2014-02-28

ඉන්දියාවේ 29වන ප්‍රාන්තය තෙලන්ගානා නමින් බිහි වෙන වගයි

ඉන්දියාවේ දකුණු දිග ද්‍රවිඩ ප්‍රාන්ත රාජ්‍ය හතරෙන් එකක් තමයි ආන්ද්‍රා ප්‍රදේශ්. ආන්ද්‍රා කියන්නේ ලංකාවේ ජන වහරටත් සම්බන්ධ ප්‍රදේශයක්. අන්ඩර දෙමළ කියන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ ආන්ද්‍රා දෙමළ යන යෙදුමෙන් ය කියා කියනවා.

අනෙක් ද්‍රවිඩ රාජ්‍ය තුන තමයි, තමිල්නාඩුව, කේරළය හා කර්නාටකය.

ආන්ද්‍රා දෙමළ කියා හඳුන්වන්නට පුළුවන් භාෂාව වන්නේ තෙළිඟු බසයි. ලංකාවේ අහිගුණ්ඨික මිනිස්සු කතා කරන භාෂාවත් තෙළිඟු මුලයක් සහිත යයි විශ්වාස කරනවා.

තෙලන්ගානා කියන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රාජ්‍යයට අයත් කලාප තුනෙන් එකක්. අනෙක් කලාප දෙක තමයි, වෙරළබඩ ආන්ද්‍රා හා රයලසීමා කලාප. 1950 දශකයේදී ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය ගොඩනැගුවේ කලින් තිබුණු ආන්ද්‍රා රාජ්‍යය හා කලින් පැවති හයිද්‍රාබාද් රාජ්‍යයේ තෙළිඟු බස කතා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ එකට යා කරලායි.

ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වන්නට කලින් තෙලන්ගානා අයත් වුණේ මුස්ලිම් නිසාම්වරුන් විසින් පාලනය කරන ලද හයිද්‍රාබාද් රාජ්‍යයටයි. නිදහස ලබද්දී මුලින් හයිද්‍රාබාද් නිසාම් පාලකයා ඉන්දීය සංගමයට එක් නො වී නිදහස්ව සිටින්නට උත්සාහ කළත් පසුව ඉන්දීය රජය එම කොටස ඉන්දියාවට බලෙන් සම්බන්ධ කරගත්තා. තෙලන්ගානාව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රාජ්‍යයට යා කිරීම මුල සිට ම මතභේදයට තුඩු දුන් කාරණයක් වුණා. 

තෙලන්ගානාවේ ඉතිහාසය තුළ ‍ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන ලද ගැමි ගොවි කැරැල්ලක් පිළිබඳවත් සඳහන් වෙනවා. 1946 සිට 51 දක්වා දිග්ගැසුණු මෙම ගැමි ගොවි කැරැල්ලේ අරමුණ ඉඩම් හිමියන් වෙතින් ගොවියන් වෙත ඉඩම් අයිතිය ලබා ගැනීමයි. ගොවියන් 4000ක් පමණ දිවි පිදූ මේ කැරැල්ලේදී ගම් 3000ක් විතර නිදහස් කර ගත්තා. ගොවියෝ මේ ගම්වල සමාජවාදී කොමියුන පවා පිහිටුවා ගත්තා. ඉඩම් හිමියන්ට එරෙහිව ඇරඹුණු මෙම කැරැල්ල පසුව පාලක නිසාම්වරයාටත් එරෙහි අරගලයක් බවට පත් වුණා. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ගරිල්ලා හමුදා මේ අරගලයට නායකත්වය දුන්නා. 

ඉන්දීය ආණ්ඩුව නිසාම්වරුන්ට එරෙහි යුද ක්‍රියාමාර්ගයක් ඔස්සේ හයිද්‍රාබාද් රාජ්‍යය ඉන්දීය සංගමයට සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළේත් මේ කාලයේමයි. 1948දී හයිද්‍රාබාද් රාජ්‍යය ඉන්දීය සංගමයට සම්බන්ධ කර ගැනුණා. එහිදීත් දස දහස් ගණනක් මිනිස්සු මිය ගියා. එයින් බහුතරය නිසාම්වරයාට පක්ෂ මුස්ලිම්වරු. තෙලෙන්ගානා කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස, ආන්ද්‍රා ප්‍රදේශ් ආණ්ඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා.

තෙලන්ගානාව ලංකාවට වඩා ලොකු භූමි භාගයක්. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 114,840ක්. ජනගහණය තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩියි. ආන්ද්‍රා ප්‍රදේශ් කලාප තුනෙන් වැඩි ම භූමි ප්‍රමාණයක් හා ජනගහණයක් හිමි තෙලෙන්ගානාවටයි. තෙලන්ගානාව වියළි උණුසුම් දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්. එහි ඉඩම්වලින් වැඩි හරියක් වැසි ජලයෙන් පෝෂණය වන ඒවායි. තෙලන්ගානාහි ප්‍රධාන වගාවන් වන්නේ කපු, වී හා බඩඉරිඟුයි. ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් වූ පසු තෙලන්ගානාවේ ආර්ථික බලාපොරොත්තු තබා තිබෙන්නේ තොරතුරු තාක්ෂණය හා බෙහෙත් නිෂ්පාදනය සම්බන්ධයෙනුයි.

තෙලෙන්ගානාව ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍යයෙන් වෙන් විය යුතු ය යන මතය ප්‍රවර්ධනය කළ අයගේ මූලික තර්කය වුණේ ආන්ද්‍රා ප්‍රදේශ්හි සෙසු කොටස් දෙකට සාපේක්ෂව තෙලන්ගානාවට ප්‍රාන්ත රාජ්‍යය තුළ සම තැන නො ලැබුණ බවයි. ආන්ද්‍රා ප්‍රදේශ්හි කලාප තුනෙන් විශාලම එක වූ තෙලන්ගානාව රාජ්‍ය ආදායමෙන් 76%කටම දායක වුණා. ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ගලන ක්‍රිෂ්ණා ග‍ඟේ ජල පෝෂක ප්‍රදේශවලින් 68.5%ක් ද ගෝදාවරී ග‍ඟේ ජල පෝෂක ප්‍රදේශවලින් 69%ක් ද පිහිටා තිබෙන්නේ තෙලන්ගානාවේ. ඒත් ජලය, අයවැය ප්‍රතිපාදන, රැකියා ආදිය බෙදා දීමේදී තෙලන්ගානාවට අසාධාරණයක් සිදු වන බවයි, තෙලන්ගානාව නිදහස් ප්‍රාන්තයක් බවට පත් කර ගත යුතුයි කියා අරගල කළ ජනයාගේ දුක්ගැනවිල්ල වුණේ.


නිදසුනක් ලෙස ආන්ද්‍රා ප්‍රදේශ් රජයේ සේවකයන් අතර තෙලන්ගානා වැසියන් සිටින්නේ 20%ක් පමණක් බව මේ ප්‍රශ්නය ගැන ලියන මහාචාර්ය ජයශංකර් පවසනවා. ඔහු පෙන්වා දෙන පරිදි තෙලන්ගානා වැසියන් විසින් ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍යයේ මහ ඇමති පදවිය හොබවා තිබෙන්නේ පනස් වසරක ඉතිහාසය තුළ වසර හයහමාරක කාලයක් පමණයි. ඒත්, අනෙක් කලාප දෙක වන රයලසීමාහි වැසියන් වසර 27ක් ද, වෙරළබඩ ආන්ද්‍රා ප්‍රදේශ් කලාපයේ වැසියන් 24 වසරක් ද අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති පදවිය දරා තිබෙනවා. 

තෙලන්ගානා නිදහස වෙනුවෙන් අරගල කළ ක්‍රියාධරයන් පෙන්වා දුන්නේ වසර පනහක් තිස්සේ ම මෙම අසාධාරණයන් දුරලීම සඳහා ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස තෙලන්ගානාව පසුගාමී තත්වයක තිබෙන බවත්, ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් වු‍ණහොත් තමන්ගේ ප්‍රදේශය සංවර්ධනය කර ගැනීම සඳහා වැඩි අවස්ථාවක් ලැබෙන බවත් ඔවුහු තර්ක කරනවා. 

තෙලන්ගානා වැසියන්ගේ දේශපාලන හිමිකම් වෙනුවෙන් දියත් වූ තෙලන්ගානා රාෂ්ට්‍ර සමිතියේ නායත්වයෙන් යුත් ව්‍යාපාරය තුළ 2010 සිට 2012 දක්වා කාලය තුළ තරුණ මිනිසුන් 300ක් පමණ සිය දිවි නසාගෙන තිබෙනවා. ඉන් 16දෙනෙක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත්තා. තෙලන්ගානා සටන සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාර,සහයෝගය නො දීමේ ව්‍යාපාර, වර්ජන ආදියෙන් සමන්විත දිග්ගැසුණු අරගලයක්. ඒත්, එහි සන්නද්ධ අරගලයක් තිබුණේ නැහැ. කුල පීඩනයට එරෙහිව සටන් කරන දලිත් ජනයාත් මෙම අරගලය තුළ ක්‍රියාකාරීව සිටියා. මෙම ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලෙස සමාජ ක්‍රමයේ වෙනසක් යෝජනා කළ සමාජවාදීහු ද මේ අරගලයේ සිටියා.

2013 ජුලි 30දා පාලන කොංග්‍රස් පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුව තෙලන්ගානාව ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍යයෙන් ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් කළ යුතු යයි මධ්‍යම රජයට යෝජනා කරන්නට නිර්දේශ කළා. 2013 ඔක්තෝබර් 03දා මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තෙලන්ගානාව ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් කිරීමේ යෝජනාව සම්මත කළා. ඒ අනුව තෙලන්ගානාව ඉන්දියාවේ 29වන ප්‍රාන්ත රාජ්‍යය බවට පත් වෙනවා. 2013 දෙසැම්බර් 11දා, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තෙලන්ගානා පනත් කෙටුම්පත ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍ය සභාවට යොමු කළේ ඒ පිළිබඳ සභාවේ අදහස් ලබා ගන්නටයි. ඉන්දීය ව්‍යවස්ථාව අනුව, නව ප්‍රාන්ත රාජ්‍ය හා ස්වාධීන ප්‍රදේශ නිර්මානය කිරීමේ බලය හිමි වන්නේ මධ්‍යම ආණ්ඩුවටයි. තෙලන්ගානාව නිදහස් ප්‍රාන්තයක් බවට පත් කිරීමේ මධ්‍යම ආණ්ඩුවේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ප්‍රාන්ත රාජ්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය නැහැ. 


2014 පෙබරවාරි 18දා තෙලන්ගානා පනත ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේ සම්මත වුණා.  ඒ සඳහා කොංග්‍රස් ආණ්ඩුවට භාරතීය ජනතා පක්ෂයේ ද සහයෝගය ලැබුණා. පෙබරවාරි 20දා එය රාජ්‍ය සභාවේ සම්මත වුණා. පනත ජනාධිපති විසින් අනුමත කර ගැසට් කිරීමෙන් පසුව තෙලන්ගානාව නිදහස් ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් වෙනවා.තෙලන්ගානා ප්‍රාන්ත රාජ්‍යය පිහිටුවන දිනය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තවම තීරණය කරලා නැහැ. ප්‍රාන්ත රාජ්‍ය දෙක අතරේ බලතල, සම්පත් ආදිය බෙදා ගැනීමේ සංකීර්ණ කාර්යයක් මධ්‍යම ආණ්ඩුුව ඉදිරියේ තිබෙනවා.


පැරණි ආන්ද්‍රා ප්‍රදේශ්හි ප්‍රධාන නගර දෙක තමයි, හයිද්‍රාබාද් හා විසාකාපට්නම්. තෙලන්ගානාවෙන් වෙන් වුණ අලුත් සීමාන්ද්‍රා ප්‍රාන්ත රාජ්‍යයට අගනුවරක් නිර්මානය කරගන්නා තෙක් වසර 10ක කාලයක් ‍හයිද්‍රාබාදය මේ ප්‍රාන්ත රාජ්‍ය දෙකේ ම පොදු අගනගර‍ය ලෙස පවතීවි. 

අලුත් තෙලන්ගානා ප්‍රාන්ත රාජ්‍යය 84%ක් හින්දු බහුතරයකින් සමන්විත රාජ්‍යයක්. ප්‍රධාන සුළු ජනවර්ගය වන්නේ 12.4%ක් වන මුස්ලිම්වරුයි. එහි ප්‍රධාන භාෂාව වන්නේ ජනගහණයෙන් 76%ක් දෙනාගේ භාෂාව වන තෙළිඟු බසයි. මුස්ලිම් අය අතර උර්දු බස භාවිතා වෙනවා. 

තෙලන්ගානාව නිදහස් ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් කිරීමට එරෙහි සීමාන්ද්‍රා දේශපාලන ව්‍යාපාර තෙලන්ගානා ප්‍රශ්නය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන්නට උත්සාහ කරනවා.

තෙලන්ගානා ප්‍රශ්නය ධනවාදය විසින් නිර්මානය කර තිබෙන විෂමතාවන්ට එරෙහි ලෝක ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කොටසක් ලෙස ඉන්දියාවේ වාමාංශික සිවිල් සමාජ කණ්ඩායම් විසින් අර්ථකථනය කර තිබෙනවා.

ඒත්, ගතානුගතික මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය මේ පිළිබඳව දරන ස්ථාවරය වෙනස් එකක්. ඔවුන් කියන්නේ ‍තෙලන්ගානා නිදහස විසින් ඉන්දියාව පුරාම බෙදුම්වාදී රැල්ලක් ඇති කරාවි ය කියායි. ඒත්, සුභාෂ් චන්ද්‍රබෝෂ් අනුගමනය කරන ෆෝවර්ඩ් බ්ලොක් නම් වාම ජාතිකවාදී සංවිධානය නම් කියන්නේ මෙවැනි කුඩා රාජ්‍යවල ඉල්ලීම් පිළිබඳ සොයා බලා ඒවාට තිරසාර විසඳුම් ලබා දීම සඳහා නැවත වතාවක් රාජ්‍ය ප්‍රතිසංවිධානය කිරීමේ කමිටුවක් පත් කළ යුතුව තිබෙන බවයි.

(ජනරළ පුවත්පත වෙනුවෙන් ලියන ලදී)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

කොළඹ අයිති අපට ය; එය රාජපක්ෂලාගේ නින්දගමක් නොවේ

කොළඹ වනාතමුල්ලේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට දියත් වෙමින් තිබේ. වතු ගණනාවක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව යන්නැයි විවිධ ආකාර‍යෙන් බලපෑම් කෙරෙමින් පවතී. මේ බලපෑම් නාගරික සංවර්ධන අධිකාරියේ ලියුම්වල සිට, හමුදා බලපෑම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ රැස්වීම් හරහා පුද්ගලයන් පැහැරගෙන යාම දක්වා විහිදී යමින් තිබේ. 

රජය ඔවුන්ට දෙමටගොඩ, මිහිඳුසෙන්පුර මහල් නිවාසවල විකල්ප නිවාස ලබා දෙන බව කීව ද ජනතාව ඒ පිළිබඳ ප්‍රශ්න රැසක් මතු කරති. ඒ ප්‍රශ්න අතර, නිවාසවල ඉඩකඩ මඳ වීම, ප්‍රවේශ ගැටලු, සංස්කෘතික ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියේ ගැටලු, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ආදිය තිබේ. ජනතාව කියන්නේ මේ අලුත් තට්ටු නිවාස තමන් කලින් සිටි ගෙවල්වලට වඩා කුඩා, ගුණාත්මකභාවයෙන් අඩු ඒවා බවයි. ආණ්ඩුව එය බොරුවක් ය කියා කියනු අප අසා නැත. එය පැහැදිලි සත්‍යයකි. 

අනෙක් පැත්තෙන් නිවාස අහිමි වන ජනතාවට සිදු වී තිබෙන්නේ මේ අලුත් නිවාස මිළ දී ගන්නට ය. ඒ වෙනුවෙන් මුලින් රුපියල් ලක්ෂයක් ගෙවා ඉන් අනතුරුව වසර 20ක් පුරා මසකට රු. 4000 බැගින් ගෙවන්නට නියම කර තිබෙන බව ජනයා පවසති. 

මේ ඔවුන් තමන් පරම්පරා ගණනක් තිස්සේ පදිංචිව සිටි නිවස වෙනුවෙන් ලබන වන්දියයි. මේ අය අනවසර පදිංචිකරුවන් ලෙස රජය විසින් නම් කර තිබේ. අනවසර පදිංචිකරුවෝ කියන්නේ කවුරු ද? මොවුන්ගෙන් ඇතැමෙකුට තමන්ගේ ඉඩම වෙනුවෙන් ස්ථිර ඔප්පු තිබේ. අනෙක් පැත්තෙන් දිගු කාලීන පදිංචිය මත ඔවුන්ට මේ ඉඩම්වල හිමිකමක් නිර්මානය වී තිබේ. එම නිවාස පරම්පරා ගණනාවක් තිස්සේ කරන ලද වටිනාකම් එකතු කිරීම්වලින් යුක්ත ය. එම වටිනාකම් එකතු කිරීම් කරගෙන තිබෙන්නේ එම නිවෙස්වල පදිංචිකරුවන්ගේ ප්‍රායෝගික ජීවිත පහසුව වෙනුවෙනි.පරමාධිපත්‍යය ජනතාවට හිමි ය කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ ජනතාවගේ මූලික හිමිකමක් වන වාසස්ථාන පිළිබඳ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය සිතන තරම් සරළ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ රජය අයිති ජනතාවට ය. රජයට අයිති ඉඩම් යනු ජනතාවගේ ඉඩම් මිස පාලකයින්ගේ ඉඩම් ‍නො වේ. ඉඩම් හිමිකම ගැන තර්ක කළ යුතුව තිබෙන්නේ එකී පදනමින් ය.

