2015-07-19

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ලංකාවේ ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාව 2014 මාර්තු මස එක්සත් ජාතීන්ගේ දූෂණ ප්‍රඥප්තියට අත්සන් තැබුවේ ය. එයට අත්සන් කර නැත්තේ සෝමාලියාව, චැඩ් හා උතුරු කොරියාව වැනි රාජ්‍යයන් කීපයක් පමණි. ලොව සෑම රටක් ම පාහේ දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් මූලධාර්මික එකඟතාවක සිටියි. ශ්‍රී ලංකාව ජාතික වශයෙන් මෙම ප්‍රඥප්තිය වලංගු කර තිබෙන මුත්, එය පූර්ණව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග තිබේ.

වරක් එක් අප්‍රිකානු රාජ්‍ය නායකයෙක් එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීමට ගියේ ය. ඔහුගේ අරමුණ වූයේ තම රටට විදේශාධාර ලබා ගැනීමයි. අතිශය දුප්පත් රටක් වූ එම රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ බිරිඳ ‍මෙම හමුවේදී පැළඳගෙන සිටි දියමන්ති මාලය වෙත එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. එවැනි දියමන්ති මාලයක් පැළඳිය හැකිව තිබුණේ එක්සත් ජනපදයේත් ඉහළ ම පෙළේ ධන කුවේරයන්ට පමණි. එම රටට ණය ලබා දීම එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේ ය.

බලය දූෂණය ඇති කරන බව ද, අධික බලය අධික ලෙස දූෂණය ඇති කරන බව ද ප්‍රකට කියමනකි. පසුගිය කාලයේ මෙරට ඇති වූ තත්වය මේ සඳහා කදිම නිදසුනකි. යුද්ධයේ ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගුණු බලය හේතු වූයේ ඔහු, ඔහුගේ පවුල හා හිතවතුන් දැවැන්ත දූෂණ සාගරයක ගිල්වන්නට ය.

තම ආණ්ඩුව කිසිදා බිඳ ‍නො වැටෙනු ඇතැයි පැවති අතාර්කික විශ්වාසය හේතුවෙන් ඔවුහු තමන්ගේ ක්‍රියාකාරකම්වල සීමාවක් පවත්වා ගැනීමට අසමත් වූ හ. කිසි සේත් දූෂණවලට සම්බන්ධ වීමේ අවශ්‍යතාවක් නො තිබුණු, තම ‍‍ගෞරවය ආරක්ෂා කරගෙන රැකියාව කිරීමේ ඉඩ ප්‍රස්ථාව ඕනෑවටත් වඩා තිබුණු ‍හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක වැනි ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු පවා දූෂණවල පැටලුණු අතර දැන් ඔවුන්ට එරෙහිව ද විමර්ශන සිදු වෙමින් පවතී.

නාම‍යෝජනා භාර දීමෙන් පසු මහනුවර ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටිහැටියේ මතක් වී මාධ්‍යවලට විශේෂ ප්‍රකාශයක් කළේ ය. රජයේ නිලධාරීන් සත්භාවයෙන් කළ දේ වෙනුවෙන් පළිගැනීම වැරදි බව ඔහු පැවසුවේ ය. ‍මේ කියන සත්භාවය කුමක් ද? මැතිවරණයේදී තමන්ට පෞද්ගලිකව වාසි ලබාගැනීම සඳහා රජයේ අරමුදල්වලින් සිල් රෙදි වැනි අල්ලස් දෙන්නට අනුබල දීම සත්භාවයක් වන්නේ කෙසේ ද? රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම හා සත්භාවය අදාළ වන්නේ මහජන සේවයට මිස දේශපාලකයන්ට සේවය කිරීමට නො වේ.

