2014-12-31

ජනාධිපතිවරණයේදී ඡන්ද වර්ජනයකට යන්නට කොටින්ට පුළුවන් ද?

සුළු ජාතික දේශපාලන පක්ෂ අතරින් ලංකා ‍කම්කරු කොංග්‍රසය හැරුණු විට මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිතවාදී ස්ථාවරයකට පැමිණ සිටින්නේ කොටි සංවිධානය, කොටින් අනුගමනය කරන දෙමළ ඩයස්පෝරාවේ කොටස් හා හා ඔවුන් සමග සම්බන්ධ ලංකාවේ කණ්ඩායම් පමණි.

2010දී පරාජයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දිනෙක ටැමිල්නෙට් වෙබ් අඩවියට සිය ස්ථාවරය හෙළිදරව් කරමින් අඟවා ඇත්තේ දෙමළ ජනතාව 2005දී මෙන් මෙවර ද ඡන්දය වර්ජනය කළ යුතු බවයි.

2005දී ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජය ගත්තේ කොටි සංවිධානයේ මැතිවරණ වර්ජනය හේතුවෙනි.

එහෙත්, කොටි සංවිධානයට 2005දී මෙන් සාර්ථක අන්දමින් මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් දියත් කිරීමේ හැකියාව ලංකාවේ භෞතිකව නැත. එසේම, කොටි සංවිධානය එවැන්නක් දියත් කළ හැකි මට්ටමට ක්ෂණිකව ඔසවා තබන්නට සමත් කුමන හෝ ජගතෙක් ද නැත.

එහෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ඔප්ෂන් එක අතහරිනු ඇතැයි සිතන්නට බැරි ය. මේ පිළිබඳ මැතිවරණ නිරීක්ෂක සංවිධාන හා ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළ යුතු ය.

සියලු දේශපාලන පක්ෂ උතුරේ සාධාරණ ඡන්දයක් වෙනුවෙන් සටන් කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-30

සෑම සිංහලයන් 10දෙනෙකුගෙන් ම හයදෙනෙක් මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙයි ද? නො දුන්නොත් මහින්ද පරාදයි

දැනට සුළු ජාතික ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටින්නේ තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය පමණි. මේ රටේ සුළුතර ප්‍රජාවන්ට 25%කට වැඩි ඡන්ද පදනමක් තිබේ. දැනට පවතින පෙළගැස්ම අනුව ලංකාවේ සුළුතර දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ ඡන්දවලින් මහින්ද රාජපක්ෂට 20%ක් ලබා ගන්නට හැකියාවක් නැත. අඩුම වශයෙන් 80%ක් පමණ ඡන්ද මෛත්‍රීපාලට ලැබෙනු ඇත. එය සමස්ත ඡන්දවලින් 20%ක් පමණ වේ. සියයට පනහේ බහුතරය ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් 30%ක් පමණි. 

රටේ බහුතර ප්‍රජාව වන සිංහලයන්ගේ ප්‍රතිශතය 75%ක් පමණ වේ. එම ජනගහණයෙන් 40%ක ප්‍රතිශතයක් ලබා ගත්තත් මෛත්‍රීපාල සිරිසේනට 50% ඉක්මවා යා හැකි ය. 

පසුගිය පළාත් සභා මැතිවරණ නවයේ ම ප්‍රතිඵල සලකා බැලූ විට එක්සත් ජාතික පක්ෂය තනිව 26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණ අද විපක්ෂය සමග සිටියත්, මෙම පළාත් සභා මැතිවරණවලදී ඔවුන් සිටියේ ආණ්ඩුව සමගයි. එම පක්ෂ අතහැර අද මෛත්‍රීපාල සමග සිටින දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්,  විපක්ෂයේ සිටින ජවිපෙත් මෙම පළාත් සභා මැතිවරණ නවයේදී 44%ක් ඡන්ද ලබා ගත් හ. ඒ ආණ්ඩුවට වාසිදායක කොන්දේසි තිබියදී ය.  හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලට හා මෛත්‍රීපාල සිරිසේන සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ආ පිරිස්වලට ඉතිරි 6% ලබා ගත නො හැකි ද? 

මහින්ද රාජපක්ෂ ජයගැනීමට නම් සිංහල ඡන්දවලින් 60%ක් ඉක්මවා ඡන්ද ලබා ගැනීමට සිදු වේ. මෙය ඔහුට කළ හැකි වේ ද? අද ඔහු උපරිමයෙන් ජාතිවාදය අවුළුවමින් සිටින්නේ මේ ඉලක්කය වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔහු සුළු ජාතික ඡන්ද අතහැර දමා තිබේ. එහෙත් සිංහලයන් අතරින් එතරම් ඡන්ද සංඛ්‍යාවක් ඔහුට ලැබෙනු ඇතැයි ඔබට නිරීක්ෂණය කළ හැකි ද? උපරිම වශයෙන් බැලුවත් ඔහුට සිංහල ඡන්දවලින් 50%කට වඩා ලබා ගත නො හැකි ය. 

අනෙක් පැත්තෙන් ඔහුට සුළු ජාතික ඡන්දවලින් 20%ක් ලබා ගැනීම පවා අද පවතින තත්වය තුළ ඉතා දුෂ්කර ය. 

උපරිම වාසිදායක තත්වයක් තුළ කඩින් කඩ පවත්වන ලද පළාත් සභා නවයේ මැතිවරණවල ප්‍රතිඵල එකතු කර බැලුවත් ආණ්ඩුව ලබාගෙන තිබෙන්නේ 54%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඒ හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණත් සමග ය. දැන් මහින්ද රාජපක්ෂට ඒ කිසිවෙකු නොමැතිව 50% ඉක්මවා යන්නට හැකි ද?  

මෙම පළාත් සභා මැතිවරණවලදී ඡන්දය දුන් ප්‍රතිශතය 66%ක් විය. ජනාධිපතිවරණයකදී මෙය 75%ක් දක්වා වැඩි විය හැකි ය. 

යුද ජයග්‍රහණයෙන් පසු 2010දී පැවති මහින්ද රාජපක්ෂට වාසිදායක වූ ජනාධිපතිවරණයේදිත් ඔහුට ලබා ගත හැකි වූයේ 57.88%ක් පමණි.  

මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය අති දුෂ්කර ව්‍යායාමයකැයි අප කියන්නේ ඒ නිසා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

උදේ ගම්මන්පිලට අනුව මහින්ද රාජපක්ෂ පරාද වන හැටි

උපුටා ගැනීම 2014 ඔක්තෝබර් මාසේ මව්බිමෙනි. මේ කෑල්ල විශේෂයෙන් කියවන්න. 

ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%කි. සිංහලයන් 75%කි. එම සුළු ජාතික ඡන්දවලින් 80%ක් එජාපයට ලැබුණහොත් එය සමස්ත ඡන්දවලින් 20%කි. එසේනම් 50% ජය කණුව ඉක්මවීම සඳහා සමස්ත ඡන්දවලින් 30%ක් හෙවත් සිංහල ඡන්දවලින් 40%ක් ලබා ගත යුතු ය. 

මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ම ගියත් මෛත්‍රී හා මහින්ද දෙන්නා සමාන මට්ටමක. දැන් තිබෙන තත්වය අනුව ඔබ සිතනවාද මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම දහදෙනෙකුගෙන් ම හයදෙනෙක් මහින්දට ඡන්දය දෙයි කියා හිතනවා ද? 

අනෙක් පැත්තෙන්, සුළු ජාතික පක්ෂ බහුතරයක් මෛත්‍රීට සහාය දක්වන වර්තමාන තත්වය තුළ ඔබ සිතනවා ද මහින්දට සුළු ජාතික ඡන්දවලින් 25%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම සුළු ජාතිකයන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් ම මහින්දට ඡන්දය දෙයි කියලා ඔබට සිතන්න පුළුවන් ද? 

ඌවේ ඡන්දයෙන් පසු උදය ගම්මන්පිල මේ ලියූ විශ්ලේෂණය අභියෝගයට ලක් කරන්න ඔහුට පුළුවන් ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-29

අලුත් පරපුරට පහර දීම

අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැරවරයන් විසින් නින්දිත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මැරවර පිරිස මෙහෙයවා ඇති බව වාර්තා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික විසිනි. ඔහු සමග පැමිණි පිරිස නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල් බලකායේ ටී ෂර්ට් ඇඳ සිටි බව වාර්තා වේ.

ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට බිම පෙරළාගෙන පහර දී තිබේ. රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා, ගායන ශිල්පී කසුන් කල්හාර හා ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මනුවර්ණ, මොහාන්රාජ් මඩවල, අමා විජේසේකර, නීතිඥ උදුල් ප්‍රේමරත්න වැනි කලාකරුවෝ හා ක්‍රියාකාරිකයෝ රැසක් මෙසේ ප්‍රහාරයට ලක් වූ හ.

මීට පෙර එප්පාවලදී හා හම්බන්තොටදී ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවන් පිරිසකට ද ආණ්ඩුවේ මැරවරයන් විසින් පහර දෙන ලදී.

මේ වන විට පරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ මත ඉවසා සිටීමේ හැකියාව නැත්තට ම නැති වී ගොස් ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලිව පෙනේ.

දැන් හැදෙන අලුත් පරපුර කොහොමත් දූෂණයට හා මැරවරකමට එරෙහි ය. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ය. ඔවුන් අතර ජනප්‍රිය මේ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය මහින්ද රාජපක්ෂට තවත් ඡන්ද දහස් ගණනක් අහිමි කරනු ඇත.

වියරුවට තව වැඩි කලක් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජනාධිපතිවරණයේදී කුණු මඩ හා ජඩ පැනිලි

මේ වන විට ජනාධිපතිවරණ රැල්ල සම්පූර්ණයෙන් ම පාහේ මෛත්‍රීපාල සිරිසේන පැත්තට හැරී හමාර ය. 

එහෙත්, මහින්ද රාජපක්ෂ තවමත් සටන අතහැර දමා නැත. ඔහුට අතහැර දමන්නට බැරි ය. ගේම යන්නේ ඕල‍්මොස්ට් තනියෙන් ම ය. 

