2015-08-28

ඝාතන සංස්කෘතිය තීරණාත්මක ලෙස අවසන් කළ යුත්තේ ඇයි?

2010 ජනවාරි 24දා ප්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිද්ධිය ගැන සැක සංකා රැසක් තිබිණි. සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයක් කළ, කැරැලි-කුමන්ත්‍රණ සම්බන්ධයක් නො තිබුණු, එතරම් අභියෝගාත්මක මාධ්‍යකරණයක ද නො නියැලුණු ඔහු මරා දැමීමට හේතුවක් අප ද ඇතුළු බොහෝ දෙනෙකුට තේරුම් ගත නො හැකි විය.

මාධ්‍යවේදී සිවරාම් මරා දැමීමට හේතුව ඔහු අති දක්ෂ ලෙස කොටි සංවිධානය වෙනුවෙන් මානසික යුද මෙහෙයුමක් දියත් කිරීමට සමත් වීමයි. ලසන්ත වික්‍රමතුංග අභීත මාධ්‍ය වෘත්තිකයකු ලෙස රජයේ දූෂණ ප්‍රශ්න කළේ ය. ඔවුන්ට සාපේක්ෂව ප්‍රගීත් එතරම් අභියෝගාත්මක මාධ්‍යකරුවකු වූයේ නැත.

එහෙත්, දැන් හෙළිදරව් වන තොරතුරු අනුව, එවැනි අහිංසකයන් පවා මරා දැමීමේ ලේ පිපාසයකින් පෙලුණ උම්මත්තක නායකත්වයක් එකල රට පාලනය කළ බව දැන් පැහැදිලි ය.

ප්‍රගීත් පැහැරගත් සමයේ රට අරාජික වී තිබුණේ නැත. එපමණක් නොව, ආරක්ෂක අංශ තිබුණේ දැඩි මධ්‍යගත පාලනයක් තුළ ය. ආරක්ෂක අංශවල ඉහළ අනුග්‍රහයකින් තොරව මෙවැනි දඩ බල්ලන්ට පැවැත්මක් නැති බව පසුගිය සතියේ සත්හඬ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ, පැහැරගෙන ගොස් මරා දමන්නට පෙර ජීවිතය බේරා ගත් ඩොනල්ඩ් පෙරේරා පළ කළ අදහස්වලින් හෙළිදරව් වේ. මර්වින් සිල්වාගේ හිතවතකු වූ ඩොනල්ඩ් පැහැරගෙන යාම පිළිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන සිටි බව ද, ඔහු නිදහස් කළේ ද ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් බව ද ඩොනල්ඩ් පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ජානක බණ්ඩාර ඒකනායක හා සිසිත ප්‍රියංකර යන සිසුන් දෙදෙනා 2012 සැප්තැම්බර් 27දා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මිය ගිය හ. ඔවුන්ගේ මරණවලට හේතුව මෝටර්සයිකල් අනතුරක් බව පොලිසිය පවසයි. එහෙත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම මරණ ඝාතන බව දැඩිව අවධාරණය කරයි. ඒ පිළිබඳ සාධක රැසක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබේ.

මෙම මරණ පිළිබඳ මෙවැනි බරපතල සැකයක් මතු වී තිබෙන මෙම සන්දර්භය තුළ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුල් අවස්ථාවක් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී ය. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක් විය. ආරක්ෂක අංශ ඔවුන් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව පෙරටුගාමී පක්ෂය කලක් තිස්සේ පැවසී ය. එහෙත්, ඔවුන් ආපසු ආවේ නැත.

මොවුන් දේශපාලනයට සම්බන්ධ අයයි. එහෙත්, 2013 වර්ෂයේ සැප්තැම්බර් 2දා සුදු වෑන් රියකින් පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන් වූ අනුරාධපුරයේ මදුෂ්ක හරිස් ද සිල්වා කිසිදු දේශපාලනයකට සම්බන්ධ අයෙක් නො වේ. සිය සැමියා සොයා දෙන්නැයි ඔහුගේ බිරිය හා දරු දෙදෙනා අදත් මහ මග සිට උද්ඝෝෂණය කරති.

රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ද යන්න පිළිබඳ දැන් පරීක්ෂණ සිදු වෙමින් පවතී.

උතුරේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන හා අතුරුදහන් කිරීම් ආවරණය කළේ කොටි සංවිධානය නැවත පණගන්වනවා ය යන තර්කයට ය. දකුණේ තවත් විශාල පිරිසක් මරා දැමුවේ භයානක අපරාධකරුවන් ලෙස හංවඩු ගසමිනි.

මේ කුමන නම් ඝාතන සංස්කෘතියක් ද? ඒ ගැන පරීක්ෂණ පවත්වා, නූතනත්වයට කිසි සේත් අනුගත නැති මේ ම්ලේච්ඡ සංස්කෘතිය අවසන් කළ යුතු ය. එය පැතිරවූවන්ට දඬුවම් කළ යුතු ය. නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා දඬුවම් ලැබිය යුතු වන්නේ ඒ අණ දුන් අයයි.

ඒ අණ නිකුත් වී තිබෙන්නේ මහා මිනීමරු සංස්කෘතියකින් බව දැන් ඉතා පැහැදිලි ය. එය වනාහි මිනිසුන් මරා දැමීමෙන් සතුටු වූ සංස්කෘතියකි. ඒ සංස්කෘතිය ආරක්ෂක අංශවල ඉහළ සිට පහළට විහිද තිබූ බව පෙනේ.

දෙමළ මිනිසුන් මරා දමද්දී මෙන් ම අපරාධකරුවන් ලෙස හංවඩු ගසන ලද මිනිසුන් ‘ආයුධ පෙන්නන්නට රැගෙන යද්දී' ද සිංහල මහා සමාජය එම ක්‍රියා අනුමත කළේ ය. එපමණකින් නො නැවතී එය වීරත්වයට දා නැඟුවේ ය. යුද අපරාධ සිදු කළ අය දඬුවම් ලැබිය යුතු ය යන සාමාන්‍ය සදාචාරය පවා සිංහල සමාජයට දරා ගත නො හැකි ය. අද වන විට යුද අපරාධ පිළිබඳ චෝදනා සිංහල සමාජය වෙත පොළා පනිමින්, ජාතියේ අනාගතය ඉදිරියේ අඳුරු වළාවක් සේ සිටගෙන සිටියි. මේ ඝාතන සංස්කෘතිය සිංහල සමාජයේ ජනප්‍රිය සංස්කෘතියේ ද අංගයක් විය. සමස්ත සමාජය ම පාහේ එක් ආකාරයක මිනීමැරුම්වලින් සතුටු වන ම්ලේච්ඡයන් පිරිසක් බවට පත්ව සිටිය හ. ඒ අතරතුර ම වෙනත් ආකාරයකින් හරකුන්, බල්ලන්, කුකුළන් වැනි සතුන් හිංසනයට ලක් කිරීමට පවා එරෙහිව අරගල කරන සංවේදීභාවයක් ද මේ සමාජයේ තිබිණි.

අප වෙනස් කළ යුතුව තිබෙන්නේ ඒ ඝාතන සංස්කෘතියයි. සතුරන්, විරුද්ධ මතධාරීන් හිංසනයට ලක් කරන, ඝාතනය කරන ඒ සංස්කෘතිය වනාහි නූතනත්වයට කිසි සේත් ම ගැලපෙන තත්වයක් නො වේ. එය මානුෂිකත්වයට නින්දාවකි. ආරක්ෂක වෘත්තීන්වලට දරුණු අපහාසයකි. තමන්ගේ වෘත්තීය නාමයන් පිරිසිදු කර ගැනීම පිළිබඳ ආරක්ෂක අංශවල වෘත්තිකයන් ගැඹුරින් සිතිය යුතුව තිබේ.

නීතියේ ආධිපත්‍යය හා යහපාලනය ස්ථාපිත කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගත හැකි ය. එය මෙවැනි ඝාතන සංස්කෘතියක් රටේ ව්‍යාප්ත වීමට හේතු වන තත්වයන් වෙනස් කරයි. මේ කාරණා පිළිබඳව ද සුපුරුදු ලෙස ම නිශේධනීය ආකල්ප පතුරුවන පිරිසක් සිටිති. අප මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද සංවාදයකට සහභාගි වූ අයෙක් විසින් දක්වන ලද පහත සඳහන් අදහස සංකේතාත්මක ය.

