2015-10-11

ලංකාදීප කතුවැකිය හා මරණ දඬුවම සම්බන්ධ කතාබහ හඬ පඩයකින් රළ ගසා පෙරට ඒම

කාලයක් මං සතිපතා පත්තරේක කර්තෘකමක් කළා. ඒ පත්තරේ කරපු කණ්ඩායම ඔවුන්ගේ ඉතිහාසයෙන් මා ඉරේස් කර දමන්නට කැමති ගතානුගතික වාමාංශිකයන් පිරිසක් නිසා මං පත්තරේ නම කියන්නෙ නැහැ. 

මේ ළඟදි මට ඒ කණ්ඩායමේ සීලිං අංශය භාරව හිටපු නායකයා හමු වුණා. මෙහෙම කිව්වාම ඔබ අහයි එහෙම අංශයකුත් තිබුණ ද කියලා. කොහොම වුණත් ඒ සහෝදරයා කළේ නම් ඒ අංශෙ වැඩ විතරයි. මං හිතන්නෙ දැන් එයා ඒ කණ්ඩායමේ ලොක්කෙක්. සීලිං අංශෙන් දේශපාලන මණ්ඩලේට ඇවිත් වෙන්න ඇති. මට කිව්වා මං ‘පොඩි පොඩි කෑලි' පත්තරවලට එහෙම ලියනවා දැකල තියෙනවා කියලා. මට ඉතින් සුවල්ප ආඩම්බරයක්යැ. 

මේ පත්තරේ කරන කාලෙ එතන එක් ගෑල්ලමෙක් වැඩ කළා. එයා කළේ ටයිප්සෙටිං. ඒ වැඩේ කරන කෙනා පත්තරේ සතියක ම ලිපි කියවනවානේ. සාමාන්‍යයෙන් පත්තර කර්තෘවරු බොහොම දෙනෙක් තමන්ගෙ පත්තරේ කියවන්නෙ නැහැ. එක වතාවක් මට තර්ජනයක් ආවාම ඒ කාලෙ මං නිදහස් ලේඛකයෙකු ලෙස සතිපතා කොලමක් ලියපු පත්තරේ කර්තෘ අහලා තිබුණා ඒ කවුරුද කියලා. 

මං කියන මේ පත්තරේ ටයිප්සෙටිං කළේ මේ ගෑල්ලමයා විතරක් නිසා එයා මුළු පත්තරේ ම ලිපි ටයිප් කරනවා. ඒ කාලෙ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අජිත් සමරනායකත් මේ පත්තරේට සතිපතා කොලමක් ලිව්වා. එයා පරණ විධියට ඩිමයි කඩදාසියේ තනි පැත්තේ ඩබල් ස්පේස් තියා ලොකු අකුරෙන් ලියපු කඩදාසි මිටියක් කන්තෝරුවට එව්වා. අර ගෑල්ලමයා ඒවා ටයිප් කරලා සේව් කරන්නෙ polakuru (පොල් අකුරු) කියලා ෆයිල් එකක. මං කියමින් හිටියෙ ටයිප්සෙටිං කරන අය කොච්චර නම් කියවනව ද කියන එක ගැන. ඒත්, හුඟක් ටයිප්සෙටිං කරන අය වගේ මේ ගෑල්ලමයත් ඒ එක ලිපියක්වත් කියවන්නේ නැති බව මට ටික දවසක් යනකොට තේරුණා. එයාට හරි වේගෙන් ටයිප් කරන්න පුළුවන්. හැබැයි, අත් අකුරුවල තියෙන දෝෂ එහෙමමයි. උදාහරණයක් විධියට සමහරුන්ගේ තයනු කයනු එක වගේ. මයනු වයනු එක වගේ. මං දැකලා තියෙනවා මේ ළමයා ශ්‍රී ලංනාම කියලා ටයිප් කරලා තියෙනවා. මෙවැනි අය ටයිප් කිරීමෙන් කිසිවක් ඉගෙන ගන්නේ නැති යන්ත්‍ර.

