2015-06-14

මන්ත්‍රීවරුන්ගේ විශ්වාස භංගය හා ජනතා විශ්වාස භංගය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාස භංගය ඓතිහාසික එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසී ය. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය තුළ එතරම් විශාල මන්ත්‍රී පිරිසක් විශ්වාසභංගයකට අත්සන් තැබූ පළමු අවස්ථාව එය බව ඔහුගේ මතයයි.

හිටපු ජනාධිපතිවරයා පවසන පරිදි විශ්වාස භංග යෝජනාවට හේතු වී තිබෙන්නේ ආණ්ඩුවේ ආචාර ධර්ම විරෝධී ක්‍රියාවලියයි. ඔහු පවසන්නේ කැබිනට් අනු කමිටුවකට ඍජුව වගකියන ගෙස්ටාපෝ පන්නයේ පොලිස් ඒකකයක් විසින් රජයේ දේශපාලන විරුද්ධවාදීන් සිරගත කරමින් සිටින බවයි. ඓතිහාසික වි්ශ්වාස භංගයට හේතු වී තිබෙන්නේ රජයේ බොරු, දූෂණ හා ප්‍රතිවාදීන් දඩයම් කිරීම බව මහින්ද රාජපක්ෂ පවසයි.

ගෙස්ටාපෝ යනු හිට්ලර්ගේ නාසි පාලනය විසින් ජර්මනියේ හා ජර්මනිය විසින් යටත් කර ගන්නා ලද යුරෝපා රටවල ක්‍රියාත්මක කළ රහස් පොලිසියකි. ගෙස්ටාපෝ යනු රහස්‍ය රාජ්‍ය පොලිසිය යන අරුත් දෙන ජර්මන් වදන් තුනෙක් කෙටි කර සකසා ගන්නා ලද වචනයකි. ගෙස්ටාපෝව ඔත්තුකරුවන් ජාලයක් මත යැපුණ අතර, නාසි පාලනයට එරෙහි වූවන් අත්අඩංගුවට ගැනීමටත් නඩු නැතිව සිරගත කිරීමටත් බලයක් එයට තිබිණි. ප්‍රශ්න කිරීම සඳහා කෘෘර ක්‍රම හා විධි අනුගමනය කිරීම පිළිබඳ ගෙස්ටාපෝව ලෝක ප්‍රකට ය.

ලංකාවේ ගෙස්ටාපෝව යයි මහින්ද රාජපක්ෂ විසින් හඳුන්වනු ලබන පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වනාහි තවත් එක් පොලිස් අංශයක් පමණි. එය පිහිටුවා තිබෙන්නේ විශේෂ මුල්‍ය අපරාධ, රාජ්‍ය මුදල් හා දේපල අපහරණයන් පිළිබඳ විමර්ශනය කිරීමටයි. ඒ සඳහා විශේෂ කුසලතා හා බුද්ධිමය හැකියාවන් අවශ්‍ය වීම මෙම පොලිස් ඒකකය පිහිටුවීමට හේතුව ලෙස දැක්වේ.

මේ වන විට ඇල්ලේ ගුණවංශ හිමියන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ. මෙවැනි විමර්ශන දැනට පවතින පොලිස් ඒකක 64ක් හරහා සිදු කළ හැකි බැවින් මෙවැනි විශේෂ පොලිස් ඒකකයක් අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීම අනවශ්‍ය බව ඔවුහු පෙත්සමේ සඳහන් කරති.

දිවිනැගුම අරමුදලේ මුදල් අපහරණය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ හා ඔහු යටතේ සිටි රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු විසින් ද මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන ගොස් තිබේ. ඔවුන්ගේ නීතිඥවරුන්ගේ තර්කයේ ද හරය වන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලනික ප්‍රතිවාදීන් දඩයම් කිරීම සඳහා පිහිටුවනු ලැබූවක් බවයි.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා සම්බන්ධ මෙම පෙත්සම් දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරි දිනවල තීන්දු ප්‍රකාශයට පත් කරනු ඇත.

පසුගිය රජය කාලයේ දැවැන්ත මුල්‍ය අපරාධ සිදු වූ බව සමාජයේ පොදු පිළිගැනීමකි. දිවිනැගුම අරමුදලේ සිදු වී තිබෙන වංචාව, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට හේතු වූ සතොසින් බඩු මිළ දී ගෙන බිල් නො ගෙවීම, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට හේතු වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අපහරණය කිරීම වැනි සිද්ධි පසුගිය කාලයේ නිර්මානය වූ දූෂණ සාගරයේ පාවෙන මුල්‍ය අපරාධ අයිස් කන්දෙහි දිය මතුපිටින් පෙනෙන මුදුන පමණි. ඒ අයිස් කන්දෙහි වැඩි හරිය තිබෙන්නේ දිය යට ය.

