2015-02-18

දවස් සීයටත් කලින් රනිල් පරාද ද?

ලංකාවේ 'ප්‍රගතිශීලී'දේශපාලනයේ ධාරාවන් දෙකක් විග්‍රහ කර දක්වන්නට පුළුවන්. ඉන් එකක් වඩා මූලධාර්මික ලෙස සියලු ප්‍රශ්න සඳහා ඇති විසඳුම සමාජවාදයයි කියන විප්ලවවාදී ධාරාව. විප්ලවවාදීන්ට ‍අනෙක් ධාරාව පෙනෙන්නේ ප්‍රතිසංස්කරණවාදී ලෙසයි. මා ද ඇතුළුව බොහෝ නිදහස් මතධාරීන් අයත් වන මෙම ධාරාව උත්සාහ කරන්නේ සමාජය අඩියෙන් අඩිය හෝ ප්‍රගතිය දෙසට තල්ලු කරන්නටයි. අපි විශ්වාස කරන්නේ සමාජයේ සුබවාදී සංවර්ධනයයි. සදා නිම කළ පරමාදර්ශී විසඳුම් යෝජනා කරනවා වෙනුවට ජනතාව සබුද්ධික කරමින්, සමාජ සංවාදයක් ඔස්සේ සමාජය වෙනස් කිරීම කෙරෙහි තමයි අපි විශ්වාසය තබන්නේ. අපේ අරගලයේ සම්පත් වන්නේ මේ සිටින ජනතාව මිස ඒ අතරින් තෝරා ගත් 'පෙරටුගාමීන්' නොවෙයි. ඒ නිසා අපේ ලිපිවලින් අපි උත්සාහ කරන්නේ සමස්තයක් ලෙස සමාජය ඉදිරියට ගෙන යාමට මිස විසඳුම දන්නා බව කියන 'උත්තරීතර' පක්ෂයක් වටා ජනතාව ඒකරාශී කරන්නට නොවෙයි.

මේ සටහන තැබුවේ විශේෂයෙන් ම අන්තර්ජාලයේදී අපේ දේශපාලනය විවේචනය කරන අයට තේරුම් ගන්නයි. අවශ්‍ය නම් මේ කාරණය ගැනත් අපට සංවාදයකට යන්නට පුළුවන්. එහෙත්, මේ සතියේ ලිපියේ මම අවධානය යොමු කරන්නේ වඩා ජනප්‍රිය තේමාවක් ගැනයි. ඒ තමයි, ඉදිරි මහ මැතිවරණයේදී කුමක් වෙයි ද කියන එක. ඒ වගේ ම, අපි කුමක් කළ යුතු ද යන්න ගැනත් සංවාදයක් අවශ්‍යයි.

මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ලංක‍ාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ විප්ලවයක් බව අපි පුන පුනා සදහන් කරන්නේ ක්‍රියාවලියක් ලෙස එහි ඇති වටිනාකම ඉස්මතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ කාර්යයෙහිලා ඉදිරි වගකීම් අවධාරණය කරන්නටයි. මහින්ද රාජපක්ෂ පරාජය කරන්නට එකතු වූ දේශපාලන නායකත්වය විසින් පිහිටුවන ලද ආණ්ඩුව මේ දිනවල දින සීයේ වැඩසටහන යම් දුරකට සාර්ථකව ඉදිරියට ගෙන යනවා. ඒකාධිපති රාජපක්ෂ පාලනය ස්ථිරව ම පරාජය කරන්නටත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නටත් මේ දින සීයේ වැඩසටහන ඉතා වැදගත් වෙනවා.