තමන් කාලයක් තිස්සේ වාසය කළ ඉඩම් රජයට පවරා දෙන විට, තමන්ට කලින් තිබුණු නිවාසයට වඩා හොඳ නිවසක් ලැබෙන බව තහවුරු කර ගැනීමේ හිමිකමක් මේ ජනතාවට තිබේ. දේශපාලකයන්, නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් විසින් කරන ලද සොරකම් කිරීම් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමිතිය පිරිහුණු කුකුළු කූඩු වැනි අනාරක්ෂිත ගොඩනැගිලිවලට ඔවුන් තල්ලු කර දැමීම පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනයකි. මෙම නව නිවාස ඔවුන්ගේ ජීවිතය මුළුමනින් ම වෙනස් කරනු ඇත. අඩු ආදායම්ලාභී කාන්තාවෝ මෙහිදී විශේෂයෙන් අනතුරට පත් වෙති. ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවනෝපායන් වූ කඩයප්පන් හැදීම, මැහුම් හා වෙනත් ශ්‍රම සූක්ෂම කටයුතු ආදිය කරගෙන යාමට නො හැකි තත්වයක් තුළ ඔවුන් තවත් දිළිඳු වනු ඇත. 

එසේම, මෙම තට්ටු නිවාසවල තිබෙන ප්‍රවේශ මාර්ග, විදුලි සෝපාන ආදියෙහි අඩුපාඩු හේතුවෙන් අධික තදබදයක් නිර්මානය වේ. එම ජීවිතය අලුත් සංස්කෘතියක් වෙත ඔවුන් ඇද දැමීමකි. මේ නිවෙස්වල කුස්සියේ හා වැසිකිලිවල ඉඩකඩ හේතුවෙන් බරපතල සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රශ්න මතු වන බව ද ජනතාව කියති. 

දැන් මේ මිනිසුන් උන් හිටි තැන්වලින් ඉවත් කරන්නේ කු්‍මට ද? ආණ්ඩුව කියන පරිදි එසේ කරන්නේ කොළඹ නගරයේ වටිනා ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතිවලට යෙදවීමට හා නගර අලංකරණය වෙනුවෙන් බවයි. ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා ය කියන්නේ ඒ ඉඩම් දේශීය හා විදේශීය ධනවතුන්ට දීර්ඝ කාලීන බදු පදනම් යටතේ විකුණා දැමීමයි. එමගින් ලැබෙන මුදලින් ආණ්ඩුව එදිනෙදා අවශ්‍යතාවන් පිරිමසා ගනියි. ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන සේවාවන් අතිශය අප්‍රමාණවත් බව කිව යුතු නැත. ඉතින් මේ පරිත්‍යාගයෙන් ජනතාවට තිබෙන ප්‍රයෝජනය කුමක් ද? ධනපතීන් කීපදෙනෙකුට තමන්ගේ ඉඩම් ටික පවරා දී නිලධාරීන් පිරිසකට කොමිස් ලබා දී, දේශපාලකයන්ට මෙම මජර ක්‍රමය පවත්වාගෙන යාමට  හැකි වන පරිදි ආණ්ඩුවට මුදල් හම්බ කර දීම පිණිස ‍මේ මිනිසුන් උන්හිටි තැන් නැති කර ගන්නේ කුමට ද?

නාගරික ඉඩම් වඩා ඵලදායී ලෙස පරිහරණය කිරීම අතිශය වැදගත් ය. එහෙත්, මේ ඵලදායිත්වයේ ඵලය ලැබිය යුත්තේ ජනතාවට මිස ‍දේශීය හෝ විදේශීය ධනවතුන්ට පමණක් නො වේ. ජනතාවට එයින් අත් වන සෙතක් නැතිනම් ඒ මහා ඵලදායිත්වයට වඩා පවතින අඩු ඵලදායිත්වය හොඳ ය.

රටක් සංවර්ධනය විය යුත්තේ කුමට‍ ද යන්න ආණ්ඩුව යළි සිහිපත් කර ගත යුතු ය. රටක් සංවර්ධනය වනවා ය කියන්නේ ඒ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාමයි. දිළිඳුකම නැති වීමයි. ආර්ථික හා සමාජ විෂමතා අවම වීමයි. එහෙම නැතිව සුළු පිරිසක් අසීමිත අන්දමින් රටේ සම්පත් හිමි කර ගනිමින් දිළින්දන් තවත් දිළිඳුභාවයට ඇද දැමීම සංවර්ධනයක් වන්නේ නැත. 

කොළඹ අගනගරය සංවර්ධනය විය යුත්තේ කොළඹ වැසියන් සමග කොළඹ හා රටේ සියලු වැසියන් වෙනුවෙනි. එසේ නොමැතිව දේශීය හා විදේශීය ධනවතුන් අතළොස්සක් වෙනුවෙන් නො වේ. කොළඹ වනාහි වනාතමුල්ලේ සුනිල් සමරධීරලාගේ හා අපේ භූමියයි. රාජපක්ෂලාගේ නින්දගමක් නො වේ. 

මෙය වනාතමුල්ලට පමණක් නො ව ලංකාවේ කොයි මුල්ලටත් අදාළ ය. මේ අපේ රට ය. අප එය පාලනය කිරීම කිසියම් කලකට ඔබට පවරා දී ඇතැයි සිතමු. එහෙත්, ඔබට ඕනෑ දෙයක් කරගත හැකි වන පරිදි එය භුක්තියට පවරා දී ඇතැයි නො සිතන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-26

සටන් කරන අකුරු යළි පැමිණේ! ජනරළ යළි මාර්තු 02 සිට

මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් නො වෙමි. මට ඒ පක්ෂයේ අභ්‍යන්තරය ගැන ලොකු අවබෝධයක් නැත. එහෙත්, අප හිරු පුවත්පත පළ කළ කාලේ අප කෙරෙහි ඔවුන් තුළ නො තිබුණ සුහදකමක් දැන් තිබේ යයි මට සිතේ. වෙනත් මොකුත් බලාපොරොත්තු නැතිව ඒ මිතුරුකමට මම ආදරය කරමි.

ජනරළ පත්තරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් පුවත්පතකි. මම එයට ලියමි. ඇත්තම කියනවා නම් හිරු පුවත්පතේ වැඩ කළ කාලයේ මෙන් ස්වේච්ඡා පුවත්පත් කලාවේදියකු ලෙස ලියමි. එය මගේ දේශපාලන කාර්යයක් ලෙස සලකා ලියමි. 

සමාජ වෙනසක් වෙනුවෙන් විවෘත මනසක් ඇති මිනිසුන් පිරිසකට ආමන්ත්‍රණය කිරීම සඳහා ජනරළ වේදිකාවක් වනු ඇතැයි පතමි‍. 

එම අරමුණින් ම මෙම බ්ලොගයේ ද මගේ ෆේස්බුක් හා ට්විටර් ගිනුම්වල ද එම ලිපි පළ කරමි.

මේ සතියේ විදෙස් පිටුවට මම තරමක ‍අධ්‍යයනයක් කළෙමි. ඒ තෙලන්ගානා ගැනයි. තෙලන්ගානා කියන්නේ ඉන්දියාවේ 29වන ප්‍රාන්තයයි. එය ළඟදීම බිහි වනු ඇත. ලිපිය පුවත්පත පිට වූ පසු බ්ලොග් ගත කරමි. 

ජනරළක් මිළ දී ගෙන කියවන ලෙස ඔබට ද ආරාධනා කරමි. එයට ලිව්වාට මා ද එය කියවන්නේ මිළ දී ගෙන ය. ඔබ වැය කරන ඒ මුදල අන්තර්ජාලය පරිහරණය නො කරන, මුද්‍රිත ප්‍රකාශන පමණක් කියවන තවත් මිනිසකු වෙනුවෙන් මෙම පුවත්පත පවත්වාගෙන යාමට කරන දායකත්වයක් ලෙස සලකන්න. 

මම සමාජවාදී ජීවන භාවිතාවක් ගැන කතා කරමි. ජනරළට ලිවීම මගේ ඒ භාවිතාවේ කොටසක් ලෙස මම සලකමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-25

මහ රජතුමනි, අපේ ලොකු මස්සිනා වැනි මිනිසුන් වෙනුවෙන් හෝ යමක් කරන්න

අපේ ලොකු මස්සිනා සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහු කරන ව්‍යාපාරය වන්නේ දකුණේ ගස් කපා මොරටුවට පැටවීමයි. ණයට මිළ දී ගත් ලොරියක් ඔහු සතු ය. ණය වෙනුවෙන් ගෙය උගසට තබා තිබේ. ඊට අමතරව තවත් ණය ද එමට ය. මේ ලියන මට ද ගානක් ලැබෙන්නට ඇත. එය බොල් ණය ලෙස කපා දමන්නට සිදු වී තිබේ. 

මේ මනුස්සයා නැගිටින්නට උත්සාහ කරන්නේ මං අපේ බිරින්දෑ කසාද බැඳපු දවස්වලටත්කලින් සිට ය. අපොස උසස් පෙළ සමත් අයකු වුවත් ඔහු කිසි දිනෙක ආණ්ඩුවේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවකට අයදුම් කළේ නැත. හැම විට ම උත්සාහ කළේ ව්‍යාපාරිකයකු වන්නට ය. වතාවක් ණය බර උග්‍ර වූ විට ඔහු වසර දෙකක කාලයක් මැද පෙරදිග රටක රියදුරු රැකියාවක ද යෙදුණේ ය. දැන් ඔහු ඔහුගේ ම ලොරියේ අමතර රියදුරා ය. 

දරුවන් මල්ලන් ද නැති හතළිස් විය ඉක්මවා සිටින මිනිසාගේ ජීවිතයේ ස්ථාවර නැගීමක් මට නො පෙනේ. ඔහු යටතේ සේවය කරන මිනිසුන් කීපදෙනාට පඩි නඩි බේරූ විට ඔහුට ඉතිරි වන දෙයක් නැති තරම් ය. තිබෙනවා නම්, අප වැනි අයගෙන් ගත් ණය නො ගෙවා ඉන්නට තරම් ඔහු නරක මිනිසකු නො වේ.

ඔහු තදබල මහින්දවාදියෙකි. ගෙයි ඉදිරිපස ‍ජීව ප්‍රම‍ාණයේ මහින්ද රූපයක් ප්‍රදර්ශනය කරයි. ඔහුගේ ජංගම දුරකථනයේ තවමත් තිබෙන රිං ටෝං එක මහරජාණනේ ය. ලොරියේ ද ඉදිරිපස කාටත් පෙනෙන්නට මහින්ද රූපයක් ප්‍රදර්ශනය ‍කරයි. ඔහු කොන්දේසි විරහිතව මහින්ද වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමග තර්ක කරයි. ආවේගශීලී නො වුණාට සෙන්ටිමෙන්ටල් වෙයි. කොයි තරම් සෙන්ටිමෙන්ටල් ද කියනවා නම් ඔහුගේ බිරින්දෑ වතාවක් කී පරිදි ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දගේ රැස්වීමක් ගාල්ලේදී නරඹා ඇත්තේ අඬ අඬා ය.

එහෙත්, ඔහු ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක හෝ සාමාජිකයකු නො වේ. ඔහු කිසිදු ප්‍රාදේශීය දේශපාලනඥයකු වෙනුවෙන් වැඩ කරන්නේ ද නැත. පක්ෂයෙන් යමක් කර ගැනීමේ බලාපොරොත්තුවක් ද නැත. ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දෙන ඔහු සෙසු ඡන්දවලදී මහින්ද වෙනුවෙන් බුලත් කොළයට පමණක් ඡන්දය ප්‍රකාශ කරයි. 

'බලන්න අයියේ පාරවල් එහෙම හදන හැටි, නේද?' ඔහු නිතර කියයි. 

ණය හා දූෂණය ගැන පෙන්වා දුන් කල ඔහු තමන් සනසා ගන්නේ යූඇන්පිය ආවොත් ඔයිට එහා ය කියා ය. මොනවා කළත්, යුද්දෙ ඉවර කළ‍ා නේ යි කියමින් ඔහු සිය අවසන් ආරක්ෂක ස්ථානයට යයි. 

'මේ ක්‍රමයෙන් ඔයාට ඇති වැඩේ මොකක් ද? ඔයා කරන්නේ පණ යනකල් වැඩ කර, කර බදු ගෙවන එක විතරයි නේ ද? කෝ ඔයාට මේ සමාජ ක්‍රමය තුළ යහපත් ජීවිතයක්?' යන ප්‍රශ්නය ඇසූ කල ඔහු කදිම පිළිතුරක් දෙයි.

'මං අයියෙ මේ පෙනී ඉන්නෙ මං වෙනුවෙන් නෙමෙයි. මට මොනවාවත් නො ලැබුණාට කමක් නැහැ. රටට වැඩක් වෙනව නම්.' 

මට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අසන්නට තිබෙන ප්‍රශ්නය වන්නේ අඩු තරමේ මෙවැනි මිනිසුන් ගැනවත් සෙනෙහසක්, ආදරයක් ඔබ තුළ නැත්තේ ඇයි ද කියා ය. මෙවැනි මිනිසුන් වෙනුවෙන් හෝ යමක් කළ යුතු ය කියා සිතක් ඔබට නො එන්නේ ඇයි ද යන්න ඇත්තට ම සිතා ගන්නට බැරි ය. 

ඔබත්, ඔබගේ පවුලත් වෙනුවෙන් තම ආත්මය කැප කර සිටින, පෞද්ගලික ලාභාපේක්ෂා නැති, මෙවැනි මිනිසුන්ට ‍ගෞරවනීය පුරවැසියන් ලෙස ජීවත් වී මිය යන්නට පුළුවන් සමාජයක් හදා දෙන්නට දායක වන්නට ඔබට බැරිකමක් නැත. ඔවුන් වෙනුවෙන් වෙන මොනවා නැතත්, නීතියේ පාලනයක් ඇති, දූෂණය අවම වූ සමාජයක් හෝ හදා දිය යුතු යයි ඔබට නිකමට හෝ නො සිතෙන්නේ ඇයි ද යන්න මට නම් පුදුමයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-24

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි.

මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය.

දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය.

භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය ‍පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද?' වැනි වාක්‍යවල ඇත්තෙන් ම තේරුමක් නැත.

මේ තේරුමක් නැති වාක්‍යවල තේරුමක් ඇතැයි සිතූ සමහරු කලක් ඔහු පසුපස යමින් තේරුම් සෙවූ හ. තමන්ට නො තේරෙන දෙයක් අනුන්ට තේරුම් කරන්නට බැරි ය. දීප්ති නිතර ම 'මං කියන දේ තේරුණා ද දන්නෙ නැහැ,' යි කියන්නේ ඇත්තෙන් ම ඔහු කියන දේ ගැන ඔහුට ද තේරුමක් නැති නිසා ය. සමහරු මේවා තේරුන බව පෙන්නන්නට ‍ගොස් විහින් ගොන්නු වූ හ.

චින්තකයකු වන්නට තිබෙන උන්නතිකාමී ආශාව හා ගැඹුරින් යමක් සිතන්නට තරම් පුළුල් මනසක් නොමැතිකම හා එවැනි පුළුල් මනසක් ගොඩනගා ගත හැකි මිනිස් ගුණ ධර්මවලින් තොර වීම අතර ඇති පරස්පරයන් පියවා ගන්නට දීප්ති කරන්නේ කොහෙන් හෝ චින්තකයකු සොයාගෙන බාගෙට කියවා තමන්‍ට ත‍ේරුන තැන් කීපයක් අල්ලාගෙන නන් දෙඩවීමයි. එක් චින්තකයකු ගැන දෙසා බාමින් සිටින විට,  ඇත්තට ම ඒ චින්තකයා ගැන කියවූ විද්‍යාර්ථියකු පැමිණ ඔහුගේ පරස්පරයන් පෙන්වා දෙන විට දීප්ති තවත් චින්තකයකුගේ ඇඟේ එල්ලෙයි. ඇත්තෙන් ම මේ ඉම්පෝටඩ් චින්තකයන්ගේ දැක්ම ඔස්සේ යමින් මේ අය සංයුක්තව විග්‍රහ කර තිබෙන ලංකාවේ ප්‍රශ්න මොනවා ද?

ජීවිතය චිත්‍රපටවලින් සොයන්නට යාම මේ ඊනියා කල්ලිවල තවත් සුලබ රෝග ලක්ෂණයකි. චිත්‍රපට බැලීම හා ඒ ච්ත්‍රපට ගැන සාකච්ඡා කිරීම නම් වූ දේශපාලන වැඩක් මොවුන් විසින් හඳුන්වා දෙන ලදී. ඔවුන් කාමර තුළට වැදී චිත්‍රපට බලමින් සිටින සඳ මීයෝ ඇවිත් ඔවුන්ගේ පා ඇඟිලි කති. ජීවිතය ඇත්තේ ඒ මීයන් එන පොළවේ බව නො දන්නා ඔවුහු කැමරාවෙන් ඒ පොළවේ ප්‍රබන්ධ චිත්‍රයක් නරඹා එ් ඔස්සේ ජීවිතය ගැන කතා කරති.

