2015-02-07

මහරජ ගැමුණු ඔස්සේ මහින්ද - ප්‍රභාකරන් යුද්ධය කියවීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තමන් රජෙක් ලෙස ප්‍රවර්ධනය කර ගන්නට තිබුණු උවමනාව නිසා හෝ මහින්ද රාජපක්ෂව රජෙකු ලෙස භාර ගන්නට උවමනා වූ ජනතාවට ඔහුව අලෙවි කරන්නට තිබුණු ලෙහෙසි ක්‍රමය එය වූ නිසා හෝ පසුගිය සමයේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ රාජමානසිකත්වයක් ප්‍රවර්ධනය කරන ලදී.

එහි අතුරු ඵලයක් ලෙස ලංකාවේ ඉතිහාස සිනමා ධාරාවක් නිර්මානය විය. රජුන් මහින්දගේ චරිතය සමග ස්පර්ශ වී යන ආකාරයට ගොඩනගන ලද ඉතිහාස කතා සිනමාවට නැගීම සඳහා අනුග්‍රහය ලබා දීමට අර්ථපතියෝ ඉදිරිපත් වූ හ. එමගින් ඔවුන්ට ද මහින්දගේ පැත්තේ සිටින බව ප්‍රදර්ශනය කිරීමටත්, සිය ව්‍යාපාර වෙනුවෙන් රාජපක්ෂ පවුලේ අනුග්‍රහය ලබා ගන්නටත් අවස්ථාව ලැබිණි.

ඉතිහාස කතාවක් සිනමාවට නැගීම කලාකරුවකු ලෙස රාජ්‍ය පිළිගැනීමක් ලබා ගැනීමට හා සම්මානයට පාත්‍ර වීමට මාර්ගය විය. එසේම එවැනි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ද විවිධ ආකාරයෙන් ලබා ගත හැකි විය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙළඳ නියෝජිත භූමිකාවට ගෙන වැටුප් නො ගෙවන සේල්ස් රෙප්වරුන් ලෙස ගුරුවරුන් යොදා ගනිමින් පාසල් දරුවන්ට මෙම චිත්‍රපටය අලෙවි කර ගැනීමට නිෂ්පාදකයන්ට අවස්ථාව ලැබිණි.

එසේම ඉතිහාස කතාවක් සහිත චිත්‍රපටයක් නැරඹීම ම දේශප්‍රේමී කර්තව්‍යයක් ලෙස පිළි ගැනීමට ලක් වීමත් සමග ම ජාතිකවාදී සිනමාව වෙනුවෙන් නව වෙළඳපොළක් ද නිර්මානය විය.

ජාතිකවාදී සිනමාව තුළ රසවින්දන නිර්නායක වෙනස් විය. සිනමාත්මකබව, කතා රසය වැනි කාරණාවලට වඩා කතා පුවත වැදගත් විය. වාර්තා ස්වරූපී කම්මැලි චිත්‍රපට පවා වගකීමක් ලෙස සලකා බලන, දරුවන්ට පෙන්වන ප්‍රේක්ෂක ප්‍රජාවක් බිහි විය. ඔවුන් අතර සංවාද අවම විය. රස විඳීමට වඩා වැදගත් වුණේ එම චිත්‍රපටය බැලීමෙන් දායක වූ දේශමාමකත්වයයි.

අබාගෙන් පටන් ගත් මෙම සිනමා ධාරාව තර්කානුකූල කූට ප්‍රාප්තියකට යොමු කරන අවස්ථාවක් ලෙස ජයන්ත චන්ද්‍රසිරිගේ මහ‍රජ ගැමුණු චිත්‍රපටය සැලකිය හැකි ය.

මහරජ ගැමුණු නිර්මානය වන්නේ ඉහත කී සංදර්භය තුළ වුව ද, එය ගැමුණු රජුගේ කතාව තුලනාත්මකව හා සිනමාත්මකව ප්‍රතිනිර්මානය කිරීමේ කදිම වෑයමක් ලෙස සැලකිය හැකි ය.

