2015-10-19

වී, තේ වැනි ගොවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු දිග පළල කෙතරම් ද?

උද්ඝෝෂණයේ යෙදෙන කලවානේ කුඩා තේ වතු හිමියෝ
ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපාරය විසින් ඔක්තෝබර් 15දාට යෙදුණු ලෝක ආහාර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද සුළු ගොවීන්ගේ, කිරි ගොවියන්ගේ හා සුළු ධීවරයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ජනතා තවලම අවසන් දිනයේදී කොළඹදී එයට සහභාගි වීමේ අවස්ථාව ලැබිණි. 

ආහාර ස්වෛරීත්වය ඇති කිරීමට බල කිරීමේ අරමුණින් පැවැත්වුණු එහිදී ගොවීන්, ධීවරයන් මුහුණ දී සිටින ප්‍ර‍ශ්න පිළිබඳ ප්‍ර‍බල හඬක් නැගුණා. 

මේ දිනවල කුඩා තේ වතු හිමියන් තේ මිළ පහළ යාම නිසා දැඩි අර්බුදයකට පත් වෙලා. ඔවුන් තේ දළුවලට සහතික මිළක් ඉල්ලනවා. හරියට වීවලට සහතික මිළක් දෙනවා වගේ. 

වී ගොවියන්ගේ අස්වැන්න රජය මැදිහත් වී මිළ දී ගන්නවා. එහෙත්, ඒ අස්වනු නිසි පරිදි විකසනය කරන්නට හෝ ඒවා වෙළඳපොළේ හරි හැටි අලෙවි කරන්නට හෝ රජයට වැඩපිළිවෙලක් නැහැ. අක්‍රිය මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩාවලත් මේ වන විට වී ගබඩා කරලා. 

දැන් රජය තේ වෙළඳපොළට මැදිහත් වෙන්න සලකා බලමින් ඉන්නවා. රජය තේ මිළ දී අරගෙන මොනවා කරන්න ද? ඒවා ගබඩා කර තබාගෙන වී වගේ පසුව විනාශ කර දමාවි. 

ගොවීන්ගේ අස්වනුවලට මිළක් නැති වීමේ ප්‍ර‍ශ්නයට මෙය විසඳුමක් ද? ගොවීන් ආරක්ෂා කර ගත යුතු බව ඇත්ත. ඒත්, මේ නාස්ති කර දමන්නේ ද මේ රටේ මහජනතාවගේ මුදල් ම තමයි. 

ආහාර වෙළඳපොළට රජය තීරණාත්මක ලෙස මැදිහත් විය යුතු බවට ජනතා තවලම විසින් යෝජනා කර තිබෙනවා. ඒ කියන්නේ ආහාර මිළ දී ගන්නට හා අලෙවි කරන්නට රජය මැදිහත් විය යුතු බව ද? 1970ගණන්වලදී වගේ වී අලෙවි මණ්ඩලයෙන් වී මිළ දී ගෙන, කොටා සමුපකාරයෙන් විකුණන ක්‍ර‍මයක් සාර්ථක වේ වි ද? 

දේශීයව වගා කරන ආහාර ද්‍රව්‍ය සඳහා වසර පුරා ක්‍රියාත්මක වන නිශ්චිත ආනයන බද්දක් ද යෝජනා කර තිබෙනවා. ඇතැම් වකවානුවලදී ආහාර බෝගවල මිළ අධික ලෙස ඉහළ යාමෙන් පාරිභෝගිකයා දැඩි අපහසුවකට පත් වෙනවා. එහෙම වුණා ම පාරිභෝගිකයා පැත්තෙන් ඉල්ලා සිටින්නේ එම බදු අඩු කරන ලෙසයි. 

තේ වැනි අපනයන භෝග සම්බන්ධයෙන් මේ ක්‍ර‍මවේදවලින් විසඳුම් ලබා ගන්නට බැහැ. එහෙත්, තේ කර්මාන්තය වගේ ම කුඩා තේ වතු හිමියාත් ආරක්ෂා කර ගත යුතුයි. තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවල යෙදී සිටින ජනගහණය ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 10%ක් පමණ වෙනවා. තේ කර්මාන්තයේ යෙදෙන ජනගහණය ගැන විස්තර kiyanna.lk වෙතින් කියවන්න. 

ගොව්යන්ට පොහොර සහනාධාර දීම, වාරිමාර්ග නඩත්තු කිරීම, අස්වනු මිළ දී ගැනීම හා අලෙවිය ආදී කෘෂිකර්මාන්තය සම්බන්ධ සියලු කටයුතුවලට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටීම වැරදියි. ඒ වෙනුවෙන් රජය ව්‍යවසාය ආරම්භ කිරීම අසාර්ථක වැඩක්. 

දේශපාලනිකව ගත්තත් ජනතාව කළ යුතුව තිබෙන්නේ රජය තව තවත් ශක්තිමත් කරන එක නොවෙයි. රජයේ තැන අත්පත් කර ගැනීමට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී මහජන සංවිධාන උත්සාහ කළ යුතුයි. 

එහෙත්, මහජන මුදලින් නඩත්තු වන අති ප්‍ර‍බල සංවිධානයක් වන රජය ලවා නියාමනය නිසි පරිදි සිදු වීමට වග බලා ගත යුතුයි. 

මේ ප්‍ර‍ශ්න විසඳා ගන්න පුළුල් සංවාදයක් සමාජයේ ගොඩනැගිය යුතුයි. 

කෘෂිකර්මයට අපි මොකක් ද කරන්නේ? ඒක තමයි ප්‍ර‍ශ්නය. 

