2014-04-09

වස විස නැති ගොවිතැන ඇත්තෙන් ම කළ හැකි ද?

කෘත්‍රිම පොහොර හා කෘෂි රසායනික නොමැතිව ගොවිතැන් කළ හැකි බව හා එයින් ලොකු අස්වැන්නක් ලැබිය හැකි බව පසුගිය දිනෙක අතුරලියේ රතන හිමි රූපවාහිනියෙන් කියනු අසන්නට ලැබිණි.

වස විස නැති ගොවිතැන ඇත්තෙන් ම ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය දෙයකි. වස විස නැති ගොවිතැන පමණක් නොව, වස විස නො යොදන ලද ආහාර වෙළඳපොළෙන් මිළ දී ගන්නට හැකිකම ද අත්‍යවශ්‍ය ය.

උදෑසන ආහාරයට කඩල ක‍න බොහෝ විට මට කඩලවලින් යන්තමින් භූමිතෙල් රසයට සමාන රසයක් දැනෙයි. මේ නම් අනිවාර්යයෙන් ම කිසියම් කෘමි නාශකයක් විය යුතු ය. විකසනය නො කරන ලද ආහාර කල් තබා ගැනීමට ද කෘමි නාශක භාවිතා වේ. විකසනය කරන ලද ආහාරවල අධික ‍මාත්‍රාවෙන් අඩංගු කල් තබා ගන්නා රසායනික ද බොහෝ විට විෂ ය. අප කන්නේ වස විස ය.

රතන හිමි වැනි වස විස නැති ‍ගොවිතැන ප්‍රවර්ධනය කරන්නන් සිය සාර්ථකභාවය හුවා දැක්වීම පිණිස සංඛ්‍යාලේඛන හා වෙනත් සාක්කි හුවා දක්වන්නේ ඉතා අඩුවෙනි. එහෙයින් ම ඔවුන් කරන්නට උත්සාහ කරන ප්‍රවර්ධනය අසාර්ථක වේ. 

අප කවුරුත් දන්නා සාමාන්‍ය දෙයක් වන්නේ කෘමි උවදුරුවලින් බේරී ගෙවතු වගාවක් හෝ කර ගැනීම අති දුෂ්කර බවයි. එසේම එවැනි වගාවන්ගේ ඵලදාව ද අඩු බව ඇත්තකි.

වානිජ ගොවිතැනෙහි යෙදෙන්නන්ට කාබනික ගොවිතැන හඳුන්වා දෙන්නට දරන උත්සාහය අසාර්ථක වන්නේ මෙතැන ය. වෘත්තීය ගොවියා යැපෙන්නේ ගොවිතැනෙන් ලැබෙන ලාභයෙනි. ලංකාවේ නම් ගොවීන් ගොවිතැනින් ලබන ලාභය පවතින්නේ ඔවුන්ගේ ජීවිතය යන්තමින් පවත්වාගෙන යන්නට ප්‍රමාණවත් මට්ටමක ය. කාබනික ‍ගොවිතැන අත්හදා බලන්නට ඔවුන්ට තිබෙන අවස්ථාව ඉතා සීමිත වන්නේ එහෙයිනි. කාබනික ගොවිතැන කරන බව කියන ‍බොහෝ අය ජීවත් වන්නේ ඒ ගොවිතැනෙන් නොව රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලිනි.

කාබනික ගොවිතැනින් කරන ලද වානිජ කෘෂි නිෂ්පාදන ඇතැම්විට වෙළඳපොළේ සොයා ගන්නට පුළුවන. ‍එහෙත්, එහෙත්, ඒවායේ මිළ සාමාන්‍ය පාරිභෝගිකයාට  දරා ගත හැකි මට්ටමක නැත. නිදසුනක් ලෙස කෘෂි රසායනික නො ‍යොදා වගා කරන ලද බව කියන දේශීය යයි හඳුන්වනු ලබන හීනටි වැනි සහල් කිලෝවක් වෙළඳපොළේ රුපියල් 200ක් පමණ වේ.

එබැවින් කොයි තරම් උත්සාහ කළත්, කාබනික ‍ගොවිතැන වානිජ ගොවිතැන තුළ ප්‍රායෝගික කර ගැනීම උගහට ය.

ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පවත්නා වෙළඳපොළ රාමුව තුළ ම තබාගෙන කෘෂි රසායන භාවිතා කරන ආකාරය පමණක් වෙනස් කරන්නට යාම දියවැඩියා රෝගියකුගේ නිදන්ගත තුවාලයකට අලුත් පැලැස්තරයක් දැමීම වැනි ය. 

වස විස නැති ගොවිතැනකට අපට ආපසු යාමට හැකි වනු ඇත්තේ පුළුල් සමාජ විපර්යාසයක් තුළ ය. එතුළ අපගේ පාරිභෝජන රටාවන් හා ඒ හා සම්බන්ධ ධනේශ්වර නිෂ්පාදන මාදිලි ද විපර්යාසයට භාජනය විය යුතු ය. සමස්ත ජීවිතය ම ගැඹුරු පරිවර්තනයකට ලක් විය යුතු ය.

