2015-03-05

ජාතික ප්‍රශ්නය රාමුවෙන් පිටතට ගනිමු

පසුගිය සතියේ අප විසින් ලියන ලද 'ලංකාවේ දෙමළ වර්ග සංහාරයක් සිදු වුණා ද?' යන ලිපිය ගැන සමාජ ජාල ඔස්සේ සිදු වූ සංවාදවලදී මාධව වීරසිංහ නම් වාමාංශිකයා කරන ලද පහත සඳහන් ප්‍රකාශය අප උපුටා ගන්නේ හේතුවක් ඇතිවයි. ඔහුගේ ප්‍රකාශය ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙන් ම, සමස්ත සමාජ සංවර්ධනය ම සම්බන්ධයෙන් ගතානුගතික මාක්ස්වාදීන්ගේ සීමා ප්‍රශ්න කරන්නට ඉවහල් වෙනවා. ඔහු මෙසේ පවසනවා: "ඇත්තටම අද වන විට අජිත් පැරකුම් ජයසිංහ ඇතුළු අයට ඇත්තේ දමිළ ජන සංහාරය පිළිබද උද්ඝෝෂණයන්ගෙන් යහපාලන ආන්ඩුවේ න්‍යාය පත්‍රය අවුල් වේය යන භීතියයි. රාජපක්ෂලාගේ කාලයේදී යුධ අපරාධ පිළිබදව අතිශයින් සංවේදී වූ ඇතැම් වාම/ලිබරල් මහත්වරුන් අද වන විට මුනිවත රකින්නේද එබැවිනි. තවත් සමහරෙකු ඉන් නොනැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන යාමෙහි වැදගත් කම ගැන බණ කියනු ද ඇසෙයි."

"අජිත් තම තේමාව කර ගෙන ඇති, 'ඔබ මෙන් නොව මා දේශපාලනය කරන්නේ සිංහල ජනතාව සමගයි' ආදි නිදහසට අදාළ කාරණා යලි පණ ලබන්නේ එම සංදර්භය තුළයි. [පෙ.ස.ප. පවා ඉහත කී කරුන සම්බන්ධයෙන් සම්පූර්නයෙන් නිදහස් නොවන බවද කිව යුතුයි.] ඇත්තටම මෙතන තමයි තීරනාත්මක ලක්ෂ්‍යය. සිංහල ජාතිවාදයද බොහෝ විට මෙබදු ආවරණයන් පසුපස සැගවෙනු අප දැක තිබෙනවා. දේශප්‍රෙමය, හලාල් විරෝධය වැනි තේමා දෙස මඳකට බලන්න. ඒවායේ වාහකයන් කිසිවෙක් තුමූ ජාතිවාදිහු බව කියත්ද......? නැහැ.

"වර්ෂ 2009 දී උතුරේ සිදු වූයේ සංවිධානාත්මක සංහාරයක්. අවශ්‍ය නම් එය වළක්වා ගත හැකිව තිබුනා. නමුත් රාජපක්ෂලාට මෙන්ම ඊට කර දුන් ජ.වි.පෙ. ඇතුළු 'සිංහල බෞද්ධ' වාම වාදින්ට මෙන්ම යම් පමනකින් ඊනියා බටහිර ප්‍රජාවටද අවශ්‍ය වුයේ කවර හෝ මිනිස් ජීවිත ප්‍රමාණයක් වැය කර අදාළ යුද්ධය ජයග්‍රහණය කරා ගෙන යන්නයි. අවසාන මොහොතේදි වෙල්ල මුල්ලෛවයික්කාල් වෙත කොටු වූ ජනයාට 'බර අවි' වලින් පහර දෙන ලෙස 'මාක්ස්වාදී' අමරසිංහ කල බෑගිරි ගෑම ගැන මදකට හිතන්න. එය සංහාරය සදහා කළ විවෘත ආයාචනයක්. හිට්ලර්ගේ නාසි අපරාධකරුවන්ටත් එවැනි චෝදනා තිබුනා. අජිත්ට අවශ්‍ය නම් සංහාරයකට අදාළ මෙවැනි නිදසුන් තවත් ගණනාවක් සැපයිය හැකියි. විශේෂයෙන්ම ඊට මුහුණ දුන් දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සාක්ෂි සහිතව එම සංහාරයේ තතු අද වන විට ලොවට හෙලි කර තිබෙනවා. යුක්තිය පිළිබද දමිළ ජන අභිලාෂයන් සමග ඇතැම් තැනකදී ජාතිවාදය ද මුසු වී ඇති බව පැහැදිලියි. ඒ වගේම සංහාරය සදහා රාජපක්ෂලාට සහය දුන් බටහිර ප්‍රජාව තමන්ගේ සහයට එනු ඇතැයි ඔවුන් සිතන බව ද පෙනෙනවා. අදාළ සාධක සාකච්ඡාවට ලක් විය යුතු කාරණාවන්ය. නමුත් ඒවා හේතු කර ගනිමින් සිදු වූ සංහාරය යට ගැසීම පිළිකුල් සහගතයි."

