2014-03-08

චීනයට හිසරදයක් වූ උයිගුර් මුස්ලිම් ප්‍රශ්නය

පසුගිය සතියේ සෙනසුරාදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං නගරයේ දුම්රිය ස්ථානයකදී පිහි අමෝරා ගත් ත්‍රස්තවාදීන් දසදෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අතට හසු වන නිරායුධ සිවිල් වැසියන් 30කට වඩා කපා කොටා ඝාතනය කරනු ලැබුවා. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබුවා. චීන බලධාරීන් ඒ පිළිබඳ චෝදනා කළේ උයිගුර් මුස්ලිම් බෙදුම්වාදීන්ටයි. 

උයිගුර් මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් චීන රජයේ නිලධාරීන්ට එරෙහිව මෙවැනි පිහි හා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබීම එතරම් දුලබ සිද්ධියක් නොවෙයි. එහෙත්, සාමාන්‍යයෙන් එවැනි දේ සිදු වන්නේ ඔවුන් නැගෙනහිර තුර්කිස්තානය නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින ෂිංජියෑංහියි. ඒත්, මේ ප්‍රහාරය සිදු වුණේ එහි සිට කිලෝමීටර් දහසකටත් වඩා දුර ඈත ප්‍රදේශයකදීයි. 

උයිගුර් මුස්ලිම්වරුන් පවසන්නේ චීන රජය ඔවුන්ගේ ආගමික, සංස්කෘතික හා වානිජ නිදහසට බාධා කරන බවයි. පසුගිය ඔක්තෝබරයේදීත්, එකම පවුලේ උයිගුර් ජාතිකයන් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධ ටියෙනාන්මෙන් චතුරස්‍රයේදී සිය වාහනය ගිනි තබා ගනිමින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද මරා දමමින් සිය දිවි නසා ගත්තා. 

ඊට කලින් අ‍ගෝස්තු මාසයේදී ෂින්ජියෑංහි කාෂ්ගාර් නගරයේ ත්‍රස්ත වි‍රෝධී මෙහෙයුමකදී උයිගුර් ජ‍ාතිකයන් 22ක් චීන හමුදා විසින් මරා දමනු ලැබුවා. ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධය පිළිබඳ සංකල්පය පතුරුවන බවට චෝදනා කරමින් තවත් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ද ගනු ලැබුවා. දහස් ගණන් උයිගුර් ජනයා අතුරුදහන් වී ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කරනවා. උයිගුර්වරුන් අල් ක්වයිඩා සංවිධානය සමග සමග සම්බන්ධ බවට හා අසල්වැසි ඇෆ්ගනිස්තානයෙන් යුද පුහුණුව ලබන බවට චීන රජය චෝදනා කරනවා. එහෙත්, ඒ පිළිබඳ සාක්කි විරලයි. එක්සත් ජනපද හමුදා විසින් ඇෆ්ගනිස්තානයේදී උයිගුර්වරුන් 20ක් අත්අඩංගුවට ගෙන ග්වන්ටනාමෝ බොක්කේ සිර කඳවුරුවල රඳවා තබා ගත්තත්, ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කරන්නට අසමත් වුණා. අවසානයේදී නිදහස් කරන ලද මෙම පිරිස් ඇල්බේනියාව, බර්මියුඩාව හා පලාවු දූපත් රාජ්‍ය විසින් භාර ගැනුණා.

කවුරුද මේ උයිගුර්වරු? තුර්කි මූලයක් සහිත භාෂාවක් කතා කරන, මධ්‍යම ආසියානු ජනවර්ගයක් වන ඔවුන්ගෙන් බහුතරය මුස්ලිම්වරුයි. ඔවුන්ගේ භූමිය වන ෂින්ජියැං වනාහි ටිබටය වැනි ස්වයං පාලිත ප්‍රදේශයක් බවයි චීනය කියන්නේ. මධ්‍යම ආසියාවේ පිහිටි මෙම ප්‍රදේශය විසිවන සියවස මුල හරියේදී ඉතා කෙටි කාල වකවානු දෙකකදී නැගෙනහිර තුර්කිස්තානය නමින් නිදහස් රාජ්‍යයක් ලෙස පැවතියත්, 1949දී අවසන් වශයෙන් ස්ථිර ලෙස කොමියුනිස්ට් චීනය එය ඈඳා ගත්තා. නැගෙනහිර තුර්කිස්තානය නම් ඉස්ලාමික් රාජ්‍යය උයිගුර්වරුන්ගේ අතීතකාමය තුළ තවමත් තිබෙනවා.

චීන රජයේ අනුග්‍රහය මත එ‍රට බහුතර ජනතාව වන හන් ජාතිකයන් ෂින්ජියැං පළාතේ පදිංචි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උයිගුර්වරුන් එහි සුළුතරයක් බවට පත් වී තිබෙනවා. එහෙත්, ෂිංන්ජියැං ජනගහණයෙන් 45%ක් වන්නේ උයිගුර්වරුනුයි. පැරණි සේද මාවතේ පිහිටි කාෂ්ගාර් නගරයේ ජනගහණයෙන් 90%ක් ම උයිගුර්වරුයි.