වැලිකතර වැනි දැන් බලන්නට නැති චිත්‍රපටවල නම් ද, වැඩිය ලංකාවේ මිනිසුන් නො කියවන වෙනත් පොත්වල නම් ද මොහු උදාහරණ ලෙස ගෙන දක්වන්නේ තමන් ඒවා ඇතැඹුලක් සේ දන්නා බව අන් අය‍ට පෙනෙන්නට ය. මොවුන් පොතක් කියවන්නේ ම ඒ පොතෙන් ලබා ගත් දැනුමෙන් තමන්ගේ සතුරන් හෙවත් තමන්ට ගරු නො කරන මිනිසුන්ට පහර දෙන්නේ කෙසේ ද යන ප්‍රතිගාමී චින්තනය හිසෙහි පුරවාගෙන ය. එබැවින් කොච්චර පොත් කියෙව්වත් මෙවැන්නන්ගේ මිනිස්කම් වර්ධනය වන්නේ නැත. මෙය බුද්ධිමතුන් බොහෝ පිරිසකට අදාළ ය. දැනුම ගබඩා කර ගත් ඔවුන්ගේ හිස් කුහර දත්ත රැස් කරන කොම්පියුටර් දෘඪාංග වැනි ය. ඒවායේ කිසිදු මෘදුබවක් නැත. ඒවායින් කිසිදු නිර්මානශීලිත්වයක් මතු වන්නේ ද නැත. මූලික ප්‍රශ්නය තිබෙන්නේ නොමිනිස්කම තුළ ය. නොමිනිසුන් ‍මොන දැනුම රැස් කළත් මිනිසුන් වන්නේ නැත. මිනිසුන් දැනුම ලබා ගන්නේ මිනිස්කම වර්ධනය කර ගන්නට මිසක් අනුන් පාගා නැගී සිටින්නට නො වේ. අහවල් පොත කියවලා නැද්දැයි වෙනෙකුගෙන් අවඥාවෙන් අසන පණ්ඩිතයා තරම් දුෂ්ට මිනිසෙක් ලෝකයේ තවත් නැත. එවැන්නෝ බුද්ධිමය ත්‍රස්තවාදීහු වෙති.

මෙවැනි බුද්ධිමය ත්‍රස්තවාදීන්ට බිය නො වීම සැබෑ සමාජවාදය සඳහා අරගලයේ කොටසකි. පොත් පෙන්නා සමාජය බිය වද්දන්නට හදන තක්කඩින්ට අප කිව යුත්තේ මෙසේ ය: අපට ඕවා වැඩක් නැහැ. අපි කරන්නේ හිතන එක.

දීප්තිගේ හෝ දීප්තිවාදීන්ගේ නිරුවත පෙන්වන කැඩපත බඳු වූ තුනමාන ලිපිය කියවන්න.

දශක හතක් පමණ ජීවත් වෙමින් අරගලය අත් නොහැර තවම සටන් කරන බාහු සහෝදරයා ගැන යමක් ලිවිය යුතුය. ඔහු ගැන විවේචනය කරන බොහෝ දෙනා ගාමිණී ෆොන්සේකා වැනිය. ගාමිණී යනු තමන්ට රගපෑමට ලැබෙන තිර කතා වල තම විරුද්ධවාදියා ගේ ඉරණම ස්වකැමැත්ත මත වෙනස් කළ පුද්ගලයෙකි. උදාහරණයක් වශයෙන් ‘වැලිකතර’ චිත්‍රපටියේ මුල් තිරනාටකයට අනුව ගෝරිං ගේ චරිතය වෙඩි කා මැරී වැටෙන්නේ ප්‍රතිවීරයෙකු ලෙසය. නමුත් ගාමිණී විසින් තිර නාටකය තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කරනු ලැබූ පසු ගෝරිං මිය යන්නේ ගාමිණිගේ කකුල් ඉදිරිපිට බිම දගලා වැද නමස්කාර කිරීමෙනි.

පසුගිය දශක දෙකක පමණ කාලයක සිට බාහු ගැන ලියන හොර තක්කඩියන් ද අයිති වන්නේ ගාමිණි ගේ කුලකයටය. ඔවුන් තම රචනා මගින් බාහුව එක්කෝ විකටයෙකු කරවයි. නැතහොත් අසරණයෙකු කරවයි. ධනේෂ්වර ක්‍රමය ගෝලීයව විහිදෙන යුගයක,එම යුගයට වෙනත් විකල්ප නැතැයි සිතන මිනිසුන් සිටින යුගයක, බාහු නොව තමන්නට සිදුවී ඇත්තේ කුමක් ද කියා ‘ලියන’ අය කෙතරම් විරලද? අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද? තම තමන් ගේ ගෙවල් වල තල දර්පන නැති නිසා තමන් ගේ තක්කඩි මුහුණ නොදකින නරුමයන් ගාමිණි මෙන් ප්‍රබන්ධයන් තුළ වීරයන් වීමට දතකට මදියි.

බාහුගේ දෝෂය කුමක් ද? ප්‍රභාකරන්ට සහ විජේවීරට තිබූ දෝෂය ඔහුටත් ආවේණිකය. යමෙකුට තම අරමුණ කරා ලගා වීමට අවශ්‍ය නම් ඒ සදහා යථාර්ථය විසින් ඉල්ලා සිටින කෘෘරත්වය සමග අප සමපාත විය යුතුය. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලා සිටින තැනක අප පිරිත් පැන් ඉස වැඩක් නැත. බාහු වාමාංශික වීරයෙකි. ඔහු සතුරාට ගූ ගහන්නේ නැත. සටන ඉදිරියට ගෙන යාමට ගියැප් මෙන් ‘ගූ බාල්දි’ ගණන් ගසා, අසරණයන් කියන තක්කඩියන්ට කණ්නාඩි සැපයිය යුතුය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

මංපහරනවා වෙනුවට මහජන මුදල් කොල්ලකෑමට එක්සත් ජාතික පක්ෂයටත් අවස්ථාවක් දිය යුතු ය.

දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය වෙබ් අඩවියේ නම් කර තිබෙන්නේ thief කියා ය. http://www.divaina.com/2014/02/24/thief.jpg
වෙන්ට ඇමති කෙනෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මීගමුවේ තමන්ගේ ගෝලයකු වන පළාත් සභා මැතිවරණ අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු ගැන අද දිවයින පුවත්පතට මෙසේ කියා ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක ලැයිස්‌තුවලත් විවිධ සිද්ධීන්වලට සම්බන්ධ අය සිටිනවා. ඒගොල්ලෝ නිදැල්ලේ. එජාපයට පමණක්‌ අලුත් නීති. රොයිස්‌ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් ආකාරයට රජයට සම්බන්ධ නිදැල්ලේ සිටින සැකකරුවනුත් අත්අඩංගුවට ගත යුතුයි. මීගමුවේ සිදුවූ මුදල් කොල්ලය පසුපස රොයිස්‌ ප්‍රනාන්දු මහතා සිටිනවා නම් එය ඔප්පුකර පෙන්වා දිය යුතුයි. ඔහු තවම සැකකරුවකු පමණයි.

ජනාධිපතිතුමාත් සමග මහජන මුදලින් වන්දනාවේ යන වෙන්ට ඇමති ජ‍ෝන් ගැන සලකා බැලුවා ම ඇත්තෙන්ම රොයිස් ප්‍රනාන්දුට ද රජයට සම්බන්ධ සැකකරුවන්ට මෙන් නිදැල්ලේ සිටීමට අයිතිය ඇතැයි ජෝන් අමරතුංග සිතනවා වෙන්නට පුළුවන. එහෙත්, පොලිසියට අභියෝග කරන්නට යන එක එච්චර සුදුසු නැත. මන්ද, ආවේක්ෂණ කැමරා යුගය කියන්නේ අලුත් සංදර්භයකි. ලොකු අයියා ඔබ දෙස බලා හිඳියි. පොලිසිය ආවේක්ෂණ කැමරා භාවිතා කරමින් මෙම අපරාධයේ සුල මුල සොයා ගත් ආකාරය ඉතා රසවත් ය. 

ජුවෙල් ලංකා ආයතනයේ ආවේක්ෂණ කැමරාවල සටහන්ව තිබුණු හෙල්මට් අනුව, ඊළඟට පොලිසිය ගියේ හෙල්මට් විකුණන කඩයකට ය. අනුමානය නිවැරදි ය. හෙල්මට් කඩයේ කැමරාවල අදාළ පුද්ගලයා සිටියේ ය. ඔහු ‍කවුරුදැයි හඳුනා ගැනීමට ඔහු ඇඳ සිටින ටී කමිසය ඉවහල් වේ. 

කොල්ල කෑ මුදලින් කොටසක් සමග මාට්ටු වන රොයිස් ප්‍රනාන්දු පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු නිලධාරියෙකි. මීට පෙර ද රොබරියකට මාට්ටු වී ඇති ඔහු නිදහස් වී ඇත්තේ සාක්කි ප්‍රමාණවත් නො වීම නිසා ය. අධික ණය බරින් පෙළෙන මොහු මෙම මුදල් මංකොල්ලය කා ඇත්තේ ඡන්දයට වියදම් කරන්නට යයි පොලිසියට පවසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. 

එක්සත් ජාතික පක්‍ෂයේ සිටින මෙවැනි දේශපාලකයන්ට ආණ්ඩුවක් හදිසි වී තිබෙන්නේ ඇයි ද යන්නත්, එක්සත් ජාතික පක්ෂයට බැරි ය කියා ආණ්ඩුවට පැන ගන්නට හදිසි වී ඇත්තේ ඇයි ද කියාත් දැන් පැහැදිලියි නේද? ආණ්ඩුවට ගියාම මෙහෙම අනතුරුදායක රොබරි දෙන්නට ඕනෑ නැත. දේශපාලනය කියන්නේ මහජන මුදල්වලට රොබරි දීමේ ක්‍රීඩාවට ය.

එක්සත් ජාතික පක්ෂයේ සිටින මුග්ධ පාක්ෂිකයෝ ද මෙවැනි පිරිස් සභාවලට පත් කර යවන්නට දක්ෂයෝ ය. මැරවරකම හැර අන් යමක් නො දත් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු ගියේ නීති විරෝධී ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබියදී ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-23

ශිරානි යනු කුමක් ද?

හරකුන් මැරීමට විරුද්ධ සිහල රාවය මේ මස් කරන්නට හදන්නේ සිවිල් ඇඳුමින් සිටි පොලිස්කාරයකු යයි සැක කළ නිරායුධ මිනිසෙක්ව ය. පොලිස් ඇසින් සාක්කි තිබියදීත් කෝ නීතිය?
ශිරානි බංඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ උපරිමයෙනි. සාමාන්‍යයෙන් නී‍තියේ පාලනයක් නොමැති මේ ර‍ටේ එසේ වන්නේ ඇයිදැයි විමසිය යුතු ය. 

ඇත්තෙන් ම ශිරානි රාජපක්ෂලාට ඒ තරම් ම ද්‍රෝහී වුවා ද? රාජපක්ෂලා විසින් ඔසවා තබන ලද ඇය රාජපක්ෂලා‍ගේ අත ඒ තරම් සැරට සපා කෑවා ද? රාජපක්ෂ දූෂණ යන්ත්‍රයේ දැති රෝදයක් වූ ඇගේ සැමියාගෙන් ඔවුන්ට ලොකු අනතුරුදායක තත්වයක් ඇති වුණා ද?

පිළිතුර නැත යන්නයි. ශිරානිට කලින් රාජපක්ෂවරුන්ගේ කෲරත්වයේ ඉලක්කය වූ සරත් ෆොන්සේකා තරම්වත් ශිරානි බංඩාරනායක ඔවුන්ට අභියෝගයක් වූයේ නැත. 

එහෙනම්, මේ තරම් එළව එළවා සපා කන්නේ ඇයි? 

මම නම් හිතන්නේ මෙතැන තිබෙන්නේ රාජපක්ෂලාගේ දූෂණ හා මර්දන යන්ත්‍රයේ තිබෙන ශක්තිමත්කමයි. දැන් තිබෙන තත්වය තුළ ලොක්කා කිසිවක් සැලසුම් කරන්නට උවමනා නැත. ලොක්ක‍ාට හොඳයි කියා හිතෙන සැලසුම් බත්බැලයෝ ක්‍රියාත්මක කරති. ලොක්කාට කඩේ යන මාධ්‍යකරුවෝ උපදෙස්වලින් තොරව ම සතුරා යක්ෂාරෝපණය කිරීමේ ඉතිරි වැඩ ටික කරති. 

වැඩේ උස්සලා දුන් පසු පාලක පවුල කරන්නේ නිහඬව බලා සිටීම පමණි. උසී කියා කී පසු දඩ බල්ලෝ සෑම දෙසින් ම ගොදුර වට කර සපා කා ඇට කටුත් සූප්පු කර වැඩේ අවසන් කර, ස්වාමියා ළඟ වාඩි වී, හති හලමින්, නගුට වනමින් මුහුණ දෙස බලා සිටිති.

අලුත් සතුරකු නිර්මානය වන තෙක් ශිරානිට මේ වධයෙන් ගැලවෙන්නට නො ලැබෙනු ඇත.‍ මොවුන් පස්ස බලනු ඇත්තේ ඇය මහ උළු ගෙදර ම යවලා ය. නීතියේ කන්‍යාව දූෂණය කරන්නට පාන ඇල්ලූ ඇය වැනි අය ටික කාලයක් බෝඩිං බතේ රස බලන එකත් නරක නැත.

ශිරානි කියන්නේ ම අලුත් සතුරකු එළියට ඒ වළක්වන සාධකයකි. ශිරානි යනු ඇතුළේ සිට වරප්‍රසාද ගෙන වැඩිය නටන්නට යන අයට වන දෙයයි. එය දකින තවත් කෙනෙක් ලෙහෙසියෙන් පාලක පවුලට එරෙහිව යන්නේ නැත.

එහෙත්, ඔවුන්ට ප්‍රබල සතුරකු ද අවශ්‍ය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-21

උතුරත්, ඉන්දියාවත් අතර ගුවන් යානා, නැව් යන එක අසභ්‍ය වැඩක් ද?

අනාකලී ජනීතා ජයතිලක හා දයාන් ජයතිලක දේශපාලනිකව සමාන ද?
යාපනයේ හා ත්‍රිකුණාමලයේ සිට ඉන්දියාවට ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්නැයි හා තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතර මුහුදු යාත්‍රා සේවය යළි ආරම්භ කරන්නැයි උතුරු පළාත් සභාව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට පළාත් සභාවට කොහොමත් බැරි ය. ඒ සඳහා කටයුතු කළ හැක්කේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ ය. උතුරු පළාත් සභාව තමන් මේවා ආරම්භ කරන බවක් කියා ද නැත. ඔවුන් ද එ් හා සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට යන්නේ ලංකාවේ හා ඉන්දියාවේ ආණ්ඩුවලට ය. එහෙම යෝජනාවක් කිරීම ඔච්චර කුණුහරුපයක් ද?

මේ යෝජනාව ගැන ලංකාවේ ආණ්ඩුව කුපිත වී ඇත. ආණ්ඩවුට රිංගා ගැනීම සඳහා විශ්ලේෂණ ඔස්සේ ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන දයාන් ජයතිලක පවා දෙරණ නාලිකාව ඔස්සේ මෙය හඳුන්වන්නේ මධ්‍යම ආණ්ඩුව ලවා පළාත් සභාව විසුරුවා ගැනීම සඳහා දෙමළ අන්තවාදීන් දරන උත්සාහයේ කොටසක් ලෙසයි. මේ ඊනියා විශ්ලේෂකයා වනාහි වරක් ලංකාවේ ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පළාත් සභාවේ සිටි කුමන්ත්‍රණකාරී ඇමතිවරයකු බව ද අප අමතක නො කළ යුතු ය.

මේ අද දිනමිණ පුවත්පතේ පළ වූ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශනයකි: උතුරු පළාත් සභාව විසින් පසුගිය 18 වැනිදා, “යාපනයේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය යන ගුවන් තොටුපළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් සේවා ආරම්භ කළ යුතුය“ යනුවෙන් යෝජනාවක් හා ‘උතුරු දුම්රිය මාර්ගය තලෙයිමන්නාරම දක්වා දීර්ඝ කොට ඇති බැවින් තලෙයිමන්නාරමේ ජැටියේ සිට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර නැව් සේවයක් ඇරඹිය යුතුය යන යෝජනාවකුත් ඒකමතිකව සම්මත කොට ගෙන තිබෙනවා. එසේම ‘කන්කසන්තුරේ වරාය පුළුල් කොට වාණිජ වරායක් ලෙස සංවර්ධනය කළ යුතුයි හා ඉන්දියාවේ සිට පැමිණෙන නැව් කෙලින්ම කන්කසන්තුරේ වරායට ගෙන්වා ගැනීමට පියවර ගත යුතුයි යනුවෙන් තවත් යෝජනාවක්ද ඔවුන් ඒකමතිකව සම්මත කොට ගෙන තිබෙනවා.

මේ සියල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සම්මත කර ගත් නීතිවිරෝධී යෝජනා බව පෙන්වා දීමට කැමති යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුස්ම්මිල් මහතා පැවැසීය.

