2014-11-29

මහින්ද අබේසුන්දර හා කසුරි ගැන අවමංගල්‍ය ලියුමක්

මහින්ද රාජපක්ෂ තනි කර මහින්ද අබේසුන්දර යන්නට ගොස් ඇත. බැරි වන විට ලොකු මහින්ද පොඩි මහින්ද ගැන නොතකා හිටි බවට ද කතාවක් පැතිරිණි. හැබැයි පොඩි මහින්ද නම් ලෙඩ ඇඳේ සිටත් සිය වන්දිභට්ට වෛරී ප්‍රකාශ ලේඛනය රූපවාහිනියට යැවූ බව වාර්තා වේ. මුදල් නිසා වන්නටත් පුළුවන.

කොහොමත් ලොකු මහින්දට පොඩි මහින්ද එතරම් පොරක් නො වේ. ලොකු මහින්දට වැසිකිලි වලවල් ගොඩ දැමීමේ බඩ රස්සාව කරන හඩ්සන්ලා, ජැක්සන්ලා තවත් එමට සිටිති. එහෙත් පොඩි මහින්දලා, කසුරිලා නැති වන්නේ ලොකු මෙහෙයුමක් වෙලාවේ ය. බලාගෙන යනකොට ඒකෙත් වැඩේ හැටි ය.

බඩ වෙනුවෙන් පන්හිඳ ලෙලවමින් සිටියදී මෑතදී පරලෝකප්‍රාප්ත වූ මහින්ද අබේසුන්දර හා කරුණාදාස සූරියආරච්චි යන දෙදෙනා ම යම් දක්ෂතා තිබුණු අයයි. එසේම, වාමාංශික අදහස් මාකට් කරමින් ජනප්‍රියත්වයට පත් වූ අයයි. ඔවුන් ජනප්‍රිය වූයේ ඒ අදහස් නිසා ය. එහෙත්, අවසානයේදී ඔවුන් සිය ජනප්‍රියත්වය පාවා දුන්නේ දූෂිත ඒකාධිපතිත්වයක් වෙනුවෙනි. මේ දෙදෙනා ම අතීතයේදී පාසල් ගුරුවරු ද වූ හ. පත්තර රස්සාවට ආවේ ගුරුකම මදිකමක් වූ නිසා ද යන්න මම නො දනිමි.

කරුණාදාස සූරියආරච්චි ලියූ නවකතාවලටත් වඩා මහින්ද අබේසුන්දර ලියූ ආගිය කතා මගේ මතකයේ ඇත. මහින්දගේ ආගිය කතා යනු ලංකාවේ විකට සාහිත්‍යයේ මං සලකුණකි. එවැනි නිර්මාන කළ මිනිස්සු පසු කලෙක මහින්ද රාජපක්ෂ පාලනයේ සතුරන් වෙත වෛරය මුදා හළ ලේඛන ලිවීම සිය බඩ රස්සාව කර ගත් හ. 

මහින්ද අබේසුන්දර, කරුණාදාස සූරියආරච්චි, ජැක්සන් ඇන්තනි වැනි දස්කම් තිබුණු, බුද්ධිමත්කමකුත් තිබුණු කලාකරුවෝ මාලිනී ෆොන්සේකලා, රවීන්ද්‍ර රන්දෙනියලා වැනි පුයර බබාලාටත් අන්ත ලෙස දේශපාලකයන් ළඟ බැල මෙහෙ කරන නින්දිත දාසයන් බවට පත් වූ සංදර්භය තේරුම් ගැනීම වැදගත් ය.

එක පැත්තකින් මොවුන්ට මත්පැන්, ගැහැනු, යාන වාහන, බලය, ලොකු ලොක්කන් ඇසුර, මුදල් වැනි කාරණා සම්බන්ධයෙන් අසීමිත තෘෂ්ණාවක් තිබිණි. ඒ වෙනුවෙන් තමන්ගේ ආත්මය, දේශපාලන දැක්ම, හැකියාව පමණක් නොව නිර්මානාත්මක අනාගතය පවා කැප කිරීමට ඔවුහු සූදානමින් සිටිය හ. 