ආණ්ඩුවට රැස්වීමක් කරන්නට සිය ගණන් බස් අවශ්‍ය ය. බස්වල සීට් ගානටවත් සෙනග නැත. අවංකව මහින්දට ඡන්දය දෙන්නට එන පිරිස අර ඉස්සරහ ඉඳන් කෑ ගහන අය අතර සිටින බීපු නැති පිරිස පමණි. තමන් ද සම්බ්න්ධ වී තිබෙන දේශපාලන දූෂණ හේතුවෙන් මේ අය රැස්වීම්වලට එන මුත්, මේ සෙනග ඡන්ද බවට පත් වන්නේ නැත. ඔවුන් මේ ආණ්ඩුවෙන් විවිධ ඵල ප්‍රයෝජන ගත් අයයි. හෙට මොවුන් අලුත් ආණ්ඩුවේ දේශපාලකයන් ළඟ ය. 

1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට, නමයට බැස්සේ ය. වාමාංශික එක්සත් පෙරමුණ හෙවත් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ අතුගෑවී ගියේ ය. එහෙත්, ඡන්දයට කලින් ඔවුන්ගේ රැස්වීම්වල ද මහ සෙනග දක්නට ලැබිණි. 

ආණ්ඩුවේ රැස්වීම්වලට ‍සෙනග එන්නේ අවසන් ගෞරව දක්වන්නට යයි සිතා ගැනීම හොඳ ය. 

පවුලේ අවුල් මැද බැසිල් ද අනෙක් පැත්තට පනිනු ඇතැයි කටකතා පැතිරේ. පවුලේ සහෝදරයෙක් මෛත්‍රීපාල පැත්තට එවා සටන් විරාමයක් දමා ගන්නට උත්සාහ කරන බව අනුමාන කළ හැකි ය. හැබැයි, මහජනතාවගෙන් කොල්ල කෑ මුදල් ආපසු දිය යුතු ය. 

දැන් ආණ්ඩුවක් නැත. තිබෙන්නේ පාණ්ඩුවකි. ගහන්නේ කුණු ම කුණු, කැත ම කැත මඩ ය. අනාගතයේ රටක් පාලනය කරන්නට බලාපොරොත්තු වන පාලකයයෙක් මේ තරම් නින්දිත අන්දමින් ජාතිවාදය අවුස්සන්නේ නැත. මහින්ද පරාජය වන බව ඔහු ම පිළි ගෙන තිබෙන බව මේ ජාතිවාදය ඇවිස්සිල්ලෙන් පෙනේ. 

මේ අතර, සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා මිළ දී ගැනීම සඳහා ආණ්ඩුව ලොකු ලන්සුවක් තබා ඇති බව දැන ගන්නට ඇත. ප්‍රකෝටි ගණන් සල්ලිත්, අගමැති වැනි තනතුරුත් පිරිනමා ඇති බව දැන ගන්නට තිබේ. ආණ්ඩුවට වැඩේ ගොඩ දාගන්නට උත්සාහ කරන්නට හෝ පුළුවන් මේ දෙන්නා මගින් පමණි. ජෝන් අමරතුංගගේ සිට කරු ජයසූරිය දක්වා කාටවත් දැන් නම් මේ රැල්ල හරවන්නට තබා හිතන්නටවත් බැරි ය. 

සජිතුත්, ෆොන්සේකාත් මේ හම්බ වෙන ගානත් අරගෙන දේශපාලනයෙන් තොලොංචි වෙනවා ද යන්න තීරණය කළ යුතු ය. 

හොඳම ජාතිවාදියා තේරීමේ තරගයේ සුපර් ස්ටාර් වී තිබෙන්නේ විමල් වීරවංශ ය. මෙවන් පුතුන් බිහි කළ ජවිපෙට ආඩම්බර ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-28

සුන්දර ඉංගිරිසි: බාටා දාගෙන ඇස්ලෝන් බට ගන්න ගිහින්

වෙළඳ නාම කියන්නේ භාණ්ඩයක් නිපදවන සමාගමක් හෝ සේවාවක් සපයන සමාගමක් ඒ භාණ්ඩයට හෝ සේවාවට සපයා තිබෙන නාමයයි. හැබැයි මේ වෙළඳ නාම ඇතැම් විට භාණ්ඩය හා සේවාවේ නම විධියට ම භාවිතා කරන ආකාරය දකින්න ලැබෙනවා.

මෙය ලෝකය පුරා ම වගේ දකින්නට ලැබෙන දෙයක්. නිදසුනක් ලෙස අන්තර්ජා‍ලයේ සෙවීම් කරන්න තිබෙන සෙවුම් යන්ත්‍ර අතරින් බහුලවම භාවිතා කරන සෙවුම් යන්ත්‍රය වන ගූගල් නිසා ගූගල් කරනවා වැනි ක්‍රියාපදත් සෑදී තිබෙනවා. ගූගල් කරනවා කියන්නේ අන්තර්ජාලයෙන් යම් තොරතුරක් සොයනවාටයි.

ලංකාවේ මිනිස්සුත් මෙවැනි වචන රැසක් සිංහල කරගෙන භාවිතා කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ එවැනි උදාහරණ කීපයක් ගැනයි.

ඇතැම් අය සෙරෙප්පුවලට කියන්නේ බාටා කියලායි. වැසිකිළි යනකොට බාටා දෙකක් දාගෙන යන්න දැන් මිනිස්සු පුරුදු වෙලා. ඇතැම් දුරබැහැර පාසල්වල විදුහල්පතිවරුත් පාසලට බාටා දැමීම තහනම් කරන ආකාරය ගැන රැස්වීම්වල කියනවා මම අසා තිබෙනවා.

ස්විට්සර්ලන්තය පදනම් කර ගත් බහු ජාතික පාවහන් සමාගමක් වන බාටා සමාගම ලංකාවේ වෙළඳ ප්‍රචාරණයේදී භාවිතා කළ වෙළඳ පාඨයක් වුණේ ‘පළමුව බාටා - දෙවනුව පාසල’ යන්නයි.

බාටා කොම්පැනිය හදන්නේ සෙරෙප්පු පමණක් නො වුණාට ලංකාවේ ගැමියෝ බාටා කියන්නේ සෙරෙප්පුවලටයි. වෙනත් වෙළඳ නාම යටතේ නිෂ්පාදනය කරන සෙරෙප්පු පවා ඔවුන්ට බාටා.

පසුගිය දිනෙක මම දැක්කා යුනිලීවර් සමාගමේ ලොක්කෙක් පම්පෝරියක් ගහනවා රින්සෝවල නම රින් කියලා වෙනස් කළේ තමන්ගේ කාලේ කියා. සමහරවිට මෙය ජාත්‍යන්තරව කළ දෙයක් වෙන්නත් පුළුවන්. ඒත්, රෙදි සෝදන්නට පෙර සබන් කුඩු දමා තබන එකට රින්සෝ දානවා කියා ව්‍යවහාර කරන හැටි මම ඊයේත් ඇහුවා. එය භාවිතා කළේ සරසවි සිසුවෙක්.

ලංකාවේ මිනිස්සු තවමත් සබන් කුඩු දමා රෙදි පොඟවන එකට රින්සෝ දානවා කියනවා. ලංකාවේ ජන මනස හඳුනා නො ගත් ලාංකික යයි කියන නිලධාරීන් තම නිෂ්පාදනයේ නම මුග්ධ ලෙස වෙනස් කර ගත්තත්, රින්සෝ දානවා කියන භාෂාත්මක යෙදුම පරම්පරාවෙන් පරම්පරාවට හුවමාරු වෙලා.

ලංකාවට මුලින් ම ජංගම දුරකථන හඳුන්වා දුන් සෙල්ටෙල් සමාගමත් මුග්ධ ලෙස තමන්ගේ නම කීප වතාවක් වෙනස් කළා. ඒත්, බොහෝ කාලයක් යන තෙක් අපේ ර‍ටේ මිනිස්සු ජංගම දුරකථනයට කීවේ සෙල්ටෙල් එක කියලායි.

භාණ්ඩ හිඟයක් තිබුණු හැත්තෑගණන්වලදී ලංකාවේ මිනිස්සු ඇ‍ඟේ ගාන සබන්වලට කිව්වේ ලයිස්බෝයි කියලායි. රෙදි සෝදන සබන්වලට කිව්වේ සල්ලයිට් කියලායි. ඒ කාලේ පුසුඹ සබන් තරමක සුඛෝපභෝගී භාණ්ඩයක්.

පී.වි.සී.වලින් හදපු වතුර බටවලට ඇස්ලෝන් බට කියන එකත් මෙවැනි ම යෙදුමක්. ඇස්ලෝන් කියන්නේ මේ ජල නල ප්‍රචලිත කළ සමාගමක් විසින් ඒවාට යෙදූ වෙළඳ නාමයයි.

මෙවැනි වෙළඳ නාම භාවිතය ඖෂධ සම්බන්ධයෙන් නම් ඉතා සුලබයි. ඇස්පිරින් යන වේදනා නාශක ඖෂධය කාලයක් තිස්සේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඩිස්ප්‍රින් කියන නමින්. පසු කලෙක මෙය පැරසිටමෝල් වර්ගයක වෙළඳ නමක් වන පැනඩෝල්වලින් ආදේශ වුණා.

අලුත් භාණ්ඩයක් වන ඡායා පිටපත් යන්ත්‍රය ඇතැම් රටවල තවමත් හැඳින්වෙන්නේ වෙළඳ නාමවලින්. ඒ වගේ ම අංකිත අනු පිටපත් යන්ත්‍රය ලංකාවේ හැඳින්වෙන්නේ ඩුප්ලෝ කියන වෙළඳ නාමයකින්. ඩුප්ලෝ කරනවා වැනි ක්‍රියා පදත් හැදිලා තිබෙනවා.

ටින් මාළුවලට අපේ රටේ සැමන් හා සාඩින් කියන නම් ව්‍යවහාර කරනවා. ඒත්, ඇත්තෙන් ම සැමන්, සාඩින් කියන්නේ මාළු වර්ග දෙකක්. තදබද වුණ බස් ගැන කතා කරනකොටත් සැමන් ටින් එකක් වගේ කියා උපමාවක් භාවිතා කරනවා.

අජිනොමොටෝ කියන්නේ තවත් සුලබව භාවිතා වන වෙළඳ නාමයක්. මේ මොනෝ සෝඩියම් ග්ලූටමේට් හෙවත් එම්.එස්.ජී. වෙනුවෙන් ලංකාවේ අජිනොමොටෝ කියන නම සුලභව භාවිතා වෙනවා.

හැත්තෑගණන්වල අපේ මිනිස්සු කිරිපිටිවලට ලක්ස්ප්‍රේ කියා ව්‍යවහාර කරමින් සිටියා.