දූෂණ වංචා නැති කිරීම සඳහා දැනට රටේ පවතින නීති මදි බැවින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මෙරට තුළ නීතිගත කරන බව එජාප නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහමැතිවරණයේ මංගල රැළිය අමතමින් මහනුවරදී පැවසී ය. ඒ ඔස්සේ දූෂණ වංචා සෙවීමට අලුත් සංවිධානයක් ස්ථාපිත කරන බවද ඒ මහතා කීය. පසුගිය රජය කළ දූෂණ වංචා පිළිබඳ පරික්ෂා කිරීමේදී විශාල ගැටලුවක් වූයේ එම පරීක්ෂණ සඳහා පුහුණුවලත් නිලධාරින් නොමැතිවීම බවත් මේ නිසා ඇතැම් මහ පරිමාණ දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදුකර ගෙන යෑමේදී ගැටලු මතුවූ බවත් ඒ මහතා කීය.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා වලංගු කළේ 2004 වසරේ මාර්තු මාසයේ ය. පරිච්ඡේද අටක් යටතේ වගන්ති 71ක් ඇතුළත් කර සකසා තිබෙන මෙම ප්‍රඥප්තිය අනුව එහි පාර්ශ්වකරුවන් විසින් දූෂණ විරෝධී නීති සම්පාදනය කළ යුතුව ඇත.එමගින් ඉලක්ක කරන්නේ දූෂණ වැළැක්වීම, ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් දඬුවම් කිරීම, ජාත්‍යන්තර නීතිය හා අධිකරණ සහයෝගිතාව ලබා ගැනීම ශක්තිමත් කිරීම, දේපල ආපසු ලබාගැනීම සඳහා කාර්යක්ෂම නීතිමය යාන්ත්‍රණ සැකසීම, තාක්ෂණික සහයෝගය ලබා දීම සහ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය වෙනුවෙන් රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සමුළුවක් ගොඩනැගීමයි.

‍එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය අප්‍රමාදව කළ යුතු ය. විශේෂයෙන් ම කොල්ල කන ලද මෙරට ජනතාවට අයිති ‍‍‍‍දේපල ආපසු ලබා ගැනීම අතිශය වැදගත් අවශ්‍යතාවකි.

දූෂණය, මත්ද්‍රව්‍ය හා අපරාධ එකිනෙකට සම්බන්ධ ය. මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය සමග බැඳී කටයුතු කරන්නේ ඒ නිසා ය. මෙම ප්‍රඥප්තියේ සිව්වන හා පස්වන පරිච්ඡේද අනුව, දූෂණ පරීක්ෂණවලට හා සොරකම් කරන ලද දේපල ආපසු ලබා ගැනීම සඳහා ගිවිසුමේ පාර්ශ්වකරුවෝ සහයෝගය ලබා දිය යුතු ය. බැංකු රහස්‍යභාවය වැනි හේතු මත තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කළ ‍නො හැකි ය. ‍එ‍පමණක් ‍නොව, දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය දෙකකදී හෝ වැඩි ගණනකදී නීතිමය පියවර ගැනීමේ අවස්ථාව ද එයින් ලැබේ.

මෙම නීති පිළිබඳ සාකච්ඡා කිරීමේදීකරන විට, මහබැංකුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී ‍වංචාවක් සිදු වූ බවට එල්ල වන චෝදනාව ගැන ද අවධානය යොමු කළ යුතුව තිබේ. මේ වන විට ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර, ඉදිරි පාර්ලිමේන්තුවෙන් ද ඒ පිළිබඳ පරීක්ෂණවලට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබේ. නාමයෝජනා ලබා දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේදී ද බැඳුම්කර සිද්ධිය ගැන සඳහන් කරන ලදී.

