2015-10-21

පරිවර්තන සාහිත්‍යයේ පත් සිඳුණු වසන්තයේ පිපිණු මල් කැකුළක්

මම සිංහල පරිවර්තන නවකතා කියවන්නට එතරම් කැමැත්තක් නො දක්වමි. 

මම වෘත්තීය පරිවර්තකයකු ලෙස ඉංග්‍රීසියෙන් සිංහලට මෙන් ම සිංහලෙන් ඉංග්‍රීසියට ද පරිවර්තනය කරමි. එක්තරා ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් දිගු කලක සිට මගෙන් මෙම සේවාව ලබා ගනියි. ඒ පත්තරයේ ඉංග්‍රීසි හොඳ නැතැයි කිසිවෙක් නො කීවත්, මම වැරදිලාවත් ඉංග්‍රීසියෙන් යමක් ලිව්වොත් භාෂා අම්පයර්ලා ඇවිත් ඇඟිල්ල උස්සති. ඒ ලංකාවේ හීනමානකාරයන්ට තිබෙන එක බරපතල ව්‍යාධියකි. 

අනෙක් ව්‍යාධිය නවකතා ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීම හා සම්බන්ධ ය. පළමු ප්‍රශ්නය මේ පරිවර්තකයන් වැඩිදෙනෙකු කරන්නේ තමන් කියවූ කෘතිය තමන්ට තේරෙන පරිදි සිංහලෙන් ලිවීමයි. වැඩේ තියෙන්නේ එහෙම ලියන එකත් කියවන මිනිසුන්ට තේරෙන්නට ලියන්නට බැරි වීමයි. 

මේ දිනවල මම පරිවර්තන කෘති දෙකක් කියවමින් සිටිමි. මේවා අලුත් ඒවා නො වේ. පරණ ඒවා ය. මා මිත්‍ර පී.බී. ජයසේකර විසින් පරිවර්තනය කරන ලද න්ගුගි වා තියෙන්ගෝගේ කුරුසේ ලූ යක්ෂයා කෘතිය සම්බන්ධයෙන් මට තිබෙන ගැටලුව එය සාමාන්‍ය පරිවර්තනයකින් එහාට යන්නට අසමත් වීමයි. 

තිබෙන පෙළ ඒ අන්දමින් පරිවර්තනය කිරීමට වඩා වටිනාකමක් පරිවර්තකයා විසින් කෘතියට එක් කළ යුතු ය. එනම්, මුල් කෘතියේ තිබෙන සංදර්භය, සමාජය හා අත්දැකීම අපේ අත්දැකීම් ලෝකයට සමීප වන පරිදි පරිවර්තනය කිරීමයි. පරිවර්තන කෘතිය කියවන සිංහල පාඨකයාට පහසුවෙන් තේරෙන පරිදි හා මුල් කෘතියේ රසයට සමාන රසයක් විඳ ගන්නට හැකි වන පරිදි පරිවර්තනය කිරීම හුදු පෙළ පරිවර්තනය කිරීමට වඩා එහා ගිය දෙයකි. ඒ.පී. ගුණරත්නගේ බැද්දේගම පරිවර්තනය හෝ ඊරියගොල්ලගේ මනුතාපය පරිවර්තනය ගැන අප අදත් කතා කරන්නේ ඒ නිසා ය. 

සුගතපාල ද සිල්වා අපට සිටි හොඳ ලේඛකයෙකි. එහෙත්, ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු ලේඛක ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයිස් පරිවර්තනය කළේ ය. ලංකාව පසුබිම් කර ගත් ෆනී බෝයි සිංහල පරිවර්තනය කියවන විට අපට හමු වන්නේ අප දන්නා කොළඹට වඩා අමුතු එකකි. එය හොඳ පරිවර්තනයක් නො වන්නේ ඒ නිසා ය.

