2015-04-30

19න් පසු අලුත් යුගයට අරුත් සපයමු

ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා ජේ. ආර්. ජයවර්ධන වරක් මෙසේ පැවසී ය: “We need an executive freed from the whims and fancies of the legislators” අපට නීති සම්පාදකයන්ගේ උවමනා එපාකම්වලින් නිදහස් විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය බව එහි අරුතයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වුණේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්නටයි. ව්‍යවස්ථාමය වශයෙන් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණත්, 1978ට පෙර ඉතිහාසය හා සාපේක්ෂව බැලූ කල 1978න් පසු ඉතිහාසය තුළ රටේ අස්ථාවරත්වය වැඩි වී තිබේ. ධුර කාල දෙක ම බලයේ සිටි ජනාධිපතිවරු තිදෙනෙක් මේ රටේ සිටිය හ. ඒ ජේ.ආර්., චන්ද්‍රිකා හා මහින්දයි. මේ තිදෙනාගේ ම දෙවන ධුර කාලය තුළ ඔවුන් ඒකාධිපති ලෙස කටයුතු කරන්නට දැරූ උත්සාහයන් දකින්නට ලැබෙන අතර එම ක්‍රියාවන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ රටේ අස්ථාවරත්ව වැඩි වීමයි.

නිදසුනක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවන වරට ජනාධිපති ධුරය දැරූ වකවානුවේ මේ රටේ මහ මැතිවරණ තුනක් පැවැත්විණි. මේ තුනෙන් ම බලයට පත් වුණේ එතරම් ස්ථාවර ආණ්ඩු නොවේ. ඇය දෙවරක් ම සිය බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරියා ය.

මහින්දගේ දෙවන ධුර කාලයේදී ඔහු 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් සදාකාලිකව බලයේ රැඳී සිටී‍මේ උත්සාහයක් දැරුවේ ය. එසේම, විධායක ජනාධිපති ක්‍රමයෙන් කළ හැකි සියලු නරක දේ ඔහු කළේ ය. කොටින් ම කියනවා නම්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන ජීවතුන් අතර සිටියා නම් ඔහු පවා ලජ්ජාවට හා විස්මයට පත් කරන්නට මහින්ද රාජපක්ෂ සමත් වනු ඇත. ඔහු විසින් නිර්මානය කරන ලද අස්ථාවරත්වය හේතුවෙන් ඔහුට බලයෙන් ගිලිහී යන්නට සිදු විය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය ලක්ෂණයක් ලෙස දකින්නේ ජනාධිපතිවරණයෙන් ජයගැනීම සඳහා අපේක්ෂකයින් සුළුතර ප්‍රජාවන්ගේ විශ්වාසය දිනා ගත යුතු වීමයි. සුළුතර ප්‍රජාවන් පිළිකෙව් කරමින් බහුතර සිංහල ඡන්දයෙන් බලයට පත් වන්නට 2015දී මහින්ද රාජපක්ෂ දැරූ අසාර්ථක උත්සාහය හමුවේ මෙම සාධකය සක්සුදක් සේ ඔප්පු විය. එහෙත්, බලයට පත් වූ විධායක ජනාධිපතිවරයෙකු සතු වන අසීමිත බලතල හමුවේ සුළුතර ප්‍රජාවන්ට මහ ලොකු සෙතක් අත් වීම පිළිබඳ මෙතෙක් ඉතිහාසයේ නම් සැලකිය යුතු සාක්ෂි නැත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නම් සටන් පාඨය 1995 ජනාධිපතිවරණයේ පටන් ම සෑම ජනාධිපතිවරණයකදී ම කියැවුණකි. එහෙත්, එය යථාර්ථයක් බවට පත් වුණේ විසි වසරකට පසුව 2015 ජනාධිපතිවරණයෙන් පසුවයි. එය විධායක ජනාධිපති ක්‍රමයේ පූර්ණ සංශෝධනයක් නො වන මුත්, විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල විශාල ප්‍රමාණයක් අහෝසි කර තිබේ. බල තණ්හාධික ඒකාධිපතියකුට කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුව ද මැටි පිඬක් කර ගන්නට පුළුවන් බව මහින්ද රාජපක්ෂ වැනි චරිතවලින් පෙන්නුම් කර තිබේ. එහෙයින් වැදගත් වන්නේ එවැනි නායකයන් බිහිවීම වළක්වා ගැනීමයි. ආයුබෝ වේවා මහරජාණනේ යි ප්‍රශස්ති ගයන ජනතාව වෙනුවට අලුත් ජනතාවක් නිර්මානය කර ගැනීම අලුත් ව්‍යවස්ථාවක් නිර්මානය කරනවාට වඩා වැදගත් වන්නේ එබැවිනි.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් විධායක ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුවේ බලය ප්‍රතිව්‍යූහගත කර තිබේ. එමගින් අලුත් ජනාධිපතිවරයකු හා අලුත් පාර්ලිමේන්තුවක් නිර්මානය කර තිබේ. අලුත් ජනාධිපතිවරයා බලය හොබවන්නේ වඩා බලවත් පාර්ලිමේන්තුවක් සමගයි. ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර වඩා පුළුල් බලය බෙදීමක් නිර්මානය වී තිබේ. මේ බලය බෙදා ගැනීම අලුත් අත්දැකීමක් වන අතර එය පරීක්ෂා වනු ඇත්තේ භාවිතයත් සමගයි.

