2015-07-09

ජවිපෙ උප සංස්කෘතිය හා සංස්කෘතික මිනිසා

පසුගියදා පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදී ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ තමන් නායකත්වය දුන් පක්ෂය හඳුන්වා දී තිබුණේ කිසි දිනෙක බලය ගැනීමට ඉඩ නො දිය යුතු පක්ෂ දෙකෙන් එකක් ලෙසයි. ඔහුට අනුව අනෙක් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. 

පසුගිය දිනෙක ජවිපෙ හිටපු ප්‍රධානියකු වූ කමල් දේශප්‍රිය මන්නවත්ත හෙවත් සෙනෙවි සහෝදරයා අභාවප්‍රාප්ත වූයේ ය. මම ඔහුගේ ආදාහනයට පෙර දින රාත්‍රියේ පැය කීපයක් ඔහුගේ නිවසේ ගත කළෙමි. 

එදා එහි පැමිණි පිරිස් අතර ජවිපෙන් බිඳී, පසුව ජාතික නිදහස් පෙරමුණ සමග එක් වී, දැන් එක්සත් ජාතික පක්ෂයේ පානදුර සංවිධායක වන නන්දන ගුණතිලක, ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා හා බිමල් රත්නායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෝ, පෙ.ස.පෙන් කැඩී ගිය අසෝකලාගේ කණ්ඩායම ආදී ජවිපෙ ආශ්‍රිත කණ්ඩායම් රැසක සාමාජිකයෝ සිටිය හ. මේ කිසිවෙක් එකිනෙකා සමග කතා කරන්නේ නැති තරම් වෛරයෙන් පසු වෙති. මළ ගෙදරදී මා සමග කතා බහ කළ කිසිවෙක් විහිළුවට කීවේ සෙනෙවි ජීවතුන් අතර සිටියා නම් ඔහු ද මේ අය අතරින් වැඩි දෙනෙකු සමග කතා නො කරනු ඇති බවයි. 

සෙනෙවි යනු 1989 මර්දනයෙන් පසු ජවිපෙ ප්‍රතිසංවිධානය කරන්නට දිවි පරදුවට තබා වැඩ කළ නායකයෙකි. ඔහු ඒ වෙනුවෙන් සිය වෛද්‍ය උපාධිය අත්හැර දැමූ බව බොහෝ දෙනෙක් කියති. වෛද්‍යවරයකු වූවා නම් සෙනෙවිට අත් පත් කර ගත හැකිව තිබුණු ජීවිතයෙන් අංශු මාත්‍රයක්වත් ස්පර්ශ කළ නො හැකිව සෙනෙවි ඉක්මණින් ම සමු ගත්තේ ය. ඔහුට හමු වූ ජීවිතය ගැන ඔහු තෘප්තිමත් වන්නට ඇතැයි මම නො සිතමි.

සෙනෙවි ජවිපෙන් ඉවත් වුණේ බල අරගලයක් නිසා ය. පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නට ඔහු කළ භූමිකාව අවතක්සේරු කරමින් ඔහුට කැපිල්ල දැමූ පිරිස් අතර ඉදිරියෙන් ම සිටියේ සෝමවංශ අමරසිංහ, කුමාර් ගුනරත්නම්, ටිල්වින් සිල්වා වැනි අයයි. 

එදා සෙනෙවි සමග විශාල පිරිසක් පක්ෂයෙන් ඉවත් වූ හ. ඉවත් වන්නට ඔන්න මෙන්න කියා සිට නතර වූ අයෙකු වූයේ විමල් වීරවංශයි. පසුව විමල් සමග ජාතික නිදහස් පෙරමුණ බිහි කරන්නට ද සෙනෙවි මුල් වූයේ ය. එයින් ද ඉවත් වූ සෙනෙවි පසුව නන්දන සමග ද දේශපාලනය කරන්නට ගොස් යළි ඔහුගෙන් ද ඉවත් වූයේ ය. 

එහෙත්, සෙනෙවි සිය ජීවිතයේ අවසානය දක්වා ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් විය. ඔහුට අනුගාමිකයෝ පිරිසක් සිටිය හ. අපි පසුගිය ජුනි 21දා මතුගම නගරයේදී පුරවැසි වගකීම පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කරද්දී සෙනෙවි සිය අනුගාමිකයන් මෙහෙයවමින් එයට උදව් කළේ මරණාසන්නව ලෙඩ ඇඳේ සිටියදී ය. 