පැණි බීමවලට ඔරේන්ජ් බාර්ලි කියන ව්‍යවහාරයත් මෙවැනිම එකක්. ගැමියන්ගේ අවමංගල්‍යයන්වලදි එක් කාලෙක බාර්ලි ‍බෝතලය අනිවාර්ය අංගයක් වුණා. වන්නියේ දෙමළ ගැමියන් පැණි බීමවලට සෝඩා යයි කියනු මම අසා තිබෙනවා.

ඕනෑ මාගරින් වර්ගයක් ඇස්ට්‍රා කියා හැඳින්වීමත් මෙවැනි ම තත්වයක්.

වාහන නම් අතරත් මෙවැනි වෙළඳ නාම භාවිතයන් තිබෙනවා. කැන්ටර් කියන්නේ මිට්සුබිෂි සමාගම නිපදවූ කුඩා ට්‍රක් රථ වර්ගයක වෙළඳ නාමය වුණත් අද එය එවැනි වාහන සඳහා පොදුවේ භාවිතා වන නමක් බවට පත්‍ වෙලා. ජේ.සී.බී. කියන්නේත් වෙළඳ නාමයක්. අද අපේ ගෙවල් පාරේ ජේ.සී.බී. එකක් ගියා.

හැට හැත්තෑ ගණන්වල ලංකාවේ කඳුකර මාර්ගවල ධාවනය වූ කුඩා බස් වර්ගයට මිනිස්සු කිව්වේ පියට්ටෙක කියලායි. ඕ.එම්. ටිග්‍රටෝ නම් වූ මේ බසයත් ඉතාලියේ ෆියට් සමාගමත් සමග යම් සම්බන්ධයක් තිබෙන්න ඇති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ගෝඨාභය මැතිවරණ නීති උල්ලංඝනයේ

දේශපාලනය කිරීමේ හිමිකම් නැති ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොහේදෝ පන්සලකදී පවත්වන ලද දේශපාලන කතාවක් දැන් මොහොතකට පෙර ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය විය. 

මෙය අතිශය වැරදි සහගත ක්‍රියාවකි. මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමයකි. 

ඍජු ‍දේශපාලන රැස්වීමක් නො වන මෙම උත්සවයේදී වුව ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට වාසි සහගත ලෙස විපක්ෂය විවේචනය කරමින් කතා පැවැත්වීමට ඔහුට හැකියාවක් නැත. 

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන්න. 

‍මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

අප වෙනසක් වෙනුවෙන් මුල පිරිය යුත්තේ අැයි?

ඉහත පැනයට හොඳම පිළිතුර බුදු බණ ගැන කියැවුණ මේ කවියයි.

තණ්හාවේ දෝසේ
දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා
විමුක්තිය පතා
නිවන් මග මේ යයි
පෙන්වා දුන් සේක

ඉක්බිතිව දවසක්
ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන්
එක්තරා පැනයක්

තණ්හාව හළ විගස
සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන
කෙබඳුදැයි කියනු මැන
එවිට අප සියලු දෙන
තණ්හාව නසනු ඇත

බඹ ලොවට පිවිසීම
වාගේ ද නිවන් සුව
ඉර මුදුන් වෙලාවේ
විලක් මැද තනි වෙලා
කුසීතව පාවෙමින්
සිටින්නා වාගේ ද?
ඔබ කියන ඔය නිවන
පැහැපත් ද? පියකරු ද?
නොඑසේ නම් එය
සිත නැති කය නැති
කිසිම දෙයක් නැති
දෙයක්දෝ ස්වාමීනි

මෙය ඇසූ හිමි සඳ
හෝරා ගණනක් වැඩ හිඳ නිසලව
කීවේ මෙලෙසය
ඔබ ඇසූ පැනයට
පිළිතුරු නැත මට

එහෙත් එම දිනයේ
සැන්දෑ සමයේ
බෝ රුක් සෙවණේ
වැඩ සිටි සමිඳා
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු
එහි සිටි සෙසු දන සැම අමතාලා
දෙසූහ මේ සුළු කතාව උපමා

දවසක් මම ගෙයක් දුටිමි
එය ගින්නට හසුව තිබිණි
රත් පැහැ ගත් ගිනි ජාලා
එහි පියසෙන් උසට නැගිණි
එහි තුළ මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඬ ගා
පිට වන්නැයි මම කීවෙමි
එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්නුවෙ නැත
එක් අයෙකුගෙ රැවුල පවා
පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳ ද?
වැසි වසී ද? සුළඟ තද ද?
දැවෙන නිවස දමා ගොසින්
ඉන්න ගෙයක් තිබෙනවා ද?
මෙවැනි ප්‍රශ්න රාශියක් ය

මම පිළිතුරු නොදී ඔහුට
නැවත වරක් වුණිමි නිහඬ
මට සිතුණා මේ දරුවන්
නගන ප්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුණා ම කියා

සත්තකින් ම ප්‍රිය දරුවනි
යම් මිනිසකු පොළෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නො යාවි නම්
ඒ දන හට සරණ යන්න
බණක් නැතිය මට කියන්න
එලෙසයි අප හිමි ගෞතම
පිළිතුරු දුන්නේ පෙර කල

(ලෝක ප්‍රකට නාට්‍යවේදී බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ කවියක පරිවර්තනය කාලෝ ෆොන්සේකා විසිනි. නැවත කිව්වේ ගාමිනී වියන්ගොඩ විසිනි)

මෙම ලිපිය බාගත කරගෙන මුද්‍රණය කර සෙසු අයටත් බෙදා දෙන්න. මෙතැනින් බාගත කරගන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-27

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා අපූරු ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවකි

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා හොඳ ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවක් යයි සිතමි. එය යුගයක හරස්කඩක් රළු ලෙස සටහන් කරන්නකි. ඒ යුගය වනාහි හැටේ දශකයේ අගභාගයේ සිට වර්තමාන කාලය දක්වා විහිදෙන, රටේ ආර්ථිකය විවෘත වීම හරහා දැවැන්ත සමාජ විපර්යාසයකට ලක් වූ යුගයකි.

උපුල් ස්පර්ශ කරන්නේ මේ යුගය තුළ මිනිස් සම්බන්ධකම්වල ඇති වූ පරිණාමයයි. එය ගැමි අශිෂ්ටත්වයේ සිට නාගරික පරමාදර්ශයන් වෙත සිදු වන චලනයකි. දිළිඳුකමේ පතුලේ එරෙමින් සිටි ගැමි පවුලක් සංවර්ධනය ඔස්සේ ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර අඛන්ඩ අරගලයක් සමග පරිණාමය වන අයුරු ඔහු කදිමට සිත්තම් කරයි.

සීමිත සම්පත් ප්‍රමාණයක් මැද අසීමිත කටුක, දිළිඳු දිවියක් ගෙවන මිනිස්සු එක පැත්තකින් නගරයට සිය නිෂ්පාදනය අලෙවි කිරීමෙන් ජීවනෝපාය සරි කර ගනිමින් සංවර්ධනය වන්නට දැවැන්ත අරගලයක යෙදෙති. එහෙත්, අර්තාපල්වලට වැළ‍ඳෙන අංගමාරය සේ ඔවුන්ගේ ජීවිත ද නිරතුරුව ම අනපේක්ෂිත විනාශයන්ගෙන් පීඩාවට පත් වේ. අසංස්කෘතික ජීවිතය හා එහි අංග වන කසිප්පු, පවුල් ආරාවුල්, ව්‍යභිචාරය හා ප්‍රචණ්ඩත්වය මැද ‍විමුක්තිය නිර්මානය වන්නේ අධ්‍යාපනය හා ගමින් පළා යාම තුළ ය.

ගමින් පළා යන බඩපිස්සා වැනි මිනිස්සු ආර්ථිකව ආඪ්‍ය වන මුත් ඔවුහු නගරයේ අතරමං වෙති. දමා ආ ගැමි ජීවිතය ගැන කාංසාවකින් හා නාගරික ජීවිතයට පූර්ණව හැඩගැසීමේ අසාර්ථකත්වයෙන් ඔවුහු පීඩා විඳිති. කුමක්දෝ විස්තර කළ නො හැකි හිස්කමක් ඔවුන්ගේ ජීවිතය වෙළා ගෙන තිබේ. උපුල් ශාන්ත සන්නස්ගල එය හඳුන්වන්නේ තමන් සෙවීමක් ලෙස ය.

මම මා සොයමි යන්න එක්තරා ජනප්‍රිය බොරුවකි. තමන්ට තමන් තේරුම් ගත නො හැකි ය යන්න ඇත්තක් මෙන් ම බොරුවකි. ලොකු ගැඹුරක් ඇතැයි ‍එක් වර ම පෙනෙන, එහෙත්, ඒ කියන තරම් ගැඹුරක් නැති ජනප්‍රිය, සුන්දර, ව්‍යාජ ප්‍රකාශයකි.

අම්මා නවකතාවේ කථකයා ද ඔය කියන තමන් සෙවීමක් කරන්නේ නැත. ඔහු කරන්නේ මුදල් සොයා යාමයි. නාගරික පාරිභෝජනවාදී, සංස්කෘතික ජීවිතය සොයා යාමයි. ඔහු කිසිදු විකල්ප ජීවිතයක් පරමාදර්ශයට නගන්නෙක් නො වේ. ඔහු ඉතා ගතානුගතික ලෙස ගමෙන් නගරයට සංක්‍රමණය වී නාගරික සංස්කෘතිය සතුටින් වැළඳගෙන, එහි උන්නතිකාමී බහුභාණ්ඩික පාරිභෝජනවාදී ජීවිතයේ රසයෙන් උද්දාමයට පත් වී සිටින්නෙකි. ඔහු කෑම කන හෝටල්, බොන ඉහළ පෙළේ මත්පැන්, යන එන වාහනය, ඉන්නා ගෙය, යන එන රටවල් ආදිය ගැන කතා කරන්නේ අභිරුචියෙනි. සිංහල විෂය දැනුම විකුණන අධ්‍යාපන ව්‍යාපාරිකයකු වන ඔහු ඔහුගේ දරුවන් හදන්නේ ඔවුන් සිංහලෙන් කිසිවක් නො කියවන ජීවිතයකට ය. ඔහුට ඒ ගැන පශ්චාත්තාපයක් ඇති බවක් නො පෙනේ. ඇත්තෙන් ම පශ්චාත්තාප වන්නට කිසිවක් එහි නැත.

