2015-09-06

ආදරණීය ද වික්ටෝරියා?

මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා නවකතාව කියවූයෙමි. මා එයින් වින්ද රසය හා ඒ ගැන මට සිතුණු කරුණු කීපයක් ලියා තැබිය යුතු යයි සිතිණි.

මොහාන්ගේ නවකතාව කියවා අවසන් කළ රාත්‍රියට පෙර සන්ධ්‍යාවේ මම මේ දිනවල නැවත විකාශය වන තිලක් ජයරත්න ලියූ, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ කඩුල්ල ටෙලි වෘත්තාන්තය මහත් අභිරුචියෙන් බැලුවෙමි. කී වරක් බැලුවත්, නැවත නැවත අලුත් රසයන් හා දැනුම පාදා ගත හැකි ඓතිහාසික වෘත්තාන්තයක් එහි තිබේ.

ලාංකීය ධනපති පන්තිය ගොඩනැගෙනුයේ බ්‍රිතාන්‍යයින් විසින් අවධානයට ලක්නොකළ රබර්, මිනිරන්, අරක්කු රේන්ද යන ත්‍රිත්ව ව්‍යාපාරවල හිමිකාරීත්වය දේශීය පන්තිය ලබාගැනීමෙන් බව බූන්දි වෙබ් අඩවියට මාලක දේවප්‍රිය පවසයි. 

කුමාරි ජයවර්ධන විසින් ලංකාවේ ධනේශ්වර පංතියේ නැගීම පිළිබඳ කරන ලද අධ්‍යයනය පාදක කර ගත් Nobodies to Somebodies කෘතියමත පදනම් වන අතිශය ජනප්‍රිය ඉතිහාස ප්‍රවාදයක් ඇත. තිලක් ජයරත්න මෙන් ම මොහාන් රාජ් මඩවල ද එහි කොටස්කරුවෝ වෙති.

ඉතිහාසය නම් කැන්වසය මත සියුම් විස්තර සහිත චිත්‍රයක් නිර්මානය කිරීමේ දුෂ්කර ව්‍යයාමයක තිලක් ජයරත්න යෙදෙන අතර මොහාන් රාජ් මඩවල එම කැන්වසය මත ම විකාරරූපී චිත්‍රයක් සිතුවම් කරයි. මේ දෙක දෙආකාරයක කෘති වන අතර ඒවා රස විඳීමේදී හා විවරණය කිරීමේදී පෞද්ගලික රුචිකත්වයන් ඉතා වැදගත් වේ.

මොහාන්ගේ අධි යථාර්ථවාදී ශෛලිය අතිශයෝක්ති කථනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන. එය පැරණි සිංහල සාහිත්‍යයේත් සුලබ සාහිත්‍ය තාක්ෂණයකි. 

ඉතිහාසය කියන්නේ කතිකාවකි. ඉතිහාස රචකයා විසින් තෝරා ගන්නා ලද සිදුවීම් පද්ධතියක් ඔස්සේ ගොඩනගනු ලබන ආඛ්‍යානයකි. ලංකාවේ ධනේශ්වර පංතියේ නැගීම පිළිබඳ වර්තමානයේ ජනප්‍රිය ප්‍රවාදය ද එවැනි ම එකකි. 

නිදහසින් පසු ලංකාවේ පාලන බලය අතට ගත් ධනේශ්වර පංතියට අවමන් කිරීමේ පටු උවමනාවක් ද එම කතිකාව පසුබිමෙහි තිබේ. එය කූටප්‍රාප්තියට ගෙන එමින් මොහාන් රාජ් මඩවල ඉතා නිර්දය හා පැතලි සංකේතයක් සිය නවකතාව අවසානයේදී ඉදිරිපත් කරයි. ඒ වනාහි අශ්වයකුගේ හා බල්ලකුගේ විකෘතියක් වන පැටවකු බැල්ලක විසින් වැදීමයි. ඔහු එය සොලමන් වෙස්‌ට්‌ රිඡ්වේ ඩයස්‌ බණ්‌ඩාරනායකගේ උපත සමග සමාන්තරගත කරයි.

අපගේ ප්‍රගතිශීලී සාහිත්‍යකරුවන් අත ලංකාවේ පාලන බලය ලබා ගත් ප්‍රභූ පැළැන්තිය විග්‍රහ වූ ආකාරය කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලීමට කාලය එළැඹ ඇතැයි මම හඟිමි. එම පැළැන්තිය ඉතිහාසයේ විකෘතියක් ද? අපගේ වර්තමාන අර්බුදවලට හේතුව එම විකෘතිය ද? එය විකෘතියක් නම් ප්‍රකෘතිය කුමක් ද? ඒ ප්‍රකෘතිය ෆැන්ටසියක් ද?