රාජපක්ෂවාදය යළි පුබුදුවීමේ උත්සාහයක් මේ ලිපිය ලිව්වාට පසුව යෙදෙන පෙබරවාරි 18දාට යොදාගෙන තිබෙනවා. එයට උර දී සිටින වාසුදේව, විමල්, දිනේෂ් හා උදය චතුර්ථය විසින් රාජපක්ෂවාදයට පණ පිඹින්නට දරන උත්සාහය මුලින් ම පරාජය කර දැමිය යුතුයි. ඒ සඳහා එක් මාර්ගයක් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ තර්ජනයට පත් වී තිබෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර දීම. පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය, වැඩවසම්වාදය හා පවුල්වාදය වැළඳගෙන සිටියත් මේ හතර දෙනා බරසාර දේශපාලන අතීතයක් හිමි අය බව අමතක කළ යුතු නැහැ. මොවුන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම වැනි රාජපක්ෂ ගැත්තන් සමග සන්සන්දනය කරන්නට බැහැ. අනෙක් පැත්තෙන් මේ පෙබරවාරි 18 වැඩසටහන රාජපක්ෂවරුන් වෙනුවෙන් මතක බණකට වැඩි දෙයක් වෙන්නේ නැහැ. මෙවැනි වැඩසටහනක් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණය පැරදුණාට පසුවත් හයිඩ් පිටියේ පැවැත්වුණා.

දින සීයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තුරු මේ රජය ආරක්ෂා කර ගත යුතුයි. එහෙත්, මේ වන විට එහි අභ්‍යන්තර අර්බුදය උත්සන්න වෙමින් තිබෙනවා.  මහජන සාමය, ආපදා කළමණාකරන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංගට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගය එහි උච්ච අවස්ථාවක්. ජෝන් අමරතුංග රාජපක්ෂ හිතවාදියකු බව ප්‍රකට කරුණක්. රාජපක්ෂ මැදපෙරදිග හා වතිකානුවේ කළ චාරිකාවලටත් ඔහු සහභාගි වුණා. හොඳ තනතුරක් පිරිනැමුවා නම්, ඔහු ඒ වන විට රාජපක්ෂ වෙත ගිහින් හමාරයි. එහෙත් රාජපක්ෂට ඔහු එතරම් වටිනා සම්පතක් නො වන බව තේරුණා. එය නො තේරුණේ රනිල් වික්‍රමසිංහටයි. ජෝන් අමරතුංග වනාහි රාජපක්ෂවාදයේ මුල් අවධිය ලෙස සැලකිය හැකි ජේ. ආර්. ජයවර්ධන පාලනයෙන් බිහි වූ පැරණි පන්නයේ දේශපාලනඥයෙක්.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පෙබරවාරි 02දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජෝන්ට එරෙහි විශ්වාස භංග‍ ‍යෝජනාව ගෙන එනුයේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය වගකීම ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් බවයි. ජෝන් අමරතුංග විසින් මෙහෙයවන ලද මැරවර පිරිසක් ජනවාරි 30දා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළදීත් ඉන් පිටතදීත් පහර දුන් හා සභාවේ වැඩ කටයුතු කරගෙන යන්නට ඉඩ නො දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇමති ජෝන්ට ඊට වඩා බරපතල චෝදනාවක් එල්ල කළ හැකියි. පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙහිදී පොලිසිය ඉතා අකාර්යක්ෂම බව පෙනෙන්නට තිබෙනවා. මෙය රනිල් - ජෝන් - මහින්ද සම්මුතියක් මත සිදු වන්නක් ය කියා සිතන්නට පුළුවන්. ශ්‍රීලනිපය තුළ මහින්ද ශක්තිමත් කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල දුර්වල කර බලය තහවුරු කර ගන්නට රනිල් උත්සාහ කරනවා විය හැකියි.  මෙය ජනාධිපතිවරණ විප්ලවයේ අරමුණු පාවා දෙන ද්‍රෝහී ක්‍රියාවක්.

