2015-09-05

අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නව ලිබරල් ද?

ලංකාවේ ඇත්තේ නව ලිබරල් ආර්ථිකයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිතර පවසනවා. ඒ පිළිබඳ පසුගිය දිනෙක පුබුදු ජයගොඩ සිය ෆේස්බුක් පුවරුවේ තබා තිබූ සටහනක නව ලිබරල්වාදය හා ලංකාවේ ආර්ථිකය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස සංක්ෂිප්තව දක්වනවා.

ඔහු පවසන්නේ මෙසේයි: “ධනවාදය(ඉංග්‍රීසියෙන් Capitalism) කියන්නේ එහි වචනාර්ථයෙන්ම හැඟෙන ආකාරයට ප්‍රාග්ධනය(Capital) වෙනුවෙන්, එය ලාභ ඉපයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සමාජයක්. එහිදී සිතන්නේ හැම දෙයක්ම තියෙන්නේ විකුණා සමාගම්වලට ලාභ ගන්න කියලා. නමුත් ධනවාදයේ මුල් යුගයේදී "ආර්ථික භාණ්ඩ" (විකිණිය හැකි සහ මිලදී ගත හැකි දේවල්) සහ "අනාර්ථික භාණ්ඩ" (විකිණිය නොහැකි සහ මිලදී ගත නොහැකි දේවල්) ලෙස වර්ග දෙකක් තිබුනා. උදාහරණයක් ලෙස ස්වභාවික පරිසරය, මානව සංස්කෘතිය, මිනිස් ශරීරය ආදී ක්ෂේත්‍ර ප්‍රාග්ධනයට ඇතුළු විය නොහැකි ක්ෂේත්‍ර ලෙස පැවතුනා. "නව ලිබරල් ධනවාදය" කියන්නේ එහි වචනාර්ථයෙන්ම හැඟෙන ආකාරයට ධනවාදයට "අලුත් නිදහසක්" ලබා දීමක්. එනම් මෙතෙක් "අනාර්ථික භාණ්ඩ" ලෙස, එනම් විකිණිය නොහැකි සහ මිලදී ගත නොහැකි දේවල් ලෙස සැලකුණු සෑම ක්ෂේත්‍රයක්ම ප්‍රාග්ධනයේ ලාභ අරමුණු වෙනුවෙන් වෙළඳ භාණ්ඩ බවට පත්කෙරෙන උපාය මාර්ගයක්. එතෙක් ඇතුළු නොවූ තැන් වලට යන්න ප්‍රාග්ධනයට නිදහස ලබා දීමක්. ලංකාව තුල මේ සඳහා උදාහරණ ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පනත (අධ්‍යාපනය වැනි සමාජ ආරක්ෂණ සේවාවන් වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහා), ජල කළමනාකරණ පනත (ජලය වැනි ස්වභාවික පරිසරය වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහා), රුධිර පාරවිලයන පනත (මිනිස් ශරීරය සහ එහි කොටස් වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහා), ප්‍රතිතෝලන පනත (බුද්ධිමය දේපල නාමයෙන් මානව චින්තනය සහ සංකල්ප පවා වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහා) වැනි නීතිමය උත්සාහයන් දෙස අවධානය යොමු කරන්න. ලංකාව තුල නවලිබරල් ධනවාදය විදේශීය ප්‍රාග්ධනයට දොරටු හරින ආයෝජන දිරිමත් කිරීම, සංචාරක කර්මාන්තයට ප්‍රමුඛතාව ලබා දීම වැනි ලක්ෂණ අත්පත් කර ගත්තා. මෙගා පොලිස් අධි නාගරිකය, විශේෂ ආයෝජන කලාප 48, පොකුරු ගම්මාන ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධ වෙන්නේ ඒ උපායමාර්ගය සමග.”

පෙසප ලංකාවේ ආර්ථිකය පිළිබඳ කරන මෙම විග්‍රහය සංවාදයට භාජනය කළ යුතුයි. එහි සඳහන් වන "ධනවාදයේ මුල් යුගයේදී ‘ආර්ථික භාණ්ඩ’ (විකිණිය හැකි සහ මිලදී ගත හැකි දේවල්) සහ ‘අනාර්ථික භාණ්ඩ’ (විකිණිය නොහැකි සහ මිලදී ගත නොහැකි දේවල්) ලෙස වර්ග දෙකක් තිබුනා," යන ප්‍රකාශය පවා ගැටලු සහගතයි. ධනවාදයේ මුල් යුගයේත් එහෙම එකක් තිබුණේ නැහැ. ධනවාදයේ අද දක්වා ම පවතින සාර්ථකත්වය අත් පත් කර ගන්න අධිරාජ්‍යවාදය ඔස්සේ ලබා ගත් තල්ලුව ඉවහල් වුණා. දියුණු ධනේශ්වර රටවල ආර්ථික පදනම අදත් පවතින්නේ අධිරාජ්‍යවාදයෙන් ලබා ගත් ගැම්ම මතයි. යටත් විජිත සූරාකෑම මතයි.

කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන ප්‍රකට කියමන නිසා ප්‍රසිද්ධියට පත් වී සිටින ධනේශ්වර චින්තකයකු වන ෆ්‍රැන්සිස් බේකන් විසින් කරන ලද ප්‍රකාශයක් මෙහිදී සිහිපත් වෙනවා. මධ්‍යතන යුගයේදී ස්ත්‍රී නායිකාවන් මායාකාරියන් ලෙස හඳුන්වා පල්ලිය විසින් දඩයම් කළ ආකාරය ආදර්ශයක් ලෙස දක්වමින් බේකන් පවසන්නේ සොබා දහම යනු යාන්ත්‍රික උපකරණ මගින් වධයට භාජනය කර එහි සැඟවුණු රහස් ගවේශනය කළ යුතු ස්ත්‍රියක බවයි. ධනවාදය මේ දේ නම් අකුරට ම කළේ ය. ධනවාදය සිය මුල් අවධියේදී වහල් වෙළඳාමෙන් පවා ශක්තිය ලබා ගත්තේ ය. ඒ නිසා මිනිස් ශරීරය ප්‍රාග්ධනයට ඇතුළු විය නො හැකි ක්ෂේත්‍රයක් ලෙස ධනවාදයේ මුල් යුගයේදී පවා පැවතුණේ නැත. ධනවාදය මුල් යුගයේ පටන් ම පදනම් වුණේ ලාභය හා ප්‍රාග්ධන සමුච්චකරණය මතයි. එහිදී කිසිදු ක්ෂේත්‍රයක් ලාභයෙන් නිදහස් වුණේ නැහැ. 


ධනවාදය ඓන්ද්‍රියව ලිබරල්වාදීයි. එය පදනම් වන්නේ නිදහස් වෙළඳපොළ, නිදහස් ප්‍රාග්ධනය හා නිදහස් ශ්‍රමය මතයි. රජය ආර්ථික කටයුතුවලට මැදිහත් නොවී පෞද්ගලික අංශයට නිර්බාධී ලෙස නිෂ්පාදනය භාර දිය යුතු බව අවධාරණය කරන ලිබරල්වාදී ආර්ථික අදහස් ප්‍රවර්ධනය කළ ඇඩම් ස්මිත්ගේ THE WEALTH OF NATIONS නම් පොත පළ වුණේ 1776 තරම් ඈත වකවානුවකයි. එහෙත්, ජාතිකවාදය නිසා මේ නිදහස යම් දුරකට සීමා වෙනවා. වර්තමානයේදී පවා ප්‍රාග්ධනය ගෝලීයව සංචලනය වුණත්, ශ්‍රම සංවිධානය සිදු වන්නේ ජාතික රාජ්‍ය පදනමින්. අපේ සල්ලිකාරයන්ට දියුණු ධනේශ්වර රටකට ප්‍රාග්ධනය අරගෙන ගිහින් එහි ව්‍යාපාරයක් ආරම්භ කරන්නට තිබෙන නිදහස ශ්‍රමිකයන්ට නැහැ. ශ්‍රමිකයන්ට එහි යන්න සිදු වී තිබෙන්නේ බෝට්ටුවලින් හොරෙන්.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය වැනි දේ අයත් වන සුබසාධන ව්‍යුහයන් ධනවාදය විසින් විෂමතා තුලනය කර ගැනීම සඳහා පසුකාලීනව ඇති කර ගන්නා ලද ක්‍රම මිස ධනවාදයේ මුල් යුගයේ හෝ ධනවාදයට පෙර හෝ තිබුණු දේ නොවෙයි. ඒවා අවශ්‍ය වුණේ ධනවාදයේ කඩාවැටීම වළක්වා ගන්නටයි. ධනවාදය විසින් සමාජය තුළ ඇති කරන විෂමතාවන් හේතුවෙන් පහළ පංති අතර ඇති වන දිළිඳුකම, අපේක්ෂා භංගත්වය හා මන්දෝත්සාහීභාවය පෙරළා ශ්‍රම ඵලදායිතාව ඔස්සේ ධනවාදයට බලපාන නිසා ධනවාදයට යම් තුලනයක් අවශ්‍යයි. ධනවාදයත්, සුබසාධනවාදයත් අතර සම්මිශ්‍රණය ඇති වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. සරළව කිව්වොත්, අත්‍යවශ්‍ය සේවාවන් මිළ දී ගත නො හැකි ජනතාවට ඒවා නොමිළේ හෝ අඩු මිළට ලබා ගත හැකි තත්වයක් නිර්මානය කිරීම තමයි එහි අරමුණ.

1930 දශකයේදී ඇති වූ ආර්ථික අවපාතයත් සමග ජෝන් කීන්ස් ප්‍රමුඛ ආර්ථික ගුරුකුලය විසින් ඉදිරිපත් කරන ලද දැක්ම දියුණු ධනේශ්වර රටවලට බලපානවා. ධනවාදයේ වර්ධනයට පූර්ණ රැකියා නියුක්තිය අවශ්‍ය බැවින් රජය මැදිහත් වී ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සම්පාදනය කළ යුතු බව එහි මූලික අදහසක්. මේ වකවානුව වන විට රුසියාව පෙරටු කර ගත් සමාජවාදී කඳවුර සමග සීතල යුද්ධය ආරම්භ වී තිබුණු බවත් අමතක නො කළ යුතුයි.

සුබසාධනවාදය සමාජවාදයේ බලපෑමෙන් නිර්මානය වූ තත්වයක්. සමාජවාදී කඳවුර ඇත්තෙන් ම කළේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් පවත්වාගෙන යාමයි. ස්ටාලින්ගෙන් පසු එය දැඩි ලෙස ජාතිකවාදී ද වුණා. එහිදී සිදු වුණේ ලාභය රජය විසින් අත්පත් කරගෙන එය ජනතාව අතර සමානව බෙදී යන ක්‍රමයක් සම්පාදනය කරන්නට උත්සාහ කිරීමයි. මේ ඊනියා සමාජවාදය අසාර්ථක වෙන්න මූලික හේතුව වුණේ ධනවාදයේ මූලධර්ම මත පදනම්ව සමාජවාදය හදන්නට ගිය නිසා විය හැකියි. එහෙත් එය වෙන ම කාරණයක්.