මේ දිනවල කියවන අනෙක් කෘතිය වන්නේ මහින්ද සෙනරත් ගමගේ විසින් පරිවර්තනය කරන ලද දොන් නදිය නිසලව ගලා බසී නවකතාවෙහි පළමු පොතයි. මේ එහි දෙවන මුද්‍රණයයි. පරිවර්තනයක් හා ප්‍රකාශනයක් සම්බන්ධයෙන් නො සැලකිලිමත්කම පිළිබඳ මේ පොත කදිම උදාහරණයකි. පරිවර්තන දෝෂ යයි සිතිය හැකි තැන් විශාල ගණනක් මෙන් ම, සෝදුපත් දෝෂ ද මේ දෙවන මුද්‍රණයෙහි ද එමට ය. ලේඛකයකු හා පරිවර්තකයකු සංස්කාරකවරයකුගේ සේවය ලබා ගත යුත්තේ ඇයි ද යන්න ශ්‍රී ලංකාවේ ලේඛකයන්, පරිවර්තකයන් තේරුම් ගත යුතු ය. දොන් නදිය මීළඟ මුද්‍රණයකදී හෝ සංස්කාරකවරයකුගේ සේවය ලබා ගත්තොත් එය හොඳ කෘතියක් බවට පත් කළ හැකි වනු ඇත. එහි බසෙහි සාධනීය ලක්ෂණ රැසක් තිබේ. නැත්තේ සංස්කරණයකි. මේ පොතෙහි එක් තැනක ඌ යන වචනයේ බහුවචනය ලෙස ඌලා කියා යොදා තිබෙනු දැක මට බසයේදී තනිවම හිනා ගියේ ය. 

ජනප්‍රිය විශ්ව සාහිත්‍ය කෘති පළ වූ හැටියේ පරිවර්තනය කිරීමේ මාර තදියමක් ලංකාවේ පරිවර්තකයන්ට තිබේ. ඇත්තෙන් ම ඇතැම් පරිවර්තකයන් පරිවර්තනය කරන්නේ පොත කියවන ගමන් ම බව පෙනේ. තදියමට දනි පනි ගා පරිවර්තනය කිරීම නිසා මේ ඇතැම් කෘති තව කෙනෙකුට හරියට පරිවර්තනය කරන්නටවත් නො ලැබේ. 

පරිවර්තකයන් කර්තෘගෙන් අවසර නො ගෙන හොරෙන් පරිවර්තනය කරන එක ගැන මම මෙහි කිසිවක් නො ලියමි. හේතුව මා මෙය ටයිප් කරන්නේ මෙහෙයුම් පද්ධතියක චෞර පිටපතක් සහිත පරිගණකයකින් වන බැනි. 

හෂිත අබේවර්ධන විසින් පරිවර්තනය කර තිබෙන බා ජින්ගේ පත් සිඳුණු වසන්තය ගැන යමක් කතා කළ යුතු යයි සිතුවේ එය මා සිතන අන්දමින් විවේකී මනසකින් කරන ලද සාර්ථක පරිවර්තනයකැයි මට සිතෙන නිසා ය. සොඳුරු බසකින් ලියන ලද ජනප්‍රිය විදේශ සාහිත්‍ය කෘති මෙලෝ යකෙකුට නො තේරෙන ඕලාරික බසින් පරිවර්තනය කරන ලංකාවේ පරිවර්තන ඔස්තාද්ලාට පත් සිඳුණු වසන්තය අත් පොතක් ලෙස භාවිතා කළ හැකි ය. මම එහි මුල් කෘතිය කියවා නැත. එහෙත්, හෂිත භාවිතා කරන කට වහර වැනි, මටසිලිටු, ඒත් සුන්දර බස නිසා එය මුල් කෘතියැයි හිතෙන තරමට ම අපට සමීප ය. 

