2014-01-31

උදය ගම්මන්පිලගේ රුපියල් සීයේ මැතිවරණ අරමුදල් යෝජනාව

බස්නාහිර පළාත් ඇමතිවරයකු ව සිටි ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල සිය පළාක් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඡන්ද දායකයන්ගෙන් රුපියල් සියය බැගින් ආධාර ඉල්ලීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

උදය ගම්මන්පිල දෘෂ්ටිවාදීමය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙකු යයි තර්ක කරන්නට පුළුවන. තම පක්ෂය එක හෙළා ප්‍රතික්ෂේප කරන බලය බෙදීමේ ව්‍යූහයක  ඇමති ධුරයක් දැරූ හේ දැන් දෙවන ධුර කාලයක් වෙනුවෙන් ද තරග කරයි.

ඔහුගේ මෙම සංකල්පය හුදු ප්‍රචාරක උපක්‍රමයක් පමණක් වන්නට පුළුවන. එහෙත්, අවශ්‍ය නම් එයින් අලුත් දේශපාලන සංස්කෘතියක් මතු කර ගැනීමට ද පුළුවන.  

අපේක්ෂකයා සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අරමුදල් ලබා ගැනීමට ඡන්ද දායකයා ළඟට යාම නිකම් ම නිකම් සල්ලි ඉල්ලීමක් පමණක් වන්නේ නැත. අපේක්ෂකයා හා ඡන්ද දායකයා අතර වෙනස් සම්බන්ධයක් ගොඩනැගීමට ද එය ඉවහල් වේ. ඒ සමගම ඡන්ද දායකයා විෂයෙහි අපේක්ෂකයාගේ වගකීම ද වැඩි වේ.

දැන් සාමාන්‍යයෙන් සිදු වන්නේ අපේක්ෂකයා තමන්ට මුදල් වියදම් කළ ව්‍යාපාරිකයන්ට පමණක් වගකීමයි.  බොහෝ විට වැඩිපුර ම මුදල් වියදම් කළ ව්‍යාපාරිකයා තමා ම නිසා දේශපාලනයේදී ඔහු වැඩිපුර ම කර ගන්නේ තමන්ට හා තමන්ගේ පවුලට ය. ඡන්දය වෙනුවෙන් අසීමිත ලෙස මුදල් වියදම් කරන අපේක්ෂකයෝ බලයට පත් වූ පසු ඒ ධනය ආපසු ලබා ගැනීම ගැන සිතති. මේ වනාහි දූෂණයේ උපතයි.

මහජන මුදලින් මැතිවරණ කිරීම අලුත් සංකල්පයක් නො වේ. එය වඩාත් ම හොඳින් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. කැ‍ට ව්‍යාපාර එක් කලෙක ජවිපෙ දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණයක් විය. මහජනයා වෙතින් අරමුදල් රැස් කිරීම ඉතා සක්‍රිය දේශපාලන ක්‍රියාවලියකි.

මහජනයා විසින් මහජනයා වෙනුවෙන් ගොඩනගනු ලබන ව්‍යාපාර වෙනුවෙන් මහජනයා මුදල් වියදම් කළ යුතු ය යන්න සාමාන්‍ය සංසිද්ධියකි. වෘත්තීය සමිති මේ සඳහා කදිම උදාහරණයකි. එහෙත්, රාජ්‍ය නොවන සංවිධානවල ආගමනය මහජන ව්‍යාපාර විෂයෙහි සුසමාදර්ශීය වෙනසක් ඇති කළේ ය.

රාජ්‍ය නොවන සංවිධාන මහජන ව්‍යාපාරවලට විදේශ අරමුදල් රැස් කිරීම හඳුන්වා දුන්නේ ය. ඒ සමගම  මහජන ව්‍යාපාර ආයතනගත කිරීමක් ද සිදු විය.

Corporate Social Responsibility හෙවත් සමාගම්වල සමාජ වගකීම යන සංකල්පය ද අරමුදල් සම්පාදනය හා සම්බන්ධ වී තිබේ.

එදා පටන් ම ධනේශ්වර දේශපාලන පක්ෂවලට මුදල් වියදම් කරන්නේ ධනපතියෝ ය. අද වන විට දේශපාලනය ම ධනේශ්වර සමාජ හිනිපෙතේ කොටසකි. එක් කලෙක ධනපතියෝ තමන් වෙනුවෙන් දේශපාලන නියෝජිතයන් ප්‍රවර්ධනය කරමින් සිටි මුත්, අද වන විට දේශපාලනය කරන්නෝ ධනපතියෝ ය.

ඔවුන් විසින් දේශපාලන සංස්කෘතිය ද අනෙක් පැත්ත හරවා තිබේ.  දැන් පවත්නා දේශපාලන සංස්කෘතිය තුළ සාමාන්‍ය පුරවැසියකුට මහජන නියෝජිතයකු වීම අතිශය දුෂ්කර ය. ජනතාව විසින් තෝරා ගත යුතුව තිබෙන්නේ ඉදිරිපත් වන ධනපතියන් කිහිප දෙනෙකු අතරින් කෙනෙකි.

මෙම සංදර්භය තුළ උදය ගම්මන්පිල‍ගේ සංකල්පය තුළ යම් වටිනාකමක් තිබේ.

දේශපාලනය හා අවශ්‍යතා-බැඳීම් ඝට්ඨන (conflict of interest) පිළිබඳ අලුතින් සංවාදයක් ආරම්භ කිරීම සඳහා ද මෙය අවස්ථාවක් කර ගත හැකි ය. 

දේශපාලකයන් ව්‍යාපාර කිරීම හා ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය ලබා ගැනීම හේතුවෙන් ඇතිවන අවශ්‍යතා-බැඳීම් ඝට්ඨනය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ.ව්‍යාපාරිකයන් දේශපාලනය කිරීම හෝ දේශපාලකයන් ව්‍යාපාරිකයන් වීම විසින් ඇති කරනු ලබන අවශ්‍යතා-බැඳීම් ඝට්ඨනය විසඳා ගන්නේ කෙසේ ද?

ධනේශ්වර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට මුළුමනින් ම අසාර්ථක වී තිබේ. එහිදී ධනපතීහු තම ධනය හා බලය භාවිතා කරමින් මාධ්‍ය හා අධ්‍යාපනය ඔස්සේ මහජන මතය හසුරුවන ආකාරය ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තවලට පටහැණි ය.

සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයක මහජන නියෝජනය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව ද නැවත සංවාදයක් ආරම්භ විය යුතු ය. සෝවියට් කඳවුරේ රටවල පැවති හා වත්මන් උතුරු කොරියාව හා කියුබාව වැනි ඒකාධිපති රටවල පවතින ක්‍රමය සමාජවාදය ලෙස වරදවා වටහා නො ගැනීම මෙහිදී මූලික කොන්දේසියකි. 

මගේ යෝජනාව වන්නේ දේශපාලනය තල දෙකකින් සිදු විය යුතු බවයි. එක් මට්ටමකදී දේශපාලකයා පූර්ණ කාලීන වෘත්තිකයකු විය යුතු ය. ඔහු/ඇය දේශපාලනය තෝරා ගන්නවා නම් විශේෂයෙන් ම ව්‍යාපාරවල යෙදීම නතර කළ යුතු ය. එසේ ම පවුලේ ව්‍යාපාරවලට දේශපාලනයෙන් සිදු වන බලපෑම අවම කිරීමට නියාමනයන් අවශ්‍ය ය. දේශපාලකයන් අවශ්‍යතා-බැඳීම් ඝට්ඨනවලට හේතු වන ස්පර්ශක හෝ අස්පර්ශක තෑගි ලබා ගැනීම නීති විරෝධී කළ යුතු ය. පූර්ණ කාලීන දේශපාලකයාට යහපත් ජීවිතයක් හා සුරක්ෂිත අනාගතයක් ලබා දීම සමාජ වගකීමකි.

දේශපාලනයේ ස්වේච්ඡා තලයක් ද තිබිය යුතු ය. එහිදී වෘත්තීන්වල යෙදී සිටින අයට ස්වේච්ඡාවෙන් දේශපාලනයේ යෙදිය හැකි ප්‍රජාතාන්ත්‍රික රාමුවක් නිර්මානය කර දිය යුතු ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-30

චන්ඩි පුතා අපට එපා - දන්න වලා අපට හොඳා

ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට යාමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැත.
මෙම ලිපියේ අග පළ වන පුවත උපුටා ගත්තේ දිනමිණ පුවත්පතෙනි. එහෙත්, එය සත්‍යයක් යයි මම විශ්වාස කරමි. ‍මන්ද, එම පුවතට මුල් වන පුද්ගලයාගේ හැසිරීම් රටාව අනුව, එය එසේ විය හැකි බවට සැකයක් නැත.

මීට පෙර කීප වතාවක් ම මෙම බ්ලොගයේ මෙම මන්ත්‍රීවරයා පිළිබඳ සඳහන් කර තිබේ. නො දන්න එජාපය හා දන්න යකා ලිපියට හේතු වූ ප්‍රධාන චරිතය ද මොහු ම ය.

ජනමාධ්‍යවලින් දේශපාලන චංඩි නිර්මානය කරනු ලැබේ. මර්වින් සිල්වා මීඩියා චන්ඩියෙකි. දැන්, දැන් ජනමාධ්‍යවලින් ම වල් දේශපාලකයන් ද බිහි කරනු ලැබේ.

චන්ඩි යන අන්වර්ථ නමින් කාලයක් හැඳින්වුණු කල්ලි නායකයකු වන මොහු ද දැන් ජනමාධ්‍ය කැමරාවට අසු වෙමින් සිටියි. එය දරා ගැනීමේ බුද්ධිමය හැකියාව මොහුට තිබේ ද යන්න බරපතල ලෙස සැක සහිත ය

මොහු නිසා, මතුගම ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට සෑහෙන අනතුරක් මතු වී තිබේ.

පුත්තුන්ගේ සටනේ එක් පාර්ශ්වයක් දැනටමත් මහජන මුදලින් ඡන්ද ව්‍යාපාරය ජයට ම ‍කර‍ගෙන යන ආකාරය දක්නට ලැබේ.  අනෙක් පුතාගේ තාරුණ්‍යයට හෙටක් වෙනුවෙන් මේ කියන චන්ඩි තාත්තා එක්සත් ජාතික පක්ෂය දිය කර හරිමින් සිටියි.

රාජපක්ෂ පාලනය තව කල්ප කාලයක් තිබුණත්, මතුගම ජීවත් වන මම නම් එක්සත් ජාතික පක්ෂ පාලනයක් වෙනුවෙන් ඡන්දය දෙන්නේ නැත. මන්ද, මෙම පුද්ගලයාට රාජ්‍ය බලය ලැබුණොත් අතිශය භයානක තත්වයක් නිර්මානය වන නිසා ය.

මේ කියන කතාව මුළු ලංකාවට ම අදාළ ය. මන්ද, එක්සත් ජාතික පක්ෂය විසින් රටට යෝජනා කරමින් තිබෙන සත්‍ය වෙනසෙහි ගාමක බලවේග වන්නේ මෙවැනි පුද්ගලයන් වන නිසා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන චෙක්ස් ඇන්ඩ් බැලන්සස් හෙවත් නියාමන බලපෑම් හෝ එක්සත් ජාතික පක්ෂයට නැත. රාජ්‍ය බලය තුළ එක්සත් ජාතික පක්ෂය හික්මවා ගැනීම අතිශය දුෂ්කර වනු ඇත.

මෙන්න ඒ පුවත. උපුටා ගැනීම දිනමිණෙනි.

පුතුට නාමයෝජනා නොලැබෙතැයි බියෙන් එජාප මන්ත්‍රී සිරිකොතේ යකා නටයි

නිරූෂි විමලවීර

එජාප කළුතර දිස්ත්‍රික් නාමයෝජනා සැකසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සිය සමීපතම ගෝලයෙක් වන දොඩංගොඩ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක උදිත ඉලේපෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට විරෝධය ප්‍රකාශ කරමින් ඊයේ (29 දා) සිරිකොතේ දී පුටුවෙන් පහර දීමට ගොස් තිබේ.

කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු නායකත්ව මණ්ඩල නියෝජනය කරමින් මහ ලේකම් තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂිම් හා රුවන් විජේවර්ධන මහත්වරු රැස්ව සිටි බවත්, කබීර් හෂීම් මහතා මැදිහත් වී පුටු කකුලෙන් අල්ලා ප්‍රහාරය වළකා ඇති බවත්, සිරිකොත ආරංචි මාර්ග අනාවරණය කරයි.

මතුගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ජිනදාස සිරිවර්ධන මහතා නැගිට ප්‍රහාරයට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් දියත් කර තිබේ.

උදිත ඉලේපෙරුම මහතාට නාමයෝජනා ලැබීමෙන් සිය පුතුට නාමයෝජනා නොලැබෙනු ඇතැයි යන විශ්වාස හේතුවෙන් තෙවරප්පෙරුම මහතා මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත.

නායකත්ව මණ්ඩලය දැඩි ප්‍රයත්නයක් ගෙන දෙපිරිස දෙපැත්තකට කොට සාකච්ඡා කිරීමට උත්සාහ කළද තීන්දුවකින් තොරව සාකච්ඡාව නිමාකොට තිබේ.

“උදිතට නාමයෝජනා ලබා දුනහොත් තමා මතුගම ආසන සංවිධායකත්ව‍නේ ඉවත් වන බව කියමින් තර්ජනය කර පිටව ගොස් ඇත.

තෙවරප්පෙරුම මහතා අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ රඳවා සිටියදී ඔහු ඇප මත මුදාගැනීම සඳහා විශාල සේවයක් කළ ඉලේපෙරුම මහතාට නාමයෝජනා ලබා නොදීමට තෙවරප්පෙරුම මහතා ප්‍රසිද්ධියේම කටයුතු කිරීම නිසා එජාප පාක්ෂිකයින් සිය අප්‍රසාදය පළකර තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-29

W3Lankaට විනීත බසින් අනියම් තර්ජනයක්

ඊයේ මාධ්‍ය සංවිධාන විසින් කළු ජනවාරිය මාධ්‍ය මර්දන විරෝධතාව සඳහා නම්  කර තිබුණු දිනයයි.

ඊයේ දවල් මගේ ජංගම දුරකථනයට කතා කළ මහත්මයෙක් මගෙන් කරුණු වගයක් විමසුවේ ය. තමන් එක්තරා නමකින් හඳුන්වා දුන් ඔහු පැවසුවේ තමන් ජනමාධ්‍යවේදියකු බවයි. එම මාධ්‍යය කුමක්දැයි විමසූ මට ඔහු පැවසුවේ තමන්ට එහි නම කීම‍ට නො හැකි බවයි. "අයි ඩෝන්ට් හැව් ලිබර්ටි ටු සේ" යනුවෙන් ද ඔහු පැවසී ය. එහෙත්, ඔහු කතා කළේ ඉතා විනීතව බැවින් ඔහුට මගෙන් අසන්නට තිබෙන්නේ කුමක්දැයි මම විමසීමි.  

ඔහු  මගෙන් විමසුවේ 1988, 89 වකවානුව ගැනයි. මට තිබෙන චෝදනා ගැන අසන්නට අවශ්‍ය බව කී කල එම චෝදනා මොනවාදැයි මම ඇසීමි. එම වකවානුවේ දේශපාලන ඝාතනවලට මා සම්බන්ධ බවට ‍චෝදනා ඇති බව ඔහු කීවේ ය. මා කීවේ කිසිවෙක් මට එවැනි ‍චෝදනාවක් කර නැති බවයි. 

