2014-01-01

කුරුළු හදවත ගල් හදවතකින් ලියැවුණ බොල් පොතක් ද?

ලියන‍ගේ අමරකීර්ති විසින් ලියන ලද කුරුළු හදවත නවකතාව රන්ජන් අමරරත්න හඳුන්වන්නේ ගල් හදවතකින් ලියැවුණ බොල් පොතක් ලෙසයි. ඔහු අමරකීර්තිගේ නවකතාව නිර්දය විවේචනයකට ලක් කරයි. අමරකීර්ති එය සිය පොතට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනු දුටිමි.

එහෙත්, අමරරත්නගේ ප්‍රහාරය මා සිතූ තරම් අවර ගනයේ එකක් වූයේ නැත. ඔහු සරළ ප්‍රශ්න දෙකක් මතු කරයි.

(I) එක්තරා කාලයක වූ සිදුවීම් වැලක් එලෙස ම දෙසාබෑම නවකතාවද?

(II) සියුම් චරිත නිරූපණයකින් තොරව සාර්ථක නවකතාවක් ගොඩනැඟිය හැකි ද?

කුරුළු හදවතේ චරිත නිරූපණය පිළිබඳ අවධානය යොමු කරන කල එහි චරිත සියල්ලේ ම පාහේ කිසියම් භාවාතිශය ලක්ෂණයක් තිබෙන බව මට සිතේ. එ්වා අප හින්දි චිත්‍රපටවල දකින ආකාරයේ චරිත ය. රන්ජන් අමරරත්න මුත්තු අත්තා හැඳින්වීම සඳහා යොදා ගන්නා 'වාණිජ චිත්‍රපටවල එන විකටයා' යන යෙදුම ඔස්සේ මෙම කරුණ පැහැදිලි කර ගත හැකි ය.

එහෙත්, මෙම භාවාතිශය ලක්ෂණය අමරකීර්තිගේ නවකතා කලාවේ ලක්ෂණයක් ලෙස හෝ ඔහුගේ ශෛලිය ලෙස සැලකිය හැකි ය. ඔහුගේ චරිත නිරූපණය යම් දුරකට කැමරාවකින් හසු කර ගත් චලන බඳු ය. එයින් අදහස් වන්නේ ඒවා යම් ආකාරයකට මතු පිට සීමාව විනිවිද නො යන බවයි. පැරණි සිංහල සාහිත්‍යයේ ද, චාල්ස් ඩිකන්ස් වැනි නවකතාකරුවන්ගේ කෘතිවල ද මෙම ලක්ෂණය දක්නට ලැබේ. එහෙත්, නූතන සාහිත්‍යය ජීවිතය සියුම් ලෙස විනිවිදීමේ මෙවලම්වලින් බුහුටි ය. එහෙයින් අමරරත්නගේ තාක්ෂණික ප්‍රශ්න කිරීම සාධාරණීකරණය කරන්නට පුළුවන.

එහෙත්, එම කරුණ අදාළ වන්නේ සාහිත්‍ය විනිශ්චයන්ට මිස කෘතියට නො වේ. සාහිත්‍ය විනිශ්චයකරුවන් සිය වැඩ පෙන්වනු ඇත්තේ අගෝස්තු මාසයෙන් පසුවයි. රන්ජන් අමරරත්න ද තමන්ට සාහිත්‍ය විනිසුරු භූමිකාව සඳහා සුදුසුකම් ඇති බව පෙන්වා තිබේ. ඔහු ලියන ලේඛන ඔහුගේ අයදුම්පතේ ඇමුණුම් වන්නට පුළුවන.

එහෙත්, කෘතිය විසින් මතු කරන සංදර්භීය සංවාද ඉදිරියට ගෙන යාමට නවකතාවේ තාක්ෂණික කාරණා පිළිබඳ සංවාදය අදාළ නො වේ.

ශාන්ත මේ රෑ යාමේ - අඳුරේ කල සංවාදය මැයෙන් ධම්මික ප්‍රසාද් තේනුවර කළ බූන්දි වෙබ් අඩවියේ පළ කළ විචාරය වඩා මැදහත් එකක් විය හැක්කේ එතැනදී ය.‍ ඔහුගේ විචාරයේ එක් තැනක මෙසේ සඳහන් වෙනවා:

"කුරුලුගේ ඇතුලාන්තය නවකතාව තුල කොතනකදීවත් ගැඹුරින් හෙලිදරව් නොවූවත් එතැන් සිට ඔහුගේ මරණය දක්වාම ඔහු ගතකරන අතෘප්තිකර දෙබිඩි ජීවිතය මෙකී සංවාද ඔහුගේ මනස තුල සක්‍රීය වූ බයට ඉඟි කරනවා. ද්‍රෝහියෙක් වෙලා සිටිය වීරයාව වීරයා හා ද්‍රෝහියා භූමිකාව තුල දෝලනය වන්නේ මෙම සිදුවීම් ජාලය හා සමඟයි. කුරුලු නොදැනුවත්වම හසුවූ යාන්ත්‍රනයෙන් ඔහුට ගැලවීමක් නැහැ. එතෙක් තෘප්තියකින් ඔහු ජීවත් කල කුරුලු කිචිබිචිය අදෝනාවක් වි ඔහුටම ඇසෙන නිමේශයක අඩ නිදිරැයක ඔහු වල්මත් වෙනවා. වරෙක ඔහු කුරුලුට පන දෙනවා. තවත් වරෙක සරත්ගේ හා මුත්තු අත්තාගේ අබියස ගොලුව සිටිනවා. ඒ ඇසුරින් වලංගංගොඩ කුරුලුගංගොඩක් කරන්න වෙහෙස වූ, ගුවන් විදුලියට පෝස්කාට් යැවූ දිනසිරිගේ අහිංසකත්වය යලි හිස ඔසවනවා. ඇද වැටෙනවා.

සරත් හා දිනසිරි අතර අඳුරේ මතුවන සංවාදය කෘතියේ උච්චස්ථානය ලෙස මට දැනෙන්නෙ මේ නිසා. එය කොතරම් ඍජු දේශපාලන මැදිහත් වීමක් වුවත් කෘතියේ ඒ හා නොදෙවනි ප්‍රබන්ධමය ගුණය, සජීවී භාශාව පරිකල්පනීය සිදුවීම් මාලාව ඊට ඍජු ලෙස නැගෙන්නට ඉඩ දෙන්නෙ නැහැ. නවකතාව විශිශ්ට වන්නේම ඒ නිසයි. දේශපාලනික අරුත් පණගැන්වෙන කොයියම්ම මොහොතක වුවත් කතුවරයා ප්‍රබන්ධමය සාරය ද අත් හරින්නේ නැහැ."

ඔහු කියන මේ සංවාදත් අමරකීර්තිගේ නවකතා කලාවේ එක් ලක්ෂණයක්. අමරකීර්ති විවිධ චරිත හරහා ඍජුවම සිය ප්‍රවාද හා ප්‍රතිවාද ඉදිරිපත් කරනවා. ‍කලින් කී ලක්ෂණය වගේ ම මේ ලක්ෂණයත් අමරකීර්තිගේ නවකතා ජනප්‍රිය කරන්නට ඉවහල් වෙලා තිබෙනවා. ඒ නිසායි, එම සංවාදය නවකතාවේ කූටප්‍රාප්තිය ලෙස තේනුවරට පෙනෙන්නේ.

මෙතැනදීත් නැවතත් තාක්ෂණික සංවාදයකට එළඹෙන්න පුළුවන්. ඒ තමයි, නවකතාව කියන්නේ චරිත හරහා මෙවැනි සංවාද ඉදිරිපත් කිරීම සඳහා සිද්ධි පෙළ ගැසීම ද කියන එක. හරියට පියදාස සිරිසේනගේ ජයතිස්ස හා රොසලින් වගේ.

කෙසේ වෙතත්, අමරකීර්ති ස්පර්ශ කරන්නේ අතිශය සංකීර්ණ සමාජ සංසිද්ධියක්. එහි සංකීර්ණත්වය නිසා ම එය කිසි කෙනෙකුට පූර්ණ අන්දමින් ස්පර්ශ වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස ගත්තා ම මුළු ජීවිතය ම එහෙම නේ. කොයි කලාකාරයා ද ඒ සංකීර්ණ සංසිද්ධිය මිටින් ගෙන අල්ල විදහා පෙන්වනවා වගේ අපට පෙන්වලා තිබෙන්නේ. කවුරුත් කරන්නේ තම තම නැණ පමණින් තමන්ටගේ දෘෂ්ටි කෝණයට හසු වන ආකාරයට ජීවිතය විවරණය කරන්නට උත්සාහ කිරීමයි. ඔහු ‍එය කරන ආකාරයේ තිබෙන හොඳ ලක්ෂණ නිසා අපට ඒ ගැන සංවාද කරන්නට පුළුවන්. අමරකීර්තිගේ නවකතාත් එහෙමයි.

