2014-05-25

හමුදා සෙබළුන් පුනරුත්ථාපනය නො කිරීමේ ආදීනව

‍ඇල්පිටියේදී මිය ගිය තරුණියගේ ඡායාරූපයක්. මෙම ඡායාරූපය ගත්තේ එහි වෝටර්මාක් දමා ඇති කට්ටිය ද?
රට පුරා පැතිර යමින් ඇති අපරාධ රැල්ල යුද්ධයේ අතුරු ඵලයක් බව කීවොත් ඇතැමෙක් අප සමග උරණ වන බව නිසැක ය. 

එහෙත්, එය ඇත්තකි. මෑත කාලයේ සිදු වූ භයානක අපරාධ හැම එකක ම පසුබිමේ රණවිර්වෙක් සිටියේ ය.

ආසන්න ම සිද්ධිය වන ඇල්පිටියේදී සරසවි සිසුවියක් මරා දැමීම පසුපස ඉන්නේ ද හමුදා සෙබළෙකි. 

1989 කැරැල්ලේදී ජවිපෙ සන්නද්ධ කැරැලිකරුවන් හැසිරුණ ආකාරය හා හමුදා සෙබළුන් එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ මම අධ්‍යයනය කර ඇත්තෙමි. මෙම බලවේග දෙක ම හැසිරුණේ ලිහා දමන ලද දඩ බල්ලන් සේ ය. 

ශිෂ්ටත්වය පිළිබඳ සමාජමය සීමා බන්ධන රහිත ලෝකයක සෑම මිනිසෙක් ම අඩු වැඩි වශයෙන් ම්ලේච්ඡයකු වන බව මගේ නිරීක්ෂණයයි. එහිදී මිනිසා තුළින් මතු වන ආශාව අතීතයේ පැවති මිනීමස් කෑමේ ආන්තික රුචිය වැනි දෙයකි. මිනීමස් ‍නොකෑවත්, අතිශය ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමීමේ හැකියාව මිනිසුන් තුළ ඇති වනු මම නිරීක්ෂණය කර ඇත්තෙමි. 

එළියකන්ද වධකාගාරයේදී එක් දිවා ආහාර වේලාවක බීමත්ව පැමිණි  දැළි රැවුලවත් නො වැවුණු වයස අවුරුදු 19ක සෙබළෙක් ඉහළ නිලධාරියාගේ අණ පරිදි අතට හසු වූ කෙටි උදැල්ලකින් ගසා,  සිරකරුවන් වතුර බොන බවුසරය අසලදී සෙසු අයට ද පෙනෙන පරිදි  මිනිසුන් දෙදෙනෙකු මරා, එම මොට්ට උදැල්ලෙන් ම ගසා බෙලි කපා ඒවා කම්බි වැටෙන් එහා පැත්තට විසි කළේ ය. ඉන් මොහොතකට පසු මෙම සෙබළා මට තුවක්කුව උරුක් කර කීවේ කම්බි වැට පැන ගොස් එම ‍හිස් දෙක අහුලාගෙන එන ලෙසයි. මගේ වාසනාවකට ඔහුට උසස් නිලධාරියෙක් මා එහි නො යවා වෙනත් සිරකරුවකු යවා එම හිස් දෙක ගෙන්වා ගත්තේ ය. මාතර කොටුවේ හමුදා කඳවුරේ කුස්සියේ සිට එළියකන්දේ සිරකරුවන්ට හා නිලධාරීන්ට කෑම ගෙන ආ කහ පැහැති ඉසුසු ඩබල් කැබ් රියේ පිටුපස එදා රෑ මේ මළ සිරුරු වීදි අයිනක ප්‍රදර්ශනයක් කරා ගෙන යන්නට ඇත. 

