2014-06-22

සුන්දර ඉංගිරිසි - එලටියුසන්

ඉංග්‍රීසි උෟරුවට සිංහල කතා කරන අනර්කලී
"මේ දුව එලටියුෂන් පංති යන්නේ නැද්ද?" පසුගිය දිනෙක එක් ආච්චි අම්මා කෙනෙක් මගේ දුව පෙන්වා ඇසුවා.

අපේ රටේ පැතිරී යන තවත් රැල්ලක් තමයි මේ එලකියුෂන් කියන ජාතිය. ලෝකයේ මෙහෙම ජාතියක් තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. ඇත්තෙන් ම මේ මොකක් ද? දෙමව්පියෝ ඔහේ රැල්ලට මේ පන්තිවලට ළමයින් යවනවා.

ඒවායේ උගන්වන්නේ එංගලන්තයේ ඇතැම් මධ්‍යම පංතිකයන් ඉංග්‍රීසි කතා කරන විදිය හා නාට්‍යවලදී හා කතා පැවැත්වීමේදී ඉංග්‍රීසි උච්චාරණය කරන එක් විධියක්. සිංහල කතාවට දිව හැඩගැසී තිබෙන අපේ රටේ ළමයි, මේ විධියට ඉංග්‍රීසි උසුරුවන්නට යාමෙන් එක්තරා විධියක විහිළු ස්වභාවයක් නිර්මානය වෙලා. විශේෂයෙන් ම වැරදි ව්‍යාකරණ සහිත වාක්‍ය එලකිරි එලකියුෂන්වලින් කතා කරන ආකාරය නම් ඇත්තෙන් ම නියම විහිළුවක්.

වරක් මම එක්තරා යුනෙස්කෝ සමුළුවකට සහභාගි වුණා. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 26ක නියෝජිතයෝ මෙයට සහභාගි වුණා. ඔවුන් සියලු දෙනා කතා කළේ ඉංග්‍රීසි. ඒත්, උච්චාරණ විධි 26ක් එහි තිබුණා. ඉංග්‍රීසි ලෝකයේ ප්‍රධාන ම ජාත්‍යන්තර භාෂාව බවට පත් වී තිබෙන්නේ මෙන්න මේ සුන්දරත්වය නිසායි.

ඉන්දීය ජාතිකයන් ඉංග්‍රීසි කතා කරන්නේ ආර් අකුරේ ශබ්දය ටිකක් අඹරලා කියමින්. "සර්, ආර් යූ අ ටීචර්?" (Sir, are you a teacher?)

පිල‍ිපීන ජාතිකයන් ඉංග්‍රීසි කතා කරන විට යූ අකුර උ ලෙසත්, ටී අකුර ත ලෙසත් උච්චාරණය කරනවා මට දැනුණා. "දිස් ඉස් අවර් කුල්තුර්." (This is our culture.)

ජපන් ජාතිකයන්ට ර ශබ්දය අමාරුයි. ඒ නිසා ඇතැමෙක් ඒ වෙනුවට ල ශබ්දය ආදේශ කරනවා. අපේ වැඩසටහන සම්බන්ධීකරණය කරපු නෝනා හැමදාම දවල් දහයට තේ වෙලාවට කියන්නේ "ලෙට්ස් හැව් අ ටී බ්ලේක්," (Let's have a break.) කියලායි.

අපේ ඉංග්‍රීසි උච්චාරණයත් සිංහල හා දෙමළ භාෂාවල ආභාසයෙන් සුවිශේෂ ස්වරූපයක් ගන්නවා. සිංහලයන්ගේ ඉංග්‍රීසි උච්චාරණය සුවිශේෂ කරන හේතු කීපයක් තිබෙනවා. අපි ඉංග්‍රීසි ස්වර වන වන T, W, V, Z ශබ්ද කරන ආකාරය සුවිශේෂයි. එය මුල් ඉංග්‍රීසි ශබ්දවලට වඩා සමාන වන්නේ සිංහල ට, ව, ස ශබ්දවලටයි. ‍

ඉංග්‍රීසි O ස්වරය ශබ්ද වන්නේ උගුර ඇතුළෙන්. එහෙත් සිංහල ඔයන්න ශබ්ද වන්නේ මතුපිටින්. O අකුරෙන් පටන් ගන්නා වචන සිංහල අය ශබ්ද කරන විට මේ වෙනස ඉතා පැහැදිලිව දකින්න ලැබෙනවා.