ජෝන් අමරතුංග සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අනුගමනය කරන ලද ස්ථාවරය ඉතා මතභේදකාරීයි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වී යාම ගැන ඔවුන් බිය වද්දමින්, පාර්ලිමේන්තුව විසුරුවන බවට තර්ජනය කරමින්, ජෝන් අමරතුංග රැක ගැනීම ඔහුගේ උත්සාහය වී තිබේ. විශ්වාස භංගය පැරදුණහොත්, සිදු වනු ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නො ව, රනිල් වික්‍රමසිංහට අගමැති පදවිය අහිමි වීම බව ඔහු තේරුම් ගත යුතු ය. මන්ද, පාර්ලිමේන්තුව විසුරුවීමේ මෙන් ම, අගමැති පත් කිරීමේ ද බලතල ද තවමත් තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතෙහි ය. ඔහුට ජෝන් නැතිව ආණ්ඩුව ගෙන යන්නට බැරි ය කීවොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉතා සරළව ඔහු වෙනුවට නිමල් සිරිපාල පත් කර දින සීයේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට පුළුවන්.

දේශපාලනය කියන්නේ රට වෙනුවෙන් කරන දෙයක් මිස යාළු මිත්‍රකම් හා නෑකම් වෙනුවෙන්, කළගුණ සැලකීම වෙනුවෙන් කරන දෙයක් නො වන බව පසුගිය ජනාධිපතිවරණයේදී අවධාරණය වුණා. එහෙත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එය තේරුම් ගෙන නැති බවක් ඔහු කළ ඇතැම් ඇමති පත්වීම්වලින් පෙන්නුම් කෙරෙනවා. සිය ඥාති සොයුරා වන රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අැමති ධුරයට පත් කිරීම හා මිතුරුකම වෙනුවෙන් අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරයට පත් කිරීමත්, හිස් ජ්‍යේෂ්ඨත්වය වෙනුවෙන් ජෝන් අමරතුංග, ගාමිනී ජයවික්‍රම, ජෝශප් මයිකල් වැනි අයට ඇමතිකම් දීමත් විසින් ඔහු පෙන්නුම් කර තිබෙන්නේ ඔහු නවීනත්වයට විවෘත නායකයකු නො වන බවයි.

රනිල් වික්‍රමසිංහ විසින් නිරූපණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ බරපතල ගැටලුවක්. රාජපක්ෂ පාලනය තුළ එල්ල වූ දැඩි ප්‍රහාර මධ්‍යයේ පවා සිය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමට එජාපයට උවමනාවක් තිබුණේ නැහැ. එජාපයේ පවතින්නේ රාජපක්ෂ ශෛලියට ම සමාන ප්‍රජාතන්ත්‍ර විරෝධී, ගතානුගතික වැඩපිළිවෙලක් බව දැන් හොඳින් නිරූපණය වෙනවා. මේ විවේචන ඉදිරියට එන විට එජාප පාක්ෂිකයන් කෝකටත් තෛලය වගේ අත ගහන්නේ සජිත් ප්‍රේමදාස නායකත්වයට පත් කිරීම කියන මැජික් බෙහෙතටයි. ඔවුන් ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ අර නස්රුදීන්ගේ කතාවක එනවා වගේ යතුර වැටුණු තැන යතුර හොයනවා වෙනුවට පහන් කණුවේ එළිය වැටුණු තැන යතුර හෙවීම වගේ දෙයක්. එජාපයට නවීන වෙන්නට පුළුවන් වන්නේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමෙන් මිස හිසරදයට කොට්ට මාරු කිරීමෙන් නොවෙයි.

එජාපය මෙවැනි හිරවීමක සිටින අතරතුර දැකිය හැකි සුවිශේෂ සංවර්ධනයක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝධ පිම්මක් පැනීමයි. ශ්‍රීලනිපය ඒ පිම්ම පනින්නේ රාජපක්ෂ පවුල කියන නරක් වූ දත ගලවා දැමීම කියන සරළ ක්‍රියාමාර්ගයක් ඔස්සේයි. එය ඔවුන්ට සරළයි. මන්ද, ඒ වන විට මහින්ද රාජපක්ෂ පරාජය කර ශ්‍රීලනිපය දන්ත ශල්‍යාගාරය තුළට තල්ලු කර තිබුණු නිසායි. වැදගත්කම තිබෙන්නේ ඔවුන් වෙනස් වූ තත්වය භාරගෙන එයට අනුගත වූ ආකාරය තුළයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගනිමින්, පාලනය තීරණාත්මක ලෙස සියතට ගනිමින් සිටින බව පක්ෂයේ සිදු කර තිබෙන වෙනස්කම්වලින් පෙනේ.

