2014-06-19

සුන්දර ඉංගිරිසි - ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරාන්න

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ ලොකු මාකට් එකක් නේ. ඉතින් මෙහි ඉන්න වෙළෙන්දෝ එක එක විදියට තමන්ගේ සේවාවන් විකුණනවා. පඳුරකට පයින් ගැහුවාම වුණත් ඉංග්‍රීසි ගුරුවරයෙක් එතන පංතියක් කරනවා වෙන්න පුළුවන්. ඒත්, වැඩේ කියන්නේ කොහොම ඉංග්‍රීසි විකිණුවත්, ලංකාවේ මිනිස්සු තවමත්  ඉංග්‍රීසි භාවිතයේදී සාමාන්‍යයෙන් ගත්තාම ඒ තරම් චතුර නැහැ.

මට ඉන්දියාවේදී එක් කෝකියෙක් හමු වුණා. ඔහු‍ගේ නම ජෝන්. ඔහු දෙමළ ජාතිකයෙක්. ඒ නිසා ඔහු ගෙදරදී දෙමළ කතා කරනවා. ඔහු ජීවත් වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ. ඒ නිසා ඔහු එහි භාෂාව වන කන්නඩ භාෂාවෙන් තමයි ඉගෙනගෙන තිබෙන්නේ. ඔහුට හොඳින් කන්නඩ කතා කරන්න පුළුවන්. ඉන්දියාවේ සෑම පාසල් ළමයෙක් ම වාගේ හින්දි භාෂාව ඉගෙන ගන්නවා. ජෝන්ට හොඳින් හින්දි කතා කරන්නත් පුළුවන්. ඔහු කලක් ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝකියකු ලෙස වැඩ කර තිබෙනවා. ඒ නිසා ඔහුට හොඳින් තෙළිඟු භාෂාවත් කතා කරන්න පුළුවන්. ඔහු මා එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ජෝන් භාෂා පහක් ඉතා පහසුවෙන් කතා කරනවා.

ලංකාවේ මිනිස්සු භාෂාවන් ඉගෙන ගන්න මුදල් වියදම් කළත්, ඔවුන් භාෂාවන්ට විවෘත නැති බවයි ‍මගේ අදහස. ඒ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි භාෂා භාවිතය පිළිබඳ සාමාන්‍ය තත්වය දුර්වල මට්ටමක තිබෙන්නේ. වාර්ගික ගැටුම් මැද, ජාතිවාදී ව, තමන්ගේ ජාතිය පමණක් අති උත්තම ය කියා ජාතික ස්වෝත්තමවාදයෙන් අන්ධ වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල සමාජය විදෙස් භාෂාවන්ට විවෘත වන්නේ සීමිතවයි. මෙහි හොඳ පැත්තකුත් නැති ය කියන්න බැහැ. එක පැත්තකින් අපේ භාෂාව මෙහෙම හරි ආරක්ෂා වෙලා තිබෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. හැබැයි, දැන් දැන් අ‍පේ නාගරික ප්‍රජාව කතා කරන්නේ සිංහලටත්, ඉංග්‍රීසියටත් දෙකටම අයත් නො වන සිංග්ලිෂ් භාෂාවක්. රේඩියෝ නාලිකාත් මේ සංකර භාෂාව ප්‍රවර්ධනය කරන්න සෑහෙන දායකත්වයක් සපයනවා.

"ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරන්න," යි කියන නිවේදක නංගිලා, අයියලා රේඩියෝ නාලිකාවල ඉන්නවා. (රේඩියෝ කියන සිංහල තත්සම වචනය ගුවන්විදුලිය කියන වදනට වඩා හොඳ ය කියා මම හිතනවා.)