එසේම, ඔවුන් ස්වයංව ම පැටලුණේ ගැලවී ගත නො හැකි දැලක ය. තමන් විසින් ම ලියන කියන ලද දේ හේතුවෙන් ඔවුන් දිගින් දිගට ම ඒ දේ ම කළ යුතු අය බවට පත් කරන ලදී. අවසානයේදී විලි ලජ්ජාව නොමැති මිනිසුන් ලෙස ජීවත් වීම ඔවුන්ට ගැටලුවක් වූයේ නැත.

හඩ්සන් සමරසිංහ වැනි දක්ෂිණාංශික සම්භවයක් ඇති අයට නො තිබුණු ගැටලුවක් මහින්ද, කසුරි වැනි අයට තිබෙන්නට ඇත. ඒ තමන් කරන කාර්යය ගැන හෘදය සාක්ෂිය පිළිබඳ ගැටලුවයි. ඔවුන් බීලා ම මැරෙන්නට ඇත්තේ ඒ නිසා වන්නට පුළුවන.

මේ අයගේ ජීවිතවලින් අපි පාඩමක් උගත යුතු ය. කලාකරුවන් හැම විට ම තම ජීවිත, දේශපාලන දැක්ම ගැන සංවේදී විය යුතු ය. ආර්ථික පැවැත්මත්, තම දැක්මත් අතර තුලනයක් පවත්වාගෙන යා යුතු ය. අසීමිත පාරිභෝජනවාදී අපේක්ෂා, ධනයට හා බලයට ඇති ලොල්කම හා බේබදුකම තම ජීවිතයෙන් තුරන් කළ යුතු ය. 

කලාකරුවන් බුද්ධිමත් ලෙස සිය ජීවිතය ගොඩනගා ගන්නට ද උත්සාහ කළ යුතු ය. විශේෂයෙන් ම ජීවිතයේ අවසන් කාලයේ දිළින්දන් ලෙස මිය නො යන පදනමක් ඔවුන් සකසා ගත යුතු ය. ආණ්ඩුවට තබා තමන්ට ඇලුම් කළ කලා ලෝලීන්ටවත් අත නො පා ජීවත් වන්නට හැකි පදනමක් ගොඩනගා ගන්නට කලාකරුවෝ උත්සාහ කළ යුතු ය.

කලාකරුවන්ගේ දේශපාලනය යනු ජනතාවට සිය නිර්මාන ඔස්සේ සත්‍යාවබෝධය, ජීවිතාවබෝධය ලබා දීමයි. එසේ නැතිව දේශපාලකයන්ගේ බල ව්‍යාපෘතිවල පංගුකාරයන් වීම නො වේ.

කලාකරුවන්ගේ දේශපාලනය තිබිය යුත්තේ කලාව තුළ මිස දේශපාලකයන්ගේ පිළිකනුවල නො වේ.

අප මේ සටහන තැබුවේ මැරුණු අය වෙනුවෙන් නොව ජීවත් වන අය වෙනුවෙනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

27 comments:

  1. Well said para,
    //එක පැත්තකින් මොවුන්ට මත්පැන්, ගැහැනු, යාන වාහන, බලය, ලොකු ලොක්කන් ඇසුර, මුදල් වැනි කාරණා සම්බන්ධයෙන් අසීමිත තෘෂ්ණාවක් තිබිණි. ඒ වෙනුවෙන් තමන්ගේ ආත්මය, දේශපාලන දැක්ම, හැකියාව පමණක් නොව නිර්මානාත්මක අනාගතය පවා කැප කිරීමට ඔවුහු සූදානමින් සිටිය හ. //
    This is the truth. They are not so kind humans as you think.

    ReplyDelete
  2. රන්ගොජාට දෙකපුන උන් පෝලිමේ සෙත්තාපෝච්චි වෙන්නේ. ඊළගට ලොරි ඩ්‍රයිවර්ද දන්නෑ.