සම්මන්ත්‍රණය අවසානයේදී වික්ටර් අයිවන්, ධර්මසිරි බණ්ඩාරනායක, චූලානන්ද සමරනායක ඇතුළු පිරිසක් සමග අපි සෙනෙවි බලන්නට ගියෙමු. ඒ මා 1989න් පසු සෙනෙවි මුණගැසුණු මුල් ම අවස්ථාවයි. ජවිපෙන් ඉවත් වූ පසු ජාතිවාදයට විරුද්ධ දේශපාලනයක සිටි මට සෙනෙවි හමු වන්නට අවස්ථාවක් හෝ අවශ්‍යතාවක් නො යෙදිණි. 

මෙම සටහන තබන්නේ සෙනෙවි ගැන කතා කිරීමට නොව ජවිපෙ දේශපාලනය ගැන කතා කරන්නට ය. ජවිපෙ යනු හුදු දේශපාලන පක්ෂයක් පමණක් නො වේ. එය ලංකාවේ දේශපාලන උප සංස්කෘතියකි. මෙම උප සංස්කෘතිය හැදෑරීම අතිශය වැදගත් ය. එය නිසි පරිදි සාහිත්‍යයකටවත් අසු වූයේ යයි මම නො සිතමි. 

ජවිපෙ උප සංස්කෘතිය තුළ මිනිස් වර්ගයා ඉතා සරළ ලෙස වර්ග කරනු ලැබේ. ඒ වනාහි ලාංකිකයා හා විදේශිකයා, ධනපතියා හා පීඩිතයා ආදී වශයෙනි. ලාංකිකයාගෙන් ද ජවිපෙට ප්‍රමුඛ වන්නේ සිංහලයා ය. ආගමික වශයෙන් නම් බෞද්ධයා ය. ගැහැනු පිරිමි යන වර්ගීකරණයේදී ජවිපෙට ප්‍රමුඛ පිරිමියා ය. ලිංගික සමාජභාවයේදී විෂම ලිංගිකයෝ ය. මේ වනාහි ලංකාවේ සිංහල දේශපාලන පක්ෂ අතර ඉතා සාමාන්‍ය තත්වයන් ය. ජවිපෙ විප්ලවවාදී පක්ෂයක් ය කීවත්, මේ කාරණාවලදී ජවිපෙ වෙනස් වන්නේ නැත. 

සුළුතර ප්‍රජාවන් ගැන ජවිපෙට තිබෙන්නේ රොමැන්තික ආකල්පයකි. කාන්තාවක, දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු, බෞද්ධ නො වන වෙනත් ආගමිකයකු ජවිපෙ සමග එක් වුවහොත්, එම පුද්ගලයාට ජවිපෙ තුළ සුවිශේෂ තැනක් හිමි වේ. ඔහු සාමාන්‍ය ජවිපෙ සාමාජිකයකුට වඩා වෙනස් ලෙස සලකා ජවිපෙ වචනවලින් ම කියන්නේ නම් තොරොම්බල් කිරීමට ලක් වේ.

වෛද්‍ය වැනි උසස් වෘත්තීන්ගේ වෘත්තිකයන් මෙන් ම එම විෂයන් ඉගෙන ගන්නා සිසුන් ද ජවිපෙ තොරොම්බල් කිරීමට ලක් වෙති. සෙනෙවි, උදුල් වැනි වෛද්‍ය උපාධි අත්හැර පැමිණි සිසුන් නලින්ද ජයතිස්ස සේ නායකත්වයට කීකරු ගෝලයන් වූවා නම් ඔවුන්ට ද ඉතා පහසුවෙන් ජාතික මට්ටම දක්වා ඉහළ යාමේ අවස්ථාව ලැබෙනු ඇත. ආනන්ද, නාලන්ද, රාජකීය වැනි පාසල්වලින් පැමිණෙන අයට ද ජවිපෙ තුළ උසස් තැනක් පහසුවෙන් ලබා ගත හැකි ය. භික්ෂු බලවේගය නම් මේ වන විට බොහෝ දුරට ජවිපෙන් හැලී වඩා ජාතිවාදී කොටස් සමග සම්බන්ධ වී තිබේ. කතෝලික පූජකවරුන් වැනි කොටස් දෙස ජවිපෙ සම්ප්‍රදායිකව බලන්නේ කුමන්ත්‍රණකරුවන් පිරිසක් දෙස බලන ආකාරයට ය. 