පසුගිය දිනෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අපේ පාඨකයකු වන ෆවාස් අපට එක් විහිළු කතාවක් කිව්වා. පසුගිය දිනවල ලංකාවේ තිබුණානේ චොගම්. ඒ කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව. එයට සහභාගි වන්නට ආ අයට කටුනායක ගුවන් තොටුපළේ මෙවැනි උපදෙසක් දුන්නා ය කියා මේ විහිළු කතාවේ කියවෙනවා. "මෙහේ භාෂාව හරි ලේසියි. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම නාමපදයක අගට 'එක' කියාත්, ඕනෑම ක්‍රියාපදයක අගට 'කරනවා' කියාත් යෙදුවාම ඔබට සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුළුවන්."

කතාව ඇත්ත. අර නිවේදිකාව කතා කරන්නේත් එහෙම නේ.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට මෙහෙම වෙලා තිබෙන්නේ පාසල් විෂය මාලාවන්ගේ ගැටලු නිසා. එක එක පිටරටවල ශිෂ්‍යත්ව ලැබ කරක් ගසා පැමිණි හිස් විශාරදයෝ කලින් කලට ලංකාවට විවිධ ඉංග්‍රීසි ඉගැන්වීමේ ප්‍රවේශයන් හඳුන්වා දුන්නා. ඒවා ගැන විස්තර කිරීම තේරුමක් නැහැ. මොකද, එ්වා සාර්ථක වෙලා නැති බව ඔප්පු වෙලා ඉවරයි නේ. ඇයි අපට බැරි අපේ සිංහල භාෂාව හොඳට ඉගෙන ගන්නා ගමන්, සිංහලත්, ඉංග්‍රීසිත් අතර සමානතා හා අසමානතා අධ්‍යයනය කරමින් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ක්‍රමවේදයක් හදන්න.

අනෙක් කාරණය තමයි, ලංකාවේ පාසල් විෂය නිර්දේශයේ ව්‍යාකරණ අධ්‍යාපනයක් නැහැ. මේ ‍විෂය නිර්දේශවල හා පෙළපොත්වල පුවේශය වන්නේ ඉංග්‍රීසි භාවිතා කරන ගමන් ව්‍යාකරණ  ඉගෙනීමයි. එහිදී අපි කරන්න බලාපොරොත්තු වන්නේ භාවිතා කරන භාෂාවේ තිබෙන ව්‍යාකරණ ගැන හැදෑරීමයි. හරියට සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නවා වගේ. ඒත්, කොළඹ ඉඳන් මේ විෂයමාලා සකස් කරන අය නො දන්නා කාරණය වන්නේ කොළඹින් පිට ඉංග්‍රීසි භාවිතය අවම බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ මිනිස්සු ව්‍යාකරණ රටා අනුව වාක්‍ය ගොඩනගන්න දන්නේ නැහැ. ‍ඒග්ල්ලො ඉංග්ලිෂ් නවුන්ස් අගට එක කියාත්, වර්බ්ස් අගට කරනවා කියාත් යොදා ස්පීක් කරන්නේ ඒ නිසායි.

ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේත් ගුරු අධ්‍යාපනය පදනම් වී තිබෙන්නේ මේ අනුකාරකවාදී අදහස් මත මිස අපට ඔබින නිර්මානාත්මක චින්තනයක් මත නොවෙයි. මේ අතර, ඉංග්‍රීසි උගැන්වීමට ම උපන් සක්විතිලා වැනි වෙළෙන්දන් නිසාත් ඉංග්‍රීසි අධ්‍යාපනය විකෘති වෙනවා. වචන පාඩම් කරලා, වාක්‍ය පාඩම් කරලා කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැ. අපේ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් විය යුත්තේ ව්‍යාකරණ දැනුම මතයි. ඒ වගේම අප හොඳින් දන්නා සිංහලය හා ඉංග්‍රීසි අතර වෙනස්කම්, සමානකම් අධ්‍යයනය කිරීමත් ඉංග්‍රී අධ්‍යාපනයේදී මහෝපකාරී වෙනවා.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

24 comments:

  1. මම දැකලා තියනවා, 'ඉංග්‍රීසි කතා කිරීමේ කඳවුර, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබාගැනීමෙන් තොරව එලියට යන්නට ඉඩදෙනු නොලැබේ' කියලා ප්‍රචාරයක් කරන පන්තියක්. හිට්ලර්ගේ මල්ලිද දන්නේ නෑ ඒ පන්තිය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක අර විශ්ව විද්‍යාලයට තේරුණු සිසුන්ට කලකට පෙර තිබුණු නායකත්ව පුහුණු කඳවුර වගේ එකක් විය හැකියි.

