2014-08-31

තමන් කරන පාදඩකම් පුතුන්ටත් උරුම කරන තාත්තලා

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමති එස්.බී. දිසානායකගේ පුත් නාරද දිසානායක ජනාධිපති විසින් හඟුරන්කෙත ශ්‍රිලනිප සම සංවිධායක ලෙස පත් කරන ආකාරයයි. 

මෙහි සිටින ජනාධිපතිවරයා ද තමන්ගේ එක පුතකු පාර්ලිමේන්තුවට පත් කර ඇත. ආණ්ඩු පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේ හා තවත් බොහෝ පක්ෂවලත් තාත්තලා මෙසේ කර තිබේ. 

මේ තාත්තලා ඇත්තෙන් ම තමන්ගේ දරුවන්ට ආදරය කරනවා ද? මහජන මුදලින් තමන් විඳින සැප යයි තමන් සිතන ජීවිතය තම දරුවන්ටත් අත් කර දීම ඔවුන්ගේ අරමුණ බව පෙනේ. 

එහෙත් ඔවුන් ඇත්තෙන් ම කරන්නේ තමන් කරන හොරකම්, දූෂණ හා වෙනත් පාදඩ ක්‍රියා තම දරුවන්ටත් උරුම කර දීම නොවේ ද?

අපට එදිනෙදා ජීවිතයේදී හමු වන සාමාන්‍ය අපරාධකරුවන් අතර ද මීට වඩා හොඳ මිනිස්සු සිටිති. වාස් ගුණවර්ධන වැනි කුලියට මිනී මරන්නන් හැර වෙනත් කුලී මිනීමරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ දරුවන් තමන්ගේ රස්සාවට යොමු වනවාට කැමති නැත. 

තමන් කරන වෘත්තිය තම දියණියන්ටත් උරුම වීම වළක්වා ගන්නට උත්සාහ කරන ගනිකාවෝ ඕනෑ තරම් සිටිති. 

දරුවන්ට හොඳ ම දේ දෙන්නට මව්පියෝ හැම විට ම උත්සාහ කරන සමයක තමන් විසින් කපනු ලබන තමන්ගේ ද දෙපා යටින් කැපෙන වල කපන්නට දරුවන්ට උරුම කර දෙන මෙවැනි තාත්තලාගෙන් මේ රටේ ජනතාවට සෙතක් බලාපොරොත්තු විය හැකි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-08-30

සැමියා බිරිඳගේ බබා ය

අපි එකිනෙකා ආමන්ත්‍රණය කරද්දී භාවිතා වන වචන තිබෙනවා. මේවායින් සමහර ඒවා ටයිටල් (title) හෙවත් පට්ටම්.

මිස්ටර් (Mrs), මිසිස් (Mrs.) මිස් (Miss) යනු ඒ වගේ තුනක්. දැන් මෙතන පොඩි සමානාත්මතා ප්‍රශ්නයක් එනවා. පිරිමියාට මිස්ටර් කියනකොට එයා බැඳල ද නැද්ද කියන එක අදාළ නැහැ. ඒත් කාන්තාවට අදාළයි. මේ අසාධාරණය පිටදකින්න අලුතෙන් ඉංග්‍රීසි වචනයක් හැදුවා. ඒ තමයි මස් (Ms.). මෙතන මයන්න ශබ්ද කළ යුත්තේ ගම කියනකොට එන ශබ්දයෙන්. ඒ වගේ ම හල් සයන්නේ ශබ්දය සමාන වන්නේ ඉසෙඩ් අකුරේ ශබ්දයට. එතකොට අර පැරණි බයිලාවක එන ‘ඔයා මිස් ද - මිස් ද මිසිස් ද - මට ආසයි එය දැනගන්න' කියන එකට  උත්තරයක් දෙන්න පුළුවන්. ඒත්, මිස්ටට මහතා හෝ මයා හෝ කියා ද, මිසිස්ට මහත්මිය හෝ මිය හෝ කියා ද, මිස්ට මෙනෙවිය කියා ද කිව්වාට මස්ට සිංහලෙන් තවමත් වදනක් නැහැ. එකක් යෝජනා කරන්න.

සර් හා මැඩම් කියන වදන්වල මුල් ඉංගිරිසියේ නැති තරම් සම්භාවනීය අරුතක් ලංකාව වැනි ආසියාතික රටවල තිබෙනවා. නමට මුලින් සර් යොදපු සර් ජෝන් කොතලාවල වගේ නයිට්වරු වගේ ම නයිට් ක්ලාස් කරලා උගන්වන ටියුෂන් සර්ලාත් ලංකාවේ ඉන්නවා. අපේ සර්, අපේ මිස් වැනි යෙදුම් වගේ ම ලොකු මිස්, ලොකු සර්, පොඩි මිස් වැනි යෙදුම් ද භාවිතා වෙනවා. පිටිසර පැතිවල ළමයි ගුරුවරුන්ට සේර් කියනවා. ආදරේට ඇදලා කියනකොට මේක සේර..... වෙනවා.

ගුරු වෘත්තිය, හෙද වෘත්තිය වැනි රැකියාවල තනතුරු නාමය තරමට ම මිස්, සර් වැනි වදනුත් භාවිතා වෙනවා. මැඩම් කියන්නේ මිස්ලාට වඩා තනතුරින් උසස් අයට. ගනිකා මඩම් පාලිකාවන් වෙනුවෙනුත් ඉංගිරිසියේ මේ වචනය ම භාවිතා වෙන බව ලංකාවේ මැඩම්ලා දන්නේ නැහැ. ඔලිවර් ට්විස්ට් වගේ 19වන සියවසේ නවකතා කියවනකොට දකින්න ලැබෙන දෙයක් තමයි, ඔලිවර් වගේ අනාථ ළමයකුට ආමන්ත්‍රණය කිරීමේදීත් ඇතැම් විට සර් කියන පදය යොදා තිබෙන බව.

වරක් එක් හමුදා භටයෙක් මට අපූරු දෙයක් කිව්වා. ඔහුට අවශ්‍ය වුණේ හමුදාව පොලිසියට වඩා උසස් බව පෙන්වන්නයි. එ් සඳහා ඔහු ඉදිරිපත් කළ තර්කයේ මෙහෙම තිබුණා. “අපේ ලොක්කට අපි කියන්නේ සර් කියලා. ඒත් පොලිසියේ ලොක්කට කියන්නේ මහත්තයා කියලා."

දැන් ඔය ටෙලි නාට්‍යවල මිනිස්සු පොලිසියේ ලොක්කන්ට ඉන්ස්පෙක්ටර් කියා අමතන ආකාරය දකින්න ලැබෙනවා. ඒ වගේම හමුදාවේ ලොක්කන්ට කැප්ටන් කියනවා. ටෙලි නාට්‍යවල මේ තනතුරුවලට පහළ හා ඉහළ අය යොදා ගන්නවා අඩුයි. මොකද, ඒ අයට මේ වගේ ආමන්ත්‍රණය කරන්න බැරි නිසා. හැබැයි, සාමාන්‍ය ජනයා තමන් ආමන්ත්‍රණය කරනකොට මෙහෙම කිව්වොත් ඒ තනතුරු දරන අයට කේන්ති යනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ සර් කියන එකයි. හැබැයි වෛද්‍යවරයාට ඩොක්ටර් කියන එකේ එහෙම ගැටලුවක් නැහැ. ගුරුවරියට ටීචර් කියා ආමන්ත්‍රණය කරනවා. ඒත්, ගුරුවරයාට එහෙම කියන්නේ නැහැ.

සිංහලයන් අතර මාස්ටර් කියන එක භාවිතා වන්නේ සංගීත හා වෙනත් කලා ක්ෂේත්‍රවලදීයි. කේමදාස මාස්ටර් උදාහරණයක්. ප්‍රේමකීර්ති ද අල්විස්ට ගුවන් විදුලියේ පොඩි මාස්ටර් කිව්වලු. කොටි සංවිධානයේ නම් මාස්ටර්ලා වැහි වැහැලා හිටියා. හැබැයි ඒ මාස්ටර්ලා වැඩිපුර දැනගෙන හිටියේ තුවක්කු කලාවයි.

‘මාස්ටර් සර්' යනුවෙන් යෙදෙන ජනප්‍රිය ගීයක් තිබෙනවා. හැබැයි, මේ මාස්ටර් සර් යෙදුව සිංහල සමාජයෙන් ගත් එකක් නෙමෙයි. එය ඉංග්‍රීසි භාෂාව වැඩිපුර පරිහරණය කළ බටහිර සංගීතවේදියකු වන නිමල් මෙන්ඩිස් නිර්මානය කළ වදනක්.

සිංහලයන් කවදාවත් අම්මාට මව කියා හෝ තාත්තාට පියා කියා හෝ අමතන්නේ නැහැ. ඒ වදන් තිබෙන්නේ ලි්‍ඛිත ව්‍යවහාරය සඳහායි. එක්තරා විනෝද සමය විකට වැඩසටහනක 'පියා එන්න' කිව්වා ම ඉස්සරහට එන්නෙ තාත්තා නෙමෙයි, පුතායි. හේතුව පුතාගේ නම පියදාස වීම හා හුරතලේට ඔහුට පියා කියා ඇමතීමයි. ඒත්, සිංහල ළමයින් වෙනුවෙන් පළ කරන ඉංග්‍රීසි පාසල් පෙළ පොත්වල ළමයි තම මව හා පියා අමතන්නේ mother, father කියායි. ඒත්, ඉංග්‍රීසි බස කතා කරන ළමයි නම් භාවිතා කරන්නේ Mum, Mumma, Mummy, Dad, Daddy, Puppa,   වැනි වචනයි. මේ ප්‍රශ්නයට විසඳුම Amma, Thaththa, Ayiya, Akka වැනි වදන් භාවිතයට ගැනීමයි.

අම්මා, තාත්තා අමතන සිංහල වචනත් මේවා ඇසුරෙන් සැකසිලා තිබෙනවා. මමී, ඩැඩී වැනි තත්සම වදන් වගේ ම, මම්මා, පප්පා වැනි තත්භව වදන් ද භාවිතා වෙනවා. ‘මම්ම නෝ පප්ප නෝ - ආප්ප කන්න තුට්ටු නෝ' යි ජන බයිලාවකුත් තිබෙනවා. අම්මා අම්මි වුණේත්, තාත්තා තාත්ති වුණේත් ඉංගිරිසි මමී, ඩැඩී යන වදන් අනුවයි. ‘මමී ඩැඩී මේ බලන්නකෝ' කියාත් ජනප්‍රිය බයිලාවක් තිබෙනවා.

ඩාලිං, හනී, ස්වීටි වැනි ආදරවන්තයන්, ආදරවන්තියන් හා බිරියන් බරුවන් වෙනුවෙන් යෙදෙන වදන් ද සිංහලට ඇවිත්. ඒවා ගීත රචනාවලත් යෙදෙනවා. ඉරාජ්ගේ ‘ස්වීටි කෙල්ල' උදාහරණයක්.බේබි කියන්නේ බබාට වුණාට දැන් ඒ වදන් සිංහලෙත් අලි බබාලා හඳුන්වන්න භාවිතා කරනවා.

එක කාලයක් බටහිරින් ණයට අරගෙන සැමියා බිරියට අම්මා කියන, බිරිය සැමියාට තාත්තා කියන මෝස්තරයක් මේ රටේ පැතිරුණා. දැන් රැල්ල බබා කියන එකට. සැමියා බිරිඳගේ බබා ය. බිරිඳ සැමියාගේ බබා ය.

සිංහලයන් නෑකම් වෙනුවෙන් භාවිතා කරන වදන් රැසක් තිබෙනවා. ඉංග්‍රීසි එහිදී හරි සරළයි. අපි මාමා, බාප්පා, ලොකු තාන්තා, මහප්පා ආදී වශයෙන් හඳුන්වන සියලු දෙනා වෙනුවෙන් ඉංග්‍රීසියේ තිබෙන්නේ ඉතා සරළ uncle ය. නැන්දලා, පුංචි අම්මලා aunt ය. මේ වදන ශබ්ද කරන්නේ ආන්ට් කියායි. ආදරේට වයි අකුරක් එක් කර ආන්ටි කියනවා ය. ඒත්, ලංකාවේ ඇන්ටි කියා වදනක් තිබේ. ඔය නෑනලා, මස්සිනාලා, ඥාති සහෝදර සහෝදරියෝ ඔක්කොම ඉංගිරිසියෙන් cousin ය.

ඔය ජනාධිපති එහෙම ළඟින් ඇසුරු කරන අය මෙහෙම කියනවා. “මට එච්චී මෙහෙම කිව්වා." එච්චී කියන්නේ H.E. හෙවත් His Excellency කියන එකයි. මේක ගෞරවාර්ථ පදයක් වුණාට එච්චී කියන වදන සිංහලේ ලියාපදිංචි වුණොත් නම් එච්චී අප්සෙට් වේවි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-29

අයිස් බකට් අභියෝගය

http://purawara.com/wp-content/uploads/2014/08/mississippi.png
මේ තරුණිය මිය ගිය කතාව බොරුවකි
ධනේශ්වර ක්‍රමයට විසඳිය නො හැකි ප්‍රශ්න වන දිළිඳුකම, නූගත්කම, අපරාධ, දූෂණය, විෂමතා වැනි ප්‍රශ්න විසින් ක්‍රමය අර්බුදයට පත් කර බිඳ වැට්ටවීම පාලනය කිරීම සඳහා භාවිතා කෙරෙන ක්‍රමවේද අතර පුන්‍යාධාර හා සමාජ සේවය ද ඇත. විශේෂයෙන් ම දියුණු, ධනේශ්වර රටවල ජනයා අතර පුන්‍යාධාර හා සමාගම් අතර සමායතන සමාජ වගකීම වැනි සංකල්ප ප්‍රවර්ධනය කරනු ලැබේ. එමගින් කරනු ලබන්නේ විශේෂයෙන් ම තුන්වන ලෝකයේ මිනිස් කසල බවට පත් වෙමින් තිබෙන මිනිසුන්ට යම් උපකාර කිරීමයි.

එහෙත්, මෙහි මූලික ගැටලුවක් තිබේ. එනම්, විෂමතා දුරලමින් සමානාත්මතාව ඇති කරන දේශපාලන නැඹුරුවක් වෙනුවට විෂමතා උත්සන්න කරන දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කරමින් එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අදේශපාලනික, පුන්‍ය සංකල්යකින් කටයුතු කිරීම ඒ දේශපාලන ප්‍රශ්නයයි. මෙය හරියට රෝගයට ප්‍රතිකාර නො කර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් වැනි ය. 

උදාහරණ ලෙස මෙසේ ගන්න. ලංකාව වැනි ජනතාව විපතට පත් කරන පාලකයන් සිටින රටවල් රැසක පාලකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගනිමින් හා ඔවුන්ට උපකාර කරමින්, ඔවුන් විසින් ඇති කරනු ලබන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට උපකාර කිරීමේ තේරුම කුමක් ද?

කොකා කෝලා වැනි සමාගම් ද සමායතන සමාජ වගකීම ගැන කතා කරති. එහෙත්, සෞඛ්‍ය ගැටලු ඇති කරන කොකා කෝලා වැනි නිෂ්පාදන සමාජයෙන් තුරන් කර දැමීම එවැනි සමාගම්වලට කළ හැකි ලොකුම සේවාවයි. කලකට ඉහත දුම්කොළ සමාගම් ක්‍රීඩාවට විශාල වශයෙන් අනුග්‍රහ දැක්වූ මුත්. දැන් නම් ලෝකය ම විසින් එවැනි ක්‍රියා පිටු දකිනු ලැබේ. 

පුන්‍යායතන හා සමාජ සේවය වරදකැයි අපි නො කියමු. නිදන්ගත කායික හා මානසික රෝග පීඩාදිය හේතුවෙන් අසරණ වන මිනිසුන්ට විශේෂයෙන් ම සෙසු ජනයාගේ උදව් උපකාර අවශ්‍ය ය.

