2015-08-29

නයා සහ ඉනිමග ක්‍රීඩාවේ ජාතික ලැයිස්තුව

එජාප, එජනිස හා ජවිපෙ යන පක්ෂ තුනේ ම ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරුවලට පත් කිරීම් පිලිබඳ රටේ පුළුල් කතා බහක් ඇති විය.

එජාප ලැයිස්තුව ගැන ලොකු මතභේදයක් ඇති නො වුණත්, දයා ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වී සිටියදී, ඔහුගේ බිරිය වන අනෝමා ගමගේත් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම විවේචනයට ලක් විය? ජාතික ලැයිස්තුවෙන් කාන්තාවක් පත් කළ එකම පක්ෂය වුණේ එජාපයි. එහෙත්, මේ මන්ත්‍රීකමට රෝසි සේනානායක වැනි කාන්තාවක් පත් කළා නම් වඩා ඵලදායී වන්නට ඉඩ තිබුණා. පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නො කරන ස්ථාවරයක එජාප නායකයා සිටි මුත්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය එජාප ජාතික ලැයිස්තුවෙන් තමන්ට ලැබුණු ආසනය වෙන් කළේ පරාජිත අපේක්ෂකයකුටයි.

එජනිස නායකයා වන මෛත්‍රීපාල සිරිසේනගේ නම් මූලික ප්‍රතිපත්තිය වුණේ ම තමන්ට අවශ්‍ය පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනීමයි. එජාප - එජනිස හවුල් ආණ්ඩුවක මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිතමුනි සොයිසා, තිලංග සුමතිපාල වැනි පරාජිත අපේක්ෂකයන් සිටින්නට බොහෝ විට ඉඩ ඇත. මෙම අපේක්ෂකයන් පරාජය කළේ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම සිදු කළ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් සැලසුම් කරන ලද ක්‍රියාමාර්ගයක් ඔස්සේයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිතවත්ව කටයුතු කිරීම මෙයට ප්‍රධාන හේතුවයි. එහෙත්, අවසානයේදී ජනාධිපතිවරයා පක්ෂයේ හා සන්ධානයේ බලය සියතට ගෙන ඔහුගේ හිතවතුන්ගේ අවස්ථාව රැක දී තිබෙනවා. එජනිස ජාතික ලැයිස්තුවේ සිටින ජ්‍යේෂ්ඨ දේශපාලකයන් හා අප්‍රකට, නො වැදගත් දේශපාලන ක්‍රියාකාරිකයන් ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අන්තේවාසිකයන් ලෙස සැලකිය හැකියි. එජනිස ජාතික ලැයිස්තුවේ එක ම කාන්තාවක්වත් නො සිටි අතර පරාජිත මන්ත්‍රීවරියන් ද ඇතුළත් කරනු ලැබ නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට ලොකුම රණ්ඩුව වුණේ ජවිපෙ තුළයි. ජවිපෙ සිය ජාතික ලැයිස්තුව උගතුන්, බුද්ධිමතුන්ගෙන් සුසැදි මාර ම එකක් බව ලෝකයට අඬ බෙර ගැසුවේ ය. එහෙත්, පක්ෂය විසින් දිනා ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරු දෙකට අදාළ පත් කිරීම් කිරීමේදී ජවිපෙ මසුරු වූයේ ය. මෙම බුද්ධිමතුන් නිසා ජවිපෙට ඡන්ද වැඩි නො වුණු බවක් ඇතැම් පාක්ෂිකයෝ දැන් පවසති. එහෙයින් ඔවුන් පත් කරනවා වෙනුවට මාතර දිස්ත්‍රික්කයෙන් පරාජිත සුනිල් හඳුන්නෙත්ති, කොළඹින් පරාජිත ලාල් කාන්ත වැනි දෙදෙනෙකු පත් කිරීමේ උවමනාව ජවිපෙට තිබිණි. එහෙත්, මේ බුද්ධිමත්තු ද ලේසි පුතයෝ නො වුණ හ. ඔවුන් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට දමන්නට එකඟ වී තිබෙන්නේ එය තිබෙන ස්ථානය එහෙම හොඳට බලා බව ජාතික ලැයිස්තු අපේක්ෂක ක්‍රිෂ්මාල් වර්ණසූරිය පවසයි. ජවිපෙ නායකයන් ක්‍රිෂ්මාල් හමු වී තමන්ගේ ආසනය පුදන්නට ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු විගණකාධිපති චන්ද්‍රසිරි මායාදුන්නේ කැමති බව පවසා ක්‍රිෂ්මාල්ගේ ආසනය ද පක්ෂයට ඉල්ලා ඇත. තමන් එයට එකඟ නො වූ බව ක්‍රිෂ්මාල් පවසයි. අවසානයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබුවේ මායාදුන්නේ හා සුනිල් හඳුන්නෙත්ති ය. ඒ සමග ම ලාල් කාන්ත ද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් කැප වන්නට යන බව කියමිනි. බුද්ධිමතුන් ගැන ජවිපෙ ද ජවිපෙ ගැන බුද්ධිමත්තු ද ඉගෙන ගත් බව පෙනේ. ජවිපෙ වෙනුවෙන් සිය අනන්‍යතාව කැප කළ වඩා අවංක, සැබෑ සක්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයකු වන නිර්මාල් රංජිත් දේවසිරි වැන්නකු සිය ජාතික ලැයිස්තුවට නම් කරන්නට ජවිපෙ සිතන්නේවත් නැත්තේ ඇයි?