මේ එක් සිදුවීමක් පමණි. මෙවැනි තවත් සිද්ධි බොහොමයක් ගැන කතා කළ හැකි ය. මේවා ගැන දන්නා අය බොහෝ සිටිති. ඒ අතරින් වැඩි දෙනෙක් හමුදා සාමාජිකයෝ ය. එබැවින් මේ දිනවල හෙළිදරව් වන යුද්ධය හා සම්බන්ධ ඡායාරූප ගැන ඔවුහු කිසිවෙක් පුදුම වන්නේ නැත.

යුද්ධයෙන් පසු ඉතිරි වූ කොටි සාමාජිකයෝ නම් පුනරුත්ථාපනය වූ හ. මෙම පුනරුත්ථාපන වැඩසටහන්වල සාර්ථක අසාර්ථකභාවය කෙසේ වෙතත්, ඉතිරි වූ කොටි සාමාජිකයෝ අපරාධවලට යොමු වීම සාපේක්ෂව අඩු ය. 

යුද්ධයෙන් පසු හමුදා සෙබළුන් ද පුනරුත්ථාපනය කළ යුතුව තිබිණි. එහෙත්, ඒ වෙනුවට කෙරුණේ බලය වෙනුවෙන් දිගින් දිගට ම ඔවුන් බොරු වීරාභිනන්දනයකට ලක් කරමින් ඒ හරහා දේශපාලන නායකත්වය තමන් ම පුම්බා ගැනීමයි. 

දැන් සිදු වන දේවල් වනාහි යුද්ධය සඳහා යොදා ගත් මිනිසුන් පුනරුත්ථාපනය නො කිරීම අදූරදර්ශී රාජ්‍ය පාලනයේ හා සමාජ පරිහානියේ සෙසු ප්‍රතිඵල සමග මුසු වීමේ ප්‍රතිඵලයකි. මේ වනාහි ලාංකීය සමාජයට පහසුවෙන් ගොඩ ආ හැකි අර්බුදයක් නො වේ‍. අද මේවාට විසඳුම් දීම ආරම්භ කළත්, තවත් පරම්පරා ගණනාවක් ම මේ සමාජයේ අනාරක්ෂිත තත්වය නැති වන්නේ නැත. 

මෙම දේශපාලක නඩය ඔවුන් කරමින් සිටින රාජ්‍ය පාලනය යයි ඔවුන් හඳුන්වන පිස්සු විකාරයෙන් මුදවා පුනරුත්ථාපනයට යොමු කළ යුතු ය. 

ඔවුන් මේ වනසමින් සිටින්නේ ඔබේ දරුවාගේ අනාගතයයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

26 comments:

  1. කිසියම් රටක් දීර්ඝ කාලයක් යුද්ධයක පැටලී සිටියොත්, ඒ රටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ඇතිවන මානසික වෙනස්වීම්, පසුකාලීනව භයානක ප්‍රතිඵල අත්කර දෙනවා. දෙවැනි ලෝක යුද්ධ කාලයේ සිට ඉරාන ඉරාක යුද්ධය දක්වාත් ඒ තත්වය එහෙමමයි. අපේ රට කියා වෙනසක් නැහැ. සෙබළුන් සුපර් ස්ටාර් කිරීමට පෙර, ඉඩම් ගෙවල් දොරවල් දීමට පෙර, කම්කරුවන් ලෙස පාරේ වැඩට යෙදවීමට පෙර, ඔවුන්ගේ හිත ඇතුලේ තියෙන්නේ මොනවාද කියා සොයාබලා ඒවාට ප්‍රතිකර්ම යෙදීම, සදාචාරය රකින ආණ්ඩුවක වගකීමයි. නමුත් අද මේ රටේ සදාචාරය වැනසීමේ මුල් තියෙන්නේ කොහෙද කියා මා ඔබට කියා දියයුතු නැහැ. මේ ගැන මා ලියන ලද ලිපියක් මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. මේ මොනවද ගොං බිජ්ජෝ කියවන්නෙ මේකම ජේවීපී එකෙක් කරානම්???