නිදසුනක් ලෙස ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය පිළිබඳ විසංවාදයක් ඇත. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කකුලෙන් අදිමින් සිටි රාජපක්ෂ බලවේගයට අවසානයේ එල්ලෙන්නට තිබුණු එක ම වැල වූයේ මෙම ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් තෝරාගැනීමේ බලය සහිත ව්‍යවස්ථාදායක සභාව ය. මුල් යෝජනාව අනුව ව්‍යවස්ථාදායක සභාවට පත් විය යුතුව තිබුණේ ස්වාධීන විද්වතුන් සත්දෙනෙකු, අගමැති, කතානායක හා විපක්ෂ නායකයි. එහෙත් දැන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 10 පත් වන්නේ ස්වාධීන විද්වතුන් තිදෙනෙක්, අගමැති, කතානායක, විපක්ෂ නායක හා අගමැතිගේත්, විපක්ෂ නායකගේත් එකඟත්වයෙන් පත් කරනු ලබන තවත් තිදෙනෙකු, සුළුතර පක්ෂවල එකඟත්වයෙන් පත්වන එක් අයෙකු හා පාර්ලිමේන්තුවට බැහැරිනි පත් කරනු ලබන ස්වාධීන පුද්ගලයන් තිදෙනෙකු ලෙසයි. පාර්ලිමේන්තුවට පිටතින් පත් කරනු ලබන පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනෙකු අගමැති හා විපක්ෂ නායක විසින් එකඟතාවෙන් නම් කරනු ලබන අතර අනෙක් සාමාජිකයා පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි.

මෙය භාවිතාවට නගන විට ප්‍රශ්න පැන නගිනු ඇත. මුල් යෝජනාවේ තිබුණු අන්දමින් ක්‍රියාත්මක කරන්නට ගියත් ගැටලු ඇති වීම වළක්වන්නට බැරි ය. අලුත් ව්‍යවස්ථාව විසින් නිසැකව ම අලුත් ගැටලු රැසක් නිර්මානය කරනු ඇත. එම ගැටලු විසඳා ගැනීම සඳහා තව තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය වනු ඇත. එසේ වීමේ කිසිදු වරදක් ද නැත. මේ වනාහි අපට ගැලපෙන ආණ්ඩුක්‍රමයක් ගොඩනගා ගැනීම සඳහා වූ මහජන ක්‍රියාවලියකි. එය අවසන් විය යුතු දෙයක් නො වේ. සමාජය වෙනස් වන විට පාලන රාමුව ද වෙනස් විය යුතු ය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ජයග්‍රහණයක් වන්නේ එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් හෝ පරිසමාප්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමේ ක්‍රියාමාර්ගයක් නිසා හෝ නො වේ. එය එක්තරා ව්‍යවස්ථා උගුලකින් ගැලවීමක් නිසා ය. උගුලක සිර වී සිට නිදහස ලැබූ සතෙකු වුව මුලින් කරන්නේ සිය අතපය විහිදුවා සැහැල්ලු වීමයි. උගුලෙන් පිට වූ පසු උගුල දෙස අලුත් ඇසකින් බලන්නට හැකියාව ද ලැබේ. උගුලේ යාන්ත්‍රණයන් හරිහැටි වැටහෙන්නේ උගුල දෙස පිටතින් බලන විට ය. සමහර විට අපි ඒ උගුලෙන් වෙනත් උගුලකට වැටිලා වෙන්නට වුව බැරි නැත.

