2015-08-16

මැතිවරණ ප්‍රචාරණයේ අනාගත සංඥා

(දින කීපයකට පෙර සත්හඬ පුවත්පත වෙනුවෙන් ලියන ලද ලිපියකි) මහ මැතිවර ප්‍රචාරණ ව්‍යාපාරය එහි අන්තය කරා ළඟා වෙමින් තිබෙන මේ මොහොතේ ප්‍රධාන පක්ෂ තම අවධානය යොමු කර තිබෙන කාරණා ඔස්සේ එම දේශපාලන ව්‍යාපාරවල අනාගතය පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ හැකි ය.

එජාප

ඉදිරිය දෙසට යොමු වූ ප්‍රායෝගික දේශපාලනයක යෙදෙන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය නම් කිරීම සාධාරණ ය. එම පක්ෂය ඉතා පැහැදිලිව ම ලිබරල් ධනේශ්වර රාමුවක් තුළ සමාජ වෙනසක් සිදු කිරීම පිළිබඳ අපේක්ෂා සමාජය වෙත මුදාහරිමින් සිය ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යයි. එය මහින්ද රාජපක්ෂ පාලනය විසින් පසුගිය වසර නවය තුළ ස්ථාපිත කරන ලද දේශපාලන ක්‍රමයට එරෙහි ගැඹුරු විවේචනයක් ලෙස සැලකිය හැකි ය.

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනය හා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප අපේක්ෂකයන් විසින් දේශපාලන වේදිකාවලදී කරන ලද ප්‍රකාශන ඔස්සේ රටට ලබා දෙන ලද සංඥා  අනුව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් විසින් දැනට පවතින රාජ්‍ය මූලික ආර්ථික ක්‍රමය වෙනස් කරනු ඇත.එජාපය යටතේ රජය ව්‍යාපාරකරණය වෙත යොමු වනු ඇත්තේ අවම මට්ටමකිනි. එපමණක් නොව, ශ්‍රී ලන්කන්, මිහින් ලංකා, සතොස වැනි රජයට අයත් පාඩු ලබන ව්‍යාපාර විකුණා දැමීමට එජාප ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ඇතැයි සිතිය හැකි ය. රජයට අයත් ව්‍යවසාය ගජමිතුරන්ට කුණු කොල්ලෙට විකිණීමේ ඉතිහාසයක් එජාපයට තිබේ. රජයේ අයවැය පරතරය පියවා ගන්නට වෙනත් ක්‍රම නැති වූ විට රාජ්‍ය ව්‍යවසාය හා දේපල විකුණා දමන්නට ද එජාපය අතීතයේදී කටයුතු කර තිබේ. 

කෙසේ වෙතත්, එජාපය අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිබේ නම්, එම පක්ෂය පෞද්ගලීකරණයේදී වඩා බුද්ධිමත්ව කටයුතු කරනු ඇත. මහින්ද රාජපක්ෂ විසින් ආර්ථිකයේ රාජ්‍ය අංශය වඩාත් ශක්තිමත් කරන ලදී.  ඔහු යටතේ රජය අවශ්‍ය, අනවශ්‍ය හැම ආකාරයක ම ව්‍යාපාරවලට අත ගැසුවේ ය. එමිරේට්ස් ආයතනයට පවරා තිබුණු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කොටස් මිළ දී ගනිමින් හා අලුතින් ලාභ ගුවන් සේවාවක් ආරම්භ කරමින් දැවැන්ත පාඩු ලබන ගුවන් සේවා ව්‍යාපාරයකට රජය කර ගැසුවේ රාජපක්ෂ පවුලේ පටු කෑදරකම නිසා යයි සිතන්නට සාක්ෂි තිබේ. මහින්ද ශ්‍රීලන්කන් සභාපති ලෙස සිය මස්සිනා පත් කරගෙන එය සිය පෞද්ගලික ජෙට් යානයක තත්වයට පත් කර ගත්තේ ය. එහි ගුවන් සේවිකාවන් සිය පුතුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පවා යොදා ගත්තේ ය. මෙවැනි ව්‍යවසායන් විසින් ලබන ලද අධික පාඩු පියවූයේ මේ රටේ ජනතාවගේ බදු මුදලින් හා අනාගත පරම්පරා උගසට තබා ලබා ගන්නා ලද ණයවලිනි.