මේ වගේ ම තමයි ඉංග්‍රීසි diphthong එකක් හෙවත් සංයුක්ත ස්වරයක් වන, ඉතා බහුලව යෙදෙන 'එයි' (/ei/)ශබ්දය වෙනුව‍ට අප යොදන්නේ 'ඒ' කියන තනි ස්වරයයි. එහෙම ස්වරයක් ඉංගිරිසියේ නැහැ. එලකියුෂන් පංතිවලදී අපට උගන්වනවා මෙයික් (make), වෙයිට් (weight), ගෙයිට් (gate) ආදී වශයෙන් ශබ්ද කරන්න. ඒත්, සිංහල අපි වැඩි දෙනෙක් මේ වචන මේක්, වේට්, ‍ගේට් විදියට ශබ්ද කරනවා.

'අවු' නම ඉංග්‍රීසි සංයුක්ත ස්වරයත් මෙවැනි එකක්. ගවු (go), සවු (so), ස්ලවි (slow) ලෙස මුල් ඉංගිරිසියේ උච්චාරණය වන වචන සිංහලයන් උච්චාරණය කරන්නේ ගෝ, සෝ, ස්ලෝ ලෙසයි.

තවත් කාරණයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචන තුළ හා වාක්‍යවල යම් යම් ස්ථානවලට බර තැබීමේ ස්වභාවය. (stress and intonation) ඒ ගැන නම් වෙනම කතා කළොත් හොඳයි කියා හිතෙනවා.

මම නම් හිතන්නේ මේවා අපේ ඉංගිරිසියේ අනන්‍යතා ලක්ෂණ. මේවා වෙනස් කරන්නට උත්සාහ කරනවාට වඩා ඒවා ලෝක පිළිගැනීමට ලක් කිරීමටයි අප උත්සාහ කළ යුත්තේ. 


මේ  ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

26 comments:

  1. මේ ලිපිය කියවපු මට, මේක විහිළුවක් නේද ලෙස මට අනන්තවත් සිතුනු දෙයක් මතක් වුනා. ඒ ගම්පොලයි කෑගල්ලයි ගැනයි. දැන් ඔබට තේරෙනවා ඇති නේ මං කියන්න යන්නේ මොනවද කියල​. පුරුද්දට අදත් අපේ සමහර මිනිස්සූ බොහොම අමාරුවෙන් ඒ ගම් 'ගැම්පොල​' 'කේගෝල්' වශයෙන් හඳුන්වන්න පුරුදු වෙලා ඉන්නවා. සුද්දා එදා සිංහල නම් කියවගන්න බැරිව අමාරුවෙන් කියවූ ඒ නම් උච්චාරනය පුළුවන්, අර්තය තේරෙන අපි මොන එහෙකට ඒවා කියන්න ගිහින් දිව උලුක්කු කර ගන්නවද​?

    ReplyDelete
    Replies
    1. මෙවැනිම තවත් එක් තමයි ලෝඩ් බුද්දා. මොකටද බුද්දා කියන්නේ, අපි දන්නවනේ මේ බුද්ධ බව.

      Delete
    2. ඉංග්‍රීසිකාරයෝ 'බුද්ධ' කියන්නේ නෑ. ඒ අය කියන්නේ "බුඩ" කියලා.

      Delete
    3. "ලෝඩ්" කියන්නේ ක්‍රිස්තියානි දෙවියන්ට, එහෙම නැත්නම් යේසුස් වහන්සේට. "ලෝඩ් බුද්ධ" කියන එක වැරදි යෙදුමක්.

      Delete
  2. ජයවර්ධන ජයවෝදන කියලත්, ගාල්ල ගෝල් කියලත් කියන්නෙ මොන ඉන්ග්‍රීසිද

    ReplyDelete
    Replies
    1. අන්න වැරදුණා, නිවරදි නම ජයවර්ධන නොවෙයි.

