2014-03-31

පළාත් සභා ඡන්දෙන් පසු මෙතැනින් කොතැනට ද?

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුවේ බහින කලාව ඇරඹී ඇති බව පැහැදිලි ය.

ආණ්ඩුව ‍මේ මොහොතේ පටන් ම සැරසෙමින් ඉන්නේ මේ ජනවරම මංකොල්ල කෑමට ය. ඒ කියන්නේ විපක්ෂ ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීන් මිළ දී ගන්නට ය. ඔබේ මනාපයෙන් පළාත් සභාවට තේරී පත් වූ ගෙම්බන් කීපදෙනෙක් ආණ්ඩුවට එක් වනු දැක සිත කම්පා කර නොගන්නට ජනතාව වග බලා ගත යුතු ය.

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයේ වඩාත් කැපී පෙනෙන වෙනස ජවිපෙ නැගීමයි. අප ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිබිදීම එතරම් නොතකන්නේ ඉතිහාසය පුරා ම මෙවැනි පුද්ගල කේන්ද්‍රීය සෝඩා බෝතල්වලට වැඩි ආයුෂක් නො තිබුණු නිසා ය.

ජවිපෙ සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නේ තමන්ට සුපුරුදු අන්දමින් බිම් මට්ටමින් වැඩ කරන්නේ නැතිව වීම විශේෂයකි. ගෙන් ගෙට කැන්වසින් යාම, පෝස්ටර් ගැසීම, ‍කොඩි දැමීම වැනි ජවිපෙ සම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු මෙම මැතිවරණයේදී එතරම් පුළුල්ව සිදු කෙරුණේ නැත. එයට ප්‍රධාන හේතුව ජවිපෙ බිම් මට්ටමේ ක්‍රියාකාරී බලවේගය පක්ෂයෙන් ඉවත් වී යාමයි. ජවිපෙ ඡන්ද ලබා ගත්තේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙතින් ලද ආවරණය නිසා ය. නායකත්ව වෙනස හා අනුර කුමාර දිසානායක තුළින් ප්‍රදර්ශනය වූ දේශපාලන වෘත්තිකභාවය ද මේ ජයග්‍රහණයට ඉවහල් විය.

ජවිපෙට දෙන ලද ඡන්දවලින් ඉතා පැහැදිලිව ම පුළුල් සමාජ වෙනසක් පිළිබඳ අපේක්ෂා ප්‍රකාශයට පත් වී තිබේ. මේ පිළිබඳව ජවිපෙ බැරෑරුම් ලෙස කල්පනා කළ යුතු ය. ජනතාවගේ අපේක්ෂාව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙනසක් බව ඉතා පැහැදිලි ය.මෙම තත්වය 2004 වසරට යම්තාක් දුරකට සමාන ය. එදා ජනතාව ජවිපෙ මහ ඉහළින් දිනවමින් අපේක්ෂා කළ දෙය වැනි දෙයක් මෙදාත් ජනතාවගෙන් ප්‍රදර්ශනය වෙමින් තිබේ. 

එහෙත්, අද වන විට ජවිපෙ එදාටත් වඩා පිරිහී තිබේ. ජවිපෙ වටා එක් රැස් වෙමින් සිටින්නේ ඒ පාරෙන් දේශපාලන ඉනිමගේ දුර යාමට බලාපොරොත්තු වන අවස්ථාවාදීහු පිරිසකි. 2004 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි කර ගත් බොහෝ දෙනෙක් මේ වන විට ආණ්ඩුවේ ය. එහෙත් ඔවුන් අතර ද සමාජ නායකයන් විරල ය. අද ජවිපෙ ව‍ටා ඒකරාශී වන පිරිස සමාජ නායකයන් බවට පත් කිරීමේ මූලික වගකීමක් ජවිපෙට තිබේ. 

අනෙක් පැත්තෙන්, මෙය ජවිපෙට තනිවම යා හැකි ගමනක් නොවේ. වෙනස් කළ යුතුව තිබෙන්නේ දේශපාලන නායකත්වය පමණක් නොවේ. පවත්නා දූෂිත, ඒකාධිපති, ජාතිවාදී, ආගම්වාදී පාලන ක්‍රමය වෙනස් කළ යුතු ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු ය. ඒ සඳහා නායකත්වය ගැනීමේ වගකීමක් ජවිපෙ වෙත පැවරී තිබේ. 

නායකත්වය ගැනීම යනු එක්සත් ජාතික පක්ෂය, සරත් ෆොන්සේකාගේ පක්ෂය හා රාජ්‍ය නොවන සංවිධාන ටික කළමනාකරණය කර ගැනීම පමණක් නො වේ. මෙම බලවේග ඇත්තෙන් ම උත්සාහ කරමින් සිටින්නේ ජවිපෙ කළමනාකරණය කර ගන්නටයි. 2004 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ ද එයයි. එයින් වැළකීමට නම් ජවිපෙ සිය පදනම ශක්තිමත් කර ගත යුතු ය. මෙම පදනම වනාහි පාවෙන ඡන්ද නොව, රටේ සක්‍රිය වාම බලවේගයයි. ජවිපෙ එය කළමනාකරණය කර ගැනීමට මැදිහත් විය යුතු ය.

ජවිපෙ කටයුතු කළ යුතුව තිබෙන්නේ සෙසු වාම කොටස් මර්දනය කරගෙන ඉදිරියට ඒමට නො ව, එම බලවේගයට නායකත්වය දෙන්නට ය. විහේෂයෙන් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැදීමේ ක්‍රියාවලිය දක්වා ජවිපෙන් වෙන්ව ගිය බලවේගය කළමනාකරණය කර ගැනීම සඳහා ජවිපෙට වෙනස් ආකාරයක ප්‍රවේශයක් තිබිය යුතු ය. කැඩි කැඩී පරමාණුකරණය වෙමින් තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද අලුත් තත්වය තුළ බරපතල වගකීමක් තිබේ. මන්ද, මෙම ජනතා අපේක්ෂාව වනාහි ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිබඳ ‍අපේක්ෂාවකි.

ජවිපෙ හමුවේ තිබෙන අනෙක් අභියෝගය නැවතත් ජාතික ප්‍රශ්නයයි. දෙමළ, මුස්ලිම් ඡන්ද නොමැතිව මේ ආණ්ඩුව පරදවන්නට කිසිවෙකුට බැරි ය. දෙමළ, මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ කිසිදු හැකියාවක් ආණ්ඩුවට නැතිමුත්, ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයකට නොපැමිණ දෙමළ සහයෝගය ලබා ගැනීම දුෂ්කර වනු ඇත. අඩු තරමේ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභා සමග බලය බෙදා ගැනීමට හෝ කැමති වන්නේ නැති පක්ෂයකට දෙමළ ජනතාව සිය නායකත්වය යටතට ගන්නට කිසි දිනෙක බැරි වනු ඇත. සැබෑ වෙනසක් පිළිබඳ සිහිනය හරහා නැවතත් වැටෙන්නේ ජාතික ප්‍රශ්නයේ අඳුරු සෙවණැල්ලයි. 

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-30

හම්බන්තොටින් (විතරක් නෙමෙයි පළාත් දෙකෙන්ම) ආණ්ඩුව ඇත්තෙන් ම පරාදයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ඉතා වැදගත් සංඥාවකි.

2009 පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව එහි ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය  10%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී තිබේ. 

අවසන් වශයෙන් පැවැත්වුණු ප්‍රධානතම මැතිවරණය වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුව දිස්ත්‍රික්කයේ ආසන හතෙන් පහක් ම දිනා ගත් අතර විපක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන දෙකක් පමණි. විපක්ෂයෙන් ආසන දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. සරත් ෆොන්සේකාගේ පක්ෂය සමග සන්ධානගතව තරග කළ ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් දිනා ගැනීමටවත් බැරි විය.

මෙවර මැතිවරණයේදී ආණ්ඩුව සමස්ත ආසන සංඛ්‍යාව වන 14න් අටක් දිනා ගනිද්දී විපක්ෂය හයක් දිනාගෙන තිබේ.

2009 පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවතියේ ආසන 12ක් පමණි. ආණ්ඩුවට එයින් අටක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට තුනක් ද ජනතා විමුක්ති පෙරමුණට එකක් ද හිමි විය. 

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සිය ඡන්ද ප්‍රතිශතයන් හා ආසන සංඛ්‍යාව වැඩි කරගෙන තිබේ. 

තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයත් අතර වෙනසින් පෙන්නුම් කරන්නේ රජයේ සේවයේ යෙදී සිටින මධම පංතික කොටස් අතර ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී නොමැතිමුත්, සෙසු බලවේග අතර තත්වය වෙනස් බවයි.

මෙසේ සිදු වනනේ ආණ්ඩුවේ 'සංවර්ධන' වැඩසට‍හනේ නාභියෙහි ය. රාජපක්ෂ පවුලේ බලකොටුවෙහි ය. ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂගේ බල ප්‍රදේශයේ ය. 

මාතර දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය සලකා බැලූ විට ආණ්ඩුවට ආසන දෙකක් අහිමි වී තිබේ. කලින් ආසන 18කින්12ක් හිමි කරගෙන සිටි ආණ්ඩුවට මෙවර හිමි වී තිබෙන්නේ ආසන 17කින් 10ක් පමණි. ඡන්ද ප්‍රතිශතය ද 9%කින් පමණ පල්ලම් බැස තිබේ. 

සියලු දිස්ත්‍රික්කවල මෙවැනි පල්ලම් බැසීමක් අපේක්ෂා කළ හැකි අතර කොළඹ දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකි වනු ඇත. (Update: ආණ්ඩුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් ද, කලුතර දිස්ත්‍රික්කයෙන් තිබුණු ආසනයක් ද අහිමි වී තිබේ.එසේ වන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසන සංඛ්‍යාව දෙකකින් වැඩි වී තිබියදී ය. )

(Update: කොළඹ නගරයේ ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට තරු පෙන්වන එකකි. සුළුතර දෙමළ ජනයා වැඩිපුර ජීවත් වන ප්‍රදේශවල ආණ්ඩුව තුන්වන තැනට වැටී ඇත.) 

(Update:  ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව ආසනයකින් වැඩි වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව 27 සිට 23 දක්වා අඩු වී තිබේ. ඡන්ද ප්‍රතිශතය 12%කින් පමණ අඩු වී තිබේ.)

(Update: කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව දෙකකින් අඩු වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව හතකින් අඩු වී තිබේ. කොළඹ දිස්ත්‍රික්ක‍යෙන් ආණ්ඩුව ආසන 18ක් දිනා ගනිද්දී ‍විපක්ෂය ආසන 22ක් දිනාගෙන තිබේ. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බිඳ වැටීම 12%කට වැඩි ය.)

ආණ්ඩුව මෙම ප්‍රතිඵලය ලබන්නේ නිදහස්, ස්වාධීන මැතිවරණයකින් නො වීම ද විශේෂ ය. මේ ප්‍රතිඵලය ලැබෙන්නේ සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම සිය වාසිය වෙනුවෙන් යොදා ගැනීමෙන් අනතුරුව වීම සලකා බැලූ විට ඇත්තෙන් ම සමස්ත ප්‍රතිඵලයේදී ආණ්ඩුව පරාද බව පැහැදිලි ය. 

විපක්ෂය මෙම ප්‍රතිඵලයෙන් තේරුම් ගත යුතු කරුණක් වන්නේ අනාගත ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීම දුෂ්කර නො වන බවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-29

MH 370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වීම සමාජ අර්බුදයක් ලෙස

MH 370 නම් මැලේසියානු ගුවන් සේවයට අයත් ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානය අතුරුදහන් වූයේ මාර්තු 8දා ය. සති දෙකකට වැඩි කාලයකට පසුව පවා මෙම සටහන තබන මොහොතේත් යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය අභිරහසකි.

වින්දිතයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජනයා ඉල්ලා සිටින්නේ ගවන් යානයේ හා එහි ගමන් කළ මිනිසුන්ගේ ඉරණම පිළිබඳ සංයුක්ත සාක්කි ය. එහෙත්, මෙම මොහොත වන විටත්, එවැනි භෞතික සාක්කි කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත. සෙවීම සිදු වන්නේ චන්ද්‍රිකාවක් මගින් හඳුනා ගන්නා ලද සාධක මත පදනම්ව ය.

සෙවීම සිදු වන මුහුදු කලාපය ඕස්ට්‍රේලියාව ආසන්නයේ දකුණුදිග ඉන්දියන් සාගරයේ ගැඹුරු හා පාළු සුවිසල් මුහුදු කලාපයක් වන අතර රළු කාලගුණය, අඩි 25,000ක් දක්වා .ගැඹුරු වූ මුහුදු පත්ලේ භූ විෂමතා හා ඉලක්ක ප්‍රදේශයේ සුවිසල්කම නිසා සාක්ෂි සපයා ගැනීම දුෂ්කර වී තිබේ. සාක්ෂි සොයා ගැනීමට අවුරුදු ගණනාවක් ගත වීමට ඉඩ ඇතැයි ද, ඇතැම් විට එය කළ නො හැකි දෙයක් වන්නට ද ඉඩ තිබෙන බව විශේෂයෝ පවසති. ගුවන් යානයේ කළු පෙට්ටියේ බැටරි තවමත් ක්‍රියාත්මකව තිබේ යයි සැලකෙන නිසා එයින් සංඥා ලබා ගැනීම සෙවුම් මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයයි.

අනෙක් පැත්තෙන්, කවුරු කුමක් කීවත්, සෙවීමේ මෙහෙයුම අඩාල වී තිබෙන්නේ ආර්ථික හේතු මත ය. විශේෂයෙන් ම මැලේසියාවේ පසුබැස්ම පසුපස තිබෙන්නේ ආර්ථික හේතු ය. මෙම ප්‍රශ්නය දෙස මෙසේ බලන්නට පුළුවන. ගුවන් යානයේ ගමන් කළ පිරිස 239කි. එය ලෝක ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. එම පිරිස ජීවත් වන බවට තිබෙන සාක්ෂි අවම ය. මිය ගිය බවට සාක්ෂි නො තිබීම නිසා ම එම පිරිස ජීවත් වන්නේ යයි උපකල්පනය කරන්නට ද බැරි ය. එවැනි සංදර්භයක් තුළ පිදුරු ගොඩේ ඉදිකටුවක් සෙවීම වැනි වූ දැවැන්ත මෙහෙයුමකට ධනය, කාලය, ඉන්ධන ආදිය වැය කිරීම හා සෙවුම් මෙහෙයුම්කරුවන්ගේ ජීවිත අනතුරට ලක් කිරීම තේරුමක් ඇති කාර්යයක් නො වේ  යයි තර්ක කරන්නට පුළුවන.

රටවල් අතර සංචාරය කිරීම ඉතිහාසයක් පුරා ම අධික ලෙස අනතුරුදායක ක්‍රියාවකි. රටවල් අතර මුහුදු ගමන් නිසා ඉතිහාසයක් මුළුල්ලේ කෙතරම් නම් ජීවිත සංඛ්‍යාවක් නැති වන්නට ඇද්ද? ගුවන් යානා අනතුරු නිසා ද දහස් ගණනක් මිනිසුන් මිය ගොස් තිබේ.

අපට සමීප නිදසුනක් ගතහොත්, කොටි සංවිධානය විසින් 1998 සැප්තැම්බර් මාසයේදී මිසයිල ප්‍රහාරයක් මගින් බිම දමන ලද ලයන් එයා මගී ගුවන් යානය පිළිබඳ මෙවැනි සෙවීමක් තිබුණේ නැත.වසර බොහෝ ගණනක් තිස්සේ අනුමානයක් ලෙස පමණක් තිබුණු ලයන් එයා ප්‍රහාරය මෑතදී යළි කරළියට ආවේ කොටි සැකකරුවකු විසින් ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් කරන ලද තොරතුරු සමගයි. ඉන් අනතුරුව මෙම ගුවන් යානය කඩා වැටී තිබුණු මුහුදු ප්‍රදේශය හඳුනාගෙන එම ගුවන් යානය ගොඩ ගැනීමට ද කටයුතු කරන ලදී. කොටි සටන්කරුවා විසින් දෙන ලද තොරතුරු යානය පිහිටි ස්ථානය සොයා ගැනීම පහසු කළේ ය. එසේ ම, එම ‍සොයා ගැනීම් කොටි සංවිධානයේ කෲරත්වය ප්‍රදර්ශනය කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් ද උපයෝගී කර ගැනිණි. එම ගුවන් අනතුරෙන් විපතට පත් මගීන් 48දෙනාගෙන් බහුතරය දෙමළ ජාතිකයෝ ය. ඔවුන්ට අමතරව රුසියානුවන් සිව්දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයක් ද මෙම අනතුරින් මිය ගිය හ.