කලා කෘතියකින් විඳ ගත් රසය සාමාන්‍ය පාඨකයින් ලෙස බෙදා ගැනීමේ සංස්කෘතියක් අප අතර නැතිකම බරපතල ගැටලුවකි. 

මෙසේ වන්නට එක හේතුවක් වන්නේ ලංකාවේ කලාකාරයන් අතර තිබෙන පිට කැසීම, හෙළා දැකීම හා නිහඬව මරා දැමීම යන තුන් කුහකවතයි. 

අනෙක වන්නේ සාමාන්‍ය මිනිසුන් තමන් විඳින රසය ගැන කතා කිරීම හෙළා දකින ශාස්ත්‍රාලීය පණ්ඩිතයෝ ය. ඔවුන් කටයුතු කරන්නේ රස වින්දනය හා විචාර කලාව යනු පණ්ඩිතයන් කාටවත් නො තේරෙන බසකින් කරන විනිශ්චය කිරීමක් ය කියා සිතාගෙන ය. තමන් විඳි රසය ගැන කියනවා වෙනුවට කොහෙන් හෝ ණයට ගත් අදහසක් තමන්ටත් නො තේරෙන භාෂාවකින් ලියා, තමන්ට නො තේරෙන දේ තුළ මාර අරුතක් ඇතැයි සිතන සිය ගෝල බාල ගල්වැද්දන් හමුවේ ගුප්ත ශාස්තෘවරුන් වී පිම්බෙන්නට හදන ශාස්ත්‍රාලීය ගෙම්බන්ට එරෙහිව දේශපාලන අරගලයක් පොදු ජනතාවට තිබේ. 

අප විඳ ගත් රසය ගැන කාටත් තේරෙන බසින් කතා කළ යුත්තේ ඒ නිසා ය.

මේ උපුටා ගැනීම පත් සිඳුණු වසන්තයේ අවසානයෙන්.

දම් පාට බ්ලවුස් එක. කොට කළු සාය. දිලිසෙන ඇස් දෙක, හීනි ඇහි බැම... මගේ ඉස්සරහ රූපයක් මැවුණා. 

ඒත් විදුලියක් කෙටුවා වාගේ ඒක නැතුව ගියා. 

මං කෙහෙ කැරැල්ල දිහා බලාගෙන මූණ කිට්ටු කළා. කෙහෙ කැරැල්ලෙ ලිලී මල් සුවඳක් දැවටිලා තිබුණා. 

මං ඒක සිප ගත්තේ හරියට ලස්සන මතකයක් සිප ගන්නවා වාගේ. 

ඒ කෙස් කොයි තරම් සිනිඳුද?

කෙහෙ කැරැල්ලෙ මල් සුවඳක් තැවරිලා. 

ඒ නිසා මට දකුණුදිග වසන්තය මතක් වුණා. 

ඒත් මගේ ජීවිතයට ආයෙ කවදා නං වසන්තයක් උදා වේවි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. අජිත් කියන්නේ පරිවර්තන වලට වඩා සුදුසු අනුවරත්න කියා ද?

    සමහර විදෙස් කෘතිවල පරිවර්තනවල දී නම් පවා සිංහල කරලා තිබුණා මට මතකයි, පුරනන්ද, දන්ගෙදර, මොරගොල්ල, මධුමතී, ජනවර්ජන යනාදී වශයෙන්. අනික සමහර හෙල හවුලේ අය ඇ-කාරය යොදා පරිවර්තන විකාරයක් කර තිබුණා!

    ලංකාව පසුබිම සහිත ඉංගිරිසි පොතක සිංහල පරිවර්තනය අගන්තුක වීම නම් ලොකු ප්‍රශ්ණයක් තමයි. මා සෙල්වදොරේ ගේ ෆනී බෝයි සහ සිනමන් ගාඩන්ස් කියවද්දී ලංකාවේ හැඟීම හොඳින් දැණුනා. අමුතු ඉලංදාරියා නම් කියවා නෑ. සුගතපාල ද සිල්වා, ෆනී බෝයි කතාව හරියට ග්‍රහණය කර නොගත් නිසා ද ඒ අවුල වී තියෙන්නේ.