    ReplyDelete
  3. වාසනාවකට මෙන් මා මහින්ද අබේසුන්දරව දැන සිටියේ ඔහු ලියූ විහිලු කතන්දර පොතක් (ආගිය කතා) හරහා පමණි. ලංකාවෙන් පිට ඉන්නා නිසා ඔහුගේ වෙනත් වැඩ කිඩ ගැන ෆර්ස්ට් හෑන්ඩ් අදහසක් නැත.

    ලඟ එන මේ මරණය ගැන ඉඟියක් කරුණාදාස සූරියආරච්චි මියගිය දිනවල ම අහන්නට ලැබුණා.

    ReplyDelete
    Replies
    1. හපෝ රසික මහත්මයා එව්වා නොදකින තරමට දෑස පිංවන්තයි. දෙතුන් දවසක් විමසුම බැලුවම අද්යාත්මයම කුණු වෙලා යනවා. අරක්කු ගහල කුණු වෙලාම මැරෙන්න ඇත්තේ ඒකයි.

      අනිත් කුණු වෙලා මැරෙන්න නියම වෙලා ඉන්න එකා හඩ්ඩා

      Delete
  4. මම බෞද්ධ. මිනිහෙක් මැරුණම මට සංවේගයක් එනව. ඒත් මෙතන එහෙම දුකක් නෑ සතුටකුත් නෑ. ප්‍රභාකරන් මැරුණ වෙලාවෙ වගේමයි. මහින්ද මැරුණ දවසත් ඒවගේම වෙවි ද?

    ReplyDelete
  5. බීල හෝ නොබී, අවරුදු 75 ක් කියන්නේ මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන් උපරිම ආයුෂ ප්‍රමාණයක්. තමන්ගේ මතයට විරුද්ධ මතයක් වෙනුවෙන් පෙනී හිටි පමණින් ඒ මනුස්සයාගේ මරණයේදී මෙවන් ප්‍රකාශ කරන එක හරිද?

    ReplyDelete
    Replies
    1. කසුරි අවුරුදු 75 ක් ජීවත් වුණේ නැහැනේ. අවුරුදු 63 න් මැරුණානේ. ඉතිං එයා උපරිම ආයුෂ වින්දේ නැහැනේ.

      Delete
  6. මහින්ද මහත්තය මේ රටට දුන්නු තවත් ආශ්චර්යයක් තමයි ජනතාවාදී දේශප්‍රේමී රැඩිකල් ප්‍රගතිශීලී වගේ විවිධ සළුපිලි ඇදන් අපි ඉස්සරහ වීර චරිත රඟපාපු, අපේ බොහෝ දෙනා පිළිම ලෙස වන්දනාමාන කරපු කලා පොරවල්,පත්තර,සාහිත්‍ය, සිවිල් පොරවල් බොහොමයක් අර සළුපිලි උනා දමල පන් මල්ලක් අරන් කඩේ යන ජෝසී මනප්පු ලෙවල් එකට පත් කිරීම.කොටින්ම ජාතියේ මහා නිළිය මාලනී සහ ජාතියේ චුට්ටං සුරතලිය අනර්කලී එකම ලෙවල් එකකට ගැනීම.ප්‍රබුද්ධ ජැක්සන් ඇන්තනි පීචං අර්ජුන කමලනාත් ගේ ලෙවල් එකටත් පල්ලෙහාට පත් කිරීමයි.මේක හොඳ දෙයකි.මහත්වරුනි අපි මොන වැල් බයිලා ගැහුවත් බඩ ගොස්තරේ වෙනුවෙන් ඔක්කොම කම්බස්ය.කසුරිට අබේට පමණක් නොව සුනිල්ට නන්දාටද මේ තියරිය අදාලය.ජාතියේ මහා ගාන්ධර්වයා පවා චුට්ටං පැටියෙකු සේ මහරජා ළඟ සුරතල් වනු දුටිමි.මේ එහෙවු යුගයකි.බැලුවාම හීන කඩන්නේ නැතිව කපුගේ සන්ෆ්ලවර් එක්ක විතරක් සිංදු කියලා ගිය එක හොඳය.කට්ටිය රජාගේ මියුසික් වලට සිංදු කියන හැටියට උන්නා නම් උන්දෑටත් අබ සරණය!

