2014-12-19

පෙෂාවර් ප්‍රහාරය හා අර්බුදයෙන් අර්බුදයට යන පකිස්තානය

වයඹදිග පාකිස්තානයේ පෙෂාවර් නගරයේ හමුදා සාමාජිකයන්ගේ දරුවන් ඉගෙන ගන්නා පාසලකට කඩා වැදුණු තලිබාන් ත්‍රස්ත කණ්ඩායමක් පංතියෙන් පංතියට යමින් වෙඩි තබමින්, බෝම්බ ගසමින්, දුටු දුටු පාසල් දරුවන් 130කට අධික පිරිසක් හා පාසලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මරා දැමූ හ. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබූ හ.

මෙම පාසල හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන්නකි. එහි හමුදා පවුල්වල ගැහැනු පිිරිමි දරුවෝ රැසක් ඉගෙනුම ලබති. එහි වෙනත් සිවිල් වැසියන්ගේ දරුවෝ ද ඉගෙනුම ලබති. පෙෂාවර් යනු පකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා රාජ්‍යයේ අගනුවරයි. ෆෙඩරල් පාලනයක් සහිත ගෝත්‍රික ප්‍රදේශවල පරිපාලන අගනගරයයි. එය පිහිටා ඇත්තේ පකිස්තාන් ඇෆ්ගනිස්තාන් දේශ සීමාව ආසන්නයේ ය.

පැය අටක පමණ අනතුරුදායක කාලයකින් පසු හමුදාව විසින් තුවක්කුකරුවන් සත්දෙනෙකු මරා දමා තිබේ. ඔවුන් බෝම්බ ඇඳුම් ඇඳ සිටි මරාගෙන මැරෙන භට පිරිසකි. පකිස්තානු තලිබාන් කණ්ඩායම මේ මහා ඝාතනයේ වගකීම ප්‍රසිද්ධියේ භාර ගත් හ.

පකිස්තානු රජය තුන් දිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ය. මිනිමැරුම් සම්බන්ධයෙන් අත්හිටුවා තිබුණු මරණීය දණ්ඩනය යළි ප්‍රකාශයට පත් කරන්නට ද ආණ්ඩුව කටයුතු කර තිබේ. මෙම සිද්ධියෙන් පසු උතුරුදිග වසිරිස්තානයේ හා ඛයිබර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ද පකිස්තානය වග බලා ගත්තේ ය. ඒවා ඍජු ප්‍රතිප්‍රහාර බව ප්‍රකාශ වී නැති වුණත්, එය එසේ යයි අනුමාන කළ හැකි ය.

සිද්ධියෙන් පසුව පකිස්තානු හමුදාපති රහීල් ෂරීෆ් ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයක යෙදෙමින් ඇෆ්ගන් හමුදා නායකයන් සමග සාකච්ඡා පැවැත්වී ය. පකිස්තාන් තලිබාන් ව්‍යාපාරයේ නායක මුල්ලා ෆස්ලුල්ලා ඇෆ්ගනිස්ථානයේ සැඟවී සිටින බව පකිස්තානය විශ්වාස කරයි.

පකිස්තාන් තලිබාන් ව්‍යාපාරය වනාහි මෙවැනි සමූහ ඝාතන සම්බන්ධයෙන් නම් දැරූ සංවිධානයකි. කරච්චි ගුවන් තොටුපලට ටෙහ්රික්-ඊ-තලිබාන් සංවිධානය විසින් පසුගිය ජුනි මාසයේ එල්ල කරන ලද ප්‍රහාරයකදී සෙබලු හා සිවිල් වැසියෝ 19ක් ද, ප්‍රහාරකයෝ 10දෙනෙක් ද මිය ගිය හ. ඔවුන් තම ඝාතන සාධාරණීකරණය කරන්නේ හමුදා ප්‍රහාරවලින් තමන් ද මේ හා සමාන වේදනාවන් අත්විඳින බව පවසමිනි. පාසල් ප්‍රහාරය ගැන ද තලිබාන් ප්‍රකාශක මොහමඩ් කුරසානි කීවේ ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කළේ හමුදාව විසින් තම පවුල් ඉලක්ක කිරීමෙන් තමන් අත්විඳි වේදනාව ඔවුන්ටත් දැනෙන්නට බවයි.