ෂින්ජියැංහි ප්‍රධාන නගරය වන උරුම්ක්විහි 2009දී ඇති වූ වාර්ගික ගැටුමකින් 200ක් පමණ ජනයා මිය ගියා. එ් අතරින් බහුතරය හන් ජාතිකයන් බවයි චීනය පවසන්නේ. එහෙත්, උයිගුර්වරු එය ප්‍රතික්ෂේප කරනවා. මෙම ගැටුම ඇති කිරීම සම්බන්ධයෙන් චීන රජය ස්වයං පිටුවහලේ සිටින උයිගුර් නායිකාවක වන රෙබියා කදීර්ට චෝදනා කරනවා. එහෙත්, අැය පවසන්නේ ප්‍රචණ්ඩත්වය හා මරණ සංඛ්‍යාව ඉහළ ගියේ චීන පොලිසිය විසින් විරෝධය දක්වමින් සිටි උයිගුර්වරුන්ට වෙඩි තැබීම නිසා බවයි. ලෝක උයිගුර් කොංග්‍රසයේ සභාපතිනිය වන රෙබියා කදීර් ඝාතන හෙළා දකිමින් පැවසුවේ ආතතිය දුරු කළ හැක්කේ උයිගුර් මුස්ලිම්වරුන්ගේ හිමිකම් පිළි ගැනීමෙන් පමණක් බවයි. උයිගුර් වැසියන් රාජ්‍යයේ සතුරන් ලෙස යක්ෂාරෝපණය කිරීම නවත්වන ලෙසත් ඇය ඉල්ලා සිටිනවා. 


රෙබියා කදීර්
රෙබියා කදීර් යනු කලින් චීන ර‍ජයේ සම්භාවනාවට පත් කෝටිපති ව්‍යවසායිකාවක්. පසු කලෙක දේශපාලන සිරකාරියක වූ ඇය දැන් සිය පවුල සමග වාසය කරන්නේ එක්සත් ජනපදයේයි.

ෂින්ජියැං කියන්නේ චීනය විසින් දැඩි මාධ්‍ය පාලනයක් පවත්වාගෙන යන ප්‍රදේශයක්. එ් වෙතින් ස්වාධීන තොරතුරු ලැබීම ඉතා අවමයි. චීනය ෂිංජියැන් වෙත සුවිසල් අවධානයක් යොමු කර තිබෙනවා. එහි සිදු කරන ලද දැවැන්ත ප්‍රාග්ධන ආයෝජන හේතුවෙන් ප්‍රදේශයේ සුවිසල් දියුණුවක් ඇති වී තිබෙනවා. එහෙත්, උයිගුර්වරුන් සිටින්නේ නො මනාපයෙන්. තමන්ගේ රැකියා අවස්ථා හන් ජාතිකයන් විසින් පැහැර ගන්නා බවටත්, තමන්ගේ ගොවි බිම් සංවර්ධනය සඳහා පවරා ගන්නා බවටත් ඔවුන් චෝදනා කරනවා.  උයිගුර්වරුන්ගේ භාෂාවට නිල වශයෙන් සම තැන දී තිබුණත්, ප්‍රධාන භාෂාව වන මැන්ඩරින් භාෂාවෙන් ඉගෙන නො ගන්නා අයට රැකියා ලබා ගැනීම පිළිබඳ ගැටලු ඇති බවට ‍චෝදනා එල්ල වෙනවා.

චීන රජය උයිගුර්වරුන්ගේ සංස්කෘතික කටයුතු පාලනය කිරීම සඳහා දැඩි පියවර රැගෙන තිබෙනවා. මුහුණු ආවරණ පළඳින කාන්තාවන්ට හා සම්ප්‍රදායික ස්වරූපයෙන් රැවුල් වවන උයිගුර් තරුණයන්ට රජයේ අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නට සිදු වන බව උයිගුර් මුස්ලිම්වරු චෝදනා කරනවා. ෂින්ජියැං රජය විසින් දියත් කරන ලද ප්‍රොජෙක්ට් බියුටි නම් ව්‍යාපෘතියක අරමුණ වුණේ උයිගුර් කාන්තාවන් මුහුණු ආවරණය කිරීම වැළැක්වීම. උයිගුර් කාන්තාවන් අතර රූප සුන්දරියන් තේරීමේ තරග පමණක් නොවෙයි, මහ මගදී හමු වන මුහුණු වසා ගත් ගැහැනුන් ක්ෂණික අධ්‍යාපන වැඩසටහනකට යොමු කිරීම වැනි දේත් මේ යටතේ සිදු වෙනවා. රැවුල් වවා ගත් උයිගුර් තරුණයන්ව නම් පොලිසියේ ලියාපදිංචි කරනවා. බහුතර හන් ජාතිකයන්ගෙ ආධිපත්‍යයෙන් යුත් චීන රජය හා ආරක්ෂක අංශ උයිගුර් ජාතිකයන් දෙස බලන්නේ සැකයෙන්. 

මෙම පසුබිම තුළ උයිගුර් ජාතිකයන් අතර ජාතිවාදය ඉහ වහා යමින් තිබෙනවා. තරුණ කොටස් ප්‍රචණ්ඩත්වය වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙනවා. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

3 comments:

  1. thank you para......

    indika

    ReplyDelete
  2. nothing to write?

    ReplyDelete
  3. අනුරාධMarch 13, 2014 at 11:00 AM

    පැරා.... ලිපිය විශිෂ්ටයි.... ලොව පුරා සිටින මෙවන් පීඩනයට ලක්වන මිනිසුන්ගේ වේදනාව ලියන්න... ඔවුන් අතින් ද වැරදි සිදුවන්නේ වුව, ඒවා නිර්මාණය වන පසුබිම නිසැකව ම හදුනාගැනීම තුළ ඔබගේ දෘෂ්ටිමය නිවැරදි බව හෙළි වේ... නැවතත් ප්‍රශංසාව....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.