මහේක්ෂ ආර්ථිකය හා සම්බන්ධ මෙම කාරණා පිළිබඳ සාමාන්‍ය ජනතාවට තිබෙන අවබෝධය ඉතා මඳ ය. මෙතැනදී මහ බැංකු අධිපතිව අර්ජුන මහේන්ද්‍රන් හෝ වෙනත් අයෙක් අභ්‍යන්තර තොරතුරු මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් සමාගමට ලබා දී තිබේ නම් එය ඉතා පැහැදිලි මුල්‍ය අපරාධයකි. ‍පෙනෙන ආකාරයට මෙහි සිදු වී තිබෙන්නේ දිගු කලක සිට සිදු වූ ක්‍රියාවලියකි. එබැවින් විමර්ශනය එම සිද්ධියට පමණක් සීමා නො කළ යුතු ය. ජනවාරි 08 වෙනසින් පසු වුව ද පසුගිය ආණ්ඩුව විසින් ස්ථාපිත කරන ලද ක්‍රමවේද සහමුලින් ම පරාජය වී නැති බව අප මතක තබා ගත යුතු ය. සමාජ ආර්ථික ක්‍රමයක් වෙනස් කිරීම එක රැයකින් කළ හැකි දෙයක් නො වේ. එය අදියර ගණනාවක් ඔස්සේ විහිදෙන දීර්ඝ ක්‍රියාවලියකි.

මෙහිදී අපගේ අවධානය යොමු විය යුතුව තිබෙන තවත් කාරණයක් වන්නේ පාලනයකින් තොරව ණය ගැනීම නිසා රටකට සිදු විය හැකි විපතයි. සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ගනු ලබන ණය ආපසු ගෙවීම ප්‍රශනයක් නො විය යුතු ය. ණයට ගත් මුදල් ආයෝජනය කිරීමෙන් බිහි කරනු ලබන යටිතල පහසුකම් හේතුවෙන් සංවර්ධනය වන ව්‍යවසායන්ගේ ආදායමෙන් ඒ ණය ගෙවීමේ හැකියාව ලැබිය යුතු ය. නැතිනම් සිදු වන්නේ ගත් ණය ගෙවන්නට තවත් ණය ගන්නට සිදු වීමයි. නිදසුනක් ලෙස, හම්බන්තොට වරායේ මුල් අදියර සඳහා ගත් ඩොලර් මිලියන 500ක ණය වෙනුවෙන් වාරික හා පොලිය ලෙස මේ වසරේදී රුපියල් බිලියන හතක් ආපසු ගෙවන ලදී. එහෙත්, හම්බන්තොට වරාය පසුගිය වසර හතරක කාලය තුළ උපයා තිබුණේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ 2014 අගෝස්තු මස පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ ය. රජය මෙමගින් රු. බිලියන 15ක වාර්ෂික ආදායමක් ඉලක්ක කළේ ය. දැනට හම්බන්තොට වරායේ කිසියම් සාර්ථකත්වයක් තිබෙන්නේ වාහන ආනයනය හා ප්‍රතිඅපනයනය කොළඹ වරායෙන් හම්බන්තොටට යොමු කර තිබෙන නිසා ය.

ග්‍රීසිය මේ වන විට මුහුණ දී සිටින තත්වය මෙහිදී අපගේ විශේෂ අවධානයට ලක් විය යුතු ය. අවසාන වශයෙන් ගත් කල ග්‍රීසියේ සිදු වී තිබෙන්නේ අන් යමක් නොව ගත් ණය ගෙවන්නට තව තවත් ණය ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේදී ණය ගෙවා ගන්නට බැරි තැනකට ග්‍රීසිය පැමිණීමයි. ග්‍රීක් රජය ණය ගෙවා ගත නො හැකිව බංකොලොත් තත්වයට පත්වීම ලෝකයේ ම ආර්ථිකයට ගැටලුවක් වී තිබේ. නිදසුනක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක් භාණ්ඩාගාර බැඳුම්කරවල කරන ලද ආයෝජන ද රටට අහිමි වූයේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වහන්නා සේ ය. පසුගිය ආණ්ඩුව සමයේ රටක් ලෙස අප ද යමින් සිටියේ ග්‍රීසිය ගිය පාරේ ය. ග්‍රීසියට වූ දෙය ලංකාවට තවමත් නො වුණේ මැද පෙරදිග රටවල දුක් විඳින කාන්තාවන් හා වෙනත් විදේශ ශ්‍රමිකයන් විසින් උපයා මෙරටට එවන ලද විදේශ විනිමය නිසා ය.

