2014-08-29

අයිස් බකට් අභියෝගය

http://purawara.com/wp-content/uploads/2014/08/mississippi.png
මේ තරුණිය මිය ගිය කතාව බොරුවකි
ධනේශ්වර ක්‍රමයට විසඳිය නො හැකි ප්‍රශ්න වන දිළිඳුකම, නූගත්කම, අපරාධ, දූෂණය, විෂමතා වැනි ප්‍රශ්න විසින් ක්‍රමය අර්බුදයට පත් කර බිඳ වැට්ටවීම පාලනය කිරීම සඳහා භාවිතා කෙරෙන ක්‍රමවේද අතර පුන්‍යාධාර හා සමාජ සේවය ද ඇත. විශේෂයෙන් ම දියුණු, ධනේශ්වර රටවල ජනයා අතර පුන්‍යාධාර හා සමාගම් අතර සමායතන සමාජ වගකීම වැනි සංකල්ප ප්‍රවර්ධනය කරනු ලැබේ. එමගින් කරනු ලබන්නේ විශේෂයෙන් ම තුන්වන ලෝකයේ මිනිස් කසල බවට පත් වෙමින් තිබෙන මිනිසුන්ට යම් උපකාර කිරීමයි.

එහෙත්, මෙහි මූලික ගැටලුවක් තිබේ. එනම්, විෂමතා දුරලමින් සමානාත්මතාව ඇති කරන දේශපාලන නැඹුරුවක් වෙනුවට විෂමතා උත්සන්න කරන දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කරමින් එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අදේශපාලනික, පුන්‍ය සංකල්යකින් කටයුතු කිරීම ඒ දේශපාලන ප්‍රශ්නයයි. මෙය හරියට රෝගයට ප්‍රතිකාර නො කර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් වැනි ය. 

උදාහරණ ලෙස මෙසේ ගන්න. ලංකාව වැනි ජනතාව විපතට පත් කරන පාලකයන් සිටින රටවල් රැසක පාලකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගනිමින් හා ඔවුන්ට උපකාර කරමින්, ඔවුන් විසින් ඇති කරනු ලබන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට උපකාර කිරීමේ තේරුම කුමක් ද?

කොකා කෝලා වැනි සමාගම් ද සමායතන සමාජ වගකීම ගැන කතා කරති. එහෙත්, සෞඛ්‍ය ගැටලු ඇති කරන කොකා කෝලා වැනි නිෂ්පාදන සමාජයෙන් තුරන් කර දැමීම එවැනි සමාගම්වලට කළ හැකි ලොකුම සේවාවයි. කලකට ඉහත දුම්කොළ සමාගම් ක්‍රීඩාවට විශාල වශයෙන් අනුග්‍රහ දැක්වූ මුත්. දැන් නම් ලෝකය ම විසින් එවැනි ක්‍රියා පිටු දකිනු ලැබේ. 

පුන්‍යායතන හා සමාජ සේවය වරදකැයි අපි නො කියමු. නිදන්ගත කායික හා මානසික රෝග පීඩාදිය හේතුවෙන් අසරණ වන මිනිසුන්ට විශේෂයෙන් ම සෙසු ජනයාගේ උදව් උපකාර අවශ්‍ය ය.

පසුගිය සති දෙක, තුන තුළ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලෝකය පුරා ජනප්‍රිය වූ ඒ.එල්.එස්. අයිස් බකට් චැලෙන්ජ් ද මෙවැනි අරමුණක් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ ක්‍රමවේදයකි. ඒ.එල්.එස්. යනු ස්නායු රෝගයකි. මොළයේ සිට සුෂුම්නාව හරහා සිරුර පුරා පැතිරෙන මෙය බලපාන්නේ නියුරෝනවලටයි. එහි ප්‍රතිඵලයක් ලෙස පූර්ණ අකර්මන්‍යභාවයට පත් වන රෝගියා එයින් ම මිය යයි.

ඒ.එල්.එස්.රෝගය මුල් වරට හඳුනා ගනු ලැබුවේ 1859දී ය. ඒ ප්‍රංශ ජාතික ස්නායු රෝග විශේෂඥවරයකු වූ ජෝං මාටින් චාකෝ විසිනි. එහෙත්, එය කෙරෙහි ලෝක අවධානය වැඩියෙන් ම යොමු වූයේ 1839දී ලෝක ප්‍රකට බේස්බෝල් ක්‍රීඩකයකු වූ ඇමරිකානු ජාතික ලුවී ගෙරිග් මෙම රෝගයට ගොදුරු වී 1941දී මිය යාමත් සමගයි.ලංකාවේ දැනටත් විකාශය වන ලෝක ප්‍රකට සෙසෙමි ස්ට්‍රීට් රූපවාහිනී ළමා අධ්‍යාපනික වැඩසටහනේ නිර්මාතෘ ජොන් ස්ටෝන් ද මිය ගියේ මෙම රෝගයෙනි. වයස අවුරුදු 40ත්, 70ත් අතර කාලයේදී මිනිස්සු වැඩියෙන් මෙම රෝගයට ගොදුරු වෙති. ඔනෑම කාලයක ඇමරිකාවේ මෙවැනි රෝගීන් 30,000ක් පමණ සිටින බව ඒ.එල්.එස්.සංගමයේ වෙබ් අඩවිය පවසයි.