හිටපු ජනාධිපතිවරුන්ට අමතරව දි.මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක හා අලෙවි මව්ලානා වැනි පක්ෂයේ පැරැන්නන් උපදේශක තනතුරුවලට පත් කර තිබේ. එස්. බී. නාවින්න (භාණ්ඩාගාරික), නිමල් සිරිපාල ද සිල්වා (ජ්‍යේෂ්ඨ උප සභාපති), ජෝන් සෙනෙවිරත්න (ජ්‍යේෂ්ඨ උප සභාපති), එස්.බී. දිසානායක (උප සභාපති), එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන (උප සභාපති), පියසේන ගමගේ (උප සභාපති) වැනි ජ්‍යේෂ්ඨයන් හා රාජිත සේනාරත්න (උප සභාපති) වැනි මෛත්‍රීපාල සිරිසේන හිතවතුන් ප්‍රධාන තනතුරුවලට පත් කර තිබේ. මහින්දගේ සහෝදර බැසිල් රාජපක්ෂගේ (ජාතික සංවිධායක) හා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට වහසි බස් දෙඩූ ඩලස් අලහප්පෙරුමගේ (භාණ්ඩාගාරික) තනතුරු අහිමි කර තිබේ.

කරුණා අම්මාන්ගේ උප සභාපති තනතුර ද අහිමි කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රීලනිපය සුළුතර ජාතීන්ගේ නියෝජිතයන්ට තනතුරු ලබා දිය යුතුව තිබේ.

දූෂිත දේශපාලනඥයන්ට නාම යෝජනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතාන්ත්‍රික පිළිවෙතක් ඔස්සේ නවීන පරපුරක් ඉදිරියට ගනිමින් අභ්‍යන්තර ශෝධනයක් කිරීමේ හැකියාව ශ්‍රීලනිපයට උදා වී තිබේ. මෙය එජාපයට නො ලැබෙන අවස්ථාවකි. ශ්‍රීලනිපයට ඒ ඔස්සේ යෝධ පිම්මක් පැනීමට අවස්ථාව ලැබේ. 

ඒ සමගම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගනිමින් හා නවීකරණය වෙමින් ඉදිරියට යන්නට ද ශ්‍රීලනිපයට අවස්ථාවක් උදා වී තිබේ. ලංකාවේ වාමාංශික, දක්ෂිණාංශික කිසිදු පක්ෂයක හරිහමන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති සංදර්භයක් තුළ, සාපේක්ෂ ඉදිරි පියවරක් තැබීමට ශ්‍රීලනිපය උත්සාහ කළහොත්, එය සෙසු පක්ෂවලට ද බලපෑමක් වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් සිදු වන ශ්‍රීලනිපයේ ඉදිරි ගමනත් සමග දැඩි අභියෝගයකට ලක් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් පසු බලය ලබා ගත්තත්, ඉදිරි මහ මැතිවරණයකදී සිය බලය රැක ගැනීමට සමත් වේ ද යන්න සැක සහිත ය. පළමු හේතුව, එවැනි අභියෝගයක් ඇති බව තේරුම් ගන්නටවත් උවමනාවක් එජාපයට නැති වීමයි.

සහන අයවැය හා දින සීයේ ප්‍රතිසංස්කරණවලින් පසු නිකම් ම තමන්ගේ ඇඟ උඩට බලය කඩා වැටෙනු ඇතැයි එජාප නායකයෝ බලාපොරොත්තු වන බව පෙනේ. එහෙත්, දින සීයේ වැඩසටහනේ ගෞරවය වෙනුවෙන් සම්පූර්ණයෙන් ම අයිතිවාසිකම් කියන්නට එජාපයට ලැබෙන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල, රාජිත සේනාරත්න වැනි ඇමතිවරු, ජාතික හෙළ උරුමය, සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ කොටසක් ද අනාගත සන්ධානයකට එක් වන්නට තිබෙන ඉඩකඩ වැඩි ය.