      බ්ලොග් එකක් කළ රත්ගමයා කියා තිබුණා ඒ කඳවුරට ගියාව අවසාන වෙනතුරු ගෙදර යන්න බැරි බව!

      Delete
    2. හොඳ විනෝශ්වාදයක් සමඟම යම් ප්‍රමාණයක දැනුමකුත් ලබාදෙන මේ ලිපිය අතරට පාලිත මන්ත්‍රීවරයාගැන පොල් මුඩ්ඩක් එබ්බවීමෙන් මේ ඇනෝ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ?

      Delete
    3. කන්න ගියාම කබරගොයාත් තලගොයා වීමේ අජිත් පැරකුම් න්‍යායය

      හොද හිත-පාලිත

      Delete
    4. නායකත්ව පුහුණු කඳවුරට ගියාට පස්සේ ආපහු මැදදී එන්න බාධාවක් නැහැ.මමත් ගියා.ඒකෙ කිසිම දේශපාලනයක් නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකත්ව කඳවුරක්.

      Delete
    5. @ Esh,
      ඔබ නායකත්ව පුහුණු කඳවුරට ගියේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉන්නා රත්ගමයා කියන බ්ලොග්කාරයා ගිය 2011 වසරේ ම ද?

      මෙන්න ඔහුගේ මුල් ලිපියේ දී මා ඔහුට කී කාරණා.
      http://www.rathgamaya.com/2011/06/sb.html?showComment=1308129415072#c6104920605199849549

      මෙන්න ඔහුගේ පිළිතුර
      http://www.rathgamaya.com/2011/06/sb.html?showComment=1308132388326#c1190010142862383381

      මෙන්න ඔහු පසුව ලියූ ලිපිය.
      නායකත්ව පුහුනුවේ ඇත්ත - http://www.rathgamaya.com/2011/07/blog-post.html

      Delete
  2. අපේ බොහොමයක් සිංහල දේශප්‍රේමියො හරිම ආසයි නොවැ සිංහල වචන තුනක් කතාකලොත් දෙකකටවත් ඉංගිරිසි වචන රුවන්න. ඒක නිසා නොවැ හුලං ගහන සියලුම ලාම්පු පැට්‍රොල්මැච් උනේ ඔය පැට්‍රොල්මැච් එකේම නොවැ වේපරේ තියෙන්නෙ. ලවුස්පීකරේ ගස් බඳින්නෙත් අපිම තමයි. ඔය සොකැට්සොබරේ වාහනවලට හයි කෙරුවෙත් අපේ සිංහල අයියලම තමයි.දැන් බොහොමයක් සිංහලයො එලිබහින්න යන එක නැත්නම් කක්කුස්සියන එක නවත්තල ටොයිලට් නොවැ යන්නෙ. ජී කොරන පිස් කොරන කට්ටියකුත් ඉන්නව. වචන දෙකක් කතාකොරන්න බැරි පොඩි එවුන්ට බායි කියල නොවැ කියන්නෙ.මගෙ කාස්ට් එක නං ගොයිගම බුඩිස්ට් වෙච්චි. ඕනෑම කොලිටියක කට්ටිය එකට සැට් වෙනව බෝතලයක් ගහන්න.අපේ ‍රැකෝඩ් එක ගැන ලොට් එකක් උනත් ලියන්න පුලුවන් අදට පිනිෂ් කරමු.

