2014-03-27

ලෝක නාට්‍ය දිනයේ අසඩක් නෙළුම් පොකුණේ දොර කලා රසිකයන්ට වසා දමයි

ජනකරළිය
අද ලෝක නාට්‍ය දිනයයි. 

පරාක්‍රම නිරිඇල්ල‍ගේ හුණුවටයේ කතාව නෙළුම් පොකුණේ රඟ දැක්වෙන බව ලංකාදීපයේ දැන්වීමක දැක සංවිධායක ජූඩ් ශ්‍රීමාල්ට දුරකථන ඇමතුමක් දුන්නේ එහි ටිකට් මිළ විමසා දැන ගැනීමටයි. මතුගම සිට කොළඹ ගොස් නෙළුම් පොකුණෙන් නාට්‍යයක් බලන්නට තිබෙන හැකියාව පිළිබඳ විමසීමට මට අවශ්‍ය විය. 

ලැබුණු පිළිතුර වන්නේ නාට්‍යය පෙන්වන්නේ ආරාධිතයන් වෙනුවෙන් පමණක් බව හා මේ වන විට ආර‍ාධනා යවා අවසන් බවයි. 

1984, 85 වකවානුවේ මම දෙහිවල කරගම්පිටියේ කාමරයක නැවතී කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. සිකුරාදා දිනවල මා ආපසු ගෙදර එන මුත්, මා කියන මේ සිකුරාදාවේ ලයනල් වෙන්ඩ්ට්හි පුන්තිලා නාට්‍යය පෙන්වන ලදී. මට එය බැලීමේ දැඩි උවමනාවක් තිබිණි. මා අත රුපියල් විසි පහක පමණ මුදලක් ඉතිරි වී තිබිණි. ඒ කාලයේ ජෝන් ද සිල්වා වැනි රඟහලක සාමාන්‍ය ටිකට් පතක් රුපියල් පහළොවක් පමණ විය. 

මට තරු පෙනුණේ ලයනල් වෙන්ඩ්ට් ගිය විට ය. පුන්තිලා නාට්‍යය රඟහල පුරා ම පෙන්වන ලද පිංතූර රාමු වේදිකාවෙන් මිදුණු නාට්‍යමය අත්දැකීමක් විය. එබැවින් එහි ආසන සැලසුම ද වෙනස් වූ අතර අඩු ම මිළ ටිකට් පතත් රුපියල් විසි පහක් විය. මම අත තිබුණු මුදලින් නාට්‍යය බැලුවෙමි. එය මා ජීවිතයේදී විඳින ලද සුන්දර ම නාට්‍ය අත්දැකීමකි. හෙලේනා ලෙහ්තිමකී නම් ෆින්ලන්ත නාට්‍යවේදිනියක විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ප්‍රධාන චරිතය රඟපෑවේ නිහාල් සිල්වා ය. මහේන්ද්‍ර පෙරේරා එදා අලුත් නළුවෙකි. 

නාට්‍යය බලා දෙහිවලට බසයෙන් ආවේ  ටිකට් නො ගෙන හොරෙන් ය. රෑට කන්නට සල්ලි නො තිබිණි. පසුදා උදේට කන්නට ද නැත. මුදලක් ඉල්ලා ගන්නට කෙනෙකු ද නො සිටි අතර, මෝඩ ආඩම්බරකම ද එයට හරස් විය. බඩගින්නේ ම දෙහිවලින් කෝච්චියකට නැග්ගේ හොරෙන් කලුතර යන්නට ය. ඒත් මොරටුවේදී මා ටිකට් පරීක්ෂකවරුන්ට අසු විය. පැය ගණනකට පසු එළියට ආවේ ජාතික හැඳුනුම්පත හා ආයතනික හැඳුනුම්පත ඇපයට තියලා ය. 

නැවතත් කලුතරට හා එතැන් සිට බසයෙන් ගෙදරට ගියේ ද හොරෙන් ම ය. කෙසේ හෝ ගෙදරයන විට සවස පහමාරත් පසු වෙලා ය. බඩ පණුවෝ වල පල්ලට ගොස් තිබිණි. 

අපි එවැනි නාට්‍ය ප්‍රේක්ෂකයෝ ය. එහෙත්, අමාරුවෙන් නාට්‍යයක් බලන්නට යන්නට හිතූ ලෝක නාට්‍ය උළෙල දා අපට නාට්‍ය ශාලා දොර වැහිලා ය. 