      මේකම තොගේ පියා කොරානම්? 

      කටට එන එකක් කියවනනැතුව හිටපං. ලක්ෂයක හමුදාවකින් එකෙක් එක වරදක් කලොත් බොලාට මුලු හමුදාවම වැරදිනං අපරාදෙ බොගේ පියා සරමේ පිහිදුවනං මේ දුක පැරාට නැහැනේ...

      Delete
  2. පැරා ඔබේ ලිපිය කියවා ඔබ කොයි තරම් පරිණත කෙනෙක්දැයි මට සිතුනා.ඔබ මේ තරම් දේවල් අත්විදලත් ඒවා ගැන මේ දක්වා පම්පෝරි ගසා නැහැ.
    රණවිරු කතා මොනවා කීවත් ලෝකයේ ඕනෑම රටක හමුදාව යනු මිනීමරන්නන් පිරිසක් පමනයි.ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆගනිස්ථානයේ හා ඉරාකයේ කරන දේත් සෝවියට් හමුදා ඇෆගනිස්තානයේ හා නැගෙනහිර යුරෝපයේත් කළ දේ බලන්න.
    හිට්ලර්ගේ නාසි හමුදාව ක්‍රියා කළ හැටි බලන්න.
    ශ්‍රී ලංකා හමුදා 1971 හා 1989 දී ක්‍රියා කළ හැටි ගැන මේ රටේ ජාන්තාවට අත්දැකීම් තිබෙනවා.
    මේ දේවල් වලින් අපට තේරෙන්නේ කුමක්ද
    හමුදා සෙබලුන් පිටසක්වලින් ගෙනා පිරිසක් නොවෙයි.
    එසේම 1989 කාලයේ කැරලිකරුවනුත් පිටසක්වලින් ආ පිරිසක් නොවෙයි.ජවිපෙ කැරලිකරුවන් සමාජයට මුදා හැරියේත් දරුණු ප්‍රචන්ඩත්වයක්.

    මේ ක්‍රියා වලින් අවබෝධ වන්නේ මිනිසා තුල අවිඥානිකව තිරිසන් සතෙක් ජීවත් වන බවයි.ඒත් තිරිසන් සතුන් පවා ප්‍රචන්ඩ වන්නේ ආහාර ලබා ගන්නත් ආරක්ෂාවටත්.මිනිසා ප්‍රචන්ඩ වන ආකාරය තිරිසන් සතුන් ඉක්මවා යාමක්.
    අද කැරැල්ලක් ආවොත් රට ලේ වලින් නහවන්න සැදී පැහැදී සිටින පොලිස් හමුදා පිරිසක් සිටිනවා.
    රණවිරු උපහාර වලට වඩා වටින්නේ මේ අය පුනරුත්ථාපනයයි.

    වධහිංසා කිරීම තම රාජකාරිය කරගෙන සිටින අයටත් විශ්‍රාම යන්න පෙර හෝ කෙටි කාලීන පුනරුත්ථාපනයක් ඕන.නැත්නම් P.T.S.D වගෙ මානසික රෝග ඇතිවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අවසාන අයිස් යුගය අවසන් වී මිනිසා පැළපදියම් වුනේ මීටා අවුරුදු 10,000 කට පෙරය .එයින් පසු ඔහු ශිෂ්ට වුනායැයි නොකියවේ.ආගම් පහළ වී හොද නරක කියා දෙයක් ගැන පොදු වැටහීමක් නාම මාත්‍රිකව හෝ ඇතිවී අවුරුදු 3000 ක් පමන වේ.ඉන්පසු ආගම්වල නාමයෙන්ද ප්‍රචන්ඩ විය.ලඟ ඉන්න එකා නොමැරිය යුතුය යන මානසිකත්වය ඇතිවී (බටහිර මානව හිමිකම් ) දශක කිහිපයක්වත් ගත වී නැත.
      එහෙත් අවුරුදු ලක්ෂ ගානක් මිනිසා ජීවත් වුනේ කැළයේ මිත්‍යා විශ්වාස හිස දරා අසීමිත ප්‍රචන්ඩත්වයකිනි.මෙය මිනිසාගේ ලේ මස් වලම ඇත.
      ආරක්ෂක අංශවලදී කැරළිවලදී මතුවන්නේ අවිඥානයේ සැඟවී ඇති එළියට පනින්නට බැරිව ලතවන ඒ ආශාවනුයි.
      මෙතෙක් එළියට එන්නට බැරිව සැඟවී තිබූ ඒ ආශාවන් සංතෘප්ත කර ගන්නේ කැරළි හා යුද්ධ වලදීය.