ඇත්ත ම කියනවා නම්, පසුගිය පාලනය සමයේ රටේ සිදු වූ දූෂණවල තරම අනුව ඒවාට එරෙහිව විමර්ශන සිදු කරන්නට තරම් ශක්තිමත් යාන්ත්‍රණයන් මේ රටේ නැත. ඉහත කී පොලිස් ඒකක 64 ම ඒ සඳහා යෙදෙව්වත් ඒ වෙනුවෙන් ප්‍රමාණවත් නො වනු ඇත. දූෂණය පසුගිය සමයේ ඒ තරම් ම සමාජගත විය. එපමණක් නොව එය අතිශය සාමාන්‍යකරණය ද විය.

මහින්ද රාජපක්ෂ පාලනය බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ විය. එම සමය තුළ රාජ්‍ය බලය දැඩි ලෙස ජනාධිපතිවරයා අතට කේන්ද්‍ර කර ගන්නා ලදී. ප්‍රබල ඇමතිකම් හා තනතුරු රාජපක්ෂ පවුල වෙත තබා ගන්නා ලදී. බලය සම්බන්ධයෙන් එසේ වුව ද දූෂණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය වෙනස් විය. ඇත්ත වශයෙන් ම රාජපක්ෂ පාලනය විසින් දූෂණය විමධ්‍යගත කළා යයි කීම නිවැරදි ය.

මේ වන විට හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විමර්ශනය වෙමින් තිබෙන මිග් 27 ගුවන් යානා හතරක් යුක්රේනයෙන් මිළ දී ගැනීමේදී සිදු වී තිබෙන වංචාවේ සිට දිවිනැගුම වංචාව, ඇවන්ට්ගාඩ් වංචාව වැනි මහා පරිමාණ වංචාවල සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ කොන්ත්‍රාත් මගඩි හා ඊටත් පහළින් ගොවි සංවිධාන විසින් ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම දක්වා දූෂණය විහිදිණි. රාජ්‍ය සේවයේ පහළ ම මට්ටම පවා මේ දූෂණය සමග ගැටගැසී තිබේ. නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැටුප් ලබා ගන්නා රජයේ සේවකයෝ, මහජන මුදලින් ලැබෙන පොහොර සහනාධාරය නාස්ති කරන ගොවියෝ, සත්‍ය ආදායම් සඟවා සමෘද්ධි සහනාධාර ලබා ගන්නා දිළින්දෝ පවා මේ දූෂණයේ කොටස්කරුවෝ ය.

තම, තම දෝතේ පමණින් දූෂණ සාගරයෙන් නෙළා ගන්නා අස්වැන්න වෙනුවෙන් රාජපක්ෂ පාලනය සමග ගැටගැසුණු දැවැන්ත මහජන බලවේගයක් මේ රටේ සිටිති. ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය.

එවැනි පසුබිමක් තුළ දූෂණ විමර්ශනය අතිශය සංකීර්ණ කාර්යයක් වෙනවා පමණක් නොව, මහජන කැළඹීමකට තුඩු දෙන දෙයක් බවට ද පත් වේ. මේ කැළඹීම තල දෙකකින් ප්‍රදර්ශනය වෙමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයට අත්සන් කිරීම එක් තලයකි. අනෙක් තලය වන්නේ බිම් මට්ටමේ ප්‍රචණ්ඩත්වය මෙහෙයවන පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රී තලයයි.

දකුණු පළාත් ඇමති ඩී.වී. උපුල් මේ පහළ තලය සංකේතවත් කරන්නෙකි. නැවත රාජපක්ෂවරුන් බලයට පත් කරගෙන, ඔවුන්ගේ රජයක් යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ‘පීසී කට්ටාගේ සිට ඩීඅයිජී දක්වා' ගල් ගසා මරා දැමීමට ඔහු යෝජනා කළේ ය. මේ වනාහි නීලා වික්‍රමසිංහ වැනි අහිංසක කලාකාරියන් වෙතින් පවා ප්‍රකාශ වූ ‘මරලා හෝ බලය රැක නො ගත්තේ ඇයි සර්' ආකල්පයේ දිගුවකි.

එහෙත්, මෙවැනි පැහැදිලි සාක්ෂි සහිත, සමාජ විරෝධී, වෛරී ප්‍රකාශනයන්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වී තිබේ ද යන්න පැහැදිලි නැත.

පසුගිය සමයේ සිදු වූ දැවැන්ත මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය පිරිස් බලය, කුසලතා හා තාක්ෂණය පොලිසියට නැත. එවැනි සංදර්භයක් තුළ විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවා හෝ ඒ සඳහා උත්සාහ කිරීම සාධාරණ ය. එය දේශපාලනිකව මෙහෙයවීම වරදක් ද යන්න ද සාකච්ඡා කළ යුතු කරුණකි.