එවකට මා ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ බව ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන් රජය මා වසර තුනහමාරක පමණ කාලයක් රැවුම් භාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වා තිබේ.

ඉතා විනීත ලෙස කතා කළ මෙම පුද්ගලයා කතා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය ද පළ කළේ ය. ඔහු මට කරදරකාරී වූයේ නැත. 

මෙම ඇමතුම ගැන මට යම් සැකයක් ඇති වූ හෙයින් ඊට ටික වේලාවකට පසු මම එම පුද්ගලයා විසින් මා අමතන ලද අංකයට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ඩයලොග් ජාලයෙන් පවසන්නේ එම අංකය වලංගු නැති බවයි. ටෙලිකොම් ජාලය පවසන්නේ එම අංකය භාවිතයේ නොමැති බවයි. 

මෙම ඇමතුම කිසියම් අන්දමකින් මට බලපෑමක් කිරීම සඳහා‍ දෙන ලද එකකැයි මම සලකමි. 

මාධ්‍ය නිදහසේ නාමයෙන්, මෙම සිද්ධිය පිළිබඳ මගේ පාඨකයන් හා මාධ්‍ය සංවිධාන දැනුවත් කිරීම මාධ්‍යකරුවකු ලෙස මගේ යුතුකමක් ලෙස සලකමි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-28

නො දන්න එජාපය හා දන්න යකා

පාරක් හදන විට එහි එක් පැත්තක් වසා වාහන තනි පැත්තට ධාවනය කිරීම සාමාන්‍ය ක්‍රමයකි. මෙහිදී බොහෝ විට එම මං තීරුව වාහන දෙකක් මාරු වීමට තරම් පළල් නැත. තනි පැත්තට ධාවනය කරන්නට සිදු වන්නේ ‍එහෙයිනි. 

මේ වාහන හැසිරවීම කරන්නේ පොලිසිය විසින් නොවේ. මාර්ග කම්කරුවන් විසිනි. එහෙත්, ‍බොහෝ විට ඔවුහු එය ඉතා හොඳින් කරති. 

මේ දවස්වල මේ ආකාරයේ ධාවනය මගේ ජීවිතයේ එදිනෙදා කොටසකි.අද අපූරු දෙයක් දුටුවෙමි.

තනි පැත්තට ධාවනය කළ කොටසෙන් පිටතට පිවිසෙන විට ම වාගේ විරුද්ධ පැත්තෙන් ආ පැජරෝවක් තරමක වේගයෙන් තවමත් වසා තිබුණු පාරට දමා ධාවනය කළේ මාර්ගය හැසිරවූ පුද්ගලයා නො තකමිනි. එම පුද්ගලයා විසින් ප්‍රදර්හනය කරනු ලබන පුවරුවේ එක් පැත්තක රතු පාටින් ද STOP අනෙක් පැත්තේ කොළ පාටින් GO ද සටහන් ‍වී තිබේ. පැජරෝවේ රියදුරාට එය කියවා ගත නො හැකි වී ද  නො දනිමි.

මා හඳුනා ගත් පරිදි රිය පදවාගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එහෙම දෙයක් කළත් පුදුම විය යුතු නැති පන්නයේ කෙනෙකි. 

එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආචාර්ය උපාධිධාරියෙකි. එහෙත්, අල්ලපු වත්ත සුද්ද කරන්නට ආ කම්කරුවකුට අතින් පයින් පහර දී තම ආරක්ෂකයා ලවා කණටත් පහර ගැස්වූ බවට ඔහුට ද චෝදනා එල්ල වී තිබේ. පසුගිය කාලයේ මෙම මන්ත්‍රීවරයා හාමුදුරු කෙනෙකුගේ කරට අත දමාගෙන සිට පසුව සමාව ඉල්ලුවේ ය. ලෝක බැංකුවේ ද සේවය කළ උගතකු වුණත්, ඔහු අති ධාවනකාරී, සංයමය පුහුණු විය යුතු පුද්ගලයෙකු බව පෙනේ. 

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් හැසිරෙන ආකාරය අනුව ඇත්තට ම මේ රටේ ජනතාවට එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමෙන් කිසිදු වෙනසක් අපේක්ෂා කළ ‍නො හැකි බව සක් සුදක් සේ ඔප්පු වෙමින් තිබේ. 

ජෝන් අමරතුංග මහජන මුදලින් වන්දනාවේ ගියේ ය. මංගල සමරවීර කුරුඳු පොලු හමුදාවක් බිහි ‍කළේ ය. රුවන් විජේවර්ධන ලංකාදීපයෙන් පච මවයි. කරු ජයසූරිය යනු සංදර්ශනයකි. සජිත් වැඩ බැරි දාස කෙනෙකි. රනිල් සදා ඔබේ නො‍ වෙනස් නායකයා ය. ඔහුගේ නායකත්වය යටතේ එජාපය සදා සොත්ති ය. 

  • ආණ්ඩුවේ ජාතිවාදයට, ආගම්වාදයට, පුරුෂෝත්තමවාදයට විකල්පයක් එජාපයේ තිබේ ද?
  • ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධයට විකල්පයක් එජාපයේ තිබේ ද?
  • ආණ්ඩුවේ ඒකාධිපතිවාදයට හා පවුල්වාදයට විකල්පයක් එජාපයේ තිබේ ද?
  • ආණ්ඩුවේ දූෂණයට විකල්ප පිරිසිදුකමක් එජාපයේ තිබේ ද? 

නො දන්නා යකාට වඩා ඉන්න යකා හොඳා කියා මහජනයා සිතීමේ කිසිදු වරදක් ‍නො පෙනේ.

ජනතාවට අවශ්‍ය වන්නේ ක්‍රම‍යේ වෙනසක් මිස ඔලුගෙඩි වෙනසක් නො වේ. 

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

කිරි පිටි මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව වැඩි වේ ද?

මේ වන විට වෙළඳපොළේ කිරිපිටි ඇත්තේම නැති තරම් ය. 

අද දිනමිණේ මුල් පුවත කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආණ්ඩුව කිරිපිටි මිළ වැඩි කිරීමට සැරසෙන බවයි. 

සමාගම් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් වෙනුවෙන් රු. 200ක මිළ වැඩි වීමක් ඉල්ලා ඇත. එච්චර දෙන්නට බැරි බව ඇමති ජොන්ස්ටන් කියයි. 

ජොන්ස්ටන් කීයක් දේවි ද?

ඇත්තෙන්ම කිරි පිටි සමාගම් වැඩි කළ යුුතු මුදල ඉදිරිපත් කරන්නේ ජොන්ස්ටන්ට එහි තාර බර ඉවත් කර හරි ගාන වැඩි කිරීමටයි. 

එවිට කොම්පැනිවලට අවශ්‍ය ගණන වැඩි වනවා පමණක් නොව, ඇමති ජොන්ට්ට මෙහෙම කියන්නටත් පුළුවන.

"හහ්, අපිව කොහෙද නටවන්නෙ එහෙම! අපි වැඩි කරන්නේ අපට ඕනැ ගාන!"

ආණ්ඩුව මේ වන විට  කිරි පිටි කිලෝවකින් රු. 107ක බද්දක් අය කරන බව වාර්තා වේ. ඒ අනුව, ග්‍රෑම් 400 පැකට්ටුවකින් අය කරන බද්ද රු. 37ක් පමණ වේ. 

දැන් ආණ්ඩුව ජනතාවට ඔච්චර ආද‍රේ නම් මේ බද්ද කපා දමා ජනතාවට මිළ සහනයක් දිය හැකි ය. අප පරීක්ෂාවෙන් සිටිය යුතු කරුණක් වන්නේ මේ මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව ම වැඩි වේ ද යන්නයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-26

පුතාලාත් එකයි - කෑලිත් එකයි - මෙදා පාර අපි කාට ද?

නිළි‍යො ප්‍රමුඛ කලාකාර සෙට් එකක් ඡන්දෙ ඉල්ලනවා ය කියලා දැන් සමහරුන්ට මාර අප්සෙට් එකකි.වැඩිපුරම විරෝධය තිබෙන්නේ නිළියන්ටයි. ඒ අතරින් වැඩිම විරෝධයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ‍නදීෂා ‍හේමමාලි, සන්ධානයෙන් තරග කරන ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා, අනර්කලී ආකර්ශා, ගීතා කුමාරසිංහ හා ගායිකා ජින්ජර් වැනි අයට ය. 

ලාල් කුලරත්න, රවීන්ද්‍ර යසස් වැනි නළුවන් ද, මධුමාධව අරවින්ද වැනි ගායකයන් ද ඡන්දය ඉල්ලන මුත් ඔවුන්ට එතරම් විරෝධයක් නැත. 

ඇත්තෙන් ම ඉහත කී නිළියෝ හා ගායිකාවෝ දේශපාලනික වශයෙන් පමණක් නොව සමාජමයව ද අඳ බාලයෝ ය. එක්තරා පුවත්පතක් සමග කතා කරන විට රුවන්ති මංගලා බබා සමලිංගිකත්වය යනු කුමක් ද කියාවත් නො දනියි. ගායිකා ජින්ජර්ගේ දේශපාලන පරමාදර්ශය දුමින්ද සිල්වා ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, පළාත් සභා පනත වැනි දේ ගැන නම් ඔවුහු මෙලෝ සංසාරයක් නො දනිති. 

ඔවුන් ඡන්දය ඉල්ලන්නේ ඇයි? ‍එහෙම රැල්ලක් හැදුණේ ඇයි? හේතුව පබා, අනර්කලී වැනි වලාමවල් ඉහළ මනාපවලින් පාර්ලිමේන්තුවට පත් කර යවන්නට අපේ බුද්ධිමත් ජනතාව කටයුතු කළ නිසා යයි ඇතැමෙක් කියති. ඇත්තෙන් ම ජනතාව එසේ කරන්නේ ඇයි?

අපේ ගම් පැත්තේ දේශපාලන ප්‍රබලයා වන කුමාර වෙල්ගම තම පුත් කුමාරයා ඡන්දයට දමා ගජරාමෙට ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. ඔහුගේ පිංතූරය සහිත කටවුට් තමන්ගේ නම ද සහිතව ප්‍රදර්ශනය කිරීමේ රැල්ලක් නගරයේ ‍ව්‍යාපාරිකයන් අතර පැතිර තිබේ. වැඩි වියදමකුත් නැත. ප්‍රාදේශීය සභාව බදු ගහන්නේත් නැත. පොලිසිය කටවුට් දැම්මා ය කියා කාටවත් නඩු දාන්නේත් නැත. 

සෙනාල් වෙල්ගමගේ පෝස්ටර්, කටවුට් ප්‍රසිද්ධියේ ම අදින්නේ ප්‍රාදේශීය සභාවේ වාහනවල ය. පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මේවා අල්ලා සංදර්ශනයක් පැවැත්වූයේ ය. 

සෙනාල් වෙල්ගම පිටරටක සිට ලංකාව‍ට ආවේ ඊයේ පෙරේදා ය. මේ පැත්තේ මිනිස්සු කතාවට කියන්නේ ඔහු මතුගම හතරමංහංදියට ගෙනැවිත් කරකවා අතහැරියොත් තාත්තා ඉන්න හොරවල ඩෙනිස්ටන් වත්ත හොයාගෙන යන්නට පාරවත් දන්නේ නැති ය කියා ය. එහෙම කිංඩිය දැම්මාට මේ පැත්තේ ජනතාව ඔවුන්ට ඡන්දයත් දෙනවා ය. 

පුත්‍ර දේශපාලනය ගැන කතා කරන්නට එක්සත් ජාතික පක්ෂයට ද බැරි ය. පාලිත තෙවරප්පෙරුමගේ පුතා ද ඡන්දය ඉල්ලනවා ය. ඔහුගේ බිරිඳ පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය තරග කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වී ඇත. මේක රාජපක්ෂලාගේ පවුල්වාදයට එහා ය. මේ බලය නැතිව ය. බලය ලැබුණොත් කොහොමට තිබෙනු ඇද්ද?

මම නම් ඡන්දය දෙන්නේ ජවිපෙට ය. ඒ උන්ගේ ද ලොකු වටිනාකමක් තිබෙන නිසා නො වේ. එහෙත්, අඩු තරමේ යමක් කතා කරන්නට හෝ ඉන්නේ ඔවුන් පමණි. උදාහරණයක් ලෙස ජවිපෙ මන්ත්‍රීවරු ටික නැතිනම් පාර්ලිමේන්තුවේ කතා කරන්නට කෙනෙක් නැත. 

මහජන මුදලින් ලැබූ වෛද්‍ය උපාධිය හැර දමා ජවිපෙ සමග දේශපාලනය කරන නලින්ද ජයතිස්ස යළි කරලියට පැමිණ තිබේ. පළාත් සභාවේ සිටි වසර හතරක කාලය තුළ මොහු කළ කී දෙයක් ගැන ඔබ දන්නවා නම් කියන්න. දොස්තරකමේ හිටියා නම් අඩු ගානේ ලෙඩෙකුගේ උණවත් බස්සනු ඇත. 

මේ අතර වික්‍රමබාහුගේ නව සමසමාජ පක්ෂය කෙටි පණිවුඩයක් එවා තිබිණි. ඔවුන්ට තිබෙන ප්‍රශ්නය දිස්ත්‍රික්කවලට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයන් සොයා ගැනීම ය. 

මම නම් හිතන්නේ මේ අල්ල පනල්ලේ නිළියක් ඇවිත් ෆන් එකක් දෙන විට පිරිමි ඔවුන්ට ඡන්දය දෙනෙ එකේ වරදක් නැත. එයින් අඩු තරමේ විරෝධය හෝ සලකුණු වෙයි. උදාහරණයක් ලෙස කරු ජයසූරිය පරදවා පබා දිනවීම ඇත්තෙන් ම නරක ද? ජනතාව කිව්වේ උනුත් එකයි - මුනුත් එකයි කියා ය. ඉතින් එහෙම නැති ද? 

නිළියෝ නම් අඩු ගනනේ දෑසට ෆන් එකක්වත් දෙති. ඡන්ද සටන අතරතුර පොඩි ස්පර්ශ රසයක් විඳ ගන්නට ද අවස්ථාව ලැබිය හැකි ය. මේ එකෙක්වත් මහජනතාවට වැඩක් නො කරති. නිළියන්ව නම් හීනයකටවත් ගන්නට පුළුවන. පුතාලාගෙන් මොනවා ගන්න ද?  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-24

පශ්චාත් චන්ද්‍රපුෂ්ප මහින්ද කුමක් කරයිද?

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණට ගැලවිල්ලක් නැති පාට ය.  ඔහු හොට පටලවා ගත් කෙසෙල් ගහේ මහින්දලාට ද තොණ්ඩුව එල්ලා තිබීම එයට හේතුව ය.

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදින් ඔහු මුදවන්නට බැරි වී තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා ය.

ඒ නිසා ආණ්ඩුව තම බත්බැලයකු වන ‍මේ දාමරිකයාව පාවා දෙන්නට සැරසෙයි. අධිකරණයෙන් වසන් වී රටින් පැන ගන්නට ඔහු දැරූ තැත ද ව්‍යර්ථ විය.

