2014-05-30

තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණය

රතු කමිස
තායිලන්තය හමුදා කුමන්ත්‍රණ පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති රටකි. 2014 මැයි මස 22දා එහි සිදු වුණේ 1932න් පසු සිදු වූ 12වන හමුදා කුමන්ත්‍රණයයි.

අලුත් ම කුමන්ත්‍රණයේදී හමුදාපති ප්‍රයුත් චන්-ඔචා රාජ්‍ය බලය පැහැර ගත්තේ ය. යුද නීතිය ප්‍රකාශයට පත් කර, 2007 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටවූ හේ විධායක බලතල තමන් වෙත පවරා ගත්තේ ය. 2011දී මැතිවරණයකින් බලයට පත් අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා සිරගත කළ හේ සෙනෙට් සභාව ද විසුරුවා හැර නීති සම්පාදනයේ මුළු බලතල සියතට ගත්තේ ය. බලයේ සිටි භාරකාර ආණ්ඩුවට පක්ෂපාතී මෙන් ම විරුද්ධවාදී පිරිස් ද සිය ගණනින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සිය මිලිටරි ජුන්ටාව නම් කර තිබෙන්නේ සාමය හා නීතිය සඳහා ජාතික සභාව ලෙසයි.

මේ වන විට අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් නිදහස් කර තිබේ. එහෙත්, ඒ දේශපාලයේ නො යෙදීමේ හා තමන් යන එන තැන් පිළිබඳ හමුදාව දැනුවත් කිරීමේ කොන්දේසිය පිට බව වාර්තා වේ.  මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව තැන් තැන්වල පැවැත්වෙන විරෝධතා මර්දනය කරන බවට ජුන්ටාව තර්ජනය කර තිබේ.

තායි රජු වන භූමිබෝල් අදුල්යාදේජ් ද ‍කුමන්ත්‍රණකරුවා නිල පාලකයා ලෙස පිළිගෙන තිබේ. මේ වසරේ අග හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි 60 හැවිරිදි ප්‍රයුත් විසින් නිවේදනය කර තිබෙන පරිදි ඔහු කාල නිර්ණයකින් තොරව පාලනය පවත්වාගෙන යනු ඇත. පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ හමුදාව රටේ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරන බවයි. එහෙත් ඒ සඳහා කාල වකවානුවක් සඳහන් නො කළ හේ පැවසුවේ එය තීරණය වන්නේ පවතින වාතාවරණය අනුව බවයි.මැතිවරණ පවත්වන වකවානුව පිළිබඳව දිගින් දිගට ප්‍රශ්න කළ මාධ්‍යකරුවන් දෙදෙනෙක් හමුදා පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියට කැඳවනු ලැබුවේ එය නො මනා ක්‍රියාවක් ලෙස දක්වමිනි. හිටපු තායි අධ්‍යාපන ඇමති චතුරොං චයිසැං පුවත්පත් සාකච්ඡාවක් අවසානයේ අත්අඩංගුවට ගනු ලැ‍බී ය. හමුදාවට භාර නො වීමේ චෝදනාව මත ඔහු යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

දැඩි මතධාරියකු වන ප්‍රයුත් 2009 හා 2010 වසරවල පැවැත්වුණු රතු කමිසකාරයින්ගේ අරගලය මර්දනය කිරීමේ ද මුල් වූයෙකි. රාජාණ්ඩුවාදී, බැංකොක් ප්‍රභූ තන්ත්‍ර කහ කමිසකාරයන්ට එරෙහිව, වරප්‍රසාද නොලත් සමාජයන් අතරින් පැන නැගුණු රතු කමිසකාරයන්ගේ අරගලයේදී හමුදාව විසින් 80දෙනෙක් ජනතාව මරා දමන ලදී. 2000කට අධික පිරිසක් තුවාල ලැබූ හ. මේ රතු කමිසකාරයෝ බලයෙන් පහ කරන ලද හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට සහාය පළ කළ හ.