ගැමුණු රජුගේ කතාව මහාවංශයේ කේන්ද්‍රීය පුවතයි. මහාවංශය යනු පසුකාලීනව දහනමවන හා විසිවන සියවස්වලදී නූතන සිංහල ජාතිය ගොඩනැගීමේදී පාදක කර ගන්නා ලද වංශ කතා ග්‍රන්ථ රත්නයයි. මහාවංශය වනාහි එළාර නම් දෙමළ පාලකයා පරදා අනුරාධපුරයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය තහවුරු කර ගන්නා ගැමුණු රජුගේ කතාවයි. මේ වංශ කතාව පාදක කර ගනිමින් විසිවන සියවස ආරම්භය ආසන්න වකවානුවේදී නූතන සිංහල ජාතිය ගොඩනගන්නේ ද ‍ලංකාවේ නැගී එමින් සිටි තවත් ජාතියක් වූ දෙමළ කතා කරන ජනයා සතුරා ලෙස ප්‍රක්ෂේපණය කරමිනි. එළාර පරදා ගැමුණු අනුරාධපුරය අල්ලා ගත්තා සේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව අලුතින් ගොඩනගන ලද ශ්‍රී ලංකාව නම් ඒකීය රාජ්‍යයෙහි බලය බහුතර සිංහලයන් වෙත අල්ලා ගැනීමට මහාවංශය උත්කර්ෂයට නගන ලදී. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට ගිය මෙම යුද්ධය පසුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ 6වන සංශෝධනය ඔස්සේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පළවා හැර 1983 ජුලි දෙමළ සංහාරයෙන් කූටප්‍රාප්තියට ගෙන එන ලදී.


දෙමළ ඊලාම් යුද්ධය නැවත වතාවක් දුටුගැමුණු හා එළාර අපට මුණගස්වන සංදර්භයකි. සිංහල ජාතිය දුටුගැමුණු කෙනෙකු නිර්මානය කර ගැනීමේ පිපාසයකින් පෙළුණ හ. ගැමුණු හා යුද වැදීමට යෝග්‍ය එළාර කෙනෙක් ඒ වන විටත් උතුරෙන් බිහි වී තිබිණි. ඒ ප්‍රභාකරන් ය.

ප්‍රභාකරන් සමග යුද්ධය සඳහා සිංහල ජාතිවාදීන් විසින් ගොඩනගනු ලැබූ චරිතය මහින්ද රාජපක්ෂයි.ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු එක්තරා අන්දමකින් මහින්ද - ප්‍රභාකරන් යුද්ධය ගැන සිනමාත්මක හා ඓතිහාසික කියවීමක් ලෙස සැලකිය හැකි ය. ජාතිකවාදී සිනමා ධාරාවේ සිනමාකරුවන් මෙහිදී ගොඩනගන ඉතිහාස කියවීම ඇත්තෙන් ම මහින්දට ඔහු ගැන නිර්මානය කර ගන්නට අවශ්‍ය ප්‍රබන්ධය ද?

ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු සිනමාහල්වලට නිකුත් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වී සිටියදී ය. ජාතිකවාදී සිංහල සිනමාවේ පතාක යෝධයකු වූ සෝමරත්න දිසානායක ශක්තිමත් කරන්නට අල්ලාගෙන සිටි මහින්දගේ දෑත අතහැර දැන් යහපාලන රජය සමග සම්බන්ධ වී ඇත. තවත් ඉතිහාස කතා කීපයක් ඉදිරියේදී තිරගත වන්නට නියමිත වුව ද, ජයන්ත චන්ද්‍රසිරි විසින් මහරජ ගැමුණු සමගින් සලකුණු කරන්නේ ජාතිකවාදී සිනමාවේ කූටප්‍රාප්තිය විය හැකි ය. මෙතනින් එහා පැත්තේ ඇත්තේ ඒ ධාරාවේ සිනමාවේ බහින කලාවයි.

ජයන්ත චන්ද්‍රසිරිගේ මහාවංශ කියවීම වඩා සාධාරණ හා යුක්තිසහගත එකකැයි මම සිතමි. ඔහු දුටුගැමුණු හා එළාර යන චරිත දෙක ම තුලනාත්මකව හා තර්කානුකූලව විවරණය කරන්නට උත්සාහයක යෙදෙයි.

එළාර රජකු වීමේ අභිලාෂයෙන් ලංකාව ආක්‍රමණය කළ ‍වෙළඳ නායකයෙකි. එවකට ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්  වූ අනුරාධපුරයේ ඔහු සතළිස් වසක් පුරා සාපේක්ෂ වශයෙන් සාමකාමී පාලනයක් ගෙන යයි.රුහුණේ කාවන්තිස්ස රජු සමග බල තුලනය පවත්වාගෙන යයි. මේ දෙදෙනා හැර තවත් ප්‍රාදේශීය රජවරුන් රැසක් ලංකාවේ සිටි බවට මහාවංශයෙන් ම සාක්ෂි සොයා ගත හැකි ය. නිදසුනක් ලෙස විහාරමහාදේවියගේ පියා කැලනියේ සිට පාලනයක් ගෙන ගිය රජෙකි. එහෙත්, වර්තමානයේ සිට ඉතිහාසය විවරණය කිරීමේදී ජයන්තට එම ප්‍රස්තුතය අදාළ නැත. මන්ද,ජයන්ත ඇත්තෙන් ම කරන්නේ ඉතිහාසය පසුබිම් කරගෙන වර්තමානය ගැන කතා කිරීම වන හෙයිනි.