අමරකීර්තිගේ විෂය පථය වන්නේ ධනවාදයේ චලනය හා ජනමාධ්‍ය මැදිහත් වීමයි. කුල පීඩනයෙන් හා දරිද්‍රතාවෙන් බැට කන ග්‍රාමීය සමාජයක ධනවාදයේ බලපෑමෙන් සිදු වන විපර්යාසය අමරකීර්ති කිසියම් ආකාරයකට කටු සටහන් කරනවා. මෙතැනදී මම කටු සටහන් කරනවා යයි කීවේ, අමරකීර්තිගේ නවකතා කලාව විසින් කරන කාර්යය වන්නේ එසේ කටු සටහන් කිරීම වන නිසා. මන්ද, ඔහු ගැඹුරු චරිත නිරූපණයට වඩා පාර්ශ්වික චරිත නියෝජනය සිය කලාව කරගෙන තිබෙන නිසායි.

ඒ වගේ ම අමරකීර්ති කටු සටහන් කරන තවත් දෙයක් තමයි, ජනමාධ්‍යවල නැගීම. ඔහුගේ අවධානයට හසු වන්නේ සමාජ මාධ්‍යවල නැගීමට පෙර, ජනමාධ්‍ය රාජ්‍ය ආධිපත්‍යයෙන් මිදී වානිජකරණය වෙමින් තිබුණ යුගයයි. ඒ කියන්නේ දුක්ගන්නාරාළලා වගේ මාධ්‍ය පඹයන් කුඹුරට බැස්සවූ යුගයයි. භාතිය සන්තුෂ් වැනි දුර්වල ගායනා පෞරුෂයන් දැවැන්ත ප්‍රාසාංගික ව්‍යාපාරිකයන් බවට පත් කළ යුගයයි. ධනවාදය සිය පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස ජාතිවාදය සමග සහවාසයට යමින් සමාජ පසුගාමිත්වය හා අතීතකාමය උත්කර්ෂයට නැංවූ යුගයයි. නාගරික ජීවිතය නම් යථාර්ථය මත ගම නමැති ෆැන්ටසිය පැළ කළ යුගයයි.

විවෘත ආර්ථිකයට පෙර අවසාන දශකය ලෙස හඳුන්වන්නට පුළුවන් හැත්තෑවේ දශකය කියන්නේ අමරකීර්තිලාගේ පරම්පරාවේ රොමැන්තික අතීතකාමයක්.ඒ කාලෙ තමයි මාර කාලෙ වගේ සංස්කෘතික ආකල්පයක් ඒ යුගයේ කලාකරුවන්ගේ කෘතිවලින් නිරූපණය වෙනවා ඇතැම් විට දකින්න පුළුවන්. ගම ගැන අතීතකාමයත් බොහෝ දුරට පදනම් වන්නේ හැත්තෑව දශකය මතයි. මම හිතන්නේ ඒ පරම්පරාවේ අය තමයි, අන්තිමට ගමක ජීවත් වුණේ. හරිත විප්ලවයත් එක්ක කුඹුරුවලට තෙල්, පෝර ගැහිල්ල පටන් ගන්නවාත් එක්ක ම මම හිතන්නේ ගම අවසන් වුණා. 

අමරකීර්ති, දිනසිරි කුරුළුගංගොඩ හා ජනමාධ්‍ය කුරුළු අතර ද්විමය ඔස්සේ අපට කියන්නට හදන්නේ මේ විපර්යාසයේ කතාවයි. අනෙක් පැත්තෙන් ජනමාධ්‍ය ලිබරල්කරණයත් එක්ක ප්‍රේමකීර්තිලාගේ, සුමනා නෙල්ලම්පිටියලාගේ, කුසුම් පීරිස්ලාගේ, ධර්ම ශ්‍රී වික්‍රමසිංහලා‍ගේ සොඳුරු ආධිපත්‍යයික ප්‍රචණ්ඩත්වය මැඩගෙන වඩා පුළුල් වානිජවාදී මාධ්‍ය සමාජයක ප්‍රචණ්ඩ මැදිහත්වීමේ නැගීමත් අමරකීර්ති අතින් කටු සටහන් වෙනවා. හැබැයි, මේ මාධ්‍ය අවකාශයන් දෙක අතර ගැටුම හා පැරණි පරපුරේ අභාවයාගේ අභාවය සිදු වන ආකාරය අමරකීර්තිගේ විෂය පථය තුළ ඇත්තේ ම නැහැ. ඒ කියන්නේ කලින් ප්‍රේමකීර්තිලාගේ ලෝකයේ මිළ දී ගන්නන් වී සිටි දිනසිරිලා පසු කලෙක ඔවුන්ට වඩා හොඳ වෙළෙන්දන් වීමේ හා ප්‍රේමකීර්තිලාගේ පරම්පරාවට කඩය වසන්නට සිදු වීමේ කතාවයි. අමරකීර්ති සමාජ ප්‍රශ්න හසු කර ගන්නේ විදා හළ ඇඟිලි සහිත අත්ලකින් ගං පතුලක වැලි මිටක් ගන්නවා වගේ. ඔහුගේ අතේ රැඳෙනවාට වඩා බොහෝ දේ ගිලිහී යනවා.