ක්වාලාලම්පූර් වෙතින් පිටත් වී මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී 1983දී අතුරුදහන් වූ  උපාලි විජ‍ේවර්ධනගේ ලියර් ජෙට් යානය පිළිබඳ ද්‍රව්‍යමය සාක්ෂියක් තවමත් ලැබී නැත. එහි බවට සැක කළ රෝදය ද එම ගුවන් යානය නිපදවන ලද සමාගමේ සාදන ලද එකක් නො වන බව පසුව සොයා ගන්නා ලදී. උපාලි විජේවර්ධන ඇතුළු හත්දෙනෙකුට මරු කැඳවූ මෙම ගුවන් අනතුර සිදු වූ අවස්ථාවේ එය පිළිබඳ සොයන්නට ද ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් විය.

මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් වන්නේ ද, එම මෙහෙයුම දැවැන්ත ලෝක අවධානයකට ලක් වන්නේ ද කාරණා කීපයක් හේතු කරගෙන ය. ඒවා මෙසේ ය:

  • මෙම ගුවන් යානය අතුරුදහන් වීම පැහැර ගැනීමක ප්‍රතිළුලයක විය හැකි බවට අනුමානයක් පළ වීම.
  • එම පැහැර ගැනීමට ගුවන් නියමුවා‍ගේ සම්බන්ධයක් තිබේ ය යන අනුමානය.
  • ප්‍රධාන ගුවන් නියමුවා වන සහාරි අහමඩ් ෂා හා උප නියමු ෆර්ක් අබ්දූල් හමීඩ් මැලේ මුස්ලිම් ජාතිකයන් වීම හා මුස්ලිම් ජනයා සැක කිරීමේ ලෝක ප්‍රවණතාව.
  • ජනමාධ්‍ය විසින් ලොව පුරා ම ජනයා සිද්ධිය පිළිබඳ සංවේදී තත්වයට පත් කිරීම.

ගුවන් යානය ගැන අභිරහස තවත් ගැඹුරු කරන විද්‍යාත්මක සාක්ෂි රැසක් චන්ද්‍රිකා දත්ත ඇසුරින් හමු විය. ඒ අතර වැදගත් ම කාරණා වූයේ මේවායි:

  • ගුවන් යානය සමග සන්නිවේදනය ඇණ හිටීමෙන් පැය හතහමාරකට පසුවත් එය ගමන් කරමින් තිබීම.
  • ගුවන් යානයේ ගමන් පථය වෙනස් කිරීම.
  • ගුවන් යානය අඩි 45,000ක් ඉහළට එසවූ බවට හා එස උස් මට්ටමේ විනාඩි 23ක් පියාසර කළ බවට සාක්කි තිබීම. (එවන් මට්ටමකදී ඔක්සිජන් හිඟ වී මගීන් හා කාර්ය මණ්ඩලය මිය යන්නට ඉඩ ඇති බව විශේෂඥයෝ පවසති.)

MH 370 ගුවන් යානයට සිදු වූ දෙය පිළිබඳව අනුමාන රැසක් තිබේ. ඒ අතර ඇති තර්කානුකූල අනුමාන මෙසේ ය:

  • කිසියම් නො දන්නා හේතුවක් මත ගුවන් යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී එහි ස්වයං ධාවන පද්ධතිය මගින් ධාවනය වීම. ඇතැම් විට කිසියම් අනතුරක් නිසා ගුවන් නියමුවන් ධාවන පථය වෙනස් කර හදිසි ගොඩබැස්මකට සූදානම් වූවා විය හැකි ය.
  • ගුවන් නියමුවන් හෝ වෙනත් අය විසින් සිතාමතා ම යානය අනතුරට ලක් වන ක්‍ර‍ියාවක යෙදීම. මේ අතර පැහැර ගැනීම, මරාගෙන මැරීම, ත්‍රස්ත හෝ සයිබර් ප්‍රහාර ආදිය තිබෙන්නට පුළුවන.
  • යාන්ත්‍රික දෝෂයක්.

කවුරුත් බලාපොරොත්තු වන්නේ මේ අභිරහස විසඳා ගැනීමයි. ඇත්තම කියනවා නම් ලෝකයට මේ ජීවිත 239 මහා දෙයක් නො වේ. අභිරහස විසඳා ගැනීම ඔවුන්ට ඊට වඩා වැදගත් ය. මේ ලියන මොහොතේත් දිළිදුකම ආශ්‍රිත හේතු නිසා ඊට වඩා මිනිසුන් මිය යමින් සිටියදී ඒ ගැන අසංවේදී ලෝකයක ය.

මෙම අභිරහස විසින් එක් පැත්තකින් මිනිසාගේ අයෝමය බලය අභියෝගයට ලක් කර තිබේ. ඔහුගේ නවීන විද්‍යාත්මක හාස්කම් පසෙක තිබියදී තවමත් සොබා දහම යනු ඔහුට කෙතරම් සුවිසල් අභියෝගයක් ද යන්න මෙමගින් පසක් කර දී තිබේ.

අනෙක් පැත්තෙන් මිනිස් ස්වභාවය නම් අභිරහස සියලු අභිරහස් අභිභවන බවට ද මෙම සිද්ධිය සාක්කියකි. ගුවන් නියමුවන් සිතා මතා සන්නිවේදනය නවතා දැමුවා ද? සිතා මතා අධික උසකට යානය ඉහළ නැංවූවා ද? සිතා මතා ගමන් පථය වෙනස් කළා ද? සිය දිවි නසා ගන්නට උත්සාහ කළා ද? කඩාකප්පල් ක්‍රියාවක නියැලූණා ද? එහෙම කළා නම් එහෙම කළේ ඇයි?

මෙම සිද්ධිය විසින් එක පැත්තකින් නවීන විද්‍යාවේ චන්ද්‍රිකා තාක්ෂණය වැනි අංශ වෙත ලෝක අවධානය යොමු කරද්දී තවත් පැත්තකින් ජ්‍යෝතිෂඥයන් වැනි විද්‍යාවේ අනෙක් පැත්ත නියෝජනය කරන බලවේග ද ක්‍රියාත්මක වනු දක්නට ලැබිණි. ලංකාවේ ද ඇතැම් පත්තරවල මෙම ජ්‍යෝතිර් විශ්ලේෂකයන්ගේ විග්‍රහ පළ වී තිබිණි.

මේ අතර සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබුණු තවත් සුවිශේෂ දෙයක් වන්නේ අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳ ව්‍යාජ තොරතුරු ය. ඒවායේ ප්‍රධාන අරමුණ වුණේ වානිජ හා වෙනත් ඉලක්ක වෙනුවෙන් තමන්ගේ වෙබ් අඩවිය වෙත පාඨකයන් ආකර්ශනය කර ගැනීමයි. කෙනෙකුගේ විපත තවත් අයට විවිධාකාරයෙන් අදාළ වන හැටි!

(ජනරළ 2014 - 03 - 30)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

ඡන්දය දෙන්නට යන්නට පෙර හිතට එන සිතුවිලි

අද පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ජාතික මෙන් ම ජාත්‍යන්තර වැදගත්කමකින් ද යුක්ත ය.

මෙහිදී ජනතාවට එක්කෝ ආණ්ඩුවට සුවිසල් වැඩි ඡන්දයක් ලබා දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නට පුළුවන. ඒ කියන්නේ ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය නැවත අනුමත කරන්නට පුළුවන.

ආණ්ඩුවට ඒ ජනවරමින් ඔකඳ වී තව තවත් ජාත්‍යන්තරව හුදකලා වන අන්දමේ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන. රටේ ඉතිරි සාරයක් ඇත්නම් එය ද සූරා කන්නට පුළුවන. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානවල පදයට නටමින් ජාතික ප්‍රශ්නය ආගම් ප්‍රශ්නයක් දක්වා ම අවුල් කරන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කරන්නට පුළුවන. යන යකා කොරහත් බිඳගෙන ම යන්නා සේ මහා ජන මර්දනයකට වුව මෙම ජනවරම යොදා ගන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

මේ ඡන්දයෙන් ආණ්ඩුව ජය ගන්නට තිබෙන ඉඩකඩ වැඩි ය. මැතිවරණයේදී තරගය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, විපක්ෂයත් අතර නො වේ. ආණ්ඩුවත්, විපක්ෂයත් අතර ය. ආණ්ඩුව සමස්ත රාජ්‍ය බලයමත්, මහජන මුදලුත් ඡන්දයට යොදවා තිබේ. එහෙව් ආණ්ඩුත් එක්ක ඡන්ද කර දිනන්නට පුළුවන් විපක්ෂ ලෝකයේ කොහේවත් නැත. එහෙත්, මෙවැනි ඡන්ද පවත්වන උතුරු කොරියාවේ, කියුබාවේ හෝ ඉරානයේ හෝ මෙන් සියයට අනූ ගණන් ප්‍රතිශත ලබා ගන්නට ද මේ ආණ්ඩුවට බැරි ය.

එහෙත්, ජනතාව ලෙස අපගේ වගකීම වන්නේ විපක්ෂය ශක්තිමත් කිරීම ය. ජනතාවට තමන්ගේ හිමිකම් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ හැකි වන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් යම් තරමකට හෝ ආරක්ෂා කර ගත හැක්කේත්, ආණ්ඩුවේ දූෂණය යන්තමින් හෝ පාලනය කර ගත හැක්කේත් විපක්ෂය ශක්තිමත් වන තරමට ය.

රට ඉදිරියේ තිබෙන්නේ ඉතා දුෂ්කර කාලයක් බව නිසැක ය. යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර හා දේශීය පරීක්ෂණ සඳහා තිබෙන බලපෑම් විෂයෙහි ද මෙම ඡන්ද ප්‍රතිඵලය අදාළ වේ. ආණ්ඩුවට ඕනෑ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පහසුකම් සැපයීම ප්‍රතික්ෂේප කරන්නට හැකියාව තිබේ. එවැනි සංදර්භයක් තුළ සිදු වන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආණ්ඩුවට වඩාත් අවාසි සහගත වන බව නිසැක ය. දේශීය පරීක්ෂණ ගැන නම් ඉතින් කියන්නට දෙයක් නැත. ඒවා ඉතින් ලෝකල් වැඩ ය.

වසරින් වසර ජාත්‍යන්තර වශයෙන් වැඩි වැඩියෙන් හුදකලා වෙමින් තිබෙන ලංකාවේ ආණ්ඩුවට 2015 ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය මීටත් වඩා දුෂ්කර වනු ඇති බව නිසැක ය. 

ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනේශ්වර රටවලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙල්ල කර ගැනීමට උවමනා වී තිබෙන බව පැහැදිලි ය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන පරිදි ඔවුන් ඇමරිකාවට හිසරදයක් වී තිබෙන නිසා නො වේ. බටහිර රාජ්‍යයන් විසින් අනුදකිනු ලබන දැනට තිබෙන ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ මෙවැනි ආණ්ඩු වල් පැළෑටි වී තිබෙන නිසා ය. වල් පැළෑටි යනු විකල්ප භෝගයක් නො වේ. නිකම් කඩාකප්පල්කාරීහු පමණ ය. කඩාකප්පල්කාරීන්ට දැක්මක් නැත. ඔවුන් කරන්නේ අල කිරීම පමණි. එය‍ට හොඳම උදාහරණය වත්මන් ආණ්ඩුවයි. 

ආණ්ඩුව බටහිරට මෙතරම් විරුද්ධ ඇයි? ජී.එල්. පීරිස් වැනි ඇමරිකන් ගැත්තන් ඇමරිකානු විරෝධයේ කුලී ප්‍රකාශකයන් බවට පත් වී තිබෙන්නේ ඇයි? මේ ඊනියා බටහිර විරෝධයට හේතු වන පැහැදිලි දේශපාලන මූලධර්මයක් තිබෙනවා නම් පෙන්වා දෙන්න. 

ලංකාවේ ආණ්ඩුව මේ වන විට කරමින් සිටින්නේ කුමක් ද? විවෘත ණය වෙළඳපොළින් ණය ගනිමින් ඔවුන් මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ 2004ට පෙර පැවති ආණ්ඩු සමයන්හිදී බටහිර රටවල මග පෙන්වීමෙන් ‍යෝජනා කරන ලද යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නො වේ ද? වෙනසකට ඇත්තේ දැන් ඒවා සිදු වන්නේ පාලක පවුලේ හිතු මනාපයට වීම හා චීනයෙන් හැර වෙනත් රටවලින් ආයෝජකයන් නො පැමිණීමයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා නම් ඒවාට ආධාර දෙන කණ්ඩායම ලෙස හැඳින්වුණු බටහිර රටවල හා ජපානයේ සහාය ලැබෙන්නට ඉඩ තිබිණි. එහි හොඳ නරක දෙපැත්තක් තිබේ. දැන් සිදු වන්නේ චීනය නිර්දය අන්දමින් ලංකාව සූරාකෑම පමණි. 

බටහිර දියුණු ධනේශ්වර රටවලට අවශ්‍ය වන්නේ ලංකාව සිය බල අවකාශය තුළ රඳවා ගන්නට ය. ලංකාව උතුරු කොරියාව හෝ කියුබාව හෝ ඉරානය තරමින් ඔවුන්ට අභියෝගයක් නො වේ. ඔවුන්ට ලංකාව ගැටලුවක් වන්නේ ඒ රට පාලනය කරන්නේ විකාරකාරයන් පිරිසක් විසින් වීම නිසා පමණි. තුන්වන ලෝකයේ රටවල මෙවැනි විකාරරූපී ආණ්ඩු ඕනෑ තරම් තිබේ. එ් හැම එකක් සම්බන්ධයෙන්මත් බටහිර කටයුුතු කර තිබෙන්නේ මේ අන්දමට ම ය. බුරුමය සම්බන්ධයෙන් බටහිර රටවල් හා ඉන්දියාව කටයුතු කළ ආකාරය හා අවසානයේදී චීනය එයට දැක්වූ අනුකූලතාව ලංකාවට පාඩමක් ඉගෙන ගන්නට හොඳ උදාහරණයකි. 

මේ ගමන එතරම් දුර යා හැකි එකක් නො වේ. එහෙත් එහි තර්කානුකූල අන්තයක් දැකීමට ආණ්ඩුවට අවස්ථාව ද ලබා දිය යුතු ය. ප්‍රශ්නය තිබෙන්නේ ඒ වන විට රට වවුල් හපයක් බවට පත් වන එක ය. තව පරම්පරා ගණනාවකටවත් ගොඩ එන්නට බැරි අගාධයකට රට වැටෙන එක ය.

ඡන්දපොළට යාම මහා කම්මැලි වැඩක් බව ඇත්ත ය. ඒ ගත වන කාලය නිදා ගත්තත් සැප යයි සිතෙන සිතිවිල්ල පාලනය කිරීම අතිශය දුෂ්කර ය. එහෙත්, ඡන්දය නො දීම ද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමකි. ඡන්දපොළට ගියත්, ආණ්ඩුවට ඡන්දය නො දී ඡන්දය දෙන්නේ කාට ද යන්න ද බරපතල ප්‍රශ්නයකි. ජවිපෙට ඡන්දය දෙන බව මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී මම කීවෙමි. එහෙත් පසුගිය කාල සීමාව තුළ ජවි‍පෙ ක්‍රියාත්මක වූ ආකාරය හා විශේෂයෙන් ම ලාල් ක‍ාන්ත පුවත්පත්වලට දී තිබූ ඇතැම් සම්මුඛ සාකච්ඡා දුටු විට ඇති වුණේ කලකිරීමකි. ජවිපෙ විසින් මීළඟට බිහි කරන විමල් වීරවංශ, ලාල් කාන්ත යයි මට සිතේ. එහෙත්, වෙනත් විකල්පයක් නැති නිසා මගේ ඡන්දය ජවිපෙට ම දෙන්නට තීරණය කළෙමි. මනාප ගසන්නේ නැත. 

