2015-09-22

අප කොළඹ පොත් පොළ වර්ජනය කළ යුත්තේ ඇයි?

කොළඹ පොත් පොළ ගැන මං මීට කලින් අවුරුදුවලත් ලියලා තිබෙනවා. 


පටන් ගන්න දවසේ මං පොත් පොළේ ගියා. ඒ ගියේ වෙනත් ගමනක් යන ගමන් මගේ පොත් වගයක් කුටියකට භාර දෙන්න. මං පළ කළ ශාස්තෘ නවකතා පොතේ පිටපත් රැසක් ඉතිරි වී තිබෙනවා. වසර ගණනක සිට මම එය විකුණන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඒත්, මට පොත් කරගහගෙන කුටි හොය, හොයා යන්න කම්මැලි හිතුණා. පොත් පොළ කියන්නේ මට නම් හැමදාමත් හිසරදය හැදෙන තැනක්. 

මං වගේ කර්තෘ ප්‍රකාශකයෙක් තමන්ගේ පොත් අරගෙන වෙළඳ කුටි ගානේ යනවා මං දැක්කා. පොත් කීපයක් කුටියක තබා යාමත් අමාරු වැඩක්. ලේඛකයන්ට තමන්ගේ නිර්මාන වෙනුවෙන් ප්‍රකාශකයන්ගෙන්, පොත් සාප්පු හිමියන්ගෙන් මුදල් ලබා ගැනීමේ ඇති අමාරුව ගැන මං පොත් කීපයක් පළ කරලා ඉගෙන ගත්තා. 

කොහොමත්, කර්තෘ ප්‍රකාශනය ව්‍යාපාරික පැත්තෙන් සාර්ථක නැහැ. එහෙම නම්, කර්තෘත් කුඩා පරිමාණ හෝ ප්‍රකාශකයෙක් විය යුතුයි. ලේඛකයන් ප්‍රකාශකයන් වීමෙන් ලේඛකයා මැරිලා ප්‍රකාශකයා මතු වෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ ලේඛකයා ඒ වැඩෙන් අයින් වෙන්න ඕනැ.

ලංකාවට අනවශ්‍ය තරම් කුඩා පරිමාණ පොත් ප්‍රකාශකයන් පිරිසක් සිටින්නේ මහා ප්‍රකාශකයන්ගේ අවිධිමත්කම නිසායි. ලේඛකයන්ට, සැපයුම්කරුවන්ට කලට වෙලාවට මුදල් නො ගෙවීම තමයි ඇත්තෙන් ම මහා පරිමාණ පොත් ප්‍රකාශකයන්ගේ ව්‍යාපාරික දියුණුවේ රහස. 

බොහෝ දෙනෙක් පොත් ලියන්නේ ලේඛකයෙකු ලෙස සමාජ පිළිගැනීම ලබාගන්න, සම්මාන ලබන්න, ජීවිතයේ සැඳෑ සමයේ ආත්ම තෘප්තියකින් යුතුව ජීවත් වෙන්න වැනි දේවලට. මේ වැඩි දෙනෙක් ලේඛනය වෙනුවෙන් කරන කැප කිරීම වෙනුවෙන් සාධාරණ වේතනයක් ලබන්නේ නැහැ. එපමණක් නොවෙයි, ලේඛකයෝ බොහෝ දෙනෙක් දිළින්දන් බවටත් පත් වෙනවා.

තමන්ගේ නම ඉදිරියෙන් විශාල පොත් සංඛ්‍යාවක නම ලියා ගන්න අපට කැමැත්තක් තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් ලියනවා මිස ගුණාත්මකභාවය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙය වැඩිපුර ම දකින්නට ලැබෙන්නේ පරිවර්තන සාහිත්‍යය තුළයි. ඇතැම් අය පොත් කියවීමට වඩා කරන්නේ පරිවර්තනය කිරීමයි. 

පොත් පළ කරන්නේ නැතිව වෘත්තීය ලේඛකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ම දැන් පොත් පරිවර්තනය කරන ක්‍රමයට පරිවර්තන කරන්නේ නැතිව වෘත්තීය පරිවර්තකයෙක් වෙන්නත් පුළුවන්. මේ බව මම මගේ වෘත්තීය ජීවිතය තුළ දැක තිබෙනවා. එමගින් දිළින්දෙකු නො වී තමන්ගේ ජීවිතය ගත කරන්නටත් පුළුවන්. ඒත්, බොහෝ දෙනා පොත් ලියන්නන් බවට පත් වන්නට අපරිමිත වෙහෙසක් දරනවා. පොත් ලියමින් දිළින්දන් ලෙස ජීවත් වෙනවා. 