ඇත්ත වශයෙන් ම ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුව තිබෙන ප්‍රධාන කාර්යය වන්නේ දූෂණයෙහි යෙදුනවුන්ට දඬුවම් කිරීම නො වේ. එහෙත්, දූෂණයට එරෙහි සමාජ මතය ස්ථාපිත කිරීමට නම් සංකේතාත්මකව වැදගත් දණ්ඩනයන් කීපයක් සිදු විය යුතු ය. සොරකම් කර රටින් පිට කරන ලද මහජන මුදල් ආපසු ලබා ගැනීමේ උත්සාහය ආර්ථික වශයෙන් වැදගත් ය. එසේම, සොරකම් කරන ලද මුදල් රට අස්ථාවර කිරීම සඳහා යොදා ගැනීම ද වැළැක්විය යුතු ය.

ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතුව තිබෙන්නේ දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, රාජ්‍ය පාලනය තුළ යහපාලනය ස්ථාපිත කිරීම හා සමාජය තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම කෙරෙහි ය. පසුගිය මාස කීපය තුළ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ මෙහිදී ඉතා වැදගත් ය. එහෙත්, මේ කලබල මැද ඇතැම් වැදගත් මාතෘකා හමස් පෙට්ටියට වැටී ඇත. තොරතුරු දැනගැනීමේ හිමිකම පිළිබඳ පනත එක් නිදසුනකි.

මේ සියල්ලට වඩා අනාගතය විෂයෙහි වැදගත් වන්නේ ආර්ථිකයයි. ජනතා ප්‍රශ්න විසඳීම සඳහා සංවර්ධනය යොදා ගන්නා ආකාරය පිළිබද සැබෑ දේශපාලන සංවාදය මාතෘකා කර ගත හැකි දිනයක් එළිපෙහෙළි කර ගත යුතු ය. ඒ සඳහා දූෂිත දේශපාලන බලවේගය දේශපාලනයෙන් පිටමං කර දැමිය යුතු ය. එය මීළඟ ඡන්දයකදී සක්‍රිය දේශපාලන සමාජය හමුවේ තිබෙන බැරෑරුම් වගකීමකි.

විශ්වාස භංග ගැන අපට සාකච්ඡා කිරීමට සිදු වී තිබෙන්නේ මෙවැනි පසුබිමක ය. පසුගිය කාලයේ රජයේ දේශපාලකයන්ට හිමිව තිබුණු රිසි සේ වැරදි කිරීමේ නිදහස හා නීතියෙන් තහවුරු වූ මුක්තිය අහිමි වී යාම නිසා ඔවුන්ගේ විශ්වාසය බිඳී ගොස් තිබේ. ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්වාසය භංග වීම ගිනස් වාර්තාවක් වන්නට යන්නේ ඒ නිසා ය. එහෙත් ජනතා විශ්වාසය සම්බන්ධයෙන් නම් තිබෙන්නේ වෙනත් තත්වයකි. 

ජනතා විශ්වාසය භංග වී තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ආණ්ඩුව හෝ කෙරෙහි නො වේ. සමස්ත පාර්ලිමේන්තුව කෙරෙහි ම ජනතා විශ්වාසය භංග වී තිබේ. භංග වූ ජනතා විශ්වාසය යළි ස්ථාපිත කිරීමට නම් අලුත් ජනවරමක් සහිත අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු ය. 
- අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2015 - 06 - 14


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

10 comments:

  1. ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිනිය හෙළිකර සිටියේ ඇයගේ වසර 11 ක කාලයේදී ජනාධිපති කාර්යාලය සතුව තිබුනේ වාහන 62ක් බවයි. ඉන් ඇයගේ කාලයේදී මිලදී ගෙන තිබුනේ වාහන 24 ක් පමණක් වන අතර ඉතිරි ඒවා ජේ.ආර්.ජනාධිපතිවරයාගේ කාලයේ සිට මිලදී ගත් ඒවා බවයි. එනම් 1978 ජනාධිපති ක්‍රමය බිහි වූ දා සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති වන තුරුම භාවිතා කර ඇත්තේ වාහන 64 ක් වූ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු වාහන 1200 ක් ජනාධිපතිගේ වාහන සංචිතයට අයත්ව තිබූ බවත් ඉන් මේ වන විට වාහන 200 ක් පමණ අතුරුදහන් බවත් හිටපු ජනාධිපතිනිය හෙලි කළාය.