ජවිපෙට උවමනා නම් අප මේ කියන දෙය ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන. නැතිනම් සුපුරුදු අහංකාරකම රැකගෙන තවත් සමසමාජ පක්ෂයක් බවට පත් වන්නට පුළුවන. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-28

සුමතිපාල මානවඩු සහෝදරයාට අවසන් ගෞරව දක්වන්නට ගිය අජිත් කුමාර මන්ත්‍රීවරයාට පහර දීම

ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, දුම්රිය වෘත්තීය සමිති නායක, දේශපාලන ක්‍රියාකාරික සුමතිපාල මානවඩු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය. 

ඔහු වෙනුවෙන් අපට කළ හැකි ආචාරය ලෙස මෙම සටහන සැලකිය හැකි ය. මන්ද, ඔහුගේ ජීවිතය ආශ්‍රය කරගෙන සමාජවාදී සංවාදය ‍පෝෂණය කිරීම වඩා වැදගත් යයි අපි සිතමු.

ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණි පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරට ජවිපෙ සාමාජිකයෝ පහර දුන් හ. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ක්‍රියාකලාපය පෙන්නුම් කරන්නේ ඔහු එම ප්‍රහාරය අනුමත කරන බවයි. දැන් ඔහු කියන්නේ පොලිසියේ පැමිණිල්ලක් නැති බැවින් එවැනි සිද්ධියක් සිදු වී නොමැති බවයි. 

ජවිපෙ 1971දී රට පුරා පොලිස් ස්ථාන රැසකට පහර දෙමින් කැරැල්ලක් ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මිය ගිය හ. 1989දී ද එවැනි ම දෙයක් සිදු විය. ජවිපෙ විසින් මතු කරන නීති තර්ක මෙතැනදී අදාළ වන්නේ කෙසේ ද?

ජවි‍පෙ ඇතුළු ගතානුගතික වාම දේශපාලනය හා වෙනත් ක්‍රම විරෝධී අරගල තුළ සාමාන්‍ය මිනිස් ගුණධර්ම දක්නට නො ලැබීම ඇත්තෙන් ම බරපතල අර්බුදයකි. තමන් සමග කලක් එකට සිට මතවාදී හෝ ප්‍රායෝගික හේතු මත වෙන්ව ගිය මිනිසුන් දෙස දයලෙක්තික දෘෂ්ටියෙන් බලන්නට බැරිකම මාක්ස්වාදීන් යයි කියන මේ අයගේ සාමාන්‍ය ලක්ෂණයකි. 

ස්ටාලින් ට්‍රොස්කි‍ගේ ඔලුවට පොරෝ පාරක් එල්ල කරන්නේ ද, ජවිපෙ නායක රෝහණ විජේවීර කලක් තමන් සමග එකට සිටි නන්දන මාරසිංහ සහෝදරයා නීච අන්දමින් මරා දමන්නේ ද, විජිත හේරත්, අජිත් කුමාරට එරෙහිව පොලු ඔසවන්නේ ද එක ම දේශපාලන හේතුවක් මත ය. ඒ හේතුව වටහා ගැනීම වැදගත් ය.

හේතුව අන් යමක් නො ව ජීවිතය දෙස දයලෙක්තිකව බලන්නට බැරිකම ය. එච්චර ගැඹුරු න්‍යාය අවශ්‍ය නැත. මෙතැන තිබෙන්නේ සාමාන්‍ය මිනිස් ගුණධර්ම නැතිකම ය. මනුස්සකම නො දන්නාකම ය.

තමන්ගේ සතුරා විෂයෙහි මහත්මා වීම උතුම් මිනිස් ගුණයකි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලකයන් ළඟ මේ ලක්ෂණය ඉතා විරල ය. මෙහිදී විශේෂයෙන් ම පරාජිතයා හමුවේ මහත්මා ලෙස හැසිරීමේ අවස්ථාවක් ජයග්‍රාහකයාට තිබේ. රන්ජන් විජේරත්නට, රෝහණ විජේවීර හමුවේ ප්‍රදර්ශනය කරන්නට බැරි වුණේත්, ගෝඨාභය රාජපක්ෂට, ප්‍රභාකරන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට බැරි වුණේත් මෙයයි. ලෙනින්ට සාර් රජ පවුල ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට බැරි වුණේත් මේ මිනිස්කම ම ය. ඔවුන්ට සිය සතුරා නීතිය ඉදිරිය‍ට ගෙන යාමට හෝ එඩිතරකමක් නො තිබි‍ණි. ඔවුන් ක්‍රියා කළ ආකාරයෙන් පෙන්නුම් කළේ සිය බියගුළුකම නො වේ ද?

ඉතින් විකල්ප ගොඩනැගීමට අරගල කරන විප්ලවවාදී යයි කියන ව්‍යාපාරවලටත් මිනිස්කම පිළිබඳ භාවිතාව ඇරඹිය නො හැකි නම්, වමට අනාගතයක් තිබේ ද?

අප යෝජනා කරන සමාජවාදය සඳහා අඛන්ඩ අරගලයේදී අප විසින් නැවත සොයා ගත යුතුව තිබෙන ප්‍රධාන දෙයකි, මිනිස්කම. මිනිස්කම තිබිය යුත්තේ හිත්වල, කවිවල, කතාවල නොව භාවිතාවේ ය. 

පෙරටුගාමී පක්ෂය විසින් පවත්වාගෙන යනු ලබන ජනරළ පුවත්පතේ අජිත් කුමාරට පහර දීමේ සිද්ධිය ගැන කිසිවක් වාර්තා නො කර, සුමතිපාල මානවඩු සහෝදරයාට ආචාරය පුද කරන සටහනක් පමණක් පළ කර තිබෙනු මම දුටිමි. ඒ භාවිතාව තුළ මිනිස් ගුණ ධර්ම වෙත තිබෙන නැඹුරුව අපි අගය කරමු. 

වාමාංශිකයන්, සමාජවාදීන් පළමු කොට ම උගත යුතුව තිබෙන දෙයක් වන්නේ තමන්ගේ ප්‍රධාන ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ සෙසු සමාජවාදීන් සමග නො වන බව ය. 

පළමුව සෙසු තරගකරුවන් පරාජයට පත් කර අරගලයේ නායකත්වය සියතට ගැනීම නම් මුග්ධ උපක්‍රමය ලොව කොතැනකවත් විකල්ප දේශපාලන අරගලවලදී සාර්ථක වී නැත. ඇත්තෙන් ම, මෙම උපාය මාර්ගය සේවය කරන්නේ ධනවාදයටයි. මන්ද, වාමාංශිකයන් විසින් ඉතිහාසයක් පුරා ම කරමින් සිටින්නේ තම තමන්ට ම එරෙහි සටනක් මිස ධනවාදයට එරෙහි අරගලයක් නො වන හෙයිනි. 

මේ දුබලකම් පරාජය කිරීම සමාජවාදය සඳහා අරගලයේ ආරම්භයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-27

ලෝක නාට්‍ය දිනයේ අසඩක් නෙළුම් පොකුණේ දොර කලා රසිකයන්ට වසා දමයි

ජනකරළිය
අද ලෝක නාට්‍ය දිනයයි. 

පරාක්‍රම නිරිඇල්ල‍ගේ හුණුවටයේ කතාව නෙළුම් පොකුණේ රඟ දැක්වෙන බව ලංකාදීපයේ දැන්වීමක දැක සංවිධායක ජූඩ් ශ්‍රීමාල්ට දුරකථන ඇමතුමක් දුන්නේ එහි ටිකට් මිළ විමසා දැන ගැනීමටයි. මතුගම සිට කොළඹ ගොස් නෙළුම් පොකුණෙන් නාට්‍යයක් බලන්නට තිබෙන හැකියාව පිළිබඳ විමසීමට මට අවශ්‍ය විය. 

ලැබුණු පිළිතුර වන්නේ නාට්‍යය පෙන්වන්නේ ආරාධිතයන් වෙනුවෙන් පමණක් බව හා මේ වන විට ආර‍ාධනා යවා අවසන් බවයි. 

1984, 85 වකවානුවේ මම දෙහිවල කරගම්පිටියේ කාමරයක නැවතී කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. සිකුරාදා දිනවල මා ආපසු ගෙදර එන මුත්, මා කියන මේ සිකුරාදාවේ ලයනල් වෙන්ඩ්ට්හි පුන්තිලා නාට්‍යය පෙන්වන ලදී. මට එය බැලීමේ දැඩි උවමනාවක් තිබිණි. මා අත රුපියල් විසි පහක පමණ මුදලක් ඉතිරි වී තිබිණි. ඒ කාලයේ ජෝන් ද සිල්වා වැනි රඟහලක සාමාන්‍ය ටිකට් පතක් රුපියල් පහළොවක් පමණ විය. 

මට තරු පෙනුණේ ලයනල් වෙන්ඩ්ට් ගිය විට ය. පුන්තිලා නාට්‍යය රඟහල පුරා ම පෙන්වන ලද පිංතූර රාමු වේදිකාවෙන් මිදුණු නාට්‍යමය අත්දැකීමක් විය. එබැවින් එහි ආසන සැලසුම ද වෙනස් වූ අතර අඩු ම මිළ ටිකට් පතත් රුපියල් විසි පහක් විය. මම අත තිබුණු මුදලින් නාට්‍යය බැලුවෙමි. එය මා ජීවිතයේදී විඳින ලද සුන්දර ම නාට්‍ය අත්දැකීමකි. හෙලේනා ලෙහ්තිමකී නම් ෆින්ලන්ත නාට්‍යවේදිනියක විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ප්‍රධාන චරිතය රඟපෑවේ නිහාල් සිල්වා ය. මහේන්ද්‍ර පෙරේරා එදා අලුත් නළුවෙකි. 

නාට්‍යය බලා දෙහිවලට බසයෙන් ආවේ  ටිකට් නො ගෙන හොරෙන් ය. රෑට කන්නට සල්ලි නො තිබිණි. පසුදා උදේට කන්නට ද නැත. මුදලක් ඉල්ලා ගන්නට කෙනෙකු ද නො සිටි අතර, මෝඩ ආඩම්බරකම ද එයට හරස් විය. බඩගින්නේ ම දෙහිවලින් කෝච්චියකට නැග්ගේ හොරෙන් කලුතර යන්නට ය. ඒත් මොරටුවේදී මා ටිකට් පරීක්ෂකවරුන්ට අසු විය. පැය ගණනකට පසු එළියට ආවේ ජාතික හැඳුනුම්පත හා ආයතනික හැඳුනුම්පත ඇපයට තියලා ය. 

නැවතත් කලුතරට හා එතැන් සිට බසයෙන් ගෙදරට ගියේ ද හොරෙන් ම ය. කෙසේ හෝ ගෙදරයන විට සවස පහමාරත් පසු වෙලා ය. බඩ පණුවෝ වල පල්ලට ගොස් තිබිණි. 

අපි එවැනි නාට්‍ය ප්‍රේක්ෂකයෝ ය. එහෙත්, අමාරුවෙන් නාට්‍යයක් බලන්නට යන්නට හිතූ ලෝක නාට්‍ය උළෙල දා අපට නාට්‍ය ශාලා දොර වැහිලා ය. 

මෙයට හේතුව නාට්‍ය ක්ෂේත්‍රයට ද රාජ්‍ය නො වන සංවිධාන වැහීම ය. පරාක්‍රම නිරිඇල්ල ‍අමතා ආරාධනාවක් ඉල්ලුවොත් නාට්‍යය බලන්නට බැරි නො වන බව විශ්වාස මුත්, නාට්‍යයක් වෙනුවෙන් අප කාටවත් ණය විය යුතු නැත. ඔබ අපට සපයන වින්දනය වෙනුවෙන් අදාළ මිළ අපි ගෙවන්නෙමු. ඔබගේ කාර්යය රසවත් නම් අපි අමතර වෙහෙසක් දරා අප විඳි රසය ලියන්නෙමු. එසේ කරන්නේ ඔබ‍ගෙන් ස්තුතියක්වත් බලාපොරොත්තුවෙන් නො වේ. එය අප රසවත් කිරීම වෙනුවෙන් අප ඔබට කරන උපහාරයයි. 

එහෙත්, අද සියල්ල වෙනස් ය. විචාර ලියන්නේ පගාවට ‍හෝ යාළු මිත්‍රකමට ය. නිර්මානයක් හොඳ නිසා නො වේ. එහෙයින් පොතක් ගැහුවොත් සාහිත්‍ය පොරවලට එය නිකම් දිය යුතු ය. නාට්‍යයක් නම් නිකම් පෙන්විය යුතු ය. 

නෙළුම් පොකුණේ නිකම් නාට්‍ය පෙන්වන්නට නම් එක්කෝ රාජපක්ෂ පවුලට මොකක් හෝ වයර් එකක් තිබිය යුතු ය. නැතිනම් ලොකු රා‍ජ්‍ය නො වන සංවිධානයක් විසින් ඩොලර් කුට්ටියක් එවිය යුතු ය. 

රාජ්‍ය නොවන සංවිධාන කලාවට අතහිත දීම ගැන මගේ නම් හොඳ හිතක් නැත. මන්ද, නාට්‍ය නො මිළේ පෙන්වීම ද මෙම ව්‍යාපෘතිවල අංගයක් වන හෙයිනි. මා දන්නා තරමින් මෙවැනි ව්‍යාපෘති නිසා නාට්‍ය කලාවට සිදු වුණේ අගතියකි. සුනිල් විජේසිරිවර්ධන ලියූ රත්නවල්ලි නාට්‍යයට සිදු වූ දෙය උදාහරණයකි. නාට්‍යය එක් දර්ශනයකින් හෝ දර්ශන කීපයකින් අවසන් වුණේ පාත්‍ර වර්ගයා පවා සල්ලිවලට රංඩු වෙලා ය. රාජ්‍ය නො වන සංවිධාන නා‍ට්‍ය ව්‍යාපෘති නිසා නාට්‍යකරුවන් කෙසේ වෙතත්, ව්‍යාපාරිකයෝ නම් බිහි වූ හ. එහෙත් පරාක්‍රම නිරිඇල්ල නම් උත්සාහ කරන්නේ නාට්‍ය කලාවක් පවත්වාගෙන යාමට ය. එහෙත්, ප්‍රේක්ෂකාගාරය පුළුල් කරන්නට මෙම නාට්‍ය ව්‍යාපෘති හේතු පාදක වූ බවක් මට නම් නො පෙනේ.

අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන කලා රසිකත්වය වෙනස් එකකි. එය වනාහි පිට කසා ගැනීම්, අතින් කෑම්, බෙදාගෙන කෑම් ආදියෙන් තොර ස්වාධීන රසිකත්වයකි. අපි අපේ මුදලින් කලා කෘති රස විඳ අප විඳි රසය මෙහි ලිව්වේ ඒ නිසා ය.  වම් පැත්තේ තීරුව බලන්න. අප ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු නාට්‍යය ගැන ලියූ රස වින්දනයක් එහි තිබේ.

පරාක්‍රම නිරිඇල්ලලා, ධර්මසිරි බංඩාරනායකලා රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති අතහැර දමා ආපසු නාට්‍ය වෙළඳපොළට එනවා නම් මීට වඩා හොඳ ය. එය කටුක ය. ඒත්, කලාකරුවන් සිටිය යුත්තේ මහ පොළවේ ය. කලාවට අනුග්‍රහ දක්වන බුර්ෂුවා පංතියක් ලංකාවේ නැත. එවැනි තත්වයක් තුළ රාජ්‍ය නොවන සංවිධානවල මුදලින් මධ්‍යම පංතියට නොමිළේ නාට්‍ය පෙන්වන්නට යාම අන්තිම අදේශපාලනික වැඩකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-26

පළා ගියවුන්ට මේ රටට කළ හැකි විශිෂ්ට ම සේවය

විමුක්තිය සොයා පළා යන ලංකාවේ ම්‍ධ්‍යම පංතිය  නම් ලිපිය හා බැඳේ.