මේ අතරවාරයේ ශාරීරිකව දුෂ්කර කාර්යයන්හි නිරත වන කම්කරුවන් හා ලුම්පන් පීඩිත පංතියට සම්බන්ධ අය ජවිපෙට සම්බන්ධ වුණොත් ඔවුහු ද තොරොම්බල් වෙති. ජවිපෙ සාමාන්‍යෙයන් ව්‍යාප්තව තිබෙන්නේ පහළ මධ්‍යම පංතික සමාජය තීරයෙහි ය. ඒ අතර, නාගරික ඉහළ මධ්‍යම පංතියෙන් කිසිවෙක් ජවිපෙට සම්බන්ධ වුවහොත් ඔවුන්ට පක්ෂය තුළ සුවිශේෂ තැනක් හිමි වේ. 1980 දශකයේදී සුනිලා අබේසේකර වැනි අයට පක්ෂය තුළ සුවිශේෂ තැනක් ලැබුණේ ඒ අනුවයි. 

අවසාන විග්‍රහයේදී ජවිපෙට සිටින්නේ තමන්ට පක්ෂ, හිතවත් පිරිස්, ද්‍රෝහීන් හා ජනතාව යන සිව් වැදෑරුම් ගනුදෙනුකරුවන් පිරිසයි. පක්ෂ අය සහෝදරවරු ය. හිතවත් අය වනාහි පක්ෂයට විශ්වාසය තැබිය හැකි කොටසකි. ජනතාව යනු දිනා ගත යුතු, නොමග ගොස් සිටින අහිංසක පිරිසකි. ද්‍රෝහීන් යනු විනාශ කළ යුතු පිරිසකි. 

මේ වන විට මේ ද්‍රෝහීන් සංඛ්‍යාව අති විශාල ය. සෝමවංශ අමරසිංහගේ සිට පහළට ජවිපෙ විවේචනය කර ඇති සියලු දෙනා ද්‍රෝහීන්ගේ ප්‍රවර්ගයට අයත් වන අතර සංඛ්‍යාත්මකව ගත්තොත් නම් ජවිපෙට තිබෙන සාමාජිකත්වයේ තරම මෙන් සිය ගුණයක් වත් ද්‍රෝහීහු සිටිති. ඔබට ජවිපෙන් අස් වී ආපසු පැමිණිය හැකි ය. ඕනෑ නම්, එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රීලනිපයේ පහළ මට්ටමේ ක්‍රියාකාරිකයකු ව සිට වුවත් ආපසු ජවිපෙ සමග එක් වන්නට හැකියාව තිබේ. තමන්ට දැන් ඇත්ත වැටහෙන බව කීවා ම ඇති ය. එහෙත්, ජවිපෙ විවේචනය කර ද්‍රෝහියකු බවට පත් වූවකුට නම් කිසි කලෙක ආපසු ජවිපෙ සමග එක් වන්නට බැරි ය. 

ඒ අනුව ගත් කල ලංකාවේ සක්‍රිය ම දේශපාලන බලවේගය ජවිපෙට ද්‍රෝහියෝ ය. නිදසුනක් ලෙස ලංකාවේ සක්‍රිය දේශපාලන ක්‍රියාධරයන් වන වාමාංශිකයන්, මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති නායකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සරසවි ඇදුරන් ආදීන් ජවිපෙ විසින් සලකනු ලබන්නේ ද්‍රෝහීන් ලෙසයි. 

පසුගිය කාලයේ ජවිපෙ හා උපුල් ශාන්ත සන්නස්ගල අතර පෙම් පලහිලව්වක් තිබිණි. උපුල් අම්මා නවකතාව කොටස් වශයෙන් ලිව්වේ ජවිපෙ ලංකා පත්තරයට ය. අම්මා නවකතාව දොරට වඩවද්දී ප්‍රධාන කථිකයා ලාල් කාන්ත ය. එහෙත්, එහි ඊළඟ කොටස ලියැවෙන්නේ මංගල සමරවීරට සම්බන්ධ සත්හඬට ය. මෑතදී පැවැත්වුණු රූපවාහිනී සාකච්ඡාවකදී උපුල් ජවිපෙ නිමල් පියතිස්සට 1989දී ජවිපෙ විසින් කරන ලද ඝාතන මතක් කර දුන්නේ ය. දැන් ජවිපෙට උපුල් ද්‍රෝහියෙකි. 