රාජාණ්ඩු පාක්ෂිකයකු ලෙස ප්‍රකට හේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා විරෝධියකු ලෙස ද ප්‍රසිද්ධ වූයේ ය. තක්ෂින් ෂිනවත්‍රා බලයෙන් පහ කළ 2006 හමුදා කුමන්ත්‍රණයේදී ද ප්‍රයුත් වැදගත් භූමිකාවක් රඟපෑවේ ය. වත්මන් අගමැති යිංලුක් හිටපු අගමැති තක්ෂින්ගේ සොයුරියයි. ඔවුන් මැතිවරණ ජය ගන්නේ ග්‍රාමීය ප්‍රදේශවල හා උතුරු තායිලන්තයේ, විශේෂයෙන් ම ඊසානදිග ඉසාන් පළාතේ ඔවුන්ට තිබෙන ජනප්‍රියත්වය නිසා ය. එහෙත්, බැංකොක්අගනුවර හා දකුණු තායිලන්තයේ වැඩිපුර ජනප්‍රිය අභිසිත් වෙජ්ජාජිවා නායකත්වය දෙන දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි.

තායිලන්තයේ අලුත් ම හමුදා කුමන්ත්‍රණයට පසුබිම් වුණේ 2013 අගභාගයේ සිට ඇදී යමින් තිබෙන දේශපාලන අර්බුදයයි. 2006 හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයට පත් ආණ්ඩු ස්ථාවර ඒවා වූයේ නැත. 2013 වසරේ අගභාගයේදී යිංලුක්  ෂිනවත්‍රාගේ ආණ්ඩුවට එරෙහි විරෝධතා පැන නැගුණේ ආණ්ඩුව විසින් යෝජනා කරන ලද ක්ෂමා පනත සමගයි. 2004 සිට තායිලන්තයේ සිදු වූ මර්දනයන්ට වගකිවයුතු හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා ඇතුළු ඇතැමුන්ට සමාව ලබා දීම අරමුණු කර ගත් බව කියන මෙම පනතට එරට ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතාන්ත්‍රික පක්ෂය මෙන් ම, යිංලුක් ෂිනවත්‍රාගේ සභාග ආණ්ඩුවේ පාර්ශ්වයක් වන රතු කමිස ව්‍යාපාරය හෙවත් ඒකාධිපතිත්වයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එක්සත් පෙරමුණ ද විරුද්ධ වූ හ.

මේ අතර, තායි සෙනෙට් සභාව මුළුමනින් ම ඡන්දයෙන් පත් වූ සාමාජිකයන්ගෙන් සමන්විත කිරීම සඳහා ආණ්ඩුව විසින් යෝජනා කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තායි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී. එම සංශෝධනයට එරෙහිව අභියාචනා කළේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි.

2013 දෙසැම්බර් 8දා විපක්ෂයේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ මන්ත්‍රීන් 153දෙනා ම ඉල්ලා අස් වූ හ. එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති යුංලුක් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසුරුවා හැර, අ‍ැගේ නායකත්වයෙන් යුත් භාරකාර රජයක් යටතේ පෙබරවාරි 2දා මැතිවරණය පැවැත්වීමට නියම කළා ය. එහෙත්, ප්‍රජාතාන්ත්‍රික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ඉල්ලා සිටියේ ඡන්දයෙන් පත් නො වුණු මහජන සභාවක් විසින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කළ යුතු බවයි. පෙබරවාරි 2දා නියමිත පරිදි මැතිවරණ පැවැත්වුණ මුත් එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 47.7ක් පමණි. ප්‍රජාතාන්ත්‍රික පක්ෂය බලවත් දකුණු තායිලන්තයේ මැතිවරණය සාර්ථකව පැවැත්වුණේ නැත. මාර්තු 21 දින ව්‍යවස්ථා අධිකරණය විසින් මැතිවරණය අවලංගු කරන ලදී. ව්‍යවස්ථානුකූලව එක් දිනකදී මැතිවරණය නො පැවැත්වීම එයට හේතුවයි. ආණ්ඩු විරෝධීන් දිගට ම උද්ඝෝෂණ කළේ  ඡන්දයෙන් පත් නො වුණු මහජන සභාවක් වෙනුවෙනි. එම ඉල්ලීම ලබා දෙන තෙක් ඉදිරි මැතිවරණ පවා කඩාකප්පල් කරන බව ඔවුහු කී හ.