එක්සත් ජාතික පක්ෂය විසින් මෙවැනි ව්‍යවසාය පෞද්ගලීකරණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එහෙත්, සියලු රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරන්නට ගියහොත් ආණ්ඩුව අමාරුවේ වැටෙනු ඇත. මේ රටේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණ ඉතිහාසය ම දූෂිත එකකි. රජය සතු ව්‍යවසාය ලාභ ලැබිය හැකි අන්දමින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගයක් තිබේ. එදා මෙදාතුර ප්‍රවාහන ඇමතිවරුන් විසින් තමන්ට ඡන්දවලදී වැඩ කළ හිතවතුන්ට රැකියා දීම සඳහා භාවිතා කිරීම හේතුවෙන් මේ වන විට අධික ලෙස පාඩු ලබන, මහජන සේවාවක් ලෙස ද සැලකිය නො හැකි, එහෙත් බස්නැවතුම්පළවල් වැනි ඉතා වටිනා දේපල හිමි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගනු ලබන පියවර අනාගත ආණ්ඩුවක් පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ලෙස සැලකිය හැකි ය.

අධ්‍යාපන, සෞඛ්‍ය, දුම්රිය වැනි මහජන සේවාවන්ගේ හා සමස්තයක් ලෙස රජයේ සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා එජාප ආණ්ඩුවක් යටතේ මතභේදාත්මක පියවර ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. විශේෂයෙන් ම, අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි කරන මැදිහත්වීම් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට හා ‍‍‍‍‍පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ගතානුගත අධ්‍යාපනික ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් කිරීමේ කදිම අවස්ථාවක් උදා වෙනු ඇත.

‍එජාප ආණ්ඩුකරණ ප්‍රතිපත්ති සමාජය වැඩිදුර ප්‍රජාතන්ත්‍රීකරණය වෙත යොමු කරන ඒවා ය. මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, තොරතුරු දැනගැනීමේ හිමිකම ලබා දීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයහ හා සම්බන්ධ කාරණා, බලය බෙදාගැනීම වැනි කාරණාවලදී ලංකාවේ වඩාත් ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එ‍සේම, වඩා සමබර ලෙස විදේශ සම්බන්ධකම් පවත්වාගෙන යාමක් ද එක්සත් ජාතික පක්ෂය යට‍තේ අපේක්ෂා කළ හැකි ය.

එක්සත් ජාතික පක්ෂයේ සංවර්ධන මූලෝපාය තුළ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ. එජාප රජයක් යට‍තේ කම්කරු නීති, මානව හිමිකම්, වෙළඳපොල ලිබරල්කරණය, රාජ්‍ය අංශය, පාරිසරික තත්වයන්, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ආදී සෑම අංශයකට ‍ම ‍‍මෙම මූලෝපායෙහි බලපෑම දැනෙනු නිසැක ය.

එජනිස

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණය තුළ දක්නට ලැබෙන්නේ විඥානවාදී ලක්ෂණයි. මහින්ද රාජපක්ෂ නම් ශක්තිමත් නායකයා සියලු ගැටලුවලට විසඳුම ලෙස ප්‍රවර්ධනය කරන ආකාරයක් දක්නට ලැබේ. ඔහුගේ මූලික ගැටලුව වන්නේ ඔහු කලක් භාවිතා කිරීමෙන් කල් ඉකුත් වී ගිය රටට එතරම් ප්‍රයෝජනයක් නො වූ නායකයකු වීමයි. ඔහු යුද්ධය අවසන් කළ නායකයා ලෙස පෙනී සිටින්නට දරන උත්සාහය තුළ ම ඔහුගේ මර්දනකාරී ස්වභාවය ගැබ් වී තිබේ. ඔහු කොටි සංවිධානය යුද්ධයෙන් පැරදවූ මුත්, නැවත අගමැති පදවියට පත් වූවත්, සංහිඳියාව ඔස්සේ සාමය ස්ථාපිත කිරීමට අසමත් වන බව ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ තිබෙන ජාතිවාදී ස්වරූපයෙන් පෙන්නුම් කෙරේ. බලය බෙදීම රට බෙදීම පමණක් නොව, අධි ආරක්ෂක කලාප බවට පත් කරන ලද දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ඔවුන්ට ලබාදීම, දෙමළ ජනතාව මත පටවා තිබෙන මිලිටරි මර්දනය සීමා කිරීම වැනි සීමිත ක්‍රියාමාර්ග පවා රට බෙදීම සඳහා ගනු ලබන පියවර ලෙස හඳුන්වා දීමට ඔහු පසුබට වන්නේ නැත.