එජාපයේ නිසි තැන අහිමි වී සිටන දක්ෂ, තරුණ නායකත්වය සමග සන්ධානගත වන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමත් වුවහොත්, රනිල් වික්‍රමසිංහට සිදු වනු ඇත්තේ ඇමති ජෝන් අමරතුංග මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ සමග සන්ධානයකට යන්නටයි. දක්ෂ, තරුණ නායකත්වය කීවා ම සජිත් ප්‍රේමදාස නළියන්නට ඕනෑ නැත. මෙහිදී ඔහු ගැන අදහස් කරන්නේ නැත. 

අප මෙවැනි සටහනක් තැබූ සැණින් එජාප හිතවාදීහු කුපිත වී ප්‍රතිචාර දක්වන්නට පටන් ගනිති. එහෙත්, ඔවුන් විසින් කළ යුතුව තිබෙන්නේ එය නොව අප විසින් මතු කර දක්වන මෙම ගැටලුව හරි හැටි තේරුම් ගැනීමයි. ප්‍රධාන පක්ෂ දෙක අතර ප්‍රජාතන්ත්‍රීයකරණය වීම හා නවීකරණය වීම සම්බන්ධයෙන් තරගයක් ඇති වෙනවා නම් අපි එයට කැමැත්තෙමු. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. /* ඉන් එකක් වඩා මූලධාර්මික ලෙස සියලු ප්‍රශ්න සඳහා ඇති විසඳුම සමාජවාදයයි කියන විප්ලවවාදී ධාරාව. */

    සමාජවාදය විසඳුමක් ලෙස දැකීම මේ විසි එක්වන සියවසේ දී විප්ලවකාරී අදහසක් හෝ ක්‍රියාවක් නොවෙයි කියායි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මේ ගොබිලා සමාජවාදය ගැනවත් විප්ලවය ගැනවත් මෙලෝ මළදානයක් නො දන්නා එකෙක් වන බැවින් මූ ට ප්‍රතිචාර දැක්වීම ට කාලය යෙදවීම අර්ථවිරහිතය.

      Delete
    2. මා අදහස දැක්වූයේ පැරාටයි.
      මේ ඇනෝ ස්වයං පත්වීමක් කරගත් පැරා ගේ මාධ්‍ය ප්‍රකාශකද?

      Delete
    3. ඉහත "Anonymous February 19, 2015 at 9:13 PM" අදහස දක්වා ඇත්තේ පැරා වෙනුවෙන් වත් පැරාට වත් නොව "රසිකොලොජිස්ට් - Rasikologist February 18, 2015 at 11:43 AM" යන අදහසට ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇති සමාජවාදීන් තම කාලය අපතේ යවා ගැනීම වැලැක්වීම සඳහා ය.

      Delete
  2. ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව මගේ අදහස මෙන්න.
    http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

    .

    ReplyDelete
  3. පැරා -මේ ලිපියේ අග කොටස රී-සයිකල් කරපු එකක් නේද?