වස විස නැති ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඇත්තෙන් ම ධනවාදයට එරෙහි දේශපාලන අරගලයකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

12 comments:

  1. මට නම් මතක විදියට ඔය නලින්, රතන හිමි නඩේ කිව්වා කොහේ හරි ඔහොම වගාවන් කරල බලල තියනවා කියලා, රෝයල් එකේ පොඩි උන් ටිකක් එහෙම සෙට් වෙලා. වැඩි විස්තරයක් මට මතක නෑ, මම හොයලත් නෑ. තනිකර ඕගනික් (නලින් නම් මේ වචනෙට විරුද්දයි) වගාවකින් රසායනික එක්ක කරන වගාවකින් ගන්න පලදාව නම් ගන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ. අනික දැන් වවන පලදාව වැඩිදෙමුහුන් වානිජ ප්‍රබේද එහෙම වගා කරන්නත් බෑ. කොහොම උනත් උන් ගෙ ක්ලේම්ස් ඉස්සෙල්ල හොයා බලන්න වටිනව විසි කරන්න කලින්.

    ඒත් මගෙ හිතේ මේ වගාව ගැනත් නලින්/රතන හිමි නඩේට තියන විරෝධය හරියට ඇහුන්කම් දීල වත් කෙරෙන එකක් නෙවෙයි උන්ගෙ දේශපාලනේත් එක්ක ගෑවුනු එකක්. උදාහරණයක් හැටියට ආසනික් ප්‍රශ්නෙ වෙලාවෙ උන් කියන්නෙ ඇත්තද බොරුද කියල වත් බලන්න "ප්‍රගතිශීලී" කට්ටිය කැමති වුනේ නෑ උන් කොච්චර කිව්වත් එන්න ඇවිත් බලන්න කියලා. කෘෂිකර්ම අද්යක්ෂකද මොකාද එකා මහ දවල් කොම්පැනි වලට කඩේ යද්දි "ප්‍රගතිශීලී" උන් කටවල් වහන් හිටියා "අපේ මොකෝ, නලින් ගෙ වලිය නෙ" කියලා. නලින් ගෙ දේශපාලනික හතුරෙක් වුනු කාලෝ ෆොන්සේකා විතරයි කිව්වෙ නාත දෙය්යන්ගෙන් ඉන්ස්පයර් වුනා කියන එක විද්‍යාත්මක ක්‍රමයට ප්‍රශ්නයක් නෑ කියලා. කෙකුලේ බෙන්සින් වලය ගැන මුලින්ම දැක්කෙ හීනෙකින් කියනවා.

    නලින්, රතන හිමි වගේ අයගෙ acerbic හැසිරීමත් හතුරො වැඩි කර ගන්න හේතුවක්.

    ReplyDelete
  2. පැරා රත්න හිමියන්ගේ බයිලා වලට හරි කැමතියි වගේ..

    ඊට හොඳයි කන පුපුරන්න පීකරෙන් දාන කයි බණ..

    ReplyDelete
  3. මොකක්ද මේ විකසනය කියන වචනය?

    ඒ කියන්නේ ප්‍රොසෙස්ඩ් ෆුඩ්ස් කියන එකද?

    ඒකට නං මං හිතන්නේ හොඳයි පෙර සැකසූ ආහාර කියන එක. අපි හයේ හතේ පොඩි පන්තිවල ඉගෙන ගත් ජ්‍යාමිතික ඇඳීම විෂයේ විකසනය කිව්වේ වෙනත් තේරුමකට වගෙයි මතක.

    ReplyDelete
  4. //විකසනය කරන ලද ආහාරවල අධික ‍මාත්‍රාවෙන් අඩංගු කල් ගබා ගන්නා රසායනික ද බොහෝ විට විෂ ය. එහෙයින් ම ඔවුන් කරන්නට උත්සාහ කරන ප්‍රවර්ධනය අසාර්ථක වේ. //

    මේ ලොජික් එකත් මට නම් තේරෙන්නෙ නෑ. ලංකාවෙ බහුතරයක් හාල් එලවලු කඩෙන් අරන් ගෙදර උයාගෙන නෙ කන්නෙ?

    ReplyDelete
  5. වැරදීමකි. නිවැරදි කර තිබේ.