ඔහුගේ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝන, ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම්, මහා පරිමාණ දූෂණ, වංචා, කොමිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී කටයුතු පිළිබඳ එල්ල වන චෝදනාවලින් ආවරණය වීමට කෙතරම් සුවිසල් පලිහකින්වත් නො හැකි නිසා ඔහු ඒ ගැන ප්‍රතිචාර දැක්වීම සඳහා තෝරාගෙන තිබෙන්නේ සමාජයට සමූහයක් ලෙස ඒ සියල්ල අමතක කිරීමේ උත්සාහයකි. ඒ වෙනුවෙන් ඔහු අවධාරණය කරන්නේ තමන්ගේ කාලයේ තිබූ සියලු යහපත් තත්වයන් වත්මන් ආණ්ඩුව විසින් විනාශ කර තිබෙන බවයි. එහෙත්, එවැනි සාමූහික අමතක වීමක් සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් තවමත් ගත වී නැත. එසේම, 1989 තරම් ඈත කාලයක් යළි සිහිපත් කිරීමට ඔහු ගන්නා උත්සාහය ද ඵලදායී එකක් නො වේ. වත්මන් තරුණ පරපුර ඒ යුගය ගැන දන්නේ ම නැත. එසේම, එම අත්දැකීමට මුහුණ දුන් පරපුර පවා දැන් ඒ ක්ෂතියෙන් මිදී තිබේ. ඔවුන් ප්‍රශ්න විග්‍රහ කිරීමේදී එම ක්ෂතිමය අත්දැකීම මත තව දුරටත් පාදක නො වන බව මැතිවරණ ගණනාවකදී පෙන්නුම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ බලයට ඒමේ අවස්ථාව අමම ය. එහෙත්, කිසියම් හේතුවක් මත නැවත බලයට පැමිණීමට ඔහුට අවස්ථාවක් ලැබුණොත්, යුද අපරාධ චෝදනා, මානව හිමිකම් ගැටලු, වංචා හා දූෂණ, මර්දනය, නිතියට ඇඟිලි ගැසීම්, දේශපාලන ගැටුම්  ආදී හේතු මත රටේ අතිශය කණගාටුදායක තත්වයක් නිර්මානය වනවා  මිස සුබවාදී තත්වයන් අපේක්ෂා කළ නො හැකි ය.

ජවිපෙ
ගතානුගතික වාමාංශික පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ සම්ප්‍රදායිකව තත්වයන් විග්‍රහ කරන්නේ තමන්ට බලය ලබා ගැනීමට වඩාත් ම හිතකර වන අර්බුදකාරී තත්වයක් නිර්මානය වන්නේ කුමන පාලනයක් යටතේ ද යන්න මත ය. මේ අවස්ථාවේදී තමන්ට වඩාත් වාසිදායක වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති ඔස්සේ ඉදිරියට යාම නොව, මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී, වැඩවසම්වාදී, ආර්ථික වශයෙන් රාජ්‍ය කේන්ද්‍රවාදී, දූෂිත, මර්දනකාරී ක්‍රියාවලට ඉඩ දීම බව ඔවුන්ගේ ගණනය කිරීමයි. 2004දී ද ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එජාපය පැරදවූයේ එම පදනමේ ම සිටයි. එහෙත්, මහින්ද රාජපක්ෂ ක්‍රමය තමන්ගේ ආස්ථානයට සපුරා ප්‍රතිවිරුද්ධ නිසා ඔවුන්ට රාජපක්ෂ සමග සිට ගැනීමට බැරි ය.