      Delete
  3. 2010 දි ෆොන්සේක දිනුව නම් ඇතිවෙන්න තිබුන භයංකාර තත්වය වචන වලින් නම් විස්තර කරන්න ලැබෙන එකක් නෑ.මාරයගෙ හෝරාව බ්ලොග් එකේ අපූරු කතාවක් මේ ගැන තිබුන." මහින්දට ප්‍රශ්නයක් උද්ඝෝෂන වගෙ දේවල්.හැබැයි ඒක ෆොන්සෙකට ප්‍රශ්නයක් නොවෙයි ඔහු කැමතියි ඒකට.මොකද ඔහු පුහුණුව ලබා තිබෙන්නෙම ඒව මර්ධනය කරන්නම තමයි."

    හමුදාව කියන ආයතනය අවශ්‍ය ඇයි.ජාතීන් අතර සැකය නිසා.සුනාමි වගෙ අවස්ථාවල සේවයට. ආපදා අවස්ථාවල සේවයට වෙනම ස්වෙච්ඡා බලකායන් පුහුණු කළ හැකියි ගිනි අවි පුහුණුව නැතිව. එසේම අනාගතයේදී ජාතීන් අතර සැකය අඩුවී මානව සමාජය ගෝලීයකරනය වී හමුදාව කියන ආයතනයෙ අවශ්‍යතාව අඩුවෙයි.

    දැන් බලන්න තායිලන්තය දිහා.මහජන චන්දෙන් බලයට පත්වුන ආන්ඩුව හමුදාවෙන් පෙරලනව.ජනතාවට එපා නම් ඒ ආන්ඩුව අයින් කරන්න ඕන ඊලඟ චන්දෙන්.හමුදාවට තියෙන අයිතිය මොකක්ද ඒකට. ඊජිප්තුවෙත් ඕකනෙ වුනේ.

    සමහර අය කියනව හමුදා විනය ගැන.ඔය විනය ලබපු අයගෙ වීර වැඩනෙ පත්තරවල පිටු පුරවන්නෙ.අනික විනය කියන්නෙත් මර්ධනයට තවත් එක වචනයක්.

    ReplyDelete
    Replies
    1. /* 2010 දි ෆොන්සේක දිනුව නම් ඇතිවෙන්න තිබුන භයංකාර තත්වය වචන වලින් නම් විස්තර කරන්න ලැබෙන එකක් නෑ */

      එහෙනම් මරා හිරේ නොවෙයි යන්නේ!

      Delete
    2. මම කකාගෙ පෝස්ට් එක කියවල එන ගමන්.ඒකෙ එළියකන්ද වධ කදවුර ගැන කකා කියවපු පොතකින් ඉගෙන ගත්තුව තිබුන. ඒව ගැන ෆිල්ම් හැදුවනම් චැනල් ෆෝ කාරයන්ට ඕ .ටී කරන්න වෙනව කියන එක ඇත්ත.
      උදලුවලින් ගහපුව,මිනිසුන් මුගුරුවලට භාවිතා කරපුව, ගෝනි වලට දාල පොලේ ගහපුවම කට්ටිය මාර ආතල් ගන්න ඇති ඒ දවස්වල.

