2015-08-15

මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර ගැන නිරීක්ෂණ කීපයක්

(අඟහරුවාදා ලියන ලද ලිපියකි මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය එහි අන්තය කරා සමීප වෙමින් තිබේ. අප උත්සාහ කරන්නේ එම ප්‍රචාරණ ව්‍යාපාරය දියත් වූ ආකාරය පිළිබඳ අපගේ නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කරන්නට ය.

මෙවර මහ මැතිවරණයේ අප දුටු සුවිශේෂ ම ලක්ෂණය වන්නේ බොහෝ පක්ෂ හා අපේක්ෂකයන් සිය ප්‍රචාරණ ව්‍යාපාරවලදී ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට වැඩි අවධානයක් යොමු කිරීමයි. රැළි, රැස්වීම්, ජනහමු, සම්මන්ත්‍රණ, සාකච්ඡා ආදී ක්‍රියාමාර්ග ඔස්සේ ජනතාවට සමීපව සිටීමට වඩා ජනමාධ්‍ය ඔස්සේ ජනතාව ඉදිරියේ පෙනී සිටීමට අපේක්ෂකයෝ උනන්දු වූ හ.


ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකක් ම පාහේ මහා රැස්වීම් පැවැත්වූ හ. එහෙත්, සෙනග පෙන්වීම ම අරමුණු කරගෙන පවත්වන ලද රැස්වීම්වල හැර ‍සෙසු රැස්වීම්වලට ජනතාව දැඩි උනන්දුවකින් සහභාගි වුණේ නැත. එක්සත් ජාතික පක්ෂය රැළිවල සෙනග පෙන්වීම ‍කෙරෙහි එතරම් අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නො තිබිණි. එහෙත්, මහින්දවාදීන් මුල සිටමත්, ජවිපෙ තම ප්‍රචාරණ ව්‍යාපාරයේ අග කොටසේදීත් සෙනග පෙන්වීම ගැන දැඩි අවධානයක් යොමු කළ හ.


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ දක්නට ලැබුණු සුවිශේෂ තත්වයක් වන්නේ බිම් මට්ටමේ කුඩා රැස්වීම් වැඩි ම ප්‍රමාණයක් පැවැත්වූයේ ඔවුන් වීමයි. එම රැස්වීම් පක්ෂය විසින් සංවිධානය කරනවාට වඩා ජනතාව විසින් තමන්ගේ ම උනන්දුවෙන් සංවිධානය කරන ඒවා ය. ජනතාව එවැනි රැස්වීම් සංවිධානය කරන්නට උනන්දු වන්නේ බලයට පත් වන බව පෙනෙන පක්ෂ හා ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙන අපේක්ෂකයන් වෙනුවෙනි. අනාගතයේදී ඔවුන්ගෙන් යම් ඵල, ප්‍රයෝජන ලබා ගැනීම මෙම රැස්වීම් පසුපස තිබෙන ප්‍රධාන අරමුණයි.


මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමතිවරුන් වෙනුවෙන් එවැනි රැස්වීම් සංවිධානය කිරීමට ජනතාව අතර එතරම් උනන්දුවක් තිබුණේ නැත. එසේම, ජනතා විමුක්ති පෙරමුණට ද එවැනි බිම් මට්ටමේ කුඩා ජනහමු පැවැත්වීමේ හැකියාව අවම විය. ජවිපෙ මුහුණ දෙන මූලික ගැටලුව වන්නේ එවැනි රැස්වීම් සංවිධානය කිරීම සඳහා බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන් හිඟ වීම හා සිටින ක්‍රියාකාරිකයන්ට ද ප්‍රධාන රැස්වීම් සංවිධානය කිරීමේ හා ඒවාට සහභාගි වීමේ අධික වෙහෙසකර වැඩකොටසක් පැවරී තිබීමයි. රැස්වීම්වලට සෙනග සහභාගි කිරීම ගැන වැඩි අවධානය යොමු කරන්නට සිදු වීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද බිම් මට්ටමේ රැස්වීම් සංවිධානය කිරීම මගහැරී ගිය බව පෙනිණි.