එහෙත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උගුලෙන් ගැලවුණු ලාංකීය ජනතාව යනු අලුත් දේශපාලන ප්‍රජාවකි. ඒ ජනතාව විසින් 19 වෙනු‍වෙන් කරන ලද අරගලය ඔස්සේ අත්පත් කර ගන්නා ලද සාධනීය ජීවගුණය ඉදිරි අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය සපයනු ඇත. මේ සියල්ල මැදින් වැදගත් ම දේ වන්නේ ඒකධිපති මහින්ද රාජපක්ෂ පැරදවීමෙන්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් මේ රටේ ජනතාව ලද පන්නරයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයේ ජනාධිපතිවරුන් පස්දෙනෙකු විසින් ප්‍රදර්ශනය කරන ලද බල තණ්හාව වෙනුවට බලය අත්හැරීමට කැමැත්ත පළ කිරීමේ උදාර ගුණය ඔස්සේ කැපී පෙනුණේ ය. මේ ගුණය වනාහි ලක් ඉතිහාසයේ මෑත යුගයේ රාජ්‍ය නායකයකු විසින් නො පෙන්වන ලද විශිෂ්ට නායකත්ව ලක්ෂණයකි. පොළොන්නරුවේ ගොවි පවුලක උපන් සාමාන්‍ය මිනිසකු වූ මෛත්‍රීපාල සිරිසේන ලාංකීය සමාජයට අලුත් යුගයක් වෙත පිවිසීමේ දොරටුව සියතින් ඇර දුන් ජන නායකයෙකු ලෙස ඉතිහාසගත වෙයි.

මෙහිදී ජනතාවට වැදගත් වන්නේ අප හමුවේ දොරටු විවර වී තිබෙන අලුත් යුගයට අරුත් සැපයීමයි.

අපි අනාගතයට ගැලපෙන නායකයන් නිර්මානය කර ගත යුතු ය. හොඳම හොරුන් ජනතා නියෝජිතයන් බවට පත් කරන ක්‍රමය වෙනුවට වෘත්තීය දේශපාලකයන් ජනතා නියෝජන සභාවලට පත් කළ යුතු ය. ඒ අරුතින් ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව සතු වගකීම අති මහත් ය. රටේ දේශපාලන සදාචාරය දියුණු කිරීම සමස්තයක් ලෙස ම රටේ සමාජ සංවර්ධනයට ඉවහල් වෙයි.

මහජන නියෝජනය විධිමත් කිරීම සඳහා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා වන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදය දැන් ඉදිරියට ගත යුතු ය.

ජාතිවාදී පදනම්වලින් බෙදී සිටින වත්මන් සමාජය ජාතිවාදය ඉක්මවා ගිය ලාංකීය දේශපාලන ප්‍රජාවක් ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා පියවර තැබිය යුතු ය. සුළුතර ජාතීන් අතර තිබෙන වෙන් වීමේ ප්‍රවණතා දුරලා විශ්වාසය තහවුරු කර ගත යුතු ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය හා ආගමික අන්තවාදී ප්‍රවණතා දෘෂ්ටිමය වශයෙන් මෙන් ම නීතිමය ආකාරයෙන් ද පරාජය කළ යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනතාව හා ජනතා ‍නියෝජිතයන් නො සැලී පෙනී සිටිය යුතු ය.

රටට සුදුසු ආර්ථික ක්‍රමයක් නිර්මානය කර ගැනීම සඳහා මහජන සංවාදය හා නියෝජනය උපයෝගී කර ගත යුතු ය. ආර්ථික ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිවල ප්‍රජාතාන්ත්‍රික හරය හා පාරදෘෂ්‍යභාවය සහතික කර ගත යුතු ය. දූෂණය පිටුදැකිය යුතු ය. කාර්යක්ෂමතාව නැංවිය යුතු ය.

ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය තහවුරු කිරීම මෙම කාරණයේදී ඉතා වැදගත් වේ.

