2014-05-23

නරේන්ද්‍ර මෝඩි හඳුනා ගන්න උත්සාහ කරමු

ළමා කල කර ගත් විවාහයක බිරිඳගෙන් වෙන්ව තනිකඩයකු ලෙස ජීවත් වන මෝඩි සිය 64වන උපන් දිනය දා මව සමග
ඉන්දීය මහ මැතිවරණය නිමා විය. හින්දු මහ ජාතිවාදී භාරතීය ජනතා පක්ෂය අති විශාල ජයග්‍රහණයක් ලැබී ය. මතභේදයට තුඩු දුන් නමක් ඇති හින්දු ජාතිවාදියකු වන නරේන්ද්‍ර ‍මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය. 

1980දී පිහිටුවන ලද භාරතීය ජනතා පක්ෂය සැලකෙන්නේ රාශ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) හෙවත් ජාතික දේශප්‍රේමී ස්වේච්ඡා සංවිධානය නම් ව්‍යාපාරයේ දේශපාලන අංශය ලෙසයි. 1925දී පිහිටුවන ලද RSS යනු අන්තවාදී දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී සංවිධානයකි. එය මුල සිට ම මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී සංවිධානයක් විය. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමේ ඉතිහාසයක් ඇති RSS සංවිධානය කීප වරක් ම තහනමට ලක් වූවකි. මහත්මා ගාන්ධි ඝාතනය කළ නතුරාම් ගොඩ්සේ ද කලින් RSS සාමාජිකයෙකි. 

භාරතීය ජනතා පක්ෂයේ මුල් ඇත්තේ 1951දී පිහිටුවන ලද සංවිධානයක් වන භාරතීය ජන සංඝයේ ය. 1977 මැතිවරණයේදී ඉන්දිරා ගාන්ධි පැරදවීම අරමුණු කර ගත් තවත් පක්ෂ කීපයක් සමග එක්ව ජනතා පක්ෂය පිහිටුවීමට භාරතීය ජන සංඝය මුල් වූයේ ය. 1977දී ඉන්දිරා ගාන්ධි පරාජය කර ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා පක්ෂය සමත් විය. එහි අගමැති වූයේ මොරාජි දේශායි ය. භාරතීය ජන සංඝයේ නායක අතල් බිහාර් වජ්පායි එම ර‍ජයේ විදේශ ඇමතිවරයා විය. අස්ථාවර පාලනයකින් පසු 1980දී ජනතා පක්ෂය විසුරුවා හරින ලදී. භාරතීය ජනතා පක්ෂය පිහිටුවනු ලැබුවේ විසිරී ගිය ජනතා පක්ෂ කණ්ඩායම් ඒකරාශී කරමිනි. 

1984 මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය විසින් දිනා ගනු ලැබුවේ ආසන දෙකක් පමණි. එහෙත්, උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා නගරය රාමගේ ජන්මභූමිය ලෙස සලකා එහි තිබූ බබ්රි  මුස්ලිම් පල්ලිය 1992දී බිඳ දමමින් ඉදිරියට ගිය හින්දු ජාතිවාදී රාම් ජන්මභූමි ව්‍යාපාරයත් සමග භාරතීය ජනතා පක්ෂය නව පණක් ලැබ නැගී සිටියේ ය. භාරතීය ජනතා පක්ෂයේ වත්මන් පාර්ලිමේන්තු නායකයා වන එල්. කේ. අද්වානි මෙම ජාතිවාදී රාම් ජන්මභූමි ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙක් විය.

1996දී දවස් 13ක ආණ්ඩුවක් පිහිටුවීමට ද භාරතීය ජනතා පක්ෂය සමත් විය. භාරතීය ජනතා පක්ෂ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 1998 සිට 2004 දක්වා ඉන්දියාවේ ආණ්ඩු බලය හෙබවීමට සමත් විය. RSS ක්‍රියාකාරිකයකු වී සිටි අතල් බිහාර් වජ්පායි ඉන්දීය අගමැති ධුරය හෙබවී ය. 