      Delete
  4. " it is a right of the army to get the country to make it is in order."

    බලුවංශගෙ සයිට් එකේ කොමෙන්ට් එකකින් ගත්තෙ.එතන කොමෙන්ට් කරන්නෙත් කවුද කියල දන්න කෙනෙක් නෑ.ශිනවත්‍රව නිවාස අඩස්සියෙ තියන එක හරිලු.ශිනවත්‍රට විරුද්ධ තායි නාගරික රාජාන්ඩු පාක්ෂිකයන්.තායිලන්තෙ විතරක් නොවෙයි මියන්මාරයෙත් ආමිකාරයො කරන බලුකම් බලන්න.

    ReplyDelete
  5. මා යුද්ධයෙන් ආබාධිත වූ අයෙකි.සේවයේ යෙදී සිටි අවසන් කාලයේදී මගේ මානසික තත්වයේ වෙනසක් වී ඇතිබව දැනුනි.විශේෂයෙන්ම ජීවිතය පිලිබඳ දැඩි නොසැලකිලිමත් බවක් ඇතිව තිබුණි.ඒ නිසාදෝ කඳවුරෙන් පිටත යනවිට හෙල්මටය සහ ආරක්‍ෂිත ජැකට්ටුව පැළඳීම අතහැර දැමුවෙමි.එසේම නිවසට ගියවිටද හිතට සැනසිල්ලක් නොදැනුනි.පෙම්වතිය මුණගැසීම සඳහා නොඉවසිලිමත්ව සිටියද ඇය මුණගැසුණු පසු ඇගෙන් ඉක්මනින්ම වෙන්ව යාමේ වුවමනාවෙන් පෙලුනෙමි.මට හැමවිටම තනිවීමේ වුමනාව දැනුනි.අපරාධ කිරීමේ මානසිකත්වයක් නම් කිසිවිටක මට ඇති නොවූ බව කියමි.මා විසින් ස්වේච්චාවෙන්ම මානසික ප්‍රතිකාර ලබා ගතිමි.ඒ අතරතුර සිදුවූ යුධ අනතුරකින් මා ආබාධිත බවට පත් විය.මේ සියල්ල සිදුවී මේ වන විට වසර 15 පමණ ඉකුත්ව ගියද තවමත් මගේ පැරණි ජීවිතයේ මතකයන් ගේ බලපෑම් ඇත.උදාහරණයක් ගතහොත් කිසියම් ගිනිකෙළි පිපිරුමකින් මා තදින් කම්පනයට පත්වෙන අතරම අසභ්‍ය වචන කියවෙන්නට සිතෙයි.මා නම් සිතන්නේ යුද්ධයට සහභාගී වුවෙකු නැවත කිසිදා පෙරසිටි මිනිසාගේ තත්වයට පත් නොවෙන බවයි.ඇතැමුන් අපරාධකරුවන් බවට පත් වෙද්දී සමහරු ජීවිතයේ යථාර්තය වටහාගත් නිවුණු මිනිසුන් බවට පත් වේ.