මෙයට හේතුව නාට්‍ය ක්ෂේත්‍රයට ද රාජ්‍ය නො වන සංවිධාන වැහීම ය. පරාක්‍රම නිරිඇල්ල ‍අමතා ආරාධනාවක් ඉල්ලුවොත් නාට්‍යය බලන්නට බැරි නො වන බව විශ්වාස මුත්, නාට්‍යයක් වෙනුවෙන් අප කාටවත් ණය විය යුතු නැත. ඔබ අපට සපයන වින්දනය වෙනුවෙන් අදාළ මිළ අපි ගෙවන්නෙමු. ඔබගේ කාර්යය රසවත් නම් අපි අමතර වෙහෙසක් දරා අප විඳි රසය ලියන්නෙමු. එසේ කරන්නේ ඔබ‍ගෙන් ස්තුතියක්වත් බලාපොරොත්තුවෙන් නො වේ. එය අප රසවත් කිරීම වෙනුවෙන් අප ඔබට කරන උපහාරයයි. 

එහෙත්, අද සියල්ල වෙනස් ය. විචාර ලියන්නේ පගාවට ‍හෝ යාළු මිත්‍රකමට ය. නිර්මානයක් හොඳ නිසා නො වේ. එහෙයින් පොතක් ගැහුවොත් සාහිත්‍ය පොරවලට එය නිකම් දිය යුතු ය. නාට්‍යයක් නම් නිකම් පෙන්විය යුතු ය. 

නෙළුම් පොකුණේ නිකම් නාට්‍ය පෙන්වන්නට නම් එක්කෝ රාජපක්ෂ පවුලට මොකක් හෝ වයර් එකක් තිබිය යුතු ය. නැතිනම් ලොකු රා‍ජ්‍ය නො වන සංවිධානයක් විසින් ඩොලර් කුට්ටියක් එවිය යුතු ය. 

රාජ්‍ය නොවන සංවිධාන කලාවට අතහිත දීම ගැන මගේ නම් හොඳ හිතක් නැත. මන්ද, නාට්‍ය නො මිළේ පෙන්වීම ද මෙම ව්‍යාපෘතිවල අංගයක් වන හෙයිනි. මා දන්නා තරමින් මෙවැනි ව්‍යාපෘති නිසා නාට්‍ය කලාවට සිදු වුණේ අගතියකි. සුනිල් විජේසිරිවර්ධන ලියූ රත්නවල්ලි නාට්‍යයට සිදු වූ දෙය උදාහරණයකි. නාට්‍යය එක් දර්ශනයකින් හෝ දර්ශන කීපයකින් අවසන් වුණේ පාත්‍ර වර්ගයා පවා සල්ලිවලට රංඩු වෙලා ය. රාජ්‍ය නො වන සංවිධාන නා‍ට්‍ය ව්‍යාපෘති නිසා නාට්‍යකරුවන් කෙසේ වෙතත්, ව්‍යාපාරිකයෝ නම් බිහි වූ හ. එහෙත් පරාක්‍රම නිරිඇල්ල නම් උත්සාහ කරන්නේ නාට්‍ය කලාවක් පවත්වාගෙන යාමට ය. එහෙත්, ප්‍රේක්ෂකාගාරය පුළුල් කරන්නට මෙම නාට්‍ය ව්‍යාපෘති හේතු පාදක වූ බවක් මට නම් නො පෙනේ.

අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන කලා රසිකත්වය වෙනස් එකකි. එය වනාහි පිට කසා ගැනීම්, අතින් කෑම්, බෙදාගෙන කෑම් ආදියෙන් තොර ස්වාධීන රසිකත්වයකි. අපි අපේ මුදලින් කලා කෘති රස විඳ අප විඳි රසය මෙහි ලිව්වේ ඒ නිසා ය.  වම් පැත්තේ තීරුව බලන්න. අප ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු නාට්‍යය ගැන ලියූ රස වින්දනයක් එහි තිබේ.

පරාක්‍රම නිරිඇල්ලලා, ධර්මසිරි බංඩාරනායකලා රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති අතහැර දමා ආපසු නාට්‍ය වෙළඳපොළට එනවා නම් මීට වඩා හොඳ ය. එය කටුක ය. ඒත්, කලාකරුවන් සිටිය යුත්තේ මහ පොළවේ ය. කලාවට අනුග්‍රහ දක්වන බුර්ෂුවා පංතියක් ලංකාවේ නැත. එවැනි තත්වයක් තුළ රාජ්‍ය නොවන සංවිධානවල මුදලින් මධ්‍යම පංතියට නොමිළේ නාට්‍ය පෙන්වන්නට යාම අන්තිම අදේශපාලනික වැඩකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

11 comments:

  1. කතාව නම් සහතික ඇත්ත පැරා. ඒ කාළේ නාට්‍යත් සුන්දරයි, ප්‍රේක්ෂකයත් සුන්දරයි, කළාකාරයොත් සුන්දරයි. උඹ හොරෙන් බස් එකේ ගියා වගේම, මම හෝල් එකේ හැංගිලා ඉඳලා එකම නාට්ටිය දෙසරයක් බලපු අවස්ථාවන් අනන්තයි. ඒ සල්ලි නැති කම නිසාමයි. ඒත් රූපවාහිනිය ලංකාවට ආවම නාට්ටිකාරයෝ ගොඩක් දෙනෙක් ඒකත් එක්ක අනුගත වෙනවා. එතනින් ලැබෙන ආදායම නාට්ටියක පරිප්පු කාලා ගන්න සොච්චමට වඩා ගොඩාක් ඉහලයි. අනික ප්‍රේක්ෂකාගාරයට වඩා රසික කැලක් එක රැයින් ලැබෙනවා. අද ටෙනියගේ නාට්ටිත් නෑ. නාට්ටියක් කියලා බලන්න තියෙන්නේ ජයලත්ගේ නාට්ටියක් විතරයි. අනිත් නාට්ටිවල මොකක්ද තේරෙන්නේ නැති කුණුහබ්බ වගයක් කියනවා. හදපු එකා දන්නවද දන්නේ නෑ මොකක්ද ඌ කියන්නේ කියලා. හැබයි ඒවටත් අනුග්‍රාහකයෙක් ඉන්නවා.

    අද ඕන කෙනෙක් කට්ට කනවට වඩා කැමති ලේසියෙන් සල්ලි හොයන්න. ඉතින් නාට්ටී කාරයන්ට දොස් කියලා වැඩක් නෑ. උන් හොඳ ජීවීතයක් ගත කරනවනම් අපි සතුටු වෙමු. ඔය කොහේ හරි අපිට බලන්න පුළුවන් නාටියක් පෙන්නන වෙලාවට. උඹයි මායි දෙන්නා ගිහින්, විසිල් එකක් ගහලා. ස්ටේජ් එක පිටිපස්සට ගිහින් පොඩ්ඩක් කතා බහ කරලා එමු. වෙන මොනවා කරන්නද බන්.

    ReplyDelete
    Replies
    1. අද ටෙනියගේ නාට්ටිත් නෑ. නාට්ටියක් කියලා බලන්න තියෙන්නේ ජයලත්ගේ නාට්ටියක් විතරයි. www????????

      Delete
    2. ටෙනියගෙ නාට්ටි කිව්වෙ??

      Delete
    3. පීචං නාට්ටි.. ඒ උනාට සම්බහිය පොරවලුත් ඇවිත් බලන්නේ..

      Delete
  2. මම මෙහෙම අහලා තියෙනවා , නිහාල් සිල්වා හැදවාලු සාජන්ට් නල්ල තම්බි, වැඩේ නැගලා ගියාළු. ඒකේ ආදායමෙන් ආයි නැවත නිෂ්පාදනය කළාලු පුන්තිලා නට්‍යය. එකේ ප්‍රේකෂකාගාරය දිහා බලල ඉන්න ගාන දැකපු නිහාල් සිල්වා කිව්වාළු මුන්ට හරියන්නේ නල්ල තම්බිම තමයි කියලා.

    ReplyDelete
  3. රසවින්දනය නැතුව මිනිස්සු අද වල්මත් වෙලා ඉන්නේ.කලාකාරයෝ ඉන්න ඕනේ මහා පොළවේ තමයි.හැබැයි දැන් එහෙම ඉන්න අය අඩුයි.මේ දවස් වල හැබැයි කලාකාරයෝ ටිකක්නම් මේ දවස්වල අහසින් බිමට බැහැලා ඉන්නේ ඔය ජන්දේ නිසා.

    ReplyDelete
  4. නෙළුම් පොකුණේ නිකම් නාට්‍ය පෙන්වන්නට නම් එක්කෝ රාජපක්ෂ පවුලට මොකක් හෝ වයර් එකක් තිබිය යුතු ය. නැතිනම් ලොකු රා‍ජ්‍ය නො වන සංවිධානයක් විසින් ඩොලර් කුට්ටියක් එවිය යුතු ය.

    ReplyDelete
  5. මට හරිම ආසයි මේ ඩොලර් කුට්ටියක් කියන එකක් ඇත්තටම ඇස් දෙකෙන් දැකගන්න.

    ReplyDelete
  6. ඩොලර් කුට්ටිය කියන වචනයේ ඇත්තට ම තිබෙන්නේ විරෝධය. නැතුව ඩොලර් කුට්ටි නැහැනේ. මිටි නම් තිබෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. "මිටි නම් තියෙන්න පුළුවන්" කියන්නෙ ඇස් දෙකෙන් දැකලා නෑ වගේ.... බොරු කියන කැත....

      Delete
    2. ඩොලර් මිටි පරිත්‍යාග කිරීමට කැමති අය වම් පැත්තේ තීරුවේ ඇති අංක හා ඊමේල් ලිපින ඔස්සේ මා අමතන්න. මුදල් ගනු ලැබේ. එහෙත්, කිසිදු කොන්දේසියකට යටත් විය නො හැකි ය.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.