හින්දු සංරක්ෂණවාදය හා ස්වයංපෝෂීභාවය ප්‍රවර්ධනය කරන පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂයේ න්‍යාය පත්‍රය තුල ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයට ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දී තිබෙන සුවිශේෂ වරප්‍රසාද අහෝසි කිරීම හා අයෝධ්‍යාහි රාම් දේවාලයක් ඉදිකිරීම ද තිබෙන මුත්, 1998 සිට 2004 දක්වා පැවති භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන ආණ්ඩුව මෙම ප්‍රතිපත්ති මත පදනම් වූයේ නැත. ඒ වෙනුවට එය විසින් අනුගමනය කරනු ලැබුවේ නවලිබරල්වාදී, ‍ගෝලීය ධනවාදය සමග අනුගත ආර්ථික ප්‍රතිපත්තියකි. වජ්පායි පාලනය සමයේ ඉන්දියාව ඉතා දැඩි ලෙස නිදහස් වෙළඳපොළ, ඍජු විදේශ ආයෝජන හා පෞද්ගලීකරණය වැළඳ ගත්තේ ය. මේ සමයේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ආණ්ඩුව විසින් හිස් මුදුනින් පිළි ගන්නා ලදී.

භාරතීය ජනතා පක්ෂය මූලධාර්මිකව පකිස්ථානය පිළි නො ගන්නා, ඉන්දියාව නැවත ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක් මුත්, වජ්පායිගේ කාලයේ හේ පකිස්තානය සමග යහපත් සම්බන්ධතා ගොඩනැගුවේ ය. 1998දී පකිස්තානයේ චාරිකාවක යෙදුණු වජ්පායි විසින් දිල්ලි - ලාහෝර් බස් සේවය ද ආරම්භ කළේ ය. ඔවුන්ගේ බටහිර විරෝධය ද එවැනි ම එකකි. වජ්පායි ආණ්ඩුව ඇමරිකාව සමග ද සමීපව කටයුතු කළේ ය.

භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ සටන් පාඨ අතර දූෂණ විරෝධය ප්‍රමුඛස්ථානය ගත්තත්, 2001දී භාරතීය ජනතා පක්ෂයේ සභාපති බී. ලක්ෂ්මන් හමුදා මිළ දී ගැනීම් සඳහා නිර්දේශයක් කිරීම පිණිස රුපියල් ලක්ෂයක පගාවක් ගන්නා ආකාරය සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට තෙහෙල්කා පුවත්පත සමත් විය. පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කරන ලද ලක්ෂ්මන් පසුව සිර දඬුවමකට ද ලක් වූයේ ය. 

2001දී නරේන්ද්‍ර මෝඩි ගුජරාටයේ මහ ඇමති පදවියට පත් විය. 2002 වසරේ පෙබරවාරි හා මාර්තු මාසවල ඇති වූ හින්දු මුස්ලිම් කෝලාහලයෙන් 2000ක් පමණ දෙනා මිය ගිය බව හා ලක්ෂ එකහමාරක් පමණ ජනයා අවතැන් වූ බව විශ්වාස කෙරේ. මෙම ගැටුම ඇවිලවීම පිළිබඳ මෝඩිට එරෙහිව ද චෝදනා එල්ල විය. පසුව පත් කරන ලද විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් නරේන්ද්‍ර මෝඩි සිද්ධියෙන් නිදොස් කරන ලද මුත්, ඔහුගේ භූමිකාව අදත් සැකයට භාජනය වී තිබේ. ඔහුගේ ගුජරාට් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වූ භාරතීය ජනතා පක්ෂයේ මායා කොද්නානි මහජන කැළඹීම් ඇති කිරීම සම්බන්ධයෙන් වසර 28ක සිර දඬුවමකට ලක් විය