වර්තමාන සංදර්භයට අදාළව එළාර දක්ෂ, කූට හා කෲර පාලකයකු විය යුතු ය. ඔහු ඔස්සේ ප්‍රභාකරන් සංකේතවත් කළ හැක්කේ එවිටයි. එහෙයින් ජයන්ත මහාවංශයේ එළාර ගැන සඳහන් වන ධාර්මිකත්වය හා සම්බන්ධ කරුණු ගෙඩි පිටින් හළා දමයි. එළාර ජය ශ්‍රී මහා බෝධිය කපන්නට උත්සාහ නො කළොත් හෝ කෲර ලෙස ජනයා මරා නො දැමුවොත් ජයන්ත චන්ද්‍රසිරි අමාරුවේ වැටෙන්නේ ය. තම කරත්තයේ රෝදයට සෑයක කොටසක් කැඩී යාම නිසා තමන් ද එම කරත්තයට යට කර මරා දමන්නැයි එළාර කීවොත් එහෙම ජයන්තට මේ චිත්‍රපටය කරලා වැඩක් නැත.

ඔහුට පමණක් නොව, දුටුගැමුණුට එළාර හා යුද්ධ කරන්නට ද හේතුවක් තිබිය යුතු ය. මහාවංශයේ පමණක් නොව මහරජ ගැමුණු චිත්‍රපටයේ ද බුද්ධාගම මේ යුද්ධය සමග පටලා ගන්නේ ආයාසයෙනි.

එසේම, ක්‍රි.ව. තුන්වන සියවසේ අනුරාධපුරයත් , මාගම්පුරයත් අතර ඇති දුර ද ජයන්තට අවශ්‍ය යුද්ධය නිරූපණය කිරීම සඳහා බාධාවකි. එහෙයින් ඔහු ලංකාව භූගෝලීයව හකුළා ඔහොම මෙහෙම යුද්ධයක් නිර්මානය කරයි. ඒ යුද්ධය ඊලාම් යුද්ධය හා සමපාත වන්නේ එවිටයි.

ජයන්තගේ සාහිත්‍යමය හා සිනමාත්මක කෞශල්‍යය නිරූපණය වන්නේ චිත්‍රපටයේ අවසාන භාගයේදී ය. ගැමුණු රජු ගොවියකු ලෙස ගෙවන දිවිය, රජ වීමෙන් පසු බලය තහවුරු කර ගැනීමට හා එළාර සමග යුද්ධ කිරීමට ජනතාව බලමුළු ගන්වන ආකාරය, තිස්ස රජු හා ඔහු අතර ගැටුම ආදී සිදුවීම් ඔහු ප්‍රතිනිර්මානය කරන ආකාරය තරමක් සියුම් ය. 

ඔහුගේ නිර්මානාත්මක ම ඉදිරිපත් කිරීම වන්නේ එළාර හා දුටුගැමුණු අතර ද්වන්ධව සටනයි. ඔහු එළාරටත්, දුටුගැමුණුටත්, ඉතිහාසයටත්, මනුෂ්‍ය ස්වභාවයටත් සාධාරණත්වය ඉටු කරයි.

එසේම, මෙම චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව වන ගැමුණුගේ යුද්ධය ඔස්සේ මහින්දගේ යුද්ධය කියවීමෙහිදී ජයන්ත ඉතා සියුම් ලෙස ජාතිකවාදී සීමා මායිම් ඉක්මවයි.

දුටුගැමුණු යුද්ධ කරන්නේ සතුරු පාර්ශ්වයේ ජීවිත හානි අවම වන අන්දමටයි. මහින්ද කළේ එහි අනෙක් පැත්තයි. දුටුගැමුණු සිය සතුරාට දැක්වූ ගරුත්වය ප්‍රභාකරන්ට දක්වන්නට මහින්ද සමත් වූයේ නැත්තේ ඇයි?

