2014-04-27

සුන්දර ඉංගිරිසි - ඉස්ටුඩන්ට්ස් ඉස්ටොප් ඇට් ඉස්කූල්

උච්චාරණය අනුව ඉංගිරිසියේ පංති භේද හොයන පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ අය කොළඹ හා තවත් ප්‍රධාන නගර කීපයක් ආශ්‍රිත ප්‍රධාන පෙළේ පාසල්වලින් ඉගෙනුම ලැබූ නිවෙස්වල ඉංග්‍රීසියෙන් කතා කරන පැළැන්තියයි. පසුගිය කාලයේ ලංකාවේ නැගී ආ ජාතිකවාදී ප්‍රවණතා මැද මේ අයගේත් හුළං බැස්සා. ඉස්සර නම් මොවුන් සිංහල පාවිච්චි කළේ ගෙදර වැඩකාරයන්ට කතා කරන්නටයි. ඒත්, පසුකාලීනව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතීන් පිරිහීමත් සමග ම දැන් මේ පැළැන්තියේත් ප්‍රමිති පිරිහිලා. ඒ භාෂාව පැත්තෙන් විතරක් නෙමෙයි. ආර්ථික හා සමාජමය පැතිවලිනුත් ඔවුන් එදා පවත්වාගෙන ගිය ආධිපත්‍යය අද නැහැ. 

ඉස්සර අපි අසා තිබුණු කාරණයක් තමයි, කොයි තරම් ජාතිය ගැන කතා කළත්, ලංකාවේ ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ඉංග්‍රීසියෙන් බව. ඒත්, දැන් පාලන බලය අත්පත් කරගෙන සිටින ලුම්පන් ධනපති පැළැන්තිය ඉංග්‍රීසි තියා සිංහලවත් හරි හැටි දන්නා පිරිසක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඒ මහ ඉහළින් අගය කරමින් තිබුණු සම්ප්‍රදායන් පයින් ගසා බිඳ දැමුවා. හැබැයි, හීනමානයකුත් එක්කයි.

හීනමානය යි කීවා ම, සිංහල ගැමියන්ගේ ඉංග්‍රීසි භාවිතාවේ අැද පලුදු සොයන පැළැන්තියට තිබෙන භාෂා මාන්නක්කාරකමත් මම නම් හිතන්නේ හීනමානයක් ම තමයි.

දැන්, දැන් ලාංකික ඉංග්‍රීසිය පිළිබඳ වැඩිපුර කතා කෙරෙනු අසන්නට ලැබෙනවා. මේ ලාංකික ඉංගිරිසි කතා ද ලංකාවේ අනෙක් කතා සේ ම හිස් ප්‍රලාප තමයි. ලංකාවේ පණ්ඩිතයන් ලාංකික ඉංගිරිසිය යයි සිතාගෙන සිටින්නේ කුමක් ද යන්න පිළිබඳ නිදසුනක් උසස් පෙළ සිසුන් සඳහා නිර්දෙශිත General English පොතෙන් පෙන්වා දිය හැකි ය. එහි එක් තැනක, ඉස්කූල්, ඉස්ටොප් වැනි උච්චාරණ ලාංකික උච්චාරණ ලෙස හඳුනා ගන්නට උත්සාහ කර ඇත.

මේ ඉස්කූල්, ඉස්ටොප් වැනි උච්චාරණ ඉහතදී මා විසින් සඳහන් කරන ලද පැළැන්තිය විසින් ගමෙන් ආ මිනිසුන් උපහාසයට ලක් කරන්නට හරියට භාවිතා කරනවා. ඉතින් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අයත් ගැමි දරුවන් තුළ මේ උච්චාරණය නිවැරදි කරන්න සෑහෙන උත්සාහයක් දරනවා. වඩා ජාතිකවාදී මුහුණුවරක් ඇති අය ඉස්කූල් වැනි යෙදුම් ශ්‍රී ලාංකික ඉංග්‍රීසි ලෙස පෙන්වා දෙන්න හදන්නේත්  මෙම සංදර්භය තුළයි. ඒත් මෙතන තිබෙන්නේ ලාංකිකයන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගැටලුවක් මිස ලාංකික ඉංගිරිසියක් නෙමෙයි.