    කෙසේ වෙතත් මුල් කෘතිය සහ පරිවර්තනය දෙකම නොකියවා නිවැරදි නිගමනයකට එන්න බැහැ කියායි මට නම් හිතෙන්නේ!

    හෂිත ගේ පොත වසර අවසානයේ දී කියවන්න ලැබේවි!

    ReplyDelete
    Replies
    1. පරිවර්තනය හා අනුවර්තනය කියන්නේ දෙකක්. මං හිතන්නේ ඊ.ආර්. එරත්න ඩිකන්ස්ගේ ග්‍රේට් එක්ස්පෙක්ටේෂන් රොමාගේ වාසනාව ලෙස කළේ අනුවර්තනයක්.

      එහෙත් පරිවර්තනයකදී අපි පරිවර්තිත පෙළ කියවන පාඨකයා ගැන සිතිය යුතුයි. පාඨකයා වෙනුවෙන් පරිවර්තනයට වටිනාකමක් එකතු කළ යුතුයි.

      Delete
  2. ලොකු හයියක් පැරා, මහන්සි වෙලා වැඩක් කරන්න ලොකු තල්ලුවක්.

    ReplyDelete
  3. අජිත් අයියෙ, හසිතගෙ පොත කියවලා නෑ. මට කියවන්න ලැබුනු පරිවර්තන ටිකෙන් මම කැමතිම රුසියන් පරිවර්තන ටිකට. ඒ අතරිනුත් ඩබ්.ඒ. අබේසිංහ මහතාගේ පොත් සහ එච් ජයරත්න මහතාගෙ සමුගන්නම් ගුල්සාරි කියන පොත. තව පසන් කොඩිකාර වැනි වහොඳ පරිවර්තකයන් මට මේ වෙලාවෙදි මතක් වෙනවා. පරිවර්තනවල වෙනස බොහෝ විට වටහාගත හැකි වන්නේ මුල් කෘතිය සහ පරිවර්තනය යන දෙකම කියවූ පසු බව මගෙත් අදහසයි. නමුත් එතරම් හොඳ පරිවර්තනයක් නොවන බව සාමාන්‍ය පාඨකයින්ට පවා වැටහෙන ආකාරයේ පරිවර්තන ඔබ කියන්නාසේ බිහි වනවා. එය පාඨක රසවින්දනය මොට කිරීමක් බවයි මගේ අදහස.

    ReplyDelete
  4. පත් සිඳුණු වසන්තයට බොහෝ කැමතියි. ‘‘ඉගිළෙන්නට සිහින දකිමි‘‘ කියල පරිවර්තනයක් කියෙව්වා ඩී.එම්.එස් ආරියරත්න මහත්මයගෙ ඒකෙත් භාෂාව හසුරුවන විදිය හරිම හොඳයි. පරිවර්තනයක් කියල නොදැනෙන තරමට සමීප වෙනවා කතාව..

    ReplyDelete
  5. පත් සිඳුණු වසන්තය හොඳ පරිවර්තන කෘතියක් විය යුතු බවට සැකයක් නැතත් මුල් කෘතිය නොකියවා පරිවර්තනය (පරිවර්තන තත්වයන් වලට අනුව) අනර්ග බව කීම තාර්කික නොවේ. මුල් කෘතිය නොකියවා මෙසේ ලිවීම පිට කැසීමක් ලෙස පෙන්න ගන්නේ එතකොට.
    පත් සිඳුණු වසන්තය හොඳ පරිවර්තනයක් බව අනුමාන කල හැක්කේ එහි නමින්. මෙහි නම “සිසිරයේ වසන්තය” නොවී පත් සිඳුණු වසන්තය වීමෙන් එය අනුමාන කල හැක.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.