    ReplyDelete
    Replies
    1. වික්ටර් ගිහින්හිටියද

      Delete
    2. කලා කර්මාන්තයේ පශ්චාත් නූතන තත්ත්වය ලංකාව වැනි රටවල පෙන්නුම් කරන්නේ මෙබඳු රෝග ලක්ෂණ වලින් තමයි......

      Delete
  7. හඩ්ඩාටත් එසේම වේවා. කට්ටිය සාදු කාරයක් දෙන්න... සාදු.. සාදු... සාදු......

    ReplyDelete
    Replies
    1. සාදු...සාදු...සා.ආ..ආ..දු!

      Delete
  8. මගේ බ්ලොග් එකේ මෙවන් අදහසකට මම දීපු රිප්ලයි එකක්. කොපි පේස්ට් එකක් දාන්නම්.

    ////මේ සමහරුන්ට නම් කාලයක සමාජ පිලිගැනීමක් තිබුනා. වැරදි තැන්වල වාඩිවෙන, ජනතාවගෙන ඈත්වෙලා ආණ්ඩුවලට ලංවෙන බොහොමයක් මාධ්‍යවේදීන්ට සහ කළාකරුවන්ට අත්වෙන ඉරණම ඕක තමයි. මරණය අපි කාටත් පොදුයි. හැබැයි අපි පුස්සෝ ලෙස මියයෑම නම් අභාග්‍යයක්./////

    ReplyDelete
  9. මඩ ගැන මහින්ද අබේසුන්දරගේ තිබුණු උනන්දුව නිසාම ඔහුගේ අවමංගල්‍ය උත්සවය පිළියන්දල මඩපාත සුසාන භූමියේ සිදු කිරීමට පවුලේ සාමාජිකයින් තීරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  10. ඊලඟට හඩ්ඩා, රවීන්ද්‍ර රන්දෙනිය, ජැක්සන්. ජැකා තව ටිකක් විඳවන්න ඕනෙ.

    ReplyDelete
  11. අමරදේවට හා ලෙස්ටර්ට බනින්න එපා. ඒ දෙන්නාම වයසයි. මිනිහෙක් වයසට ගියාම ඔය කියනවා වගේ ස්වාධීන වෙන්න බැහැ. රජතුමා ඒක දැන දැන මේ මිනිස්සු පාවිච්චි කරනවා. නමුත් අනික් අය ගන කියලා තියෙන දේවල් සහතික ඇත්ත.

    ReplyDelete
  12. කලා කරුවන් නැති රටක නලාකරුවන් මේ විදියට ‍රැඟිම අරුමයක්ද පැරා.මතකද හෙළයේ මහා නළු ගාමිණිට විජයගේ මලගම දා වෙච්චි දේ,ඒ ප්‍රේමදාසට කඩේ ගිහිං ඔළුව කොලොප්පං වෙලා.ඊට වඩා දස දහස් වාරයක් කැඩේ යන ජැක්සන් ඇතුළු නලාකාරයෝ කොහොම කරයිද?