මෙහි තිබෙන්නේ ඉංග්‍රීසි උච්චාරණයේදී වචන තුළ ඇති බර තැබීම හෙවත් stress කිරීම පිළිබඳ ගැටලුවක් බව මගේ අදහසයි. එය  ඉගෙන ගෙන නිවැරදි කර ගත යුතු දෙයක් මිස අපේ ඉංගිරිසි උරුමයක් ලෙස සැලකිය යුතු දෙයක් නො වේ. එස් අකුරෙන් පටන් ගන්නා, ඊළඟ අකුර ව්‍යංජනාක්ෂරයක් වන වචනවලදී මුල් එස් අකුරේ ස් ශබ්දයට බර තැබෙන්නේ දෙවන ව්‍යංජනාක්ෂරයට වඩා අඩුවෙන්.

මේ ස්ට්‍රෙස් කිරීම සිංහල භාෂාවේ දකින්නට නොමැති ලක්ෂණයකි. සිංහල භාෂාවේ වචන උච්චාරණය කිරීමේදී අපි වචනය තුළ ඇති සෑම ශබ්දාණුවක් ම එක තරමින් උච්චාරණය කරනවා මිසක් ඇතැම් ශබ්දාණු වැඩි බරක් තබා උච්චාරණය කරන්නේ නැහැ.

නිදසුනක් ලෙස ස්කූල් කියන වචනය ගත්තොත්, එහි කූ කියන ශබ්දාණුවට තබන බර තරම් බරක් ස් ශබ්දාණුවට තබන්නේ නැහැ.මේ ස්ට්‍රෙස් කිරීම ගැන අපේ ළමයින්ගේ පාසල් විෂය නිර්දේශවල කොතැනකවත් ඉගැන්වෙන්නේ නැහැ. ඉතින් ඉංග්‍රීසි වැඩිය භාවිතා නො කරන ගමේ ළමයි තමන් දන්නා සිංහල භාෂාවේ ආකාරයට ම වචනයේ සෑම තැනක් ම එක සමාන අන්දමින් බර කරනවා. ස්කූල් ඉස්කූල් වෙන්නේ එහෙමයි.සිංහල භාෂාවේ තිබෙන ස්කන්ධය, ස්පර්ශය වැනි සංස්කෘත වචන වුණත් ගැමියා ශබ්ද කරන්නේ ඉස්පර්ශය, ඉස්කන්ධය කියලා වෙන්න පුළුවන්.

මේ ඉදිරිපත් කිරීම ටිකක් ම‍තභේදාත්මක වෙන්න පුළුවන්. ඔබේ අදහස කුමක් ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

36 comments:

  1. මේක ටිකක් මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් ඒත් දන්නෙ නැති දේ දන්නෙ නෑ කියලා පිළිගන්න එපායැ..
    …'ලුම්පන්' කියන වචනයේ තේරුම මොකක්ද? තව ඔය විදිහටම තේරෙනෙ නැති වචනයක් තම්යි 'ඊනියා' කියන එක..

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදී සංදර්භය තුළ ලුම්පන් යන වදන යෙදෙන්නේ විප්ලවය ගැන උනන්දුවක් නො දක්වන නිර්ධන පංතිය හඳුන්වන්නයි. ලුම්පන් ධනපති පංතිය යන වදන අපි යොදන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි අරුතින් 'පහත් පෙළේ' යන අරුත දෙන්නයි.

      ඊනියා නම් වදන සාමාන්‍යයෙන් යෙදෙන්නේ so called නම් ඉංග්‍රීසි යොදුමේ පරිවර්තනයක් ලෙසයි. එහි තේරුම වන්නේ 'ඒ ආකාරයෙන් පෙනී සිටියත් එසේ නො වීම' යන්නයි.

      Delete
    2. මටත් ඔය ඊනියා කියන කෙහෙම්මල් වචනය පොඩි කාලේ ඉඳන්ම තේරුන්නැති එකක්. මම හිතන් හිටියේ ඕක විප්ලව කාරයන්ගේ බූදලයක් කියලා.. දැන්නම් ටිකක් ඔළුවට ගියාවගේ..

      Delete
    3. ඊ නියා කියන වචන දෙක එකට එකතු කරලා තියෙන්නේ. එවැනි වූ, ඒ කියන ආකාරයේ, එම ස්වභාවයේ, යන තේරුම තමයි තියෙන්නේ

      Delete
    4. තිදෙනාටම ස්තුතියි

      Delete
    5. "ලුම්පන්" ට මාක්ස්වාදී අර්ථකතනයක් තියනව කියල දැනගත්‍තෙ අදයි. ස්තුතියි පැරා

      Delete
    6. ස්තුතියි වචන අර්ථය පැහැදිලි කළාට

      Delete
    7. රාජ් , මම අහල තියෙන විදිහට මාක්ස් කියල තියෙනව ඔය ලුම්පන් නිර්ධනයින් ධනපතියන්ටත් වඩා නරක ජාතියක් කියල...