ගෙන් ගෙට ප්‍රචාරණයේ යෙදීම ද ඉතා වැදගත් ය. එවැනි වෙහෙසකර, එහෙත් ජනතාවට සමීප ක්‍රියාකාරකම්වල යෙදුණේ අපේක්ෂකයන් ඉතා සුළු පිරිසක් පමණි. මෙම මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂකයන්ට දිස්ත්‍රික්කය පුරා ම ඡන්ද වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන්නට සිදු වීම නිසා එය ප්‍රායෝගිකව කරන්නට ද බැරි ය. ගෙන් ගෙට කැන්වසිං යාම බොහෝ දුරට කෙරුණේ නාමිකව ය. බලය පෙන්වීම සඳහා ය. ඇතැම් ගම්වල සිටින අපේක්ෂක හිතවතුන් තමන්ගේ පක්ෂය වෙනුවෙන් යම් දුරකට මෙමම කාර්යයේ යෙදුණ හ. ජවිපෙ මෙම කැන්වසිං කටයුතු රොමැන්තීකරණය කරමින් ඒවායේ ඡායාරූප ෆේස්බුක් ඔස්සේ බෙදාහරිනු දක්නට ලැබිණි. සමස්තයක් ලෙස ගත් කල කිසිදු පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් තමන්ට හැකි සීමාවේ හෝ ප්‍රායෝගිකව ගෙන් ගෙට යමින් ප්‍රචාරණයේ යෙදුණේ නැත.


ඡන්දපොළ මට්ටමින් මැතිවරණ කාර්යාල පිහිටුවන්නට ඉඩ දීම මැතිවරණ කොමසාරිස්වරයාගේ පැත්තෙන් ගන්නා ලද අමනෝඥ පියවරකි. එය ඡන්ද අපේක්ෂකයන් විසින් කළ යුතුව තිබෙන්නේ තම ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කිරීම ය යන්න මැතිවරණ කොමසාරිස්වරයා විසින් ද අනියමින් පිළිගැනීමකි. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සෑම නිවසකට ම අපේක්ෂකයන්ගේ නම් හා මනාප අංක ඇතුළත් පත්‍රිකාවක් තැපැල් මගින් එවනු ලැබේ. ලංකාවේ සාක්ෂරතාව ද 90%කට ආසන්න ය. එවැනි සංදර්භයක් තුළ ඡන්ද ලකුණු ප්‍රදර්ශනය වෙනුවෙන් ඡන්දපොළ මට්ටමින් කාර්යාල පිහිටුවීමට ලබා දුන් අවසරය නිසා අවසානයේදී සිදු වූයේ දැවැන්ත ප්‍රචාරණ පුවරු ඉදි වෙමින්, පරිසරය දූෂණය වෙමින් ජනතාවට විශාල කරදරයක් ඇති වීමයි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම කාර්යාලවල තිබිය යුතු තත්වයන් පිළිබඳ මාර්ගෝපදේශනයක් ප්‍රසිද්ධ කරනු ලැබුවේ තරමක් ප්‍රමාද වී ය. ඒ වන විටත්, සෙල්ලම් ගෙවල් වැනි මඩු කූඩාරම්වල ද දැවැන්ත ප්‍රචාරණ පුවරු සවි කරමින් ඊනියා කාර්යාල පිහිටුවා හමාර වී තිබුණු අතර පොලිසියට තත්වය පාලනය කර ගන්නට දුෂ්කර විය.


මෙවැනි කාර්යාල පිහිටුවීම සඳහා ඉඩකඩ ලබා ගැනීමේදී පවා එජාප ඉදිරියෙන් සිටියේ ය. එයින් පෙන්නුම් කෙරුණේ ඉදිරි මහ මැතිවරණයෙන් ජය ගන්නා පක්ෂය තමන් බවට විශ්වාසයක් අැති කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබුණ බවයි. අවදානම් සහගත කාර්යයන් සඳහා තම දේපල පාවිච්චි කිරීමට ජනතාව කැමති නැත.


ප්‍රධාන පක්ෂ සියල්ලත්, ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාත් මෙම මහ මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු කළේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වෙත ය. දෙවනුව වැඩි අවධානය යොමු වුණේ සමාජ මාධ්‍ය වෙත ය. මහ මැතිවරණය පිළිබඳව මෙන් ම, එහි අපේක්ෂිත ප්‍රතිඵලය පිළිබඳව ද ජනමත ගොඩනැංවීම් වැඩිපුර සිදු වූයේ රූපවාහිනියේ, පුවත්පත්වල හා ෆේස්බුක්හි ය.


මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය සඳහා ජනතාව අතර ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් ය. එසේම, වැදගත් වීම ද අවශ්‍ය ය. මන්ත්‍රීවරයා යනු ජනතාවට සමීප පුද්ගලයෙක් විය යුතු ය. අඩු තරමේ මහ මැතිවරණය සමයේ හෝ ඔහුට සමීප වීමට ජනතාවට අවස්ථාව තිබිය යුතු ය. එවැනි ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් තොරව ජනමාධ්‍ය ඔස්සේ පමණක් ප්‍රචාරණයේ යෙදෙමින් කෙතරම් බලපෑමක් කළ හැකි ද යන්න අධ්‍යයනය කිරීමට මෙම මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලබා ගන්නා ප්‍රතිඵලය ඉවහල් කර ගත හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බොහෝ දුරට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට හා සමාජ ජාලවලට සීමා කර තිබිණි. පක්ෂයේ බිම් මට්ටම දුර්වල වීම එයට ප්‍රධාන හේතුව විය. බොහෝ විශ්ලේෂකයන් විසින් ජවිපෙ ආසන 14ක් පමණ ලබා ගන්නා බව පෙන්වා දෙන ලදී. එම ආසන සංඛ්‍යාව ආසන්න වශයෙන් සමාන වන්නේ ජවිපෙ ශක්තිමත් ම තත්වයක සිටිමින් තනිව තරග කරමින් හොඳම ප්‍රතිඵලය ලබා ගත් 2001 මහ මැතිවරණයටයි. ජවිපෙට ඒ ප්‍රතිඵලයට ආසන්න ප්‍රතිඵලයක් ලබා ගැනීමට මෙවර හැකි වේ නම්, එයින් නිරූපණය වන්නේ ජනමාධ්‍යවල ප්‍රබලත්වයේ තරමයි.


කලුතර දිස්ත්‍රික්කය නියැදියක් ලෙස ගතහොත්, මෙම ප්‍රචාරණ උපක්‍රම සියල්ල තුලනාත්මකව භාවිතා කළ අපේක්ෂකයෙකු වන්නේ බ්ලොග්කරුවකු ද වන අජිත් පී. පෙරේරා ය. රාජි සේනාරත්න ජාතික දේශපාලනය නිසා බිම් මට්ටමේ දේශපාලනයට ලැබුණු අවස්ථා සීමා වුවත්, ඒ වෙනුවෙන් අවධානය යොමු කළ අපේක්ෂකයෙකි. පාලිත තෙවරප්පෙරුම බිම් මට්ටමේ ප්‍රචාරණයට පමණක් අවධානය යොමු කළ අයෙකි. ඔහුගේ ජනමාධ්‍ය භාවිතා කිරීම අවම විය. මහින්ද සමරසිංහ මහින්දවාදියකු නො වීම නිසා බිම් මට්ටමේ ප්‍රචාරණයේදී ගැටලුවලට මුහුණ දුන්, එහෙත්, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලින් දැවැන්ත තල්ලුවක් ලැබුණු අයෙකි. නලින්ද ජයතිස්ස ජවිපෙ ප්‍රචාරණ කලාවේ සංකේතාත්මක චරිතයකි. ඔහුට ජවිපෙ සාමාන්‍ය ප්‍රචාරණයට අමතරව ජනමාධ්‍ය ඔස්සේ ද වැඩි අවස්ථා ලැබිණි. කුමාර් වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන වැනි අය පසුගිය කාලයේ රාජ්‍ය සම්පත් යොදාගෙන විශාල වශයෙන් නීති විරෝධී ලෙස ප්‍රචාරණයේ යෙදුණු මහින්දවාදියෝයි. මෙවර ඔවුන්ට පරණ සෙල්ලමට අවස්ථාව ලැබුණේ නැත.


සෑම දිස්ත්‍රික්කයක ම පාහේ මෙවැනි අපේක්ෂකයෝ සිටිති. ඔවුන් ලබා ගන්නා මනාජ ඡන්ද සංඛ්‍යාවන් මහ මැතිවරණයේදී ජන මනස වැඩ කරන ආකාරය තේරුම් ගැනීමෙහි ලා ඉතා වැදගත් වේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

10 comments:

  1. Get ready for a UNP govt.
    Ranil for prime ministet 2015-2020
    Ranil wil be president from 2020-2025

    ReplyDelete
    Replies
    1. හුකෑස් ....... පුක තමයි! කෝ මේ සජිත් ??

      Delete
    2. @ Anonymous August 15, 2015 at 11:45 AM,

      පරදින බව හොඳාකාරවම දන්න නිසා හිතේ දුකට මහින්දගේ පුක නම් දැනටමත් පැලිලායි තියෙන්නේ මචෝ.