දැන් ඉතිරිව තිබෙන්නේ අච්චුව විඳිමින්  ජනාධිපතිගෙන් සමාවක් ඉල්ලා ගැනීම ය. ජනාධිපතිවරයා එබඳු සමා දානය කරන්නට සූදානම් අයකු බවට ඇමක් මේ සිරගත අපරාධකාරයන්ට දී තිබේ. 

ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව මරා අසු වී මරණ දඬුවම ලද ඇමතිගේ කසාද බිරිඳ තුන් අවුරුද්දකින් නිදහස් කර ගෙදර ම යවා ජනාධිපතිවරයා ‍වැඩ පෙන්වා ති‍බේ. 

පසුගිය දිනවල බෝගම්බර සිරගෙයි උපවාසයක් ඇති වුණේ ද ඇමති එස්.බී. දිසානායක මෙවැනි සමාවක් සඳහා දරන උත්සාහය නිසා ය.එහිදී ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සමූහ මිනීමැරුමක් වෙනුවෙන් මරණ දඬුවම ලද සිරකරුවන් පිරිස‍කගේ දඬුවම ලිහිල් කරන ලදී.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-22

මංගලගේ පෞද්ගලික ජීවිතය සමග ආණ්ඩුව කරන සෙල්ලම හරි ද?

මංගලගේ ගෙදරින් මත්පැන් හා ලැප්ටොප් එකක් සොරකම් කර අසු වූ පුද්ගලයෙක් දැන් ලංකාවේ රාජ්‍ය හා විෂම ලිංගික ස්වෝත්තමවාදී ජනමාධ්‍ය විසින් වීරයකු කර තිබෙන අන්දම මේ දිනවල දැකිය හැකි ය. 

සොරකමක් කර අසු වූ පුද්ගලයා දැන් පැමිණිලිකරුවා වී පැමිණිල්ල කළ මංගල විත්තිකරුවා වන නඩුවක් නිර්මානය වෙමින් තිබේ. 

මංගල තමන් සමග සමල‍ිංගික සම්බන්ධකමක් පැවැත්වූ බව දැන් මේ සොරා පවසයි. එම සම්බන්ධයත් මෙම සොරකමත් අතර සම්බන්ධයක් නැත. කිසිවෙක් සමලිංගික ඇසුරකට යොමු වූ පමණින් ඔහු මානසික ආතතියකට ලක් වන්නේ නැත. එහෙම වුණත්, අනිවාර්යයෙන් ම මත්ද්‍ර්‍රව්‍යවලට යොමු වෙනවා ය කියා එකකුත් නැත. මත්ද්‍රව්‍යවලට යොමු වුණත් හොරකම් කරන්නට ඕනෑ ය කියා එකකුත් නැත. 

අනෙක් පැත්තෙන් දණ්ඩ නීති සංග්‍රහ‍යේ 365A වගන්තිය අනුව සමලිංගික ඇසුර නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වුණාට, මේවා යල් පැන ගිය නීති ය. ඒවා වෙනස් විය යුතු ය. 

මේ සියල්ලටමත් වඩා මංගල මෙම චෝදනාවට මුහුණ දුන් ආකාරය විශිෂ්ට ය. තමන්ගේ පෞද්ගලික ජීවිතය තම පවුලේ අයටත්, මිතුරන්ටත් රහසක් නො වන බව ඔහු කියයි. 

මෙතැන තිබෙන දෙය වන්නේ විෂම ලිංගික සේවනය සම ලිංගික සේවනයට වඩා උසස් යයි සිතන පහත් මානසිකත්වයකි. නවීන සමාජය සමලිංගිකයන් ද සමාජ විවිධත්වයේ සජීවී කොටසක් ලෙස සලකයි. සියලු දෙනා විෂම ලිංගිකයන් බවට පත් නො කර සම ලිංගික සුළුතරයක් නිර්මානය කිරීම සොබා දහමේ හෝ දෙවියන්ගේ හෝ වෙනත් මැවුම්කරුවකුගේ තීරණයකි. ආණ්ඩුවක් යනු එයට ඉහළින් යා හැකි බලවේගයක් නො වේ. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-21

හරියට ඉගැන්වීම, ටියුෂන්, පිට වැඩ හා ලංකාවේ අධ්‍යාපන ගැටලු

මෙය සාමාන්‍ය පංති කාමරයක් නො වන බව ඔබ දනියි
මෙම ලිපිය ලියන්න හේතු වුණේ අපගේ පසුගිය ලිපිය හා සම්බන්ධව අධ්‍යාපනය ගැන මතු වූ සංවාදයක් ඉවහල් කරගෙනයි.

මම ගුරු වෘත්තිය සලකන්නේ මගේ දේශපාලන ව්‍යායාමයේ කොටසක් හැටියට. නැතිනම්, මට වෙන රැකියාවක් තෝරා ගන්න ඕනෑ තරම් අවස්ථා ලැබී තිබෙනවා. ඒත්, මම ගුරු වෘත්තිය පරදුවට තිබ්බේ ජනමාධ්‍ය ක්ෂේ්‍ත්‍රයේ අවස්ථා කීපයක් වෙනුවෙන් විතරයි. එතැනත් තිබුණේ දේශපාලනික උවමනාවක්. ම වෘත්තීය භාෂා පරිවර්තකයෙක්, ලේඛකයෙක්, ජනමාධ්‍යකරුවෙක් විිධියට පදනමක් ගොඩනගා ගත් කෙනෙක්. ඒත්, මම ළමයින් එක්ක යෙදෙන මේ ඉගැන්වීමේ කාර්යය අතහැර දාන්න බලා‍පොරොත්තුවක් නැහැ, මාව මේකෙන් දොට්ට දැම්මේ නැතිනම්. මොකද, මේක සම්බන්ධ වෙන්නේ මගේ දේශපාලනයත් එක්ක.

දේශපාලනය කීවා ම දැන් සමාජය තේරුම් ගන්නේ පක්ෂයක් හරි රාජ්‍ය නොවන සංවිධානයක් හරි එක්ක එකතු වෙලා ආණ්ඩුවට ජැක් ගහන්න හරි ගහලා තිබෙන ජැක් ගලවන්න හරි උත්සාහ කරන එක නේ. මම ඔය දෙකම කරන්නේ නැහැ. දේශපාලනය කියන්නේ ඔය කියූ දේ ය කියා හිතන අයට මම කියන්නේ මම දැන් දේශපාලනය කරන්නේ නැහැ ය කියලායි.

ඊයේ මම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාත් එක්ක පාසල් කාලයෙන් පසු සවස රැස්වීමකට සහභාගි වෙන්න ‍කොළඹ ගියා. ගෙදර ආවේ රෑ ‍බෝ වෙලා. අද මම නැගිට්ටේ පාන්දර තුනට. අද දවසේ ‍පාඩම්වලට ලැහැස්ති වෙන්න දෙයක් නැහැ. මේ දවස්වල තිබෙන්නේ ක්‍රිකට් හා නිවාසාන්තර ක්‍රීඩා. පරිවර්තන වැඩත් තියෙනවා. ඒත්, ඒවා නවත්වලා මම බ්ලොගය ලියනවා. ඇයි? ඒකත් මගේ දේශපාලනයේ කොටසක්.

පසුගිය ලිපියේ අපේ පාඨකයෙක් මෙහෙම අදහස් දැක්වීමක් කළා: "අජිත් ඔයාගෙ ඔය සමාජවාදය ඔයාගේ බොරුවක්.සමාජවාදී නොවෙයි අඩු ගානේ ධනවාදී ගුරුවරයෙක් ගැන හිතා බැලුවත් ඔයාගේ බොරුව බලාගන්න පුලුවන්.ගුරුවරයෙක් කියන්නේ ඉතා භාරදූර රැකියාවක්.ඔහු කොපමණ වැඩ තමන්ගෙ සිසුන්ට කලයුතුද.හෙට දින පන්තියේ වැඩ සැලසුම් කල යුතුයි.තමන්ගේ සිසුන් ඉදිරියට ගැනීමට සැලසුම් කලයුතුයි. සිසුන්ගේ දුර්වලතා හදුනාගැනීම එම දුර්වලතා වලට පිලියම් යෙදීමත් ඇතුලුව. සමහර ගුරුවරුන් රෑ දොලහටත් තමන්ගෙ සිසුන්ට අදාල කරුණු ඔවුන්ගේ ගිනුම් වලට යවනවා.හැරී පොටර් දින කියවීම් සති ආදී වැඩ. ඔවුන්ගෙ ජීවිතය ඉතා කාර්ය බහුලයි.ඒ ගුරු රැකියාවට අදාලවයි.ඔබ ඔබගේ සිසුන්ට අදාලව හොඳ ඉගැන්වීමක් කරනවා නම් ඔබට දහස් ගණන් බ්ලොග් ලියන්නට වෙලාවක් නැහැ."

‍මේ හැරී පොටර් කියවීම සංඥාර්ථ සහිතයි. ඇයි හැරී ‍පොටර් කියවන්නේ? ඇයි ඒ වෙනුවට ජාත්‍යන්තර පාසල් විෂය නිර්දේශයේ තිබෙන සම්භාව්‍ය සාහිත්‍යයට අයත් 'ද ත්‍රී මස්කටියර්ස්' වගේ උදාහරණයක් ආවෙ නැත්තේ?හේතුව, ධනවාදී පාරිභෝජනවාදය. ළමයි, හැරී පොටර් කියවන්නේ හැරී පොටර් කුමන අන්දමකින්වත් විශේෂ පොතක් නිසා නෙමෙයි. ඒ පසුබිමේ තිබෙන ප්‍රබල ධනවාදී මාකටිං එක නිසායි. ඒ පසුපස තිබෙන්නේ ජේ.කේ. රෝලිං කියන කොම්පැනියේ ලාභ ලැබීමේ අරමුණ. මේක ධනවාදී පාරිභෝජනවාදයේ තව කොටසක්. මැක්ඩොනල්ඩ්ස්ලාගේ ජන්ක් ෆුඩ් වගේ. ඒවා කාලා දියවැඩියාව හදා ගන්නේ ඇඟට. හැරී පොටර් කාලා දියවැඩියාව හැදෙන්නේ මොළයට. සැබෑ අධ්‍යාපනය කියන්නේ මේ ජන්ක් දැනුමට එරෙහි අරගලයක්. 

මේ සම්බන්ධ මගේ පළමු පිළිතුරේ මම මෙහෙම ලිව්වා: "අපේ ප්‍රමුඛ කාර්යය ළමයින්ට හැ‍රී පොටර් කියවීම නෙමෙයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න දායකත්වය සැපයීම.

ඔබ ඔය අධ්‍යාපනය යයි හිතන හැරී පොටර් කියවීම පන්නයේ වැඩේ කියන්නේ අනෙකා පාගාගෙන ගිහින් අනාගත සමාජ අවස්ථා උදුරා ගන්න තරග වැදීමේ ධනවාදී ක්‍රෑම මිසක් සැබෑ අධ්‍යාපනය නෙමෙයි.

සැබෑ අධ්‍යාපනයෙන් බිහි කරන්නේ හැරී පොටර්ලා වීරයන් වන සමාජයක් නෙමෙයි. මිනිස්කමින් පිරි සමාජයකුයි.

අධ්‍යාපනය කියන්නේ ළමයින්ට වධ දීම නෙමෙයි. ඉගෙනීම සතුට ගෙන දෙන දෙයක් විය යුතුයි. එය ගුරුවරයාටත් සතුට ගෙන දෙයක් විය යුතුයි. මම කරන්නේ ඒක.'


මේ කමෙන්ටුවල කොටස් අයින් කළේ ඒවා මෙතැනට අදාළ නැති නිසා මිස වෙනත් හේතුවක් මත‍ නොවෙයි.

ඉන් පසු අර පාඨකයා පළ කළ අදහසක මෙහෙම ලියැවුණා: ."ඔබ ස්මාජ ක්‍රමය වෙනස් කරනතුරු ළමයින් කලයුත්තේ කුමක්ද? ඔහේ මොකක් හෝ කිරීමද?" .

මෙතැන වැදගත් ‍සංවාදයක් තිබෙනවා.  

අධ්‍යාපනයේ ඉලක්කය හෝ අරමුණ හෝ විය යුත්තේ සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීම මිස වෙන මොකක් ද?

ඔබ අරමුණු හා අභිමතාර්ථ අතර වෙනස දන්නවා ද? මේවාට 'සිංහලෙන්' කියන්නේ goals, aims and objectives කියලායි.

හොඳ රැකියාවක් කරන එක අධ්‍යාපනයේ අභිමතාර්ථයක් මිස අරමුණක් නොවෙයි. අද අපට වෙලා තිබෙන්නේ අපි මේවා පටලගෙන.

උගන්වන ගුරුවරුත් වැඩ කරන්නේ අභිමතාර්ථ අරමුණ ය කියා පටලවාගෙන.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපතිවරයාට උපදෙස් දීමට 1992 දී පත් කළ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව විසින්, දරුවා තුළ චරිතායනය කළ යුතු ජාතික අරමුණු සමාජ ගත කළ. මෙන්න ඒ ජාතික අරමුණු:
  • ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවයක්, ජාතික අනන්‍යතාවයක් හා ජාතික සමගියක් ගොඩනැගීම.
  • පෘථුල වශයෙන් විසිර යන සාධාරණ සමාජ රටා පිහිටුවීම.
  • දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීම.
  • එක් වරම ඵලදායී වූත්, ආත්ම තෘප්තිය ලැබීමට මග සලසන්නා වූත් ජීවනෝපායන් හා රැකියා අවස්ථා සොයා ගැනීම.
  • රටේ සමාජයීය හා ආර්ථික වර්ධනයට ආධාර වන මානව සම්පත් සංවර්ධනයෙහි සහභාගීත්වය.
  • ජාතියක් ගොඩනැගීමේ කටයුතු වලට සම්බන්ධ වීම.
  • වෙනස් වීම් වලට ගැලපෙන පරිදි ඉගෙනීම හා සකස් වීමේ ශක්තිය උදා කර ගැනීම. (ඉගෙනීම හා වෙනස්වීම ඇති කිරීමේ නියාමක ශක්තිය උදා කර ගැනීම.)
  • ව්‍යාකූල වූත් අනපේක්ෂිත වූත් අවස්ථා වලට මුහුණ දීම හා සංරක්ෂිත ස්ථාවර හැඟීමක් ඇති කර ගැනීම.
  • ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්ථානයක් අත් පත් කර ගැනීම.
රජය විසින් ප්‍රකාශිත මේ අධ්‍යාපනික අරමුණු එක්ක මට නම් කිසි ගැටලුවක් නැහැ. මේවා තව වැඩිදියුණු කරන්න සංවාද අවශ්‍යයි. ඒත්, මූලිකම ගැටලුව ඒක නෙමෙයි. පවත්නා අධ්‍යාපන ක්‍රමය මේ ප්‍රකාශිත අරමුණුවලට නම්නීකරණය කර ගැනීමයි.

අපේ පාඨකයා මෙවැනි දෙයකුත් කීවා: "//ඉගෙනීම සතුට ගෙන දෙන දෙයක් විය යුතුයි//
මා කියන්නේත් එයම තමයි.ලමුන්ට සතුට දෙන ලෙස ඉගැන්වීම ලෙහෙසි පහසුදෙයක් නොවෙයි.ඉතා මහන්සියෙන් කැපවීමෙන් කලයුතුදෙයක්.ගුරුවරයාට සතුට ලැබෙන්නේ එවිටයි.තමන් කරන දෙය ගැන ගෞරවයක් ඇති වන්නේ එවිට නොවේද?
වෘත්තීය ගරුත්වය ගැන අදහස් එන්නේ එවිට නොවේද? වෘත්තීය අයිතිවාසිකම් වලට සටන් කලහැකි වන්නේ එවිට නොවේද?"