ජවිපෙ දේශපාලන උපසංස්කෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ තම සාමාජිකයා හා හිතවතා ද්‍රෝහීන්ගෙන් රැක ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට නිර්දිෂ්ට ග්‍රන්ථ ලෙස පොත් පත් හා ලංකා පත්තරය නඩත්තු කළ යුතු ය. කමිටු ගොඩනැගිය යුතු ය. සංවිධායකයන් පත් කර කමිටු පවත්වාගෙන යා යුතු ය. පක්ෂය සමග දැඩි බැඳීමක් නඩත්තු කළ යුතු ය. 

ඊළඟට මේ පක්ෂ යාන්ත්‍රණය නඩත්තු කර ගැනීම සඳහා පක්ෂ සාමාජිකයන්ගෙන් හා හිතවතුන්ගෙන් අරමුදල් රැස් කළ යුතු ය. එම අරමුදල්වල පාරදෘෂ්‍යභාවය පවත්වාගෙන යාම සඳහා පක්ෂ නායකයන්ට හා ක්‍රියාකාරිකයන්ට කන්‍යා සොහොයුරියන් සේ අල්පේච්ඡ ජීවිත ගත කරන්නට සිදු වී තිබේ. පාරිභෝජනවාදී සමාජ ජීවිතය ගැන විවේචනයක් නැති, විකල්ප ජීවිතයක් ප්‍රවර්ධනය නො කෙරෙන ජවිපෙ උපසංස්කෘතිය තුළ අසහනයේ ගිනිදැල් බුර බුරා දැල්වෙයි. උපුල්ගේ අම්මා නවකතාව දොරට වඩවන දා ලාල් කාන්ත තම පවුල් ජීවිතය ගැන කී දුක්ගැනවිල්ලෙන් නිරූපණය වුණේ මේ අසහනයයි. සෝමවංශ අමරසිංහ යනු මේ අහිමි වූ ජීවිතය ගැන වැළපිල්ලේ ඉහළ ම සංකේතයයි. විමල් වීරවංශ යනු ජවිපෙ සමාජවාදය හැර දමා ධනේශ්වර පාරිභෝජනවාදය කෑදර ලෙස වැළඳ ගත් පැළැන්තියේ සංකේතයයි. 

ජවිපෙ සමාජවාදී කතිකාව යනු පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ විඥානවාදී දෘෂ්ටිවාදයකි. ඔවුන්ගේ සමාජවාදය යනු බලය අල්ලා ගැනීමෙන් පසු නිර්මානය වන්නකි. බලය අල්ලා ගැනීමෙන් පසු ද බොහෝ විට සිදු වනු ඇත්තේ මේ දේවල් ම ජවිපෙ පාලනය තුළ සිදු වීමයි. ස්ටැලින්වාදී සෝවියට් සමූහාණ්ඩුව මේ සඳහා කදිම නිදසුනකි. එහි ගොඩනැගෙමින් තිබුණු සමාජවාදී රාජ්‍යයේ දියුණු ම අවස්ථාව දැන් චීනයේ දැකිය හැකි ය. එය තවත් රාජ්‍ය ධනවාදයක් මිස අන් කිසිවක් නො වේ. 

ජවිපෙ උපසංස්කෘතිය තුළ සමාජවාදී විකල්ප ජීවිතයක් ගැන කතිකාවක් නැත. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිදසුනකට ගන්න. ඔහු කරන දෙයත්, සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීන් කරන දේත් අතර වෙනස සුළු ය. ජවිපෙ මන්ත්‍රීවරයා සිය කාර්යය සම්බන්ධයෙන් වෘත්තිකයෙකි. ඔහු දූෂණයේ නො යෙදෙයි. එසේ නො වන වෙනත් මන්ත්‍රීවරු ද සිටිති. ජවිපෙ මන්ත්‍රීවරයාගේ එක ම වෙනස වන්නේ ඔහු දිළිඳුකම තොරොම්බල් කරන්නකු වීම පමණයි. දැන් දැන් උගත්කම තොරොම්බල් කිරීමත් දකින්නට ලැබේ. 