පසුගිය සති දෙක, තුන තුළ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලෝකය පුරා ජනප්‍රිය වූ ඒ.එල්.එස්. අයිස් බකට් චැලෙන්ජ් ද මෙවැනි අරමුණක් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ ක්‍රමවේදයකි. ඒ.එල්.එස්. යනු ස්නායු රෝගයකි. මොළයේ සිට සුෂුම්නාව හරහා සිරුර පුරා පැතිරෙන මෙය බලපාන්නේ නියුරෝනවලටයි. එහි ප්‍රතිඵලයක් ලෙස පූර්ණ අකර්මන්‍යභාවයට පත් වන රෝගියා එයින් ම මිය යයි.

ඒ.එල්.එස්.රෝගය මුල් වරට හඳුනා ගනු ලැබුවේ 1859දී ය. ඒ ප්‍රංශ ජාතික ස්නායු රෝග විශේෂඥවරයකු වූ ජෝං මාටින් චාකෝ විසිනි. එහෙත්, එය කෙරෙහි ලෝක අවධානය වැඩියෙන් ම යොමු වූයේ 1839දී ලෝක ප්‍රකට බේස්බෝල් ක්‍රීඩකයකු වූ ඇමරිකානු ජාතික ලුවී ගෙරිග් මෙම රෝගයට ගොදුරු වී 1941දී මිය යාමත් සමගයි.ලංකාවේ දැනටත් විකාශය වන ලෝක ප්‍රකට සෙසෙමි ස්ට්‍රීට් රූපවාහිනී ළමා අධ්‍යාපනික වැඩසටහනේ නිර්මාතෘ ජොන් ස්ටෝන් ද මිය ගියේ මෙම රෝගයෙනි. වයස අවුරුදු 40ත්, 70ත් අතර කාලයේදී මිනිස්සු වැඩියෙන් මෙම රෝගයට ගොදුරු වෙති. ඔනෑම කාලයක ඇමරිකාවේ මෙවැනි රෝගීන් 30,000ක් පමණ සිටින බව ඒ.එල්.එස්.සංගමයේ වෙබ් අඩවිය පවසයි.

ඒ.එල්.එස්. රෝගාබාධිත පුද්ගලයන්ට, ඔවුන්ගේ පවුල්වලට හා මෙම රෝගය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ට උපකාර කිරීම මෙම සංගමයේ අරමුණයි. ඔවුන්ට උපකාර කිරීම ඇත්තෙන් ම හොඳ දෙයකි. 

පුන්‍යායතන විසින් අරමුදල් රැස් කිරීම සඳහා යොදා ගනු ලබන විවිධ ක්‍රම තිබේ. ඒ අතරින් ඒ.එල්.එස්. අයිස් බකට් චැලෙන්ජ් අතිශය සාර්ථක වූ එකකි. අගෝස්තු 19වනදා වන විට ඩොලර් මිලියන 22.6ක් වූ සංගමයේ අරමුදල සතියක් තුළ අගෝස්තු 26 වන විට ඩොලර් මිලියන 88.5ක් විය. 

අයිස් බකට් අභියෝගයේදී සිදු වන්නේ මෙම අභියෝගය භාර ගත් අය අයිස් වතුර බාල්දියක් නා, අරමුදලට ඩොලර් 10ක් පරිත්‍යාග කරමින්, තවත් පිරිසකට විවෘතව අභියෝග කිරීමයි. ඒ පිරිස ද එක්කෝ පැය 24ක් තුළ එම අභියෝගය භාර ගත යුතු ය. නැතිනම්, අරමුදලට ඩොලර් 100ක් පරිත්‍යාග කළ යුතු ය. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ අයිස් බකට් නෑම හා සෙසු අයට අභියෝග කිරීම වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීමයි. ලංකාවේ මේ අයිස් බකට් නෑම කළ අය අතර මල්ෂා කුමාරතුංග, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඉරාජ් වීරරත්න, භාතිය ජයකොඩි, ඔටාරා චන්දිරම් ආදීහු වූ අතර ඔවුන් විසින් අභියෝග කරන ලද, ඒ අභියෝගය ගනන් නොගත් අය අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ, ලාල් කාන්ත, මර්වින් සිල්වා වැනි අය ද වූ හ. 

ඇමරිකාවේ අයිස් බකට් නෑ අය ඒ.එල්.එස් අරමුදලට මුදල් පරිත්‍යාග කළ අතර, බ්‍රිතාන්‍යයේ නම් මුදල් පරිත්‍යාග කරන ලද්දේ එරට මෝටර් නියුරෝන රෝග සංගමයටයි. ලංකාවේ නාපු අය හා නෑම ප්‍රතික්ෂේප කළ අය කුමන අරමුදලකට මුදල් දුන්නාදැයි අපි නො දනිමු. ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් නම් මෙම අභියෝග ප්‍රතික්ෂේප කර අදාළ අරමුදල්වලට මුදල් පරිත්‍යාග කළ හ. 

මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන මෙතරම් ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට ප්‍රධාන හේතුව වූයේ මෙම වීඩියෝ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම මෝස්තරයක් වීම නිසා ය. තමන් විසින් තමන්ම ලෝකයට පෙන්වා ගැනීමේ ස්වයං ඡායාරූපකරණ හෙවත් සෙල්ෆී ඡායාරූප ප්‍රවණතාවක් ද පැතිරෙමින් පවතින සමයක මෙය සමාජයේ සෝබනකාර අවශ්‍යතාවන් සමග කදිමට පෑහිණි. අවසානයේදී එය තනිකරම විනෝද කටයුත්තක් විය. අයිස් බකට් නා ප්‍රචාරය ලබා ගත් ඇතැම් අය අරමුදල් පරිත්‍යාග කළේ නැත. ලංකාවේ අයිස් බකට් නෑ අයට තමන් මුදල් ගෙවූ ලදු පත ඉදිරිපත් කරන්නැයි කරන ලද අභියෝගවලට එතරම් ප්‍රතිචාර දක්නට නො ලැබිණි. මෙමගින් බලාපොරොත්තු වූ එක් දෙයක් වන ඒ.එල්.එස්. රෝගය පිළිබඳ දැනුවත් කිරීම නම් සිදු වූයේ අවම මට්ටමිනි. බොහෝ වීඩියෝවල දක්නට ලැබෙන්නේ එයින් සතුට ලබා ගැනීම මිස දැනුවත්භාවය පළ කිරීමක් නො වේ. 

ලංකාවේ මෙම මෝස්තරය පැතිරෙන විට ඒ පිළිබඳ දැඩි විරෝධයක් ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේම සිදු විය. එමගින් මෙම ක්‍රියාවේ අර්ථය ප්‍රශ්න කරන ලදී. ලංකාවේ වියළි කලාපයේ ලක්ෂ සංඛ්‍යාත ජනයා බොන්නට වතුර නැතිව දුක් විඳිද්දී නාගරික සෝබනකාර මධ්‍යම පංතිකයෝ පොදු ජල සැපයුම් පද්ධති ඔස්සේ ක්ලෝරීන් යොදා පිරිසිදු කරන ලද ජලය නාමින් කරන මේ විකාරය ගැන මතු වූ විරෝධය හේතුවෙන් භාතිය ජයකොඩි කීවේ තමන් මුදල් පරිත්‍යාග කරන්නේ නියඟයෙන් පීඩා විඳින ජනයාට උපකාර කිරීමට බවයි. එය කෙසේ කළාදැයි නො දනිමු.

මේ රැල්ල අවසන් වන ලකුණු දැන් දකින්නට ලැබේ. එක් සිද්ධියකදී අඩි කීපයක් මත සිට වක්කරන්නට සූදානම් කර තිබූ දැවැන්ත වතුර බේසමක් හිස මත වැටීමෙන් මිසිසිපිහි තරුණියක් මිය යන ආකාරය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය විය. එම මරණීය අයිස් බකට් නෑම ද සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය විය. එහෙත්, දැන් එය ව්‍යාජ වීඩියෝවක් බව හෙළි වී තිබේ. 

ඇත්ත සිද්ධිය සිදු වූයේ මිසිසිපිහි නොවේ. ඇත්තෙන් ම මේ තරුණිය මිය ගියේ හෝ දරුණු ලෙස තුවාල ලැබුවේ හෝ නැත. විස්තරය මෙතැනින් බලන්න. එහෙත්, ලංකාවේ ජනමාධ්‍ය තවමත් මෙම වීඩියෝව මිසිසිපිහි සිදු වූ මරණයකැයි කියා ප්‍රචාරය කරමින් සිටිති. 

මෙවැනි ව්‍යාජ වීඩියෝ බොහෝ අය විසින් භාවිතා කරනු ලබන්නේ තමන්ගේ වෙබ් අඩවියට පුද්ගලයන් ආකර්ශනය කරගෙන දැන්වීම් හරහා වැඩිපුර ආදායම් ලබා ගැනීමටයි. 

අයිස් බකට් අභියෝගය වෙනුවෙන් අත් හැර දමන ලද ගල් වලකට පැන්න බ්‍රිතාන්‍ය පාසල් සිසුවකුගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ පැය හතරකට පසුවයි. 

අයිස් බකට් අභියෝගයට ඍජුවම අදාළ නො වුණත්, පහත සඳහන් කරනු ලබන කරුණු මෙවැනි අරමුදල් රැස්කිරීමේ ක්‍රියාවන්ට අදාළ ය. පුන්‍යායතන මෙන් ම, අරමුදල් රැස් කිරීමේ යාන්ත්‍රණය ද මේ වන විට ලෝක පරිමාණ ව්‍යාපාර බවට පත් වී තිබේ. මේවා හැඳින්වෙන්නේ ලාභ නො ලබන ආයතන ලෙසයි. එහෙත්, මෙම ආයතනවල සේවය කරන පුන්‍ය වෘත්තිකයෝ පුන්‍යාධාරවලින් සුවිසල් වැටුප් හා වෙනත් වරප්‍රසාද ලබා ගනිති. ලාභය ඇත්තේ එතැනයි.

මෙම ක්‍රියාවලියෙහි අන්ත දෙකක් ඇත. එක් අන්තයක සිටින්නේ පරිත්‍යාග කරන ජනතාවයි. අනෙක් අන්තයේ සිටින්නේ පරිත්‍යාග ලබන ජනතාවයි. හොඳම බඩු ටික ඉන්නේ මේ අතරමැද ය. මොවුන්ට සමාජ වැඩකරුවන් යයි කියනු ලැබේ. ඇත්තෙන් ම මොවුහු නියම වැඩකාරයෝ ය. ඔවුන් කොයි තරම් වැඩකාරයන් ද යත්, පරිත්‍යාග කරන ජනයාගේ අරමුදල්වලින් වැඩි කොටසක් ඔවුන් ගන්නා අතර පරිත්‍යාග ලෙස ඇත්තට ම සිදු වන්නේ ඉතා සුළු දෙයකි.

පරිත්‍යාග ලබන අන්තය ගැන අපට හොඳ අත්දැකීම් තිබේ. 2004 සුනාමියෙන් පසු ලෝකයේ රටවල ජනයා ලංකාවට කරන ලද ආධාර ඇතැමෙකුට සෞභාග්‍යෙය් සුනාමියක් විය. මා දන්නා එක් රාජ්‍ය නොවන සංවිධානයක් සුනාමි ආධාරවලින් යම් කිසි සමීක්ෂණයක් කර, වාර්තාවක් මුද්‍රණය කර පසුව එය පරණ කඩදාසි කඩයකට විකුණා දැම්මේ ය. සුනාමි අරමුදල් පිල්ලි ගහන්නට පෞද්ගලික ගිනුම්වලට ආධාර මුදල් බැර කර ගත් දේශපාලනඥයන් ගැන නො දන්නේ කවුරු ද?
- ජනරළ 2014 -08- 31

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-28

වාරියපොළ තරුණිය පාර්ලිමේන්තු අරිමුද?

ප්‍රභාකරන්ගේ මරණින් පසුව ලංකාවේ මාධ්‍යවලට පුවත් පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ. ඒ නිසා පොඩි පොඩි පුවත් පවා අතිශයෝක්තියට නඟන්නට සිදු වී තිබේ. 

ප්‍රභාකරන් සිටි කාලයේ නම් එහෙම නැත. වරක් මම මතුගම - අලුත්ගම පාරේදී පෞද්ගලික ලංගම බස් රේස් එකක ප්‍රතිඵලයක් ලෙස ලංගම බසයක් පාලමකින් ගඟකට වැටී ගිලී මගීන් දහයක් පමණ මිය යාම පිළිබඳ විශේෂාං ලිපියක් එකල මා සේවය සැපයූ ලංකාදීප පුවත්පතට ලිව්වෙමි. එහෙත්, ඒ සති අන්තයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සිදු වූ බැවින් ඒ ලිපිය පළ කරන්නට ඉඩක් සොයා ගත නො හැකි විය.

දැන් එහෙම නැත. ඕනෑම පොඩි සිද්ධියක් වවාගෙන කෑ හැකි මාධ්‍ය බුරුත්තක් රටේ තිබේ. මේ අයගේ අලුත්ම ගොදුර වාරියපොල තරුණිය ය. ඇය තමන්ට ඔච්චම් කළ තරුණයකුට බස් නැවතුම්පළකදී ප්‍රසිද්ධියේ පහර දෙනු කිසිවකු විසින් වීඩියෝ කර සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඒ ඔස්සෙ විවිධ පුවත් හා අදහස් නිර්මානය වූ අතර, ආණ්ඩුවේ ලොකු ලොක්කන් කරන අපරාධ හා දූෂණ හැර අන් හැම දෙයක් ගැනම හොයන පොලිසියක් හා එයටම ගැලපෙන මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශය ද දැන් මේ සිද්ධිය සම්බන්ධයේන් ක්‍රියාකාරී වී තිබේ.

ජීවිතේට ජනමාධ්‍යයක අවධානය දිනා ගත නො හැකි තරුණයෙක් මෙම කණේ පාරවල් ටිකෙන් පොරක් විය. දැන් ඔහු කියන පරිදි ඔහුගේ සියලු ප්‍රශ්නවලට හේතුව මේ කම්මුල් පාර ය. ඔහුගේ බිරිඳ ඔහු හැර ගොස් තිබෙන්නේ ද මේ කම්මුල් පාර නිසා යයි කිසිවක් සොයා නො බලන මාධ්‍යකරුවෝ වාර්තා කරති. 

කොල්ලාගෙන් කටඋත්තර ගන්න එක ද, කෙල්ලගෙන් කට උත්තර ගන්න එක ද, ඇය උසාවි ඉදිරිපත් කරන එක ද, ඇප පිට නිදහස් කරන එක ද ආදී සියල්ල වෙන වෙන ම වාර්තා ය. ඒ වාර්තා ලියා කීප දෙනෙක් ජීවත් වෙති. 

ප්‍රශ්නය එය නො වේ. ඒවා බලා ඒවා ගැන කතා කරන අපි ය. අපි කතා කරන්නේ මොනවා ද? මේ පසුපස දයාසිරි ඉන්නවා යයි ඇතැමෙක් කියති. ඇතැම් අය පුරුෂ හිංසනයක් ඇතැයි ද කියති. ඒවා ලියන්නේ එකිනෙකාගේ මති මතාන්තර අනුව ය. වැඩේ කියන්නේ අපට අපේ කාලය මිඩංගු කරමින් ඒවා අහන්නට, කියවන්නට සිදු වීමයි.

නයිට් ක්ලබ් එකක පොඩි රස්සාවක් කළ ගමින් ආ අමුතු කෙල්ලක් නයි නළඟන ලෙස බෞතීස්ම කර සෙලබ්‍රිටි කෙනෙක් හෙවත් මාධ්‍ය මගින් නිරන්තරයෙන් ආවරණය කරනු ලබන පුද්ගලයෙක් බවට පත් කරන ලදී. 