සමස්තයක් ලෙස ම, අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සුබසාධනය, පරිසරය, සංවර්ධනය, නීතිය වැනි කාරණා දෙස අලුත් ඇසකින් බලන්නට පසුබිම සකසා ගත යුතු ය. මෙහිදී ජනතාවට වැදගත් වන්නේ ප්‍රජාතාන්ත්‍රිකව අරගල කිරීම සඳහා තිබෙන අවකාශය පුළුල් කර ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් හා ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා පරාජය කිරීමෙන් පංති අරගලය විවෘත වැඩබිමක් කරා ගෙන ආ හැකි ය. පංති අතර ගැටුම් හා සම්මුති ඔස්සේ සමාජය ඉදිරියට යනු ඇත.

- රාවය 2015 - 05 - 03

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. මාත් හිතන්නේ මේ සිදුවුණු වෙනස වත්මන් වටපිටාවේ හැටියට හොඳටම ඇති. එක පාරම මස් රාත්තලම ඉල්ලා වලි දැමීම මෝඩකමක්. කළ නොහැකි දේ කළ නොහැකියි. සමහරවිට මැතිවරණයකින් පසු තත්වය වෙනස් වේවි.

    ReplyDelete
  2. අතුරු ප්‍රශ්ණයක්.

    ඉලක්කමකින් වාක්‍යයක් ඇරඹීම මා නම් කරන්නේ නෑ. එය නිවැරදි නැතැයි මීට වසර වදසි පහකට පමණ පෙර අසා තියෙනවා. මේ ලිපියේ පැරා දෙතුන් තැනකම එසේ කර තියෙනවා දැක්කා.

    මේ ගැන වෙබ් පිටුවකින් උපදෙසක් මෙන්න:
    http://www.grammar-monster.com/lessons/numbers_starting_sentences.htm

    ReplyDelete
  3. ඔහේලා රැවටිලා මායාවකට. සිරිසේන ගේම දෙන්නේ දෙවන වර ජනපති වෙන්න, කොහොම හරි සංධානේ බලේට ගේන්න. 19 පුස් වෙඩිල්ලක් කලේ එයාමයි. සංධානේ උන් එක්ක එකතු වෙලා.

    සංධානේ පත් උනොත් විතරයි කියන්න පුළුවන්.. අනේ ඔයා වගේ වෙස්සන්තර කෙනෙක් දෙවනි පාරත් ඉන්න ඕන. ඒකයි සැමගේ ඉල්ලීම කියලා. නැතුව යූ ඇන් පී කාරයෝ කවදාවත් ඒක කියන්නේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. දෙවැනි වරටත් මෙෙත්‍රීපාල මහතා ඉල්ලීමක් කරනවා නම් ඒක වැරදියි.. ඔහුට අවශ්‍ය දේවල් කිරීමට මේ පාර්ලිමේන්තුවෙන් යම් යම් බාධා තිබුණත් ඔහුට ඊළග පාර ඒක වෙනස් කරගත හැකියි.... අවුරුදු 5කුත් තියෙනවානම් ඊටත් වඩා මොනවාද?? ඉතින් දෙවැනි වරක් ඉල්ලුවොත් පැහැදිලිවම ඔහු ජනතාව අන්දනවා.... ඒක අනුමත කරන්න බැහැ..... ඒත් මාතා මං විශ්වාස කරනවා මේ පාර ඡන්දයෙන් පස්සේ මීට වඩා සාර්ථක ජාතික අාණ්ඩුවක් හදයි කියලා.... බලමු

      Delete
  4. Gunaathmaka menma rasawath lipiyak.

    ReplyDelete
  5. මට නම් පෙනෙන්නේ සිරිසේන මහත්තයාට මේක වෙනස් කරන්න ඕන කමක් තිබුණට වඩා ඔහුට එය කරන්න සිද්ධ වුණා. කලින් වතාවලදීත් මේ වගේ නොකර බැරිම තත්වයක් උදාකරන්න පිරිසක් හිටියා නම් මේ වන විට මේක අහෝසි වෙලා. නමුත් මෙවර වෙනස් නොකර ඉන්නම බැරි වුණා.

    ReplyDelete
  6. ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව සතු වගකීම අති මහත් ය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.