අප මෙතරම් පැතලි හා අමානුෂික ඉතිහාස ආඛ්‍යානයක් ගොඩනගා ගන්නේ ඇයි? මාක්ස්වාදී පංති විග්‍රහය හා පංති සටන් ආකල්පය මත පදනම්ව, විප්ලවීය අරගලය සඳහා අවශ්‍ය නිර්ධන පංතික පංති වෛරය මෙළවීම සඳහා ද? 

අනෙක් පැත්තෙන්, මෙම ඉතිහාස ආඛ්‍යානය සිංහල ස්වෝත්තමවාදී ඉතිහාස ආඛ්‍යානයට ප්‍රතිපක්ෂව පිහිටුවීමේ උවමනාවක් ද අපට තිබිණි. ඒ ඇයි? නූතන සිංහල ජාතිය ගොඩනැගෙන්නේ දෙමළා අනෙකා කරගෙන ය යන ප්‍රවාදය තහවුරු කරන්නට අපට අවශ්‍ය විය. සිංහලයා පීඩක ජාතියක් බව හා දෙමළා පීඩිත ජාතියක් ය යන විග්‍රහය මත පදනම්ව, දෙමළ අරගලය ජාතික විමුක්ති අරගලයක් ලෙස මාක්ස්වාදී පදනමකින් සූත්‍රගත කිරීමේ උවමනාවක් අපට තිබිණි. මෙය උච්ච ම තලයකට ගෙන යමින් දෙමළ ජාතික විමුක්ති අරගලය පංති අරගලයට ඉහළින් ස්ථානගත කිරීමට ද ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කටයුතු කළේ ය. 

අපි අපගේ ඓතිහාසික උරුමය හෙළා දකින ප්‍රතිගාමී ඉතිහාස ආඛ්‍යානයකට තල්ලු වී තිබේ යයි මම සිතමි. මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා නවකතාව ප්‍රබන්ධ සාහිත්‍යය තුළ මෙම ද්වේෂ සහගත ඉතිහාස ආඛ්‍යානය උච්ච ම තලයට ගෙන යයි. 

ඉතිහාස දත්ත යනු අප ආදරය කළ යුතු හෝ වෛර කළ යුතු දේ නොව, භෞතික යථාර්ථයකි. අරක්කු රේන්ද, මිනිරන් පතල්, තේ, රබර්, පොල් වැවිලි කර්මාන්තය ලංකාවේ ධනේශ්වර පංතියේ නැගීමෙහි ලා ඉවහල් වූ ඓතිහාසික උරුමයක් මිස ඓතිහාසික වරදක් නො වේ. ව්‍යාපාර තරගකාරිත්වය හා සමාජ සම්බන්ධතාවන්ගේ වේගවත් පරිණාමය හේතුවෙන් පැන නගින කෘෘරත්වය හා ප්‍රචණ්ඩත්වය ද විග්‍රහ කළ යුත්තේ ඒ අනුවයි. මොහාන් රාජ් මඩවලගේ අතිශයෝක්ති කථනය තුළ ඔහු මෙම සිදුවීම් විවරණය කරන්නේ නූතනවාදී දෘෂ්ටි කෝණයකින් හා පංති වෛරයකිනි. 

එමෙන් ම, අපගේ සාහිත්‍යකරුවන් විසින් හිතාමතා අමතක කරන කලාප ද තිබේ. ඒ වනාහි රාජ්‍ය සේවය, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන්, වැඩවසම් උරුමය, වෙළඳාම, ප්‍රවාහනය, ඉදිකිරීම් කොන්ත්‍රාත්තු, රාජ්‍ය සැපයුම්, මිනිස් ශ්‍රම සම්පත් සම්පාදනය, දැව කර්මාන්තය, මැනික් කර්මාන්තය, පොළියට දීම වැනි මේ රටේ වත්මන් සමාජ ක්‍රමය ගොඩනැගීමෙහි ලා ඉවහල් වූ කලාප රැසක් රේන්ද කර්මාන්තය අධිනිශ්චය කර ගැනීම නිසා සාහිත්‍යකරුවන්ට මගහැරී තිබේ. 