“මිනිසුන් නිහඩ කිරීම සදහා විවිධ කටයුතු සිදුකරන අතර තනතුරු වරදාන ලබාදීමද, බියට පත්කිරීමද , අඬුබඬු කඩා දැමිමද, භෞතිකව ම ඉවත් කිරීමද හැමවිටම සිදුකරයි. පොලිසි, හමුදා පවත්වා ගෙන යමින් එවා නඩත්තු කරමින් පවතිනුයේ සැබවින්ම පාලකයන්ගේ අරක්ෂාව සදහාය. එවා විසින් සිදුකරන කාර්යයන් සාධාරණිකරණය කිරිම ද, එම ආයතන මහජන විරෝධයකින් තොරව නඩත්තු කිරීමට අවශ්‍ය සාධාරණීකරණය කිරීමේ කාර්යය ද දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය ඇතුලු සිවිල් සමාජයෙන් සිදුකරමින් පවති.

“මහින්ද ඇතුලු දුෂිතයින් රාජත්වයට නංවන්නේද, ඔවුන්ගේ සියලු ක්‍රියාවන් අනුමත කරන්නේද ඒ වෙනුවට රනිල් තොරාගන්නේද, තමන් දෙසට තුවක්කු දිගුකරගෙන සිටින හමුදා නිලධාරින් උත්කර්ෂයට ලක්කරන්නේද, 2009 පාරවල්වල කිරිබත් කෑවේද, ආයුධ පෙන්නීමට යන අපරාධකරුවන් මරා දමනවිට එය නිවරදි බව පවසන්නේද, යහපාලනයක් ඉල්ලා සිටින්නේද එකම ජනතාවක්ය. එනිසා සැබැවින්ම සිදු කල යුතුව තිබෙනුයේ ජනතාව වෙනස් කිරීමයි. ඔබ ඇතුලු මාධ්‍යවලද, සිවිල් සංවිධාන හා සිවිල් පුද්ගලයන්ගේද සීමාව වනුයේ නීතීය සහ යහපාලනය යථාවත් කිරීමෙන් එය විසඳෙන බවයි. උදාහරණයක් ලෙස අපරාධකරුවන් ආයුධ පෙන්විමට ගොස් මරා දැමීම වෙනුවට සිවිල් සමාජය යෝජනා කරනුයේ අධිකරණය හරහා පුනරුත්තාපනය කිරීම, දඩුවම් කිරීම හෝ මරා දැමීමය. එහෙත් අප යෝජනාකල යුත්තේ එතනින් ඉදිරියට ගොස් අපරාධකරුවකු බිහිවිමට අවස්ථාව සලසා ඇති සමාජ තත්වයන් වෙනස් කිරීම ය.”

මෙම අදහස එක්තරා දුරකට මාක්ස්වාදී ය. අපරාධකරුවන් බිහි වන සමාජ තත්වය වෙනස් කිරීම යනුවෙන් එම පුද්ගලයා අදහස් කරන්නේ සමාජවාදී විප්ලවය විය හැකි ය. එහෙත්, එය සිදු වන තෙක් අපි කිසිවක් නො කර නිකම් බලා සිටිය යුතු ද? මේ සියලු ගැටලු ධනේශ්වර ක්‍රමයේ අර්බුද ලෙස දකිමින්, එය මෝදු වන්නට හැරීමෙන් සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍යතාව තීව්‍ර කර ගන්නට උත්සාහ කිරීමේ ගතානුගතික, වාමාංශික දේශපාලනය තවමත් බලවත් බව මෙවැනි තර්කවලින් පෙනේ. එහෙත්, අපගේ මූලික තර්කය වන්නේ සමාජවාදය නිර්මානය වන්නේ දියුණු සමාජයන් තුළින් මිස ම්ලේච්ඡත්වයෙන් නො වන බවයි. නීතියේ ආධිපත්‍යය හා යහපාලනය වෙනුවෙන් අප අද සටන් කළ යුත්තේ ඒ නිසා ය.