ජවිපෙ ඉතා සාර්ථක ලෙස මධ්‍යම පංතියට ආමන්ත්‍රණය කරමින් සිටියි. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ද, රාජපක්ෂ යටතේ සේ ම දූෂණය, මර්දනය ව්‍යාප්ත වනු ඇත යන මතය ප්‍රවර්ධනය කරමින්  එය වළක්වා ගැනීම සඳහා තමන්ගේ ශක්තිය වර්ධනය කළ යුතු ය යන මතවාදය ඔවුන් සමාජය තුළ පතුරුවා තිබේ. ආණ්ඩුව තුළ සිටිමින් එය හසුරුවනවා වෙනුවට විපක්ෂයේ සිටිමින් එය කළ හැකි ය යන බෝලය මධ්‍යම පංතිකයන්ට බස්සා ගැනීමට ජවිපෙ සමත් වී තිබේ. අප කලින් ද සාකච්ඡා කළ සාමූහික අමතකය පිළිබඳ සාධකය මෙහිදී ද වැදගත් ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 39ක් තිබුණු 2004 – 2010 ආණ්ඩු සමයේ ජවිපෙ ඔය දුරස්ථ පාලක අතානාත්තුව හරියට කළා ද නැද්ද යන්න ජනතාවට අමතක ද?

ජවිපෙට ඡන්දය දෙන මධ්‍යම පංතිකයන් අතරින් බහුතරයක් ජවිපෙ විසින් අනුගමනය කරනු ලබන ගතානුගතික ප්‍රතිපත්ති පිළිගන්නේ නැත. එහෙත්, මධ්‍යම පංතියේ අපේක්ෂාවන් ඉටු වන ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජවිපෙ සිය බලය භාවිතා කරනු ඇද්ද යන්න ගැටලුවකි.

නිදසුනක් ලෙස උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එජාප රජයක් යටතේ සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ප්‍රතිසංස්කරණවලදී ජවිපෙ කුමන ස්ථාවරයක් ගනු ඇද්ද යන්න ගැටලුවකි. මේ වන විට මධ්‍යම පංතිය තුළ පෞද්ගලික අධ්‍යාපනය මුල් බැසගෙන හමාර ය. ලිබරල් ධනේශ්වර පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය යටතේ අපේක්ෂා කළ හැක්කේ පෞද්ගලික අධ්‍යාපනය නීතිගත කරමින් විධිමත් කිරීමයි. මෙය මධ්‍යම පංතියට ගෝචර නො වන තත්වයක් නො වේ. එහෙත්, ජවිපෙ විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ එයට එරෙහි මතවාදයකි. මධ්‍යම පංතික දෙබිඩිභාවය ප්‍රවර්ධනය කිරීම ඇත්තෙන් ම සමාජ සංවර්ධනයේදී හානිකර ය. එහෙත් ජවිපෙ අනාගත දේශපාලනය පදනම් වන්නේ ඒ මත ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාගතයේදී ජවිපෙ උණ්ඩුක පුච්ඡයකට වඩා දෙයක් වන්නේ නැති බව පෙන්වමින් සිටියි.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

5 comments:

  1. එක්සත් ජාතික පක්ශය රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීමට බලාපූත්තු නොවේ. මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ පරිදි එවා පාලනය කිරීමට සිංගපූරුවේ Tamasek හොල්ඩින්ග්ස් මෙන් රජයට අයත් එහෙත් රජය ඇඟිලි නොගසන ආයතනයක් හරහා පාලනය කෙරේ. රජයේ ආයතන බදු මුදලින් යැපෙන ආයතන බවට පත් නොවී, සාධාරන ලාභයක් ලබා එය රජයට ලාභාංශ වශයෙන් ලබාදී එමඟින් බදු අවශ්‍යතාව අඩුකරන දෙසකට යොමු කිරීම බලාපොරොත්තු විය හැක. මෙවන් පාලනයකදී සේවකයන්ටද නව තාක්ශණය ගැන පුහුණුව, විශාල ආයතන ප්‍රමාණයක් ඇති බැවින් සේවකයින්ට වෙනත් ආයතනවලට මාරු වීමේ හැකියාව, දක්ශකම් මත ඉහල යෑමේ සහ වැඩි ආදායම් ලබා ගැනීමේ හැකියාව ලැබේ. තවද ඒකාබද්ධ මිලදී ගැනීම් වලින් සහ අතිරික්ත බඩු අනික් ආයතන වලට දීමෙන් එම ආයතනවල වියදම් අඩු කර ගැනීමටත් හැකිවේ.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අද පවතින උසස් අධ්‍යායපන ක්‍රමයෙන් අවස්ථාව සැසෙන්නේ උසස් පෙල කරන 300,000 කින් 25,000 කට පමණි. මෙම සංඛයාව අඩුම වශයෙන් 150,000 ක් තත්වයට ගෙන ඒමට අවශ්‍යවේ. ඒ සඳහා වෙනත් බොහෝ රටවල ක්‍රියාත්මක වන සිසු ණය ක්‍රමය හඳුන්වාදීමට ඉඩ ඇත. එමඟින් අමතර බදු බරක් මහජනයා වෙත පැටවීමෙන් වැලකිය හැක. රජයෙන් ප්‍රධානයක් ලෙස උසස් අධ්‍යාපන අවස්ථා වැඩිකිරීමට නම් එම වියදම බදු මුදල් වලින් සොයා ගැනීමට සිදුවේ. එවිට වන්නේ සුළු පිරිසකට උසස් අධ්‍යාපනය දීමට සමස්ථ මහජනයා බදු ගෙවීමයි. සත පහක් වත් වියදම් නොකර එනම් මහජනයාගේ මුදලින් වෛද්‍ය උපාධිය ලබා ගන්නා වෛද්‍ය වරු වෙදකම් කිරීමට විශාල මුදලක් මහජනයාගෙන අයකරයි. (පෞද්ගලික අංශයේ). එබැවින් එයින් සුළු කොටසක් සිසු ණය ගෙවීමට යොදාගත හැකිය. එවිට ආපසු ලැබෙන මුදල් ඊලඟ පරම්පරාවේ වෛද්‍යවරු පුහුණුවට යෙදවේ. එවිට රජය මහජනයාගේ මුදලින් විශ්ව විද්‍යාල නඩත්තු කිරීමට අවශ්‍ය නැත. මෙලෙස උසස් අධ්‍යාපන අවස්ථා ඇතිකිරීමෙන් මැද පෙරදිග බැලමෙහෙවර කර ලබා දෙන ඩොලර් වියදම් කරමින් ලංකාවේ ඉහල පැලැන්තියේ දරුවන් පිටරටවල විශ්ව විද්‍යාල වලට ගෙවන විදේශ විනිමය යම්ප්‍රමාණයක් රටේම ඉතුරුවනු ඇත.

    වසරකට 125,000 කින් සරසවි අධ්‍යාපනයට බඳවා ගැනීම යනු පාඨමාලා කාලය අවුරුදු 3 ක් ලෙස ගතහොත් 375,000 කින් සරසවි ශිශ්‍ය ජනගහණය වැඩිවේ. සරසවි වල සිසු/සිසුනොවන අනුපාතය 10 ට 1ක් වශයෙන් ගතහොත් මෙමඟින් විශ්ව විද්‍යාල වල විවිධ මට්ටමේ රැකියා 37,500 ක් ඇතිවනු ඇත.

    මෙමෙඟින් බැල මෙහෙවරට පිටරට යන ගණන අඩුවී තාක්ශණික සහ අනිකුත් ක්ශේත්‍ර වලින් විදේශ සහ දේශීය රැකියා ලබා ගැනීමට හැකිවේ. මම දන්නා පරිදි මේ අංශය පිලිබඳව විශාල සැලසුම් එක්සත් ජාතික පක්ශයට ඇත.

    ReplyDelete
  4. තමන්ගේම දරුවන්ටත් හොර සුදුසුකම් ලබා දෙන කෙනෙකුට රටේ අනික් දරුවන්ගේ උසස් අධ්‍යාපනය ගැන දර්ශණයන් හෝ එම අවස්ථාවන් වැඩිකිරීමට ඕනෑ කමක් තිබිය නොහැකි බවත් සඳහන් කිරීම යෝග්‍ය යැයි සිතමි.

    ReplyDelete
  5. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නෙ මොකක්ද ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.