මෙම සටහන තැබුවේ ජවිපෙ ගැන ද්වේෂයකින් යයි වරදවා වටහා නො ගත යුතු ය. ජවිපෙට මෙවර මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්නට අවස්ථාව තිබේ. ජවිපෙ 2004 මහමැතිවරණයේදී ආසන 40ක් දිනා ගත්තේ ය. ලංකාවේ ජනතාව ජවිපෙ ගැන උපරිම විශ්වාසය තබමින් සියලු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩි ම මනාපයෙන් පත් කරන්නට වග බලා ගත් හ. එදි පත් වූ මන්ත්‍රීවරුන් 39 අතරින් අනුර කුමාර දිසානායක, නිහාල් ගලප්පත්ති, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත්, රාමලිංගම් චන්ද්‍රසේකරන්, නාමල් කරුණාරත්න, ජිනදාස කිතුලගොඩ, ලාල් කාන්ත, විජිත රණවීර, ගාමිනී රත්නායක, වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න වැනි මන්ත්‍රීන් පිරිසක් හැර තුනෙන් දෙකක් පමණ අද වන විට ජවිපෙ නැත. 

ඉදිරි මහමැතිවරණයේදී ජවිපෙට ඡන්දය දෙන ජනතාව නැවතත් බලාපොරෛාත්තු සුන් වන තත්වයට පත් නො කිරීම ජවිපෙ සතුව තිබෙන බරපතල වගකීමකි. එහෙත්, එ් සඳහා ජවිපෙ තුළ දැවැන්ත පරිවර්තනයක් සිදු විය යුතුව තිබේ. මූලිකව ම ජවිපෙ උපසංස්කෘතිය කෙරෙහි පක්ෂයේ අවධානය යොමු විය යුතු ය. දැනට පවතින බැහැර කරනසුළු පක්ෂ සංස්කෘතිය වෙනුවට දේශපාලන ක්‍රියාධරයන් අන්තර්ග්‍රහණය කර ගත හැකි පක්ෂ සංස්කෘතියක් වෙත ජවිපෙ යොමු විය යුතු ය. ජවිපෙ වඩා විවෘත දේශපාලන පක්ෂයක් බවට පත් විය යුතු ය. වාම දේශපාලන සංවාදයට මුහුණ දිය යුතු ය. ආචීර්ණ කල්පිත අයෝමය විනය පිළිබඳ මිථ්‍යාව වෙනුවට ලිබරල් වාම වටිනාකම් අවශෝෂණය කර ගත් අදට ගැලපෙන පක්ෂයක් බවට පත් විය යුතු ය. නැතිනම් ජවිපෙට කිසි කලෙක ඉදිරියට යන්නට ලැබෙන්නේ නැත. ටිකක් වර්ධනය වන විට පලුවක් ගැලවී යාම හා එතැන් සිට තුවාල සුව කර ගන්නට ලෙව කෑම හැර වෙනත් කැපී පෙනෙන සමාජ මැදිහත්වීමක් කරන්නට ජවිපෙට බැරි වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. දීල තියනව හොඳ කනේ පාරක්

    ReplyDelete
  2. අජිත් මෙතන පවතින අවුල නම් මූලධාර්මික පාරිශුද්ධත්වයක් මත දේශපාලනය තියන එක. බොහෝ දේශපාලන පක්ෂ ඒකරාශී වන්නේ අරමුණු මත. එතැනදී අරමුණ වින අ ආපු පුද්ගලයාගේ මතවාද අදාළ නැහැ.

    එහෙත් ජවිපෙ වැනි කල්ට් පක්ෂ මුල් තැන දෙන්නේ පුද්ගලයා දරණ දර්ශනයට, ඇත්තෙන්ම පක්ෂ මධ්‍යයට පෙන්වන දාර්ශනික යටහත් භාවයට [මම මේවා කල්ට් කියා දිගටම කියන්නේ තරමක් දුරට ඔබ මේ සටහනේ කියන නර්තයෙන් - මේ ගැන කිපුණු ජවිපෙ සහෝදර වරු කීප පාරක් කොක්ක දා ගත්තා. නැවතත් කියන්නේ හැසිරීම කල්ට්, හැබැයි එපමණකින් මම එය පහත් කොට සලකලා නැහැ]

    ඉතින් කාලය ගෙවෙන කොට මිනිස්සු මෝරන කොට දිගටම ජවිපෙ ඒ මිනිසුන්ගෙන් දුරස් මිසක් ලං වෙන්නේ නැහැ. ඒ අඩුව පුරවන්න ශිෂ්‍ය සන්විධාන හරහා අවභාවිතා කෙරෙන ලාංකීය විවි පද්ධතිය දෙන තල්ලුව නොවෙන්න ජවිපෙ මෙලහට තවත් එක ත්‍රී වීලර් පක්ෂයක්.