දෙමළ ජාතික සන්ධානය ද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා පරාජිත අපේක්ෂකයන් දෙදෙනෙකු නම් කළේ ය. දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කළ ආකාරය පරාජිත අපේක්ෂක හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ විවේචනයට ලක් වී තිබේ. ප්‍රේමචන්ද්‍රන් යනු දෙමළ ජාතික සන්ධානය සමග එක් වී සිටින කුඩා පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායමක නායකයා ය.

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවක් ඇති කරනු ලැබුවේ පාර්ලිමේන්තු නියෝජනය ලබා ගත නො හැකි ප්‍රජාවන්ට අවස්ථාව ලබා දීම මූලික අරමුණ කරගෙන ය. ඒ අනුව, අටවැනි පාර්ලිමේන්තුවේත් දක්නට ලැබෙන කාන්තා නියෝජනයේ අඩුව පිරිමැසීමට ජාතික ලැයිස්තු නියෝජනය යොදා ගැනීමේ වගකීමක් දේශපාලන පක්ෂවලට තිබිණි. වාම පක්ෂයක් වන ජවිපෙ හෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැත. මැලේ, බර්ගර්, වැදි වැනි පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගත නො හැකි ප්‍රජාවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා දීමට කිසිදු පක්ෂයක් කටයුතු කර නැත.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුගත වීම එකම දේශපාලන අරමුණ කර ගත් බව පෙනුණු ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සමසමාජ-කොමියුනිස්ට් ජෝඩුවට මෙවර පාර්ලිමේන්තුවේ දොර වැසීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. මහින්ද රාජපක්ෂට සහයෝගය දීමට ගත් තීන්දුවත් සමග මෙම පක්ෂ දෙක කැඩී බිඳී ගොස් දුර්වල වී තිබේ. සමසමාජයෙන් කැඩී ගිය කණ්ඩායමක් නියෝජනය කරන ආචාර්ය ජයම්පතී වික්‍රමරත්නට එජාප ජාතික ලැයිස්තුවේ ඉඩක් වෙන් වී තිබේ.

ගෞරවනීය තත්වයක් අත් පත් කරගෙන සිටින ප්‍රවීණ වෘත්තිකයන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දීම එදා සිට ම පැවති සම්ප්‍රදායකි. එජාප ජාතික ලැයිස්තුවෙන් වරක් නර්තන ශිල්පියකුට අවස්ථාව ලැබිණි. මාලිනී ෆොන්සේකා පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ ද ඇය ‘නිළි රැජින’ වූ නිසා මිස වෙනත් දේශපාලනික වැදගත්කමක් නිසා නො වේ. එහෙත්, දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති මාධ්‍ය, ලේඛන වැනි ක්ෂේත්‍රවල ප්‍රවීණත්වය නිසා පාර්ලිමේන්තු නියෝජනයක් ලැබූවෙක් මෙවරවත් දැකිය නො හැකි ය. එහෙත්, නොම්මර එකේ පොත් පෙරළන්නෝ කීපදෙනෙක් නම් මෙවරත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තල්ලු වී සිටිති.