පසුගිය කාලයේ විශාල නවකතා සංඛ්‍යාවක් පිටවුණා. විශාල සංඛ්‍යාවක් විවිධ සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වුණා. ලංකාවේ සාහිත්‍ය සම්මානවලින් යම් කිසි ගුණාත්මක ප්‍රමිතියක් පවත්වාගෙන යන එකම සම්මාන උළෙල ග්‍රේෂන් සම්මානය විතරයි. විවිධ සම්මාන උළෙලවලදී සම්මාන ලැබූ කෘති පවා ලංකාවේ සාහිත්‍යයේ ගැඹුරු මතකයන් නිර්මානය කරලා නැහැ. එයට හේතුව මොකක්ද?

මං හිතන්නේ ඒ හේතුව නිරූපණය කරන සංකේතයක් තමයි කොළඹ පොත් පොළ. මට නම් ඒක තනිකරම පිස්සුවක්. පොත් ප්‍රකාශකයන්ට ඒක නියම ම පොළක්. පොළක් විතරමයි. වෙන මොකුත් නැහැ. පාරිභෝගිකයන් එයට පොදි කන්නේ නත්තල්, අවුරුදු කාලවලට බාගේන් සේල්වලට පොදි කනවා වගේමයි. ඒවායෙදි වෙනවා වගේ ම මෙතනදිත් පාරිභෝගිකයා වෙළඳ ගැටවලට අහු වෙනවා. අඩු ගානට පොත් ගොඩක් ගත්තා කියා හිතාගෙන සතුටින් ගෙදර යනවා. ලේඛකයා මේ පොළේ සැපයුම්කරුවෙක් හෙවත් බඩු සප්ලයි කරන කෙනෙක් බවට පත් වෙලා. 

මං නම් පොත් පොළට යන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි ගියේ නැතිනම් කොණ් වන නිසා ය කියා මගේ යාළුවෙක් විහිළුවට කියනවා. පොත් පොළේ යන වැඩි දෙනෙක් සෙල්ෆි ඡායාරූප අරන් ෆේස්බුක් දානවා. එහි ගිය බව හා ගත් පොත් ගැන කතා කිරීමත් මේ දිනවල ජීවිතයේ අංගයක්. 

ලංකාවේ සාහිත්‍යය කියන්නේ බාල ප්‍රකාශන, අවසර නොලත් පරිවර්තන, අගෝස්තුවේ හා සැප්තැම්බරයේ කරන දොරට වැඩීම්, බෙදා ගෙන කන සම්මාන, පිට කසන විචාර, කර්තෘභාග සොරකම් හා කොළඹ පොත් සල්පිල සහ තවත් මෙහි නොකී දේවල් සමුදායක අච්චාරුවක්. 

පොත් ලියන තරම්, පොත් පළ කරන තරම්, සම්මාන ලැබෙන තරම් ඇයි පොත් ගැන කතාවක් නැත්තේ? පොතකින්, කලා කෘතියකින් විඳ ගත් රසය ගැන ලිවීමක්, විචාරයක් සිදු වෙන්නේ නැත්තේ ඇයි? මේ තරම් ලේඛකයන් සිටින රටක සහෝදර ලේඛකයකුගේ පොතක් ගැන රස වින්දනයක් ලියන්න ඉදිරිපත් වීම අඩු වෙන්නේ ඇයි? 

කාගේවත් ආරාධනයකින් තොරව, නියමිත මිළ ගෙවා කලා කෘති මිළ දී අරගෙන, ඒවායින් විඳි රසය ගැන පොදු අවකාශවල ලියා සංවාදයක් ඇති කරන්නට ඕනෑ ය කියන දේශපාලන අදහසක මම ඉන්නවා. ඒ වෙනුවෙන් මේ බ්ලොගයේ හා මා ලියන පුවත්පත්වලත් මම උත්සාහ කර තිබෙනවා. මගේ නිරීක්ෂණ කීපයක් මං කියන්නම්. 