මේ වන විට පකිස්තාන් හමුදාව එක්සත් ජනපද ආධාර සහිතව උතුරුදිග වසිරිස්තානයේ යුද මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නියමුවන් රහිත ඩ්‍රෝන් යානා ද භාවිතා කරමින් කරන මෙම ප්‍රහාරවලදී එහි නිරායුධ සිවිල් වැසියෝ හා දරුවෝ විශාල වශයෙන් මිය යති. ඒ පිළිබඳ ලෝකයට වාර්තා වන්නේ සුළු වශයෙන් වන අතර කිසිවෙක් ඒ මිය යන්නන් වෙනුවෙන් හඩ නගන්නේ නැත.

පෙෂාවර් පාසලේ අමානුෂික ත්‍රස්ත ක්‍රියාව නිර්මානය වන පසුබිම මෙයයි. මෙවැනි සිද්ධි ලොව පුරාමත් තවත් කොතෙකුත් සිදු වී තිබේ. යසර් අර්ෆත් නායකත්වය දුන් පලස්තීන විමුක්ති සංවිධානය 1970 දශකයේදී තමන්ට සිදු වන අසාධාරණය කෙරෙහි ලෝක අවධානය දිනා ගත්තේ ද මෙවැනි ම ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ඔස්සේ ය.

එහෙත්, අපරාධයක් තවත් අපරාධයකින් තුලනය වන්නේ නැත.

පකිස්තානය යනු මේ වන විට උණු වී නටන කලවම් හොද්දකි. පසුගිය අගෝස්තුවේදී පාකිස්තානයේ විපක්ෂයේ නායකයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ හා ආගමික නායකයකු වන තහීර් උල් කද්රිගේ නායකත්වයෙන් අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදු විය. නවාස් ෂරීෆ් අගමැති තනතුරින් ඉල්ලා අස් විය යුතු බවට ඔවුහු උද්ඝෝෂණය කළහ.

තහීර් උල් කද්රි යනු පාකිස්තානයේ ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරය මධ්‍යස්ථකරණය කළ යුතු බව පවසන ආගමික හා දේශපාලන නායකයෙකි. ඔහු ජාත්‍යන්තර ආණ්ඩුක්‍රම පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම ඉස්ලාම් ආගමික ගුරුකුලයක් වන සුෆී දහම පිළිබඳ ශාස්ත්‍රඥයෙකි. නිදහස, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, යහපාලනය හා කාන්තා අයිතිවාසිකම් ආදියට ගරු කරන ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ඔහුට කම්කරුවන් අතර පදනමක් තිබේ.

පකිස්තානයේ ඉස්ලාමීය ආගමික රාජ්‍යය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන බව ආගමික සංස්ථාව තුළින් ම මතු වී තිබෙන මෙම ගැටුමෙන් නිරූපණය වේ.

පකිස්තානයේ නිල නාමය පකිස්තාන ඉස්ලාමීය ජනරජයයි. එය ජනගහණය අතින් ලෝකයේ හයවන තැන අත් කර ගන්නා රටකි. ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට හා චීනයට ගොඩබිමින් මායිම් වන පකිස්තානය ඕමානය සමග මුහුදු දේශසීමාවක් බෙදා හදා ගනියි. ඉතිහාසය පුරා ඉන්දු නිම්න, හින්දු, ග්‍රීක, මොංගෝලියානු, ඇෆ්ගන්, සික් ආදී විවිධ සංස්කෘතීන්ගේ බලපෑමට ලක් වූ මෙම භූමි ප්‍රදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණේ 1947දී මොහොමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් ඉන්දීය නිදහස් සටනට සමාන්තරව දියත් වූ අරගලයක ප්‍රතිඵලය ලෙසයි. 1956දී නව ව්‍යවස්ථාවක් සකසා ගත් පකිස්තානය ඉස්ලාමීය ජනරජයක් ප්‍රකාශයට පත් කළේ ය. සිවිල් යුද්ධයකින් අනතුරුව 1971දී නැගෙනහිර පකිස්තානය ඉන්දීය සහයෝගය ඇතිව බංග්ලාදේශය නමින් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් විය.