මා ප්‍රශ්න කරන්නේ ලාංකික මධ්‍යම පංතියේ කුහකත්වයයි. ඔවුන්ගේ සිහිනය තිබෙන්නේ සංවර්ධිත, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රටක සුරක්ෂිත සමාජයක ජීවත් වීමට ය. ඒ නිසා ඔවුහු ලද අවසරෙන් මේ රටෙන් පළා යති. 

ඔවුන්ගේ කුහකත්වය තිබෙන්නේ තමන් අපේක්ෂා කරන ජීවන තත්වය මේ රටේ අැති වනවාට ඔවුන් තුළ තිබෙන අකැමැත්ත තුළයි. ජාතිවාදයට හා ඒකාධිපති පාලනයට සහයෝගය දෙමින්, ඔවුන්ගේ දූෂණයේ කොටස්කරුවන් වී සිටින ලංකාවේ මධ්‍යම පංතිය සිය පුරවැසිභාවය වෙනස් කිරීමෙන් අනතුරුව හෝ එය නතර කරන්නේ නැත. 

මා මේ කියන කාරණය සිංහල මෙන්ම දෙමළ මධ්‍යම පංතියටත් පොදු ය. ලංකාවේ අද තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජාතිවාදී, දූෂිත, ඒකාධිපති පාලනය බිහි වුණේ සිංහල හා දෙමළ ජාතිකවාදී මධ්‍යම පංතික බලවේග විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ඔස්සේ ය. 

යම් කිසිවකුට මේ රටින් පළා යන්නට අයිතිය තිබෙන්නා සේ ම මෙහි සිට මේ සමාජය යහපත් අන්දමින් වෙනස් කර ගන්නට ද සෙසු මිනිසුන්ට අයිතිය තිබේ. පළා යන මිනිසුන් ගැටලුවක් වන්නේ මේ රටේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතවලට ඔවුන් කරන බලපෑම නිසා ය. 

ඇත්තට ම රටේ ඉන්නට බැරි වීම නිසා පළා ගිය අතළොස්සක් මිනිසුන්ට හා රැකියා වෙනුවෙන් පිටරට ගිය අයට මා කියන දෙය අදාළ නැත. 

අපගේ සංවාදයට සහභාගි වූ ඇතැම් විදෙස්ගත ලාංකික‍යන් අප සම්බන්ධයෙන් කියන කරුණක් වන්නේ අප පිටරට යාමට බැරි වූ නිසා මිදි ඇඹුලයි කියන නරි වැනි ය කියා ය. ඔබ සම්පූර්ණයෙන් ම වැරදි නැත. එහෙත්, සියලු ලාංකිකයන්ට තබා සියලු මධ්‍යම පංතිකයන්ටවත් ‍කිසි කලෙක මේ විසඳුම අත්පත් කර ගත නො හැකි ය. රටින් පළා යාමේ සිහිනයත් මේ දිනවල ලංකාවේ රියැලිටි සංදර්ශනවල සුපිරි තරු වීම වැනි ය. දිනන්නේ සුළු පිරිසක් පමණි. බහුතරය පරදිති. එහෙත්, අති බහුතරය මේ සිහිනය තුළ ජීවත් වෙති.

ගැටලුව තිබෙන්නේ මෙතැන ය. ඔවුන් ගතින් මේ රටේ ජීවත් වුවත්, සිත ඇත්තේ වෙන කොහිවත් ය. ඒ නිසා ඔවුන්ට මේ රටට හෙණ ගැහුවත් කමක් නැත. මේ කෑදර පාලක පවුල වැනි දේශපාලකයන් බලයට ගෙන එන්නේත්, ඔවුන් රැක ගන්නේත් ඒ නිසා ය. 

දියුණු ධනේශ්වර රටකට පළා යාම කියන්නේ ද ධනවාදය විසින් අප වැනි දිළිඳු රටවල ප්‍රවර්ධනය කරන පාරිභෝජනවාදයේ ම අංගයකි. ඇමරිකාව විසින් ජන විවිධත්වය මුවාවෙන් පවත්වනු ලබන ග්‍රීන් කාඩ් නම් ලොතරැයිය තේරුම් ගත හැකි එක් ආකාරයකි එය. 

බටහිරට පළා යාම නම් පාරිභෝජනවාදී, උන්නතිකාමී, මධ්‍යම පංතික අදහසට එරෙහිව අප අරගල කළ යුත්තේ මෙම දේශපාලන පදනමේ සිටයි. 

බුද්ධිගලනය ඇත්තෙන්ම මේ රටේ සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීමේ අරගලයේදී බරපතල ගැටලුවකි. 

'අපට තැනක් නැති නිසා අපි ගියා. ඒත් අපි ලංකා‍වට මා‍ර විදියට ආදරෙයි.' යන ප්‍රකාශය දේශපාලනික වශයෙන් ඉතා කුහක ය. පළා ගියවුන්ට මේ රට හා සිංහල, දෙමළ ජාතීන් වෙනුවෙන් කළ හැකි විශිෂ්ට ම සේවය වන්නේ අලුත් සමාජයට අනුගත වී, තමන්ගේ අලුත් ජාතියට පක්ෂපාතීව ජීවත් වීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-25

විමුක්තිය සොයා පළා යන ලංකාවේ ම්‍ධ්‍යම පංතිය

මොහොතකට කලින් එක්තරා පුවත්පත් කතුවරයකුගේ ෆේස්බුක් ගිනුමක දුටුවා, ඔහු ස්ථිරවම ලංකාවෙන් පිට වී වෙනත් රටකට සංක්‍රමණය වන්නට යන බව. 

මේ කතුවරයා සිංහල ජාතිකවාදී අදහස් ඇති තරමක් ලිබරල් නැඹුරුවකිනුත් යුත් කෙනෙක්. සිංහල ජාතිකවාදීන් පවා අවසානයේදී කරන්නේ මේ දේ. අඩු තරමේ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හෝ ඔවුන් තෝරා ගන්නේ බටහිර, සංවර්ධිත රටකට සංක්‍රමණය වීමේ විසඳුමයි. මා නිරීක්ෂණය කර ඇති ආකාරයට ලංකාවේ වඩාත් ම උන්නතිකාමී මධ්‍යම පංතික බලවේගයේ ස‍ිහිනය සංක්‍රමණයයි. මෙහි තිබෙන පරස්පරය වන්නේ වැඩියෙන් ම දේශප්‍රේමී, ජාතිකවාදී, ආගම්වාදී අදහස් දරන්නේ ද මෙම බලවේගය ම වීමයි. දකුණේ ‍මහින්ද රාජපක්ෂ හා උතු‍රේ ප්‍රභාකරන් මෙම බලවේගයන්ගේ නිර්මාණ වෙති.

එහෙත් ඔවුන් යන්නේ ලෝකෙන් උතුම් ම රට, ලෝකෙ හොඳ ම වතුර, සිංහල ගම, සරම හා බැනියම, බුලත් විට, සිංහල හාලේ බත් විතරක් නෙමෙයි සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුදු දහම, ජාතිකවාදී දේශපාලනය හා සිංහලයන්ගේ අහවල් එක වන මහින්ද චින්තනය ද මෙහි තබා ය. දෙමළ අය නම් අපට ඉතිරි කර යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ය.

අප මේ කියන කාරණය සිංහල මෙන් ම දෙමළ ඩයස්පෝරාවට ද පොදු ය. රුද්‍රකුමාර්ට මෙන් ම ගෝඨාභය රාජපක්ෂට හා ප්‍රේමකුමාර් ගුනරත්නම්ට ද පොදු ය.

පුරවැසිභාවය වෙනස් කර ගත්තත්, බොහෝ දෙනෙකුට තමන්ට මේ ගොරක දේශයේ තිබුණු පිළිගැනීමෙන් අංශු මාත්‍රයක් හෝ තමන් යන රටෙන් නො ලැබෙන නිසා එතැන් සිට ඔවුහු සිය අනන්‍යතා අර්බුදය ‍ප්‍රකාශ කිරීම සඳහා ඩයස්පෝරා හදා ගනිති.


හැත්තෑව දශකයේදී සේපාල ඒකනායක ඉතාලි අලිටාලියා ගුවන් යානයක් පැහැර ගත්තේත්, දැන් ලංකාවේ මිනිස්සු බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියා යන්නේත් එක ම අරමුණක් වෙනුවෙනි. ඒ සංවර්ධිත, ප්‍රජාතන්ත්‍රවාදී රටක අලුත් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ය. දුප්පතුන් එසේ කරද්දී මධ්‍යම පංතිකයන් කරන්නේ සල්ලි විසි කර දරුවන් අධ්‍යාපනයට එතෙර යවා, වෘත්තිකයන් බවට පත් කර, ඔවුන්ට සංවර්ධිත රටවල ජීවිත ගොඩනංවා දී ජීවිතයේ අවසන් කාලය ගෙවන්නට එහි යාමයි. තවත් කොටසක් ලංකාවේ තමන්ට ජීවිත තර්ජන ඇති බව කියා පිටරටවල දේශපාලන රැකවරණ ලබා ගනිති.

මේ අය මැරෙන තුරාමත් ඔවුන්ට සිය අනන්‍යතා අර්බුදයෙන් ගොඩ ඒමට බැරි වන හෙයින්, ඔවුහු ජීවිතාන්තය දක්වා ම ලංකාවට මළ කරද‍ර වෙති. ඒ ඔවුන්ගේ අලුතින් සොයා ගත් දේශප්‍රේමය නිසා ය. මේ දේශප්‍රේමය වෙනුවෙන් ඔවුන්ට කරන්නට තිබෙන්නේ ඩොලර් හෝ යුරෝ සොච්චමක් වැය කිරීම හා අවුරුද්දකට විතර වතාවක් සිංහ හෝ කොටි කොඩි රැගෙන උද්ඝෝෂණයකට සහභාගි වීම පමණි. සීත කාලයේ අඩු වියදමින් නිවාඩුවක් ගත කිරීමට සිය මාතෘ භූමියට එන මේ දේශප්‍රේමියෝ සිය දරු මුණුබුරන්ට සිය මුල් පෙන්වමින් මාර සතුටක් ලබති. තමන් ජීවත් වන රටේදී කීයටවත් නො ලැබෙන මාර පිළිගැනීමක් ලැබ, ඒකත් ආපසු මෙහේට ම විකුණා ආපසු සිය සැබෑ රටට යන්නේ තමන්‍ට වී තිබෙන අලකලංචිය තවත් පටලවාගෙන ය.

බොහෝ සිංහල සංක්‍රමණිකයන්ගේ දෙවන පරම්පරා සිය තාත්තලාගේ මනස්ගාත අමතක කර දමා තමන් දැන් ජීවත් වන තමන්ගේ රටේ ජීවිතය සතුටින් භාර ගනිති. තුන්වන පරම්පරාවට යන විට ලංකාව ඔවුන්ට තවත් ලාභදායී ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් පමණි. 

‍එහෙත්, දෙමළ සමාජයේ මෙය වෙනස් ය. යුද්ධයට ස්තුති වන්නට පවුල් පිටින් ම විදෙස්ගත වී සිටින ඔවුහු ඒ රටවල්වලත් පුංචි පුංචි පොකට් ඇතුළේ ම ජීවත් වෙති. ඔවුන්ගේ ඊළඟ පරම්පරා ද ඒ රටවල ජීවිතයට එකතු වන්නේ සෙමින් ය. එහෙයින් ඔවුන්ගෙන් මෙහි ජීවිතයට ඇති කරදරය වැඩි ය.

මේ බොහෝ දෙනෙකුට සිය අනන්‍යතා ප්‍රශ්නය නිසා ලංකාව හැරමිටියකි. අනතුරට පත් මාධ්‍යවේදියකු, රටින් පළා යන්නට සිදු වූ දේශපාලන ක්‍රියාකාරිකයෙකු, පීඩිත ජාතිකවාදියෙකු වැනි අනන්‍යතා අවන්හල් ‍සේවකයකු වැනි සාමාන්‍ය අනන්‍යතාවකට අමතර දෙයක් එකතු කරයි. මං මෙහේ මෙහෙම හිටියට එ‍හේ පොරක් යන මානසිකත්වය කාට නැතත් තමන්ට හෝ වැදගත් විය හැකි ය. 

ඔවුන්ගේ භෞතික යථාර්ථය තුළ ඇත්තෙන් ම ඔවුන්ට ලංකාවේ සාමය ඇති වීම බරපතල ගැටලුවකි. ලංකාව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය දෙසට යොමු වූ රටක් වුවහොත් ඔවුන්ට සිය අනන්‍යතා හැරමිටිය හා ඇතැම් විට ආර්ථික ප්‍රාණ නාලිය ද අහිමි වී යයි.

ලංකාවේ සිංහල හා දෙමළ දෙජාතියට වැඩියෙන් ම ආදරය කරන මිනිසුන් සිටින තැන ඩයස්පෝ‍රාව වන්නේ මෙම සංදර්භය තුළ ය. ඔවුන්ගේ ආදරයේ අභිලාෂය ලංකාව වලේ ම තබා ගැනීමයි. වෙන මොනවා නැතත්, මෙහි සිටින අසරණයන්ගේ ඉරිසියාවෙන් හෝ ඔවුන්ට සැනසෙන්නට ලැබෙන්නේ එවිට ය.

ඊනියා ජාතිකවාදීන්ගේ රටට ආදරය කිරීමේ මූලික කොන්දේසියක් විය යුත්තේ හැකි අවසාන මොහොත දක්වා ‍මේ රටේ ම හිඳිමින් මේ රට හරි මග වෙත ගැනීමට උත්සාහ කිරීමයි. 

දෙමළ ජාතිකවාදීන් නම් කළ යුතුව තිබෙන්නේ ආපසු පැමිණ සිය ඊලාම් අරගලය මෙහි ආරම්භ කිරීමයි. ‍එහෙම නැතිව මසකට ඩොලර් 25ක් 50ක් එවා මෙහි දුප්පත් තරුණ තරුණියන් මරාගෙන මැරෙන තෙක් බලා සිටීම අම්බානක කුහකකමකි. 

සාමාන්‍යයෙන් ජාතිද්‍රෝහියකු, දේශද්‍රෝහියකු වන මා වැන අය නම් මොන තූත්තුකුඩියක ගියත් කමක් නැත. මම නම් සිංහල හෝ දෙමළ හෝ ජාතිකවාදියෙක් නො වෙමි. මේ ජාතීන් දිය වී ගොස් ලාංකීය දේශපාලන ප්‍රජාවක් වෙත අනුකලනය වීම මගේ සමාජ දේශපාලන අභිලාෂයයි. එසේම, භූගෝලීය වශයෙන් ද ලෝකයේ රටවල් එකට බැඳෙනවාට මම කැමති ය.

මා මේ රටෙන් පළා ‍නො ගොස් ඉන්නේ එක ම එක හේතුවක් නිසා ය. උපතින් මා අයත් වන සමාජයේ ජීවත් වීමට මා කැමති නිසා ය. ඒ සමාජය සමස්තයක් ලෙස ගොඩ ගන්නට මම මට හැකි අන්දමින් අරගල කරමි. මට සිතෙන අන්දමට එය දේශපාලනික ය. අප සමාජයක් ලෙස අගාධයට යමින් තිබෙන තත්වය තුළ මා වැඩියෙන් ම ආදරය කරන මගේ දරුවන් වෙනුවෙන් කුමක් කළ හැකිදැයි මට සිතා ගන්නට බැරි ය. 

විමුක්තිය සොයා පළා ගිය මිනිසුන් ජාතිවාදයේ, ආගම්වාදයේ හා ඒකාධිපතිවාදයේ පසුගාමිත්වය තුළ ගිල්වා  ලංකාව අනාථ කිරීමට යත්න දරන එක ඇත්තට ම බරපතල තත්වයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-24

සුන්දර ඉංගිරිසි - 3: දුෂ්කර බන්ධන හා නෝනිසමේනියාව

ගිය සතියේ මම සිංග්ලිෂ් කවියක් ලිව්වා. ඒක ලිව්වේ සිංහල අකුරෙන්. සිංග්ලිෂ් කියන්නේ සිංහලයි ඉංග්ලිෂුයි කලවම් වුණ භාෂාවට. මේ විිධියට දෙමළයි ඉංග්ලිෂුයි කලවම් වුණ භාෂාවට කියන්නේ ටැංග්ලිෂ් කියලායි. පසුගිය දිනවල ජනප්‍රිය වී තිබුණු 'වයි දිස් කොලවරි, කොලවරි ඩී' සිංදුව ටැංග්ලිෂ්. කොලවරි කියන්නේ මා අසා ඇති විධියට අධික කෝපය යන තේරුම දෙන වචනයක්. මෙතැන ඩී කියන්නේ අඩී කියන එක.