යම් නිර්මාණයක් හොඳයි කිව්වොත් විතරක් ඒ නිර්මානකරුවා ස්තුතියි කියනවා. එහෙම නැතිනම්, අඩු තරමේ තමන්ගේ නිර්මානයට ලැබුණු ප්‍රචාරය ගැනවත් ස්තුතියි කියන්නට ඔවුන් ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වුණාට බ්ලොග් පාඨකයන් අහනවා මේක ලියන්න කීයක් ගත්තා ද කියලා. රස වින්දන, විචාර ලිවීම කරන්නේ හිතවත්කමට හෝ මුදලට ය ආදී වශයෙන් බොහෝ දෙනෙක් හිතනවා. සාහිත්‍ය දේශනවලට පවා විශාල මුදලක් අය කරන සමයක නොමිළේ රසවින්දනයක් ලියන්න ඉදිරිපත් වීම මෝඩ වැඩක් ලෙස සලකන සාහිත්‍ය සමාජයකයි අපි ජීවත් වෙන්නේ. 

බොහෝ දෙනෙක් කරන්නේ නිර්මානකරුවාට පෞද්ගලිකව අමතා එය හොඳ නිර්මානයක් බව කියන එකයි. ඒක හරිම ආරක්ෂිතයි. යාළුකමත් ආරක්ෂා වෙනවා. එහෙම නැතිව අවංකව රසය බෙදාහදාගන්න ගියොත් සිදු වන්නේ තමන් පොතක් පළ කළ වෙලාවක ඒකට රිටර්න් එක ලැබෙන එකයි. සාහිත්‍ය සමාජය සාමාන්‍යයෙන් අනෙකා ඝාතනය කරන්නේ නො දැක්කා සේ සිටීමෙනුයි. 

මට නම් හිතෙන්නේ ලංකාවේ දැනුම සම්බන්ධ දේශපාලනය තුළ සිදු විය යුතු දෙයක් තමයි කොළඹ පොත් පොළ වර්ජනය කිරීම. කොළඹ පොත් පොළ කියන්නේ සංස්කෘතියක්. මම ඉහත අසම්පූර්ණ ලෙස සටහන් කළේ ඒ සංස්කෘතියේ ලක්ෂණ කීපයක්. අවාසනාවට ලංකාවේ දැනුම සංස්කෘතිය මේ පොත් පොළට අහු වෙලා. 

මම කියන්නේ පොත් හෝ වෙනත් කලා කෘති බාගේන් සේල්වලින් අඩු මිළට මිළ දී ගන්න අපට අවශ්‍ය නැහැ කියලා පාඨකයන්, ග්‍රාහකයන් විදියට අපි දැඩිව කියන්න ඕනැ. ඒක කරන්න ඕනැ මේ පොත් පොළ වර්ජනය කරලායි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. මම මෙතෙක් කල් නොදුටු පැතිකඩක් මේ ලිපියෙන් දුටුවා. බොහොම හොද ලිපියක්

    ReplyDelete
  2. ඔබතුමා විසින් ලියන ලද විකාර ම ලිපිය මෙය විය යුතුයි!!
    ලේඛකයන් කිහිප දෙනෙකුට තම පොත් විකුණාගත නොහැකිවීම නිසා අනෙකුත් සියලු පාඨකයන්ට මේවැනි මහගු අවස්තාවක් මග හැරිය යුතුයි කීමම පිස්සුවක්!

    ReplyDelete
    Replies
    1. මා අදහස් කරන්නේ පොත් පොළ වටා ගොඩනැගී තිබෙන මෙම සාහිත්‍ය සංස්කෘතිය හෙළා දැකිය යුතු බවයි. මෙය මහඟු අවස්ථාවක් යයි ඔබ කියන්නේ ඇතැම් විට ඔබ මහඟු අවස්ථා දැක නැති නිසා විය හැකියි.

