2014-01-19

පාක්‍යසෝති සරවනමුත්තු ‍ඩොලර් විසිපහක් ඉල‍්ලා ලියමනක් එවා ඇත

අලුත් අවුරුද්දට සුබ පතන්න ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ උතුරුමැද හිටපු මහ ඇමතිටත් අලුත් අවුරුදු සුබපැතුමක් යැව්වා කියා ආරංචියි. ‍හැබැයි පර ලෝකෙට නෙමෙයි, අනුරාධපුරේ මහ ඇමතිගේ ගෙදරට.

මටත් ඔය වගේ එකක් ලැබුණා පහුගිය දවස්වල. ඒක එවලා තිබුණේ පාක්‍යසෝති සරවනමුත්තු මහත්තයා. ඒ මහත්තයා විධායක අධ්‍යක්ෂ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ. ලියුම එවලා තිබුණේ ඒගොල්ලන් කරන වැඩවලට උදව් කරන්න ය කියලා.

ඔවුන් මට අවස්ථාවක් දී තිබෙනවා කැමති නම් මුළු ජීවිත කාලෙටම එක පාරක් ඩොලර් 2000ක් දෙන්න. නැතිනම්, අවුරුද්දකට ඩොලර් 500ක් දෙන්න. එහෙමත් නැතිනම් මාසෙකට ඩොලර් 25ක් දෙන්න. ඇත්තෙන්ම මාර අවස්ථාවක්.

ඒ වුණාට මගේ ගුරු පඩිය ගෙඩි සුපියල් විසිපන්දාහකට අඩු නිසා මට පුළුවන් අර මාසෙට ඩොලර් 25 ගානෙ දෙන්න විතරයි. හැබැයි ඒකත් මගේ පඩියෙන් දහයෙන් පංගුවකටත් වැඩි නිසා මං මේ කල්පනා කර කර ඉන්නේ ටියුසන් පාරක්වත් කරලා මේක ගෙවනවද කියලායි.

ඇත්තෙන්ම, මම හිතන්නේ මේ ඊමේල් එක එන්න ඇත්තේ වැරදිලා. මීට ටික කාලකෙට උඩදි හිරු කණ්ඩායමේ හිටපු හීරෝලා දෙන්නෙක් මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ව්‍යාපෘතියක හිටියා. බුදු අම්මෝ උන් බීපු බීම! ‍එච්චර සල්ලි තියෙන තැනක අැත්තෝ මේ අපි ව‍ගේ හිඟන්නන්ගෙන් සල්ලි ඉල්ලයි යැ.

රාජ්‍ය නොවන සංවිධානවල ඉන්න උදවිය දෙයියනේ කියලා කාලා ඇඳලා හුඟක් වෙලාවට හවසට ව්‍යාපෘති අරමුදලෙන් වංගුවක් ගහලා ඩ්‍රින්ක් එකකුත් ගන්නවා. ඕකට ඉතින් අපි කවුරුවත් ඉරිසියා කරන්න ඕනැ නැහැ. මොකද මෙහෙම ලියුං එව්වාට අපි කවුරුත් ඕවට සල්ලි දෙන්නෙ නැහැනේ. 

මේවට ‍සල්ලි දෙන්නේ සුද්දෝ. පිටරටවල අාණ්ඩුවලින්, දුප්පත් රටවලට උදව් කරන්න ය කියලා පිහිටුවා ගත්ත පුණ්‍යායතනවලින් එහෙම තමයි මේවාට සල්ලි දෙන්නේ. සමහර සුද්දෝ මේ සල්ලි දෙන්නේ දුප්පත් ගොවියකුට හ‍රකෙක් ගන්න එහෙම මේ සල්ලි යෙදවෙනවා ය අරවා මේවා හිතලායි.