මේකයි මම ලියපු කවිය:

ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර්
හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි.
අයි ඩෝන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන
බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්

වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර්
අපේ ඇ මයිල් කෙළින් වෙනවා ය.
ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස්
අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස්

නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක්
ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස්
ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්
යූ නෝ හී කැන් ඊවන් බ්ලේම් ඉන් ඉංග්ලිෂ්

ඉංග්ලන්ඩ් ඉස් ප්‍රෝ එල්ටීටී බට් යූ ‍නෝ ඉංග්ලිෂ් ඉස් වෙරි පොෂ්
දැට් කන්ට්‍රි ඉස් අයිඩියල් ටු මයිග්‍රේට් සම්හව් 
සේ යූ ආ ටෝචර්ඩ් බයි ශ්‍රී ලංකන් පොලිස්
ලැබෙනවා නම් වීසා කොහොම වුණත් මක්කෙයි

ඉංග්ලන්ඩ් ඉස් ද හෙවන් වන් ඩේ වී පුනරුත්පත්ති ආෆ්ටර් දිස් ආත්මෙ
ඉංග්ලිෂ් ඉස් ද ලැංවිජ් ද සුරංගනාවො ස්පීක්
දැට්ස් වයි වී ලව් ඉංග්ලිෂ් සෝ මච්
ඇන් හේට් ඉට් ටූ බිකස් වී කාන්ට් ස්පීක් දිස් ෆකිං ලැංවිජ් ලයික් සුද්දාස්

ඒක ලියන්න හේතු වුණේ පසුගිය දිනවල ලංකාවේ සිදු වුණ දෙයක්. දොස්තර ක්‍රිස් නෝනිස් කියන එංගලන්තයේ විදේශ සේවයේ සිටින ලාංකික මහත්තයාට සුද්දාට වඩා හොඳට ඉංගිරිසි කතා කරන්නට පුළුවන් ය කියා  ලංකාවේ ඇතැම් අය අදහස් පළ කරන්නට පටන් ගත්තා.

දොස්තර කෙනෙකු වන නෝනිස් මහත්තයා බරසාර ඉංගිරිසි වචන භාවිතා කරමින් ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන මානව හිමිකම් චෝදනා ගැන ආණ්ඩුවට පක්ෂව කළ අදහස් දැක්වීම්වලදී බොහෝ අය වර්ණනා කළේ ඒ මහත්තයාගේ ඉංගිරිසියයි.

මේ බර වචන ලිවිල්ල ලංකාවේ ඉංගිරිසි උගත් ඉහළ පංතියේ පිස්සුවක්. සාමාන්‍යයෙන් මේ පංතියේ ඉන්න අය යමක් ලියනකොට ම එය ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට නො තේරෙන ලෙස ලියන්නට ඔවුන්ට අවශ්‍යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇත්තෙන්ම ඒ ලේඛන සුද්දන්ටත් නො තේරෙන විහිළු බවට පත් වෙනවා.

වැඩි දෙනෙකුට තේරෙන සරළ ආකාරයෙන් ලියන්න පුළුවන් දෙයක් සීමිත පිරිසකට තේරෙන දුෂ්කර බසකින් ලියන එක ඕනෑම භාෂාවක විිහිළුවක්. ලංකාවේ ඉංගිරිසි සාහිත්‍යය එතරම් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් නො වන්නටත් මේ තත්වය හේතු වන්න ඇති. භාෂාව ගැන ඕනෑවට වඩා අවධානය යොමු කරන්න ගියාම නිර්මානයක තිබිය යුතු සෙසු වටිනාකම් ගිලිහෙනවා. .

නෝනිස‍මේනියාව ගැන උපහාසාත්මක කවිය ලියැවුණ මගේ බ්ලොගයේ අදහස් දක්වපු පාඨකයෙක් මෙහෙම කිව්වා. "මම හිතන්නෙ නෝනිස් මහත්තය හිතන් ඉන්නෙ දන්න ලොකුම බර වචන දාල ප්‍රතිවාදියට සැරෙන් බැන්නම, එයාගෙ පොයින්ට් එක ඔප්පු වෙනවා කියල ද කොහෙද.

"මේ 'බර කඩ්ඩ' හීනමානෙ තියන හැටේ දශකෙ මැන්ටල් අයින් කරලා, සුද්දො එක්ක ඇත්තට සාර්ථක බිස්නස් එකක් කරන බිස්නස් කාරයෙක්ට වගේ කියවල ලියව ගත්ත නම් උනත් මේ කතාවෙ මීට වඩා ඉම්පැක්ට් එකක් තියේවි. එහෙම උන් දන්නව සුද්දන්ට ඔය වික්ටෝරියන් කඩ්ඩ ලොකු නෑ, තමන්ගෙ අදහස කියවන එකාට පුලුවන් තරම් ලේසියෙන් යන්න ලියන එකයි වැදගත් කියලා."

මේ ඉංගිරිසි වන්දනාව වාමාංශිකයන් අතරත් බරපතල විධියට තිබෙනවා. වතාවක් අපට උවමනා වුණා දේශපාලන කණ්ඩායමක් ලෙස අප මුහුණ දීපු ප්‍රශ්නයක් ගැන තානාපති කාර්යාලවලට ලියුමක් ලියන්න. මං ඉතින් අදාළ කාරණය සරළව කෙටියෙන් සඳහන් කරලා ලියුමක් ලිව්වා. අපේ වාමාංශික නායකයා ලියුම ප්‍රතික්ෂේප කළා. එයාට හිටියා ඉංගිරිසියෙන් උගත් කොළඹ ඉහළ මධ්‍යම පංතික සගයෙක්. වාම නායකයාට ඕනැ වුණේ ඔහු ලවා බර වචනෙන් ලියුම ලියවා ගන්නයි. හැබැයි, ඒ ලියුම තාම ලියැවුණේ නැහැ.

ජනරළ වාමාංශිකයන් අතරට විහිදෙන පත්තරයක් නේ. ඉංගිරිසි ගැනත් වාම අදහසක් අපට තිබෙන්න ඕනැ. අපි ඉංගිරිසි භාවිතා කරන්නේ එය අ‍පත් ලෝකයත් අතර පාලම වන නිසායි. ඒ වගේම, මෑත කාලීනව ලැබුණු භාෂාවක් වුණත්, ඉංගිරිසිය දැන් අපේ සංස්කෘතික උරුමයක්. සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ අප ගොඩනගා ගත් අපේ ම ඉංගිරිසි උරුමයක් අපට තිබෙනවා. එය අපේ මුල් භාෂාවන් වන සිංහල හා දෙමළ සමගත් සම්බන්ධයි. මේ කොලමින් මම උත්සාහ කරන්නේ ඒ උරුමය හඳුනා ගන්නයි. ඒ වගේම අපේ ඉංගිරිසි උරුමයෙන් ලෝකයට දායක වන විධිය ගැනත් අපි අවධානය ‍යොමු කළ යුතුයි.

ඒ වෙනුවෙන් මුලින් ම කළ යුතුව තිබෙන දෙය තමයි, ඉංගිරිසිය වන්දනා කිරීම නවත්වන එක. ඒ අව් අස්සේ මෙන්න මෙහෙම දෙයකුත් වුණා.

ඉංගිරිසි ටියුෂන් මාස්ටර්ලා අතර තිබෙනවා, එක්තරා අපූරු පුරුද්දක්. ඒ තමයි, කොහෙන් හරි හොයා ගත් දුෂ්කර බන්ධනයක් ළමයින්ට උගන්වලා, එය පාසලට එවලා එමගින් ගුරුවරුන් අපහසුවට පත් කර තමන් පොර වීම.

පසුගිය දවසක ළමයෙක් had had had had had had කියා හය පාරක් යෙදෙන වාක්‍යයක් අරගෙන ඇවිත් එහි තේරුම ඇහුවා. ඇත්තෙන් ම එහි විරාම ලකුණු යොදා තිබුණේ නැති නිසාත්, තවත් ව්‍යාකරණ ගැටලුවක් නිසාත් එහි තේරුමක් තිබුණේ නැහැ.

මේ ගැන අන්තර්ජාලයෙන් සෙවීමේදී මට එවැනි වාක්‍යයක් ලැබුණා. James, while John had had "had", had had "had had"; "had had" had had a better effect on the teacher. 

මේ වාක්‍යයේ had වචනය නව වරක් යෙදෙනවා. එහි සාමාන්‍ය පරිවර්තනය මෙසේයි. ජෝන් හැඩ් කියා යොදා තිබුණු තැන ජේම්ස් හැඩ් හැඩ් කියා යොදා තිබුණා. හැඩ් හැඩ් කියා යෙදීම ගැන ගුරුවරයා තුළ වඩා හොඳ හැඟීමක් ඇති වුණා.

මේ ගැන වැඩිදුර සොයා බලද්දී තවත් මේ වගේ දුෂ්කර බන්ධනයක් ගැන දැන ගන්න පුළුවන් වුණා. ඒ අනුව  Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo කියන්නේ තේරුමක් තිබෙන ඇමරිකානු ඉංගිරිිසි වාක්‍යයක්.

ඒ කොහොමද? බෆලෝ කියන වචනයට තේරුම් තුනක් තිබෙනවා. එකක් අප කවුරුත් දන්න මී හරකා. බෆලෝ කියා නගරයක් ද ඇමරිකාවේ තිබෙනවා. ඒ වගේ ම ඇමරිකානු ඉංගිරිසියේ බෆලෝ කියා ක්‍රියාපදයක් ද තිබෙනවා. එහි තේරුම කාට හරි කරදර කිරීමයි. ඒ අනුව කල්පනා කර මේ වාක්‍යයේ තේරුම අපට ලියලා එවන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-03-23

W3Lanka විසිලක්ෂයේ සන්ධිස්ථානය

අපේ බ්ලොගය පිටු වෙත පිවිසීම විසිලක්ෂයේ සීමාව පසු කරන්නට ආසන්න ය. (දකුණු පැත්තේ කොලමේ තිබෙන හිට්ස් කවුන්ටරය බලන්න)

එය මහා මංගල්‍යයක් ‍නො වුණත් අපට සතුටකි. අප මෙම බ්ලොගය ආරම්භ කළේ දේශපාලන වශයෙන් අවිනිශ්චිත වකවානුවක අපගේ මැදිහත්වීම පවත්වාගෙන යාම සඳහා ය. අපි සිදු වෙමින් පවතින දේ ප්‍රශ්න කිරීම ද, විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ද, හොඳ දේ අගය කිරීම  ද කළෙමු. අපි මෙම ‍බ්ලොගය සමග ගොඩනැගුණු සංවාද ඔස්සේ වෙනස් වෙමින් ගමන් කළෙමු. 

මෙම බ්ලොගය වැඩිපුර ලියන්නේ අජිත් පැරකුම් ජයසිංහ වන මා බව සැබෑ ය. එහෙත්, මෙහි තිබෙන සියලු අදහස් මගේ  තනි අයිතියට ගත නො හැක. ඒ වෙනුවෙන් දැනුවත්වත්, නො දැනුවත්වත් තවත් බොහෝ අය සම්බන්ධ වී තිබේ. මම, මා යන යෙදුම් වෙනුවට අපි, අප යන යෙදුම් මෙහි භාවිතා වන්නේ ඒ නිසා ය. 

අප මුලින් ම මෙම ‍බ්ලොගය ආරම්භ කළේ අප විසින් 2009 පෙබරවාරියේදී දියත් කරන ලද w3lanka.com නම් පුවත්, වි‍ශ්ලේෂ්‍ණ හා තොරතුරු වෙබ් අඩවියට සම්බන්ධව එහි ප්‍රවර්ධක බ්ලොගයක් ලෙසයි. එහෙත් පසුකාලීනව අප එම වෙබ් අඩවිය නවතා දැමුවෙමු. බ්ලොග්කරණයේ සුවිශේෂතා ගැන අවධානය යොමු කරමින් මෙම බ්ලොගය සංවර්ධනය කළෙමු. මේ ලියමින් තිබෙන්නේ බ්ලොගයේ 2775වන සටහනයි. දිනපතා ම එය යාවත්කාලීන කිරීමටත්, හැකි සෑම අවස්ථාවකදී ම හොඳ ලිපියක් ලිවීමටත් අපි උත්සාහ කළෙමු. මෙ වන විට16,000කට වැඩි පාඨක අදහස් දැක්වීම් මෙම බ්ලොගයේ පළ වී තිබේ. 

අපට තිබෙන්නේ වාමාංශික දේශපාලන සම්භවයකි. ‍එහෙත්, ගතානුගතික වාමාංශිකයන්ගෙන් අප වෙනස් යයි අප සිතන හේතු කීපයක් තිබේ. ඒවා මෙසේයි:


  • අපි දැඩි ස්ථාවරවල ප්‍රකාශකයෝ නො වෙමු. ඒ වෙනුවට අපි අදහස්වලට  හා සංවාදයන්ට විවෘත වන්නෙමු.
  • අපි වෙනස් වන්නට කැමති ය. වෙනස් නො වී සිටීම අපට වීරත්වයක් නො වේ. එසේම වෙනස් වීම අපට ලජ්ජාවට කරුණක් නො වේ. 
  • අපට සමාජයේ දකින්නට අවශ්‍ය වෙනස, අප තුළ ම නිර්මානය කර ගැනීමට අපි උත්සාහ කරන්නෙමු. 
  • සමාජවාදය යනු කුමන අන්දමකින් හෝ බලය ලබා ‍ගැනීමෙන් පසු ආරම්භ කළ යුතු දෙයක් නො ව අද පටන් අපගේ ජීවිත හා සමාජයන් තුළ භාවිතා කළ යුතු දෙයක්, කළ යුතු අරගලයක් ලෙස සලකමු. 
  • සමාජවාදය සටන් පාඨයක් නොව ජීවිතයේ අංගයක් ලෙස සලකමු. ඒ අනුව ජීවත් වෙමු. 
  • අපි සියලු ආකාරයේ ස්වෝත්තමවාදයන්ට එරෙහි වන්නෙමු. ජාති පමණක් නොව, කුල, පුරුෂ, ලිංගික ආධිපත්‍යයන්ට ද එරෙහිව අරගල කරන්නෙමු. 

සමාජවාදය සඳහා අරගලය දෙපා මුලින් ආරම්භ කළ යුතු බව අපි විශ්වාස කරමු. සමාජවාදීන් ලෙස පෙනී සිටින බොහෝ මිනිසුන්ගේ ජීවිතවල අන්ත ප්‍රතිගාමී ලක්ෂණ අපගේ විවේචනයට ලක් වී තිබේ. අප තවමත් අප දන්නා බොහෝ දේ හෙළිදරව් කර නැත. එහෙත්, සමාජවාදීන් ලෙස පෙනී සිටින මිනිසුන්ගේ ප්‍රතිගාමිත්වය අද දවසේ සමාජවාදය භාවිතාවට ගැනීම සඳහා තිබෙන ප්‍රධාන ගැටලුව ලෙස අපි දකිමු. එබැවින් ධනවාදය සමග මෙන් ම ගතානුගතික සමාජවාදීන් සමග ද සමාජවාදය වෙනුවෙන් අරගලයක් අපට තිබේ. 

සමාජවාදය යනු ධනවාදයට විකල්ප සෙවීමේ අරගලයයි. අපි එහි නියැලී සිටිමු.


පිටු විසිලක්ෂයක් කියැවීම නම් සන්ධිස්ථානය අසලදී අපගේ බ්ලොගය ගැන ඔබගේ අදහස් දක්වන්නැයි අපි ඔබට ආරාධනා කරන්නෙමු. 