    ඔබ මට වඩා දන්නවා ඇති. හැබැයි මට හිතෙනවා ඔබට මිස්වෙනවා කියල අ ජවිපෙ "ගැමිකම". ජවිපෙ මූලිකම අරගලය ස්ථානගත වන්නේ නාගරික බටහිර පොෂ් මතවාද වලට එරෙහි ගැමිකම එක්ක බවයි මගේ මතය. නාගරික බටහිර පොෂ් සංකේත එක්ක ජවිපෙ තරහයි.

    ReplyDelete
  3. Dear Mr, I am happy to read your interesting article. All the Marxist parties in the world had this problem of hating those who criticize or leave the party! If you leave a communist party it means your life is in danger. If not at least your reputation is at risk! Other problem is that they think they know everything and then they try to manipulate intellectuals. In France around 60s 70 s almost all the intellectuals left communist party because the latter tried to "use" them! JVP can pardon a UNPer but does not do the same for an ex-jvper! It is same from Lenin to the present day. Those who went from Switzerland to Russia to make revolution were decimated by Stalin. Comrades who did long march with Mao were put into prison by the latter and some of them died in it. Den siao pin only could survive and he could un-do the cultural revolution! Thanks to him China exists today!

    ReplyDelete
  4. අනුර නිතරම කියන්නේ ජවිපෙ ආණ්ඩු බලය ගන්න හදපු පක්ෂයක් කියල. ජවිපෙට අවුරුදු 5ක් දීල බලන්න කියනවා. එත් අමාත්‍යංශයක අමාත්‍ය වරයෙකුගේ වගකීම පිළිබඳව සුළු හෝ අත්දැකීමක් ඇත්තේ දැනට ජවිපෙ සිටින අනුර සුනිල් සමන්ත සහ වසන්ත වැනි කීප දෙනෙකුට පමණයි. අපි දන්නා දෙයක් නම් අශිෂ්ටව ගුණාත්මක හෝ සදාචාරත්මකව ඉතා පිළිකුල් සහගත ලෙස වෘත්තීයේ යෙදෙන වෛද්‍ය වෘත්තිකයන්, හෙදියන්, වින්නබුවන් සහ සෞක්‍ය කම්කරුවන් පවා පුහුණු කාලයකට යටත් විය යුතුයි. මුදලට ලොල් නීතීඥයන් පවා දීර්ග පුහුණුවක් ලබයි. තාක්ෂණික ශ්‍රමිකයන් වන පෙදරේරුවන් යාන්ත්‍රික කාර්මිකයන්, වඩු කාර්මිකයන්, ටී මේකර් වරුන්, සන්නාලියන් පවා පළපුරුදු ඇති අයෙකුගෙන් පුහුණුවක් ලබයි. රාජ්‍ය නායකත්වයක් තබා අමාත්‍යංශයක් වත් හැසිරවීමේ ලැබුණු කෙටි කාලීන අවස්ථාවවත් තම මන්ත්‍රී වරුනට ලබානොදුන් ජවිපෙ ආණ්ඩු බලයක් ඉල්ලා සිටීම විහිළුවක් බව අනුර පවා දන්නා බව මම සිතමි. ජවිපෙට වැරදීමකින් හෝ ආණ්ඩු බලයක් ලැබුනහොත් ඒ සදහා දීර්ග කාලීනව පුහුණු කරනු ලැබූ කල්පිතයේ නොවෙන ලෝකයේ සැබෑ පරිපාලනමය රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් ඇති 5 දෙනෙක් වත් ජවිපෙට සිටීද ? ජවිපෙ දැක්ම වෙනස් විය යුතුය. උප්කලිපිත ලෝකයක කරන දේශපාලනයට සීමා නොවී සැබෑ ලෝකයේ සැබෑ රජයක කොටස් කරුවන් වෙමින් රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමේහි ලා අත්දැකීම් ලබාගනිමින් මහජන විශ්වාසය තහවුරු කරනතුරු ජවිපෙට බලයක් නොලැබේ. එතෙක් ජනතාව ජවිපෙට දෙන්නේ විවේචනය කිරීමට අවශ්‍ය වන පුටු ගණන පමණකි.