මෙතැනදී මෙවැනි අය අමතක කරන කාරණාවක් තිබෙනවා. කවර හෝ මිනිස් ජීවිත ප්‍රමාණයක් වැය කර යුද්ධය දිනීමේ උවමනාව තිබුණේ රජයට හා සිංහල ජනතාවට පමණ ද? කොටි සංවිධානය හා එයට මුදල්, අවි, පිරිස් බලය හා මතවාදී සහාය සපයමින් දායක වූ දෙමළ ජනතාවගේ උවමනාව වුණේ ද එය ම නොවේ ද? මේ දෙපාර්ශ්වයට ම යුද්ධයක් උවමනා වූ බවට ‍ඕනෑ තරම් සාධක තිබේ. යුද්ධයේ ජයග්‍රහණය අනෙක් පැත්තට කැරකුණා නම් තත්වය කෙබඳු වනු ඇද්ද? කොටි සංවිධානය ඉතා පැහැදිලිව ම තමන්ගේ පාලන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව මිනිස් පළිහක් ලෙස භාවිතා කළ බවත්, පළා යන ජනතාවට වෙඩි තැබූ බවත් ජනතාව ප්‍රතිප්‍රහාරවලින් අනතුරට පත් විය හැකි පරිදි සිවිල් වැසියන් අතර සිටිමින් බර අවිවලින් පහර දුන් බවත් ඇත්තයි. ‍රජය මෙන් ම කොටි සංවිධානයත් යුද්ධයේ අවසන් සමයේ සිදු වූ දැවැන්ත ජන ඝාතනයට වගකිව යුතුයි. යුද්ධයේ ජයග්‍රාහකයා වූ රජය අතින් වැඩිපුර මානව හිමිකම් උල්ලංඝනය වූ බව හා යුද අපරාධ සිදු වූ බවත් ඇත්තයි. එහෙත්, කොටි සංවිධානය මෙම යුද්ධය සඳහා කෙතරම් අවි බලයක් සූදානම් කර තිබුණා ද යන්න සිතා බලන්න. පිරිස් බලයේ, යටිතල පහසුකම්වල, යුදමය වශයෙන් මානව සම්පත් සංවර්ධනයේ හා ජාත්‍යන්තර දේශපාලනයේ අවාසිය තමයි ඔවුන්ගේ පරාජයට හේතු වුණේ. අනෙක් පැත්ත කඩු ගා දැමීමේ උවමනාවෙන් දෙපාර්ශ්වයක් යුද්ධයක් සිදු කර පරාජය වූ පසු ජයග්‍රාහී පිලට එල්ල කරන වර්ග සංහාර චෝදනාව සාධාරණ නො වන්නේ මෙම සංදර්භය නිසායි.

"සර්බියානු අර්බුදය තරමක් වෙනස්. එය එසේ තිබියදී මිලෙසොවිච් යුධ අපරාධකරුවෙක් බව අජිත් කියා සිටිනවා. එහි ගැටලුවක් නැහැ. නමුත් සර්බියානු මෙන්ම වඩා පුළුල් ස්ලාව් ජාතිකවාදයන් තුළ එය එළෙස පිලි ගැනෙන්නේ නැහැ. අජිත්ගේ තර්කයට අනුව නම් බහුතර සර්බියානුවන් සමග දේශපාලනය කිරීමට අදාළ සංහාරය යට ගැසිය යුතුයි. සංහාරය සර්බියානුවන් නමට ලියවෙන විට අජිත් එහි ප්‍රචාරකයෙක්. නමුත් එය ඉක්මවා යන දැවැන්ත සංහාරයකට තමන් නියෝජනය කරන සිංහලයන්ගේ නම සම්බන්ධ වන විට ඔහු කරන්නේ විවිධ අන්ධභූත තර්ක ගෙන ඒමයි," යි මාධව වීරසිංහ ලියනවා.

මෙතැනදී මිලෙසොවිච්ට එරෙහි වර්ග සංහාර චෝදනාව විමර්ශනය කර පිළි ගැනීමට ලක් වූ එකක්. එහෙත්, ලංකාවේ වර්ග සංහාර චෝදනාව තවමත් පරීක්ෂණයක් සඳහා යෝජනාවක් පමණයි. දෙමළ ජාතිවාදීන්ගේ පැත්තෙන් පරීක්ෂා කරන්නැයි යෝජනාවක් එනකොට මාක්ස්වාදීන් නිගමනයටත් පැමිණ අවසන්. ඔවුන් දැන් ඉන්නේ ඔවුන්ගේ නිගමනය පිළිගන්නේ නැති අයට බැන අඬගසන තැනකයි. මා මගේ ලිපියේ ඉතා පැහැදිලිව කිව්වා මෙම චෝදනාව විමර්ශනය කළ යුතු බව. කිසිදු විමර්ශනයකට ලක් නො කර, චෝදනාවට ලක් වන අයට නිදහසට කරුණු දක්වන්නටත් ඉඩ නො දී නිගමනවලට එන මාක්ස්වාදී ක්‍රමවේදය මට නම් ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන්, උතුරු පළාත් සභාව චෝදනා කරන්නේ දකුණේ ආණ්ඩුවලටයි. මේ ආණ්ඩු බලයට පත් වුණේත්, පාලනය ගෙන ගියේත්, සෑහෙන තරම් සිංහල, දෙමළ, මුස්ලිම් ජන සහයෝගයක් ඇතිවයි. මේ වර්ග සංහාරය‍ට ඊපීඩීපී සංවිධානයත් ඡන්දය දුන් එක ගැන විකල්ප වෙබ් අඩවිය සමග සංවාදයකදී රෝහිත භාෂණ මහත් උද්දාමයෙන් කතා කරනවා. ඩග්ලස් දේවානන්දාගේ අතුරු හමුදා දේශපාලන සංවිධානය යුද්ධයේ සැලකිය යුතු කාල පරිච්ඡේදයක් තුළ සිටියේ ආණ්ඩුව සමගයි. මේ වර්ග සංහාර යෝජනාව අනුව ඔවුහු ද විත්තිකරුවෝ වෙනවා.

මාධව වීරසිංහ මෙසේ ද පවසනවා  "ඒ වගේම මේ කාරණයත් නොකියාම බැහැ. තම විමුක්තිකාමී අභිලාෂයන් තිබියදීම කොටි සංවිධානය මුස්ලිම් ජනයා මෙන්ම සිංහල ජනයා විෂයෙහි එල්ල කළ සමූහ ඝාතක ප්‍රහාරයන්ද අප හෙළා දැකිය යුතුයි. එවැනි දෑ විමුක්ති අරගලයක සාරාර්ථ සාධනයට බරපතල බාධක බව ඉතාම පැහැදිලියි." 

