2015-06-20

විස්ස සම්මත වුණත් මහමැතිවරණය පරණ ක්‍රමයට ම තියන්න වන්නේ ඇයි?

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 237කි. මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145ක් වන අතර 55 ක් දිස්ත්‍රික් සමානුපාතික ලැයිස්තුවෙන් ද ජාතික ලැයිස්තුවෙන් 37ක් ද තේරී පත් වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැනටමත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව හා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය 20වන සියවසේ මුල් යුගයේ සිට 1977 දක්වා කාල පරිච්ඡේදය තුළ ක්‍රමිකව සිදු වූ විකාශනයකි.

1948 ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව ආසන 50කින් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තෝරා පත් කර ගන්නා ලදී. ඒ වෙනුවෙන් 1931.06.13 සිට 1931.06.20 දක්වා දින 7ක් පුරා මැතිවරණය පැවැත්විණි. 1936දී පත් වූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවතියේ ද එම ආසන සංඛ්‍යාව ම ය .

ඉන්පසු 1945 දී පත් කරන ලද සෝල්බරි කොමිසමේ නිර්දේශානුකූලව දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 89 ක් පිහිටුවන ලදී. ඒ අනුව පළමු මහමැතිවරණය 1947.08.23 සිට 1947.09.20 දක්වා දින 19ක් පුරා පැවැත්විණි.

මැද කොළඹ ත්‍රිමන්ත්‍රී ආසනයක් වශයෙන්ද, කඩුගන්නාව අම්බලන්ගොඩ-බළපිටිය, බදුල්ල සහ බළන්ගොඩ ද්වි මන්ත්‍රී ආසන වශයෙන් ද ප්‍රකාශයට පත්වූයෙන් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාව 95ක් වූ අතර ඊට අමතරව ආණ්ඩුකාරයා විසින් තවත් මන්ත්‍රීවරුන් 6 දෙනකු ද පත් කරන ලදි. 1947, 1952 සහ 1956 වර්ෂයන්හි පැවති මහමැතිවරණවලදී බලපැවැත්වුණේ ආසන 101ක් වූ මෙම සංයුතියයි.

දෙවන පාර්ලිමේන්තු මැතිවරණය 1952.05.24 සිට 1952.05.30 දක්වා දින 4ක් පුරා පැවැත්විණි. 1956.04.05 සිට 1956.04.10 දක්වා දින 3ක් තිස්සේ පැවති තුන්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ද මෙම ආසන සංඛ්‍යාව නො වෙනස්ව පැවතිණි.

නියෝජිතයෝ

1956 දී පත් කරන වෝල්ටර් තල්ගොඩපිටිය කොමිෂම විසින් මැතිවරණ කොට්ඨාස සීමා නැවත නිර්ණය කරන ලදී. ලංකා ඉතිහාසයේ පළමු වරට එක් දිනක් තුළ මහමැතිවරණය පැවැත්වුණේ 1960 මාර්තු 19දා ය. එම මැතිවරණයේදී ආසන 151ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගන්නා ලදී.

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145ක් වූ අතර කලින් බහු මන්ත්‍රී ආසන වශයෙන් පැවැති අම්බලන්ගොඩ-බළපිටිය, බළන්ගොඩ හා බදුල්ල තනි මන්ත්‍රී කොට්ඨාස වශයෙන්ද, දකුණු කොළඹ, අකුරණ, මඩකලපුව, මූතූර් ද්වි මන්ත්‍රී කොට්ඨාස වශයෙන්ද, මැද කොළඹ ත්‍රිමන්ත්‍රී කොට්ඨාසයක් වශයෙන් ද නැවත නම් කරන ලදී.

සංයුතිය

1960 වසරේ ම ජූලි මාස‍යේදී තවත් මහමැතිවරණයක් පැවති අතර එහිදී ද ආසන සංඛ්‍යාව 151ක් විය. 1965 මාර්තු 22දා පැවැත්වුණු මහමැතිවරණයේදී හා 1970 මැයි 27දා පැවති මහමැතිවරණයේදී ද මෙම සංයුතිය නො වෙනස්ව පැවතිණි.