භාරතීය ජනතා පක්ෂය 2007 සිට අඛන්ඩව ගුජරාටය පාලනය කරයි. එම ප්‍රාන්තය වනාහි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිවල කේන්ද්‍රස්ථානයකි. එහි පසුගිය කාලය තුළ වේගවත් ආර්ථික වර්ධනයක් සිදු විය. ඉන්දීය ධනපති පංතිය සිය ආර්ථික ප්‍රතිපත්තිවල පරමාදර්ශය ලෙස සලකන්නේ ගුජරාටයයි. ගුජරාට් මහ ඇමති නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට ඔසවා තබන්නට ධනපති පංතිය කටයුතු කරන්නේ එම සංදර්භය තුළයි. එහෙත්, ගුජරාටය ආර්ථික අතින් සංවර්ධනය වූයේ දුප්පතුන් හා ධනවතුන් අතර බරපතල විෂමතා නිර්මානය කරමිනි.එසේම ගුජරාටයේ සංවර්ධනය ද බොහෝ දුරට නගරවලට සීමා වී තිබේ. මෝඩිගේ පාලනය තුළ ගුජරාටයේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන ජනගහණය වැඩි වී තිබේ. නව ලිබරල්වාදයේ ආදර්ශ ප්‍රාන්ත රාජ්‍යය දිළිඳුකම අතින් තවමත් 13වන තැන සිටියි. එහි වයස අවුරුදු පහට අඩු ළමා ජනගහණයෙන් 44.7%ක් බරින් අඩු අතර 23%ක් මන්දපෝෂණයට ගොදුරු වී ඇත.

මෝඩි පසුගාමී ප්‍රජාවකට අයත් සාමාන්‍ය පවුලකින් පැවත එන අයෙකි. ඔහුගේ පියා කඩ හිමියෙකි. ඔහු ද කුඩා කල තේ විකිණූ, පසුව තේ කඩයක් පවත්වාගෙන ගිය ‍අයෙකි. සම්ප්‍රදායික ළමා විවාහයකින් වෙන් වී තනිකඩයකු ලෙස ජීවත් වන්නෙකි. පාසල් සමයේ සාමාන්‍ය සිසුවකු වූ ඔහු පසු කලෙක දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ද, ගුජරාට් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලැබුවේ ය. 1970දී RSS සංවිධානයේ ප්‍රචාරකයකු ලෙස බැඳුණු මෝඩි 1995 වන විට භාරතීය ජනතා පක්ෂයේ ජාතික ලේකම් ධුරය දක්වා පැමිණියේ ය.

මෝඩි 2001දී ගුජරාට් මහ ඇමති තනතුරට පත් වූයේ ද දේශපාලනයේ ආධුනිකයකු ලෙස වුව ද ඔහු ඉතා කෙටි කලකින් බලය තහවුරු කර ගත්තේ ය. අගමැති ලෙස ඔහු කුමන අන්දමින් කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳ අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩි ය. 

එහෙත්, මෝඩිගේ ඉතිහාසය තුළ ඔහු නිරූපණය වන්නේ දක්ෂිණාංශික ජාතිවාදී, නව ලිබරල්වාදියකු ලෙසයි. අන්ත ජාතිවාදී දක්ෂිණාංශිකයන් නව ලිබරල්වාදී ගෝලීය ධනවාදයේ ප්‍රවර්ධකයන් බවට පත් වීම මෑත ඉතිහාසයේ සුලබ තත්වයකි. භාරතීය ජනතා පක්ෂයේ වජ්පායී ආණ්ඩුව හා මෝඩිගේ ගුජරාට් ආණ්ඩුව කටයුතු කල අන්දමින් ම මෝඩි යටතේ භාරතීය ජනතා පක්ෂය ද කටයුතු කරනු ඇතැයි අනුමාන කළ හැකි ය. වෙනසකට ඇත්තේ මෝඩි හා අද්වානි වැනි භාරතීය ජනතා පක්ෂයේ වත්මන් නායකයන් ජාතිවාදී අන්තවාදීන් ලෙස කුප්‍රකට ඉතිහාසයන් ඇති අය වීමයි. 

ඉන්දියා‍වේ 16වන ලෝක් සභාවට අභින‍වයෙන් තේරී පත් වී සිටින මන්ත්‍රීන්ගෙන් 20%ක් ම බිලියනපතියෝ ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නේ භාරතීය ජනතා පක්ෂය හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සෙසු පක්ෂයි. තේරී පත් වූ මන්ත්‍රීන් අතරින් 20%ක් පමණ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගෙන යාම්, සොරකම්, මංකොල්ලකෑම් වැනි බරපතල අපරාධ චෝදනා ඇති අයයි.