නිදහසින් පසු පකිස්තානයේ ඉතිහාසය පුරාම වරින් වර මිලිටරි ආණ්ඩු බිහි වී තිබේ. දේශපාලන අස්ථාවරත්වයන් හා ඉන්දියාව සමග ගැටුම් ද එහි ඉතිහාසය පුරා ම ඇදී යයි. පකිස්තානය ලොව අටවන ශක්තිමත් ම හමුදාව සිටින රටයි. එපමණක් නොව එය න්‍යෂ්ටික බලවතෙකි. ඇමරිකාව සමග මෙන්ම චීනය සමග ද ඉතා සමීපව කටයුතු කරන රටකි. පකිස්තානය ඉන්දියාව සමග තුන්වරක් යුද වැදුණේ ය. එයට මූලික හේතුව වූයේ කාශ්මීරයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි. සටන්කාමීන් කාශ්මීර‍යේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින අතරතුර ඉන්දියාවත්, පකිස්තානයත් කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ගැටුමක සිටියි. ඉන්දීය කාශ්මීර සටන්කාමීන්ගෙන් කොටසක් පකිස්තානය සමග එක් වීමට ද තවත් කොටසක් වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමට ද සහයෝගය දෙති.

පකිස්තානය ලොව දෙවන විශාලතම මුස්ලිම් ජනගහණය සිටින රටයි. (පළමු තැන ගන්නේ ඉන්දුනීසියාවයි.) එරට පිහිටා ඇති ස්ථානය මූලෝපායික වශයෙන් ඉතා වැදගත් ය. එය තෙල් සම්පත සපිරි මධ්‍යම ආසියාවට ආසන්නයෙන් හා ලොව ප්‍රධාන තෙල් ප්‍රවාහන නැව් මාර්ගවලට ආසන්නයෙන් පිහිටා තිබේ.

පකිස්තානයේ ත්‍රස්තවාදයට ගැඹුරු ඉතිහාසයක් තිබේ. කලක් සාපේක්ෂව සාමකාමී දේශයක් වූ පකිස්තානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් වීම ආරම්භ වුණේ 1970 දශකයේ අග හා 1980 දශකයේ මුල‍භාගයේදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ හමුදා විසින් ඇෆ්ගනිස්තානයේ කරන ලද යුදමය මැදිහත්වීමට එරෙහිව ඇමරිකාව පකිස්තානයත් සමග එක්ව එ‍රට භූමිය භාවිතා කරමින් ඇෆ්ගනිස්තානයේ මුජිහඩීන් ගරිල්ලන් පුහුණු කිරීමත් සමගයි. ඇෆ්ගනිස්තානයේ තලිබාන්වරුන් මෙන්ම පකිස්තානයේ තලිබාන්වරුන් ද බිහි වන්නේ මේ ඔස්සේ ය. පසු කලෙක ඇෆගනිස්තානයේ ඇමරිකන් මිලිටරි මැදිහත්වීම් ද තත්වය තවත් උග්‍ර කිරීමට හේතු විය.

වයඹදිග පකිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශවල ආර්ථිකයේ, සමාජ සංවර්ධනයේ හා අධ්‍යාපනයේ පසුබෑම ඉස්ලාම් මූලධර්මවාදයේ හා ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට හේතු වී තිබේ. ත්‍රස්තවාදය පෙරළා මෙම ප්‍රදේශවල තත්වය තවත් නරක තත්වයට ඇද දමයි. ආර්ථික කටයුතු බිඳවැටීම හේතුවෙන් එම ප්‍රදේශවල දරිද්‍රතාව තවත් ඉහළ යයි. නූතන මානව සමාජය විසින් පිටු දකිනු ලබන ස්ත්‍රීන් ගල් ගසා මරා දැමීම වැනි සිදුවීම් මෙම කලාපයෙන් වාර්තා වන්නේ මෙම සංදර්භය තුළ ය. එහි ක්‍රියාත්මක වන මද්රාසා නම් ඉස්ලාම් පාසල් ද ත්‍රස්තවාදය පෝෂණය කිරීමෙහිලා දායක වන බවට චෝදනා එල්ල වේ.