    ReplyDelete
    Replies
    1. පැට්‍රෝල්මැච් කියන වචනේ ආවේ Petromax කියන brand name එකෙන්. ඒක ජර්මන් කොම්පැනියක නමක්. මෙතනට ගිහිල්ලම බැලුවා නම්...

      Delete
  3. ඉංගිරිසි කතා කිරීමට ඇති පසුගාමී බවට හේතුව නම් ඉංගිරිසි කතාකිරීමේදී වැරදි කරන්න බැහැ යැයි අසම්මත සම්මතයක් අප අතර තිබීමයි.

    අපි සංහල කොපමණ වරද්දනවාද, ලියන කොට, කතා කරන කොට, නමුත් ඉංගිරිසියේ දී වරදක් කලොත් මාර ලැජ්ජාවක්!

    අයි ඩෝන්ට් නෝ කියන එක තමයි හොඳම පිළිතුර වෙලා තියෙන්නේ.
    http://kathandara.blogspot.com/2009/07/blog-post_15.html

    ReplyDelete

  4. quote<>unquote

    පැරා ආයෙම පටලවා ගත්තා..... "රේඩියෝ" කියන වචනය සිංහලයේ දී තත්සම වදනක් මිසක් පැරා ලියලා තියෙන විදියට තත්භව වදනක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. Radio ඉංගිරිසි වදනට සාදා ඇති හෙල වදන තමයි රෙදෙව්ව.

      රේඩියෝ කියන්නේ radially පතුරවන තරංග නිසායි:

      අරීය + දෙව්ව = රෙදෙව්ව

      යන වදන යෝජනා කර තියෙන්නේ.

      Delete
    2. හෙළ හවුලේ ඉන්නේ පිස්සෝ. ඒ අය හදන්නේ භාෂාව නොකිළිටි තත්ත්වයෙන් තියා ගන්න. ඒ වගේ අයට කියන්නේ puristලා කියලා. හෙළ හවුල් කාරයෝ හදන වචන නිකං ජෝක්ස් විතරයි. ඕනෑම භාෂාවක් කාලයාත් එක්ක වෙනස් වෙනවාය කියන සත්‍යය ඒ ගොල්ලන්ට දිරවන්නේ නෑ.

      Delete
    3. ඔබ හරි. නිවැරදි කළා.