ඇත්ත. ඒත්, මේ කියන්නේ ගුරුවරුන් බාහිර කටයුතුවල නියැලුණා ම ඉගැන්වීමේ කාර්යය හරියට කෙරෙන්නේ නැහැ කියන එකනේ. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ ධාරිතාව අනුවයි. ළමයින්ට සතුට ගෙන දෙන ලෙස උගන්වන එක ඉතා දුෂ්කරයි. හැබැයි, ඒ සඳහා අවශ්‍ය මුල් ම දෙය ගුරුවරයා බොහෝ ඇසූ පිරූ කෙනෙකු වීමයි.

ගුරු මාර්ගෝපදේශ, වාර සටහන්, පාඩම් සැලසුම් ආදිය ඉගැන්වීමේදී වැදගත්. ඒවා වෙනුවෙන් මහන්සි වීම අවශ්‍යයි. ඒත්, සමහරු හිතනවා හොඳ ගුරුවරුන් බිහි වන්නේ ඒවායින් ය කියලා. ඒවායින් ගුරුවරුන්ගේ වෘත්තිකභාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ම සීමා වෙන්නත් පුළුවන්. මම මේ දිනවල ජමාධ්‍යවේදීන් සඳහා වූ අධ්‍යාපනික වැඩසටහනකට අදාළ කටයුතු වගයක් කරනවා. ඒ වැඩසටහනේ ගුරුවරයාට ඉතා සවිස්තර පාඩම් සැලසුමක් හා එයට අදාළ සියලු අධ්‍යාපනික ද්‍රව්‍ය සපයනවා. ගුරුවරයාට තිබෙන්නේ කපලා දීපු පතරොම මූට්ට් කරන සන්නාලියකු වගේ ඒ කියලා තියෙන විධියට ඉගැන්වීමයි. 

මට ප්‍රායෝගිකව ඉගැන්වීම සම්බන්ධයෙන් අවුරුදු විසි පහක විතර පළපුරුද්දක් තිබෙනවා. මගේ අත්දැකීම් අනුව නම් ගුරුවරුන්ගේ නිර්මානශීලිත්වය එළිදැකීමට මෙවැනි දැඩි රාමුගත කිරීම් බාධාවක්. ඒවායින් ඇසූ පිරූ කෙනෙක් බිහි වන්නේ නැහැ. වෘත්තික ගුරුවරු බිහි වෙනවා  කියා කියන්නත් බැහැ. බිහි වන්නේ ගුරු යන්ත්‍ර ටිකක්.

නිසි ගුරු අධ්‍යාපනයක් නැති ලංකාවේ ගුරුවරුන්ට ඇසූ පිරූ මිනිසුන් වෙන්න පුළුවන් ඔය රාමුවෙන් එළියට ආවොත් විතරමයි. බාහිර වැඩ ‍කළොත් විතරමයි.

අනෙක් පැත්තෙන්, ලංකාවේ ගුරුවරුන්ට තිබෙන තවත් අරගලයක් තමයි, තමන් දරිද්‍රතාවෙන් මුදා ගැනීම. මේ පඩියෙන් ජීවත් වෙන්න ගියොත්, පාසලේදී ඔබට හමු වන්නේ දිළිඳුකමින් පීඩිත වූ මිනිහෙක්. ඔබේ දරුවා ඉදිරියට එන්නේ අසහනයෙන් පිරුණු සමාජය කෙරෙහි වෛරී අදහස් තිබෙන කෙනෙක්.

ගුරුවරුන්ගේ දරිද්‍රතාව පිටුදකින්න රජයෙන් වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා දරිද්‍රතාව පරාජය කළ ගුරුවරයෙක් ලෙස පංති කාමරයට යන්න ගුරුවරුන් දරන වෙහෙස අගය කළ යුුතුයි. මට වරක් හමු වූ එක් ගුරුවරයෙක් පාසල් කාලයෙන් පසු පොල් පරාල පලා විකුණනවා. තව බොහෝ අය ටියුෂන් කරනවා. හැබැයි මේවායේ ගැටලු නැත්තේ නැහැ. ඒත්, අවසානයේදී ඒවා මේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු මිස පුද්ගලයන්ගේ ම ගැටලු නෙමෙයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-19

පාක්‍යසෝති සරවනමුත්තු ‍ඩොලර් විසිපහක් ඉල‍්ලා ලියමනක් එවා ඇත

අලුත් අවුරුද්දට සුබ පතන්න ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ උතුරුමැද හිටපු මහ ඇමතිටත් අලුත් අවුරුදු සුබපැතුමක් යැව්වා කියා ආරංචියි. ‍හැබැයි පර ලෝකෙට නෙමෙයි, අනුරාධපුරේ මහ ඇමතිගේ ගෙදරට.

මටත් ඔය වගේ එකක් ලැබුණා පහුගිය දවස්වල. ඒක එවලා තිබුණේ පාක්‍යසෝති සරවනමුත්තු මහත්තයා. ඒ මහත්තයා විධායක අධ්‍යක්ෂ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ. ලියුම එවලා තිබුණේ ඒගොල්ලන් කරන වැඩවලට උදව් කරන්න ය කියලා.

ඔවුන් මට අවස්ථාවක් දී තිබෙනවා කැමති නම් මුළු ජීවිත කාලෙටම එක පාරක් ඩොලර් 2000ක් දෙන්න. නැතිනම්, අවුරුද්දකට ඩොලර් 500ක් දෙන්න. එහෙමත් නැතිනම් මාසෙකට ඩොලර් 25ක් දෙන්න. ඇත්තෙන්ම මාර අවස්ථාවක්.

ඒ වුණාට මගේ ගුරු පඩිය ගෙඩි සුපියල් විසිපන්දාහකට අඩු නිසා මට පුළුවන් අර මාසෙට ඩොලර් 25 ගානෙ දෙන්න විතරයි. හැබැයි ඒකත් මගේ පඩියෙන් දහයෙන් පංගුවකටත් වැඩි නිසා මං මේ කල්පනා කර කර ඉන්නේ ටියුසන් පාරක්වත් කරලා මේක ගෙවනවද කියලායි.

ඇත්තෙන්ම, මම හිතන්නේ මේ ඊමේල් එක එන්න ඇත්තේ වැරදිලා. මීට ටික කාලකෙට උඩදි හිරු කණ්ඩායමේ හිටපු හීරෝලා දෙන්නෙක් මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ව්‍යාපෘතියක හිටියා. බුදු අම්මෝ උන් බීපු බීම! ‍එච්චර සල්ලි තියෙන තැනක අැත්තෝ මේ අපි ව‍ගේ හිඟන්නන්ගෙන් සල්ලි ඉල්ලයි යැ.

රාජ්‍ය නොවන සංවිධානවල ඉන්න උදවිය දෙයියනේ කියලා කාලා ඇඳලා හුඟක් වෙලාවට හවසට ව්‍යාපෘති අරමුදලෙන් වංගුවක් ගහලා ඩ්‍රින්ක් එකකුත් ගන්නවා. ඕකට ඉතින් අපි කවුරුවත් ඉරිසියා කරන්න ඕනැ නැහැ. මොකද මෙහෙම ලියුං එව්වාට අපි කවුරුත් ඕවට සල්ලි දෙන්නෙ නැහැනේ. 

මේවට ‍සල්ලි දෙන්නේ සුද්දෝ. පිටරටවල අාණ්ඩුවලින්, දුප්පත් රටවලට උදව් කරන්න ය කියලා පිහිටුවා ගත්ත පුණ්‍යායතනවලින් එහෙම තමයි මේවාට සල්ලි දෙන්නේ. සමහර සුද්දෝ මේ සල්ලි දෙන්නේ දුප්පත් ගොවියකුට හ‍රකෙක් ගන්න එහෙම මේ සල්ලි යෙදවෙනවා ය අරවා මේවා හිතලායි.

2004 අවුරුද්දේ ආපු සුනාමිය නිසා රාජ්‍ය නො වන සංවිධානවලට 2005 අවුරුද්දෙ සල්ලි සුනාමියක් ආවා. ඔන්න ඉතින් ඔය හැම විදියක ම රාජ්‍ය ‍‍නො වන සංවිධාන සුනාමියෙන් විපතට පත් මිනිසුන්ට උදව් කරන්න ව්‍යාපෘති ලියලා අරමුදල් අනුමත කර ගත්තා. උදව් කරන්න ඉතින් වැල්ලට යන්න එපා‍යැ. ඒකට ගත්තා SUV. ව්‍යාපෘති පවත්වාගෙන යන්න කොළඹ හතෙන් ගත්තා කාර්යාලයක්. ඒකට බඩු මුට්ටු, කොම්පියු‍ටර් අරව මේවා. ව්‍යාපෘති මෙහෙයවන්න ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා. ඒ‍ගොල්ලන්ට පොෂ් සෙක්‍රට්‍රිලා. ඉතින්, ඕවට වියදම් කරනකොට සුනාමියෙන් අවතැන් වූ අයට වියදම් කරන්න සල්ලි ඉතිරි වුණේ නැහැ. ඒකයි වුණේ. වංචාවක් නෙමෙයි නේ. ආණ්ඩුවට වුණත් වෙලා තියෙන්නේ ඔය සන්තෑසියම තමයි.

කාලයක් අපිත් විවිධ සමාජ, සංස්කෘතික වැඩ කරන්න මේ රාජ්‍ය නො වන සංවිධානවලින් මුදල් ඉල්ලුවා. බුදු අම්මෝ ඒ ලාච්චුවකින් සුපියල් දාහක් ගන්න හත් අට පාර කාල් ගාන්න වුණා. හැබැයි පස්සෙ කාලෙක මං මේ රානොස සමහරකට කුලියට ප්‍රෝග්‍රස් රිපෝට් ලියනකොට දැක්කා, අර රුපියල් දාහවල් පවා මාකට් කරන ලස්සන. 

රානොස ඩොලර් නැති වුණත් සමාජ වැඩ කරන්න බැරි නැහැ. හැබැයි අපි අපව රැක ගන්න මහජන සහයෝගිතා පදනමක් ගොඩනගා ගන්න ඕනැ. ඉස්සර අපිත් එහෙම උදව් ඉල්ලුවා. සංවිධාන හදාගෙන, වෙබ් අඩවි පටන් අරගෙන, පොත් ගහගෙන, සම්මන්ත්‍රණ සංවිධානය කරගෙන, වැඩ කරන්න අපට උදව් කරන්න කියලා. දැනුත්, සමහරු අහනවා මොනවද කරන්න ඕනැ කියලා.ඒගොල්ලො දන්නවනේ අපි ඉතින් ඒ ප්‍රශ්නයට උත්තර නො දෙන බව. ඇත්තට ම එහෙම කවුරුවත් කාටවත් උදව් කරනව ද කියලා මම නම් දන්නෙ නැහැ. සමහර විට ඔය ආධාර උපකාර ලබා ගැනීමේ සයන්ස් එකක් ඇති. මම නම් දෙයියම්ප දන්නෙ නැහැ.

අපට යමක් කරන්න ඕනැ නම් අපි ඒක කරන්න ඕනැ. එහෙම නැතිව කවුරුවත් උදව් කරන කල් බලන් හිටියාට වැඩක් නැහැ. දැන් උදාහරණෙකට මම මේ බ්ලොගය ලියනවා. ඒ වෙනුවෙන් මුළු අන්තර්ජාලයමත් පීරනවා. රටේ ගමේ දේවලුත් හොයනවා. ලිවිල්ල වෙනුවෙන් මගේ කාලය, විදුලිය, ඩේටා ගාස්තු, කොම්පියුටර් අරවා මේවා වියදං වෙනවා. ඉතින් මං ඒව සපය ගන්න කම්කරුවෙක් විධියට වැඩ කරනවා. මං බුද්ධිමය කම්කරුවෙක්. මං කරන්නේ පරිවර්තන, ලියන කියන වැඩ එහෙම. ඒකෙන් උපයන මුදලින් මං මගේ පවුලත් නඩත්තු කරලා බ්ලොගත් ලියලා, තව වමේ පත්තරේකටත් ස්වේච්ඡාවෙන් වැඩ කරලා, ගමේ රටේ තව වැඩ ටිකකුත් කරනවා. මං කරන ගුරු රස්සාවත් මං සලකන්නේ දේශපාලන වැඩක් විදියට. මං ගුරු ජීවිතයක් ජීවත් වෙන්න උත්සාහ කරනවා. 

කට්ටියට මේවා ලොකු මදි ඇති. ඒ වුණාට මට ඉතින් පුළුවන් එච්චරයි. ‍නැතිනම් මගේ බැලන්ස් එක නැති වෙලා යනවා. ඒ නිසා මට ඒ ටික ඇති. ඕනෑවට වඩා කොරන්න ගිහිල්ලා, අරක වුණා, මේක වුණා, සීගිරි යන්න බැරි වුණා, ඒ නිසා මාව බලා ගනිල්ලා කියලා සමාජයෙන් ඇරියස් ඉල්ලන්න ඕනැ නැහැනේ.

දවසට පැය දහඅටක් විතර වැඩ කරන එක ලේසි නැහැ. ඒ නිසා ඉස්සර වගේ ඔය කොළඹ කතා සාප්පුවලට යන්නත් දැන් වෙලාවක් නැහැ. ඒ නිසා සමහරු කියන්නේ දැන් මිනිහ වැඩ නැහැ කියලායි. ඇයි, අපි දැන් උන්ගෙ කතා අහන්න එන්නෙ නැහැ නේ. 

මේ අතරෙ වැඩිය කොලෙස්ටරෝල් කන්න සල්ලි නැති නිසා, හවසට වතු වැඩත් කරන නිසා සහ ඩ්‍රින්ක් එහෙම ගන්නත් සල්ලි නැති නිසා ශරීර සෞඛ්‍යයත් නරකම නැහැ. 

මං හිතන්නේ සමාජ වැඩ කරන්න බටහිරින් අරමුදල් ලබා ගන්න රාජ්‍ය නොවන සංවිධාන පසුපස යන එක යල් පැන ගිය ක්‍රමයක්. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ ක්ෂුද්‍ර හා මහේක්ෂ තලයේ වැඩ දෙකක්. 

ක්ෂුද්‍ර තලයේදී තමන් වැඩ කරලා උපයන මුදලින් යම් ප්‍රතිශතයක් සමාජ වැඩට යොදන්න පුළුවන්. මං කරන්නේ ඒක. මං ඒ ගැන හරි ආඩම්බරයි. මට ෆන්ඩ් කරන්නේ මංමයි. මං තමයි ඩොනර්. මංම තමයි සෝෂල් වර්කර්.

අනෙක, මහජන අරමුදල් රැස් කරලා සමාජ වැඩ කරන එක. මං හිතන්නේ ජවිපෙ සමාජ ව්‍යාපාරයක් කාලේ මේ දේ කළා. ඒක මහේක්ෂ වැඩක්. මං ඒවට දක්ෂ නැති නිසා අපි ඕවට නැහැ.