මේ ආසන සංඛ්‍යාව 168 දක්වා වැඩි වූයේ 1977 මහමැතිවරණයේදී ය. ඒ සඳහා පාදක වූයේ 1974දී පත් කරන ලද නොයෙල් තිත්තවැල්ල කොමිසමේ සීමා නිර්ණය කිරීම් ය. මැතිවරණ කොට්ඨාස 160ක් ක්‍රියාත්මක වූ අතර මැද කොළඹ, නුවරඑළිය - මස්කෙළිය ආසන වෙනුවෙන් මන්ත්‍රීවරුන් තිදෙනා බැගින් ද, බේරුවල, හාරිස්පත්තුව, මඩකලපුව හා පොතුවිල්යන මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් මන්ත්‍රීන් දෙදෙනා බැගින් ද තෝරා පත් කර ගන්නා ලදී. මෙම ආසන බහු වාර්ගික ආසන ලෙස සලකා ඒ වෙනුවෙන් වැඩි නියෝජනයක් ලබා දෙන ලදී.

අවසන් වරට ආසන මට්ටමෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සිදු වූයේ 1983 මැයි 18 දින ආසන 18ක් වෙනුවෙන් පැවැත්වුණු අතුරු මැතිවරණ මාලාවේදී ය. 1989න් පසු පැවැත්වුණු මහමැතිවරණවලදී ආසන මට්ටමෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීමක් සිදු වූයේ නැත.

එහෙත්, මැතිවරණ පැවැත්වීමේ පහසුව වෙනුවෙන් එදා සිට අද දක්වා ම මැතිවරණ කොට්ඨාස 160ක් බලපැවැත්විණි. මෙම මැතිවරණ කොට්ඨාස 160ක ඉතිහාසය මේ වන විට වසර 50කට ආසන්න වේ. අඩ සියවසක් යනු කෙටි කාලයක් නො වේ. එබැවින් එය අඩු කිරීම පහසු කාර්යයක් වන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් යෝජනා කර තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145කි.

මැතිවරණ කොට්ඨාස 145 සංඛ්‍යාව අපට හමු වනුනේ 1959 වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් කරන ලද සීමා නිර්ණය කිරීමෙහිදී ය. එම සීමා නිර්ණය කිරීමේදී රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට පැවැති තලවාකැලේ, උඩුගම, හම්බන්තොට යන ඡන්ද කොට්ඨාසද, 1947 සිට පැවති වැල්ලවත්ත - ගල්කිස්ස, කඩුගන්නාව, ගලහ, මතුරට, කොටගල, දණ්ඩගමුව, අලුත්නුවර හා බුත්තල යන ඡන්ද කොට්ඨාසද අහෝසි කර අලුතින් මැතිවරණ කොට්ඨාස ගණනාවක් පිහිටුවන ලදී.

ඒ අනුව අපට හමු වන මැතිවරණ කොට්ඨාස සමන්විත වන්නේ ඊට පෙර පැවති මැතිවරණ කොට්ඨාස නාම 81කින් හා අලුතින් එක් වූ 64කිනි.

1960 පෙර සිට පැවති මැතිවරණ කොට්ඨාස:

1. උතුරු කොළඹ, 2. මැද කොළඹ, 3. දකුණු කොළඹ, 4. වැල්ලවත්ත ගල්කිස්ස, 5. ජාඇළ, 6. මීගමුව, 7. මීරිගම, 8. ගම්පහ, 9. අත්තනගල්ල, 10. කැලණිය, 11. අවිස්සාවේල්ල, 12. කෝට්ටේ, 13. හොරණ, 14. මොරටුව, 15. පාණදුර, 16. කළුතර, 17. මතුගම, 18. අගලවත්ත, 19. දඹුල්ල, 20. මාත‍ෙල්, 21. මිනිපේ, 22. වත්තේගම, 23. කඩුගන්නවා, 24. මහනුවර, 25. ගලහ, 26. ගම්පොල, 27. මතුරට, 28. නුවරඑළිය, 29. තලවකැලේ, 30. කොටගල, 31. නාවලපිටිය, 32. මස්කෙළිය, 33. අම්බලන්ගොඩ - බළපිටිය, 34. බද්දේගම, 35. උඩුගම, 36. ගාල්ල, 37. වැලිගම, 38. අකුරැස්ස, 39. මාතර, 40. හක්මන, 41. දෙනියාය, 42. බෙලිඅත්ත, 43. හම්බන්තොට, 44. කයිට්ස්, 45. වඩුක්කෝඩ්ඩයි, 46. කන්කසන්තුරෙයි, 47. යාපනය, 48. කෝපායි, 49, පේදුරුතුඩුව, 50. චාවාකච්චේරි, 51. මන්නාරම, 52. වවුනියාව, 53. ත්‍රිකුණාමලය, 54. මූතූර්, 55. කල්කුඩා, 56. මඩකලපුව, 57. පදිරිප්පු, 58. කල්මුණේ, 59. පොතුවිල්, 60. පුත්තලම, 61. නිකවැරටිය, 62. දොඩංගස්ලන්ද, 63. කුරුණෑගල, 64. දඹදෙණිය, 65. වාරියපොල, 66. දණ්ඩගමුව, 67. බිංගිරිය, 68. හලාවත, 69. නාත්තණ්ඩිය, 70. මැදවච්චිය, 71. අනුරාධපුරය, 72. කලාවැව, 73. හොරොව්පතාන, 74. පොළොන්නරුව, 75. අලුත්නුවර, 76. බදුල්ල, 77. බණ්ඩාරවෙල, 78. වැලිමඩ, 79. හපුතලේ, 80. බුත්තල, 81. මාවනැල්ල, 82. කෑගල්ල, 83. දැදිගම, 84. රුවන්වැල්ල, 85. දෙහිඕවිට, 86. කිරිඇල්ල, 87. රත්නපුරය, 88. නිවිතිගල, 89. බළන්ගොඩ

1960 වසරේ සිට අලුතින් එක් වූ ආසන නාම 64 මෙසේ ය:

8. දිවුලපිටිය, 10. මිනුවන්ගොඩ, 14. මහර, 15. දොම්පේ, 17. කොලොන්නාව, 19. දෙහිවල - ගල්කිස්ස, 21. කැස්බෑව, 22. කොට්ටාව, 23. හෝමාගම, 26. බුලත්සිංහල, 27. බණ්ඩාරගම, 30. බේරුවල, 34. ලග්ගල, 36. රත්තොට, 38. අකුරණ (ද්වි) 39. ගලගෙදර, 40. යටිනුවර, 41. උඩුනුවර, 43. සෙංකඩගල, 45. තෙල්දෙනිය, 47. වලපනේ, 48. හඟුරන්කෙත, 49. හේවාහැට, 50. කොත්මලේ, 57. බෙන්තර - ඇල්පිටිය, 58. හිනිඳුම, 60. රත්ගම, 61. අක්මීමන, 63. හබරාදූව, 68. කඹුරුපිටිය, 70. දෙවිනුවර, 72. මුල්කිරිගල, 73. තිස්සමහාරාම, 77. උඩුවිල්, 79. නල්ලූර්, 81. උඩුප්පිඩි, 84. කිලිනොච්චි, 95. අම්පාර, 94. නින්දවූර්, 98. යාපහුව, 99. හිරියාල, 104. වෙන්නප්පුව, 105. කටුගම්පොල, 106. කුලියාපිටිය, 108. පොල්ගහවෙල, 110. මාවතගම, 115. මිහින්තලේ, 117. කැකිරාව, 118. මින්නේරිය, 120. මහියංගනය, 121. බිබිලේ, 122. පස්සර, 124. සොරණාතොට, 125. ඌව පරණගම, 129. මොනරාගල, 131. ගලිගමුව, 133. රඹුක්කන, 135. යටියන්තොට, 140. පැල්මඩුල්ල, 142. රක්වාන, 144. කලවාන, 145. කොළොන්න

සංශෝධන

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අනුව අප නැවත මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයකට යනවා නම් එය පහසුවෙන් කළ හැකි වන්නේ වෝලටර් තල්ගොඩපිටිය කොමිසමේ සීමා නිර්ණය කිරීම් පදනම් කරගෙන ය.