තායිලන්ත අර්බුදය පිටුපස දිළිඳු වී ගොවීන්ගේ දැවැන්ත ගැටලුවක් ද තිබිණි. වී ගොවීන්ට ගෙවිය යුතුව තිබුණු  සහනාධාර ගෙවීමට යුංලුක් ෂිනවත්‍ර‍ාගේ භාරකාර ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් දැවැන්ත ගොවි විරෝධයක් මතු විය. බැංකොක්හි පාලනාධිකාරිය මෙම සහනාධාර සැලකුවේ නාස්තිකාර, දූෂිත ව්‍යාපෘතියක් ලෙසයි. යුංලුක් ෂිනවත්‍රාගේ භාරකාර රජය මෙම සහනාධාර ගෙවීම අනුමත කිරීමට අසමත් වීමත් සමග ගොවීහු අතිශය දිළිඳු තත්වයට පත් වූ හ.

මේ ගොවීන් වැඩි පිරිසක් කලින් සහාය පළ කළේ යුංලුක් ෂිනවත්‍රා නියෝජනය කළ ෆියු තායි පක්ෂයටයි. තායිලන්තයේ සහල් නැළිය ලෙස සැලකිය හැකි ඊසානදිග ඉසාන් පළාත ෆියු තායි පක්ෂයේ බල කේන්ද්‍රයයි. 2006 හමුදා කුමන්ත්‍රණයෙන් බලයෙන් පහ කිරීමෙන් පසු, ඩුබායිහි පිටුවහලේ සිටින ව්‍යාපාරික ප්‍රධානියකු වූ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා එහි සිට මෙම පක්ෂය හසුරුවන බව විචාරකයෝ පවසති. එහෙත්, සහනාධාර කප්පාදුවත් සමග ගොවීන්ගේ දිළිඳුකම වැඩි වූ හෙයින් ඔවුහු ෆියු තායි පක්ෂ ආණ්ඩුවට ‍එරෙහිව උද්ඝෝෂණය කිරීම ආරම්භ කළ හ.

කුමන්ත්‍රණකාරී මිලිටරි ජුන්ටාව බලයට පත් වූ පසු මෙම සහනාධාර ගොවීන් වෙත මුදාහැරීමට තීරණය කරන ලදී. එමගින් ඔවුහු දිළිඳු ගොවි ජනතාව අතර ජනප්‍රිය වීමට උත්සාහ කරනු දැකිය හැකි ය. එහෙත්, හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ පක්ෂයේ ජනප්‍රියත්වය තවමත් අවසන් වී නැත. 2001දී ඔහු සිය පළමු ජයග්‍රහණය තහවුරු කර ගත්තේ තායි ධනේශ්වර හා රාජාණ්ඩු ප්‍රභූන්ට එරෙහිව ගොවි, කම්කරු හා පහළ පංතික ජනතාව මත පදනම් වෙමිනි.

එහෙත්, මේ උතුරේ රතු කමිසකාරයන්ට විමුක්තිදායකයකු වන තක්ෂින් ෂිනවත්‍රා තායිලන්තයේ දකුණුදිග පළාත් තුනක බහුතර ජනයා වන මැලේ මුස්ලිම්වරුන්ගේ පරම සතුරෙකි. තක්ෂින් ෂිනවත්‍රා බලයේ සිටි 2004දී, සාමකාමී උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටි මැලේ මුස්ලිම් පිරිසක් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වධ දී එයින් 78දෙනෙකු මරා දමන ලදී. දකුණුදිග තායිලන්තයේ මැලේ මුස්ලිම් ජනයා ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් කැරැලි ගසා ඇත.