ලංකාවේ පාර්ලිමේන්තුවට පත් වීම පහසු කාර්යයක් නො වේ. එහෙත්, හිටි හැටියේ අමුතු රැළිවලට ගසාගෙනැවිත් කරකවා අතහැරියා සේ පාර්ලිමේන්තුවට පාත් වුණ අය ද සිටිති. පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්ණමාලි නිළිය කදිම නිදසුනකි. ඇගේ මන්ත්‍රීකමින් රටට වූ එක ම ප්‍රයෝජනය ඇය රංගනයෙන් ඈත් වීම පමණි.

එවැනි කණා පල්ලං නැතිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් යනු සාමාන්‍ය දේශපාලන ක්‍රියාධරයන්ට සිහිනයකි. හැටේ දශකයේ සිට දේශපාලනයේ සිටින, බොහෝ මැතිවරණවලට තරග කර තිබෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කිසි දිනෙක පාර්ලිමේන්තුව නියෝජනය කර නැත. ඔහුට ඡන්ද නො වැටෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු දරන වාමාංශික ස්ථාවරයයි. එහෙත් ඔහුගේ දේශපාලන සහයෝගය ලබන දෙමළ පක්ෂයක්වත් කිසි කලෙක ඔහු ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත් කිරීමට සිතා නැත.

ප්‍රධාන පක්ෂ දෙක ඔස්සේ ඉදිරියට එන එක පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය සභාවට තරග කර පත් විය යුතු ය. එතැනින් පළාත් සභාවට තේරී පත් වී පාර්ලිමේන්තුවටත් එන්නට සෑහෙන කට්ටක් කෑ යුතු ය. කප්පරකට සල්ලිත් අවශ්‍ය ය.

ජවිපෙ එක්ක සිටි ඇතැමෙකුත් රැල්ලට හසු වී පාර්ලිමේන්තුවට ගසාගෙන ආ බව ඇත්ත ය. එහෙත්, එය ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. අංක එක නායකත්වයට අධික ලෙස අවනත විය යුතු ය. ඒ කොතරම් ද යත් තමන්ගේ හෘදය සාක්ෂිය ජාතියේ හෘදය සාක්ෂිය වූ ජවිපෙට පාවා දිය යුතු ය. එසේම, නො කා,නො බී පක්ෂයට වැඩ කළ යුතු ය. ජීවිතය වුව පරිත්‍යාග කිරීමට සූදානමින් සිටිය යුතු ය.එහෙව් පක්ෂයක කරට පය තබා, හරියට රස්සාව කිරීම මිස වෙනත් දේශපාලන ක්‍රියාකාරිත්වයක් නැති මායාදුන්නේට පාර්ලිමේන්තුවට පත් වන්නට හැකි වීම නියම ජිම්කානාවකි.

ලංකාවේ සමාජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම මහ ඉහළින් අධිනිශ්චය වී තිබේ. මහාචාර්ය ජී. එල්. පීරිස්, රජීව විජේසිංහ වැනි කීර්තිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙනුවෙන් පොඩිවුන් සේ හැසිරුණ රටකි මෙය.

පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් යනු ලංකාවේ සුවිසල් සමාජ ප්‍රාග්ධනයකි. එය බොහෝ දෙනෙකුට දැවැන්ත ආර්ථික ලාභ ද ළඟා කර දෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම වනාහි ධනේශ්වර පංතියට ක්ෂණික පිම්මකි. නයා සහ ඉනිමග නම් පෙත් ක්‍රීඩාව බඳු වූ ජීවිතයෙහිදී උඩම පේළියට යොමු වූ දිග ඉනිමගක් හමු වන කොටුවට ඉත්තා තැබිය හැකි පරිදි අය වැටීමකි.