ඉතින් මං මේ ටික ලිව්වෙ මොකද දන්නවාද? මං කියනවානේ අපි සමාජවාදී ජීවිතයක් සෙවිය යුතුයි කියලා. මේ මගේ එක්ස්පරිමන්ට් එක.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-16

හික්කඩුවේ හෙළ බොදු තාප්පයෙන් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගම්වලට

හික්කඩුවේ හෙළ බොදු තාප්පය නම් සංවිධානයක් විසින් ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් සංවිධාන‍යේ යාඥා මධ්‍යස්ථාන දෙකකට එල්ල කරන ලද නීච ප්‍රහාරය ලෝකයේ ම බෞද්ධයන්ට කරන ලද නිගාවකි. කහ සිවුරු දරා ගත් භික්ෂූන් හැසිරෙන්නේ මෘගයන් පිරිසක් සේ ය. 

මෙම වීඩියෝ දර්ශන දැන් ලොව පුරා සංසරණය වෙමින් තිබේ. ඒවායින් වසානයේදී සිදු වන්නේ ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්ට ලොව පුරා ක්‍රිස්තියානින්ගේ අනුකම්පාව හා මුල්‍යමය ආධාර වැඩි වැඩියෙන් ලැබීමයි. ඒ අරමුදල් ලංකාවේ යෙදවෙන්නේ මිනිසුන් මේ නව ආගමික නිකායන් වෙත ආකර්ශනය කර ගන්නටයි.

මෙම කරුණ පිළිබඳ අප විසින් කලින් ලියන ලද මෙම ලිපිය යළි කියවන්නැයි අපි ඔබට ආරාධනා කරමු. 


2011-11-11


අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව



ජුසේ වාස් පියතුමා
ජාතික හෙළ උරුමයට නැවතත් අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හදිසි පනතක් ලෙස සම්මත කර ගැනීමට අවශ්‍යව ඇත. (මේ ඇතැම් විට දේපල පවරා ගැනීමේ පනත ඉදිරියේ සිදු වූ අලකලංචිය වසා ගැනීමේ ජිමික් එකක් විය හැකි ය.) එම පක්ෂය මෙසේ කියයි:

'ඇමෙරිකානු ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට තහනම් කරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇති බව දැන ගැනීමෙන් අප විශ්මයටත් බලවත් සතුටටත් පත් වීමු. මක්‌ නිසාද යත් ජාතික හෙළ උරුමය දීර්ඝ කාලයක සිට බලහත්කාරයෙන් ආගම්වලට හැරවීම තහනම් කිරීමේ අන්‍යාගමීකරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණයටත් පාර්ලිමේන්තුවටත් ගෙන ඒමට කටයුතු කළ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රාජගුරු මණ්‌ඩලය, ක්‍රිස්‌තියානි හා කතෝලික සභාවන් එම පනත රටට අනවශ්‍ය බවත් එම පනත මගින් ආගමික සහජීවනයට හා ආගමික නිදහසට බාධා සිදුවන බවත් කියා සිටිමින් දැඩි විරෝධය පළ කරන ලදී. එදා රදගුරු මණ්‌ඩලය විසින් රැකගත් ඊනියා ක්‍රිස්‌තියානි මූලධර්මවාදී සංවිධානයන් අද තහනම් කරන ලෙස ඔවුන් විසින්ම රජයෙන් ඉල්ලා සිටීම විශ්මය දනවන්නකි. දුප්පත්කම දඩමීමා කරගෙන අයථා ක්‍රම මගින් ආගම්වලට හරවා ගැනීමේ මිෂනාරී සංවිධානයන්ට එරෙහිව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජාතික හෙළ උරුමය, බෞද්ධ සංවිධාන ඇතුළු හින්දු සංවිධාන එකාබද්ධව නැගූ හඬ අද ක්‍රිස්‌තියානි හා කතෝලික සභාවන්ගේ හඬ වීම සතුට දනවන්නකි.'

උපතින් බෞද්ධයකු වන මෙම ලේඛකයා බුදුන්ගේ දේශනාව පිළිබඳ සාපේක්ෂ වශයෙන් වැඩි අවබෝධයක් ද, ගෞරවයක් ද සහිත අයෙකි. ඔහු සිතන ආකාරයට මාක්ස්වාදය ද ඇතැමුන්ට ආගමකි. ඔහු මාක්ස්වාදය ද ඇතුළුව අද ලංකාවේ පවතින කිසිදු ආගමක් අදහන්නෙකු නොවේ.

හෙළ උරුමය විසින් යෝජිත පනතේ මූලික ගැටලු කීපයක් ඇත. ඔවුහු අන්‍යාගම් යන වදන පාවිච්චි කරති. අන්‍ය ආගම් යනු අනුන්ගේ ආගම් ය. අනුන්ගේ ආගම්වලට හරවා ගැනීම තහනම් ක්‍රියාවක් නම්, මෙම පනත ක්‍රියාත්මකව තිබුණා නම් දේවානම්පියතිස්ස රජු බුදු දහමට හරවා ගත් මිහිඳු හිමියෝ ද වැරදිකරුවකු වනු ඇත.

100%ක් බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමක් ලෝකයේ කොහේවත් සිදු වන්නේ නැත. සිදු වන්නේ බලපෑම් කරමින්, විවිධ වරප්‍රසාද දී එම හරවා ගැනීම කිරීමයි. දේවානම්පියතිස්ස රජු බුදු දහමට හරවා ගැනීම පිටුපස ද අශෝක අධිරාජයාගේ බල දේශපාලනික උවමනාවන් මත පදනම් වූ බලපෑම් හා වරදාන තිබූ බව ඉතිහාසය අධ්‍යයනය කළොත් වටහා ගන්නට පුළුවන. .

අද කාලයේ ඉවැන්ජලික ආගම් පිළිබඳ මෙම ලේඛකයාගේ අත්දැකීම් කීපයක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමි. ලේඛකයාට එක් කලකදී හමු වූ ජවිපෙ ක්‍රියාකාරික මිතුරන් දෙදෙනෙක් අද වන විට මෙවැනි ආගම් සමග ක්‍රියාකාරීව සම්බන්ධව ඇත. එයින් එක් අයෙකු ඔහුගේ සමීප මිතුරකු වන අතර තවමත් ජවිපෙට ඉතා හිතවත් අයෙකි.

වෘත්තියෙන් වානිජ චිත්‍ර ශිල්පියකු වූ ඔහුට පසුගිය සමයේ සිදු වූ ඩිජිටල්කරණය තුළ සිය ජීවනෝපාය අහිමි විය. කලක් තිස්සේ දැඩි අගහිඟකම් මධ්‍යයේ ජීවත් වන ඔහු නමට පමණක් අදහමින් සිටි බුදු දහම අතහැර ඉවැන්ජලික ක්‍රිස්තියානි සභාවකට සම්බන්ධ විය. ඒ හෙපටයිටිස් බී වැළඳී සිටි ඥාතියකුට සුව පතා කළ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ය.  ඒ කාලයේ ඔහුගේ මවට ලොතරැයි දිනුමක් ඇදිණි. ඒ සමග ම එම බෞද්ධ පවුල තුළ මෙම ආගම පිළිබඳ විශ්වාසය වැඩි වූ අතර වරක් මෙම ලේඛකයා ඔහුගේ නිවසට යන කල එහි යම් ආගමික මෙහෙයක් පැවැත්වෙමින් තිබිණි. සිය බිරියට ස්වර්ගයේ භාෂාවෙන් කතා කිරීමට පවා හැකියාව ඇති බව මිතුරා පැවසී ය.

ජවිපෙ ආසන 40ක් දිනා ගනිමින් ජයග්‍රාහී මට්ටමක සිටි සමයේ ඔහු හමු වූ විටෙක ලේඛකයා එකී ආගම ගැන මිතුරාගෙන් විමසුවේ ය. ඔහු කීවේ තමන් දැන් ඒ හා සම්බන්ධ නැති බව හා පක්ෂය තමන්ට ඒවායේ හරය කියා දුන් බව ය. ජවිපෙ දේශපාලනිකව පසුබසින විට නැවත මෙම අදහස් වෙනස් වූ බව ලේඛකයාට පෙනිණි.

පසුගිය කාලයේ ඔහුගේ ආර්ථිකය දැඩි ලෙස පිරිහිණි. බීමත්කමට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් ද තිබිණි. පවුල් අවුල් ද ඇති විය. දැන් එම නිවසට යන විට මට ඔවුන් නැවතත් දැඩි ලෙස එකී ආගමට බැ‍ඳෙමින් ඇති බව පෙනෙන්නට ඇත.

ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගම් ද ජවිපෙ මෙන් ම ව්‍යාප්ත වීමේදී වැඩි අවධානය යොමු කරන්නේ මෙවැනි කොණ් කරන ලද සමාජ තීරයන් වෙත ය. මුදල් හදල් නැති ඔවුන් කෙරෙහි සම්ප්‍රදායික ආගම්වල අවධානය යොමු වන්නේ නැත. සම්ප්‍රදායික ආගම් අද වැඩි අවධානය යොමු කරන්නේ අරමුදල් රැස් කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් ඇති හැකි පිරිස් කෙරෙහි පමණක් බව නො රහසකි.

පසුගිය දිනෙක ලේඛකයාගේ නිවසට පැරණි මිතුරකු පැමිණියේ ය. ඔහු ද කලක් ජවිපෙ පහළ මට්ටමේ ක්‍රියාකාරිකයකු විය. කුසලතා සහිත කම්කරුවකු හා සුළු කර්මාන්තකරුවකු වූ ඔහුගේ ආර්ථිකය එකල සාමාන්‍ය මට්ටමක තිබිණි. උපතින් බෞද්ධයකු වූ හේ පසු කලෙක සියල්ල අතහැර දමා එක් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමක් සමග සම්බන්ධ වී අද වන විට එහි පාස්ටර්වරයකු බවට පත් වී සිටියි. දැනට පනස් හැවිරිදි වියේ පසු වන හේ සිය බිරිඳ ද සමග වතු ආශ්‍රිත ප්‍රදේශයක ජීවත් වෙමින් ආගමික මධ්‍යස්ථානයක් පිහිටුවාගෙන, ඒ වටා ඇති බෞද්ධ සමාජයෙන් මුහුණ දෙන්නට සිදු වන ප්‍රශ්නවලට දෙවියන් වහන්සේ කෙරෙහි ඇති භක්තිය මුල් කරගෙන නො බියව මුහුණ දෙමින් 'සේවය' කරමින් සිටියි. 

ඔහුගේ මෝටර් සයිකලය සෑහෙන්න දුවන එකක් බව පෙනිණි. අප හමු වූ වැසි දිනයේ ඔහු පැමිණියේ කලිසමට උඩින් කොළ පාට ඉටි රෙද්දක් ඇඳගෙන ය. ඔහුගේ ඇඳුම් ද බාල වර්ගයේ පරණ ඒවා ය. පෙනුම දඅළිඳු වුව ද ඔහු සිටියේ සතුටිනි. 

ලේඛකයා ඔහුගෙන් එකී ආගමික සභාව පිළිබඳ කරුණු විමසුවේ ය. ඔහු කී දේ අතරින් එක් කරුණක් වන්නේ ඔහුට ගෙවන්නේ සුළු වැටුපක් හා මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට කුලිය පමණක් බවයි. ඔහු වතු ආශ්‍රිත. අන්ත දිළිඳු පවුල් සංඛ්‍යාවක් සමග ඔවුන්ගේ එදිනෙදා ජීවන ගැටළු බෙදා හදා ගනිමින්, දෙවියන් වහන්සේ වෙත ඔවුන් සම්බන්ධීකරණය කරමින්, ඔවුන්ගෙන් ලැබෙන බත් පතින් තෘප්තිමත්ව, භක්තිමත් ජීවිතයක් ගත කරයි.

ඔහුගේ ආගමික සභාව ඉහළ සමාජ කොටස් අතර ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරවලට බව ඔහු ම පිළි ගත්තේ ය.

ඔහු කී තවත් වැදගත් කරුණක් වන්නේ මිනිසුන් ආගමකට බැඳ තබා ගැනීමට නම්, එය නො කළහොත් මෙවැනි දඬුවම් ලැබෙන බවට බියපත් කිරීමක් අවශ්‍ය බවයි.

අප හඳුනන රෝමානු කතෝලික හා වෙනත් සම්ප්‍රදායික ක්‍රිස්තියානි  පූජකවරුන් හා මෙම පාස්ටර්වරයා අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි. ඔහු ද කිසියම් දේවධර්ම ශාස්ත්‍රාලයක වසර කීපයක් උගත් බව කී මුත්, ඔහු වෙතින් එතරම් උගත්කමක් හෝ සම්භාවනීයත්වයක් විෂධ වූයේ නැත. කලෙක මෙම ලේඛකයා ඔහු සමග එක සිගරැට්ටුව බෙදාගෙන බී ඇත. දැන් ඔහු දුම් නො බොන මුත්, ඔහු තවමත් ඒ තරම් ම සුහද ය.

'රාජ්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධාන හරහා ලැබෙන මුදල් දුප්පත් ජනතාවට ලබා දෙමින් බොදුනුවනගේ මනස විකෘති කරමින් බුදු පිළිම පොළවේ ගසමින් ආගමික වෛරය ඇති කරන මෙම ඇමෙරිකානු ක්‍රිස්‌තියානි ආගමික මිෂනාරි සංවිධාන රෝග සුව කරන මුවාවෙන් අසරණ රෝගීන් බිලිගත් අවස්‌ථා එමටය.' යි ජාතික හෙළ උරුමයේ නිවේදනයේ සඳහන්‍ වේ.

මෙවැනි සිද්ධි සිදු වනමුත්, ඉවැන්ජලික නිකායන් ආගමික ප්‍රචාරයේ යෙදෙන්නේ හුදෙක් ම මුදල් බලයෙන් හා වෙනත් බලහත්කාරයන් පාවිච්චි කරමින් ය යි සිතීම හා පැතිරවීම එම ආගමික නිකායන් කරන දේ ම අනෙක් පැත්තට කිරීමකි.

ඉවැන්ජලික ආගම් බොහෝ දෙනෙකු සිතන තරම් සල්ලි වීසි කරන්නේ නැත. ඔවුන් සල්ලි වීසි කර, ආගමික ප්‍රචාරයේ යෙදී, සමාජයේ යහපත් මිනිස්සු දිනා ගනිති. ඉන් පසු, එකී යහපත් මිනිස්සු භක්තිය පදනම් කරගෙන ආගම ප්‍රචාරය කිරීම සඳහා සිය දිවිය ම කැප කරති. ඉවැන්ජලික ආගමික නිකායන්ගේ සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රබල ම ශක්තිය වන්නේ මුදල් නො ව ඒවායේ ක්‍රියාකාරිකයන්ගේ ස්වේච්ඡා ශ්‍රමය හා අවංක කැපකිරීම් ය.  