    ReplyDelete
  13. මහින්ද අබේසුන්දර හෙවත් ‘අහිංසක කසළ භක්ෂකයා’ | Mahinda Abeysundara, the innocent scavenger


    ලේඛකයා කුඩා කල ඔහුගේ නිවෙසට යාබද නිවෙස මහළු ජෝඩුවක් හා මෙහෙකාරියක පමණක් පදිංචිව සිටි, බිත්ති පුරාවට දිය සෙවෙල බැඳුණු, පැරණි එකක් විය. මේ නිවසෙහි වැසිකිළි වලද නිවස සේම පැරැණි වූ අතර වසරකට වරක් පමණ සිරවේ. එය ‘සුද්ද’ කිරීමට ආවේ ‘සක්කිලි’ ලෙස වර්ගීකරණයට ලක් වූ, අරුණාචලම් නම් වූ දෙමළ මිනිසෙකි. ඔහු ඉණේ ඇති කාලේ බෝතලයකින් උගුරක් බී, වැසිකිළි වලෙහි සිමෙන්ති ලෑලි ඉවත් කොට, අසුචි බාල්දියකින් ගෙනගොස් මඳක් ඈතින් ඔහු විසින්ම කපන ලද වළෙකට පුරවා වළ ‘සුද්ද’ කර දෙනු ලේඛකයා අක්කලා සමඟ බලා සිටියේ මුව වැසෙන්ට ලේන්සු බැඳගෙනය.

    අරුණාචලම් ගැන ලේඛකයාට පැහැදිළිව මතක කාරණාවක් නම් ඔහුගේ පිරිසිදුකමය. රැකියාවට අසුචි ඇද්දත්, එය ආවරණය කර ගැනීමට මෙන් ඔහු අන් සියළු අවස්ථාවන්හීදී පිරිසිදුව සුදෝ සුදු සරමක්ද, අත්කොට කමිසයක්ද ඇන්දේය. මේ ඇඳුම හැමවිටම සාමන්ය පාසල් ගුරුවරයකුගේ ජාතික ඇඳුමටද වඩා සුදු විය.

    අරුණාචලම් ගැන මතක දෙවන කාරණාව කිසිදිනෙක ඔහුගේ නිවසෙහි වැඩක් නොකළද, මාස කිහිපයකට වරක් රාත්රියෙහි අරුණාචලම් මඳ පමණට සප්පායම් වී ලේඛකයාගේ නිවෙසටද පැමිණීමය. ඔහු එන්නේ හැමදාමත් බැරි සිංහලෙන් එකම මැසිවිල්ල නඟමිනි. “දොරේ, ගිය සුමානෙ අපේ අම්මා නැති වුණා.” මේ හැම අවස්ථවෙකදීම ලේඛකයාගේ අප්පච්චි බැරෑරුම් මූණක් මවා පාගෙන “ඔව්, අපට ආරංචි වුණා කරදරයක් වුණා කියල” කියමින් කීයක් හෝ ඔහු අතමිට මොළවයි. අරුණාචලම්ගේ අම්මලා හත් අට දෙනකුවත් ලේඛකයාට මතක කාල සීමාව තුළ මිය යන්ට ඇත.

    ලේඛකයාට කෙදිනෙකවත් අරුණාචලම් නරක මිනිසකු සේ නොපෙණුනේය. ඔහු අසුචි ඇද්දේද, බොරු කීවේද කැමැත්තෙකින් නොවිය හැකිය. සමාජ ආර්ථික පසුබිම විසින් මේ හොඳ මිනිසා එතැනට තල්ලු කොට තිබුණේය. මියෙන තුරුම වැටුණු ළිඳේම දඟලනවා විනා ඔහුට ගොඩ ඒමක් ගැන නොසිතිය හැකි විය.

    ReplyDelete
  14. ලේඛකයාට මහින්ද අබේසුන්දර හමු වන්නේ ඥාතියකුගේ අවමඟුලකදීය. මියගිය ඥාතියා අබේසුන්දරට වඩා වසර කිහිපයකින් වැඩිමහළු, ඔහුගේ පාසල් සගයෙකි. අබේසුන්දර ගොම්මන් කළුවර වැටී එන මොහොතක තම පැරැණි සගයාට අවසාන ගෞරව දක්වනු සඳහා ඔහුගේ ගෙට ගොඩ වන්නේ අරුණාචලම් සේ මඳ පමණට සප්පායම් වී නොව කෙළින් හිට ගන්ට වත් නොහැකි තරමට දාගෙනය. ඔහු බිව්වේ දුකටද, පුරුද්දටද නොදනිමි.