(මේ සතියේ රාවයට යැවූ ලිපිය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

15 comments:

  1. පැරණි ඝාතකයන් ඝාතන සංස්කෘතිය නවත්වන්නට අරගල කිරීමෙන්ම රනිල් වික්‍රමසිංහයන්ගේ පුනරුත්ථාපනයේ සාර්ථකත්වය පෙනේ.

    ගමේ ප්‍රභූන් ලෙස ජීවත්වුණු ඉස්කෝලේ මහත්වරුන්, ව්‍යාපාරිකයන්, ඉඩම් හිමි වැවිලිකරුවන් මරා දමමින් දේහය දණහිසට පහලින් එල්ලා යන ලෙස අණදෙමින් මානුෂිකත්වයට නින්දා කල මෘගයන්ව පවා විසිහය වසරකට පෙර යෞවන කටයුතු ඇමතිවරයා ලෙස නිසිලෙස පුනරුත්ථාපනය කර ඔවුන්ව රජයේ වැටුප් ලබන රැකියාවක් කිරීමට සුදුස්සන් කල අපේ ආදරණීය නායකයා මෙවර අගමැතිවරයා ලෙස පැමිණ සිටී.

    මුල අමතක ගොං පැරාලා අත්හරින්න අකමැති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන යාපා නමැති හිටපු ග්‍රාමසේවක වරයා ආණ්ඩුවේ මහින්ද ඉන්නකම් ඉඩම් වල මැණික් ගරමින් සිට පැරදුනු ගමන් අප්පච්චි මලෝ කියාගෙන කරනම් ගැසූ සොයිසලා කොල්ලන්ට ගහන්න චන්දෙ ඉවර වෙනකම් බලන් හිටපු එස් බී ලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගෙන බාල්දි පෙරලුවේ නැත්නම් නුතනත්වයට ගැලපෙන අලුත් රටක් රනිල් වික්‍රමසිංහයන් අපිට මාස හැටකින් ලබාදෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. Anonymous සහ පැරා ට,

      http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

      ජනතා විමුක්ති පෙරමුණ පිළිබද මගේ මතකයන් අලලා ලියු ලිපියයි මෙය මෙහිදී
      අද පවා ජනතා විමක්ති පෙරමුණ පිළිතුරු නොදෙන ප්‍රශ්න 10 මා සදහන් කෙරුවෙමි
      අද උනත් මෙම ප්‍රශ්න වලට සාර්ථකව අවංකව පිළිතුරු දිය හැකිනම් ජනතා විමුක්ති පෙරමුණට
      අනාගතයක් ඇති බවයි මගේ හැගීම.

      Delete
    2. කෙනෙකු ඇනොනිමස් කමෙන්ට්ස් දමන්නේ ම තමන් කරන ප්‍රකාශයෙහි වගකීම භාර ගන්නට සූදානමක් නැති නිසා ය. එහෙයින් ඇනොනිමස්ලාගෙන් ප්‍රශ්න ඇසීම තේරුමක් නැත.

      ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුතු ප්‍රශ්න 1989න් පසු ජවිපෙ සාමාජිකයකු නො වූ මගෙන් ඇසීම තේරුමක් නැත.

      අප ජවිපෙන් ඉවත් වුණේ හා ජවිපෙ ඝාතන හෙළා දුටුවේ හා ඒ පිළිබඳ අපගේ දේශපාලන වගකීම සම්බන්ධයෙන් ස්වයං විවේචනාත්මකව කටයුතු කරන්නේ අප සැබැවින් ම දේශපාලනිකව පුනරුත්ථාපනය වී සිටින නිසා ය. ඇනොනිමස්ගේ ප්‍රකාශය තුළ තිබෙන්නේ ද්වේෂය, ඉරිසියාව හා මහින්ද රාජපක්ෂ පරාජය වීමේ දරාගත නො හැකි වියෝගයයි.

      මෙවැනි අයට දේශපාලනය යනු අතීතය කර ගසාගෙන, නැගිය යුතු කන්දේ පහළට රූටා ඒමකි. අපට දේශපාලනය යනු අනාගතවාදී අරගලයකි. වෙනස එයයි.