පසුගිය දිනෙක ගාලු වරායට පැමිණි 'ලෝගෝස් හෝප්' නම් පොත් නැව ද මෙවැනි ඉවැන්ජලික ආගමික නිකායක ව්‍යාපෘතියකි. කපිතාන්ගේ සිට පහළට එහි සේවය කළ ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය ද මෙවැනි ස්වේච්ඡා සේවකයෝ ය. ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මෙම නැව හම්බන්තොට වරායට ද ගෙන යන ලද අතර එහිදී ද රාජ්‍ය අනුග්‍රහයෙන් ආගමික ප්‍රචාරයේ යෙදිණි. විස්තරය මෙන්න.
ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි / Sri Lanka government entangled in evangelical Christianism spread


ඉවැන්ජලික ආගම් පැතිරෙන්නේ සම්ප්‍රදායික ආගම්වල අර්බුද නිසා ය. එනම් සම්ප්‍රදායික ආගම් දිළින්දන්ගෙන් හා පීඩිතයන්ගෙන් ඈත්ව පීඩක රජයන් හා ධනවතුන්, බලවතුන් සමග සම්බන්ධ වී ම නිසා ය. ප්‍රධාන වශයෙන් ම ධනවාදය තුළ ආර්ථික දිළිඳුකම හා සමාජමය හේතු මත කොණ් වන පුද්ගලයන් ඉලක්ක කරගෙන ආගමික ප්‍රචාරයේ යෙදෙන මෙම ආගම් ඔවුන් තුළ යම් බලාපොරොත්තුවත් ඇති කරයි.

කලක් මාක්ස්වාදය මෙවැනි ආන්තික සමාජ කණ්ඩායම්වලට බලාපොරොත්තුවේ හුස්මක් දීමට සමත් වූ අතර ලෝක මට්ටමෙන් ම සිදු වූ සමාජවාදී ව්‍යාපාරයේ පරිහාණිය මෙවැනි ආගමික කණ්ඩායමිවල උන්නතියට ඉවහල් විය. අනෙක් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙම සංවිධානවලට මුදල් ලබා දුන්නේ ද ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය මැඩ පවත්වන්නට අවියක් ලෙස භාවිතා කිරීමට ය.

හෙළ උරුමය හා කතෝලික පල්ලිය රාජ්‍ය බලය යොදවා, නීති සම්මත කරගෙන මෙම ඉවැන්ජලික ආගම් මැඬලිය හැකි යයි සිතති. රාජ්‍ය බලය යොදා ආගම් මර්දනය කළ ලන්දේසි සමයේ ජුසේ වාස් ශාන්තුවරයාගේ කාර්යභාරය ගැන ඉතිහාසය මතක් කර ගන්නවා නම් කතෝලික නායකයන්ට ද හොඳ ය. 

තමන්ගේ අතීතයේ තමන් චූල සම්ප්‍රදායන්ව සිටියදී කළේ ද අන්‍යාගමිකයන් සිය ආගමට බඳවා ගැනීම බව අමතක කර මිනිසුනට ආගම් මාරු කිරීමට හෝ ආගම් නො අදහා ඉන්නට ඇති ප්‍රජාතාන්ත්‍රික නිදහසට බාධා කරන පියවර යෝජනා කරමින් සිටින ආගමික නායකයිනි, අපට කීමට ඇත්තේ ඔබ සියල්ලෝ ම සිටගෙන සිටින්නේ තමන්ගේ වලගා මත බව ය. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-15

කොස්ගොඩ කැස්බෑවා - රටක ම කෙස් බෑවා

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් අතුරුදහන් වූ සුදු ඇල්බිනෝ කැස්බෑවකු ගැන ජාත්‍යන්තර මට්ටමේ ආන්දෝලනයක් ඇති විය. 

අංක එක මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වනාහි නීති විරෝධී තැන් ය. එහෙත්, ආණ්ඩුව කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමේ කාර්යය හරියට කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි නිසා ඔවුන් කරන දෙයින් ‍‍සේවයක් වන්නේ යයි ද අවශ්‍ය නම් තර්ක කළ හැකි ය. 

එහෙත්, දැන් ඉතින් මේවා අවසන් කරන්නට කාලය එළැඹ තිබෙන බව මෙම සුදු කැස්බෑ සිද්ධිය දෙස් දෙයි. මන්ද, කැස්බෑ හොරා එහි හිමිකරු ම බව ඔප්පු වී තිබෙන හෙයිනි. ඔහු කැස්බෑවා සිය දුවගේ ගෙදර සඟවා බොරු පැමිණිල්ලක් කර තිබේ. 

ඔහු කැස්බෑවා හොරෙන් විකුණන්නට හැදුවා විය හැකි ය. මාලදිවයිනේ හූනියම් කරන්නට මේ සුදු කැස්බෑවුන් යොදා ගන්නා බව වාර්තා විය. මෙම සිද්ධියට පැටලුණ ගායක අමල් පෙරේරා තැත් කර තිබෙන්නේ මාලදිවයින් ජාතිකයකුට කැස්බෑවා විකිණීමේ බ්‍රෝකර් වැඩකි. එය හරි ගිහින් නැත. හරි ගියා නම් අමල් පෙරේරා කැස්බෑවා මාලදිවයිනට පන්නන්නට සැලසුම් කරගෙන සිටි ආකාරය ද පරීක්ෂා කළ යුතු ය.

ලෝකේ ඕනෑ තැනක තිබෙන මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගන්නා ලංකාවේ අයියලා වුණත් කැස්බෑ හූනියමකට සෙට් වුණා වෙන්නට බැරි නැත.

වනජීවී ඇමති විජිත් විජයමුනි සොයිසා මෙම කැස්බෑ ‍හොරා සමග දෙසැම්බරයේදී පුවත්පත් සාකච්ඡාවක් ද තිබ්බේ ය. ඒ අැයි? සෙවිය යුතු කරුණු මේවා ය.

නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු විසින් නායකත්වය දෙන ලද පොලිසියේ තරුකාරයන් රැසකින් සමන්විත කණ්ඩායමක් කැස්බෑවා සොයා මාර ගේමකට සෙට් වුණත්, කැස්බෑවා සිටියේ මධ්‍යස්ථාන හිමියා‍ගේ දූගේ ගෙදරයි. එතැන සොයන්නට ඔච්චර පොලිස් කණ්ඩායමක් මාසයක් ම දිව්වේ ඇයි? ඒකත් රසවත් කරුණකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

හාමුදුරුවෝ හරි ආඳා

අද පෝය නොවැ. උදේ පාන්දර ම අතගැහුවේ හාමුදුරු කෙනෙකුගේ සම්මුඛ සාකච්ඡාවක් පරිවර්තනය කරන්න.

පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ තමන්ට සූක්ෂම ජීව විද්‍යාව ගැන උපාධියක් තිබෙනවා යි කියාගෙන විද්‍යාව ළාවට බුදු දහමට මුසු කරමින් බණ කියා ජනප්‍රියත්වය දිනා ගත් කෙනෙක්. ඒ කාලේ චිචිත්‍ර ධර්ම කථිකයන් 2004දී ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට ගිහින් පළමු රැස්වීමෙදි ම මර්වින් සිල්වාගේ ඇට පුසි කිරීමේ දානයකුත් වැළඳුවා. ඒත්, මොකක්දෝ හේතුවක් නිසා සිරිධම්ම හාමුදුරුවෝ ඒ රැල්ලේ හිටියේ නැහැ.

ඒ හාමුදුරුවෝ අසපුවක් එහෙම සැප පහසුවට හදාගෙන ඉන්න ගමන් ඔන්න පසුගිය දවසක දුන්නා නියම මාකටිං ප්‍රහාරයක්. එයා රහත් වුණා ය කිව්වා.

ඉතින් කට්ටිය රෙදි උස්සගෙන බනින්න පටන් ගත්තා. අපි නම් ඉතින් ඔව්වා ගැන උපේක්ෂාවෙන් බලන නිසා අපට ඉතින් රහත් වුණත් එකයි, නැතත් එකයි. මට නම් ඉතින් මේ ආත්මෙ විතරයි. නැවත ඉපදීමක් වුණත්, නැතත්, දැන් ඉන්න මට ඒක අදාළ නැහැ නේ. මේ ආත්මේ මිනිස්කමින් යුක්තව ජීවත් වීම තමයි, අපේ ඩියුටිය. සුභාෂිතයේ එන පහත සඳහන් වන කවිය මගේ චින්තනයේ මූලධර්මයක්.

ඇතත් නැතත් පරළොව සුදනෙනි මහත
හ‍ලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
ඇතත් එපරළොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

කොහොම වුණත්, සිරිධම්ම හිමියන් ගැන ලියන්න හිතුණේ මව්බිම පත්තරේ පළ වන මෙම සම්මුඛ සාකච්ඡාව නිසායි. ඇත්තම කිව්වොත් මෙම සම්මුඛ සාකච්ඡාවේ කිසිදු අලුත් දෙයක් නැහැ. ඒ වුණාට මම ඒකට කැමති හේතුවක් තිබෙනවා.

පුවත්පත් කලාවේදියාට උවමනා පත්තරයේ හොඳට විකුණා ගන්න පුළුවන් ප්‍රකාශයක්. ඒත්, හාමුදුරුවන්ගෙන් නො ලැබෙන්නේත් එයමයි. ටික දුරක් යනකොට ඉන්ටර්වීවර් කවුද ඉන්ටර්වීවී කවුද කියා පැටලෙන ඩයලොග් එකක් මේක.

හාමුදුරුවෝ මාර ආඳා. හැබැයි, ඔහු කරන ප්‍රකාශවල යටතලය කියවා එහි තිබෙන උපහාසය රස විඳින්න පුළුවන්. එහි ජීවිතය ගැන ගැඹුරු අරුත් පවා තිබෙනවා. මෙන්න උදාහරණයක්:

වීඩියෝ එකේදී අර වගේ දෙයක් කළේ ඇයි? එතකොට මහණකම ගැන දැනගෙන හිටියේ නැද්ද? මහණකමේ නුසුදුසු දේවල් මේවයි කියලා දැනගෙන හිටියේ නැද්ද?

හරි ඉතින් ඔබතුමා මට කලින් හමුවුණා නම් ලොකු දෙයක් මට මහණකම ගැන ඉගෙන ගන්න.. හහ්... හහ්...

මට මහණකම ගැන උගන්න උගන්න ඉන්න ඕන නෑ. උපදෙස් දෙන්න මට අවශ්‍ය නෑ? මම අහන්නෙ භික්ෂුවකට නොගැළපෙන දේවල් කළේ ඇයි? මිනිසුන්ට පව් පුරවන්නේ ඇයි?

හැබැයි මෙහෙමයි. සංවර විය යුතුයි භික්ෂුවක්. භික්ෂුවකට පන්සලේදී තමන්ගේ ආරාමේදී හිනාවෙන්න බැරිද?

එතකොට දැන් කියනවද අර වීඩියෝවෙ හිනාව හරිද කියලා?

මම කොහොමෙයි හිනාව හරිද වැරැදිද කියලා දන්නේ? ඒක මිනිස්සු තීරණය කරයි. මට ප්‍රශ්නයක් නෑ...

පිටිදූවේ සිරිධම්ම හිමිට තමන්ගේ හිනාව, හැසිරීම හරිද වැරැදිද කියලා තීරණය කරන්න බැරි නම්?

ඔව්...

ඒකේ තේරුම මොකක්ද? කිසිම දෙයක් දන්නේ නෑ කියන එකද?

ඒක ප්‍රශ්නයක්.. මං මොකක්වත් දන්නේ නැති මිනිහෙක් තමයි. මං දන්න එක දෙයක් තියෙනවා. ඒ මුකුත් දන්නා නැති බව.

ඒක දන්නෙත් නෑ?

ඒක ඔබතුමාට කැමැති විදියට හිතාගන්න. හහ්... හහ්... හහ්.... එක එක ඒවා හිතලා ඒවාට පූර්ව නිගමන කරලා ඒවා හරියි කියලා හිතාගත්තට මට කමක් නෑ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-14

හාමුදුරු කෙනෙක් ගෑල්ලමයෙක් එක්ක ගිටාර් ගැහුවා ම ඔච්චර නටන්නේ මොක ද?


Photo courtesy: 33000.lk
බොදු බල සේනාවට සම්බන්ධ හාමුදුරු කෙනෙක් කොට කලිසම් ඇඳ නිරූපිකාවක් සමග ගිටාර් ගැහුවා ය කියා මේ දිනවල ලොකු හා හූවක් තිබේ. 

කිසිදු ආගමක් නො අදහන මට හාමුදුරුවරුන් ගැන ආගමික භක්තියක් නැත. තමන්ට වඳින්නැයි ඔවුන් මට බල කරලාත් නැත. සම්මාදමේ එන හාමුදුරුවරු පුටුවල සුදු රෙදි එළන තෙක් බලා ඉන්න එකට නම් මම කැමති නැත. 

බොදු බල සේනාව යනු ආගමික සංකේත භාවිතා කරන සටන්කාමී දේශපාලන සංවිධානයක් මිස ආගමික සංවිධානයක් නො වේ. කොටින් ම සිවුර යනු මේ සේනාවේ නිල ඇඳුම වැනි දෙයකි. ඒ නිසා එහි සිටින හාමුදුරුවරුන්ගෙන් ආගමික සිල්වත්කම් බලාපොරොත්තු වීම තේරුමක් රහිත ය.

දේශපාලන ක්‍රියාධරයන් පිරිසක් ලෙස ඔවුන් සතුටින් තැබීම ඇත්තෙන් ම මේ සමාජයට හිතකර දෙයකි. තුරුණු වියේ හැඟීම්වලින් ආස්වාදය ලැබීමට ඔවුන්ට ඉඩ දිය යුතු ය. 

ආදරය සිර කර තබන මේ සමාජයේ ඇති සියලු අගතීන් පිටු දැකිය යුතු ය. ආදරය, නිදහස විඳින මිනිසුන් අගය කළ යුතු ය. 

මා සිතන්නේ ජනමාධ්‍ය විසින් ප්‍රශ්න කරමින් තිබෙන්නේ බොදු බල සේනාවේ දෙබිඩි පිළිවෙතයි. ඒ කියන්නේ අනුන්ට පීඩනය පතුරුවමින් තමන් ෆන් ගැනීමේ තිබෙන කුහකත්වයයි. මම නම් කියන්නේ මෙවැනි අන්තවාදී අදහස් දරන අය මේ අන්දමින් සමාජානුයෝගී වීම ඉතා හොඳ දෙයක් බවයි. 

ලිංගික ආශාවන් ආදියෙන් තෘප්ත මිනිස්සු, ලිංගික පීඩනයෙන් විඳවන්නන්ට වඩා කුහකකමින් අඩු ය.

මට ආගමක් අවශ්‍ය නැති වුණත්, ආගම් අවශ්‍ය අය එය තබා ගත යුත්තේ තමන්ගේ ජීවන වින්දනය සුබවාදී ලෙස පාලනය කරන තැනක ය. 

සිංහල සමාජයේ ඉස්සර නම් තිබුණේ එහෙම ය. අපේ ගම්වල මිනිස්සු පෝයට පන්සල් ගිය හ. හඳපානේ දඩයමේත් ගිය හ. අනියම් සම්බන්ධකම් ද පැවැත්වූ හ. රා, අරක්කුත් බී හරක් මසුත් කෑව හ. ගම්වල සම ලිංගිකයෝ ද, නපුංසකයෝ ද, ළමා අපචාරකරුවෝ ද සිටිය හ. හොඳ වුණත්, නරක වුණත්, එදා ලිංගික අධ්‍යාපනය වූයේ අද ළමා අපචාර ලෙස හඳුන්වන දෙයයි.

ගැමියන් පුරවැසියන් වීම තුළ ජීවිත සම්බන්ධයෙන් යම් නවීන පර්යාවලෝකයන් තිබේ. එහෙම වුණා ය කියා අපි සිරගත විය යුතු නැත. 

