2015-10-12

සියලු ගොවීන්ගේ නිෂ්පාදන මිළ දී ගන්නට රජයට පුළුවන් ද?

මා ජීවත් වන ගම් ප්‍රදේශයේ තේ ගොවීන් හෙවත් කුඩා තේ වතු හිමියන් අමු තේ දළු මිළ පහළ යාම නිසා දැඩි ලෙස දුෂ්කරතාවට පත්ව සිටිති. 

වතු වගාව හා කුඩා තේ වතු ආශ්‍රිතව තේ කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගන්නා ජනගහණය රටේ මුළු ජනගහණයෙන් 10%ක් පමණ වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නය සුළුපටු ප්‍රශ්නයක් ලෙස සලකන්න බැහැ.

ගිය අවුරුද්දේ අවසානභාගය වන විට කිලෝවක් රු. 80ක් පමණ වූ අමු තේ දළු මිළ දැන් කිලෝවක් රු. 50ක් විතර වෙන්නට බැහැලා. රජය මාස කීපයක් කුඩා තේ වතු හිමියන්ට සහනාධාරයක් දුන්නත් දැන් එය නවතා දමලා. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ මිළ දී ගන්නන් වන ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේත්, රුසියාවේත් පවතින කලබලකාරී තත්වය නිසා තමයි තේ සඳහා ඉල්ලුම අඩු වී තිබෙන්නේ. තේ කර්මාන්තය ඇති වැදගත්කම ගැන ජන ජීවිතයට සම්බන්ධ දත්ත රැසක් සහිත ලිපියක් මෙතැනින් කියවන්න. 

රබර් වගාවේ තත්වයත් එයමයි. තෙල් මිළ පහළ යාම හා කෘත්‍රිම රබර් මිළ ඉහළ යාම නිසා රබර් සඳහා ඉල්ලුම අඩු වෙලා. ඒ නිසා රබර් කර්මාන්තයත් හාන්සි. 

අද දිවයින පුවත්පතේ පළ වන වාර්තාවකට අනුව වෙළඳපොළේ මුං මිළ අඩු වීම නිසා මුං ගොවීනුත් දුකට පත් වෙලා. 

වී ගොවීන් ද වී මිළ පිළිබඳ තෘප්තිමත් නැහැ. 

මේ සියලු දෙනා සහනාධාර බලාපොරොත්තු වෙනවා. කොටින් ම කියනවා නම් ඔවුන් බලාපොරොත්තු වන්නේ රජය සහතික මිළකට ඔවුන්ගේ නිෂ්පාදන මිළ දී ගැනීමයි. 

මේ වැඩේ වී ගොවිතැනට අදාළව යම් දුරකට වෙනවා. රජය වී ගොවීන්ට පොහොර සහනාධාරය දෙනවා. ඉන් පසුව අස්වැන්නත් සහතික මිළට මිළ දී ගන්නවා. ඒවා ගබඩා කර තබාගෙන ඉඳලා පසුව විනාශ කර දමනවා. 

ගොවියන්ට දෙන මේ සහනාධාරවල බර රටේ සමස්ත ජනතාව ම විසින් දරා ගත යුතුව තිබෙනවා. 

ඇතැම් වගාවන් දිරි ගන්වන්නට සහනාධාර අවශ්‍යයි. එහෙත්, අස්වැන්න රජය විසින් සහතික මිළකට මිළ දී ගත යුතුයි කියන එක පිළිගත හැකි තත්වයක් නෙමෙයි. අස්වනු අලෙවියේදී නිදහස් වෙළඳපොළ මූලධර්ම මත කටයුතු කළේ නැතිනම් සිදු වන්නේ හානියක්. රජය විසින් මහජන මුදලින් වැඩි මිළට මිළ දී ගෙන කාලයක් ගබඩා කර තබා ගන්නා වී පසුව විනාශ කර දැමීම මේ සඳහා නිදසුනක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. 

තේ වගාව සම්බන්ධයෙන් නම් කිව යුතුව තිබෙන්නේ පසුගිය කාලයේ ඉවක්, බවක් නොමැතිව කැළෑ කපමින් තේ වගා කිරීමත් මෙම තත්වයට හේතුවක් වූ බවයි. එක් භෝගයක් මත උවමනාවට වඩා රඳා පැවතුණු විට, එම භෝගයේ මිළ පහළ ගිය විට මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම, බෝග විවිධාංගීකරණය වැනි කාර්යයන්හිදී රජය වැවිලිකරුවන්ට මග පෙන්විය යුතුයි. එහෙත් එවැන්නක් නිසි පරිදි සිදු වන්නේ නැහැ. 