ඒ ගෑල්ලමයා විතරක් නෙමෙයි, ටයිප්සෙටිං කරන බොහෝ දෙනෙක් එහෙමයි. ඒ වුණාට සෝදුපත් කියවීම කියලා දෙයකුත් තියෙනවනේ. සෝදුපත් කියවන අයත් සමහර විට කරන්නේ අත්පිටපතට අනුව ටයිප් කරන ලද පිටපත නිවැරදි ද කියල බලන එක විතරයි. ඒ වුණාට උප කර්තෘ කියා කෙනෙකුත් ඉන්නවනේ. වරදක් තිබුණොත් එයාට අහුවෙන්න ඕනැ. උප කර්තෘලට ඉහළින් තවත් අය ඉන්නවනේ. ප්‍රධාන කර්තෘට නම් ඔය හැම එකක් ම කියවන්න වෙලාවක් නැහැ කියමුකෝ. එයාට ජනාධිපති එක්ක තේ බොන්න එහෙමත් තියෙනවනේ. 

ඒ වුණාට ප්‍රධාන කර්තෘ අඩු ගානෙ තමන්ගෙ පත්තරේ කතුවැකියවත් කියවනවා නම් හොඳයි. පත්තරේ මුද්‍රණය කරන්න ඉස්සර ඒක කියවා බලනවා නම් තමයි වඩා හොඳ. මොකද, මේ අපේ බ්ලොග් පඩංගු වගේ නෙමෙයිනේ. පත්තරවල වැරදි පමා වෙලා හදන්න බැහැ. අපට නම් ඉතින් කවුරුහරි බැන්නා ම අපි එවෙලෙම ඒක හදනවා. 

මේ හිනා යන කෑල්ල තිබුණෙ අද ඉරිදා ලංකාදීප පත්තරේ ලේසි පාසු තැනක නෙමෙයි. කතුවැකියේ. 

ලංකාවෙ මිනිස්සු මේ පත්තරේ ගන්නෙ ඇඩ් බලන්නයි, ගොසිප් කියවන්නයි, බත් ඔතන්නයි විතරක් ම ය කියලා ඒවායේ වැඩ කරන අය හිතනවා නම් වැරදියි. ඒ නිසා තමන්ගෙ බඩ රස්සාව වන පත්තර කලාවේ ගුණාත්මකභාවය ගැන මේ පත්තරේ මහත්තුරු ටිකක් හිතනවා නම් හොඳයි. මොකද, ඒ කියන කාරණේ මේ පත්තරේ අන්තිම දුර්වලයි. ඔවුන් සිය පාඨකයා කඩදාසි කන එළුවෙකැයි සිතන එක නිවැරදි වුණත් එච්චර හොඳ තත්වයක් නෙමෙයි. 

මම නම් මේ පත්තරේ කියවනවාට වඩා කරන්නේ පෙරළන එක. අද මට කතුවැකිය කියවන්න හිතුණා. ඒකෙ අදහස හොඳයි. ඒ වුණාට මදැයි කොළා. ඒකෙ තියෙනවා මෙහෙම වගන්තියක්. 

මරණ දඬුවම සම්බන්ධ කතාබහ හඬ පඩයකින් රළ ගසා පෙරට ආවේ සේයා දැරියගේ ඝාතනයත් සමග වීම ද විශේෂත්වයකි. 

2015 ඔක්තෝබර් 11 ලංකාදීප කතුවැකිය
මං අනුමාන කරන විධියට නම් මේ අත් පිටපතේ තිබුණු නව ජවයකින් කියන අත්අකුරු ටික ටයිප්සෙටිං කරන්නා කියවා ගත් ආකාරයයි. 

සමහර විට මං වැරදි වෙන්නත් පුළුවන්. ලංකාදීප කතුවරයා ලිව්වේ හඬ පඩයකින් කියා වෙන්නත් පුළුවන්. 

සමහර විට මේ පිටුවේ උප කර්තෘ මරණ දඬුවමට පක්ෂ අයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු කතුවැකිය ජෝක් කරන්න මෙහෙම කළා වෙන්නත් පුළුවන්. ආයතනවල එහෙම වෙනවා. මං මගේ අත්දැකීමක් කියන්නම්.