    ReplyDelete
  5. ජවිපෙ ගැන කියපු බොහොමයක් කරුණු නිවැරදියි කියලයි මගේ වැටහීම. මේ පිරිහීම සිද්දවෙන්නෙ නියම විප්ලවවාදී පක්ෂයක් විදිහට වැඩ කළොත් ජනප්‍රිය වෙන්න බැහැයි කියන හැඟීම කියලයි මං හිතන්නෙ. සමහර පක්ෂ “ත්‍රී වීල්“ පක්ෂ කියල හඳුන්වන්නෙ ඒකනෙ. හැබැයි, නන්නත්තාර දර්ශනයක් එක්කල ඉන්න සීයකට වඩා නිශ්චිත දර්ශනයක් එක්කල ඉන්න එක මනුස්සයත් වටිනව කියල මං හිතනව. මේ බව ඔප්පු වෙන එක තැනක් තමයි 1917ට ටික කලකට පෙර වකවානුවෙදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය. දාහතරදෙනකුගෙ පක්ෂයක් තමයි ලෙනින් අවුරුද්දක් දෙකක් ඇතුළත සංවිධානය කරල බලය අතට ගත්තෙ.

    මේ නිසා, ඔය ජවිපෙට සුපුරුදු ද්‍රෝහියෝ සංකල්පය අත් ඇරල දාල තව ටිකක් ගුණාත්මක වර්ධනයක් ලබාගැනීමට උත්සාහ කිරීම හොඳයි මං හිතන්නෙ.

    ReplyDelete
  6. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදය යනු ප්‍රජාතන්තරවාදයෙන් තොර ධනවාදයයි !

    ReplyDelete
  7. http://nelumyaya.com/?p=3517
    මචන් මේ රාජ්‍ය ධනවාදය කියන එක අරුණි එක්ක සංවාදයක් යනකොටත් මම කිව්වා. සෝවියට් දේශයටත් වඩා චීනය ඒ පැත්තට යන බව විජේවීරට වත් තේරුනේ නැහැ. ඔහු මාඕ වාදියෙක්. ජවිපෙ තුල සංවාදයක් යන්නේ නැහැ සමාජවාදය ගැන. චීන මොඩල් එක වත් සෝවියට් මොඩල් එකවත් නෙමේ අපට ඕනේ. ඊට වැඩ වැඩි දියුහු වූ එකක් . ඒක තෝරා ගන්න නම් ලෝක ආර්ථිකය ගැන හා දියුණුවෙන මාක්ස්වාදය ගැන මිට වඩා අවදියෙන් සිටිය යුතුයි. මේ ගැන වඩා පුළුල්ව සංවාදයක් ගෙනියමු.

    ReplyDelete
  8. ජවිපෙ කියන්නෙ කලින් කලට වෙස් මාරු කරමින් කෙටි මගකින් පාර්ලිමේන්තුවට යන්න හදන කල්ලියක් පමණයි .. මම 1971 ඉඳන් 90 දක්වා ඔවුන් සමග සිටි කෙනෙක්. එදා සිට අද දක්වා ඔවුන් තම පිළිවෙත් වෙනස් කල ආකාරය බලන්න. 1971 එක්දිනක ප්‍රහාරයකින් රට ඇල්ලීම 1988 වෙනකොට ඉන්දිය විරෝධය මගින් රට ඇල්ලීමට පෙරලෙනවා. ඊලඟට පාර්ලිමේන්තුවට රිංගන්න ඔක්කොම වෙනස් කරනවා. ඒ කරන හැම වෙනසක්ම සාධාරණිකරණය කරන්නෙ ෆ්ලැට් නියායෙන්. ආපහු ගොඩනැගෙන සෝමවංශ පෙරමුණ චන්ද්‍රිකාට ජැක් ගහනවා ඇමතිකං අරං. මෙව්ව එයාලම පරණ වම කරනකොට පතුරු ගහපු දේ. ඊ ලඟට ඒක පාවිච්චි කරලා මහින්දට ආවඩනවා. මහින්ද ගෙනෙන්න වේදිකා නගිනවා. මහින්ද චින්තන හදන්නෙ ජවිපෙ. ඊලඟට යුද්ධෙ විකුණන් කනවා. මහින්ද ජවිපෙ තුනට කඩනවා. එතකොට මහින්ද හතුරා වෙලා ජනරාල් වීරයා කරගන්නෙ ස්‍තෝත්‍ර ගයමින් යුද්දෙ විකුණන් කන්න. පැරදුනාම ජෙනරාල්ව අතාරින්නෙ ගැරඬියෙක් හැව අරිනවා වගේ.. ඊ ලඟට යහපාලන කල්ලියට එකතු නොවෙන්නෙ යුඇන්පීයට විරුද්ධ වෙන්න ඕනෙ නිසා. හැබැයි හිරිකිතයක් නැතුව 2009 යුඇන්පී එක්ක එක වේදිකාවෙ ඉන්නවා. මෙයාලගෙන් හැලෙන අය එක්කො හොරු වෙනවා නැත්නම් අන්ත දක්ෂිනාංශකයො වෙනවා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂෙ කවදාවත් තිබ්බෙ නෑ. සෝමවංශ කියන එකේ ඇත්තක් තියෙනවා. යූ ඇන්පී ඒකෙන් අයින් කලාම. අද අපේ රටේ කාටත් පැහැදිලිව පෙනෙන දන්න යකා යූ ඇන්පී විතරයි අනික් ඔක්කොම රෑට මිගෙල් දවල්ට දනියෙල්..