    ලේඛකයාට මහින්ද අබේසුන්දර හා අන්තර්ක්රියාවෙකට ඉඩ ලැබෙන්නේ මිනියට ආචාර කිරීමට වත් ඔහු නිවෙස තුළට යන්ට මැළි වන හෙයිනි. බීමතින් සිටින තමන්ගේ හැසිරීමෙන් තම මිතුරාට අගෞරවයක් විය හැකි බැව් ඔහු බමන මතින් වුව තේරුම් ගනී. මිනියට ආචාර කිරීමට වත් නොගොස් ඔහු හැරී යන්නේ එනිසාය. “ඇතුළට යන්ඩ බෑ පුතා… මං මේම යන එක ……. අයියට හොඳ නෑ. අක්කලාට කියන්ඩකො අපිත් ඇවිත් ගියා කියල. …….අයිය හොඳ මිනිහ. ඒකයි මේම හරි ආවෙ.”

    මහින්ද අබේසුන්දර නරකම මිනිසකු නොවේයැයි ලේඛකයා අදත් සිතන්නේ මේ හැසිරීම නිසාය. අඩු තරමින් ඔහු තමන්ගේ ‘නරක’ හැසිරීම පිළිගන්ට කැමැති ‘හොඳ’ මිනිසෙකි.

    අබේසුන්දර ලොකු මිනිහෙකු නොවේ. හිටපු ගණිත ගුරුවරයෙකි. උගන්වා ඇත්තේද ලොකු පන්තිවලට නොව පොඩි පන්ති වලටය. අනූවේ දශකය අග හරියේ ඔහු බන්දුල පද්මකුමාරගේ සංස්කාරකත්වයෙන් යුතු ඉරිදා ලක්බිමේ පුවත්පත් කලාවේදියකි. ලියන්නේ ආගිය කතා වැනි හෑලිය. වැඩකට ඇති දෙයක් නොවේ.

    බන්දුල පද්මකුමාර ඒ කාලයේ තද යූ එන් පී කාරයෙකි. ලක්බිම හිමිකරු තිලංග සුමතිපාල යූ එන් පියේ අනුරාධපුර සංවිධායකය. අබේසුන්දර වමේය. අබේසුන්දර – පද්මකුමාර ගැටුමට මුල එය හෝ පුද්ගලික හේතුවක් විය හැකිය. අවසාන ප්රතිඵලය අබේසුන්දර ලක්බිමින් ඉවත් වන තැනට වැඩ සැලසීමයි. මෙය අසාධාරණයක් වන්නේ අබේසුන්දර තමන්ගේ දේශපාලනය කවරක් වුවද ලක්බිමට සරල පල්හෑලි මිසෙක විවාදාපන්න යමක් නොලී නිසාය. අඩු ගණනේ අබේසුන්දරට තමන්ට වූ අසාධාරණය කියා ගන්ට වත් තැනක් නැත. කර්තෲ සංසදයේ නයුවකු වන පද්මකුමාර සියළු මාධ්ය තමන්ට ඕනෑ විදියට පාලනය කරයි. ඔහු හා ගැටුණකුට මේ මාධ්යයන්හි කිසිම ඉඩක් නොලැබේ.

    ReplyDelete
  15. අබේසුන්දර එවකට කර්තෲ සංසදයේ සමාජිකත්වය නොදරණ එකම ‘ජාතික පුවත්පත්’ කතුවරයාගේ පිහිට පතයි.

    “මහින්ද, මේක ඔයාගෙයි බන්දුලගෙයි පුද්ගලික ප්රශ්නයක්නෙ. අපි ඒ පුද්ගලික ප්රශ්න වලට අතදාන එක වැරදියිනෙ.” වික්ටර් අයිවනයෝ සීරු මාරුවෙන් ශූර ලෙස අත සෝදා ගනිති.