මෙතනදී මාධව පාවිච්චි කරන වචන බලන්න. ඔහු පාවිච්චි කරන්නේ සමූහ ඝාතක ප්‍රහාර යන යෙදුමයි. සිවිල් ජනතාව අතර පිපිරවූ බෝමබවලින් කළ ඝාතන, සිංහල මායිම් ගම්මානවල කළ ඝාතන, කාතන්කුඩි පල්ලිය තුළ කළ මුස්ලිම් ඝාතන, යාපනයෙන් මුස්ලිම් ජාතිකයන් පළවා හැරීම වැනි කාරණා සමබන්ධයෙන් ඔහුගේ ස්ථාවරයට මම එකඟයි. මේවා සමූහ මිනිස් ඝාතන. ඒවා තුළ වර්ග සංහාරක අරමුණක් තිබුණා යයි මම කියන්නේ නැහැ. එහෙත්, සිංහලයන්ට වර්ග සංහාර චෝදනා එල්ල කිරීමේදී දෙමළ ජාතිවාදීන් වගේ ම මේ වර්ගයේ මාක්ස්වාදීනුත් ඉතා නිර්ලෝභීයි.

මාධව වීරසිංහ කරන පහත සඳහන් ප්‍රකාශය නම් තරමක් පරස්පර විරෝධීයි. එයත් මේ වාමාංශිකයන්ගේ ලක්ෂණයක්. "සුළු ජන කොටස්වල ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබදව මෙන්ම දෙපාර්ශවයේම සංහාරක හා ප්‍රහාරක ඉලක්කයන්ට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු විය යුතුය යන කාරනා සාකච්ඡාවට ගැනීම සදහා අප ධෛර්ය සම්පන්න විය යුතුය. එය ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරනය හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ආදී ආයතනවල න්‍යාය පත්‍රයන් ඉක්මවා යන්නකි. එමෙන්ම ''දින සියයකින්'' කළ නොහැකි අසීරු කාර්යයක්ද වන බව නිසැකය."

එසේ ම ඔහු මෙසේ ද පවසනවා. "සිංහලයන් අතර දේශපාලනය කිරීම සදහා කවර හෝ 'මළ ජරාවක්' වැළද ගැනීම අවස්ථාවාදයේ පදනමයි. ඒ වගේම විවිධ ලෙස 'නිදහසට කාරණා' සොයමින් සිංහල ජාතිවාදය සමග සම්මුතිවලට යාමෙන් එය පරාජය කළ නොහැකි බවද කිව යුතුයි." 

දැන් මා ඔහුගේ ම ප්‍රකාශය මෙසේ වෙනස් කර ලියුවොත් සිදු වන්නේ කුමක් ද? "සිංහල ජාතිවාදයට එරෙහිව දේශපාලනය කිරීම සඳහා කවර හෝ 'මළ ජරාවක්' වැළඳ ගැනීම අවස්ථාව‍ාදයේ පදනමයි. ඒ වගේ ම විවිධ 'නිදහසට කාරණා' සොයමින් දෙමළ ජාතිවාදය සමග සම්මුතිවලට යාමෙන් එය පරාජය කළ නො හැකි බව ද කිව යුතුයි."

මාක්ස්වාදීන් ජාතිවාදය සමග සම්මුතිගත වීම විෂයෙහි දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. රුසියානු විප්ලවය මහා රුසියානු ජාතිවාදයේ ගොදුරක් වුණා. චීන ජාතිවාදය අද වන විට ලෝකයට ම තර්ජනයක්. ලංකාව සූරා කා චීනයට සාරය ගෙන යන සමාජවාදයක් චීනයේ නිර්මානය වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කියුබානු, වියට්නාම්, උතුරු කොරියානු ආදී‍ මේ සියලු මාක්ස්වාදී රාජ්‍යයන් තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණය ජාතිවාදයයි. මෙය ජාතිකවාදය ලෙස හඳුන්වන්නට මාක්ස්වාදීන් කැමති වුණත්, එයත්, ජාතිවාදයත් අතර වෙනස අපැහැදිලියි.

මාක්ස්වාදීන් ජාතික විමුක්ති අරගල සම්බන්ධයෙන් ප්‍රධාන ස්ථාවර දෙකක් ගන්නවා. එකක් තමයි, ජාතික විමුක්ති අරගලවලට විසදුම තිබෙන්නේ සමාජවාදය තුළ පමණයි කියන ස්ථාවරය. මේ ස්ථාවරය ගන්නා ජනතා විමුක්ති පෙරමුණ වැනි මාක්ස්වාදී කණ්ඩායම් කරන්නේ ජාතික විමුක්ති අරගලවලට ‍එරෙහි වෙමින් පීඩිත ජාතීන් ද සමාජවාදය සඳහා තමන් විසින් දියත් කර තිබෙන අරගලයට දායක විය යුතු බව කීමයි.

අප ද කලක් අයත් වූ හිරු කණ්ඩායම වැනි කණ්ඩායම් කරන්නේ ජාතික විමුක්ති අරගල සමාජවාදය සඳහා වූ අරගලයේ පෙරමුණක් ලෙස විග්‍රහ කිරීමයි. ඒ නිසා ඔවුන් යෝජනා කරන්නේ ජාතික විමුක්ති අරගල සමග මුළුමනින් ම බද්ධ වීමයි. ‍අප සමග සංවාදයට එළඹි මාධව වීරසිංහ වැනි අය ද අයත් වන්නේ මෙම වර්ගයටයි. ඔවුන්ගේ මූලික අරගලය පීඩිත ජාතියේ විමුක්ති අරගලයයි. ඔවුන් සියලු කරුණු විග්‍රහ කරන්නේ එය සාධාරණීකරණය කිරීමටයි. නිදසුනක් ලෙස විකල්ප වෙබ් අඩවිය සමග භාෂණගේ සංවාදයේදී ඔහු තර්ක කරන්නේ ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහෝසි වීම සඳහා මූලික හේතුව වන්නේ දෙමළ අරගලය මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග බවයි.