2004 අවුරුද්දේ ආපු සුනාමිය නිසා රාජ්‍ය නො වන සංවිධානවලට 2005 අවුරුද්දෙ සල්ලි සුනාමියක් ආවා. ඔන්න ඉතින් ඔය හැම විදියක ම රාජ්‍ය ‍‍නො වන සංවිධාන සුනාමියෙන් විපතට පත් මිනිසුන්ට උදව් කරන්න ව්‍යාපෘති ලියලා අරමුදල් අනුමත කර ගත්තා. උදව් කරන්න ඉතින් වැල්ලට යන්න එපා‍යැ. ඒකට ගත්තා SUV. ව්‍යාපෘති පවත්වාගෙන යන්න කොළඹ හතෙන් ගත්තා කාර්යාලයක්. ඒකට බඩු මුට්ටු, කොම්පියු‍ටර් අරව මේවා. ව්‍යාපෘති මෙහෙයවන්න ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා. ඒ‍ගොල්ලන්ට පොෂ් සෙක්‍රට්‍රිලා. ඉතින්, ඕවට වියදම් කරනකොට සුනාමියෙන් අවතැන් වූ අයට වියදම් කරන්න සල්ලි ඉතිරි වුණේ නැහැ. ඒකයි වුණේ. වංචාවක් නෙමෙයි නේ. ආණ්ඩුවට වුණත් වෙලා තියෙන්නේ ඔය සන්තෑසියම තමයි.

කාලයක් අපිත් විවිධ සමාජ, සංස්කෘතික වැඩ කරන්න මේ රාජ්‍ය නො වන සංවිධානවලින් මුදල් ඉල්ලුවා. බුදු අම්මෝ ඒ ලාච්චුවකින් සුපියල් දාහක් ගන්න හත් අට පාර කාල් ගාන්න වුණා. හැබැයි පස්සෙ කාලෙක මං මේ රානොස සමහරකට කුලියට ප්‍රෝග්‍රස් රිපෝට් ලියනකොට දැක්කා, අර රුපියල් දාහවල් පවා මාකට් කරන ලස්සන. 

රානොස ඩොලර් නැති වුණත් සමාජ වැඩ කරන්න බැරි නැහැ. හැබැයි අපි අපව රැක ගන්න මහජන සහයෝගිතා පදනමක් ගොඩනගා ගන්න ඕනැ. ඉස්සර අපිත් එහෙම උදව් ඉල්ලුවා. සංවිධාන හදාගෙන, වෙබ් අඩවි පටන් අරගෙන, පොත් ගහගෙන, සම්මන්ත්‍රණ සංවිධානය කරගෙන, වැඩ කරන්න අපට උදව් කරන්න කියලා. දැනුත්, සමහරු අහනවා මොනවද කරන්න ඕනැ කියලා.ඒගොල්ලො දන්නවනේ අපි ඉතින් ඒ ප්‍රශ්නයට උත්තර නො දෙන බව. ඇත්තට ම එහෙම කවුරුවත් කාටවත් උදව් කරනව ද කියලා මම නම් දන්නෙ නැහැ. සමහර විට ඔය ආධාර උපකාර ලබා ගැනීමේ සයන්ස් එකක් ඇති. මම නම් දෙයියම්ප දන්නෙ නැහැ.

අපට යමක් කරන්න ඕනැ නම් අපි ඒක කරන්න ඕනැ. එහෙම නැතිව කවුරුවත් උදව් කරන කල් බලන් හිටියාට වැඩක් නැහැ. දැන් උදාහරණෙකට මම මේ බ්ලොගය ලියනවා. ඒ වෙනුවෙන් මුළු අන්තර්ජාලයමත් පීරනවා. රටේ ගමේ දේවලුත් හොයනවා. ලිවිල්ල වෙනුවෙන් මගේ කාලය, විදුලිය, ඩේටා ගාස්තු, කොම්පියුටර් අරවා මේවා වියදං වෙනවා. ඉතින් මං ඒව සපය ගන්න කම්කරුවෙක් විධියට වැඩ කරනවා. මං බුද්ධිමය කම්කරුවෙක්. මං කරන්නේ පරිවර්තන, ලියන කියන වැඩ එහෙම. ඒකෙන් උපයන මුදලින් මං මගේ පවුලත් නඩත්තු කරලා බ්ලොගත් ලියලා, තව වමේ පත්තරේකටත් ස්වේච්ඡාවෙන් වැඩ කරලා, ගමේ රටේ තව වැඩ ටිකකුත් කරනවා. මං කරන ගුරු රස්සාවත් මං සලකන්නේ දේශපාලන වැඩක් විදියට. මං ගුරු ජීවිතයක් ජීවත් වෙන්න උත්සාහ කරනවා. 