නව සහස්‍රකයේ උදාවත් සමග ලෝකයේ නැගී ආ නව ලිබරල්වාදී රැල්ල 2004, 2005 වකවානුවේදී දකුණු ආසියාවේදී තීරණාත්මක ලෙස පසුබැස්සේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව පරදා කොංග්‍රසය බලයට පැමිණීම හා ලංකාවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරදා මහින්ද රාජපක්ෂ බලයට පැමිණීම වැනි සිදුවීම් සමගයි. ගෙවුණු දස වස තුළ කොංග්‍රස් පක්ෂයේ හා මහින්ද රාජපක්ෂ පාලනයේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිවලින් ජනතාවට සෙතක් අත් වී නොමැත. එපමණක් නොව, දූෂණය මහා පරිමාණයෙන් මුල් බැස ගැනීම ද ජන ජීවිතයට බරපතල ගැටලුවක් වී තිබේ. මෙම පසුබිම තුළ, දස වසරකට පෙර තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන ලද නව ලිබරල්වාදය 2014දී නැවත වැළඳ ගැනීමට ඉන්දීය ජනතාව පෙළඹීම සුවිශේෂ තත්වයකි.

ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදය මෙන් නොව ඉන්දියාවේ තිබෙන්නේ හින්දු ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද නව ලිබරල්වාදයකි.

මුස්ලිම් විරෝධී හින්දු ජාත‍ිවාදී භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ මුස්ලිම් ජනයා ප්‍රතිචාර දක්වා තිබෙන්නේ කෙසේද යන්න අධ්‍යයනය කර බැලිය යුතු ය. ඇත්තෙන් ම ගතහොත්, මෙම මැතිවරණයේදී මුස්ලිම් බහුතරය ඡන්දය දී තිබෙන්නේ ද භාරතීය ජනතා පක්ෂයට ය. ඔවුහු බහු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් පක්ෂය පමණක් නොව, නව දිල්ලි ප්‍රාන්තයේ මුස්ලිම් ඡන්ද ආකර්ශනය කර ගත්, අර්වින්ද් කෙජ්රිවාල් නායකත්වය දුන් ආම් ආද්මි පක්ෂය ද ප්‍රතික්ෂේප කර තිබේ. සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක් ඇති බවට හඳුනාගෙන තිබෙන ආසන 87කින් 45ක ම ජය වාර්තා කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය. මුළු ජනගහණයෙන් අඩකට වඩා මුස්ලිම්වරුන් ජීවත් වන ආසන දෙකකින් ද භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කර තිබේ. සුවිසල් මුස්ලිම් ජනගහණයක් ජීවත් වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 80කින් එක ම හෝ මුස්ලිම් මන්ත්‍රීවරයෙක්වත් තේරී පත් වී නැත.

එහෙත්, භාරතීය ජනතා පක්ෂයෙන් බලයට පත් වූ මන්ත්‍රීන් අතර එක ම මුස්ලිම් ජාතිකයෙක්වත් නැත. 

මේ අතර, ඉන්දීය ලෝක් සභාවේ ආසන 543ක මන්ත්‍රීන් අතර මුස්ලිම්වරුන් සිටින්නේ 21ක් පමණි. මෙය ඉතිහාසයේ අඩුම මුස්ලිම් නියෝජනයක් තිබෙන පාර්ලිමේන්තුවයි. 15වන ලෝක් සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරු 30ක් සිටියහ. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

23 comments:

  1. "රාෂ්ට්‍රීය ස්වයංසේවක් සංඝ්"
    राष्ट्रीय स्वयंसेवक संघ

    මේක තම යි නිවැරදි උච්චාරණය. උතුරු ඉන්දියානු භාෂා රෝම අක්ෂරවලින් ලියන විට අනුස්වරය ලියන්නේ m යොදාගෙන. ඒ නිසා රෝම අකුරින් svayam කියා ලිව්වාට එය උච්චාරණය කරන්නේ 'ස්වයං' කියලා.