පසුගිය සහශ්‍රකයේ අග්ගිස්සේදී නව ලිබරල්වාදය යන සංකල්පය පැන නගින්නේ නැවත වතාවක් ලාභ රේට්ටු පහළ යාමට පටන් ගැනීමත් සමගයි. එය එක්තරා ආකාරයකට පූර්ව කීනිසියානු ආර්ථික ක්‍රමයට ආපසු ගමන් කිරීමක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. පෞද්ගලික අංශයට මුල් තැන දෙන පූර්ණ නිර්බාධී ආර්ථිකය, වෙළඳපොළ පාලනයට සමාජය නතු කිරීම, ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමෙන් පහළ පංතිවල සංවර්ධනයක් අපේක්ෂා කිරීම මෙන්ම ගෝලීයකරණයත් එහි මූලික ලක්ෂණයි. රජයේ ආර්ථික නියාමනයන් අවම කිරීම, පුළුල්ව විහිදුණු පෞද්ගලීකරණය, සමාජ සුබසාධන සේවා හා සහනාධාර කප්පාදුවත් එයට ඇතුළත් වුණා. සිරගෙවල් පවා පෞද්ගලීකරණය කරන්නට යෝජනා වුණා. 2002 සිට 2004 දක්වා පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ වැඩසටහන සමග පූර්ණව අනුගත වූ එකකි. ලොව පුරා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය හා ආසියානු සංවර්ධන බැංකුව වැනි කලාපීය සංවිධාන මුල් වී කටයුතු කළා.

මෙය එක්තරා ආකාරයක ප්‍රහාරයක ස්වරූපයෙන් තමයි දියත් වුණේ. ඒ නිසා ම එයට දැවැන්ත විරෝධයක් ලොව පුරා ම එල්ල වුණා. සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක් නොවෙයි, දියුණු ධනේශ්වර රටවල මහජන ව්‍යාපාර පවා දැවැන්ත විරෝධයක් දැක්වූවා. කොටින් ම දියුණු සංවර්ධිත රටවල් අටකින් සැදුම් ලැබූ ජී-8 කණ්ඩායමේ රාජ්‍ය නායක රැස්වීම් පවත්වන්න සිදු වුණේ දැඩි මුරකාවල් මැදයි. විරෝධය ඒ තරම් ම ප්‍රබල වුණා. අවසානයේදී මේ ප්‍රහාරය පසුබස්වන්නට පීඩිතයන්ට පුළුවන් වුණා. ලංකාවේ නම් එය සිදු වුණේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පෙරළා දමා ජාතිකවාදී මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම තුළින්. (එදා පුබුදු ජයගොඩලා නියෝජනය කළේ මහින්ද රාජපක්ෂ බලයට පත් කළ ජාතිකවාදී කඳවුරයි. එදා අපි මහින්දට සහයෝගය නො දුන්නේ ඔහුගේ ජාතිවාදී ප්‍රතිපත්තිය නිසායි. රනිල්ට සහයෝගය නො දුන්නේ ඔහුගේ නව ලිබරල් ප්‍රතිපත්තිය නිසායි.) 

මහින්ද රාජපක්ෂගේ නව වසක පමණ පාලන කාලය තුළ ඔහු ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති පදනම් වුණේ නව ලිබරල්වාදී ස්ථාවරයන්ගේ ප්‍රතිපක්ෂය මතයි. ඔහු පෞද්ගලීකරණය කර තිබුණු ව්‍යවසාය නැවත රජයට පවරා ගත්තා. විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ණය ගනිමින් දැවැන්ත රාජ්‍ය ව්‍යවසාය අලුතින් ගොඩනැගුවා. රජයේ සේවය පුළුල් කළා. පොහොර සහනාධාර වැනි දැවැන්ත අලුත් සමාජ සුබසාධන සේවා හඳුන්වා දුන්නා. රජය දැවැන්ත සමාගමක් බවට පත් කළා. ඔහුගේ ආර්ථික ක්‍රමය බොහෝ දුරට සමාන වුණේ පැරණි සමාජවාදී කඳවුරේ ආර්ථික ක්‍රමයටයි. ඒ රටවල බිහි වූ නිලධාරි පැළැන්තිය වැනි ම වූ අලුත් ධනේශ්වර පැළැන්තියක් ද ලංකාවේ පැන නැගුණා. දැන් රිමාන්ඩ් භාරයේ සිටින සජින් වාස් ගුණවර්ධන මේ සඳහා කදිම උදාහරණයක්. මේ පැළැන්තිය බිහි වන්නේ ම රජයේ ව්‍යාපාර සමග එක්ව කටයුතු කිරීමෙන්. ඒවායේ වෘත්තිකයන් ලෙස ලබන ඉහළ වැටුප්, රාජ්‍ය කොන්ත්‍රාත්තු, සැපයුම් ආදිය තමයි ඔවුන්ගේ ක්ෂණික ආර්ථික වර්ධනයේ පදනම.

