසුණු මරණය දැක කිරිබත් කෑ මිනිසුනුත් අතර මම නම් කිසිදු වෙනසක් නො දකිමි. දෙපිරිස ම එක සමාන ම්ලේච්ඡයෝ වෙති. කොහොමත්, ශිෂ්ටත්වයත්, ම්ලේච්ඡත්වයත් අතර තිබෙන්නේ කෙස් ගසක වෙනසක් බව මගේ අදහසයි. 

ශිෂ්ට සමාජයක් දණ්ඩනය භාවිතා කරන්නේ නිවැරදි කිරීම පිණිස ය. සතුටු වීම පිණිස නො වේ.

හෙට ඔබේ අතින් හෝ ඔබ දන්නා හඳුනන වෙනත් කෙනෙකු අතින් යම් වරදක් සිදු විය හැකි ය. ඔබව විනිශ්චය කිරීම ජනප්‍රිය මතයට භාර දෙනවා ද නැතිනම් අධිකරණයට භාර දෙනවා ද යන්න ඔබ තීරණය කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com