2014-03-14

එක්සත් ජාතීන්ගේ සංවිධානය නො තිබුණා නම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට දරුණු හිසරදයක් වී තිබේ.

දැන් ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බටහිර ජාතීන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට පිහිටුවා තිබෙන ආක්‍රමණික සංවිධානයක් ය කියා ය. එහෙත්, මේ ප්‍රශ්නය දෙස බලන්නට වෙනත් දෘෂ්ටි කෝණ ද තිබේ.

ප්‍රවාහනයේ දියුණුව හා යටත්විජිතවාදයේ බලපෑමත් සමග ලෝ‍කයේ රටවල් අතර ගනුදෙනු හා සම්බන්ධතා වැඩි වුණා. ඒ නිසා ඒ සම්බන්ධකම් පවත්වාගෙන යාම සඳහා යම් යම් නියාමනයන් ද අවශ්‍ය වුණා. ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සංගමය ආරම්භ වුණේ 1865දීයි. විශ්ව තැපැල් සංගමය ආරම්භ වුණේ 1874දීයි. මේවා පටන් ගත්තේ නවීන මිනිස් සම්බන්ධතා විසින් එවැනි ආයතන ඉල්ලා සිටි නිසායි.

ජාත්‍යන්තර අර්බුද යුද්ධ දක්වා දිග්ගැසීම වළක්වා ගන්නට අන්තර්ජාතික සංවිධාන අවශ්‍ය වුණා. 1899දී නෙදර්ලන්තයේ හේග්හිදී පවත්වන ලද ජාත්‍යන්තර සාම සම්මේලනය එවැනි ප්‍රයත්නයක්.

ලෝකයේ රටවල් අතර සංවිධානයක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කිරීමේ ගෞරවය එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයාට හිමි වේ. මුලින් ම එවැනි සංවිධානයක් බිහි වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි. එහි නම ලීග් ඔෆ් නේෂන්ස් නම් විය. එය අසාර්ථක වීමට හා දෙවන ලෝක යුද්ධයක් පැන නැගීමට ප්‍රධාන හේතුව වන්නේ ලෝකයේ බලවත් ම රටවල් එහි සාමාජිකත්වය ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.

එහෙත් දෙවන ලෝක යුද්ධය අවසන් වූ සැණින් මෙවැනි සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව වැඩිපුර ම දැනුණේ ලෝකයේ බලවත් ම රටවලටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ලෝක සාමය සඳහා ඉවහල් වන අන්තර් රාජ්‍ය නියාමනයක් ගොඩනඟා ගැනීමයි. රටවල් 50කින් ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වන විට සාමාජික රටවල් 190කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වීම මානව වර්ගයාගේ ජයග්‍රහණයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුල්‍ය විනය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙනුත් විවේචන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සංශෝධනය විය යුතු බව ඇත්තක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි ලොව හොඳම බහු පාර්ශ්වීය සංවිධානය. එය තමයි ජාත්‍යන්තර ප්‍රමිතීන් සකස් කිරීමට තිබෙන හොඳම ආකාරය. ජාත්‍යන්තර තැපෑල, මුහුදු හා ගුවන් ගමන් වැනි සිවිල් අවශ්‍යතාවල සිට ආරක්ෂාව, සාමය, සංවර්ධනය, යහපාලනය, සෞඛ්‍යය, ජීවන තත්වය වැනි කාරණා සම්බන්ධයෙන්  ප්‍රමිති ගොඩනැගීමේදී එය වැදගත් වෙනවා.

එක්සත් ජාතීන් නො පවතී නම්, පැවතිය හැක්කේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය වැනි එකිනෙකා සමග තරගකාරී වූ, එමෙන් ම, සෙසු ලෝකයාට පාලනය කළ නො හැකි ආධිපත්‍යයන් බව සිහිපත් කර ගැනීමෙන් ම එක්සත් ජාතීන්ගේ වැදගත්කම අවබෝධ කර ගත හැකියි.

එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යාමට හැකි වී තිබෙන්නේ මේ සංවර්ධිත රටවලින් ලැබෙන අරමුදල් මත වීම නිසා ඒ රටවල් එක්සත් ජාතීන් මත ඍජු ආධිපත්‍යයක් පවත්වාගෙන යන එක වළක්වන්නට බැහැ. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වන පිරිවැයෙන් 27%කට පමණ දායක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙම තත්වය තුළ එක්සත් ජාතීන් එවැනි රටවල අවශ්‍යතා අනුව කටයුතු කරන්නට පෙළඹෙන එක වළක්වා ගැනීම පහසු නැහැ.