මහින්ද රාජපක්ෂ පරාජය වීමත්, 1980 දශකයේ අගභාගයේදී රුසියාවේ සමාජවාදී පාලනය කඩා වැටීමට යම් දුරකට සමානයි. මහින්දට කල් තබා ජනාධිපතිවරණයකට යන්නට සිදු වන්නේ ම 2015න්, 2016න් පසු අපේක්ෂා කරන බරපතල ආර්ථික අර්බුදය නිසායි. ලංකාවේ අද වන විට පවතින ආර්ථිකය තේරුම් ගැනීම එතරම් දුෂ්කර නැහැ. රාජ්‍ය වියදම් අධිකයි. ආදායම් ඉතා අඩුයි. ඒ නිසා අයවැය පරතරය අති විශාලයි. එය පියවා ගන්නේ පොළියට ගන්නා මුදලින්. මේ වන විට ණය වාරික හා පොළිය ලෙස ගෙවිය යුතු මුදල රාජ්‍ය ආදායමටත් වඩා වැඩියි. ණය ගෙවන්නට සිදු වන්නේ තව තවත් ණය ගැනීමෙන්. මෙහෙම ආර්ථිකයක් පවත්වාගෙන යන්නට බැරි බව ඉතා පැහැදිලියි. ඒ නිසා අනිවාර්යයෙන් ම අතිශය වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්නට වෙනවා. ජවිපෙ හෝ පෙසප අතට ආණ්ඩුව ගත්තත් එය එහෙමමයි.

ජනතාව මේ ඇත්ත තේරුම් ගත යුතුයි. දේශපාලන පක්ෂ මේ ඇත්ත ජනතාවට තේරුම් කර දිය යුතුයි. අපි කැමති වුණත්, අකැමැති වුණත්, සමාජවාදී විප්ලවය පවතින්නේ සුන්දර සිහිනයක මට්ටමේ ය කියන එක තමයි ඇත්ත. පුබුදු ජයගොඩ විසින් මතු කරන ලද සංවාදයට දායක වෙමින් ආචාර්ය සුමනසිරි ලියනගේ බොහොම මෘදු භාෂාවකින් මෙසේ පවසනවා. “අපේ වගේ කුඩා රටකට ධනේශ්වර සතුරු සාගරයක් මැද සමාජවාදය කරා යන පරිවර්තනය කරන එක දුෂ්කරයි. ග්‍රීසියේ සිරිසා අත්දැකීම් මගින් මෙය හොඳින් පෙන්නුම් කළා.”

දැන් අප ඉදිරියේ දැවැන්ත ආර්ථික අර්බුදයක පෙරනිමිති හා අලුතින් පත් වූ ආණ්ඩුවක් තිබෙනවා. පුබුදු ජයගොඩ මතු කර දක්වන නව ලිබරල් ආර්ථිකවැඩසටහනත් අප ඉදිරියේ තිබෙනවා. ඒත්, එය මේ වන විට ලොව පුරා ම අඩු ජවයකින් දියත් වන එකක්. සහස්‍රකයේ මුල් අවුරුදුවලදී ජාත්‍යන්තර ගැම්මකින්, දැඩි ජවයකින් අප වෙත තල්ලු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ අපි ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒවායේ ප්‍රතිපක්ෂය ක්‍රියාත්මක කළා. අවසාන ප්‍රතිඵලය දරුණු විනාශයක්. දැන් අපි එදා ප්‍රතික්ෂේප කළ ප්‍රතිසංස්කරණ නැවත කැමැත්තෙන් ම භාර ගන්නට සිදු වන තැනකට තල්ලු වෙලා. ආර්ථිකය ලිබරල් කරන්නට සිදු වෙලා. හැබැයි, අපි නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැළඳගන්නට අවශ්‍ය නැහැ.

පුබුදු ජයගොඩ පෙසප ‘වමේ පියවර’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය මෙසේ දක්වනවා. “අපේ යෝජනාව,
1. සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදී යන ආර්ථිකයක්
2. තීන්දු තීරණ ගැනීමට වැඩකරන ජනතාව සම්බන්ධ වන ජන-සහභාගී ආර්ථිකයක්
3. ලාභය වෙනුවට සමාජය මුලික කොට ගත් සමාජ-පාදක ආර්ථිකයක්
4. ලාභය සඳහා වන තරඟය විසින් ඇතිවන අරාජිකත්වය වෙනුවට සැලසුම් සහගත ආර්ථිකයක්
5. මුල්‍ය ක්‍රීඩාවලට ලඝුවුන වත්මන් ආර්ථිකය වෙනුවට සැබෑ වටිනාකම් උත්පාදනයට ප්‍රමුඛතාව දෙන ආර්ථිකයක්"

මේ ප්‍රතිපත්තිත් එක්ක අලුත් ආණ්ඩුවට ගැටුමක් තිබේ ය කියා ඔබ හිතනවා ද?

අප උත්සාහ කරන්නේ ද මේ අරමුණු දිශාවට ආණ්ඩුව තල්ලු කරන්නයි. එහෙත්, අපගේ ප්‍රවේශයන් එකිනෙකට වෙනස් ය. 

(මෙම ලිපියේ සුළු වශයෙන් සංස්කරණය කරන ලද පිටපතක් රාවය පුවත්පතේ ද පළ විය. මුද්‍රිත ලිපිය කෙටි කිරීම සඳහා එම සංස්කරණ සිදු කරනු ලැබුවේ අප විසිනි.)  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

17 comments:

  1. ලෝකයේ සාර්තකම ආර්තික ක්‍රමය සුභසාධක ධනවාදයයි.. එනම් පෞද්ගලික විව්‍යසායකයාවට උපරිම නිදහස හා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ගමන් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය සේවා ඒවා මිලදීගත නොහැකි සමාජයේ පහලම ස්තරාවල ජනතාවට රජය මගින් හොද ගුනාත්මකභාවයකින් ලබාදීම...