      Delete
    8. (in Marxist contexts) uninterested in revolutionary advancement.
      "the lumpen public is enveloped in a culture of dependency"

      Delete
  2. අපිට අපේම ඉන්ගිරිසියක් හදා ගන්න එකේ ඉස්කූල් ඉස්ටොප් කියන එක මම හිතන්නේ නම් ඉස්ටෑන්ඩඩ් එකක් වෙයි කියලා. අර ඉන්දියන් කාරයෝ "ආර්" එක කාරෙක වගේ ඉස්ටාට් කරලා වගේ, "ර්...ර්...ර්...ර්...ර්" ගාන්නේ....

    අයි තින්ක් දැට් විල් බී වන්ඩර්පුල් ඇන්ඩ් ඉට් විල් බී ඩ සිරි ලන්කා ඉස්ටෑන්ඩට්.....

    ReplyDelete
    Replies
    1. අපි ඉන්දියාවේ පුහුණුවට ගිහින් හිනා නොවී හිටියේ හරිම අමාරුවෙන්. "යුවර් ආර්මී ඉස් නොට් ලයික් අවර් ආර්මී" කිව්වම කොයි දෙයියටද හිනා නොයන්නේ.

      හැබැයි එක දෙයක් තිඅනවා . ඉන්දියාවේ බුලත්විට වෙළෙන්දාටත් ඉංග්‍රීසි පුළුවන්. එහෙදි සාරවිට කෑව නිසා දන්නේ.

      Delete
    2. විචාරක
      ඉන්දියන් ටීම් එ‍කේ ‍ෂෙවාග් ‍ගෙ කතාවත් ඔයව‍ගේ. මම නං මාර ආසයි අහන්න

      Delete
  3. හැම වචනයකටම පස්සෙත් ස් ශබ්දය දාන්න අපේ අය යොමු වෙලා තියෙනවා
    එකෙන් ඔවුන් උත්සහ කරන්නේ බ්‍රිටිෂ් ඇක්සන්ට් එකක් ලබා ගැනීමේ අරමුණ වුවද සමහර වෙලාවට කියන දේවල් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ
    ඇයි හැමෝටම සරළ ඉංග්‍රීසි කතා කරන්න බැරි
    ඕකට කියන්නේ සොබනේ කියලා
    මාතලන් කිව්වා වගේ ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවෝ පවා "ර්ර් " ශබ්දය දානවා
    ඒ ඔවුන්ගේ ආවේනිකත්වය (ඉස්ටෑන්ඩට්)
    නමුත් අපිට කවදාවත් එහෙම එකක් තිබුනේ නැහැ (නේ)

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඊනියා පොස් බුවාලගේ (විශේෂන්ම බුවීලගේ) ඉංගිරිසි තේරුම් ගන්නවට වඩා ලේසියෙන් සුද්දෙක්ගේ ඉංගිරිසි තේරුම් ගන්න පුලුහන්.

      Delete
  4. කකා ඇයි තවම එයාගෙ බක පන් ඩිත අදහස ඉදිරිපත් කරල නැත්තෙ. කකාගෙ අදහසක් නැති පොස්ට් එකක් පරිප්පු නැති හෝටලයක් වගේ.

    ReplyDelete
  5. පැරා ඔය අල්ලගන්න ඉස් ඉස් කියන වචන ඇත්තටම මුල් භාෂාවෙදිත් ඉස් කියල තිබුනු ඒවම තමයි. අපි පෘතුගීසීන්ගෙන් ඉස්කෝලෙ ගියාට පස්සෙ තමයි ඉන්ග්‍රීසින් මෙහේ ආවෙ.

    ඉන්ග්‍රීසියෙන් කියද්දි ස්කූල් කියන්න වෙනව කියන එක හරි. ඒත් ඔයානිතරම මේකෙ අපි ඉස් කියන්නෙ ස් කියල පටන් ගන්න බැරිනිසා කියල නෙවෙයි අපි පෘතුගීසින්ගෙන් හරියට ඉගෙන ගත්තු නිසා කියමු. අන්නාසි මේස ජනේල වගේ වචන සින්හල වචනම වගේ අපිට හුරු වුනේ එහෙමයි.