ඔහුගේ එක ම පශ්චාත්තාපය ඔහුගේ ජන්ම උරුමය ගැන ඔහුගේ තිබෙන හීනමානයයි. මෙය වනාහි දිළිඳු, අසංස්කෘතික ජීවිත ගත කළ මිනිසුන් ධනවත්, සංස්කෘතික ජීවිත කරා පරිණාමය වන අවධිය තුළ එක් පරම්පරාවක‍ට ගෙවන්නට සිදු වන මිළක් වැනි දෙයක් පමණි. එය එක්තරා අසමතුලිත අවධියකි. අලුතින් අත් පත් කර ගත් ජීවිතය  හා ජන්ම උරුමය තුලනය කර ගන්නට අසමත් වීමෙන් ඇති වූ දුකකි. එක්තරා සංස්කෘතික ගැටුමකි.
මෙම වකවානුව තුළ ලාංකීය සමාජය විනිවිද ගිය දරුණු අර්බුදයක් වන ජාතික ප්‍රශ්නය උපුල්ගේ නවකතාව තුළ ස්පර්ශ නො වන්නේ ඇයි ද යන්න බරපතල ගැටලුවකි. දෙමළ, සිංහල මිනිසුන් සමෝසමේ එකට ජීවත් වන ගමකට ජාතික ප්‍රශ්නය දැනෙන්නේ නැත්තේ ඇයි? එහි කිසිදු සිංහල තරුණයකු යුද්ධයට නො යන්නේ ඇයි? ගමේ සිදු වන සංවර්ධනයට දායක වන කිසිදු හමුදා සාමාජිකයකු ගැන සඳහන් නො වීම පුදුමයක් නො‍ වේද? එසේ සිදු වන්නේ දියතලාව හමුදා කඳවුර අසල ම ය.

එසේම, දිළිඳු සමාජයන්හි සාමාන්‍යයෙන් සිදු වන පරිදි කිසිදු ගැහැනියක මැද පෙරදිග ගෘහ ‍සේවයට නො යන්නේ ඇයි? යහළබැද්ද රටේ සිදු වන සංවර්ධනයේ සුළඟවත් නො වදින, ජීවිත වෙනසකට එක ම මග ගමෙන් පළා යාම පමණක් වන සුවිශේෂ හුදකලා කො දෙව්වක් වීම තේරුම් ගත නො හැකි තත්වයකි.

ඒ ගමේ දිළින්දන් පීඩනයට පත් වන්නේ නූගත්කම හා දුරාචාරය නිසා පමණක් ද? ඔවුන්ගේ කාලකන්නිකමට හේතු වන සෙසු සමාජ ආර්ථික සාධක අම්මා නවකතාවෙන් විග්‍රහ වන්නේ නැත. උඩරට ගැමි‍ ගොවීන්ගේ ඉඩම් ප්‍රශ්නය ඔවුන්ගේ කාලකන්නිකමේ එක් මූලික හේතුවක් නො වේ ද? අනෙක් පැත්තෙන් නගරයේ වෙළඳුන්ගෙන් හා ගමේ ණය දෙන්නන්ගේ අතින් ඔවුන් සූරාකෑමට ලක් වන්නේ නැද්ද?

අම්මා නවකතාවේ කේන්ද්‍රීය පවුලේ දරිද්‍රතාවට හේතු වන කරුණු බඩපිස්සාට නො තේරේ. ඔහු ධනවතකු වූ පසුවත් හේ සිය හිතවත් ඥාතීන්ගෙන් විමසන්නේ සෙසු ඥාතීන් ධනවත් වන්නටත් තමන් දුප්පත් වන්නටත් හේතුව කුමක් ද කියා ය. එයට හේතුව ඔහුගේ පියාගේ නූගත්කම හා නො මනා ගතිගුණ පමණක් ද?

කතාවේ වීරයා වන බඩපිස්සා විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. එහෙත් එය බොහෝ දුරට හුදකලා වූ විමුක්තියකි. ඔහුගේ දිළිඳු පවුල වෙත සිදු වන්නේ ඒ දියුණුවේ යම් කාන්දුවක් පමණි. එහෙත්, ඒ සහෝදර සහෝදරියන්ගේ පවුල්වලත් ඊළඟ පරම්පරාවල වැඩි අධ්‍යාපනයක් හා සංවර්ධනයක් දක්නට ලැබේ.

මේ සියල්ල මැද්දෙන් උපුල් මේ පවුලේ සාමාජික, සාමාජිකාවන් අතර අන්තර් සම්බන්ධතා ඉතා  විචිත්‍ර ලෙස නිරූපණය කරයි.  එකිනෙකා අතර ගැටුම් හා ආදරය, සෙනෙහස ඔහු චිත්‍රණය කරන්නේ අම්මා කේන්ද්‍රීය චරිතය කර ගනිමිනි. ඔහුගේ නවකතාව අපූරු ආකෘතියකින් යුක්තය. එහෙයින් එය කෙනෙකුට නවකතාවක් නො වන ප්‍රබන්ධ නො වන සාහිත්‍ය කෘතියක් ලෙස ද අර්ථකථනය කරන්නට පුළුවන. එහෙත්, මම නම් එය නවකතාවක් ලෙස දකින්නට කැමැත්තෙමි.

අම්මාගේ ආදරයේ තරම හා එයට කෘතගුණ දක්වන්නට අසමත් වී‍මේ පශ්චාත්තාපය ප්‍රකාශ කරන වියමනක් ලෙස නවකතාව ගොඩනැගෙන්නේ එයට ම අනන්‍ය වූ ආකෘතියක් උරුම කර ගනිමිනි. එහෙත්, එය නිශ්චිත මුලක්, මැදක් හා අගක් සහිත කතාන්දරයක් ලෙස ගො‍ඩනැගේ. කර්තෘගේ නිරන්තර මැදිහත් වීම එම ආකෘතියේ මූලික ලක්ෂණයකි. එහෙත් එය පාඨකයාට වධයක් වන මැදිහත් වීමක් නො වේ.

අම්මා නවකතාව කතා ගොන්නකි. එහි එන කතා අතරින් පීටර්ලෑ චන්දරේගේ කතාව මගේ සිත පැහැර ගත්තේ ය. එහි චන්දරේ පහේ ශිෂ්‍යත්වයේ දෙවන විභාගයට පෙනී සිටින්නට කලින් දිනයේ බඩගින්නට ‍තම්බා කන්නට කොස් ගෙඩියක් කඩන්නට නැග්ග ගසින් වැටී සදාකාලික අබ්බාගාතයකු වී ජීවිතය කාලකන්නි කර ගනියි. එය උපන් ගෙයි අබ්බාගාතයකු වූ බඩපිස්සාගේ දියුණුවේ කතාවත් සමග සමෝධන කරමින් උපුල් කදිම වියමනක් නිර්මානය කරයි. පවුලේ සිටින අශිෂ්ට ම සාමාජිකයා වන කිත්සිරි නම් වසවර්ති අයියාට ලොකු අයියා හා හිච්චි අයියා ලවා පහර දී අත පය කඩා දමමින් කථකයා අසීමිත සතුටක් ලබයි. එසේම සරසවි සිසුවකු ලෙස ගමට පැමිණ අයියලා බලමුළු ගන්වා හීරළු ලොකු තාත්තාගේ පවුලේ අයට එල්ල කරන ප්‍රහාරය ද කැපී පෙනෙන සිද්ධියකි.

පසු කලක නගරයේ සිට ගමට එන අතරතුර ඔහුගේ රියට ගොඩ වන ජුණ්ඩේට කථකයා පහර දෙන්නේ අතීත සිද්ධියකට වාඩුව ගැනීම සඳහා ය. එය නගරයට ගොස් ඔහු විසින් අත් පත් කර ගන්නා ලද සංස්කෘතික ශිෂ්ටත්වයේ ‍දිග පළල හා උපන් ගෙයි අශිෂ්ටත්වය අතර ගැටුම කදිමට නිරූපණය කරන අවස්ථාවකි. ඔහු බොන්නේ ලොව ඉහළ ම පෙළේ මත්පැන් ය. එයින් වෙරි වන ඔහු අතීතයේ දිනෙක තමන් පාසල් යන කාලයේ අත් ට්‍රැක්ටරයෙන් බිමට ඇද දමා කරන පහර දීමට වාඩුව ගැනීම සඳහා ජුණ්ඩේට පහර දෙන්නේ කසිකබල් දෙමළ චිත්‍රපටයක චරිතයක් මෙනි. මේ කතාවේ මුඛ්‍ය තේමාව ද මෙම ගැටුමයි. එනම් ගැමි අශිෂ්ටත්වය හා නාගරික ශිෂ්ටත්වයේ පරමාදර්ශ අතර ගැටුමයි.

අම්මා නවකතාවේ චරිත විවරණයේ ඇති අව්‍යාජත්වය එහි ඇති සුවිශේෂ ම ලක්ෂණයයි. එය ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවක් වීම නිසා උපුල් මුහුණ දෙන්නේ දැවැන්ත අභියෝගයකට ය. එහෙත්, ඔහු සිය කොළඹ ජීවිතය සමාන අව්‍යාජත්වයකින් විවරණය කරනවා වෙනුවට එය කිසියම් වීර චරිතතයක් ලෙස ප්‍රබන්ධ කරනු පෙනේ. එහෙත්, ඔහුට සමාව දිය හැකි ය. කොළඹ ජීවිතය වෙනත් කතාවක ලියන බව ඔහු පවසයි. රොමැන්තීකරණය කර තිබෙන බාල වියේ දුකට සාපේක්ෂව කොළඹ ජීවිතයේ ව්‍යාජත්වය ද අව්‍යාජව ලියන්නට ඔහු සමත් වනු ඇතැයි පතමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-26

ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රතිරෝධාත්මක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය ද?

සිරිකොත ඉදිරිපිට විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන්නට යෙදුණු ආණ්ඩුවේ ජාතිවාදී ප්‍රකෝපකාරී උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය විසින් රළු ප්‍රතිචාරයක් දක්වා ඇති බව ප්‍රවෘත්ති මගින් දැන ගන්නට ලැබිණි.

එය සුවිශේෂ සංවර්ධනයකි. මෙතෙක් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමේ අයිතිය තනි භුක්තියට ගෙන සිටියේ ආණ්ඩුවයි. එක්සත් ජාතික පක්ෂයත් ප්‍රචණ්ඩත්වය වෙත යොමු වුවහොත් මැතිවරණයට පෙර සිවිල් යුද තත්වයක් ඇති විය හැකි ය.