      උදාඃ

      1. ජේ. ආර් ජයෙවෝර්දෙනෙ
      http://en.wikipedia.org/wiki/J.R._Jayawardena

      2. ජයෙවෝර්දෙනෙ විශ්ව විද්‍යාලය
      http://www.sjp.ac.lk/web/

      Delete
    2. 1985 දී බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ලංකාවට ආපු වෙලාවේ බලයේ හිටියේ ජයවර්ධන ආණ්ඩුව. ඇය ජයවර්ධන නාමය උච්චාරණය කළේ "ජේය්වෝඩීන්" කියලා. ජේ. ආර්. තමුන්ගේ නම රෝමන් අකුරුවලින් ලිව්වේ Jayewardene විදියට. ඒකයි ඒක එහෙම වුණේ.

      Delete
  3. Replies
    1. දෙමළුන්ට "ර"යන්නෙන් ආරම්භ වන වචනයක් උච්චාරණය කරන්න අමාරුයි. ඒක නිසා ඒගොල්ලෝ ඒ වගේ වචනයක මුලට "ඉ"යන්නක් එකතු කරනවා. උදාහරණයක් වශයෙන් ලංකා කියන වචනය "ඉලංකෙයි" වුණේ ඒ අපහසුව නිසා.

      ඒ වගේම සිංහළුන්ටත් හල් "ස"යන්නෙන් පටන් ගන්නා වචනයක් උච්චාරණය කිරීමේ අපහසුවක් තියෙනවා. ඒ නිසා තමයි කකා මෙතන "ඉස්තුතියි" කියලා ලිව්වේ. මේක හරිනම් "ස්තුති යි" කියල යි ලියන්න ඕනේ. ("ස්තුති" කියන වචනය සහ "යි" කියන වචනය වෙන් කරල යි ලියන්නේ. මොකද මෙතන "යි" කියන්නේ ක්‍රියා පදය යි.) ඒ උච්චාරණ අපහසුව නිසා යි ස්ත්‍රියට "ඉස්ත්‍රිය" කියන්නේ.

      Delete
    2. සමා වන්න.... ඉහත කොමෙන්ටුවේ පොඩි වැරදීමක් වුණා...

      දෙමළුන්ට උච්චාරණය අපහසු වන්නේ "ල"යන්නෙන් පටන් ගන්නා වචන යි.

      Delete
    3. ඉලංගෛ කියල ලංකාවට කියනව විතරක් නෙවෙයි. ඉරත්නපුරෛ කියලත් රත්නපුරයට කියනවා. සිංහල අපි ෆිසික්ස් කියද්දි සහ ෆන්ක්ෂන් කියද්ද භාවිතා කරන්නේ එකම ෆ ශබ්දය වුනත් එතන ශබ්ද දෙකක් තියෙන්න ඕනෑ. දැන් කාලෙ සිංහලයො ඉංග්‍රිසි නිවැරදි විදිහට (එංගලන්තයේ සුද්දො කියන විදිහට) කියන්න උත්සාහ කළත් සිංහල හරියට නිවැරදිව ශබ්ද කරන්නෙ නැහැ. දන්තජ සහ මූර්ධජ අකුරු එකම ආකාරයකට ශබ්ද කරන්නෙ. ඒව අතර වෙනස්කම් තියනව කියල හිත්නනෙත් නෑ. දන්තජ ශබ්දය දත් ආශ්‍රයෙන් එන නිසයි දන්තජ කියන්නෙ. මේව ගැන සිංහල බෞද්ධයෝ කියන ජාතියේ අය නම් දන්නෙම නැද්ද කොහෙද මගෙ හිතේ.

      Delete
  4. මහනුවර කැන්ඩි නොවී, මහනුවර (Mahanuwara)ම වුනෝතින් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කැන්ඩි කියන්නෙත් සිංහල වචනයකින් ආපු එකක්. ඒක නිසා කැන්ඩි කිව්වට වරදක් නෑ. අනිත් එක මොන සිංහලයාද "මහ නුවර" කියලා කියන්නේ? හැමෝම කියන්නේ "නුවර" කියලනේ.

      Delete
    2. "කන්ද උඩ" යන්න ඉංග්‍රීසින් විසින් කැන්ඩි යැයි උච්චාරණය කළ බවයි අපට කියා දුන්නේ. එය නිවැරදිද?
      නුවර යන්නෙන් නගරය යන පොදු නාමය කියැවෙන
      නිසායි මහනුවර කියා යෙදුවෙ.