මෙම කාරණා ප්‍රභාකරන්ට ද අදාළ ය. යුද්ධයේදී තම පාර්ශ්වයේ සටන්කරුවන්ට හා ජනතාවට සිදු වන හානි අවම කර ගැනීම පිණිස එළාර කළ කැප කිරීම වැන්නක් ප්‍රභාකරන්ගෙන් ප්‍රදර්ශනය නො වූයේ මන් ද?

අවසානයේදී ගත් කල, වර්තමානයේදී අපට හමු වන චරිත ඉතිහාසයේ අපට හමු වන චරිතවල ආලෝකයට සාපේක්ෂව ගත් කල කදෝපැණියන් බව පෙනේ. ජයන්තගේ ප්‍රකාශනය මෙවැන්නකි. "බොලා කරපු යුද්ධෙ මොකක් ද? මෙන්න යුද්ධය! බොලාගේ වීරත්වය මොකක් ද? මෙන්න වීරත්වය!"

දුටුගැමුණු වීරයා කරන්නට මහානාම හිමියන් මහාවංශය ලියුවේ ය.එහෙත්, විසිඑක්වන සියවසේදී ජයන්ත චන්ද්‍රසිරි වඩාත් යථාර්ථවාදී සිනමාකරුවකු ලෙස විසිඑක්වන සිය‍වසේ මුල් දශකයේ ලංකාවේ වූ යුද්ධය විවරණය කරන්නට මහරජ ගැමුණු චිත්‍රපටය ඔස්සේ මහාවංශය ප්‍රතිනිර්මානය කළේ ය. එහෙත්, ඔහු බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි මහින්ද රාජපක්ෂ වීරයා කර නැත. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

13 comments:

  1. මේක ජයන්ත හැදුවට ජැකා තමයි ප්‍රධාන උපදේශක. ජැකා තමයි මරාගේ භූමිකාව පෙන්වන්නේ. ජැකා තමයි සියල්ල මෙන්න මෙහෙම වියයුතුයි කියන්නේ. මේක පෙන්නන්න හිටියේ මහා උත්සවයක් තියල මරාව වඩම්මාගෙන ඇවිල්ලා. නමුත් සාත්තර සුමනෙට පින්සිද්ද වෙන්න වැඩේ අබිලික් වුණා.

    ReplyDelete
  2. මුලින්ම කිවයුත්තේ, රටේ ආර්ථිකය දුර්වලවනවිට පාලකයාට බලයේ සිටීමට උපකාර වන්නේ ජාතිවාදයයි (මෙය දියුණු රටවල අදාල නොවන්නේ දැඩි නීති මගින් වලක ඇති නිසයි ) අප වැනි ගෝත්‍රික මනස් ඇති ජනයා අතර මෙවැනි දේ ජනප්‍රිය කරවීමට පාලකයා උත්සහ කරන්නේ එමගින් සැමවිටම පවතින මුලික ප්‍රශ්නය යටපත් කල හැකි නිවවෙනි.

    දැන ගතයුතු මුලික කරුණ නම් මෙය පවතින්නේ සිංහල සමාජයේ පමණක් නොවන බවයි මුස්ලිම් සහ දමිල සමාජය තුලත් මෙවැනි මානසිකත්වයක් පවතී (1991 දී සියලුම මුස්ලිම් ජනයා යාපනයෙන් පිටුවහල් කරන ලද්දේ දමිල කොටි සන්විදනයයි ) මේ පිළිබද දමිල සමාජය අදත් හැසිරෙන්නේ කිසිවක් සිදු නොවූ ලෙසයි.

    මා බෝගොවිට සිංගප්පුරුව උදාහරණයට ගන්නේ අපට සමාන ප්‍රශ්නයන් ඔවුන්නට විසදා ගැනීමට හැකිවූ නිසයි.

    එය සිදුකලේ කෙසේද ? මුලින්ම දේසපාලන ඇගිලිගැසීම් නොමතිවනලෙස රාජ්‍ය තන්ත්‍රය සකසගනිමයි සියල්ල විනිවිද පෙනෙන ලෙස සංවිදාන කරනලද සමාජයේ මුලික ඉංග්‍රීසි බස යොදාගන්නලදී (49% චීන ජාතිකයන් හට මිට විරුද්ද විය නොහැකි වුයේ ) සිංගප්පුරුවේ අපට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නොමැති වූ බැවින්, එහි පුරවැසියන් ඊට හඩ නොනගුවේ මන්ද? ඔවුන් දැක්ක තම පාලකයා නීතියට අනුකුලව ක්‍රියා කරන අයුරු.