      Delete
    3. ඔය මහ ලොකු කෙලිකාරයන් කියල හිතං ඉන්න ජෙප්පන්ට දෙන්න ඕන බෙහෙත් අලුත් අගමැතිතුමා දන්නවා. ඇටදෙක ලාච්චුවට දාපු ගමන් බිල්ලට ඇඳලා වටේ හිටපු අනිත් ඔක්කොම උන්ව පාවා දීලා ආණ්ඩුවෙන් දෙන ගුරු පත්වීම ගන්නවා.

      සමාජයේ කැපිල පේන්න බැරි වෙච්ච එවුන්, විබාග පාස් වෙන්න බැරිවෙච්ච උන්, කුල භේදය නිසා අසාධාරණයට ලක්වෙච්ච් උන් සෙට් එකක් එකතුවෙලා යූ එන් පී එකේ කන්නංගර මහත්තයට පිං සිද්දවෙන්න අකුරු ඉගෙනගෙන ලොරි ටෝක් දෙනවා ධනේශ්වර යූ එන් පී එක හරිමගට ගන්න. යූ එන් පී එකෙන් නිදහස් අධායපනේ දෙන්න කලින් මුන්ගේ මහ එවුන් හඳට පොලු ගැහුවා. වලාකුලකට හඳ වැහුනම පෑගිච්ච ගූ බෙට්ටක් කෑවා හඳ කියල හිතාගෙන. ගෝනෙක්ව මරලා අං තට්ටුව උඩට හිටින්න වළලලා තිබ්බා අවුරුද්දට කන්න. අවුරුද්ද එනකම් අං තට්ටුවට තට්ටු කර කර හිටිය නරක් වෙලාද බලන්න. ආණ්ඩුවේ බෝඩිමෙන් පැරාලාව එලියට දැම්මම බස් එකක් හයි රූෆ් කරා කඩ කාමරයක් ඇතුලේ තියාගෙන. උළුවස්ස ගලවලා තමයි බස් එක එලියට ගත්තේ. ඔන්න ඔහොමයි මතුගම ජෙප්පන්ගේ තත්වේ.

      Delete
    4. මට කටඋත්තර නැතැයි සිතා සතුටු වන්න.

      Delete
    5. පැරා,

      මා මෙහිදී ඔබට චෝදනා කරනවා නෙමෙයි. මට අවශ්‍ය ජනතා විමුක්ති පෙරමුණේ මනස හදුනා ගැනීමටයි.
      අප සිතිය යුත්තේ රටවැසියන්ට ආර්ථික වශයෙන් දියුණු විය හැකි ක්‍රමය කුමක්ද යන්නයි.

      මට තේරෙන හැටියට අපරට ප්‍රපාතයට යන්නේ අදක්ෂ නිලදාරීන් නිසයි (මිට වගකිව යුත්තේ දෙසපලන්යයන් ) නමුත්
      අපි චෝදනා කලයුය්තේ යම් ආර්ථික වැඩපිළිවලක් අසාර්ථක වන්නේ ඇයිද යන්නයි.

      මම ඔබට සරල උදාහරණයක් දෙන්නම්, අප රටට රැකියා අවස්ථා වර්දනය කිරීමට හැකි විශාල ආයතනයක් තමයි
      ශ්‍රී ලංකා තැපැල් සංස්ථාව (මා අදහස් කරන්නේ තැපැල් සංස්ථාව රජයේ රැකියා ලබාදීම නොවෙයි ) ටිකක් හිතන්න අද පවතින
      තාක්ෂනය යොදා ඉතාම ආරක්‍ෂිත ලෙස බාන්ඩයක් විදේශයට යැවිය හැකිනම් (post online tracking facility) අපට ශ්‍රී ලංකාවේ සිටින
      සුළු සහ මදය පරිමාන අපනයන කරුවන්ට අනගි අවස්තාවක් නිර්මාණය වේ.

      ජනතා විමුක්ති පෙරමුණ (මෙය ඔබවැනි සිවිල් සමාජයේ අයටත් අදාලයි ) සිදුකල යුත්තේ මෙවැනි අවස්ථා ක්‍රියාත්මක කිරීමට රජයට
      බලපෑම් කිරීමයි.