එහෙත්, 1974දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් නැවත සීමා නිර්ණය කිරීමක් කළේ ඒ වන විට තිබුණු අලුත් අවශ්‍යතා නිසා ය. එමගින් අලුතෙන් මැතිවරණ කොට්ඨාස 15ක් ඇති කරන ලද අතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 151 සිට 168 දක්වා වැඩි කරන ලදී.

20වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යට‍‍ෙත් මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව යළි 145 දක්වා අඩු කර ආසන පදනමින් හා දිස්ත්‍රික් සමානුපාතික පදනමින් තේරී පත් වන මන්ත්‍රී සංඛ්‍යාව 200 දක්වා වැඩි කළ යුතුව තිබේ.

මෙය පහසු කාර්යයක් වන්නේ නැත. මන්ද, යම් යම් ගැටලු නිසා 1974දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් කරන ලද සංශෝධන අමතක කර ආපසු 1959ට යන්නට අපට හැකියාවක් නැත.

සීමා නිර්ණය

එබැවින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තත්, සීමා නිර්ණය කිරීම පහසු කාර්යයක් වන්නේ නැත. නැවත සීමා නිර්ණය කිරීමේදී ජනතාවගේ අදහස් දැක්වීම්වලට හා ගැටලුවලට සවන් දීමට සිදු වීම අනිවාර්ය ය.

මෙහිදී 1977ට පෙර පැවති තත්වයට වෙනස් තත්වයක් දැන් නිර්මාණය වී තිබෙන බව ද අමතක කළ යුතු නැත. 1988 සිට මේ ර‍ෙට් පළාත් සභා ව්‍යුහයක් ක්‍රියාත්මක වන බව ද අප අමතක කළ යුතු නැත. තිබුණු මධ්‍යම ආණ්ඩුවට අමතරව දැන් පළාත් ආණ්ඩුවක් ද, 225 ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අමතරව මහජන නියෝජනය සඳහා පළාත් සභා මන්ත්‍රීන් සිය ගණනක් ද සිටිති.

මනාප පොරය

එසේම, ආසන මට්ටමින් හා දිස්ත්‍රික්ක සමානුපාතික පදනමින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේදී වෙන වෙන ම මැතිවරණ දෙකක් එකවර පවත්වන්නට සුළු පක්ෂ විසින් කරනු ලබන යෝජනාව ද නො සලකා හැරිය යුත්තක් නො‍ වේ. එසේ නම් ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කරන්නට සිදු වනු ඇත. එයින් නැවතත් මනාප පොරයක් ද ඇති වේ.

කෙසේ වෙතත්, අවසන් වශයෙන් කිව යුතුව තිබෙන්නේ මෙයයි. මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය තුළ වහා ම මහමැතිවරණයක් පවත්වන්නට සිදු වීම නො වැළැක්විය හැකි ය. මන්ද, ජනවාරි 8දා ජනවරම සමඟ මෙම පාර්ලිමේන්තුව සමපාත වන්නේ නැත. අපට අලුත් මහජන නියෝජිතයන් පිරිසක් අවශ්‍ය ය. ඒ වෙනුවෙන් පවත්වනු ලබන මහමැතිවරණය පැරැණි සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන්නට සිදු වීම නො වැළැක්විය හැකි දෙයක් වී තිබේ. එය හොඳ නැත. එහෙත් කරන්නට වෙනත් දෙයක් නැත.

අජිත් පැරකුම් ජයසිංහ (සිළුමිණ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2 comments:

  1. we do not need so much representatives for this small country..it is a burden for the common man...what is happening with this system is.,sadly with the blessing of all leaders,, it has become living hood for these cussed politicians.

    ReplyDelete
    Replies
    1. Small country, but huge population. That's why more representatives are needed. Don't forget that with a population density of 320 people per square kilometre, Sri Lanka is one of the most populous countries in the world.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.