ඇත්තෙන්ම මෙය එච්චර භයානක යෝජනාවක් ද? ලංකාවේ උතුරු හා වයඹ වෙරළවල සිට ඉන්දියාවට ඇත්තේ සුළු දුරකි. තලෙයිමන්නාරමේ සිට නම් දක්ෂ පිහිනුම්කරුවකුට ඉන්දියාවට පිහිනන්නට පවා පුළුවන. ලංකාවත්, ඉන්දියාවත් අතර දේශ සීමා මේ තරම් වැදගත් වන්නට පෙර සමයේ යාපනයේ මිනිස්සු දකුණු ඉන්දියාවත් සමග ඉතා සමීප සම්බන්ධතා පැවැත්වූ හ. චිත්‍රපට බලන්නටත් මිනිස්සු තමිල්නාඩුවට ගිය බවට කතා ඇත. ආරුමුග නාවලර් නම් වූ දෙමළ සංස්කෘතික නායකයා සිය ජීවිත කාලය තුළ කිසි දිනෙක කොළඹ පැමිණි බවට සාක්කි නැති බව මම අසා ඇත්තෙමි. 

ලංකා සිතියමේ ඉදිරිපස ඇත්තේ කොළඹ පැත්තේ යයි අද අප සිතා සිටිය ද මුළු ඉතිහාසය පුරා ම සියලු භූගෝලීය ප්‍රදේශයන්ට එය එසේ වී නැත. උතුරේ මිනිස්සු ඉතිහාසයක් පුරා ම දකුණු ඉන්දියාව සමග සමීප සම්බන්ධතා පැවැත්වූ හ. එහෙත්, ඒ ඉතිහාසය පුරාමත් ලංකාවේ උතුර ඉන්දියාවේ කොටසක් වූයේ නැත. සමස්තයක් ලෙස ම ලංකාවත්, ඉන්දියාවත් අතර සම්බන්ධය එවැනි දෙයකි.

මේ යෝජනාව දෙස සාධාරණ ඇසකින් බලන්නේ නම්, එසේ ඉල්ලා සිටීමේ කිසිදු වරදක් නැති බව වැටහෙනු ඇත. යාපනයේ වැසියකුට ඉන්දියාවට යාමට උවමනා නම්, ඔහු කොළඹ පැමිණ ඒ ගමන යනවා ය කියන්නේ හිස වටා අත යවා කණ අල්ලනවා වැනි වැඩකි. යාපනයත් ඉන්දියාවත් අතර ගමනාගමනයට මගීන් සිටිත් නම්, ඔවුන්ගේ සංචලනය සඳහා සේවාවන් ආරම්භ කිරීම සාමාන්‍ය ධනවාදී ව්‍යාපාරයකි. ඒ සඳහා දැන් පවතින යටිතල පහසුකම් ප්‍රමාණවත් නො වේ නම් කළ යුතුව තිබෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. රටට බරක් වූ මත්තල ගුවන් තොටුපළ හා හම්බන්තොට වරාය වැනි අසාර්ථක යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් ‍රට ණය කළ ආණ්ඩුවකට මෙවැනි ප්‍රායෝගික ව්‍යාපෘති ඒ තරම් දේ විය නො හැකි ය. ඉන්දියාව පවා මෙවැනි ව්‍යාපෘතිවලට ආධාර කරන්නට ඉදිරිපත් වනු ඇත. 

යාපනයේ මිනිස්සු ඉන්දියාවට යන්නේ සිංහලයන්ට එරෙහිව දේශපාලනිකව සංවිධානය වන්නට පමණකැයි සිතන එක ජාතිවාදී මුග්ධකමකි. දෙමළ ජාතිවාදය ශක්තිමත් දේශපාලනයක් යයි සිතන එක ම මුග්ධකමකි. පශ්චාත් කොටි යුගයේ, ආනන්දි සසිදරන් සේ කඳුළු හා හොටු පෙරා ආසනයක් දිනා ගැනීම වැනි දෙයක් කර ගැනීම හැර, දෙමළ ජාතිවාදයට කළ හැකි කිසිවක් නැත. දෙමළ ජාතිවාදයට කෙළ වී තිබෙන්නේ අන් කිසිවකින් නො ව, දෙමළ ඩයස්පෝරාවෙන් එන ඩොලර්වලින් ය. ජාතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ළමා සොල්දාදුවන් නිරමානය කර ගැනීම මේ ඩොලර් නිසා ම දැන් අමාරු වී තිබේ. වැඩිදුර විස්තර අවශ්‍ය නම් පසුගිය ඉරිදා ඔබ්සර්වර් පුවත්පතේ කතුවැකිය කියවා බලන්න. 

අනෙක් පැත්තෙන් උතුරේ ජනතාව ඉන්දියාව සමග සම්බන්ධතා ශක්තිමත් කර ගන්නට කැමැත්තක් දක්වද්දී එය මර්දනය කරන්නට යාම විසින් සිදු වනු ඇත්තේ ජාතිවාදය පෝෂණය වීම පමණි. දෙමළ සමාජය තුළ ප්‍රාග්ධන හා ශ්‍රම සංචලනය පුළුල් කිරීම තරම් දෙමළ ජාතිවාදයට පහර දිය හැකි වෙනත් මාර්ගයක් නැත. කොටි සංවිධානය දේශසීමා වැට කොටු තර කරගෙන උත්සාහ කළේ ද දෙමළ සමාජයට නවීනත්වය පැමිණීම වළක්වා ගන්නට ය. 

නිදහස් සංචලනය මැද පවා ජාතිවාදය පවතිනු ඇත. එහෙත් ඒ කොටින්ගේ කාලයේ පැවත් ස්වරූපයෙන් නම් නො වේ. එය නව ස්වරූපයකි. එතුළ උදය ගම්මන්පිලලා වැනි පොෂ් ජාතිවාදීන් නිර්මානය වනු ඇති මුත්, මිනිස් බෝම්බ නිර්මානය කර ගැනීම පහසු වන්නේ නැත. හරක් වෙනුවෙන් ගිනි තබාගෙන මැරෙන කකුල් දෙකේ හරක් නිර්මානය කර ගැනීම පවා පහසු නැත.

සිදු විය යුත්තේ සමස්ත ලංකාවම ඉන්දියාව සමග සම්බන්ධතා යහපත් කර ගැනීමයි.  ලංකාවේ මධ්‍යම ආණ්ඩුව ‍ද තමිල්නාඩුව සමග සම්බන්ධතා යහපත් කර ගත යුතු ය.  බෙලාරුස් ජනපදය හෝ ස්වාසිලන්තය සමග කටයුතු කිරීමට වඩා ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය තුළ වැදගත් විය යුත්තේතමිල්නාඩුව සමග යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමයි. එහෙත්, ලංකාවේ විදේශ අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් ලිපි ගොනුවක් හෝ ඇති බව නො පෙනේ. 

ඉන්දියාවත්, තමිල්නාඩුවත් දේශපාලනික වශයෙන් කෙතරම් දුබල ද යන්නට උදාහරණයක් ලෙස රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ගත් තීරණය නිසා ඇති වී තිබෙන අර්බුදය දෙස් දෙයි. අනාගත ඉන්දීය අගමැතිනියක් වන්නට සිහින දකින ජයලලිතා එමගින් පෙන්නුම් කළේ ඇය‍ට ජාතික නායිකාවක් වන්නට ඇති නො හැකියාවයි. ‍

මෙ වන විට තමිල්නාඩුවේ සිදු වන දේශපාලනික සංවර්ධනයන් තුළ දැඩි දෙමළ ජාතිවාදී ස්වරූපයක් දක්නට ලැබේ. මේ ජාතිවාදයේ තරම කෙතරම් ද යත්, තමිල්නාඩු ප්‍රාන්තයේ සිවගංගා ආසනය නියෝජනය කරන කොංග්‍රස් පාක්ෂික මන්ත්‍රීවරයකු වන මධ්‍යම ආණ්ඩුවේ මුදල් ඇමති පී. චිදම්බරම්ට පවා ජයලලිතාගේ මෙම තීරණය හෙළා දකින්නට තරම් ආත්ම ශක්තියක් නො තිබිණි.මෙය තමිල්නාඩුවේ තිබෙන ශක්තියක් නොව දුබලකමකි.

ඉන්දියාව පවා මෙවැනි අර්බුදයක සිටින තත්වයක් තුළ ලංකාවේ පාලකයන් බුද්ධිමත් හා උපායශීලී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් ය. ඒ සඳහා මුලින් ම අවශ්‍ය වන්නේ ජාතිවාදී මුග්ධභාවයෙන් මිදී රාජ්‍ය තාන්ත්‍රික වීමයි. 

ලංකාවේ ආණ්ඩුව උතුරු පළාත් සභාවත්, තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවත්, ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත් යන තුන සමග ම යහපත් සංවාදයක් ගොඩනගා ගත යුතු ය. 

තමිල්නාඩුව සූදානම් වන්නේ උතුරත් සමග එක් වී වෙනම දෙමළ රාජ්‍යයක් ගොඩනගන්නට ය වැනි මුග්ධ අදහස් ඉවත දැමිය යුතු ය. මන්ද, එවැනි දෙයකට මුලින් ම විරුද්ධ වන්නේ ලංකාවේ දෙමළ ජාතිවාදියෝ ය. අනෙක් පැත්තෙන්, තමිල්නාඩු ආණ්ඩුවට ද එහෙම එකක් උවමනා නැත. මේ එක්, එක් බලවේගවල අවශ්‍යතා පරස්පර ය. ඒවා අතර දේශපාලනය කිරීම ඉතා සියුම් දෙයකි. ඒ දේශපාලනය වනාහි ප්‍රියංකර ජයරත්නලාගේ, කෙහෙළිය රඹුක්වැල්ලලාගේ පමණක් නොව දයාන් ජයතිලකලාගේ ද අවස්ථාවාදයේ සීමා තුළ කළ හැකි දෙයක් නො වේ. 

මොවුන් තරම් වාචාලකම් දොඩවන්නකු නො වන ජනාධිපතිවරයා වෙනස් අන්දමේ අදහස්වලට සවන් දෙනවා වන්නටත් පුළුවන. 

මූලික වශයෙන් ම ලංකාව තමන් ඉන්දියාවේ හා තමිල්නාඩුවේ පීඩනයට ලක් වී සිටින දුබලයකු ලෙස සිතන පදනම වෙනස් කර ගත යුතු ය. ලංකාව මේ බලවේගවලට පාලනය කළ නො හැකි ප්‍රබල රාජ්‍යයකි. ලංකාවේ පාලකයා කියන්නේ මේ කලාපයේ දේශපාලනය හැසිරවීමේ හැකියාව ඇති ප්‍රබලයෙකි. ඉන්දියාවේ මීළඟ ආණ්ඩුව කුමක්ද යන්න තීරණය කරන්නට පවා ලංකාව හරියට දේශපාලනය කරනවා නම් බැරිකමක් නැත. ලංකාව කලාපීය දේශපාලනය ස්පර්ශ කළ යුත්තේ ඒ විශ්වාසයේ සිටයි.

මෙය පටන් ගත යුත්තේ උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවත්, උතුරු පළාත් සභාවත් එක්ව කටයුතු කරන සංදර්භයක් නිර්මානය කර ගනිමිනි. මේ කිසිවක් ගැටුම් රහිත පරිසරයක් තුළ සිදු වන්නේ නැත. දේශපාලනය කියන්නේ ගැටුම් මැදින් අරමුණ කරා ඉදිරියට යාමයි. 


අප කරමින් ඉන්නේ එයයි. ඇත්තෙන්ම, අපි එසේ ඉදිරියට යමින් සිටිමු. ජාතිවාදියෝ කුමක් කීවත්, කළත්, ලංකාව ඉදිරියට යමින් සිටින්නේ ඔවුන් විසින් පෙන්වා දෙන පාර දිගේ නො වන බව වටහා ගන්නැයි අපි චම්පික රණවක මහතාගෙන් ඉල්ලා සිටිමු.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-19

ගව මස් නො කනු! මිනී මස් කනු!



අන්තවාදයට උඩගෙඩි දෙන කුමන දේශපාලනයක් වුව එකී අන්තවාදය විසින් ම ගිල ගනු ලබන බවට උදාහරණ ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයා ගත හැකි ය. 

මේ දිනවල තවත් උදාහරණයක් රඟ දැක්වෙමින් තිබේ. 

මස් කෑම මිනිසා පරිණාමයේ මුල සිට ම කළ ක්‍රියාවකි. මස් නො කෑම පෞද්ගලික තේරීමකි. මේ පෞද්ගලික තේරීම පොදු සමාජයක් මත පටවන්නට යත්න දරන මුග්ධ අන්තවාදීන් පිරිසක් මේ දිනවල පිටකොටුවේ සංදර්ශනයක් පවත්වති. මුන් ගව මස් නො කෑව‍ාට මිනී මස් කන්නට නම් සූදානම් බව මේ සමග පළ වී තිබෙන ඡායාරූපවලින් පෙනේ. 

බල්ලන් මැරීම තහනම් කළ දා සිට බල්ලෝ අයාලේ යති. මේ වන විට පාසල්, පන්සල් වැනි පොදු තැන් බලු අනාථාගාර වී තිබේ. 

හරකුන් මැරීම නැවැත්වූ පසු අයාලේ යන ගවයන්ට නවාතැන් දෙන්නේ කොහේ ද? 

මේවා අපට අදාළ නැත. මෙවැනි මුග්ධ අන්තවාදයන් පෝෂණය කළ ආණ්ඩුව ම මේ බූරුවන් සමග කටයුතු කරනවා ඇත. අපි නම් කොහොමත් මස් කෑවත් බෙල්ලේ බැඳගෙන කාලා නැත. හරක් ම්‍ස් නැතිනම් ජාතියේ මාංශ ආහාරය කුකුළා ද නරක නැත. 

ඉන්දියාවේදී මට හමු වූ එක් ආගමික අන්තවාදියකු ජීවිතය කැප කර තිබුණේ පිරිමි ළමයින් හස්ත සංසර්ගයේ යෙදෙන එකට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට ය. එහෙත්, එහි ආණ්ඩුව සමග එක් වීමට ඔහුට අවස්ථාව ලැබී නො තිබිණි. 

ලංකාවේ නම් හස්ත සංසර්ග විරෝධී ව්‍යාපාරය නැගලා ගියොත් හාමුදුරුවරු හා ආණ්ඩුව එතනත් ඉන්නවා නිසැක ය. 

බල්ලන් එක්ක ලැග්ගා නම් ඉතින් මැක්කන් ගැනත් වග බලා ගැනීම ආණ්ඩුවේ ම වැඩකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-18

බාහුගේ අසරණකම හා වමේ අසරණකම

මව්බිම පුවත්ප‍තේ අරුණඩේල් විජේරත්න විසින් දුරකථනයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී බාහු සහෝදරයා ඉතා අසරණ තත්වයට පත් වනු නිරීක්ෂණය කළෙමි. 

එවැනි වාම පතාක යෝධයන් සාමාන්‍ය මාධ්‍යකරුවන් අතින් එතරම් අවමානයට ලක් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. 

ගම්පහ නාම යෝජනා ප්‍රශ්නයේදී වික්‍රමබාහු සහෝදරයා අසරණ වී ඇත. ඔහුගේ පක්ෂයේ අය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. නව සමසමාජ පක්ෂය දැන් නම් ඇත්තෙන් ම ඔහු පමණක් වී ඇති සෙයකි. පක්ෂයේ නායකයාත්, මහ ලේකමුත් දෙදෙනා ම ඔහු ය. 

කිසියම් ජයනෙත්ති කෙනෙකු ඔහු පාවා දුන් බව ඔහු කියයි. වාසුදේව ද තමන් පාවා දුන් අයකු බව ඔහු කියයි. මේ ජයනෙත්ති වනාහි ඔහු සිය නෑ සබඳකම් ඔස්සේ පක්ෂයට ගෙන ආ චමිල් ජයනෙත්තිගේ අවතාරයක් විය හැකි ය. මොවුහු මේ වියපත්, හුදකලා මිනිසාගේ කාංසාවන් විය හැකි ය. 

තම පක්ෂයට යම් දිස්ත්‍රික්කයක නාම යෝජනා භාර දීමට අවශ්‍ය තරම් අපේක්ෂකයන් සංඛ්‍යාවක් සොයා ගත නො හැකි නම්, තරග කරන්නට යන්නේ කුමට ද? කාට වැඩ පෙන්නන්නට ද? 

වික්‍රමබාහු සහෝදරයාගේ අනන්‍යතාව විකුණාගෙන කන කීපදෙනෙකු පමණක් ඔහු වටා ඉතිරි වෙමින් අනන්‍යතාවක් ගොඩ නගා ගත් සියලු දෙනා ඔහු හැර ගොසිනි. ලීනස් ජයතිලක, නීල් විජේතිලක, රනත් කුමාරසිංහ, ඥානසිරි කොත්ති‍ගොඩ ආදීහු ආසන්න උදාහරණ වෙති.

මෙවැනි දේශපාලනික වැහැරීම් වීරත්වයට නැගීමේ වාම ව්‍යාපෘති ද තිබේ. සාමාන්‍යයෙන් මේ පක්ෂ කල්ලි, කණ්ඩායම්වල අභ්‍යන්තර හැලහැප්පීම් ගැන අවබෝධයක් නැති, ‍අභියෝගාත්මක දේශපාලනය වෙනුවෙන් තමන් කැප කිරීම් කර නැති නිසා ස්වයංව වරදකාරිත්වයෙන් පෙළෙන ඇතැම් බලවේග විසින් මෙම පුහු වීරත්වයන් නිර්මානය කරනු දක්නට ලැබේ. 