එහෙත්, මෙම රටවල් විසින් ද ප්‍රවර්ධනය කරනු ලබන මූලික දේශපාලනික වටිනාකම් වන්නේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍යයයි. බැරැක් ඔබාමා වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් පැවසුවේ ලෝක‍යේ ආරක්ෂාව තිබෙන්නේ මිනිස් වර්ගයාගේ හිමිකම් වැඩි දියුණු කිරීම තුළ බවයි. සංවර්ධනය වෙමින් තිබෙන රටවල් වන ලංකාව වැනි සමාජයන්ගේ ජාත්‍යන්තර දේශපාලන ක්‍රීඩාව තිබෙන්නේ මෙතැනයි. අප වැනි රටවලට ආරක්ෂාව තිබෙන්නේ අප වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සාමය වෙන‍ුවෙන් පෙනී සිටින තරමටයි. දියුණු ධනේශ්වර රටවල ආධිපත්‍යවාදයන්ට එරෙහිව අපට සටන් කළ හැකි වන්නේ අප ප්‍රජාතන්ත්‍රවාදී වන තරමටයි.

එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයේකළමනාකරණ හා පරිපාලන ප්‍රමුඛතා අතර වගවීමේ හා අවංකත්වයේ සංස්කෘතියක් ඇති කිරීම හා එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, එක්සත් ජාතීන්ගේ අදාළත්වය වැඩි කිරීමත් තිබෙනවා.(Why the United Nations is Important to Us, Gerald C. Anderson - Institute for Corean-American Studies Spring Symposium on Humanity, Peace and Security, May 19, 2005)

ලංකාවේ ආණ්ඩුව බරපතල ගැටලුවක් කරගෙන තිබෙන්නේ මෙම වගවීමේ සංස්කෘතියයි. 

කෙසේ වෙතත්, සමාජවාදීන් ලෙස අප එක්සත් ජාතීන් දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පාලනයක අවශ්‍යතාව මුල් කරගෙනයි. එහිදී මානව හිමිකම් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා යුක්තිය මත පදනම් වූ  සාමය හා ආරක්ෂාව, විවිධත්වය පිළිබඳ සැලකිලිමත් ධරණීය මානව සංවර්ධනය, ලොව පුරා මෙම අභිමතාර්ථ සාධනය වන බවට තහවුරු කරන ලෝක යුක්තිය යන කරුණු පිළිබඳ සමාජවාදී ජාත්‍යන්තරය විසින් අවධානය යොමු කර තිබෙනවා. (Reforming the United Nations for a New Global Agenda, SI Position Paper 2005.01.24)

නව ගොලීය පිළිවෙලක් පදනම් කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සිදු විය යුතු සංශෝධන පිළිබඳ සංවාදයට මැදිහත් වෙමින් සමාජවාදී ජාත්‍යන්තරය කරන යෝජනාවක් වන්නේ දේශපාලන හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වගකියන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයක් මෙන් ම වෙළඳාම හා පරිසරය ද ඇතුළුව ආර්ථික හා සමාජ කටයුතු සම්බන්ධයෙන් ගෝලීය පාලනයක් කරන එක්සත් ජාතීන්ගේ ධරණීය සංවර්ධනය පිළිබඳ මණ්ඩලයක් ද අවශ්‍ය බවයි. එය එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජ හා පාරිසරික ආරක්ෂක මණ්ඩලය ලෙස හඳුන්වන ඉහත සඳහන් පත්‍රිකාව එකී මණ්ඩල දෙක එක්ව කටයුතු කළ යුතු ආකාරයත් පෙන්වා දෙනවා.

ආරක්ෂාව පිළිබඳ කාරණයේදී 'සම්ප්‍රදායිකව සිදු වන රාජ්‍යයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානයට මිනිසුන්ගේ ආරක්ෂාව හා පෘථිවියේ ආරක්ෂාව ද ඇතුළත් විය යුතු බවට' යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. (Carlsson, Ingvar and Shridath Ramphal, Our Global Neighbourhood, The Report of the Commission on Global Governance, November 1994, pp.108-109)

අප මෙහිදී කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්ම හා එහි සිදු විය යුතු සංශෝධන ගැන සංවාදයේ වැදගත්කම පිළිබඳ මතු කිරීම පමණයි. එය සලකා බැලිය යුතුව තිබෙන්නේ අද ලංකාවේ පාලකයන් විසින් සිය ඒකාධිපති පාලනයේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රවර්ධනය කරමින් තිබෙන එක්සත් ජාතීන්ට එරෙහි මතවාද සමගයි.