ඒ.එල්.එස්. රෝගාබාධිත පුද්ගලයන්ට, ඔවුන්ගේ පවුල්වලට හා මෙම රෝගය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ට උපකාර කිරීම මෙම සංගමයේ අරමුණයි. ඔවුන්ට උපකාර කිරීම ඇත්තෙන් ම හොඳ දෙයකි. 

පුන්‍යායතන විසින් අරමුදල් රැස් කිරීම සඳහා යොදා ගනු ලබන විවිධ ක්‍රම තිබේ. ඒ අතරින් ඒ.එල්.එස්. අයිස් බකට් චැලෙන්ජ් අතිශය සාර්ථක වූ එකකි. අගෝස්තු 19වනදා වන විට ඩොලර් මිලියන 22.6ක් වූ සංගමයේ අරමුදල සතියක් තුළ අගෝස්තු 26 වන විට ඩොලර් මිලියන 88.5ක් විය. 

අයිස් බකට් අභියෝගයේදී සිදු වන්නේ මෙම අභියෝගය භාර ගත් අය අයිස් වතුර බාල්දියක් නා, අරමුදලට ඩොලර් 10ක් පරිත්‍යාග කරමින්, තවත් පිරිසකට විවෘතව අභියෝග කිරීමයි. ඒ පිරිස ද එක්කෝ පැය 24ක් තුළ එම අභියෝගය භාර ගත යුතු ය. නැතිනම්, අරමුදලට ඩොලර් 100ක් පරිත්‍යාග කළ යුතු ය. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ අයිස් බකට් නෑම හා සෙසු අයට අභියෝග කිරීම වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීමයි. ලංකාවේ මේ අයිස් බකට් නෑම කළ අය අතර මල්ෂා කුමාරතුංග, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඉරාජ් වීරරත්න, භාතිය ජයකොඩි, ඔටාරා චන්දිරම් ආදීහු වූ අතර ඔවුන් විසින් අභියෝග කරන ලද, ඒ අභියෝගය ගනන් නොගත් අය අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ, ලාල් කාන්ත, මර්වින් සිල්වා වැනි අය ද වූ හ. 

ඇමරිකාවේ අයිස් බකට් නෑ අය ඒ.එල්.එස් අරමුදලට මුදල් පරිත්‍යාග කළ අතර, බ්‍රිතාන්‍යයේ නම් මුදල් පරිත්‍යාග කරන ලද්දේ එරට මෝටර් නියුරෝන රෝග සංගමයටයි. ලංකාවේ නාපු අය හා නෑම ප්‍රතික්ෂේප කළ අය කුමන අරමුදලකට මුදල් දුන්නාදැයි අපි නො දනිමු. ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් නම් මෙම අභියෝග ප්‍රතික්ෂේප කර අදාළ අරමුදල්වලට මුදල් පරිත්‍යාග කළ හ. 

මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන මෙතරම් ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට ප්‍රධාන හේතුව වූයේ මෙම වීඩියෝ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම මෝස්තරයක් වීම නිසා ය. තමන් විසින් තමන්ම ලෝකයට පෙන්වා ගැනීමේ ස්වයං ඡායාරූපකරණ හෙවත් සෙල්ෆී ඡායාරූප ප්‍රවණතාවක් ද පැතිරෙමින් පවතින සමයක මෙය සමාජයේ සෝබනකාර අවශ්‍යතාවන් සමග කදිමට පෑහිණි. අවසානයේදී එය තනිකරම විනෝද කටයුත්තක් විය. අයිස් බකට් නා ප්‍රචාරය ලබා ගත් ඇතැම් අය අරමුදල් පරිත්‍යාග කළේ නැත. ලංකාවේ අයිස් බකට් නෑ අයට තමන් මුදල් ගෙවූ ලදු පත ඉදිරිපත් කරන්නැයි කරන ලද අභියෝගවලට එතරම් ප්‍රතිචාර දක්නට නො ලැබිණි. මෙමගින් බලාපොරොත්තු වූ එක් දෙයක් වන ඒ.එල්.එස්. රෝගය පිළිබඳ දැනුවත් කිරීම නම් සිදු වූයේ අවම මට්ටමිනි. බොහෝ වීඩියෝවල දක්නට ලැබෙන්නේ එයින් සතුට ලබා ගැනීම මිස දැනුවත්භාවය පළ කිරීමක් නො වේ. 