      මෙවැනි ප්‍රයෝගික විදි මගින් ජනතාවගේ ජිවන තත්වය වැඩි දියුණු කිරීමෙන්, ජනතාව අතරත් ඔවුන් ගැන විශ්වාසය ඇතිවන අතර ඉදිරි දිනකදී
      බය නැතිව බලය ලබාදීමට කමතිවනු ඇති.

      Delete
  2. ඉහත ලිපිය තුල අදහස් දැක්විමේදි මා යොජනාකර සිටියේ ජනතාව වෙනස්කල යුතු බවය. ජනතාව දැනුවත් කරමින් සිතන ආකාරය වෙනස් කිරීමකින් තොරව මාධ්‍ය සංදර්ශන හෝ බලහත්කාරී නීති පද්දතියක් මගින් සමාජයතුල යහපාලනය ඇතිකල හැකියැයිද, ඝාතන සංස්කෘතිය අවසන් කල හැකියැයිද සිතන්නේනම් එය මුලාවක්වය. එහෙත් සිවිල් සංවිධාන වල බලපෑම හරහා මෙම ඝාතන සංස්කෘතිය යටපත්කරගෙන සිටිමටත් යහපාලන ක්‍රියාකාරකම් ඇතිකර පවත්වාගෙන යාමටත් හැකියාව ඇත. ඒ හරහා සමාජය දැනුවත්වීම, නැවත සංවිධානයවීම සිදුවීමට ඇති ඉඩ මා කිසිසෙත් බැහැර නොකරමි.
    සමාජවාදය යනු ධනවාදයෙම ස්වරෑපයක්වන අතර එය මගින් සිදුකරනුයේ තවදුරටත් ධනවාදය ශක්තිමත් කිරීමය. එබැවින් සමාජවාදය ඇතිකිරම සදහා දියුණු ධනවාදයක් ඇතිවනතුරු බලා සිටිම අවශ්‍ය නොවන අතරම ධනවාදය සංවර්ධනය කිරීමට අවශ්‍යවන යහපාලනය ඇති කිරීම, නීතීයේ ආධිපත්‍ය ස්තාපිත කිරීම, නිදහස් වෙළදපොළ ඇතිකිරීම, පිලිබදවද විරුද්ධවිය යුතු නැත. එහෙත් එවායෙ පවතින සීමාවන් පිලිබදවත් එයින් ඇතිවන බලපැම පිලිබදවත් සමාජය දැනුවත් කල යුතුය.

    සමාජයතුල ක්‍රියාත්මක කරණු ලබන නීතී, යහපාලන මුලධර්ම හා සිවිල් සමාජයේ මතවාද මගින්ද පළමුව කලයුත්තේ මෙය, දෙවනිව කල යුත්තේ මෙය යනුවෙන් සමාජමත ඇතිකරන මතවාදයන් අබිබවා යමින් මගින් පිඩිතයාට දමා ඇති සිමාවන් අහොසි කිරිමටත් සාධාරණ හා සිමාවන් රහිත සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජනතාව සංවිධානය කිරීමත් අද දවසෙ අපගේ වගකීමක්ය.

    ReplyDelete
    Replies
    1. සියල්ල විසදිමට සමාජවාදය ඇතිකරනතුරු සිටිය යුතුයැයි පැවසීම විහිලුවක් වන අතරම, සමාජවාදය ඇතිකිරීමට පළමුව දියුණු සමාජයක් ඇතිකර යුතුයැයි සිතිමද විහිලුවකි. අපගේ අරමුණ සාමුහික සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පිඩිතයා සංවිධානය කිරීම වන අතරම අප නිර්මාණය කිරීමට යොජනා කරනුයේ කුමන ආකාරයේ සමාජයක්ද යන්න පිලිබදව අවසන් නිශ්චිත උත්තරයක් තවමත් නොමැති බවද එය අනාගතයෙදි පිඩිතයන්ගේ එකගතාවයෙන් ඇතිකරනු ලබන සමාජයක් පමණක්වන බවද කිවයුතුව ඇත.