      Delete
  5. පැරකුම් ඔබත් දන්නවනේ අප ඉගෙන ගන්න කාලේ ඉංගිරිසි ඉගෙනීම පදනම් වුනේ ඔබ කියන //අපේ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් විය යුත්තේ ව්‍යාකරණ දැනුම මතයි// ව්‍යාකරණ දැනුම මත තමා. ඒත් කකා කියනවා වගේ අපොස උපේ කළත් I don't know වලින් එහාට යන්න නොහැකි වුනා. ව්‍යාකරණ භාෂාවෙන් ඉවතට අරන් ඉගැන්වුවා හෝ ඉගෙන ගෙන මෙයට විසඳුමක් සොයන්න අමාරුයි. මොකද අපට එය හරි ගියේ නැහැ. මට තේරෙනවා ඔබ කියන //ඒත්, කොළඹ ඉඳන් මේ විෂයමාලා සකස් කරන අය නො දන්නා කාරණය වන්නේ කොළඹින් පිට ඉංග්‍රීසි භාවිතය අවම බවයි.// කියන කාරණය. කොළඹ වුනත් වෙනසක් නැහැ.
    භාෂාවක් භාවිතා (ගෙදර දොරේ එදිනෙදා වැඩ කරන විට) නොවුනත්, අර සම්පුර්ණ ලෙස භාෂාව ඉගෙන ගන්න ක්‍රමය උපයෝගී කර ගන්න අමාරු නැහැ. එතැනදී ඔබ කියන ළමයා දැනටම දන්නා සිංහල භාෂාවත් උපයෝගී කර ගන්න පුළුවන්. //ඒ වගේම අප හොඳින් දන්නා සිංහලය හා ඉංග්‍රීසි අතර වෙනස්කම්, සමානකම් අධ්‍යයනය කිරීමත් ඉංග්‍රීසි අධ්‍යාපනයේදී මහෝපකාරී වෙනවා.// බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් මෙවැනි ප්‍රවේශයක්, එතුමා ලියපු පොත් වල අනුගමනය කර තිබුනා. මෙයම තමා නව අධ්‍යාපන ප්‍රවේශය වන්නේත්.
    හැබැයි යලිත් භාෂාව සම්පුර්ණ දෙයක් ලෙස ඉගෙනීමට ගියොත්, මාර්ටින් වික්‍රමසිංහලා ජිබි සේනානායකලා වගේ අයත් අනුගමනය කර තිබෙන්නේ මේ නුතන අධ්‍යාපනඥයන් කියන ඔබ ප්‍රතික්ෂේප කරන ක්‍රම වේදයම තමා. එතැනදී ගෙදර භාවිතා නොවුනත් කියවීම, භාෂාව දියුණු කිරීමේ ප්‍රධාන මාර්ගය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. නීරස තලාහේනේ සිල්වා නොවේ, එක එක ළමයින් ප්‍රිය කරන වෙනස් කතන්දර. කොටින්ම චිත්‍රකතා පවා. මෙතැනදී සම්පත් මදි කම හා ගුරුවරුන්ගේ ප්‍රවීනතාවය ප්‍රශ්නයක් තමා. අර සිංහල හා ඉංගිරිසිය සසඳා උගන්වන්නත්, ක්‍රමවේදය විතරක් නොවේ, ගුරුවරුන්ගේ ප්‍රවිනතාවයද ගොඩක් බලපානවා. මා නම් අදත් සිංහල යම් පමණකින් ලියන්නේ, පාසලේ උගන්වපු ව්‍යාකරණ හින්දා නොවේ.

    ReplyDelete
  6. මම හිතන විදිහට English ගැන පාසල් තියෙන බර ආකල්ප නිසා තමයි ළමයින්ට ඉගෙන ගන්න අමාරු. මම පාසල් අවසන් කළේ 1997, අපි 6.7.8. පන්තිවල ඉන්න කොට මට මතකයි තිබුණ පාඩම්. වැඩි හරියක් තිබුණේ එන්ගලන්තයට ගැලපෙන, ඒ සමාජයට හුරු පුරුදු කතා, නැත්නම් යෙදුම්. ඒවා අපිට ආගන්තුකයි. අපි ලංකාව ඇතුලේ භාවිතා වෙන දේවල් ඉගැන්නුවා නම් මීට වඩා ඒවා අපිට සමීප වෙනවා. එහෙම සමීප නොවුන නිසා තමයි English අමාරු වෙන්නේ.

    වාසනාවට අපේ පාසලේ මේ ක්‍රමය ටිකක් වෙනස් කරලා නිතරම කතා කරන්න පුරුදු කලා. වැරදුනත් English කතා කරන්න අනිවාර්්‍යයි. ඒ නිසා අපේ බය නැතිවුනා. උසස් පෙල කරන කාලේ පෞද්ගලික පන්තියන හරියටම ව්‍යාකරණ (grammar) උගන්වන ගුරුවරයෙක් ලැබුනා. එතුමා කවදාවත් වචන පාඩම් කරලා කතා කරන්න නොදී වචන හදලා කතා කරන්න කියලා දුන්න...

    ReplyDelete
  7. සින්හල වැඩසටහන් පමණක් නෙමෙයි බොහෝ ඉන්දියානු හින්දි සහ දෙමල (ලන්කාවෙත් ) ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන්වල (ගීත හා සිනමා ) භාවිතා වෙන්නෙ ඉන්ග්‍රීසි හා මිශ්‍ර වූ භාශාවක්

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ සිංහල නිවේදක නිවේදිකාවන් ඒ ඉන්දියානු ආර කොපිකිරීමෙන් තමයි මෙම සින්ග්ලිෂ් එෆ් එම් රේඩියෝ භාෂාව පටන් ගත්තේ..අර බ්‍රේක් කේ බාත් කියා මාර ඇක්ෂන් දමා කියන ඉන්දියානු නිවේදකයින් මතකනේ...