කුරුළු හදවතේ සමාජ ආඛ්‍යානය ප්‍රබල එකක් නො වන්නේ ඒ නිසායි. සිද්ධි තුළින් මතු නො වන ගැටුම් මතු කරන්න සංවාද මතු කර ගන්න අමරකීර්ති චරිතවල කටට වචන ඔබනවා. වැඩේ කියන්නේ මෙය අද තේනුවරලාගේ පරම්පරාව ආශා කරන සාහිත්‍ය ලක්ෂණයක් වෙලා. පියදාස සිරිසේන යුගයේත් ලංකාවේ මිනිස්සු මේ දේශනා කලාවට ඇලුම් කළා. වර්තමාන සිංහල සාහිත්‍යයේ මහා නවකතාකරුවා ලෙස උඩ දමනු ලබන ගුණදාස අමරසේකරත් මේ අන්දමින් එක්, එක් චරිත ලවා දේශනා පවත්වනවා. මම නම් හිතන්නේ නවකතාව සංවාද ගොඩනැගිය යුත්තේ සිද්ධි ඔස්සේ මිස සංවාද ඔස්සේ නෙමෙයි.

අමරකීර්තිගේ භාෂාව හඩු බසකැයි අමරරත්න කියනවා. මේ සුචරිත ගම්ලත් වැනි අය විසින් නිර්මානය කරන ලද ප්‍රලාපයක්. ලෝකේ කොහේ ද භාෂාවන් වෙනස් නො වී තිබෙන්නේ. අමරකීර්තිගේ භාෂාව ඔහුගේ ශෛලිය. සුචරිත ගම්ලත්ලා මාටින් වික්‍රමසිංහ නවකතා පළ කරපු කාලේ හිටියා නම් ඒ භාෂාවත් හඩු බසකැයි කියන්න තිබුණා. මොකද, වික්‍රමසිංහ කියන්නේත් භාෂාව වන්දනා කරපු කෙනෙක් නො වෙයි නේ. ඔහු ව්‍යාකරණ පවා ඒ තරම් හිස් මුදුනින් ගත්තේ නැහැ. 

කුරුළු හදවත මම මෑතදී තරමක් ආශාවෙන් කියවූ පොතක් බවත් සටහන් කළ යුතුයි. හැබැයි ඉතින් අන්තිමේදී ස්වප්න මෝචනයෙන් ලැබෙන වින්දනය වැනි දෙයක් තමයි, බොහෝ සිංහල නවකතාවලින් අවසානයේදී ඉතිරි වන්නේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

11 comments:

  1. // මෙතැනදී මම කටු සටහන් කරනවා යයි කීවේ, අමරකීර්තිගේ නවකතා කලාව විසින් කරන කාර්යය වන්නේ එසේ කටු සටහන් කිරීම වන නිසා. මන්ද, ඔහු ගැඹුරු චරිත නිරූපණයට වඩා පාර්ශ්වික චරිත නියෝජනය සිය කලාව කරගෙන තිබෙන නිසායි. //

    //ඒ කියන්නේ දුක්ගන්නාරාළලා වගේ මාධ්‍ය පඹයන් කුඹුරට බැස්සවූ යුගයයි. භාතිය සන්තුෂ් වැනි දුර්වල ගායනා පෞරුෂයන් දැවැන්ත ප්‍රාසාංගික ව්‍යාපාරිකයන් බවට පත් කළ යුගයයි. //

    සැප ගන්නා රාළයි, භාතිය සන්තුෂ් බානයිත් සමහර විට ගැමි කමේයි සංගීතෙයි "කටු සටහන්" කිරීමද දන්නෑ නෙ පැරා එයා ල ගෙ භාවිතාව කරගෙන තියෙන්නෙ? ඒක නිසා ඔහොම "දුර්වල" කියන්නෙ නැතුව අමරකීර්තිට බෙදන හැන්දෙන් ම ඒ අයටත් බෙදමු ද?

    ReplyDelete
  2. /* වර්තමාන සිංහල සාහිත්‍යයේ මහා නවකතාකරුවා ලෙස උඩ දමනු ලබන ගුණදාස අමරසේකරත් මේ අන්දමින් එක්, එක් චරිත ලවා දේශනා පවත්වනවා. */

    මතක් කරන්න එපා!