    ReplyDelete
  6. 'උදෑසන ආහාරයට කඩල ක‍න බොහෝ විට මට කඩලවලින් යන්තමින් භූමිතෙල් රසයට සමාන රසයක් දැනෙයි. මේ නම් අනිවාර්යයෙන් ම කිසියම් කෘමි නාශකයක් විය යුතු ය. '

    මම ගෙදරදී කඩල තම්බා ආහාරයට ගන්න විට ඔය අමුතු රසය දැනිලා නෑ. ඒත් පාර අයිනේ,ඔය වයින්ස්ටෝර්ස් අසල සිටිනා කඩල විකුණන වෙළදමහතුන්ගෙන් කඩල මිලට ගෙන ආහාරයට ගත්විට භූමිතෙල් රහ දැනී තිබෙනවා. මම හිතුවේ ඔවුන් ආහාර පිසීමට සහ ආලෝකය ලබා ගැනීමට භාවිතා කරන්නේ භූමිතෙල් අඩංගු ලිපක් නිසා ඒවායින් තෙල් කවලම් වෙනවා කියායි.
    ඒත් පැරකුම් මිතුරා කියන විදියට මේක කෘමිනාශක වෙන්නත් පුළුවන්. හොයලා බලින්න වටින කාරණයක් මේක නම්.

    කෘමිනාශක/රසායනික පොහොර යොදන්නේ නැතිව කිසිම වගාවක් කරන්න බැරි මට්ටමට දැන් ගොවිමහතුන් පත්ව තිබෙන්නේ. මට පාරම්පරිකව ලැබුණු ඉඩම් තිබෙනවා.බොහොමයක් තිබෙන්නේ නුවරඑළිය ආසන්නයේ. කුඹුරුත් තිබෙනවා. ඒවා වගකරනා උදවිය රසායනික ද්‍රව්‍යය අධිමාත්‍රා වලින් යොදන්නේ. ඒවාට ඇබ්බැහි වෙලා තිබෙන්නේ. හැබැයි ඔවුන්ගේ කෑමට පමණක් වෙනම ටිකක් හදාගන්නවා බෙහෙත් වර්ග නොයොදා.

    මගේ අදහස නං එළවලු වර්ග වගේ දේවල් මිලට ගනිද්දී ඒවා පණුවන් කා දමා ඇතිදැයි බලා,ඒවා මිලට ගන්න කියායි. සුපර්මාර්කට් වලින් එළවළු ගනිද්දී මේ බව හොදට පරික්ෂා කල හැකියි. ඒ වගේම ආර්පිකෝ සුපර්සෙන්ටර්ස් , කීල්ස් සුපර් වැනි තැන්වල තිබෙනවා එළවලු වර්ග. මේ ඇතැමක් රසායනික ද්‍රව්‍යය නොයොදා සාදන එව්වා. හැබැයි මිල වැඩියි. රුපියල් තිහට ගන්න තියෙන ඒක රුපියල් 60 වගේ වෙනවා.

    ReplyDelete
  7. වගාව සඳහා නැතිවම බැරි වස විස කිසියම් ප්‍රමිතියකට අනුව අවශ්‍ය අවම යොදා ගැනීම හොඳයි නේද? චෝදනාව තියෙන්නේ අද ගොවීන් සීමාව ඉක්මවා කිසිම පිළිවෙළක් නැතිව වස විස කෘෂි ද්‍රව්‍ය වලට එකතු කරනවා කියන එක නේද? ඒක රතන කිව්වත් කවුරු කිව්වත් සැළකිල්ලට ගත යුතු කාරණයක් නේද?

    ReplyDelete
    Replies
    1. මේකත් ඇත්ත කතාවක් මමත් අහල තියන හැටියට. අපේ ගොය්යල ක්ෂනික ප්‍රතිඵල බලාගෙන තියන සැරම එක අරන් ඒකත් ඕවර්ඩෝස් ගහනව කියල මටත් ඔය ෆීල්ඩ් එක දන්න පොරක් කිව්වා.

      මේ කතාවෙත් ඇත්තක් ඇති. බටහිර රටවල වල් නාෂක වලින් ඔය ලංකාවෙ වගේ උදේ ගැහුවම දවල් වෙනකොට ගස් මැරෙනව මම දැකල නෑ. සමහර විට ගහල සතිය දෙක යනවා රිසල්ට් එක එන්න.

      Delete
  8. //ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පවත්නා වෙළඳපොළ රාමුව තුළ ම තබාගෙන කෘෂි රසායන භාවිතා කරන ආකාරය පමණක් වෙනස් කරන්නට යාම දියවැඩියා රෝගියකුගේ නිදන්ගත තුවාලයකට අලුත් පැලැස්තරයක් දැමීම වැනි ය. //

    මේක තමයි ලිපියේ සාරය.

    ReplyDelete
  9. See:
    සිවුමංසල කොලූගැටයා #153 කාබනික ගොවිතැන: උද්‍යොග පාඨවලින් ඔබ්බට?
    http://wp.me/p3zUD-2wJ

    ReplyDelete
  10. "වස විස නැති ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඇත්තෙන් ම ධනවාදයට එරෙහි දේශපාලන අරගලයකි."
    සැමවිටෙකම නොවේ.

    ReplyDelete
  11. ගෙදර හදන කඩලවලත් භූමිතෙල් රසක් එනවා . මම හිතන්නෙ ගුල්ලන්ට ගහන බේත්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.