(ජනරළ 2014 - 03 - 16)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

7 comments:

  1. වැඩි දෙයක් ඕන නෑ.. ඔය කෑ ගහන අයගෙන් ළොකුම ලොක්කත්, කාල් මාක්ස්ගේ මල්ලිත් එක්ක ෆයිල් වගේකුත් උස්සගෙන ඔතනට ගියේ.. කවුද දන්නේ ආයෙත් දවසක එහෙම යන්න වෙයිද කියලා...

    ReplyDelete
  2. To
    Aruni Shapiro

    it doesn't matter, what the theories are..to build up a collective mind in the society by the mean of Political… is the greatest challenge by now.I believe without a collective mind doesn't any process function properly. there are millions of cheap ways to get collected majority minds in a few seconds out there, how do we deal with that resistance ? also where we are right-now..as a condition is important by the mean of stability.

    ReplyDelete
  3. ලංකාවේ ඇතිව තිබෙන්නේ නියම වෙළෙන්දන් රාජ්‍ය පාලනයට නොඒමේ ප්‍රතිවිපාකයක්. වෙලෙන්දන් කිව්වෙ බිසිනස් කරන අය නෙමෙයි.. වෙළඳ මානසිකත්වය සහිත අය.
    දැන් රජය හතරවටේ හෝටල් හදනවා. හෝටල් වලට තියෙන ආයෝජන දිරිමත් කරනව ාවගේම හොර පාරෙන් හොටල් වල අයිතියත් දේශපාලකයින් බෙදාගන්නවා. ඉතිං මෙහෙම වෙනකොට මේ හෝටල වලට සංචාරකයො ගෙනන ගන්න නම ්අපේ රට ජාත්‍යන්තර සම්මුතින්ට අනුකූළව පාලනය වෙන ්‍ප්‍රචන්ඩත්වය අඩු රටක් වෙන්න ඕනි. එහෙම වුනේ නැත්තං කොච්චර හොටල් හදල ෆැසිලිට් දිල කාපට් දාල තිබුනත් සංචාරකයො එන්නෙ නැහැ...

    එක අතකින් බිස්නස් දන්නෙ ැනැති බිස්නස් කාරයො රට කරවන එක අපේ අවාසනාවක්.

    ReplyDelete
  4. ලංකාවත් භටයෝ යැව්වා නේද UN එකේ ඝානා මිශන් එකට?

    ReplyDelete
    Replies
    1. Since 2000, 12,210 army soldiers, 600 navy, 610 air force personnel and 572 policemen had served in the UN Peacekeeping forces. The country ranks at 20th in terms of troop contributions to the UN peacekeeping.

      /////Sri Lanka contributes a total of 991 in MINUSTAH, for various tasks assigned to them, help in maintaining a stable and secure environment in Haiti since 2004. The Sri Lankan contingent is deployed in different areas of Haiti, including Leogane, Petit Goave, Bizoton in the department of the West and Jacmel in the department of South-East. In cooperation with the Haitian National Police (HNP), the United Nations Police (UNPOL) and the Formed Police Unit (FPU), they conduct joint patrols in their areas of responsibility. The Sri Lankans also carry out foot and motorized patrols, and establish checkpoints. In addition to those duties this contingent is working on a special programme of the Section of the Community Violence (VRC) of MINUSTAH. It highly contributes to the achievement of several of its activities and ensures security. The Sri Lankan peacekeepers have proved their potentiality in conducting Peace Support Operations and that was highly commended by the United Nations and the International Community.///////

      http://www.defence.lk/new.asp?fname=sri_lanka_peacekeepers_20120713

      Delete
    2. මෙහි ඉංග්‍රීසියෙන් සඳහන් සියළුමදේ ඉහත වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

      Delete
  5. රනිල් හැමතැනම කිය කිය යන එකක් තමයි තමන් රෝම සම්මුතියට අත්සන් නොකිරීම මගින්, කිසිම යුධ භටයෙක් හෝ නිලධාරියෙක් හේග් යුධ අධිකරනය වෙත රැගෙන යාම වලකාලූ බව. එහෙම බලද්දි මහින්දලා, චම්පිකලා, වීරවංශලා, උදය ගම්මන්පිලලා මොන දේශ ප්‍රේමීන්ද?

    මේ අනුව යමින් ලෝක කම්කරු සංවිධානයේ සාමාජිකත්වයත් නොගෙන සිටියා නම්, කම්කරු අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්න වගේ ඒවාත් ශ්‍රී ලාංකීය ක්‍රමයටම කරගෙන යන්න තිබුනා!

    නියම ලිබරල් - ජාත්‍යන්තර පිලිගැනීමක් ඇතැයි කියන නායකයෙක්!

    - Dimithri

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.