    හැබැයි ඒ සේවා ලබන පුද්ගලයෙක් ආර්තික අතින් ඉහල නැගුනු පසු රජය ඔහු වෙනුවෙන් වියදම් කල (බදු ) මුදල් ඔහුගෙන් ආපසු රජයට අයකර ගැනීමේ ක්‍රාමයක් තිබිය යුතුයි.. මොකද තවම අපේ රට විශාල ධන අතිරික්තයක් ඇති රටක් (ස්කැන්ඩිනේව්යන් රටවල් හෝ තෙල් සම්පතින් පිරුනු මැදපෙරදිග රටවල් මෙන්) නොවන නිසා හා රටේ බදුබරින් වැඩිකොටසක් කරගසන්නේ විව්‍යසායකයින් නිසා.

    යුරෝපීය පන්නයේ පූර්න නිදහස් තෘතීය අද්‍යාපනය හා නිදහස් සෞඛ්‍යට වඩා ඇමරිකානු ක්‍රමයේ විෂ්වවිද්‍යාල ශිෂ්‍ය ණය ක්‍රම හා රජයෙන් සෞක්‍ය රක්ෂණ ලබාදීම ලංකාවට වඩා සුදුසුයි...

    ReplyDelete
  2. පැරා උඹට අදත් පිස්සු පෙත්ත ගන්න අමතක උනාද? යකෝ ඕක මතක් කරල අරගනින්. උඹ කිවුව කියල ආන්ඩුව සමාජවාදෙට යයිද බන්. උඹට කොල පාට ගාගෙන ලෙබරල් ධනවාදයට යන්න තමයි වෙන්නේ.

    ReplyDelete
  3. පැරා, උඹ ඇත්තට ම වමේ ව්‍යාපාරයේ හිටිය ද බං? නව්‍ය ලිබරල් ධනවාදය, ලිබරල් ධනවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වගේ ප්‍රපංචයන්ගේ (කාන්ටියානු අර්ථයෙන් නො වේ) ලක්ෂණ මීමංසාවන් පැහැදිලි ව සූත්‍රගත කරගන්න පුබුදු ජාගොඩ සහෝදරයා වගේ පූස් පැටියෙකු අසමත් වීම ක්ෂමාලාපීය යි. ඒත් උඹ වගේ ස්වයංප්‍රකාශිත විශ්‍රාමික විප්ලවවාදියෙකුට (වඩා නිවැරදි වචනව කැරලිකාරයෙකුට) නව්‍ය ලිබරල්වාදය සංඥාපනය කරගන්න බැරි වීම විසින් බල කෙරෙන්නේ උඹ ගැන, උඹේ පොර ටෝක් ගැන ප්‍රතිපාඨනයක් කළ යුතු බව යි. නව්‍ය නාම විශේෂෙණය මඟින් වෙසෙසා කිව්වත් සංකල්පීය ව පමණක් නො වෙ යි භාවිතාව තුළ වුණත් ඒක යල් පැන්න එකක්; උඹ වගේ ම කුජීත වෙච්ච එකක්. එංගලන්තයේ නම් ඒක මාග්‍රට් තැචර් කාලේ සෑහෙන්න උත්කර්ෂණය වුණා. තැචර් නෝනා ඉස්කෝල (උඹ ආසා නිස යි ඉ කාරයක් ඈඳුවේ හොඳේ) ළමයින්ගේ ආණ්ඩුවෙන් දුන්න කිරි ටික කපලා දැම්මේ ඔන්න ඔය නව්‍ය ලිබරල් වහන්තරාවට මුවා වෙලා තමා. ජර්මානු සන්දර්භය වැඩිපුර ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකක්. උඹේ වර්තමාන දේශපාලන ගුරා වගේ ම නායකයත් වන රනිල් වික්‍රමසිංහ අයිති වෙන්නේ නව්‍ය ලිබරල්වාදී ශෝනරයට වඩා ලිබරල්වාදී ශෝනරයට. රනිල් හදන්නේ ධනවාදය අස්සෙන් ම කොහොම හරී ප්‍රගතිශීලී භාවිතාවක් ගෙනෙන්න. රනිල් ජාතික ප්‍රශ්නය ගැන එයාගේ ධාරාවේ අනිත් ඩයල්වලට වඩා ප්‍රගතිශීලීබවක් පෙන්නනවා. අනුර කුමාර් තොත්ත බබා සහෝදරයට වඩා එයා ගොඩක් ප්‍රගතිශීලී කෙනෙක් ඒ සන්දර්භයේ දී. වර්ගවාදී ලාංකීය සමාජ-දේශපාලනය තුළ ඒ වගේ උඩුගං පීනීමක් කරන්න පුළුවන් වේවි කියලා මට විශ්වාසයක් නැහැ. උඹලා වගේ ගොබ්බ ලාබ නාමමාත්‍ර වාමාංශික නට් කේස් ළං කරන් ඒ උත්සාහයට පොඩි සුජාතභාවයක් දෙන්න රනිල් ට්‍රයි එකක් දෙනවා. අවුල තමා උඹලා අර රජ්ජුරුවන් බලා ගන්න දැම්ම වඳුරා මැස්සාට කොටන්න ගිහින් රජ්ජුරුවන්ට ම කෙටුවා වගේ උඹත් කෙළින්නේ ඕෆ් ටාර්ගට්. උඹට ඇඩම්ස් ස්මිත් දෙණින් ප්‍රත්‍යුට්ඨාන කරලා "ඉන් ඩිෆෙන්ස් ඕෆ් වික්‍රමසිංහ" නියන ඇන්ටි(anti)මාර්ක්සිසම් ඉෂ්ඨාව යථාකරණය කරව ගන්න බැහැ පැරා. අපි උඹ ඔය කරන ඇඳුම් නැති ව ධනවාදයට කඩේ යන එකට විරුද්ධ යි එදත් අදත් හෙටත්. අර උඹට පිටකෝටෙන් ලැබුණ ඇකමතය දිගහැරන් දවසට ලිපි 3ක් 4ක් ලිය ලිය කුටුම්බ පෝෂණයට උඹ දෙන වෑයම ගැන අපිට කැක්කුමක් තියෙනවා. මොකද උඹ ඒ කාලේ (අර උඹ ම කියන 1989 මැයි මාසයෙන් පස්සේ කාලේ) ටික කාලයක් හරි උපන් ගෙයි මෝඝත්වය යටපත් කරන් සත්‍ය මාර්ගයේ හිටපු නිසා. ඇල්ටො කටු නො තිබ්බට, ඇකමත නො තිබ්බට උඹට ඒ කාලේ නො මැරුණු ආත්මයක් හරි තිබ්බා. දැන් ඒ ආත්මය මැරිලා පැරා. ආත්මය මැරුණු උඹ දැන් නො මළත් මළවුන් වැනි යි.