    International Alphabet of Sanskrit Transliteration යන්න ගූගල් කර බලන්න

    ReplyDelete
    Replies
    1. වැරදියි. ඉන්දියාවෙදි අනුස්වරය ශබ්ද කරන්නෙත් 'ම්' කියලා. ඒ හන්දා පැරාගේ මුල් උච්ඡාරණය හරි.

      Delete
    2. මමත් හිතන්නෙ එහෙමයි. සංස්කෘත හෝඩියෙ "බින්දුවක් "නැහැ නේද ? තිබෙන්නෙ "ම්". උදාහණයක් වශයෙන් අපි ආංශ නැති නම් (නං ?) අංශ කියන එක එහෙදි "ආම්ශ වෙනව නේද ? තව දුරටත් "බිංදුවෙන් " ශුන්‍යතාවය නිරූපන වෙනකොර, "ම්" වලින් පුර්ණත්වයක් පෙන්වනවා.

      Delete
    3. ඇනෝවරුනි,

      මම වැරදි යි කියන ඔබ කරුණාකර සංස්කෘත භාෂාවේ අනුස්වරය උච්චාරණය කරන අයුරු දැනගැනීමට කරුණාකර මෙම වීඩියෝව නරඹන්න (විශේෂයෙන් ම 4:45 සිට ):

      Sanskrit Pronunciation - Anusvara

      මම නිවැරදි බවත් ඔබ සහ පැරා වැරදි බවත් ඔබට එවිට දැනගත හැකිවෙයි.

      Delete
  2. good one Para, thumbs up

    ReplyDelete
  3. පැරා විසින් ලියපු හොඳ ලිපියක්.මැනවින් කරණු ගොනු කරලා තියෙනවා. හැබැයි වැදගත් ශාධකයක් මග හැරලා යන්තමින් ලියලා තියෙනවා. ඒක තමයි මෝඩි කුලහිනයෙක් කියන කාරණය. මේ කාරණය කොන්ග්‍රසය විසින් උලුප්පපු එකෙන් උනේ ඉන්දියාවේ ජනගහනයෙන් 40% වඩා වැඩි කුලහීන ජනතාවගේ චන්දය මොඩිට ආකර්ෂණය වීම.

    ඉන්දියාවේ නිලධාරි පාලනය අපේ රටේ මෙන් රජයෙන් රජය වෙනස් වෙනවිට වෙනස් වෙන්නෙ නැහැ.මේ නිලධාරි මතය ඉදිරියේදී මෝඩි තුලින් මත්වෙන හැටි බලාගන්න පුළුවනි.

    ReplyDelete
  4. An excellent article, Ajith. In the context, I thought whether somebody could write a factually based historical narrative starting from the assassination of Mr Bandaranaike by an extremely right wing (relative to the fifties) Sinhala Buddhist group to the strong position Sinhala Buddhist supremacism holds today in the Sri Lanka state. With Modi coming to power in India, on a strong Hindu nationalist neo-liberal agenda how does the probability of something parallel like a Sinhala Buddhist dominated neo-liberal agenda acquiring state power in Sri Lanka?

    ReplyDelete
  5. JHU has some characteristics of Sinhala Buddhist neo-liberalist agenda. Champika can be made a Modi like leader with his unison of environmentalist rhetoric and ultra rightist thinking. They too are based on a militant formation like RSS, namely Janatha Mithuro or Thrastha Virodhi Janatha Vyaparaya.

    The problem with them is betraying their political aim to Mahinda for pettit advantages like a cabinet portfolio.

    ReplyDelete
  6. "ගුජරාට් මහ ඇමති නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට ඔසවා තබන්නට ධනපති පංතිය කටයුතු කරන්නේ එම සංදර්භය තුළයි. "

    Yes. this is the truth.