වාරියපොළ කෙල්ලට ද දැන් එවැනි අවස්ථාවක් ලැබී තිබේ. ඔහොම යං! ඊළඟ ඡන්දයෙන් නයි නළඟන හා වාරියපොළ කෙල්ල පාර්ලිමේන්තු එන්නටත් බැරි නැත. ඔය පබාත් ආවේ. එතැන ඉන්න අනෙක් අය ද මේ අයට වඩා වෙනස් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-26

ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ දොරට වැඩුම වෙලාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත දුක්ගැනවිල්ලක් කියා තිබිණි.

මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්නේ. ටියුෂන්වලට මාසෙට රුපියල් තිස් දහසක් විතර ඕනි. විද්‍යා විෂයන් ඉගෙන ගන්නේ. බිරිඳ ගුරුවරියක්. එයාගේ පඩිය මදි. මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා.

මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් වැඬේ හරියන්නේ නෑ. මං කියනවා රටේම මිනිස්සු අපිට එක එක ප‍්‍රශ්න කියනවා. ගොඩක් අයගේ ප‍්‍රශ්න විසඳනවා. ඒවාට මැදිහත් වෙනවා.

එතකොට නෝනා මගෙන් ඇහුවා, ‘‘ඉතින් ඔයා ඇයි බලාගෙන ඉන්නේ. ඔයා මොකක් හරි කරන්න බලන්න.’’ ඔයා දන්නවා මම අවුරුදු 30ක් ජේවීපි එකේ ෆුල් ටයිම්. ශත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30.

දැන් මට එයා කියනවා අවුරුදු තිහක් ෆුල් ටයිම් කරපු මට ‘ඔයත් මොනව හරි කරන්න බලන්න’. ඒ අම්මා අර අම්මාට වඩා වෙනස් තමයි නමුත් තාමත් දුක් විඳිනවා. (උපුටා ගැනීම නෙත් රේඩියෝව)

මේ කියන ආකාරය අනුව තවමත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප යන්නේ පක්ෂ අරමුදලට විය යුතු ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු පහක් සිටි නිසා ඔහුට විශ්‍රාම වැටුපක් ද තිබෙනවා විය හැකි ය. එය ද යන්නේ පක්ෂ අරමුදලට ද? 

පක්ෂයෙන් මොවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් දීමනාවක් නො ගෙවන බව පෙනේ. අනෙක් පැත්තෙන් පක්ෂ සාමාජිකයන්ගෙන් වුව ඉල්ලාගෙන ජීවත් වීම පුද්ගල පෞරුෂයට ගැටලුවකි. 

ජවිපෙ ඔස්සේ දීප්තිමත් දේශපාලකයන් බවට පත් වූ බොහෝ දෙනෙකු ජවිපෙ නො තිබිණි නම් සාමාන්‍ය මිනිස්සු ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිභාවෙ මුළු අයිතිය ම ජවිපෙට හිමි යයි පක්ෂය කල්පනා කරනවා විය හැකි ය. එතකොට පක්ෂය හැදුනේ කොහොම ද? මෙවැනි මිනිසුන්ගේ ප්‍රතිභාවෙන් නොවේ ද? 

පක්ෂය සාමාජිකයන්ට හිර ගෙයක් වන්නේ නම් එය ඛෙදවාචකයකි. මේ හිර ගෙයින් නිදහස් වූ විමල් වීරවංශ වැනි අයගේ පරිහාණියෙන් නිරූපණය වන්නේ එහි භයානකකමයි. තමන් පක්ෂයට හෝ සමාජයට හෝ කළ සේවය වෙනුවෙන් ඇරියස් බලාපොරොත්තු වීම අතිශය භයානක ය. ඇරියස් ඉතිරි වුණේ ඇයි?

මෙතන තිබෙන්නේ සමාජවාදය තේරුම් ගැනීම පිළිබඳ ගැටලුවකි. ඔබ සමාජය වෙනුවෙන් කටයුතු කළ යුත්තේ ඔබගේ කාර්යභාරයක් ලෙස සිතා මිස කෘතගුණ ලැබිය යුතු සමාජ සේවයක් ලෙස නො වේ. ඔබ සමාජයේ ම කොටසක් බැවින් ඔබ වෙනුවෙන් ද ඔබට කාර්යභාරයක් තිබේ. සතුටින් ජීවත් වීම ඔබගේ සමාජ වගකීමකි.

සතුටින් ජීවත් වීම යනු කුමක් ද? ධනේශ්වර පාරිභෝජනවාදය ද? සමාජවාදියා සතුට විග්‍රහ කර ගත යුත්තේ පාරිභෝජනවාදයෙන් ගැලවීම තුළයි. භාණ්ඩ වන්දනාව හා පාරිභෝජනවාදය වෙනුවට බුද්ධිමත් පරිභෝජනය ආදේශ කිරීම තුළයි. හැමෝම කරන පළියට ගම දමා කොළඹ ඒම, ළමයින් දොස්තරලා කරන්නට වලි කෑම, පිටරට පදිංචියට යාම, අති සුඛෝපභෝගී ගෙවල් හැදීම, ලොකු කාර් ගැනීම, අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම, ලොකු හෝටල්වලින් කෑම, ට්‍රිප් යාම,  ලොකු මඟුල්, පාටි, ණය ආදියෙන් නිරූපිත පාරිභෝජනවාදී ජීවිතය වෙනුවට විකල්ප ජීවිත ප්‍රවර්ධනය කිරීම සමාජවාදීන්ගේ වගකීමකි.

ලාල් කාන්ත වැනි වාමාංශික පක්ෂ ක්‍රියාකාරිකයන්ට නැත්තේ එයයි. පක්ෂය නිසා ලැබුණු බොහෝ දේ ගැන ඔවුන්ට සතුටු වන්නට පුළුවන. එහෙත්, නො ලැබුණු දේ ගැන ඔවුහු දුක් වෙති. මේ දුක්ඛප්‍රාප්තියේ එක් ලක්ෂණයක් වන්නේ ඔවුන් දුක් වන්නේ අද තමන් සිටින තැන සිට ලබා ගත හැකි දේ ගැන සිතමින් වීමයි. උදාහරණයක් ලෙස ලාල් කාන්තව ආණ්ඩුවට ගත්තොත්, ඔහුට පළාත් සභා මන්ත්‍රී වැටුප ලබා ගත හැකි ය. තවත් බොහෝ දේ ද ලබා ගන්නට පුළුවන. 

එහෙත්, ජවිපෙ නො තිබුණා නම් ලාල් කාන්තට මොන පළාත් සභා ද? විමල් වීරවංශට මොන ඇමතිකම් ද?

රාජපක්ෂ පවුලේ අය රටට කියන දෙය ද මෙයට තරමක් සමාන ය. අපි ප්‍රභාකරන් මරලා, කොටි සමූලඝාතනය කරලා යුද්දෙ දිනුවා. ඒ නිසා අපට ඕනෑ විදියට රට කන්න දෙන එක ඔබගේ යුතුකමකි. 

මේ ධනේශ්වර චින්තනයේ ස්වභාවයයි. ජවිපෙ පූර්ණකාලිකයන්ගේ ජීවන භාවිතාව තුළ පවතින්නේ ද එය ම ය. සමාජවාදී ජීවිතයක් පිළිබඳ කතිකාවක් අවශ්‍ය මෙම සංදර්භය තුළ ය. 

සමාජවාදය යනු අද ධනපතීන් විඳින සැප සමාජයේ සියලු දෙනාට විඳින්නට සැලැස්වීම නො වේ. සමාජවාදය අලුත් ජීවිතයකි. එහි අපේක්ෂාවන් වෙනස් ය. එය වනාහි ධනේශ්වර පාරිභෝජනවාදය නො වේ. 

ජවිපෙ වැනි සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින අය විකල්ප, ප්‍රායෝගික, සමාජවාදී ජීවිත ගොඩනැගීමට උත්සාහ කළ යුතු ය. පක්ෂය පූර්ණ කාලීනව දේශපාලනය කරන ලාල් කාන්තට ජීවත් වීමට සාධාරණ වැටුපක් ගෙවිය යුතු ය. එය අඩු තරමේ පුහුණු කම්කරුවකුගේ වැටුප හෝ විය යුතු ය. 

වාමාංශිකයන් සමාජය ඉදිරියේ මෙවැනි දුක්ගැනවිලි කිය කියා යන එක තේරුමක් නැත. ලාල් කාන්ත ඇත්තෙන් ම මොනවා හරි කළ යුතු ය. මේ ප්‍රශ්නය අපට ආ විට අපි නම් කළේ වැඩ කිරීම ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-24

ජනපති ඔබ කොහිද?

දැන් අපේ ජනාධිපති හදිසියේ ම පැදුරටත් හොරා රට පලච්චි නේ. ගියේ කොහේ ද, ඉන්නේ කොතැන ද, කරන්නේ මොනවා ද යන්න අපි නො දනිමු. 

ජනාධිපතිවරයාට  එහෙම යන්නට බැරි ය. ඔහු විධායක ජනාධිපති බලතල ඔස්සේ ජනතා පරමාධිපත්‍යය පවරාගෙන සිටින්නෙකි. එබැවින් ඔහු කරන කියන සියලු වැදගත් දේ දැනගන්නට ජනතාවට ද අයිතියක් තිබේ. රටින් බැහැර වීම යනු ඉතා බැරෑරුම් දෙයකි. එහෙයින් ජනතාවට ඒ පිළිබඳව දැන ගැනීමට ඉතා පැහැදිලි අයිතියක් තිබේ. එය පෞද්ගලික හේතුවක් වුවත් කරන්නට දෙයක් නැත. ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබඳව සත්‍යය පැහැදිලි කළ යුතු ය. නැතිනම් සිදු වන්නේ විවිධ අනුමාන සිදු වීම ය.

ඉතින් ඇයි ඔහු අපට එහෙම කළේ කියා එක එක විධියට කල්පනා කරන්න පුළුවන් නේ. ඒ නිසා කල්පනා කොරන්න. පහත සඳහන් උපුටා ගැනීම ඔස්සේත් හිතන්න පුළුවන්. හිතන්න. හැබැයි නිකං ආවට ගියාට කොමෙන්ටු කොටන්න එපා. 

ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි ආකාර පිළිබඳව පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 38 වන ව්‍යවස්‌ථාවේ (2) වන අනු ව්‍යවස්‌ථාවෙන් විස්‌තර කෙරේ.

38 (2) (අ) ජනාධිපතිවරයාට ශාරීරික හෝ මානසික අබලතාව හේතුවෙන් ඔහුගේ ධුරයේ කාර්ය ඉටුකිරීමට නියත වශයෙන් නොහැකි බවට චෝදනා කරන්නා වූ හෝ

(1) චේතනාන්විතව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමේ වරද,

(2) රාජ්‍ය ද්‍රොහි වීමේ වරද

(3) අල්ලස සම්බන්ධ වරද

(4) ස්‌වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද හෝ

(5) යම් නීතියක්‌ යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක්‌ වන වරදක්‌

කර ඇති බවට චෝදනා කරන්නා වූද එම චෝදනාවෙහි හෝ චෝදනාවල හෝ සම්පූර්ණ විස්‌තර දැක්‌වෙන්නා වූද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳ පරීක්‍ෂා කොට බලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නා වූද, යෝජනා සම්මතයක්‌ ඉදිරිපත් කිරීමට තමා අදහස්‌ කරන බවට පාර්ලිමේන්තුවේ කවර හෝ මන්ත්‍රීවරයකු විසින් කථානායකවරයා වෙත යවන ලිපියකින් දැන්වීමක්‌ කළ හැක්‌කේ ය. (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-23

සුන්දර ඉංගිරිසි: බත්ද රයිස්ද ඕනැ?

සිංහලයන්ගේ ඉංග්‍රීසි අතර තිබෙන ඇතැම් යෙදුම් හිනා යනසුළු වුණත් ඒවා හරි අපූරුයි. මේ ලක්ෂණය වැඩියෙන් ම දකින්නට ලැබෙන්නේ පොදු ජනයාගේ ඉංග්‍රීසි ව්‍යවහාරයන් අතරයි. එහෙත්, ඒවා එතැනින් පොදු ව්‍යවහාරයට එන එකත් වළක්වන්න බැහැ.

දැන් අපි යමුකො හෝටලේකට. ලංකාවෙ මිනිස්සු හෝටල් කියන්නේ ඉංග්‍රීසි හොටෙල් (hotel) කියන වදනින් අරුත් ගැන්වෙන ස්ථානයට ම නෙමෙයි. ඉංග්‍රීසියෙන් හොටෙල් කියන ස්ථානයේ අනිවාර්යයෙන් ම නවාතැන් පහසුකම් තිබෙනවා. ඒත්, ලංකාවේ කෑම විකුණන්න තිබෙන ඕනෑම තැනකට හෝටලේ කියනවා. සමහර පෙට්ටි කඩවලත් හෝටලය කියා ලියා තිබෙනවා.

පැරණි ජනප්‍රිය ළමා ගීයක මෙවැනි සෙල්ලම් කඩයක් හැඳින්වෙන්නේ සීනිබෝල හෝටලේ කියායි. එය මේ වදන සාහිත්‍යයට එක් වූ අවස්ථාවක්.

කෑමවලට විතරක් නෙමෙයි, ඇතැම් විට බීලා වැඩි වෙලා වමනේ දානකොටත් හෝටල් දානවා කියනවා. බීලා වැඩි වුණාම වෙරි වෙනවා. මේ වෙරි (very) කියන වචනය ඉංග්‍රීසියෙන් ගත් එකක්. වැඩියි කියන එක තමයි අර්ථය. ඉංග්‍රීසි බජාර් භාෂාවේ, එහෙමත් නැතිනම් ගොඩේ ව්‍යවහාරයේ තිබෙන හෙවත් ඩෝප් (dope) කියන වචනයෙන් අරුත් ගැන්වෙන්නේ මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී මත්පැන්. ඒ වුණත් අපේ මිනිස්සු සීල් අරක්කු බිව්වත් කියන්නේ ඩෝප් එක දානවා කියලයි. සීල් අරක්කු කියන වචනයේ සීල් (seal) කියන්නේ ඉංග්‍රිසි වචනයක්. එයින් අදහස් කෙරෙන්නේ බෝතලේ මූඩිය ආරක්ෂිත ආවරණයකින් යුක්තයි කියන එකයි. ඒ වුණාට ඉතින් සීල් කඩලා මිස් (mix) කරන තැන් ඕනැ තරම් තිබෙනවා. බොනවාට ඩ්‍රින්කෙක දානවා කියනවා. එතකොට ඉතින් ෂැන්ඩි, බයිට් එහෙමත් ඕනැ වෙනවා. මේවා කරන්නෙ ඉතින් ෆන් එකටනේ. හැබැයි ඉතින් බිරින්දෑ හෙවත් වයිෆ් හෙවත් වයිපරේ නම් බොහෝ වෙලාවට මේවාට කැමති නැහැ. එතකොට ගෙදර කචල්. කචල් මොන භාෂාවෙන් ආපු වචනයක් ද? කරච්චල් කියන දෙමළ වදනින් බිඳී ආපු එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට බීපු මිනිස්සු බිරියන්ට පෝරියල් දෙනවා. හැබැයි දෙමළෙන් පෝරියල් කියන්නේ නම් ව්‍යංජනයකට.

“බීපු මිනිහෙක් මට පාට්ටෙකක් දැම්මා.“ පාට්ටෙක දානවා කියන්නේ තර්ජනය කරනවාට. මේක හැදිලා තිබෙන්නේ පාට් (part) කියන වදනින්. මම හිතන්නේ මෙම යෙදුමේ මූලය තිබෙන්නේ රංගන ශිල්පය තුළයි.