ලංකාවේ මෙම මෝස්තරය පැතිරෙන විට ඒ පිළිබඳ දැඩි විරෝධයක් ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේම සිදු විය. එමගින් මෙම ක්‍රියාවේ අර්ථය ප්‍රශ්න කරන ලදී. ලංකාවේ වියළි කලාපයේ ලක්ෂ සංඛ්‍යාත ජනයා බොන්නට වතුර නැතිව දුක් විඳිද්දී නාගරික සෝබනකාර මධ්‍යම පංතිකයෝ පොදු ජල සැපයුම් පද්ධති ඔස්සේ ක්ලෝරීන් යොදා පිරිසිදු කරන ලද ජලය නාමින් කරන මේ විකාරය ගැන මතු වූ විරෝධය හේතුවෙන් භාතිය ජයකොඩි කීවේ තමන් මුදල් පරිත්‍යාග කරන්නේ නියඟයෙන් පීඩා විඳින ජනයාට උපකාර කිරීමට බවයි. එය කෙසේ කළාදැයි නො දනිමු.

මේ රැල්ල අවසන් වන ලකුණු දැන් දකින්නට ලැබේ. එක් සිද්ධියකදී අඩි කීපයක් මත සිට වක්කරන්නට සූදානම් කර තිබූ දැවැන්ත වතුර බේසමක් හිස මත වැටීමෙන් මිසිසිපිහි තරුණියක් මිය යන ආකාරය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය විය. එම මරණීය අයිස් බකට් නෑම ද සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය විය. එහෙත්, දැන් එය ව්‍යාජ වීඩියෝවක් බව හෙළි වී තිබේ. 

ඇත්ත සිද්ධිය සිදු වූයේ මිසිසිපිහි නොවේ. ඇත්තෙන් ම මේ තරුණිය මිය ගියේ හෝ දරුණු ලෙස තුවාල ලැබුවේ හෝ නැත. විස්තරය මෙතැනින් බලන්න. එහෙත්, ලංකාවේ ජනමාධ්‍ය තවමත් මෙම වීඩියෝව මිසිසිපිහි සිදු වූ මරණයකැයි කියා ප්‍රචාරය කරමින් සිටිති. 

මෙවැනි ව්‍යාජ වීඩියෝ බොහෝ අය විසින් භාවිතා කරනු ලබන්නේ තමන්ගේ වෙබ් අඩවියට පුද්ගලයන් ආකර්ශනය කරගෙන දැන්වීම් හරහා වැඩිපුර ආදායම් ලබා ගැනීමටයි. 

අයිස් බකට් අභියෝගය වෙනුවෙන් අත් හැර දමන ලද ගල් වලකට පැන්න බ්‍රිතාන්‍ය පාසල් සිසුවකුගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ පැය හතරකට පසුවයි. 

අයිස් බකට් අභියෝගයට ඍජුවම අදාළ නො වුණත්, පහත සඳහන් කරනු ලබන කරුණු මෙවැනි අරමුදල් රැස්කිරීමේ ක්‍රියාවන්ට අදාළ ය. පුන්‍යායතන මෙන් ම, අරමුදල් රැස් කිරීමේ යාන්ත්‍රණය ද මේ වන විට ලෝක පරිමාණ ව්‍යාපාර බවට පත් වී තිබේ. මේවා හැඳින්වෙන්නේ ලාභ නො ලබන ආයතන ලෙසයි. එහෙත්, මෙම ආයතනවල සේවය කරන පුන්‍ය වෘත්තිකයෝ පුන්‍යාධාරවලින් සුවිසල් වැටුප් හා වෙනත් වරප්‍රසාද ලබා ගනිති. ලාභය ඇත්තේ එතැනයි.

මෙම ක්‍රියාවලියෙහි අන්ත දෙකක් ඇත. එක් අන්තයක සිටින්නේ පරිත්‍යාග කරන ජනතාවයි. අනෙක් අන්තයේ සිටින්නේ පරිත්‍යාග ලබන ජනතාවයි. හොඳම බඩු ටික ඉන්නේ මේ අතරමැද ය. මොවුන්ට සමාජ වැඩකරුවන් යයි කියනු ලැබේ. ඇත්තෙන් ම මොවුහු නියම වැඩකාරයෝ ය. ඔවුන් කොයි තරම් වැඩකාරයන් ද යත්, පරිත්‍යාග කරන ජනයාගේ අරමුදල්වලින් වැඩි කොටසක් ඔවුන් ගන්නා අතර පරිත්‍යාග ලෙස ඇත්තට ම සිදු වන්නේ ඉතා සුළු දෙයකි.