    අර ගමනක සැට් එකේ අන්දිම එකේ මුලින් ටීවී නිවුස්, ඊට පස්සේ විමසුම. ඒ මදිවට පොර කතාවලින් පොරට ඕනෑ විදියට ඉතිහාසය අමු අමුවේ විකෘති කරනවා.

    ReplyDelete
  3. ප්‍රස්තුතයට අදාළ නැතිව පුද්ගලයන්ට මඩ ගැසීමේ එකම අරමුණින් දමන කමෙන්ට් ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  4. මේ පොත කියවූ අයෙක් මේ ලිපිය බලා නැතිවා වගේ. මා ද මෙය කියවා නෑ.

    මං අමරසේකර ගැන ලියා ඇත්දේ නම් මඩ නොවේ. මගේ විවේචනයයි.

    ReplyDelete
    Replies
    1. මා ඉහත සටහන තැබුවේ ඔබට මඩ ගැසීම සඳහා තබන ලද සටහනක් ඉවත් කිරීමෙන් පසුවයි. මෛ සටහන ඔබගේ විවේචනයට අදාළ නැත. එම කරුණ සමග මම ද එකඟ ය.

      Delete
    2. සයිලන්ට් සහන් කියන එකා තමා කකාට ගහන්නේ....

      Delete
    3. ගහන්නෙපා අපෙ කකාට....
      බනින්නෙපා....
      කොමෙන්ට් එකක් මෙහි දාලා ඇත්තේ...
      හිට් මල්ලක් ලබන්නයි...

      Delete
    4. පල ඇති රුකට ගල් වදීයි

      Delete
    5. මට බැනීම සමහරුන්ට ඔවුන්ගේ රෝග තාවකාලිකව හෝ නිවාරණය කරන තෙරපියක්.

      Delete
  5. කුරුළු හදවත කියන්නේ මෑත කාලයේ මම කැමැත්තෙන් කියවපු පොතක්. මේ පොතට ගැඹුරක් නැහැ කියන අදහස කිහිප දෙනෙක්ම කිව්වා. මම නවකතා විචාරය දන්නා කෙනෙක් නෙමේ. නමුත් පාඨකයෙක් හැටියට නිරීක්ශ්න කිහිපයක් කියන්න පුළුවන්.
    මෙය සරල තේරුම් ගැනීමේ හැකියාවක් ඇති අයකුට උවත් හුවමාරු වෙළඳපොලේ ශ්‍රව්‍ය මාධ්යේ සිදුවන යුග වෙනස සහ සුරාකෑම ගැන යම් අදහසක් ඉගෙන ගන්න පුළුවන්. එවගේම වර්තමානයේත් අත්විදින කුල පීඩනය සහ නගරයට එන නාගරික වන ගැමියා පිලිබඳ ඛේදවාචකය ගැන, ආදරය ගැන තේරෙන විදියට කතා කරනවා.
    මුත්තු අත්ත විකටයෙක් නෙවේ. ඔහු වැනි අත්තල මම ජීවත් උන පිටිසර පළාතේ හිටිය. පහුගිය කාලෙක ඒ පැත්තේ ගියාම එක්කෙනෙක්ව මුණගැහුන. කොන්දේ බැඳලා උඩුකය නිරුවත්ව බුලත් විටක් හප හප හිටිය. අපිට කවියක් කියල ගියා ගෑනු ජාතිය ගැන. (:
    අමරේ කියන ගම මම අත් විදපු ගමක්. හොඳ කුලේ සහ අඩු ජාතියේ අය වෙනම ජීවත් වෙන. යම් යම් සහ සම්බන්ද කම් දැනුන. ඒක පොත රහ වැටෙන්න එක හේතුවක්.
    මට නම් නව කතාවක් කියන්නේ entetainment. හැමෝම ෆ්‍රාන්ස් කෆ්කා වියයුතු නැහැ. සම්මාන දෙන්න හෝ ගන්න බලාගෙන ලිවියයුත්තෙත් නැහැ. සමාජ පෙරලියක් ගැන තේරෙන විදියට ලියන එක හොඳයි. නවකතා කියවන්නේ නගරයේ ජීවත් වෙන උගත් මද්යම පන්තිකයින් විතරක් නෙවේනේ. පහුගිය කාලේ අජිත් ඉදිරිපත් කල සමාජවාදී විදියට ජීවත් වීම ගැන සරල හිතීම වගේ මේකෙත් සරල බවක් තියෙනවා. නමුත් අමරේ රස විදින්න පුළුවන් විදියට ලියනවා. ඒක මට අනුව හොඳ දෙයක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.