ජාතීන්ගේ ප්‍රශ්නයට එකම විසඳුම ලෙස ඔවුන් දකින්නේ වෙනම ජාතික රාජ්‍යයක් පිහිටුවීම පමණයි. උදාහරණයක් ලෙස ලංකාවේ දෙමළ ප්‍රශ්නයට විසඳුම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමයි. ලංකාවේ ඊලාම්වාදී වාමාංශිකයන්ගේ සීමාව කෙතරම් පටු ද කියනවා නම්, ඔවුන් ජාතික ප්‍රශ්නය ලෙස හඳුනා ගන්නේ දෙමළ ජනයාගේ දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නය පමණයි. මොවුන් කෙතරම් දෙමළ ජාතිවාදයේ ගිලෙනවා ද යත් මුස්ලිම් ජනතාවගේ දේශපාලන ඉල්ලීම් ඔවුන්ගේ අවධානයට ලක් වන්නේ නැහැ.

වාමාංශිකයන්ගේ මේ මූලික ස්ථාවර දෙකට ම විරුද්ධව අපි යෝජනා කරන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම දේශපාලන ප්‍රජාවන් පුළුල් කිරීම සඳහා කටයුතු කිරීම බවයි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන්ගේ සීමාවන් තුළ ගැටුම්කාරී තත්වයක තිබෙන ලංකාවේ දේශපාලන ප්‍රජාවන් ජාතික සීමාවන් පසු කරමින් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි අපි යෝජනා කරන්නේ.

දේශපාලන ප්‍රජාවන් සංවර්ධනය වෙන එක ඓතිහාසික තත්වයක්. මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි වරක් තිස්ස නායගම් සංස්කරණය කළ නෝත්ඊස්ටර්න් හෙරල්ඩ් සගරාවේ ලිපියක ලංකාවේ දෙමළ ජාතිය ගොඩනැගුණු ආකාරය විස්තර කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ යාපනයේ, මඩකලපුවේ, වන්නියේ, මන්නාරමේ වෙනස් අනන්‍යතා සහිතව ජීවත් වූ දෙමළ බස කතා කරන ජනයා දෙමළ අරගලය විසින් ඒකාබද්ධ කළ ආකාරයයි. ‍නූතන දෙමළ ජාතිය ගොඩනැගෙන්නේ එහෙමයි. වෛශ්නව හා ශෛව හින්දූන් ද, විවිධ ක්‍රිස්තියානි ආගමිකයන් ද, විවිධ කුල ප්‍රජාවන් ද එකතු වී නවීන දෙමළ ජාතියක් ගොඩනැගෙද්දී දෙමළ බස කතා කරන මුස්ලිම් ජනතාවත්, කඳුරට දෙමළ ජනයාත් එයින් මගහැරුණා. කෙසේ වෙතත්, මේ සිදු වුණේ දේශපාලන ප්‍රජාවන්ගේ පුළුල් වීමක්.

මෙය සිංහල ජාතියටත් අදාළයි. උඩරට, පහතරට, ගොවිගම, කරාව, සලාගම, බෞද්ධ, ක්‍රිස්තියානි ආදී අනන්‍යතා සහිත ප්‍රජාවන් ස්වීකරණය වෙමින් තමයි සිංහල නම් පුළුල් දේශපාලන ප්‍රජාව ගොඩනැගුණේ.

ඇමරිකානු රාජ්‍ය රැසක් එක් වී පුළුල් ඇමරිකා එක්සත් ජනපදයක් හා ඇමරිකානු දේශපාලන ප්‍රජාවක් ගොඩනැගුවා. ඉන්දියාවේ ජනතාව ඉන්දීය නම් වූ පුළුල් දේශපාලන අනන්‍යතාව පිළි ගනිමින් එය තුළ ප්‍රතිසංවිධානයවෙමින් සිටිනවා. යුරෝපයේ ජනතාව යුරෝපා දේශපාලන ප්‍රජාවක් ගොඩනගමින් ඉන්නවා. එහෙම සංදර්භයක ඇයි අපට බැරි හිතන්න සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික සීමාවන් ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවක් ගැන?

අපි ඒ ගැන හිතුවත්, නැතත්, රටේ දේශපාලන සංවර්ධනයන් සිදු වී තිබෙන්නේ එවැන්නක් යුක්තියුක්ත කරගන්නටයි. ඉංග්‍රීසීන් විසින් මධ්‍යගත රාජ්‍යයක් කරන ලද ලංකාව ඊලාම් යුද්ධයේ අවසානයත් සමග නැවතත් මධ්‍යගත වී තිබෙනවා. කුමන ජාතිවාදයකින්වත් නැවත වෙන් කළ නො හැකි ලෙස ආර්ථික, සාමාජික බැඳීම් ඇති වෙමින් තිබෙනවා. රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් ඔස්සේ අපට දේශපාලනිකව ඉදිරියට යා හැකියි.

පසුගිය සතියේ රත්නජීවන් හූල් විසින් ලියන ලද ලිපියක මෙසේ සඳහන් වුණා.  "නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම යුක්ති සහගත කරමින් සම්පන්දන් කී ආකාරයට ඔහුගේ එකී සහභාගීත්වය මේ රටේ සකල වාසීන්ට යහපත් පණිවිඩයක් ගෙන යනු ඇත. එසේම වේවා !" දෙමළ ජාතික සන්ධානය කැබිනට් ඇමති තනතුරු භාර ගනිමින් රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු බව දෙමළ මධ්‍යස්ථ මතධාරියකු වන රත්නජීවන් යෝජනා කරනවා. පසුගිය සතියේ යාපනයේ පැවති ජාතිවාදී උද්ඝෝෂණවලදී දෙමළ මධ්‍යස්ථ මතධාරී නායකයන් දෙදෙනෙකු වන සම්පන්දන්ගේත්, සුමන්දිරන්ගේත් පඹයන් පුළුස්සා දමනු ලැබුවා. 