ආරණීය වික්ටෝරියා ගැන රසවින්දන වැඩසටහනකදී අශෝක හඳගම විසින් කර තිබෙන පහත සඳහන් ප්‍රකාශය බලන්න. මගේ තර්කය මේ වනාහි පැතලි, බොළඳ, ද්වේෂසහගත විග්‍රහයක් බවයි. 


“අන්දිරිස්‌ගේ කතාව ඇතුලේ නෝබොඩියන් සම්බොඩියන් වුනු කතන්දරය තියෙනවා. මේ සම්බොඩියන් හෙවත් 19 වෙනි ශතවර්ෂයෙන් ඇරඹුණු ලංකාවේ ධනපති පංතියට, නිෂ්පාදන ව්‍යවසායකත්ව හැකියාවක්‌ තිබුණේ නැහැ. අරක්‌කු නිෂ්පාදනය සහ බෙදාහැරීමට අමතරව ඔවුන්ට තිබුනේ කුලියක්‌, බද්දක්‌, ගැනීමේ හැකියාව විතරයි. ඒ නිසාම මේ අය හැඳින් වුනේ රේන්ද රාළලා ලෙසින්. අන්දිරිස්‌ ගේ ගෙදර වගේ මේ රේන්ද රාළලා ගේ ගෙවල්වල මැද මිදුලේ වලලා තියෙන විශාල තඹ කල්දේරම් වලින් උතුරා ගිය සල්ලි වලින් තමයි, විශාල තේ, පොල් වතු මිනිරන් පතල් මිලදී ගැණුනේ. අරක්‌කු වලින් වැවිලි අංශයට මාරු වුන එහෙමත් නැත්නම් මේ අංශ දෙකෙහිම නියැලුණු මේ රේන්ද රාළලාගේ දෙවැනි පරම්පරාවට තමයි, නිදහසින් පස්‌සේ ලංකාවේ දේශපාලන බලය හිමි වුණේ."
බෞද්ධ-ක්‍රිස්තියානි විවාද, අමද්‍යප ව්‍යාපාරය, අනගාරික ධර්මපාලගේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරය වැනි ව්‍යාපාර අතිශය පැතලි හා නිර්දය ලෙස විවරණය කරන ආකාරයට ආදරණීය වික්ටෝරියා කදිම නිදසුනකි. බෞද්ධ-ක්‍රිස්තියානි විවාදවලදී බෞද්ධ පාර්ශ්වය නඩත්තු වුණේ අරක්කු රේන්දකාරයන්ගේ අරමුදල්වලින් බව කීම නිදසුනකි. සිය පාරම්පරික උරුමයෙන් අනාගාරික වූ ධර්මපාලගේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරය සමග කිසිවෙක් ඔහුගේ පවුල් උරුමය ගැටගසන්නට යන්නේ නම් එය ද්වේෂසහගත මෙන් ම නිර්මාක්ස්වාදී ප්‍රවේශයක් ද වේ. එහෙත්, මාටින් වික්‍රමසිංහ, තිලක් ජයරත්න, ධර්මසේන පතිරාජ වැනි කලාකරුවන් ඉතිහාසය සාහිත්‍යය තුළ පරාවර්තනය කළා මිස පාඨකයාට, ප්‍රේක්ෂකයාට නිගමන සම්පාදනය කරන්නට උත්සාහ කළේ නැත. ඒ නිගමන පසුකාලීනව දේශපාලන කතිකාව තුළ ගොඩනැගුණු ඒවා ය. මොහාන් රාජ් මඩවල ඓතිහාසික මූලාශ්‍රවලට වඩා පදනම් කර ගන්නේ ඒ නිගමනයි.