    උඹගේ න්‍යායාත්මක අවබෝධය අන්ති ම අජූව යි බං. ඈ බං, ලංකාව වගේ ධනවාදයේ පරිධියේ තියෙන රටක සමාජවාදය යථාවක් කරගන්න තරම් ධනවාදී නිෂ්පාදන සබඳතා වර්ධිත නැහැ (?තව ම) කියන න්‍යාය ව්‍යුත්පන්නය සාධනය කරන්න උඹ අර විප්ලවයෙන් පැනලා ගිය උඹටත් වඩා කුජීත වුණ සුමනේ කැඳෙව්වේ රෙදි ඇඳන් ද? ඒ චීරකාලීන විශ්ව සම්භාවිත සාරප්‍රකාශනයේ කර්තෘත්වය සුමනේට පවරන්න උඹ මාක්ස්වාදයේ ආදීකර්තෘ ද? අනේ නිකං හිටහං බං පැරා අපේ කටවල් අවුස්ස ගන්නේ නැතු ව.

    උඹට දැන් වමේ අවකාශයක් නැහැ. ඒක නිසා දැන් ඉතිං දිගට ම කඩේ පල ධනපතියන්ට. අඩු ම ගානේ ජාත්ක ප්‍රශ්නයටවත් යමක් කරන තැනට උඹේ මහ ලොකු නායකතුමා අරං පල. උඹ අද ජාතිවාදයට විරුද්ධ ව පොර ටෝක් දුන්නට උඹ ඒක වෙනුවෙන් සද්භාවයෙන් කරන්නෙ නැහැ. ඒක යි අපිට උඹ (වඩා නිවැදි ව කිව්වොත් උඹට අප) දශක ගානකට කලියෙන් ම මඟ හැරෙන්නේ. තොට ජාතික ප්‍රශ්නය ගැන ක්‍රියාකාරී වීම දෙමළට කඩේ යාමක් විදියට පෙනුනේ ඒක යි ඒ කාලේ. පැරා, කුජීත භ්‍රෂ්ටයෙක් බං උඹ.

    අපිට මෙහෙ ගොඩක් වැඩ තියෙනවා දේශපාලන භාවිතාවයේ දී. අපේ ගේම තියෙන්නේ උඹාලා වගේ හාල් මැස්සෝ එක්ක නෙවේ තෝරු මොරු එක්ක. ඒත් මේ උඹ අපේ පුක කසන්න හදනවා කියල ආරංචි වුණ නිස යි මේ ටික හරි කිව්වේ උදේ පාන්දර නැගිටං. අපි ඉදිරියේ දී උඹ ගැන සාමූහික කියවීමක් කරනවා. ටිකට් එකක් එවන්නම් කැමති නම් උඹත් වරෙන් උඹේ ම අතීත කතාව දැන අහගන්න. දැන්වත් පොර ටෝක් දෙන රක නවත්තපං පැරා.


    ReplyDelete
    Replies
    1. උඹ අපේ පුක කසන්න නො වෙ යි පැරා පුක කොනිත්තන්න කියලා හදා ගනින්. ටයිපෝ එකක්.කලබලේ ලිව්වේ බොන්වලට පිටත්වෙන්න හදිස්සියේ. නො ලියා ඉන්න බෑ උඹේ පඬි වදන් දැක්ක ම බං!

      Delete
    2. උඹගේ ඔය ලොකු වචන ඇතුළේ මම කියපු දේ ම නැවත කියනවා ඇරෙන්න වෙන මොනවද තියෙන්නේ?

      අපි ලියන්නේ පිටකෝට්ටෙන් ලැබෙන සල්ලිවලට ය වගේ ගොන් කතා කියන්න එපා. උඹල හිතන් ඉන්න තරම් හරයක් යූඇන්පියේ නැහැ. ඒකත් උඹලා වගේ බඩගිනිකාර හිපාටුවන්ගේ අම්බලමක් වෙලා. උඹ ඔය කියන එකවත් කරන්න තරම් උන්ට අවබෝධයක් නැහැ.