    ReplyDelete
    Replies
    1. මෝඩි ඔසවා තැබුවේ ධනපති පංතිය විතරක් නෙමෙයි. මෙතන කුළහීන ජනතාව, තරුණ පරපුර, උගතුන්, බුද්ධිමතුන් විතරක් නෙමෙයි මුස්ලිම් ජනතාවත් ඉන්නවා. කොහොමත් ඉන්දියාවේ මිනිස්සුන්ගේ චින්තනයයි, අපේ චින්තනයයි සසඳන එක විකාරයක්. ඉන්දියාවේ ඉන්නේ ඉන්දියානුවන් මිසක්. සිංහල දෙමල මුස්ලිම් පිරිසක් නෙමෙයි. පිස්සු කෙලිය දවසට මෝඩිව ගෙදර යවන්නෙත් ඔය පිරිසමයි.

      Delete
    2. BJP ආසන 282 ක් ගත්තට චන්ද අරන් තියෙන්නේ 31% ක් විතරයි නේද? ලංකාවේ වගේ ප්‍රතිශත ක්‍රමයක් ඉන්දියාවේ නැ. Tamil නාඩු වල DMK පක්ෂයට කිසිම ආසනයක් හිමි නොවීමේ හේතුවත් මේ ක්‍රමය හින්ද නේද ?

      Delete
  7. මේ වගෙ ලිපියකට කමෙන්ට් එකක් දැමීමට තරම ඊනියා කතන්දරකාරයාට දැනුමක් නැහැ වගේ. ඒකයි ගොන් පන්ඩිතකම පෙන්නන්න ඇවිත් නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ඊනියා කතන්දරකාරයා ???

      සභාවෙන් සිනා!
      ඔබේ දැනුම ඒ යෙදුමෙන්ම හෙළිවේ!!

      Delete
    2. මම නම් හිතන්නේ 'ඊනියා කතන්දරකාරයා' කියන එක ඔයාට ගැලපෙනවා. මොකද ඔයානේ කියන්නේ ඔයා කතන්දර කියනවා කියලා. මටනම් ගොඩක් ඒවා කිසිම අරමුණක් නැති පල් හෑලි. එකියන්නේ කතන්දර නෙමෙයි ඊනියා කතන්දර. එනයින් ඔයා ඊනියා කතන්දරකාරයා.

      සභාවේ සිනා වැඩිවේ,
      සභාවේ තදින් සිනා.

      Delete
    3. ළමයා,
      කතන්දර කියන්නේ පල් හැලි හෙවත් යාන්ස්වලට නේන්නං.
      ඔයා කතන්දර කියන්නේ මොනවාටද?
      පව්!

      Delete
    4. අනේ ලොක්කෝ,
      ඔයා කොටන අන්ඩර දෙමල වලට ඔයා කියන්නේ යාන්ස් කියලද? අපිනම් යාන්ස් කියන්නේ a long story, especially one that is exaggerated or inverted (Oxford) කියන කැටගරියට. ඔයා කොටන්නේ 'ප්‍රලාප' එහෙමත් නැත්නම් nonsense. ඔයාට ගැලපෙන හරිම යෙදුම ඊනියා කතන්දර තමයි.

      සභාවේ සිනා දෙගුණ තෙගුණ වේ. ඇතැමෙක් මැදගිල්ල ඔසවා පෙන්නති.

      Delete
    5. මෙයි හැඟෙන්නේ ඔබේ සහ මගේ අර්ථ දැක්වීම් පරස්පර බවයි.

      කෙසේ වෙතත් මෙන්න මෙය නම් සැබෑ කතන්දරයක් බවට ඔබ එකඟවෙනු ඇති යැයි මා සිතනවා.

      ?

      Delete
  8. //හින්දු සංරක්ෂණවාදය හා ස්වයංපෝෂීභාවය ප්‍රවර්ධනය කරන පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂයේ......//

    මෙහි සංරක්ශනවාදය යනුවෙන් ඔබ නම් කරන්නේ conservative කියන එකද? නැතිනම් පරිසර සංරක්ශනය හි එය යෙදෙන අදහසින්ද? මේ වචනය එතරම් දැක නැහැ.

    කුමන අදහසින් ගත්තත් ඇත්තෙන්ම එය හුදෙක් හින්දු සංරක්ශනවාදයක් පමනක්ද? මේ හින්දු උත්තමවාදය නේද?