ආණ්ඩුවේ මැරවරකම් පාලනය කිරීම සඳහා ප්‍රතිචාරාත්මක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය ය යන අදහස ‍මේ වන විට විපක්ෂ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන ඇතැම් පිරිස් අතර පැතිරෙමින් තිබේ.

ප්‍රචණ්ඩත්වය මෙන් ම ප්‍රතිරෝධී ප්‍රචණ්ඩත්වය විසින් ද ඇති කරනු ලබන්නේ අවුල් සහගත තත්වයකි.

තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, අධිකරණය හා මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය. ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ප්‍රචණ්ඩකාරීන් ජනාධිපතිවරණය නිම වන තෙක් හෝ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-25

අරගලය ජනවාරි 8දායින් ඔබ්බට

මෙම ලේඛනය සැකසීමේ අරමුණ වන්නේ ජනාධිපතිවරණයට පෙර එය ජනතාවට බෙදා දීමයි. එය අන්තර්ජාලය හරහා බෙද හැරීමට මෙන් ම මුද්‍රණය කර කියවා අතින් අත යැවීම පිණිස බෙදා දීමට ද ඔබට සම්බන්ධ විය හැකි ය.
මෙය කෙටුම්පතකි. එය පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. අවසන් පිටපත සංශෝධනයට විවෘත ය. ඉන් අනතුරුව ඔබට එය බෙදිහැරීමට සම්බන්ධ වන්නට පුළුවන.
මෙම පත්‍රිකාව නිකුත් කළ යුත්තේ කා නමින් ද? ‍පහත සඳහන් නම් අපි යෝජනා කරමු.
වෙනස සඳහා අපි
වෙනස සඳහා මහජන ක්‍රියාකාරිත්වය
කරුණාකර ඔබේ අදහස් දක්වන්න.
එයට එකඟ නම් එය හොඳ බව හෝ සලකුණු කර යන්නට අමතක නො කරන්න.

අරගලය ජනවාරි 8දායින් ඔබ්බට

ජනවාරි 8දා ඔබ මේ රටේ අනාගතය තීරණය කරන බව ඔබ දන්නවා ද?

අනාගතය සම්බන්ධ‍යෙන් ඔබට පැහැදිලි තීරණ දෙකක් තිබේ. 

ඔබ දූෂණයට කැමති ද? ඥාති සංග්‍රහයට කැමති ද? අනාගත පරම්පරා උගස් කර ලබා ගන්නා ණයවලින් කරන, ඵලදායී නො වන සංවර්ධනයන්ගෙන් ඔබේ ඇස ගිනිකණ වැටේ ද? සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහජන මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් මංකොල්ල කෑම ඔබට ප්‍රශ්නයක් නො වේ ද?  ඔබේ දරුවාගේ අධ්‍යාපනය, ඔබේ ‍සෞඛ්‍යය හා සමාජාරක්ෂණය වෙනුවෙන් දැන් වෙන් කරන අරමුදල් ප්‍රතිශතයන් ඔබට ප්‍රමාණවත් ද? සරළව කීවොත් රටේ පාසල් දසදහසකින් දහසක් පමණක් සංවර්ධනය කිරීම ඔබට ප්‍රමාණවත් ද? රටේ ඵලදායී සෞඛ්‍ය සේවාවක් නැති වුණත්, දොස්තරලාට පමණක් දහසින් බැඳි පියලි පිරිනැමීම ඔබට සතුටක් ද? රජයේ කාර්යාලයකින් හරියට වැඩක් කර ගන්නට බැරි වුණත්, තව තවත් නිලධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම ගැන ඔබට ආඩම්බර ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින්, ඩීසල්, පෙට්‍රල්වලින් පවා අසීමිතව බදු ගෙවමින්, ගෙවන බදුවල‍ට සරිලන සේවාවක් නො ලැබුණත් ඔබට සතුටින් ජීවත් වන්නට පුළුවන් ද?

මේ රට කවදාවත් හරි නො යන නිසා කවදා හෝ දවසක ඔබේ දරුවන් හෝ මේ රටින් සමු ගෙන පි‍ටරටකට යනු ඇතියි ඔබ සිහින දකිනවා ද?

හොඳ පිරිමි පෙනුමක් ඇති, ලොකු පවුලක් ඇති, දරුවන් වඩා ගන්නා, වහසි බස් දොඩන්නට දක්ෂ, උත්සව ශ්‍රීයෙන් එහෙ මෙහෙ යන, වන්දිභට්ටයන් රජෙකු යයි හඳුන්වන දැවැන්ත පෞරුෂයක්  හිමි ජනාධිපතිවරයකු ගැන ඔබට ආඩම්බර ද? ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හා සභාවලට තේරී පත් වූ නියෝජිතයන් ඔබ අමතක කර ඔහුගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වීම ගැන ඔබට ආඩම්බර ද? පෞද්ගලික ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් ඔබේ මහජන මුදල් වැය කරමින් හොඳින් හෝ නරකින් හෝ ඡන්ද දිනීම වීරකමකැයි ඔබ සිතනවා ද? 

තනිවම යුද වැදී, කොටි සංවිධානය සමූලඝාතනය කරමින් රට බේරා ගත් බව කියන යුද නායකයාට කළ ගුණ සැලකීම වෙනුවෙන් ඔහු හා ඔහුගේ පරපුර ලංකාවේ යාවජීව රාජ්‍ය නායකයන් කළ යුතු යයි ඔබ සිතනවා ද?

එසේ නම්, ඔබේ ඡන්දය බුලත් කොළයට දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත බලයට පත් කරන්න. ඔහු තව තවත් ණය ගනිමින්, දූෂණයේ ගිලෙමින් මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කරනවා ඇත. පාර්ලිමේන්තුව හා වෙනත් මහජන සභා වෙනුවට ඔහු හා ඔහුගේ අන්තේවාසිකයන්  ම පමණක් තව තවත් ශක්තිමත් වනු ඇත. නීතියේ ආධිපත්‍යය වෙනුවට දේශපාලන ආධිපත්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල් පාලනයකුත් තහවුරු වනු ඇත. වාසනාවක් තිබුණොත්, ර‍ට මේ තිබෙනවා ‍සේ ඔහේ තිබෙනවා ඇත. ඔබේ දරු මුණුපුරන්ටත් මීට වඩා යහපත් ජීවිතයක් නො ලැබෙන්නට ඉඩ තිබේ.

ඔබ මේ ක්‍රමයට අකැමැති ද? දූෂණය, අල්ලස හා බලහත්කාරකම් මැද මෙහෙම ඉදිරියට යන්නට බැරි යයි ඔබ සිතනවා ද? ඔබේ දරුවන් වෙනුවෙන් මීට වඩා යහපත් රටක් ගොඩනැගිය යුතු යයි ඔබ සිතනවා ද? ඒ රට නීතිගරුක රටක් විය යුතු යයි ඔබ සිතනවා ද? ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන බියක් නැති හෙට දවසකට ඔබ කැමති ද? ස්වාධීන අධිකරණයක්, පොලිසියක් තිබිය යුතු යයි සිතනවා ද? රාජ්‍ය ‍‍‍සේවය ඵලදායී විය යුතු යයි සිතනවා ද? 

ඔබේ මතය ශක්තිමත් ලෙස නියෝජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතනයට පත් කර යැවිය යුතු යයි ඔබ සිතනවා ද? පල් හොරුන් නොවන, කටපුරා නායකයන් යයි කිව හැකි සැබෑ නායකයන් බිහි කර ගැනීමට අප වැඩ කළ යුතු යයි ඔබ සිතනවා ද? ඔබ රට භාර දුන් භාරකරු සොරා කා එය වවුල් හපයක් නො කරන අනාගතයක් ගැන ඔබ සිහින දකිනවා ද?

සංවර්ධනය යනු අධිවේගී මාර්ග, ගුවන් තොට, වරාය හැදීම පමණක් නො වන බවත්, අපේ ජීවිත හා අනාගතය සුරක්ෂිත කිරීම හා සුවපහසු කිරීමත් සංවර්ධනයෙන් සිදු විය යුතු බව ඔබ සිතනවා ද? 

අපේ පුංචි ලංකාව කාගේවත් අතකොළුවක් නොවී, කාටවත් බය නැතිව, ලෝකය සමග සාමයෙන් සංහිඳියාවෙන් පවතිනවාට ඔබ කැමති ද? අපේ රටට චීනයෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් ආයෝජකයන්, සංචාරකයන් පැමිණෙන, විදේශ තානාපති කාර්යාල රටින් පළා යන්නට උත්සාහ කරන නීති විරෝධී සරණාගතයන් ලෙස අපට නො සලකන, ලංකාව ගෞරවනීය ‍දේශයක් ලෙස ලෝක‍යේ සම්භාවනාවට ලක් වෙන දවසක් ගැන ඔබට සිහිනයක් තිබෙනවා ද? 

අපේ රටේ විවිධ ජාතීන්, ආගම් හා කුල ආදිය රට කෑලි කඩන්නට උත්සාහ නො කරන, ලාංකික ජාතියක් ලෙස සියලු දෙනා එක්සත්ව නැගී සිටින, එකිනෙකාට ගරු කරමින් සාමයෙන්, සංහිඳියාවෙන්, සතුටින් වාසය කරන දවසක් ගැන ඔබට සිහිනයක් තිබේ ද?  

එසේ නම්, මුලින් ම දැනට පවතින ක්‍රමයේ සංකේතාත්මක ආරක්ෂකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු ය. ඒ සඳහා හොඳම ක්‍රමය යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ සිහින නියෝජනය කරන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දිනවීමයි. 

එහෙත්, එය හුදු පුද්ගලයෙකු දිනවීමෙන් ඔබ්බට ගිය සැබෑ මහජන ජයග්‍රහණයක් බවට පත් කිරීමට නම් අප සැම දෙනා එක් විය යුතු ය. ඒ වෙනුවෙන් ජනවාරි 8දායින් ඔබ්බට විහිදෙන මහජන සමගියක් හා වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි අරගල කළ යුත්තෙමු. පොදු අපේක්ෂකයා ජනපති වුවහොත්, ඔහු ලවා දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට අවශ්‍ය පීඩනය පවත්වා ගැනීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. 