තායිලන්තයේ දිග්ගැසුණු අර්බුදයේ අවසන් ප්‍රතිඵලය වූයේ මිලිටරි ජුන්ටාව හා මහජන මර්දනයයි. මෙම මිලිටරි ජුන්ටාව බිහි වන සංදර්භය අධ්‍යයනය කර බැලූ විට දැකිය හැකි කරුණක් වන්නේ රජ පවුල, දක්ෂිණාංශික දේශපාලකයන්, හමුදා ප්‍රධානීන්, ඉහළ රාජ්‍ය නිලධාරීන්, අධිකරණ විනිසුරුවන්, සමාගම් හිමියන්, කළමනාකරුවන්, ධනේශ්වර හා ඉහළ මධ්‍යම පංතිකයන් ආදීන්ගෙන් සැදුම්ලත් බැංකොක් ප්‍රභූ පැළැන්තිය මෙම කුමන්ත්‍රණය ශක්තිමත් කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ඔවුන්ගේ ධනය නාස්ති කරන ව්‍යායාමයකැයි ඔවුහු සිතන බව විචාරකයෝ පවසති. බැංකොක් බලාධිකාරය ලෙස හැඳින්වෙන මෙම දක්ෂිණාංශික බලවේගයට අවශ්‍ය වී තිබෙන්නේ ඒකාධිපති ස්වරූපී පාලනයකි. තායි ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා එවැනි පාලනයක් අවශ්‍ය බව ඔවුන්ගේ විශ්වාසයයි. තායිලන්තය පසුගිය සමයේ අත්පත් කර ගත් වේගවත් සංවර්ධනයේ යහපත් ප්‍රතිඵල භුක්ති වින්දේ මෙම බලවේගයයි.

එහෙත්, රටේ බහුතර ජනයා වන දිළිඳු ගොවීහු, ගැමි ජනයා, කම්කරුවෝ, පහළ මධ්‍යම පංතිකයෝ මෙන්ම සුළුතර ජාතීහු ද තවමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලය අත්හැර නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

14 comments:

  1. අඩුම ගානෙ තායිලන්තෙ මිනිස්සු පාරට බැහැල උද්ඝෝශනය කරනව. අපෙ රටේ එවුන්ගෙන් භාගෙකට තාම මේකෙ වැරද්දවත් තේරුම් ගන්න බෑ.

    ReplyDelete
  2. තායිලන්තයෙ ප්‍රශ්නෙ ගැන හුඟක් දෙනෙකුට දැනුමක් නෑ.ඒ නිසා මේ වගෙ ලිපියක වටිනාකම ඉතා ඉහලයි.තායිලන්තයෙ ඉන්නෙ රජෙක්.මේ රජා කියන මිනිහ ඒ රටේ දේශපාලනයේ ප්‍රධානම සාධකය.සුද්දො ලංකාව අල්ලගත්තට පස්සෙ අපේ රාජාන්ඩුව අහෝසි කිරීමේ වටිනාකම මේ සිදුවීම් වලින් පේනව.රජෙක් ඉන්නව කියන්නෙ ඌ කේක් ගෙඩිය වගෙ ඉදගෙන රටේ ආදායමෙන් විශාල කොටසක් වැඩක් නොකර භුක්ති විදින අපතයෙක්.රාජ භූමිකාව රඟ දක්වන්න හැමෝටම බෑ.ඒක පාරම්පරිකව එන ජාතික කාලකන්නිකමක්.
    ඉතින් මේ රජුත් පොදුජනතාවත් අතර ගැටුම තමයි මේ යන්නෙ.දුප්පත් මිනිස්සු තක්ෂින් වටා එක් වුනහම හමුදාව ඔහු බලයෙන් පහකලා.
    ඉන්පසු යින්ලක් ටත් හමුදාව කළේ ඒකයි.හමුදාව මේ කරන්නෙ ප්‍රතිගාමී රාජාන්ඩුවෙ අවශ්‍යතාවය.

    සමහර වෙබ් අඩවි වල තිබුන විහිලු කතා.තායි හමුදාව රටට ආදරේලු.රටේ ජනතාව දෙපිල බෙදිල රන්ඩුවෙන එක බලා ඉන්න බැරිවලු මැදිහත් වුනේ.
    හමුදාව කියන්නෙ ප්‍රතිගාමී ආයතනයක්.හමුදාව තමයි ජනතාවගෙ අංක එකේ හතුරා.ඕනම රටක තත්වය ඒකයි.තායිලන්තයේ මිනීමරු හමුදා පාලකයන්ට ලෝක ජනතාව විරුද්ධ විය යුත්තේ ඒ පදනමිනුයි.ප්‍රයුත් කියන එකා තමයි රතු කමිසකරුවන් මර්ධනය කරන්න මූලික වුනේ.