    ReplyDelete
  4. රාජපක්ෂවාදය යළි පුබුදුවීමේ උත්සාහයක් මේ ලිපිය ලිව්වාට පසුව යෙදෙන පෙබරවාරි 18දාට යොදාගෙන තිබෙනවා. එයට උර දී සිටින වාසුදේව, විමල්, දිනේෂ් හා උදය චතුර්ථය විසින් රාජපක්ෂවාදයට පණ පිඹින්නට දරන උත්සාහය මුලින් ම පරාජය කර දැමිය යුතුයි.//
    එසේ කළ යුත්තේ ඇයි. ඔවුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්. එය ඔවුන්ගේ අයිතියක්. ඔබට සාපේක්ෂව එය වැරදි ඇති. එහෙත් මෙරට දේශපාලනයේ ජාතික මතය නියෝජනයක් තිබිය යුතුයි.
    ෆොන්සේකා ට මහින්ද සමාන කරන්න එපා. ෆොන්සේකා 2010 ඡන්දෙ ඉල්ලුවේ යුධ විරෝධීන් සමඟයි. එදා දේශ හිතෛශී ජනතාව මහින්ද සමන්න සිටියා. ඇත්තෙන්ම දේශ හිතෛශී කෙනෙකුට එදා එම කදවුරේ සිටියේ ෆොන්සේකා පමණයි. එම කදවුරේ ඊළාම්වාදීනුත් සිටියා.
    නමුත් ශ්‍රීලනිපයට ඡන්දය දුන් ජනතාව වඩා කැමති මහින්දටයි.එහි බිම් මට්ටම බෙදුම්වාදයට විරුද්ධයි.
    මගේ මතය මෙහෙමයි. බෙදුම්වාදයට ඊළාම්වාදයට පක්ෂ අයටත් ඔවුන්ගේ අයිතීන් තිබිය යුතුයි.බෙදුම්වාදයට විරුද්ධ අයටත් ඒ අයිතිය අවශ්‍යයි.

    මහවිරු සැමරුමට පසුගිය රජය බාධා කළ එක ම්ලේච්ඡයි. හැබැයි දැන් ඒකෙ අනෙක් පැත්ත වෙලා දේශහිතෛශීන්ට බාධාකිරීමට කරන යෝජනාත් අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඒක දැකල මට උන් හිටි තැන් අමතක වුනා. ඡන්ද අයිතිය කියන්නෙ කවුරුවත් පින් සළකල දෙන දෙයක් නොවෙයි. ජනතාවගෙ අහිමි කළ නොහැකි අයිතියක්. ඔහුගෙ ඒ ප්‍රකාශයනම් සියළු ශිෂ්ට සම්පන්න ජනයා විසින් හෙළා දැකිය යුතුයි.

      Delete
    2. මම හිතන්නේ දැන් රට වටේ යන්නේ මරා කල කතාවෙන් කොටසක් පමණක් අරගෙන පල කරපු ප්‍රවෘතියක් කියාය.
      ඔහු කල සම්පුර්ණ කතාව නොඅසා ඒ සම්බන්ධ මතයක් ඉදිරිපත් කල නොහැකියි.

      Delete
  5. //ලංකාවේ 'ප්‍රගතිශීලී'දේශපාලනයේ ධාරාවන් දෙකක්..............//
    ඔබේ ලිපියේ මේ කොටසට මාත් එකඟ වෙනවා. හැබැයි ඒ ධාරාවන් දෙකෙන් කොයි එක නිවැරදිද කියල අපි “තීරණය“ කරන එක නිවැරදි නැහැ. ඒක ස්වභාව යුක්තියේ මූලධර්මයන්ට පටහැණියි. ඒ නිසා, ඒ ධාරාවන් දෙකම එකිනෙකා විවේචනය කරගනිමින් පැවතිය යුතු බවයි මගේ මතය නම්.

    දැන් අපි (ඒ කියන්නෙ මේ සමාජය යහපත් ලෙස පැවතිය යුතු බව සහ ඊට හැකි අයුරින් තමනුත් දායක විය යුතු බව සිතන අය) කරන්න ඕනැ දේ මෙන්න මෙහෙමයි මමනම් පෙළගස්වන්නෙ.

    මුලින්ම, ලංකාවෙ සමාජය නැවත ප්‍රජාතන්ත්‍රීයකරණය කළ යුතුයි. (ඒක ජනවාරි 9 ආරම්භ වුනා.) ජාතිවාදය ඇතුළු සියළු ගෝත්‍රවාදයන් සහ වැඩවසම්වාදය, පුද්ගලාභිවන්දනය වගේ ම්ලේච්ඡත්වය දෙසට නැඹුරු වන ගතිපැවතුම් නැති කළ යුතුයි.