එහෙත්, මෙතෙක් ඉතිහාසය තුළ ඉනිමං ලැබුණු මිනිසුන් නිසා ලංකාවේ ජනතාවට මෙම ක්‍රීඩාව තුළ අය වැටුණේ නාග මුඛ ඔස්සේ පහළට ම රූටන්නට ය. පාර්ලිමේන්තු මන්ත්‍රීකම තව දුරටත් අසාධාරණ ලෙස ඉහළ යා හැකි ඉනිමගක් නො වන පරිදි අපි මේ ක්‍රීඩා පෙත නැවත සැකසිය යුතුව තිබේ.
(සත්හඬට ලියූ ලිපිය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. අතීතයේදී දේශපාලනයේ නිරතව සිටියේ රටේ ධනේශ්වර පන්තියයි. ඔවුන් තමන්ගේ මහන්සියෙන් සොයාගත් හෝ පාරම්පරික ධනය තිබිණි. 1956 ගොන් පෙරළියේදී වයින් බොමින් මස් පුළුස්සා කනවායැයි මුලා කිරීම් වලින් සමාජයේ අනික් මට්ටම් වලින් දේශපාලකයෝ බිහි කිරීම ආරම්භ කළේය. එතැන් පටන් නිර්ධන පන්තියෙන් දේශපාලනය ආ බොහෝ දෙනාට අවශ්‍ය වූයේ රටේ මුදල් කොල්ලකා ධනේශ්වර පන්තියට එකතුවීම විනා තමන් පැමිණි නිර්ධන පන්තිය නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට නොවේ. එවිට බිහි වූයේ තමන් ගේ පෞද්ගලික මුදලින් වයින් බී මස් පුළුස්සගෙන කෑ ධනෙශ්වර පන්තිය වෙනුවට රටේ මුදලින් ධනේශ්වර ජීවිත ගෙවන්නන් පිරිසක් බිහිවීමයි. මියයනවිට තමන්ගේ බූදලය රටට දායාද කොට ගිය ධනේශ්වරයන් වෙනුවට රටේ මුදලින් පරම්පරා ගණනකට හොරා කා යන ආර්ත්මාර්ථකාමීන් දේශපාලනයට අරක් ගැනීමයි. ඒ අතින් බලන කළ 1956 විප්ලවය සමහ නිර්ධන පුද්ගලයින් ධනේශ්වර පන්තියට එක් කරන සැබෑම විප්ලවයකි

    ඊට අමතරව රැකියා සපයමින් රට බරක් නොවූ පෞද්ගලික සමාගම් රජයට පවරාගෙන ඒවා කොල්ලකන්නන් අතට පාලනය දී ඒවා පාඩු ලබන මහජන මුදල් වලින් යැපෙන ආයතන බවට පත් කිරීමත් 'විප්ලවයේ' එක් ජයග්‍රහණයකි.

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි මචෝ උඹ කියලා තියන දේ. කියන එක ටක්කෙට ම කියලා තියනවා!!! Thank you so much!!!

      Delete
    2. Ian-you are exactly right. The other effect is the inferiority complex which majority Sri Lankans carry from generation to generation.

      Delete
    3. සඟ, වෙද , ගුරු, ගොන්, තකතීරු

      Delete
  2. ඒකනේ අපි ජෙප්පන්ට දුන්නේ...

    ReplyDelete
    Replies
    1. @Maathalan ------ උඹ වගේ තකතිරුවන්ගේ ඇස් ඇරෙන්නේ ජෙප්පන්ට බලය ගිය දවසටයි. එදාට උඹ බෝට්ටුවක නෙවෙයි, කෙහෙල් කොටයක හරි නැගලා සෝමාලියාවට වුණත් යන්න දඟලනවා දඟලනවාමයි.

      උඹ කොච්චර මෝලෙක් ද කියනවා නම් ජෙප්පන්ට ඡන්දේ දුන්න එක ගැන තප්පුලනවා බ්ලොග් අවකාශේ හැමතැනම. යකෝ, රෙනවා නම් කැළේට ගිහින් රීපිය, ටවුම මැද්දේ රෙන්නේ නැතුව.

      Delete
  3. සුද්දන්ගේ අත වැසියන් වද වී යනවිට කොල්ලකරුවන් වෙදීකාවට පැමින ආගම හා ජාත්‍යාලය විකට ඇදුම් හැද රගයි මෙ රගමඩල උඩ සිට

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.