වර්ග සංහාර යෝජනාව හා යුද අපරාධ චෝදනා ගැන අප මේ කාරණයත් මතු කර දක්වන්නට කැමතියි. හරි, මේ පරීක්ෂණය වෙනුවෙන් අපි අන් සියලු දේ කැප කළා ය කියමුකෝ. පරීක්ෂණය සාධාරණ නම්, මහින්ද, ප්‍රභාකරන්,‍ ගෝඨාභය, සරත් ෆොන්සේකා, බැසිල්, පාලිත කොහොන, කේපී, කරුණා අම්මාන් හා හමුදා නිලධාරීන් රැසක් ආදී වශයෙන් විශාල පිරිසක් යුද අපරාධකරුවන් ලෙස නම් විය යුතුයි. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම ලංකාවේ සිංහල ජාතිවාදය නැවත අවදි වෙනවා සිකුරුයි. එය වළක්වන්නට ‍දැන් මේ යුද අපරාධ, සංහාර චෝදනා ගෙනෙන කිසිවෙක් ඉදිරිපත් වෙනවා ද? . යාන්තමින් සංහිඳියාවක් ගොඩනැගෙමින් එන, ප්‍රජාතන්ත්‍රවාදය ස්පර්ශ කරමින් සිටින මේ රට නැවත දරුණු ජාතිවාදී බෙදීමකට යනවා. මෙහිදී නැවතත් දැවැන්ත ලේ වැගිරීමක් සිදු වෙන්න පුළුවන්. ඔබට අවශ්‍යව තිබෙන්නේ එය ද? 

මට තිබෙන ගැටලුව වන්නේ අගතියට පත් පාර්ශ්වවලට සාධාරණය ඉටු කිරීමට තිබෙන එක ම ක්‍රමය මෙය ද යන්නයි. යුද්ධයෙන් විනාශ වූ ජන ජීවිතය හා ආර්ථිකය යළි ගොඩනැගීම, මිලිටරිහරණය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි පියවර ද යුද්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණයට ඉටු කිරී‍මේදී ඉතා වැදගත්. දණ්ඩනය අනවශ්‍ය යයි මම කියන්නේ නැහැ. එහෙත් එය සපුරා ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් ඉවසිලිවන්තව ඉදිරියට යා යුතුයි. ඕනෑම සැකකරුවකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දෙන්නට අයිතියක් තිබෙන බවත් අපි අමතක නො කළ යුතුයි. සදාම් හුසේන්ට හෝ ගඩාෆිට හෝ මේ අවස්ථාව ලබා දෙන්න ලෝකයට බැරි වුණා නේ ද?

දණ්ඩනය නො වැදගත් දෙයක් නොවෙයි. මෙවැනි දේ නැවත සිදු නො වන්නට නම් දණ්ඩනය අවශ්‍යයි. එහෙත්, එය ම එක ම සාධකය බවට පත් කර ගෙන අන් සියලු සාධනීය අරගල යටපත් කර දැමීමට ඉඩ නො දිය යුතුයි. මෙවැනි තත්වයන් තේරුම් ගන්නට හොඳම ක්‍රමය වන්නේ ඉතිහාසය අධ්‍යයනය කර බැලීමයි. අප ජීවත් විය යුත්තේ හුදෙක් ම අතීතය නිවැරදි කිරීම වෙනුවෙන් පමණක්ද ? නැතිනම් අනාගතය වෙනුවෙන් ද? 


අපේ වාමාංශික සහෝදරයින්ට සිදු වී තිබෙන අලකලංචිය ඉතා සරළව තේරුම් ගත හැකියි. ඔවුන් ජීවත් වන්නේ ඉතිහාසය සමග නො ව අතීතය සමගයි. තම න්‍යායික හාම්පුතුන් විසින් සදා නිම කර දෙන ලද වන්දනීය වූ පූජනීය වූ රාමුවෙන් පිටතට ඔලුව දමා බලන්නට ඔවුන්ට සොබාදහමේ හෙවත් ඔවුන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

15 comments:

  1. වසර 30 ක යුද්දයක් අවසානයේත්, තවත් දහස් ගණනකට මාරු කැඳවූ විප්ලව දෙකකට පසුවත්, ජාත්‍යන්තරයට යන තරමේ එකම ප්‍රවුර්ති චයාරුපයක්වත් අපට නැත්ද?

    http://www.archive.worldpressphoto.org/photographers

    ReplyDelete
    Replies
    1. හිට් කෑලි, සලාදේ හිට් කෑලි.

      යව්වන හද ගැහෙන තාලේ...

      Delete
  2. වාමාංශිකයන්යැයි කියා හෝ මාක්ස්වාදීන්යැයි කියා හඳුන්වන ඔවුන් මාක්ස්වාදයේ පදනම වන විද්‍යාත්මක විශ්ලේෂණය පිළිනොගෙන යම් යම් මාක්ස්වාදීන්ගේ ප්‍රකාශනයන් ආගම් සේ අදහන බව පෙනෙන්නට තිබෙනවා. ඒ ප්‍රකාශන ඇතැම් විට ඒ මාක්ස්වාදීන් විසින් කරන්නට ඇත්තේ යම් සන්දර්භයක් තුළදී. දැන් මෙහි පවතින තත්වය වෙනස් විය හැකියි. ඔවුන් මේවා ගැන අවධානය යොමු කරන්නේ නැහැ. අනිත් කරුණ වාර්ගික සංහාරය යන්නට ඔවුන් දක්වන අර්ථ දැක්වීම. එය වැරදියි. සමූහ සංහාරයක් අනිවාර්යයෙන් වාර්ගික සංහාරයක් වන්නේ නැහැ. එල් ටීටී ඊ සංවිධානය හා රජයේ හමුදාවන් සමූහ සංහාරයන්හි නියැළුනු නමුත් වාර්ගික සංහාරයක් ලෙස ඒවා වර්ගීකරණය කරන්නට බැහැ. ඒ වගේම, එල් ටී ටී ඊ යනු ටෙලෝ, ඊ පී ඩී පී ආදී තවත් විමුක්තිකාමී සංවිධාන ගණනාවක් විනාශ කළ සංවිධානයක්. ඔවුන් දෙමළ විමුක්තිවාදීන් ලෙස පිළිගන්නට බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි. මෙය තමයි, වාමාංශිකයන්ගේ/මාක්ස්වාදීන්ගේ මූලික ගැටලුව. මාක්ස්වාදී පකීර්ලා බොහෝ දෙනෙක් කරන්නේ ප්‍රශ්න විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම නොවෙයි. වෙනත් ඓතිහාසික, භූගෝලීය, සමාජ, දේශපාලන සංදර්භයන්ට අදාළව කරන ලද ප්‍රකාශවලට ලංකාවේ ප්‍රශ්නය ආදේශ කරන්නට උත්සාහ කිරීමයි.