ඇතැම් කණ්ඩායම් විසින් රෝහිත භාෂණගේ විදෙස්ගත හිරු කණ්ඩායමක් වීරත්වයට නැගීම ගැන අපගේ අත්දැකීම් ඇසුරින් අපට මෙම වාමාංශික සංස්කෘතික ප්‍රශ්නය සාකච්ඡා කරන්නට පුළුවන.

‍‍රෝහිත භාෂණ, දීප්ති කුමාර ගුනරත්න, වික්‍රමබාහු කරුණාරත්න වැනි දීප්තිමත් වාම නායකයන්ට මෙම ඉරණම හිමි වුණේ ඇයි? පළමු හේතුව මෙම පුද්ගලයන් සතු අධික මමංකාරයයි. මේ අය ඇත්තෙන් ම අවසානයේදී විඥානවාදීහු ය. මන්ද, තමන් යනු ඉතිහාසය විසින් සුවිශේෂ කාර්යභාරයක් පවරා ඇති බලයකැයි යන භින්නෝන්මාදී අන්ධ විශ්වාස‍යෙන් මොවුහු පෙළෙති. එහෙයින්, ඔවුහු ප්‍රායෝගිකත්වය අත්හැර දමමින් තමන්ගේ අනන්‍යතාව බවට පත් කර ගත් ඇතැම් ආස්ථානවල අත් නොහැර එල්ලී සිටිති. එ් ගැන ආඩම්බර වෙති. තමන්ගේ ඒ ලක්ෂණය ගැන වර්ණනා කරන කීප දෙනෙකු සමග එක්ව හැමදාමත් ආසක්තව සිටිති. 

එහෙත්, ඇත්තෙන්ම මොවුන් තුළ තිබෙන ප්‍රධාන සංස්කෘතික ලක්ෂණය වන්නේ ඔවුන් නියෝජනය කරන බවට ප්‍රසිද්ධ මතවාදයෙහි පරස්පරයයි. නිදසුනක් ලෙස මෙහි සඳහන් කරන ලද තිදෙනා ම ජාතීන්ගේ ප්‍රශ්නයේදී මාර ප්‍රගතිශීලී ස්ථාවරයක සිටි අය බව ඔවුන්ගේ ප්‍රචාරකයෝ පවසති. එහෙත්, තමන් දෙමළ ජාතිවාදයේ ගිලී ගිය බව ආපසු හැරී බලන්නට ඔවුහු මැලිකමක් දක්වති. එහි ප්‍රතිඵලයක් ලෙස වාම කඳවුර පමණක් නොව දෙමළ විමුක්ති අරගලය ද නාය ගිය බව ඔවුහු අදත් නො දකිති.

අනෙක් පැත්තෙන්, ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීම නම් සටන් පාඨය පෙරදැරි කර ගත් අය සිය බල අවකාශය තුළ අන්ත ඒකාධිපතීන් වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් ය. වි‍ශේෂයෙන් ම ස්ත්‍රීන් විෂයෙහි මෙම ඇතැම් නායකයන්ගේ කල්ක්‍රියාවන් විමසා බලන්න. දන්නෝ දනිති. කණ්ඩායමට ඇතුළු වන ගැහැනුන් තමන්ගේ ආදර හෝ ලිංගික හෝ කෙළි බඩු ලෙස සැලකීම මේ අයගේ ප්‍රධාන ලක්ෂණයකි. මෙම වාම කණ්ඩායම්වල දේශපාලනය සෑහෙන දුරට හැසිරවී තිබෙන්නේ ලිංගිකත්වය විසිනි. හිරු කණ්ඩායමට සංවිධානයක් වන්නට බැරි වීම පිටුපස ලිංගික ප්‍රශ්න තිබිණි. 

වාමාංශිකයන් පස්දෙනෙකුට එකට එක් වී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්නට බැරි වී තිබෙන්නේ අධික මමංකාරය නිසා ය. එබැවින් මේ නායකයෝ හැකියාවන් දක්ෂතාවන් ඇති අය බැහැර කර තම ලිංගික වහලිය හා/හෝ වෙනත් දුර්වල පෞරුෂ ඇති අන්තේවාසිකයන් පිරිසක් සමග කටයුතු කරන ආකාරය සුලබව දැකිය හැකි ය. 

මේ අතර, තවත් පිරිසක් මේ කල්ලි කණ්ඩායම් සමග එක් වෙති. ඒ වනාහි රාජ්‍ය නො වන සංවිධාන ස්වරූපී ව්‍යාපෘතිවලට මෙම සංවිධාන, ඒවායේ අනන්‍යතාව, ඉතිහාසය, කීර්තිය හා මතවාද ආදිය විකුණා ආර්ථික හා සමාජමය ලාභ ලබන තැරැව්කරුවෝ ය. මිනිසුන්ගෙන් වියෝ වී හුදකලා වන මෙම සංවිධානවලට සුළු මුදලක් විසි කළ විට ඔවුන්ට මෙම වාම පතාක යෝධයන් අල්ලේ නටවන්නට පුළුවන. ඇත්ත ම ක‍ීවොත්, වාමාංශික සකසුරුවම්වාදය නිසා මේ නායකයන්ගේ මිළ ඉතා අඩු ය. ඒත්, ඔවුන් විකිණෙන්නේ තෝරා ගත් කපටීන් කීපදෙනෙකුට පමණි.

මේ කල්ලි කණ්ඩායම්වල ඇතුළත විස්තර දන්නා පුද්ග‍ලයෝ රැසක් සිටිති. නිදසුනක් ලෙස හිරු කණ්ඩායම විසින් ජාතික ප්‍රශ්නය විෂයෙහි දරන ලද සාමූහික දේශපාලන මැදිහත්වීමේ පංගුකරුවෝ රැසක් දුෂ්කර තත්වයන් යටතේ තම ස්ථාවරයන් රැකගෙන හා සංවර්ධනය කරමින් තවමත් මෙහි සිටිති. ඒ ස්ථාවරයන් නිසා ඇතැමෙකුට රටින් පිටුවහල් වන්නට සිදු වුණා ය කියා එහි මුළු අයිතිය ම හිමි කර ගන්නට හදන බොරු වීරයන් හා ඔවුන් පුම්බන හය හතර නො දත් දරුවන් ගැන ඇති වන්නේ කණගාටුවකි. 

අප මෙම කරුණු කීපය සඳහන් කරන්නේ කාගේවත් චරිත ඝාතනය පිණිස නො වේ. එහෙත්, පුහු වීරයන් පුම්බන්නට ද ඉඩ දිය නො හැකි ය. හේතුව, සමාජවාදී දේශපාලනයක් යළි සොයා ගැනීමේදී එවැනි ක්‍රියා බාධාකාරී වන හෙයිනි. අපට වුණේ කුමක් ද යන ඇත්ත නග්න දෑසින් විමසා බැලිය යුතු ය. ඒ සඳහා ඔය බොරු සරුව පිත්තල සන්නාහ ගලවා දැමිය යුතු ය. වාම ඉතිහාසය සංස්කෘතික වශයෙන් ප්‍රශ්න කිරීම අතිශය දේශපාලනික ය. නව සමාජවාදී භාවිතාවක් සොයා යා හැකි එකම මග එයයි.

ඒ කතිකාවට අපි ඔබටත් ආරාධනා කරන්නෙමු.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-16

අනේ අපොයි “හරි මග ගෙන යන උදය ගම්මන්පිල"

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නීතිය ද, නැතිනම් නීතිය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ද යන ප්‍රශ්නය අදාළ නො වේ.

මේ රටේ අද පවත්නා ක්‍රමය අනුව ගෝටඨාභය රාජපක්ෂ යනු නීතියට ඉහළින් පිහිටි බලයකි. එය වත්මන් පාලන ක්‍රමයේ ප්‍රකාශිත මූලික ලක්ෂණයකි.

ගම්මන්පිල එච්චර බලයක් නො වේ. ඒත්, ගම්මන්පිල බලය විෂයෙහි ඇඹලයෙකි.

මැතිවරණ නීති උල්ලංඝනය නො කරමින් සිය ඡන්ද ව්‍යාපාරය කරන බව කීවත් ඔහු එය දියත් කිරීම සඳහා ‍ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ ගෙන්වන්නට කටයුතු කළේ ය.

මෙය ඉතා පැහැදිලිව ම නීති විරෝධී ක්‍රියාවකි. ඒ බව මැතිවරණ කොමසාරිස් ද පිළි ගනියි. එහෙත්, නීතියට ඉහළින් සිටින කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කාට ද?

මේ ගැන උදය ගම්මන්පිල රාවය පුවත්පතට කියා ඇති කතාව මෙසේ ය: "අමාත්‍යංශයක ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරි තනතුරකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නැත."

ඇත්තට ම මේ නම් අලුත් ම ප්‍රවෘත්තියකි. ඒ අනුව ලංකාවේ දේශපාලන නිලධාරි සේවාව කියා එකකුත් තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අයත් වනවා ඇත්තේ ඒ සේවාවට ය. 

මැතිවරණ කොමසාරිසුත් මෙම සේවාවට අයත් වුණොත් කුමක් වනු ඇද්ද?

මෙතැන නරක ම දේශපාලනය කරන්නේ උදය ගම්මන්පිලයි. මන්ද, තමන් පවත්නා අවනීතිය මත පදනම් වූ අසාධාරණ පාලන ක්‍රමයට විකල්පය යි පෙනී සිටින්නට ඔහු සහ ජාතික හෙළ උරුමය උත්සාහ කරන බැවිනි. එහෙත්, ඔවුන් පදනම් වන්නේ පවත්නා ක්‍රමයේ උපරිම අගතිය මතයි.

ගම්මන්පිලගේ මෙවර තේමාව වන්නේ “හරි මග ගෙන යන උදය ගම්මන්පිල" යන්නයි. 

ඇත්තම කීවොත්, ජාතික හෙළ උරුමය යනු අනුකම්පා සහගත ලෙස කුජීත වූ දේශපාලන ව්‍යාපාරයකි. තමන් පළාත් සභා යන්නේ එය අහෝසි කරන්නට යයි කියූ ජාතික හෙළ උරුමයට නැවතත් එහි බලය ඉල්ලන්නට සිදු වීම ම ඔවුන්ගේ කණගාටුදායක තත්වය පෙන්නුම් කරයි. එය ද කරන්නේ තමන් විරුද්ධ යයි කියන දේවලට නියමින් හෝ අනියමින් හෝ අනුග්‍රහය දක්වන දේශපාලකයන්ගේ සරණින් වීම ඔවුන් පත් වී තිබෙන අසරණකමේ තරම පෙන්වා දෙයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-15

ආණ්ඩුව වෙනුෂා ඉමන්දිගේ චෝදනාවට ලක් වූ විදුහල්පති ආරක්ෂා කරන්නේ ඇයි?

මෙන්න සමාජයට වල් ය කියා පෙනෙන ඡායාරූපය
ලංකාවේ පාසල් යනු ළමා මනස විකෘති කරන මර්දනයේ තෝතැන්නක් බව අපි මීට කළින් ද කීවෙමු.

එහි සිදු වන්නේ අනාගතය සඳහා අවශ්‍ය ගුණගරුක, බුද්ධිමත්, කුසලතා පූර්ණ පරම්පරාවක් නිර්මානය කිරීම නො වේ.

පාසල් අධ්‍යාපනය හැඩගස්වා තිබෙන්නේ සීමිත සුදු කරපටි රැකියා ටිකට පොරකන්නට ය. ඒ වෙනුවෙන් පහේ ශිෂ්‍යත්වයෙන් පටන් ගෙන අ.පො.ස. (උසස් පෙළ) දක්වා වියරුවෙන් මෙන් කට පාඩම් කරමින් විභාග සමත් වන්නට ය. ලබා ගත් දැනුමක් ඇතත්, නැතත්, විභාගවලින් හැකි තරම් අධි සම්මාන ලබා ගන්නට ය.

සමබර පෞරුෂයන් නිර්මානය කිරීමට ඉවහල් වන විෂය සමගාමී හා විෂය බා‍හිර කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ ආකල්ප හොඳ තත්වයක නැත. නිදසුනක් ලෙස පාසල්වල මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා උත්සව ගැන අපි සලකා බලමු. මේවායේදී බොහෝ විට කෙරෙන්නේ දැවැන්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා එහි සංදර්ශනවලින් ඇහැ ගිනි කණ වැට්ටවීම මිස සැබෑ ක්‍රීඩා සංවර්ධනයක් නො වේ.

පසුගිය දිනෙක මා පාසලකදී ඇසූ විදුහල්පති කතාවෙන් සිදු කෙරු‍ෙණේ රවීන්ද්‍රනාත් තාගෝර් ශූරීන්ගේ ගෝරා නවකතාව පාවිච්චි කරමින් පාසලේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් තමන්ගේ පහත් ජන්මය ගැන දැනගෙන සිටිය යුතු ය යන කරුණ අවධාරණය කිරීමයි.

අද වන විට විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ ගුරු අධ්‍යාපනය අතිශය දුර්වල ය. විදුහල්පතිවරුන්ට නම් විධිමත් පුහුණුවක් ඇත්තේ ම නැත. ගුරු විදුහල්වල ලබා දෙන දැනුමේ අඩුලුහුඬු හේතුවෙන් පාසලට එන්නේ දුර්වල පෞරුෂයකින් යුත් ගුරුවරයෙකි. කිසිදු පූර්ව පුහුණුවකින් තොරව පාසල්වලට පත් කරනු ලබන උපාධිධාරීන්ගේ තත්වය භයානක ය. පාසල්වල ප්‍රායෝගික තත්වය තුළ ඔවුන්ගේ ප්‍රමිතිය තවත් පිරිහීමට ලක් වේ. ගුරු අධ්‍යාපනය යාවත්කාලීන කිරීම සඳහා තිබෙන වැඩසටහන් ද අතිශය දුර්වල ය. විශේෂයෙන් ගුරු උපදේශක සේවාව ගන්න ම දෙයක් නැත. විෂය අධ්‍යක්ෂවරුන් ආදීහු බුරුතු පිටින් සිටියත් ඔවුන්ගෙන් අධ්‍යාපනයට සිදු වන සේවාව අවම ය.

මෙම පසුබිම තුළ විදුහල්පතිවරු හා ගුරුවරු තමන්ගේ කාර්යය කුමක්දැයි නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරන බවක් නො පෙනේ. ඇතැම් විදුහල්පතිවරු හා ගුරුවරු සිතා සිටින්නේ දරුවන් ශික්ෂණය කිරීම යනු හිංසනය ය කියා ය. මෙම තත්වය උග්‍ර වන්නට මෑත සිට විදුහල්පතිවරුන්ට සපයන මිලිටරි පුහුණුව ද හේතු වී තිබේ.

සමස්ත සමාජයේ ම කොන්ද බිඳ දමා තිබෙන අද දවසේ ළමා අයිතිවාසිකම් ගැන කතා කරන්නට කිසිවෙක් නැති තරම් ය.

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා 11 ශ්‍රේණියේ දැරියකට වේසි කියා අමතා ඇය මානසික හිංසනයකට ලක් කළ බවට ද ඉන් පසු ඇය ‍සිය දිවි නසාගෙන ඇති බවට ද චෝදනාවක් එල්ල වී තිබේ. එහෙත් පරීක්ෂණයක් නැත.

බලධාරීන් විදුහල්පතිවරයා ආරක්ෂා කිරීමට පෙළඹී තිබෙන්නේ ඇයි ද යන්න ද විමසා බැලිය යුුතු ය‍. තත්වය පිළිබඳ අවබෝධයක් වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර කරන ප්‍රකාශය ඔස්සේ ලබා ගත හැකි ය. මේ ඔහුගේ ප්‍රකාශයකි.

“ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි. වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. දැරියක් පසුගිය දා සියදිවි නසාගත්තා. ඒ විදුහල්පති බැණ වැදුණ බව කියලා. විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕණ. තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. අපිට ඒ කාලයේ හොඳට ගැහැව්වා.මම හොඳට පොඩි කාලේ ගුටි කාලා තියනවා.එත්  අපේ අම්මා කවදාවත් ඇවිත් විදුහල්පතිගෙන් ඇහෙව්වේ නෑ ඇයි මගේ පුතාට ගැහැව්වේ කියලා. මගේ අම්මත් ගුරුවරියක්. අම්මා ඇවිත් මම වැරදි කළාම විදුහල්පතිට ගිහින් මාව  බාර දෙනවා.  එහෙම හැදුන නිසා තමයි මට මේ තැනට එන්න පුළුවන් වුණේ. ඒකයි මම ඔබතුමාලට කියන්නේ කරුණාකරලා තමන්ගේ දරුවෝ ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. නැත්නම් ජීවිතයේ ලොකු අවධානමකට ලක් වෙනවා.ඒ අම්මයි තාත්තයි  දෙන්නා මගේ  ලඟට ඊයේ ආවා. මට ඒ වේදනාව තේරෙනවා. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ විනාශය නොවෙන තැනට වැඩ කරන්න කවුරුත් දැනගත යුතුයි. 

"ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේක එක දවසක සිදුවීමක් නෙමේ. මෙතන විදුහල්පතිගෙත් දරුවාගේත් දෙදෙනාගේම වැරදි තියනවා. මේ සිදුවීම වෙච්ච පාසැල ළමයි හාරදහසක් විතර ඉගෙන ගන්න කීර්තිමත් පාසැලක්. එහෙම පාසැලකට කැළලක් වෙන්න දෙන්න බෑ. ඒ වගේම මේ ගැන මම පුළුල් පරීක්ෂණයක් කරනවා. ඒක ඉවර වුණාම වයඹ පළාතේ ඉදිරියේ දී මේ වගේ සිදුවීමක් නොවන තැනට තීන්දුවක් ගන්නවා. වැරදිකරුට දඬුවම් දෙන්න මම පැකිලෙන්නේ නෑ."