කට්ටියට මේවා ලොකු මදි ඇති. ඒ වුණාට මට ඉතින් පුළුවන් එච්චරයි. ‍නැතිනම් මගේ බැලන්ස් එක නැති වෙලා යනවා. ඒ නිසා මට ඒ ටික ඇති. ඕනෑවට වඩා කොරන්න ගිහිල්ලා, අරක වුණා, මේක වුණා, සීගිරි යන්න බැරි වුණා, ඒ නිසා මාව බලා ගනිල්ලා කියලා සමාජයෙන් ඇරියස් ඉල්ලන්න ඕනැ නැහැනේ.

දවසට පැය දහඅටක් විතර වැඩ කරන එක ලේසි නැහැ. ඒ නිසා ඉස්සර වගේ ඔය කොළඹ කතා සාප්පුවලට යන්නත් දැන් වෙලාවක් නැහැ. ඒ නිසා සමහරු කියන්නේ දැන් මිනිහ වැඩ නැහැ කියලායි. ඇයි, අපි දැන් උන්ගෙ කතා අහන්න එන්නෙ නැහැ නේ. 

මේ අතරෙ වැඩිය කොලෙස්ටරෝල් කන්න සල්ලි නැති නිසා, හවසට වතු වැඩත් කරන නිසා සහ ඩ්‍රින්ක් එහෙම ගන්නත් සල්ලි නැති නිසා ශරීර සෞඛ්‍යයත් නරකම නැහැ. 

මං හිතන්නේ සමාජ වැඩ කරන්න බටහිරින් අරමුදල් ලබා ගන්න රාජ්‍ය නොවන සංවිධාන පසුපස යන එක යල් පැන ගිය ක්‍රමයක්. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ ක්ෂුද්‍ර හා මහේක්ෂ තලයේ වැඩ දෙකක්. 

ක්ෂුද්‍ර තලයේදී තමන් වැඩ කරලා උපයන මුදලින් යම් ප්‍රතිශතයක් සමාජ වැඩට යොදන්න පුළුවන්. මං කරන්නේ ඒක. මං ඒ ගැන හරි ආඩම්බරයි. මට ෆන්ඩ් කරන්නේ මංමයි. මං තමයි ඩොනර්. මංම තමයි සෝෂල් වර්කර්.

අනෙක, මහජන අරමුදල් රැස් කරලා සමාජ වැඩ කරන එක. මං හිතන්නේ ජවිපෙ සමාජ ව්‍යාපාරයක් කාලේ මේ දේ කළා. ඒක මහේක්ෂ වැඩක්. මං ඒවට දක්ෂ නැති නිසා අපි ඕවට නැහැ.

ඉතින් මං මේ ටික ලිව්වෙ මොකද දන්නවාද? මං කියනවානේ අපි සමාජවාදී ජීවිතයක් සෙවිය යුතුයි කියලා. මේ මගේ එක්ස්පරිමන්ට් එක.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

11 comments:

  1. ‘මේවා දකින අපට නම් අප්‍රමාණ ප්‍රීතිය. රූප සුන්දරියන්, නගර සෝභිනියන්, මිනීමරුවන්, හරක්‌ හොරුන්, කුඩුකාරයන් සහිත ජනතා නියෝජනයට අඩු වී තිබුණේ හොඳ කට්‌ටඬියෙක්‌ පමණය. දැන් ඒ අඩුවත් පිරෙන්නේය. මේ කට්‌ටඬියාව වැඩිම මනාප සහිතව මීට පෙරත් තේරූ මේ රටේ බුද්ධිමත් ඡන්ද දායක ජනතාව මෙවරත් තම යුතුකම ඉටු කරන බව අපට විශ්වාසය. අපේ ඡන්දදායකයා ස්‌වකීය නායකයන් තෝරා ගැනීමේදී එපමණකට විචක්‌ෂණය.