    අද වනවිට සිංගප්පුරුව පලවන ලෝකයේ රටකි, ඔවුන් මෙසේ දියුණු වුයේ පාලකයන් අවවාදය මෙන්ම ආදර්ශය ලබාදුන් නිසා. පාලකයන්ට අහිතකර
    නීති දිගටම පැවතුනේ කෙසේද? (අපරටේ නම් කෙසේ හෝ මෙවැනි නීති අහෝසි කරගනු ඇති )

    සිංගප්පුරුවේ දේශපාලනඥයකුට විසාල වැටුපක් ගෙවන්නේ ඔහු ගේ අතින් මෙවැනි වරදක් නොවීමටයි (ඉහල වැටුපක් ලබන දේශපාලනඥයකු සොරකම් කිරීමට නොපෙලබේ ) තවද දේශපාලනඥයකු වීමට අවස්යවන්නේ උගත් කමත් දැනුමත් පමණි.

    ආර්ථික වසයෙන් දියුණු සමාජයක ගෝත්‍රික මනසක් දිගටම පවත්වාගත හැකිනොවේ.

    ReplyDelete
  3. සැමදා කියෙව්වත් තබන පලමු සටහන.
    ඇත්තට කිරි බත් කාපු අපිට බැරිඋනේ ඇයි මියගිය හැමට පින් පතා දානයක් දෙන්න..බෞද්ධ හිත හදාගන්නම බැරි නම් ප්‍රභාටයි අනෙක් නායකයින්ටයි පින් අනුමෝදන් නොකර ඉන්නවානේ.

    ReplyDelete
    Replies
    1. බොම්බයක් පිපිරෙන්නැතුව ලොකු ජීවිත තර්ජන නැතුව, බස් එකේ රාක්ක දිහා බලන්නැතුව, තාත්තා අම්මා හවසට ගෙදර ඒවිද දන්නැතුව හිටපු කාලයක් ඉවර වුන එක වෙනුවෙන් කිරිබත් කෑවම මොකෝ? නපුර නැසුවාම ඒ ගැන කිරිබත් කෑවම මොකෝ?

      ඔයා මූලික වෙලා කරන්න මුට්ටිය දාලා බලනැතුව..

      Delete
  4. Marage Anduwak thibbanam meka Adyam wartha thiyala Salli hoyanne,Kattiya set wela ekata thamai lasthiune,Den wede Ablikwela.muka puttuwela.Jayantha baba wenna heduwata eya hemadama monwa hari kunuhabbayak hadala madya sambandaya pawichchi karala pumbagannawa.

    ReplyDelete
  5. Wibishanage Adawiya kiyawanna,an ayatath penwanna.Islam kaba kada balanna.

    ReplyDelete
  6. පැරාට සිනමාව පිලිබඳ අවබෝධයක් නොමැත. මහරජ ගැමුණු ජයන්තගේ දුර්වලම සිනමා කෘතියකි. නිර්මාණශීලී බවෙන් දුප්පත් ය. සමනළ සන්ධ්වනිය හා අසලකින්වත් තැබිය නොහැක.

    ReplyDelete
    Replies
    1. ඔබ සිනමාව පිළිබඳ විනිසුරුවරයෙක් ද?

      නැතිනම් ඔබ මෙසේ කියන්නේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු ය.

      Delete
    2. මේක තමයි. බම්බුව. අනේ පලයන් යකෝ යන්න.

      Delete
  7. මං තාම චිත්‍රපටය බැලුවෙ නෑ.
    මේ සටහන ගැමුණු සහ මහින්ද සන්සන්දනය කරන්නට ඇතැම් අය ගන්නා උත්සාහය ගැනයි.
    මහාවංශයේ තියන තොරතුරු අනුව,
    දුටුගැමුණු - එළාර යුද්ධය කියන්නෙ රාජධානි දෙකක් එක රාජධානියක් බවට පත් කරගන්න කරපු යුද්ධයක් නේද?
    කාවන්තිස්ස රජ්ජුරුවො පාලනය කරපු කෑල්ල ජොයින්ට් කරගත්තෙ නෑදෑ කම නිසා නේද?
    එළාර රජ්ජුරුවො සාධාරණ පාලනයක් ගෙන ගිය බව මහාවංශයම කියනව නේද?