    ReplyDelete
  3. //සුද්දො ලංකාව අල්ලගත්තට පස්සෙ අපේ රාජාන්ඩුව අහෝසි කිරීමේ වටිනාකම මේ සිදුවීම් වලින් පේනව.රජෙක් ඉන්නව කියන්නෙ ඌ කේක් ගෙඩිය වගෙ ඉදගෙන රටේ ආදායමෙන් විශාල කොටසක් වැඩක් නොකර භුක්ති විදින අපතයෙක්.රාජ භූමිකාව රඟ දක්වන්න හැමෝටම බෑ.ඒක පාරම්පරිකව එන ජාතික කාලකන්නිකමක්.

    සුද්දගෙ රටෙ?

    ReplyDelete
    Replies
    1. සුද්ද ඒක කළේ අපට ආදරේට නොවුනත් අපට වුනේ යහපතක්.පාරවල් හැදුවෙ තේ වගාව ගෙනාවෙ එහෙමත් අපට හිතවත්කමකට නොවෙයිනෙ.ඒ වගෙමයි මෙයත්.රජෙක් හිටියනම් ඌ වෙනුවෙන් මැරෙන්ඩ දගලන පිරිසක් ඇතිවෙනව.රජෙක් ඕන කියපු එකෙක් එක්ක වාදයකදි මං කිව්ව රජා වැඩ නොකර සැප විදින හැටි ගැන.එයා සැප විදින්නෙ ඉතින් පෙර පිං කරල නිසානෙ කියල එකෙක් කියපි.
      අරිසෙන් අහුබුදු කියන කෙනා කිව්වෙ ලංකාවට ගැලපෙන එකම ආණ්ඩු ක්‍රමය රාජාන්ඩුව කියල.ලංකාව වගෙ රටවල විතරක් නොවෙයි එංගලන්තය ඩෙන්මාර්කය වගෙ යුරෝපීය රටවලත් සමහරු රජා වෙනුවෙන් මැරෙන්ඩ දගලනවලු.මට නම් ඒ මනෝභාවය පුදුමයි.ඕක ජාතිවාදය එක්ක සමපාත හැඟීමක් වෙන්න ඇති. ලංකාවෙ එකෙක් හිටියනම් ඌ මුල් කරගෙන රට එක්සත් කරන්ඩ කියල පක්ෂ පවා බිහිවෙයි.
      මීට අවුරුදු 200 කට ඉස්සර ලංකාවෙ රාජාන්ඩුව අහෝසි කරන්ඩ දායක වුන වීර පිරිස ගැන මට නම් ගෞරවයක් තියෙන්නෙ.
      නුවර මිනිසුන්ට බනිනකොට සමහරු කියනව තමන්ගෙම රජා පාවල දුන්න කියල.ඒත් ඒක ඒ අයට ගෞරවයක්.
      එංගලන්තයෙත් උන්ගෙ අපත පවුලට කරන මුදල් වෙන් කිරීම් ගැන විවේචන තියෙනව.නේපාලයෙ බිරේන්ද්‍රගෙ පවුලට ජාතික ආදායමෙන් සීයට එකක් වෙන් කළාලු.ඇයි එක පවුලකට එක මිනිහෙකුට එහෙම සැළකිලි.ඌත් පුක බඩ පයිය තියන මිනිහෙක් නේද?

      Delete
  4. හමුදාව කියන්නෙ අන්ත ප්‍රතිගාමී ආයතනයක්.එතන ජෙනරාල්ගෙ ඉදන් සාමාන්‍ය සෙබලා වෙනකම් තියන වැඩවසම් ධූරාවලියක් තියනව.ඒ සාමාන්‍ය සෙබලටත් පහලිනුත් ජනතාවට ඉන්න වෙන්නෙ හමුදා ආණ්ඩුවකදි.
    රස කතාවක් තියනව.මේක පාකිස්තානයෙ එකක්.
    බස් එකක යන දෙන්නෙක් අතර දෙබසක්.