      Delete
  3. මෙහෙම දෙයක් තියෙනවා පැරා...

    දැන් අපි යුද්ධය අවසානයේ වෙච්ච 'බර අවි පහරදීම්', 'සුදු කොඩි ඝාතන' වගේ "යුධ අපරාදයැයි කෙලින්ම ඔප්පුකරන්න අමාරු" දේවල් අතහැරලා අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයින් අතුරුදහන් කිරීම, ඉසිප්‍රියා/ බාලචන්ද්‍රන් ඝාතනය, කොලඹ හා වෙනත් ප්‍රදේශවල සුදු වෑන් ඝාතන, ත්‍රිකුනාමලය පාසැල් සිසුන් 6 ඝාතනය වගේ සෘජු සාක්ෂි තියෙන අපරාධ වලට විතරක් "දේශීය අධිකරනයක" කිසිදු ජාත්‍යන්තර මදිහත්වීමක් නැතිවම ගෝටාභය හා තවත් හමුදා නිලධාරීන්ට නඩු පවරුවයි කියමුකො..

    ඒත් විමල් වීරවන්ස වගේ උන් දකුනේ සිංහල ජාතිවාදීන් කුලප්පු කරන එකක් නැතිද?
    එතකොට ඔය පැරා කියන 'ලේ වැගිරීම' වෙන්න බැරිද?
    රනිල්ට, චන්ද්‍රිකාට හෝ සිරිසේනට නඩු විභාග කිරීමේ අවශ්‍යතාවය තිබ්නත් ඔවුන් ඒ දේසපාලන අවධානම ගන්න කැමතිවෙයිද?
    දැන් ඊලගට පත්වෙන එජාප රජයක් යටතේ නඩු පැවරුවොත් විපක්ෂය දේශපාලන වාසි තකා සිංහල ජාතිවාදය අවුස්සා නොහිටියිද?

    මේ සංධර්භය ඇතුලේ දෙමල ජනතාව දකුනේ ආන්ඩුවෙන් සාධාරනයක් ඉටුනොවෙයි කියල සිතීම වැරදිද?
    එතකොට පැරා කියන විදිහට දෙමල ජනතාව තමන්ගේ නෑ හිතවතුන්ට අපරාධ කරපු සියල්ලටම සමාව දෙන්න ඔනැද?

    ReplyDelete
    Replies
    1. අපරාධ සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි නම්, කාටවත් දණ්ඩනයට එරෙහි වන්න බැහැ. ඒත්, මේ බලවත් අපරාධකාරයෝ එහෙම ලෙහෙසියෙන් සාක්කි ඉතුරු කරන්නේ නැහැ. සාක්ෂි ගවේශනය ඉතා දුෂ්කරයි. ඔබ ඔය කියන ඍජු සාක්ෂි ඇති සිද්ධිවලදී පවා පහස‍ුවෙන් ඔප්පු වන්නේ ඝාතනය සිදු කර ඇති බව පමණයි. ඝාතන චෝදනාව කාට එල්ල කරනවා ද කියන එක ප්‍රශ්නයක්.

      චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න බැරි වුණොත්, එය විත්තිකරුවන්ට හා ඔවුන්ට පක්ෂ පිරිස්වලට වාසිදායකයි. නිදසුනක් ලෙස මහ බැංකු ප්‍රහාරය සම්බන්ධව ප්‍රභාකරන් වැරදිකරු බවට පත් කළ නඩු තින්දුව සැලකිල්ලට ගන්න. එහිදී චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළා ද? ඒ නඩු තීන්දුව පදනම් කරගෙන ඔබ ප්‍රභාකරන් අත්අඩංගුවට ගත යුතු බවට තර්ක කළේ නැහැ නේ ද? ඒ ප්‍රභාකරන් සහ කොටි සංවිධානය සමග සාකච්ඡා කරනවාට විරුද්ධ වුණේ නැහැ නේ ද?

      'දෙමල ජනතාව තමන්ගේ නෑ හිතවතුන්ට අපරාධ කරපු' අය ගැන සොයනකොට කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද වෙනත් දෙමළ දේශපාලන සංවිධානවල සාමාජිකයන් දහස් ගණන ගැනත් සෙවිය යුතුයි.

      යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනයන් ආදිය ගැන පරීක්ෂණ පවත්වනවාට මම විරුද්ධ නැහැ. ඒත්, මේ පරීක්ෂණ අතිශය දුෂ්කරයි. ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත වෙනවා. ලෝකෙ කොහේවත් මෙවැනි ඝාතන සියල්ල ගැන කරුණු ගවේශනය කරගෙන නැහැ. වැරදිකරුවන්‍ ලෙස බැලූ බැල්මට පෙනෙන අයට පවා එරෙහිව ඇති චෝදනා නීත්‍යානුකූලව ඔප්පු කරන එක ලෙහෙසි නැහැ.

      දැන් මේ සිද්ධි සියල්ල වර්ග සංහාරය වගේ පොදු එක් ‍ජාතිවාදී චෝදනාවකට ගොනු කරන එක හරි ලේසියි.