    ReplyDelete
    Replies
    1. විචාරකගෙන් ඉස්සුවා කියලා ලියපිය

      Delete
    2. "මා නම් සිතන්නේ යුද්ධයට සහභාගී වුවෙකු නැවත කිසිදා පෙරසිටි මිනිසාගේ තත්වයට පත් නොවෙන බවයි" ඔබ ඔය කියන යුද්දෙට මාත් එකතු වෙලා හිටියා. කෙලින්ම එකට සම්බන්ධ වෙලත් හිටියා. ඒත් මේ වනතුරුත් මම යුධ මානසිකත්වය කියන එකටනම් පත් උනෙත් නෑ. ඔය කියන දේ මට වෙලා නෑ. හමුදාවට බැඳුනු දා ඉඳලම යථාර්තය ඒ ආකාරයෙන්ම දකින්න මම පුරුදු වෙලා හිටියා. අදත් මම නිදහස් මිනිසෙක් ලෙසට ජිවත් වෙනවා හමුදාව තුලම. මම මෙතන දකින්නේ වෙන දෙයක්. ඕනෑම කෙනෙකුට හොඳ නරක තේරුම් ගන්නනම් උගත්කම කියන දේ අනිවාර්ය දෙයක්. ඒත් කණගාටුවෙන් වුවත් කිවයුතුයි යුධ සමයේ අවශ්‍යව තිබු මිනිස් බලය නිසාම උගත් කමින් අඩු වුවත් වයස ගැන පමණක් සලකා තරුණයින් විශාල වශයෙන් බඳවා ගැනීමක් සිදු උනා. උගත් කමින් අඩු කෙනක් එවැනි පරිසරයක් තුලදී වන වෙනස් වීම ගැන ම අමුතුවෙන් පැහැදිලි කලයුතු නැති මම සිතනවා. එම තත්වය අතරතුර හමුදා රාජකාරිය තුලින් දැනෙන පිඩනයත් හේතුවක් මේ වෙනස් වීමට. හමුදා තුලින් දරුණු පුද්ගලයින් බිහි වීමට ප්‍රධාන හෙතුවක ලෙස ම දකින්නේ එයමයි. ඒ වගේම එය නිසි ලෙසම තේරුම් ගත පුද්ගලයින් ද සිටින බව කිව යුතුමයි.

      Delete
  6. පැරා එක්ක සීයට සීයක් මෙතනදි එකඟ වෙන්න කැමතියි. මමත් සිතමින් සිටිය‍ෙ ඔය වගේ දෙයක් ගැන.
    මාස කීපෙකට කළින් මට මුණගැසුනු පොලිස් කාරයෙක්, (මිනිහ එක පොලිසියක ඕ අයි සී.) අසූ නමයෙදි ජේ වී පී කාරයො මරපු හැටි ගැන පාරම් බෑවා. ඒක කියද්දි උගෙ මූණ හරියට නිකං හාල්මැස්සො බැදුමක් එක්කල මඤ්ඤොක්කා කාපු විස්තරේ කියද්දි වගේ. තලු මරමින් තමයි කතා කළේ.
    මිනී මරන්න උන්ට ආසාවක් ඇති වෙලා මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය පුරාජේරු කාරයෝ වැඩිදෙනා බොරු කියන්නේ.අපේ ගෙදරට මෑතක පැමිණි පොලිස් කොස්තාපල් වරයෙක් කොටි ත්‍රස්තවාදීන් සමඟ මහා ගැටුමකින් ඔහුට තුවාල වූ බව මට පැවසුවා.මා එවෙලේ ඔහුට පැවසුවා ඔහුව රෝහල් ගතකලේ අපේ කඳවුරේ ගිලන් රියෙන් බව.ඒ ඇසීමෙන් පසු ඔහුගේ පුරසාරම නැවතුනා.සැබෑ කතාව නම් මේ පොලිස් නිලදාරියා මලපහ කිරීමට ලඳු කැලෑවකට යමින් සිටියදී වැරදි වැටහීම නිසා හමුදා සෙබලෙකු විසින් ඔහුට වෙඩි තැබීමය.වෙඩි වැදී තිබුනේ පාදයේ පහලටය නමුත් ඔහු කතාකලේ තමන්ගේ හිසට වෙඩි වැදුන ලෙසිනි.

      Delete
    2. මිනී මරන අය ඒකට ආශාවෙන් කරන්නෙ.ඒක ලිංගික තෘප්තියක්. පොත කියවන්න.මිනී මරන්නට වධ දෙන්නට මිනිසා තුල ඇති ආශාව පුදුමාකාරයි.ආරක්ෂක අංශ වලට බදවා ගැනීම් කරන්නේ මිනිසුන්ගෙන්නෙ.කැරළිකරුවන් වෙන්නෙත් මිනිසුන්නෙ.මේ දෙපැත්තට ගිහාම තම ආශාවන් හිතේ හැටියට සංසිදවා ගන්න පුළුවන්.