    ReplyDelete
  9. Dear Ajith,
    Why do not you write about JVP creating, developing and maintaining a wealthy class of supporters through their carders sent to rich countries like Japan, UK and Italy?.
    Do you see it only as a mode of collecting funds? Aren't they developing a wealthy class of supporters and strengthen their funding base? Is JVP making profit making investments through this wealthy people?
    Please do not come forward with the suggestion of saving cadres by sending them to protective countries. It is pure rubbish. They have been very selective to protect those who were loyal to the leadership, not to principles, country or the party.
    As I understand, any fraction departed from JVP including those who are remaining as true JVP are immensely rich with these funding and investments. So, none of these fractions is a true people's representation and they do not depend on common people for their survival. Poor people following them and voting for them are a cheated lot, like in 1989 and 1971.

    ReplyDelete
    Replies
    1. As far as I know, JVP is not like LTTE. They did not promote foreign employment or business as a way of fundraising. They do not help people to migrate but use those who have migrated as a source of funds. JVP is too cynical to help people to grow as businessmen. They do it themselves and continue to be loyal to the party and to fund both party and its leaders.

      Delete
    2. So, in your way, you have answered my point affirmatively.

      "JVP is too cynical to help people to grow as businessmen. They do it themselves and continue to be loyal to the party and to fund both party and its leaders. "
      Here, in your reply, 'People' are outside people or new comers and 'They' are existing/ old JVP comrades. Am I correct?

      This is an area most people are very cautious of touching, are you willing to expose the truth for honest voters JVP is taking a ride for? or are you too a bit cautious?
      I think Sri Lankan voter are entitled to know the truth as JVP front liners display themselves as very spartan people and most voters believe that the party depends on public donations for its survival. By using the word JVP, I refer to all fractions originated from the same movement.

      and, my dear Ajith, I never thought of comparing JVP and LTTE in this matter. My point in JVP protected some selected people and sent them to protective countries with ambitions of future funding and protecting those personally loyal to its leaders. Honest cadre who risked their lives and future for a better country fell victims as they were exposed and not protected/ taken care of by people who (mis)led them fir a revolution.
      Agreed or not?
      (Sorry if I spoiled your post by posting this comment, but I think this is appropriate as external appearance of JVP is always based on falsified facts and this point addresses one of them, a critical one.

      Delete
  10. හඳුන්නෙත්ති කිව්වා විජේවීර කිව්වලු ජවිපෙට "ඊයේ ඇහුම්කන් නොදුන් අය අද ඇහුම්කන් දෙනවා.අද ඇහුම්කන් නොදුන්න අය හෙට ඇහුම්කන් දෙනවා."කියලා.ඒ නිසා "ජවිපෙ"රටේ ආණ්ඩු කරන දවස වැඩි ඈතක නැහැ කියලා.

    ReplyDelete
  11. Machan, Wijeweera kiyala nedda
    "Eaye ahunkam dunnu aya ada ahunkam denne nehe, ada ahunkam dena aya hete ahunkam dena ekak nehe kiyale.
    History eka purama JVP ekata wwela thiyenne meka neda, eka neda JVP hemadamath aluth Slogans hadagena boradiye maalu banna try karanne. Un balagena inne kawuruhari diya bora karanathek, unta wade lesi karaganna. Paw, ahinsaka Maalu (voters)

    ReplyDelete
  12. ලිපිය සාවද්‍යයෙන් තොර යයි ජවිපෙ, පෙසප හෝ වෙනත් කැඩීගිය වාම කන්ඩායමකට පැවසිය නොහැකි යයි මගේ අදහසයි. ඇතම් කරුනු පිලිබඳව ලියුම් කරුගේ පූර්න නොදැනුවත් බාවය හැරුනු කොට මෙම ඛේදනීය තත්වය පොදුවේ වාම කන්ඩායම් ගොදුරුව ඇති තත්වයක් බව කිව යුතුය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.