    ඇත්තටම රත්තරං හිටිය යුත්තේ පළාත් සභාවක නොවේ. රටේ ඇමැති පුටුවකය. එවිට ඔහුට අමාත්‍යංශයේම කොණක දේවාලයක්‌ තනාගත හැක. දැනට විෂ්ණු දෙවියන්ගේ ආවතේවකාර යෙක්‌ව සිටින ඔහුගේ සීයා සමග එක්‌වී රටට බොහෝ වැඩ කටයුතු කරදිය හැක. මහජන දිනයේදී අමාත්‍යංශයට පැමිණෙන ජනයාට ශාන්තිකර්ම කළ හැක.

    අනතුරුව ඉඩක්‌ ලද විට ඔහුට මාන්කුලම් කැලෑවේදී සිදුවූ බරපතළ මානසික කම්පනය නිසා පත්ව සිටින දුක්ඛිත තත්ත්වයට හොඳ මනෝ වෛද්‍යවරයෙක්‌ ලවා ප්‍රතිකාර ගත හැකිය.'

    අනුග්‍රහය - දිවයින

    ReplyDelete
  2. බුද්ධිමය කම්කරු පන්තියට ජයවේවා!
    ගෙවත්තේ සමාජවාදයට ජයවේවා!
    ස්වයංපෝෂිත සමාජවාදී ව්‍යාපෘතියට ජයවේවා!

    ReplyDelete
  3. අජිත් ඔයාගෙ ඔය සමාජවාදය ඔයාගේ බොරුවක්.සමාජවාදී නොවෙයි අඩුගනනේ දනවාදී ගුරුවරයෙක් ගැනහිතා බැලුවත් ඔයාගේ බොරුව බලාගන්න පුලුවන්.ගුරුවරයෙක් කියන්නේ ඉතා භාරදූර රැකියාවක්.ඔහු කොපමන වැඩ තමන්ගෙ සිසුන්ට කලයුතුද.හෙට දින පන්තියේ වැඩ සැලසුම් කල යුතුයි.තමන්ගේ සිසුන් ඉදිරියට ගැනීමට සැලසුම් කලයුතුයි. සිසුන්ගේ දුර්වලතා හදුනාගැනීම එම දුර්වලතා වලට පිලියම් යෙදීමත් ඇතුලුව. සමහර ගුරුවරුන් රෑ දොලහටත් තමන්ගෙ සිසුන්ට අදාලකරුනු ඔවුන්ගේ ගිනුම් වලට යවනවා.හැරී පොටර් දින කියවීම් සතිආදී වැඩ ඔවුන්ගෙ ජීවිතය ඉතා කාර්ය බහුලයි.ඒ ගුරු රැකියාවට අදාලවයි.ඔබ ඔබගේ සිසුන්ට අදාලව හොද ඉගැන්වීමක් කරනවා නම් ඔබට දහස් ගනන් බ්ලොග් ලියන්නට වෙලාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. I agree with u. For a real average teacher it is difficult to do many extra works, while well-directing all students. Earlier I also worked as a teacher. But with my current job I have no home work.

      Delete
    2. ඔබට ලංකාවේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනය ගැන අ‍වබෝධයක් නැති බවයි පෙනෙන්නේ. මෙතැන තිබෙන්නේ අධ්‍යාපන විද්‍යාව හා වෘත්තිකභාවය පිළිබඳ ගැටලුවකට වඩා සමාජ ආකල්ප පිළිබඳ ගැටලුවක්. ගුරුවරුන්ට අඩු පඩි ගෙවීම අනුමත කරන සමාජයත් මෙයට වගකිව යුතුයි. ඒ නිසා අපේ ප්‍රමුඛ කාර්යය ළමයින්ට හැ‍රී පොටර් කියවීම නෙමෙයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න දායකත්වය සැපයීම.

      ඔබ ඔය අධ්‍යාපනය යයි හිතන හැරී පොටර් කියවීම පන්නයේ වැඩේ කියන්නේ අනෙකා පාගාගෙන ගිහින් අනාගත සමාජ අවස්ථා උදුරා ගන්න තරග වැදීමේ ධනවාදී ක්‍රෑම මිසක් සැබෑ අධ්‍යාපනය නෙමෙයි.

      සැබෑ අධ්‍යාපනයෙන් බිහි කරන්නේ හැරී පොටර්ලා වීරයන් වන සමාජයක් නෙමෙයි. මිනිස්කමින් පිරි සමාජයකුයි.