අපි කතා කරමින් හිටියේ හෝටල් ගැනනේ. ලංකාවේ හෝටල් කියන්නේ කෑම කඩවලට. ඒ කෑම කඩවල තිබෙන ප්‍රධාන බීමක් තමයි ප්ලේන්ටි (plain tea). මේක ප්ලේන් ටී නෙමෙයි ප්ලේන්ටි. “මට ප්ලේන්ටියක් දෙන්න.“

ටීඑක කියන්නේ කිරි දාපු තේවලට. හැබැයි සීනි නැති වුණොත් එම බීම ම තනිකර සිංහලෙන් කිරි කහට වෙනවා.

හෝටලේ තේ හදන්නාට කියන්නේ ටී මේකර් කියලා. ටී මේකර්වරු ඉල්ලලා පත්තරවල ලුහුඬු දැන්වීම් ද පළ වෙනවා. ඒත්, වතු ක්ෂේත්‍රයේ නම් ටී මේකර් කියන්නේ නිෂ්පාදන කළමනාකාරවරයාට.

උණු වතුරට ඇල් වතුර කලවම් කරපු වතුරට කියන්නේ ඩබල් වතුර. බයිසිකල්වල දෙන්නෙක් යනකොට කියනවා ඩබල් දාලා යනවා කියලා. හමුදාවේ පුහුණුවීම් අතරතුරදී යම් ක්‍රියාකාරකම් වේගයෙන් කරන එකට ඩබල් එකේ කරනවා කියනවා. හමුද‍ා සෙබළු මේ මිලිටරි උපභාෂා ගෙදරට ගෙනැවිත්  දැන් සමහරු ඉක්මණින් වැසිකිළි ගොස් පැමිණීමටත් “ඩබල් එකේ බොගක් දැම්මා කියනවා.“ බොග කියන්නේ බොග් (bog) කියන ඉංග්‍රීසි වදනින් හැදුණ සිංහල වචනයක්. ඒත්, ඉංග්‍රීසියේ නම් එය ගඳගහන තැන් වෙනුවෙන් මිස මළ වෙනුවෙන් නෙමෙයි.

හෝටල්වල රයිස් හා බත් කියා කෑම වර්ග දෙකක් තිබෙනවා. රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස්වලටයි. බත් කියන්නේ නිකම් බත්. මේවාට රයිස්සැන්කරි කියලාත් සමහර ටිකක් ‘පොෂ්‘ තැන්වල කියනවා. “බත්ද රයිස්ද ඕනැ?“ කියලා අහන ‘වේටර්ලා‘ ඉන්න හෝටල් තිබෙනවා.

මාළු කරි, මස් කරි එහෙම කියා කියනවා. කරි කුඩු කියාත් ජාතියක් ඉවුම් පිහුම්වලදී පාවිච්චි කරනවා. කරි කියන්නේ දෙමළෙන් ඉංගිරිසියට ගිය වදනක්. හැබැයි කරි කියා වෙනත් ඉංග්‍රීසි වදනකුත් තිබෙනවා. එය මේ වදන සමග සම්බන්ධ නැහැ. 

බතුයි රයිසුයි වගේ තවත් යෙදුම් දෙකක් තමයි බයික්කෙක හා බයිසිකලේ. සිංග්ලිෂ්වල බයික්කෙක කියන්නේ මෝටර්සයිකලයටයි. බයිසිකලේ කියන්නේ පාපැදියට.

ටේක් අවේ, පීසා, මෙනූ වැනි යෙදුම් රැසක් කලිනරි (culinary) හෙවත් ඉවුම් පිහුම් ඉංගිරිසියෙන් සිංහලට ඇවිත් තිබෙනවා. හැබැයි, මේ ඇතැම් කලිනරි වදන් ඉංගිරිසියට ආවේ වෙනත් භාෂාවන්වලින්. කලිනරි කියන වදනට ඇතැමෙක් සූප ශාස්ත්‍ර කියනවා. සූප කියන්නේ සුප් නිසා අවසානයේදී ඒ සිංහල වදනත් මිශ්‍ර එකක්. අනෙක කලිනරි කියන්නේ සුප් හදන ශාස්ත්‍රය නෙමෙයි නේ. සූපවේදියා හදන්නේ සුප් විතරක් නෙමෙයිනේ. භෝජන සම්බන්ධ සිංහල භාෂාවේ බරපතල අඩුපාඩු රැසක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ලේඛන සිංහලට පරිවර්තනය කරන්න ගියාම අභියෝග රැසක් මතු වෙනවා.

සිංහලයන්ගේ භෝජන කලාව දැන් බටහිරත් එක්ක සම්මිශ්‍රණය වෙලා. ඒ නිසා කිරිබත් කද්දිත් ටේබල් මැනර්ස් පැටලෙනවා. හෝටල්වල වෙඩිං තිබෙනවා. ඒවා තිබෙන්නේ කෑම ශාලාවක. එතැනම එක කෙළවරක පෝරුව එහෙම තිබෙනවා. තවත් කෙළවරක බෑන්ඩෙක. හැම තැනම මේස තිබෙනවා. ඒවා තිබෙන්නේ භෝජන සංග්‍රහය සඳහා හැඳි ගෑරුප්පු ආදිය කල් තබා සූදානම් කරලායි. අපි උදේ දහයට විතර ගිහින් දවල් එක විතර වෙනකල් අර කෑම මේසවල වාඩි වෙලා, කාන්තාවන්ගේ අත් බෑග් එහෙම පිඟන් අතරේ තියලා කතා කර කර ඉන්නවා. ඊට පස්සේ බුෆේ එකෙන් බෙදාගෙන ඇවිත් අතින් කනවා. බාත්රූම් එකෙන් අත හෝදනවා. මේ සංකර මංගලෝත්සව කරන්නේ සිංහල චාරිත්‍රානුකූලව නැකැත් එහෙමත් බලලායි.

බුෆේ (buffet) කියන්නේ බෙදාගෙන කෑම කන්න තිබෙන කවුන්ටරයක් ඇති කෑමහලටයි. එවැනි කෑමහලක් දුම්රියවලත් තිබෙනවා. හැබැයි, අපේ දුම්රිය මගියෝ ඒ කෝච්චි පෙට්ටියට කියන්නේ බපට්ටෙක කියලායි. “අද කෝච්චියේ සෑහෙන සෙනග. යන්තම් බපට්ටෙකේ තමයි ආවේ.“  

මංගල ශාලාවල මේසවල නැප්කින් තිබෙනවා. ඇතැම් සිංහලයන්ට නැප්කින් හා නැපි පැටලෙනවා. පොඩි බබාලාට අන්දවන නැපිවලට සමහරු නැප්කින් කියනවා. ආරියවංශ රණවීර නැපිය සාහිත්‍යයට ගෙනාවේ මෙහෙමයි.

සුදු සුදු නැපි
ඇස හැපි හැපි
බිළිඳකු ඇති 
බව පවසති

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

වාරියපොල පෝරියල් එක

වාරියපොල සුමංගල හිමිගේ ගම මා සිතන පරිදි මාතලේ වාරියපොලයි
මේ දවස්වල අන්තර්ජාලයේ කට්ටියගේ බයිට් එක වාරියපොළ චන්ඩි කෙල්ල හා ඇගෙන් ගුටි කෑ කොල්ලා ය. 

ඔය වගේ සිද්ධි ඉඳහිට සමාජයේ සිදු වේ. එහෙත් ඒ හැම එකක් ම දුරකථන කැමරාවෙන් වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරින්නේ නැත. 

දැන් මෙහි තිබෙන වැදගත් ම කරුණ කෙල්ලගේ ප්‍රහාරය ද? කොල්ලාගේ බකන්නිලාගෙන සිටීම ද?

මේ දෙකම නොවේ. සිද්ධිය බලා සිටින අයගේ ප්‍රතිචාරයයි. සමාජය දැන් සිදුවීම්වල නිරීක්ෂකයෝ පමණක් ද? කෝ ඉස්සර වගේ වලි බේරන අය? 

ඒ විතරක් නෙමෙයි, ජංගම දුරකථනය නිසා දැන් හැමෝම වාර්තාකරුවෝ වෙලා.  

අන්තර්ජාලයේ මේ සිද්ධිය ගැන ලියැවුණ දේවල් පොඩ්ඩක් ආපසු නිරීක්ෂණය කර බලන්න. සමහරු කියපු විධියට කෙල්ල කොල්ලාට ගැහුවේ දයාසිරිගේ හයියෙන්.

මෙතැනදී ඇත්තෙන්ම වැදගත් සිද්ධිය ද? මම හිතන්නේ වැදගත් වී තිබෙන්නේ සිද්ධියේ වාර්තාකරණයයි. වාර්තාකරණයෙන් පසුවත්, සමාජය හැසිරෙන්නේ අර රූප රාමුවල ඉන්න සෙසු අය වගේ ම තමයි. සමහරු කෙල්ලගේ පැත්තේ. සමහරු කොල්ලගේ පැත්තේ. තව සමහරුන්ට ගත යුතු පැත්ත තීරණය කරගන්න බැහැ.  

දැන් මේ වීඩියෝ එක වයිරල් වුණ නිසා හැමෝටම අවශ්‍යයි එහි කිසියම් තැනක ස්ථානගත වෙන්න. පොලිසියටත් එහෙම වෙලා. බොදු බල සේනාව පොලිසිය ඉදිරිපිටදී ම තරුණයකුට පහර දෙන දර්ශන පසුගිය දිනවල අන්තර්ජාලයේ ප්‍රචාරය වුණා. කෝ පොලිසිය ගත්ත ක්‍රියාමාර්ග? 

ඒ වගේ සිද්ධි ගොඩක් නො තකා හැර තිබෙන පොලිසිය හා සමාජය ඇයි මේ සිද්ධිය ගැන මේ තරම් උනන්දු? 

සමහර විට මේ තරුණයා මේ පහර කෑමෙන් කිසියම් ලිංගික සතුටක් ලබන්න ඇති. බලන ඇතැම් අයත් එවැනි සතුටක් ලබනවා ඇති. පොලිසියේ මහත්තුරු වුණත් එහෙම වෙන්න ඇති. 

දැන් මේ වාරියපොළ සිද්ධිය වටා ලොකු සිද්ධියක් ගොඩනැගෙමින් තිබෙනවා. දැන් ඔය නැව්වලින් ලෑලි කෑලි, කඹ වගේ දේවල් මුහුදට වැටෙනවනේ. එතකොට ඒවා වටේ පොඩි මාළු රැස්වෙලා එහි පදිංචි වෙනවා. ටික දවසක් යනකොට මේ පොඩි මාළු කන්න ටිකක් ලොකු මාළු එකතු වෙනවා. ඔහොම ගිහින් කලක් යනකොට මෙතන මහා මාළු ගහණයක් බිහි වෙනවා. මේ සිද්ධියත් ඒ වගේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-22

අයිස් නෙමෙයි ගූ නාපියව්!

අයිස් බකට් සෙල්ලම පිළිබඳ මගේ මතය ඉතා කෙටියෙන් ෆේස්බුක්හි හා ට්විටර්හි සටහන් කළෙමි. එය නැවත බ්ලොගයෙහි ද සටහන් කරමි. 

ලංකාවේ අය මේ සෙල්ලම කරන්නේ අමු සෝබනයට ය. මේ සෙල්ලම කරන එවුන්ට මේ රටේ ජනයා ගැන නො තිබුණු මානුෂික හැඟීමක් එක පාරටම ලෝක සත්වයා ම ගැන පහළ වී තිබෙන්නේ මේ පසුපස තිබෙන ප්‍රචාරය නිසා ය. 

ඒ නිසා ඔන්න අහගනියව්! 

අයිස් නෙමෙයි ගූ නාපියව්! 

මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ. 

සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත. 

මුං නෑවට ඩොලර් දහය දුන්නද දන්නෙ දෙයියො තමයි. 

නොදකින් ඩොලර් දහයට පබ්ලිසිටි අරගන්න දඟලන කැත.

කාලකන්නි!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-21

ඉම්රාන් ඛාන්ගේ වේග පන්දු හමුවේ පකිස්තානය

පාකිස්තානය යනු එහෙමපිටින් ම සමාජ දේශපාලන අර්බුදයකි. අද වන විට එම අර්බුදය තවත් උග්‍ර වී තිබේ. පාකිස්තානයේ විපක්ෂයේ නායකයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ හා ආගමික නායකයකු වන තහීර් උල් කද්රිගේ නායකත්වයෙන් අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදු වෙමින් තිබේ. නවාස් ෂරීෆ් අගමැති තනතුරින් ඉල්ලා අස් විය යුතු බවට ඔවුහු උද්ඝෝෂණය කරති.

යුක‍්තිය සඳහා ව්‍යාපාරයේ නායක ඉම්රාන් ඛාන් පවසන්නේ මාස 15කට පෙර නවාස් ෂරීෆ් ලැබූ මැතිවරණ ජයග්‍රහණය වංචනික එකක් බවයි. ඔහුගේ දූෂණ විරෝධී උද්ඝෝෂණයට තරුණ ජනයා අතර පුළුල් සහයෝගයක් තිබේ. තහීර් උල් කද්රි යනු පාකිස්තානයේ ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරය මධ්‍යස්ථකරණය කළ යුතු බව පවසන ආගමික හා දේශපාලන නායකයෙකි. නිදහස, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, යහපාලනය හා කාන්තා අයිතිවාසිකම් ආදියට ගරු කරන ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ඔහුට කම්කරුවන් අතර පදනමක් තිබේ. කද්රි ජාත්‍යන්තර ආණ්ඩුක්‍රම පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම ඉස්ලාම් ආගමික ගුරුකුලයක් වන සුෆී දහම පිළිබඳ ශාස්ත්‍රඥයෙකි.

මේ වන විට යුක්තිය සඳහා ව්‍යාපාරයේ හා උල් කද්රිගේ පාකිස්තාන් අවාමි ටෙහ්රික් පාක්ෂිකයෝ එකට එකතු වී සිටිති. පසුගිය බදාදා දසදහස් ගණන් විරෝධතාකරුවෝ ඉස්ලාමාබාද්හි අධි ආරක්ෂිත රතු කලාපයට ඇතුල් වී පාකිස්තාන් පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කළ හ. පොලු අතින් ගත් සටන්කරුවෝ රතු කලාපයේ ආරක්ෂක විධිවිධාන පසුබස්වමින් රජයේ ආයතන ඉදිරිපිට තමන්ගේ මුරකාවල් පිහිටුවන්නට සමත් වූ හ. අර්බුදය පිළිබඳ සාකච්ඡා කරන්නට රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පිට වී යන්නට නො දෙන්නැයි ද, නවාස් ෂරීෆ් ඉල්ලා අස් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නැයි ද කද්රි ඉල්ලා සිටියේ ය.අඟහරුවාදා නවාස් ෂරීෆ්ගේ නිල නිවස ආක්‍රමණය කළ යුතු යයි ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ට යෝජනා කළමුත්, කද්රි එම ක්‍රියාමාර්ගය අනුමත කළේ නැත.