      ඔහොම අය මාත් හමුවී තිබෙනවා.ඒව කියනකොට මූණ මලක් වාගෙ විකසිත වෙනව.ඒව මතක් කරලත් ඔවුන් මොන තරම් වින්දනයක් ලබනවද කියල හිතෙනව.
      මානසික රෝග ඇතැම් වෘත්තීන් නිසා මතුවනවා පමනක් නොවෙයි ඒව බෝවෙන බවත් දැන් සොයාගෙන තිබෙනවා.
      දිවයිනේ මිනීමරු කතුවැකි කියවන්න.

      Delete
  7. ඇමරිකා එ.ජ වගේ අතිශය යුධවාදී රටවල්වලත් මේ ප්‍රශ්ණය නිරතුරු තියෙන බව, දෙවන ලෝක, කොරියානු, වියට්නාම්, ඉරාක් සහ මේ දිනවල ඇෆ්ගන් යුද්ධවලට ගිහින් ගෙදර එන ආමිකරයින්ගේ හැසීරීම්වලින් පේනවා.

    පැරා සහ තවත් අය 1988-89 වධකාගාර මතක්කර තියෙනවා. ඒවායේ සිටි ප්‍රා, ග්‍රා වැනි සංවිධානවල සිටි අයට මේ මානසික තත්වය ගියේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මෑතකදී අහිංසක කාන්තාවක් ඉතා දරුණු අන්දමින් මරා දැමූ පුවතක එන පුද්ගලයා පසුගිය භීෂන කාලෙ නිල නොවන ඒකකයක ඉදල මිනී මරපු කෙනෙක්ලු.හමුදා පොලීසි ගැනම කියන අතරෙ ඒකාලෙ නිල නොවන මිනීමරු ඒකක වල හිටපු අය ජවිපෙ සන්නද්ධ අංශෙ හිටපු අය එහෙමත් හිමින් සීරුවෙ පුනරුත්ථාපනයකින් තොරව සමාජගත වෙලා තියෙනව.මේ පුද්ගලයන් ගැන කිසිම විමසිල්ලක් නෑ.අපරාධයක් සිදුවුනහම දෙස් දෙවොල් තබන එක නොවෙයි මේව විමර්ශනයට ලක් කළ යුතුයි.
      දියුණු රටවල මේව ගැන පර්යේශන කරල විවිධ විශයන් පවා බිහි වුනා.මෙහෙ මොකවත් නෑ.

      Delete
    2. ඉරාකයෙ ඇෆ්ගනිස්ථානයෙ ඉදන් එන සෙබලුන් ඇමරිකානු වෛද්‍යවරුන්ගෙ විමර්ශනයට ලක් වෙනව.මේ විමර්ශන පටන් ගත්තෙ වියට්නාම් යුද්දෙන් පස්සෙ.සෙබලුන් පොඩි වැරදිවලට තමන්ගෙ දරුවන් අල්ලල බිත්ති වල හප්පල එහෙම තියෙනව.මේ ගැන කරපු පර්යේශන වලින් වෛද්‍ය විද්‍යාවට ආලෝකයක් උදා වුනා