      Delete
    3. "කන්ද උඩ" කියන එක, ඉංග්‍රීසීන්ට පෙර, පෘතුගීසින් තම යි Candea කියලා උච්චාරණය කළේ.

      සිංහලෙන් අපි පැරිස් කියල කිව්වට ඇත්තට ම ඒ නගරය ප්‍රංශ භාෂාවෙන් උච්චාරණය වෙන්නේ "පරී" කියල යි. ඒත් අද වෙන තුරු ප්‍රංශුවන්ට ඒක ප්‍රශ්නයක් වෙලා නෑ.

      Delete
    4. පැහැදිළි කිරීම ගැන ඉතාමත් ස්තුතියි!

      Delete
  5. Japanese can't pronounce "la" sound so they replace "la" with "ra". you have mentioned it other way.

    ReplyDelete
    Replies
    1. You're correct. "Sri Lanka" is pronounced by them as "Suri Ranka".

      Delete
    2. It's the Thai people who can't pronounce "R".
      For example the word "ring" is pronounced by them as "ling".

      Delete
  6. මහින්ද රාජපක්‍ෂ MR වුනේ ඉංග්‍රීසිය කෙටි කරන්න ඕන වුන්නිසාද? නැනම් සිංහලෙන් 'මරා' වුනේ මිනිස්සු මරා ගන්න දඟලන නිසාද​? එහෙනම්

    ReplyDelete
    Replies
    1. අයියෝ ඕකත් අහන්න කාරනාවක්ද? මිනීමරන්නා නිසානේ!

      Delete
  7. අපිත් එක්ක වැඩ කරන සුඩාන් වෙටාගෙන් marker පෑනක් ඉල්ලුවට පස්සේ මිනිහ මගෙන් ඇහුවා "බර්මන්ට් එකක්ද ඕන" කියල. දෙතුන් වතාවක් ආයෙත් අහල අහල තමයි තේරුම් ගත්තේ මේ කියන්නේ permanent කියන වචනේ කියල. සුඩානි අයට 'ප' කියවෙන්නේ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. පොදුවේ අරාබි භාෂාව තමුන්ගේ මව් භාෂාව වුණු අයට "ප" ශබ්දය උච්චාරණය කරන්න බැහැ. ආර්. ප්‍රේමදාස ජනාධිපති වෙලා ඉන්න කාලේ අරාබි රටවල ගුවන් විදුලියේ/රූපවාහිනියේ එයාව හැඳින් වූයේ "බ්‍රේමදාසා" කියලා.

      Delete
    2. ඒක හරි! අරාබි භාෂාවේ "ප" යනුවෙන් අක්ෂරයක් නැත.
      ඔවුන් පෙප්සි යන්න උච්චාරණය කරන්නේත්, ලියන්නේත් බෙබ්සි කියාය.

      Delete
  8. ඉංගිරිසි විතරක් නෙවෙයි හැම භාෂාවක්ම ඒ භාෂාව හිමිකාර ජාතිකයන් කතා කරන විදිහටම තවත් කෙනකුට කතා කරන්න බැහැ. දෙමළ අව වෙච්ච්‍රි කියන විදිහට සිංහල අපට කියන්න බැහැ. හින්දි සිංදුවක බඩා කියන වචනය අපි ශබ්ද කරන්නෙ නිකම්ම හැලබඩා කියන විදිහටයි. ඉතින් ජාත්‍යන්තර භාෂාවකදි මේ "සුන්දරත්වය" ඇති වෙනවාම තමයි.

    ReplyDelete
  9. දෙමළ අයට සිංහල වචන හරියට උච්චාරණය කරන්න බැරි කාරණය විහිළුවකට අරගෙන තම යි 1980 ගණන්වල නිහාල් සිල්වා එයාගේ "සාජන්ට් නල්ලතම්බි" නාට්‍යයෙන් මුදල් ගැරුවේ. ප්‍රේක්ෂකයෝ චූන් වුණේ නිහාල් සිල්වාගේ වැරදි සිංහල උච්චාරණයට යි. මෙවැනි නාට්‍යයක් නිර්මාණය කිරීම සුනන්ද මහේන්ද්‍රගේ විවේචනයට ලක් වුණා මට මතක යි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.