      අධ්‍යාපනය කියන්නේ රෑ දොළහට ඊමේල් යවමින් ළමයින්ට වධ දීම නෙමෙයි. ඉගෙනීම සතුට ගෙන දෙන දෙයක් විය යුතුයි. එය ගුරුවරයාටත් සතුට ගෙන දෙයක් විය යුතුයි. මම කරන්නේ ඒක.

      මගේ ඉගැන්වීම් ගැන විනිශ්චය කළ යුත්තේ මගෙන් ඉගෙන ගන්නා සිසුන් මිසක් ඔබ නොවෙයි.

      Delete
    3. අජිත් මා කිව්වේ එය නොවෙයි.හැරී පොටර් උගන්නන ධනවාදී ගුරුවරයෙකු තරම්වත් ඔබ සාධාරනයක් ඉටුනොකරන බවයි.සැබැවින්ම ඔබ එය ප්රීකාශ කර තිබෙනවා
      .// ඒ නිසා අපේ ප්රඔමුඛ කාර්යය ළමයින්ට හැ‍රී පොටර් කියවීම නෙමෙයි. මේ සමාජ ක්රනමය වෙනස් කරන්න දායකත්වය සැපයීම.//
      ඔබ ස්මාජක්ර මය වෙනස් කරනතුරු ලමයින් කලයුත්තේ කුමක්ද. ඔහේ මොකක් හෝ කිරීමද?
      //ඉගෙනීම සතුට ගෙන දෙන දෙයක් විය යුතුයි//
      මා කියන්නේත් එයම තමයි.ලමුන්ට සතුට දෙන ලෙස ඉගැන්වීම ලෙහෙසි පහසුදෙයක් නොවෙයි.ඉතා මහන්සියෙන් කැපවීමෙන් කලයුතුදෙයක්.ගුරුවරයාට සතුට ලැබෙන්නේ එවිටයි.තමන් කරන දෙය ගැන ගෞරවයක් ඇති වන්නේ එවිට නොවේද?
      වෘත්තීය ගරුත්වය ගැන අදහස් එන්නේ එවිට නොවේද? වෘත්තීය අයිතිවාසිකම් වලට සටන් කලහැකි වන්නේ එවිට නොවේද?

      Delete
    4. ඔබගේ තර්කය සාධාරණයි. එහෙත්, පුද්ගලයකු ලෙස මා පිළිබඳව ඔබගේ නිගමනය කරුණු මත පදනම් වන දෙයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ. පුද්ගලයකු ලෙස මගේ වටිනාකම වැදගත් මට විතරනේ.

      ඒත්, අධ්‍යාපනයේ ඉලක්කය හෝ අරමුණ හෝ විය යුත්තේ සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීම මිස වෙන මොකක් ද?

      ඔබ අරමුණු හා අභිමතාර්ථ අතර වෙනස දන්නවා ද? මේවාට 'සිංහලෙන්' කියන්නේ goals, aims and objectives කියලායි.

      හොඳ රැකියාවක් කරන එක අධ්‍යාපනයේ අභිමතාර්ථයක් මිස අරමුණක් නොවෙයි. අද අපට වෙලා තිබෙන්නේ අපි මේවා පටලගෙන.

      උගන්වන ගුරුවරුත් වැඩ කරන්නේ අභිමතාර්ථ අරමුණ ය කියා පටලවාගෙන.

      ඔබ කියන දෙවන කරුණ ඇත්ත. ළමයින්ට සතුට ගෙන දෙන ලෙස උගන්වන එක ඉතා දුෂ්කරයි. ඒ සඳහා අවශ්‍ය මුල් ම දෙය ගුරුවරයා බොහෝ ඇසූ පිරූ කෙනෙකු වීමයි.

      Teachers' Instruction manuals, Term notes, lesson plans වැදගත්. ඒවා වෙනුවෙන් මහන්සි වීම අවශ්‍යයි. ඒත්, ඒවායින් ඇසූ පිරූ කෙනෙක් බිහි වන්නේ නැහැ. වෘත්තික ගුරුවරු බිහි වෙනවා.

      නිසි ගුරු අධ්‍යාපනයක් නැති ලංකාවේ ගුරුවරුන්ට ඇසූ පිරූ මිනිසුන් වෙන්න පුළුවන් ඔය රාමුවෙන් එළියට ආවොත් විතරමයි. බාහිර වැඩ ‍කළොත් විතරමයි.