      අපි යූඇන්පියට කඩේ යනවා ය කියා උඹලා හිතන් හිටියාට අපි ඉන්නෙ ඒකට වඩා ගව් ගානක් ඉදිරියෙන්. මේ මොහොතේ යම් දේශපාලන වැදගත්කමක් තිබෙන එක ම දේශපාලන ව්‍යාපාරය එය නිසායි අපි ඒක එක්ක වැඩ කරන්නේ. ඒක ස්ථිර ගිවිසුමක් නෙමෙයි.

      උඹ දන්න බොන්? බොන් කියවන්නේ බොගවන්තලාවට කෙටි නම ද? උඹ හදන්නේ මේ මාව වෙන කට්ටියක් එක්ක පටලන්න. උන් මැරිලා ඉවරයි. මට උන් එක්ක ගේමක් නැහැ.

      Delete
    3. /අපි යූඇන්පියට කඩේ යනවා ය කියා උඹලා හිතන් හිටියාට අපි ඉන්නෙ ඒකට වඩා ගව් ගානක් ඉදිරියෙන්/

      මේවා අලින්ගෙයි අපෙයි වැඩ!
      - හීන්සැරය -කුමාරතුංග මුනිදාස

      Delete
  4. අනිවාර්යයෙන් ම අතිශය වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්නට වෙනවා.//
    ඇත්ත. ජනතාවට සිද්ධවෙනව අඩුම්ම තරමින් අවුරුදු දෙකක් වත් දුක් විදින්න. දැන් ජාතික ආණ්ඩුවක් තිබෙන නිසා එහි දේශපාලන අවාසිය එජාප ශ්‍රීලනිප දෙගොල්ලන්ටම බෙදෙන නිසා රජයට පුලුවන් දැඩි තීරණ ගන්න.
    මෙහිදී සමෘද්ධි සහනාධාරය කපා හැරීම ගැන සළකා බැලිය යුතුයි. සමෘද්ධිය ගන්න අයගෙන් වැඩි පිරිසක් සමෘද්ධිය ලැබිය යුතු අය නොවෙයි.
    ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු අය ප්‍රවේසමෙන් තෝරාගෙන ඒ අයගෙ පවුල් වල සාමාජිකයන්ට වෘත්තීය පුහුණුව වැනි දෙයක් දෙන්න ඕන.
    මොකවත්ම කරකියාගන්න බැරි අයට යම් පිංපඩියක් වගෙ දුන්නම ඇති.

    පොහොර සහනාධාරයත් නාස්තියක්. ඒක ඉවත් කරන්න ඕන.ගොවීන් ගත්තහම ඒ අය ගොවිතැන කරන්නෙ පාට් ටයිම් ජොබ් එකක් ලෙස. ගොවිතැන ඉතාම පාඩු ලබන එකක්. ලංකාවෙ වී ගොවිතැනකරන ක්‍රමයත් ඒකට බලපානවා.කුඹුරුයායවල් ලොකු සමාගමකට දීල කුඹුරු හිමියන්ට යම් ලාභයක් ලැබෙන ක්‍රමයක් හදන්න ඕන. වතුර හරවන්න ගිහින් අපේ ගම්වල මිනිස්සු මරාගන්න විදිය අපි දන්නවනෙ.

    ඉතා අඩුමිලට හාල් මියන්මාරයෙන් හෝ වියට්නාමයෙන් ගෙන්වන්න පුළුවන් නිසා කළ යුත්තේ කුඹුරු ගොවිතැන අධෛර්ය කිරීමයි.ඒකනම් ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද මන්ද.

    ReplyDelete
  5. මේක කියන මම ලොකු කුඹුරු හිමියෙක්. ඒ වගේම තව දෙයක් තියනවා. රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩි කිරීම සහ ඉන්ධන මිළ අඩුකිරීමත් මහා පාඩුවක්. භාන්ඩාගාරයට මරු පහරක්. මම රජයේ සේවකයෙක් ලෙස මෙම පඩි වැඩි කිරීමට විරුද්ධයි.යළි අයවැය වලින් පඩි වැඩි නොකළ යුතුයි. එසේම වැඩි කළ පඩිය මූලික වැටුපට එකතු කිරීමෙන් ඕ ටී වගෙ දේවල් වලට විශාල වැයබරක් දරන්න රජයට සිදුවෙනවා.
    රජයේ රැකියාවලට බදවාගැනීම් කලකට අති හිටෙව්වාට කමක් නෑ.
    කළ යුත්තී ආර්ථිකයේ පතුලේම සිටින ජනයාට යම් අත දීමක් කිරීම පමණයි.
    දැන් රජය ස්ථාවර නිසාත් ජාතික ආණ්ඩුවක් තිබෙන නිසාත් ජනතාවට පටි තද කරගැනීමට කියන එකේ අවුලක් නෑ කියල මට හිතෙන්නෙ.
    ජනතාවත් මේ තත්වය තේරුම් ගෙන අල්පේච්ඡ ජීවන රටාවකට හුරු විය යුතුයි.

    ReplyDelete
  6. සෑහෙන්න සංකීර්ණයි. වර්තමාන ලෝක අාර්ථිකයම අවුල්. ග්‍රීසියයි චීනෙයි දෙකම කඩන් වැටෙනව.... (චීනෙට නම් CIA සලකනව වගේ) ... ඇමරිකන්? හ්ම්....කියුබා?