      Delete
    2. //අපගේ අරමුණ සාමුහික සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පිඩිතයා සංවිධානය කිරීම වන අතරම අප නිර්මාණය කිරීමට යොජනා කරනුයේ කුමන ආකාරයේ සමාජයක්ද යන්න පිලිබදව අවසන් නිශ්චිත උත්තරයක් තවමත් නොමැති බවද එය අනාගතයෙදි පිඩිතයන්ගේ එකගතාවයෙන් ඇතිකරනු ලබන සමාජයක් පමණක්වන බවද කිවයුතුව ඇත.//

      උක්ත අදහස සමග පූර්ණ වශයෙන් එකඟ වෙමි. එමෙන් ම පීඩිතයා යන්නට පුළුල් අර්ථකථනයක් අවශ්‍ය බව ද අවධාරණය කරමි.

      Delete
    3. පිඩිතයා යනුවෙන් මා හදුනා ගන්නේ පවතින සංස්කෘතික, ආර්ථික හා නීතිමය සිමාවන් වලින් තම නිදහස අහෝසිකර දමා ඇති සහ
      ජිවත්වීමට අවශ්‍ය මුලික අවශ්‍යතා, නිවසක්, වාහනයක් වෙනුවෙන් තම ශ්‍රමය විකුණන සහ එම තත්වයන් අත්කර ගැනීම සදහා තම ශ්‍රමය විකිණිම හැර වෙනත් විකල්පයක් නොමැති, එම ශ්‍රමය හරහා උපයාගනු ලබන ලාභය හා බදු මුදල් යොදවන ආකාරය පිලිබදව තිරණ ගැනීමෙන් බැහැරකර ඇති ජනතාවයි.
      (මෙයට රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් (සාමාන්‍ය සේවකයාගේ සිට කළමනාකරුවා දක්වාද,සුලු පරිමාණ අයෝජකයින්ද), ගොවින්, ශිෂ්‍යයන්, ගෘහණියන්, කලාකරුවන් සහ නලාකරුවන්ද, ආචාර්ය මහාචාර්යවරුන් ආදී 99%කටත් වැඩි ජනතාව අයත් වේ)

      Delete
  3. ඝාතන, හොරකම්, දේශපාලන පත්වීම්, නාස්තිය, පොදු සම්පත් අවභාවිතය, යන සියළුදේම සියළුම පුරවැසියන් ප්‍රතික්ශේප කළයුතුයි. දේශපාලකයින් ඊට අනුගත නොවන්නේ නම් උසාවි මඟින් හෝ අන් මඟින් සංවිධානාත්මකව එරෙහි විය යුතුයි. අවි අතට ගැනීමෙන් හැර සමාජ අඩවි භාවිතය, අධ්‍යාපනය හරහා මෙවැනි විසි එක් වන ශතවර්ශයට නොගැලපෙන සියල්ල ඉවත් කරන තුරු උත්සාහය අත් නොහල යුතුයි.

    ReplyDelete
  4. අජිත්, මේක මාතෘකාවෙන් පිට එකක්..

    දේශීය යාන්ත්‍රනය ගැන ඔබ මොකද හිතන්නේ?

    Dimithri

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ යුද අපරාධ විමර්ශනය කිරීම කියන එක සිංහල දෙමළ ජාතිවාදී දෙපාර්ශ්වයට ම තිත්ත අත්දැකීමක් වේවි. හමුදාවට, කේපීට හා රාජපක්ෂලාට තිත්ත රසය වැඩිය දැනේවි, ඒ අය ජීවතුන් අතර ඉන්න නිසා.

      දැන් උදය ගම්මන්පිල දේශීය පරීක්ෂණයට වඩා ජාත්‍යන්තර පරීක්ෂණයකට කැමතියි වගේ. මං හිතන්නෙ පරීක්ෂණය කුමන අන්දමේ එකක් ද කියා තෝරා ගැනීම ඒ පැත්තට ම භාර දෙන්න ඕනැ.

      Delete
  5. දැන් පෙරටු ගාමින්ට ලලිත් කූගන් අමතක වෙලා ,උදුල් ප්‍රෙමරත්න විජේ දාසට පොස්ටර් ගහනවා,මොනවා කිව්වාද ඒ දවස්වල

    ReplyDelete
    Replies
    1. ඒ තමයි ජෙප්පන්ගේ ආශ්චර්යය. අර මාතලන් කියන ගොන් වහන්සේ කහින්නේ ඔය වගේ කාලකණ්නින්ටයි.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.