අවුරුදු 10ක් විතර කාලයක් මං එක්තරා  රාජ්‍ය නොවන සංවිධානයක සඟරාවක කර්තෘ මණ්ඩලේ අර්ධකාලීන රැකියාවක් කළා. ඒ සඟරාවේ කර්තෘ වෙලා හිටියේ කලින් වෘත්තීය සෝදුපත් කියවන්නෙක්. එක කලාපයක ඔහු මගේ ලිපියක් පළ කළේ සෝදුපත් වැරදි රාශියක් එක්ක. ඒ කලාපයේ ලිපියක් ලියපු ඔහුගේ මිතුරකු වූ එම ආයතනයේ ම පරිසරවේදියකු යයි කියන පුද්ගලයෙක් ගුරුවරුන් රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම සමාජ ප්‍රශ්නයක් ය කියා ලිව්වා. සමහර විට ඒක ඇත්ත වෙන්නත් ඇති. ඒ වුණාට ඒ සංදර්භයට අදාළ වුණේ නැහැ. මං මේ අත්දැකීම ලිව්වේ සංස්කාරකවරුන්ගෙ කුප්පකම ගැන කියන්න. 

කොහොම වුණත් කමක් නැහැ මේ වාක්‍යය ටිකක් විනෝදජනකයි. ලංකාදීප කර්තෘතුමනි, චියර්ස්!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. චියර්ස්.
    දෙමළෙන් ට ඩ එකම අකුරක් .
    අවුරුදු ගානකින් බලා නම් නැහැ තමයි ඒත්,අකුරු වැරදි වඩාම තියෙන පත්තරය ලංකාදීප,තව ඒවාත් තියෙනවා. අකුරු වැරදිනම් මොකද.

    ReplyDelete
  2. අද සෑහෙන බ්ලොග් අඩවි ගණනක සඤ්ඤක සහ මහාප්‍රාණ අකුරු ගැන කිසිම සැළකිල්ලකින් තොරවයි ලියන්නේ. ඒ වගේම රැ සහ රු යන අකුරු දෙකේ වෙනසත් සලකන්නේ නැතිව ලියනු දකින්නට ලැබෙනවා. මේවා පෙන්වාදුන් විට, අපහාස, ආක්‍රෝශ, පරිභව, පමණයි ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ.

    ReplyDelete
  3. සීලිං what does it means.?

    ReplyDelete
  4. සෝදු පත් කියවන්නා... අපි වගේම කියව කියව ඇති නේ .......

    ReplyDelete
  5. මට නම් ලංකාදීපෙ කියවන්න විනාඩි පහක්වත් යන්නෙ නෑ. කිසිම ලිපියක් සම්පූර්නයෙන්ම කියවන්නෙ නෑ. කියවන්න තරම් වටින්නෙ නෑ. හෙඩින් ටික බලාගෙන යනව විතරයි . හැබැයි ලංකාදීපෙ ප්‍රයෝජනවත් බත් ඔතන්න වගෙ දේවල් වලට.

    ReplyDelete
    Replies
    1. if u do that u will die of lead poisoning since they are using very cheap ink like our fertiliser