    ReplyDelete
    Replies
    1. ග්‍රීසියෙන් හෝ චීනෙන් ලෝක ආර්තිකය මනින්න බෑ... රටවල් 2 කඩන්වැටෙන්නෙ වෙනස් හේතු 2 නිසා...

      ග්‍රීසියේ වුනේ තම සුභසාධක ආර්තිකය රැකගන්න(ග්‍රීසිය කියන්නේ තම පුරවැසියන්ට 100% නොමිලේ අද්‍යාපනය, නොමිලේ සෞක්‍ය දෙන හා ලගක් වෙනකම් රැකියාවක් නැති සෑම පුරවැසියෙකුටම මාසෙකට යුරෝ 2000 පින් පඩියකුත් ගෙවූ රටක්) නොසැලකිලිමත් විදිහට යුරෝපා සංගමයෙන් කාලයක් තිස්සේ ණය ගැනීම හා 2007 ලෝක ආර්තික අර්බුදයෙන් පස්සේ නැව් කර්මාන්තය වැනි තම ප්‍රධාන ආදායම් මාර්ග අඩුවීමෙන් ඇදවැටෙන ග්‍රීසියට ඒ ණය ගෙවාගන්න බැරිවීම..

      චීනයේ ඇත්තටම වෙන්නේ ආර්තික කඩාවැටීමකට (economic crisis) වඩා slowdown එකක්... අවුරුදු ගනනක් බටහිර ආයෝජකයින් නිසා අධිවේගයෙන් දුවපු චීන ආර්තිකේ දැන් බටහිර ආයෝජකයින් වියට්නාමය, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි වෙනත් ආසියානු රටවලටත් අප්‍රිකාවටත් යෑම නිසාත් චීනයේ අපනයන ආදායම ඉස්සර තරම් සීග්‍රයෙන් වර්ධනය නොවීම හා චීනයේ ඇති අධික ආදායම් විෂමතා නිසා ඊට සරිලන දේශීය පරිභෝජනයක් සිදු නොවීම ඊට හේතුවයි..

      Delete
    2. ස්තූතියි ඇනෝ...මට සෑහෙන්න වටිනව ඒ තොරතුරු ටික. පුළුවන්ද ග්‍රිසියෙ ආර්ථිකය ගැනයි චීන ආර්ථිකය ගැනයි වර්තමාන තත්ත්වය ගැන ලියවුණු දේවල්වලට ලින්කුවක් දෙන්න??

      Delete
    3. http://www.nytimes.com/interactive/2015/business/international/greece-debt-crisis-euro.html?_r=0

      Delete
    4. Thanks nipuna..... have to find about china toooo

      Delete
  7. සෑහෙන්න සංකීර්ණයි. වර්තමාන ලෝක අාර්ථිකයම අවුල්. ග්‍රීසියයි චීනෙයි දෙකම කඩන් වැටෙනව.... (චීනෙට නම් CIA සලකනව වගේ) ... ඇමරිකන්? හ්ම්....කියුබා?

    ReplyDelete
  8. //රජය දැවැන්ත සමාගමක් බවට පත් කළා. ඔහුගේ ආර්ථික ක්‍රමය බොහෝ දුරට සමාන වුණේ පැරණි සමාජවාදී කඳවුරේ ආර්ථික ක්‍රමයටයි. //
    බොරු කියන්න එපා. මහින්දට සමාජවාදී චින්තනයක් තිබුනේ නැහැ. තිබුනේ ජාතික ධනවාදය. ජාතිකත්වය මිනිස්සුන්ගේ ඔලු වලට දාල, ඇස වහල සීමිත කොටසක් රටේ සම්පත් කොල්ල කෑවා. ඔය දල තියෙන සජින් වාස්ගේ කතාවෙනුත් කියන්නේ එක. හිට්ලෙර්ගේ තිබ්බේ ජාතික සමාජවාදය. ජාතිකත්වය මාර්කට් කරමින් බලය අරන්, රටේ පොඩිම මිනිස්සුන්ව දක්වාම එක වගේ පහසුකම් බෙදී යන තැනට රට ගෙනාව. අධිවේගී මාර්ග හදල පොඩි මිනිස්සුන්ටත් ඒවගේ යන්න හදපු ලාභ කාර් එක තම වොක්සවාගන් කියන්නේ. එත් මහින්දගේ අදිවේග වල ගියේ රටේ එක්තරා කොටසක්. පොඩි මිනිස්සුන් රස්සාවක් කරගන්න ගන්න ත්‍රී වීල් එකට, නැතිනම් බයික් එකට නැති වෙනකන් බදු ගහන ගමන් සල්ලිකාරයන්ට ජොලියට රේස් පදින්න බදු නැතිව කාර් ගෙන්නුවා.

    ReplyDelete
  9. දැනං මෙයා අපිට කියන්නෙ මහින්දගෙ රට බංකො‌ලො‌ත් කරපු "සමාජවාදෙ" අනිසි ප්‍රතිලාභ නෙලා ගත්තෙ ගො‌වීන්, රාජ්‍ය සේවකයන් වැනි පො‌දු ජන කො‌ටස් නිසා ඒ‌ කො‌ටස් අනිවාර්යෙන් පටි තද කරගැනීමකට සූදානම් විය යුතුයි කියලනෙ.

    විලි ලැජ්ජාවෙ සන්තෝ‌සෙ බැරැවා

    ReplyDelete
  10. https://www.facebook.com/pubudu.jayagoda/posts/780854775360462?comment_id=781826958596577&notif_t=feed_comment_reply

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.