      Delete
  8. අපේ සංස්කෘතිය ප්‍රචන්ඩත්වය ප්‍රිය කරන සංස්කෘතියක්.ඇත්ත ඒකයි.ළමයින්ට ගහන හොඳ ගුරුවරු.නීතිය අකුරට රකින්න ඕ ටී දදා සකකරුවන්ගෙ අතපය කඩන පොලිස්කාරයො,කැරළිමර්ධන වීරයො තමයි සමාජයෙ වීරයො වෙන්නෙ.සිවිල් ජනතාව අතරත් චන්ඩිය කියන්නෙ මහ වීරයෙක්.ආ අහවලා ඕන එකකට ඉස්සරහට යනව කියල චන්ඩිය කියන පරපීඩාකාමුකත්වයෙන් පෙළෙන මානසික රෝගියට වීරත්වයක් ආරෝපනය කරල.හැම නගරෙකම නිළ නොවන පාලකයො විදියට ඉන්නෙ ටවුමෙ චන්ඩි (මානසික රෝගියො ) .අපේ මනෝ වෛද්‍ය විද්‍යාව නොදියුණු මට්ටමක තිබෙන නිසයි මේ. දියුණු රටවල නම් අපි වීරත්වයට නංවන අය මානසික රෝගීන් කියල හදුන ගන්නව.

    ReplyDelete
  9. ඒ අයව පුනරුත්තාපනය කරපුවාම මහින්දල ගෝඨල නාමලයලගෙ පාතාල වැඩ කරල දෙන්නෙ කව්ද?

    ReplyDelete
  10. සෙබළුන්ගේ පුනුරුත්ථාපනය කාලින අවශ්‍යතාවයක් බව සමාජය තේරුම් ගත යුතුය. නැතහොත් මනෝවිද්‍යා උපදේශනයට හෝ ඔවුන් ලක් කල යුතුයි.

    ReplyDelete
  11. අපේ රටේ මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නොව දෛවඥයන්ය.ඉර හද තාරකා වලට ඕනෑම දෙයක් කල හැකි බැවින් මැතිවරණ කොමසාරිස්වරයාට සැපයිය යුත්තේ හොඳ වර්ගයේ දුරේක්ෂයකි.
    අනේ අපි අපේ රටේ ඉපදුනානෙ.

    ReplyDelete
  12. Uncle ශුවර් එකටම JVP කාරයෙක් එක්ක සෙට් වෙලා ඉන්න ඇති.

    ReplyDelete
  13. හොඳ ලිපියක්, හමුදා සෙබලු පුනරුථ්හපනය කිරිම්ම අනිවාර්‍යයි
    see this

    http://www.lankaweb.com/news/items/2014/01/15/combat-trauma-and-post-war-sri-lanka/

    ReplyDelete
  14. හමුදාව තමන්ට ගහනකම් වීරයො කර ගත්තම මේ දේ වෙනවා.88 - 89 කාලේ ජේවීපී මරපු හමුදා නිලධාරි කොටි මරණකොට වීරයො වුණා.මේ අවස්ථා දෙකේදිම හමුදාව ඉටු කළේ පාලන තන්ත්‍රයේ උවමනාවන්.මෙන්න මේ දේශපාලනය හදුනගෙන මිලිටරිය තේරුම් නොගැනීම තමයි අවාසනාව.ඒ නිසා සිද්ධ වෙන්නෙ වෙනම සමාජයෙන් පළදින මොරාල් එකකුත් එක්ක තව තවත් ම්ලේච්ඡ වෙන්න පෙළඹීමයි.

    ReplyDelete
  15. තවත් මොනවා කරන්නද, මේ තියෙන්නේත් මේ වගේ රාජ්‍යයකට කරන්ට පුළුවන් උපරිම පුනරුත්ථාපනය තමයි.....!

    ReplyDelete
  16. භීෂන සමයේ ජවිපෙ පැපොල රෝගියෙක් ලෙඩ ඇදෙන් ඇදගෙන ගොස් මැරූ හැටි.ජවිපෙ ම්ලේච්ඡත්වය අමතක කර පොලිස් හමුදා ම්ලේච්ඡත්වය ගැන කතා නොකළ යුතුය.

    http://www.pathula.com/index.php/archives/1381

    ජයතිලක එක් උදෑසනක ප‍්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත‍්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප‍්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.