ඒත්, කෘෂිකර්මාන්තය වැඩක් නැහැ කියන එක ඒකට උත්තරයක් නෙමෙයි. හේතුව, රටේ ජනගහණයෙන් අඩක්වත් නියැලී සිටින කෘෂිකර්මාන්තයට විකල්ප නිර්මානය කිරීම කෙටි කාලීනව කළ හැකි දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන්, එය ධරණීය සංවර්ධනයකට ඉවහල් වෙන්නේත් නැහැ. 

එක්සත් ජාතීන් විසින් ඉදිරි වසර 15ක කාලය සඳහා සම්මත කරගෙන තිබෙන ධරනීය සංවර්ධන ඉලක්ක 17හිත් සංවර්ධනයේදී ජනතාව, පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා. එම ඉලක්ක ගැන kiyanna.lk වෙතින් කියවිය හැකි ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

4 comments:

  1. ඔය ගැට‍ළුවට සාර්ථක විසඳුමක් තියනවා, උද්ඝෝෂණය මෙහෙයවන්නා සොයා ඇමති තනතුරක් දෙන්න. ඒක අත්දුටුවයි, සත්තයි වර්ගයේ විසඳුමක්, දශක කීපයකට පෙර රජ රට මිරිස් ගොවියන්ගේ වියළි මිරිස් අලෙවි ගැට‍ළුව මතක ඇති නේද, දැන් එහෙම ගැට‍ළුවක් නෑ නේද. විසඳුවේ කොහොමද? පාරවල් ගානේ මිරිස් පුච්චපු ගොවි නායක හොරා චන්ද්‍රසේන පාර්ලිමේන්තු ගියා, ගොවි ජන සේවා ඇමති ම වුනා. ගොවි රක්ෂණ වන්දි මුදල් හොරා කාල මාට්ටු වුනා, එතනින් එහාට බොරු උද්ඝෝෂණ ඇතිවීම වලක් ව ගන්න එක එයාගෙ වගකීම බවට පත් වුනා.
    දැන් රජ රට මිරිස් වවන්නේ නැද්ද? වවනවා, ඒ වගේ ම හොඳ ආදායමකුත් ගන්නවා, ඒත් කවුරුත් තමාගේ මුළු ඉඩම ම මිරිස් වගාවට යොදන්නේ නෑ, එළවළු මිල වෙළඳපොළේ සැපයුම මත තීරණය වෙන බව එයාලා දන්නවා, ඉතින් ගොවිපොළේ බෝග විවිධාන්ගීකරණයක් තියනවා, වැඩි පහසුවෙන් විශාල ලාබයක් ගන්න එක ම බෝගයක් විතරක් වගා කරන අල, ළුණු, වී, ගොවියන් රටක ආර්ථිකයට හෙනයක්.
    කුඩා තේ වතු වගාවේ ස්වර්ණමය යුගය අවසන්, වෙනත් බෝග වගාවලට යොමු වෙන්න කාලය හරි, රජය සහන ලබා දිය යුත්තේ බෝග විවධාන්ගීකරණය සඳහායි.

    ReplyDelete
  2. කෘෂිකර්ම යෝදයින් වන ඉන්දියාව, පාකිස්තානය, මැලේශියාව, තායිලන්තය වගේ රටවාට ලගින් තියෙන කෝටි 20 ඉන්න පුංචි රටකට කෘශිකර්මයෙන් කරන්න පුලුවන් මහ ලබ්බක් නෑ..
    ආන්ඩු කල යුත්තේ රටේ මානව සම්පත කෘෂිකර්මයෙන් ඈත් කරලා නිෂ්පාදන,
    තාක්ෂනික, ව්‍යාපාරික, මූල්‍ය අංශවල වෘතීකයින් වෙන්න අවශ්‍ය අධ්‍යාපනය, විදෙස් ආයෝජන ආදිය ලබාදෙන එක...
    එයින් රටට එන ආදායමින් අපට කෘෂි නිෂ්පාදන ලාබෙට පිටරටවලින් ආනායනය කල හැකියි...

    කෘෂිකර්මය අපනයන භෝග වගාකරන දියුනු තාක්ශනය භාවිතාකරන ගොවිපලවලට පමනක් සීමාකල යුතුයි..

    ReplyDelete
  3. මෙය ඉතා යල් පැන ගිය අදහසකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මෙම අදහස ප්‍රතික්ෂේප කරන බව ධරණීය සංවර්ධන ඉලක්කවලින් පෙනේ. සුළු ගොවියා යනු යථාර්ථයකි. ඔබගේ මහා පරිමාණ කෘෂිකර්මාන්තය පමණක් ඇති ලෝකය ෆැන්ටසියකි.

    ReplyDelete
  4. ජර්මනිය ප්‍රංසය ඉතාලිය වැනි යෝධ කෘෂි නිෂ්පාදන තිබෙන රටවලින් වටවූ කුඩා ස්විට්සර්ලන්තය සාර්ථක ලෙස සිය සුළු ගොවියන් රැක ගනිමින් දේශීය කෘෂිකර්මාන්තය කරගෙන යති. ඒ මොඩලය සලකා බලනවානම් හොඳය. හැබැයි ඊට වඩා සිංහල බෞද්ධ මොඩලය හොඳය. එනම්, ගොවියන්ගේ කේන්දරයට අනුකූල භෝගය තෝරා ගෙන, පොහොර වෙනුවට අධ්‍යාත්මික ශක්තිය භාවිතා කරමින් වගා කිරීමය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.