      Delete
  2. පරාජයෙන් වියරු වැටී සිටින එජාපය තජුදීන් නැමැත්තාගේ මිනිය ගොඩගෙන අලුත් නාඩගමක් නටා ඇත. සියල්ලන්ට අමතක වී තිබූ මෙම පරණ සිද්ධිය ඇවිස්සීම නිසා එය ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වීමෙන් ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක්වන මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට වන තර්ජනය ගැන එජාපයේි සිටින ආර්ථික ඔස්තාද්ලාට නොතේරේද?

    ReplyDelete
    Replies
    1. don't be such stupid short minded !!

      Delete
    2. wooow.... i never thought this story end like this. keep up man. u surprise me at the end. ha haaaaa

      Delete
  3. 1. මුලින්ම මහින්ද එළවමු. ඌ හිටියා හොඳටෝම ඇති. ඒක හැමෝටම පිළිගන්න පුළුවන් දෙයක්නෙ.
    2. දෙවනුව රනිල් යොදාගෙන සිරා පාලනය කරමු. සිරාට තනියම ගේම් එක ගහන්න දෙනවා කියන්නෙ මාර භයානක වැඩක්.
    3. තෙවනුව එජාපයේ දෙවන පෙළ රනිල් පාලනය කරන්නට යොදා ගනිමු. (දැනට දෙවන පෙළක් තියෙන එකම පක්ෂය තමයි එජාපය)

    මොනවා උනත් ඉදිරියට එන ආණ්ඩුවට මහින්ද කෙළපු ආකාරයේ පිස්සු කෙළින්න ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
  4. හොඳ විශ්ලේෂණයක් පැරා. විශේෂයෙන්ම එජාපය ගැන කියපු කුඩා ප්‍රමාණයේ රැස්වීම් ගැන මාත් බලල තිබුනෙ. බිම් මට්ටමට විනිවිද යන්න හොඳ ක්‍රමයක් ඒක.

    ReplyDelete
  5. Hon Ranil Wickramasinghe's msg. ඒ වගේම 17 වෙනිදා මේ ඡන්දෙන් පස්සේ අපි බෙදෙන්න හොඳත් නෑ. අපි කාටවත් හිරිහැර කරන්න හොඳ නෑ. අපි කාටවත් හානි කරන්න හොඳ නෑ. එහෙම කළොත් අපිට ඊට පස්සේ එකතු වෙන්න අමාරු වෙනවා. එකතු වෙන්න බැරි වෙනවා. ඒ නිසා අගොස්තු 17 වෙනිදා සිට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. කවුරු හරි නීතිය කැඩුවොත්, ගෙවල් දේපොලකට හානියක් කළොත් කොයි පක්ෂයකට අයිතිවුනත් ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා. ජනාධිපතිතුමා විධායකය හැටියට පොලිසිය මාර්ගයෙන් ක්‍රියා කරනවා. අපි ඒකට සම්පූර්ණ සහායෝගය දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි ත් යහපාලනයට කඩේ ගියෙමු. ඒ අන්ත දුෂිත ඒකාධිපති මහින්ද පාලනයට තිබූ බරපතල විරෝධය හේතුවෙනි. නමුත් මේ අප අපේක්ෂා කළ යහපාලනය නම් නොවේ. ඒ සිහිනයට තවත් බොහෝ දුර බව ඉතා පැහැදිලි ය. යහපාලනය යනු අපට නම් පක්ෂයක් හෝ පුද්ගලයෙක් නොවේ. සරල, සුන්දර, මානුෂික ජීවන ක්‍රමයකි. එය රටේ ඉහළම තනතුරේ සිට මහමඟ යදින්නා තෙක්ද, මන්දිරයේ සිට පැල්පත තෙක් ද ගලා යා යුතු මනුෂ්‍යත්වයේ ජීවන දහමකි.

      කලාකරුවන් ද, සිවිල් සංවිධාන ද, සංවේදී මිනිසුන් ද සිටිය යුත්තේ දේශපාලඥයන්ට මුහුණ ලා පොදු ජනතාව සමඟ බව මම විශ්වාස කරමි. දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ට ද, අපට ද අයත් වගකීම නොවේ. බලයේ සිටින්නේ කුමන පක්ෂය වුව ද අප පෙනී සිටිය යුත්තේ, අභියෝග කළ යුත්තේ පාලන ක්‍රමයේ ද, සමාජයේ ද යහපත් වෙනසක් වෙනුවෙනි.
      - http://tharurasi.blogspot.com/-

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.