    ReplyDelete
  2. Did I read it right???
    Do you write to Silumina now??
    What a difference..! Great
    - අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2015 - 06 - 14

    ReplyDelete
    Replies
    1. I write my views to any newspaper if I am invited. I want more people to read them. That's all. No other deal.

      Delete
    2. Invited කියන්නේ එවැනි ලිපිවලට ගෙවීමක් කරනවා විය යුතුයි නේද?

      කෙසේ වෙතත් මේ ලිපිය හොඳ ලිපියකි.

      Delete
    3. ඇත්තෙන් ම ලිපිවලට ගෙවනවා නම් හොඳයි. එහෙම නැතිව හැමදාම වැඩ කරන එක අමාරුයි.

      Delete
    4. ලිපිවලට මුදල් ගෙවිය යුතුයි තමයි විශේෂයෙන්ම invited නම්. පත්තරේ වැඩ කරන අයට පඩි ගෙවනවා වගේ. මේවා කත්‍යටය ලියුම් නොවෙයි නේ.

      මං හිතන්නේ කෑලි කුලියට ෆ්‍රී ලාන්ස් වැඩ කරන අයත් ඉන්නවා .

      Delete
    5. දේශපාලන කැම්පේන් එකක් කරන විට මුදල්වලට වැඩි සැලකිල්ලක් දක්වන්නට අමාරුයි.

      Delete
  3. පැරා,
    තේරුම් ගතයුතු යතාර්ථය නම් පවතින රජයට විනිවිද බාවයක් සහිත රටක් අනවශ්‍ය බවයි, මා දකින්නේ මෙය අපරටට ඉතා ගැලපෙන බවයි, හේතුව අපරටේ අන්ත දුෂිත දෙසපලන්යන් පමණක් නෙමෙයි ජනතාවත් දුෂිතයි (මෙ අදහස පෙර ලිපියකින් ඔබ සදහන් කලා )

    අපට සාදාරන සමාජයක් උවමනානම් කලයුත්තේ සියලුම ආර්ථික වැඩපිළිවලවල් පරිගණක ගත කර සියල්ලම විගණනය කළහැකි මට්ටමට ගෙන යාමයි.
    තවද දුෂනවලදී දැඩි දඩුවම් පැනවීම මගින් ඉදිරියේදී දුෂණ කිරීමට ඇති පෙළබිම අවම කල හැක.

    මෙහිදී අප යතාර්ථය තේරුම් ගත යුතුයි මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වීමේදී දෙසපලන්යයනට බලාපොරොත්තු වන ප්‍රතිලාබ නොලැබී යාමේදී සිදුවන්නේ
    තමාට වාසි සහගත ලෙස නීතිය වෙනස් කරගැනීමයි. හොදම උදාහරණය අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දුරකථන බිල් නොගෙවීම නිසා විසඳි කිරීම පවතින ක්‍රමය තුල විමර්ශන සදහා ප්‍රතිපාදන ලබානොදීමට කරනලද කදිම නිදසුනකි මෙය, මෙවැනි සාර්ථක ක්‍රමයක් දිගින් දිගටම පවත්වා ගැනීමට නම් දෙසපලන්යයනටත් ප්‍රතිලාබ ලැබෙන ජනතාවටත් ප්‍රතිලාබ ගෙනදෙන ක්‍රමයක් යෝජනා කලයුතුය.

    මේ පිළිබද සාකච්චාවක් වත් සිදුනොවිමෙන් පැහැදිලි වන්නේ අපට දුෂිත ක්‍රමය දිගින් දිකටම උවමනා බවයි !

    ReplyDelete
  4. අනේ කාලෝ ! . කාලෝෆොන්සේකා FCID එකට විරුද්ධව උසාවිය අසල දී මොනවාදෝ කියනවා . දුටිමි. "මා දේශපාලන සත්වයෙක්" යැයි. වෛද්‍ය සභාවේ සභාපතිකම භාරගමින් මොහු කලකට පෙර පැවසුවා මතකද ? මොහු වෛද්‍ය සභාවේ සිටියත් කරණ ජනතාසේවයක් නැත. උපාධිය සහ පුහුණුව ඇත්නම් සැත්කම් කලහැකිබව වෛද්‍ය සභාව විසින් නිකුත් කල මේ ලිපියෙන් බලාගන්න. කාලෝලා මෙතන නම් කියන්නේ අපිඕවාට නෑ ඒක උසාවියේ වැඩක් කියාය. http://www.lankacosmetic.com/MedCouncilDrCanPractice.pdf

    ReplyDelete
  5. //අහිංසක කලාකාරියන් වෙතින් පවා ප්‍රකාශ වූ ‘මරලා හෝ බලය රැක නො ගත්තේ ඇයි සර්' ආකල්පයේ // What was that?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.