    මේ තත්වයට පත්වූ විට කොයිතරම් හොඳ මිනිසකුට වුව ගත හැකි අන් පියවරක් වේද? පුද්ගලික මාධ්ය ඔහුට අත තැබීමට වත් නොකැමැතිය. ඔවුන්ට මේ ‘අපේ-එකකු’ සමඟ වලි දා ගත් කෙනෙකි. ගෝත්රයේ එකකුට අභියෝග කළ කැරළිකාරයකුට ගෝත්රයේ අනෙක් එවුන්ගෙන් අනුකම්පාවක් නොවේ.

    මහින්ද අබේසුන්දරට පෙරළා ගුරු වෘත්තියට පිවිසීමටද නොහැකිය. ඔහු රජයේ මාධ්යයකට ඇතුළු වන්නේ ඊට ගෙවිය යුතු රිදී තිහක මිළ ගෙවමිනි.

    මේ කතාව තව දීර්ඝ වුවත් මෙතැනින් නතර කළ හැක්කේ එතැන් පටන් සිදුවීම් කිසිවකුටත් රහසක් නොවන නිසාය.

    මහින්ද අබේසුන්දරගේ පවුලේ විස්තර ලේඛකයා නොදනී. ඔහුට සවස තාත්තා කඩල ගොට්ටක් ගෙන එන තුරු ‘රුක් අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ’ බලා සිටින පුංචි පුතකු සිටිනවා විය හැකිය. කුසින් අඩක් දළ අහරින් රවටා – කෙසඟ සිරුර රළු යහනේ සතපා – අනියත හෙට ගැන සිතමින් සරසවියේ සිප් සතර හදාරන යොවුන් දියණියක සිටිනවා විය හැකිය. මේ පුතාටත් දුවටත් පොත් අර ගන්ට සල්ලි ඕනෑ වෙනවා විය හැකිය. ගෙදර උයන්ට බිරිඳට ලීක්ස්, කැරට්, ගෝවා අවශ්ය වනවා විය හැකිය. මේ කිසිවක් ආරක්ෂක දේවතාවෝ ගෙදරට ගෙනැවිත් නොදෙති. මේ සියල්ලටම මුදල් ඕනෑය. මේ ලෝකයේ හොඳ මිනිසුන් එකතු වී ඔහුගේ හා පවුලේ පැවැත්මට මුදල් එකතු කර දෙන්නේ නැත.

    පෑන්ටි, කොන්ඩෝම්, නිල් චිත්රපට ගැන ලියන්ට අබේසුන්දරට සිදු වන්නේ ලෝකයේ අනෙක් සියළු දෙනාට සේම ඔහුටද ඔහුගේ පවුලේ ඇත්තන්ටද බඩගිනි වන නිසාය. ඊට ඔහුට පමණක් වැරද්ද පැටවිය යුතු නොවේ. ඔහු ගෙරි කුණු කරේ එල්ලා ගෙන කන බන්දුල පද්මකුමාරලාට, කරුණාදාස සූරියාරච්චිලාට සාපේක්ෂව හොඳ මිනිසෙකි. අඩු තරමින් ඔහු ලියන්නේ තමන් හරිය විශ්වාස කරන දර්ශනයක් වෙනුවෙනි. තමන් අසරණභාවයට පත්වූ මොහොතෙක පිහිටට විත් අසුචි ඇදීමේ කොන්තරාත්තුවක් හෝ ප්රදානය කළ මිනිසකු වෙනුවෙනි.

    ලේඛකයා කලින් සිද්ධියෙන් පසුව මහින්ද අබේසුන්දර හා කතා කොට ඇත්තේ එකම වතාවකි. ඒ තිස්සමහාරාමය බලා යන අතරතුර උදෑසන ආහාරය සඳහා අළුත්ගම හරියේදී ගොඩ නැඟුණු අවන්හලෙකදීය. එහිදී අහම්බෙන් හමුවුණු අබේසුන්දරට ඔහු තමා හඳුන්නා දී කෙටි පිළිසඳරෙක යෙදුණේය. (නෑකමත් විශ්ව විද්යාලයේ රැකියාවත් හැරෙන්ට අන් කිසිවක් නොකියන්ට ඔහු පරෙස්සම් විය.) උදේ වැඩි නිසාදෝ අබේසුන්දර අනුමත වී නොසිටියේය. ලේඛකයා තමා දන්නා දෙයක් අනෙකාගේ කටින්ම අල්ලා ගන්ට දුඹුල් උත්සාහයක යෙදුණේ මෙසේය.