රාජ්‍ය දේපල මංකොල්ලකෑම තවමත් මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස නිල වශයෙන් පිළිගෙන නැත. එහෙත් සදාචාරාත්මකව ගත් කල එය යුද අපරාධවලට වඩා බිහිසුණු අපරාධයකි. මන්ද, රටක ජන පරම්පරා ගණනාවක් ම එමගින් අර්බුදයට ලක් වන හෙයිනි. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය තත්වය පාලනය කිරීමට ඉවහල් වේ. ‍එසේම, තොරතුරු දැනගැනීමේ පනත හා විගණන පනත සම්මත කර ගැනීම ද ප්‍රසම්පාදන කොමිෂම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ද මෙහිදී ඉතා වැදගත් ය.

මේ සියල්ල සඳහා ඉදිරි මහමැතිවරණයේදී ජනතාව විසින් පත් කර ගත යුතුව තිබෙන්නේ දූෂණ විමර්ශනවලින් ගැලවීම සඳහා බලය ඉල්ලන, දූෂණ විමර්ශන පළිගැනීම් ලෙස හංවඩු ගසන පිරිසක් නො වේ. දූෂණ චෝදනාවලට නිර්භයව මුහුණ දෙන, දූෂණය නැති කිරීම අරමුණු කර ගත් දේශපාලනයකි.
- අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2015-07-19

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. mewa ithin silumine yanne thawa tika dawasai

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවෙ උපරිමය උත්සාහ කරන එක තමයි දේශපාලනය

      Delete
    2. @ Anonymous July 19, 2015 at 6:13 AM

      ආ...... ඇනෝ හීනෙන් බය වුණාද? දැන් ඉතින් නැගිටින්න..... හොඳට ම දවල් වෙලා....

      Delete
    3. @AnonymousJuly 19, 2015 at 6:13 AM
      ඔවු ඔවු ඊට පස්සෙ ඉතිං ආයි සිළුමිණේ යන්නෙ ..එළියන්ත වයිට් ලෙඩ හොඳ කරන විස්තර ..ඩොක්ටර් ශිරන්තිගෙ ඔපරේෂන් සිරිලිය...කේන්දර සුමානෙ කියන දේශපාලන ආර්ථික අනාවැකි....බේබිලගේ කාල්ටන් සෙල්ලං ...දුටු ගැමුණු පරපුර රාජපක්ෂ පරපුරට සෙට් වෙන හැටි....

      Delete
  2. para i like this kind of article.. no direct critisise the persons but the incidents, comparision between world political situations..

    ReplyDelete
  3. ශ්‍රී ලාංකික ඡන්දදායකයින්හට මතක් කළ දිය යුතුව ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අපෙන් ගිළිහුණු නුවණ ඇතුන් ලවා හෝ නැවතත් ඇද්දවිය යුතු බවය.

    ReplyDelete
  4. Directly accusing Arjun Mahendran is baseless. He may be clean or guilty, but that has to be proven in the first place. Any member in the tender board too can pass the information, Please do not forget these officers and companies are in this business for years and big money with gilt edged state security is involved. There is Zero risk to investing companies, if they can collect sufficient funds through their customers.
    We do not know, over the time, how much money is paid to officers for just information. Information in this regard may include, actual amount government of going to borrow and the interest rated they are going to consider. If these information is leaked, any primary dealer can make speculative bidding using their strength and experience and if backed by leaked information, they definitely are on the winning side.
    These high value matters may include very intricate methods of information sharing and modern technology too.
    I do not look at this as a scam as some degree of transparency has been there, in holding the auction. This is private sector strategically trying to maximize their profits by exploiting the general public and this happens every where and all the time.
    The officers have been in the system for long time and they have mastered the system. May be they want Mahendarn out of the picture for them to operate more profitably according to the old system where everything was done in dark.
    I don't say Mahendran and people behind him are clear and innocent, but others are too.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.