    දූෂණ වංචා හොයනව කියන එක අතුරු කතාවක්. ඒක දිහා බලාගෙන ඉඳල කෝ ඇල්ලුවද කියල අහන මහින්දවාදීන්ට කියන්න තියෙන්නෙ මේකයි. ඔය දූෂණ වංචා කියන්නෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජාණ්ඩුවාදී සමාජයක තියන ගතිලක්ෂණයක් පමණයි. ප්‍රධාන අවශ්‍යතාව රාජාණ්ඩුවාදී වැඩවසම්වාදය පරාජය කරන එකයි. ඒ මානසිකත්වය නැති කරන එකයි. ඔය කියන පනස් අට ලක්ෂය ඇතුළු මෙරට සියළු ජනතාවගේ කොඳු නාරටි කෙළින් කරන එකයි.

    දැන් අපි මේ ආරම්භ කරපු ව්‍යාපාරය, ඒ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ව්‍යාපාරය (රජ්ජුරුවන්ගෙ දෑත ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයට ප්‍රතිපක්ෂව) අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට හැකි වන පරිදි මී ළඟ පාර්ලිමේන්තුව පත් කර ගත යුතුයි. අපට ඒකාධිපති ජනාධිපති වෙනුවට අවශ්‍ය ඒකාධිපති අගමැති කෙනෙක් නෙවෙයි. මේක සියළු ඡන්දදායකයන් විසින් අවබෝධ කරගත යුතුව පවතින දෙයක්.

    නැවත මතක් කරන්න ඔබ විසින්ම කළින් සඳහන් කළ ගාමිණී වියන්ගොඩයන්ගේ උපමා කතාව; ගිනි ගෙන දැවෙන ගේ ඇතුළෙ ඉන්න චන්දදායකයො ගැන.

    ReplyDelete
    Replies
    1. ගාමිනී වියන්ගොඩ බුදු වුණාද?

      Delete
    2. ගාමිනී වියන්ගොඩ කිවුවා යයි කියන, (උපුටා දැක්වූ)... කකාට දැන් සතුටුද?

      Delete
  6. මීට පෙර මා දමා තිබූ සටහනට පිලිතුරු දීම පැරා මග හැර තිබුණා. පැරා මහින්දවාදී දේශපාලන දහරාවක එක් ප්‍රකාශණයක්. මහින්දව පරාජය කලේ එජාපයයි. මෛත්‍රී, චම්පක, රතන හෝ රාජිත ඌවෙන් හරීන් මහින්දව පරාජය කරන්න පුළුවන් කියා පෙන්නන තුරු එළියට බැස්සෙ නැහැ. ගල් ලෙන බිදින්න විටමින් දුන්නේ හරීන් ප්‍රමුඛ එජාපයයි. සියළු සිවිල් සංවිධාන නව ජවයකින් පෙරට ආවෙ ඉන් පසුවයි. මහින්ද වාදී පැරා ලා හිතා මතා යට ගහන්නේ මේ ඇත්තයි. තමන් බලයට පත්කල සහ ජනමතයට දායක වූ සමාජ බලවේගයට පිටු පා මහින්ද ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ වන් වෙත ගියේ මෛත්‍රී යි. ඔහු දැන් ජනවරම අනුව නිර්පාක්ෂිකයෙක් ලෙස ජනවරමේ අභිලාෂයන්ට කැප විය යුතුයි. ජනවරමට ඉඳුරා හතුරු වූ ශ්‍රීලනිපයට නැවත යෑම යනු මහින්ද ට පාර කැපීමයි. ශ්‍රීලංකා කාරයෝ දැන්ටමත් චන්ද්‍රිකාව එලවලා ඉවරයි. රාජිතට දීලා තියෙන්නේ කරුණාගේ තනතුර. ශ්‍රීලංකා පළාත් සභා සහ ප්‍රාදේශීය සභා කාරයෝ ඉන්නෙ මහින්ද සමග. යට සංවිධාන ඉන්නෙ මහින්ද සමග. 18 වෙනිදායින් පසුව විමල් ප්‍රමුඛ කණ්ඩායම තම ජාතිවාදී දේශෙෙප්‍ර්මී ශක්තිය පෙනන්ලා මහින්ද ව උඩට ගේනවා. ඔය වැනි ව්‍යාපෘති කරන්න ඕනෑ තරම් සල්ලි මහින්දට තියනවා. ශ්‍රී ලංකා එක නව ජවයකින් ඉදිරියට එනවා කියන්නෙ පැරාගෙ බයිලා එකක්. ශ්‍රී ලංකා එකේ බලය මහින්ද නැවත ගන්නවා. දැනටමත් මහින්දවාදී සුසිල්, අනුර යාපා ඉදිරියට ඇවිත් චන්ද්‍රිකා වාදීන් නන්නත්තාර කරලා. කල යුතු වන්නේ එජාපය ප්‍රමුඛ හංසයාට ජන්දය දුන් බලවේග එක්සත්ව මහින්ද වාදී ශ්‍රීලනිපයට එරෙහිව නැගී සිට මහින්දට අවස්ථාවක් නොදීමයි. මෛත්‍රීව නැවත තමන්ට ජනවරම දුන් බලවේග සමග රැදී ඉන්න කියා බල කිරීමයි. පැරා එජාපයට ගහන්නේ මේ එකමුතුව බිදින්නයි. එය තනිකරම මහින්ද වාදී ව්‍යාපෘතියක්.
    එජාපයේ අභ්‍යන්තර ප්‍රජාත්නත්‍රවවාදය ගැන පැරා දන්නේ නැහැ. එජාපයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී නායකයාව එලිපිට විවේචනය කරනවා. සජිත්ගේ ව්‍යාපෘතිය ජය ගත්තේ නැත්තේ මේ අභ්‍යන්තර හයිය නිසයි. පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ තීරණය ජය ගත්තේ අභ්‍යන්තර ප්‍රජාත්නත්‍රවාදය එජාපයේ තිබෙන නිසයි. මතු පිටින් හුදු එජාප විරෝධය නිසා නොදන්න දේ කියවන්න එපා. එජාපය එලවන්න කියා නැවත මහින්දට පාර කපන්න එපා.