      වර්ග සංහාර චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන එකටත් මම විරුද්ධ නැහැ. සාධාරණ පරීක්ෂණයකදී ඔය චෝදනාව ඔප්පු කරන්න බැරි බව ඒ චෝදනාව ගෙනෙන විග්නේශ්වරන් හොඳින් දන්නවා ඇති.

      මම කියන්නේ පරීක්ෂණ අතහැර දමන්න කියන එක නොවෙයි. එය අන් සියල්ලේ මූලික කොන්දේසිය බවට පත් නො කළ යුතුයි. සමාජ සංවර්ධනය, සාමය, සංහිඳියාව වෙනුවෙන් ගත හැකි වෙනත් පියවර අඩාල කරන්න මේ කොන්දේසිය භාවිතා නො කළ යුතුයි. හැබැයි ඔබේ උවමනාව එයයි.

      ඔබට අවශ්‍ය ඔය චෝදනා ඔප්පු කරන්න නෙමෙයි. සිංහල, දෙමළ සමාජයන් අතර ඛන්ඩනය ස්ථාවර කරන්නයි. ජාතීන්ගේ ප්‍රශ්නය වාමාංශිකයන්ටත් හිඟන්නාගේ තුවාලය බවට පත් වෙලා.

      "දෙමල ජනතාව දකුනේ ආන්ඩුවෙන් සාධාරනයක් ඉටුනොවෙයි කියල සිතීම වැරදිද?" කියා ඔබ අහනවා. දකුණේ ධනේශ්වර ආණ්ඩුවලින් සිංහල, දෙමළ, මුස්ලිම් පීඩිත ජනතාවට සිදු වී තිබෙන සාධාරණය කුමක් ද? වාමාංශිකයන් වන ඔබ ඇයි දෙමළ ජනතාව ගැන විතරක් කතා කරන්නේ? වාමාංශිකයන් කතා කළ යුත්තේ පීඩිත ජනතාව ගැන මිස පීඩිත දෙමළ ජාතිය ගැන විතරක් නොවෙයි.

      දෙමළ ජාතිවාදයෙන් අත්මිදෙන්න.

      විදේශ රටවල සිට දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින අයගෙන් මම ඉල්ලා සිටින්නේ පිටරට ගිය අනෙක් ලාංකිකයන් වගේ කම්කරු රැකියා සොයා ගන්න කියායි. එතකොට දෙමළ ජාතිවාදය වෙනුවෙන් කහින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතින් හිතන්න පුළුවන්.

      ලංකාවේ ඉන්න රාජ්‍ය නො වන සංවිධානවල සාම ව්‍යාපෘතිවලින් ජීවත් වන අයටත් කියන්න තිබෙන්නේ එයමයි. දේශපාලනය කරනවා නම් ඔය තැරැව්කාර රැකියාවලින් ඉවත් වී අපි වගේ කම්කරුවන් වන්න.එතකොට ඔලුව නිදහස් කරගන්න පුළුවන්.

      Delete
    2. මම 'දෙමල ජාතිවාදයකට' කඩේ ගිහින් නෑ.. මම කථාකරන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අපරාදයකට දන්ඩනීය යුක්තිය ලබාගැනීමේ අයිතිය වෙනුවෙන්. ඒ අපරාදයට ලක්වූ බහුතරය "දෙමල" වීම නිසා මම දෙමල ජාතිවාදියෙක් වෙනවය කීම වැරදියි.

      [ දකුණේ ධනේශ්වර ආණ්ඩුවලින් සිංහල, දෙමළ, මුස්ලිම් පීඩිත ජනතාවට සිදු වී තිබෙන සාධාරණය කුමක් ද? ]

      ඔවු, මහා ලොකු සාධාරනයක් වෙලා නැතිව ඇති..
      ඒත් දැන් පැරා ගේ ගෙදරට අද රෑට 'වෙලේ සුදාගේ කුඩු හොයන්න' කියලා පොලීසියෙන් පැනලා පැරාගේ බිරිද දූශනය කලොත් පැරා "ධනේශ්වර ආන්ඩුවෙන් සියලු පීඩිත පන්තියේ කාන්තාවන්ට සාධාරනය ඉල්ලා" සටන් කරනවාද නැතිනම් තමන්ට වූ අසාධාරනය වෙනුවෙන් නීතියේ පිහිට පතනවාද?

      [ කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද වෙනත් දෙමළ දේශපාලන සංවිධානවල සාමාජිකයන් දහස් ගණන ගැනත් සෙවිය යුතුයි.]
      සම්පූර්නයෙන්ම එකගයි..
      ඒවාට වගකිවයුතු කොටි නායකයින් අද බොහෝවිට මියගිහින්, නමුත් කරුනා, කේපී සහ බටහිර රට්වලට පැනගොස් සිටින කොටි සාමාජිකයින්ට විරුද්ධව අධිකරන ක්‍රියාමාර්ග ගත යුතුයි. ?
      නමුත් ඒක කරනකම් මේක කරන්න එපා" කීම හරියට "වෙලේසුදාගේ කුඩු නඩු ඉවරවෙනකම් පැරාගේ රේප් කේස් එක ගැන හොයන්න එපා" කීම වගේ නේද?

      ප.ලි: මම එන්ජීඕ කාරයෙක් නොව වෘතියෙන් ඉජිනේරුවරයෙකි.

      Delete
    3. "ඒක කරනකම් මේක කරන්න එපා" කියා අප ද කියනනේ නැත.

      ඉහත කමෙන්ටුවේ අප කීවේ මෙසේ ය: "මම කියන්නේ පරීක්ෂණ අතහැර දමන්න කියන එක නොවෙයි. එය අන් සියල්ලේ මූලික කොන්දේසිය බවට පත් නො කළ යුතුයි. සමාජ සංවර්ධනය, සාමය, සංහිඳියාව වෙනුවෙන් ගත හැකි වෙනත් පියවර අඩාල කරන්න මේ කොන්දේසිය භාවිතා නො කළ යුතුයි."