පරිත්‍යාග ලබන අන්තය ගැන අපට හොඳ අත්දැකීම් තිබේ. 2004 සුනාමියෙන් පසු ලෝකයේ රටවල ජනයා ලංකාවට කරන ලද ආධාර ඇතැමෙකුට සෞභාග්‍යෙය් සුනාමියක් විය. මා දන්නා එක් රාජ්‍ය නොවන සංවිධානයක් සුනාමි ආධාරවලින් යම් කිසි සමීක්ෂණයක් කර, වාර්තාවක් මුද්‍රණය කර පසුව එය පරණ කඩදාසි කඩයකට විකුණා දැම්මේ ය. සුනාමි අරමුදල් පිල්ලි ගහන්නට පෞද්ගලික ගිනුම්වලට ආධාර මුදල් බැර කර ගත් දේශපාලනඥයන් ගැන නො දන්නේ කවුරු ද?
- ජනරළ 2014 -08- 31

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

12 comments:

  1. 1.පරිත්‍යාග කරන බොහෝ දෙනෙක් ඒව කරන්නෙ තමුන්ටත් යම් ලාභයක් අපේක්ෂාවෙන්. පින් ලබාගැනීමේ අරමුණින් දන්දීම, ආරක්ෂාව වෙනුවෙන් පඬුරු බැඳීම වගේ දේවල් උදාහරණයට ගත්තම අයිස් බකට් කියන්නෙත් තව එකක් විතරයි.

    2.යම් දෙයකට අවධානය යොමුකරගන්න පුළුල් ප්‍රචාරක ක්‍රමයක් යොදාගැනීමේ ගැටළුවක් නෑ. අවසාන ප්‍රතිපලය සාර්ථක නම් එච්චරයි.

    3.සමාජ ජාල වලින් එල්ල වන විවේචන/පැතිරෙන කතන්දර වලක්වන්න බෑ.

    4.මුදල් එකතු කිරීම් වලින් පිරිසක් නඩත්තු වෙන එක වලක්වන්න බෑ. මොකද කවුරුත් ලාල්කාන්තලා නොවන නිසා.

    ඒ නිසා මේව අමුතු දේවල් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඇයි ලාල් කාන්ත ගන්නෙ උදාහරණෙට.... අජිත් පැරකුම් කරන මේ සමාජ සේවෙ බලන්නකො...

      Delete
    2. කලින් ලිපියට කලින් එක කියෙව්වෙ නැද්ද?

      Delete
    3. ලාල් කාන්ත ඔහොම හිටියට, එයට විමල්ගේ iphone එක දැක්කහම අඩන්න වගේ ඇති. ඇයි හාමිනේගෙන් නේ මිනිහත් නඩත්තු වෙන්නේ. රෙද්දේ පුර්නකාලින සාමාජිකයන්. ලැජ්ජාවක් නැහැ. තමුන්ගේ පවුල ආර්ථික වශයෙන් ගොඩදාගන්න බැරිනම්, රටක් කොහොමද ගොඩ දන්නේ?

      සදුනි

      Delete
  2. ආධාර කරනවා නම් මේ දිනවල සිතා බැලිය යුතු ව්‍යවසනයක් තමයි දකුණු සුඩානයේ ආහාර අර්බුදය.

    http://www.unicef.org/southsudan/


    ReplyDelete
    Replies
    1. කතන්දර මැතිඳු සබැඳි දැමීම අත්හැර නැති හැඩයි. නමුත් සුඩානයට ආධාර දීමට ප්‍රථම ලංකාවේ නියඟයට ගොදුරු වුවන්ට උදව් කිරීම වඩා උචිත බවයි මගේ හැඟීම. මැතිඳුට සුඩානය මතක් වූයේ මෑතකදී අප්‍රිකා මහාද්වීපයේ සංචාරයකවත් නිරත වුනිද?

      - අනගාරික ධර්මදාස තුමා.

      Delete
    2. මා අදහස් කෙරුවේ ඇමරිකාවේ ඔය කියන පරීක්‍ෂණ අරමුදල් චැරිටි එකකට ආධාර කරනවාට වඩා අප්‍රිකාවේ සාගතයට සහන සලසන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට ආධාර කරන එක වඩා අත්‍යාවශ්‍ය දෙයක් කියායි.

      Delete
  3. රාජ්August 29, 2014 at 8:31 AM
    මචන් එහෙනම් පව් නොදී උඹ මුකුත් නොකිය හිටපන් මචන්, මුක්ත් කරන්නත් බෑනෙ.

    ReplyDelete
  4. useful articles (1st one is special):

    http://blog.castac.org/2014/08/alsicebucketchallenge-templatized-self-expression-costless-communitas/

    http://www.huffingtonpost.com/2014/08/19/ice-bucket-challenge_n_5692307.html#

    ReplyDelete
  5. අයිස් බකට් - බකට් හැරී - හැරී ජයවර්ධන - ජයවර්ධන පුර - .................

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.