පකිස්තාන තලිබාන් ව්‍යාපාරය යනු ඒකීය සංවිධානයක් නොවේ. පකිස්තාන රජයට එරෙහිව එකට කටයුතු කරන මුත්, තලිබාන් සංවිධාන අතරත් උග්‍ර බල අරගලයක් තිබේ. ඔවුන් අතර ඇමරිකන් විරෝධීහු මෙන් ම, බලුකිස්තාන ප්‍ර‍දේශයේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සටන් කරන සංවිධාන ද, සුළුතර ෂයිට් මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරන සුන්නි අන්තවාදී සංවිධාන ද තිබේ. සුළුතර අහමදියා මුස්ලිම්වරු තලිබාන්වරුන්ගේ ප්‍රධාන ඉලක්කයකි. පසුගිය කාලයේ ලංකාවේ ආණ්ඩුව මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ රැකවරණ පතා සිටි පකිස්තාන අහමදියා සරණාගතයින් ආපසු එරටට යැවීමට කටයුතු කළ හ.

අරමුණ ලෙස දැක්වෙන්නේ පකිස්තාන රජය පෙරළා ඔවුන්ගේ පන්නයේ ෂාරියා නීතියක් ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමයි. එසේම .ඔවුහු ඇෆ්ගනිස්තානයේ බටහිර බලවතුන්ගේ මැදිහත්වීමට ද එරෙහිව සටන් කරති. ඔවුහු වයඹදිග පකිස්තානයේ විශාල භූමි ප්‍රදේශයක සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ. එම ප්‍රදේශවල තිබෙන්නේ අරාජිකත්වයකි.

මේ වන විට පකිස්තානු තලිබාන් සංවිධාන තුළ ද අර්බුද රැසකි. මේ වන විට දේශපාලන වශයෙන් ශක්තිමත් වී තිබෙන ඇෆ්ගන් තලිබාන් සංවිධානය සමග ඇති සම්බන්ධය මෙහිදී වැදගත් ය. ඇෆ්ගන් තලිබාන් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ. තලිබාන් සංවිධාන තුළ මේ වන විට අල් ක්වයිඩා හා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් කෙරෙහි දක්වන පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් ද තරගකාරිත්වයක් ඇති වී තිබේ.

මෙම ප්‍රදේශවල ත්‍රස්ත බලය බිඳලීම පිණිස පකිස්තාන රජයේ හමුදා 2009 සිට ම යුද වැදී සිටියි. දහස් ගණන් පකිස්තානු ජනයාත්, හමුදා සෙබලුත් මරු දුටු, තවත් ලක්ෂ ගණනක් ජනයා අවතැන් කළ එම යුද්ධය නිසා පකිස්තානු ජනයා පීඩාවට පත් වී සිටිති. වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන ආර්ථිකයක් වන පකිස්තානයට මෙම ත්‍රස්තවාදය නිසා අහිමි වූ දේ බොහෝ ය.

එපමණක් නොව, අද වන විට පකිස්තානය මුළු ලෝකයට ම හිසරදයක් වී තිබේ. පකිස්තානය යනු විවිධ දේශපාලන කණ්ඩායම් හා ත්‍රස්ත කණ්ඩායම් අතර බල අරගල සමූහයකි. මෙම බල අරගල හමුවේ පකිස්තානය දිනෙන් දින අන්තවාදී ආගමික රාජ්‍යයක් බවට ද පත් වෙමින් තිබේ.

පෙෂාවර් පාසලේ තලිබාන් ප්‍රහාරයෙන් පකිස්තානය ශෝක වෙමින් තිබෙන අතරතුර අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් පැවැත්වුණු සර්ව පාක්ෂික සාකච්ඡා මෙම තත්වය ප්‍රකාශයට පත් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. එම සාකච්ඡා ඔස්සේ කිසිදු පැහැදිලි ස්ථාවරයකට පැමිණීමට පකිස්තාන් දේශපාලන පක්ෂ සමත් වී ඇති බවක් නො පෙනිණි. ඉදිරි සතියේදී අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට දියාරු ප්‍රකාශයක් සමගින් සර්ව පාක්ෂික සාකච්ඡා අවසන් වූයේ පුවත්පත් සාකච්ඡාවක ස්වරූපයෙනි.