දැන් මේ ඇමතිවරයා කියන ආකාරයට මෙම දැරිය සිය ෆේස්බුක් ගිනුම වැරදි ආකාරයකට භාවිතා කර තිබේ. එහෙත්, එවැනි සාක්කි කිසිවක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි. මෙම දැරිය වල් එකියකැයි පෙන්වීම සඳහා අන්තර්ජාලය හරහා බෙදා හරින ඡායාරූපයේ තිබෙන්නේ කුමක් ද? එය තවත් පිරිමි ළමයකු සමග ගත් ඉතා සාමාන්‍ය ඡායාරූපයක් පමණි. එවැනි ඡායාරූපයක් ගන්නට පෙම් සබඳතාවක් තිබිය යුතු ම නැත. නව ‍යොවුන් වියේ දැරියක එවැනි පෙමක් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් මිස ඇයි වේසියක් වන අවස්ථාවක් නො වේ. විදුහල්පතිගේත්, දරුවාගේත් දෙදෙනාගේ ම වැරදි ඇති බව කියන මහ ඇමතිවරයාට පෙන්වා දිය හැකි දරුවාගේ වැරදි මොනවා ද? අනෙක් පැත්තෙන්, බාල වයස්කාර දැරියකගේත් අලි විදුහල්පතිවරයකුගේත් වැරදි එක මිනුම් දණ්ඩෙන් මනින පදනම කුමක් ද?

මෙම දේශපාලනඥයා මේ අන්දමින් විදුහල්පතිවරයා ආරක්ෂා කරන්නේ ඇත්තෙන් ම දේශපාලකයන් ගුරුවරුන්ට ඇති විශේෂ භක්තියක් නිසා නො වේ. මෙතැන තිබෙන්නේ සමාජ ගැටලුවකි. ඒ වනාහි නරක ආරක්ෂා කිරීමට සමස්ත සමාජයේ ම ඇති පෙළඹුමකි. මෙය සමස්ත සමාජයේ ම පටු ආකල්පවල ප්‍රතිඵලයකි. නවීනත්වය කෙරෙහි විරෝධාකල්ප සහිතව සීමාන්තික අන්දමින් පරිභෝජනවාදයේ ගිලීමේ ප්‍රතිඵලයකි. මේ පිළිබඳව අප ගැඹුරින් සිතා බැලිය යුතුව තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-13

වික්‍රමබාහුලා, භාෂණලා, දීප්තිලා කියන්නේ විවේචනය කරන්න බැරි දෙවිවරු ද දිමිත්‍රි?

විවේචනය දරා ගැනීමට නොහැකිකම ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේමත් වාමාංශිකයන්ගේ මූලික ලක්ෂණයකි. 

එසේම, සත්‍ය ස්වයං විවේචනය යනු ද වාමාංශික නයින්ට අඳුකොළ වැනි දෙයකි.

වාමාංශිකයන් හැම විට ම උත්සාහ ගන්නේ ප්‍රබන්ධ වීරත්වයන් මත පවතින්නට ය. මේ ඒ සඳහා උදාහරණයකි. "(වික්‍රමබාහු) යුධ විරෝධී ස්ථාවරය යුද්ධ කාලෙදිමත් නිර්භයව ප්‍රකාශ කල කීපදෙනාගෙන් කෙනෙක්. (එහෙම කලේ රෝහිත භාශන, ගම්ලත්, x/දීප්ති සහ සමාජවාදී සමානතා පක්ශය ඇතුලු තව කීප දෙනෙක් පමනයි.)" -දිමිත්‍රි

දැන් මේ කීපදෙනා අතරට ඔහු එකතු නො කරන නමක් තමයි, මගේ නම. ඒත්, රෝහිත භාෂණ ඔය නිර්භීතව අදහස් ප්‍රකාශ කළ පත්තරේ ඒ යුගයේ කතුකම කළේ මම. රට හැර ගොස් නිහඬව සිටින නිසා රෝහිත භාෂණ අද බොහෝ දෙනෙකුට වීරයෙක් වෙලා. පසුගිය ජනරළ සම්මන්ත්‍රණයේදී ජනරංජනගේ කතාවෙනුත් මේ අදහස කියැවුණා. ඒත්, මේ කට්ටිය රට හැර ගියේ ඔය කියන තර්ජන නිසා ම ද? මංජුල වෙඩිවර්ධනට ලංකාවට එන්න බැරි ඔහු ලියපු කවි නිසා ද? එහෙනම් ඔහුට මෙහේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ කොහොම ද? සියත පත්තරේ පිටු ටික පාස් කර ගන්නට රජගෙදරට අරන් ගියේ මේ මංජුල නෙමෙයි ද?

මේ අය දැරූ ස්ථාවරය යුද විරෝධී ස්ථාවරයක් ද? ඉතා පැහැදිලිව ම නැහැ. ඔවුන් හිටියේ කොටින්ගේ යුද්ධයට කොන්දේසි විරහිතව පක්ෂ ස්ථාවරයක මිස සැබෑ යුද විරෝධී ස්ථාවරයක නො වෙයි. මාවිල්ආරු වහලා, මූතූර් සටන හා වෙනත් සටන් විරාම උල්ලංඝන සිද්ධි ඔස්සේ යුද්ධය අවුළුවා ගන්නට රජය හා සමාන දායකත්වයක් කොටි සංවිධානයත් කළ බව පැහැදිලි ඇත්තක්. මේ දෙපිරිසටම ඕනැ වුණේ යුද්ධය. එක පිරිසකගේ පැත්ත ගත් අය කොහොමද යුද විරෝධී වෙන්නේ? එහෙනම් චම්පික රණවකත් යුද විරෝධී විය යුතුයි. 

වාමාංශිකයන්ට කොන්ද පණ ඇතිව යුද විරෝධී ස්ථාවරයක් ගන්න බැරි වීමත්, දෙමළ සමාජය දැවැන්ත ව්‍යසනයකට ගොදුරු වීමට හා දෙමළ අරගලය දැවැන්ත විපර්යාසයකට භාජනය වීමටත් හේතු වුණා.

වික්‍රමබාහුගේ මෑත කාලීන වංචාකාරී ක්‍රියා කීපයක් විවේචනය කිරීමත් එක්ක දිමිත්‍රි කරන යම් ප්‍රකාශයක් අපට දිගින් දිගටම විවිධ මාර්ගවලින් එල්ල වන අනියම් තර්ජනයක් එක්ක සමපාත වෙනවා. 

ඒ මෙන්න මේ ප්‍රකාශයයි. "මේ සුචරිතවාදය අනුව ගියොත්, ජවිපෙ කැරැල්ල සමයේ කරපු පුංචි හොරකමුත්, පුංචි මිනීමැරුමුත් ගැන මේ ආණ්ඩුවෙන් හොයන්න ගියොත් ඔබේ ස්ථාවරය අනුව යමින් ඔබ එකඟ වෙනවාද?"

ඉතින් අපට මොකද? දිමිත්‍රිට ඕනෑ නම් ඒ පරීක්ෂණ සම්බන්ධ බිල්ලකු හෝ සාක්කිකරුවකු වීමට අයිතිය තිබෙනවා. වසර ගණනාවක් සිර ගෙවල්වල තබාගෙනත්, 89 කැරැලිකරුවන් සම්බන්ධයෙන් නො කෙරුණ පරීක්ෂණ නේ ඔබ මේ කරන්නට යෝජනා කරන්නේ. ඔබේ දේශපාලනය එය නම් ඉතින් කරන්න.

හැබැයි, මේ පිළිබඳව ඇසිය යුතුව තිබෙන්නේ අපෙන් නොවෙයි. ජවිපෙ නිල නායකත්වයෙන්. ජවිපෙ මේ පිළිබඳව පැහැදිලි කරලා ඉවරයි. 89 කැරැල්ල වකවානුවේ පැවතුණේ යුද්ධයක් මිසක් ප්‍රජාතාන්ත්‍රික සංවාදයක් නොවෙයි. පක්ෂය අතින් වැරදි සිදු වූ බව ජවිපෙ උපමාවකින් පිළි ගත්තේ අත පය බැඳලා ළිඳකට දැමුවාම ගොඩ එන්නට දඟලනකොට වතුර බොර වෙන එක වළක්වන්න බැහැ කියලායි. 

ජවිපෙ තමන්ගේ වැරදි ස්වයං විවේචනාත්මකව දැකීමේ ප්‍රතිළුලයක් ලෙස තමයි, එම පක්ෂය අද වන විට ප්‍රචණ්ඩත්වයෙන් සැලකිය යුතු දුරකට ඈත් වූ පක්ෂයක් වී තිබෙන්නේ.

වැරදි නො කරන දේශපාලන ව්‍යාපාර හෝ ‍දේශපාලන ක්‍රියාධරයෝ නිර්නාමික සයිබර් අවකාශයේ හිටියාට භෞතික ලෝකේ නැහැ. ඒත්, ඒ ව්‍යාපාර හෝ පුද්ගලයන් නිවැරදි වෙන්නේ බාහිර විවේචනය ඉවසීමෙන් හා ස්වයං විවේචනාත්මක වීමෙන්.  වික්‍රමබාහු හෝ මෙහි සඳහන් වන හෝ නො වන වෙනත් වාමාංශික වීරයන්ටත්, දිමිත්‍රිටත්, මටත් නිවැරදි වෙන්නට පුළුවන් වන්නේ ස්වයං විවේචනාත්මක වුණොත් විතරයි. 

දීර්ඝ කාලීන වාමාංශික ක්‍රියාධරයන් ලෙස අපි ඔය වීරයන්ගේ රහස් හුඟක් දන්නවා. ඒත්, අපි ඒ හැම එකක් ම නො කියන්නේ අපේ අරමුණ දේශපාලන සංවාදය මිසක් කුණු රසය ඇවිස්සීම නො වන නිසායි. මේ අය පිළිම කරගෙන ඔවුන්වන්දනා කරන මුවාවෙන් තමන් ම වන්දනා කර ගන්නා අයට අප ප්‍රශ්නයක් වන එක වළක්වන්න අමාරුයි. ඒත්, ඔය මිනිසුන්ට සැබෑ ප්‍රතිරූප ගොඩනගා ගන්න පුළුවන් නිවැරදි වුණොත් විතරයි. එහෙම නැතිව තමන් ගැන ඇත්ත හෙළිදරව් වන එක වළක්වා ගැනීමෙන් නෙමෙයි. 

මම හිතන්නේ දැන් වීරයන් ප්‍රබන්ධ කිරීම ජෝක් වෙලා ඉවරයි. මන්ද, වාමාංශිකයන්ට වඩා හොඳින් මේ වැඩේ ප්‍රතිගාමියෝ කරනවා. නූතන මාධ්‍ය සමාජයේ වීරයන් ප්‍රබන්ධ කරන්න උත්සාහ කරනවාට වඩා මිනිස්කම සොයා ගැනීම තමයි වැදගත්. හොඳ - නරක, ප්‍රබලකම් - දුබලකම් ආදිය සහිත ‍සහෝදරයින් එක්ක මිසක්, බොරු බොල් පිළිම එක්ක වාමාංශික දේශපාලනය කරන්න දැන් බැහැ. 

දිමිත්‍රි හැංගි හැංගි කරන සෙල්ලම ගැන මේ දේත් කිව යුතුයි. ඔබට 1989 කැරැල්ල ගැන ප්‍රශ්න තිබේනම් අපෙන් නොවෙයි, ජවිපෙන් අහන්න. පක්ෂයක් ලෙස ඒවාට පිළිතුරු දීමට අයිතිය ඇත්තේ ඔවුන්ටයි. පෞද්ගලික පැමිණිලි තිබේනම් කරුණු සහිතව පොලිසියට කරන්න. අපෙන් ප්‍රශ්නයක් නැහැ. 

මතක තබා ගන්න, මේ ලියන මම කැරැලිකරුවෙක් පමණක් නොවෙයි. යුද අපරාධ වින්දිතයෙක්. ඔබට පුළුවන් නම් 1989 කැරැල්ලේ යුද අපරාධ පිළිබඳවත් විභාග කරන්නැයි ආණ්ඩුවට කියන්න. එම යුද අපරාධ කළේ අද වික්‍රමබාහුත් සමග එක වේදිකා‍වේ සිටින පක්ෂය බවත් මතක් කර ගන්න.

අප පුහු සුචරිතවාදීන් යයි කියන ඔබ මෑත කාලීනව අප ආරක්ෂා කළ වාමාංශික ස්ථාවරයන්ගේ පරස්පරයන් පෙන්වා දෙනවා නම් වඩා හොඳයි. මන්ද, අපට එහි වැරදි නිවැරදි කර ගන්න පුළුවන්. 

ඔබ පුහු සුචරිතය යයි කියන දෙය අපට නම් එහෙම නොවෙයි. අප උත්සාහ කරන්නේ අප හෙට දවසේ බලාපොරොත්තු වන සමාජ වෙනස අද අප තුළ ඇති කර ගන්නයි. මාධ්‍යකරුවන් ලෙස ආණ්ඩුවේ දූෂණ විවේචනය කරන අපි මහජන මුදලින් පොළී ගෙවන 'සහන' ණය ආණ්ඩුවෙන් ලබා නො ගන්නේ ඒ නිසායි. මන්ද, එතන අවශ්‍යතා පිළිගැටුමක් තිබෙන නිසායි. 

මේක තමයි සමාජවාදය. 

සමාජවාදය කියන්නේ නො නවතින අරගලයක්.   

වික්‍රමබාහු1988දී පමණ සන්නද්ධ ජවිපෙන් ආරක්ෂා වීම සඳහා සන්නද්ධව


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-12

වික්‍රමබාහුගේ පක්ෂයේ ගම්පහ නාම යෝජනාව සහ කවුද මගේ අමුඩේ රුන්නේ කතාව

වාමාංශික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත පිළිබඳ ගැටලුවක් ඇති වී තිබේ. 

රජයේ මාධ්‍ය විසින් මතු කර තිබෙන කාරණය වන්නේ නාම යෝජනා පත්‍රයේ ව්‍යාජ තොරතුරු ඇති බවයි. කියන අන්දමින් නම්, ඇතැම් අපේක්ෂකයෝ සම්පූර්ණයෙන් ම ව්‍යාජ ය. 

මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා 15දා ගම්පහ පොලිසියේ පෙනී සිටින්නට නියමිත ය. 

නෙත් එෆ්. එම්. රේඩියෝවට ඔහු පළ කළ අදහස අනුව එම නාම යෝජනාවට ව්‍යාජ නම් ඇතුළත් කර ඔවුන් අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබී ඇත. 

එක්තරා ගමරාළ කෙනෙකු තමන්ගේ අමුඩේ මළ පහ කළේ කවුදැයි ඇසූ බවක් ජන වහරේ තිබේ. කුමන්ත්‍රණ න්‍යායයන් සම්බන්ධයෙන් වාමාංශිකයෝ කොහොමත් ඔස්තාද්ලා ය. 

වාමාංශික පෙරමුණ වැනි පක්ෂවලට දිස්ත්‍රික්කයක නාම යෝජනා සැකසීම සඳහා අපේක්ෂකයන් හතළිහකට වඩා සොයා ගැනීම දුෂ්කර බව ඇත්තකි. එහෙම වී තිබෙන්නේ තම තමන්ගේ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල නිසා බව ඔවුන් කවදාවත් තේරුම් ගන්නවාද යන්න නම් ප්‍රශ්නයකි.

වාමාංශික පෙරමුණේ ක්‍රියාධරයකු හා බීබීසී ජනමාධ්‍යකරුවකු වන චන්දන කීර්ති බංඩාර පසුගියදා ආණ්ඩුවෙන් පොළී රහිත වාහන ණයක් ඉල්ලා සිටියේ ය. ආණ්ඩුවේ දූෂණවලට එරෙහිව පෙනී සිටින බව කියන මාධ්‍ය ආයතනයක හා දේශපාලන පක්ෂයක ක්‍රියාධරයකු මහජන මුදලින් පොළී ගෙවන ණයක් ආණ්ඩුවෙන් ලබා ගැනීම විසින් අවශ්‍යතා පිළිගැටුමක් නිර්මානය වෙයි. මෙම කරුණ පැහැදිලි කරන්නැයි කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වික්‍රමබාහු කරුණාරත්නගෙන් ඇසූ කල ඔහු හීන් සැරේ මාරු වී ගියේ ය. 

වාමාංශික පෙරමුණ අමාරුවෙන් අමාරුවෙන් මෙසේ ඡන්දය ඉල්ලන්නේ තමන් සම්බන්ධ විදේශ සංවිධානවලින් අරමුදල් ලබා ගැනීම සඳහා ඔවුන් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව එය කෙතරම් සුළු වුණත් වැදගත් නිසා ය. මේවා රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් වැනි ලොකු අරමුදල් ‍ද නො වේ. 

ශිරානි බංඩාරනායකගේ ප්‍රශ්නයේදී අප සිටි ස්ථාවරය වන්නේ ලොකු හොරුන්ට එරෙහි විය යුතු නිසා පුංචි හොරුන්ට පක්ෂ විය යුතු නැති බවයි. මේ කාරණයේදී ද අදාළ වන්නේ එම ස්ථාවරයයි. 