බ්ලොග් ලෝකයෙන් පිටතට අපට විහිදෙන්නට උපකාර කරන්නේ නම් කෘතඥ වෙමු. එසේ කරන්නේ කෙසේදැයි අසන අයගෙන් අපි මෙම ඉල්ලීම කරමු. මෙම බ්ලොගය ප්‍රවර්ධනය කිරීම සඳහා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක අප පිළිබඳ හඳුන්වා දීමක් කරන්නට ඔබට පුළුවන. ඔබගේ මිතුරන්ට අප පිළිබඳව කියන්නට ඔබට පුළුවන. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-03-22

ජනමතවිචාරණවලින් වෙනම රාජ්‍ය බිහිකිරීම: ක්‍රිමියාවේ සිට ලංකාව දක්වා

කළු මුහුදේ කහ පාටින් දැක්වෙන්නේ ක්‍රිමියානු අර්ධද්වීපයයි.
ලෝක දේශපාලන සිතියම ඉතිහාසය තුළ ස්ථිතිකව තිබුණු දෙයක් නොවෙයි. බලතුලනය විවිධාකාරයෙන් වෙනස් වන විට ලෝක සිතියමත් වෙනස් වී තිබෙනවා. රටවල් තව රටවල් සමග එක් වීම, වෙන් වීම, රාජ්‍යවල දේශ සීමාවන් වෙනස් වී ලොකු පුංචි වීම ආදිය ලෝක ඉතිහාසයේ සාමාන්‍ය තත්වයක්.

ජනමත විචාරණයක් ඔස්සේ කිසියම් ජනතාවකගේ අදහස විමසා, ඒ අනුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෑත වකවානුවේදී දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් යුත් ක්‍රියාවලියක්. එහෙත්, මේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර යට බල දේශපාලන අවශ්‍යතා ක්‍රියාත්මකයි.

ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි.

සවිට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවෙයි. ඒත්, ස්විට්සර්ලන්තය පවා යුරෝපා සංගමයේ සංචලන නීතිවලට අනුගත වෙමින් යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර නිදහස් සංචලනයට අවසර දී තිබුණා. යුරෝපයේ ධනවත් නො වන රටක් වන ක්‍රොඒෂියාව මෑතදී යුරෝපා සංගමය සමග එක් වුණා. ඒ අනුව ක්‍රොඒෂියානුවන්ටත් යුරෝපා සංගමයේ සෙසු රටවලට හිමි වරප්‍රසාද ස්විට්සර්ලන්තයෙන් ලැබෙන විධියට දෙරට අතර ගිවිසුමක් අත්සන් කරන්නට ස්විට්සර්ලන්තය එකඟ වී තිබුණා. ඒත්, පෙබරවාරි 08දා එරට පැවැත්වුණු ජනමත විචාරණයකදී ස්විස් ජාතිකයන්ගෙන් 50.3%ක් ම යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ නීති වෙනස් කරමින් සංක්‍රමණයන් සඳහා කෝටා ක්‍රමයක් අනුගමනය කළ යුතු බව පවසමින් ඡන්දය දුන්නා. ඒ සමගම ක්‍රොඒෂියාවත් සමග අත්සන් කරන්නට සිටි ගිවිසුමත් අත්හිටවා තිබෙනවා.

ජනමත විචාරණ ඔස්සේ වෙන් වීමේ ප්‍රවණතා සහිත රාජ්‍ය රැසක් ම යුරෝපයේත් තිබෙනවා. මෙම කලාපය ඔබ කියවන සිකුරාදා දින වන විට ඉතාලියේ වැනිසිය අගනුවර කර ගත් වැනිටෝ ප්‍රදේශය ජනමතවිචාරණයක් පවත්වනවා ‍ඉතාලියෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා. මෙම මැතිවරණයේදී වෙන් වීමට පක්ෂව ලැබිය හැකි ඡන්ද ප්‍රතිශතය වැඩි විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ. ඒ අනුව නුදුරු අනාගතයේදී නැවතත් ස්වාධීන වැනිසියක් බිහි වෙන්න ඉඩ තිබෙනවා.වෙන් වීම සාධාරණීරණය කරන්නට වැනිසි දේශපාලන නායකයන් ඉදිරිපත් කරන තර්ක වන්නේ ඉතාලිය වැනිසියේ ධනය බැහැරට ගෙන යන තරමට ගැලපෙන වාසියක් එක්ව සිටීමෙන් ඔවුන්ට නො ලැබෙන බවයි. එසේම, ඉතාලි ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම ද ඔවුන් හේතුවක් ලෙස ඉදිරිපත් කරනවා.

ධනවත් වැනිසියේ මේ වෙන් වීමේ ප්‍රවණතාව කෙතරම් ජාතිකවාදී ද යත්, ඔවුන්ට වෙන් වන්නට අවශ්‍ය ඉතාලියෙන් පමණක් නොවෙයි. යුරෝපා සංගමයෙන්, නේටෝ සංවිධානයෙන් හා යුරෝ මුදල් ඒකකයෙනුත් ඉවත්ව ස්වාධීන වන්නට ඔවුන්ට අවශ්‍යයි.

මේ වසරේ තවත් මෙවැනි ජනමතවිචාරණ දෙකක් පැවැත්වෙන්නට නියමිතයි. සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ඉන් එක් ජනමතවිචාරණයකදී ස්කොට්ලන්ත ජාතිකයන් මහා බ්‍රිතාන්‍යයෙන් ස්වාධීන වීම පිළිබඳ ඡන්දය දෙනවා. නොවැම්බරයේදී අනෙක් ජනමතවිචාරණය පැවැත්වෙන්නේ කැටලෝනියාවේයි. එහිදී කැටලෝනියානු ජනතාව ස්පාඤ්ඤයෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න තීරණය කරනවා.

කැනඩාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා ප්‍රංශ බස කතා කරන කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ 1995දී පවත්වන ලද ජනමතවිචාරණයකදී 50.58%ක් 'එපා' කියා ඡන්දය දුන් නිසා එය වැළැක්වුණා.ඒත්, එවැනි ජනමතවිචාරණයක් ඔස්සේ වෙන්වීම පිළිබඳ ක්විබෙක් බලාපොරොත්තු තවමත් අවසන් වී නැහැ. 

ක්‍රිමියාව, රුසියාව හා යුක්රේනය
 මේ අතර ජනමතවිචාරණයකදී තමන් දැනට සම්බන්ධ රටෙන් වෙන් වීම සඳහා කැමැත්ත පළ කළ අලුත්ම රාජ්‍යය වන්නේ ක්‍රිමියාවයි. මාර්තු 16දා පැවැත්වුණ ජනමතවිචාරණයේදී 93%ක් ම ක්‍රිමියානු ජනතාව ඡන්දය දුන්නේ යුක්රේනයෙන් වෙන් වී රුසියාව සමග යළි එකතු වන්නට පක්ෂවයි. මෙය දැවැන්ත බහුතර ඡන්දයක්. ඒ නිසා ලෝකයට එය නො තකා හැරීම අපහසුයි. එහෙත්, බටහිර ගැති වත්මන් යුක්රේන ආණ්ඩුව මේ ජනමතවිචාරණය පිළි ගන්නේ නැහැ. බටහිර බලවතුන් ද එය පිළි ගන්නේ නැහැ.එයට එරෙහිව තර්ක කරන අය පවසන්නේ 1954ට පෙර ක්‍රිමියාව රුසියාවේ කොටසක්ව තිබූ බවත්, එය යුක්රේනයට භාර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රිමියානු ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරව බවත් ය. ඒ කාලයේ මේ රාජ්‍ය සියල්ල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කොටස්.

මොන්ටිනීග්‍රෝව සර්බියාවෙන් වෙන් වීම සඳහා 2006දී පවත්වන ලද ජනමතවිචාරණයේදී වෙන් වීමට පක්ෂව ඡන්දය දුන්නේ 55.5%ක් පමණයි. එහෙත් එය පදනම් කරගෙන නිදහස් ‍මොන්ටිනීග්‍රෝ රාජ්‍යයක් බිහිකරන්නට බටහිර බලවතුන් උපකාර කළා. මෙම ජනමතවිචාරණ ප්‍රතිඵලය පදනම් කරගෙන රුසියාව පවසන්නේ ක්‍රිමියාව රුසියාවට එකතු කර ගන්නා බවයි. ක්‍රිමියානු ජනතාවගේ ප්‍රතිචාරය එක් පැත්තකින් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට සම්බන්ධයි.

මෙවැනි ජනමතවිචාරණ සම්බන්ධයෙන් බටහිරත්, රුසියාවත් කටයුතු කරන්නේ එක් නිශ්චිත ප්‍රතිපත්තියක් වෙනුවට තමන්ගේ වාසිය මත පදනම් වූ අවස්ථාවාදී ප්‍රතිපත්ති මතයි. මොන්ටිනීග්‍රෝවේ වෙන් වීමේ අයිතිය පිළි ගත් බටහිර බලවතුන් ක්‍රිමියාව රුසියාව සමග සම්බන්ධ වීමට විරුද්ධයි.

ඊළඟට මෙම තත්වය බලපානු ඇත්තේ භයානක යුද්ධයකින් පසුව 2006දී විමධ්‍යගත බලයක් සහිත ප්‍රධාන කොටස් තුනක් සහිතව පිහිටුවන ලද බොස්නියා රාජ්‍යයටයි. බොස්නියාවේ මධ්‍යම ආණ්ඩුව දුර්වලයි.‍ බොස්නියාවේ කොටසක් වන සර්බියාවත් රුසියාවට පක්ෂව කටයුතු කරන, වෙනම රාජ්‍ය හිමිකම ඉල්ලා සිටින ප්‍රදේශයක්. බොස්නියානු නායකයන් ක්‍රිමියාවේ ජනමතවිචාරණ ක්‍රියාවලිය නීතිගරුක හා යුක්තියුක්ත ක්‍රියාවක් බවට අගයන්නේ ක්‍රිමියාවට තිබෙන විශේෂ ආදරයක් නිසා නොවෙයි. තමන්ටත් සරායෙවෝ අගනුවර කේන්ද්‍ර කර ගත් බොස්නියානු රා‍ජ්‍යයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගන්නට ජනමතවිචාරණයක් උපකාරී කර ගත හැකි නිසායි.

මෙවැනි ජනමතවිචාරණවල නීත්‍යානුකූලභාවය සම්බන්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් හා තවත් ජාත්‍යන්තර සම්මුති රැසකින් පිළිගෙන තිබෙන ජාතීන්ගේ ස්වයං නිර්ණ හිිමිකම පිළිබඳ විධිවිධාන සමගයි. ඒවා මත පදනම්ව තමන්ගේ ජනමතවිචාරණය යුක්තියුක්ත කර ගැනීමයි ජනමතවිචාරණවලට පක්ෂ වන අය කරන්නේ.

දැන් ලංකා‍වට වැදගත් වන්නේ මේ තත්වය අනාගතයේදී අපට කෙසේ බලපානු ඇද්ද යන්නයි. දෙමළ ජාතිකවාදීන් අතර මෙවැනි ජනමතවිචාරණයක් සම්බන්ධයෙන් නැඹුරුවක් තිබෙනවා. ඔවුන්ගේ අරගලයේ න්‍යාය පත්‍රයේත් යම් දවසක ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ශ්‍රී ලංකා රාජ්‍යය සමග සිටිය යුතු ද, නැතිනම් වෙන් විය යුතු ද යන ප්‍රශ්නය අසන ජනමතවිචාරණයක් තිබෙනවා. එය පැවැත්වෙන වකවානුව තීරණය වන්නේ ලංකාවේ අර්බුදය දිග්ගැසෙන ආකාරය අනුවයි.

ලෝක දේශපාලනයේදී ‍මෙවැනි ජනමතවිච‍ාරණයක් පිළිගැනෙන්නේ බලවත් රාජ්‍ය එයට දක්වන සහයෝගය මතයි. ක්‍රිමියා ජනමතවිචාරණය නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා බටහිර බලවතුන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන එන ලද යෝජනාවට ‍එරෙහිව රුසියාව නිශේධ බලය පාවිච්චි කළා. එවැනි සංදර්භයක් ඇති වුණොත්, දෙමළ ජාතිකවාදීන්ගේ උපකාරය පිණිස ඉදිරිපත් වන බලවතුන් කවුරුද කියන සාධකය මෙහිදී වැදගත්. ඉන්දියාවත්, බටහිර බලවතුනුත් තමන්ට උදව් කරන තැනකට ගන්නට දෙමළ ජාතිකවාදීන් සමත් වුණොත්, වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා උතුරේ පැවැත්වෙන ජනමතවිචාරණයක ප්‍රතිළුල බොහෝ විට ක්‍රිමියාවේ ජනමතවිචාරණයේ ප්‍රතිළුල වගේම වෙන්න පුළුවන්. රුසියාව දැන් යළි ක්‍රිමියාව ඈඳා ගන්නට යන්නේ මෙම ජනමත ප්‍රතිළුලය මත පදනම්වයි. බටහිර බලවතුන්ට සම්බාධක මගින් එය වළක්වන්නට පුළුවන් වෙයි ද?

මෙවැනි තත්වයක් හමුවේ ලංකාවේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනය වැනි එකකට නම් රාජ්‍යතාන්ත්‍රිකව කිසි දෙයක් කර ගන්නට පුළුවන් වෙයි කියා සිතන්නට බැහැ. ඔවුන් ඒ තරමටම රාජ්‍ය තාන්ත්‍රිකව පිරිහිලා. රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති නැඹුරුව නිසා ලංකාව නුදුරු අනාගතයේදී ම මහත් දුෂ්කර තත්වයකට පත් වන බව ඉතා පැහැදිලියි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය ලෝකයට යන්නේ දෙමළ අරගලය හරහායි. එහිදී ඒ ඔස්සේ දෙමළ ජාතිකවාදීන්ගේ අරමුණු ඉදිරියට එනවා. ඒවා ඉන්දියාවේ හා බටහිර බලවතුන්ගේ උවමනාවන් සමග සමපාත වන ආකාරය අනුව ලංකාවේ ඉරණම විස‍ෙඳෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයේදී දෙමළ විරෝධී පදනමකින් යුතුව සිංහල බහුතර ජනයා රාජපක්ෂවරුන්ගේ ඒකාධිපති පවුල් පාලනයට දෙන සහයෝගය නිසා, ඇත්තෙන් ම ලොකුම හානිය සිදු වන්නේ සිංහල ජනතාවටයි. සිංහල ජනතාවට අනවශ්‍ය ම දෙය වන උතුර හා නැගෙනහිර දෙමළ ප්‍රදේශ ලංකාවෙන් වෙන් වීම ඉක්මණ් කිරීම සඳහා මෙම තත්වය ඉවහල් වෙනවා.

ලංකාවේ ඒකීයත්වය රැක ගන්නට අවශ්‍ය නම්, සිංහල ජනතාව ක්‍රියා කළ යුතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. අද පවතින ප්‍ර්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති රාජ්‍ය ව්‍යූහය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ලක් කරන්නට සිංහලයන් මූලිකත්වය ගත යුතුයි. පශ්චාත් කොටි සමයේ බෙදුම්වාදී ප්‍රවණතාව වෙත වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් සිටින දෙමළ ජනතාව ලංකාව වෙත දිනා ගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේ පමණමයි. 
(ජනරළ, 2014 - 03 - 22)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-03-21

කමෙන්ට් දැමීම, කැපීම හා අපේ හැටි

මෙන්න රස කතාවක්. හැබැයි ඒ කතාව මිනිස් ස්වභාවය හා දේශපාලනය ගැනත් ගැඹුරු අරුත් මතු කරනවා. 

මා ලියූ පසුගිය ලිපියේ මාතෘකාව දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා

මේ ලිපියේ මාතෘකාව ටයිප් කරද්දී මා අතින් වැරදි දෙකක් වී තිබුණා. එකක් ජනයා වෙනුවට ජනවා කියා ටයිප් වී තිබුණා. අනෙක් වරද හා වෙනුවට හි ටයිප් වී තිබීම. එය කවුරුවත් පෙන්වා දුන්නේත් නැහැ. මා දැක්කේත් නැහැ. ඒ නිසා හැදුවේ දැනුයි. 