ආදරණීය වික්ටෝරියා නවකතාව ගතානුගතික ශ්‍රී ලාංකික මාක්ස්වාදී දෘෂ්ටිවාදයේ හා ජාතිකවාදය පිළිබඳ ගතානුගතික කතිකාවේ දිළිඳුකම නිරූපණය කරන සංකේතාත්මක කෘතියකි. අපගේ වත්මන් සංස්කෘතික ගැටලුවලට හේතුව ධනේශ්වර පංතියේ නැගීම තුළ තිබුණු තත්වයන්ට ලඝු කරන්නට අපට නො හැකි ය. එමෙන් ම, ඉතිහාසය හෝ සංස්කෘතිය විකෘතියක් ලෙස සැලකීම ම නිර්මාක්ස්වාදී ප්‍රවේශයකි. අතීතය භෞතික යථාර්ථයක් මිස විකෘතියක් වන්නේ කෙසේ ද? වත්මන් සිංහල සංස්කෘතිය විකෘතියක් නො වේ. එය ගොඩනැගීමකි. සංස්කෘතිය ලොව කොතැනත්, හැම කලකමත් ගොඩනැගුණේ සංකීර්ණ හා ප්‍රචණ්ඩ හැලහැප්පීම් තුළ මිස ඊනියා පාරිශුද්ධත්වයක් තුළ නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. මොහාන් දක්ෂයෙක්. නමුත් මොහාන් ඉතිහාසය සහ තමන්ට දැකීමට අවශ්‍ය ඉතිහාසය පමණක් නොවෙයි තමන් විසින් පාඨකයාට ඉදිරිපත් කිරීමට රුචි ඉතිහාසය යන කාරණා තුනම කතාව ඇතුලේ කවලම් කරලා විකෘතියක් ගොඩනගනවා. ඒක ෆැන්ටසියකට එහා ගිය නිර්දය සාවද්‍ය ඉතිහාස ප්‍රකාශනයක්. ඒක සාවද්‍යයි කියනවටත් වඩා අර්ධ සත්‍යයක් ඇතැම්විට මතුකල හැකිවුනත් ඉක්මවා ගිය යථාර්ථවාදීබව, භෞතික පදනමට සියල්ල කොටු කිරීම තුලින් අවලංගු වන තර්කයක් බවට පත්වෙනවා

    ReplyDelete
  2. පැරා යකාට වුණත් අපි සිය යුතු දෙය දෙනවා මචං. සර්වගූඨ ආටිකල් එකකට පස්සෙ ඔබ අගය කළ යුතු දෙයක් ලියලා. උඹ පතී ගැන හෙළන දෘෂ්ටිය පිටකෝට්ටේ ගුරුකුලයට පෑහෙන්නේ නැහැ. උඹ මොකද එකපාර ම ළා කොළ වේ ගෙන එන්නේ? ටෙලි නාට්‍ය ගැන උනන්දු නැති මම ආසාවෙන් බලපු එකක් තමයි කඩුල්ල. පතී සීමිත අවකාශයක කුරුතේලිස් විකාශනය කරන සූරකම රාජ් මඩවල නවකතාවේ අසීමිත අවකාශය තුළ කරල තියෙනව කියල මට හිතෙන්නේ නැහැ. රාජ් මඩවල ලාංකීය ධනපති පංතිය ප්‍රමත ව්‍යාප්තියක විකාශනය කරන්න හදනවා. ප්‍රමත ව්‍යාප්තිය ස්වභාවික විකාශනයක් වුණාට ලාංකීය ධනපති පංතිය කුටිකවයි ප්‍රගමනය වුණේ. ඒ පථයේ වක්‍ර වීම් රාජ් මඩවලට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒකට අවශ්‍යය දේශපාලන කියවීම රාජ් මඩවලට නැහැ. පතී විශිෂ්ටයෙකු කරවන්නේ අන්න ඒ වෙනස. උඹ මචං අතපසු නො කර අර ටැබ්ලට් එක හැමදා ම ගනිං. ඒක ගත්ත දාට උඹ ටිකක් හොඳයි. ටිකයි හොඳේ. උඹ අනුන්ගේ ඇද කුද හොයන එකේ නරකද ලාංකීය ධනපති පංතියේ ඵෛතිහාසික විකාශය පිළිබඳ පැරාමය කියවීමක් කළොත්. පිටකෝට්ටෙන් ම පොත ගහලත් දෙයි උඹ හරියට ලිව්වොත්. වරාය හදන්න ගල් සපයලා එවකට පීදෙමින් තිබ්බ දේශිය ධනපති පංතියට රිංගන කළුතර දොන් පිලිප් තුඩුගල පරම්පරාව ලේක් හවුස් එක හරහා ලංකාවේ පාලන බලය අල්ලන විධිය දැන් මේ ඉන්න ඇටෙන් පොත්තෙන් නො ගිය ඒත් අපිටත් ඩැඩී ටෝක් දෙන එවුන් දන්නේ නැහැ. අකලට කෙස් හැලිච්ච මාලක දේවප්‍රියලා වගේ අතදරුවන්ට ඒවා තේරෙන්නේ නැහැ. සන්නද්ධ කැරැල්ලක් ගහපු උඹ වගේ ඇට්ටකුණා වෙච්ච එකෙක් විලිලැජ්ජා නැති ව දේවප්‍රිය වගේ විනාඩි හතරේ ගොන් චිත්‍රපටිකාරයෙක් උපුටා දැක්වීම ගැන දුක යි බං පැරා. දේවප්‍රිය දන්න දේශපාලනයක් නැහැ බං. ඌ තනිකර ම තුට්ටු දෙකේ අනුකාරකයෙක් උයන් පස්සේ වැටිල හිටපු. කියවද්දි ටිකක් හොයලා බලලා කියවපං. ඇකඩමියාවේ එකෙක් ලිව්වා කියලා හැම එක ම ගන්න එපා. උඹලට අපිට තව ගොඩක් කාලයක් නැහැ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියපු තැන වයිල්ඩ්ට පොඩි දෙයක් අතහැරුණා. ඒ තමයි වැදගත් දේ කියවීම කියලා කියන්න. කොහොම වුණත් ලිපිය ගැන පැරාට මගේ ප්‍රශංසාව. ඉදා ගනිං...