      මේ මොහොතේ අප ප්‍රමුඛතාව දිය යුත්තේ ජාතීන් අතර සංහිඳියාව හා බලය බෙදා ගැනීම ඔස්සේ ස්ථාවර සාමයකටයි. නව දේශපාලන ප්‍රජාවන් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගා ගැනීමටයි.

      එහෙත්, මේ වර්ග සංහාර යෝජනාව මතු කරන පාර්ශ්වයේ අරමුණ එය නොවෙයි. ඔවුන් දෙමළ ස්වෝත්තමවාදීන්. සිංහල ස්වෝත්තමවාදීන්ගේ ප්‍රති පාර්ශ්වය.

      පෙනෙන විධියට ඔබ නො දැන ඔවුන්ට අසු වූ කෙනෙක්.

      Delete
  4. Sathyaagaaraya- Anura Kumara kiyanawaa 2020 balaya gannakota JVP eka saadhaneeya lesa venas welaa thiyevi.kiyalaa. Wathman UNP eka elesa saadhaneeya lesa venasvela kiyalaa ohu piliganne nehe.Vidhaayaka balaya ahosi karanna ekanga vena ekath saadhaneeya vensak neda? MR epaa kiyana ekath SLFP eke saadhaneeya venasak neda? JVP eka balaya ganna sihinaya thawa durai wage.

    ReplyDelete
  5. දෙමළ , මුස්ලිම් සුලු ජාතීන් ය.. සිංහල මහ ජාතිය ය.. සිංහලයන් සුලු ජාතීන් සංහාර කරනවා යි කීවාට දැං වෙන්නේ ඒකමද? ජාතියක් නොබලා බෙදුම්වාදීන්ට පහර දුන් බව නම් දැක්කෙමු.ලෝක මට්ටමින් ගත් විට දෙමළ හා මුස්ලිම් මහ ජාතීන් එක්වී සිංහල සුළු ජාතිය මර්ධනය කිරීමට කැස කවන බව නම් පැහැදිලිවම පෙනේ.
    නමුත් අන් සෑම සුදුසු නොසුදුසු අවස්ථාවකම ලෝක මට්ටමින් ගැටලු දෙස බැලිය යුතු යයි කියන්නන් මේ ගැටලුව දෙස පමණක් 'දූපත්' මානසිකත්වයෙන් බැලීම නම් විහිලුවකි.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට සුළු ජාතීන්ගෙන් ඔච්චර අතවර වෙන්න සිංහල බෞද්ධයා කියන්නෙ පොන්නයෙක්ද බං?

      Delete
  6. මෙවැනි කාරනා ගැන "out of the box" සිතිය යුත්තේ කෙසේදැයි පහදන්න...

    //.."මගේ පුතාට වැඩිය හුඟක් උස මහතයි. එක පාරටම දැක්ක ගමන්ම හිතුවා ඒ මගේ පුතා නෙමේ කියල, ඒත් පස්සේ කල්පනා කරන කොට එයා අපෙන් වෙන් වෙලා අවුරුදු කීපයක් ගත වුනු නිසා එයාගේ මුහුණ ඇඟපත වෙනස් වෙන්න ඇති කියල හිතාගෙන එයාගේ අත අල්ලන්න නැගිටින්න හදන කොටම “ අම්මා, මම ඔයාගේ පුතා නෙමේ. මගේ නම ලෝගනාදන් සුරේන්ද්‍ර කුමාර්. ඔයාගේ පුතාගේ නම ලෝගනාදන් ප්‍රදීපන්. මාව නිර්වේලිවලදී අල්ලාගෙන ආවේ. පුලුවන්නම් මම මෙහෙ ඉන්නේ කියල, කොහොම හරි ඇවිත් මාව බේරගන්න කියල මගේ අම්මාට කියන්න කියලා....” ඒ දරුවා කියල ඉවරවෙන්න කලින් ළඟ හිටපු එවුන් ඒ ළමයාට ගැහුවා. මගේ ඉස්සරහදීම ඒ ළමයාට හොඳටම ගහලා ඇදගෙන ගියා....//

    http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/289-2015-02-18-08-43-41

    ReplyDelete
    Replies
    1. මෙම ජේ.ඩී.එස්. වෙබ් අඩවිය කරන අය මේ ලියන මා සම්බන්ධයෙන් ද බලාපොරොත්තු වුණේ හමුදාව මට ඔය කියූ විධියට සලකයි කියා ය. ජාතික ප්‍රශ්නයේදී අප කළ මැදිහත් වීම් නිසා අප අතිශය දුෂ්කර තත්වයකට පත් වී සිටියදී අපගේ පැරණි සගයන් වී සිටි මේ අයගෙන් උපකාර ඉල්ලූ විට ඔවුහු අපට ඔලොක්කුවට සිනාසුණ හ.

      දෙමළ ජනතාව ගැන මේ අයට තිබෙන කැක්කුම සමග ආර්ථික සම්බන්ධතා ද තිබේ. මේ අය අවංක නැත.

      ඔබ කියන ප්‍රශ්නය ගැන out of the box සිතිය යුත්තේ මෙසේ ය: නැවත මෙවැනි තරුණ සංහාරයකට දෙමළ තරුණයන් පොළඹවන දේශපාලනයෙන් ඔවුන් ඈත් කළ යුතු ය. එවැනි ‍ජාතිවාදී දේශපාලනයන් පිටුදැකිය යුතු ය. ජාතික ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීම සඳහා සියලු ජාතීන් එක්සත්ව උත්සාහ කළ යුතු ය.

      පළි ගැනීමේ චේතනා අගතියට පත් වූවන් අතර ප්‍රවර්ධනය කිරීම වෙනුවට මේ කැක්කුම්කාරයන් කළ යුත්තේ තමන් ම මැදිහත් වී පළි ගැනීමේ දේශපාලනයේ යෙදීමයි.

      Delete
  7. Replies
    1. මධ්‍යස්ථ දෙමළ ප්‍රජාව මේ ගැන සිතන අන්දම මෙතැනින් කියවන්න. Colombo Telegraph

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.