    ReplyDelete
  6. ඕය කොයි පන්තියෙ එකත් ඉංග්‍රීසි, සිංහල දෙකම වරද්දනවා. ඉංග්‍රීසියෙ එන නිතරම වරදින සියුම් තැන් බොහොමයක් තියනවා.. accept / except, advice/advise, affect/effect කිහිපයක් පමණයි. ඔය වගේ ඒවා හොඳටම ඉංග්‍රීසි පුළුවන් කියන ඔය පංතිවල උනුත් වරද්දනවා මම දැකලා තියනවා. අනිත් එක තමා සිංහලෙන් "නෙ"කියන අර්තය ගන්න ඔය කියන පංති වල අය පවා, ඉංග්‍රීසියෙන් "No" කියලා අනන්තවත් යොදනවා මම දැකලා තියනවා.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි. කොයි ලෝකෙන් හොයාගත්ත එකක්ද මන්දා ඔය වාක්‍ය වල අගට නෝ කියලා යෙදීම

      Delete
    2. මම අහල තිබුන විදියට ඉස්සර ඉංග්‍රීසි‍යෙ තිබුනලු ‍නේද? විචාරක අහල නැද්ද?

      Delete
    3. විචාරක, මේක දැනට බහුලව භාවිතයේ තියන එකක්. අපි පවා මේක කරනවා. එකක් ඇබ්බැහිය අනිත් එක ඔය සඳහා ඉංග්‍රීසියේ තියන විකල්පය මහ පැටලිලි සහගත මතක තියාගන්න අමාරු විකාරයක් නිසා.. මට කියන්න ඕනා වුනේ ඉස්‍ටුඩන්ට් කිව්වම හිනාවෙනවා කියලා කියපු ඔය පංතියේ අයත් ඔය වැ‍රැද්ද ලොකුවටම කරණවා කියලා.

      Delete
    4. 'No?' කියන එක ඉන්දියන් කාරයොත් කියනවා.. ඉංග්‍රිසි සුද්දෝ කියන්නේ ' ඉනිට්' කියලා - (isn't it)

      Delete
    5. වාක්‍ය අන්තිමට 'නෝ' කියන එක ටිකක් හරියට 'සොරි ඈ' කියනව වගේ එකක්නේද? ඇබ්බැහියයි, නුපුරුදු කමයි, නූගත්කමයි එකතුවක් වගේ. මාද ඇතුලුව!

      Delete
    6. @කැන්ඩියන්.......මචං ඔය ඉනිට් කියන්නේ බොහෝ දුරට කළු සම්බවයක් තියෙන හාදයෝ නේද? සුද්දෝ නම් ඉස්න්ට් ඉට් කියලා තමයි කියන්නේ. කැරිබියන් බුවාලා හැම වචනයක්ම කොට කරලා සහ පහසුව පිනිසනේ හදාගෙන තියෙන්නේ. ඔය ඉනිට් කියන එකට නියම සුද්දෝ නම් පොඩි කින්ඩියක් දානවා.

      බොහොමයක් වාක්‍යය අග්ගිස්සට නෝ කියලා දාගත්තේ නේද කියලා අහන්න වෙන්න ඇති.

      Delete
    7. අරු..'init' slang එකක්. වැඩිපුරම කියන්නේ cockney / chav අය..
      මං හිතන්නේ NOකියලා දාගත්තට වැරැද්දක් නෑ... කොයි රටක් ගත්තත් ඉංග්‍රිසි භාවිතය එකිනෙකට වෙනස්. බ්‍රිතාන්‍යයේ උනත් පලාතෙන් පලාතට වෙනස් වෙනස් නේ.

      Delete
  7. // එහි එක් තැනක, ඉස්කූල්, ඉස්ටොප් වැනි උච්චාරණ ලාංකික උච්චාරණ ලෙස හඳුනා ගන්නට උත්සාහ කර ඇත. //

    ශ්‍රී ලාංකික උච්චාරන කිව්වට නම් වරදක් නෑ නේ මේකට? ශ්‍රී ලාංකික ඉංග්‍රීසි කිව්ව නම් අවුල්. උච්චාරන වෙනස් කම් සුද්දො අතරෙත් තියනවා. අයිරිෂ් උන් එහෙම කියන්නෙ "සුන්ඩේ" " මොන්ඩේ" කියල.

    උඩ සෙන්නත් කියපු අර question tag "නෝ" එක, 'guy' කියන්න ඕන එකට 'බගර්' කීම, "different different", එහෙම නං ශ්‍රී ලන්කන් ඉංග්‍රීසි.