මේ අතර පාකිස්තාන් හමුදාපතිවරයා දැඩි ප්‍රකාශයක් කළේ ය. අර්ථාන්විත සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය සමනය කිරීම සඳහා වහා පියවර ගත යුතු බව පාකිස්තාන් හමුදාපති රහීල් ෂරීෆ් පවසා ඇති බව වාර්තා විය. රහීල් ෂරීෆ් අගමැතිවරයාගේ ඥාතියකු නොවේ. පකිස්තාන් හමුදාව මේ වන විට ඊසානදිග පකිස්තානයේ ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව දැවැන්ත යුද මෙහෙයුමක් දියත් කර තිබේ. .ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය තුළ බලවත් තත්වයක සිටින පාකිස්තාන් හමුදාව මෙම දේශපාලන අර්බුදයට අත දමන්නට ඉඩ ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ සැක පළ කරති. හමුදාවේ ඇතැම් කොටස් විරෝධතා පසුපස සිටින බවට ඇති තර්ක ඛාන් හා කද්රි විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අතිශය භංගුර තත්වයක ය.1947 නිදහසින් පසු පාකිස්තානයේ හමුදා ආණ්ඩු තුනක් බලයේ සිට තිබේ. ඉන් එකක් 1999දී නවාස් ෂරීෆ්ගේ දෙවන ධුර කාලයේදී ඔහු අගමැති තනතුරින් පහ කරමින් පිහිටුවන ලද හමුදාපති පර්වේස් මුෂාරෆ් විසින් පිහිටුවන ලද එකකි. මේ වන විට ෂරීෆ්ගේ ආණ්ඩුව විසින් මුෂාරෆ්ට එරෙහිව රාජ්‍ය ද්‍රෝහිත්වය යටතේ නඩු පවරා තිබේ. එමගින් ඔහු යම් ආකාරයකට හමුදාව ඔහුට එරෙහිව කුපිත කරගෙන ද තිබේ. පාකිස්තාන් ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් හමුදා පාලනයන්ට ද සහයෝගය දෙති.පවතින ජාත්‍යන්තර වටපිටාව තුළ නැවත හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට තිබෙන ඉඩකඩ අවම වුවත්, හමුදාව පාලනයට බලපෑම් කිරීම නම් අඩු වී නැත. ඉක්මණ් මහ මැතිවරණයක් පවත්වන්නැයි හමුදාවෙන් නවාස් ෂරීෆ්ට බලපෑම් එල්ල විය හැකි යයි විශ්ලේෂකයෝ පවසති.

2013 පැවති මැතිවරණයේදී, පිටුවහලේ සිට ආපසු පැමිණි නවාස් ෂරීෆ් තුන්වන වරට බලයට පත් වුණේ දැවැන්ත බහුතර ඡන්දයකිනි. ඔහු නායකත්වය දෙන පාකිස්තාන් මුස්ලිම් ලීගයට පාර්ලිමේන්තුවේ ප්‍රබල බහුතරයක් තිබේ. ඔහුගේ පොරොන්දු අතර පාකිස්තානය ආර්ථික වශයෙන් නගා සිටුවීම ප්‍රමුඛ ය. ඒ අතරින් ද බලශක්ති අර්බුදයට විසඳුම් සැපයීම සඳහා ක්‍රියාමාර්ග ඉදිරියෙන් ම සිටියි. පාකිස්තානය නිරතුරුවම විදුලි අර්බුදයෙන් පීඩා විඳින නගර සහිත රටකි. ග්‍රාමීයව නම් විදුලිය යනු සිහිනයකි.

විරෝධතා නායකයන් පවසන්නේ සාකච්ඡාවලට පෙර නවාස් ෂරීෆ් ඉල්ලා අස් විය යුතු බවයි. බ්‍රහස්පතින්දා වන විට පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය ද මෙම අර්බුදයට මැදිහත් වී තිබිණි. බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන්නැයි ඛාන්ට හා කද්රිට නියෝග කර තිබිණි.

මේ අතර ඉම්රාන් ඛාන්ගේ යුක්තිය සඳහා ව්‍යාපාරය බ්‍රහස්පතින්දා ලාහෝර් සිට ඉස්ලාමාබාද් දක්වා නිදහස් පාගමනක් සංවිධානය කර තිබේ. එයට අගමැති ෂරීෆ්ගේ පාකිස්තාන් මුස්ලිම් ලීගයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. මෙතෙක් පැවති ඉවසීම වෙනුවට පොලිස් හා හමුදා මැදිහත්වීමක් සිදු වන්නට තිබෙන ඉඩකඩ පිළිබඳ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

ඉම්රාන් ඛාන්ගේ මූලික තර්කය දූෂණ ඔස්සේ ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය උදුරාගෙන ඇති බවයි. දූෂණ සිදු වී තිබෙනමුත්, එයින් සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් සිදු වී නොමැති බව මැතිවරණ නිරීක්ෂකයන්ගේ මතයයි. ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 35ක් හිමිව තිබේ. පාකිස්තාන් රජයේ ඉවසිලිවන්ත ප්‍රතිචාරය හමුවේ ඔහුගේ උද්ඝෝෂණය කිසියම් දුරකට අසාර්ථක වී තිබේ. දැන් ඔහු උත්සාහ කරන්නේ අත්අඩංගුවට පත් වීම තුළින් අරගලයෙන් ඉවත් වෙමින් සිය ජනප්‍රියත්වය රැක ගැනීමට යයි ඇතැම් විශ්ලේෂකයෝ පවසති. ඔහුත්, උල් කද්රිත් අතර මෙම උද්ඝෝෂණයේදී තියුණු බල අරගලයක් දක්නට ලැබේ.

පාකිස්තානයේ දේශපාලන අර්බුදයට හේතු ලෙස සැලකිය හැක්කේ දකුණු ආසියාව පුරා ම දක්නට ලැබෙන පොදු තත්වයකි. පවුල්වාදය, ඥාති සංග්‍රහ, ගජමිතුරු ධනවාදය, දූෂණ ආදියට එරෙහි ප්‍රබල හඬක් ජනතාව අතරින් මතු වෙමින් තිබේ. ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන නාගරික ජනගහණය අතරත්, විශේෂයෙන් ම තරුණ ජනයා අතරත් මෙම තත්වය දැකිය හැකි ය. දූෂණ දුරලීම, නීතියේ පාලනය යළි ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, පහපාලනය, මානව හිමිකම් ආදිය කෙරෙහි ජනතා නැඹුරුව වැඩි වෙමින් තිබේ. ජනතාව ඉල්ලා සිටින ආර්ථික වර්ධනය ඇති කිරීමට ධනේශ්වර ආණ්ඩු අසමත් ය.

මේ අතර, පාකිස්තානයේ මුල් බැසගෙන තිබෙන අවස්ථාවාදී දේශපාලනය තුළ නැවත නැවතත් දැකිය හැකි වන්නේ ජනතාවගේඅරගල දේශපාලකයන් විසින් බලය ලබා ගැනීමේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිතා කරන අන්දමයි.

පාකිස්තානය විසින් අපගේ ඇස් විවෘත කරවමින් තිබෙන වැදගත් දේශපාලන ප්‍රපංචයක් තිබේ. ඒ වනාහි ජනතාවාදී දේශපාලන අරමුණු සහිත අනාගමික දේශපාලන ව්‍යාපාරවල නායකත්වයෙන් තොර ජනතා අරගල අයාලේ යාම වළක්වා ගත නො හැකි බවයි.

ජනරළ 2014 -08 - 24

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

ඒ නිසා මං බ්ලොග් ලියනවා

පාඨකයන් පිවිසුණු පිටු සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවීම ගැන සතුටු ය.

මේ බ්ලොගය ආරම්භ කර දැන් වසර පහකි. W3Lanka නමින් පවත්වාගෙන ගිය පුවත් වෙබ් අඩවියට අනුබද්ධවයි මුලින් ම මෙය 2009 ජුනි මාසයේ ආරම්භ වුණේ. අපි W3Lankaවෙබ් අඩවිය පටන් ගත්තේ 2009 පෙබරවාරියේයි. එහෙත්, ආර්ථික ගැටලු නිසා එය පවත්වාගෙන යාම දුෂ්කර වුණා. දේශපාලන සංවාදය පවත්වාගෙන යන්න බ්ලොග්කරණය යොදා ගැනීම ගැන අපව උනන්දු කළේ බූන්දියෙන්.

මෙහි පළ වූ මුල් ම ලිපිය ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්

අවුුරුද්දක් ඇතුළත අපේ පිටු ලක්ෂයකට පාඨකයෝ පිවිසුණා.  ඒ වෙලාවේ මා තැබූ සටහන මෙහෙමයි:


පුවත්පතක් නැති පත්තරකාරයන්ගේ වසරක උදානය

“It often requires more courage to dare to do right than to fear to do wrong.”

– Abraham Lincoln

නිවැරදි දේ කිරීම සඳහා හැම විට ම වැරදි කිරීමට බිය වීමට වඩා ධෛර්යය අවශ්‍ය බව ඒබ්‍රහම් ලින්කන්ගේ ඉහත ප්‍රකාශයේ අදහසයි.

අපි දැන් මෙම මාධ්‍ය ව්‍යාපෘතියට වසරක් සපුරමින් සිටිමු. මෙය නිශ්චිත දිනෙක එළි දක්වන ලද්දක් නොවන හෙයින් අපට නිශ්චිත උපන් දිනයක් නැත.

මෙය ආරම්භ කළේ හා පවත්වාගෙන යන්නේ තනිකර ම ස්වේච්ඡා ශ්‍රමයෙනි.

අප මෙය ආරම්භ කරන විට මුද්‍රිත මාධ්‍යවල ඊනියා සංස්කාරකයන්ගේ ආධිපත්‍යයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර, වසරක් ගත වන විට පුවත්පතක් නැති පුවත්පත් කලාවේදීන් වන අපට මුද්‍රිත මාධ්‍ය සංස්කාරකයන්ගේ දඬුඅඬුවට අසු නොවී අදහස් ප්‍රකාශනයේ සීමිත ඉඩක් ලැබී ඇත.

ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා ජනමත නායකයන්ට විකල්ප අදහස් වෙත කිසියම් දොරටුවක් විවෘත කර දීමට අපට හැකි වී ඇතැයි අපි විශ්වාස කරමු.

එහෙත්, අපගේ සන්නිවේදනය දිළිඳු ජන කොටස් වෙත ළඟා කර ගත නොහැකි වීම පිළිබඳව අපි අදටත් කණගාටු වෙමු.

එහෙත්, නව මාධ්‍යයන්ගේ අනාගතය පිළිබඳ අපි සුබවාදී වෙමු. වේලාසනින් අවදි වූ කුරුල්ලන් පහසුවෙන් ආහාර සොයා ගනු ඇත.


අජිත් පැරකුම් ජයසිංහ,
සංස්කාරක, W3Lanka, Lanka Polity
මං හිතන්නේ අපි දැන් එදාට වඩා ජනතාවට සමීපයි. සිත් කලකිරවන තත්වයන් මැද ප්‍රතිපත්ති පාවා නොදී අල්ලාගෙන සිටීමේ හොඳකමක් හෝ ගොන්කමක් තිබුණු නිසායි එහෙම කරන්න පුළුවන් වුණේ. 

ලැබෙන අවස්ථා එක්ක අද වුණත් හිතෙනවා ප්‍රතිපත්ති අතහැර දැමුවොත් මීට වඩා ඵලදායී දෙයක් කරන්න පුළුවන් වේවි නේ ද කියලා. 

ලියන්න කාලය ගන්නත්, නිදහස් ලේඛකයකු ලෙස කාටවත් යටත් නොවී පවතින්නත්, ජීවිතය නඩත්තු කරගෙන යන්න ලොකු ආර්ථික අරගලයක් කරන්න ඕනැ. 

ආර්ථික වශයෙන් ඉතාම දුර්වල වූ අවස්ථාවක අපි මෙය පවත්වාගෙන යාම වැදගත් දෙයක් ය කියා හිතෙනවා නම් අපට උදව් කරන්නැයි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වෙලාවේ තමයි, මම ඇත්තෙන් ම දැන ගත්තේ මේක පවත්වාගෙන යන එක වැදගත් මට විතරයි කියලා. ඒ නිසා මමත් ඇරියෙ නැහැ. මම මට මාර විධියට උදව් කළා මේක පවත්වාගෙන යන්න. මං පරිවර්තකයෙක් වුණා. ඒක නිසානේ ඔබ වුණත් මෙහි ඇවිත් නිදහසේ බැනලා යන්නේ. 

සමහරු කියනවා මේ විකාර කමෙන්ට්කාරයන්ගේ ක්‍රියා නවත්වන්න කියලා. ඒත්, මම තාම ඒ ගැන ඉන්නේ දෙගිඩියාවෙන්. ඔවුන් හරවත් සංවාදයකට බාධාවක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් හැටි එහෙම නම් මොකද කරන්නේ? ඒ අය තමන් නිරුවත් කර ගන්නා හැටි වුණත් බලන එක රසවත්. 

අපි තවමත් කාටවත් විකිණුනේ නැහැ. හරි ආඩම්බරයි. ඒත් ඉතින් ඇති වැඩකුත් නැහැ. විකිණුනා නම් මීට වඩා දෙයක් කරන්නත් තිබුණා. අනේ මන්දා. 

කමක් නැහැ. අපි ප්‍රවර්ධනය කරන්නේ ජීවන විලාසයක්නේ. හැබැයි ඉතින් තනියෙම කරන්න පුළුවන් කොච්චර පොඩි දෙයක් ද? අර දුක දිනා ජය ගත් හපන්නු පස්සෙ කාලෙක කියනවනේ ඔහොම ඉන්නකොට හිටි ගමන් අලුත් පාරවල් පෑදුණු හැටි ගැන. ඉතින් මාත් හිතන් ඉන්නවා ඔහොම ඉන්නකොට කවුරුහරි මෙහෙම කියයි කියලා. “ඒයි පැරා, තමුසෙට පුළුවන් නේ ඔයිට වඩා වැඩක් කරන්න. අපි තමුසෙ ගැන බලා ගන්නම්. ලියනවා හොඳ කතාවක්."

එහෙම නැතිනම් එන්ජියෝ එකකින් ඇවිත් හොරෙන්ම මගේ ගිනුමට ඩොලර් කුට්ටියක් දාලා ගියොත් කොහොමද?

එහෙනම් මං ගහනවා පත්තරයක්. ලියනවා නවකතාවක්. කරනවා නාට්ටියක්. ගහනවා චිත්‍රපටියක්. අඳිනවා චිත්‍රත්. 

අද අපව පොළඹවා තිබෙන්නේ අන්න ඒ වගේ හීන දකින්න. ලොතරැයි ඇදෙනකල්, සුපර් ස්ටාර්ලා වෙනකල්, මහේලලා වෙනකල් අපි බලන් ඉන්නවා. අපට බැරි වුණාම අපි අපේ දරුවන්ව එහෙම කරන්න හදනවා. ඒත්, අපි වැඩි දෙනෙකුට ඒවා ලැබෙන්නේ නැහැ. 

අපි කාටත් යහපතක් වෙන්න නම්, අපි එකතු වෙලා යහපත් සමාජයක් ගොඩනගා ගන්න ඕනැ. ඒකට තමයි සමාජවාදය සඳහා අරගලය කියා කියන්නේ. 

මං කැමතියි අපි එකතු වෙලා යමක් කරමු ය කියා යෝජනා කරන සහෝදරයින්ට. ඒත්, අපට හමු වෙන්නේ “මල්ලි, ඔයා අපිත් එක්ක එකතු වෙන්න," ය කියන අයියලාවයි. 

මං එක්තරා අරාජිකවාදියෙක්. මට ඉස්සරහින් යන අයත් නැහැ. මම කාටවත් මගේ පස්සෙන් එන්න කියන්නෙත් නැහැ. ඒ කියන්නේ මට නායකයෝත් නැහැ. අනුගාමිකයෝත් නැහැ. වැඩේ කියන්නේ කවුරුවත් මාව සහෝදරයෙක් ලෙස පිළිගන්නෙත් නැහැ. 

හැමෝ ළඟම තිබෙනවා සාක්කු. සාක්කු නැති අය කාගේ හරි සාක්කුවකට බහිනවා. මට වෙලා තිබෙන්නේ සාක්කු මහගන්න උවමනාවකුත් නැහැ. කවුරුහරි සාක්කුවට රිංගන්න හදනකොට මට කිචි වගෙයි. මට කාගෙවත් සාක්කුවල ඉන්නත් බැහැ. මාර ලෙඩක්. 

ඒ නිසා මං බ්ලොග් ලියනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-20

ලොකු එවුන්ට ලොකු කොමිෂන් ය. පොඩි එවුන්ට පොඩි මෝටර් සයිකල ය.

අපේ බුදුන් අපි වැන්දා - සිරස නමා අපි වැන්දා
රජයේ සේවයේ වෘත්තීන් රැසක සේවකයෝ දිනපතා අසීමිත දුක් විඳගෙන පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් හෝ මෝටර් බයිසිකල්, පාපැදි වැනි වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් දිනපතා සේවයට පැමිණෙති. 