      Delete
  3. කොළඹ පොත් පොළ පටන් ගත් අවුරුද්දේ විතර වගේ මම තෝකියෝ පොත් පොළ දැක්කා. හැබැයි ඒක මේ වගේ ලෙල්ලමක් නෙමෙයි. එහි මූලික අවධානය යොමු වෙලා තිබුණේ කියවීම ප්‍රවර්ධනය කිරීමටයි. ඒ සඳහා විවිධ වැඩසටහන් රැසක් එහි තිබුණා. විශේෂයෙන් ම ළමයින්ට කියවීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් එහි තිබුණා. ඒවා කොළඹ පොත් පොළේ තිබෙන පැස්ටල් විකුණා ගැනීමේ වැඩසටහන්වලට වඩා හාත්පසින් ම වෙනස්. පොත් වගේ දෙයක් විකුණන එක කරවල වගේ දෙයක් විකුණනවාට වඩා වෙනස් විය යුතුයි.

    ReplyDelete
  4. මම නම් හිතන්නේ පොත් පොළ වර්ජනය කරන්න ඕන නෑ.. පැරා කියනවා වගේ ඕක බාගෙන් සේල් එකක් කියන මානසිකත්වය නැති කරන්න ඕන.

    එතකොට ඔය ප්‍රකාෂකයෝ ඔය මාසෙදි පොත් දෙන්නේ අතින් කයිට් කරගෙනද...? කවදාවත් එහෙම දෙයක් බිස්නස් කාරයෝ කරන්නේ නෑ නේ.. ඒ කියන්නේ අනික් මාස වලත් ඔය ඩිස්කවුන්ට් එක කස්ටර්මර්ට (පාඨකයෝවත් රසිකයෝ වත් නෙමෙයි.) දෙන්න පුළුවන්. ඇයි එහෙම නොදෙන්නේ.. එහෙම ඕන දවසක ඩිස්කවුන්ට් දෙන පොත් සාප්පු මරදානෙ නම් තියෙනවා කීපයක්ම.. ඇයි ඒ ගැන මිනිස්සු දැණුවත් නැත්තේ..

    පොත් ප්‍රදර්ශණේ නම් තනිකර කානිවල් එකක්.. ඇත්ත.. ඒත් පොත් කියන නාමයෙන් එහෙම එකක් තියෙන එකම උනත් හොඳ දෙයක්...

    ReplyDelete
  5. මම සම්පූර්ණයෙන් එකඟයි. මේ ගැන මම වෙනම ලිපියක් ලියන්න හිටියේ. දැන් ඉතින් මගේ අතිරේක අදහස් ටිකත් මෙතනම දාන්නන්.
    1. මම මේ පොත් පොළ ට ගිහින් එන ගමන් කල්පනා කලේ අපි කොහොමද මෙයට විකල්ප වුනු, කියවීම, සංවාදය, අධ්‍යාපනය මුල් කරගත් පොත් උළෙලක් සංවිධානය කරන්නේ කියලා. මට හිතෙන්නේ මේවා කරනවානං හොඳ වැඩ ‘වමට’ කරන්න.
    2. ප්‍රකාශ වෙච්ච පොත් බැලුවහම, මූලික වශයෙන් තියෙන්නේ එකාකාරිත්වයක්. බොහෝ විට තියෙන්නේ මේ වගේ පොත්:
    i) චරිත කතා (මගේ නිගමනය: පුද්ගලත්වය යනු ලෝකයේ පරම සත්‍යයයි. සාමූහිකව කරන වැඩ කියල දෙයක් නැහැ).
    ii) ජීවිතය ජය ගන්න උගන්නන පොත්, ඒ කියන්නේ self-guides (නිගමනය: ජීවිතයේ සාර්ථක/අසාර්ථක බව තිබෙන්නේ ඔබේ අතේ. සමාජ ක්‍රමය කිසිවකට වග කිව යුතු නොවේ).
    iii) ජනප්‍රිය නවකතා, ඒ කියන්නේ ‘හැරී පොටර්’ වගේ ඒවා (නිගමනය: සාහිත්‍ය කියන්නේ විනෝදාස්වාදයක් පමණයි).
    3. මම කැමැත්තෙන් බැලුවේ පාවිච්චි කරපු පොත්, ඒ කියන්නේ second hand පොත් කුටි විතරයි. අපි නොදන්නා, බලාපොරොත්තු නොවන අළුත් ලෝකයකට, අදහසකට, අත්දැකීමකට අපිව අරන් යන්න පුළුවන් පොත් ගැන බලාපොරොත්තුවක් හරි තිබුනේ එහෙම කුටි වල විතරයි. අනෙක් හැම තැනම තිබුනේ ‘ධනවාදය’විසින් නියාමනය කරන ලෝකයක හම්බ වෙන පොත් විතරයි.