      අනෙක් පැත්තෙන්, මේ පඩියෙන් ජීවත් වෙන්න ගියොත්, පාසලේදී ඔබට හමු වන්නේ a man stricken with abject poverty. ඔබේ දරුවා ඉදිරියට එන්නේ අසහනයෙන් පිරුණු සමාජය කෙරෙහි වෛරී අදහස් තිබෙන කෙනෙක්.

      ගුරුවරුන්ගේ දරිද්‍රතාව පිටුදකින්න රජයෙන් වැඩපිළිවෙලක් නැහැ. දරිද්‍රතාව පරාජය කළ ගුරුවරයෙක් ලෙස පංති කාමරයට යන්න ගුරුවරුන් දරන වෙහෙස අගය කළ යුුතුයි. හැබැයි ගැටලු නැත්තේ නැහැ. අවසානයේදී ඒවා මේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු මිස පුද්ගලයන්ගේ ම ගැටලු නෙමෙයි.

      Delete
    5. අජිත්,බටහිර රටවල දැනුම ආයතන ගතවී තිබෙනවා.දැනට ලන්කාවේත් පවතින්නේ එහි කොපියක්.දැනුම ආයතන ගත වූපසු ඇසූ පිරූ තැන් ඇති කියන දෙයට ඇති වැදගත්කමක් නැහැ.නමුත් ලන්කාවේ ආගම හා බැදුන ආයතන ගත නොවූ දැනුම් පද්දතිය සමග ඇසූ පිරූ තැන් කතාව සම්භන්දයි.අප කතා කරන්නේ ආයතන ගත දැනුම් පද්දතිය ගැන නේද.
      බටහිර රටවල ගුරුවරුන් මහාසල්ලි කාරයන් නොවෙයි.යම් යම් යටිතල පහසුකම් තිබුනත් ඔවුන් යන්නේත් මාජින් එකේම තමයි.නමුත් එම රටවල පොදු සමාජය තුල යම් යම් සීමා නිසා සල්ලි කාරයන් කියා ලන්කාවේ වගේ උඩ යන්නට බැහැ.ලන්කාවේ ගුරුවරු පොල්පරාල විකුනන්නේ එම නිසායි.
      දැන් අපි මෙහෙමහිතමු.ලන්කාව සමාජවාදී වෙලා ගුරුවරුන්ට හොද වැටුපක් ලැබෙනවා.එතකොට අර ගුරුවරයා පොල් පරාල විකුනන එක නවත්තලා ඉතා හොද ගුරුවරයෙක් වෙයිද.
      වැටුපක් ලැබෙන අප පොල්පරාල විකුනන්නේ ඇයි.අපට ලැබෙන වැටුප මදි නිසානොවේද?අපට ලැබෙන වැටුපමදි ඇයි?
      රෝහල තිබියදී අප ප්රලයිවෙට් බෙහෙත් ගන්න යනවා.කොටසක් දොස්තර කඩාගන්නවා. දොස්තර හරියට රෝහලේ වැඩේ කරනවානම් අපිට එහෙම වෙන්නේ නැහැ නේද? මේ විදියට කඩේ ශෙඩ් එකේ ආදී හැම මහජන ආයතනයකම අය තමන්ගේ වැඩය කරන්නේ නැතිව පොල් පරාල විකුනනවා වැනි වැඩ කරනවා නේද? මේක චක්රැයක් වගේ යනවානේද?ලන්කාවේ ස්මාජය කඩාවැටෙන්නට හේතුව මේක නේද? මේ චක්රහය කොතනින් හරි බිදෙන්න ඕනෑ නේද? තමන්ගේ වැඩය හරියට කරන අය ඉන්නවා නම් මේ චක්රැය බිදෙනවා නේද.වෘත්තීය අරගල ජන අරගල ඇති වෙන්නේ එවිට නේද.
      ඔබට යම් හිත් අමාරුවක් ඇතිවූවානම් කනගාටුව.මා ඔබට අපහාසයක් කරන්නට සිතුවේ නැහැ

      Delete
  4. Parakum obage adahas mamath anumatha karami.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.