අනුන්‍ට ඇඟිලි දික් කරන මිනිසුන් මුලින් ම තමන්ගේ ඇඟිල්ල පිරිසිදුව තබා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-10

වෙනූෂා ඉමන්දි මිය ගියේ ෆේස්බුක් නිසා ද?

ෆේස්බුක් සම්බන්ධ සිද්ධියක් නිසා තවත් සිසුවියක සිය දිවි නසා ගත් පුවතක් පළ විය.

සිදු වීම ගැන මාධ්‍ය වාර්තා තරමක් අන්දොස් වුණත්, ඒ ඔස්සේ සිද්ධිය ගැන යම් අනුමානයන් කළ හැකි ය. 

මේ ගැහැනු ළමයා සිය දිවි නසා ගන්නේ විදුහල්පති බැන වැදුණු නිසා යයි වාර්තා වුණත්, ඇය විෂාදයෙන් හෙවත් ඩිප්‍රෙෂන් නම් මානසික ගැටලුවෙන් පෙළෙන්නට ඇති බව අනුමාන කළ හැකි ය. මෙවැනි සිය දිවි නසා ගැනීම් පසුපස තිබෙන මෙවැනි ගැටලු ගැන අවධානය ප්‍රමාණවත් පරිදි යොමු වන්නේ නැත. ඒ වෙනුවට සියදිවි නසාගැනීම කතාන්දරයක් බවට පත් කිරීමේ මාධ්‍ය උපායන් නම් බහුල ය.

ලංකාවේ පාසල්වල විෂාධයෙන් පෙළෙන දරුවන් ගැන අවධානයක් යොමු කළ හැකි, වෘත්තිකභාවයෙන් පිරිපුන්, බුද්ධිමත්, දයාබර ගුරුවරු හිඟ ය. සමස්තයක් ලෙස මුළු සමාජයම ලිංගිකත්ව විරෝධී, ස්ත්‍රී විරෝධී, විද්‍යා විරෝධී, මිථ්‍යා මතික ලක්ෂණ අඩු වැඩියෙන් කැටි කරගෙන සිටින අතර, ගුරුවරු යනු ඒ සමාජයේ හරස්කඩකි. 

මෙම විදුහල්පතිවරයා‍ගේ පසුබිම පිළිබඳ තොරතුරු අනුව, ඔහු මෙම දරුවා කෙරෙහි අකාරුණික වන්නට ඇති බව පහසුවෙන් අනුමාන කරන්නට පුළුවන. තමන් 'වේසි' යන වදනින් ඇමතූ බව දැරිය සිය අවසන් ලියුමේ චෝදනා කරයි. එහෙත්, ඒ අකාරුණික වීම පිළිබඳ මාධ්‍යවල පළ වන පරස්පර විරෝධී වාර්තා නම් අවුල් සහගත ය. නිදසුනක් ලෙස විදුහල්පතිවරයා ඇයට කළුවර කාමරයක දමා පහර දුන් බව ද මාධ්‍ය වාර්තාවල කියවේ. පාසල්වල කළුවර කාම‍ර කොයින් ද? අනෙක් පැත්තෙන් විදුහල්පතිවරයා ඇයට බැන වැදුණු ආකාරය පිළිබඳ දන්නා තවත් සිසු දරු දැරියෝ මේ පාසලේ සිටිය යුතු ය. මෙම චෝදනා පිළිබඳ අඩු තරමේ විනය පරීක්ෂණයක් හෝ සිදු විය යුතු ය. 

විදුහල්පතිවරු හා ගුරුවරු සිතා සිටින්නේ ළමයින්ට ශ‍ාරීරිකව හා මානසිකව අඩන්තේට්ටම් කිරීම සඳහා තමන්ට හිමිකමක් තිබේ ය කියා ය. මව්පියෝ ද එසේ සිතති. මෙය වහා වෙනස් විය යුතු තත්වයකි. ළමයාට ළමා හිමිකම් තිබේ. ඒවාට ගරු කිරීම ශිෂ්ට සමාජයක වගකීමකි.

වෙනුෂා ඉමන්දි නම් වන මෙම දැරියගේ ෆේස්බුක් ගිනුම තුළ මිතුරන් නො වන අයට දැකිය හැකි එතරම් සුවිශේෂ ක්‍රියාකාරිත්වයක් දකින්නට නැත. 2013 වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කර තිබෙන මෙම ගිනුමෙහි ඇති සුවිශේෂ දේ වන්නේ ඇය උගත් පාසලේ කොඩිය හා පෙබරවාරි 2දා පමණ පළ කර තිබෙන ඉහත දක්වා තිබෙන ඡායාරූපයයි. ඒ ඡායාරූපයේ ඉන්නේ මේ දැරිය විය නො හැක. එය වෘත්තීය ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද විදේශීය ඡායාරූපයක් විය හැකි ය. එහි සිටින්නේ ඇය බව ඇතැමෙක් විහිළුවට මෙන් පවසා තිබේ. 

මෙම ලිපිය ලියන මගේ ෆේස්බුක් ගිනුමෙහි මිතුරන් අතර පාසල් සිසු සිසුවියෝ විශාල පිරිසක් සිටිති. එම දරුවන් කරන්නේ කුමක්දැයි මම නිරීක්ෂණය කර තිබේ. ඔවුන් වැඩිපුර ම කරන්නේ චැට් කිරීම බව පෙනී ගොස් තිබේ. ඉඳහිට ඡායාරූපයක් ෂෙයා කරනු ද දක්නට ලැබේ. ඒවාට සෙසු පාසල් මිතුරෝ සිංග්ලිෂ් බසින් කමෙන්ට් කරති. විහිළු තහළු සුලබ ය. අධ්‍යාපනික වටිනාකමක් ඇති බෙදා හදා ගැනීම් සඳහා ඔවුන් ෆේස්බුක් භාවිතා කරන බවක් නො පෙනේ. අඩු තරමේ ඉංග්‍රීසියෙන් යමක් ලිවීමට හෝ බොහෝ අය වෙහෙසෙන්නේ නැත. බොහෝ විට ලියන්නේ සිංග්ලිෂ් ය.

මගේ සැබෑ ජීවිතයේ මිතුරන් අතර ගුරුවරුන් සුලබ මුත්, ෆේස්බුක් මිතුරන් අතර ගුරුවරු දුලබ ය.පාසල් වියේ දරුවන්ගේ පරිගණක සාක්ෂරතා ප්‍රතිශතය හා ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතා ප්‍රතිශතය අතර සැලකිය යුතු පරතරයක් තිබේ.

බොහෝ ගුරුවරු ෆේස්බුක් ගැන සිතා සිටින්නේ එය මහා වනචර අවකාශයක් ය කියා ය. එහෙත්, එසේ වන්නේ කෙසේ ද කියා විමසා බැලීමට හෝ ඔවුහු උනන්දු නො වෙති.

නවීන තාක්ෂණය සමග ගමන් කිරීම‍ට නො හැකි අය තුළ ඒ ගැන කාංසාවක් තිබේ. තමන්ට අහිමි ඒ ලෝකය තමන්ගේ දරුවන්ට අත් පත් කර දීමට සිහින මවන ගමන් ම එම ලෝකය ස්පර්ශ කරන සෙසු දරුවන්ට වෛර කිරීම වැඩිහිටියන් අතර දැකිය හැකි සුලබ ලක්ෂණයකි. 

ජංගම දුරකථන පාසලට ගෙන ඒම, ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යාම වැනි කරුණු නිසා ගුරුවරුන් සිසුන් පෙළන ආකාරය අද ඉතා සුලබ ය.  එක් කලෙක මේ අන්දමින් ම බෝල්පොයින්ට් පෑන් විරෝධයක් ද තිබිණි.

සාමාන්‍යයෙන් ලංකාවේ ‍පාසල යනු සිරගෙයකි. එහි එතරම් සුලබ නැති දේ අතර ආදරය, දයාව, කරුණාව, සහකම්පනය ද තිබේ.

හැකි තරම් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරන සමාජයක, විවිධාකාරයෙන් මුදල් එකතු කරමින්, තරගකාරිත්වය හා ටියුෂන් ප්‍රවර්ධනය කරමින්, එම පාරිභෝජනවාදයේ ම දිගුවක් පවත්වාගෙන යන පාසල තුළ නවීනත්වය සමග ඇති කර ගන්නා ගැටුම හේතුවෙන් නිර්මානය වන්නේ අතිශය මර්දනකාරී වටපිටාවකි. 

මෙම ගැටලු නිරාකරණය කර ගැනීම නීති මගින් පමණක් කළ නො හැකි ය. එහිදී ගුරුවරුන්ගේ වෘත්තිකභාවය හා සමාජ අවබෝධය ඉතා වැදගත් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-09

සිසු ජීවිත බිලි ගන්නා පාසල් ස්පෝට්මීට්

නිවාස සැරසිල්ලක්
පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ සැරසිලි වෙනුවෙන් පුවක් ගසක් කැපීමට ගොස් ගසකින් වැටීම නිසා රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙක් මිය ගියේ ය.

නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සැරසිලි කිරීම සඳහා රාත්‍රිය පාසලේ නැවතීම යනු බොහෝ දෙනෙකුට ඉතා සොඳුරු අත්දැකීමකි. සැරසිලි කරනවාට අමතරව, හොර කුරුම්බා කැඩීම, මධ්‍යම රාත්‍රියේ බේකරියෙන් මිළ දී ගත් උණු පාන් කෑම වැනි තවත් රසවත් අත්දැකීම් ද මේ සමග වෙළී තිබේ.

මේ අත්දැකීම් නව යොවුන් විය රසවත් කරන මුත්, ඒ සමග බැඳී තිබෙන අනතුරුදායකකම ඉතා භයානක ය. අප කුඩා කාලයේ මෙන් නොව දැන් දරුවන්ට සාමාන්‍ය ජීවිතය තුළින් ලැබෙන හසුරු කුසලතා අඩු ය. ඒ නිසා අනතුරුදායකකම  තවත් ඉහළ ගොස් තිබේ. 

පාසල්වල නිවාස සැරසිලි යනු මේ වන විට මළ විකාරයකි. මේවා ස්වාභාවික ද්‍රව්‍යවලින් කළ යුතු බවට පාසල් බලධාරීන් විසින් කර තිබෙන නියෝග නිසා පාසල් සිසුන් අතින් අවුරුදු පතා සිදු වන පාරිසරික හානිය අති විශාල ය. ඵල දරන පුවක් ගස්, කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් කපා දමනු ලැබේ. ඒ මදිවාට ගොක් අතු, පොල් කොළ ආදිය කපා දැමීම නිසා ඵලදාවට සිදු වන හානිය ද විශාල ය. 

පසු කාලීනව පාසල්වල දකින්නට ලැබුණු තවත් දෙයක් වන්නේ නිවාස සැරසිල්ල වෙනුවෙන් නිවාසයක අනුරුවක් ඉදි කරන ආකාරයයි. ඒ අනුව බොරු වැසිකිළියක්, ළිඳක‍් ආදිය පවා ඉදි කරනු දක්නට ලැබිණි. මේවා කරන්නේ කුමන අරමුණකින් ද කියා පාසල් ක්‍රීඩා බලධාරීන්ට තේරුමක් නැත. 

රටේ බොහෝ පාසල්වල ක්‍රීඩා උත්සව කියන්නේ ඇත්තෙන් ම මෙවැනි ‍තේරුමක්, දැක්මක්, අවබෝධයක් නොමැතිව කරනු ලබන සංදර්ශන විශේෂයකි. මෙම සංදර්ශනවල ප්‍රමුඛ අවධානය යොමු වන්නේ ගෙන්වන අමුත්තා, සැරසිලි, සරඹ, බෑන්ඩ් කණ්ඩායම්, ආචාර පෙළපාලි ආදියට මිස ක්‍රීඩාවට නොවේ.

ක්‍රීඩා උත්සවවලදී මෙම පුහු සංදර්ශන මහ ඉහළින් කෙරෙනමුත්, පැවැත්වෙන ක්‍රීඩා ඉසව්වලට සිසුන් හරි හැටි සහභාගි වන්නේ නැත. සංදර්ශන ඇඳුම්වලට දහස් ගණනින් මුදල් වියදම් කරන මුත්, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දුවන්නේ ක්‍රීඩා ඇඳුම් නොව නිකම් ටී ෂර්ට්, ත්‍රී ක්වාටර්ස් ආදිය ඇඳගෙන ය. ක්‍රීඩා උත්සවවලදී බොහෝ විට සහාය දිවීමේ තරග පැවැත්වෙන අතර ඒවායේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ වන්නේ නිවැරදි අන්දමින් ආරම්භය ගැනීම හා යෂ්ටි හුවමාරුව වැනි මූලික තාක්ෂණයන් නො දන්නාකමයි. 

ලංකාවේ පාසල්වල ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම තිබෙන්නේ ඉතා ම කණගාටුදායක මට්ටමක ය. අවුරුද්ද පුරා ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට අවස්ථාව ලබා දී ඉන් අනතුරුව ක්‍රීඩා උළෙලක් පැවැත්වීම වෙනුවට දැන් බොහෝ පාසල්වල කෙරෙන්නේ අවුරුද්දේ මුල දඩි බිඩි ගා ක්‍රීඩා තරග ටිකක් පවත්වා කවුරු හෝ දේශපාලන බලධාරියකුට හා ඉහළ නිලධාරීන්ට පෙනෙන්නට සංදර්ශනයක් පැවැත්වීමයි. මේවා වනාහි විදුහල්පතිවරුන්ගේ හා අදාළ ක්‍රීඩා ගුරුවරුන්ගේ සංදර්ශන මිස පාසල් සිසුන්ගේ ක්‍රීඩා උළෙලවල් නො වේ. මේවා බලන්නට එන බලධාරීහු ද ඒ සංදර්ශනයෙන් ඇහැ ගිනි කණ වට්ටා ගන්නවා මිස ක්‍රීඩාවට සිදු වී ඇති දෙය ගැන සොයා නො බලති. 

පාසල් ක්‍රීඩාවල පරිහාණිය යනු බිම් මට්ටමමේදී ක්‍රීඩා කෞශල්‍යයන් හඳුනා ගන්නට අසමත් වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ රටේ ක්‍රීඩාව ඉදිරියට නො යාමයි. එයටත් වඩා භයානක තත්වය වන්නේ ක්‍රීඩාවට යොමු නො වෙන පාසල් අධ්‍යාපනයකින් බිහි වන්නේ රෝගී අනාගත පරපුරක් වීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-07

හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගු ද?

නිවේදනයයි: W3Lanka බ්ලොග් අඩවියේ රචකයා ජනරළ පුවත්පත හැර වෙනත් කිසිදු සිංහල පුවත්පතක‍ට හෝ වෙබ් අඩවියකට හෝ ලියන්නේ නැති බව ද කරුණාවෙන් සලකන්න. 

මේ බව සඳහන් කරන්නට සිදු වූයේ අප විසින් ලියන ලද ලිපියක් ලංකා ඊ නිව්ස් විසින් තමන්ට ලියන ලද ලිපියක් ලෙස පෙනෙන සේ පළ කර තිබෙන ආකාරය දැකීමෙනි. 

මෙම බ්ලොග් අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කරමින් ලිපි නැවත පළ කිරීම අපි හැම විට ම උනන්දු කරන්නෙමු. එහෙත්, මේ අන්දමින් අනවසරයෙන් ලිපි නැවත පළ කිරීම ආචාර ධාර්මික නො වේ. 

කරුණාකර අප අපහසුවට පත් වන අයුරින් ලිපි නැවත පළ නො කරන ලෙස අපි සහෝදරත්වයේ හා මාධ්‍ය ආචාර ධාර්මිකත්වයේ නාමයෙන් ඉල්ලා සිටිමි. 

අද පැවැත්වෙන  'හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගුද?' යන මැයෙන් වූ සම්මන්ත්‍රණයට අදාළව අප විසින් ලියන ලද ලිපි දෙකක සබැඳි මෙහි නැවත පළ කරමි.

සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර

සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත්

මෙම කරුණට අදාළව 'රාවය' පුවත්පත විකල්ප පුවත්පතක් ලෙස සලකා බැලිය හැකි ය. ඇත්තෙන් ම රාවය වනාහි ප්‍රධාන ධාරාවේ අදහස් හා මතවාදවලට වෙනස් අදහස් හා මතවාද ඇති ප්‍රභූ මාධ්‍යකරුවන් පිරිස‍කගේ නිර්මානශීලිත්වයෙන්, ශ්‍රමයෙන් හා සමාජ හා භෞතික ප්‍රාග්ධනයෙන් පවත්වාගෙන යනු ලබන මාධ්‍යයකි. එමගින් කිසියම් ප්‍රභූ අවකාශයක් ද නිර්මානය කර තිබෙන බව මගේ අදහසයි. ඒ තුළ අප ඉහත සඳහන් කළ ලිපිවල හුවා දක්වන කර්තෘ මාණ්ඩලික ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය සාකච්ඡාවට භාජනය කළ හැකි ය. 

විකල්ප පුවත්පතක් ලෙස රාවයේ සීමාව මෙම ප්‍රභූ කර්තෘ මණ්ඩලය විසින් සලකුණු කරනු ලබන බව මගේ අදහසයි. එසේ නම් ජනරළ හෝ වෙනත් පුවත්පතක් විසින් සලකුණු කරනු ලබන්නේ ද මෙවැනි ම සීමාවක් වන්නට පුළුවන. 