      Delete
  8. Ano June 20-2014at7.34 obe ptromex gena linkekata(sabendiyawa?) isthuthi pariwarthna ekka nisa thawahondai,Basawak kathakaranna iganaganiddi mamahithnne wiyakarana genabarapathla widiyata nohitha sabakolanowi kathakaranna patangenimai honda,wiyakarana nikammawage enawa pasuwa wediawadanaya yodawannaheki.wathurabahinne epei peenanna. .Ranji.

    ReplyDelete
  9. ලෝකයේ තත්වය කෙසේ වෙතත් දකුණු ආසියා කලාපය තුළ එක භාෂාවක් පමණක් කථා කළ හැකි ජනතාව වැඩිම ප්‍රතිශතයක් ඉන්නෙ ලංකාවෙද කොහෙද?
    මේකට හේතුව කොදෙව් මානසිකත්වයද? උද්දච්චකමද?
    සමහර අය වෙනත් භාෂා දෙකක් අතර වෙනස හඳුනන්නෙත් නෑ.

    ReplyDelete
  10. ඉංගිරිසි වචන වලට සිංහල තේරුම් හදන්න යද්දි වචනය පරිවර්තනය කරන්න උත්සාහ කිරීම අසාර්ථක බව පේනවා. ඒක නිකම් හාල්මැස්සා "රයිස් ෆ්ලයි" කියල පරිවර්තනය කරනව වගේ වැඩක්. (කණාමැදිරියාට "ලකේ පුයිට්" කියන එක ඊට වඩා සාර්ථකයි.) වචනයක් සමාජගත වෙන්නනම් ඒ වචනය ඇහෙද්දි තේරුම ගැන අදහසක් හිතට නැගෙන්න ඕනැ. රෙදෙව්ව යන වචනය භාවිතයෙන් ඈත් වෙලා තියෙන්නෙ ඒ නිසයි. වචන වශයෙන් ගත්තහම කිසිම තේරුමක් නැති "ගුවන්විදුලිය" වගේ වචන වලට තැනක් ලැබිල තියෙන්නෙත් ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. "ගුවන්විදුලිය"......... මම ඉතාමත් ප්‍රිය කරන, ඒ වගේ ම මගේ කණට මිහිරි වචනයක්! :-)

      Delete
  11. ඉංග්‍රීසි පමනක් නොවෙයි භාශාවක් හෝ වෙන ඕනෑම දෙයක් එය වැඩි වැඩියෙන් පරිහරනය කිරීමෙන් හා ඒ වෙත උනන්දු දැක්වීමෙන් එය වැඩි දියුනු කර ගැනීමේ ප්‍රවනාතවය වැඩියි. සිංහල මාද්‍යය මුල් භාශාව කරගෙන ඉංග්‍රීසිද ව්‍යාකරනාණුකූලව ඉගෙන ගෙන තිබුනත් එය භාවිතයේ පැවැතුනේ නැත්නම් කල් පසුවෙත්ම එම පුද්ගලයාගේ ඉංග්‍රීසි දැනුම නැති වෙලා යයි. පසලේ ඉංග්‍රීසියට අලස බවක් පෑ නමුත් පසු කාලීනව එයට ආකර්ශනය වී ගුරු මගපෙන්වීමකින් තොරවම පොත පතට, අන්තර්ජාලයට යොමු වී පිපාසයකින් යුතුව උත්සාහ කල පුද්ගලයා සරලව හා හැකි අයුරින් නිවැරදිව ඉංග්‍රීසි භාවිතා කරයි. උනන්දුව මෙයට ප්‍රධානව බලපායි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.