පෞද්ගලික අංශයේ සේවකයන්ට, ස්වයං රැකියා කරන්නන්ට හා වෙනත් ශ්‍රමිකයන්ට ද  ප්‍රවාහන ගැටලු තිබේ. 

මේ රටේ ආර්ථික ජීවනාලිය වන් මැද පෙරදිග ගෘහ සේවිකාවන්ට ආපසු ගෙදර යන විට මුදල් ගෙවා හෝ ආරක්ෂිතව යා හැකි ප්‍රවාහන සේවාවක් නැත. 

මේ කිසිවෙක් ගැන නැති අනුකම්පාවක් ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධයෙන් රජයට ඇත්තේ ඇයි?

පහත පළ වන්නේ අපගේ මිතුරකු විසින් රජයේ සේවයේ ක්ෂේත්‍ර රාජකාරි කරන නිලධාරීන් පිළිබඳව ෆෙස්බුක්හි පළ කරන ලද නිරීක්ෂණයකි. 


විශේෂ වැඩසටහන් හෝ විශේෂ රාජකාරි නොමැති විට පහත ක්ෂේත්‍රයන්හි රජයේ නිලධාරින් 'බහුතරය' සතියේ වැඩ කරන දින...... (මා වාසය කරන පළාතට සාපේක්ෂව)
1. ග්‍රාම නිලධාරින් - බොහෝවිට දින 3 හෝ 4 යි.
2. ආර්ථික සංවර්ධන නිලධාරින් - බොහෝවිට දින 2 ක් හෝ 3 යි.
3. සමෘද්ධි සංවර්ධන නිලධාරින් - බොහෝවිට දින 2 යි.
4. ගොවි නියාමක නිලධාරින් - බොහෝවිට දින 1 ක් හෝ 2 යි.
5. ප්‍රාලේ කාර්යාල/ගොවිජනසේවා කාර්යාල වැනි ඒවාට අනුයුක්ත වෙනත් ඇතැම් ක්ෂේත්‍ර නිලධාරින් - බොහෝවිට දින 2 ක් පමණ

(මේ සියළු නිලධාරින් ගැන නොවේ. ඉහත රැකියාවන්හි ඉතා කැපවීමෙන් සහ වැඩ නිර්මාණය කරගෙන පවා කරන නිලධාරින් සිටිති. මේ බහුතරය ගැනයි)

[ සංස්කරණය ]
(මෙය බොහෝ විට නිිලධාරින්ගේම වරදක් යයි නොකියමි. මන්ද බොහෝ ක්ෂේත්‍ර නිලධාරින්ට පැවරී ඇත්තේ ඉතා සීමිත රාජකාරි ප්‍රමාණයක් වීමය. මා දන්නා ඇතැමුන්ට ඇත්තේ වාර්ෂික උත්සව දෙකතුනක් සංවිධානය කිරීම පමණි. ඇතැමුන්ට ඇත්තේ වසරකට වරක් දෙකක් ලැබෙන සොච්චම් සහනාධාරයක් බෙදාදීමය. නමුත් මේ අයට අවශ්‍යනම් කරන්නට ඕනෑතරම් වැඩ ඇතිමුත් රජයෙන් ඒ සඳහා අවශ්‍යකරන පෙළඹවීම් කරන්නේ නැත)

මා දැක ඇති ආකාරයට ක්ෂේත්‍ර සේවාවේ වැඩිම වැඩ කොටසක් කරන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්. 

රජය තීරු බදු රහිතව වාහන ආනයනය කර ගැනීමට වරප්‍රසාද දී තිබෙන බොහෝ වෘත්තීන්වල තත්වය ද ක්ෂේත්‍ර නිලධාරි රැකියා වගේ ම ය. 

දේශපාලකයන් ගැන කතා කළ යුතු නැත. උන්ට ඇති වැඩකුත් නැත. හෙමින් ගමනකුත් නැත. 

අප පෙන්වා දෙන කරුණ මෙයයි. රාජපක්ෂ ආණ්ඩුව මෙහිදී තෝරාගෙන තිබෙන්නේ රජයේ සේවයේ සිටින දූෂිත ම පිරිසයි. රාජපක්ෂ පාලනයේ සුවිශේෂත්වය එයයි. ඔවුහු දූෂණය පහළ මට්ටම දක්වා ම විමධ්‍යගත කරති. පහළ මට්ටම දක්වා ම දූෂිතයන් දිරි ගන්වති. ඔවුන් ආරක්ෂා කරති. 

ඔවුන්ගේ ඡන්ද පදනම වන්නේ මේ දූෂිතයෝ ය. පිංපඩිකාර රස්සා කරන්නෝ ය. මහජන මුදලින් පොහොර, වතුර දමන, මඩ සෝදා ගත් කල රජකමට සුදුසු අය ය. කුලියට  මිනීමරන්නන්ගේ සිට කුඩු ඉරීම සඳහා වැලකින් රෙද්දක් හොරකම් කරන එකා දක්වා අපරාධකාරයෝ ය.

ලොකු එවුන්ට ලොකු කොමිෂන් ය. පොඩි එවුන්ට පොඩි මෝටර් සයිකල ය. 

දැන් මේ රට ම හොරු සමග හෙළුවෙන් ය. සුවිශේෂ වන්නේ රෙදි අඳින මිනිස්සු ය. 

මේ මෝටර් සයිකල් මිළ දී ගැනීම පසුපස ඇති කොමිස් ජාවාරම් ගැන ද කතන්දර තිබේ. ඒවා පැත්තකින් තියමු. 

ජනතාවනි, අර සමන්ත විද්‍යාරත්න කිව්වා වගේ දෙන දේ අරගන්න. මේ මහජන මුදල් ය. හැබැයි, ඔබේ දූ දරුවන් ජීවත් විය යුතු මේ රටේ අනාගතය ගැන හිතා කටයුතු කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-19

රා.ප.න.ක.දූ.ගැ.හො.පො. හෙවත් රාජපක්ෂ පවුලේ නමින් කරන දූෂණ ගැන හොයන පොලිසිය

රාජපක්ෂ පවුලේ නම විකුණමින් කරන ගසා කෑම් ගැන සොයා බලන්නට වෙනම පොලිස් ඒකකයක් පත් කර තිබේ.

රාජපක්ෂ පවුලේ ගසා කෑම් ගැන සොයන්නට නම් පොලිස් ඒකකයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒවා ගැන කතා කරලා වැඩක් නැත. 

රාජපක්ෂ පවුලේ අයට දෙන්නට යයි කියමින් පගා ඉල්ලන තත්වයක් රටේ නිර්මානය වී තිබෙන්නේ නිකම් නොවේ. රැකියා විරහිත රෝහිත රාජපක්ෂලා එක්ලක්ෂ පනස්දාහේ සපත්තු පළඳින්නේ ද, මේ රටේ යන එනමං නැතිව ඇමරිකාවේ පොඩි පොඩි රස්සාවලට ගිය සහෝදරයින් දැන් ලෝක මට්ටමේ ධන කුවේරයින් වී සිටින්නේ ද අන්න ඒ තත්වය තුළ ය. 

හොයනවා නම් හොයා ගනු. අද වන විට රජයේ හා රජයේ ව්‍යවසායන්ගේ රස්සාවක් අලුතින් ගන්නට පමණක් නොව, උසස්වීමක් ගන්නටත් දේශපාලකයන්ට පගා දිය යුුතු ය. ඇතැම් සාන්තුවර ඇමතිවරු පගා ගන්නේ පන්සල් හදන්නට, අරකට-මේකට කියා ය.

ඔය තරග විභාග අරවා මේවා දැන් තනිකර ම බොරු ය. රස්සා සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ ගෝල බාලයන් පවා කියන්නේ පවුලේ අයට කුට්ටිය දිය යුතු බව ය. 

අපි නො දන්න බිස්නස් ක්ෂේත්‍ර යේ තත්වය ඊට එහා ය. පවුලට හා ඇමති ඇම්බැට්ටයන්ට කුට්ටිය නොදී බිස්නස් එකක් කරන්නට බැරි බව ඒවා කරන අය කියති. 

සංවර්ධනය නමින් ගිනි පොළියට ගත් ණයෙන් කෙරෙන ඉදිකිරීම් කොන්ත්‍රාත් පසුපස තිබෙන්නේ කොමිස් කුට්ටි බව නොදන්නේ කවුරු ද? 

ඔය දැන් විමර්ශන කරන්නට යන්නේ ඒවා ගැන නොවේ. මරිසිකාරයන් විසින් දෙනු ලබන, සාපේක්ෂව පොඩි පහේ ගේම් ගැන ය.

රාජපක්ෂ පවුලේ නමින් ජාවාරම් කරන්නට විවිධ පුද්ගලයන්ට අවස්ථාව ලැබුණේ රාජපක්ෂ වුලේ ම වරදිනි. අවසානයේ ඒවා ගැන විමර්ශන කරන්නේ මහජන මුදලිනි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-18

සුද්දන් සුද්ද කිරීමේ සංචාරක ව්‍යාපාරය

ඉරිදා දිවයින පුවත්පතට තරංග රත්නවීර විසින් ලියන ලද මෙම ලිපිය රටේ සියලු පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුතු ය. (කියවන්න: මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?)

පසුගිය දිනෙක ඉතාලි හාම්පුතුන් සමග ලංකාවේ සංචාරය කළ මගේ විදේශගතව සේවය කරන මිතුරකු ද මෙහි සඳහන් කරුණ මට කීවේ ය.  ඔහු සඳහන් කළ එක් කරුණක් වූයේ කිසිදු සුවිශේෂත්වයක් නැති හෝටල් කාමර වෙනුවෙන් අය කරන අධික මිළ යුරෝපයේ ධනවතුන්ට පවා දරා ගත නො හැකි බවයි. 

ඒ සමගම ඔහු කී තවත් කරුණක් වූයේ දින කීපයක සංචාරයේදී භාණ්ඩ මිළ දී ගත් කඩ ඇතුළු විවිධ තැන්වලින් ඔහුට ලැබුණු කොමිස් මුදල රුපියල් ලක්ෂයකට අධික වූ බවයි. 

ලංකාව දැන් කොමිස්ලන්තයක් වී තිබේ. තමන්ට වාසියක් නැතිව, වෙනත් අයෙකු සමග සිනාසෙන්නටවත් දැන් අපේ රටේ මිනිස්සු සූදානම් නැත. 

මෑත වසර කීපය තුළ මේ රටේ දැවැන්ත සංස්කෘතික විපර්යාසයක් සිදු වී තිබේ. ආගන්තුක සත්කාරයට නම් දරා සිටි මේ රටේ මිනිස්සු දැන් ගල්කාසයන්, අංකූරන් ලෙස ලොවට හැඳින්වෙමින් සිටිති. 

බුලත් පයියට හෙණ ගැහුවාම හුණු කිල්ලෝටෙ ගැන හොයල වැඩක් ඇතැයි? 

අපේ දේශපාලන නායකත්වය ගැන කතා කරලා වැඩක් නැත. ආගමික නායකත්වය ඊට දෙවෙනි නැත. හොඳ දොල පිදේනියක් ලැබුණාම මහ නායකලාගේ මුඛ පූට්ටු වේ. සමාජය ඥානනය කරන අධ්‍යාපනඥයන් ය කියන්නේ ටියුෂන් මුදලාලිලා ය. ජනමාධ්‍ය හසුරුවන්නේ අඥාන අවස්ථාවාදියෝ කැලතකි.

එහෙම රටක මෙහෙම වෙන එක පුදුමයක් නොවේ. පුදුම විය යුත්තේ මෙහෙම ඉස්සරහට යන්නට ලැබුණොත් ය. 

පාලකයන් හිතන්නේ ලංකාවට සංචාරකයන් එන්නේ කොංක්‍රීට් බලන්නට ය කියා ය. ඔවුන් ඇත්තෙන් ම එන්නේ කොංක්‍රීට් එපා වෙලා ය. ඩුබායි, සිංගප්පූරුව වැනි සංචාරක පුරවර මහත් ආයාසයෙන් තම රටවල් කොළ පැහැ කර ගන්නට වෙහෙසෙති. අපි තිබෙන සුන්දරත්වය නැති කර ගන්නෙමු. 

ලංකාව උත්සාහ කළ යුත්තේ කොංක්‍රීට්වලින් අනෙක් රටවල් පරදා සංචාරකයන් ආකර්ශනය කර ගන්නට නොවේ. අපට සුන්දර පරිසරයක් තිබේ. බුද්ධිමත් හා මානුෂිකත්වයෙන් අඩු වුණත්, උගත් ජනතාවක් මෙහි සිටිති. ඔවුන් අනුගමනය කරන්නේ නායකයන් ලෙස පෙනී සිටින කකුළුවන්ව ය.

අපට හොඳ නායකත්වයක් අවශ්‍ය ය. මේ මුග්ධ පල් හොරුන් රැළ එළවා නො දැමුවොත් මේ රටට අනාගතයක් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-16

සුන්දර ඉංගිරිසි: ඔබ ඇපල් මලක් වාගේ

ගිය සතියේ ලියන්න පටන් ගත්ත ගැහැනු-පිරිමි-මල්-පලතුරු-සත්තු-ගම් ලිපියේ ඉතිරි කොටස තමයි අද ලියන්නේ. ගැහැනු, පිරිමි ගැන ලිව්වානේ. අද ඉතිරි ටික.

‘රෝස මලේ නටුවෙ කටු - වන බඹරෝ ඔහොම හිටූ' නම් ආනන්ද රාජකරුණා ලියූ ළමා ගීය නො දත් ළමයකු ලංකාවේ නැති තරම්. රෝස මල ලංකාවට ආවේ පිටරටින්. අපි ඒ මලට රෝස කියා නම තැබුවේත් ඉංග්‍රීසි වදනින්. මේ මලට ලතින් බසින් කියන්නේත් රෝසා කියායි.

රෝස පාට කියා පාටක් සිංහලට ආවේත් රෝස මල් නිසායි. අතීත සිංහල භාෂාවේ රෝස කියා පැහැයක් තිබුණේ නැහැ. තිබුණේ ළා රත් පාටයි. ජන වහරේ නා දළු පැහැය කිව්වේත් මේ පාටට තමයි.

ඇන්තූරියම්, ඕකීඩ් (උඩවැඩියා), බාබන්ඩේසි, කැනාස් (බුත්සරණ), ඩේලියා, ලිලී, රොබරෝසියා, මැයි මල් වැනි මල් වර්ග රැසක ම නම් අපි අරගත්තේ ඉංග්‍රීසි බසින්.

බාබන්ඩේසි කියන වචනය තත්භව වදනක්. ඒ මලේ නමේ සම්භවය දකුණු අප්‍රිකානු නගරයක් වන බාබටන්. අපි බාබටන් ඩේසි බාබන්ඩේසි කර ගත්තා.

අපි වදමලට සපත්තු මල කියන්න පටන් ගත්තේ ඉංග්‍රීසි shoe flower සිංහලට පරිවර්තනය කරගෙනයි.

අරලියා ගස් වැඩිපුර තිබෙන්නේ පන්සල්වල නිසා එය  temple tree ලෙස නම් වුණා. ඒ ගස් වවා තිබුණු ඉඩමක පිහිටි මන්දිරය Temple Trees ලෙස නම් වී පසුව සිංහලෙන් අරලියගහ මන්දිරය වුණා.