සිංහල බෞද්ධ සමාජයට අලුත් සංසිද්ධියක් වන ආගමික අන්තවාදයට ද මෙම කරුණු අදාළ ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-12

හෙනහුරාගේ කාංසාව හා නලින් දිල්රුක්ෂගේ සාංකාව


මේ අපගේ දිනමිණ පුවත්පතේ බ්ලොග් පිටුව හෙවත් වලිගය විසින් බල්ලා වැනීම කියන බ්ලොග් සටහනේ වැටුුණු කමෙන්ට් දෙකක්.


තරහ නැතුව "කාංසාව" කියන එක මොකක්ද කියල පැහැදිලි කරල දෙනවද?

Replies



  1. සාංකාව යන්න වැරදිලා වැටිලා නේද
     
මෙය භාෂාව ගැන රසවත් මාතෘකාවක් සපයනවා.

මම භාෂා විශාරදයෙක් නෙමෙයි. (බාසා වෙල්ලෙකුත් නෙමෙයි) ඒත්, මේ වචන දෙක ගැන මගේ අදහසයි මේ. මම ඉතින් පාලි සංස්කෘත දන්නේ නැහැනේ. මට ස්පර්ශ වෙන්නේ ඩොලර්වලට කිට්ටු, බටහිර, අධිරාජ්‍යවාදී, යුදෙව්, අරව මේව කියන ඉංගිරිසිය.

මම හිතන්නේ ඉංග්‍රීසියෙන් මේ වචන දෙකට කිට්ටුවෙන් සමාන වෙන්නේ මෙන්න මේ වචන.
  
සාංකාව = melancholy

කාංසාව = anxiety

සාංකාව කියා ව්‍යවහාර වෙන්නේ යමක් අහිමි වීම නිසා ඇති වන අධික දුකටයි.

කාංසාව කියා කියන්නේ අධික ලෙස ආසා කරන යමක් අත් පත් කර ගැනීමට නො හැකි වීම නිසා ඇති වන දුකයි. 

මම බ්ලොග් සටහනේ යොදන්නේ කාංසාව කියන වචනයයි. උදාහරණයක් ලෙස සමාජවාදීන්, වාමාංශිකයන් ලෙස පෙනී සිටින ඇතැමුන්ට ධනවාදය ගැන තිබෙන්නේ කාංසාවක්. විමල් වීරවංශලා වැනි අයට වෙලා තිබෙන දේ තමයි, තමන්ගේ කාංසාව සුව වීම.

කවුරුහරි සමීප ම කෙනෙක් වියෝ වුණා ම අපට ඇති වන්නේ සාංකාවයි.

මධුර ශබ්දකෝෂයේ මේ වචන දෙක සඳහාම anxiety හා වෙනත් වචන යෙදී තිබෙනවා. 

මේ වචනවල නිරුක්තිය ගැන මට ඒ තරම් අදහසක් නැහැ. ඒත්, සංකා කියා තවත් කිට්ටුවෙන් යන වචනයක් තිබෙනවා. එහි තේරුම සැකයයි.සැක සංකා කියා යුගල පදයක් ලෙසත් මෙය යෙදෙනවා.

සාංකාව එන්නේ ගැමි ව්‍යවහාරයෙන් නිසා මම හිතන්නේ නැහැ මෙහි සංස්කෘත මූලයක් තිබේ ය කියලා. සමහර විට දෙමළ මූලයක් තිබෙන්න පුළුවන්. 

(ඉහත ඡායාරූපය කමෙන්ටුව කොපි පේස්ට් කරන විට අහම්බෙන් ආ එකක්. මම ඒක එහෙමම තිබ්බා. මේවා ඉතින් බ්ලොග් නේ. මේවායේ ආචාර ධර්ම වෙනස්.)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Read in English blog.parakum.com

2014-01-11

දිනමිණ පුවත්පතේ බ්ලොග් පිටුව හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

අජිත් පැරකුම් ජයසිංහ නම් බ්ලොග්කරුවා බ්ලොග් ලිවීමෙන් ඉපැයූ මුදල්
බ්ලොග්කරණය තුළ තිබෙන සුවිශේෂත්වය වන්නේ එහි තිබෙන අදහස් ප්‍රකාශනයේ නිදහසයි. තවත් අයකුගේ සංස්කරණයකට හෝ ව‍ාරණයකට ලක් නො වෙමින් තමන්ගේ අදහස විවෘතව, නිදහස්ව ප්‍රකාශ කිරීමේ අවකාශය බ්ලොග්කරණය විසින් සපයා තිබේ. 

බ්ලොග්කරණය විශේෂයෙන් ම ජනප්‍රිය වූ‍යේ සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් බැහැර කරන ලද සන්නිවේදකයන් පිරිසක් අතරයි. සිංහල බ්ලොග්කරුවෝ අන්තර්ගතය, ශෛලිය, භාෂාව ආදිය සම්බන්ධව සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් නිර්මානය කරන ලද සීමා හිතුවක්කාර ලෙස අතික්‍රමණය කරන ලදී. 

එසේම, බ්ලොග්කරණයේ තිබෙන අනෙකුත් සුවිශේෂ ලක්ෂණය වන්නේ පාඨකයන්ට අදහස් ප්‍රකාශ කරන්නට අවකාශය සපයමින් ඔවුන් හා ඍජුව සම්බන්ධ වීමයි. සංවාද ගොඩනැගීමයි. මෙය සම්ප්‍රදායික ජනමාධ්‍යවලට අත්පත් කර ගැනීමට නො හැකි තත්වයකි. 

බ්ලොග්කරුවන් අතර දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ජාලගතවීමයි. අන්තර්ජාලය හරහා සිදු වුණ ජාලගතවීම්වලට අමතරව සුහද හමුවීම් සිදු වුණ අවස්ථා ද තිබේ. ඒ සුහද හමු වීම් සිදු වුණේ ද බ්ලොග් අවකාශයන්ගේ ලක්ෂණ තිබෙන ගල්කිස්ස වෙරළ වැනි පොදු අවකාශයන් තුළ ය. 

සිංහල බ්ලොග් අවකාශ‍යේ ද ඊර්ෂ්‍යාව, ද්වේෂය, අනෙකා කපාගෙන යන තරගය, කුමන්ත්‍රණ, මාකටිං ප්‍රෝඩා වැනි නිශේධනීය දේ නැතුවා නො වේ.

දැන් සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් බ්ලොග් ද ස්පර්ශ කරමින් තිබේ. රාවය, ජනරළ වැනි පත්තර තෝරා ගත් බ්ලොග්කරුවන්ගේ ලිපි කලක සිට පළ කරති. ලක්බිමට චානුක වත්තේගම ද බ්ලොග් හඳුන්වා දෙන ලිපි මාලාවක් ලියුවේ ය. දැන් අලුතින් ම දිනමිණ ද බ්ලොග්වලට සතියකට පිටුවක් වෙන් කර තිබේ.

බ්ලොග්කරුවන් අතර මෙහෙම දෙයකුත් තිබේ. තමන් විකල්ප මාධ්‍ය අවකාශයක ක්‍රියාත්මකව සිටින්නේ ‍සම්ප්‍රදායික මාධ්‍ය අවකාශයේ තිබෙන ගැටලු රැසක් නිසා බව ඔවුහු හරි හැටි නො දනිති. ප්‍රධාන ම ගැටලුව සම්ප්‍රදායික ජනමාධ්‍යවල බලධාරීන්ගේ හා සංස්කාරකයන්ගේ කෲර ආධිපත්‍යවාදයයි. ඔවුන් පළ කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදි තෝරා ගත් ප්‍රකාශන පමණි. 

දිනමිණ පුවත්පත විසින් ආරම්භ කර තිබෙන බ්ලොග් පිටුව බ්ලොග්කරුවන්ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන බව පෙනේ. බ්ලොග්කරුවන්ගේ සුහද හමුවකින් පසු සති ගණනාවක් ම යන තෙක් බ්ලොග් පිරී යන්නේ ඒ සුහද හමුව ගැන සටහන්වලින් වන්නා සේ ම මේ දිනවල බ්ලොග්වල ලියැවෙන්නේ දිනමිණේ බ්ලොග් පිටුව ගැනයි. 

දැන් බ්ලොග්කරුවන් අතරින් ඇතැමෙක් උත්සාහ කරමින් සිටින්නේ දිනමිණේ පළ කර ගත හැකි බ්ලොග් සටහනක් ලිවීමටයි. දිනමිණේ බ්ලොග් පිටුව කරන අයියාව අල්ලා ගැනීමට ද කට්ටිය කරන උත්සාහය එක්ක ඒ අයියාට ද මා‍ර මාකට් එකක් හැදී තිබේ. මානසික අල්ලස් නම් පෙනෙන්නට ම තිබේ. තව මොන මොනවා වේදැයි අපි නො දනිමු.

විකල්ප ලෙස පෙනී සිටින ‍බොහෝ අයගේ අවිඥානය තුළ තිබෙන්නේ තමන්ට අත් පත් කර ගත නො හැකි ප්‍රධාන ධාරාව ගැන කාංසාවකි. 

මේකත් හරියට අර සමාජවාදීන්, වාමාංශිකයන් බොහෝ දෙනෙකු තුළ ධනවාදය ගැන තිබෙන කාංසාව වගේ ය. 

සමාජවාදීන් බොහ‍ෝ දෙනෙකුට ධනපති පංතියේ දොරටු විවෘත වූ කල සමාජවාදය අමතක වන්නා සේ ම බ්ලොග්කරුවන් බොහෝ දෙනෙකුට ද ප්‍රධාන ධාරාව විවෘත වූ විට තමන් බ්ලොග් කළේ ඇයි ද යන්න අමතක වන්නට ඉඩ තිබේ.

මා සිතන පරිදි නම්, බ්ලොග්කරුවන් අලුත් වටයකින් සම්‍ප්‍රදායික මාධ්‍යවල පාලනයට යටත් විය යුතු නැත. 2006දී පමණ මම ලක්බිම නිව්ස් පුවත්පතේ සම්මුඛ පරීක්ෂණයකට ගියෙමි. මගේ පළපුරුද්ද ගැන කියන විට මම වාර්තාකරණයේ යෙදුණු ඉංග්‍රීසි වෙබ් අඩවියක් ගැන සඳහන් කළෙමි. එය පහත් කොට තැකීම සඳහා රාජ්පාල් අබේනායක විසින් භාවිතා කරන ලද වචනය වචන වන්නේ 'ඉට්ස් අ බ්ලොග් ඩන් බයි දැට් ...............' යන්නයි. එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා මට කියා තිබූ පරිදි රාජ්පාල්ද කාලයක් එහි වැඩ කර තිබිණි. ඇත්ත, නැත්ත ගැන මට ගැරන්ට් කළ නො හැක.

වැඩේ මේක ය. ඒ කාලයේ බ්ලොග් පමණක් නොව වෙබ් අඩවි පවා ප්‍රධාන ධාරාවේ මාධ්‍යකරුවන්ට විහිළු විය. අද තත්වය වෙනස් ය. සිංහල බ්ලොග් අවකාශය සම්ප්‍රදායික මාධ්‍යයන්ට නො තකා නො හළ හැකි අභියෝගයක් වුණේ සිංහල බ්ලොග්කරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා ය. මුදලට ‍නොව තෘප්තිය පිණිස දිගට ම ලියූ නිසා ය. (මේ කාරණය මට නම් අදාළ නැත. මන්ද, සහෝදර බ්ලොග්කරුවන් කියන පරිදි මට මාර විදියට ඩොලර් ලැබෙනවා ය. ඕක ඉතින් නෑ කියනවාට වඩා සතේ අතේ නැතත් ඩොලර් තිබෙනවා වගේ ඉන්න එක හොඳ ය.)

මගේ ලිපි නම් දිනමිණේ පළ වේ යයි බලාපොරොත්තු විය නො හැකි ය. හැබැයි ඉතින් ගමක ජීවත් වන මට වුණත් පුවත්පතක ලිපියක් පළ වුණා ම ගමේ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර උනන්දු කරනසුළු බව නො කියා නො හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-10

එදා වේල ගවර්න්මන්ට්ස්

රාජ්‍ය පාලනය කියන්නේ ලේසි කෙළියක් නොවේ.

බොහෝ අය හිතන්නේ පාලකයන් කරන්නේ මංගල කියන ආකාරයෙන් හා පරිමාණෙන් කොමිස් ගැහිල්ල විතරක් ය කියා ය. නැත. කවදා හෝ ඒ දූෂණ හෙළි වන එක ද වළක්වා ගත යුතු ය. ඒ සඳහා දිගට ම බලය රැක ගැනීම ද අවශ්‍ය ය. ඒ සඳහා ජනතාව ගොනාට අන්දවා ගන්නට නම් අටෝරාශියක් ගේම් ගැසිය යුුතු ය. තව විශාල පිරිසකට මේ දූෂණයේ දොරටු විවර කර දිය යුතු ය. මහජනතාවට ද සූප්පු කරන්න‍ට කටු බෙදා දිය යුතු ය.

එපමණක් නො වේ. රට දියුුණු වෙන බව ද පෙන්විය යුතු ය. ඒ සඳහා සංඛ්‍යා ලේඛන අවශ්‍ය ය. පමා වී හෝ ලංකාවේ සංචාරක කර්මාන්තය සිය ඉලක්ක සපුරා ගත් බව පෙන්වන්නට ආණ්ඩුව සමත් වී තිබේ. 

ගණන් හදන එක ලේසි කෙළියක් නොවේ. පමා වුණේ ඒ නිසා ය. නැතිනම් දොළොස් ලක්ෂය සම්පූර්ණ කළ සංචාරකයාට මල් මාලයක් දමන්නට තිබිණි. දැන් ඉතින් ඒ මල් මාලය තැපැල් කර අරින්නට හරි ඕනෑ ය. 

මංගල සමරවීර නම් ගණන් හදන්නට හරියට දන්නවා ය. ඔහු ආණ්ඩුවේ ලොකු ලොක්කන් ගසා කා ඉතිරි කර ඇති ධනය සතේට විස්තර කරයි. ගසා කෑ අයටවත් ඒ ගණන් හරියට හදා ගන්නට අමාරු ය. මංගල ඉතින් චන්ද්‍රිකාගේ කාලේ ඒ කටයුතු ගැන හොඳින් අත්දැකීම් ලබා තිබේ. 

මේ අව් අස්සේ තංගල්ල ප්‍රාදේශීය සභාපති වැනි මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයන් බේරා ගන්නට ද තිබේ. බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු හා ඔහුගේ පෙම්වතිය දූෂණය කර මරා දැමීම පිළිබඳ බ්‍රිතාන්‍යයේ බලපෑම් මත නඩු දැම්මාට මෙවැනි අපරාධකරුවන් ආරක්ෂා කිරීම මූලධාර්මිකව අවශ්‍ය දෙයකි. මන්ද, එම තලයේ සහයෝගය තහවුරු කර ගන්නට එය අවශ්‍ය ය. මහජනතාව මත ආධිපත්‍යය විහිදුවන්නට ඔවුන් නැතිව බැරි ය. රටින් පිට කර හෝ ඔහු රැක ගන්නා ක්‍රමයක් ගැන බැලිය යුතු ය.

ඒ අස්සේ යුද අපරාධ රැප් කරන්නට ඇමරිකානු නිලධාරියෙක් ලංකාවට ඇවිල්ලා ය. ඇමරිකාවට බනින්නට ද තිබේ. වලියට යවන්නට හිටි ඥානසාරත් සයිලන්ස් ය.ජනාධිපති මැද පෙරදිග ඉන්න අව් අස්සේ මෙහේ කපටි මුස්ලිම් උලමාවරු හලාල් සහතික දෙන්න කොම්පැනියක් ප්‍රසිද්ධ කරලා ය.