    “දැන් මිස්ට අබේසුන්දර ඔය ලියන දේවල් වලට මිනිස්සු බනින්නෙ හෙම නැද්ද?”

    ඔහු බොහෝ කාලයකට ඉහත අප්පච්චිගෙන් මුදලක් ලැබූ අරුණාචලම් සිහි ගන්වන ආකාරයේ සිනාවක් පෑයේය.

    “මොනව කරන්ඩද පුතා, අපිත් ජීවත් වෙන්ඩ එපායැ”

    ඔහුට ‘අහිංසක කසල භක්ෂකයා’ කියන නම ගැලැපෙන්නේ එහෙයිනි.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකයේ කිරීමට රක්ෂාවල් ඕන තරම් ඇත. සිකුරිටි වැඩක් කරමින් හෝ දරුවන් රැකබලා ගන්නා අවංක මිනිසුන් දහස් ගණනකි. එහෙයින් දරු පවුලේ නාමයෙන් මුළු සමාජයකට ලැට් වලවල් කඩා කවන්නකුගේ ක්‍රියාව අනුමත කිරීම තුච්ච කමකි. ඒ නයින් ගත කල කුඩු , කසිප්පු විකුනන්නාටද , කොන්තරාත් මිනි මරුවාටද කීමට දෙයක් ඇත.රැකීමට පවුලක් ඇත . ඒ කිසිවක ඇති අහිංසක බවක් නැත.

      Delete
    2. බස් එකේ, කෝච්චියේ පොකැට් ගහන එකාත් කියන්නෙ "මම මේ දේ කරන්නෙ රජබොජුන් වළඳන්න නෙමේය... මගේ අහිංසක, දුප්පත් පවුළට, දරුවන්ට බඩට කන්න මොනව හරි අරන් දෙන්නය"... කියලයි!

      Delete
  16. මහින්ද අබේසුන්දර හෙවත් ‘අහිංසක කසළ භක්ෂකයා’ | Mahinda Abeysundara, the innocent scavenger
    Posted by Taboo on February 10, 2011

    ReplyDelete
  17. බොරුවට බනින ගමන් අපිත් සහාය දක්වනවා කියල හොරෙන් හොරෙන් කඩේ යන්න එපා. ඊලගට යන්නේ පැරා වෙන්නත් පුළුවනි. කොහොමටත් ගුරුවරයෙකුත් නේ නේද ? පරෙසමෙන් කඩේ යන අයට ඒ තරම් ගුණ නෑ.

    ReplyDelete
  18. Me mathrukawa kathakaranawata parata sthuthi.Kasuri.Mahinda Abe.sujeewa disa. giya Thawa jaka,hadusan,Somarathna disa,jrp suriya.innawa.(Mahinda abe Lakbimata liyapu Agiya kathanam amathaka nowe,)

    ReplyDelete
  19. මහින්ද අබේසුන්දර , කරුණාදාස සූරියාරච්චි දෙපළ වෙනුවෙන්ම කණගාටුව ප්‍රකාශ කරන අතර මේ ඌණ පූරණයද ඒ කණගාටුවට එක් කරමු.
    "හැකියාව යනු ආචාරධර්මයන්ගෙන් හික්මවාගත යුතු දෙයක් යන මූලධර්මය ශිෂ්ටාචාරය ට අදාළ මූලිකාංගයකි. එය උල්ලංඝනය වන තැන පරිහානිගත වන්නේ අදාළ ශිෂ්ටාචාරයයි."

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.