ගොවීන් රැක ගැනීම සඳහා බෝග සඳහා ආනයන බදු ඉහළ නැංවීම පාරිභෝගිකයන් පැත්තෙන් සලකා බැලූ කල අසාධාරණයි.

ඒ නිසා, කළ යුතුව තිබෙන්නේ කෘෂිකර්මාන්තයට නිදහස් වෙළඳපොළ මූලධර්මයන් මත හැකි තරම් දුරට පාලනය වන්නට ඉඩ හරිමින්, ගොවීන්ට මග පෙන්වීම හා හදිසි මිළ පහළ වැටීම්වලදී සිදු වන හානි වෙනුවෙන් පමණක් රජය මැදිහත් වීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

4 comments:

  1. ලන්කාවේ කෘශිකර්මය කරන්න යෑමම විකාරයක්... කෘෂිකර්ම යෝදයින් වන ඉන්දියාව, පාකිස්තානය, මැලේශියාව, තායිලන්තය වගේ රටවාට ලගින් තියෙන කෝටි 20 ඉන්න පුංචි රටකට කෘශිකර්මයෙන් කරන්න පුලුවන් මහ ලබ්බක් නෑ..
    ආන්ඩු කල යුත්තේ රටේ මානව සම්පත කෘෂිකර්මයෙන් ඈත් කරලා නිෂ්පාදන,
    තාක්ෂනික, ව්‍යාපාරික, මූල්‍ය අංශවල වෘතීකයින් වෙන්න අවශ්‍ය අධ්‍යාපනය, විදෙස් ආයෝජන ආදිය ලබාදෙන එක...
    එයින් රටට එන ආදායමින් අපට කෘෂි නිෂ්පාදන ලාබෙට පිටරටවලින් ආනායනය කල හැකියි...

    කෘෂිකර්මය අපනයන භෝග වගාකරන දියුනු තාක්ශනය භාවිතාකරන ගොවිපලවලට පමනක් සීමාකල යුතුයි..

    ReplyDelete
  2. උඩ කොමෙන්ට් එකත් එක්ක එකඟයි

    ඒ වගේම අපේ අපනයන වෙළඳාමේ කොරන, නිශ්පාදනයන්හි කොලිටිය බාල කිරීම, වංචාවන් හා දූෂණ, නාස්තිය, ප්‍රමිතිකරණයක් නොවීම සහ තවත් බොහෝ දේ මේ සඳහා බලපාලා තියෙනවා.. කොහොමත් තේ වෙළඳාම විතරක් නෙවෙයි වගාවත් තව ජෙනරේසොන් එකක් තුල නැති වෙනවා. ඔය සුළු තේ වතු කිමියන්ගේ අතේ තමයි ගේම තියෙන්නේ. ඔවුන් එකතු නූනොත් ඔවුන්ටත් අර ඉරනමම තමයි. රබර් වගාවත් එසේමැයි.

    ReplyDelete
    Replies
    1. මාතා සහ පැරා,

      අද ලෝකයේ විශාල ලෙස වගා කරන්නේ අපි කරන විදියට නෙමයි උදාහරණ
      https://www.youtube.com/watch?v=6kUm_I7bLYw
      Hydroponic

      https://www.youtube.com/watch?v=8eMt3kCUYnw
      Aeroponics

      වැනි ක්‍රම මගින් ඉතා කෙටිකලින් විශාල අස්වැන්නක් කුඩා ඉඩක වගා කිරීමෙන් ලබාගත හැකියි.

      මෙවැනි ක්‍රමයක් මගින් කිරීමේදී කෘෂි රසායනික උවමනා නොවන අතර යන වියදම පාරම්පරික ක්‍රමයට
      වඩා බෙහෙවින් අඩුයි.

      අපට තාක්ෂනය මෙයට උවමනා කරයි.

      රජය විසින් තාක්ෂනය හදුන්වා දීම පමණක් කල යුතු අතර හැම රෙද්දම රජයෙන් කරන්න උවමනා නෑ
      ලාබය පවතිනවා නම් පුද්ගලික අංශය මෙය බාරගනී.

      Delete
  3. //කළ යුතුව තිබෙන්නේ කෘෂිකර්මාන්තයට නිදහස් වෙළඳපොළ මූලධර්මයන් මත හැකි තරම් දුරට පාලනය වන්නට ඉඩ හරිමින්, ගොවීන්ට මග පෙන්වීම හා හදිසි මිළ පහළ වැටීම්වලදී සිදු වන හානි වෙනුවෙන් පමණක් රජය මැදිහත් වීමයි//

    සම්පූර්ණ ඇත්ත. දැන් බලන්න කිරි මිල සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම නිසා දේශීය කර්මාන්තකරුවන් වැටිල ඉන්න අමාරුව.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.