රෑ ලිපිය ලියලා උදේ බලන විට පාඨකයෙක් ජනවා යන වචනයේ වරද පෙන්වා දී තිබුණා. මා එය නිවැරදි කර එම කමෙන්ටුව ඉවත් කළා. එය සුළු ටයිපිං වරදක්. එම වරද නිවැරදි කළාට පසුව එම කමෙන්ටුවෙන් වැඩක් නැති නිසායි මම එය ඉවත් කළේ. 

ඒත්, එම කමෙන්ටුව දැමූ පුද්ගලයා මගෙන් ලොකු ස්තුතියක් බලාපොරොත්තු වී තිබෙනවා. මම සාමාන්‍යයෙන් ඔය එක්ස්කියුස් මී, තැන්කිව් ආදිය මහ ඉහළින් බදාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. අපි සමාජය වෙනුවෙන් යමක් කරනකොට ඒකට තැන්කිව් බලා‍ෙපොරොත්තු විය යුතු නැහැ. මේ බ්ලොගය ‍වෙනුවෙන් මට වැඩිපුර ලැබෙන්නේ බැනුම්. ඒත්, මට ඒකයි ස්තුතියි අතරේ වෙනසක් නැහැ. 

වරද නිවැරදි කරන්නට උදව් වූ පුද්ගලයා නැවත මෙවැනි අදහස් දැක්වීමක් කර තිබුණා. 

if you are a gentleman,To the first comment you have to thanks...man.but instead of that. you just removed it without saying anything. it is not good.Mr.A.P.jayasingha. (V all R same.)
I hasve to say to you behave wisely. Nobody is perfect.


මෙන්න එතැන සිට එයට ලැබුණු ප්‍රතිචාර කීපයක්. 

ඔබගේ ලිපි කියවා පලකරනු ලබන අදහස් වලට වඩා කිනම් හෝ පුද්ගලයෙක් ඔබගේ බ්ලොගය කියවීමයි වැදගත් වන්නේ, අදහස් ඉවත් කිරීමෙන් ඔබ කරනු ලබන නින්දිත ක්‍රියව මා තරයේ හෙලා දකිමි. ඔබගේ බ්ලොගය පාරිශුද්ධත්වයේ සංකේතයද? ඔබ යම් අදහසක් ඉවත් කරනු ලබන්නේ කා වෙනුවෙන්ද? නීතිමය කාරනා කියල බොරු කියන්නෙ නැතුව සත්‍ය පැවසීම වැදගත්. විකල්ප මාධ්‍යක් ලෙස බ්ලොග් කියවීම හා තමන්ට රිසි සේ අදහස් පල කිරීමට ඇති අවස්ථාවට ඔබ වැනි කෙනෙක් බාධා, තහන්චි පැමිණවීම යෝග්‍ය නැත. ඔබගේ ක්‍රියාව ලංකාවේ අනිකුත් ජන මාධ්‍යන් වල හැසිරීම සාධර්ණීකරනය කරනු ලබයි.


well said,

This is the nature of Marxist socialists . They take every possible attempt to hide out of the shadow of the reality.

this is the nature of para and factor almost, not all Marxist socialists....Mun wage ewun anonym niweradi karanawata a pita. gahanna on a hark paiyen.



කොහොමද වැඩ?

 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-03-19

දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා

මගේ ලංකාවේ කොඩිය
අනන්‍යතාවක් සහිත යම් ජන කොටසක්, පාලන බලය සහිත වෙනත් ජනකොටසකින් නිරතුරුව, අඛන්ඩව අසාධාරනයකට ලක් වෙනවා නම් එයම ස්වයං නීර්න හිමිකම සඳහා ප්‍රමානවත් නොවේද? එවන් පීඩිත ජනකොටසකගේ එකමුතුව ආගමිකද, මූල ධාර්මිකද, ජාතියක් මත පදනම් වූවක්ද යන්න අදාල වෙනවාද?

ඉහත සඳහන් වන්නේඋතුරේ ප්‍රශ්නය දැන් මට පෙනෙන හැටි  යන ලිපිය හා ආශ්‍රිත සංවාදයේදී දිමිත්‍රි අපෙන් ඇසූ පැනයක්. මෙය ඇත්තෙන් සංකීර්ණ ප්‍රශ්නයක්.

මේකට බොහෝ අය ඉතාම සරළ පිළිතුරක් දෙනවා. ඒ තමයි, ස්වයං නිර්ණ හිමිකම මූලධාර්මිකව පිළිගන්න එක. මටත් එහෙම කියන එක හරි ලේසියි. මෙච්චරයි. මම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළිගන්නවා ය කියලා පැත්තක‍ට වෙලා ඉන්න පුළුවන්. ඒ ස්ථාවරය නිසා තර්ජන ඇති බව කියා බටහිර රටක‍ට සංක්‍රමණය වෙලා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධිත සමාජයක අලුත් ජීවිතයක් ආරම්භ කරන්නත් පුළුවන්.

හුඟක් විදෙස්ගත දෙමළ තරුණ තරුණියන් කරනවා වගේ ඔය අවන්හල්වල වැඩ වැනි රැකියාවක් කරලා කොටි සංවිධානය නැවත ගොඩනගන්න මාසෙකට ‍ඩොලර් විසිපහක් පනහක් දෙන්නත් පුළුවන්. මට ප්‍රශ්නයක් නැහැනේ. මං ඉන්නේ එහෙනේ. මෙහේ මල්ලිලා යුද්දේ කරාවි. මෙහේ යුද්දෙ තිබෙන කල් මට එහේ ඉන්නත් පුළුවන්. ම‍ට තියෙන්නේ ඔය ඉඳ හිටලා උද්‍ෙඝෝෂණයකට යන්න විතරයි. ඒකත් ඉතින් ෆන් එකක් නේ. මං දේශපාලනය කියලා කරන මඟුලක් නැති වුණාට ලංකාවේ ආණ්ඩුව මට ඩයස්පෝරා ය කියමින් බය වෙනවා නේ.

මගේ ස්ථාවරය මේකයි.දෙමළ ජාතියේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වැඩ කරන එක දෙමළ ජාතිකවාදීන්ගේ වැඩක් මිසක් මගේ වැඩක් නෙමෙයි. මන්ද, මම දෙමළ ජාතිකවාදියෙක් නෙමෙයි. සිංහල‍යකු වන මම දෙමළ ජාතිකවාදියකු වෙන්නට යන එක විකාරයක්. ඒක හරියට අර සාමය වෙනුවෙන් අරමුදල් ‍පොම්ප වන කාලේ සමහර සිංහල එන්.ජී.ඕ. නෝනලා නහයේ කරාබු දාගෙන හිටිය එක වගේ විකාරයක්.

දෙමළ ජාතියට වෙන් වීම හැර අන් විසඳුමක් නැතිනම් පමණක් මම ඊලම පිළිගන්නවා. දෙමළ ජනතාව වෙන් වීම යන විසඳුම කරා යන්නේ අන් සියලු විසඳුම් සලකා බැලීමෙන් අනතුරුව ද යන ප්‍රශ්නයත් ඉතිරිව තිබෙනවා.

නිදසුනකට 1987 ඉන්දීය මැදිහත්වීම හා උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවීම සලකා බලන්න. දෙමළ ජාතිය ඒ අවස්ථාව පූර්ණ අන්දමින් භාවිතා කරමින්, එතැන් සිට ඉදිරියට යන්නට උත්සාහ කළේ නැහැ. එ් වෙනුවට දෙමළ ජාතිකවාදය ම ප්‍රවර්ධනය කරමින් වෙනම රාජ්‍යයක් ම ඉලක්ක කරමින් යුද්ධයේ මාවතට පිවිසුණා. යුද්ධය තෝරා ගැනීම සම්බන්ධයෙන් පනහට පනහ නොවුණත් වෙනත් ප්‍රතිශතයකින් හෝ දෙමළ ජාතියේ නායකයෝ වගකිව යුතුයි.

හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු ලෙස මම ඉතා ම පැහැදිලිව චෝදනා කරනවා, කොටි සංවිධානයට හා එහි නායකත්වය පිළි ගත් දෙමළ ක්‍රියාධරයන්ට සිංහල ප්‍රගතිශීලීන් සමග එක්ව වැඩ කිරීමේ හා දෙමළ ජාතිකවාදය පියමං කරන පුළුල් දැක්මක් ඇති කර ගන්න උවමනාවක් නො තිබුණු බව. ඔවුන්ට උවමනා වුණේ සිංහල ප්‍රගතිශීලීන් කඩේ යවාගන්නට විතරයි. සරළව කියනවා නම් ඔවුන් සිංහල සමාජයෙන් බලාපොරොත්තු වුණේ දෙමළ ඊලම වෙනුවෙන් සේ්‍වය කරන කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විතරයි. මේ වනාහි අමු ම අමු ජාතික ස්වෝත්තමවාදය මිස වෙන කුමක් ද?

මම දිමිත්‍රිගෙන් අහන්නේ එක සරළ ප්‍රශ්නයයි. වාමාංශිකයන් ජාතිවාදයට කඩේ යා යුත්තේ කුමට ද?

පීඩිත ජාතිවාදය ප්‍රගතිශීලී විභවයන්ගෙන් යුක්ත එකක් ය යන්න නූතන ලෝකයට වලංගු නැහැ. මේ තර්කය ධනවාදයේ නැගීමේ මුල් යුගය තුළ වලංගු සාධකයක් වෙන්න ඇති. ධනවාදය ගෝලීයකරණය වෙච්ච නූතන සංදර්භය තුළ, පීඩිත ජාතීන්ගේ විමුක්තිය ජාතිකවාදය තුළින් සොයා ගන්න දැන් බැහැ. ජාතිකවාදී අරගල ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්නට හෝ දායක වන බව‍ට වත්මන් ලෝකයේ උදාහරණ නැහැ.(මීළඟ ලිපිය බලන්න) හොඳම උදාහරණය කොටි සංවිධානය.

වාමාංශිකයන්ට මම යෝජනා කරන්නේ මෙයයි. ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ තර්කය ඔහේ තිබුණා‍වේ. ජාතිකවාදීන් ඒ අරගල කරපුවාවේ. අපි ඒවා පස්සේ යන්න ඕනැ නැහැ. අපට ඊට වඩා ඉදිරිගාමී අරගලයක් තිබෙනවා. ඒ මොකක් ද? ඒ තමයි, ජාතික සීමාවන් අතික්‍රමණය කළ පුළුල් දේශපාලන ප්‍රවණතාවන් ගොඩනැගීමේ අරගලය. අපේ අවධානය නාභිගත වෙන්න ඕනැ එතැන.

ලංකාවට අදාළව නම් අපි උත්සාහ කළ යුත්තේ සිංහල හා දෙමළ ආදී ජාතික අනන්‍යතාවන් වෙනුවෙන් රාජ්‍ය ගොඩනගා ගැනීම සඳහා වූ දේශපාලනයට සම්බන්ධ වෙන එක නෙමෙයි. ශ්‍රී ලාංකික ය කියන ඊනියා සිංහල අනන්‍යතාව වෙනුවට සැබැවින් ම පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් සටන් කරන එකයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-03-17

උතුරේ ප්‍රශ්නය දැන් මට පෙනෙන හැටි


1. ශ්‍රී ලංකාව කියන්නේ සිංහල ජාතික හා බෞද්ධ ආගමික, විෂම ලිංගික, පිරිමි ආධිපත්‍යයෙන් යුක්ත, බහු සංස්කෘතික සමානාත්මතාවට ගරු නො කරන රටක්. ඒ නිසා එය මූලිකව ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවෙයි. උතුර කියන්නේ දැනට ඒ ඒකාධිපති පාලනයට යටත් ජනතාවන් ජීවත් වන ලංකාවේ කෑල්ලක්.

2. ලංකාවේ බොහෝ සුළුතර ප්‍රජාවන් පීඩනයට පත් වෙනවා. දෙමළ බස කතා කරන ජනයා ඒ පීඩනයට එරෙහිව බලපත් ප්‍රතිචාරයක් දැක්වූ පිරිසක්.

3. මෙම ප්‍රශ්නයට විසඳුම තිබෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි අරුතින් යළි පිහිටුවීම හා ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ පූර්ණ රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීම තුළයි.. 

4. මෙතැනදී දෙමළ ජනතාව සටන් කරන්නේ ඔවුන්ගේ භූමිය තුළ ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීම සඳහා ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන්. අපි ස්වයං නිර්ණ හිමිකම පිළි ගන්නවා කියන්නේ වෙන් වීම විතරක් නොවෙයි. ඔවුන්ට තමන්ට අවශ්‍ය ආකාරයේ පාලනයක් පිහිටුවා ගන්නට ද තිබෙන අයිතිය පිළි ගැනීමයි.

5. ගැටලුව තිබෙන්නේ මෙතැනයි. මිනිස් සමාජය සැහෙන සමාජ හා සංස්කෘතික සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. එය තුළ අපි සවුදි අරාබිය පන්නයේ හෝ ඊටත් වඩා අන්තවාදී ආගමික රාජ්‍යයන් බිහි කර ගන්න එක පිළි ගන්නේ නැහැනේ. කිසියම් ජනතාවකගේ ස්වයං නිර්ණ හිමිකම ගැන කතා කරනකොට එම ජනතාවගේ අරගලය තුළ තිබෙන සාධනීය විභවයන් ගැනත් සිතිය යුතුව තිබෙනවා.

6. උතුරේ දෙමළ ජනතාවගේ හා / හෝ දෙමළ ඩයස්පෝරාවේ අරගලය තුළ මේ මොහොතේ තිබෙන සාධනීය විභවයන් මොනවා ද? මට නම් එහි වැදගත් දෙයක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ මම නම් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම ගැන එතරම් ගැඹුරින් හිතන්නේ නැහැ. මම එය ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඔවුන්ගේ අරගලය තුළ සාධනීය විභවයන් පෙනෙන්නේ නැති නිසා මම ඒ ගැන එතරම් බැරෑරුම් ලෙස හිතන්නේ නැහැ.

7. මම උතුරේ ජනතාව‍ දේශපාලන බලය සඳහා කරගෙන යන අරගලයට ප්‍රජාතන්ත්‍රවාදී පදනමින් උදව් කරනවා. පවත්නා ඒකාධිපතිවාදී සංදර්භය තුළ ජනතාව බලය ලබා ගැනීම සඳහා කරන අරගල ප්‍රජාතන්ත්‍රවාදීයි.

8. දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මුළු ලංකාවේ ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ කොටසක්.

9. ඒ නිසා උතුරේත් දකුණේත් අරගල ඒකාබද්ධ විය යුතුයි.

10. ඒ සඳහා අපි ජාතිවාදය අත්හළ යුතුයි.මන්ද, ජාතිවාදය එම එකමුතුවට බාධාකාරීයි. 

(උතුරේ ප්‍රශ්නය පිළිබඳ සංවාදයකට කළ දායකත්වයකි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-03-16

නංගියෙක් එක්ක දාපු සමාජවාදී චැට් එක

ඇත්තටම මේ සිස්ටම් එක වෙනස් කරලා හැමේකාටම සල්ලි බෙදිල යන දුප්පත්කම නැතිවෙන ක්‍රමක් හදතෑකි ද?

බැරි වුණොත් මිනිස් කසල නිසා ලෝකය විනාශ වේවි. මිනිස් කසල බවට පත් වෙන දුප්පතුන් නිසා ධනවතුන්ගේ ලෝකයත් විනාශ වේවි. දිළිඳුකමේ සාගර මැද්දේ හදාගන්නා සමෘද්ධිමත් පුංචි දූපත් පවා ය‍ට වේවි. 

ඉතින් ලෝකෙ විනාශ වේවි. ලෝකෙ හැමරටකම දුප්පත්කම තියෙනවා.

ඒ වුණාට ලෝකෙට දුප්පත්කම දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. 

අපේ රටේ ඒ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනව ද? මට නම් හිතෙන්නෙ අඩු වෙනව කියලා.

විෂමතා වැඩි වෙනවා. තියෙන එකා තව තව හැදෙනවා. නැති එකා කුඩු විකුණනවා. කුඩු ගහනවා. ගංජා ගහලා, කසිප්පු ගහලා මැරෙනවා. 