විකල්ප යයි කියන පුවත්පත්වලට තව දුර‍ටත් විකල්ප විය නො හැක්කේ මෙම කාරණය නිසා යයි මම සිතමි. මන්ද, විකල්ප අදහස් නිදහස් අන්දමින් පළ කළ හැකි වෙනත් අවකාශයන් ගොඩනඟා ගැනීමේ අවස්ථාව සමාජ මාධ්‍ය විසින් උදා කර දී තිබෙන බැවිනි. අපගේ මෙම බ්ලොග් අඩවිය පවා ඒ සඳහා උදාහරණයකි. 

අද වන විට ස්මාට් ජංගම දුරකථන ඉතා සුලබ වී තිබේ. ඒවා පරිහරණය කරන්නන් ඇත්තට ම මාධ්‍යකරුවන්ට වඩා ස්මාට් ය. විකල්ප මාධ්‍යකරුවන්ට පවා වේගයෙන් දුවන ඒ අවකාශය ස්පර්ශ කිරීම දුෂ්කර වී තිබේ. 

අප මාධ්‍යකරණයේ යෙදෙන්නේ කුමක් වෙනුවෙන් ද? 'කවිය, කවිය වෙනුවෙන් ය' යන සංකල්පය මෙන් විකල්ප මාධ්‍ය ද මාධ්‍ය වෙනුවෙන් කරන දෙයක් නම් සම්ප්‍ර්‍රදායික මාධ්‍ය වෙත තබන බර වැදගත් විය හැකි ය. 

අප මාධ්‍යකරණයේ යෙදෙන්නේ සමාජ වෙනසක් වෙනුවෙන් නම්, මාධ්‍යයට වඩා පණිවුඩය වැදගත් බව මගේ අදහසයි.  එහිදී මාධ්‍ය ආකෘතිය අපට බාධාවක් නො විය යුතු ය. 

'විකල්ප පත්තර' යන යෙදුම අද දිනයට ඒ තරම් අදාළ නො වන්නේ මේ නිසා යයි මම සිතමි. අප මහන්සි විය යුත්තේ විකල්ප මාධ්‍ය වෙනුවෙන් මිස විකල්ප පත්තර වෙනුවෙන් නො වේ. විකල්ප පත්තර විකල්ප මාධ්‍ය අවකාශයේ අනිවාර්ය කොටසකි. මන්ද, කඩදාසිවල රොමැන්තික් සරසරය හුදු ස්පර්ශමය හෝ දෘෂ්‍යමය සුවයක් පමණක් නො වන බලයක් ව නිසා ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-06

මතුගම ඡන්ද කෙරුවාව ගැන ගම්මැදි හෑල්ලක්

මතුගම ජනතාව යනු 1947 මහ මැතිවරණයේදී නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාව ඡන්දයෙන් පරද්දා එතුමාගේ දේශපාලන අනාගතයට තිත තැබූ ජනතාවකි. 

ඒ ජනතාව 2010 මහ මැතිවරණයේදී නීති විරෝධී අවි ආයුධ ළඟ තබා ගැනීම නිසා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටි චන්ඩි හෙවත් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු යැව්ව හ. මෙම අවි ආයුධ භාවිතා කෙරුණේ නෙල්සන් මැන්ඩෙලා මෙන් විමුක්ති අරගලයක් කිරීමට නො ‍‍වේ. සිය දේශපාලනික සතුරන් මර්දනය කිරීමටයි.

බුද්ධිමත් නායකයකු වන කන්නන්ගරයන් පැරදවූ මතුගම ජනතාව අඩ සියවසකට පසුව චන්ඩිකම පමණක් දන්නා ගුස්ති අල්ලන්නකු  පාර්ලිමේන්තු යවා තිබේ.

2010දී පාලිත තෙවරප්පෙරුමට ආධාර කළ ප්‍රධාන පුද්ගලයකු වන්නේ ඇමති කුමාර වෙල්ගමයි. තමන්ට නො දෙන ඡන්ද තමන්ගේ ප්‍රතිවාදියා වන ඇමති මහින්ද සමරසිංහට නො දී එක්සත් ජාතික පක්ෂයේ පාලිතට දෙන්නට ඔහු දිරි දුන්නේ ය.

දැන් පාලිත තෙවරප්පෙරුම යන නාමය මාධ්‍යවල නිතර කියවේ. ඔහුට මේ දවස්වල තිබෙන ලොකුම ගැටලුව ඔහුගේ පුතාගේ නාම යෝජනාවයි. ඔහු‍ගේ බලවත් විරෝධය එල්ල වන එක් අයකු වන්නේ 2010දී ඔහු සිරගතව සිටියදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ බර ඇද්ද පුද්ගලයකු වන උදිත ඉලේපෙ‍රුමයි. 

2010 මහ මැතිවරණයෙන් පසු පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයේදී ඔහු සිය බිරිය ප්‍රාදේශීය සභාවට පත් කර ගන්නට සමත් වූයේ ය. මතුගම ආසනයෙන් තමන්ට දෙවෙනියෙක් හෝ ඉදිරියට පැමිණීම වළක්වා ගැනීමේ උවමනාව ඔහුගේ දේශපාලනයේ පදනමයි. 

ඔහු මෙවර නාම යෝජනා අරන් දීමට වෙහෙසෙන ඔහුගේ පුත්‍රයා වනාහි උගත්කමක් නැති, තාත්තා දන්නා දේටවත් දක්ෂ යයි ‍නො පෙනෙන අසරණ රැකියා විරහිත තරුණයෙකි. 

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රදේශයේ ධනවත් පොළී ව්‍යාපාරිකයකු වන ජගත් පී. විතානට නාම යෝජනා දී තිබේ. පාලිත තෙවරප්පෙරුම තෙවරක් කරකවා ඇද වැටෙන්නේ මෙම සිද්ධියත් සමගයි. 

ජගත් පී. විතානගෙන් මතුගමට යම් සේවාවක් වී ත‍ිබේ. ඔහු ගෙවල් කුලී මණ්ඩලයට යටත්ව ව්‍යාපාරිකයන් විසින් අයිතිකරුවන්ට ඉතා සුළු කුළියක් ගෙවමින් අලුත්වැඩියා කිරීමකින් හෝ තොරව පවත්වාගෙන යන මතුගම නගර මධ්‍යයේ  පිහිටි ගරා වැටුණු හොල්මන් මන්දිර මිළ දී ගෙන, ඒවා කඩා බිඳ දමා නගරයට කලඑළියක් දෙන්නට කටයුතු කරමින් සිටියි. එම ගොඩනැගිලිවල අයිතිකරුවන්ට එම කාර්යය කර ගන්නට බැරිව සිටියදී ජගත් සියලු පාර්ශ්වයන්ට ඉහළ වටිනාකමක් ගෙවා එම දේපල නිදහස් කර ගනියි. 

වෙනත් පොදු අවකාශයක් තබා, පොදු වැසිකිලියක්වත් නැති, හරි හමන් කෑම වේලක් කන්නට පුළුවන් කඩයක් නැති මතුගම නගරයේ ඉඩම් මිළ හා කඩ කුළී ආදිය කොළඹ තරමට ම වැඩි වීමට හේතුව ජගත්ගේ පොළී සල්ලිවල මැදිහත්වීම ය යන මතයක් ද තිබේ.  

මතුගම ව්‍යාපාරික අවකාශයේදී ජගත් ආණ්ඩුව වැනි වන අතර කුමාර් වෙල්ගම විපක්ෂය වැනි ය. කුමාර් වෙල්ගම නගර මධ්‍යයේ කඩාකප්පල්කාරී තදබදයක් ඇත‍ි වන තැනක ඉන්ධනහලක් පවත්වාගෙන යනවා පමණක් නො ව, සිය රාජ්‍ය බලය පාවිච්චි කරමින් වෙනත් කෙනෙකුට ඉන්ධනහලක් ආරම්භ කිරීමට ඉඩ දෙන්නේ ද නැත.

මේ ගම්මැදි හෑල්ල ලිව්වේ එක් කරුණක් නිසා ය. ගම්වල දේශපාලනය සිදු වන්නේ ඔය කොළඹ ජනමාධ්‍යවලින් කියන ආකාරයට නො වේ. කොළඹ ජනමාධ්‍යවලට බොහෝ විට තිබෙන්නේ ගම ගැන අසම්පූර්ණ චිත්‍රයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-02-05

අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්

හිතවත් අනුර සහෝදරයා,

ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ.  2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ.

පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත. 

එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. ‍එසේම පෙර‍ටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය. 

ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ‍ගේම් ය. බලය සඳහා වූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් නිසා ය.

ඛන්ඩනයට පෙර මුල් කාලයේ ඔබ කුමාර් ගුනරත්නම්ගේ මිනිහෙකි. පක්ෂය තුළ ඔබ ඉදිරියට ගෙන ආවේ කුමාර් ගුනරත්නම්ගේ කණ්ඩායම විසිනි. එහෙත්, ඔබ ඔහු සමග කැඩී නො යන්නට තීරණය කළේ ය. මේ මොහොතේ ඔබට කළ හැකි එක් කාර්යයක් වන්නේ ජවිපෙන් ගිලිහී ගිය කාවන්ධය නැවත සවි කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එහෙත් එය පහසු කාර්යයක් නො වේ. ඉතිහාසයක් මුළුල්ලේ ජවිපෙන් ගැලවී ගිය බලවේග ආපසු දිනා ගන්නට සමත් වෙතොත් ජවිපෙට හොඳ අනාගතයක් තිබේ. ඒ සඳහා ජවිපෙ තමන් තුළ ම ලොකු වෙනසක් සිදු කර ගත යුතු ය. 

පළමුවෙන් ම බොරුවෙන් පවතින්නට දරන උත්සාහය අත් හළ යුතු ය. මා සිතන පරිදි නම් වැඩි කරන ලද විදුලි බිලට එරෙහිව මතු වෙමින් පැවති විරෝධය දිය කර හරින්නට පමණක් ඉවහල් වූ ලාල් කාන්ත විසින් නායකත්වය දෙන ලද සංකේත වර්ජනය මේ බොරුවෙන් පැවතීමේ අවසානය සංකේතවත් කළ සිද්ධියක් විය. 

ජවිපෙ සතුව සිටි සම්ප්‍රදායික විප්ලවවාදී බලවේගය පෙරටුගාමී පක්ෂය සමග ගැලවී ගියේ ය. ඔවුන් කුමක්දෝ සංවාදයක් කරන බව කියමින් දීර්ඝ කාලීන සිසිර නිද්‍රාවකට ගොස් සිටින නිසා මේ මොහොතේ එම බලවේගය තුළ සිටින ක්‍රියාකාරිත්වය නැතිව බැරි ඇතැම් අය ආපසු දිනා ගන්නට ඔබට හැකි වන්නට පුළුවන. කලක් ඔබ විසින් ද්‍රෝහීන් ලෙස හඳුන්වන ලද ඇතැමුන් ඔබගේ අ‍පේක්ෂක ලැයිස්තුවල සිටින ආකාරය දුටු විට අපට යම් සතුටක් ඇති වේ. ඒ ඔබ තුළ කිසියම් විවෘතභාවයක් ඇති වී තිබෙන බව දැකීමෙනි. 

ජවිපෙට අනන්‍යතාවක් තිබෙන්නේ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින, අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬ නඟන, යහපත් වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින, සමාජවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, ජවිපෙ දිය වී ගියේ මේ සියල්ලට යටින්පක්ෂය තුළ ඔඩු දිවූ කුහකත්වය නිසා ය. මේ කුහකත්වය වාමාංශික ජීවිත තුළ ඇති පසුගාමී ලක්ෂණයකි. කෙසේ වෙතත්, පසුගිය කාලයේ පෙරටුගාමී පක්ෂය මෙම සැබෑ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළ බව කිව යුතු ය. ඔවුන් එය පිටු දුටුව හ. එහෙත්, ඒ සමග ඇති වූ අලුත් තත්වය ඉවහල් වී තිබෙන්නේ අලුත් ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියට යන්නට නොව තමන් සොයන විකල්පය පැරණි, කුප්‍රකට කුහකයන් තුළින් සොයන්නට යාමට ය.

සමාජවාදය ගැන අලුතින් ම සිතිය යුතු ය. එහෙත්, ඒ අතරතුර සමාජවාදීන් දේශපාලනය කළ යුතු ය. ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂය‍ දේශපාලනය කළ යුත්තේ මෙම කරුණ ගැන ගැඹුරින් සිතා ය. මෙම පක්ෂවල දේශපාලනය අලුත් සිතීම්වලට බාධාකාරී නො විය යුතු ය. ඒ වෙනුවට ඒවාට උපකාරී විය යුතු ය. සරළව කියනවා නම්, පෙරටුගාමී පක්ෂ සංකල්පය විසින් පක්ෂ සාමාජිකයාගෙන් ඉල්ලා සිටින මිලිටරි විනය ගැන ජවිපෙ නැවත සිතා බැලිය යුතු ය. ජවිපෙට ඉඩක් තිබෙන්නේ ලිබරල් වාමාංශික පක්ෂයක් ලෙසයි. 

එහෙත්, මේ ලිබරල්කම හේතුවෙන් ඇමති තනතුරු කීපයක් වෙනුවෙන් ආත්මය වුණත් පාවා දෙන තිස්ස විතාරණලාගේ සිට වාසුදේව නානායක්කාරලා දක්වා බලවේගය මට්ටමට ජවිපෙ නො වැටෙන මට්ටමින් තබා ගත යුතු ය.

සැබෑ මහජන නියෝජනය ජවිපෙට කළ හැකිව තිබෙන ලොකුම මෙහෙයයි. මන්ද, මේ වන විට සෙසු පක්ෂ විසින් කරමින් තිබෙන්නේ පුද්ගලයන්ගේ අවස්ථාවාදී අවශ්‍යතා නියෝජනය කිරීම වීමයි. මහජනයා නියෝජනය කිරීම යනු තමන්ගේ සතුරන් ලෙස හඳුනා ගත් වාමාංශිකයන් ඉවත ලා සෙසු පිරිස් පමණක් නියෝජනය කිරීම නො වේ. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය උත්සාහ කළ යුත්තේ පීඩිත ජනතාවගේ සැබෑ නියෝජිතයන් වන්නට ය. 

මෙහිදී පීඩිත ජනතාව ද යළි හඳුනා ගත යුතු යයි මට සිතේ. දරුණු ලෙස පාදඩකරණය වී තිබෙන වත්මන් සමාජයේ දේශපාලක සොරුන් ළඟ දනින් වැටී දෙපතුල් ලෙව කෑම උතුම් ලෙස සලකන පාදඩ බලවේගයට සහෝදරත්වය ප්‍රකාශ කරන්නට කුමන හෝ වාමාංශික පක්ෂයක් කලබල විය යුතු නැත. මන්ද, මෙම පාදඩ ස්ථරය දැන් නිර්ධන, මධ්‍යම, ධනපති පංති හා ජාති, කුල ආදිය හරහා ද විහිදී යන පුළුල් බලවේගයකි. ලංකාවේ ලොකු ම සමාජ ගැටලුව මෙම පාදඩයෝ ය. මේ මොහොතේ වාමාංශිකයන්ගේ අරගලය මෙකී පාදඩ ස්ථරයට එරෙහි එකක් විය යුතු ය.

ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ යුත්තේ පාදඩයින් නො වන පීඩිතයන්ව ය. එම නියෝජනය ‍ගේම් රහිත සැබෑ නියෝජනයක් විය යුතු ය. නිදසුනක් ලෙස, මෙම ලේඛකයා ජවිපෙ වෙනුවෙන් අතීතයේදී දායකත්වයක් දී ඇති කෙනෙකි. වර්තමානයේදී ද ඔහු ජවිපෙට ඡන්දය දෙන්නෙකි. එහෙත්, ඔහු ජවිපෙ දෙස විචාරාත්මක ඇසකින් බලන්නෙකි. ගේමකින් තොරව අවශ්‍ය තැනදී ජවිපෙ විවේචනය කරන්නෙකි. ජවිපෙ සාමාන්‍යයෙන් නම් පෙනී සි‍ටින්නේ මෙවැනි අයගේ විනාශය වෙනුවෙනි. මා මෙම නිදසුනින් අවධාරණය කරන කරුණ වන්නේ ජවිපෙ තමන්ට ඡන්දය දෙන්නේ කවුුරුද යන්න හඳුනා ගත යුතු බවයි. ජවිපෙට ඡන්දය දෙන්නේ පාදඩ නො වන පීඩිත පංතියයි. ජවිපෙ මහජන සභාවලදී ඔවුන් නි‍යෝජනය කළ යුතු ය.

මහජන සභා නියෝජනය ධනේශ්වර දූෂණයෙන් තම පක්ෂ පෝෂණය කර ගැනීමේ මාර්ගයක් කර ගැනීම දැන්වත් අවසන් කළ යුතු ය. ඒ කියන්නේ ජවිපෙ මහජන සභා නියෝජනය කළ යුත්තේ පඩිය අරගෙන පක්ෂ අරමුදලට දීමට හා වාහන ටික පක්ෂ භාවිතයට දීමට නො වේ. ජවිපෙ සැබැවින් ම ජනතාව නියෝජනය කළ යුතු ය. එවැනි මහජන නියෝජිත වෘත්තිකයන් බිහි කර ගැනීමට ජවිපෙ උත්සාහ කළ යුතු ය. අනුර කුමාර දිසානායක යහපත් ලක්ෂණ තිබුණු මහජන නියෝජිත වෘත්තිකයෙකි.

අනුර සහෝදරයාට සුබ පැතුම්!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com