ඒ අස්සේ මෙහේ ආර්ථිකයේ දෙකොණ ගැට ගසන්නත් තිබෙනවා ය. කොහොමින් කොහොම හරි දවසින් දවස ඉතින් ආණ්ඩුවත් ඉන්නවා ය. මේ රටේ ජනතාව ආණ්ඩුවට ඡන්දෙත් දෙනවා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-09

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍යයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නව තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. 

ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංගත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් කර තිබේ. 

විශේෂයෙන් ම සරත් ෆොන්සේකා විසින් ලසන්ත වික්‍රමතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කළ කණ්ඩායමක් ගැන හෙළිදරව් කරයි.

වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. එය ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මන්ද, මෙම ඝාතන සම්බන්ධයෙන් ඉතා බලවත් පුද්ගලයන්ගේ නම් කියැවී තිබේ. ඔවුන්ගේ බල අවකාශයන් තුළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන්නට නම් එය අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

පලස්තීනය සමග දුවමින් ඊශ්‍රායලය සමග දඩයම් කිරීම

ජනාධිපතිතුමා පලස්තීනයට ගියේ ය. එ‍රට ඉහළම පෙළේ සම්මානයකින් පිදුම් ලැබුවේ ය. 

ඉන් පසුව ඊශ්‍රායලයට ද ගියේ ය.

මා හිතන්නේ ජනාධිපතිතුමා පලස්තීනයට නිදහස ලබා ගන්නට මෙන් ම ඊශ්‍රායලයට පලස්තීනය මර්දනය කරන්නට ද උදව් කරයි. 

පලස්තීනයේ වචීපරම මිතුරකු ලෙස එතුමාට කීර්තියක් තිබේ. 

සිංහල අපි ඉතින් කොහොමත් එවැනි ය. සුළු ජාතීන් විෂයෙහි කටයුතු කරද්දී අපි ඊශ්‍රාලය අනුගමනය කරන්නෙමු. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාවෙන් චෝදනා එල්ල වන විට අපි පලස්තීනය මෙන් අනුකම්පාව යදිමු. 

'හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම වගේ'  යයි ප්‍රස්ථා පිරුළක් ඉංග්‍රීසියෙහි තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-08

තෙන්නමරවාඩිය ගැන මතකය

ස්තුතියි‍: සිලෝන් ටුඩේ / මාධව කුලසූරිය
තෙන්නමරවාඩියට ගිය මේ ගමන මතක් වුණේ මෙන්න මේ ඡායාරූපය දැකලා.

තෙන්නමරවාඩිය කියන්නේ මුලතිව්වලට දකුණින් නැගෙනහිර වෙරළේ කෝකිලායි කලපුව අද්දර පිහිටි ගමක්.

එතැනට ගියේ මම පදවියේ වැඩ කරපු, යුද්ධය උත්සන්න වෙලා තිබුණු 1995 හෝ 1996 වගේ කාලෙ. එතකොට මම පදවියේ ලංකාදීප හා යුක්තිය වාර්තාකරු ලෙස වැඩ කළා.මම ඒ ගමන ගැන යුක්තියට ලිව්වා මතකයි.

පදවි පරාක්‍රමපුර හිටි, හමුදාවේ නිලධාරීන් සමග යාලුකම් තිබුණු ව්‍යාපාරිකයකු වූ සනත් එක්ක තමයි මම ගමන ගියේ. සනත්ගේ නැගණියක් ඒ දිනවල මම උගන්වපු පන්තියක හිටියා. 

පදවි ශ්‍රීපුර පසු කරලා සිංහපුර කියන පැරණි හමුදා කඳවුරකුත් පිහිටා තිබෙන පැරණි සිංහල ගම පසු කරලා කැළෑබද පාරකයි කෝකිලායි ආසන්නයට යන්න ඕනැ. කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වෙයි ද කියන්න බැහැ. සනත්ගේ සීඩී 125 ට්වින් බයිසිකලයෙන් වලවල වැටි වැටී ගිහින් කෝකිලායි කලපුවේ මෙහා කෙළවරේ තොටුපලටත් ගිහින් ධීවරයන් කී‍පදෙනෙකුත් එක්කත් කතා කරලා, කොක්කුතුඩුවායි කියන ගමේ හමුදා කඳවුරෙන් දවල්ට බතුත් කාලායි ආවේ. ඒ ගම ඒ වන විට හමුදාව විසින් ජයසිංහපුර කියා නැවත නම් කරලායි තිබුණේ. ගමක් කිව්වාට සිවිල් මිනිස් පුළුටක් හිටියේ නැහැ.

පදවි ගොවි ජනපදය පිහිටෙව්වේ 1950 දශකයේදී නේ. ඊට කලින් මේ පැත්තේ දුරාවාරේ කැළෑ ගම් තිබිලා තිබෙනවා. ඒ ඇතැම් ඒවා වන්නි වැදි ගම්මාන. දැන් පරාක්‍රමපුර කියන හරියට ඉස්සර කියා තිබුණේ වන්නච්චිය කියලායි. පදවිය බෝගහහන්දියෙන් හැරිලා පුල්මුඩේ පාරේ කිලෝ මීටර් 10ක් විතර ගියාම හමු වන පරණ මැදවච්චිය කියන්නේත් පැරණි ගමක්. මේ ගමේ පාසලත පැරණි පාසලක්. මට ආරංචියක් ලැබුණා, මේ පාසලේ පරණ ලොග් පොතක් ගැන. දැක ගන්න නම් බැරි වුණා. එහි තිබුණාලු 1948 නිදහස් උත්සවය ගැන සටහන් පවා. ඒ ආසන්න කාලයේ මේ පාසලේ ළමයි උළු ගෙයක් බලන්න ගිය චාරිකාවක් ගැනත් එහි සටහනක් තිබුණු බව එය දුටු කෙනෙක් කිව්වා. ළමයි උළු ගේ බලන්න ගිහින් තිබෙන්නේ මේ තෙන්නමරවාඩියට. 

ඒක වෙරළ ආසන්නයේ තිබුණත්, හරි සරුසාර ‍ගොවි ගමක්. එහි මිනිස්සු පදවි ශ්‍රීපුර පැත්තේ අලුතින් පිහිටවපු ‍ගොවි ගම්මාන එක්ක සම්බන්ධතා පවත්වලා තිබෙනවා. ඒත්, අසූව දශකයේ අගභාගයේදී, ඒ කියන්නේ ඔය ඩොලර් ෆාම්, කෙන්ට් පාම් ප්‍රහාර කාලේ, වැඩි දුරටත් කියනවා නම්, අර මාතර කුරුඳු පොලු සිද්ධියේදී වෙඩි තැබීමකට රිමාන්ඩ්ගත වුණ හර්මන් මාලිංග ගුණරත්න කියන ඔය පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ තාත්තා එහෙම ගාමිනී දිසානායකලාත් එක්ක එකතුව වැලිඔය ආරක්ෂක ජනපදය පිහිටුවන්න මුලපුරපු කාලේ මේ තෙන්නමරවාඩි ‍ගමේ මිනිසුන්ව පහර දී පන්නලා තිබුණා.ඒ සිද්ධිය ප්‍රබල වන්නේ ඒ ගමේ ඉතිහාසයත් එක්ක සලකා බැලුවාමයි.

1994, 95 වගේ ක‍ාලේ සාම වකවානුවක පදවියේ කට්ටියක් එක්ක ඒ කාලයේ රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ වූ ධර්මසිරි බංඩාරනායක එක්ක ගිහින් මේ ගම රූගත කළා. ඒත්, මම හිතන්නේ ඒ වාර්තා චිත්‍රපටය හැදුණේ නැහැ. මම හිතන්නේ තල් ගස් අතරින් ඉර බැහැගෙන යන සුන්දර හැන්දෑවක අති සුන්දර රූප පෙළක් ඒ කැමරාවල සටහන් වුණා. ඒ කාලයේ මා සතුව කැමරාවක් තිබුණේ නැහැ.

තෙන්නමරවාඩියේ ගමේ ගරා වැටුණු පාසල, කෝවිල හා නිවෙස් මගේ සිතේසදා නො මැකෙන අන්දමින් ඇඳුණු රූප කීපයක්. ජාතික ප්‍රශ්නය ගැන ජවිපෙන් ගෙනා ජාතිවාදී ස්ථාවරයන් වෙනස් වෙන්නත්, කොටින්ට බියේ කැළෑ වැදෙමින් කාලයක් ගෙවලාත්, පදවියේ නිහාල් වගේ හොඳ මිතුරන් කොටි බෝම්බවලට ගොදුරු වී මිය යනවා දැකලාත් යුද විරෝධී ස්ථාවරය වෙනස් නො වී තබා ගන්නත් මම හිතන්නේ ඒ රූප ටික හේතු වුණා. 

කැමරාවට වඩා මතකය ප්‍රබලයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-01-06

මීළඟ ජනාධිපතිවරණයේදී කුමක් වෙයිද? මන්ත්‍රාචාර්ය අජිත් පැරකුම් ජයසිංහගේ විග්‍රහය

විශාල  කර බැලීමට පිංතූරය මත ක්ලික් කරන්න
මම කේන්ද්‍ර තඹ දොයිතුවකට විශ්වාස නො කරමි. ලංකාවේ දේශපාලනයේ ඉහළ තලය මේ වන විට බොහෝ දුරට කේන්ද්‍ර විශ්වාස කරන මිථ්‍යාදෘෂ්ටීන්හි ගැලී සිටින බව පෙනේ.

එහෙත්, පසුගිය දිනවල ජ්‍යෝතිෂකරුවන් විසින් ඉදිරි ජනාධිපතිවරණය ගැන පුවත්පත්වල පළ කර තිබූ අනාවැකි කීපයක් මම අධ්‍යයනය කළෙමි. 

මගේ නිරීක්ෂණය අනුව, මෙම ශිල්පය අනුව, ජ්‍යෝතිෂකරුවාට තමන් ළඟට එන පුද්ගලයාව සතුටු හෝ බියපත් කළ හැකි අන්දමින් සිය විග්‍රහය රෝල් කර ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. 

මගේ නිරීක්ෂණයට ලක් වූ මව්බිම පුවත්පතේ පළ කර තිබුණු අනාවැකි අනුව, කාගේත් විග්‍රහ පදනම් වන්නේ මූලික කාරණා කීපයක් මතයි. එනම්, ලංකාවේ කේන්දරය අනුව නොවැම්බරයේ සෙනසුරු මාරුවක් තිබේ. ජුනි මාසයේ බ්‍රහස්පති උච්චස්ථානයට පැමිණීමක් ද සිදු වේ. එසේම 2014 කාන්තාවන් බලවත් වන වසරකි.

මෙම කරුණු මත පදනම්ව ජ්‍යෝතිෂකරුවන් තම ගනුදෙනුකරුවන්ගේ හිතවත්කම් අනුව තව තව අතුරු කාරණා පටලවා ගනිමින් විග්‍රහය සකසන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. ජනාධිපති ජ්‍යෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිට පක්ෂව අනාවැකිය රෝල් කරද්දී නාත්තන්ඩියේ පී. ඩී. පෙරේරා ඔහුට නරක බව කීමට රෝලක් සකසයි. 

සුමනදාස අබේගුණවර්ධනග‍ේ විග්‍රහය මෙහිදී ඉතා වැදගත් ය. මන්ද, ඔහු ලියන්නේ ජනාධිපතිට උවමනා ආකාරය නිසා ය. විශේෂයෙන් ම ඔහුගේ ප්‍රකාශයේ අග චන්ද්‍රිකාගේ ආගමනය ගැන කරන ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරන්න. චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව වුණොත්, මේ ලියන මම වුණත් මහින්දට ඡන්දය දෙන්නට ඉඩ තිබේ. එහෙත්, මට හිතෙන හැටියට මහින්ද චන්ද්‍රිකාට මාර බය ය. 

සමහර විට, චන්ද්‍රිකා ප්‍රවර්ධනය කිරීම පිටුපස ඇය‍ පොදු අපේක්ෂිකාව කර ගැනීමේ උත්සාහයක් ද තිබේ යයි සිතේ. මන්ද, ඇය පොදු අපේක්ෂිකාව වුවහොත්, මහින්දට ඡන්දයකදී පහසු වන්නට පුළුවන් නිසා ය. චන්ද්‍රිකාට සාර්ථක වන්නට හැකි එකම ඉඩ තිබෙන්නේ ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලොකු කුට්ටියක් කඩා ගන්නට පුළුවන් ද, බැරි ද කියන කාරණය මත ය. එහෙත්, මේ අහංකාර ගැහැනියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නො ව, සිය පවුලේවත් අවංක හිතවතකු ඉතිරිව තිබේ ද යන්න සැක සහිත ය. 

කෙසේ වෙතත්, මහින්ද ගැහැනුන්ට අධික බියක් දක්වන බව පෙනේ.

ජ්‍යෝතිෂය ‍කෙසේ වෙතත්, මහින්දගේ අනාගතය තීරණය වන්නේ ජාත්‍යන්තර වශයෙන් ඔහුට එරෙහිව ඇති වන පීඩනය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ කැකෑරෙන අතෘප්තිය මතයි. දිනෙන් දින උත්සන්න වන ආර්ථික පීඩනය හමුවේ ඔහුට එරෙහිව කිසියම් විශ්වසනීය, බලවත් අභියෝගයක් මතු වුවහොත්, ඒ වටා ජනතාව රොක් වනු ඇත. 

මහින්ද පැරදවිය යුතු ද, නැද්ද යන්න ගැන මට නිශ්චිත අදහසක් නැත. එය තීරණය වන්නේ බලය අපේක්ෂා කරන අය කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද, දූෂණ විරෝධී ද, ලිබරල් ද, විශ්වාසනීය ද යන්න මතයි. විපක්ෂය විසින් ප්‍රවර්ධනය කරනු ලබන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යහපාලනය හා දූෂණය පිටුදැකීම යන කරුණු තුන මෙහිදී එක්සත්කම ගොඩනැගීම සඳහා පාදක කර ගත හැකි ය. 

මෙහෙම එකකුත් තිබේ. මේ ආණ්ඩුව විසින් කර තිබෙන දේවල වගකීම ඔවුන් විසින් ම භාර ගැනීම ද වැදගත් ය. රට අවුලට පත් වූ කල පරිප්පුව කා ගොඩ දමා දීමට කවුරුවත් කර ගැසිය යුතු ද? කට්ටිය පැත්තකට වී ඉඳ ගොඩ දමා දුන් මිනිහා වලට දමා යළි බලය අල්ලා ගැනීම ද වළක්වා ගත යුතු ය.

අලුත් ආණ්ඩුවක් එන එක ගැන මම අකැමැති වන්නේ අර බලු ඇටමැසි න්‍යාය නිසා ය. දැන් ඉන්න කට්ටිය රට නම් බල්ලාගේ ඇඟේ සිටින ඇටමැස්සන් රංචුවක් වැනි ය. උන් ‍හොඳින් ලේ බී තර වී සිටිති. අලුත් එවුන් ටිකක් ආවොත් වෙන්නේ අලුතින් ලේ බොන්නට පටන් ගැනීම පමණක් වන්නට පුළුවන.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com