ඇපල් මලත් මෑත කාලයේදී සාහිත්‍යයට එකතු වුණා. මල් සිංදු රැල්ල අතරේ කැලුම් ශ්‍රීමාල් ‘ඔබ ඇපල් මලක් වාගේ - ලස්සන වසන්ත කාලේ' යි ලිව්වා. පෙයාස් කියන්නේත් සිංහලට තත්සම ස්වරූපයෙන් පැමිණි තවත් ඉංග්‍රීසි වදනක්. සිරිමා බංඩාරනායක ආණ්ඩුව කාලේ කලුතර දිස්ත්‍රික්කයේ ගාලු දිස්ත්‍රික් සීමාව ආසන්නයේ සිංහරාජ වනාන්තරය කපලා අපනයන භෝගයක් ලෙස පැෂන් ෆෘෘට් වැව්වා. මිනිස්සු මේවාට කිව්වේ පැසන්පුරුට් හෝ පැසන්පුට් හෝ පැෂන් කියා ය. ටික කාලෙකින් මේ පැසන්පුරුට් විකුණගන්න බැරිව ගියා. මතුගම ටවුමේ පැසන්පුරුට් ගොඩවල් හරකුන් කෑවා.

දැන් අලුත් පලතුරු ජාතියක් වවනවා. ඩ්‍රැගන් ෆෘෘට් කියලා. මකර පලතුරු. මැංගුස්, දුරියන්, රඹුටන්, අන්නාසි වැනි වදන් සිංහලයට එක් වුණේත් විදේශ භාෂාවලින්. 

පලතුරු සලාදයට ගමේ ගොඩේ මිනිස්සු පුස්සැලට් කියනවා.

කැරට්, බීට්, නෝකෝල්, ලීස් (ලීක්ස්), රාබු, ගෝවා, සලාද, පිපිඤ්ඤා වැනි එළවළු වර්ගවල නම් වගේ ම, මඤ්ඤොක්කා, අර්තාපල්, ආටිචෝක් වැනි අල වර්ගවල නම් ද සිංහලට ආවේ ඉංග්‍රීසි හා වෙනත් යුරෝපීය භාෂාවලිනුයි.

කැරැන් කියන නම ඒ වර්ගයේ මීවන ශාඛයට වැටෙන්න ඇත්තේ විදේශ ආභාසයකින් වෙන්න පුළුවන්. . 

ලංකාවේ නැති සතුන්ට අපි හදාගෙන තිබෙන නම්, ඒ සතුන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන නම් ය. සීබ්‍රා, ජිරාෆ් වගේ. ඒ වුණාට ලංකාවේ නැති ලයන් වෙනුවෙන් සිංහල භාෂාවේ වදනක් තිබෙනවා.

ලංකාවේ කොටියා සම්බන්ධයේ වාග් විද්‍යාත්මක මතභේදයක් තිබෙනවා. ලංකාවේ කොටි නැති බවත්, ඉන්නේ දිවියන් බවත් ඇතැමෙක් තර්ක කරනවා. එත්, ලංකාවේ හමු වන බිළාල කුලයට අයත් විශාල සත්වයා විද්‍යාත්මකව නම් කර තිබෙන්නේ Panthera pardus kotiya ලෙසයි. කොටි සංවිධානයේ ලාංඡනයේ ඉන්න සතාත්, ලංකාවේ ජීවත් වන කොටියාත්, එකම වර්ගයේ සත්තු නොවෙයි. කොටි සංවිධානයේ ලාංඡනයේ ඉන්නේ ව්‍යාඝ්‍රයා ය කියන්න පුළුවන්. පුල්ලි තිබෙන සතා කොටියායි. ඒකනේ අපේ ජන වහරේ තිබෙන්නේ ‘කැළේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ' කියලා.

ටිලාපියා ලෙස හැඳින්වෙන ලංකාවේ වැව්වල අලුතින් බෝ කළ මාළුවාට ධීවරයෝ තෙප්පිලි කියා නම තැබුවා. ගප්පි නම් අලංකාර ටැංකි මාළු වර්ගයට සිංහලෙන් ගබ්බි කියනවා. සාරි ගබ්බි කියාත් මාළු ජාතියක් ඉන්නවා. ගෝල්ඩ් ෆිෂ්ට සිංහලෙන් ගෝල්පිස් කියනවා.

මයිනා කියන කුරුළු නම ඇවිත් තිබෙන්නේ හින්දි භාෂාවෙන්. මේ පක්ෂියා එක්තරා විධියක ආක්‍රමණික පක්ෂියෙක් ලෙස හැඳින්වෙනවා. ලංකාවට පිටින් ගෙන්වපු කුරුල්ලෙක් වෙන්න පුළුවන්. ලංකාවෙන් ගිය මයිනෝ දැන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඉන්න බව මම අසා තිබෙනවා.

ලංකාවේ ජීවත් නො වුණාට ඔස්ට්‍රිච් කියන ලොව විශාලතම පක්ෂියාට සිංහල නමක් තිබෙනවා. ඒ පැස්බරා යන්නයි. පෙලිකන් පක්ෂියාට පැස්තුඩුවා කියා නමක් තිබෙනවා. මේ නම් ලංකාවේ පක්ෂි විශේෂඥයන් විසින් සකසන ලද වදන් ලෙස සැලකිය හැකියි. 

ගම්වල නම් කියනකොට අපට අලුත් ජනපදවල කොලනිය, ට්‍රැක් පහ, බී යාය වගේ ග්‍රාම නාම හමුවෙනවා . මට වරක් හමු වී තිබෙනවා, ඒ යායේ 'අහවල්' හිමි කියා නමක් තිබුණු හාමුදුරු නමක්.

ලංකාවේ සමහර නගරවලට වෙනම ඉංග්‍රීසි නම් තිබෙනවා. කන්ද යන අරුතින් ඉංග්‍රීසීහු කැන්ඩි කියා නුවරට කිව්වා. කලම්බු කොළඹ වුණා ද, නැතිනම් කොළඹ කලම්බු වුණා ද යන්න විවාදාපන්නයි. චිලව් කියන්නේ හලාවතට. බැටිකලෝ මඩකලපුව. ගැල්වල බඳින ගොනුන් සඳහා ගාලක් තිබුණු ගාල්ල ගෝල් වුණා. දෙවුන්දර ඩෙන්ඩ්‍රා වෙච්චි. හැබැයි පේදුරු තුඩුව වුණේ නම් පොයින්ට් පේඩ්‍රෝ කියන ඉංග්‍රීසි වදනයි. දෙමළෙන් මෙතැනට කියන්නේ පරුත්තිත්තුරෙයි කියායි.

මීගමුව කියන්නේ සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් මීගමුව, නීර්කොලම්බු හා නිගම්බු කියලා නම් තුනක් තිබෙන නගරයක්.

යාපනයට ජැෆ්නා කියනවා වගේ ඉස්සර සමහරු කලුතරට කැල්චුරා කිව්වත්, දැන් එය භාවිතාවෙන් ඉවත් වෙලා. මෙවැනි වදන් හැදුණේ ඉංග්‍රීසීන්ට සිංහලයන්ගේ ග්‍රාම නාම හරිියට උච්චාරණය කරන්න බැරි වීම නිසායි. ගාල්ලට ගෝල් කීවා වගේ කෑගල්ලට කේගෝල් කියාත්, තංගල්ලට ටැංගෝල් කියාත් කිව්වා. හැබැයි හැඩිගල්ලට කවුරුවත් හැඩිගෝල් කියන්නේ නැහැ. හේතුව සුද්දෝ එහි නො ගිය එකයි.

කොම්පඤ්ඤ වීදිය ආවේ පෘතුගීසි බසින්. ඒත්, එතැනට ම කියන ස්ලේව් අයිලන්ඩ් ආවේ ඉංග්‍රීසියෙන්. අලුත්කඩේට හල්ෆ්ට්ස්ඩෝප් කියා පටබැඳුණේ ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමේ ඉන්දීය අධ්‍යක්ෂ හල්ෆ්ට් සිහිගන්වන්නයි. ඔහුගේ මූලස්ථානය තිබුණේ මේ කඳු මුදුනේයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

අපි දැන් හරි පොහොසත්. පලස්තීනෙටත් ඩොලර් මිලියනයක් ම දුන්නෙ සල්ලි සල්ලි කියල බලන්නැතිව

පලස්තීනයට උදව් කළ යුතු ය. උදව් කළ යුත්තේ හමාස් හා වෙනත් අන්තවාදී සංවිධානවලට උමං හාරන්න, ආයුධ මිළ දී ගන්න හා ඊශ්‍රායලය සමග යුද්ධ කරන්නට නොවේ. එසේ ම යුද්ධය මුවාවෙන් ලැබෙන සල්ලිවලින් යුද ආර්ථිකයක් ගොඩනගා ගන්නට ද නොවේ.

පලස්තීනයට උදව් කළ යුත්තේ ඊශ්‍රායලය ද පවතින සංදර්භයක් තුළ ප්‍රශ්නයට ස්ථිරසාර දේශපාලන විසඳුමක් සොයන්නට ය. ඊශ්‍රායලයට ඇමරිකාව උදව් කළත්, ඊශ්‍රායල් රජය යුද අපරාධ කළත්, එරට ජීවත් වන්නේ ද මිනිස්සු ය. ඔවුහු ජීවත් විය යුතු ය. 

දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක පාරටම නින්දෙන් ඇහැරුණා සේ ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන්නේ කාගේ අප්පාගේ බූදලයෙන් ද? මේ සඳහා කැබිනට් අනුමැතියවත් ලබා ගෙන තිබේ ද?

2008, 2009 වකවානුවේදී වන්නියේ ජනතාව ද සිටියේ අද ගාසා තීරයේ පලස්තීනුවන් වගේ ම ය. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් අනාථ කවුරුවල ය. යළි පදිංචි කරන ලද යුද්ධයෙන් වැනසුණු ගම්බිම්වල මූලික පහසුකම් ද හිඟ ය. අන්න ඒක තමයි ආශ්චර්යය. අපි ඊශ්‍රායලය වගේ වැඩ කරමින් පලස්තීනයට අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සු, හසන්ත මහත්තයෝ. ඒක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරන්නා වගේ.

මේ අතර ලංකාවේ භූමියෙන් සුවිසල් පංගුවක මහා නියඟයකි. එය ඉතිහාසයේ දරුණු ම නියඟයන්ගෙන් එකක් වුවත් රජයට කිසි ගානක් නැත. ආණ්ඩුව සිතාගෙන ඉන්නේ පිරිසිදු පානීය ජලය අවශ්‍ය නගර වැසියන්ට පමණක් ය කියා ය. නගරවලට පානීය ජලය ලබා දෙන්නට බදු ගෙවූ ගම්වල වැසියෝ අද දිය පොදක් අයදිමින් හිස් බැල්මෙන් බලා සිටිති.

මේ අතර රජය කොංක්‍රීට් කොන්ත්‍රාත් කොමිස් ජාවාරමින් නගර වැසියන්ගේ ඇස් ගිනි කණ වට්ටමින් සිටියි. ගමින් නගරයට එන පිපාසිත මිනිස්සු ඒවායේ වතුර මල් බලා සතුටු වෙති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-14

එබෝලා ලංකාවට එයිද?

ගිනියාවේ එබෝලා රෝගියකුගේ මළ සිරුරක් ඉවත් කරන දේශ සීමා නැති වෛද්‍යවරු සංවිධානයේ ක්‍රියාකාරිකයෝ
එබෝලා යනු මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවකි. එබෝලා පැතිරෙමින් තිබෙන ලයිබීරියාව නම් අප්‍රිකානු රටේ සේවය කරමින් සිටි ලාංකිකයන් 200ක් ආපසු ගෙන්වා ගන්නා ලංකාව කටයුතු කළා. මේ දිනවල එබෝලා පැතිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා.

මොකක්ද මේ එබෝලා? එබෝලා රක්තපාත රෝගය නමින් හැඳින්වෙන මෙම රෝගය වයිරස් ආසාදනයක්. එය කෙතරම් භයානක එකක් ද කියනවා නම් මරණ අනුපාතිකය 90%කට වැඩියි. ඒ කියන්නේ වැළඳුනොත් 90%ක් ම ඉඩ තිබෙන්නේ මිය යන්නයි.

එබෝලා වයිරසයේ ප්‍රභේද පහක් හඳුනාගෙන නම් කර තිබෙනවා. දැනට රෝය පැතිරෙමින් තිබෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ වුණත්, මෙම වයිරස් ප්‍රභේද අතරින් එකක් චීනයේ හා පිලිපීනයේත් සතුන් අතර පැතිර තිබෙනවා. එය මිනිසුන්ටත් බෝ විය හැකි වුණත්, තවම මරණ වාර්තා වී නැහැ.

එබෝලා මිනිසුන්ට බෝ වන්නේ පලතුරු වවුලන්, වඳුරන්, චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි වන සතුන්ගෙන්. එහෙත්, එය මිනිසුන් අතර පැතිරුණු පසු මිනිසාගෙන් මිනිසාට ස්පර්ශයෙන් බෝ වෙනවා.ආසාදිතයන්ගේ ලේ, සෙම්-සොටු වැනි තරලයන් මගින් වෙනත් අයට රෝගය බෝ වෙනවා. රෝගය වැළඳුණු අය දැඩි සත්කාර ලැබිය යුතුයි. සුව වූ අයත් සති හතක පමණ කාලයක් රෝගය බෝ කරන වාහකයන් ලෙස කටයුතු කරනවා.

එබෝලා වසංගත තත්වයකදී නිසි පරිදි අසාදන පාලනයකින් කටයුතු නො කළොත් සෞඛ්‍ය සේවකයන් දැඩි අනතුරුදායක තත්වයකට පත් වෙනවා.

මේ වයිරස් ආසාදනය සුව කිරීම සඳහා හෝ රෝගය වළක්වා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් තවම සොයාගෙන නැහැ.

එබෝලා මුලින් ම වසංගතයක් ලෙස පැන නැගුණේ 1976දී සුඩානයේ හා කොංගෝවේයි. රෝගය පැතිරුණු එක් ප්‍රදේශයක් පිහිටා තිබුණේ කොංගෝවේ එබෝලා නදිය අසබඩයි. වයිරසයට එබෝලා යන නම පටබැඳුණේ ඒ නිසායි.

ක්ෂණික තද උණ, අධික දුබලකම, මස් පිඬු වේදනා, උගුරේ වේදනාව තමයි මූලික ලක්ෂණ. ඉන පසු වමනය, පාචනය, සමේ කුෂ්ට, වකුගඩු හා අක්මා ක්‍රියාකාරිත්වය බිඳවැටීම හා ඇතැම් විට බාහිර මෙන් ම අභ්‍යන්තර රුධිරය වහනය වීම් ද දක්නට ලැබෙනවා. රුධිරයේ සුදු රුධිරාණු හා පට්ටිකා පහත වැටෙනවා. අක්මා එන්සයිම ඉහළ යනවා. රුධිරයේ හා අනෙකුත් තරලවල වයිරසය පවතින තාක් කල් රෝගීන් වාහකයෝ වෙනවා. රෝගය මතු වී දින 61කට පසුවත් රෝගීන්ගේ තරලවලින් වයිරසය සොයාගෙන තිබෙනවා.  ආසාදනය වී දින දෙකත් 21ත් අතර කාලය තුළ රෝගය ඉස්මතු වෙන්න පුළුවන්. රෝගීන් විජලනයට පත් වීමේ අනතුරට මුහුණ දෙනවා. රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ.

මෙවර එබෝලා වසංගතය පැතිර යමින් තිබෙන අප්‍රිකානු රටවල් අතරින් දරුණු ම තත්වය තිබෙන්නේ සියරා ලියෝන්හි ය. අගෝස්තු 12 ව විට එහි රෝගීන් 700කට වඩා වාර්තා වී තිබුණා. ලයිබීරියාවෙන් 600ක් පමණ රෝගීන් ද, ගිනියාවෙන් 500කට වඩා ද රෝගීන් වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, හඳුනා ගත් රෝගීන් 1848ක් අතරින් 1013ක් ම මිය ගොස් තිබෙනවා.

ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියාවේ තත්වය ඉතා දරුණුයි. ජලය හා සනීපාරක්ෂක පහසුකම් අඩු, අධික ජනගහණයක් ජීවත් වන නගරයක් වන මොන්රෝවියාවේ මේ වන විට මහ මග මළ සිරුරු කුණු වී යන තත්වයක් ඇති වී තිබෙනවා. සෞඛ්‍ය සේවකයන් 40කට වඩා රෝගයට ගොදුරු වී තිබෙනවා. මේ වන විට රෝහල් නිසි පරිදි පැවැත්වෙන්නේත් නැහැ.

මේ රටවල සෞඛ්‍ය පහසුකම්වල තත්වය සිතා ගන්න පහත සඳහන් කරුණ ප්‍රමාණවත්. ලයිබීරියාවේ 42 ලක්ෂයක් ජනතාවට වෛද්‍යවරුන් ඉන්නේ 250ක් පමණයි. ලයිබීරියාව බටහිර අප්‍රිකාවේ වෙරළබඩ පිහිටි වර්ග කිලෝමීටර් 111, 369ක් විශාල වන, ලංකාවට වඩා ලොකු රටක්. ඝර්ම කලාපීය දේශගුණයක් තිබෙන ඒ රටේ 40%ක් පමණ භූමිය ආවරණය වී තිබෙන්නේ ඉහළ ගිනියානු වැසි වනාන්තරයෙනුයි. මේ කාලය ලයිබීරියාවේ වැසි කාලයයි.

ලයිබීරියාව කියන්නේ 19වන සියවසේදී ඇමරිකාව විසින් බිහි කරන ලද රාජ්‍යයක්. නැව්වලින් හා වෙනත් සේවාවන්ගෙන් මුදා හරින ලද කළු ජාතික වහලුන්ව පදිංචි කිරීමෙනුයි ලයිබීරියාව අලුතින් ජනාවාස කළේ. එහි ස්වදේශික අප්‍රිකානු ගෝත්‍රික ජනයාත් ජීවත් වුණා. අලුතින් පදිංචි කරන ලද ජනතාව 1847දී ඇමරිකා ස්වරූපී රාජ්‍යයක් පිහිටුවා ගත්තා. එහි අගනුවර මොන්රෝවියාව ලෙස නම් කර තිබෙන්නේ එක්සත් ජනපදයේ පස්වන ජනාධිපති වන ජේම්ස් මොන්රෝ සිහිපත් වන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක රටක් වන සංවර්ධනය වෙමින් පැවති ලයිබීරියාවට කණ කොකා හැඬුවේ 1980 හමුදා කුමන්ත්‍රණයෙන් පසුවයි. එතැන් සිට ඇති වූ සිවිල් යුද්ධවලින් 250,000ත් 300,000ත් අතර ජනගහණයක් මිය ගියා.

ලයිබීරියාව වටා පිහිටා තිබෙන රටවල් වන්නේ සියරා ලියොන්, ගිනියා හා අයිවරි කෝස්ට් ය. මුලින් කී රටවල් දෙකත් මේ වන විට එබෝලා වසංගතයෙන් බැට කමින් තිබෙනවා.සියරා ලියෝන්හි ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් දෙදෙනෙක් ද එබෝලා රෝගීන්ට ප්‍රතිකාර කරද්දී රෝගය වැළඳීමෙන් මිය ගියා. නයිජීරියාවට ගිය ලයිබීරියානු රාජ්‍ය තාන්ත්‍රිකයකු එහිදී මිය ගියා. ඔහුගෙන් නයිජීරියාවටත් එබෝලා පැතිරුණා.

එබෝලා ලෝක වසංගතයක් වෙන්නට ඉඩ තිබෙනවා. මේ වන විට සවුදි අරාබියෙන් හා ස්පාඤ්ඤයෙන් ද එබෝලා මරණ වාර්තා වී තිබෙනවා. සවුදි අරාබිය කියන්නේ ලාංකිකයන් විශාල පිරිසක් ඉතා දිළිඳු හා අනතුරුදායක රැකියාවල නියැලී සිටින රටක්. එවැනි රටක රෝගය පැතිරුණොත් මුලින් ම අනතුරට පත් විය හැකි පිරිස් අතර ලාංකික විදේශ ශ්‍රමිකයෝ ඉන්නවා. 

(ලිපිය ලියූ පසු එළි දුටු වාර්තාවකට අනුව සියරා ලියොනයේ සිට පැමිණි පසු සවුදි අරාබියේදී මිය ගිය පුද්ගලයාට එබෝලා වැළඳී නැති බව වාර්තා වෙනවා.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-13

රූපලාවන්‍යය හා සමාජවාදය

ලස්සන වෙන්නට ශල්‍ය කර්මයක් කරන්නට ගිය වෛද්‍යවරියක කණගාටුදායක මරණයකට මුහුණ දී තිබේ.

මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හරියට මේ දොස්තරවරිය වනචර වැඩක් කරන්නට ගොස් අනතුරට පත් වුණා වගේ ය. අදාළ වෛද්‍යවරයා ගබ්සා කරනවා වැනි  වැඩක් කළා වගේ ය.

කවුරුත් ලස්සනට ඉන්නකොට ලෝකය ලස්සන ය. විශේෂයෙන් ම ගැහැනුන් ලස්සනට ඉන්න එක හොඳ ය. මන්ද, පිරිමි දර්ශනකාමුකයෝ ය.

ලස්සන කියන එක අර්ථකථනය කර ගන්නා ආකාරය පිළිබඳ යම් ගැටලු තිබේ. උදාහරණයක් ලෙස සුදු, හීන්දෑරි ගැහැනු ලස්සන ය යන බටහිර අධිපති ආකල්පය රූප සුන්දරී තරග වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ලෝකය පුරා ම පතුරුවමින් තිබේ.

කළු මහත ගැහැනුත් ලස්සන ය. අමතර මේද ටිකක් තිබෙන එක මහා අවලස්සනක් නො වේ.

කළු පාටත්, මහතත් කැත ය කියා භීතියක් සමාජය තුළ ඇති කරනු ලැබේ. ඒ භීතිය විසින් ඇති කරන වෙළඳපොළට ෆෙයාරැන් ලව්ලි, නිමල් ගමගේ හා තවත් විවිධ වෙළඳ කටයුතු ආදේශ වේ. ඔවුන්ගේ අරමුණ ලාභ ඉපැයීමයි.

තරබාරුකම හා සම්බන්ධ නිරෝගීකම පිළිබඳ ප්‍රශ්නයේදී නම් කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් පවත්වාගෙන යාමයි.ඒ සඳහා ව්‍යායාම කළ යුතු ය. ආතතියෙන් තොරව, හැකි තරම් සොබා දහමට සමීපව ජීවත් විය යුතු ය.

ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය යහපත් සෞඛ්‍යයටත්, සුන්දර රූපයටත් බාධාවකි.

එසේම, සුදු කෙට්ටු ගැහැනු ලස්සන ය යන රූපය පිළිබඳ ධනේශ්වර ආකල්පය පැතිරවීම හා රූපලාවන්‍ය කර්මාන්තය අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම ද ධනවාදයේ වැඩකි. එය මිනිස් පැවැත්ම අර්බුදයට පත් කර ඇත. 

ධනේශ්වර ජීවන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් අධික ලෙස පරිභෝජනයේ හා ආතතික ජීවිතයේ ප්‍රතිළුලයක් ලෙස උදරයේ එ්කරාශී වන මේද ස්ථරයන් ඉවත් කර ගන්නට මිළ අධික සැත්කම් කළ යුතු ය. ඒ සල්ලි හොයන්නට නැවත අර ජීවිතයට ම යා යුතු ය. මෙය විෂම චක්‍රයකි. 

සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම සමාජවාදය සඳහා අනවරත අරගලයේ කොටසක් බව අප කියන්නේ ඒ නිසා ය. 

රූපලාවන්‍යය ගැන සමාජවාදී සංවාදයක් වෙනුවෙන් මේ කරුණු සැලකිල්ලට ගන්න. 

සමාජවාදය යනු රූපලාවන්‍යයට විරුද්ධ දෙයක් නො වේ. එසේම රූපලාවන්‍යය ධනවාදයේ නිර්මානයක් ද නො වේ. රූපලාවන්‍ය කර්මාන්තයක් ඈත අතීතයේ සිට ම පැවතිණි. ධනවාදය අනෙකුත් සියලු දේ මෙන් ම එය ද මිනිසුන් සූරා කෑමේ මාර්ගයක් කර ගෙන තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-08-12

සහෝදරයින්ගේ සහෝදරකම හා ජේ.ආර්.ලාගේ මොකක්ද එක

පසුගිය දිනවල මගේ සිත් ඇද ගත් තීරු ලිපියක් හා සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධවයි මෙය ලියන්නේ. මේ ලිපි දෙක එකිනෙකට සම්බන්ධ නැහැ.

හේමන්ත වර්ණකුලසූරියගේ තීරු ලිපියක ඔහු දිග කතාවක් කියනවා. එහි අරමුණ ජේ.ආර්.ගේ ගුණ වැනීමයි.

ආර්.පී. විජේසිරි කියන්නේ 1977 මහ මැතිවණයේදී හාරිස්පත්තුව බහු ආසනයට ස්වාධීනව තරග කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ මන්ත්‍රීවරයෙක්. ඊට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් ඩඩ්ලිගේ පැත්තේ සිට ජේ.ආර්.ට විරුද්ධව සටන් කළ කෙනෙක්.

මේ ආර්. පී. විජේසිරිට 1977 මහ මැතිවරණයේදී ආසනයක් දිනා ගන්නට හැකි වුණේ ඔහු උඩරට අඩු වරප්‍රසාදිත කුලයක් වූ පන්න දුරාව කුලය නියෝජනය කළ නිසායි.

එක් අවස්ථාවකදී විජේසිරි ප්‍රසිද්ධ රැස්වීමකදී ජේ.ආර්.ට තිත්ත කුණුහරුපෙන් පලු පැලෙන්න බනිනවා. රැස්වීම වාර්තා කළ පොලිස් නිලධාරියා මෙම කතාව පටිගත කර ගනිමින් වාර්තා කර ගන්නවා. පසුව විජේසිරිට විරුද්ධව මහනුවර මහාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ජනාධිපතිට අපහාස කිරීම සම්බන්ධව.

විජේසිරි වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයකු පවා සොයා ගත නො හැකිව සිටියදී ඔහු වෙනුවෙන් පෙනී සිටින දැන් ජනාධිපතිගේ නීති උපදේශක ඩී. එස්. විජේසිංහ නීති තර්කයක් ගෙන එනවා, අපහාසයේ වින්දිතයා විසින් කරන ලද පැමිණිල්ලක් නොමැතිව අපහාස නීතිය යටතේ නඩුවක් පවරන්නට බැරි ය කියා. මෙම තර්කය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළත්, පසුව අභියාචනාධිකරණය එය පිළි ගන්නවා. විජේසිරි නඩුවෙන් නිදහස් වෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා කරන්න හදද්දී ජේ. ආර්.ගේ ඉල්ලීම පිට එය නතර කරනවා. අක්කෝස සූත්‍රය උපුටා දක්වමින් ජේ. ආර්. කියන්නේ විජේසිරි තමන්ට කළ අපහාසය ඔහුට ම ආපසු යනු ඇති බවයි.

පසු කාලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී සභාවෙදී අනුර බංඩාරනායක විජේසිරිගේ කුලය මතක් කර ඔහුට අපහාස කරනවා. හාරිස්පත්තුව ආසනයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස් වන විජේසිරි පසුව කුණ්ඩසාලේ අතුරු මැතිවරණයට තරග කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. වැඩේ කියන්නේ ඒ සඳහා ඔහුට ආරාධනා කරන්නේ ජේ.ආර්. වීමයි.

මේ මැතිවරණයේදී විජේසිරිගේ ප්‍රතිවාදියා වුණේ එවකට තරුණ දේශපාලන නායකයකු වූ දි.මු. ජයරත්නයි. ඡන්දය පරදින්නට යන බව දැනුණු විජේසිරි ජේ. ආර්.ගෙන් ඉල්ලා සිටිනවා රැස්වීම් කීපයක් අමතන්නැයි කියා. ජේ. ආර්. කුණ්ඩසාලේ දවස් කීපයක් රැඳෙමින් රැස්වීම් අමතනවා. කවුරු වෙනුවෙන් ද? තමන්ට තිත්ත කතාවෙන් බැන වැදුණු විජේසිරි වෙනුවෙන්. අවසානයේදී විජේසිරි විශිෂ්ට අන්දමින් කුණුඩසාලයේ අතුරු මැතිවරණය දිනනවා.

දෙවෙනි අදහස ලයනල් බෝපගේ ගේ සම්මුඛ සාකච්ඡාවක තිබුණු එකක්. ඔහු කියන පරිදි ධනේශ්වර දේශපාලකයන්ට අර ජේ.ආර්.ලාට විජේසිරිලාට වගේ සමගි වෙන්නට තිබුණු හැකියාව වාමාංශිකයන්ට නැහැ.

ඔහු පෙන්වා දෙන පරිදි ලෝකයේ ම වගේ වාමාංශිකයන්ගේ පරම සතුරන් වන්නේ තමන් සමග සිට වෙන් වී ගිය අයයි. මේ සතුරුකම කෙතරම් ද කියනවා නම්, වාමාංශිකයන්ගේ පංති සතුරා සමග තිබෙන සතුරුකමට වඩා තමන් ළඟ සිට වෙන් වී ගිය අය සමග තිබෙන සතුරුකම ප්‍රබලයි.

මෙය හරිම විපරීත තත්වයක්. කලක් අමුඩෙයි පුකයි වගේ හිටපු සහෝදරයින් පසුව පෙනෙන්නේ නයාට අඳුකොළ වගෙයි. කතා කරන්නේ නැහැ. මූණ බලන්නේ නැහැ. දැක්කාම දත් මිටි කනවා. මරලා හිරේ යන්න තිබෙන බය නිසා ඉවසනවා.  නැතිනම් මාළු කනවා.

උදාහරණ හැටියට බාහුට වාසු වගේ. විජේ ඩයස්ට සුචරිත ගම්ලත් වගේ. ටිල්වින්ට විමල් වගේ. විමල්ට උදය කුමාර වගේ. දීප්තිට නිර්මාල් වගේ. ජවිපෙට පෙරටුගාමී පක්ෂය වගේ.

මෙහිදී මුලින් කියවෙන නම් තිබෙන අයට වඩා දෙවනුවට කියවෙන නම් තිබෙන අය මේ වෛරී ලක්ෂණය පෙන්වන්නේ අඩුවෙන්. එත් ඔවුන්ගේත් පැවැත්ම රඳා පවතින්නේ මුලින් නම සඳහන් කළ පාර්ශ්වය මත ම තමයි.

මේ හා සමාන තවත් මිනිස් ලක්ෂණයක් වන්නේ යාළු වෙලා ඉඳලා තරහා වෙන පෙම්වතුන් එකිනෙකාට වෛර කිරීමයි.

ඒත්, මිනිස්සු සංස්කෘතිකමය වශයෙන් දියුණු වන විට එකිනෙකා මත බලය පැතිරවීම වෙනුවට සාධාරණත්වය මත පදනම් වූ නිදහස් මිනිස් සම්බන්ධකම් වඩා වැදගත් බව තේරුම් ගන්නවා. එතකොට එක්ව ඉන්න බැරිව වෙන් වූ සගයන් සමග සම්බන්ධය ප්‍රතිඅර්ථකථනය කර ගන්න පුළුවන්.

සාමාන්‍ය මිනිස්සුන්ට කර ගන්නට පුළුවන් මේ දෙය වාමාංශිකයන්ට කරගන්න බැරි ඇයි? ඔවුන් අසාංස්කෘතික නිසා ද? තමන් ඉතිහාසය විසින් බිහි කරන ලද යුග පුරුෂයන් යයි සිතීමත් මේ අසාංස්කෘතිකකමේ ම ලක්ෂණයක්.

මම ශාස්තෘෘ නවකතාවේ මෙය හැඳින්වූයේ සමාජ භින්නෝන්මාදයක් ලෙසයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com