ජනාධිපතිවරණයේ ජය තීරණය වන්නේ මහජන ඡන්දය මත ය. කිසියම් අයුරකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගත්තත් අප පරාජය නො වී සිටීමට හා මෙම අයුක්ති සහගත පාලන ක්‍රමය මෙල්ල කිරීමේ අරගලය දිගට ම ගෙන යාමට අප ශක්තිමත් විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-23

ජනාධිපතිවරණ සටන රෙදි ගැලවෙන අවධියට පිවිසෙයි

සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි.

මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා ඒ.එච්.එම්. අස්වර්ට ඉල්ලා අස් වෙන්නටත් සිදු විය.

මේ අතර තවත් වැදගත් සංකේතාත්මක සිද්ධියක් වූයේ වඳුරඹ පොලිසියේ ස්ථාන භාර නිලධාරි පී.එල්. කීර්තිසිංහගේ ඉල්ලා අස් වීමයි. පසුගියදා වඳුරඹ නගරයේ පැවති මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමේ වේදිකාව හා ශබ්දවාහිනී උපකරණ ගිනි තැබීම සම්බන්ධයෙන් රාජකාරිය හරි හැටි කරන්නට බැරිවීම ‍මේ පොලිස් නිලධාරියාගේ ඉල්ලා අස්වීමට හේතුවයි. මෙම ප්‍රහාරය පසුපස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සිටින බවට වාර්තා තිබේ.

මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක්‌ ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ.

රෙදි ගැලවීම ගැන කතා කරන විට මඩකලපුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රැස්වීම අසලදී සිංහල ජාතිකයකුට රෙදි ගලවා කළ පහරදීම ද සිහිපත් වේ. ඒ පහරදීම කළේ මඩකලපුවේ සිංහල සුළුතරය විසින් සිය ඡන්ද අයිතිය ඉල්ලා කළ උද්ඝෝෂණයකදී ය.

මේ අතර හම්බන්තොටදී ජයතිලක බංඩාර ඇතුළු කලාකරුවන්ට පහර දුන් නගරාධිපති එරාජ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. මේ වනාහි ඒ පහරදීම වැළැක්වූයේ නැති පොලිසියයි. 

මේ සිද්ධි පෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපායි.

මේ අතර ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ඔහු හින්දු පුවත්පතට කළ ප්‍රකාශය අල්ලාගෙන මඩ ගැසීම සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් පවා සහභාගි වී ති‍බේ. මේ අභ්‍යන්තර පරීක්ෂණය යනු මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ආරම්භ කර තිබෙන එකක් වන අතර යුද අපරාධ චෝදනාවලට මුහුණ දීම සඳහා භාවිතා කරන ප්‍රධාන අවිය එයයි. විදේශ ඇමති ජී.එල්. පීරිස් අභ්‍යන්තර පරීක්ෂණයකට එරෙහිව කරන ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන ලක්ෂණයක් වන්නේ ආණ්ඩුව අනාගත රාජ්‍ය පාලනය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඇති ආකාරයකි.

මේ සියලු අර්බුද සමනය කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු දතක් ගලවා ගැනීමෙනි. ඔවුන්ගේ ඉලක්ක වන්නේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, හරින් ප්‍රනාන්දු යන ත්‍රිත්වයයි. මේ පිරිස් දැනටමත් ආණ්ඩුව සමග යම් එකඟතාවන්වල සිටින බව පෙනේ. එහෙත්, කරු ජයසූරිය ආණ්ඩුවට එකතු වීම එතරම් බලපෑමක් කරනු ඇතැයි සිතිය නො හැකි ය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට බලා සිටින අධික උන්නතිකාමියකු වන හෙයින් ඔහු මේ අවස්ථාවේ යනු ඇතැයි සිතිය නො හැකි ය. හරින් ප්‍රනාන්දු ද කියන්නේ තමන් ආණ්ඩුවට නො යන බවයි. මොවුන් කිසිවෙක් කියන දේ ගැන විශ්වාස කළ නො හැකි ය. බොහෝ විට මොවුන් අදාළ ගනුදෙනු අවසන් කර තිබිය හැකි ය. මොවුන්ගේ හැසිරීම හා චෝදනා සම්බන්ධයෙන් දියාරු පිළිතුරු ඒ සඳහා දෙස් දෙයි. එහෙත් දැන් ඇතැමෙක් සල්ලි අරගෙන කොකා පෙන්නන්නට පටන් ගෙන ද තිබේ. 

මේ තිදෙනා හැර වෙනත් අය මිළ දී ගැනීමෙන් ආණ්ඩුවට එතරම් වාසියක් අත් වනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-22

සල්ගාදු පිට්ටනිය හා ලංගම බස්

මෙන්න ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය පවත්වන්නට විනාශ කළ අනුරාධපුරයේ සල්ගාදු පිටිය අද. 

මෙන්න එදා අපි ඒ ගැන ලියූ ලිපිය: ක්‍රීඩා පිටියක වටිනාකම නො තේරෙන ආණ්ඩුවක්

තණකොළ ගහක් නැති මේ පිටිය ක්‍රීඩා පිටියක් බවට පත් කරන්නට තව කෙතරම් කාලයක් හා ධනයක් වැය වෙයි ද? 

මේ රැස්වීමට සෙනග ඇද්ද ලංගම බස් ගැන දැන් කවුරුත් දන්නවානේ. පසුගිය දිනෙක අපේ මිත්‍රයෙක් මට කීවා අලුතින් මිළ දී ගත් ලංගම බස් ගැන අපූරු කතාවක්. 

ඔහු කියනවා ඔහු දන්නා පෞද්ගලික බසයකට දමා තිබුණේ ඒ ලංගම බසයකින් ගැලවූ අලුත් ටයර් ය කියා. ඔහු කී පරිදි මේ අලුත් ලංගම බස්වල අමතර රෝදය, ජැක් එක එහෙම පිට විකුණලාලු. ඒ විතරක් නොවෙයි, ආපු හොඳ ටයර් ගලවලා පිට විකුණලා බාල ටයරුත් දාලාලු. 

බස් එකේ ඉස්සරහ තොරණ වගේ බැබලෙන එල්ඊඩී නාම පුවරුවත් හොඳ කොමිස් ජාවාරමක්ලු. 

දැන් අහයි කෝ ඔප්පු කරන්න සාක්කි කියලා. අපි ගාව කොයින්ද යකෝ සාක්කි. ඔන්න අපි දන්න දේ කිව්වා. ඉතින් හොයපියව්. ඒකට තමයි අපි තොපිව පත් කළේ. මගෙන් අහන්න එපා කොයි බල්ලද කිව්වෙ කියලා. ගිහින් බලපියව් ඩිපෝවල බස්වල ස්පෙයා වීල්, ජැක් එහෙම තියෙනවද කියලා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

අප එක් විය යුත්තේ ජයතිලක බංඩාර වැනි මිනිසුන් සමග ය

වීදියේ විරෝධය වීදි නාට්‍ය හා ගීත ප්‍රසංගයට ඊයේ දෙවන වතාවටත් ආණ්ඩුවේ මැරවරයෝ පහර දුන් හ. ඒ හම්බන්තොටදී ය. කලින් පහර දුන්නේ එප්පාවලදී ය.

නිව්ස් ෆස්ට් වෙත කතා කරමින් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර කරන ප්‍රකාශයට සවන් දුන් විට පහර දුන් අය කවුරුද යන්න හඳුනා ගත හැකි ය.

මේ සිද්ධිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ස්වභාවය කදිමට හෙළි කරන අවස්ථාවකි. 

මුළු රටක ම ජනතාව ණය කරමින් හම්බන්තොට කරන ලද මුග්ධ සංවර්ධනයන්ගෙන් රටට වූ සෙතක් නැත. ඒවායින් හම්බන්තොට දේශපාලන බත් ගොට්ටන්ට දුන් රැකියා සුරක්ෂිත කරන්නට හෝ වරාය, ගුවන් තොටුපල, රන්මිහිතැන්න වැනි ආයතනවල ආදායමක් නැත. 

එරාජ් නම් මැරවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ නිරීක්ෂණ චාරිකාවේදීත්, වීදියේ විරෝධයේදීත් කළේ මේ යථාර්ථය හෙළිදරව් කිරීම වැළැක්වීමයි. 

ඒ වෙනුවෙන් පිස්තෝල සෙල්ලම් කරන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදු වී තිබේ. 

රාජපක්ෂලා අද හම්බන්තොට බලය රැක ගන්නට උත්සාහ කරන්නේ ද ‍මේ තරම් නින්දිත ආකාරයට ය. 

ජයතිලක බංඩාර සහෝදරයා 1994 ආණ්ඩු පෙරළියට පෙර වකවානුවේදීත් මෙවැනි අභියෝගවලට මුහුණ දෙමින් විදියේ ගී ගැයුවේ ය. 

1994 පුටු පෙරළියෙන් පසු සංවේදී කලාකරුවෝ රැසක් ආණ්ඩුවට එකතු වී සෝමරත්න දිසානායකලා, රෝහණ වීරසිංහලා පාරේ ගිය හ. 

ඒත්, 2015 වන විටත් ජයතිලක බංඩාරලා පාරේ අප වෙනුවෙන් ගී ගයති. 

ආණ්ඩු පෙරළියක් අත ළඟ තිබියදී වෙනස වෙනුවෙන් පෙනී සිටින සියලු මිනිසුන් එසේ කරන්නේ වාසි ගන්න යැයි සිතා ගරහන මුග්ධයනි, ජයතිලක බංඩාර දෙස බලව්! ඔහු යනු 71 කැරැල්ලටත් පෙර සිට අඩ සියවසක පමණ කාලයක් තිස්සේ රැක ගත් සටන්කාමිත්වයක සංකේතයකි. 

ඔහු වනාහි ජනවාරි 8දායින් අරගලය හමාර කරන කලාකරුවෙක් නො වේ. 

ඔහු සමග එක් වන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-20

සුන්දර ඉංගිරිසි: පොලිටිකල් කලටිපොල්

මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේ ලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණ හේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා.

මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත් පාවිච්චි කරනවා.

ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේට යන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක්වා තිබුණු රාජ්‍ය සභාව හෙවත් State Council. කට්ටියක් එකතු වෙලා කතා කර කර ඉන්නකොට ‍ඒකට කවුන්සලේ දාලා කියලා උපහාසයෙන් කියන ව්‍යවහාරෙකුත් ගමේ ගොඩේ තිබෙනවා.

ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවයි. මේ parliament කියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇම්පී, එම්පී (MP) වගේ වචන පාවිච්චි කරනවා. එක්තරා කාලෙක ගම්වල මැම්බර් (member) මහත්තුරු හිටියා. හැබැයි මේ අය ගම් සභාවේ සාමාජිකයෝයි. මැම්බර් අයියා, මැම්බර් මාමා කියලාත් ව්‍යවහාර වුණා.
කොමිටිය (committee), බජට්ටෙක (budget), හැන්සාඩ් වාර්තාව (hansard) වගේ නාම පද මෙන් ම ‘හැන්සාඩ්ගත කරනවා’ වැනි ක්‍රියාපදත් භාවිතයට ආවේ පාර්ලිමේන්තුවෙන්.

මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ එස්කොඩ් එක දාගෙන. මේ තත්භව වචනයක්. මුල් ඉංග්‍රීසි වචනය escort උච්චාරණය කරන්නේ එස්කොට් කියලායි. හල් ටයන්න අගට එන ඉංග්‍රීසි වචන සිංහලට තත්භව වෙද්දි හල් ඩයන්න වෙන අවස්ථා තවත් තිබෙනවා. වොලිබෝල් පිටියට (court) සිංහල ඉංගිරිසියේ කෝඩ්ඩෙක කියනවා. වයර් කෝඩ්ඩෙක කියනකොට නම් එතන තිබෙන්නේ නම් වදනයි.

ඡන්ද කාලෙට රැස්වීම් තිබෙනවා. මේවාට රැළි කියනවා. මෙයත් රැලී (rally)  නම් ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. මීටිං (meeting) කියන සිංහල වදනේ ඒක වචන ස්වරූපය ලෙස භාවිතා වන්නේ මීටිමයි. දැන් පුංචි රැස්වීමට පොකට් මීටිම කියලාත් කියනවා.

පිකටිං කියන වචනෙත් දේශපාලනය එක්ක සම්බන්ධයි. එහි ඉංග්‍රීසි මූලික ස්වරූපය picket වුණත් සිංහලේදී පිකට් කරනවා කියන්නේ නැහැ. කියන්නේ පිකටිං කරනවා කියලායි.

පෝස්ටර්, බැනර්, කටවුට්, හෑන්ඩ් බිල්, ලීෆ්ලට් වගේ වචනත් දේශපාලනය එක්ක සිංහල වුණ ඉංග්‍රීසි වචනයි.

මේ සටහන අවසන් කරන්න පුංචි විහිළු කතා දෙකක් සඳහන් කරනවා. 1977 මැතිවරණයේදී සිරිමා බංඩාරනායක අගමැති ධුරය දැරූ සමගි පෙරමුණු ආණ්ඩුව ජනතාවට කොයි තරම් එපා වෙලා තිබුණා ද කිව්වොත් එක්සත් ජාතික පක්ෂයෙන් පොල්පිත්තක් තිබ්බත් පාර්ලිමේන්තුවට තේරෙන තත්වයක් තිබුණා. 77ට කලින් පාර්ලිමේන්තුවේ සිටියේ තරමක් දැන උගත් මිනිස්සු. ඒත්, 77න් පසුව තත්වය වෙනස් වුණා. 77දි පාර්ලිමේන්තුවට තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන හිනා වෙන කතන්දර නිර්මානය වුණා.

එක් කතාවකට අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කලබල ඇති වුණා ම එජාප නායකයා එක් අලුත් මන්ත්‍රීවරයෙකුගෙන් ඇහුවලු ඔය පැත්තට කර්ෆිව් දාන්න ද කියලා. එතකොට ඒ මන්ත්‍රී කිව්වලු “අනේ සර්, කව්පි නම් කාලා ඇති වෙලා තියෙන්නේ. දානව නම් මයිසූර් පරිප්පු ටිකක් දාන්න” කියලා.

ඊට ටිකක් පස්සෙ කාලෙක ජේ.ආර්.ගෙ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න පටන් ගත්තා. ඔය කාලෙම තමයි, ඒ කාලේ ලෝක බැංකුවේ සභාපති ධුරය දැරූ සයිරස් වෑන්ස් ලංකාවට ආවේ. සයිරස් වෑන්ස් එන බව ඇසූ ඇතැම් මන්ත්‍රීවරු තමන්ටත් වෑන් එකක් ඕනෑ කියලා කිව්වාලු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-12-19

පෙෂාවර් ප්‍රහාරය හා අර්බුදයෙන් අර්බුදයට යන පකිස්තානය

වයඹදිග පාකිස්තානයේ පෙෂාවර් නගරයේ හමුදා සාමාජිකයන්ගේ දරුවන් ඉගෙන ගන්නා පාසලකට කඩා වැදුණු තලිබාන් ත්‍රස්ත කණ්ඩායමක් පංතියෙන් පංතියට යමින් වෙඩි තබමින්, බෝම්බ ගසමින්, දුටු දුටු පාසල් දරුවන් 130කට අධික පිරිසක් හා පාසලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මරා දැමූ හ. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබූ හ.

මෙම පාසල හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන්නකි. එහි හමුදා පවුල්වල ගැහැනු පිිරිමි දරුවෝ රැසක් ඉගෙනුම ලබති. එහි වෙනත් සිවිල් වැසියන්ගේ දරුවෝ ද ඉගෙනුම ලබති. පෙෂාවර් යනු පකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා රාජ්‍යයේ අගනුවරයි. ෆෙඩරල් පාලනයක් සහිත ගෝත්‍රික ප්‍රදේශවල පරිපාලන අගනගරයයි. එය පිහිටා ඇත්තේ පකිස්තාන් ඇෆ්ගනිස්තාන් දේශ සීමාව ආසන්නයේ ය.

පැය අටක පමණ අනතුරුදායක කාලයකින් පසු හමුදාව විසින් තුවක්කුකරුවන් සත්දෙනෙකු මරා දමා තිබේ. ඔවුන් බෝම්බ ඇඳුම් ඇඳ සිටි මරාගෙන මැරෙන භට පිරිසකි. පකිස්තානු තලිබාන් කණ්ඩායම මේ මහා ඝාතනයේ වගකීම ප්‍රසිද්ධියේ භාර ගත් හ.

පකිස්තානු රජය තුන් දිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ය. මිනිමැරුම් සම්බන්ධයෙන් අත්හිටුවා තිබුණු මරණීය දණ්ඩනය යළි ප්‍රකාශයට පත් කරන්නට ද ආණ්ඩුව කටයුතු කර තිබේ. මෙම සිද්ධියෙන් පසු උතුරුදිග වසිරිස්තානයේ හා ඛයිබර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ද පකිස්තානය වග බලා ගත්තේ ය. ඒවා ඍජු ප්‍රතිප්‍රහාර බව ප්‍රකාශ වී නැති වුණත්, එය එසේ යයි අනුමාන කළ හැකි ය.

සිද්ධියෙන් පසුව පකිස්තානු හමුදාපති රහීල් ෂරීෆ් ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයක යෙදෙමින් ඇෆ්ගන් හමුදා නායකයන් සමග සාකච්ඡා පැවැත්වී ය. පකිස්තාන් තලිබාන් ව්‍යාපාරයේ නායක මුල්ලා ෆස්ලුල්ලා ඇෆ්ගනිස්ථානයේ සැඟවී සිටින බව පකිස්තානය විශ්වාස කරයි.

පකිස්තාන් තලිබාන් ව්‍යාපාරය වනාහි මෙවැනි සමූහ ඝාතන සම්බන්ධයෙන් නම් දැරූ සංවිධානයකි. කරච්චි ගුවන් තොටුපලට ටෙහ්රික්-ඊ-තලිබාන් සංවිධානය විසින් පසුගිය ජුනි මාසයේ එල්ල කරන ලද ප්‍රහාරයකදී සෙබලු හා සිවිල් වැසියෝ 19ක් ද, ප්‍රහාරකයෝ 10දෙනෙක් ද මිය ගිය හ. ඔවුන් තම ඝාතන සාධාරණීකරණය කරන්නේ හමුදා ප්‍රහාරවලින් තමන් ද මේ හා සමාන වේදනාවන් අත්විඳින බව පවසමිනි. පාසල් ප්‍රහාරය ගැන ද තලිබාන් ප්‍රකාශක මොහමඩ් කුරසානි කීවේ ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කළේ හමුදාව විසින් තම පවුල් ඉලක්ක කිරීමෙන් තමන් අත්විඳි වේදනාව ඔවුන්ටත් දැනෙන්නට බවයි.

මේ වන විට පකිස්තාන් හමුදාව එක්සත් ජනපද ආධාර සහිතව උතුරුදිග වසිරිස්තානයේ යුද මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නියමුවන් රහිත ඩ්‍රෝන් යානා ද භාවිතා කරමින් කරන මෙම ප්‍රහාරවලදී එහි නිරායුධ සිවිල් වැසියෝ හා දරුවෝ විශාල වශයෙන් මිය යති. ඒ පිළිබඳ ලෝකයට වාර්තා වන්නේ සුළු වශයෙන් වන අතර කිසිවෙක් ඒ මිය යන්නන් වෙනුවෙන් හඩ නගන්නේ නැත.

පෙෂාවර් පාසලේ අමානුෂික ත්‍රස්ත ක්‍රියාව නිර්මානය වන පසුබිම මෙයයි. මෙවැනි සිද්ධි ලොව පුරාමත් තවත් කොතෙකුත් සිදු වී තිබේ. යසර් අර්ෆත් නායකත්වය දුන් පලස්තීන විමුක්ති සංවිධානය 1970 දශකයේදී තමන්ට සිදු වන අසාධාරණය කෙරෙහි ලෝක අවධානය දිනා ගත්තේ ද මෙවැනි ම ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ඔස්සේ ය.

එහෙත්, අපරාධයක් තවත් අපරාධයකින් තුලනය වන්නේ නැත.

පකිස්තානය යනු මේ වන විට උණු වී නටන කලවම් හොද්දකි. පසුගිය අගෝස්තුවේදී පාකිස්තානයේ විපක්ෂයේ නායකයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ හා ආගමික නායකයකු වන තහීර් උල් කද්රිගේ නායකත්වයෙන් අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදු විය. නවාස් ෂරීෆ් අගමැති තනතුරින් ඉල්ලා අස් විය යුතු බවට ඔවුහු උද්ඝෝෂණය කළහ.