නවීන ලෝකයේ ආගමික රාජ්‍යවල අසාර්ථකත්වයට පකිස්තානය උදාහරණයක් ලෙස සැලකිය හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. Mama eka. Koti ano hoooooooo

    ReplyDelete
  2. දිනමිණ කතෘ වෙන්න ලෝක දේශපාලනය ගැන අවබෝධයෙන් ඉන්න ඕන වගේම දන්නා බව පෙන්නන්නත් ඕන.

    අපේ අනාගත දිනමිණ කතෘ තුමාට ජයවේවා!!!

    අනාගත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජයවේවා!
    අනාගත අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයවේවා!!
    අනාගත දිනමිණ කතෘ අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමාට ජයවේවා!!!



    ReplyDelete
    Replies
    1. පැරයියා මෛත්‍රි දිනවන්න මේ කරන සේවය වෙනුවෙන් දිනමිණ කර්තෘ කමට වැඩි දෙයක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනැ. දිනමිණ කර්තෘකම කියන්නෙ අර මහින්ද අබේසුන්දරයත් කරපු එකනෙ. ඕනැ ගෙම්බෙකුට ඒක කරන්න පුළුවන්. පැරයියා ඉංග්‍රීසිත් දන්න එකේ අපි ඩේලි නිව්ස් එක බාරදෙමු.

      Delete
    2. ඔය උඩින්ම තියෙන කොමෙන්ට් එක දැක්කම (AnonymousDecember 19, 2014 at 8:52 PM) ලොරියක් මතක් වෙන්නේ ඇයි?

      Delete
    3. /ඔය උඩින්ම තියෙන කොමෙන්ට් එක දැක්කම (AnonymousDecember 19, 2014 at 8:52 PM) ලොරියක් මතක් වෙන්නේ ඇයි?/

      මට නම ලොරියක් මතක් වුණේ නැහැ. ඇල්ටෝවක් තමයි මතක් වුණේ. දිනමිණ කර්තෘ වුණායින් පස්සෙ පැරා ඇල්ටෝව විකුණයි. ලේක් හවුස් එකෙන්ම ට්‍රාන්ස්පෝට් හම්බ වෙනවනෙ. දැන් තියෙන්නෙ ඇල්ටෝවට ගැනුම්කරුවෙක් සොයා ගැනීම.

      Delete
  3. ගෙරි තම්බි හැත්ත මේ ලෝකෙන් තුරන් කරවීමට අපි කැපවීමෙන් කටයුතු කලයුතුයි. තම්බි තම්බි ගහගන්න මෙව්වගෙ කචල් ලෝකය පුරා ඇති කර මේ හැත්ත විනාසයට යැවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අඩො ඊලගට එන්නෙ මයිත්‍රී යුගයක්. තො මකබෑවියන්.

      Delete
  4. විධායක ක්‍රමය වෙනස් කරන්න අන්ධ විදියට කෑ ගහන මිනිස්සු මෙවා දිහාත් බලන්න ඔනෙ.

    ReplyDelete
  5. අපේ පැරයියා දැන් ලංකාවෙ ප්‍රශ්න ඔක්කෝම විසඳලා අහක වෙලා පකිස්තානෙ ප්‍රශ්නත් විසඳන්නයි යන්නෙ. කාටද අප්පා ආඩම්බර?

    ReplyDelete
  6. Mashaa Allah, Ita all All mighty god's grace. Who are we to question the all mighty ?

    ReplyDelete
  7. ////නවීන ලෝකයේ ආගමික රාජ්‍යවල අසාර්ථකත්වයට පකිස්තානය උදාහරණයක් ලෙස සැලකිය හැකි ය. ////
    පාකිස්ථානය ආගමික රාජ්‍යකට වඩා සෙමි සික්කුලර් රාජ්‍යක් ලෙසයි පවතින්නේ

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.