    1 මඟියා :මහත්තය තරහ නැතුව කියනවද ඔබතුමා හමුදාවෙ හරි පොලීසියෙ වැඩ කරන කෙනෙක්ද කියල

    2 මඟියා : නෑ

    1 මඟියා : හමුදාවෙ හෝ පොලීසියෙ නෑදෑ කෙනෙක් හරි ඉන්නවද

    2 මඟියා : නෑ බන්

    1 මඟියා : යාළුවෙක්වත්

    2 මඟියා : නෑ ඇයි මේ එහෙම අහන්නෙ

    1 මඟියා : ඔයාගෙ සපත්තුවට මගෙ කකුල පෑඟිලා .හරිම වේදනාවයි.පොඩ්ඩක් අහකට ගන්න.


    ඔන්න ඔය විහිලු කතාවෙන් හමුදා ආන්ඩු තියන රටවල මිනිස්සු විදින දුක පැහැදිලි වෙනව.අයුබ් ඛාන් යහියා ඛාන් සියා උල් හක් හා පර්වේස් මුෂාරෆ් යටතෙ දුක් වින්ද ජාතියක් පාකිස්තානුවන්.ඔවුන් එහෙම වුනේ ඉන්දියන් විරෝධය නිසා ඉබේම ඇතිවුන හමුදා ගෞරවය නිසයි.

    ReplyDelete
  5. බ්‍රිතාන්‍ය,සවුදිය,ජොර්ඩන්,කටාර් වගෙ රටවල් කීපයක රාජාන්ඩු තියෙනව.සමහරු න්ගෙ තර්කෙ තමයි මේ රටවල ජනතාව රාජාන්ඩුවට ආදරෙයි කියන එක.තනිකරම බොරු.ඒ රටවල හමුදා පාලකයො ,විනිසුරුවරු,ධනපතියො නිර්මාණය කරන බොරුවක් ඕක.ඔය බොරුව තමයි මාධ්‍ය හරහා ගෙනියන්නෙ.ජනතාවගෙ මනස සකස් කරනව රාජාන්ඩුව හොඳයි කියල.

    ReplyDelete
  6. පළමුවන ලෝක යුද්ධය ඇවිළුණෙත් මූලිකව ම යුරෝපයේ රජ පවුල්වල තිබුණු අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් නිසා.

    ReplyDelete
  7. මා පුද්ගලිකව දන්නා තායිලන්තයේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් සිටිති. මේ අය ඉතා දැඩිසේ රජුට ආදරය කරන බව මම පුද්ගලිකවම දනිමි. මෙවැනි යුගයක තවමත් වැඩවසම් කාලයේ මෙන් රජෙකුට ආදරය කිරීම ගැන  මම ඇත්තෙන්ම ඔවුන්ට සිනාසී ඇත්තෙමි. මේ මිතුරන් නූගත් ගැමියෝද නොවෙති අප කතන්දර කාරයා මෙන් මැසිමදුරු පිරිසකි. මට ඔවුන්ගේ රාජ ආලය තෙරුම්ගත නොහැක. සෑහෙන කලක් බටහිර යටත් විජිතයක් වු ලංකාවේ වැසියන් වන අපිට කිසිදා යටත් විජිතයක් නොවු රටක ජනතාවගේ මානසිකත්වය තෙරුම්ගත නොහැක යන්න මගේ අදහස‍යි.