    1979 විතර ඉඳල ප්‍රබාහරන් අරගෙන ගියේ කැරැල්ලක්. තව කණ්ඩායම් දහයක් විතර හිටිය ඒ වගෙ කැරළිකාරයෝ. ප්‍රබාහරන් අනිත් සියලු දෙනා මරල පළාත් ගණනාවක් වෙන් කරගෙන නොනිල ආණ්ඩුවක් හදාගන්න උත්සාහ කළා වුනත් මිනිස්සු අතර ගනුදෙනු දිගටම පැවතුනා. කැරැල්ල මර්ධනය කිරීමට ආණ්ඩු වලින් ගත්තු උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසින්මයි යුද්ධය නිර්මාණය වෙන්නෙ. ඒත් එළාර කියන්නෙ එහෙම කැරළි නායකයෙක් නෙවෙයි.

    ඔක්කොටම වැඩිය වැදගත් කාරණාව දුටුගැමුණු සහ එළාර අතර ද්වන්ද්ව යුද්ධය. ඒකයි සිවිල් ජීවිත ආරක්ෂා වුනේ. දුටුගැමුණු පිටරට ඉඳල ඇවිත් තාර කාපට් එක ඉම්බෙ නෑ.

    ReplyDelete
  8. Geethika DharmasingheFebruary 9, 2015 at 11:59 AM

    පැරකුම් ඔබ කියන්නට යන දේ හා අදහස් ගොනුව එකිනෙකට යන්නේ නැහැ. චන්දුසිරි අතීතය දෙස බලා වර්තමානය කියවන්නේ නැහැ. අපි කිසි කෙනෙක් එහෙම කරන්නේ නැහැ. අපි අතීතය දෙස බලන්නේ වර්තමානයේ සිට පසුආවර්ථිතව.
    අනික චන්දසිරි පැහැදිලිවම සිංහල බෙෘද්ධ කතාවක් කියන්නේ ධර්මය රැුක ගන්න යුද්ධය කරන්නේ කියලා. එහෙම කියනකොටම ඔයා කියලා තියෙනවා වගේ රජවරු දෙන්නමට සාධාරණ අවස්ථාවක් දෙන්න බැහැ. කොහොම වුනත් චිත‍්‍රපටයේ අදාල චිත‍්‍රමය තාක්ෂණය අපිව ඒකත් එක්ක රදවා තබනවා .

    ReplyDelete
  9. පහුගිය රාවයේ ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද ලිපියේත් මේ වගේම අදහසක් තිබුනා. හොයාගෙන කියවන්න වටින ලිපියක් ඒකත්. (වෙබ් එකේ නම් දැක්කෙ නැහැ ) මේ අදහස් වලට මම නම් සම්පූර්නයෙන්ම එකඟයි. ඔහු ඉතාම උපහාසයෙන් යුතුව කියලා තියෙනවා, ජයන්ත විසින් මහින්දගේ සහචරයෝ ටිකක් (ජැක්සන් ඇතුලු ) පාවිච්චි කරලා මහින්දටම වදින්න මාරම ගේමක් දීලා තියෙනවයි කියලා චිත්‍රපටිය හරහා.

    උත්ප්‍රාසවත්ම තැනක් තමයි චිත්‍රපටියේ මියගිය එලාරගේ ඇරුනු ඇස් ගැමුනු විසින් විසින් වැසීම (ඊලම් යුද්ධයේ දී එලියට පැනපු ඇස් ඇතුව මැරුනු ප්‍රබාකරන්ව තාමත් මාකට් කරනවා!)

    වැරදිලා හරි මහින්ද බලයේ හිටියා නම්, මේ චිත්‍රපටියම පාවිච්චි වෙනවා වෙන විදියකට. මානුශික මෙහෙයුම කියන ආත්ම වංචාවට නියමෙට සෙට් වෙනවා! මහින්දත් යුද්ධය කලේ මෙහෙමයි කියලා ඔය වන්දිබට්ටයන්ට ලොකු කතිකාවක් ගෙනියන්න පුලුවන්. ඒ ප්‍රොපගැන්ඩාවට යතාර්තයේ මොනවද උනේ කියන එක වැඩක් නැහැ.

    - Dimithri

    ReplyDelete
  10. Dear Ajith,
    Can you please send me an email. We were posting time to time your articles in Nelumyaya (lankanewsweb). We will be hosting soon a bloggers award ceremony in Sri Lanka and would like to award long term bloggers "nelum yaya" certificate or an award. I would like to discuss it with you. Ceremony will be on 12th of March.
    My email is apdharma@gmail.com.
    Kind Regards
    Editor - Nelum yaya (LNW)

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.