    (ප.ලි. පැරා මචං රාජ් මඩවල උඹට පොත් කීයක් එව්ව ද??? )

    ReplyDelete
    Replies
    1. මචං සිංහලෙන් ලියපන්කො

      Delete
  3. උරුමය වුණත් කරුමයක්නම්, වඩා හොඳ උරුමයක් දිනා ගත යුතු ව ඇත්නම්, ඔය කියන උරුමය ගැන උපහාසය හෝ වෛරය නරක දෙයක් නොවෙයි නේද ? http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  4. මොහාන් රාජ් මඩවලගේ "ආදරණීය වික්ටෝරියා" ඊට කලින් ආපු "මාගම් සෝලිය" "ලොවිනා"පොත් ද්වත්වය වගේම අද්භූත අතිශෝක්ති වලින් යුක්ත වුනත් "ආදරණීය වික්ටෝරියා" පොතේ පහතරට ධනපතින්ගේ විකාශනය "අන්දිරිස්"තුලින් අපුරුවට විග්‍රහා කරනවා වර්තමානය ලෙස ගලපා ගන්න පහසු ලෙසට.

    ReplyDelete
  5. කුඹුක්ගැටේ උපාසක මහත්තයෙක්September 7, 2015 at 2:24 PM

    Nobodies to Somebodies වීමේ හැකියාව මෙන්ම ,Somebodies to Nobodies වීමේ හැකියාවද අපට උදාකරදෙන ධනවාදය මොනතරම් ඈශ්චර්යක්ද හසන්ත මහත්තයෝ ..මං කියන්නේ......

    ---------------------
    පිංවත් බ්ලොග්කරුවනී,
    කෝ.........මේ...........ජේ.ආර්.පී සුරිප්පෙරුම පඬිරුවන
    පුලුවන්නං සොයාදෙන්න.
    පිං අත්වෙයි ඕං...

    ReplyDelete
  6. පැරා කෝ බුවා උඹ? මොහාන් රාජ් මඩවල එව්ව බ්ලැක් ලේබල් එකක් ගහලා හතර ගාතේ දාලා දපලා ඉන්නවා දැක්කා කියලා එකෙක් කිව්වා. ඇත්ත ද බං?

    ReplyDelete
  7. කතුරුමුවාSeptember 8, 2015 at 12:18 AM

    අරක්කු වලට objection දාන පොත් ලියන්ඩ එපා ඩෝ. කන්ඩ, බොන්ඩ, ණය ගෙවන්ඩ සල්ලී නැත්තං ලේන්සුවක් එලාගනිල්ලා.
    අනුන්ගේ ඇද කුඳ පෙන්නලා සල්ලී හොයන එක සාහිත්‍යයද?

    අනුන්ගේ ඇද කුඳ පෙන්නන එක යහපාලනේ නං. - මඩවල
    රජාට ප්‍රශස්ති ගයන එක මහින්ද චින්තනේ නං . - ජැක්සන්
    අනාගත ලංකාවට මේ වන්දිභට්ටයන් දෙගොල්ලගෙන්ම වැඩක් නැත.

    මඩවල අපට යෝජනා කරන්නේ මල් වට්ටී වෙන්දේසි තියල ප්‍රාග්ධනය සොයාගත් දේශීය ධනපති පැලැන්තියක් හිටියනං රට ෂෝක් වෙයි වගේ කියලද?

    හික්ස්...පික්සු නැත්තං ෂෝක්..


    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.