    ReplyDelete
    Replies
    1. යටත් විජිතයක් වීමේ ආඩම්බරය මගේ සිත පුරාම දරාගෙනයි මේක කියන්නෙ.ඇත්තෙන්ම ලංකාවෙ අයත් අතරින් පතර රජෙක් හිටියනම් වගෙ කතා කීවත් ඔය කියන විදියෙ රාජ ආලයක් නම් එකෙකුටවත් ම නෑ.අපේ වැඩවසම් අසූචි ගොඩවල් සුද්ද බ්‍රේන් වොෂ් කරද්දි වොෂ් වෙලාම ගිහින්.රෂියන්කාරය,ප්‍රංශකාරය,චීන අවබෝධයෙන්ම මොළ සුද්ද කර ගත්ත.අවබෝදෙන්ම සුද්දකරගන්න ගියානම් අපට කවදාවත් ඒක කරන්න බෑ.සුද්ද බලෙන්ම විරේක කරපු එක හොඳයි.ඔක්කොම ජරාව ගිහිල්ල වගෙ.කිසිම කෙනෙක් තායිලන්තෙ ඔබේ යාළුවො වගෙ ඍජු රාජාන්ඩුවක් ඉල්ලන මට්ටමේ අසාධ්‍ය මට්ටමක නෑනෙ.සතුටුයි ඒක දැනගත්ත එක.

      Delete
    2. මැසි මදුරුකම් කෝටියක් තිබ්බත් වැඩක් තියනවද සරල දේශපාලන දැනුමක් නැති ගොබ්බයො නම්.රජා කියන්නෙත් මිනිහෙක්.වැඩක් නොකර කේක් ගෙඩිය වගෙ ඉන්න ඌට ජාතික ආදායමෙන් කොටසක් වෙන් කරන එක මට නම් හිතා ගන්න බෑ.මැසි මදුරුකම් ගත්තට පොඩි කාලෙ ඔළුවට දාපු ගූ ගොඩවල් අයින් කරන්න අධ්‍යාපනයට බෑ.සමහර විට තායිලන්තෙ පොඩිකාලෙත් උගන්වනව ඇති මේ ඔක්කොම ජලය වාතය පවා දෙන්නෙ භූම්බෝල් අදුල්යේපේජ් කියන ගෝතය කියල.

      Delete
    3. මං තායිලන්නේ අවුරුදු දෙකක් විතර පස්තාච්චි ඇද්ද හින්දා දන්න දෙයක් තමයි ඔය රජුට ආදරේ කතාව.

      මං හිතන්නේ අපි තායියෝ කියා කියන බහුතරයක් ඇත්තටම චීන සම්භවයක් තියෙන අය. ඒ අය වාර්ෂිකව පෙරහැර කරලා රජුට තියෙන පක්‍ෂපාතීත්වය පෙන්වනවා මං හිතන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ.

      එත්නික් තායියෝ තරමක් තලෙළුයි. චීන තායියෝ තමයි කහ පාටට ඉන්නේ. මේ වෙනස තේරෙන්න කාලයක් යනවා. තායි නම් තියෙන සමහර අයට වෙනම චීන නම් තියෙනවා, බිස්නස් කාඩ් එකේ අනිත් පැත්තේ.

      තවත් වැදගත් කාරණයක් තමයි එංගලන්තේ අය විහිළු ඬැඩසටහන් වලදී රැජිණට, රජ පවුලට හිනා වුණාට, තායිලන්තේ ඒ සෙල්ලම් බෑ. වචනයක්වත් කිව්වොත් හිරේ යවනවා.

      ඒ නීතියට කියන්නේ ලෙසෙ මැජේස්ටි කියලයි. මෙන්න වැඩි විස්තර.

      Lèse-majesté

      Delete
    4. රජාට විතරක් නොවෙයි, නාමල් ලා ට, නාමලී ලා ට විරුද්ධවත් කවුරුත් ප්‍රසිද්ධියේ කට හොල්ලන්නේ නෑ.

      ඉංගිරිසියෙන් නවකතා පොතක් ලියු විදේශික පොරක් හිරේ වැටුණාදත් කොහෙද පොඩි සඳහනක් තිබිලා.

      http://www.theage.com.au/national/melbourne-writer-jailed-for-insulting-thai-royals-20090119-7kty.html



      Delete
  8. The annual budget allocation for Japanese imperial family is around 20 billion yen (around Rs 30 billion) from tax payer's money.
    Does anyone know how much is the figure for Mara family?
    May be unlimited.

    ReplyDelete
  9. ආයුබෝ..වේවා..... මහ රජාණෙනි ......!!!!!! :D

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.