    ReplyDelete
  6. මෙය වර්ජනයෙන් පළක් නෑ, අවැඩක් මිස.

    අප කළ යුත්තේ මෙයින් කුඩා හෝ ප්‍රයෝජනයක් ගැනීමයි.

    ෂෝ එකට හෝ ප්‍රදර්ශනය බලන්න යෑමෙන් යන හැමටම කුඩා හෝ ප්‍රයෝජනයක් වෙනවා. පැරා ගේ පන්තිවල ඉන්න පාසල් සිසුන් එක ඉංගිරිසි වචනයක් හෝ ඉගෙන ගන්නවා ඇතිනේ, අන්න ඒ වගේ!

    ReplyDelete
    Replies
    1. //පැරා ගේ පන්තිවල ඉන්න පාසල් සිසුන් එක ඉංගිරිසි වචනයක් හෝ ඉගෙන ගන්නවා ඇතිනේ, අන්න ඒ වගේ!//

      චියර්ස්

      Delete
  7. මමනං බොහෝ වෙලාවට පොත් ගන්නෙ 'second-hand book shops' වලින්, ලාබයි, ඒ වගේම දුර්ලභ පොත් තියෙනවා.

    ReplyDelete
  8. මාත් මේ වර්ජනය කරන්න මොනවා මොනවා හරි හේතු හොයා හොයා හිටියේ.. ස්තුතියි පැරා.. :)

    ReplyDelete
  9. /පොත් ලියන තරම්, පොත් පළ කරන තරම්, සම්මාන ලැබෙන තරම් ඇයි පොත් ගැන කතාවක් නැත්තේ? පොතකින්, කලා කෘතියකින් විඳ ගත් රසය ගැන ලිවීමක්, විචාරයක් සිදු වෙන්නේ නැත්තේ ඇයි?/

    සමාන ප්‍රශ්නය -

    හැමදාම උදේට හවසට බණ සහ පිරිත් ඇහෙන රටක ළමා අපචාර වැඩි වෙන්නෙ ඇයි?

    ReplyDelete
  10. ඇත්තටම පැරා අන්තවාදියෙක්..

    ReplyDelete
  11. සාහිත්‍ය රසාස්වාදනය කාබාසිනියා කරල තියෙන්නේ අධ්‍යාපන හා සාහිත්‍ය බලධාරින්. රස විඳින්න පුළුවන් සමාජයක් හදන්න ආණ්ඩුවකට බැරි වේවි. මොකද, එතකොට ම ආයෙත් මැදිහත් වෙන්නේ මේ සෙට් එකම නිසා. එලියෙන් යමක් හිතන්න වේවි ඒ ගැන.http://niyontetra.blogspot.com/

    ReplyDelete
  12. මමනම් පොත් කියවන රසිකයෙක්. පෑරාට පොත් ප්‍රදර්ෂණය අවුලක් උනාට ඒකට රසිකයෝ පලි නෑ. පොත් කියවන අපිට පොත් අවුරුද්දකට සෑරයක් එන පොත් ප්‍රදර්ෂණය ආශිර්වාදයක්. පෑරා වගේ කීප දෙනෙක්ට අවුල් උනාම පොත් ප්‍රදර්ෂණය වර්ජනය කරන්ඩ කියන්නේ රසිකයන්ටද, නෑත්නම් කතෲ වරුන්ටද, පොත් ප්‍රකාශකයන්ටද. කොහොමත් පෑරාගේ ආත්මාර්ත්කාමී කුහකත්වය එලි වෙනවා මෙතනින්.

    ReplyDelete
  13. මේක වර්ජනය කරමු කිව්වට ඔබත් එය වර්ජනය කරලා නැහැනේ. ඔබ ගිහින් තියෙනවා ඔබේ පොතේ පිටපත් ටිකක් විකිණීම සඳහා දාන්න. ඇයි ඒ? එතන මාකට් එකක් තියෙන නිසා. ඔබ මේ විවේචනය කරන ක්‍රමයෙන්ම වාසියක් ගන්න ඔබම උත්සාහ කරලා තියෙනවා නේද අන්තිමට බැලුවාම?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.