    - Dimithri

    ReplyDelete
  9. සංස්කෘතික විපර්යාසය සංවර්ධනයක් ලෙස භාර ගන්න සූදානම් නැති අය සංස්කෘතික සංරක්ෂණවාදීහු වෙති. භාරතීය ජනතා පක්ෂය හින්දු සංරක්ෂණවාදය ප්‍රවර්ධනය කරනවා ය කියන්නේ ඔවුන් හින්දු සම්ප්‍රදායික ආගමික හා සමාජ ජීවිතය එපරිද්දෙන් ම ආරක්ෂා කරන්නට උත්සාහ කරන පිරිසක් නිසායි. තවදුරටත් කියනවා නම්, ඔවුන් හින්දු සංස්කෘතිය කාලයත් සමග වෙනස් වීම වළක්වන්නට උත්සාහ කරන පිරිසක්.

    ලංකාවේ සංරක්ෂණවාදීන් නම් බොහෝ විට ආරක්ෂා කර ගන්නට උත්සාහ කරන්නේ වික්ටෝරියානු සදාචාරයයි. උදාහරණයක් ලෙස ඔවුන්ට අනුව ගැහැනු ළමයින් ඇඳිය යුත්තේ ගවුම් ය. ජීන්ස් ඇඳීම සංකර වැඩකි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ශිව සේනා පක්ශය, බීජේපී ප්‍රමුඛ සංධානයේ දෙවන වැඩිම ආසන දිනාගත් පක්ශයයි! මොවුන් අනාගතයේදී කුමන දිශාවකට ගමන් කරනු ඇත්ද?

      ඔබ කියන ලෙසම ලංකාවේ සහ ඉන්දියාවේ නව ලිබරල්වාදය බැලූ බැල්මට පරස්පරයි. ඉන්දියාවේ මෙවර 'බිග් මනි' බැකිං එක ලබන්නේ මෝදි. කොංග්‍රසය නොවෙයි. පහත මා දමා ඇති ලින්ක් ඔස්සේ අරුන්දති රෝයි මේ ගැන කියා ඇති දේ කියවීමට / නැරඹීමට පුලුවන්.

      - Dimithri

      Delete
  10. අරුන්දති රෝයි කියා ඇති දේත් බලන්න.

    http://www.youtube.com/watch?v=TCb15I5-ujs

    http://www.firstpost.com/politics/big-money-is-backing-modi-to-end-resistance-says-arundhati-roy-1540437.html

    - DImithri

    ReplyDelete
  11. වැදගත් ලිපියක් පැරා. එකතු කිරීමක් කරන්නත් කැමතියි. විමල් සහ චම්පික දැනට රජයට දක්වන විරෝධය තුලත් තියෙන්නෙ මෙවන් දූෂන විරෝධී සහ ජාතිවාදී නැඹුරුවක් නේද? චම්පිකගෙ ස්ථාවරය පැහැදිලි නැතත්, විමල් ඉදිරිපත් කරන කරුනු දොලහ තුල නම් එවන් නැඹුරුවක් තියනව. අනිත් අතට ඒ දෙන්නම "කීපදෙනෙක් විසින් කරන දූෂනවලට" ප්‍රකාෂිත විරෝධයක් පෙන්නුවට දූෂන පිටුදකීම සඳහා වැදගත් දෙයක් වන යපාලනයක් සඳහා ඒ තරම් අනුකූලතාවක් දක්වන්නෙත් නැහැ. "පැහැදිලි බහුතරයක වැදගත්කම" අවධාරණය කරමින් මේ ජයග්‍රහනය ගැන විවිධ අය කරන අර්ථ දැක්වීම් වලිනුත් පෙනෙන්නෙ එවන් අදහස් මෙහෙදි ජනප්‍රිය බවයි. මේ දිනවල මෙහෙදි අපට දකින්න ලැබෙන්නෙ ඉන්දියාවේ පැවති "ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද ලිබරල්වාදය"ටත් වඩා එහා ගිය වෙනසකට සූදානමක් බවයි මගේ අදහස.
    - නිශාන්ත

    ReplyDelete
  12. Thushara JayalathMay 26, 2014 at 10:33 AM

    A perfect article. Thnx for your clear clarification Para.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.