තහීර් උල් කද්රි යනු පාකිස්තානයේ ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරය මධ්‍යස්ථකරණය කළ යුතු බව පවසන ආගමික හා දේශපාලන නායකයෙකි. ඔහු ජාත්‍යන්තර ආණ්ඩුක්‍රම පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම ඉස්ලාම් ආගමික ගුරුකුලයක් වන සුෆී දහම පිළිබඳ ශාස්ත්‍රඥයෙකි. නිදහස, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, යහපාලනය හා කාන්තා අයිතිවාසිකම් ආදියට ගරු කරන ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ඔහුට කම්කරුවන් අතර පදනමක් තිබේ.

පකිස්තානයේ ඉස්ලාමීය ආගමික රාජ්‍යය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන බව ආගමික සංස්ථාව තුළින් ම මතු වී තිබෙන මෙම ගැටුමෙන් නිරූපණය වේ.

පකිස්තානයේ නිල නාමය පකිස්තාන ඉස්ලාමීය ජනරජයයි. එය ජනගහණය අතින් ලෝකයේ හයවන තැන අත් කර ගන්නා රටකි. ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට හා චීනයට ගොඩබිමින් මායිම් වන පකිස්තානය ඕමානය සමග මුහුදු දේශසීමාවක් බෙදා හදා ගනියි. ඉතිහාසය පුරා ඉන්දු නිම්න, හින්දු, ග්‍රීක, මොංගෝලියානු, ඇෆ්ගන්, සික් ආදී විවිධ සංස්කෘතීන්ගේ බලපෑමට ලක් වූ මෙම භූමි ප්‍රදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණේ 1947දී මොහොමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් ඉන්දීය නිදහස් සටනට සමාන්තරව දියත් වූ අරගලයක ප්‍රතිඵලය ලෙසයි. 1956දී නව ව්‍යවස්ථාවක් සකසා ගත් පකිස්තානය ඉස්ලාමීය ජනරජයක් ප්‍රකාශයට පත් කළේ ය. සිවිල් යුද්ධයකින් අනතුරුව 1971දී නැගෙනහිර පකිස්තානය ඉන්දීය සහයෝගය ඇතිව බංග්ලාදේශය නමින් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් විය.

නිදහසින් පසු පකිස්තානයේ ඉතිහාසය පුරාම වරින් වර මිලිටරි ආණ්ඩු බිහි වී තිබේ. දේශපාලන අස්ථාවරත්වයන් හා ඉන්දියාව සමග ගැටුම් ද එහි ඉතිහාසය පුරා ම ඇදී යයි. පකිස්තානය ලොව අටවන ශක්තිමත් ම හමුදාව සිටින රටයි. එපමණක් නොව එය න්‍යෂ්ටික බලවතෙකි. ඇමරිකාව සමග මෙන්ම චීනය සමග ද ඉතා සමීපව කටයුතු කරන රටකි. පකිස්තානය ඉන්දියාව සමග තුන්වරක් යුද වැදුණේ ය. එයට මූලික හේතුව වූයේ කාශ්මීරයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි. සටන්කාමීන් කාශ්මීර‍යේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින අතරතුර ඉන්දියාවත්, පකිස්තානයත් කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ගැටුමක සිටියි. ඉන්දීය කාශ්මීර සටන්කාමීන්ගෙන් කොටසක් පකිස්තානය සමග එක් වීමට ද තවත් කොටසක් වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමට ද සහයෝගය දෙති.

පකිස්තානය ලොව දෙවන විශාලතම මුස්ලිම් ජනගහණය සිටින රටයි. (පළමු තැන ගන්නේ ඉන්දුනීසියාවයි.) එරට පිහිටා ඇති ස්ථානය මූලෝපායික වශයෙන් ඉතා වැදගත් ය. එය තෙල් සම්පත සපිරි මධ්‍යම ආසියාවට ආසන්නයෙන් හා ලොව ප්‍රධාන තෙල් ප්‍රවාහන නැව් මාර්ගවලට ආසන්නයෙන් පිහිටා තිබේ.

පකිස්තානයේ ත්‍රස්තවාදයට ගැඹුරු ඉතිහාසයක් තිබේ. කලක් සාපේක්ෂව සාමකාමී දේශයක් වූ පකිස්තානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් වීම ආරම්භ වුණේ 1970 දශකයේ අග හා 1980 දශකයේ මුල‍භාගයේදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ හමුදා විසින් ඇෆ්ගනිස්තානයේ කරන ලද යුදමය මැදිහත්වීමට එරෙහිව ඇමරිකාව පකිස්තානයත් සමග එක්ව එ‍රට භූමිය භාවිතා කරමින් ඇෆ්ගනිස්තානයේ මුජිහඩීන් ගරිල්ලන් පුහුණු කිරීමත් සමගයි. ඇෆ්ගනිස්තානයේ තලිබාන්වරුන් මෙන්ම පකිස්තානයේ තලිබාන්වරුන් ද බිහි වන්නේ මේ ඔස්සේ ය. පසු කලෙක ඇෆගනිස්තානයේ ඇමරිකන් මිලිටරි මැදිහත්වීම් ද තත්වය තවත් උග්‍ර කිරීමට හේතු විය.

වයඹදිග පකිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශවල ආර්ථිකයේ, සමාජ සංවර්ධනයේ හා අධ්‍යාපනයේ පසුබෑම ඉස්ලාම් මූලධර්මවාදයේ හා ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට හේතු වී තිබේ. ත්‍රස්තවාදය පෙරළා මෙම ප්‍රදේශවල තත්වය තවත් නරක තත්වයට ඇද දමයි. ආර්ථික කටයුතු බිඳවැටීම හේතුවෙන් එම ප්‍රදේශවල දරිද්‍රතාව තවත් ඉහළ යයි. නූතන මානව සමාජය විසින් පිටු දකිනු ලබන ස්ත්‍රීන් ගල් ගසා මරා දැමීම වැනි සිදුවීම් මෙම කලාපයෙන් වාර්තා වන්නේ මෙම සංදර්භය තුළ ය. එහි ක්‍රියාත්මක වන මද්රාසා නම් ඉස්ලාම් පාසල් ද ත්‍රස්තවාදය පෝෂණය කිරීමෙහිලා දායක වන බවට චෝදනා එල්ල වේ.

පකිස්තාන තලිබාන් ව්‍යාපාරය යනු ඒකීය සංවිධානයක් නොවේ. පකිස්තාන රජයට එරෙහිව එකට කටයුතු කරන මුත්, තලිබාන් සංවිධාන අතරත් උග්‍ර බල අරගලයක් තිබේ. ඔවුන් අතර ඇමරිකන් විරෝධීහු මෙන් ම, බලුකිස්තාන ප්‍ර‍දේශයේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සටන් කරන සංවිධාන ද, සුළුතර ෂයිට් මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරන සුන්නි අන්තවාදී සංවිධාන ද තිබේ. සුළුතර අහමදියා මුස්ලිම්වරු තලිබාන්වරුන්ගේ ප්‍රධාන ඉලක්කයකි. පසුගිය කාලයේ ලංකාවේ ආණ්ඩුව මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ රැකවරණ පතා සිටි පකිස්තාන අහමදියා සරණාගතයින් ආපසු එරටට යැවීමට කටයුතු කළ හ.

අරමුණ ලෙස දැක්වෙන්නේ පකිස්තාන රජය පෙරළා ඔවුන්ගේ පන්නයේ ෂාරියා නීතියක් ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමයි. එසේම .ඔවුහු ඇෆ්ගනිස්තානයේ බටහිර බලවතුන්ගේ මැදිහත්වීමට ද එරෙහිව සටන් කරති. ඔවුහු වයඹදිග පකිස්තානයේ විශාල භූමි ප්‍රදේශයක සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ. එම ප්‍රදේශවල තිබෙන්නේ අරාජිකත්වයකි.

මේ වන විට පකිස්තානු තලිබාන් සංවිධාන තුළ ද අර්බුද රැසකි. මේ වන විට දේශපාලන වශයෙන් ශක්තිමත් වී තිබෙන ඇෆ්ගන් තලිබාන් සංවිධානය සමග ඇති සම්බන්ධය මෙහිදී වැදගත් ය. ඇෆ්ගන් තලිබාන් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ. තලිබාන් සංවිධාන තුළ මේ වන විට අල් ක්වයිඩා හා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් කෙරෙහි දක්වන පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් ද තරගකාරිත්වයක් ඇති වී තිබේ.

මෙම ප්‍රදේශවල ත්‍රස්ත බලය බිඳලීම පිණිස පකිස්තාන රජයේ හමුදා 2009 සිට ම යුද වැදී සිටියි. දහස් ගණන් පකිස්තානු ජනයාත්, හමුදා සෙබලුත් මරු දුටු, තවත් ලක්ෂ ගණනක් ජනයා අවතැන් කළ එම යුද්ධය නිසා පකිස්තානු ජනයා පීඩාවට පත් වී සිටිති. වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන ආර්ථිකයක් වන පකිස්තානයට මෙම ත්‍රස්තවාදය නිසා අහිමි වූ දේ බොහෝ ය.

එපමණක් නොව, අද වන විට පකිස්තානය මුළු ලෝකයට ම හිසරදයක් වී තිබේ. පකිස්තානය යනු විවිධ දේශපාලන කණ්ඩායම් හා ත්‍රස්ත කණ්ඩායම් අතර බල අරගල සමූහයකි. මෙම බල අරගල හමුවේ පකිස්තානය දිනෙන් දින අන්තවාදී ආගමික රාජ්‍යයක් බවට ද පත් වෙමින් තිබේ.

පෙෂාවර් පාසලේ තලිබාන් ප්‍රහාරයෙන් පකිස්තානය ශෝක වෙමින් තිබෙන අතරතුර අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් පැවැත්වුණු සර්ව පාක්ෂික සාකච්ඡා මෙම තත්වය ප්‍රකාශයට පත් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. එම සාකච්ඡා ඔස්සේ කිසිදු පැහැදිලි ස්ථාවරයකට පැමිණීමට පකිස්තාන් දේශපාලන පක්ෂ සමත් වී ඇති බවක් නො පෙනිණි. ඉදිරි සතියේදී අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට දියාරු ප්‍රකාශයක් සමගින් සර්ව පාක්ෂික සාකච්ඡා අවසන් වූයේ පුවත්පත් සාකච්ඡාවක ස්වරූපයෙනි.

නවීන ලෝකයේ ආගමික රාජ්‍යවල අසාර්ථකත්වයට පකිස්තානය උදාහරණයක් ලෙස සැලකිය හැකි ය.