      Delete
  6. එක අතකට ඕක සිංහල හෝඩියේ වැරැද්දක් කියන්න පුලුවන් නේද?
    උදාහරනයක් හැටියට පුටිකා, පූටිකා වචන දෙක අත් අකුරින් ලියැවෙන්නේ සමාන විදියට (මුද්‍රණයෙදී ගැටලුවක් නෑ) පරණ බයිබල් මුද්‍රණය කිරීමේදී යොදාගත් අකුරු මෝස්තරයෙදී මෙම ගැටලුව ගැන විශේෂ අවධානයක් යොමුකර තියෙන බව පෙනෙනවා.
    තෙළිඟු, මලයාලි හෝඩිවල මේ ගැටලුව නෑ වගේ
    පත්තර කන්තෝරු වල අයට තියෙන්නේ අත් අකුරු හඳුනා ගැනීමේ ගැටලු ඇති අකුරු සඳහා අමතර හැඩතලයක් එකතු කිරීමට එකඟතාවක් ඇතිකර ගැනීමයි.
    උදාහරණයක් හැටියට 7, 0 වගේ ඉලක්කම්වල හරහට ඉරක් ගසන අවස්ථා දක්වන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අත් අකුරින් ලියන දේ කියවනවනම් නිවැරදි වචනය දාගන්න පුළුවන් වෙන්න ඕනැ. මේ ලිපියෙ තියෙන්නෙ කියවන්නෙ නැතිව බලල ටයිප් කිරීම ගැනයි. කියෙව්වනම් තේරුමට ගැලපෙන වචනයක් ටයිප් කරනවනෙ. නමක් හරි වෙන භාෂාවක වචනයක් හරි ලියද්දි නම් තියන විදිහටම තමයි ලියන්න වෙන්නෙ. මෝදිට මෝඩි කියල ලියන්න පටන්ගත්තෙ ඒකනෙ. ඒ විතරක් නෙවෙයි, ච යන්නයි ව යන්නයි පටළවාගෙන අමිතාබ් බච්චන්ගෙ පුතා කසාද බැඳපු නිළියගෙ නම ලියන්නෙ අයිෂ්චර්යා කියලනෙ. ඒක හරිම විදිහට නම් ලියන්න ඕනැ ඓයිශ්වර්යා කියල.

      හැබැයි සිංහල හෝඩියේ වැරැද්දක් හරි අකුරු වල වැරැද්දක් හරි කියල කියන එක වැරදියි. ඕනැම හෝඩියක එක ළඟ රූප තියන අකුරු තියෙන්න පුළුවනි. ඉංගිරිසි අත් අකුරු (වැල් අකුරු) කියවන්න කොච්චර තටමන්න වෙනවද සමහර වෙලාවට?
      අනිත් එක බලන්න
      ඩබ්ලිව් ඕ ආර් ඩී - වර්ඩ් (word)
      ඩබ්ලිව් ඒ ආර් ඩී - වෝඩ් (ward)
      ඕ අකුරට එන්න ඕනැ ශබ්දයයි ඒ අකුරට එන්න ඕනැ ශබ්දයයි මාරු වෙලා!
      මට ඒක මතක් වුනේ කොළඹ වෝඩ් ප්ලේස් එකේ කඩේක බෝඩ් එකක් දැකල. ඒකෙ තියෙන්නෙ වර්ඩ් ප්ලේස් WORD PLACE කියල.

      Delete
    2. සුද්දගේ වැඩ ඔහොමමයි. CUT = කට්, BUT = බට් නමුත් PUT = පුට්. මොන කබල් බාසාවක්ද?

      Delete
  7. ලංකාදීප පත්තරේ සෝදුපත් බැලිම කරන්නෙම නැහැයි කියලයි මං හිතන්නෙ. ඒකෙ තිබුනා (තවම තියනවද දන්නෙ නැහැ) ඇසුවෙම - දුටුවෙමි කියල තීරුවක්. තීරුවක් කිව්වට තීරුවක්මත් නෙමෙයි, ඒක කොටුවක්. ඒකෙ තියෙන්නෙ විවිධ පාඨකයො ලියල එවන කතන්දර. රසවත් සිද්ධි. ඒවා පළ වුනේ ලියපු කෙනාගෙ අදක්ෂකම්, නොදැනුවත්කම් එක්කමයි. හතර පස් වතාවක් කියවන්න වුනා තේරුම් ගන්න. ව්‍යාකරණ කියල නාමයක් නැති නිසා, අපි තේරුම් ගන්නෙ ලියපු කෙනාගෙ අදහස නොවෙන්නත් පුළුවනි.

    ReplyDelete
  8. කණගාටුදායක පරිහානියක්...අද කාලයේ සාමාන්‍ය තත්වයයි.(තත්ත්වය - භාෂා ඔස්තාර්ලාට අනුව)

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.