    ReplyDelete
  7. RANIL- Mama Ranil vaadiyeku novemi. Ohu dushithayekuda. Deshapremiyekuda, Jaathiwaadiyekuda, Janapriya Buddhagamkaarayekuda nowanneya yana mathaye sitimi. Laankika menma jaathyanthara deshapaalanaye hesireema pilibanda ohuta niwaradi kiyaweemak thibee.Sammajawaadaya nomathi lowaka eyama illaa
    handaawetenawaayta wadaa pawathina kramaya thula janathaawata puluwan tharam vaasi athkarageneema nuwanata huruya. Me sandahaa Ranil tharam sudusu keneku ada dawase lankaawen soyaagatha nohaka. Raajya paripaalanaye kondu naaratiya kadaa damaa ethi rataka (JR yugaye sitama) molayak ethi minihek agamathi welaa inna ekath sahanayak. Awaasanaawata ohu aadambarakaarayek.

    ReplyDelete
  8. "විප්ලවය සඳහා පක්ෂය ක් අවශ්‍ය නැත; ඒ සඳහා අවශ්‍ය වන්නේ බ්ලොගයකි. බ්ලොගයෙන් විප්ලව කිරීම බොග දැමීමට වඩා ආතල් ය. සමාජය වෙනස් කිරීම සඳහා නායකත්වයක් සහිත කැපවුනු කණ්ඩායමක් ඕනෑ නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ බ්ලොග් පෝස්ට් ය; කමෙන්ට් ය." - කල යුත්තේ කුමක් ද? - අජිත් පැරකුම් ජයසිංහ

    ලෙනින් ගේ ලිපි ලේඛණ නොව චේන්ජ් මැනේජ්මන්ට් තියරි ගැන දන්නා අය පවා මෙය ඉතාම වැරදි අදහසක් බව දන්නවා ඇතැයි සිතමි. පක්ෂයේ වැදගත්කම ගැන පහත ලිපියෙන් ද පෙනෙන බව කීමට කැමැත්තෙමි.

    https://www.marxists.org/archive/cannon/works/1967/party.htm

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.