ඒත් ඔයාත් කාර් එකක් ගත්තා.මම දන්න බොහෝ දෙනා ගත්තා.මධ්‍යම ප්‍රාන්තිකයො ගොඩකගේ ජීවිත අමාරුවෙන් හරි දැන් වෙනස් වෙලා. මැටි ගෙවල් නැති වෙලා. අපේ පැත්තෙ නම් ඇත්තටම තිබ්බ මැටි ගෙවල් දැන් නෑ. කුඩු ගහන එකා ඒක කොහොමත් කරනව නේ. සල්ලි හම්බෙන්න හම්බෙන්න කුඩු ගහනවා.

සමාජ සංවර්ධනයක් වෙනවා. සියලු මිනිසුන්ගේ භෞතික සංවර්ධනයක් වෙනවා. ඒත්, විෂමතා වැඩි වෙනවා. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරන්නේ පරිභෝජනවාදයයි. මිනිස්සු ලැබුණු දෙයින් තෘප්තිමත් නැහැ. ඒ නිසා ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන නවීන අවශ්‍යතා පසුපස හඹා යනවා. ඒ වෙනුවෙන් බොහෝ දුක් විඳිනවා. එක රස්සාවක් කළ අය රස්සා දෙක තුනක් කරනවා. විවේකය, විනෝදය වගේ දේ ජීවිතෙන් ඉවත් වෙනවා. ඒක ඒ පුද්ගලයාගේ ජීවිතයට වගේ ම මුළු සමාජයටමත් බලපානවා. ඒ නිසා විෂමතා වැඩි වෙන්න වැඩි වෙන්න, සමාජ අසහනයත් වැඩි වෙනවා

එතකොට සමාජවාදය ආවොත් ඕක හරියයි ද? අනේ අප්පා මට මෙලෝ මඟුලක් තේරෙන්නෑ.

සමාජවාදය කියලා මම කියන්නේ ධනවාදය විසින් මිනිස් ජීවිතයේ ඇති කරන අර්බුදයට විකල්පයක් සෙවීම සඳහා අරගලය. මම කියන දෙය අර සෝවියට් දේශයේ තිබුණු ක්‍රමය ම නෙමෙයි. මම කියන්නේ සමාජවාදය කියන්නේ හුදෙක් රාජ්‍ය බලය අල්ලා ගැනීම පමණක් නොවෙයි. සමාජවාදය අපේ ජීවිතෙන් අද ම පටන් ගන්න පුළුවන් අරගලයක්.

ඒත් ඔයා දවසක් කීවා. අපේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන ස්ටයිල් එක දන්නෑ කියලා. ඔයා ඒ කියපු ලයිෆ්ස්ටයිල් එක මොකක් ද?

ඔව්. උදාහරණයකට ඔයා මීට කලින් මා ගැන කියපු දෙය ම ගනිමු. මට මරුති 800 කාර් එකක් තිබෙනවා. ඒක මි්‍ළ අඩු ම කාර්වලින් එකක්. අපේ ඥාති නීතිඥවරියක් දවසක් මට කිව්වා, ඒගොල්ලන්ගේ බොස් කියනවා ය කියලා මරුති තියෙන අයත් ඒකට කාර් එක ය කියනවා ය කියලා. මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් දෙයක් තිබෙනවා, මරුති ගැන තිබෙන සමාජ ආකල්පය ගැන. මම අමාරුවෙන් මරුතියක් ගත්තේ ලංකාවේ පොදු ප්‍රවාහනයේ තිබෙන ගැටලුවෙන් මගේ ජීවිතය පහසු කර ගන්න. එය විසින් පසුගිය කාලය තුළ මගේ ජීවිත කාලයෙන් සෑහෙන පැය ගණනක් මට ඵලදායී දෙයකට යොදවන්න ඉතිරි කර දී තිබෙනවා. ඒත්, මරුති 800 හෝ ටාටා නැනෝ හෝ ත්‍රීවීල් හෝ ඊනියා සමාජ තත්වය සමග අදාළ නැහැ. 

දැන්  මටත් පුළුවන් ඕනැ නම් මේ රැල්ලට අහුවෙලා මරුතියෙන් ජපන් කාර් එකකට මාරු වෙලා ජීවිතේ අමාරු කර ගන්න. ඒ සඳහා මම තව අවුරුදු පහක ණය බරකට නර ගහලා ඒක දරා ගන්න බැරිව දුක් විඳින්න මට පුළුවන්. ඒත්, මෙම තත්වය පිළිබඳ ඉහත කී විග්‍රහය කරගෙන මං තීරණය කළා පුළුවන් දවසක් එනකල් මේකෙන් සතුටු වෙන්න. මෙතන තිබෙන වැදගත් දේ කාර් එක නෙමෙයි. අර විග්‍රහය. අපට කර ගන්න අමාරු‍ වෙලා තිබෙන්නේ ඔය ජීවිත විග්‍රහයයි. 

මම කියන්නේ සමාජවාදය සමාජය වෙනස් කිරීමේ මහා ව්‍යාපෘතියක් විතරක් නෙමෙයි. අපේ ජීවිත ධනවාදී පාරිභෝජනවාදයෙන් ‍බේරා ගැනීමේ ක්ෂුද්‍ර ව්‍යාපෘතියත් සමාජවාදීයි.

සික් මේ වචන

වචන බර වෙන්න පුළුවන්. ඒත්, වැඩේ බරපතල නැහැනේ. දැන් මෙහෙම හිතන්න. මම අන්තිමට ලියපු ක්‍රිස් නෝනිස් කවිය. ඇයි හැමෝම එයාගේ සුදු ඉංගිරිසිය ගැන ඔච්චර උදම් අනන්නේ. මම කියන්නේ අපි අරගල කරන්න ඕනැ අපේ ඉංගිරිසියකටයි කියා. මම කියන්නේ ඒකත් සමාජවාදය සඳහා අරගලයේ ම කොටසක් තමයි. අපි මේ බ්ලොග් ලියමින් විකල්ප අදහස් පතුරුවන්නේත්, තවත් දේ කරමින් නව ජීවන විලාසිතාවක් අත්හදා බලන්නේත් ඒ අරගලයේ ම කොටසක් හැටියටයි.

හ්ම් ඒ සැරේ නම් තේරුනා.මේ ඉන්න ටිකේ ජීවිතේ විදලා මැරිල යනවා මිසක රට ලෝකෙ වෙනස් කරන්න මම හිතල නැහැ. එහෙම මෙච්චර කල් වෙනව මම දැකලත් නැහැ. කොහොම වුනත් ඔයාට ස්තූතියි පැරා. 


මම මේ චැට් එක බ්ලොග් එකේ දාන්නද ඔයාගේ බව නො කියා. 

හොදයි.මම කැමැතියි අනිත් අයගෙ අදහස් දැන ගන්න. මගෙ නම දාන්න එපා.මේකේ ඉන්න අයියල මට සරම උස්සන් ඒවි. 
යන්නම් අයියේ.......මට ආපහු අම්මගෙ බඩට රිංගන්න හිතුනු වාර අනන්තයි. ආයෙත් එහෙම හිතෙනවට මම කැමැති නැහැ. එනිවේ තැන්කිව්.
ok

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-03-14

එක්සත් ජාතීන්ගේ සංවිධානය නො තිබුණා නම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට දරුණු හිසරදයක් වී තිබේ.

දැන් ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බටහිර ජාතීන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට පිහිටුවා තිබෙන ආක්‍රමණික සංවිධානයක් ය කියා ය. එහෙත්, මේ ප්‍රශ්නය දෙස බලන්නට වෙනත් දෘෂ්ටි කෝණ ද තිබේ.

ප්‍රවාහනයේ දියුණුව හා යටත්විජිතවාදයේ බලපෑමත් සමග ලෝ‍කයේ රටවල් අතර ගනුදෙනු හා සම්බන්ධතා වැඩි වුණා. ඒ නිසා ඒ සම්බන්ධකම් පවත්වාගෙන යාම සඳහා යම් යම් නියාමනයන් ද අවශ්‍ය වුණා. ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සංගමය ආරම්භ වුණේ 1865දීයි. විශ්ව තැපැල් සංගමය ආරම්භ වුණේ 1874දීයි. මේවා පටන් ගත්තේ නවීන මිනිස් සම්බන්ධතා විසින් එවැනි ආයතන ඉල්ලා සිටි නිසායි.

ජාත්‍යන්තර අර්බුද යුද්ධ දක්වා දිග්ගැසීම වළක්වා ගන්නට අන්තර්ජාතික සංවිධාන අවශ්‍ය වුණා. 1899දී නෙදර්ලන්තයේ හේග්හිදී පවත්වන ලද ජාත්‍යන්තර සාම සම්මේලනය එවැනි ප්‍රයත්නයක්.

ලෝකයේ රටවල් අතර සංවිධානයක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කිරීමේ ගෞරවය එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයාට හිමි වේ. මුලින් ම එවැනි සංවිධානයක් බිහි වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි. එහි නම ලීග් ඔෆ් නේෂන්ස් නම් විය. එය අසාර්ථක වීමට හා දෙවන ලෝක යුද්ධයක් පැන නැගීමට ප්‍රධාන හේතුව වන්නේ ලෝකයේ බලවත් ම රටවල් එහි සාමාජිකත්වය ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.

එහෙත් දෙවන ලෝක යුද්ධය අවසන් වූ සැණින් මෙවැනි සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව වැඩිපුර ම දැනුණේ ලෝකයේ බලවත් ම රටවලටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ලෝක සාමය සඳහා ඉවහල් වන අන්තර් රාජ්‍ය නියාමනයක් ගොඩනඟා ගැනීමයි. රටවල් 50කින් ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වන විට සාමාජික රටවල් 190කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වීම මානව වර්ගයාගේ ජයග්‍රහණයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුල්‍ය විනය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙනුත් විවේචන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සංශෝධනය විය යුතු බව ඇත්තක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි ලොව හොඳම බහු පාර්ශ්වීය සංවිධානය. එය තමයි ජාත්‍යන්තර ප්‍රමිතීන් සකස් කිරීමට තිබෙන හොඳම ආකාරය. ජාත්‍යන්තර තැපෑල, මුහුදු හා ගුවන් ගමන් වැනි සිවිල් අවශ්‍යතාවල සිට ආරක්ෂාව, සාමය, සංවර්ධනය, යහපාලනය, සෞඛ්‍යය, ජීවන තත්වය වැනි කාරණා සම්බන්ධයෙන්  ප්‍රමිති ගොඩනැගීමේදී එය වැදගත් වෙනවා.

එක්සත් ජාතීන් නො පවතී නම්, පැවතිය හැක්කේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය වැනි එකිනෙකා සමග තරගකාරී වූ, එමෙන් ම, සෙසු ලෝකයාට පාලනය කළ නො හැකි ආධිපත්‍යයන් බව සිහිපත් කර ගැනීමෙන් ම එක්සත් ජාතීන්ගේ වැදගත්කම අවබෝධ කර ගත හැකියි.

එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යාමට හැකි වී තිබෙන්නේ මේ සංවර්ධිත රටවලින් ලැබෙන අරමුදල් මත වීම නිසා ඒ රටවල් එක්සත් ජාතීන් මත ඍජු ආධිපත්‍යයක් පවත්වාගෙන යන එක වළක්වන්නට බැහැ. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වන පිරිවැයෙන් 27%කට පමණ දායක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙම තත්වය තුළ එක්සත් ජාතීන් එවැනි රටවල අවශ්‍යතා අනුව කටයුතු කරන්නට පෙළඹෙන එක වළක්වා ගැනීම පහසු නැහැ.

එහෙත්, මෙම රටවල් විසින් ද ප්‍රවර්ධනය කරනු ලබන මූලික දේශපාලනික වටිනාකම් වන්නේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍යයයි. බැරැක් ඔබාමා වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් පැවසුවේ ලෝක‍යේ ආරක්ෂාව තිබෙන්නේ මිනිස් වර්ගයාගේ හිමිකම් වැඩි දියුණු කිරීම තුළ බවයි. සංවර්ධනය වෙමින් තිබෙන රටවල් වන ලංකාව වැනි සමාජයන්ගේ ජාත්‍යන්තර දේශපාලන ක්‍රීඩාව තිබෙන්නේ මෙතැනයි. අප වැනි රටවලට ආරක්ෂාව තිබෙන්නේ අප වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සාමය වෙන‍ුවෙන් පෙනී සිටින තරමටයි. දියුණු ධනේශ්වර රටවල ආධිපත්‍යවාදයන්ට එරෙහිව අපට සටන් කළ හැකි වන්නේ අප ප්‍රජාතන්ත්‍රවාදී වන තරමටයි.

එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයේකළමනාකරණ හා පරිපාලන ප්‍රමුඛතා අතර වගවීමේ හා අවංකත්වයේ සංස්කෘතියක් ඇති කිරීම හා එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, එක්සත් ජාතීන්ගේ අදාළත්වය වැඩි කිරීමත් තිබෙනවා.(Why the United Nations is Important to Us, Gerald C. Anderson - Institute for Corean-American Studies Spring Symposium on Humanity, Peace and Security, May 19, 2005)

ලංකාවේ ආණ්ඩුව බරපතල ගැටලුවක් කරගෙන තිබෙන්නේ මෙම වගවීමේ සංස්කෘතියයි. 

කෙසේ වෙතත්, සමාජවාදීන් ලෙස අප එක්සත් ජාතීන් දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පාලනයක අවශ්‍යතාව මුල් කරගෙනයි. එහිදී මානව හිමිකම් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා යුක්තිය මත පදනම් වූ  සාමය හා ආරක්ෂාව, විවිධත්වය පිළිබඳ සැලකිලිමත් ධරණීය මානව සංවර්ධනය, ලොව පුරා මෙම අභිමතාර්ථ සාධනය වන බවට තහවුරු කරන ලෝක යුක්තිය යන කරුණු පිළිබඳ සමාජවාදී ජාත්‍යන්තරය විසින් අවධානය යොමු කර තිබෙනවා. (Reforming the United Nations for a New Global Agenda, SI Position Paper 2005.01.24)

නව ගොලීය පිළිවෙලක් පදනම් කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සිදු විය යුතු සංශෝධන පිළිබඳ සංවාදයට මැදිහත් වෙමින් සමාජවාදී ජාත්‍යන්තරය කරන යෝජනාවක් වන්නේ දේශපාලන හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වගකියන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයක් මෙන් ම වෙළඳාම හා පරිසරය ද ඇතුළුව ආර්ථික හා සමාජ කටයුතු සම්බන්ධයෙන් ගෝලීය පාලනයක් කරන එක්සත් ජාතීන්ගේ ධරණීය සංවර්ධනය පිළිබඳ මණ්ඩලයක් ද අවශ්‍ය බවයි. එය එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජ හා පාරිසරික ආරක්ෂක මණ්ඩලය ලෙස හඳුන්වන ඉහත සඳහන් පත්‍රිකාව එකී මණ්ඩල දෙක එක්ව කටයුතු කළ යුතු ආකාරයත් පෙන්වා දෙනවා.

ආරක්ෂාව පිළිබඳ කාරණයේදී 'සම්ප්‍රදායිකව සිදු වන රාජ්‍යයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානයට මිනිසුන්ගේ ආරක්ෂාව හා පෘථිවියේ ආරක්ෂාව ද ඇතුළත් විය යුතු බවට' යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. (Carlsson, Ingvar and Shridath Ramphal, Our Global Neighbourhood, The Report of the Commission on Global Governance, November 1994, pp.108-109)

අප මෙහිදී කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්ම හා එහි සිදු විය යුතු සංශෝධන ගැන සංවාදයේ වැදගත්කම පිළිබඳ මතු කිරීම පමණයි. එය සලකා බැලිය යුතුව තිබෙන්නේ අද ලංකාවේ පාලකයන් විසින් සිය ඒකාධිපති පාලනයේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රවර්ධනය කරමින් තිබෙන එක්සත් ජාතීන්ට එරෙහි මතවාද සමගයි.

(ජනරළ 2014 - 03 - 16)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com