    ReplyDelete
    Replies
    1. ඩේවිඩ් ල්ල්ල්ලොයිඩ් කියන හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක / විචාරක ගේ උච්චාරන මතකද? ස්ටුම්ප්, රුන් අවුට්!

      Delete
    2. මචංස්ලා....ඔය ඇක්සන්ට් එක තියෙන්නේ එංගලන්තේ උතුරු පැත්තට වෙන්න ඉන්න අයගේ. යෝක්ෂයර්, නිව්කාස්ල් වගේ උඩ පලාත්වල. හරි ආසයි උන් කතාකරනවා බලන් ඉන්න. තේරුම් ගන්නත් පොඩ්ඩක් කට දිහා බලන් ඉන්න ඕන. පුරුදුවුනාම හරි. ජෙෆ් බොයිකොට් මතකද? ක්‍රිකට් කමෙන්ටේටර්.

      Delete
    3. අරු.... 'ජෝර්ඩි' අය කතාකරන විධිය අනික් පලාත් වල ඉංග්‍රිසි කාරයන්ට තේරෙන්නෙත් නෑ.

      Delete
    4. ඔව්..ඔව්... Geordie එවුන් කතාකරන කොටනම් පිස්සු ඩබල් වෙනවා තමයි. හැබැයි හරි ආසයි අහගෙන ඉන්න. කවි කියනවා වගේ අමුතු තාලයකුත් තියෙනවා. උන්ගෙම වචනත් තියෙනවා.

      Delete
  8. හල් අකුරු වලින් පටන් ගන්න වචන අපේ භාෂාවේ බොහොම සීමිත නිසා වෙන්න ඇති ඔය විදිහට උච්ඡාරණය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම සීමිතයි නෙමෙයි. ඇත්තෙම නැහැ. අර කියපු ස්කන්ධය ස්පර්ශය වගේ වචනත් සිංහල ට පිටින් ආපු ඒවා. එහෙම නැත්නම් ලඟදි හදපු ඒවා. ප්ලවාංග, ප්ලාවිත, ක්වාට්ස්, ප්ලාස්ටික්!

      Delete
  9. I never thought you as a Grammar Freak Para. Broken English is not an issue at all. If we can communicate our ideas clearly broken English doesn't matter.

    ReplyDelete
    Replies
    1. If you take a general course in a university in North America and communicate with the Singhalese -English (written and spoken) you may see how the faculty is going to assess you,Ano. They will reduce all your marks for every single grammatical error. Do not take grammar as a simple thing as you think.
      Learning grammar is very similar to learning mathematics.In grammar, there are rules to follow, besides the tradition.

      clement peris

      Delete
  10. මේක කියවද්දි මතල් වුනේ අවුරුදු 2ට විතර ඉස්සර බලපු වීඩියෝ එකක්. ගොඩක් අය මේක බලලත් ඇති. https://www.youtube.com/watch?v=rexKqvgPVuA

    ReplyDelete
  11. ඉංග්‍රීසි ඉගෙනගත්තටම වැඩක් නෑ එංගලන්ත සමාජයෙන් අපේ සමාජයට ගත යුතු යම් යම් ආදර්ශයන් හරියට ගන්නේ නැතිව. අපි ඉංග්‍රීසි ඉගෙනගන්නවා වගේම බටහිර සමාජය වෙනස් වෙච්ච විදිහත් අනුගමනය කරන්න ඕනේ. එතකොටයි ඒ රටවල් අත්කරගත්ත ප්‍රගතියට අපටත් යන්න පුලුවන් වෙන්නේ. මෙහෙ අපේ රටේ සම්ප්‍රදායික වැඩ හැම එකකටම ඉංග්‍රීසිය ගලපගන්න යන එක හරියන්නේ නෑ. එහෙම කරලා අපට සමාජමය ප්‍රගතියක් අත්කරගන්න බෑ.

    ReplyDelete
  12. සාජන් නල්ලතම්බිගේ දෙබස් අපට ජෝක් වෙන්නේ ඇයි , සිංහල වැරදියට උච්චාරණය කරන දෙමළාගේ සිංහල අපට ජෝක් එකක් නිසා .. ඉතින් සුද්දන් ඉස්සරහ සාජන් නල්ලතම්බිලා වෙනවාද නැද්ද කියල අපියි තීරණය කරන්න ඕන..

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.